Breaking

Post Top Ad

Blog Archive

Friday, 26 July 2019

සියක් දහසක් ඇවිත් යන්නැති සොඳුරියේ අප දෙස බලා - කසුන් කල්හාර






සරළවම කියනවානම් වෙඩින් එක නිසා අලුත්වෙච්ච පරණ යාළුකමක් නිසා අහන්න ලැබුණු ගීතයක් ගැන තමයි අද ලිපියෙන් ලියන්න යන්නේ . අපේ ඉස්කෝලේ අපි යන කාලෙත් අපිට පහළ පංතිවල ඉගෙනගත්ත මල්ලි කෙනෙක් තමයි සමිත් රවිශාන් කියන්නේ . පොඩි කාලේ ඉඳලම මියුසික් ගැන වෙනස්ම විදියේ අමාරුවක් තියෙනවා කියලා අපිට දැනුනා . මොකද පරණ නිර්මාණ වුණත් අලුත් කරලා ගන්න වැඩ එහෙම මිනිහා කරන නිසා . ඔහොම කාලයක් යනකොට අපි ඉස්කෝලෙන් අවුට් වෙලා සමිත් මල්ලිලා ඉස්කෝලේ සංගීත අංශයේ ඉහළ තැන්වලට ආවා . මේ සංගීත වැඩ කටයුතු නිසා අපේ තියෙන දැන හැඳුනුම්කම් ඉස්කෝලෙන් අවුට් වෙලත් තවම තියෙනවා .

දවසක් සමිත් මට කතා කරා ආයෙත් වයලීන් ප්ලේ කරමු , කීර්ති පැස්කුවෙල් මහත්මයාගේ සිංදුවක් කරන්න තියෙනවා අලුතෙන් , ඒකට වයලීන් ප්ලේ කරමු කියලා . බැරිය වෙණ ගායනා පෙරසේ කියලා හිත හිත හිටියත් ඔන්නොහෙ වයලීන් පාට්ස් ටික ප්ලේ කරනවා කියලා හිතලා වැඩි විස්තර අහලා වැඩේට යන්න දවසක් වේලාවක් සෙට් කරගත්තා . ගායකයාගේ හැටියට කොහොමත් වැඩේට කැමැත්තක් ඇතිවුණා . සමිත්ට තියෙනවා ස්ටූඩියෝ එකක් . ඒකෙ තමයි මියුසික් ට්‍රැක් එකේ රෙකෝඩින්ග්ස් කරේ .

එදා කොහොමහරි රේකොඩින්ග්ස් ඉවරවෙලා කතා කර කර ඉන්නකොට මම ඇහුවා " උඹ දැන් ඔය සිංදුවල තේරුම් එහෙම දන්නවද ? " කියලා . පස්සේ ඒ දක්වා සමිත් දායක වෙච්ච ගීත කීපයක තේරුම් ගැන අපි කතා වුණා . ඒ අතරේ ඉස්කෝලේ සහ ඉස්කෝලේ අපිත් එක්ක හිටපු අයගේ රසවත් කතාත් කියවුණා . කොහොමහරි මම එන්න ලැස්ති වෙනකොට සමිත් කිව්වා " අයියේ මගේ වැඩක් තියෙනවා . සිංදුවක් කියන්න හිතාගෙන ඉන්නේ , ඒකෙ වයලීන් පාට්ස් ටික ගහලා දීලා යන්න බැරිද " කියලා . මමත් ඊට පස්සේ " හා එහෙනම් ප්ලේ කරපං එකපාරක් පාට්ස් මොනවද බලන්න " කියලා ස්ටූඩියෝ එකේ පැත්තකින් ඉඳගත්තා . ඒ වෙලාවේ තමයි මේ ගීතය අහන්න ලැබුණේ . ඇත්තටම මේක තරමක් පරණ ගීතයක් වුණත් අහන්න ලැබුණේ එදා . ඕන නම් දැනට මාසයක් ඇති .

ඒ ගීතය කොච්චර හිතට වැදුනද කියලා කියනවානම් එදා ඉඳලා දවස් ගානක් පිස්සුවෙන් වගේ ඒ ගීතය ඇහුවා . අන්තිමට අවුරුදු ගානක් ප්ලේ වෙච්ච රිගින් ටෝන් එකත් වෙනස් කරලා ඒ වෙනුවට මේ ගීතය දාගත්තා . ගීතයේ තේරුමත් සමිත් විස්තර කරනකොට තමයි මට තේරුණේ මේ ගීතයේ උඩින් කියවෙන දේට වඩා දෙයක් තියෙනවා කියලා .

අපි මුලින්ම ගීතය අහලා ඉමු .




සියක් දහසක් ඇවිත් යන්නැති
සොඳුරියේ අප දෙස බලා
වැවේ දිය කඳ දන්නවා ඇති
දියවරේ හැංඟුණු කතා

ඉසුරු කුමටද සඳළු තලයක
සැපකි මට මේ පවුර පාමුල
නුඹම පමණයි එකම ගැහැනිය
කළු ගලක හද ගැස්ම හඳුනන

අනෝරා වැහි ඇද හැලෙන විට
පපුතුරේ උණුහුම රකින ඔබ
සෙල්රුවක් වී උන් නිසාමද
නොගියෙ මා මෙහි අතරමං කොට

ගීපද - අසේල විජේසුන්දර



සංගීතය හා ගායනය
කසුන් කල්හාර ජයවර්ධන


මේ ගීතයේ කියවෙන්නේ ඇත්තටම පෙම්වතෙක් පෙම්වතියකට කියන අදහස් ටිකක් . ඒත් ඇත්තටම බලනකොට මේ ගීතයේ කියවෙන්නේ ඉසුරුමුණිය පෙම් යුවලේ පෙම්වතා පෙම්වතියට කියන තමන්ගේ හිතේ ඇතිවෙන හැගීම් සමුදායක් . හරිම අපූරු විදියට ඒ දේවල් ගීතයේ කියවෙනවා .





