Friday, May 12, 2017

සීයා සහ මුණුබුරා ආයෙත් වයලගෙ කාමරයට එන්නේ නැත !







2013 මැයි මස 10 වැනි දින
දහවල් 1යි විනාඩි 47යි තත්පර32 ට
වයලීනෝ විසින් සයිබර් අවකාශයේදී පන දුන් සීයා සහ මුණුබුරා ,

2017 මැයි මස 5 වැනි දින
රාත්‍රී 11යි විනාඩි 46යි තත්පර50 ට
මිය ගිය බව මෙසේ දන්වා සිටිමි .

මෙතෙක් කල් සීයා සහ මුණුබුරාගේ කතා රසවිඳි ඔබට වයලීනෝ හෘදයාංගම ස්තූතිය පුදකරමි .
ගුරුන්නාන්සේ වලව්වෙන් නැවතත් සීයා සහ මුණුබුරා පන ලබාවි .

අලුත් චරිත කීපයක් සමග රසවත් කතාවකින් නැවතත් බ්ලොග් එකෙන් හමුවෙමු .

අද සිට සීයා සහ මුණුබුරා කතා මාලාවේ සබැඳි කිසිවක් ක්‍රියාත්මක නොවන බවද මේ සමග දන්වා සිටිමි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


ඔය පණිවුඩය ෆේස්බුක් ග්රූප් එකේ දාලා තිබුණත් ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නේ නැහැ . කීපදෙනෙක්ම කතා කියවන්න බැහැ කියලා තියෙන නිසා තමයි මම මේ මතක් කිරීම කරන්න තීරණය කරේ . 

සීයා සහ මුණුබුරා කතාමාලාව ලිව්ව පළවෙනි දවස තවම මට මතකයි . කතාව ලියලා පබ්ලිෂ් බට්න් එක ක්ලික් කරන්න කලින් බුදුන් වැඳලා දෙවියන්ටත් පිං දීලා ඇවිත් තමයි කතාව පබ්ලිෂ් කරේ . ඒවගේම ඒ කතා මාලාවට හොඳ ප්‍රතිචාරත් තිබුණා . ඒවගේම තමයි ඒ කතා ගොඩක් දෙනෙක් යම් යම් තැන්වල කොපි කරලා දාලාත් තිබුණා . 

ඒ කොපි කරලා දාලා තිබුණු තැනකට මම මේ ළඟදී බොහොම වැදගත් විදියට කිව්වා කතාව ගත්ත තැන සඳහන් කරන්න නැත්නම් කතාව අයින් කරන්න කියලා . ඒත් ඒ ගැන විමසිලිමත් නොවුණු කෙනෙක් මට මැසේජ් කරලාත් වැඩි දුරටත් කියා සිටියේ කතාව ඉවත් කරන්නේ නැහැ පුළුවන් දෙයක් කරන්න කියලා . ඔන්න එහෙනම් මම පුළුවන් දේ කරා . 

කතා මාලාව පොතක් වශයෙන් එළිදක්වන්න කියලා තමයි හිතාගෙන හිටියේ . එතකොට මේකෙන් කතා ඉවත් කරලා දාන්න හිතාගෙන හිටියත් පුළුවන් දෙයක් කරන්න ඕන නිසා පොත එළිදක්වන්න කලින්ම කතා ටික බ්ලොග් එකෙන් ඉවත් කළා . මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් පොතක් විදියට සීයා සහ මුණුබුරා ඔබ අතට පත්වේවි . 

සුළුතරයක් වූ අඳබාලයින්ගේ ක්‍රියාකලාපය නිසා අනිත් අයටත් වෙච්ච අසාධාරණය සම්බන්ධව වයලීනෝ කණගාටුව ප්‍රකාශ කරනවා . හැබැයි ඔයාලා දුක් වෙන්න එපා . ඔයාලාට පොත වගේම තවත් අලුත් බලාපොරොත්තුවක් තියෙනවා . ටික දවසකින් ඒ බලාපොරොත්තුවේ ප්‍රතිඵල දළුලා වැඩෙන්න පටන් ගනීවි . 




කරුණාකරලා මේ පලවෙන ලිපි ඒ ආකාරයෙන්ම උපුටාගන්නවානම් එක්කෝ අවසර ගන්න . නැත්නම් බ්ලොග් එකේ ලින්ක් එකත් එක්ක සඳහන් කරන්න . කොපිරයිට්ස් කියන දේවල් ගැන දන්නේ නැත්නම් ගූගල් සර්ච් කරලා බලන්න . මේ ලියන දේවල්වල නෛතිකමය පැත්ත ගැන එතකොට අදහසක් ගන්න පුළුවන් වේවි . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Thursday, May 11, 2017

ලංකාවේ කේන්දර සහ පිටරට කෙන්දර




දැනට ටික කාලයකට කලින් විදේශගතවෙලා ඉන්න අන්කල් කෙනෙක් මට කතාකරලා ඇහුවා එයාගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරවා ගන්න පුලුවන්ද කියලා . මම ඒ වෙලාවේ මගේ ජ්‍යෝතිෂ වැඩ කොටසට අදාළ සියලුම විස්තර අඩංගු සටහනක් යවලා කිව්වා ඒ අවශ්‍ය විස්තර මට එවන්න කේන්දරේ හරිද වැරදිද බලලා පළාපල සහ දැනගන්න අවශ්‍ය අනිත් විස්තර එවන්නම් කියලා .

