සත්මහලින් බැස එන්නම් ඔබ මා පිළිගන්නවානම්




ලොකු කාලයකට පස්සේ තමයි ගීතයක් ගැන ලියන්න කියලා බ්ලොග් එක පැත්තට ආවේ . නැත්නම් ඉතින් ජ්‍යෝතිෂ සහ ඒ සම්බන්ධ ලිපි තමයි බ්ලොග් එකේ වැඩියෙන්ම ලිව්වේ . මාස හයක වගේ කාලයක් තිස්සේ විවාහ මංගල්‍යය වෙනුවෙන් සූදානම් වුණු නිසා ගීතයක් ගැන ලියන්න වගේම වැඩිය ගීත අහන්න වත් කාලයක් ලැබුණේ නැහැ . වෙඩින් එකෙන් පස්සේ දැන් ආයෙත් ලියන කියන දේවල් වලට කාලය ලැබිලා තියෙන නිසා බ්ලොග් එකේ කල දවස ගැනත් බලන්න පුළුවන් වෙලා තියෙනවා . ඒවගේම තමයි වයලීනොයි වයලීනියි එක වහලක් යටට උනාට පස්සේ ලියන පළවෙනි ගීත විචාරයත් මේ ලිපියම තමයි .


මේ ළඟදී දවසක වයලීනියි මමයි ගියා සීගිරි පර්වත ප්‍රාන්තය පැත්තේ බලලා කියලා ඇවිදලා එන්න . ඇත්තටම සහරාන් ගොයියලා කරපු වැඩෙන් , වෙනදා දස දහස් ගණනින් පිරී ඉතිරීයන සීගිරියේ 100 ක් වත් මිනිස්සු හිටියේ නැහැ . හිටපු අයත් ලංකාවේ අය . විදේශිකයින් කවුරුවත්ම දකින්න හිටියේ නැහැ . කොහොමහරි ඉතින් බොහොම නිස්කලංකව ඇවිදලා කියලා එන්න පුළුවන් වුණා . සීගිරිය නැගලා ආයෙත් පහළට එනකොට වයලීනි ගත්ත මගේ ෆොටෝ එකක් මම මුහුණු පොතේ දැම්මා . ඕක දැම්මට පස්සේ මට ගීතයක් මතක් වුණා ඒ ෆොටෝ එක දැකලා .


ඒ ගීතය තමයි අද ලිපියට මාතෘකා වෙන්නේ . ෆොටෝ එකේ හැටියට ගැළපෙන නිසා මම ඒ ගීතය දැම්මට මොකද නිවී හැනහිල්ලේ හිතලා බලනකොට හාත්පසින්ම වෙනස් කතාවක් තමයි ඒ ගීතයේ කියවෙන්නේ . පොඩිකාලේ මේ ගීතය ජාතික රූපවාහිනියේ නිතරම වගේ ඇහෙනවා මට මතකයි . මුලින්ම අපි ගීතය අහලා ඉමු .






සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
දුකට කරුණු අහස අසාවී
පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී.
ඒ පැදුරෙන් අප නොවැටේවී

සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී
සඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී

ගායනය - නිරෝෂා විරාජිනී සහ කරුණාරත්න දිවුල්ගනේ


පද - බන්දුල නානායක්කාරවසම්



තනුව - මහින්ද බණ්ඩාර



මේ ගීතය අහලා බලනකොට සහ කියවලා බලනකොට දැනෙන්නේ අදහස් දෙකක් කියලා තමයි මටනම් හිතෙන්නේ . මේකට හේතුව වෙන්නේ ගීතයේ තනුව සහ සංගීතය . වචනවලින් කියන කතාවට වඩා වෙනස් ආකාරයක හැගීමක් තමයි මටනම් මේ ගීතය අහනකොට එන්නේ . සංගීතය අනුව දැනෙන්නේ මේ ගීතයෙන් කියවෙන්නේ රජමාලිගාවක තියෙන පරිසරයක් සහ ඒ පරිසරයේ වර්ණනාත්මක ගුණ ගායනාවක් වගේ දෙයක් කෙරෙනවා කියලා . ඒ රාජකීය ගතිය සංගීතය නිසා තමයි ඇවිත් තියෙන්නේ . 


ගීතයේ අර්ථය ගැන හිතලා බලනකොට මේ ගීතයේ තියෙන අර්ථය පටාචාරා කතා වස්තුවේ මුල් කොටසට ගැළපෙනවා කියලා මට හිතෙනවා . බන්දුල නානායක්කාරවසම් මහත්මයාත් ඒ ගැන හිතලා ගීතය රචනා කරාදෝ කියලාත් වෙලාවකට හිතෙනවා . මොකද , ඒ තරමටම මේ ගීතයේ කතාව ඒ කතා වස්තුවට ගැළපෙන නිසා . 


පටාචාරා කතා වස්තුව මම මෙතන පේස්ට් කරනවා වෙනත් තැනකින් අරගෙන . වැඩිදුර කියවන්න කැමති අයට ඒ කොටස කියවලාම ලිපිය කියවන්න පුළුවන් . 


පින්වතුනේ, පින්වත් දරුවනේ, මිනිසුන් වූ අපේ ජීවිතවල වාසනාවත් අවාසනාවත් එකට මිශ්‍ර වෙලයි බොහෝ විට තියෙන්නේ. අවාසනාවෙන් බැටකද්දී ඇතැම් කෙනෙක් විඳින දුක අප්‍රමාණයි. වනයේ හතුරෙකුටවත් එවන් දුකක් වෙන්න එපා කියා එවන් වෙලාවට අපට සිතෙනවා. සමනල ලෝකයක කිරුළු පළඳින්නට ආදර කථාවක හිතුවක්කාර වූ අහිංසක දියණියකගේ දුක්බර ජීවිතය ගැන කියැවෙන මේ කථාව අසන්න.

