ස්නේහයේ නගරයයි සිත මගේ...ඔබෙත් එහෙමද ?




ඕනෑම දෙයකට ගරු කරන හැටියටලු ඒකෙන් ගරුබුහුමන් ලබන්න පුළුවන් වෙන්නේ. සින්දුවගේ ආච්චි එදා ඉඳලා කියන කතාවක් ඕක. සිංදුවා නම් තාමත් විස්වාස කරන දෙයක් ඒක.
හොඳ ඉගැනීමක් ලබන්න පොත් පත් වලට හොඳට සලකන්න ගරු කරන්න ඕනි, හොඳට වයලීන් ගහන්න අපේ වයලා වගේ වයලේට හොඳට සලකන්න ගරු කරන්න ඕනා. පර්ස් එකේ සල්ලි ගුලි කරලා දානවනම් ඒ කියන්නේ සල්ලි වලට සලකන්නේ නෑ. එතකොට පර්ස් එකේ සල්ලි ගැවසෙනවා අඩුයිලු :D :D හැබැයි පර්ස් එකේ නම් සල්ලි ගුලි කරලා නෙවෙයි හතරට පහට නවලා හැන්ඟුවත් කොහෙන්හරි ඇදිලා ඇදිලා ඇදී........ලා ඇවිත් ගිහින් මාසේ අන්තිමට ලං වෙනකොට දුකේ බෑ හයියෝ...

ඉතින් කෝමහරි හොඳට ගරු සරු ලබන්නනම් මතක තියාගන්න ඕනිම දෙයකට පුද්ගලයෙකුට ගරු කරන්න. ඕක ගත්තම ආදරේ පැත්තට..... එතනට ඒක ගොඩාක් වැදගත් දෙයක් වෙනවා නෙහ්. දැන් දැන් නම් හොඳ හොඳ ගරු සරු හම්බ වෙනවා ආදරේට කියලා වැඩක් නෑ . හැබැයි සිංදුවාගේ ඉස්සර කාලේනම් මීට වඩා ගොඩක් ආදරේ කියන එක මීට වඩා උතුම් දෙයක් විදියට සැලකුවා. දැන් බොහෝ වෙලාවට වෙන්නේ ආදරේ මැද්දෙන් පනින රාගය මුල් තැන ගන්න එක.
රාගයක් නැති ආදරයක් තියෙනවද ?

"ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි" කියයි සුනිල් ආරියරත්නයන් නම්

එත් දැන් අවුල තියෙන්නේ
එතුමාම ආයේ ලියනවා නොවැ

"ගොවිඳුනි මේ සිරි යහනේ විරහී වැලහින්නකි මා
රති කෙළි රමණී සිහි කර පැරණී" කියලා.

රාගයෙන් තොර නම් ප්‍රේමය නම් අලේටද රති කෙලි ගැන මතක් කරලා අඬන්නේ මේ රාධා ළමයා. එක්කෝ ඒ බැන්දට පස්සේ වෙන්නැති නෙහ්. ඔව්වා මම දන්නේ නෑ අප්පා. ඔය පොසිෂන් ගැන ටෝක්ස් දෙන වයලගෙන්ම අහලා බලන්න.

බැන්දට පස්සේ දැන් දැන් නම් නිව්ස් දැක්කම තේරෙනවා දෙන්න දෙමහල්ලෝ හොඳට උන්දැලට ගරු කරගන්නවා කියලා.අම්මා කියන කෙනා ළමයි ටිකත් අරන් ඩැඩාට පාඩම් උගන්වන්න ගඟේ පනින එව්වා, ඩැඩාට ෆේස්බුක් එකේ අලුත් කෑල්ලක් සෙට් වෙලා අම්මටයි දරුවටයි ගිනි තියෙන එව්වා.... ගොඩනැගිලි පාරවල් හැදුනට වැඩක් නෑ හප්පා ඒවා පාවිච්චි කරන්න ඉතුරු වෙන්නේ තිරිසන්නු ටිකක් වගේ.
හැබැයි පුතේ බැන්දට පස්සේ කොහොමද ගරු කිරීම කියලා බලන්න අහන්න ඕනි සින්දුව මෙන්න මේක. බොලේ මේකත් ලියන්නේ සුනිල් ගොයියමයි.




තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සඳ

පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : රෝහණ වීරසිංහ
ගායනය : පණ්ඩිත් අමරදේව

මේ සින්දුව ගොඩක් රේඩියෝ චැනල් වල දැන් දැන් යනවා හැමදාම උදේට. ඒකනම් හොඳ දෙයක් නෙහ්.

මේක පැහැදිලියිනෙ තාත්තා කෙනෙක් එයාගේ බිරිඳ ගැන දකින විදිහ තමයි කියවෙන්නේ.
මා බත සරි කරන... තාත්තා තමයි බත සරි කරන්නේ තාත්තා තමයි මහන්සි වෙලා ගෙදරට අවශ්‍ය සියලු දෑ සපයන කෙනා..ඒ ඔක්කොම හම්බකිරීම් කැප කිරීම් කරන්නේ දරුවන් වෙනුවෙන් නොවැ. එතකොට තාත්තා මේ ටික කොරනකම් අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. තාත්තට නොදෙවෙනි ඊට වඩා අමාරුම වැඩේද මන්ද කරන්නේ අම්මා. මෙතැනදී තාත්තා ඒ ගැන ලොකු ගෞරවයකින් කතා කරන්නේ. මම කිව්වේ ගරු කලොත් ගරු බුහුමන් ලබන්න පුළුවන්.

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්...දැන් හෙන පොසිෂන්ස් තියෙන නෝනලා මාත්තයලා ඇවිත් පවුල් සංස්ථාව තියාගන්න හැටි තවුසන් ටෝක්ස් දෙන අතරේ එක්කෙනෙක් කිව්වා අම්මලා දරුවෝ ලැබුනම මහත්තයට තියෙන ආදරේ අඩු කරනවා ඒ නිසා මහත්තයා පිට යනවා කියලා.  පව්... පිට යන්නේ උගේ තියෙන නොසන්ඩාලකමනේ නැද්ද...නැත්නම් තමන්ගේ ළමයට ආදරේ කරනවට මොන තාත්තාද අකමැති වෙන්නේ ?
මෙතනදීත් කියන්නේ මට පෙර උරුම ආලය දැන් හම්බවෙන්නේ දරු කැලට...ඒක ඕනි තාත්තා කෙනෙක් මූනදෙන අත්දැකීමක්. 
 රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම්.. නිමක් නැතුව රෑ දහවල් දෙකේම වෙහෙසෙනවා...ඕක කියන්න දෙයක් නෑ නොවැ පොඩි කාලේ ඉඳලා දරුවෙක් ඉන්න ගෙදරක හිටියනම් තමයි තේරෙන්නේ ළමයි ලොකු කිරිල්ල කොයිතරම් අමාරුද කියලා.
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්
තමන්ගේ ළමයි වෙනුවෙන් වෙහෙසෙන තමන්ගේ බිරිඳ , තමන්ට කලින් ලැබුණු ආදරෙත් දැන් දරුවන්ට දෙන බිරිඳ දැකලා ඇතිවෙන්නේ තාත්තට තව බිරිඳ ගැන සෙනෙහස වැඩිවීමක් ඒක පෙම් කරන කාලෙටත් වඩා සෙනෙහස වැඩිවීමක්. නැතුව පිට යන්න අදහසක් නෙවෙයි.

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැඟෙයි ලගින් හිද මගේ හිස සිඹින සඳ 

ඇගේ සුවඳ දැන් බැතිබර හැඟුම් දනවන්නේ... ඇය කෙරේ එතරම් ගෞරවයක් දැන් ඔහුට තියෙන්නේ.
දරුවන්ට විතරද ඇගේ ආදරේ... නෑ නොවැ මේ කියන්නේ මගෙ හිස සිඹින සඳ කියලා දරුවන් ගැන විතරක් නෙවෙයි ඈ ඔහු ගැනත් සොයා බලනවා... ඒක බිරිඳකට එහා ගිය අම්මා කෙනෙක් වගේ ගෞරවනීය හැඟීමක් ගෙන එන්නක්.සින්දුවේ ආත්මය තියෙන්නේ මෙතනද කොහෙද.

