Breaking

Post Top Ad

Blog Archive

Friday, 13 September 2019

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරවූ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ






මේ ලිපිය ලියන්න කියලා මුලින්ම අදහසක් ආවේ දැනට ටිකක් කාලයකට කලින් . ඒත් ගීතය නම් අහන්න ලැබිලා ගොඩක් කල් වෙනවා . මේ ගීතය අහන්න ගත්තේ වැඩියෙන්ම සංගීත රසය නිසා . ඒත් පස්සේ කාලෙකදී තමයි ගීතයේ තේරුම මොකක්ද කියලා හිතට ගියේ . ඒ කාලේ ගීතයේ තේරුම ගැන වැඩියෙන් හිතුවේ ඉස්කෝලේ වයලීන් ප්ලේ කරන එක නතර කරන්න ලෑස්ති වෙලා හිටපු නිසා . ඒවගේම තමයි උසස්පෙළට සයන්ස් කරනවා කියලා දැනගත්තම බහුතරයක් කිව්වේ සයන්ස් කරන්නේ නැතුව ආර්ට් කරන්න කියලා . මොකද සංගීත විෂය පැත්තෙන් ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙන නිසා .

ඒත් මම සංගීත විෂය අතෑරලා සයන්ස් වලට ගියාම මේ ගීතය ඇත්තටම කොච්චර ප්‍රායෝගික කතාවක් කියනවද කියලා තේරුණා . මොකද 2010 දී ශාස්ත්‍රීය සංගීතය විෂයක් විදියට කරලා , කැම්පස් ගිහින් ඉගෙනගෙන තැනකට ඇවිත් ක්ෂේත්‍රයේ එලියට එනකොට 2017 වත් වෙනවා . ඒ කාලේ වෙනකොට අලුතෙන් ඇතිවුණු පරම්පරාවල රසවින්දනය ගොඩක් ම වෙනස් වෙලා . රසවින්දනය වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා ඉතින් මම අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැනේ .

ඒ නිසා අපේ රසවින්දනයයි ඒ කාලේ වෙනකොට බලාපොරොත්තුවෙන රසවින්දනයයි ගැළපෙන්නේ නැති නිසා බොහොම සීමා වෙච්ච පිරිසකට විතරක් වෙන් වෙලා කලාව ඉදිරියට කරගෙන යන්න වෙනවා . හම්බ කරන්න වුණත් අකමැති දෙයක් කරලා හම්බ කරනඑක හිත හදාගෙන කරන්න ලේසි වෙන්නේ නැති නිසා සංගීතය සහ වයලීන් වාදනය මටම විතරක් තියාගෙන සංගීතය විෂයට යම් තරමකින් සමු දුන්නා . 

ඉතින් මේ ගීතය සහ නිත්තවෙල ගුණයා ගුරුනාන්සේ හිතේ ගොඩක් කල් ඉඳලා තැම්පත් වෙලා තිබුණා . වයලීනි එක්ක දවසක් වයලීනිලගේ ගෙදර යනකොට කටුගස්තොට පැත්තට බස් එක ලඟා වුණා . මහනුවර මාතලේ පාරේ අතරමගින් නිත්තවෙල කියන ගමට හැරෙන්න බෝඩ් එකක් ගහලා තිබුණා . ඒක දැක්කම ඇත්තටම මතකයට ආවේ මේ නිත්තවෙල ගුණයා කියන නර්තන ශිල්පියාව . කොහොම වුණත් මම හිතුවේ නැහැ නිත්තවෙල කියන ගම මේවගේ යන එන ආසන්නයේ පිහිටලා තියෙයි කියලා . මොකද වාසගම් විදියට නුවර පැත්තේ තියෙන ගොඩක් නම් ටිකක් නාගරික පැත්තෙන් ඈත් වෙලා තියෙන නිසා .

ඊට පස්සේ ඉතින් බස් එකේ යන එන හැම වෙලාවේම නිත්තවෙල බෝඩ් එක දකිනකොට ගුණයා ගුරුන්නාන්සේ මතක් වෙනවා . අද 2019 වසරේ සබරගමුව මහ සමන් දේවාලයේ හතරවෙනි රන්දෝලි පෙරහැර දවස . මමයි වයලීනියි ඉස්සෙල්ලම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැරක් බලන්න ගියේ මේ වතාවේ . අපි දෙන්නා බලන්න ගියේ දෙවෙනි රන්දෝලි පෙරහැර . මේ පෙරහැරේ මමනම් බලන්න ගියේ ඇත්තටම අලි ඇත්තු ටික . හැබැයි වයලීනි ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් විදියට පෙරහැර බැලුවා .

උඩරට නැටුම් සබරගමු නැටුම් පහතරට නැටුම් ගැන අපි දෙන්නා පොඩියට වගේ ඒ ඒ අංග යනකොට කතා වුණා . මේ අතරේ ගියා පන්තේරු නැටුමක් . මේ නැටුම නටපු ශිල්පීන් මට හොඳට මතකයි ; මම දන්න කාලේ ඉඳලා පන්තේරු නැටුම නටනවා . ඒ නිසා හොඳ පළපුරුද්දක් සහ ශිල්පීය හැකියාවක් මේ ශිල්පීන්ගේ නර්තනයෙන් පෙනුනා . කොහොමහරි පෙරහැර බලලා ආවට පස්සේ තමයි කිරුළ මුතු ලිහී කියන ගීතය ආයෙත් හිතට ආවේ .