සියක් දහසක් ඇවිත් යන්නැති
සොඳුරියේ අප දෙස බලා
වැවේ දිය කඳ දන්නවා ඇති
දියවරේ හැංඟුණු කතා


" සියක් දහසක් ඇවිත් යන්නැති සොඳුරියේ අප දෙස බලා "
ඉසුරුමුණිය පෙම් යුවල කියන කැටයම නෙළපු දවසේ ඉඳලා අද දක්වාම මිනිස්සු ඇවිත් බලලා යන්න ඇති . සමහරු ශ්‍රේෂ්ට කලා නිර්මාණයක් කියලා රස විඳින්න ඇති . තවත් සමහරු ආගමික පැත්තකින් ඒ දිහා බලන්න ඇති . කොහොම වුණත් අද වෙනකොට මේ ගල් පුවරුව නියමිත ස්ථානයේ නැතත් තවමත් ඒක අයිති වෙන්නේ ඉසුරුමුණියේ ඒ තිබුණු ස්ථානයටම තමයි .

" වැවේ දිය කඳ දන්නවා ඇති දියවරේ හැංඟුණු කතා "
මේ කැටයම ඉදිරියේ තියනවා කුඩා පොකුණක් . වැවක් විදියට හඳුන්වන්නේ මේ පොකුණ වෙන්න ඕන . පෙම්වතා පෙම්වතියට කියනවා මේ වැවේ වතුර දන්නවා ඇති අපි දෙන්නා සහ අපි දෙන්නා බලන්න ආව අය වගේම එදා ඉඳලා අද දක්වා ඒ පරිසරයේ මොනවද උනේ කියලා . ඒවා සමහරවිට කවුරුවත් දන්නේ නැති සැඟවුණු කතා කියලා .

ඉසුරු කුමටද සඳළු තලයක
සැපකි මට මේ පවුර පාමුල
නුඹම පමණයි එකම ගැහැනිය
කළු ගලක හද ගැස්ම හඳුනන

" ඉසුරු කුමටද සඳළු තලයක සැපකි මට මේ පවුර පාමුල "
පෙම්වතා කියනවා මේ කළුගල් වලින් හදලා තියෙන පවුර පාමුල තියෙන සැපත සඳලු තල සහිත මන්දීරයක තියෙන සැපයට වඩා වටිනවා කියලා . මොකද තමන්ට පෙම්වතිය එක්කම ඒ ලඟින්ම ජීවත් වෙන්න ලැබුණු නිසා . පෙම්වතා කියනවා පෙම්වතියට තමන්ගේ කළුගල් වලින් නිර්මාණය කරලා තියෙන හදවතේ හදගැස්ම හඳුනන එකම ගැහැණිය තමන්ගේ පෙම්වතිය පමණයි කියලා . 

" නුඹම පමණයි එකම ගැහැනිය කළු ගලක හද ගැස්ම හඳුනන "

ගීතයේ මුල කියනවා සියක් දහසක් ඇවිත් යන්නැති සොඳුරියේ අප දෙස බලා කියල . පෙම්වතා මේ කියන්නේ කොච්චර අය තමන් දිහා බලලා ගියත් පෙම්වතිය තමන්ව අතෑරලා ගියේ නැහැ කියලා . පෙම්වතාගේ ගල් හිතේ නොවෙනස් භාවය විඳ දරාගෙන තමන් එක්කම ඉන්න එක ගැන පෙම්වතා ආදරණීයව සතුටු වෙනවා . 

අනෝරා වැහි ඇද හැලෙන විට
පපුතුරේ උණුහුම රකින ඔබ
සෙල්රුවක් වී උන් නිසාමද
නොගියෙ මා මෙහි අතරමං කොට


" අනෝරා වැහි ඇද හැලෙන විට පපුතුරේ උණුහුම රකින ඔබ "
පෙම්වතා කියනවා තමන්ව තෙමෙන්න කොච්චර ලොකු වැහි වැටුනත් පපුවේ තියෙන උණුසුම සහිත ආදරය පෙම්වතිය විසින් ආරක්ෂා කරගෙන ඉන්නවා කියලා .

" සෙල්රුවක් වී උන් නිසාමද නොගියෙ මා මෙහි අතරමං කොට "
අවසානයේ පෙම්වතා සිහිපත් කරන්නේ කෘතගුණ දැක්වීමක් වගේ අදහසක් . මේ තරම් දේවල් වෙලාත් තමන්ව අතෑරලා ගියේ නැත්තේ සෙල් රුවක් නිසාද කියලා පෙම්වතියගෙන් අහනවා .

