Breaking

Post Top Ad

Blog Archive

Sunday, 29 September 2019

පංචායුධය






කීප තැනක අම්මලා කියලා තියෙනවා දැක්කා පංචායුධ එල්ලුවේ නැහැ අපි දරුවන්ගේ කරේ , ධර්මචක්‍ර එල්ලුවා කියලා . ධර්ම චක්‍රය කියන්නේ එකක් . පංචායුධ වලට අයත් සංඛේත පහෙන් කියන්නේ තවත් අදහසක් . ආයුර්වේදයේ සහ ගුප්ත ශාස්ත්‍රයේ කියලා තියෙනවා දරුවෙක් ඉපදුනාට පස්සේ කාලෙන් කාලෙට දරුවාට බලපෑම් කරන දෝෂ ගැන . මේවා අමනුෂ්‍ය දෝෂ වෙන්නත් පුළුවන් .

අපි එහෙම නැතුව කියමුකෝ වෙනත් ශක්තීන් සහිත දෝෂ කියලා . මේ ශක්තීන් සහිත දෝෂ නිසා තමයි දරුවන් ලෙඩ ඇතිකරගන්නේ . මේ දෝෂ දරුවාට ලං වීම වළක්වන්න තමයි මේ සංකේත පහ සහිත පංචායුධය කරේ එල්ලන්නේ . බෞද්ධ අය පංචායුධය එල්ලීම කරේ පන්සීය පනස් ජාතක පොතේ එන පංචායුධ ජාතකය නිසා . ධර්ම චක්‍රය කියන්නේ මොකක්ද කියලාත් මම උපුටා ගත්ත විස්තරයක් මෙතන සඳහන් කරලා තියෙනවා . ධර්ම චක්‍රය සහ පංචායුධය කියන්නේ මොකක්ද කියලා පටලගන්න එපා . මේ දෙක දෙකක් . ළමයින්ගේ කරේ එල්ලන්න ඕන පංචායුධය . ධර්මචක්‍රය මගින් පෙන්නුම් කරන්නේ අධර්මය තුල ධර්මයේ තියෙන ආරක්ෂාකාරී බවක් .

පංචායුධ ජාතකය (52)

එක් සමයක බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සමයෙහි පසුභට වීර්ය ඇති භික්ෂූන් කෙනෙකු අරඹයා මේ ජාතකය දක්වන ලදී.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන සමයෙහි, අප මහා බෝසතානෝ රජුගේ අග බිසවුන්ගේ කුස පිළිසිඳ ගත්හ. ඒ බෝධිසත්වයන්ට නම් තබන දවසෙහි බමුණන්ගෙන් හා සියළු සත්වයන් සියලු ලක්ෂණ විචාලෝය. එකල ලක්ෂණ කීමෙහි දක්ෂ වූ බමුණෝ ලක්ෂණ සම්පත්තිය බලා මාහා පිනැති රාජ කුමාර කෙණෙකුන් වහන්සේ කෙනෙක්ය. නුඹ වහන්සේගේ ඇවැමෙන් රාජ්‍යයට පැමිණ දස රාජ ධර්මයෙන් රාජ්‍ය කරන සේකැයි කීය. පංචායුධ යුධ ශිල්පයෙහි දක්ෂව ජම්බුද්වීපයෙහි සත්වයන්ට අග්‍ර පූරුෂ වන සේකැයි කිව්ය. බමුණන්ගේ බස් අසා කුමාරයන්ට නම් තබන්නාහු " පංචායුධ කුමාරයෝ " යයි නම් තැබූහ. ඉක්බිත්තෙන් ඒ කුමාරයන් මැදිවිය පැමිණි කල්හි තම පිය රජු සමීපයට කැඳවා ශිල්පයක් ශාස්ත්‍රයක් නිමවා නොගෙන රාජ්‍යය කළ නොහැක්කේය. එසේ හෙයින් ශිල්ප උගනුවයි කුමාරයාට කීහ. ස්වාමීනි, කවුරුන් සමීපයෙහි උගනිම්දැයි කී කල්හි, පුත ගන්ධාර දේශයෙහි තක්ෂලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි ශාස්ත්‍රය ඉගෙන නිමාවට පැමිණෙන්න යැයි කියූව. කුමාරයා ආචාරින් වැඳ තක්ෂලා නුවරින් නික්ම පංචායුධ සන්නද්ධව බරණැසු නුවරට යන්නාහු වනාන්තරගත මාර්ගයට අභිමුඛ වූ කල්හි එසේ පැමිණෙන්නාහු කුමාරයෝ අතර මග සිලේස ලෝම නම් යක්ෂයකු වසන්නාවූ එක් වනයකට පැමිණියෝය. එකල කුමාරයන් වනයට අභිමුඛ වූ කල්හි, මනුෂ්‍යයෝ දැක පින්වත් වූ පුරුෂය තෙපි මේ වනාන්තරයට නොයවයි. මේ වනාත්තරයෙහි සිලේෂ ලෝම නම් යක්ෂයන් ඉදී. දුටු දුටුවන් මරා අනුභව කරන්නේය. එසේ හෙයින් තෙපි නොයවයි වැලකුය.