ඊට පස්සේ එයා මාත් එක්ක කිව්ව දේවල් වලින් මම පුදුමයට පත්වුණා . ඒ අංකල් කිව්වා මම දැන් විදේශගත වෙලා ඉන්නේ . ඒ නිසා මට ඒ රටට අදාලව කේන්දරේ හදාගන්න පුලුවන්ද කියලා . ඊට පස්සේ මම හිතුවේ එයා ඉපදිලා තියෙන්නේ පිටරටක කියලා . මම ඉතින් ඇහුවා කොහෙද ඉපදිලා තියෙන්නේ කියලා . එතකොට කිව්වා මම ඉපදිලා තියෙන්නේ ලංකාවේ . ඒත් දැන් ඉන්නේ විදේශගතවෙලා ඒ නිසා මම ඉන්න රටට අනුව උපන් වෙලාවට කේන්දරයක් හදාගන්න ඕන කියලා . මම කල්පනා කරා මේ කියන්නේ මේ කෙනා ඉන්න රටට මේ දවස්වල කොහොමද ග්‍රහ බලපෑම තියෙන්නේ කියලා අහනවා කියලා . ඒත් මෙයා අදහස් කරලා තියෙන්නේ තමන් ජීවත්වෙන රට වෙනස් කරනවානම් උපන් වෙලාව අනුව තමන් ජීවත් වෙන රටට අදාලව කේන්ද්‍ර සටහනක් නිර්මාණය කරන්න ඕන කියලා .



මම ඊට පස්සේ ඒ දේවල් පැහැදිලි කරන්න උත්සාහ ගත්තත් ඒ කෙනා ඒවා වටහාගන්නා බවක් පෙනුනේ නැති නිසා එයා වෙනුවෙන් මගේ සේවය ලබා දීම මම ප්‍රතික්ෂේප කරා . ජ්‍යෝතිෂ විද්‍යාව තරමක් දුරට දැනගත් පිරිසක් මේ වගේ වැරදි දේවල් මිනිස්සුන්ගේ ඔළුවට දාලා තියෙනවා කියලා තමයි මමනම් හිතන්නේ .

කේන්දරේ කියන්නේ තමන් උපන් වෙලාවට අදාලව අහසේ තරු ග්‍රහයින් නැකත් පිහිටලා තියෙන ආකාරය ගැන දළ වශයෙන් හෝ සූක්ෂම වශයෙන් පෙන්නුම් කරනු ලබන යම්කිසි සැලසුමකට . ඒ සැලසුම අනුව තමයි ජ්‍යෝතිෂ විද්‍යාඥයින් කේන්දරේ බලවා ගන්න එන අයට අවශ්‍ය දේවල් කරලා දෙන්නේ .

අපි ඉපදෙන්නේ යම් වේලාවකදී පොළවේ යම් තැනකදී . ඉතින් ඒ කෙනාගේ ශරීරයට මේ නැකත් ග්‍රහ තරුවල කිරණ එහෙම බලපාන්නේ ඒ ඉපදෙන වෙලාවේ අහසේ පිහිටලා තිබුණු විදියට . සරළවම කියනවානම් ඔයාලා හිතනවාද ගෝලාකාර පොළවේ එකම වෙලාවකට ලංකාවටත් ඇමෙරිකාවටත් එකම ලග්නයක් උදාවෙයි කියලා . අනික ලංකාවේ උපන් කෙනා ඇමෙරිකාවට ගියාම එයාට වෙනමම කේන්දරයක් හදන එක සාධාරණයි කියලා . කවදාවත් එහෙම වෙන්නේ නැහැ . කෙනෙක් ඉපදුනා නම් ඒ කෙනාට බලපාන්නේ ඒ වෙලාවේ ඒ ස්ථානයට තිබ්බ ග්‍රහ බලපෑම තමයි .