මේ සම්පූර්ණ ගීතයේම කියවෙන්නේ පෙම්වතුන් සහ පෙම්වතියන් අතර ඇතිවෙන සමාජ ගැටළු සම්බන්ධව කියලා තමයි මම දකින්නේ . මොකද පෙම්වතුන් විදියට දෙන්නෙක් පාරේ ඇවිද්දත් තැනක හිටියත් ඒ දෙන්නා දිහා අනිත් සමාජයම බලන්නේ යම් තරමක් දුරට හරි වපර ඇහැකින් . එහෙම වෙලාත් පෙම්වතාව අතෑරලා පෙම්වතිය යන්නේ නැත්තේ දෙන්නාගේ බැඳීම ශක්තිමත් නිසා . මේ ගීතයේ කියවෙන්නේ අන්න ඒ තේරුම කියලා තමයි මමනම් හිතන්නේ .

ගීතයේ සංගීතය වැඩිය සංකීර්ණ නැහැ . හරිම නිකලංක පරිසරයක් ඇතිකරන්න පුළුවන් සංගීත සංයෝජනයක් මේ ගීතයේ තියෙනවා .

ඉසුරුමුණියේ පෙම් යුවල ගැන කියනකොට මට ලිපියක් ලැබුණා මේ ඉසුරුමුණියේ පෙම් යුවල ගැන ලියලා තියෙන . ජනප්‍රවාදයක් වගේ දෙයක් අලලා තමයි මේ කතාව ලියලා තියෙන්නේ . හැබැයි මේ වගේ දෙයක් වෙන්න ඇති කියලා විශ්වාසයක් තියන්නත් පුළුවන් .

මේ ඒ කතාව .




මහාවංශය නොකී ඉසුරුමුණියේ පෙම් යුවළගේ කතාව...⚜️⚜️⚜️

ඉතිහාසය විසින් නොකී කාල‍යේ වැලි තලාවෙන් යට වී ගිය කතාන්දර කොතෙකුත් ඇත. ඉතිහාසය වශයෙන් අද අප අධ්‍යයනය කරන්නේ සාක්ෂි සාධක සහිත හා මූලාශ්‍රවලින් උකහාගතහැකි කරුණු පමණි. බෞද්ධ වංශකතාවන් නොකී ඉසුරුමුණියේ ඇති පෙම් යුවළ නමින් අද අප හඳුන්වන ගල් කැටයමේ උපත සම්බන්ධයෙන් ජනප්‍රවාදයෙහි ඇති කතාපුවතයි මේ.

නාමල් සේනාධිපති යනු ධාතුසේන රජුගේ සෙනෙවියෙකි. කාශ්‍යප විසින් රාජ්‍යයේ අර්බුදය ඇති කළ කාලයේ ඔහු ධාතුසේන රජුගේත්, මුගලන් කුමරුගේත් පක්ෂය ගත් නිසාවෙන් රජ වන කාශ්‍යප නාමල් සේනාධිපති ඇතුළු වැදගත් නිලතල හෙබවූ විශාල පිරිසක් මරා දමන ලදි. සැමියාගේ වියෝවෙන් ශෝකාතුර වූ නාමල් සේනාපතිගේ දේවිය ද නොබෝ කලකින් ම කලුරිය කළා ය. ඒ වන විට නාමල් සේනාපතිගේත්, ඔහුගේ දේවියගේත් විසි හැවිරිදි පුත් කුමරෙකු විය. ඔහු ද හැඳින්වූයේ ‘නාමල් කුමාරයා’ යන නමිනි. කුමන හෝ හේතුවක් මත සීගිරි කාශ්‍යප රජු නාමල් කුමරුගෙන් පළිගන්නට සිතුවේ නැත.

තරුණ වියට පත් වන විට නාමල් කුමරු හැඩිදැඩි, කඩවසම් හා යුධ ශිල්පයෙහි දක්ෂ තරුණයෙකු බවට පත් විය. දෙමව්පියන්ගේ වියෝවෙන් පසු හෙතෙම ඇති දැඩි වූයේ ස්වකීය නැන්දනිය සෙවණේ තම පියාණන්‍ගේ මාලිගාවේම ය. ස්වකීය පියා ජීවත්ව සිටි කාලයේ පටන් ‍කුමරුගේ මාලිගාවෙහි හිතපක්ෂව සේවය කළ ‘දත්ත’ නැමැති මහළු සේවකයෙක් කුමරුවන්ට විය. පියෙකු මෙන් නිරන්තරයෙන් කුමරුගේ වැඩකටයුතු කර දුන්නේ මෙම ‘දත්ත’ නැමැති මහලු සේවකයා විසිනි.

එදින වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකි. රාත්‍රියෙහි විජිතපුර රජ මහා විහාරයෙහි පැවැත්වෙන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම පිණිස පිටව ගි‍යේ ය. කලාවැව ආශ්‍රිත ප්‍රදේශය මේ කාලයේ දී වෙනම ප්‍රාදේශීය පාලකයෙක් යටතේ පැවති අතර කලාවැව බැන්ද වූ ධාතුසේන රජු තමන්ගේ සහෝදරයා වූ සේන කුමරුන්ට කලාවැවෙන් අඩක් හා කෙත් දෙසීයක් පවරා දුන්නේ ය. සේන කුමාරයන් කලාවැව ආශ්‍රයේ මාලිගාවක් තනවා එහි ඉසුරුමත් ජීවිතයක් ගතකර මියගිය අතර ඔහුට උපගුප්ත නමින් පුතෙකු විය. පියාගේ මරණින් පසු ගුප්තසේන කලාවැව මාලිගාවෙහි වාසය කරමින් ස්වකීය පියාට අයිති කොටස පාලනය කළේය. ගුප්තසේනයන්ට බන්දුසේන නමින් පුත්‍රයෙකුත්, චිත්‍රා නමින් දියණියකුත් විය. බන්දුසේන කුමරු සේනාපති තනතුරක් ලැබ කාශ්‍යප රජු යටතේ සේවය කළ අතර අතිශය රූපත් චිත්‍රා කුමරිය කළා වැවේ මාලිගයෙහි ස්වකීය දෙමාපියන් සමඟ වාසය ක‍ළා ය. අපගේ කතාන්දරය පටන් ගන්නේ මෙතැන් සිටයි.