සැවැත් නුවර මහා ධනවත් සිටු පවුලක් හිටියා. ඒ සිටු ජෝඩුවට ඉතාමත් ශෝභාසම්පන්න, අභිරූපී, සොඳුරු දියණියක් හිටියා. ඉතින් ඇගේ ඇති රූ සපුව නිසා ඇය පරිස්සම් කිරීම ගැන මේ යුවල වඩවඩාත් කල්පනාකාරී වුණා. සිටුමැදුරේ උඩුමහලේමයි ඒ දියණිය කල්ගත කළේ. ඇයට ජීවිතයේ කිසි දුකක් දැනුණේ නෑ. කිසි බරක් දැනුණෙත් නෑ. සමනලියක් වගේ දුව පැන ඇවිදිමින් කෙළි සෙල්ලමෙන් කල් ගෙව්වා.

ඇගේ ලෝකය තුළ බැලූ බැලූ හැම දෙයක්ම අමුතුම ලස්සනකින් දිළිසුණා. එනිසාම ජීවිතය ගැන දුරදිග බලා කල්පනා කොට තේරුම් ගැනීමේ හැකියාවත් ඇයට නැතුව ගියා.

සමහර දිනවල ඈ උඩුමහල් තලයේ සිට පහළ බලා සිටිනවා. කුස්සියේ නැවතී දර පලන තරුණයා පමණයි ඇගේ නෙත ගැටෙන්නේ. ටිකෙන් ටික ඇගේ සිත මේ තරුණයා කෙරෙහි ඇදී ගියා. ඇය හොර රහසේම මේ තරුණයා සමඟ බොළඳ පෙමක පැටළුණා. ටික දිනක් ගතවෙද්දී ඇයට සිටු මාළිගයේ ගෙවන ජීවිතය තිත්ත වුණා. ඇගේ ප්‍රේමය උදෙසා පෙනෙන තෙක් මානයක ඉඩකඩක් තිබුණේ නෑ. ඇය සිය දහස්වර හදවතින් හඬා වැටුණා.

ඔය අතරේ සිටු යුවල එක්තරා ධනවත්, රූපවත් සිටුකුමාරයෙකුට ඇයව විවාහ කරදෙන්න දින නියම කරගත්තා. මේ ළඳ බොළඳ සමනලිය කලබල වුණා. හඬා වැටුණා. විවාහ වෙන්න බැහැ කිව්වා. තව කාලයක් ඉන්න ඕන කිව්වා. දැන්ම ආදරය කරන්න තේරෙන්නෙ නෑ කිව්වා. දෙමව්පියන්ගේ ආදරය සැමට වඩා වටිනවා කිව්වා. සිටු මාළිගයෙන් තොරව ලෝකයක් නැහැ කිව්වා. හොර රහසේම අර දර පලන කොල්ලාට බලවත් ලෙස කියා හිටියා,

“මේ අහන්න…. මගේ මේ ලස්සන හදවත ඔයාට පූජා කරලා ඉවරයි…. මගේ ලෝකයේ සිටු මාළිගය මේ ඉන්න තැන නොවෙයි, කොහෙදෝ ඈතක තියෙන පුංචි පැලක් කියලයි මට හිතෙන්නේ….. මං මේ ගත කරන්නේ අපායක. මං අකමැති කෙනෙකුට මාව බන්දලා දෙන්න දින නියම කරගෙන සිටිද්දී, ඔයා කොහොමද හිත හදාගෙන තවමත් මේ කුස්සියේ දර පලන්නේ….? ඇත්තෙන්ම හදවතක් නැද්ද ඔයාට…? ඔයාගේ අහිංසක කෙල්ලගේ දුක පේන්නෙ නැද්ද…? ඔයා කැමතිද මං දිවි නසා ගන්නවට…? මට වෙන කිසිම විසඳුමක් නෑ…. ඔයාගෙන් තොර ලෝකයක් මට නැති බව ඔයා දන්නේ නැතිදෝ…..!”

කොලු ගැටයා හොඳටම භය වුණා. ඇඟේ හිරිගඬු පිපුණා. අප්‍රාණික වෙලා ගියා. ඔලුව අවුල් වුණා. කරකියා ගත නොහැකිව අන්ත අසරණ වුණා. ‘මේ ප්‍රශ්නයට කොහොම හරි විසඳුමක් සොයාගන්න ඕන. සිටු කුමාරි මට ආදරය කළේ දෙහදකින් නොවෙයි. මෙතරම් එඩිතරව සිටු කුමාරි තීරණ ගනිද්දී මං මොකද කරන්නේ? හරි හමන් රස්සාවක් නෑ… කෑමක් බීමක් නෑ…. ඉන්න තැනක් නෑ… කාත් කවුරුවත් නෑ… සිටු මාළිගයක හැදී වැඩී ජීවිතයේ කිසි දුකක් නොලැබූ සියුමැලි කෙල්ලක් මා සහේට ගත්තොත් මට මක් වේවිද?’

මේ කොලු ගැටයා කල්පනා ලෝකයක අතරමං වුණා. සිටු දියණිය කියන විදිහට කරන්න කොලු ගැටයාට සිද්ධ වුණා.

“ඔව්…! දැන් ඔයා මං කියන විදිහට කරන්න ඕන. නැත්නම් අපට මේ සිරගෙදරින් නිදහස් වෙන්න ලැබෙන්නේ නෑ. මං හෙට උදෑසනින්ම දාසියකගේ ඇඳුම් ඇඳගෙන පැසක් අතට ගෙන මේ සිටු මැදුරෙන් පිටත් වෙනවා. අසවල් හන්දියේදී අපි මුණගැහෙමු. ඔයා කොහොම හරි එතැනට එන්න.”

ඇය පසුවදා සිටු මාළිගයෙන් පැනගත්තා. කොලු ගැටයාව තීරණය කරගත් තැනදී මුණගැසුණා. කාටවත් හසුවෙන්න කලින් යා යුතු නිසා කිසිවෙක් නොදන්නා ඈත පළාතකට පලාගියා. ඒ පිටිසර ගමේ කටුමැටි ගසා පැල්පතක් තනාගත්තා.

දැන් අර කොලු ගැටයා වනයට ගොස් දර කඩා ගෙන ගොස් විකුණනවා. ඒ ලැබෙන මුදල එක වේලකටත් මදි. ඉතා දුකසේ නමුත් ගතකරන ඔවුන්ගේ ආදර කැදැල්ලට ටික දවසකදී අලුත් අමුත්තෙක් එන ලකුණු පහළ වුණා.
සිටුකුමාරියගේ අර සමනල තටු සිඳී ගියා. ඇයට සිය දහස් වර දෙමව්පියන් මතක් වුණා. තමා කළේ වරදක් බවත් මතක් වුණා. දෙමව්පියන් දකින්නට නැතිකමින් ඇය කිසියම් සාංකාවකින් පෙළුණා. දරු සම්පත ලැබෙන්නට ආසන්න නිසා ඇය දෙමව්පියන් දකින්නට ආසා කළා.

