මහා මෘතුන්ජය මන්ත්‍රය






කීපදෙනෙක්ම මේ මහා මෘතුන්ජය මන්ත්‍රය ගැන වැඩි දුර විස්තර අහපු නිසා තමයි මේ ලිපිය කෙටියෙන් වුණත් සටහන් කරානම් හොඳයි කියලා හිතුවේ . මොකද පිහිට පැතීමක් වගේ දෙයකට වඩා මේ මන්ත්‍රයේ තියෙන ගන පූර්ණ අක්ෂර සිද්ධිය අනුව යම් ශක්තියක් උත්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා .

මේ මන්ත්‍රය දීර්ඝ කාලයක් සජ්ඣායනා කිරීම මත ශරීරයේ තියෙන විෂම ස්ථාන සහ අක්‍රීය ස්ථානවල ක්‍රියාකාරීත්වය යහපත් අතට හැරෙනවා සහ ඒ අනුව ආයුෂ ප්‍රමාණයේ යම් වර්ධනයක් වෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා .


මේ පිළිගැනීම නිසා වේද ඉතිහාසයේ මේ මහා මෘතුන්ජය මන්ත්‍රය ගැන ඉතාමත් ගෞරවයෙන් කීප තැනකම සඳහන් වෙනවා . මහා මෘතුන්ජය මන්ත්‍රය ඇතිවීම ගැන පොඩි සිද්ධියක් තියෙනවා වේද ඉතිහාසයේ . මේ ලිපිය ලියන්න කලින් ඒ කතා ටික කියවලා බැලුවම ඒක ලියනවානම් කෙටියෙන් ලියන්න බැහැ කියලා හිතුනා . මොකද විස්තර කරන්න විශාල චරිත ප්‍රමාණයක් ඉන්න නිසා . ඒ නිසා අදාළ කතාවේ අදාළ කොටස විතරක් උපුටා දක්වනවා .


ආයුර්වේදය ආරම්භ වීම සම්බන්ධව ආයුර්වේද ශල්‍ය වෛද්‍ය විද්‍යාව සම්බන්ධව ලියවුණු සුශ්රුත සංහිතාව කියන පොතේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා .


" පළමු කොටම මහා බ්‍රහ්ම තෙම ආයුර්වේදය ප්‍රචාරය කළේය . මහ බඹහුගෙන් දක්ෂ ප්‍රජාපතිද , ඔහුගෙන් අශ්විනීන් දෙදෙනද අශ්විනීන්ගෙන් ශක්‍රයාද ආයුර්වේදය උගත්හ .

ශක්‍රයාගෙන් මම ( ධනවන්තරී ) ආයුර්වේදය අධ්‍යනය කළෙමි .මෙලෝ වැසි ප්‍රජාවගේ හිත සුව සඳහා ආයුර්වේදය උගෙනීමට කැමතියවුනට පළමු කොට ම එය ම විසින් ඉගැන්විය යුතුව .

මම ධනවන්තරී වෙමි . ආදී දේවයා ද වෙමි . දෙවියන්ගේ ජරා රෝග මරණ යන මේවා පහ කලෙමි . ශාලාක්‍යාදී වෙනත් අංගයන්ගෙන් සමන්විත වූ ශල්‍යාංගය යළිත් ප්‍රචාරය උදෙසා පෘථිවියට පැමිණියෙමි  "

මෙතන මේ කියන දක්ෂ ප්‍රජාපති දෙවියන් තමයි මේ මහා මෘතුන්ජය මන්ත්‍රය ලොවට දායාද කිරීම සම්බන්ධව සිදු කෙරුණු සාප කිරීමේ කාර්යයට හිමිකම් කියන්නේ . ප්‍රජාපති කියනකොටම මට මතක් වුණේ ධජග්ග සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරපු ප්‍රජාපති දෙවියන් සමබන්ධ කතාව . මොකද එතන කියනවා ශක්‍රයා කියනවා කියලා තමන්ගේ සුර සේනාවට මාගේ ධජාග්‍රය දෙස බැලීමෙන් බයක් තැතිගැන්මක් හෝ ලොමු ඩැහැගැන්වීමක් පහ වුණේ නැත්නම් ප්‍රජාපති දෙවියන්ගේ ධජාග්‍රයදෙස බලන්න කියලා . කොහොම නමුත් මේ ප්‍රජාපති දෙවියන් කරන ලද සාපයක ප්‍රතිපලයක් වශයෙන් මහා මෘතුන්ජය මන්ත්‍රය රහස් සෘෂි ඉගැන්වීම් වලින් සාමාන්‍ය ඉගැන්වීම් දක්වා ව්‍යාප්ත වුණා .