අපි බලමු නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේගේ කතාව කොහොමද කියලා . මෙතුමා ඉපදිලා තියෙන්නේ මහනුවර නිත්තවෙල කියන ගමේ 1905 වර්ෂයේ . එතුමාගේ නම " මුල්යද්දෙස්සලාගේ ගෙදර ගුණයා " එතුමා අධ්‍යාපනය ලබලා තියෙන්නේ මහනුවර වටපුළුව පාසලෙන් . පහ වසර දක්වා විතරයි එතුමා තමන්ගේ අධ්‍යාපනය හදාරලා තියෙන්නේ . මෙතුමා පැවත එන්නේ දඹදෙණි යුගයේ ඉඳලා පැවතගෙන ආව නැටුම් පරම්පරාවකින් . ඒවගේම තමයි එතුමාගේ පරම්පරාවේ ආදීතමයින් මහනුවර යුගයේ සටන් වලදී තමන්ගේ දායකත්වය දක්වලා තියෙනවා .

මෙතුමා තමන්ගේ මුල්ම නර්තනය නටලා තියෙන්නේ . 1924 වර්ෂයේදී මහනුවර නිත්තවෙල පුරාණ විහාරයේදී . මෙතුමාට වෙස් බැඳලා තියෙන්නේ නිත්තවෙල සුරඹා ගුරුන්නාන්සේ . ඒ මෙතුමාගේ ලොකු තාත්තා . තමන්ගේ තාත්තා තමන්ට වෙස් බැන්දේ නැත්තේ නැටුමෙන් නැතුව අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න කියලා උනන්දු කරපු නිසා කියලා එතුමා කියලා තියෙනවා .

සිළුමිණ පත්තරේ මේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ගැන ලියවුණු ලිපියක් මම මෙතනට උපුටා ගන්නවා . ඒ ලිපියේ එතුමා තමන්ගේ නර්තන කලාව වෙනුවෙන් කරපු සේවාව සාරාංශගත කරලා තියෙනවා .





කුමාරජිත් 2018 12 15 

ශ්‍රී ලාංකේය නර්තන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණ නාමයකි නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ. මුල්වරට මුළු යුරෝපය ම මවිත කළ සිංහල නැට්ටුවා ඔහු ය. ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව යන රටවල් සිය නර්තනයෙන් මවිත කළ මේ අසහාය නැටුම් ශිල්පියා අපේ සිංහල නැටුම යුරෝපීයන්ට හඳුන්වා දුන්නේ ය.

1950 වසරේ ගුණයා ගුරුන්නාන්සේ දළදා මාළිගාව පසුබිමක නර්තනයේ යෙදෙන ශත 04 ක වටිනාකමින් යුත් තැපැල් මුද්දරයක් නිකුත් කර ඇත්තේ මේ කලාකරුවාගෙන් අපේ රටට සිදු වූ සේවය අගය කරමිනි. මෙය අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වරට රජයක් සිංහල කලාකරුවකුට කළ ඉහළ ම උපහාරය ලෙස සැලකිය හැකිය. 1950 වසරේ නිදහස් දින උත්සවයේ දී විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ගුණයා ගුරුන්නාන්සේ ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ද වාර්තා වේ.

මහාචාර්ය තිස්ස කාරියවසම් හා මහාචාර්ය මුදියන්සේ දිසානායක විසින් රචිත “විශ්ව නර්තනයේ විශිෂ්ට චරිත” නම් කෘතියේ සඳහන් කර ඇත්තේ ගුණයා මහතාගේ රුව ගැන විවිධ අදහස්, මත තිබුණ ද Encyclopedia of Sri Lanka කෘතියේ සී. ඒ. ගුණවර්ධන මහතා කර ඇති සටහන අනුව ගුණයා මහතාගේ රුව සත්‍ය තොරතුරක් ලෙස පිළිගත හැකිය.

හුන්නස්ගිරි කඳු පාමුල දුම්බර මිටියාවතේ නිත්තවෙල ගම්මානයේ දී 1905 වසරේ උපත ලැබූ මුල්යද්දෙස්සලා ගෙදර ගුණයා මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර වටපුළුව පාසලෙනි. ඔහු ඉගෙන ගෙන ඇත්තේ 5 වන ප්‍රමාණය තෙක් පමණි. ඔහු පැවත එන්නේ හයවෙනි බුවනෙකබා රජුගේ යුගයේ සිටි උඩරට කීර්තිමත් නැටුම් පරම්පරාවකිනි. ඔහු ගේ මී මුත්තා වූයේ උඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ නිලමේ සටන් කළ නිත්තවෙල මහ පන්නික්කියා බව මාධ්‍යවේදී උලපනේ ගුණසේකර සඳහන් කර තිබුණි. ඔහු කියන ආකාරයට මහනුවර වටපුළුව පාසලේ දී නාථ දේවාලයේ තේවාවට හිමිකම් කියූ නිත්තවෙල පවුලේ අය මහනුවර දළදා පෙරහැරේ ද නැටුම් දැක්වූ බව ද එ් පරම්පරාවේ ගුණයා නම් දහතුන් හැවිරිදි දරුවා 1924 දී නිත්තවෙල පුරාණ විහාරයේ දී හා පුරා කියා නැටූ බව විස්තර කොට ඇත. කුඩා ගුණයාට පරපුරේ නැටුම් කලාව උරුම කරමින් වෙස් බැන්දේ තම පියා නොව ලොකු තාත්තා වූ නිත්වෙල සුරඹා ගුරුන්නාන්සේ විසිනි.

නැටුමට ද දස්කම් පෑ ගුණයා අසල්වැසි ළපටින් සමඟ නටන්නට පටන් ගත් විට දක්ෂ නැටුම් ශිල්පියකු වූ තාත්තාත්, අම්මාත් නිතර දරුවා අධෛර්යවත් කළහ.