බෝධිසත්වයන් තමන් නිර්භීතව කේෂර සිංහ රාජයකු සේ වනයට පැමිණි කල්හි, ඕ හට බෝධිසත්වයෝ කියන්නාහු එම්බල යක්ෂය මම මාගේ සමර්ත කම් සලකා මෙතැනට වන්නෙමි. තෝ අප්‍රමාදව මා සමීපයට වර. විෂ පොවන ලද හී සැරයකින් විද මම තොපව මෙතනම නසමි යයි යක්ෂයාට කීවේය. ඔහු තැතිගන්වා දරුණු වූ විෂ පොවන ලද ශරීරය දුනු පිට ලා ගෙන ඇඳ අත හලවා හුය. ඒ සැරය ගොස් යක්ෂයාගේ රෝමයෙහි ඇලි ගියේය. ඉක්බිත්තෙන් හී දඬු පනහක් විද්දේය. ඒ සියළුම දඬු යක්ෂයාගේ රෝමයෙහිම ඇලි ගියේය. තවද යක්ෂයා ඒ සියළු හී දඬු කිලි පොලා තමාගේ පා මුල වගුරවා බෝධිසත්වයන් සමීපයට ගියේය. එකල බෝධිසත්වයෝ නැවතත් තැති ගන්වා කඩුව කොපුවෙන් යක්ෂයාට ගැසුයේය. දෙතිස් අඟලක් දිග ඇති කඩුව රෝමයෙහි ඇලි ගියේය. එවිට මගුරෙන් ගැසු සේක. එයත් රෝමයෙහි ඇලි ගියේය. ඒ මුගුරු ඇලී ගියා දැක බෝසතානෝ කියන්නාහු පින්වත් වූ යක්ෂය, මම පංචායුධ කුමාරයෝය. මාගේ නම් ඇසූ කෙනෙක් නැත. මම තා විසින් අධිගෘහිත වූ වනාන්තරයට පැමිණියෙමි. දුනු ආදී වු ආයුධයක් සලකා වන්නේම් නොවි මාගේ සමර්ත කම සලකාවන්නේය. එසේ හෙයින් තා සුනු විසුනු කරමි අධිෂ්ඨානය දක්වා ගර්ජනා කොට දකුණතින් යක්ෂයාට පැහැරී සේක. එයද රෝමයෙහි ඇලි ගියේය. වමතින් ගැසූ සේක. එයිදු රෝමයෙහි ඇලි ගියේය. දකුණු පයින් පහල සේක. එයිත් රෝමයෙහි ඇලි ගියේය. වම් පයින් පහර සේක. එයිත් රෝමයෙහි ඇලි ගියේය. මහබෝසතානෝ පස් තැනකින් යක්ෂයාට බැදී එල්ලෙමින් සිටි. නිර්භිතව කතා කෙරෙති. යක්ෂයා මෙසේ සීතිය. මොහු පුරුෂ සිංහයෙකි. පුරුෂ ශ්‍රේෂ්ඨයෙකි. මේ කෙසේ වූත් පුරුෂයෙක්ද කියා සිතන්නේය. එම්බල පුරුෂය තෝ මට ගොදුරුව සිට මෙසේ වූ බුහුටි කතා කරන්නට කාරණා කවරෙක්ද විචාළේය. එකල්හි බෝධිසත්වයන් වහන්සේ(පංචායුධ කුමාරයා), තෝ මා කෑවේ නම් මාගේ කුසයෙහි වජ්‍රායුධයක් ඇත්තේය. ලයෙන් ඇනි පිටින් නැගෙන්නේය. තාගේ අතුනුහන් කඩ කඩ කොට සිඳ ජීවිතක්ෂයට පමුණුවන්නේය. එසේ කල්හි අප දෙදෙනාම නැසෙම්හ. මේ කාරණය මම නොභාමි කිවාහුය. මේ වචනය වූ කලි බෝධිසත්වයන් තමන්ගේ අභ්‍යන්තර යෙහි ඥානායුධය සඳහා කීහ.

ඒ බස් අසා යක්ෂයා මෙසේ සිතීය. මේ මානවකයා සත්‍යයක්ම කියන්නේය. පුරුෂ සිංහයාගේ ශරීරයේත් මුං ඇටයක් පමණ අනුභව කළෙමි වීම් නම් මාගේ බඩද දිරවා ගත නොහැකිය. එසේ හෙයින් මොහු නොමරමියි සිතා මරණ භයින් බෝධිසත්වයන් ඇරපියන්නේ මානවකය, තෝ සිංහ පුරුෂයෙකි. තාගේ මස් නොකමි. තෝ රාහු මුඛයෙන් මිදුනා හූ චන්ද්‍රයා පරිද්දෙන් මා අතින් මිදි මිත්‍ර සමූහයා සතුටු කරවමින් පලා යවයි කීය. එකල්හි බෝධිසත්වයායන් වහන්සේ ඕ හට මෙසේ කීය. යක්ෂය මම වූ කලියෙන් තෝ වනාහි පෙර අකුශල කොට රවුද්‍ර කර්මයෙන් ලේ රැඳි ගියාහු අත් ඇතිව අනුන්ගේ ශරීර මාංශය භක්ෂනය කරන්නාවූ යක්ෂව උපන්නෙහිය. ඉදින් මේ යක්ෂාත්ම භවයෙහි සිට අකුශල් කරන්නේ වී නම් අඳුරෙන් අඳුරටම තවද යන්නෙහිය. මා දුටු තැන් පටන් තා විසින් අකුසල් කරන්නට නොපිලිවන. ප්‍රණාගාත නම් නරක තිරිසන් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහි උපදවන්නේය. නැවත මනුෂ්‍ය ලෝකයෙහි උපන්තෙන මන්දායුෂ්ක බව ලබන්නේය. මේ ආදී වූ නොයෙක් කාරණයෙන් පංචදු ෂ්ශීලයෙහි ආදීනව හා පංච ශීලයෙහි අනුහස් හා අනේක ප්‍රකාරයෙන් යක්ෂයා තැති ගන්වා ධර්ම දේශනා කොට ඔහු දමනයේලා ඔහුගේ සන්තානයෙහි කෙලෙස් නැමති සතුරන් නසා පංච ශිලයෙහි පිහිටවා වනාන්තරයෙහි සත්වයන් විසින් දෙන ලද භෝජනය බිලියම් පිණිස ලැබ අප්‍රමාදව වාසය කරවයි අවවාද කොට වනයෙන් නික්ම මහාවන සමීපයෙහි මනුෂ්‍යන්ට කියා පංචායුධ සන්නද්ධව බරණැස් නුවරට ගොස් දෙමව්පියන් දැක මෑත භාගයෙහි රාජ්‍යයෙහි පිහිටවා දැහැමෙන් රාජ්‍ය කරමින් ධානාදී වූ කුසල් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ.