මේ දක්ෂ ප්‍රජාපතීට දූවරු ගොඩක් හිටියා කියලා කියනවා . ඒ දූවරුන්ගෙන් එක්කෙනෙක් තමයි " සති " කියන කුමාරිකාව . චන්ද්‍ර දෙවියන් මේ සති කුමාරිකාව විවාහ කරගන්නවා . මේක දැනගත්තාම දක්ෂ ප්‍රජාපතියන්ට කේන්ති ගිහින් චන්ද්‍ර දෙවියන් මරණයට පත් කරන්න සාප කරනවා . මේ සාපය නිසා චන්ද්‍ර දෙවියන් මැරෙන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවේ මේක දැනගන්නවා ඒ වෙනකොට හිටපු මහා සෘෂි වරයෙක් වන " මාර්කන්දේය " කියන සෘෂි වරයා . මේ සෘෂිවරයා විතරයි ඒ වෙනකොට මහා මෘතුන්ජය මන්ත්‍රය දැනගෙන ඉඳලා තියෙන්නේ . ඉතින් සෘෂි වරයා මේ චන්ද්‍ර දෙවියන් ආරක්ෂා කරගන්න ඕන නිසා සති කුමාරිකාවට මේ මහා මෘතුන්ජය මන්ත්‍රය උගන්වනවා . මේ මන්ත්‍රයේ තියෙන අක්ෂර සිද්ධියේ තියෙන ආනුභාවය නිසාත් අර්ථය අනුව කෙරෙන ශිව දේව වන්දනාව නිසාත් චන්ද්‍ර දෙවියන් මරණයෙන් ගැලවෙනවා .





මෘතුන්ජය කියන වචනයේ තේරුමත් මරණයෙන් ජයගත්තා කියන එක . ඒවගේ මේ මන්ත්‍රය ශිව දේව වන්දනාවක් විදියට අද වෙනකොට භාවිතා කෙරෙනවා . රවි , ගුරු , සිකුරු , රාහු වගේ ග්‍රහයින්ගේ දසා අතුරු දසා සූක්‍ෂම දසා වලදී ඇතිවෙන කරදර වළක්වන්නත් , ඒ ඒ ග්‍රහයින්ගේ අපල වලදීත් මේ මන්ත්‍රය භාවිතා කිරීම සුදුසුයි කියලා වෛදික ජ්‍යෝතිෂ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා . වේදයේ ඉගැන්වෙන මූල මන්තරයක් විදියට මේ මහා මෘතුන්ජය මන්ත්‍රය භාවිතා කෙරෙනවා .

මේ තියෙන්නේ ඒ මන්ත්‍රය .

ඕම්............
ත්‍රියම්භකම් යජාමහේ
සුගන්ධින් පුෂ්ටි වර්ධනං
උර්වාරුකමි ව බන්ධනාන්
මෘත්‍යෝර් මුක්ෂි යමා මෘතා.....ත්




තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Comments

  1. ස්තූති වයලීනො.. මේ වගේ දෙයක් කියලා දුන්නට.....
    නාඩි වාක්ය ගැනත් පුලුවන්නම් පෝස්ට් එකක් දාන්නකො...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි .
      ලියන්න ඕන නාඩි වාක්‍ය ගැනත් . ඉක්මණටම දාන්නම්කො . (y)

      Delete
  2. රසයි වගේම හරවත්

    ReplyDelete

Post a Comment

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.