Breaking

Post Top Ad

Blog Archive

Sunday, 24 September 2017

පද රචනය අනුව මම කැමතිම ගීත 10






විශ්වවිද්‍යාල ජීවිතේ ඉවරෙටම ඉවරයි . දැන් තියෙනවා කතා ගොඩක් ලියන්න . කැමතිම ලෙක්චර්ස් , කැම්පස් එක පැත්තේ වෙච්ච දේවල් වගේ ගොඩක් දේවල් තියෙනවා ලියන්න . කලිනුත් මම ලිපිවල ලියලා තියෙනවා කැම්පස් ගියාට පස්සේ අඳුරගන්න ලැබුණු හොඳ යාළුවෙක් ගැන . ඒ තමයි දනුල වික්‍රමආරච්චි . දනාගෙ පළාමල්ල වෙබ්අඩවිය කරගෙන යන්නේ ඒ දනුලම තමයි .


ලියලා තියෙන සමහර ලිපි වලට කරුණු එකතු කරගන්න මේ දනුලගෙ ගෙදර තිබුණු පරණ පොත්පත් මට උදවු වෙලා තියෙනවා . මමත් ඉඳලා හිටලා ඒ පැත්තේ ගිහින් ගත්ත පොත් දීලා තවත් පොත් ටිකක් අරගෙන එනවා . මේ විදියට අන්තිමටම මම අරගෙන ආවේ සියබස්ලකර කියන පොත සහ තවත් පොතක් . ඒක කියවලා අවසාන වෙලා කාලයක් තිස්සේ ගෙදර තිබුණා . ඔය අතරේ කොහොම හරි සාහිත්‍ය මාසයේ පොත් ගන්න බලන්නත් එක්ක වයලීනෝ ගියා කොළඹ පැත්තේ රවුමක් ඇවිදලා පොත් එකතුකරගෙන එන්න .

ඒ ගිහින් එදා ගියා දනුලගෙ ගෙදර පැත්තෙත් . කතා කර කර ඉන්නකොට දනුල වැඩියහරියක් කරන්නේ ලියන්න ඕන ලිපි වලට මාතෘකා සපයන එක . මේ ඒ වගේ මාතෘකාවක් . වෙනදා එක ගීතයක් ගැන වැල් වටාරම් ලියනවා . ඒත් මේ වගේ කෙටියෙන් ගීත විශාල ප්‍රමාණයක් නැවතත් මතක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා මමත් කල්පනා කරා .


මේ එහෙම මතක් කරපු ගීත දහයක් . අර්ථය අනුව මේ ලිපිය ලියන්න මම කැමතිම ගීත මතක් කරත් වැඩියෙන්ම තියෙන්නේ සංගීතය අනුව මම කැමති ගීත තමයි . ඒත් මූලිකත්වය පද රචනාවට හිමිවෙන නිසා පද රචනය අනුව මම කැමතිම ගීත දහය මොනවද කියලා ඉස්සෙල්ලම ලිව්වා සහ ඔන්න එහෙනම් මෙතැන ඉඳලා කියවගෙන යන්න ඔයාලට ආරාධනා කරනවා .


පළවෙනි රාජසිංහ රජතුමා කවුරුත් දන්නවා . ඊට පස්සේ නැවතත් රාජසිංහ කෙනෙක් රජ වෙනවා . මේ රජතුමා දෙවෙනි රාජසිංහ රජතුමා . මට මතක හැටියට දෙවෙනි රාජසිංහ රජතුමා තමයි දැන් මේ රත්නපුරයේ පවතින සබරගමුව මහ සමන් දේවාලය හදවලා තියෙන්නේ . ඒ කියන්නේ පෘතුගීසි දේවාලේ කඩලා දාලා එතන පල්ලියක් හැදුවට පස්සේ පල්ලිය කඩලා නැවතත් දේවාලය හදන්නේ දෙවෙනි රාජසිංහ රජතුමා තමයි . ආයෙත් මට මතක හැටියට ඉඟුරු දීලා මිරිස් ගත්තෙත් මේ රජතුමා තමයි . ඒ පෘතුගීසි එළවලා ලන්දේසි ගෙන්නගත්ත කතාව .