ලංකාවේ සමහර ජ්‍යෝතිෂවේදීන් මේ විදේශයක උපන් කෙනෙක්ට කේන්දර නිර්මාණය කිරීමේදී මෙන්න මෙහෙම දෙයක කරනවා . එයාලා කරන්නේ විදේශයක උපන් වෙලාව ලංකාවේ වෙලාවට හරවනවා . ඊට පස්සේ ලංකාවේ වෙලාවට කේන්දරේ හදනවා . ලංකාවේ වෙලාවට කේන්දරේ හදලා දෙනවා මෙන්න කේන්දරේ කියලා . ඒත් ඒක වැරදියි . වෙලාවේ අඩු වැඩිවෙන සාධකයක් තියෙන නිසා අපිට පුළුවන් විදේශ වෙලාව ලංකාවේ වෙලාවට හරවලා නැවතත් විදේශයේ වෙලාවට පෙරළන්න . ඒත් විදේශයක හැදෙන්න ඕන කේන්දරේ ලංකාවේ තැනකට හදලා ආයෙත් විදේශයකට පෙරළන්න බැහැ . අනිත් කාරණාව තමයි මෙහෙම ලංකාවේ වෙලාවට විදේශයේ වෙලාව පෙරලලා කේන්දරේ හැදුවා කියමුකෝ . ඒත් ස්ථානය කොහොමද ගන්නේ . ලංකාවේ යම් නිශ්චිත වේලාවකදී කොළඹට තියෙන ග්‍රහ බලපෑම නෙවෙයි ත්‍රිකුණාමලයට තියෙන්නේ . ඉතින් විදේශගත වෙලාවක් ලංකාවට හදනකොට කොළඹ නගරය පාදක කරගෙන කේන්දරේ හැදීම යම් දුරකට වැරදියි කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ .

උදාහරණයක් හැටියට විදේශයක උපන් කෙනාට කටක ලග්නය උදාවෙලා තියෙන වෙලාවට ඒ වෙලාවම ලංකාවේ වෙලාවට පෙරලලා කේන්දරේ නිර්මාණය කලාට පස්සේ එයාගේ ලග්නය මකර ලග්නය වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් ධනු ලග්නය හෝ වෙනත් ලග්නයක් වෙන්න පුළුවන් . ඊට පස්සේ ඔන්න ලංකාවේ හදලා තියෙන කේන්දරේ නැවතත් අපිට විදේශයේ ඒ වෙලාවට අදාළ කේන්දරේ බවට පෙරළන්න විදියක් නැහැ . මේක තේරුම් ගැනීම මත තමයි තියෙන්නේ .



මේ ගැටළුව නිරාකරණය කරගන්න අපිට තාක්ෂනය උපයෝගී කරගන්න පුළුවන් . හැබැයි මම කියන්නේ නැහැ කේන්දර බලන සොෆ්ට්වෙයා සේරම හරි කියලා . සමහර ඒවායේ තියෙන  වීජගණිතමය ගණනය කිරීමේ වැරදි නිසා සමහර වෙලාවල් වලට කේන්දර වරදිනවා . මේ නිසා මම නම් කියන්නේ එකම සොෆ්ට්වෙයා එකක් තියාගෙන ඉන්නේ නැතුව කීපයක් පාවිච්චි කරන්න කියලා . අඩුම තරමේ සොෆ්ට්වෙයා තුනකින් හෝ මේ ගණනය කිරීම් කරලා බලන්න පුළුවන් නම් නිවැරදිතාවය පිළිබඳව හොඳ අදහසක් ගන්න පුළුවන් . එතකොට ඒ උපන් වෙලාවට අදාළව කේන්දර සටහන අනුව පළාපල විස්තරය ඉදිරිපත් කරන්න පුළුවන් විශ්වාසයෙන්ම .

වැරදි කේන්දරයක් කියන්නේ නමේ ඉඳලාම සේරම වැරදියි . ඔය විදියට විදේශයක ඉපදුණු කෙනෙක්ට සෙත් කවියක් ලියන්න ගිහින් උපන් නැකත් සහ නම සහ නිවැරදි කේන්දරේ අතර විශාල පරස්පර බවක් තිබිලා ඒ දේවල් මුල ඉඳලාම නිවැරදි කරන්න සමහර වෙලාවල් වලදී මට සිදුවෙලා තියෙනවා . සමහර නැකත් වලට එන අකුරු වලින් නම් තියන්න අමාරුයි . ඒ වෙලාවට ඒ නැකතට ගැළපෙන වෙනත් නැකතක අකුරෙන් නම් තියනවා . ඒත් එහෙම නොගැළපෙන වෙලාවල් වලදී නම් තියන්න මේ වැරදි කේන්දර හේතු වෙලා තියෙනවා .

කේන්දරේ වැරදි වුණාම අපල , දසා , විදසා , එරාෂ්ටක හැමදේකම කාලසීමාව වරදිනවා . එතකොට වෙන්නේ වැරදි පළාපල කීම . ඊටත් පස්සේ වෙන්නේ ඉතින් ජ්‍යෝතිෂ විද්‍යාව මිනිසුන් විසින් පිළිකුල් කිරීම කියලා . මේ ළඟදී මම කියවපු ලිපියක කමෙන්ට්ස් විදියට තිබුණා ජ්‍යෝතිෂ විද්‍යාව කියන්නේ ඇඟ මහන්සි කරවන්නේ නැතුව ලේසියෙන් හම්බ කරන්න තියන හොඳම විදිය කියලා . ඒත් ජ්‍යෝතිෂ විද්‍යාව හරියට කරන කෙනෙක් දන්නවා තමන්ගේ මනස තුල කොයිතරම් ගණනය කිරීමක් සහ ග්‍රහ ගමන පිළිබඳව කොයිතරම් සැළකිල්ලෙන් ඉන්න ඕනද කියන දේ .

