Sunday, November 5, 2017

ළිඳක් වැසීම හා වැනසීම






වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්නපුර පොත්ගුල් විහාරය පිහිටලා තියෙන්නේ අපි ඉන්න නිවස පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුමේ . අපි ඉන්නේ කන්දේ උතුරු බෑවුමේ . සමන් දේවාලය පිහිටලා තියෙන්නේ කන්දේ වයඹ බෑවුමට ආසන්න වෙන්න පහළම කොටසේ . මේ කන්ද හරහා සමන් දේවාලයේ ඉඳලා පොත්ගුල් විහාරය දක්වා විහිදිලා තියෙන උමගක් තියෙනවා කියලා කතාවක් තියෙනවා . මේ උමග ගිලා බැසීම හේතු කරගෙන ඒ ආශ්‍රිත නාය යෑමක් තියෙනවා කියලා ඉස්සර ඉඳලාම කියනවා . ළඟදීම නාය යයි කියලා තමයි හිතන්නේ . මොකද දැන් ගිලා බැසීම් ගොඩක් තියෙන නිසා . පස මතුපිට මුල් පද්ද්ධතිය දුර්වල වෙන්න වෙන්න පස් ගිලා බහිනවා . දැන් ඉතින් ලොකු ගස් වලට වඩා තේ ගස් සහ තේ වලින් ලැබෙන සල්ලිනෙ වටින්නේ .

ඉතින් මේ කන්දේ අපි ඉන්න බෑවුමේ මුල් පදිංචිකාරයින් වුණේ අපේ සීයලා . සීයා සහ තවත් කීප දෙනෙක් මේ ප්‍රදේශයේ එලි පෙහෙළි කරලා ගෙවල් හදාගෙන පදිංචි වුණා . ඉතින් ආච්චි අම්මාත් රත්නපුරේට ආවට පස්සේ ආච්චිඅම්මාගේ ප්‍රධානම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ගෙදර ලිඳක් හාරගන්නා එක . එතකල් වතුර ලබාගෙන තියෙන්නේ කිට්ටුව ඇලකින් . ඒ වෙනකොට, මම ඉතාම ගෞරවයෙන් සලකන අපේ මුත්තා , ඒ කියන්නේ ආච්චිඅම්මාගේ තාත්තාත් ජීවත් වෙලා ඉඳලා තියෙනවා . ඒ මුත්තට ඒ වෙනකොට මාතර ඉඳලා රත්නපුරේට එන්න පුළුවන් හොඳ සෞඛ්‍ය තත්වයක් තිබිලා නැහැ . ඒත් එයාගේ දැනුමේ අඩුවක් වෙලා තිබිලා නැහැ .





ඒ මුත්තා ආච්චි අම්මාට කියලාදීලා තියෙනවා පොළවක වතුර ගමන් කරන ජල ශිරා විහිදිලා තියෙන පැති අඳුරගන්නා විදි සහ ඒ ජල ශිරා තියෙන ස්ථාන පොලව මතුපිට තියෙන සලකුණු වලින් අඳුරගන්නා විදිය . ඒ අනුව යමින් ආච්චි අම්මා අපේ ගමේ හැමෝටම වතුර දෙන්න ළිඳක් හාරලා තියෙනවා තනියමම . තමන්ට වඩා තරමක් උසට හාරගත්තාට පස්සේ පස් ඉවත් කරන්න විතරක් වෙනත් අයගේ උදවු ගත්තත් වෙන අය ළිඳ හාරනවට කැමති නැතිව ආච්චිඅම්මා තමන්ම ඒ ළිඳ හාරලා තියෙනවා . අවසානයේ තමන්ට වඩා අඩි කීපයක් හාරනකොට ළිඳේ ජල ශිරා මතුවෙලා තියෙනවා . ඒ ළිඳ තමයි අපේ ගමේ පළවෙනි ළිඳ වුනේ . මොකද ඒ වෙනකල් කවුරුවත් විශ්වාස කරලා නැහැ කඳු ප්‍රදේශයක් නිසා ඒ ප්‍රදේශයේ වතුර උල්පත් අහුවෙයි කියලා . ඒත් කන්ද පහළ තියෙන්නේ කළු ගඟ නිසාත් ගඟ පැත්තට වතුර බහින නිසාත් මේ පැත්තේ වතුර හම්බෙනවා කියලා ආච්චිඅම්මාට විශ්වාසයක් තිබිලා තියෙනවා .