මෙසේ ශාස්තෘ වූ බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා, තවද භික්ෂුන්ට අවවාද කරන සේක. නොපසු බටවූවාහු විර්ය ඇති සිතින් කුසල යයි කියන ලද සප්ත ත්‍රි සත් බෝධිපක්ෂික ධර්මයෙන් වඩාද සියළු සංස්කාර ධර්මයන් අනිත්‍යය දුක්ඛය අනාත්මයි අනාත්මයයි මෙසේ ත්‍රිලක්ෂණ මෙනෙහි කර චතුරාර්ය සත්‍යය ධර්මයන් ප්‍රකාශ කොට වදාළ සේක. චතුරාර්ය සත්‍යයන්ගේ අවසානයෙහි පසුබට වීර්ය ඇති භික්ෂූහු අරහත් ඵලයෙහි පිහිටි සේක. සර්වඥයන් වහන්සේ පූර්වාපර සන්ධි ගලපා මේ පංචායුධ ජාතකය නිමවා වදාළ සේක.

ධර්ම චක්‍රය
ප්‍රතිවේධ ධර්‍මචක්‍රය දේශනා ධර්‍මචක්‍රය යි ධර්‍මචක්‍ර දෙකකි. අතීත ලෝකයෙහි සතුරන් නසනු පිණිස පාවිච්චි කරන චක්‍රායුධ නම් ආයුධ විශේෂයක් තිබිණ. එය කැරකෙන කල්හි හසු වුවන් කැපී යන රෝදයෙකි. සතුරු ජනයා මැදට එය ගෙන ගොස් කරකවති. එයට හසු වන සැම දෙනම කැපි යති. තථාගතයන් වහන්සේ ගේ ධර්මයෙන් එය පවත්වන කල්හි කෙලෙස් සතුරෝ කැපී යෙති. එබැවින් ඒ ධර්මයට ද ධර්මචක්‍රය යි කියනු ලැබේ තථාගතයන් වහන්සේ ගේ බෝධිපර්‍ය්‍යංකයෙහි වැඩ හිඳ ලෝකෝත්තර මාර්‍ගක්‍ෂණයෙහි උන්වහන්සේගේ සන්තානයෙහි උපදවා ගන්නා ලද ඉන්ද්‍රිය බල බෝධ්‍යංග මාර්ගංගාදි ධර්ම සමුහයේ බලයෙන් උන්වහන්සේට සතුරුවන එක් දහස් පන්සියයක් ක්ලේශයෝ චක්‍රායුධයෙන් මෙන් කැපි ගියහ. කෙළෙසුන් නැසිමට තථාගතයන් වහන්සේට උපකාර වු ඒ ධර්ම සමුහය ප්‍රතිවේධ ධර්‍මචක්‍ර නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේ දී ප්‍රතිවේධ ධර්ම චක්‍රය පවත්වා සව් කෙළෙසුන් නසා ලොව්තුරා බුදුබවට පැමිණ වද්‍රළ සේක.

සර්‍වඥයන් වහන්සේ විසින් කරන ධර්මදේශනය අසන්නා වූ මනුෂ්‍ය දේව බ්‍රහ්මයන්ගේ සන්තානවල පවත්වන්නා වූ රාගාදි ක්ලේශධර්‍මයෝ ඒ ධර්‍මයේ බලයෙන් කැපි යෙති. දුරු වෙති. එබැවින් ඒ ධර්මය ද සතුරන් කපන චක්‍රායුධයක් වැනිය. එබැවින් එයට දේශනා ධර්මචක්‍රය යි කියනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් පළමු වරට බරණැස් ඉසිපතනයේ දී දේශනා ධර්ම චක්‍රය පවත්වන ලද්දේ ය. එය ඇසු පස්වඟ මහනුන් ඇතුළු බෝහෝ දේව බ්‍රහ්මයන් තුළ පැවති කෙලෙස් සතුරෝ එහි ආනුභාවයෙන් දුරු වූහ. දේශනඥානයටම ද ධර්මචක්‍රය යි කියනු ලැබේ. සත්වයන්ට ඒ ධර්ම දේශනය කිරිම දම්සක් පැවැත්වීම නම් වේ. තියුනුවූ ද වේගවත් වූද නුවණ ඇත්තා වූ සර්‍වඥයන් වහන්සේට කිසි තැනක පැකිළිමක් ඇණ සිටිමක් නැතිව අහසින් පොළොවට ගලා වැටෙන ගඟක් වේ නම් එහි ජලවේගය මෙන් ඉතා වේගයෙන් ඒ ධර්මය දේශනය කළ හැකිය. අසන්නවුන්ගේ සිත් වලට කා වැදෙන පරිදි - සිත්වල පිහිටන පරිදි දේශනය කළ හැකිය. අන්නවුන්ට අවබෝද වන පරිදි දේශනය කළ හැකිය. සියක් යොදුනකින් ඔබ සිට අසන්නකුට වුව ද ළඟ සිට අසන්නකුට සේ ඇසෙන පරිදි ධර්‍මය දේශනා කළ හැකිය. සතරදිගම සිට අසන්නවුන්ට නොවෙනස්ව ඇසෙන පරිදි ධර්‍මය දේශනය කළ හැකිය. ලෝකයෙහි අන්කිසි ශ්‍රමණයකුට බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට බ්‍රහ්මයකුට හෝ එසේ දම්සක් පැවැත්වීමකක් නො කළ හැකිය. තථාගතයන් වහන්සේම දම්සක් පැවැත්වීමට සුදුසු වු සේක. අරහං යන පදයෙන් ඒ සුදුසු බව කියැවේ. ඒ සුදුසු බවද තථාගතයන් වහන්සේගේ අරහං ගුණය ය.

“එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පටිවත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං”

(සංයුක්ත නිකාය ධර්‍මමචක්ක සූ.)