ඒක ඉගෙන ගත්ත කෙනා විතරයි දන්නේ . ඉගෙන ගන්නේ නැතුව කියන්න බැහැ මේ දේ මෙහෙමයි කියලා . ධර්මය තුළිනම් ධර්මය විනාශ කරන අය ඇතිවෙනවා වගේම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව තුළින්ම තමයි ජ්‍යෝතිෂ විද්‍යාව විනාශ කරන අය ඇතිවෙන්නේ . විද්වතුන්ගේ ශාස්ත්‍රය ඒ ආකාරයට හෑල්ලුවට ලක්වීම පිළිබඳව තියෙන්නේ කළකිරීමක් .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Thursday, May 4, 2017

සාත්තර ආතා ( 6 අවසන් කොටස )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

පසුගිය කොටසින්

" හොඳයි සීයේ " 

අංජනම වසා රැගෙන යායුතු සියල්ලද සූදානම් කර මම පන්සලේම ස්වාමීන් වහන්සේ නමක විසින් සකසා දුන් ස්ථානයක ඇලවුණේ මහන්සියට වඩා දරාගත නොහැකි නිදිමත තුනී කරගැනීමටය . 

පසුදා උදෑසනම අවදි වූ මම සීයාගේ අනුදැනුම ඇතුව රැගෙන යායුතු සියල්ලද රැගෙන නැවතත් සිටිනාමළුව දක්වා පිටත් වීමි . එහි ප්‍රධාන අරමුණ වූයේ අංජනම කිල්ලෙන් ආරක්ෂා කරගැනීමයි . 

මරණයේ වැඩකටයුතු අවසාන වී සීයා වලව්වට පැමිණියේ පසුදා හවස් වන විටදීය . සාත්තර ආතා එසේ මාතරින් නික්ම ගියද ඔහුගේ බැල්ම තවමත් මාතරින් තුරන්වී නොතිබිණි . එහි ඊළඟ ඔට්ටුව ආරම්භ වූයේ සාත්තර ආතා මිය ගොස් දවස් හත ගතවූවාට පසුව වලව්වට ආ පණිවුඩයත් සමගය . එබැවින් විනය කැපීම ආකාරයකට කතාවේ නවමු ආරම්භයක් ලෙස සටහන් කල හැක . 

අද එතැන් සිට 

" මොකද මේ දරුවා ආයෙත් කරත්තේ දක්කාගෙන වලව්වට ආවේ . එපාර කාටද අපිව ඕන වෙලා තියෙන්නේ ? " 

" ගුරුන්නාන්සේ , මේකනම හදිස්සි කාරණාවක්මත් නෙවෙයි . ඒත් ඉක්මන් වෙන්න උවමනා දෙයක් " 

" හ්ම්ම් . ඔහෙන් ඉඳගෙන කියමු බලන්න එහෙනම් කතාව සහසුද්දෙන්ම "





සාත්තර ආතාට අසනීප බව කියා සීයාත් මමත් කැඳවාගෙන යාමට ආ කරත්තයම නැවතත් වලව්වට පැමිණියේය . ඒ නැවතත් සීයා කැඳවාගෙන යාමටය . නමුත් සීයා අතර සහ එම කරත්ත කරු අතර කතාව තවමත් අවසන් වී නැත .

" මරණේ කටයුතු අහවර වුණායින් පස්සෙන් පහු ගුරුන්නාන්සේ වලව්වට ආවා නෙව . ගුරුන්නාන්සේට මතකද අර පොඩි කොලු ගැටයෙක් හිටියා සාත්තර ආතට උදවු උපකාර කරපු පවුලේ අයගේ " 

" ආ . මට ඔය කියන ළමයා මතකයි සීයේ . ඒ ළමයා මගෙන් මන්තර ගැන අංජනම ගැන එහෙමත් වැඩි වැඩියන් හාරවුස්සන ප්‍රශ්න අහ අහා තමයි හිටියේ " 

" මටනම් එච්චර නිච්චි නැහැ . ඒත් දැක්කොත් අඳුරාගන්න පුළුවන් . හා කතාව කියමුකෝ බලන්න " 

" අන්න ඒ දරුවට සාත්තර ආතා ඇවිත් වහලා නෙව "

" ආ උන්දා එහෙනම් මිය ගියාට ගම අතෑරලා ගිහින් නැහැ . දැන් ඉතින් මොකද ඒ දරුවාට ගොඩක් අමාරුද ? කලබල කරනවද ? " 

" හැම වෙලේම නැහැ ගුරුන්නාන්සේ . රාත්තිරියට ඔන්න ටිකක් කලබල කරනවා . ඇඟේ පතේ මස් පොදක් නැති වුණාට මොකද ආවේස වුනාට පස්සේ අලියා වගේ . කිසි කෙනෙක්ට මෙල්ල කරන්න බැහැ . ඇඟ පත යකඩ පරාදයි " 

" හ්ම්ම් . දැන් ආවේ මාව එක්කාසුකරගෙන යන්නද ? " 