ඉතින් මේ රජතුමා තමන්ගේ ජීවිත කාලේ යම් කාල සීමාවකදී යම් උපයශීලී වෙස් මාරුවකින් වැදි කාන්තාවක් විවාහ කරගන්නවා . ඉතින් ඒ නිසාම වැදි කාන්තාව අවසානයේ රජ බිසවක් වෙනවා . ඊටත් පස්සේ රජ බිසව රජතුමාට දාව වැදි රාජ කුමාරයෙක් බිහි කරනවා . ඒ වැදි බිසව තමන්ගේ දරුවා නළවපු කවි පන්තියක් තමයි මේ පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කරලා ගායනා කරන්නේ .

අමරදේවයන් මේ කවි පන්තිය කිසිම වෙනසක් නොකර අර්ථය සහ ධ්වනිශක්තිය ආරක්ෂා වෙන්න ගායනා කරන නිසා මම මේ ගීතයට කැමතියි . මොකද මේ ගීතයේ ආරම්භය " ම " ගණයෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ . සුබ ගණය ගීතයේ පැවැත්ම සහ ගායකයාගේ පැවැත්ම ආරක්ෂා කරගන්න උදව් වෙලා තියෙනවා . සිතා හෝ නොසිතා අමරදේවයන් ඒ නැළවිලි ගීතය අර්ථවත් විදියටම ගායනා කරනවා සමිතා මුදුන්කොටුව මහත්මිය එක්ක . ඒ නිසා මේ ගීතයට මම කැමතියි .

චන්දෝ මා බිලිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්
පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ...ඒ..ඒ..
නාඬන් දැන් එන්දෑ

දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද දැන් දරු සුන්දර රූපා

පැන පැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ලඟ කැඳවන්නා
ඔන්න බිලිඳු රිලවුන් පැන යන්නා

අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා

පද රචනය - ජන ගීයකි
සංගීතය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සමිතා එරන්දතී මුදුන්කොටුව


----------------------------------------------------------------------------------------------------------------------

මේ ගීතය ගැන නම් කියන්න ගියොත් වයලීනොට තව මාසෙකින් රජයේ බත් කන්න වෙන්නේ . ඒ නිසා කියවලා බලන්න . අද කාලෙට වඩාත් ගැළපෙන ගීතයක් . ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


දන්සල් දොරෙහි නැත යදියෝ…
සල්පිල්වලය පුරවැසියෝ...
පන්සිල් රකිති මැරවරයෝ…
මේ කේතුමතී නුවරයි…

නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්
දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්

මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනා
වෙඩි හඬ අසනු රිසි දනෝ පුපුරවති අහෝ රතිඤ්ඤා
මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දස රද දම් හි නිති පැවතී නරපති ඇමති වඩන රුතී
සත වෙත පතල මෙත සදතී මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

රැකෙයි අකුරට නීතිය
දෙයක් දේ නම් යම් සුදුස්සාටම අයිතී වී ඇත
නැත අක්‍රමිකතා වැඩේ සුහදතා සුන්දරතා සුවතා
අහෝ සැපයි සැපයි මෙපුර විසුම නම්

මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

කියමින් නිබඳ ගී මියුරූ දකිමින් අවට රූ සොඳුරූ
සතුටින් රඟති මේ නුවරූ  මේ කේතුමතී නුවරයි
මේ කේතුමතී නුවරයි

නැත මුදලේ වටිනාකම්  බුහුමන් කරයි ශිල්ප ශාස්ත්‍රයටම
නැත පවුල්වාද, පිල් බේද, කුලවාද, දෑ වාද
නැත බදුබර, පවුල් බර ජීවන බර

මැරුණත් මේ පුරේ - මේ මනරම් සමේ
උපදින්න මතු වාසනා

දන්සල් දොරෙහි නැත යදියෝ
සල්පිල්වලය පුරවැසියෝ
පන්සිල් රකිති මැරවරයෝ
මේ කේතුමතී නුවරයි

පද රචනය  - මහාචාර්ය සුනිල් ආරියරත්න. 
සංගීතය - සරත් දසනායක.
ගායනය - නන්දා මාලනී 

--------------------------------------------------------------------------------------------------------------------------

මේ ගීතය සම්බන්ධව නම් වෙනමම ලිපියක් ලියන්න සැලසුම් කරලා තියෙන්නේ . ඒ නිසා වැඩි විස්තරයක් අවශ්‍ය නැහැ කියන්න . මේ ගීතය මම අහන්න අකමැති වෙලා තිබුණු ගීතයක් . ඒත් මේ ගීතයේ අර්ථය දැනගත්තට පස්සේ සහ රාවණ රජු ගැන විපරම් කරලා විස්තර එකතුකරනකොට මේ ගීතය සහ ඒ විස්තර කොච්චර හොඳට ගැළපිලා තියෙනවද සහ එදාට වඩා මේ ගීතය අදට කොච්චර ගැළපෙනවද කියලා හිතෙනවා .