ඔන්න ඔය වගේ හිත සුවපත් වෙන සිංදු කියන නිසා තමයි ලහිරු පුතා ඇල්බට් පෙරේරට මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් අමර - දේව කියලා නම දැම්මේ. ඒ නිසා තමයි මිනිස්සු දෙවියෙක්ට සමානව ඔහුට සලකන්නේ. ඒ නිසා ගොන් පාට් නොදා "ජූජාච පූජනීයානං" පිදිය යුත්තන් පුදපන් පුතා. මොකද ඒක මංගල කාරණාවක්.

ට්‍රැක් පොඩ්ඩක් පැන්නට අපි කතා කර කර හිටියේ ගරු සරු කරන්න ඕනා ඕක ලබන්නනම් කියලනේ. ඊළඟට අපි කිව්වේ දැන් දැන් ප්‍රේමය කියන කාරණයේදී ඕක අඩු වෙලා කියන එකනේ. ඒ නිසානේ කෙල්ල තරහවුණු ගමන් කෙල්ලගේ උපන් ඇඳුමින් ඉන්න ෆොටෝස් කොල්ලා වෙබ් සයිට් වලට දාන්නේ...එහෙම නැත්නම් කෙල්ලව උස්සන් ගිහින් එව්වා මෙව්වා කොරන්නේ. මට මතකයි අපේ ඉස්කෝලේ ලෙක්චර් එකකට ආපු බුලට් එකක් කිව්වා ආදරේ අවසාන ඵලය රාගය කියලා. උගේ ආච්චිගේ රෙද්ද. ප්‍රේමය කියන දේ ඊට වඩා පුළුල් විදියට බලන්න ඕන උතුම් විදියට සලකන්න ඕනා දෙයක්. මොකද ඒක වෙනුවෙන් මිනිස්සු දහසක් කැප කිරීම්, ඉවසීම්, වෙහෙස මහන්සි වීම් තියෙන උදාර එකක්. මේ ටීම් උන්නැහෙත් කියන්නේ.. බලන්න සින්දුව අහලා ඊට පස්සේ අන්තිමට පැහැදිලිත් කරනවා.





කොහෙන් හරි අර උඩ කිව්වා වගේ තමන්ගේ බිරිඳ දිහා උතුම් විදියට ගෞරව විදියට බලන්නනම් දෙන්නම
ගෞරවනීය මෙව්වා එකක් පටාන් ගන්න ඕනිනේ නැද්ද... මම කිව්වේ මේ ආදරයක්...
එහෙම එකක් පටන් ගන්නවා අමරසිරි පීරිස් එක්ක මැණික් ජයසේකරයන්.




ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් ඉන්න
ආසයි මටත් කොයි ඉසව්වේද
ඒ මෙත් පුරේ

යෞවනයේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල්වනේ
නෙත් පහන් දල්වලා
සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ

මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතුදිනේ
සෙනෙහසේ සිහිළඹීන්
දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ

ගායනය : මැණික් ජයසේකර සමග අමරසිරි පීරිස්
පද රචනය : හේමසිරි ගුණතුංග
සංගීතය : රෝහණ වීරසිංහ

ඔන්න දවසක් හේමසිරි මහත්තයා කොළඹ ඉඳලා වැලිගමට යන්න බස් එකකට නැග්ගලු. දැන් ඒ බස් එකේ සීට් එකක ඉන්නලු තව ගෑලු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි. දෙන්න ඔන්න මුලදී හැසිරුනේ දෙන්නම නොදන්න විදියටලු. ඊට පස්සේ කෝමහරි මොකක්හරි කතාවක් දෙන්න අතරේ යන්න ඇති කොන්දොස්තර උන්නැහේ ආවම කොල්ලා දැන් දෙන්නටම ටිකට් ගත්තලු. දැන් එතන ඉඳලා අර කෙල්ලයි කොල්ලයි එක කතාවයිලු. හම්මේ අපිට අහුවෙන්නේ නෑනේ මෙහෙම කෙල්ලෝ. කොමහරි දෙන්නා ගාල්ල හරියේදී බැස්සලු බස් එකෙන්. බැහැලා දෙන්නා එක්ක අත් අල්ලගෙන යනවලු.
ඕක දැකලා ආදරේ මේ තරම් ලාබද කියලා හිතුනලු ගුණතුන්ගයන්ට.ඒ අයිඩියා පිට තමයි ඔන්න මේ සින්දුව ලියවෙන්නේ.