" එහෙමයි ගුරුන්නාන්සේ . ඒ ගෙවල් කිට්ටුව ඉන්න ඇදුරෙක් ලවා ඇප නූලක් දැම්මා සතියකට කල් යල් ඉල්ලාගෙන . ඒත් දරුවා මෙල්ල කරන්න බැහැ . ඒ නිසා ඒ ඇදුරාත් කිව්වා ගුරුන්නාන්සෙ එක්ක එන්නය කියලා " 

" හ්ම්ම්ම්ම් . එහෙනම් යමුකෝ බලන්න . චූටි පුතා මේ කරත්තේ ඉස්සරවෙලා ගිහින් යමක් කමක් කරන්න පටන් ගන්න . මම එන්නම් වලව්වේ කරත්තෙන් " 

" හොඳයි සීයේ " 





සීයාගේ අවසරය ලත් ඇසිල්ලේම මම සූදානම්වී වලව්වෙන් පිටත් වීමි . දහවල් කාලයේ මෙවැනි දීර්ඝ ගමනක් යාම තරමක අසීරු කටයුත්තක් විය . එහෙත් රෝගී දරුවාගේ සුබසෙත උදෙසා මටත් වඩා වෙහෙස වූයේ කරත්තය ඇදගෙන ගිය ගවයාය . ඒ කරත්ත කරුගේ කෙවිටි පහර අනුව පෙන්වන පාරේ ගමන් කිරීමටයි . දරුවා සිටි නිවස තිබුණේ පන්සල් වත්තට අනෙක් පසින්ය . සාත්තර ආතාගේ නිවස පන්සලෙන් එහා පැත්තේද දරුවා ජීවත් වන නිවස මෙහා පැත්තේද පිහිටා තිබීම නිසා මෙම නිවාස දෙක අතර එකිනෙකා යහමින් ඇඳුරුම්කම් කල බව මට තේරුම් ගියේය . 

දරුවා අප යනවිට කිසිඳු හැලහොල්මනක් නැතිව සිටියේය . මම ඔහුගේ ඇස් අනුව තේරුම් ගතිමි ඔහුගේ ශරීරයේ අමනුෂ්‍යයෙකු වැසී සිටිනා බව . මම සීයා අනුකරණය කරමින් අමනුෂ්‍යයාට කෑගැසුවෙමි . 

" උඹ හිතාගෙන ඉන්නේ මම උඹ ඉන්නවා කියලා දන්නේ නැහැ කියලද ? . කතා කරපං " 

මගේ හඬට අමනුෂ්‍යයා අවදි වුයේය .

" උඹ පොඩි එකෙක් . අරනෝලිස් අයියා ආවත් මම මේ පරාණ කූඩුව දාලා යන්නේ නැහැ " 

" හඃ හඃ හඃ හඃ . වෙසමුණි සැරේ රස්නේ ගැන දන්නේ නැතුව වගේ සාත්තර ආතා කතා කරන්නේ " 

" ගියත් මම මේ පරාණ කූඩුව අරගන්න එනවා . දැන් එකෙක් ඇවිත් සතියයි කියලා නූල් දාලා ගියා . මම නූල කැඩේව්වා . කවුරු ආවත් ඔච්චර තමයි . මුන් මට සැලකුවේ මගේ මන්තර සාත්තරේ හූරගන්න . කපටි හැත්ත . මුන් මගේ පොත් පත් හොරෙන් ගන්න හැදුවා . මං ඒවා දන්නවා . මම ඒක නිසා තමයි පොත් පත් ගිණි තිබ්බෙව්වේ " 

" ඉතින් මේ ළමය මොකවත් කරේ නැහැනේ . ඒ නිසා මේ ළමයා අතෑරලා යන්න " 

" මේ ළමයාට උගන්නවන්න තමයි උන්ගේ මහ උන් දෙන්නට ඕන වෙලා තිබුණේ . ඒ නිසා මම පලි ගන්නවා . මම මුට වරමක් දෙනවා . මූ වරම ගන්න ඕන . නැත්නම් මම මූව ගන්නවා " 

" කේ මේ ළමයාගේ අම්මා තාත්තා දෙන්නා එන්න මෙහාට " 

" අනේ ගුරුන්නාන්සේ අපේ දරුවා බේරලා දෙන්න " 

" හා . කියමු බලන්න මේ කතාව " 

" අපි හරිම දුප්පත් මිනිස්සු . ළමයින්ගේ තාත්තා මාළු රස්සාව තමයි කරන්නේ . හැමදාම ඔරු නැගලා ඔය අල්ලන් එන මාළු විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ . ඒත් ඒ මුදල අපිට හොඳටම මදී . ඒ නිසා ජීවත් වෙන්න විදියක් හොය හොයා තමයි අපි උන්නේ ගුරුන්නාන්සේ " 

" ඉතින් " 

" සාත්තර ආතා මියැදෙන්න වැටුණු වෙලාවේ අපි උදවු කරා තමයි . අපි හිතුවා සාත්තර ආතා අපිට මන්තර සාත්තරේ උගන්නයි කියලා . පස්සෙන් පහු අපි කිව්වා දරුවට මන්තර සාත්තරේ උගන්නන්න කියලා සාත්තර ආතාට කියන්න කියලා " 