“පුතේ උඹ අපි වගේ නට නටා ඉඳලා හරියන්නේ නැහැ. ඉස්කෝලේ ගිහින් අකුරු සෑස්තරේ ඉගෙන ගනින්”

තාත්තා ගේ වදේට පාසලට ගොස් ගෙදර පැමිණි විගස කුඹුරට ගොස් කුඹුරු වැඩවලට සහාය වී හවසට ගෙදර පැමිණ සම වය‍සේ සිටි නෑ සොහොයුරන් හා මිතුරන් සමඟ ගුණයා නැටුම් පුහුණු විය. 1915 දී කුඩා ගුණයා මහනුවර පෙරහරේ නටනු දුටු එකල කොළඹ සත්තුවත්තේ අධිපතිවරයාව සිටි ජෝන් හෝගන්බර්ග් මහතා මේ ගැටයා ගැන කොතරම් පැහැදුණා ද යත් ඔහුට ජර්මනියට යාමට ඉඩ ප්‍රස්තාව ලබා දී ඇත. ඒ ගුණයා ගේ ප්‍රථම විදේශ ගමන විය.

“නිත්තවෙල ගුණයා” යන නාමය ලෝකයේ නර්තන ලෝකයට ඇතුළත් වූයේ “තියටර් ඉන් ද ඊස්ට්” (පෙරදිග රඟහල) ලියූ ඇමරිකානු කලා විචාරක ෆෙබියන් බොවර්ස් සහ බෙරිල් ඩී. සූට් ගේ “ලංකාවේ නැටුම් හා යක් නැටුම්” යන ග්‍රන්ථවල ඒ ගැන තොරතුරු ඇතුළත් ව ඇත. මෙහි දීර්ඝ විචාරයක් ‘හොලිඩේ’ නම් ප්‍රකට සඟරාවට ඔවුන් ලියා තිබුණි. මේ සඟරාව පළ කර තිබුණේ විදේශ වලින් පැමිණෙන සංචාරකයන් හා ලංකාවේ නර්තන කලාව ගැන පර්යේෂණය කරන විද්‍යාර්ථින් මහනුවර දී මේ නැටුම් බැලීමට ඇමරිකන් ඩොලර් 10 ක් (1950 දසකයේ) අය කර ඇති බව ය. මේ අතර Observer හා Times of Ceylon වාර්ෂිකව සඟරාවල ගුණයා ගුරුන්නාන්සේ නම් විස්මිත නැට්ටුවා ගැන වර්ණ ඡායාරූප සමඟ අගනා විස්තර පළ කර තිබුණි. සෝමසිරි කස්තුරිආරච්චි විසින් අපට පරිත්‍යාග කරන ලද “1956 ලංකාදීප බුද්ධ ජයන්ති රසවාහිනි” සඟරාවේ ගුණයා කලාකරුවාගේ වර්ණ සමීප රූපයක් සහිත පින්තූරයක් පළ වී තිබුණි. මෙහි එ් ඡායාරූපය පළ වෙයි.

ලෝකයේ පෙර අපරදිග සිටින කල රසිකයන් මේ නැට්ටුවාගේ විස්කම් බැලීමට ඩොලර් 20 ක් වුවද දීමට සතුටු බව පත්‍රකලාවේදී සිරිපාල තිලකසේනයන් “රසවාහිනී” සඟරාවකට ලිපියක් ලියමින් සඳහන් කර තිබුණි. ඔහු මෙසේ ද සඳහන් කර තිබුණි.

“ගුණයා මහතා එදා ප්‍රසිද්ද වෙන්දේසියක විකුණනු ලැබුවොත් ඔහු මිල දී ගැනීමට ලෝකයේ පොහොසත් තරුණියන් බරට බර කිරා දෙනු ඇතැයි කිවහැකි තරමට ඔහු කෙරෙහි ලොකු ප්‍රසාදයක් තිබුණි. 1957 වසරේ රුසියාවේ පැවත්වුණු ලෝක නැටුම් තරුණ උලෙළේ නැටුම් උලෙළේ සිංහල නැටුම් ඉදිරිපත් කිරීමට ගිය ගුණයා මහතා වට කර ගත් රුසියන් තරුණියෝ ඒ මහතාගේ ඇඟ පිරිමදිමින් බව වයසින් මහලු වුවත් පෙනුම තරුණියයි කී හ. නැටුම් පිළිබඳ රුසියන් රන් පදක්කම දිනා ගැනීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. එහෙත් මේ පදක්කම දිනා ගැනීමෙන් නොනැවත්විණි. තම එකම පුත් ඇන්.ඇම්. සෝමදාස සහ ඔහුගේ දියණිය වූ ඇන්.ඇම්. අමරාවතිත් රන් පදක්කම් දිනා ගත්හ.”

ජර්මනියේ දී ගුණයා මහතාට සිදු වූ අපූරු සිදුවීමක් ද ලියුම්කරු විස්තර කර තිබුණි.

වර්ෂ 1955 ඔක්තෝබර් මස බර්ලින් සැණකෙළියේ නැටුම් කණ්ඩායම ගුවන් තොටුපොළින් බැස නවාතැනට ගිය ඇසිල්ලේ ම රූමත් තරුණ ජර්මන් කාන්තාවක් හති දමමින් දිවැවිත් මෙසේ අසා ඇත.

“මේ නැටුම් කණ්ඩායමේ ගුණයා කියා නැට්ටුවෙක් ඉන්නවාදැයි” එහි සිටියකුගෙන් ඇය විමසුවා ය.

“ඉන්නවා.”

“මට ඔහු වහා මුණ ගස්සන්න. එතුමාගෙන් නැටුම් ඉගෙන ගන්නා තුරු මට සැනසිල්ලක් නෑ.” ඇය කීවාලු.