නාමල් කුමරු විජිතපුර විහාරයෙහි ධර්ම ශ්‍රවණය පිණිස වෙසක් පුර පසළොස්වක දින විහාරස්ථානයට පැමිණි බව මුලින් කීවෙමු. එදින කලාවැව මාලිගයෙහි ගුප්තසේනගේ දියණිය වූ රූමත් චිත්‍රා කුමරියද ස්වකීය දාසියන් සමඟ විජිතපුර විහාරයේ රාත්‍රී ධර්ම දේශනාව ශ්‍රවණය පිණිස පැමිණියා ය. නාමල් කුමරු හා චිත්‍රා කුමරියගේ නෙත් එකිනෙක ගැටෙන්නේ මේ අවස්ථාවේ දී ය. පළමු දර්ශනයෙන් ම දාසියන් පිරිවර සිටින්නේ කලාවැව මාලිගයේ ගුප්තසේනගේ දියණිය චිත්‍රා කුමරිය බව නාමල් කුමරු අවබෝධ කරගත්තේ ඒ වන විට චිත්‍රා කුමරිය පිළිබඳ ඔහු අසා තිබූ නිසාවෙනුත්, උපගුප්තයන් නාමල් කුමරුගේ ළබැඳි හිතවතෙකු නිසාවෙනුත් ය. චිත්‍රා කුමරිය ද දාසියන්ගෙන් විමසන ලදුව තමා දුටු කඩවසම් දේහධාරී තරුණයා නාමල්පුර නාමල් කුමරු බව දැනගත්තා ය. දෙදෙනාම ප්‍රභූ වංශවත් පවුල්වල හෙයින් ඔවුනොවුන් හා කතා කිරීමට කිසිවෙකුගෙන් බාධාවක් නොවීය. නාමල් කුමරු ධර්ම දේශනාව ද ශ්‍රවණය කර අවසානයේ විජිතපුර විහාරයෙන් පිටවී යන්නේ චිත්‍රා කුමරිය විසින් ස්වකීය නිවසට නිදහස් වෙලාවක පැමිණෙන්නැ’යි කළ ආරාධනය ද පිළිගනිමිනි.

පසු දිනෙක සන්ධ්‍යාවෙහි නාමල් කුමරු කලාවැවේ චිත්‍රා කුමරියගේ මාලිගයට පැමිණි අතර ඔහු ඉතා ගෞරවයෙන් උපගුප්තයන් විසින් පිළිගන්නා ලදි. සුළු මොහොතක අල්ලාප සල්ලාපයෙන් පසු නාමල් කුමරු යළි නාමල්පුර ස්වකීය මාලිගයට පිටව ගිය අතර මාලිගයට පැමිණි පසු ඔහු පළමුවෙන් ස්වකීය නැන්දනිය හමු‍වූවේ ය.

‘නැන්දණිය, කලාවැව මාලිගයෙහි උපගුප්තයන්ගේ බාල දියණිය වන චිත්‍රා කුමරිය විවාහ කර ගැනීමට මම කැමතියි. හැකිනම් ඇගේ දෙමව්පියන් සමඟ ඒ පිළිබඳ කතා කරන්න.” නාමල් කුමරු ස්වකීය නැන්දනියට පැවසුවේ ය.

එම ප්‍රකාශයෙන් කුමරුගේ නැන්දනිය මහත් ප්‍රීතියට පත් වූ අතර පසු දිනයේ ම කලාවැව මාලිගය බලා ගොස් උපගුප්තයන් හා ඔහුගේ බිරිඳ හමු වී තමන් ආ පුවත සැල කර සිටියේ ය. නාමල් කුමරුගේ අදහස පිළිබඳ චිත්‍රා කුමරියගෙන් ද විමසන ලදින් කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ඇගෙන් ද නොවූ හෙයින් නාමල්පුර මාලිගයෙහි නාමල් කුමරුගේත්, කලාවැව මාලිගයෙහි චිත්‍රා කුමරියගේත් විවාහය දෙමව්පිය කැමැත්ත මත තීන්දු විය. නමුත් උපගුප්තයන් මෙහි දී පැවසූ දෙයක් විය. ඒ ස්වකීය පුත් බන්දුසේන කුමරු මේ දිනවල ලක්දිව නොමැති හෙයින් ඔහු යළි පැමිණෙන තෙක් දෙදෙනාගේ විවාහය කළ නොහැකි බවයි. නමුත් කුමරුගේත්, ස්වකීය දියණියගේත් ඇසුර‍ට එය බාධාවක් කරගතයුතු නැතැයි ගුප්තසේනයන් වැඩි දුරටත් පැවසුවේය. විවාහය ස්ථීර වූ හෙයින් නාමල් කුමරුගේ නැන්දනියට ද ගුප්තසේනයන්ගේ ප්‍රකාශය ගැටළුවක් වූයේ නැත.