" ඉතින් වැඩක් වුණාද ? " 

" ඒකට උන්දා කැමැත්තෙන් හිටියේ . ඒත් අපිට මොකවත් කියලා දුන්නේ නැහැ . අන්තිමට උන්දා මියැදුනා . මගේ දරුවා ලෙඩ වුණා . අනේ මගේ දරුවා බේරලා දෙන්න ගුරුන්නාන්සේ " 

" හ්ම්ම් . මට දැන් තේරෙනවා මොකද වෙලා තියෙන්නේ කියලා . සීයා දැන් එනවා කියලා කිව්වා . මාව කලියෙන් එව්වේ කලබල කරනවානම් ඒක ගැන මොනවා හරි කරන්න කියලා . මේ ළමයා අපි පන්සලට එක්කගෙන යමු " 

මම දරුවාගේ අතින් අල්ලාගත්තෙමි . එහෙත් ඔහුගේ අත ඉතාමත් දරදඬු වී තිබේ . මම අත අතාරින්නේ නැතිවම පන්සල කරා ඔහු කැඳවාගෙන ගියෙමි . 

" පොඩි හාමුදුරුවනේ , නායක හාමුදුරුවෝ ඉන්නවද ? " 

" ආ මේ අර ගුරුන්නාන්සෙ එක්ක ආව අනිත් ගුරුන්නාන්සේ නේද ? . මෙහෙන් ඉන්නකෝ . මම නායක හාමුදුරුවන්ට කතා කරන්නම් " 





නායක ස්වාමීන්වහන්සේ සමග මම මෙම දරුවා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කලෙමි . නායක ස්වාමීන් වහන්සේ පැවසුවේ සාත්තර ආතා ඈත කාලයකට නෑකම් කියන පරපුරක හිමිකරුවෙක් බවයි . එවැනි පුද්ගලයෙකු ඔහුගේ ශාස්ත්‍රය සිල්ලර වෙළඳාමේ යොදවන්නේ නැති බව නායක ස්වාමීන් වහන්සේ පැවසූහ . 

" උන්දා කරේ නරක නොහොඹිනා දේ වුනාට දරුවෝ පරපුර ගැන උන්දැගේ හිතේ බොහොම ගෞරවයක් තිබුණා .ඒ  නිසා උන්දා මන්තර කාටවත් දෙන්නේ නැහැ කියලා මමත් දන්නවා . මටත් වින කරානේ උන්දා . දැන් ඉතින් මේ තවත් පවු කරගන්න තමයි උත්සාහ ගන්නේ " 

අවසානයේ සීයා පැමිණ ආතාගේ ආත්මය රත්තරන් කෙන්දකින් බැඳ බෝතලයක දමා හිර කර පොලවේ අඩි දොළහක ගැඹුරේ වැළලුවේය . දරුවා සනීප වූයේ එයින් පසුවය .

මෙහි එන නම් ගම සියල්ල මනඃකල්පිතය 
විසිඑක්වන  සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

ඔන්න දැන් කට්ටිය බලනවා ඇති ආයෙත් සීයා මුනුබුරා කතාවක්ද එන්නේ කියලා . මේකත් ඇවිල්ලා ඒවගේ කතාවක් . හැබැයි මේකේ මමත් ඉන්නවා . මේක වෙලා දැනට ඕන නම් මාස තුනක් වත් වෙන්න ඇති . මම එදාම කල්පනා කරා මේ කතාව බ්ලොග් එකේ ලිව්වනම් හරි කියලා . මොකද මේ කතාවට මමත් සම්බන්ධ නිසා . හැමදේම දැනගෙනත් පොරොන්දුවක් නිසා මම අසරණ වෙච්ච අවස්ථාවක් මේක . කියවලා බලන්නකෝ .

හොල්මන් භූතයින් ආරූඪවීම් බොරු කියලා කියන අයට කවදා හරි කියවන්න තමයි මම මේ සාත්තර ආතා කතාව ලියලා තියන්නේ . ඒවගේම කියන්න ඕන මේක තමයි මට අත්දකින්න ලැබුණු ආරූඪ වෙච්ච කෙනෙක් එක්ක හැප්පෙන්න ලැබුණු පළවෙනි අවස්ථාව කියලාත් . මේකෙන් ගන්න ආදර්ශයකුත් තියෙනවා . ඒක අන්තිමට කියන්නම් .

පසුගිය අවුරුද්දේ සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වුණු දවස්වලින් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ . දෙවිනුවර ජීවත්වෙන අපේ නෑදෑ වෙන පවුලක් අපේ ගෙදර ආවා පෙරහැර බලන්න . පෙරහැර කාලෙට එහෙම නෑදෑයෝ එන එක දෙවිනුවර පැත්තට නම් සිරිතක් වුණාට රත්නපුරේටනම් සිරිතක් නෙවෙයි .