මේ තරුණිය ප්‍රංසයේ නැටුම් හා රඟපෑම් ඉගෙනීමට එහි ගොස් සිටි මුද්‍රා නිළියකි. පැරිසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවල යෙදී සිටි ලංකාවේ උගත් භික්ෂූන් වහන්සේ නමක් වූ ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගෙන් ඇය ගුණයා මහතා ගැන අසා දැන සිටියා ය. නැටුම් කණ්ඩායම ජර්මනියේ රොටර්ඩෑම් නගරයට පැමිණි බව ඇසූ ඇය තම පියා සමඟ ඇම්ස්ට්‍රඩෑම් නගරයේ සිට මෝටර් රථය පදවාගෙන රෝටර් ඩෑම් නගරයට පැමිණ ඇත්තේ හී සැරයක වේගයෙනි. ඇමස්ටර්ඩ් නගරයේ සිට රොටර්ඩෑම් නගරයට දුර සැතපුම් 100ක් ගෙවා ගුණයා මහතා ආ ගිය සෑම තැනකට ම පැමිණි ඇය ඔහු ආපසු ලංකාවට යනතුරුම නැටුම් ඉගෙන ගෙන ගත්තාය.

1949 වසරේ ගුණයා මහතා බලා ගියේ සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා ලක්දිවට වැඩවීම පිළිබඳ උත්සවයට සහභාගි වීම සඳහා ය. එහි ගිය ගුණයා ප්‍රමුඛ නැටුම් කණ්ඩායම උදය ශංකර්, රාම් ගෝපාල් වැනි භාරතීය නර්තන විශාරදයන් පැසසුමට ලක් වූ බව ඉන්දියාවේ පළ වූ “ස්ටේට්ස්මන්” පුවත්පතේ කලා විචාරකයා සඳහන් කර තිබූ බව “සිළුමිණ” පුවත්පතේ එදා චිත්‍ර ශිල්පියකුව සිටි ඇස්.ආර්. හේමපාලයන් පවසා තිබිණි. එහි වැඩි දුරටත් මෙසේ සඳහන් වී තිබිණි.

“ආදී කල්පිත නැටුම් කලාවක් රැගෙන දැනට දිල්ලියට පැමිණ සිටින ලංකාවේ නිත්තවෙල ගුණයා මහතා තමන් ප්‍රගුණ කළ කලාවේ නිපුණත්වයට පත් වූවෙකි. ඔහු ගේ නැටුම් කොතරම් සියුම් ද යත් ඒවා රුසියාවේ මුද්‍රා නැටුම්වලට සම කළ හැකිය. ආදී කල්පිත යුගයේ වෙනත් රටවල මිනිසුන් සතුන් සමඟ වනචාරී ව හැසිරෙන අවදියේ පවා සිංහලයන් සතු මහඟු කලා සම්ප්‍රදායක් පැවති බව මේ නැටුම් බලා නියාමනය කළ හැකිය. භාරත නැට්ටුවන්ට ලංකාවේ සිංහල නැටුම් වලින් ගත හැකි පාඩම් බොහෝ වෙයි. දිල්ලියේ පමණක් නොව ඉන්දියාවේ සෑම නගරයක ම ගුණයා ප්‍රධාන නැටුම් කණ්ඩායම පිළිගත්තේ ලංකාවේ තානාපති පිරිසක් පිළිගන්නවාටත් වඩා ගෞරවාදරයෙන් යුතුව ය.”

බෙරිල් ඩී. සූට ඉන්දියාවේ හා බාලි දූපත්වල ගැමි ශාන්ති කර්ම හා නර්තනය පිළිබඳ පර්යේෂණ කළ අතර 1935 වසරේ ලංකාවට එන්නේ ආචාර්ය ගුණපාල මලලසේකර ගේ අමුත්තියක ලෙස බව මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් ලියන ලද “ශ්‍රී ලාංකික නර්තනයේ විකාශනය (1908 - 1978)” කෘතියේ සඳහන් කරයි. බෙරිල් ඩී. සූට් (විවාහයෙන් පසු සෙලින් කෝට්) තම ලංකා ගමනේ දී ගුණයා ගුරුන්නාන්සේගෙන් ඉගෙන ගත් කාලයේ දී ලැබූ අත්දැකීම් දින පොතේ ලියා තිබුණා ය.



1935 දෙසැම්බර් 06

ගුණයා ගේ වන්නම් කිහිපයක් නැටුවේ ය. සිංහ, අශ්ව හා නෛඅඩි නැටුම් සුන්දර ය. කිරළා වන්නම ද ලස්සනය. මේවා අනුකරණාත්මක නොවන අවස්ථා තිබේ. මුසලඩි, ඉබ්බා හා වඳුරා එවැනි අවස්ථා ය. ගුණයා ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන මට නම් සැකයක් නැත.

1935 දෙසැම්බර් 20

මලලසේකරගේ නිවසෙහි රාත්‍රී කෑම ය. ගුණයාගේ කණ්ඩායමට විරුද්ධ ව ගම්මුලාදෑනියා සටන් කරති. හේතුව ඔවුන් ගම හැර කොළඹ යෑම ය.



නිත්තවෙල ගුණයාගෙන් උඩරට නැටුම් හදාරන්නට රොක් ෆෙලර් ආයතනයේ වියදමින් 1950 අප්‍රේල් මාසයේ ලංකාවට පැමිණි රාගනි දේවි නම් ඇමරිකානු නිළිය මෙරට මාස තුනක් ගත කොට ඇති බවද ඉහත කී කෘතියේ සඳහන් වෙයි.

ගුණයා ගුරුන්නාන්සේගේ දස්කම් අපේ රටට ම මෙන් ම මුළු ලෝකයටම හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ මහා පත්‍ර කලාවේදී ඩී.බී. ධනපාල මහතාට ය. ධනපාල මහතා විසින් 1962 ලියන ලද Among Those Present කෘතියෙන් ගුණයාට විශේෂ තැනක් ලැබුණි. ධර්මපාල තුමා; කුමාරස්වාමි; ඩී.ඇස්; ඩඩ්ලි; කොතලාවල; බණ්ඩාරනායක; ඔලිවර් පිලිප්; සිරිමාවෝ; පරණවිතාන; කුලරත්න; මෙත්තානන්ද; ආටිගල; සරච්චන්ද්‍ර; යක්කඩුවේ හිමි; හුළුගල්ල අතර සිටි මේ මහැඟි කෘතියේ කලාකරුවන් සිටියේ සොයිලියස් මැන්දිස් හා ගුණයා පමණකි. Among Those Present කෘතියේ ගුණයා මහතා ගැන ධනපාලයන් විසිතුරු ඉංග්‍රීසි බසින් සටහන් කර තිබිණි.