ඉන්පසු සෑම සන්ධ්‍යාවකම නාමල් කුමරුත්, චිත්‍රා කුමරියත් පෙම් බස් දොඩමින් කළා වැව අසල කාලය ගත කළේ ය. විටෙක දියබුං ගසමින් ජල ක්‍රීඩා කළ අතර ඇතැම් දිනෙක විජිතපුර විහාරයට හෝ අවුකන විහාරයට ගොස් බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳපුදා ගත්තෝය. ‍දිනෙන් දින නාමල් කුමරු‍ගේත්, චිත්‍රා කුමරියගේත් ප්‍රේමය මෙලෙස දිනෙන් දින වර්ධනය විය. වසරක පමණ කාලයක් ගත වූවත් තවම බන්ධුසේන කුමරු ලංකාවට පැමිණියේ නැත.

වසරකට පමණ පසු බන්ධුසේන කුමරු ලක්දිවට පැමිණි අතර ඔහු රජු හමු වී තමන් ගිය කාර්යය පිළිබඳ පවත් දන්වා කලාවැව මාලිගයට පැමිණියේ ය. නමුත් ඔහු පැමිණියේ තනිව නොවේ. කාශ්‍යප රජුගේ උප සේනාධිපති වූ මහානාග උප සේනාපති ද බන්ධුසේන සමඟ කලාවැව මාලිගයට පැමිණියේ ය. මහානාග උපසේනාධිපති බන්ධුසේනයන්ගේ කුළුපගම මිත්‍රයා විය.

බන්ධුසේනයන්ගේ නැගණිය වූ චිත්‍රා කුමරිය මහානාග උප සේනාධිපති විසින් දැක ගන්නේ කලාවැව මාලිගයෙහි සිටින අතරවාරයේ ය. ඒ අනුව ඈ පිළිබඳ සිතක් මහානාගයන්‍තුළ ඇති වූ අතර එය ස්වකීය මිත්‍ර බන්ධුසේනයන්ට පැවසුවේ ය.

“මිත්‍රය! මගේ නැගණියගේ කැමැත්ත ඔබට ලබාගත හැකි නම් අපගේද විරුද්ධත්වයක් නොමැතියි.” නාමල් කුමරු හා චිත්‍රාවන් අතර විවාහය ස්ථීර වී ඇති බව නොදත් බන්ධුසේන සේනාපති මිතුරු මහානාගයන්ට පැවසුවේ ය.

ඒ අනුව කෙසේ හෝ චිත්‍රාවන්ගේ සිත දිනා ගැනීමට මහානාග උප සේනාධිපති උත්සාහ කළ ද එය කිසිදු අවස්ථාවක කරගත නොහැකි දෙයක් ‍විය. චිත්‍ර‍ාවන් සැබැවින් ම මහානාගයන් දැකීම ද පිළිකුල් කළේ ය. ඒ වන විටත් ඇගේ සිතෙහි වූ එකම පුරුෂයා නාමල් කුමරු පමණක් ම වූ හෙයිනි. බන්ධුසේන හා මහානාග උපසේනාධිපති දිනක් කලාවැවේ වෑ කන්ද උඩින් ගමන් කරමින් සිටියහ. නාමල් කුමරුත්, චිත්‍රා කුමරියත් වෑකන්ද පාමුල ගල්තලාවක් මත වාඩි වී පෙම්බස් දොඩමින් සිටින ආකාරය බන්ධුසේන කුමරුත්, මහානාග උප සේනාධිපතිත් දුටු අතර තම සිත ගත් තරුණිය වෙනත් පුරුෂයෙකු සමඟ පෙමින් වෙලී සිටීම මහානාගයන්ට ඉවසුම් දෙන්නක් නොවී ය. කෝපයෙන් තතනමින් මහානාගයන් අසු පිටින් පැන නාමල් කුමරුත්, චිත්‍රා කුමරියත් අසලට ගියේ ය.

‘නීච පුරුෂය! තා කවරෙක් ද? වහා කියව! මේ කාන්තාව සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමට තොපට කොහෙන් ආ ශක්තියක්ද?’ මහානාග කෝපයෙන් ප්‍රශ්න කර සිටියේ ය.

‘එම්බල සෙන්පතිය! මා මෑ සමඟ පිළිසඳරේ යෙදෙන්නේ ඇගේ අවසරය පිටයි. එය ප්‍රශ්න කිරීමට තොපට ඇති අයිතිය කුමක්ද?’ නාමල් කුමරු ද සන්සුන් ලෙස පෙරලා වදන් දුන්නේ ය.

‘දුෂ්ට පුරුෂය! තට මෑ දිනා ගැනීමට අවශ්‍ය නම් මා සමඟ ද්වන්ධ කඩු හරඹයක් කර මා පරදවා මෑ සතු කර ගනුව!’ යැයි මහානාග උපසේනාධිපති විසින් නාමල් කුමරුට අභි‍යෝග කර සිටියේ ය.

‘තා වැනි පුරුෂයන් සමඟ කඩු හරඹයේ යෙදීමත් මට නින්දාවක්. නමුත් තගේ අභියෝගය මා භාර ගනිමි. හැකි නම් මා පරාජය කරව!’ නාමල් කුමරු පිළිතුරු දුන්නේ ය.