මේ සලකුණු අනුව ආච්චි අම්මා අපේ ඉඩමේ තවත් ළිඳක් හෑරුවා . ඒකත් වතුර තියෙන ලිඳක් . හැබැයි පායන කාලෙට ඒ ළිඳ නම් හිඳෙනවා . එත් පළවෙනි ළිඳ නම් තවමත් වතුර තියෙනවා . ඒ විදියට ළිඳ හාරන කාලේ කරපු වත් පිළිවෙත් ගැන ආච්චි අම්මා දවසක් මමත් එක්ක කිව්වා මතකයි . ළිඳේ ඉස්සෙල්ලම වතුර උල්පත් වලින් ආව වතුර කලයකට එකතු කරගෙන ඒ වතුරෙන් බෝධිය නාවලා දෙවියන්ට පිං දීලා කිරි ආහාර පූජා කරලා තියෙනවා . ඒවගේම තමයි හැම අවුරුද්දකම වතුර කලයක් අරගෙන ගිහින් බෝධිය නාවන සිරිතක් ආච්චිඅම්මට තිබුණා .

පළවෙනි ළිඳේ වතුර උනන්න කලින් දවසේ ආච්චිඅම්මා හීනයක් දැකලා තිබුණා . ආච්චිඅම්මා දැක්ක හීනයේ ජීවමාන බුදුන්වහන්සේ නමක් ඉඳලා තියෙනවා . ඒ බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන විදියට ළිඳ ඇතුලේ පුටුවක ඉඳගෙන තමයි  වැඩ ඉඳලා තියෙන්නේ . එකපාරටම බුදුන්වහන්සේගේ ධර්ම දේශනාව නතරවෙලා නහයෙන් කටෙන් කන්වලින් පවා වතුර විහිදවනවා ආච්චි අම්මා හීනෙන් දැකලා තියෙනවා . පහුවෙනිදා මේ හීනය ගැන කා එක්කවත් කියන්නේ නැතුව ළිඳ හාරන්න ගත්තට පස්සේ අහස කළු කරලා වහින්න ලං වෙලා තියෙනවා .





එත් හවස් වෙලා නැති නිසා පුළුවන් තරම් හාරනවා කියලා හිතාගෙන ආච්චි අම්මා ළිඳ හාරන වැඩ කරගෙන යනකොට ආච්චිඅම්මාගේ පුතා , ඒ කියන්නේ මගේ මාමා දුවගෙන ඇවිත් කියලා තියෙනවා ගොරවන්න හදන්නේ ගොඩට එන්න කියලා . ඒ කියනවත් එක්කම අහසේ අකුණක් පුපුරලා තියෙනවා . ඊට පස්සේ ගහපු උදළු පාරවල් කීපයෙන් ජල ශිරාව පුපුරලා වතුර ගලාගෙන ඇවිත් තියෙනවා ළිඳට . මේ කතාව ඊට පස්සේ අවුරුදු ගානක් ගිහින් තමයි ආච්චිඅම්මා අනිත් අයට කියලා තිබුණේ .

මේ ළිඳේ වතුර රැඳීම ආරක්ෂා කරගන්න ඕන නිසා ආච්චිඅම්මා යම් උපායශීලී වැඩ කීපයක් අපේ ගෙදර කරලා තිබුණා . එකක් තමයි ඒ ළිඳට උඩ කොටසේ ලොකු උන පඳුරක් වගා කිරීම .ඒ ආසන්නයේ කළුගල් වලක් වගේ පිහිටලා තියෙන නිසා උන පඳුරට වතුරත් ඒ වලේ වතුර එකතුවෙන් ලැබුනා . උන පඳුරේ මුල් නිසා ස්පොන්ජ් වගේ ව්‍යුහයක් ගත්ත පසෙන් වතුර රඳවා තියාගෙන ළිඳ පෝෂණය කරා . පුරසාරමක් විදියට නොවුනත් ආච්චි අම්මා නිතරම මතක් කරේ මේ ළිං දෙක දෙවියන්ගේ පිහිටෙන් ලබා දුන්න දෙයක් . ඒ නිසා ළිං පරෙස්සම් කරන්න කියලා .