කොහොමද මේකේ කොල්ලා කැමැත්ත අහන්නේ....
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
මගේ සිත ස්නේහය කියන නගරය. ඒක නගරයක් හංදියක් නෙවෙයි. ඒ තරම් ඒ ස්නේහේ විශාලයි. ඒකෙ රාගය කියලා මාවතක්වත් නෑ. ඒ තරම් උතුම් විදියට සලකන්නේ ප්‍රේමය යන්නට.
වන්දනාවේ ගිහින් ඉන්න
ආසයි මටත් කොයි ඉසව්වේද
ඒ මෙත් පුරේ
ඉතින් ප්‍රේමවන්තියට එතන පේන්නේ මෙත් පුරයක් ඒ කියන්නේ කරුණාවෙන්, මෛත්‍රීයෙන් පිරුණු  පුරයක් විදියට. එතන ඈ යන්නේ වන්දනාවේ. ඒ වචන වලින් පෙන්වන්නේ ප්‍රේමය කියන දෙය මෙතැනදී කොතරම් උතුම් දෙයක් ලෙස සලකනවද කියන කාරණේ.

යෞවනයේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල්වනේ
මෙතනින් ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය කියනවට වඩා ඇය කෙරේ අපිටත් එන්නේ පහන් හැඟීමක් නෙහ්.
හද යන්න සල් වනයක් නම් ඒකෙ රන් මල ඇය. ඇයත් එහෙමයි
නෙත් පහන් දල්වලා
සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ
ඇස් කියන පහන් දල්වලා... ඇස් වලින් ඔහු දෙස බලලා, පූජාසනේ සිට රන් සිනා පාන්නේ ඔහුට. පැත්තක හිටපු ඇන්ටි කෙනෙක් කිව්වලු මුන් දෙන්නගේ සමයං කියලා. :D :D :D සිත කියන සුවඳ හමන සඳුන් දුම් වලින් ඔහුගේ සිත කියන පූජාසනයේ සුවඳ ගන්වමින් ඇය ඉන්නේ.
 
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතුදිනේ
අදද හෙටට අවුරුද්දකට නෙවෙයි මේ ආත්මය මතුදාක මිලින වෙලා යනකම්ම...ඇයව රැකබලාගන්න, ඇයට ආදරේ කරන්න, ඇය සමග දිවි ගෙවන්න ඔහු එන්නේ..
සෙනෙහසේ සිහිළඹීන්
දොවන සේ යදිමි මා
පූජනීයයි උතුම් ආදරේ
එවන් ආදරේ පුජනීයයි නේන්නම්. සෙනෙහසේ  සිහිළඹීන් දොවන සේ යදිමි මා...
සිහිළඹ කියන්නේ සිහිල් + අඹ(දිය)  ඒ කිව්වේ සිහිල් දිය යන්න, සෙනෙහස කියන සිහිල් දියෙන් මාව නහවන්න කියලා මේ ගෑනු ළමයා කියනවා. අර ඇන්ටි හිටියනම් සුවර් ආයෙ කියනවා....මුන්ගේ කෝලන් කියලා.


ඉතින් ඔන්න ඔහොමයි පොඩි එකෝ මල් කඩන්න ඕනා. එතකොටයි පස්සේ තාත්තා වුනත් මා බත සරි කරන කියන්න පුළුවන්. එහෙනම් සිංදුවා ගියාවේ ! (ට්‍රොජට ටැංකු වෙන්න ඕනා අමාරු වචන වල තේරුම් හොයන්න සප් එක දුන්නට)



ඕනෑම දෙයකට ගරු කරන හැටියටලු ඒකෙන් ගරුබුහුමන් ලබන්න පුළුවන් වෙන්නේ. සින්දුවගේ ආච්චි එදා ඉඳලා කියන කතාවක් ඕක. සිංදුවා නම් තාමත් විස්වාස ක...