මේ ගීතය " ප්‍රභාශ්වර " කතා මාලාව ලියන්න ගත්තට පස්සේ තමයි ඇත්තටම අහන්න ගත්තේ . මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් ගානේ මට මතක් වෙන්නේ සීගිරිය . ඉර දෙවියන්ගේ සහ සඳු දෙවියන්ගෙන් ඉපදුනු ජාතියක් වෙච්ච අපි එදා කොතනද හිටියේ සහ අද කොතනද ඉන්නේ සහ හෙට ඉන්න වෙන්නේ කොතනද කියලා මේ ගීතයේ යම් අදහසක් තියෙනවා .

ගීතයේ නිධාන කතාව නම් වෙනම කතාවක් . ඒ කතාවත් එක්ක බැලුවත් මේ ගීතයේ තියෙන්නේ බටහිර සංස්කෘතිය මගින් ලංකාවේ යම් යම් ස්ථාන විනාශ කරගෙන බටහිර කරණය කරලා සිංහල ජාතිය සහ පරිසරය නැති කරගෙන යන ආකාරය ගැන .

මේ ගීතයේ මම කැමතිම කොටසක් තියෙනවා . ඒ " ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුන " කියන කොටස සහ " වෑ කන්ද කපා බිම් කටු කම්බියෙන් බෙදා මේ රණ " කියන කොටස . ඒ කොටස්වල අර්ථ රසය වගේම ශබ්ධ රසයත් ගැබ් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා . ඒ නිසා මේ ගීතයට මම කැමතියි . 

බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව කෝ.. 

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවුන් බිම වැටී
පණ ගසයි
මිනී මල් පිපුණු සීතල
නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව
විලාපය නඟයි..විලාපය නඟයි..!

බිම්බරක් සෙනග...

කැලෑ මල් පිපී රතු තොල්වලින්
කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය
රන් රුවන් කරඩු කොයි..
වෑකන්ද කඩා බිම් කටු
කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා 
කඩුව බිම දමවු...කඩුව බිම දමවු...!

බිම්බරක් සෙනග...

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


--------------------------------------------------------------------------------------------------------------------------

සංගීතයෙන් ඈත් වීම කියන දේ ගැන හිතේ යම් සතුටක් තියෙනවා දුකක් තියෙනවා සහ ඔය දෙකම මිශ්‍ර වෙලා අමුතුම මෙව්වා එකක් තියෙනවා . ඒ වෙනුවෙන් හූමිටි තියන ගීතයක් තමයි මේ ගීතය . හැබැයි මේ ගීතයේ කියවෙන්නේ සංගීතය කියන දේ නෙවෙයි . නර්තනය කරන සහ නර්තනයෙන් ජීවිකාව ගෙනියන අයට තමන්ගේ අග හිඟ කම් සහ ඒවා වහගන්න කරන්න වෙන දේවල් ගැන තමයි මේකෙන් කියවෙන්නේ .

මේ ගීතයේ මම කැමතිම කොටස රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති නළල් පට මාල හත් පට සින්න වී ඇති කියන කොටස . ගීතයේ සම්පූර්ණ අර්ථය ඒ පද පේලි කීපයෙන් දෙනවා කියලා තමයි මට දැනෙන්නේ . ඒවගේම තමයි නර්තනය අරමුණු කරගෙන මේ ගීතය ලිව්වත් සකල කළා ශිල්පයන්ගේම ශිල්පීන්ට අත්වෙන්න පුළුවන් යම් ඉරණමක් ගැන මේ ගීතයෙන් කියවෙනවා . ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි


ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ


--------------------------------------------------------------------------------------------------------------------------

මේ ගීතය ජීවිතේ අමතක වෙන්නේ නැති අවස්ථාවකදී අහන්න ලැබුණු ගීතයක් . ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී අහන්න ලැබුණු පළවෙනි ගීතය මේක . කැම්පස් ගිය අපිට සතියක ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා . ඒකෙදී මුල දවසක දේශනයකට ආවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්වය පිළිබඳව මහාචාර්යවරයෙක් . එතුමාගේ දේශනය මම හිතනවා ඒ වෙනකල් ඉදිරි සැලසුම් පිළිබඳව මගේ තිබුණු අදහස් වෙනස් වෙලා ජීවිතේ ගමන් කරපු පාර වෙනස් කරා කියලා .