එදා කිව්ව දේවල්වල ඇත්ත දැන් දැන් පේන බවක් තියෙනවා . මොකද රත්නපුරේ මිනිස්සුන්ගේ පුරුද්දක්නේ පොළව හාරන එක ඒ නිසා , අපිත් ආතල් එකට වගේ තවත් ළිඳක් හෑරුවා . ඒ ළිඳ වැඩිය ගැඹුරු එකක් නෙවෙයි . ඒත් දෙවියන්ගේ පිහිටෙන් ඒකටත් වතුර ඉනුවා අඩි දහයක් විතර හාරනකොට . ඒ ළිඳ අලුත් නිසා අපි දැන් පාවිච්චි කරන්නේ ඒ ළිඳ . ළඟදී දවසක නොසිතුවිරු විදියට ළිඳේ වතුර හිඳුනා . ඒත් ආච්චිඅම්මා හාරලා තියපු ළිං දෙකේ වතුර තිබුණා . එකම ඉඩම වුණත් වතුර රඳා හිටින්නේ ළිඳ හාරපු කෙනාගේ වාසනාව මත කියලා අපේ ගෙදර අය කතා වුණා .





මට මතකයි මඝ මානවකයා සක්‍රත්වය ලබාගන්න කරපු පිං දහම් වලදීත් ළිං හාරපු බවක් සඳහන් වෙලා තිබුණා කියලා . ඒ නිසා ලිඳක් කියලා කියන්නේ ඇත්තටම ඉතාම වටිනා දෙයක් කියලා මතක තියාගන්න ඕන . මේ කතා කියන්න මට මතක් වුණේ ලිඳක් වහන්න නැකතක් ඉල්ලලා කෙනෙක් කතා කරපු නිසා . මම ඒ සටහන ලියන්න පටන් ගත්තේ ලිඳක් වහනවා කියන්නේ මහා පවුකාර වැඩක් කියලා ලියාගෙන . මොකද අතීතයේ සෘෂිවරු ළිං හැරීම කියන දේ කරලා තියෙන්නේ ඉතාම ගෞරවයෙන් . මොකද ජීවය පවතින්නේ ජලය නිසා . ජලය පවතින්නේ ළිඳ නිසා . ඒ නිසා ළිඳක් කියන්නේ රත්තරන් වටිනා දෙයක් කියලා ඒ කාලේ උදවිය විශ්වාස කරා .

අද කාලේ නම් වතුර එන්නේ ටැප් වලින් . ක්ලෝරීන් කලවම් කරලා එන වතුර නිසා එක එක ප්‍රශ්න තියෙනවා . කියන්නේ නැති වුණත් ක්ලෝරීන් ශරීරයට විෂ වෙනවා . සමට විෂ වෙනවා . ඒවගේම තමයි ඇස්වලට අසාද්මිකතාවයන් ඇති කරවනවා . ඊටත් වඩා ගැටළුව වෙන්නේ හිසකෙස් ගැළවී යාමට හේතු වීම .

ඒත් අතීතයේදී වතුර පිරිසිදු කරන්න පාවිච්චි කරලා තියෙන්නේ බෙහෙත් වර්ග . ඒවා ශරීරයට අහිතකර වෙන්නේ නැහැ . ඒ නිසා කිසිම ගැටළුවක් ඇතිවෙලා නැහැ .ඒ නිසා අද අපි ඉන්නේ දියුණු තත්වයක කියලා කිව්වාට අපි ඉන්නේ දියුණු තත්වයක නෙවෙයි කියලා මතක තියාගන්න ඕන .