යනුවෙන් තථාගතයන් වහන්සේගේ ධර්මචක්‍රයේ අනුත්තරභාවය දක්වා තිබේ. ‘යම්කිසි ශාස්තෲවරයකු විසින් ප්‍රකාශිත ධර්මය එසේ නො විය හැකිය’ කියා අනිකකු විසින් කරුණු සහිතතව ප්‍රතික්ෂේප කළ හැකි නම් අවලංගු කළ හැකි නම් ඒ ධර්මය යහපත් නොවේ. ‘තථාගතයන් වහන්සේ විසින් මේ දුකය කියා යම් ධර්මයක් ප්‍රකාශ කරන ලද නම් ඒ ධර්මය දුඃඛ සත්‍යය නොවේය’ කියා ලෝකයෙහි කිසිම ශ්‍රමණයෙක්ට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට බඹකුට හෝ කරුණු සහිතව ඔප්පු කොට ප්‍රතික්ෂේප නො කළ හැකි ය. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත දුඃඛසත්‍යය නියම දුඃඛසත්‍යය නොවේය. නියම දුඃඛ සත්‍යය මේය’ යි අනික් දු:ඛ සත්‍යය ද නොදැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් වදාළ සමුදය නිරෝධ මාර්ගසත්‍යයන් ද කරුණු සහිතව කිසිවකුට ප්‍රතික්ෂේප නො කළ හැකිය. ඒවා වෙනුවට අන් සත්‍යයන් නො දැක්විය හැකිය. තථාගතයන් වහන්සේ විසින් වඳාළ කුශලාකුශලාදී ධර්මයන්ද කිසිවකු විසින් අවලංගු නො කළ හැකිය. ලෝකයෙහි කිසිම සමතකුට තථාගතයන් වහන්සේ ගේ ධර්මචක්‍රය අනික් අතට පෙරලිය හැකි නොවන බැවින් එය අනුත්තර ධර්‍ම චක්‍රය වේ. අනුත්තර යන්නෙහි තේරුම සියල්ලට උතුම්ය යනු යි.

තථාගතයන් වහන්සේ විසින් පවත්වන අනුත්තර ධර්මචක්‍රයෙහි මහානුභාවයක් ද ඇත්තේ ය. තථාගතයන් වහන්සේගේ ධර්මය කන වැටීමෙන් අංගුලිමාලාදී මහාප්‍රචණ්ඩයෝ සෞම්‍යයෝ වෙති. අහක දමන දෙයකුදු දීමට නො කැමති මහ මසුරෝ ත්‍යාගවත්හු වෙති, පාරදාරිකයෝ සඡ්ජනයෝ වෙති. මෘෂාවාදීහු සත්‍යවාදීහු වෙති. සුරාසොණ්ඩයෝ - සූදුකාරයෝ සඡ්ජනයෝ වෙති, අලසයෝ වීර්ය්‍ය ඇත්තෝ වෙති. පඤ්චකාම නැමති මඩෙහි එරී සිටියෝ එයින් ගොඩ වෙති, නොරහන්හු රහත් වෙති. රෝගිහු නිරෝගී වෙති. මැරෙන්නට ඉන්නෝ දිවි ලබති. අපායට යන්නට සිටින්නෝ සුගතියට යෙති, අපමණ සත්වයෝ ජාති ජරා ව්‍යාදී මරණාදි දුක් වලින් මිදී නිවන් සුව ලබති. මේ ධර්ම චක්‍රයේ අනුභාවයය.

පුණ්‍යානුභාවයෙන් චක්‍රරත්නය පහළ වු රජුට ‘චක්‍රවර්ති රජය’ යි කියනු ලැබේ. ඔහුට කිසිවෙකු ගෙන් බාධාවක් නැතිව මුළු පොළොවෙහිම චක්‍ර රත්නයේ බලයෙන් ගමන් කළ හැකි ය. ප්‍රදේශ රජහු එතුමා ගෞරවයෙන් පිළිගෙන එතුමාට අනුකූල වෙති. තථාගතයන් වහන්සේද කිසිවෙකුගෙන් බාධාවක් නැතිව ලෝකයෙහි අනුත්තර ‘ධර්මචක්‍රවර්තිරාජයෝ’ වෙති. තමන් වහන්සේගේ රාජභාවය උන්වහන්සේ විසින්ම සේල බ්‍රාහ්මයා හට මෙසේ වදාල ඇත්තේය.

‘රාජා හමස්ම් සෙල - ධම්මරාජා අනුත්තරො,
ධම්මේන චක්කං වත්තේමි- ලෝකේ අප්පටිවත්තියං’

(මජ්ක්‍ධිමනිකාය සෙලසුත්ත)

‘සේලය මම රජ වෙමි, අනුත්තර වු ධර්මරාජ වෙමි, කිසිවකු විසින් ආපසු නො පෙරළිය හැක්කාවු ධර්මචක්‍රය මම දැහැමින් ලෝකයෙහි පවත්වමි’ ය යනු එහි තේරුමය.

තථාගතයන් වහන්සේගේ ආඥාචක්‍රයට සමාන ආඥාචක්‍රයක් ලෝකත්‍රයෙහි අන් කිසිවකුට නැත්තේය. ආඥ බලය ඇති රාජාදීන්ගේ අණසක පවත්නේ සුළු පෙදසක පමණෙකි. චක්‍රවර්ති රජුගේ ආඥා චක්‍රය වුවද පවත්නේ ද්වීප සතරෙහි පමණෙකි. භාග්‍යවතුන් වහසේගේ ආඥාචක්‍රය කෝටි ලක්ෂයක් සක්වළවල පවත්නේ ය. එබදු විශාල ආඥචක්‍රයක් දෙවියකුටද නැත.

විසල්පුර වැසියන්ට තෙ වැදැරුම් භය දුරු කරනු පිණිස තථාගතයන් වහන්සේ රතන සුත්‍රය දේශනා කළ සේක. එහි අණ කෝටි ලක්ෂයක් සක්වළවල අමනුෂ්‍යයෝ පිළිගත්හ. එහි බලය කෝටි ලක්ෂයක් සක්වළවල පවතී. එසේම ධජග්ගපරිත්ත, ඛන්ධපරිත්ත, මෝරපරිත්තාදියේ බලය ද කෝටි ලක්ෂයක් සක්වළ වල පවතී.