“කිසිදු සිනමා තරුවක් හෝ දේශපාලඥයෙක් වෙස් තට්ටුවෙන් සැරසී සිටින ගුණයා ගුරුන්නාන්සේ පමණට සේයාරූවලට නැංවී නො මැත. ඔහු ගේ සේයා රූ සතර දිග් භාගයේ නර්තන ශාස්ත්‍රය පිළිබඳ සඟරාවල සහ ජනප්‍රිය සතිපතා පුවත්පත්වල පළ වී ඇත. ඔහුගේ නර්තන ශෛලියෙහි ජීව ගුණය, අනුප්‍රාණය අවශේෂ නර්තනවේදින් සමඟ සමාන්තර නොවන තුලනය කළ නොහැක්කකි. නර්තනය ඔහුගේ ජීවිතය වැන්න. ඔහු නර්තනයෙහි නියැළෙන විට තම සිරුරේ සියලුම මාංශ පේශීන් නර්තනයේ යෙදෙන්නේ උදය ශංකර් නම් වූ ශ්‍රේෂ්ඨ නර්තනවේදියා අපට සිහි ගන්වමිනි.

“ඔහු විස්මිත නර්තනය නිමාවට පත්වත් ම සහෘදය ඔබ නැවතත් පය ගසා සිටින ලොවට ම පැමිණෙනුයේ සුසුමක් සමඟ හෝ සිගරැට්ටුවක් දල්වා ගැනීමෙන් විය හැකිය. එය ඔහු අයස්කාන්ත නර්තන සළු පිළි උනා දමා සාමාන්‍ය මනුෂ්‍යයකු බවට පත්වීම සදිසි ය. එනම් ඔබ නැවතත් සුපුරුදු අලස විදිහට එළඹෙන අතර ඔහු ‘ගුණයා’ නම් සරල මිනිසා බවට පත් වේ.”

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න 1971 පෙබරවාරි 16 වැනිදා ‘සරසවිය’ පුවත්පතට ගුණයා ගුරුන්නාන්සේ හමු වීමට ගොස් අපුරු විශේෂාංගයක් ලියා තිබුණි. එහිදී ඔහුට ගුණයා මහතා තමාට ලැබුණු රුසියාවෙන් ලැබූ රන් පදක්කම ගැන සඳහන් කරමින් මෙසේ කියා ඇත;

“වෙන රටක් ඔය රන් පදක්කම ගත්තා නම් මහත්තයෝ ඒ මිනිහට පෙරහර කරයි. මට එහෙම ඕනෑ නෑ. ඒ සම්මානෙ ලැබුණේ අපේ නැටුම නිසා උඩරට නැටුමට වත් ඕන සැලකිලි ටික නොකරන එකයි මට දුක. දළදා පෙරහැරට නැටූ නැට්ටුවකුට කවදාවත් වැරදිලා නෑ. මට ඒක ලෝකෙ වටේ යනවට වඩා අගෙයි.”

තමාගෙන් නැටුම් ඉගෙන ගත් සිසුන් අතර අන්තර්ජාතිකයන් බොහෝ වෙතැයි ගුණයා පවසා ඇති අතර ලංකාවේදී තම ශිෂ්‍යයන් අතර හීන් බබා ධර්මසිරි හා චන්ද්‍රලේඛා ගැන ආඩම්බර වී ඇත. 1958 ඉන්දියාවේ ෆිල්ම් ෆෙයාර් චිත්‍රපට සම්මාන උලෙළේ නැටූ බව ද ඔහුගේ නර්තන සහිත ඡායාරූප එම සඟරාවේ පළ වී ඇති බවත් රාම් ගෝපාල් විසින් ලියූ “ශාස්ත්‍රීය නැටුම් හා ඉන්දිය ආභරණ” ග්‍රන්ථයේද ගුණයා ගැන විශේෂ පරිච්ඡේදයක් ඇති බව ද චන්ද්‍රසිරි සෙනෙවිරත්නයන් සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් නර්තනය කලා සම්ප්‍රදායකි. ගුණයාගේ විශිෂ්ටත්වය වනුයේ ඔහු අන්‍යන්‍යතාවෙන් හෙබි සිතට කාවදින නර්තන ශෛලියක් ඔස්සේ ජව සම්පන්න පෞරුෂයකින් හා ස්වතන්ත්‍ර භාවයකින් එහි ප්‍රබල මුද්‍රාවක් බවට පත්වීමය.”

මහා පත්‍ර කලා ගුරු ඩී.බී. ධනපාල මහතා 1936 දී නුවර පෙරහරේ නැටුම් දැක්වූ ගුණයා තමා පදිංචිව සිටි දෙහිවල නි‌ෙවසට කැඳවා එහි නතර කොට බම්බලපිටියේ නැටුම් ආයතනයක් ආරම්භ කිරීමට පදනම දමා ඇත. උඩරට නැටුමේ සාම්ප්‍රදායික අංග ඇසුරෙන් ගුණයා විසින් ම නිර්මාණය කළ සමනල වන්නම හා මහබෝ වන්නම ගැන ලොවට හඳුන්වා දුන්නේ ද ධනපාලයන් ඉංග්‍රීසි පත්‍රවලට එදා ලියූ විශේෂාංගවලිනි. ගුණයා විසින් සමනල වන්නම හා මහ බෝ වන්නම නැටුම් නිර්මාණය කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ ශූරින්ගේ එකී වන්නම්වල ගීත රචනා ඇසුරෙනි. මානවසිංහයන් හමුවීමට ගුණයාට අවස්ථාව උදා කර දුන්නේ ද ධනපාලයන් නිසා බව පැවසේ.