“ඔයාට තේරෙන්නේ නැද්ද, දෙමව්පියන් කියන්නේ දරුවන් මොනවා කළත් සමාව දෙන දෙවිවරු වගේ පිරිසක්. දෙමව්පියන්ගේ ආදරය තුළ අපූරු සුන්දරත්වයක් තියෙනවා. දැන් බලන්න…. මං මේ යන් කියලා කියන්නේ ඔයාට රිද්දවන්න නෙවෙයිනේ…. මට ඔයා නැතුව බැරි බව හැබෑව. නමුත් මට  කිසිවක් තේරෙන්නේ නෑ… වැඩිහිටි කෙනෙකුගේ උපදෙස් නැතුව මං කොහොමද දරුවෙක් හදාගන්නේ….? මට මේ මොකවත් තේරෙන්නේ නෑ… අනේ මෙයා…. අපි කොහොමහරි යන්… අම්මලා අපිට සමාව දේවි.”

“ඔයාට පිස්සුද…? ඔයා ඒ ගෙදර සිටුකුමාරි බව හැබෑව. මං මොකෙක්ද? මං නිකම්ම නිකම් මිනිහෙක්! දහඩිය පෙරාගෙන දර පල පලා හිටපු දාසයෙක්! සිටු ජෝඩුව දකිද්දී දෙකට නැමිලා වැඳ වැඳ හිටපු නිකමෙක්! මට සමාව දෙයි කියලද හිතන්නේ…? මගේ කෑලිවත් ඉතුරු කරන එකක් නෑ…. ඔයාට මේක තේරෙන්නෙ නැති එක ගැන මට හරි පුදුමයි.”

ඈ නිශ්ශබ්ද වුණා. වරින්වර ඇය මතක් කරනවා. තමන්ගේ ස්වාමියා ඒ වෙලාවට වචනයෙන් කියාගත නොහැකි කිසියම් භයකින් පෙළෙනවා. නමුත් ඈට නම් කිසි භයක් දැනෙන්නේ නෑ. ඇයට සිතෙන්නේ දෙමව්පියන් ඇයට ආයෙමත් සළකාවි කියලයි.

දිනක් තම ස්වාමියා දර කැඩීම පිණිස වනයට ගිය වේලෙහි ඈ රහසේම පැනගියා. දර මිටි රැගෙන නිවසට පැමිණි ස්වාමියා වටපිට බැලුවා. ඇය පේන්න නෑ. නම කියා කෑ ගැසුවා. පිළිතුරු දෙන්න කිසිවෙක් නෑ. අහල පහළ නිවෙස්වලින් විමසුවා.

“මල්ලියේ…. අපි කිව්වා, මේ වගේ වෙලාවක තනියම යන්න හොඳ නෑ කියලා… ඈ සිටු කුමාරියක් නෙව. අපි කියන දේ අහන්නෙ නෑ. ඈ හැරමිටියකුත් අරගෙන බඩත් උස්සගෙන පිටත්වෙලා ගියා….. ටිකක් අමාරු ගතියෙන් හිටියේ… මල්ලි ඉක්මනින් ගියොත් හොඳයි.”

මේ තරුණයා එක හුස්මට දිව්වා. වේගයෙන් දිව්වා. සිටු කුමාරියට අනතුරු වී ඇත්දැයි මහා බියකින් දිව්වා. ඈත ගස් සෙවණක වාඩි වී හති අරින සිටු කුමරිය මුණ ගැසුණා. තරුණයා දුව ගිහින් සිටු කුමරිය ළඟ දණ ගහගත්තා.

“ම්…. ම්…. අනේ….. ම…. මට…. අ… අමාරුයි…. මට හිතෙන්නේ….. බබා හම්බවෙන්න ළඟයි වගේ…. හොඳ වෙලාවට ඔයා ආවේ…. අපි දැන් මොකද කරන්නේ….?”

අර තරුණයා වටපිට බැලුවා. කිට්ටුව පහත පැල්පතක් පේනවා. ඒ පැල්පතට සිටු කුමරියව වත්තන් කරගෙන ගියා. ටික වෙලාවකින් දරුවා ලැබුණා. ටික දවසක් එහෙ නැවතී සිටි මේ දෙදෙනා දරුවත් රැගෙන ආපසු ආවා.

පුංචි පුතා දුව පැන යන වයසේදී සිටු කුමරියට තවත් දරු ගැබක් පිහිටියා. පෙර පරිද්දෙන්ම මව්පියන් සිහි කොට ඇය හඬන්න පටන් ගත්තා. ඇයට ආයෙමත් සැවැත් නුවර යන්න ඕනලු! මව්පියන් දකින්න ඕනලු! මේ වතාවෙ නම් මගහරින්න බැහැලු! කොහොම හරි යන්න ඕනලු! මව්පියන්ගේ එකම ගෑණු දරුවා නිසා වෙනසක් කරන්නේ නැහැලු! පුතාලගේ තාත්තා නිසා එයාටත් කරදර කරන එකක් නැහැලු! මේ වතාවෙ නම් බාධා කරන්න එපාලු!

එහෙත් දර පලමින් සිටි මේ නීච තරුණයා අර ගාම්භීර සිටු පවුල ඉදිරියේ හිටගෙන ඉන්නෙ කොහොමද? මේ තරුණයාගේ හිතේ මේ ප්‍රශ්නය හොල්මන් කරනවා. හැම වතාවෙම කුමක් හෝ කියමින් මග හැරියා.

කලින් වතාවෙ වගේම මේ වතාවෙත් සිටු කුමරිය චූටි පුතත් සමඟ නොකියාම පිටත් වී ගියා. එදාත් ස්වාමියා ගෙදර පැමිණි වේලෙහි සිටුකුමරිය නෑ. දෙමව්පියන් සොයා ගිය බව ආරංචි වුණා. ස්වාමියා තම බිරිඳ සොයමින් පාර දිගේ දිව්වා. සෑහෙන දුරක් දුවන්න සිද්ධ වුණා. අන්තිමේදී තම බිරිඳ සොයාගන්න පුළුවන් වුණා.