බුදුරදුන්ගේ ආඥාචක්‍රයෙහි ඉමහත් බලයක් ඇත්තේ ය. අන් කිසිම බලයකින් උන්වහන්සේගේ ආඥාබලය මැඩලිය නොහැකිය, රාජාදීන්ගේ අණ බොහෝ ජනයා රහසින් කඩ කරති. අසු නුවුවහොත් ඔවුනට එයින් වන විපාකයන් නැත. තථාගතයන් වහන්සේගේ ආඥචක්‍රය රහසින් වුව ද කඩ කළහොත් එහි විපාකය ලැබේ. සමහර විට උන්වහන්සේගේ ආඥව කඩ කරන්නාට එහි විපාකය එ කෙණෙහිම ලැබේ. බුදුරදුන් හා වාදයට ගිය සච්චකගෙන් තථාගතයන් වහන්සේ ප්‍රශ්ණයක් ඇසූහ. එයට පිළිතුරු දුනහොත් තමාට අවාසි වනු පෙනුනෙන් සච්චක පිළිතුරු නොදී තුෂ්ණිම්භූත විය. තථාගයන් වහන්සේ අසන ප්‍රශ්ණයනට තුන්වනවර පිළිතුරු නොදී උන්වහන්සේගේ අණ කඩ කරනහුට වන විපාකය තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක.

‘බ්‍යාකරොහි’දානි අග්ගිවෙස්සන න’දානි තෙ තුණ්හීභාවස්සකාලො, යො කොචි අග්ගිවෙස්සන තථාගතෙන යාච තතියං සහධම්මිකං පඤ්හං පුට්ඨො න බ්‍යාකරොති, තත්ථෙවස්ස සත්තධා මුද්ධා ඵලති.’

‘කියනු අග්ගිවෙස්සන, මේ ඔබට තුෂ්ණිම්භූත වීමට කාලය නො වෙයි. අග්ගිවෙස්සන, යමෙක් තථාගතයන් වහන්සේ විසින් තුන්වරක් දක්වා ඇසු කල්හි ද කථා නොකර සිටී නම් එතැනම ඔහුගේ හිස සත්කඩකට පුපුරන්නේය’ යනු එහි තේරුමය.

සච්චක පිළිතුරු දී යම්තම් හිස බේරා ගත්තේ ය. තුන්වන වර විචාළ කල්හි ද තුෂ්ණිම්භූත වී නම් සච්චකට ඒ විපාකය වන්නේ ය. කිසිම කෙනෙකුට කිසිම බලයකින් එය වැලැක්විය නො හැකි ය.

තථාගතයන් වහන්සේ තමන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටින හේතුසම්පත් ඇති පුද්ගලයන් හට තමන් වහන්සේගේ ස්වර්ණවර්ණ දක්ෂිණ ශ්‍රී හස්ථය සිවුරු ගැබින් පිටතට ගෙන මධුර මනෝහර බ්‍රහ්මස්වරයෙන් ‘ඒහි භික්ඛු චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය’ යි වදාරන්නාහ. එසේ වදාරනු සමගම ඒ බුඬාඥාවේ ආනුභාවයෙන් පැවිද්ද ඉල්ලු ගිහියාගේ ගිහිවෙස අතුරුදහන් වෙයි. ඔහුට පැවිදි වෙස පහළ වෙයි. පැවිද්ද හා උපසම්පදාව පිහිටයි. ඔහු එක චීවරයක් හැඳ එක් චීවරයක් ඒකාංස කොට පොරොවා උරහිස මත තවත් චීවරයක් ඇති ව කරෙහි එල්ලුණු පාත්‍රයක් ඇති ව සියවස් පිරුණු මහතෙර කෙනෙකුන් මෙන් බුදුරදුන් ඉදිරියේ සිටී. මෙය කොතරම් ආශ්චයර්‍යක් ද? එබදු ආඥා බලයක් බුදුරදුන්ටම මිස අන් කිසිවකුට නැත්තේ ය. එසේ තථාගතයන් වහන්සේගේ ආඥාවෙන් පැවිද්ද හා උපසම්පදාව ලැබුවන් ගේ සංඛ්‍යාව සත්විසි දහස් තුන් සියයකැ යි විනය අටුවාවෙහි කියා තිබේ.

සත්තවීසසහස්සානි - තීණි යෙව සතානි ච,
එතෙ හි සබ්බෙ සංඛාතා - සබ්බෙ තෙ එහිභික්ඛුකා.

(විනය අටුවා 171)

තථාගතයන් වහන්සේගේ අඥාචක්‍රය වඩා පෙනෙන්නේ විනය පිටකයෙනි. විනය පිටකය බුදුරදුන්ගේ ආඥා දේශනාව ය. ඇතැමුන්ගේ ආඥාව අනුන්ට කරදර පිණිස පවතින්නකි. බුදුරදුන්ගේ ආඥාචක්‍රය ලෝකයට යහපත පිණිස සැපය පිණිස පවතින්නකි. එය අනුත්තර අඥාවක්‍රයක් වන්නේ ඒ නිසා ය. බුදුරදුන්ගේ ආඥාව නො ඉක්මවා විනය සිකපද අනුව පිළිපදින්නා වු භික්ෂුවට එයින් වන්නේ ඉමහත් යහපතකි. සික පද කඩ නොකරක ශ්‍රීල සම්පදාව ඇති භික්ෂුවට ‘මාගෙන් මෙනම් වරද සිදුවී ය’ යි පසුතැවීමක් ඇති නොවේ. ‘මෙතෙක් කල් මා විසින් ශිලය රක්ෂා කරන ලදැ’ යි ඉමහත් ප්‍රිතියක් ශිල සම්පදාව නිසාම ඒ භික්ෂුවට ඇතිවේ. එයින් ඔහුගේ සිත කය පිනා යන්නේ ය. ඉමහත් මානසික සුඛයක් ඇති වන්නේය. එය හේතු කොට යම්කිසි කමටහණක් මෙනෙහි කරන්නට වන් කල්හි සමාධිය ඇති වේ. සමාධිය නිසා යථා භූත දර්ශන ඇති වේ. එයින් ඒ භික්ෂුවට අර්හත්ඵලයට පැමිණ දුකින් මිදිය හැකි වේ. ධ්‍යානමාර්ගඵලයන් නෙ ලද හැකි වුවහොත් ඒ කුශලයෙන් මරණින් මතු ස්වර්ගලෝකයට පැමිණිය හැකි වේ. පිළිපදින්නාවු තැනැත්තාට එය හේතු කොට මහත් සම්පතක් ලැබෙන බැවින් තථාගතයන් වහන්සේගේ විනය දේශනා නැමති ආඥාව අනුත්තර ආඥාචක්‍රයක් වේ. ශ්‍රාවකයනට සිකපද පැනවීම පසේබුදුවරුන්ට හෝ ශාරිපුත්‍රාදි මහරතුන්ට හෝ නො කළ හැකිය. එයට සුදුසු බවක් උන්වහන්සේලාට නැත. ශ්‍රාවකයනට සික පද පැණවීම වශයෙන් අනුත්තර ආඥාචක්‍රය පැවැත්වීමට සුදුසු කම් ඇත්තේ තථාගතයන් වහන්සේට පමණෙකි.