නාමල් කුමරුගේ මෙම වදන් බන්ධුසේනයන්ට මහත් පුදුමක් විය. ඔහු මේ ද්වන්ධ සටනක යෙදෙන්නේ අන් කවරෙකු සමඟවත් නොව මහ රජුගේ උප සේනාධිපති සමඟයි. හැරත් මහානාග යනු කෙතරම් දක්ෂ යුදුවෙක්දැ’යි බන්දුසේනයෝ හොඳින්ම දනී. එහෙයින් කෙසේ හෝ මෙම ද්වන්ද්ව සටන වැලැක්විය යුතු යැයි සිතා උත්සාහ කළ ද දෙදෙනාගේ සිත් වෙනස් කිරීමට බන්දුසේනට නොහැකි විය. ඒ අනුව මහානාග උපසේනාධිපතිගේත්, නාමල්පුර නාමල් කුමරුගේත් ද්වන්ධ කඩු සටන නීත්‍යානුකූලව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගිවිසුම් පත්‍රයකට අත්සන් කරවා ගත්හ. මේ සම්බන්ධයෙන් කණ වැකුණු උපගුප්තයන් බන්දුසේනයන්ට නොසෑහෙන්න බැණ වැදුනේ ය. නමුත් ඒ වන විටත් හේ නාමල් කුමරුත්, චිත්‍රා කුමරියත් අතර ඇති සම්බන්ධය පිළිබඳ කිසිවක් නොදැන සිටි හෙයින් ඔහුට නිදහසට කාරණයක් තිබිණි.

ඒ අනුව වේලාව ගත විය. ද්වන්ධ සටන ආරම්භ කිරීමට කාලය උදා විය. බන්දුසේනයන් ඇතුළු කලාවැවේ උපමාලිගයේ පිරිසත්, ආරංචිය කණ වැකුණු බොහෝ පිරිසකුත්, නාමල්පුර මාලිගයේ පිරිසත් මහානාග උප සේනාධිපති හා නාමල් කුමරු අතර වන ද්වන්ධ සටන බැලීම පිණිස පැමිණ සිටියෝ ය. විධි පරිද්දෙන් සටන ආරම්භ විය. මහානාගයන් විසින් එල්ල කරන සියළු කඩු පහරවල් නැවැත්වීමට නාමල් කුමරුට හැකි වූ අතර නාමල් කුමරුවන්ගේ ප්‍රහාර වැළැක්වීම ද මහානාගයන් පහසුවෙන් කළේ ය. එහෙයින් ස්වකීය ප්‍රතිවාදියා තමා සිතූ තරම් දුර්වලයෙකු නොවන බව දෙදෙනාටම වැටහුණෙන් තමන්ගේ ගුරුවරුන් විසින් කියා දුන් ප්‍රබල ශිල්පීය ක්‍රමවේද පාවිච්චි කරමින් දෙදෙනාම සටන් කරන්නට විය. රැස්ව හුන් පිරිස මහත් බියකින් යුතුව බලා සිටි අතර චිත්‍රා කුමරිය කඳුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටියා ය. නමුත් නාමල් කුමරුගේ ප්‍රබල ප්‍රහාර හමුවේ මහානාග උපසේනාධිපති එන්න එන්නම දුර්වල වූ අතර ඉහලට පනිමින් නාමල් කුමරු විසින් මහානාග උපසේනාධිපතිගේ හිස මතට එල්ල කළ මාරක කඩු ප්‍රහාරයෙන් මහානාගයන්ගේ හිස දෙපළු වී හෙතෙම මැරී වැටුනේ ය. සටනින් නාමල් කුමරුට ජය අත් විය. රැස්ව සිටි පිරිසෙන් ප්‍රීති ඝෝෂා නැඟුණ අතර චිත්‍රා කුමරිය සැනසුම් සුසුම් හෙළුවේ ය. උපගුප්තයන් හා නාමල්පුර මාලිගයෙහි පිරිස නාමල් කුමරුගේ සටන් හැකියාව පිළිබඳ අතිශය ආඩම්බරයට පත් විය.

නමුත් බන්ධුසේනයන්ට මෙම සිදුවීම තරමක බලවත් පීඩාවක් විය. මන්ද යත් නාමල් කුමරු විසින් මරා දමන ලද්දේ මහරජුගේ උප සේනාධිපතියාවයි. එහෙයින් තමන් සමඟ පැමිණි මහානාගයන්ගේ මරණය සම්බන්ධ සම්පූර්ණ වගකීම බන්දුසේනයන් පිට වැටෙන බව ඔහු දනී. ඒ අනුව වහ වහා මහානාගයන්ගේ අවසන් කටයුතු සිදු කළ බන්දුසේනයන් සීගිරි පුරයට ගොස් සියලු පවත් මහරජුට දන්වා මහානාග හා නාමල් කුමරු විසින් සටන් කරන ලද්දේ දෙදෙනාගේ එකඟාවය මත බවත්, එය නීත්‍යානුකූල බවත් ඔවුහු අත්සන් කරන ලද එකඟතා පත්‍රය පෙන්වමින් කාශ්‍යප රජුට දන්වා සිටි‍යේ ය. ඒ අනුව නාමල් කුමරු වහාම රජ මාලිගයට ගෙන්වන ලෙස රජු නියෝග කළේ ය. නාමල් කුමරුද රජු ඉදිරියේ පෙනී සිටියේ ය.