“අනේ අපි ආපසු යමු…. මොනවද මේ කරන විකාර…? පොඩි දරුවත් අරගෙන…. බබා හම්බවෙන්න ලං වෙලා තියෙද්දී… ඇයි ඔයා මෙච්චර හිතුවක්කාර….?”

“අනේ මේ…. ඔයා තරහා වෙන්න එපා… මට ගිය වතාවේ යන්නත් බැරි වුණා. මේ වතාවේ නම් මං යනවා යනවාමයි…. මේ ගමන නවත්වන්න ලෝකෙ කාටවත් බෑ. ඔයා ආවෙ නැතත් කමක් නෑ. මං යනවා යනවාමයි….”

ඉතාම මුරණ්ඩු ලෙස සිටු කුමරිය කරන කතාවෙන් අර තරුණයා ගොඩක් අසරණ වුණා. ඕන දෙයක් වුණාවේ කියලා හිත හදාගෙන තරුණයත් ගමනට එකතු වුණා. වැඩි දුරක් යන්න ලැබුණෙ නෑ. අහල පහළ ගෙයක් දොරක් නැති මහ වනාන්තරයක් මැද්දෙන් යන මේ පාළු පාරේ කවුරුවත් නෑ. අහස ටිකෙන් ටික කළුවර වුණා. වළාකුළු වලින් බර වුණා. විදුලි කොටන්න පටන් ගත්තා. අකුණු ගහන්න පටන් ගත්තා. මහා කුණාටුවක ලකුණු පහළ වුණා.

“හරි වැඬේනේ…. මහා ධාරාණිපාත වැස්සක් එන පාටයි…. අපි දැන් මොකක්ද කරන්නේ….? ලඟ පාත ගෙයක් දොරක් නෑ. නොතෙමී ඉන්න තැනක් නෑ. කිරි සප්පයාත් තෙමේවි! අනික, ඔයා ඉන්න අවස්ථාව බැලුවාම ඔයාට තෙමෙන්න කොහෙත්ම හොඳ නෑ…. කලබල නැතුව මේ ගස් සෙවණේ ඔයා දරුවත් බලාගෙන ඉන්න. මං ඉක්මනින්ම නොතෙමී ඉන්න කොළ අතු ටිකක් සොයාගෙන එන්නම්.”

ඉතින් ඒ තරුණයා කැළේට පිටත් වුණා. හැම තැනම තියෙන්නේ පුංචි කොළ තියෙන ගස් සෙවණ. ලොකු කොළ තියෙන ගස් සොයන්න අමාරුයි. නමුත් දැන් ටික ටික වැහි පොද වැටෙනවා. ටිකෙන් ටික වැහි බිඳු ලොකු වුණා. ධාරාණිපාත වර්ෂාවක ආරම්භයක් පෙනී ගියා. අර තරුණයා ගොඩක් කලබල වුණා. දැන් හිතේ තියෙන්නේ ඉක්මනින්ම කොළ අතු ටිකක් කඩාගෙන යන්නයි. එහාට මෙහාට දුව ගොස් බලද්දී ලොකු කොළ තියෙන ගහක් පෙනුණා. කලබලයට දුවගෙන ගිහින් ඒ ගහට නගින්නට හිතාගෙන තුඹසකට ගොඩවුණා. අවාසනාව ළං වී තියෙන තැන කාට නම් සොයාගත හැකිද?

ඔහු පය තිබ්බේ නාගයෙකුගේ කඳටයි. ඒ නයා සැණෙකින් කිපී ඔහුට දෂ්ට කළා. මේ තරුණයා නයි විෂෙන් සිහිසන් නැතුව ඇදවැටුණා. ධාරාණිපාත වැස්සේ අර සිටු දියුණියට මහා අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ස්වාමියා එනකම් මග බලා සිටියා. ඔහු පේන තෙක් මානයක නෑ. පොඩි දරුවත් තෙමෙනවා. අම්මත් තෙමෙනවා. ඒ අම්මාට විළිරුදා හැදුණා. දරුවා බිහිවෙන ලකුණු පහළ වුණා. හඬනඟා කියන්නවත් කවුරුත් නෑ. කාත් කවුරුවත් නැති වනගත පාරක ගහක් යට මේ අම්මාට සිඟිති පුතෙක් ලැබුණා.

ධාරාණිපාත වර්ෂාව අවසන් නොවෙන හැඩයි. වැස්සේම දරුවා බිහිකළ අම්මා, අත් දෙක බිමට යොමු කොට දණ ගහගත්තා. එදා උපන් සිඟිති පුතාවත්, ලොකු පුතාවත් වැස්සෙන් බේරාගන්නා අදහසින් කුස යටට තබා ගත්තා. එළිවෙනතුරු මහ වැසි වැස්සා.පසුවදා හිමිදිරි උදෑසනයි වැස්ස නැවතුණේ.

“මෙයා හරි කෙනෙක්නේ…. මක් වුණාද මන්දා…. මං මෙච්චර බරපතල අවස්ථාවක ඉන්න බව එයා හොඳටම දන්නවා… මෙතෙක් වෙලා නාවේ මොකක් හරි කරදරයක් වුණාවත්ද….? වළක වැටුණාවත්ද? සතෙකුට ඇටවූ තොණ්ඩුවක පැටළුණාවත්ද? වෙන කරදරයක් වුණාවත්ද? අනේ දෙවියනේ….. මගේ ස්වාමියාට එහෙම දෙයක් වෙන්න එපා….!”

ඉතින් ඈ කිරි දරුවා ඇකයට ගෙන පොඩි පුතුව සුළැඟිල්ලේ දවටාගෙන වනයේ එහෙ මෙහෙ සොයන්න පටන් ගත්තා. තුඹසක් අසළ වැටී මැරී සිටින තම ස්වාමියා දුටු වේලෙහි ඈ වනය දෙවනත් වෙන්න විලාප තිබ්බා. ඇගේ හඬට සවන් දෙන්න සතෙක් සිවුපාවෙක්වත් සූදානම්ව සිටියේ නෑ කියලයි ඈට හිතුණේ. වළාකුළුවලින් බරව තිබෙන අහස දෙස ඇය බැලුවේ මහා අමුතු බියකින්.