පාවිච්චි කරපු ලිඳක් වහනවානම් ඒ ළිඳ වහන්න ඕන ඒ ළිඳේ තියෙන ජල ශිරා අවහිර වෙන්නේ නැති වෙන විදියට . මොකද ලිඳක් හාරලා අපි කරන්නේ පොළවේ තියෙන නහරයක් කපලා ලේ ගන්නවා වගේ වැඩක් . ආයෙත් ඒ නහරය හරියට අග මුල සම්බන්ධ වෙන්න ලේසි වෙන විදියට තමයි ළිඳ වහන්න ඕන . මේ ක්‍රියාමාර්ගය හරියට කරන්න ඒකාලේ අය සමත් වෙලා තියෙනවා . ඒවගේම තමයි ජලය ගමන් කරන ශිරාවේ ජල ගමන අඩු වෙලාවක තමයි ළිඳ වහන්න ඕන . ඒ ජල ගමන අඩු වෙලාවල් තමයි නැකත් වලදී හොයලා බලන්නේ . මොකද එහෙම වතුර ගමන් කරන පීඩනය අඩු වෙලාවට ළිඳ වහන්න ලේසියි , සහ අපිරිසුදු වතුර වෙනත් ළිං වලට ඉක්මණට යන්නෙත් නැහැ .





එයාලා ළිඳේ වතුරේ පිරිසිදු භාවය තමයි ඉස්සෙල්ලම බලලා තියෙන්නේ ලිඳක් වහන්න කලින් . ඒ නිසා ලිඳක් වහන්න කළු ගල් කැබලි , ගඟේ වැලි කියන දේවල් තමයි භාවිතා කරන්නේ . අද තියෙන ගංගා නෙවෙයි . ඉස්සර තිබ්බ ගංගාවල වැලි පිරිසිදුයි . මොකද හැමවෙලේම හේදෙන නිසාත් ගඟේ කුණු නැති නිසාත් . ඒවගේම තමයි ඒ මාධ්‍යයේ සවිවර බව ආරක්ෂා වෙන්න ඕන නිසා කළුගල් කැබලි එකතු කරනවා .

වතුර මට්ටම වැහෙනකල්ම ළිඳට දාන්නේ කළුගල් කැබලි සහ වැලි . ඒ නිසා ළිඳ තුලට සහ ළිඳෙන් පිටට තියෙන ජල ශිරා සම්බන්ධ වෙලා අපිට එපා වුණත් වතුර ඕන ළිං වලට අවහිර වීමක් නැතුව ජලය ගලාගෙන යෑම වෙනවා . ඊට පස්සේ පිරිසිදු පස් වලින් තමයි ළිඳ වහන්නේ . මොකද ජල ශිරා ආරක්ෂා කරා වගේම ඒ ජලයේ පිරිසිදු බවත් ආරක්ෂා කරන්න මිනිස්සු හිතලා තියෙන නිසා .

එහෙම ලිඳක් වැහුවම වෙනත් ළිං වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ . ඒවගේම මෙන්න මේ පිළිවෙත් එහෙමත් අනුගමනය කරනවානම තමයි හොඳ .

ජලය අයිති වෙන්නේ වරුණ දෙවියන්ට . ඒ නිසා වරුණ දෙවියන්ට පිං දීම සහ පූජා පැවැත්වීම කරන්න ඕන . ඒවගේම තමයි විෂ්ණු දෙවියන්ට පිං දෙන්න ඕන . ඊටත් අමතරව ජලයේ හිමිකාරීත්වය හිමි වෙන්නේ සඳුට . ඒ නිසා සඳු වෙනුවෙන් පූජා පැවැත්වීම සහ පිං දීමත් කරන්න අවශ්‍ය වෙනවා .