‘ආරකා හි සො සබ්බකිලෙසෙහි විදුර සුවිදුරෙ ධීතො, මග්ගෙන සවාසනානං කිලෙසානං විඬංසිතත්තා ති ආරකත්තා අරහං’

(විසුද්ධිමග්ග 146)

‘ඒ භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් වාසනාව සහිත ක්ලේශයන් විධ්වංශනය කළ බැවින් සකළ ක්ලේශයන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එසේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටින සේක. එසේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටන බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වන සේක. යනු එහි තේරුම ය.

රහත්හු ද අර්හත්මාර්ගයෙන් ක්ලේශයෙන් නිරවශේෂයෙන් ප්‍රහාණය කෙරෙති, බුදුහු ද රහතුන් සේම අර්හත්මාර්ගයෙන් ක්ලේශයන් ඉතිරි නො කොට ප්‍රහාණය කෙරෙති. එහෙත් බුදුරදුන්ගේ හා රහතුන්ගේ ක්ලේශප්‍රහාණයෙහි වෙනසක් තිබේ. රහත්හු ක්ලේශ ප්‍රහාණයට මිස වාසනා ප්‍රහාණයට සමත් නොවෙති. ක්ලේෂ ප්‍රහාණයෙන් පසු රහතුන්ට වාසනාව ඉතිරිව පවති. සාමාන්‍ය ජනයා අතර ‘වාසනා’ යන වචනය ව්‍යවහාර කරන්නේ පිනට හෝ භාග්‍යටය. පින් ඇත්හුට ‘වාසනාවන්තයා’ යි කියති. වාසනා යන වචනයෙන් මෙහි අදහස් කරන අර්ථය අනිකකි. රා තුබු කළයකින් එවා ඉවත් කොට සොදා ගන්නා ලද කල්හි එහි රා මඳකුදු නැත ද රා ගඳ එහි ඉතිරිව පවතී. එමෙන්ම අර්හත්මාර්ගයෙන් සකල ක්ලේශයෙන් දුරු කළ රහතුන්ගේ සන්තානවල නො රහත් කාලයේ ඉරියවු පැවැත්වු ආකාරයෙන් - ක්‍රියා කළ ආකාරයෙන් - කථා කළ ආකාරයෙන්, ඉරියවු පැවැත්වීමට - ක්‍රියා කිරීමට - කථා කිරීමට හේතුවන ක්ලේශයන්ටම අයත් එක්තරා ශක්තියක් ඉතිරි වේ. මෙහි ‘වාසනාව’ කියනුයේ ඒ ශක්තීන් විශේෂට ය. ඒ ශක්තිය ඉතිරි වී ඇති බැවින් සමහර විට රහතන් වහන්සේ මඳවු ද රාගයක් නැතිව සරාගීන් රාගයෙන් බලාන්නාක් මෙන් බලති, කථා කරන්නාක් මෙන් කථා කරති, මඳවු ද ද්වේශයක් නැතිව කෝපවුවන් සේ ක්‍රියා කරති, කථා කරති, මඳවු ද මානයක් නැතිව මානීන් සේ ඉරියවු ඉරියව් පවත්වති, කථා කරති. ඒ නිසා සමහර විට සෙස්සෝ රහතුන්ටද කලකිරෙති. පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ රහතුන්ගෙන් කෙනෙකි. උන්වහන්සේ මානයක් නැතිවම කෝපයක් නැතිවම ‘මෙහෙ වර වසලී, පල වසලී’ යනාදීන් නො සරුප් ලෙස ගිහියන්ටත් පැවිද්දන්ටත් කථා කරති. එක් දවසක් භික්ෂුහු පිළින්දියච්ඡ තෙරුන් වහන්සේගේ මේ නො සුරුප් කථාව ගැන ශාස්තෘන් වහන්සේට සැල කළහ. තථාගතයන් වහන්සේ ‘එසේ කථා කරන බව සැබෑවදැ’ යි පිළින්දිවච්ඡ තෙරණුවන්ගෙන් අසා ‘සැබෑව’ යි සැල කළ කල්හි, අතීතය බලා වදාරන සේක්:- අතීතයෙහි පිළිවෙළින් ජාති පන්සීයක් බ්‍රාහ්මණ කූලයෙහි ඉපද එසේ කථා කරන්නට පුරුදු වී ඇති බව දැක, භික්ෂුන් අමතා ‘මහණෙනි, ක්ෂීණාශ්‍රවයන්ගේ අනුන්ට රිදවන පරුෂ වචන කියන ස්වභාවයක් නැත, මගේ පුත්‍ර වු වච්ඡ නපුරු සිතක් නැතිවීම පෙර පුරුද්ද නිසා එසේ කථා කරන්නේය’ යි වදාළ සේක. තථාගතයන් වහන්සේ වාසනාවත් සමඟම ක්ලේශයන් දුරු කොට ඇති බැවින් උන්වහන්සේ කෙලෙසුන් කෙරෙන් ඉතා දුරව සිටන සේක. එය තථාගතයන් වහන්සේට ඇති ගුණ විශේෂයකි.

“තෙ චා’නෙන කිලෙසාරයෝ මග්ගේන හතාති අරීනං හතත්තා’ පි අරහං”

(විසුඬිමග්ග 146)

‘ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකෝත්තර මාර්ගයෙන් කෙලෙස් නැමති සතුරන් නසන ලද්දාහු ය. සතුරන් නසන ලද හෙයින් උන්වහන්සේ අරහං නම් වෙති’ය යනු එහි තේරුම ය. කෙළෙස්හු සත්වයන් නැවත නැවත සංසාරචක්‍රයෙහි යොදවමින් නැවත ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාස සංඛ්‍යාත දුඃඛයන් ඔවුනට ගෙන දෙන්නො ය. එබැවින් නපුරුම සතුරෝ ක්ලේශයෝ ය. තථාගතයන් වහන්සේ ලෝකෝත්තරමාර්ගඥාන නමැති කඩුවෙන් එක්දහස් පන්සියයක් වන සියලූ කෙලෙසුන් නසාලූ සේක. එබැවින් අරහං නම් වන සේක.