තුඹසේ සිටි නාගයා විසින් තම සැමියාව මරා ඇති බව ඇයට තේරුණා. ඇය කොළ අතු කඩා සැමියාගේ මෘත දේහය වසා දැම්මා. දෙමව්පියන් දකින අදහසින් හඬ හඬා පිටත් වුණා.

අචිරවතී ගඟ ළඟට ඈ පැමිණියා. ගඟ උතුරා දෙගොඩතලා ගැලීමට ආසන්නයි. ගඟ දෙස බලද්දී ඈට මහා බියක් ඇතිවුණා. ගැහෙන හදින් යුතුව වේගයෙන් ගලන දිය පහර දෙස ඈ බලා සිටියා.

‘අනේ…. මං කොහොමද දරු දෙන්නෙක් එක්ක එකවර එගොඩ වෙන්නේ…..? මගේ ඇඟටත් පණ නෑ… අපි තුන්දෙනාටම එකපාර එගොඩ වෙන්න කොහෙත්ම පිළිවෙලක් නෑ. දැන් කරන්න තියෙන්නේ මේ කිරිසප්පයාව එගොඩ ගිහින් තියලා මෙගොඩට ඇවිදින් ලොකු පුතාව එක්කගෙන යන එකයි…’

“මගෙ රත්තරන් පුතේ…. මට එකවර ඔයාලා දෙන්නම ගෙනියන්න අමාරුයි. ඉතින් මගේ පුතේ…. දැන් ඔයාගේ අම්මා මේ අලුත් චූටි මල්ලිව එගොඩින් තියලා එන්නම්… ඊට පස්සේ මගෙ පුතාව මං වඩාගෙන එගොඩ කරන්නම්. එතෙක් මගෙ පුතා කලබලයක් නැතුව ඉන්නවා නේද…?”

ඉතින් ඒ අම්මා ලොකු පුතාව ආදරයෙන් සිප ගත්තා. බිම වාඩි කෙරෙව්වා. පොඩි දරුවත් රැගෙන හෙමින් හෙමින් වතුරට බැස්සා. දිය පහර හරි සැරයි. වේගවත්. එකවරම යාගන්නත් අමාරුයි. එගොඩ වෙන්න සෑහෙන වෙලාවක් ගියා. අමාරුවෙන් එගොඩට ගිය අම්මා පොඩි රෙදි කැබැල්ලක් අතුරා සිඟිති දරුවා ඒ මත තිබ්බා. ආදරයෙන් සිප ගත්තා.

“මගේ චූටි පැටියෝ…. අපි හෙමින් ආච්චිලාගේ ගෙදර යමු… මං ගිහින් ඔයාගේ අයියව එක්කන් එනකම් මගේ කිරිපැටියා නාඬා ඉන්න හොඳේ…”

අම්මා ආයෙමත් හෙමින් හෙමින් වතුරට බැස්සා. ගඟ හරී පළලයි. හෙමින් හෙමින් යන්න තියෙන්නේ. ඒ අම්මා ගඟ මැදට එද්දී ලොකු උකුස්සෙක් අහසේ පියා සළා ගඟ වටේ කැරකුණා. අම්මා ඇස් ලොකු කොට අහස බැලුවා. අර උකුස්සා ඊයේ උපන් කිරිකැටියා වටේ කැරකෙනවා. අම්මට කෑ ගැහුණා.

“ෂෝ….. ෂෝ….. ඒයි… උකුස්සා….! පලයාං….! ෂෝ….. හා….! හා…..! ඒයි….. කිට්ටු වෙන්න එපා….!”

අම්මා හයියෙන් කෑ ගැහුවා. අත්පුඩි ගැහුවා. ශබ්ද කළා. යටිගිරියෙන් කෑ ගැහුවා. නමුත් උකුස්සා කිසි වගක් නැතුව කිරි දරුවා ළඟට පාත් වුණා. උකුසු නියපොතුවලින් කිරිදරුවා අමුණා ගත්තා. අහසට නැගුණා. අම්මා තවත් යටිගිරියෙන් කෑ ගැහුවා. කෑ ගසා මෙගොඩ බලද්දී ලොකු පුතා නෑ! වේගයෙන් ගලා බසින ජල දහරාවෙන් සිඟිති අත් දෙකක් උඩට මතුවුණා. යට ගියා. අම්මා වේගයෙන් ඉස්සරහට පැන්නා. අම්මට ළං වෙන්න බෑ! ඒ දරුවා නොපෙනී ගියා.

ගං ඉවුරු කොණ දක්වා පිරී ගොස් වේගයෙන් ගලා බස්නා සිත් පිත් නැති නපුරු ගං දියට මැදිවී සිටි මේ අම්මා හිස අත් බැඳගෙන විලාප දුන්නා. ආයෙ එගොඩට යන්නේ කවුරුන් උදෙසාද! ඇය වැළපෙමින් මෙගොඩට ආවා.

ඇගේ මුළු ලෝකයම කෙමෙන් කෙමෙන් ඈත් වෙනවා. පැය විසි හතරක් යන්න කලින් ඇයට හැමදෙයක්ම අහිමි වෙන්නයි යන්නේ. ඇය හඬ හඬා පාර දිගේ ගියා. සැවැත් නුවරට ළං වෙද්දී තවදුරටත් හඬන්න ඇයට කඳුලක් ඉතිරි වුණේ නෑ. දැන් ඇය සොයන්නේ අඩු ගණනේ තමන්ගේ මව්පියන්වත් දකින්න ඕන කියලයි.

මීට අවුරුදු කීපයකට කලින් දාසියකගේ වෙස් අරගෙන, අතට පැසක් අරගෙන, සිහින ලෝකයක කිරුළු පළඳින්න මේ පාරෙන් නේද මං ආවෙ කියලා ඇයට යාන්තමින් මතක් වුණා. චිත්‍රපටියක් වගේ ඇගේ ජීවිතය පෙනි පෙනී නොපෙනී ගියා.