ඒ දේශනය අතරේ මේ ගීතය වාදනය කරලා අපිට තේරුම එක්ක අහගෙන ඉන්න කියලා එතුමා කිව්වා . අපිත් ඉතින් අහගෙන හිටියා . ගී පද ස්ක්‍රීන් එකක දාලා තිබුණා අපිට බලන්න . ඒ බලාගෙන සංගීතයත් එක්ක ගීතයේ තේරුම ඔලුවට ගියේ එදා තමයි . අද කාලේ මේ වගේ මිනිස්සු නිහඬයි කියලා තමයි මම හිතන්නේ . ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දොවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යායුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

කදුළු සලන්නන් කදුළින් ගොඩගෙන
මුවගේ හසරල් රදවා
තුටු කදුළීන් නෙතු සරසන දෙවියන්
පුදදෙමු දෙවොලට කැදවා

ගී පද - සුනිල් ආරියරත්න 
තනුව - රෝහණ වීරසිංහ
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා 



--------------------------------------------------------------------------------------------------------------------------

මේ ගීතයට කැමති මොකද කියලා කියන්න බෑ . ඒ නිසා මේ ගීතයට මම කැමතියි .

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනෙයි අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා

නින්දා ගිණි නිවේවි
මාල හතක් දිලේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා


ගායනය - මාලනි බුලත්සිංහල
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විදුර ඩයස් 


--------------------------------------------------------------------------------------------------------------------------

මේ ගීතය නම් බෝඩිමේ ඉන්න කාලේ නිතරම මතක්වෙන ගීතයක් . අපේ බෝඩිම තිබ්බ පාර දෙල්කඳට යන අතුරු පාරක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා . ඒ නිසා සමහර වෙලාවට වාහන දුම් , සද්දේ , වගේ දේවල් වලින් පිරිලා තිබුණා . ඊට පස්සේ කොහොම හරි බෝඩිමේ පිටිපස්සේ තියෙන වෙන කාමරයකට මාරු වෙනකල්ම මේ ගීතය මතක් වෙන වෙලාවල් නිතරම තිබුණා . ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


දුරු කතර ගෙවාගෙන 
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ 

දුම් වලාකුළේ තරුකැට හැංගිලා
ඇස් කොණින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බැහැ කොළොම්තොටට වෙලා
උඹෙ කතා කරන දෑස මතක් වෙලා

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹෙ මුහුණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමට ඇවිත් ඉන්නට බැරිවුණා

පද රචනය: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: එච් එම් ජයවර්ධන
ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

--------------------------------------------------------------------------------------------------------------------------

මේ ගීතයේ සංගීතයටත් කැමතියි . ඒවගේම ගීතයේ ලියවිලා තියෙන ව්‍යංගාර්ථ වලට මම වඩාත් කැමතියි . ගීතයේ අන්තරා කොටස් දෙකේම තියෙනවා ව්‍යංගයෙන් කියන දේවල් . ඒවා අහනකොට සමහර වෙලාවට හිතෙනවා සිංහල තරම එකම අදහස වෙනස් වෙනස් විදියට කියන්න පුළුවන් භාෂාවක් ලෝකයේ කොහෙවත් නැහැ නේද කියලා .

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ..
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ..
පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ..
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ..

ලාභ රත්තරන් දිලිසෙන පාළු වීදියේ..
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ..
උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ..
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ..

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ..
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ..
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ..
පාර මතකනම් තාමත් ගේ ලඟයි දුවේ..

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය ‍: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ


--------------------------------------------------------------------------------------------------------------------------

මේ ගීතයත් ව්‍යංගාර්ථයෙන් යමක් කියන ගීතයක් . මට මතකයි රත්න ශ්‍රී මහත්මයා අදහස් දක්වලා තියෙනවා මේ ගීතය ගැන ; මේ ගීතය ලියවුණු කාලයේ එතුමාට මේ ගීතය රචනා කිරීම සම්බන්ධව දෝෂාරෝපණත් එල්ල වුණා කියලා . මොකද එක පාරටම තොල්පෙති කියලා පටන් ගත්තම හිතට එන්නේ වෙන අදහසක් නිසා . ඒත් මේ ගීතයෙන් කියවෙන්නේ සේපාලිකා මලේ තැඹිලි පාට නටුව ගැන කියලා ටිකක් වෙලා හිතලා බලනකොට තේරුම ගැන පුළුවන් . ඒ නිසා මේ ගීතයට මම කැමතියි .