කෙලෙසුන් කෙරෙන් දුරුවීමය, කෙලෙසුන් නැසීමය යන මේ දෙක්හි වචනවලින් වෙනසක් ඇතත් අර්ථ වශයෙන් වෙනසක් නො පෙනේ. වචන වලින් වෙනසක් ඇතත් අර්ථ වශයෙන් වෙනසක් නො පෙනේ වචන වල සැටියෙන් දෙකරුණක් සේ කිය හැකි බැවින් අර්ථකථාචාර්යයන් විසින් කෙලෙසුන් කෙරෙන් ඉතා දුරුව සිටින බැවින් අරහං නම් වෙතිය යි ද, කෙලෙසුන් නැසූ හෙයින් අරහං නම් වෙති යි ද වර්ණනා කර තිබේ.

“යඤ්චෙතං අවිජ්ජා භවතණ්හාමය නාභි පුඤ්ඤාදි අභිසංකාරාරං ජරාමරණ නෙමි ආසව සමුදයෙන අක්ඛෙන විජ්ක්‍ධිත්වා තිභවරථෙ සමායෝජිතං අනාදිකාලප්පවත්තං සංසාරචක්කං තස්සානෙන බෝධිමණ්ඩෙ විරියපාදෙහි සීලපඨවියං පතිට්ඨාය සඬාහත්‍ථන කම්මක්ඛයඤාණ ථරසුං ගහෙත්වා සබ්බෙ අරා හතාති අරානං හතත්තාති’ පි අරහං.”

(විසුද්ධිමාර්ග)

අවිද්‍යා භවතෘෂ්ණා සංඛ්‍යාත නාභිය ඇති පුණ්‍යාදි අභිසංකාර සංඛ්‍යාත දැවි ඇති ආශ්‍රව සමුදය සංඛ්‍යාත අකුරෙන් අමුණා ත්‍රිභව සංඛ්‍යාත රථයෙහි යොදන ලද අනාදිකාලයක පටන් පවත්නා වු යම් සංසාර චක්‍රයක් වේද මේ සර්වඥයන් වහන්සේ විසින් බෝධි මණ්ඩලයෙහි වීර්‍ය්‍ය නැමති පාදයන්ගෙන් ශීල නැමති පෘථිවියෙහි සිට ශ්‍රඬා නමැති අතින් කර්මක්ෂයකරඥාන නමැති පොරව ගෙන ඒ සංසාරචක්‍රයාගේ සියලූ දැවි සිඳින ලද බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වන්නාහ’ යනු එහි තේරුමය.

‘අනාදිමත් කාලයක පටන් නො නැවතී පෙරළමින් එන සංසාරය නැමති රෝදයේ ගරාදි සියල්ල සිඳ දමා ඉදිරියට සංසාරප්‍රවෘත්තිය නැති කළ බැවින් සසර ගමන අවසන් කළ බැවින් තථාගතයන් වහන්සේ අරහං නම් වෙති’ යි යනු ඉහත දැක්වු පාඨයේ කෙටි අදහස ය.

සත්වයා උපදී, ඉපිද දිරයි, දිරා මැරෙයි, මැරී නැවතත් උපදී, නැවතත් දිරයි, නැවතත් මැරෙයි, නිවනට පැමිණෙන තෙක් එහි අවසානයක් නැත. එසේ ඉපදෙමින් දිරමින් මැරෙමින් ස්කන්ධයන්ගෙන් නො සිඳී පැවැත්ම සංසාර නම් වේ. සත්ත්වනාමය ව්‍යවහාර කරන්නේ රූප, වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන මේවාට ය. සත්වයාගේ නො සිඳී පැවැත්ම යි කියනුයේ ඒ රූපාදීන්ගේ නොසිඳි පැවැත්මය. ස්කන්ධ යනු රූපාදියට කියන නමෙකි. ඒ ස්කන්ධයන්ගේ නො සිඳි පැවැත්ම සංසාරය යි ද කියනු ලැබේ. ධර්මාණුකූලව කියතහොත් ස්කන්ධයන්ගේ නො සිඳි පැවැත්ම සංසාරය යි ද කිය යුතු ය. පසු කළ ජාතිය පසු කළ ජරාව පසු කළ මරණය නැවත නැවත පැමිණීම් වශයෙන් සංසාර පවත්නා බැවින් එය කැරකෙන රෝදයක් වැනි ය. එබැවින් සංසාරයට සංසාරචක්‍රය යි ද කියනු ලැබේ.

මේ සංසාරචක්‍රය පැහැදිලි කළ හැක්කේ ප්‍රතීත්‍ය සමුත්පාද දේශනය අනුව ය. පටිච්චසමුප්පාද යන නාමය ව්‍යවහාරය කරන්නේ ද මේ සංසාරචක්‍රයටම ය. අව්ජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියා එහි අංග දොළහක් ඇත්තේ ය. කරත්ත රෝදයක බොස්ගෙඩිය, ගරාදි, පට්ටම් කියා කොටස් තුනක් ඇත්තේ ය. අවිජ්ජා තණ්හා නැමති අංග දෙක සංසාරචක්‍රයේ මූල ධර්ම දෙක බැවින් ඒ දෙක සංසාරචක්‍රයේ බොස්ගෙඩිය ලෙස සලකණු ලැබේ. අවසානාංගය වන ජරා මරණ සංසාරචක්‍රයේ පට්ටම් ලෙස සලකනු ලැබේ. සංඛාරාදි අංග නවය ගරාදි ලෙස සලකනු ලැබේ. මහා බෝධිසත්වයන් වහන්සේ සුපරිශුද්ධ ශීලයෙන් යුක්තව චතුරංගසමන්වාගත වීර්‍ය්‍යය අධිෂ්ඨාන කර ගෙන තමන්වහන්සේගේ ප්‍රතිපත්තිමාර්‍ගය ගැනත් ඉන් ලැබෙන ඵලය වු ලොවුතුරා බුදුබව ගැනත් ස්ථීර විශ්වාසයක් ඇතිව භාවනාවෙහි යෙදී ‘කර්මක්ෂයකරඥානය’ යි කියනු ලබන අර්හත්මාර්‍ග ඥානය උපදවා සව්කෙලෙසුන් නසා ලොවුතුරා බුදු බවට පැමිණ වදාළ සේක. අර්හත්මාර්‍ගඥානය ඇති වන කල්හි එහි බලයෙන් සියළු කෙලෙස් සිඳෙයි. එයින් සංසාරචක්‍රය ද සිඳෙයි. අර්හන්මාර්‍ගඥානයෙන් සංසාර චක්‍රය සම්පුර්ණයෙන් සිදෙන නුමුත් අරහං යන වචනයට ගැළපෙන පරිදි සංසාරචක්‍රයාගේ අරහං (ගරාදි) සිඳින ලද බැවින් අරහං නම් වෙතැ යි කියන ලදී. අර්හත්මාර්‍ගඥාණයෙන් සංසාරචක්‍රය සිඳීම රහතුන්ට ද සාධාරණ ගුණයෙකි.