පාරේ ගිය අමුත්තෙකුගෙන් දෙමව්පියන්ගේ නම් ගොත් විමසුවා. මේ සුළු කාලෙට හැම දෙයක්ම වෙනස් වෙලා. මංමාවත් පවා වෙනස් වෙලා. ඒ තැනැත්තා ඇයට ගිනි ගන්නා දරසෑයක් පෙන්නුවා.

“ඊයේ රෑ වැස්ස නිසා සිටු පවුලට හරි විපතක් වුණා. සිටු මාළිගයට ගහක් වැටුණා. සිටු ජෝඩුව මළා. සහෝදරයත් මළා. අර ඇවිලෙන්නේ එයාලගේ මළ කඳන්!”

සිටු කුමරිය කිසි කතාවක් නැතුව ඒ දර සෑය ළඟට ගියා. ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා. හැම දෙයක්ම ඈට මැවී පෙනුණා. හැම දෙයක්ම ඈ ඉදිරියේ පෙනි පෙනී නැතිවුණා. වටපිටාව ඈට අමතක වුණා. මේ කොහෙද ඉන්නේ කියලා ඈ දැන් දන්නේ නෑ. ඈට වෙලාවකට දෙමව්පියන් මතක් වෙනවා. වෙලාවකට එගොඩ ලොකු පුතා වතුරට පනිනවා පේනවා. මෙගොඩ උකුස්සා කිරිසප්පයා ඩැහැගන්නවා පේනවා. වෙලාවකට තමන්ගේ ස්වාමියා මැරී සිටින අයුරු පේනවා. වෙලාවකට සිටු මාළිගයේ සිටිද්දී දර පලන කොල්ලා සමඟ රහසේ බැඳි පෙමේදී ගැයූ ගීත ඇහෙනවා.

ඈ පාරේ ඇවිදගෙන දුවගෙන ගියා. ඈ තනියම කතා බස් කරනවා. රෑ දවල් ඈට අමතකයි. ඇගේ කයේ නූල් පොටක්වත් නෑ. ඒ සෑම දෙයක්ම ඈට අමතකයි. ඈ සුසුම් හෙළනවා. හඬා වැටෙනවා. දරුවන්ගේ නම් කිය කියා අමතනවා.

සැවැත් නුවර නගරය පුරා සැරිසරන මේ නිරුවත් පිස්සිය දුටු මිනිසුන් ගොම ගසා එළෙව්වා. කැටකැබලිති වලින් පහර දුන්නා. කාරලා කෙළ ගැසුවා.

ධර්මය දන්නා සැදැහැවතුන් ඈ දෙස බලා මහත් සංවේගයට පත් වුණා. ඈට සිහිය උපද්දවන්න කරුණු කිව්වා. කිසිවකින් පලක් වුණේ නෑ. ඈ ඔහේ ඇවිදගෙන ගියා.

එදා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි දම්සභා මණ්ඩපයේ දහම් දෙසමින් සිටියා. මිනිසුන් අතර එක්වරම කිසියම් කලබලයක් හටගත්තා. කසුකුසුවක් හටගත්තා. මිනිසුන් හිටගත්තා. එහාට මෙහාට කලබල වුණා. කෙනෙකුගේ ගමනක් නවත්වන්න මහන්සි ගත්තා.

නිරුවත් ගැහැණියක් දෙව්රමට ඇවිල්ලා! අර ඇවිද ගිය පිස්සිය දෙව්රමට ඇවිල්ලා! ඈ වැළපෙනවා. දරුවන් ඉල්ලනවා. දැන් ඈ මේ පැත්තටයි එන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියටයි එන්නේ. මේ අසුභ දැක්ම මෙතනට සුදුසු නෑ.

මිනිසුන් මහන්සි ගත්තේ ඇගේ පැමිණීම නවත්වන්නයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ඈට එන්න අරින්න කියලයි. ඈ ළං වෙද්දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“පින්වත් නැගණිය…. සිහියෙන් එන්න” කියා බුදුරජාණන් වහන්සේ පවසද්දී ඇයට ප්‍රකෘති සිහිය ආවා. ඇය කලබල වුණා. ලැජ්ජාවට පත්වුණා. වටපිට බැලුවා. දෑතින් පපුව වසාගත්තා. එතන සිටි උපාසිකාවක් ඈට ලොකු සළුවක් දුන්නා. ඈ ඒ සළුවෙන් සිරුර වසාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා.

“ස්වාමීනී, මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ…. මට මේ හැම දෙයක්ම අමුතුයි…. අනේ…. මට පිහිට වෙන්න… මං කිරිකැටියාව එගොඩ තිබ්බේ අනිත් පුතාව එක්කගෙන එන්නයි. අනේ ස්වාමීනී…. මං ඒ වෙලාවේ ගඟ මැද්දෙ හිටියේ…. මං ශක්තිය අරගෙන කෑ ගැසුවා… මං හිතුවේ උකුස්සා මගේ හඬට භය වෙලා යාවි කියලයි. අනේ ස්වාමීනී…. මගේ කිරිසප්පයා ඩැහැගෙන ගියා…. මං කෑ ගසද්දි ලොකු පුතා රැවටුණු බව මං දැනගත්තේ දරුවා වතුරට පැන්නට පස්සෙයි. අනේ…. මං එහෙම හිතාගෙන නොවෙයි කෑ ගැසුවේ…. අනේ ස්වාමීනී…. මං ගඟ මැද්දේ හිටියේ… පුතා දිහාවට පැන්නා… අනේ ස්වාමීනී…. මගේ දරුවා…. මට පෙනි පෙනී…. සිඟිති අත් දෙක ඔසව ඔසවා… නොපෙනී ගියා.



අනේ ස්වාමීනී…. මං මගේ ස්වාමියා කොළ අතු කඩන්න පිටත් කළේ නපුරක් කරන්න හිතල නොවෙයි. යම් හෙයකින් නයෙක් ගසා මැරෙන බව මං දැන සිටියා නම්…. අපි තෙමි තෙමී ඉන්නවා… ඒක අපට සැපයි. මට කරන්න දෙයක් නෑ… මං හඬ හඬා මගේ ස්වාමියාගේ මළ කඳ සිප ගත්තා. කොළ අතුවලින් වසා දැම්මා.