‍‍”සිංහල විශ්ව කෝෂයේ” (නවවැනි කාණ්ඩය) කියා ඇත්තේ “කොහොඹ කන්කාරිය” පැරැණි ශ්‍රී විභුතියෙන් යුක්ත ව පැවැත්වීමේ හැකියාවක් නිත්තවෙල කලාපරපුරට හිමිව තිබූ බව ය. ගුණයාගේ නැටුම් නැරඹූ මුල්ක් රාජ් ආනන්ද් නම් මහා භාරතීය ලේඛකයා ද ඔහුට උපදෙස් දෙමින් තමන් උගත් උඩරට නැටුම් වඩ වඩා දියුණු කර ගන්නවා මිස ඉන්දියාවේ වේවා අනෙක් කවර රටෙක වේවා නැටුම් සමඟ මිශ්‍ර කර නො ගත යුතු බව ය.

ලංකාදීප පත්‍රයෙන් “කලා ගුරු” උපහාර නාමය ඔහුට පිරිනැමුණේ 1958 නිදහස් දිනය නිමිත්තෙනි. 1957 ලෝකයේ රටවල් හතළිස් හයක් පරාජය කරමින් රුසියාවේදී හිමිකර ගත් රන් පදක්කම දිනා ලංකාවට එන අතරේ කොළඹ වරායේ දී ඔහුගේ ආභරණ පෙට්ටිය හොරුන් විසින් කැඩීම නිසා සම්මානනීය රන් පදක්කම ද අහිමි වූ බවට එවකට පැතිර ගිය ආරංචියක් බව “දවස” පුවත්පතේ ලේඛක උලපනේ ගුණසේකර වාර්තා කොට තිබුණි.

ගුණයා මහතාගේ ජීවිතයට අභාග්‍ය සම්පන්න කාලය උදා වූයේ ඔහුගේ බිරිය සොඳිනා මිය ගිය නිසාය; ඒ 1975 වසරේ ය. ‘සොඳිනා’ ගැන කතා කරන හැම මොහොතක ම ඔහු කුඩා දරුවකු මෙන් ඉකි බිඳිමින් ඇඬූ වාර අනන්ත ය; අප්‍රමාණ ය.

“මම දළදා පෙරහරට පණ වගෙ ආදරෙයි. මට මේ අවුරුද්දේ විතරයි පෙරහරේ නටන්න බැරි වුණේ. සොඳිනාගෙ අවමංගල්ලෙ හින්දා. ඊටත් වඩා මේ ඇහැ පේන්නෙම නැහැ. ලොකු දොස්තර මහත්තයා පොරොන්දු වෙලා තියෙනවා ඇහැක් දාල දෙනවා කියලා.” ගුණයා මහතා සිළුමිණ චිත්‍ර ශිල්පී හේමපාලට කියූ කතාව 1975 ‘සිළුමිණ’ ට ලියා තිබුණි.

“ගුණයා කොතන නැටුවත් දෝත පාලා යමක් ඉල්ලන්න එපා. තත්ත්වෙ ආරක්ෂා කර ගනින්”

රත්වත්තේ මහා අධිකාරම් ඔහුට දුන් අවවාදය ගුණයා මහතා අකුරට පිළිපැද්දේ “අද වනතුරු මම කාටවත් අතපාලා යමක් ඉල්ලා ගෙන නැතැයි” උදාරම් ලීලාවෙන්, ලියුම්කරුට කියා ඇත.

ගුණයාගේ අවසාන කාල පරිච්ඡේදයේ ඔහු ගොවියකු ලෙසින් ම ජීවත් වී ඇත. නැටුම් කලාවෙන් විශ්‍රාම ගත් හෙතෙම ගොවිතැනින් ජීවිතය ගැටගසා‍ ගෙන තිබේ. ඔහුගේ අනූපමය සේවය අගය කොට 1975 එවකට රජය විසින් ජනාධිපති සම්මානය පිරිනැමුවේය. 1975 සැප්තැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් ගාල්ලේ නගර සභා‍වේ දී ශ්‍රී ලංකා ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් “ජනාධිපති සම්මානය” හා රුපියල් පන්දාහක මුදල් ත්‍යාගය ද පිරිනමා ඇති බව පුවත්පත් වාර්තා කර තිබුණි. එක් පත්‍රයක වාර්තා කර තිබුණේ ජනාධිපති සම්මානය 1973 දී කොළඹ නව රඟහ‍ෙල් පැවති උත්සවයක දී බව ය. එදා ලැබුණු එම ජනාධිපති සම්මානයෙන් උඩඟු නොවී, වෙනත් කලාකරුවන් අනුගමනය නොකරමින් ඔහු එදා සවස පැවති වැස්සේ ම බස් රථයකට නැඟීම පිණිස තෙමි තෙමී ගමන් කළ බව ය.

1975 වසරේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් ගුණයා කලාකරුවා වෙනුවෙන් අරමුදලක් පිහිටුවා ඇත. මේ අරමුදල මඟින් රුපියල් 80,000 ක් ඔහුට ලබා දීමෙන් ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තියට ප්‍රණාම පිදූ බව ‘දවස’ මාධ්‍යවේදි සිරිසෝම හෙට්ටිආරච්චි ලියා තිබූ අතර ගුණයා නම් මේ ශ්‍රේෂ්ඨ කලාකරුවා භූමිතෙල් කුප්පියක් පෙරළීමෙන් ඇඳිවතට ගිනි ඇවිළීමෙන් මිය ගිය පුවත ද වාර්තා කොට තිබුණි. ඔහු මිය ගියේ 1979 දෙසැම්බර් 23 වැනිදා ය.




අපි දැන් එමු කිරුළ මුතු ලිහී ගීතයේ තේරුම කොහොමද කියලා බලන්න .


කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි


ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ







කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

මෙතන කිරුළ කියලා කියන්නේ උඩරට නැටුම් ශිල්පියාගේ හිස පළඳන කොටසට . me කොටසේ තියෙනවා නටනකොට සෙලවෙන පෙති වගේ කොටස් . ඒවගේම තමයි me ඇඳුමේ තියෙනවා මුතු ඇට සැරසිලි කරලා . නර්තන ශිලිපියාගේ නර්තන කලාවේ අවසානය ආසන්න වෙනකොට කිරුළේ මුතු ඇට ගැලවෙනවා වගේ ඇස්වලින් කඳුළු එන තරමට ජීවිතය දුක්බර වෙනවා .
සුළු මැදුම් දෙතිත කියලා කියන්නේ නර්තන කලාවේ තියෙන තාල බෙදීමේ එක් කාණ්ඩයක් . සුළු තනි තිත , මැදුම් තනි තිත , මහ තනි තිත . ඒ කියන්නේ මාත්‍රා 2 , 3 , 4 ගානේ ගණන් කරන ආකාර වලට . මාත්‍රා 2 /3 / 2 / 3 තියෙන ආකාරයට තමයි සුළු මැදුම් දෙතිත කියලා කියන්නේ . ඒ කියන්නේ තනි තිත් දෙකක් එකතුවෙලා දෙතිතක් හැදෙනවා කියන ඒකට . තවත් සරලව කියනවා නම් මාත්‍රා දෙකේ තනි තිත සහ මාත්‍රා තුනේ තනි තිත එකතු වෙලා සුළු මැදුම් දෙතිත ඇතිවෙනවා .
වයස නිසා මේ ශිල්පියාට තමන්ගේ නර්තනයේ තියෙන තාලය අනුව නටන්න නොහැකි වෙනවා . ඒ කියන්නේ තාලය පැටලෙනවා . ගිගිරි කියලා කියන්නේ නටනකොට කකුල් වලට දාන ආභරණයක් . මේ ආභරණයේ නියම හඬ එන්න නම් කකුල හොඳ ජවයක් ඇතුව නියම තාලයට බිම තියන්න ඕන . ඒත් වයස නිසා කකුල් දුර්වල වෙලා . ඒ නිසා ශිල්පියාට ගිගිරි සෙලවෙන්න පාදය තියන්න බැහැ . ඒ කියන්නේ ඇවිදින්නෙත් අමාරුවෙන් . ගිගිරි වැළපෙනවා කියලා රචකයා කියන්නේ me ගිගිරිවල නියම සද්දය උත්පාදනය වෙන්නේ නැති එකට . වක්‍රාකාරව ශිල්පියාගේ දුර්වල බව මේකෙන් කියවෙනවා .
ඒ නිසා සම්පූර්ණයෙන්ම බලනකොට පේන්නේ මේ ශිල්පියා නටනවා නෙවෙයි , ශිල්පියාගේ පාද වෙව්ලනවා වගේ තත්වයක් . ඒ නිසා ගීතයේ ස්ථායි කොටසෙන් කියවෙන්නේ ශිල්පියාගේ වයස නිසා දුර්වල වීම හේතුවෙන් ශිල්පියාගේ කලා ජීවිතය අභාවයට යන බවක් .


දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි


දිළිසෙනා සේම කරළිය දිලෙන්නේ නැති . ඒ කියන්නේ නර්තන ශිල්පියෙකුගේ පසුබිම වගේ එතුමාගේ ජීවිතය අලංකාරවත් වෙන්නේ නැහැ කියලා . ඒවගේ ආභරණ සැරසිලි නටන වෙලාවේ විතරක් තිබුණට me ශිල්පීන්ට තමන්ගේ ජීවිතයේ ඒවගේ අලංකාර කරගන්න අමාරුයි . මොකද ඒ කාලේ ඒවගේ අයගේ ආදායම ඉතාම අඩු නිසා . කොච්චර රටේ නම් දරාපු කෙනෙක් වුණත් අවසානයේ වෙන්නේ මේ තත්වයම තමයි . මොකද කලාවම ජීවිතය කරගත්තම මුදල් හදල් උපයා ගැනීම ඔවුන්ට මගහැරෙනවා . ඒ නිසා තමයි කියන්නේ ලක්ෂ්මී ඉස්සරහා දොරෙන් එනකොට සරස්වතී පෑළ දොරෙන් පැනලා දුවනවා කියලා .
උඩරට නැටුම්වල සාමාන්‍යයෙන් වන්නම් තානම් අඩවූ කස්තිරම් වගේ විවිධ කොටස් තියෙනවා . මේවා තමයි නර්තනයේ තියෙන අලංකාර කොටස් . මේවා වගේ ශිල්පියාගේ ජීවිතයත් ගායනාවක් වගේ ලස්සනට ගලාගෙන යාමක් වෙන්නේ නැහැ .
හනුමා වන්නමේ කියවෙනවා ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා පුබුදමින් අරුණකල මා ගොර කියලා . ඒත් නර්තන ශිලිපියෙක්ට මේ වන්නම කොච්චර හොඳට නැටුවත් , තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේ මේ නැටුම නටන්න වෙන්නේ නැහැ . ඒ කියන්නේ කන්දෙන් කන්දට පැන පැන ජීවිතේ ඉහළම තැනක ඉන්න ලැබෙන්නේ නැහැ . කන්දක් වගේම පල්ලමක් තියෙනවා . ආයෙත් කන්දක් නැගලා තමයි මුදුනකට යන්න වෙන්නේ . ඒ නිසා ජීවිතය ඉතාම දුෂ්කරයි .


රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි


ගීතයේ දෙවෙනි අන්තරා කොටසේ කියවෙන්නේ නර්තන ශිල්පියෙක්ට අවසානයේ ආර්ථික වශයෙන් මොකද වෙන්නේ කියලා . රඟ මෙන් බහිනවිට ගෙයි සන්තකව ඇති . නළල් පට මාල හත්පට සින්න වී ඇති . රඟ බිමෙන් බහිනවිට කියලා කියන්නේ තරුණ කාලේ නර්තනය හොඳින් කරලා වියපත් වෙනකොට නර්තනය අවසන් කරලා ජීවිතය ඇදගෙන යන්න කිසිවක් ඉතුරුවෙලා නැහැ කියලා . ඒ නිසා තමන්ගේ නර්තන ආභරණ සහ වෙස් තට්ටුවේ කොටස් පවා උකස් කරලා මුදල් හොයාගෙන ජීවත් වෙන්න වෙනවා . සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි . ඒ නිසා රචකයා අවසානයේ එක පේළියකින් කළා කරුවෙක්ගේ ජීවිතය සාරාංශගත කරනවා . ඒ තමයි මුදල් උපයන්න නම් කලාව විතරක් මදි කියලා .

ගීතයේ තේරුම බැලුවාම ඉතාම ප්‍රායෝගික තේරුමක් තියෙන්නේ . මේ ගීතය ලියන්න පාදක වුණු අවස්තාව ගැන රත්න ශ්‍රී මහත්මයා එක් අවස්තාවක දී විස්තර කරනවා .

දවසක් කොළඹ තිබුණා උපහාර උත්සවයක් . මේ උපහාර උත්සවය සංවිධානය කරලා තිබුණේ ඒ වෙනකොට ජීවිත්වුණු ඉතාමත් වියපත් නර්තන ශිල්පියෙක්ට උපහාර දක්වන්න . මේ උපහාර උළෙලට උපහාර ගීතය රචනා කරලා තියෙන්නේ රත්නශ්‍රී මහත්මයා . ඉතින් ඔන්න උපහාර උළෙල තියලා මේ නර්තන ශිල්පියාට අඩි හතරක් පහක් උස සම්මානයක් දීලා තියෙනවා . උත්සවය අවසන් වුණා .

ඊට පස්සේ ආරාධිත අමුත්තන් සියල්ලම ගියාට පස්සේ රත්නශ්‍රී මහත්මයා දකිනවා මේ නර්තන ශිල්පියා තමන්ට ලැබුණු අඩි ගානක් උස සම්මානයත් කිහිල්ලේ ගන්වාගෙන වැස්සේ තෙමි තෙමී බස් එකක් එනකල් බලාගෙන ඉන්නවා . මෙන්න මේ අවස්තාව තමයි මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ . ගීතයේ කියවෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි . නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ ගැන . ගීතයේ තේරුම මම උපුටාගත් සිළුමිණ පත්තරේ ගිය ලිපිය එක්ක ගළපලා බලන්න . එතුමාට වුණෙත් මේ ගීතය තුල තියෙන අදහසම නේද කියලා .

මේ ගීතයේ සංගීතය නැටුමක් වගේම ඉතාම සංයමයක් ඇතුව නිර්මාණය කරලා තියෙනවා . එච් එම් ජයවර්ධන මහත්මයා තමන්ගේ හැකියාවන්වල තියෙන උපරිම ම දායකත්වය මේ ගීතයට ලබා දීලා තියෙනවා .




ගීතයේ ආරම්භක වාදන කොටස ගැන අපි අවධානය දෙමු . තේමා වාදනය ආරම්භ වෙන්නේ සිතාර් එකක් සහ ගිටාර් එකකින් වාදනය වෙන වාදන කොටසකින් . මේ වාදනයේ සංගීතවත් බව වැඩියෙන්ම ඇඟට දැනෙන්නේ ගීතය පුරාවටම වාදනය කෙරෙන ඒවගේම මේ තේමා වාදන කොටසේත් වාදනය කෙරෙන බේස් ගිටාර් වාදනයෙන් . ඊට පස්සේ වාදනය වෙනවා හොරනෑවක් වගේ හඬක් තියෙන වාදන භාණ්ඩයක් . ඕබෝ එකක හඬක් වගේ තමයි මට ඇහෙන්නේ . ඒ එක්කම බටනලාවකුත් ඒ වාදන කොටසම වාදනය කෙරෙනවා .

ගීතයේ තාලය වාදනය කෙරෙන්නේ තබ්ලාවකින් සහ උඩක්කියක් ආධාරයෙන් . ඊට අමතරව හයිහැට් එකකුත් වාදනය කෙරෙනවා . රබානක හඬක් ඇතිවෙන්නේ තබලාවේ බාර් එක ; ඒ කියන්නේ ලොකු කොටසට රබානකට තට්ටු කරනවා වගේ තට්ටු කිරීමෙන් .

ගීතයේ වඩාත් පැහැදිලි ගිටාර් වාදනයක් යනවා ගීතයේ ඇතුළෙන් . ඒ වාදනය නිසා ගීතයේ හැඟුම්බර කොටස් වැඩියෙන් ශ්‍රාවකයාගේ ඇඟට දැනෙනවා . මම මේ ගීතයේ වඩාත් කැමතිම කොටස් වෙන්නේ නටනවා නොවෙයි වැහැරුණු , සකියෙනි රිදී කාසි සොලවන්නට , කියන කොටස් . ඒවගේම තමයි ගීතයේ තේමා වාදනයේ තියෙන හොරනෑ හඬ ටත් මම වැඩියෙන්ම කැමැත්තක් දක්වනවා . මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවලා රෑ වෙලාවක සද්ද බද්ද නැති වුණාම හෙඩ් සෙට් එකක් ආධාර කරගෙන මේ ගීතය අහන්න . වෙනදාට වඩා වැඩියෙන් මේ ගීතය ඇඟට දැනෙයි .

තවත් ලිපියකින් හමුවෙමු !

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!


No comments:

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here