‘දරුව! තොප මාගේ දක්ෂ උප සේනාධිපති පරාජයට පත් කළේ ය. තොප වැනි ශූරයෙක් මෙතෙක් කල් සිටි බවවත් මා ‍දැන නොසිටියෙමි. තොප වැනි දක්ෂයින් අප ඇසුරෙන් ඈත් කිරීමට අප මනාප නැත. එහෙයින් මහානාගයන්ගෙන් සිස් වූ උපසේනාධිපති පදවිය භාර ගැනීමට තොප කැමතිද?’ නොසිතූ මොහොතක කාශ්‍යප රජු විසින් කළ ඉල්ලීම නාමල් කුමරු පිළිගත්තේ ය. ඒ අනුව ලංකා රාජ්‍යයෙහි උප ප්‍රධාන සේනාධිපති තනතුර ලැබූ නාමල් කුමරු එවක් පටන් නාමල් උප සේනාධිපති වශයෙන් හැඳින්විය.

මාලිගයෙහි සිදු වූ පුවත් ඇසූ නාමල්පුර මාලිගය හා කළා වැවේ මාලිගය අතිශය ප්‍රීතියට පත් විය. ඒ අනුව ඉතිරිව ඇත්තේ නාමල් කුමරුගේත්, චිත්‍රා කුමරියගේත් විවාහ මංගල්‍යය පමණි. දෙපාර්ශවයේ වැඩිහිටියන් විසින් වෙසක් මස සුබ දිනයක් හා වේලාවක් බලා හැකි ඉක්මනින් එය ද සිදු කළ අතර නාමල් උප ප්‍රධාන සේනාධිපතිත්, කලා වැව මාලිගයෙහි චිත්‍රා කුමරියත් අතිනත ගත්හ.

මෙසේ ප්‍රීතිමත් විවාහ ජීවිතයකට පා තැබූ ඔවුන් දෙදෙනා කලා වැව මාලිගයෙහි වාසය කිරීමට වැඩි මනාපයක් දැක්වූහ. ඔවුහු විවාහ වී සිව් මසක් පමණ ඉක්මී නිකිණි මාසය එළඹුනේ ය. නිකිණි මස අන්තිම දී නිකිණි වැස්ස නමින් හඳුන්වන මහා මේඝය දින කීපයක් තිස්සේ නොනැවතී ඇද හැලුනේ ය. මෙම වර්ෂාව හේතුවෙන් ඒ වන විට නාමල් උප සේනාධිපතිත්, චිත්‍රා කුමරියත් වාසය කළ මාලිගය අසල තිබූ කලා වැවට ද මහා ජලස්කන්ධයක් ඇදී ආවේ ය. කලා වැවට එක් වන ජල ප්‍රමාණය වැඩි වෙත් ම ජල පැන්නුමෙන් ජලය පිටවන්නට ද පටන් ගත්තේ ය. (එකල ජල පැන්නුම අදට වඩා අඩි 10 ක් පමණ උස් වූ බව පැවසේ.) ජල පැන්නුමෙන් ජලය පිටවීම යනු බලා සිටීම‍ට සිත් ගන්නා දර්ශනීය අවස්ථාවකි.

වර්ෂාව නැවතිණි. වේගයෙන් සුළං හමන්නට විය. ජල පැන්නුමෙන් පිටවන විශාල ජලස්කන්ධය නැවතුණේ ද නැත. නාමල් උප සේනාධිපතිගේ අතෙහි වෙළුණු චිත්‍රා කුමරිය ජල පැන්‍නුමෙන් ජලය පිට වී ගලා යන ආකාරයත්, එහි වේගයත් නැරඹීම පිණිස ජල පැන්නුම අසලටම පැමිණියා ය. නමුත් සිදු වූයේ කවුරුත් නොසිතූ දෙයකි. ඒ අවස්ථාවේ දී වේගයෙන් හමා ගිය තද සුළං පහරකට ඔවුන් මැදි වූ අතර සුළං පහරේ වේගයට චිත්‍රා කුමරිය වීසි වී ගොස් ජල පැන්‍නුමෙන් පහළට වැ‍ටුණේ ය. ඇය බේරා ගැනීමට නාමල් කුමරුද වැවට පැන්නේ ය. පිහිනීමෙහි දක්ෂයෙකු වූ නාමල් සේනාධිපති විසින් වැවට පැන චිත්‍රා කුමරිය ඔසවා ස්වකීය පිට මත තබා ගත්තද ජල පැන්නුමෙන් පිට වන සැඩ පහරේ වේගය නිසාවෙන් ඔහුට පිහිනා යෑම අතිශය දුෂ්කර කටයුත්තක් විය. පැන්නුමෙන් ජලය පිට වන විට පැන්නුමේ සිට තරමක දුරක ජලය පැන්නුම කරා ඇදී එයි. එම ජලය පැන්නුමට ලංවත් ම එහි වේගය අතිශය වැඩි වන්නේ ය. ඇතෙකුට වුවත් එම වේගය මෙල්ල කළ නොහැකිළු. ඒ අනුව නාමල් සෙන්පතිත්, චිත්‍රා කුමරියත් වේගයෙන් පැන්නුම කරා ඇදී ආවෝ ය. කෙතරම් උත්සාහ කළ ද බේරීමට නොහැකි බව දත් නාමල් කුමරු සිය බිරිඳ වූ චිත්‍රා කුමරිය තදින් වැළඳ ගත්තේ තමාගේත් චිත්‍රාවන්ගේත් ජීවිත බේරා ගැනීමට නොහැකි බව අවබෝධ කරගත් හෙයිනි. ඒ අනුව පැන්නුමට වේගයෙන් ඇදී ආ නාමල් කුමරුක්, චිත්‍රා කුමරියත් පැන්නුමෙන් පහළට ඇද වැටී නොපෙනී ගියෝ ය.