අනේ ස්වාමීනී…. දෙමව්පියන් දරුවන්ට ආදරේ බව හැබෑව. ඒ දෙමව්පියන් වෙනුවට මං දැක්කේ ඇවිලෙන දර සෑයක් විතරයි. සහෝදරයා වෙනුවට මං දැක්කේ දර සෑයක් විතරයි… අනේ ස්වාමීනී… මට තවත් කඳුළු ඉතුරු වෙලා නෑ…. මට හෙලන්න සුසුමක් ඉතුරු වෙලා නෑ…. වැළපෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ…. මගේ ජීවිතයේ හැම දෙයක්ම මට අහිමි වුණා.

අනේ ස්වාමීනී…. ඔබ වහන්සේ ළඟට මේ දැන් පැමිණි වෙලාවේ ‘නැගණිය… සිහියෙන් ඉන්න’ කියන වචනය තමයි මට ඇහුණ එකම දෙය. අනේ ස්වාමීනී…. ඔබවහන්සේගේ කරුණාව නිසාමයි මගේ මේ සිහිය ඉපදුණේ… අනේ ස්වාමීනී…. මට තවත් මේ දුක ඉවස ගන්න අමාරුයි… මට පිහිට වෙන සේක්වා….!”

“පින්වත් පටාචාරා…. සසර කියන්නේ දුකත් සමඟ යන ගමනක්. දුකින් මිදීයන ගමනක් නොවෙයි. සසරේ සැරිසරන කෙනෙක් විඳින දුක උපමාවකින්වත් කියන්න අමාරුයි.

පටාචාරා… ඉපදෙමින් මැරෙමින් යන මේ සසර ගමනේදී දූ පුතුන් නිසා, මව්පියන් නිසා, ස්වාමියා නිසා හැලූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි. මේ ඉමක් කොණක් නොපෙනෙන අතීතයක් උරුම කරගත් ගමනේදී සෑම සත්වයෙකුම ඔය ඉරණමට මුහුණ දිය යුතුයි. චතුරාර්ය සත්‍යාවබෝධ කරන තුරු මේ ගමනේ අවසානයක් නෑ.”

බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය විස්තර වශයෙන් දේශනා කරද්දී පටාචාරා ඒ අසුනේම සෝවාන් ඵලයට පත්වුණා. ඈ භික්ෂුණියක් වුණා. ඉතාම සිල්වත් වුණා. විනයගරුක වුණා.

දිනක් පටාචාරා භික්ෂුණිය බඳුනෙන් දිය ගෙන පා සේදුවා. ඒ මොහොතේ ඒ දිය ටික දුරක් ගලාගොස් පොළොවට සිඳී ගියා. ඈ දෙවෙනි වතාවටත් බඳුනෙන් දිය ගෙන පා සේදුවා. එතකොට ඒ දිය ටික තව ටිකක් ඈතට ගලා ගොස් පොළොවට උරා ගත්තා. ඈ තුන්වෙනි වතාවටත් එලෙසින් පා සෝදද්දී ඒ දිය තවත් ටිකක් ඈතට ගලා ගොස් පොළොවට උරා ගත්තා. ඈ ඒ දෙස බලා සිටියා. ඇයට පුදුමාකාර විදිහට ඒ තුළින් ජීවිතය විනිවිද දකින්න පුළුවන් වුණා.

“ඔව්! පුංචි කාලෙදි සතුන් මිය යන්නෙ පොඩි දුරකට වතුර ගලනවා වගෙයි. මැදි වයසෙදි සතුන් මිය යන්නේ ඊට වඩා ටිකක් දුරට වතුර ගලනවා වගෙයි. ටිකක් ඈතට ගොස් ගලන වතුර පාර වගෙයි තවත් කෙනෙක් වයසට ගිහින් මිය යනවා. ගලන දිය පහර සිඳී යනවා වගේ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා….”

ඈ මෙසේ මෙනෙහි කරද්දී බුදුරජාණන් වහන්සේ ආලෝකයක් පතුරුවා එවමින් මෙම ගාථාව ඇසෙන්නට සැළැස්සුවා.

යෝ චේ වස්සසතං ජීවේ – අපස්සං උදයව්‍යයං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – පස්සතෝ උදයව්‍යයං

සියක් අවුරුදු ගෙවා දැමුවත් – සැබෑ තතු නම් නොදැක දිවියේ
පලක් නැහැමයි එය කෙනෙක් හට – එයින් ඇතිවෙන සෙතක් නම් නැත
ගෙවයි නම් ලොව එකම දවසක් – සැබෑ තතු දිවියේ පසක් කොට
උතුම්මයි ඒ ගෙවෙන එදවස – සෙතක් සැලසෙනවා එයින්


පටාචාරා කතාවේ පටාචාරාව සිටු මැදුරෙන් එක්ක යන්නේ සිටු මැදුරේ සේවකයෙක් . මේ ගීතය ඒ කතාවට ගළපලා කියනවානම් ,

සේවකයාට සිටු කුමරිය කියනවා 

සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

කියලා . එතකොට සිටු මැදුරේ සේවකයා කියනවා

මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී

කියලා . ඊට පස්සේ ගීතය පුරාවටම කියවෙන්නේ මේ දෙන්නාගේ දෙබස .


සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
දුකට කරුණු අහස අසාවී

පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී.
ඒ පැදුරෙන් අප නොවැටේවී

සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී

සඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී

පටාචාරා කතාවට මේ ගීතය එහෙම ගැලපුණාට අද කාලේ සමහර ආදර කතා බලනකොට මේ තත්වය ඇත්තටම අදත් ප්‍රායෝගිකව පවතිනවා කියන එක රහසක් නෙවෙයි . මොකද ආර්ථික තත්වය සහ සමාජ රැල්ල නිසා යම් පීඩනයකට පත්වෙලා ඉන්න සමහර කපල් වලට වෙන්නේ අවසානයේ කොල්ලගේ ආර්ථික තත්වයේ පවතින අවුල නිසා විවාහ වෙන්නේ නැතුව වෙන් වෙන්න . එහෙමත් නැත්නම් හොරෙන් පැනලා යන්න .