ඒත් එයාලා පෙරහැර බලලා නැති නිසා එන්න ඕන කිය කිය ඉඳලා ආවා . ඇවිත් පෙරහැරත් බැලුවා . පෙරහැර බලලා දවස් දෙකක් විතර අපේ ගෙදර ඉඳලා එයාලා ආයෙත් දෙවිනුවර ගියා . ඊට මාසෙකට විතර පස්සේ මට දැනගන්න ලැබුණු දෙයින් මම ටිකක් පුදුම වුණා . ඒ තමයි එදා ඒ ආව පවුලේ මල්ලි ආරූඪ වෙනවා කියන කතාව .

පස්සේ විපරම් කරලා බලනකොට තමයි දැනගන්න ලැබුණේ මගෙන් පුරුදු වෙච්ච දෙයක් නිසා මෙයා ආරූඪ වෙනවා කියන කතාව . මමනම් ඒක එච්චර ගණන් ගත්තේ නැහැ . වවුලගේ ගෙදර ආවනම් එල්ලිලා හිටු කියන පිළිවෙලටනෙ මම ඉන්නේ . මම කිය කිය හිටියේ " මම පහන් තියන පලියට උනුත් පහන් තියන්න ඕනද ? " කියන කතාව .

ඒත් ටික ටික ආරංචි එන්න ගත්තා ඒ ළමයාත් මම වගේම ගෙදර විෂ්ණු දෙවියන්ට පහනක් පත්තු කරනවා කියලා . අපේ ගෙදර විෂ්ණු දෙවියන්ට මම පත්තු කරන පහන තියනවා බලාගෙන ඉඳලා තමයි ඒ ළමයාත් එයාගේ ගෙදර පහන තියන්න පටන් අරගෙන තියෙන්නේ .

අපේ ගෙදර මම පහන තියනවා කියලා කන්නලව් කර කර පැය ගණන් වඳින්නේ නැහැ . පහන පත්තු කරලා දෙවියන්ට පිං දෙනවා විතරයි . ඒත් පහන පත්තු කරන එක කවදාවත් අපේ ගෙදරින් අතපසු කරන්නේ නැහැ . මම නැත්නම් ගෙදර වෙන කෙනෙක් හරි පහන පත්තු කරනවා . අපි ඒක වැඩි හරියක්ම කරන්නේ සිරිතක් විදියට . ගෙදරට එනකොටම මිදුලේ තියෙන පහන් පැල දකින හැමෝම එක එක ඒවා කියනවා . ඒත් මම සහ අපේ ගෙදර අය ඒවා ගණන් ගන්නේ නැහැ . අපේ චේතනාව හොඳ නම් ඇයි කාටවත් වේදනා .

ඒත් දෙවියන්ට පහන් තියනවා කියන්නේ එසේ මේසේ වැඩක් නෙවෙයි . පහන තියනවානම් අනිවාර්යෙන්ම මම එදාට නාලා තමයි පහන තියන්නේ . ඒ කියන්නේ හැමදාම මම සාමන්‍යයෙන් නානවා . ඒ පිළිවෙතත් හැමදාම අපි කරනවා . මේ කිසි දෙයක් දන්නේ නැති ළමයෙක් තමයි මම පහන පත්තු කරනවා බලාගෙන ඉඳලා ගිහින් පහන පත්තු කරන්න පටන් අරගෙන තියෙන්නේ .

ටික ටික ආරංචි ආවත් මේ කතාව අපි එච්චර ගණන් ගත්තේ නැහැ . අනික තමයි මේ පවුලේ කවුරුවත් අපිට මේ ආරූඪ වෙන කතාව කිව්වෙත් නැහැ . ඒ ළමයාට ඉගෙන ගන්න අපේ ගෙදරින් උදවු කරා . ආරූඪ වෙලා සාත්තර කියන්න ගත්තම ඉගෙන ගන්න කරන ඒ උදවු නතරවෙයි කියලා එයාලා විස්තර කියන්නේ නැතුව හිටියා .

ටික කාලයක් ඔහොම ගියාම මේ ගෙදර ඉන්න අර පිරිමි ළමයාගේ නංගි වැඩිවියට පත් වෙනවා . ඒ වෙනුවෙන් තිබුණු මංගල උත්සවයට අපිත් සහභාගී වුණා . කලින් දවසේ අපි එහෙ ගියා උදවු කරන්න එහෙම හිතාගෙන . යනකොට දවල් දොළහ විතර ඇති .

ගෙදර වැඩ කරලා අනං මනං උදවු එහෙම කරලා රෑ හත විතර වෙනකොට මමත් නාලා කියලා කාමරේට වෙලා ඇඳේ හාන්සියක් දාගෙන මලක් කඩ කඩ හිටියා . එවෙලේ මම අර කිව්ව මල්ලි කාමරේට ආව කේන්තියෙන් වගේ . ඇවිත් මගෙන් කේන්තියෙන් ඇහුවා

" අයියේ මගේ බෑග් එක දැක්කද ? " කියලා .

මම " නෑ " කියලා උත්තර දුන්නා .