තොල් පෙති විතරක් 
පළමු හාදුවෙන් තෙමන්න
සේපාලික මලකට
රෑ තනියම හිනාවෙන්න
පුරහඳ එක්ක එන්න නිල් අහසට......

විරහී හදවත් සඳුන් උලා
සිහිලැල් කොට
නෙතු වියන් අගට පළඳා සුදු
මුතුලැල් පොට
පුරහඳ එක්ක එන්න නිල් අහසට.....

කටු කම්බි පවුරු පදනම්
නොපෙනී සදහට
එක යායක් වෙයි මුළු ලෝකය
හඳ එළියට
පුරහඳ එක්ක එන්න නිල් අහසට....

පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සශිකා නිසංසලා


--------------------------------------------------------------------------------------------------------------------------

මේ ගීතය අහනකොටම මට මතක් වෙන්නේ ආයුර්වේදය . ඒත් මේ ගීතයේ කියවෙන්නේ ආයුර්වේදය නෙවෙයි . බුදුන් වහන්සේ දේශනා කරන ලද ගාථාවක් . ඒ ගාථාවේ මුල් පද තුන තමයි මේ විස්තර කරන්නේ .

“ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං
විස්වාසා පරමා ඥාති - නිබ්බානං පරමං සුඛං”

ඒ නිසා මේ ගීතයට මම කැමතියි .

රජෙකු වුණත් - ගිලන් වෙලා
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ
නිරොග සැප හැර සැපයක් ලොවේ කොයින්දා...

ඉසුරු සමග - හාද වෙලා
නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා...

බැරිවුණ දා - නෑදෑයින්
අතහැර ගිය දා
හිතෙනවාට සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා.....

පද රචනය: මහින්ද දිසානායක
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: සුනිල් එදිරිසිංහ















එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

10 comments:

  1. මම නම් කැමතිම ඉරාජ්ගේ විෂුවල් වලට :p

    ReplyDelete
  2. Good collection! මේ ජාතියෙන් මමත් එකක් ලියන්න ඕනේ! හි හි හි

    ReplyDelete
  3. මමත් බොහොම කැමති ගීත ගොඩක් අඩංගු වෙච්ච එකතුවක්. සමහර ගීතවල හරි තේරුම දැනගත්තෙත් අදයි. ස්තූතියි මල්ලි! :)

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.

ජ්‍යෝතිෂ කටයුතු සඳහා සම්බන්ධ වන්න

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවාව හරහා සම්බන්ධ වීමට වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාව මත Click කරන්න . වාස්තු විද්‍යා උපදේශන සේවයේ Face Book පිටුවට Like කිරීම සඳහා Image එක මත Click කරන්න .

ඔබට අවශ්‍ය මැණික් අවම මිලකට විශ්වාසනීය ලෙස මිලදී ගැනීමට අමතන්න +94716132067
    ඔබගේ සියලුම මැණික් අවශ්‍යතා සඳහා රත්නපුරයේ වාසනාවන්ත පොළවෙන් මතුවන මිණිකැට අවම මිලකට රජයේ පිළිගත් සහතික පත්‍රයක්ද සමග මිලදී ගැනීමට අවස්ථාව . 
    දුරකථන ඇමතුමක් හරහා සම්බන්ධ වන්න . 
    කොළඹ මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 


    පද්මරාග
    මුතු
    රතුකොරල්
    පච්ච
    එමරල්ඩ්
    පුෂ්පරාග
    දියමන්ති
    කාකනිල්
    ත්න 
    අත් පළඳනා


    ඇතුළු සියලුම මැණික් ආශ්‍රිත මිලදීගැනීම් සඳහා අමතන්න.
Prabhashwara Gems

යන්ත්‍ර පැළඳවීමේ සේවාව පිලිබඳ දැනගැනීමට ඊතලය මත click කරන්න .
    සාර්ථකත්වය අප විසින් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් අනතුරුව යන්ත්‍ර පැළඳවීම සේවාවක් වශයෙන් පැවැත්වීමට " ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය " දැන් කටයුතු සූදානම් කර තිබේ . 

    වැඩිවිස්තර සඳහා Click here