මේ ගීතයේ කියවෙන්නේ ඒවගේ දුප්පත් කොල්ලෙක් සහ ධනවත් කෙල්ලෙක් අතර ඇතිවෙන මුල් කාලීන ආදර කතාවක දෙබසක් කියලා කිව්වොත් වඩාත් නිවැරදියි . ඔන්න දැන් දෙන්නා යාලු වුණාට පස්සේ ටිකක් කතා කරාට පස්සේ කොල්ලා සහ කෙල්ල තම තමන්ගේ පවුල්වල ආර්ථික තත්වයන් හරියටම දැනගන්නවා . දැනගත්තට පස්සේ කෙල්ල කියනවා කොල්ලට

සත් මහලින් බැස එන්නම්
ඔබ මා පිළිගන්නවනම්
ආදරයේ පියගැටපෙල පාර කියාවී

තමන්ගේ විශාල මන්දීරයෙන් බැහැලා එන්නම් ඔයා මාව පිළිගෙන විවාහ කරගන්නවානම් කියලා . ඒකට හේතුව විදියට ප්‍රේමවන්තිය කියන්නේ ආදරය කියන පඩිපෙළ ඉහළ මාලයේ ඉඳලා පෙම්වතා ලඟට එන්න පාර කියාවි කියල . මේක අහගෙන ඉන්න ප්‍රේමවන්තයා කියනවා


මහ පොළොවට පිළිගන්නම්
සිටුසැප හැර එනවානම්
ජීවිතයේ දුහුවිල්ලෙන් ඇස් බොඳ වේවී


ඔයා සිටුමැදුරෙන් එනවනම් පහළට බැහැලා , ඔයාට මහපොලවටම එන්න වෙනවා . ඒ පොළවට ඔයාව පිළිගන්නම් . හැබැයි ජීවිතය කියන හරියාකාර තේරුම තියෙන තමන්ගේ ජීවිතයේ තියෙන දුක් කම්කටොලු නිසා පෙම්වතියටත් ජීවිතය කියන දුහුවිල්ලෙන් ඇස් බොඳ වෙයි කියලා . සරලවම කියනවානම් මේ කියන්නේ තමන් එක්ක එනවානම් දුක් විඳින්න වෙනවා කියලා කියන එක තමයි .


සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී
දුකට කරුණු අහස අසාවී

ඊට පස්සේ පෙම්වතිය කියනවා මෙන්න මෙහෙම දෙයක් . ඒ තමයි තමන් නිදාගත්ත සිරියහනේ තියෙන පොකුරු පිච්ච මල් තනි වේවි කියලා . ඒ කියනෙන් තමන්ට ඒ සැප සම්පත් වුණත් අතාරින්න පුළුවන් කියලා තමයි ඒ වක්‍රාකාරව කියන්නේ .

පන් පැදුරේ අළුත් පැතුම් දළු ලියලාවී.
ඒ පැදුරෙන් අප නොවැටේවී

එතකොට පෙම්වතා කියනවා තමන්ට දෙන්න සිරියහනාවක් නැහැ . ඒ වෙනුවට දෙන්න පුළුවන් වෙන්නේ පන් පැදුරක් විතරයි . ඒ පන් පැදුරේ අලුතෙන් ජීවිතයක් දෙන්නාට ආරම්භ කරන්න පුළුවන් . ඒවගේම ඒ අලුත් ජීවිතයේ ප්‍රාර්ථනාවන් ඇතිවෙනවා අලුතෙන්ම කියලා . ගීතයේ තියෙන සමාජ පරතර දෙක අතරේ තියෙන වෙනස පෙන්වන හොඳ තැනක් තමයි පන් පැදුරෙන් අප නොවැටේවී කියන කොටස . මොකද සමාජයේ පහලම ආර්ථික මට්ටමට ඇවිත් ජීවත් වෙනකොට ආයෙත් පහළට වැටෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා පෙම්වතා හිතන නිසා . 

සත් මහලට පෑයු සඳ පැලටත් ඒවී
ඔබේ ලොවට එලිය වැටේවී

පෙම්වතිය කියනවා තමන් තමන්ගේ මන්දීරයේ ජීවත් වෙනකොට නිවසේ තිබ්බ හඳ එළියම පෙම්වතාගේ පැළටත් එයි කියලා සහ ඒ එළියෙන් පෙම්වතාගේ ලෝකයත් එලිය වෙයි කියලා .

සඳ නාවත් මගේ පැලේ එළිය ගලාවී
ඔබට පුරා හඳ පරදීවී

එතකොට පෙම්වතා කියනවා , හඳ එලිය නාවත් කමක් නැහැ . මොකද පෙම්වතියගේ සිරියාවෙන් පැලට එලිය වැටෙයි කියලා . අවසානයේ පෙම්වතා කියනවා පෙම්වතියගේ එළියෙන් හඳ එළියත් පරදියි කියලා .


සාමාන්‍යයෙන් පෙම්වතුන් දෙන්නෙක් අතරේ ඇතිවෙන කතාබහක් තමයි මේ ගීතයේ වචන අතරේ තියෙන්නේ . ජීවන බර සහ අනාගතය ගැන තියෙන බය මේ ගීතයේ සැඟවිලා තියෙනවා කියලා මම හිතනවා . ඒත් දෙන්නා දෙන්නාගේ වචන වලින් ඒ බය යටපත් කරගෙන තියෙනවා . ඒ නිසා සුන්දර ලෝකයක් මවාගන්න පුළුවන් වෙලා තියෙනවා .


ගීතයේ මම කැමතිම කොටස තමයි , සිරියහනේ පොකුරු පිචිච මල් තනිවේවී කියන කොටස . ඒ කොටස ගායනා වෙන විදිය සහ niroshaa විරාජිනී මහත්මියගේ ගායනා ශෛලිය හිතට කාවදින විදියට ගැළපිලා තියෙනවා . 

ගීතයේ සංගීතය අතින් බලනකොට බටනලාවෙන් සහ තාල වාදනයෙන් තමයි වැඩි වශයෙන්ම ගීතයේ රාජකීය ගතිය ඉස්මතු කරලා පෙන්නුම් කරන්නේ .

එහෙනම් ආයෙත් ගීතය අහලා බලන්න මම කියන්නේ ඇත්තද කියලා .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!

Comments

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.