සිදු වූ සියල්ල බලා සිටි පිරිස් විලාප නගමින් ගොස් මේ සම්බන්ධයෙන් ගුප්තසේනයන්ට සැළ කර සිටි අතර ඔවුනට ද ශෝකය දරා ගැනීම අපහසු කරුණක් විය. පසු දින ජල පැන්නුමෙන් ජලය පිට වන වේගය අඩු වූ පසු සොයා බැලීමේ දී ජල පැන්නුමෙන් පිටවන ජලය ගෙන යන ජල මාර්ගයේ ගව්වක පමණ දුරින් නාමල් කුමරුත්, චිත්‍රා කුමරියත් එකිනෙකා වැළඳගෙන සිටි ආකාරයෙන් ම මියගොස් සිටියදී හමු විය.

දෙදෙනාගේ අවමංගල්‍ය උත්සවය හා සිදු වූ සංවේගජනක පුවත කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනා වූ බෝධි හා උත්පලවණ්ණ යන කුමාරියන්ටත්, මහ රජුටත් සැල විය. එහෙයින් ඔවුන් දෙදෙනා හා මහ රජතුමා ද මෙම අවමංගල්‍ය උත්සවයට පැමිණියහ. නාමල් කුමරුගෙත්, චිත්‍රා කුමරියගේත් දේහයන් එකම දෙනක බහා ආදාහනය කරන ලදි.

නාමල් කුමරුගේත්, චිත්‍රා කුමරියගේත් මෙම ප්‍රේම වෘත්තාන්තය හා අනුවේදනීය කතා පුවත කාශ්‍යප රජුගේ වැඩිමල් කුමරිය වූ ‘බෝධි’ කුමරියගේ සිතින් තුරන් වූයේ නැත. ඒ කාශ්‍යප රජු විසින් ඉසුරුමුණිය නවකම් කරන කාලයයි. එම නවකම් පිණිස ඇගේ අධීක්ෂණ සහයද කාශ්‍යප රජුට ලැබුණි. දක්ෂ ගල් කැටයම් ශිල්පිනියක වූ බෝධි කුමරියගේ සිතට නාමල් කුමරුගේත්, චිත්‍රා කුමරියගේත් අනුවේදනීය වෘත්තාන්තය සිහියට නැ‍ඟෙන්නේ මේ අතරවාරයේ ය. ඔවුන් දෙදෙනා සදාකල් අනුස්මරණීය කිරීමට සිතාගත් බෝධි කුමරිය විසින් ඉසුරුමුණියෙහි එක් කල්කඩක නාමල් කුමරුත්, චිත්‍රා කුමරියත් පෙමින් වෙලී සිටින ආකාරය සියතින් ම කැටයම් කළා ය. අද අප වර්තමානයේ ඉසුරුමුනි පෙම් යුවල වශයෙන් හඳුන්වන්නේ බෝධි කුමරිය විසින් කැටයම් කරන ලද නාමල් කුමරුගේත්, චිත්‍රා කුමරියගේත් රූප සටහන් බව ජනප්‍රවාදය පවසයි.

කාශ්‍යප රජු විසින් ඉසුරුමුණිය නවකම් කර ස්වකීය දියණියන් දෙදෙනාගේ නම් ද යොදා ඉසුරුමුණි විහාරය යළි ‘ඉසිරමෙනු බෝ උපුල්වන් කසුප්ගිරි රිද් මහ‍වෙහෙර්’ යනුවෙන් නම් කළ බව මහාවංශයෙහිත්, වෙස්සගිරිය යැයි අද හඳුන්වන තැන ඇති ශිලා ලිපියකත් සඳහන් වී තිබේ. කෙසේ නමුත් නාමල් කුමරුගේත්, චිත්‍රා කුමරියගේත් භූතාත්මයන් අදත් කලා වැව ආශ්‍රිතව සැරිසරන බවත්, ඇතැම් දිනවල රාත්‍රියෙහි දියබුං ගසමින් සිනා සෙමින් ස්නානය කරන යුවලකගේ ශබ්දයක් ඇසෙන බවත්, තවත් විටෙක මධ්‍යම රාත්‍රියේ පැරණි දියපැන්නුම අසල ශෝකාකූල කෑ ගැසීමක් ඇසෙන බවත් ඇතැම්හු පවසති. කෙසේ හෝ භූතාත්ම බවට පත් වූ නාමල් කුමරු හා චිත්‍රා කුමරියත්, ඉසුරුමුණියේ පෙම් යුවලත් අදටත් අපට සිතා ගැනීමට නොහැකි බොහෝ දේ ඉතිරි කරගොස් තිබේ.

ශකිල රාජකරුණා 

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

3 comments:

  1. හොඳ ලිපියක්. හුඟ දවසකට පස්සේ මෙහෙම ලිපියක් කියෙව්වේ.

    ReplyDelete

  2. බොහොම අගෙයි.
    මෑතකදී අහන්නට ලැබුනු හිතට දැනුනු ගීතයක්.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here