චන්ද්‍රයාගේ ගමන ජලය ජලශිරා වලින් ඇදී එන්න ඉතාමත් අත්‍යාවශ්‍ය දෙයක් . පොළව මතුපිට උදම් ඇතිවෙනවා වගේම තමයි පොලව තුලත් ජලයේ ඇදීම සිද්ද වෙන්නේ . ඒ නිසා සඳු සහ භූගත ජලය අතර තියෙන්නේ තද බැඳීමක් . ඒ නිසා පිං දීලා අවසර ගන්න ඕන ළිඳ වහන්න .

ළිඳේ වතුරෙන් බෝධිය නාවන්න ඕන . එහෙම බෝධිය නාවලා ළිඳ හාරපු අයටත් දෙවියන්ටත් පිං දෙන්න ඕන . ඒවගේම තමයි ළිඳ වහන්න කලින් ළිඳේ වතුරට මෙන්න මේ බෙහෙත් වර්ග එකතු කරන්න පුළුවන් නම් හොඳයි .

සුවඳ හොට
වම්මුතු
විෂ්ණු ක්‍රාන්ති
සුදුහඳුන්
රත් හඳුන්
නෙල්ලි
ඉඟිනි

මේ දේවල් පොඩියට කුඩු කරලා වතුරට දාලා හොඳට මිශ්‍ර වුණාට පස්සේ ළිඳ වහන්න ඕන . නැත්නම් අපිරිසිදුවෙන ජලයෙන් වෙනත් ළිං අපවිත්‍ර වෙන්න පුළුවන් . තවත් පිළිවෙත් කීපයක් තියෙනවා . ඒවාත් කරලා තමයි ඉතින් වැඩේ සම්පූර්ණ කරන්න ඕන .

අද කාලේ මේ පිළිවෙත් සපුරලා නෙවෙයි ළිං වහන්නේ . ඉස්සෙල්ලාම පටන් ගන්නේ ගෙදර කුණු දාන්න . කුණු දාලා තියෙන තියෙන ලට්ට ලොට්ටත් දාලා . පුළුවන් නම් වැසිකිලි නළයත් ළිඳට හරවලා එහෙමත් පුරවලා තමයි ළිඳ වහලා දාන්නේ . එත් තමන් ඒ කරන්නේ වෙනත් අය වතුර බොන ජල ශිරා සම්බන්ධ තැනකට බව මතක තියාගන්න . අද මිනිස්සු වෙනස් . ඒ නිසා අනිත් අය ගැන හිතන්නේ නැහැ . ඒ වගේම පරිසරය ගැන හිතන්නෙත් නැහැ . තමන්ගේ වැඩේ වෙනවානම් හොඳයි කියලා හිතාගෙන ඒ දේවල් කරනවා . ඒ නිසා මේ වගේ දේවල් ගැන තරමක් විමසිල්ලෙන් හිතලා බලන්න . මේ වගේ කරන අකුසල කර්ම සහ අනවබෝධය නිසා තමයි සමහරුන් කඳු යට ළිං හෑරුවත් අනෝරා වැසි වැස්සත් ලිංවල වතුර නොපිරෙන්නේ .

භූගත ජල සම්පත ආරක්ෂා කරගන්න . තමන්ට එපා නම් අනුන්ටවත් ආරක්ෂා කරලා දෙන්න . භූගත ජලය සම්බන්ධව තවත් ලියන්න තියෙනවා . ඒ නිසා තවත් ලිපි කීපයක් භූගත ජලය සම්බන්ධව ලියවේවි .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

6 comments :

  1. අකුරු අතර කොටු ඇත. ෆොන්ට් එකේ අවුලක්ද?

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන්ද , කම්පියුටර් ස්ක්‍රීන් එකකින්ද පෙන්නේ ?
      බ්‍රවුසර් අප්ඩේට් කරලා බලන්න . ෆොන්ට් එකේ නම් අවුලක් පේන්නේ නැහැ .

      Delete
  2. වැදගත් ලිපියක්...
    ගොඩ දෙනෙක් මේ වගේ කරුණු වලට සංවේදී නැහැ...

    ReplyDelete
    Replies
    1. ලොක්කට කියලා දෙන්න හොඳ පාඩමක් හැබැයි :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.