“අග්ගදක්ඛිණෙය්‍යත්තා ච චීවරාදිපච්චයෙ අරහති පූජාවිසෙසඤ්ච, තෙනෙව ච උප්පන්නේ තථාගතෙ යෙකෙචි මහෙසක්ඛා දෙවමනුස්සා න තෙ අඤ්ඤත්ථ පූජං කරොන්ති, තථා හි බ්‍රහ්මා සහම්පතී සිනෙරුමත්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි, යථාබලඤ්ච අඤ්ඤෙ දෙවා මනුස්සා ච බිමිබිසාර කොසලරාජාදයො, පරිනිබ්බුතමිපි ච භගවන්තං උද්දිස්ස ඡන්නවුතිකොටිධනං විස්සජ්ජෙත්වා අසොකමහාරාජා සකලජම්බුදීපෙ චතුරාසීති විහාරසහස්සානි පතිට්ඨාපෙසි, කො පන වාදො අඤ්ඤෙසං, පූජාවිසෙසානන්ති පච්චයාදිනං අරහත්තාපි අරහං.”

(විසුඬිමග්ග 148)

එහි තේරුම මෙසේ ය.

අග්‍රදක්ෂිණාර්හ වන බැවින් තථාගතයන් වහන්සේ චීවරාදි ප්‍රත්‍යන් හා විශේෂ පූජාවන් ද පිළිගැනීමට සුදුසු වන්නාහ. එබැවින් තථාගතයන් වහන්සේ උපන් කල්හි මහේශාඛ්‍ය දේව මනුෂ්‍යයෝ අන් තැනකට පුජා නො කෙරෙති. ඒ එසේමය, සහම්පතී බ්‍රහ්ම තෙමේ මහමෙර පමණ ඇති රුවන් දමකින් තථාගතයන් වහන්සේ පිදී. ශක්ති පමණින් සෙසු දෙවියෝ ද මිනිසුන්ද බිම්බිසාර කෝශලාදි රජහු ද තථාගතයන් වහන්සේ පිදූහ. අශෝක මහරජ තෙමේ පිරිනිවියාවු බුදුරදුන් උදෙසා ද සයානුකෙළක් ධනය වියදම් කොට දඹදිව සැමතැන සුවාසූ දහසක් විහාර පිහිටවී ය. අන්‍ය පූජා විශේෂයන් ගැන කියනු කිම? මෙසේ චීවරාදි ප්‍රත්‍යයන් පිළිගැනීමට - ලැබීමට සුදුසු බැවින් ද තථාගතයන් වහන්සේ අරහං නම් වෙති. මේ අර්ථය මෙහි මුල්ම විස්තර කර ඇත.

“යථා ච ලොකෙ කෙචි පණ්ඩිතමානිනො බාලා අසිලොකභයෙන රහො පාපං කරොන්ති, එවමෙස න කදාචි කරොතී ති පාපකරණෙ රහාභාවතො’ පි අරහං”

(විසුඬිමග්ග 148)

‘ලෝකයෙහි පණ්ඩිතමානී බාලයෝ අපකීර්තියට බියෙන් ප්‍රසිද්ධියේ පවු නොකොට රහසින් පව් කෙරෙති, තථාගතයන් වහන්සේ එසේ රහසින් ද පවු නො කරන සේක. ‘රහසින් පවු නො කෙරෙති’ ය යන අර්ථයෙන් තථාගතයන් වහන්සේ අරහං නම් වෙතියි’ යනු එහි අදහසයි. රහසින් වුව ද පවු නො කිරීම වු මේ ගුණය ද රහතුන්ට ද සාධාරණ ගූණයෙකි. රහත්හු ද රහසින් වුව ද පවු නො කරති. විශුඬිමග්ගයෙහි අරහං යන පදයේ අර්ථ පස මතක තබා ගැනීම පහසු වනු සඳහා මේ ගාථාව දක්වා ඇත්තේ ය.

ආරකත්තා හතත්තා ච - කිලෙසාරීන සො මුනි,

හතසංසාරචක්කාරෝ - පච්චයාදීන චා රහො,

න රහො කරොති පාපානි - අරහං තෙන වුච්චති.

තේරුම-:

ඒ භාග්‍යවතුන් වහන්සේ කෙළෙසුන් කෙරෙන් දුරු වු හෙයින් ද, කෙලෙස් සතුරන් නැසූ සෙයින් ද, සංසාරචක්‍රයාගේ ගරාදි සිඳ දැමු හෙයින් ද, සංසාරචක්‍රයාගේ ගරාදි සිඳ දැමු හෙයින් ද, චීවරාදි ප්‍රත්‍යන් පිළිගැනීමට සුදුසු හෙයින් ද, රහසින් වුව පව් නො කරන හෙයින් ද ‘අරහං’ යි කියනු ලැබෙත්.

විශුඬිමාර්‍ගටීකාවෙහි තවත් ආකාර සයකින් අරහං යන වචනයේ අර්ථ දක්වා තිබේ.

No comments:

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here