ඒත් මම කාමරේට වෙලා ඉන්න අතරේ ඒ වෙනකොට ගෙදර කට්ටිය මේ ළමයාට ආරක්ෂා නූලක් දාන්න සැලසුම් කරලා තිබිලා තියෙන්නේ . මොකද පහුවෙනිදා තියෙන මංගල උත්සවයේදී මේ ළමයා ආරූඪ වෙයි කියන බයට . මම කාමරේ ඉන්න අතරේ සාලය පැත්තෙන් ඇහෙනවා මතුරන සද්දයක් . මම හෙමීට කාමරේ උළුවස්ස ගාවට ගිහින් බලාගෙන හිටියා .

කවුද මනුස්සයෙක් ඇවිත් මතුරනවා නූලක් . ඊට පස්සේ පිරිමි ළමයාගේ කරෙත් ගෑණු ළමයාගේ කරෙත් නූල දැම්මා . මට මතකයි මම අපේ පුංචිඅම්මා එක්ක කිව්වා ඔය දාන්නේ නූල අමනුස්සයෙක් එලවන්න නම් ඕක හරියන්නේ නැහැ කියලා . නූල දාලා ඒ මනුස්සයා ගියාට පස්සේ මමත් ගෙයින් එලියට ඇවිත් එළියේ හදලා තිබුණු ටකරං හට් එකේ වාඩිවෙලා ඉන්නකොට ගේ ඇතුළෙන් ලොකු සද්දයක් ආවා . හැමෝම කෑගහනවා .

අර ළමයා ආරූඪ වෙලා දඟලනවා . මට හිතුනා පෙරේතය වැහිලා තමයි කියලා . ඒත් මම පැත්තකට වෙලා හිටියා මොකවත් කියන්නේ කරන්නේ නැතුව . ඊට පස්සේ මේ ළමයා පිහියක් ඉල්ලුවා අත කපාගන්න . ඊට පස්සේ අත කපාගෙන ලේ බිංදු බිංදු පත්තුවෙන පහනකට දැම්මා .

දැන් ඉන්නේ සාමාන්‍ය කෙනා නෙවෙයි . මෙයාගේ ඇඟ හරිම දරදඬුයි මේ වෙලාවේ . ඇස් රතුපාට වෙලා දෙතුන් දෙනක් මෙයාගේ අත් කකුල් ඉනෙන් එහෙම අල්ලාගෙන ඉන්නේ . ඔහොම ඉඳලා දඟලලා දඟලලා බිම වැටිලා බිමත් දඟල දඟල ඉන්නකොට ගෙදර කෙනෙක් රතන සූත්‍රය කියන්න ගත්තා .

එයාට ඒකෙ තියෙන වචන හරියට උච්චාරණය කරගන්න බැහැ . ඊට පස්සේ අර ළමයා දඟලනවා බලාගෙන ඉන්න බැරි නිසා පිරිත් පොත උදුරලා අරගෙන මමත් අපේ පුංචි අම්මාත් ඔන්න රතනසූත්‍රය කියන්න ගත්තා . පිරිත ඉවරවෙනකල් සද්ද නැතුව ඉන්න ළමයා ආයෙත් නවත්තනකොට ඔන්න දඟලන්න ගන්නවා . ඊට පස්සේ ඒ ළමයා ආරූඪයෙන්ම කෑ ගැහුවා ඕක නවත්තපන් ඕක නවත්තපන් කියලා . ඒත් මම නැවැත්තුවේ නැහැ . පස්සේ ඒ ළමයට සිහිය ආවා .

මම ඊට පස්සේ පිරිත් කීම නවත්තලා ඒ ළමයගේ කම්මුලට ටිකක් සැර පාරක් දීලා " ආ දැන් හරි හරි " කියලා කාමරෙන් එළියට ආවා විතරයි මේ ළමයා කාමරේ ජනේලෙන් පැනලා පන්සල් වත්තට පැනලා දිව්වා . දුවලා දුවලා ගිහින් බෝධිය ළඟ නැවතුනා . ළමයා අල්ලගන්න ගෙදර පිරිමි කස්ටිය ඔක්කොම දිව්වා . පස්සේ මේ ළමයට වැහිලා ඉන්න අමනුස්සයා කතා කරා .

" මට පිං දෙන්න . කතරගම කිරිවෙහෙරට අටපිරිකරක් පූජා කරලා පිං දෙන්න " කිව්වා . ඔන්න එදා එයින් ඉවරයි .

පහුවෙනිදා හවස තමයි කොටහළු මංගල්ලේ උත්සවය තිබ්බේ . ඒකට මෙයා ලෑස්ති වෙලා ඉන්නකොට ළඟ පන්සලේ හාමුදුරුවෝ කියලා තිබ්බා පන්සලට එන්න පිරිත් නූලක් දාන්න කියලා . ගෙදර හැමෝම බයයි යන්න . ඊට පස්සේ මට පුලුවන්ද ඇහුවම මම හා කියලා මෙයත් එක්ක ගියා පන්සලට . පන්සලේ තියෙනවා දේවාල ගෙවල් . විෂ්ණු දේවාලය ඉස්සරහා මේ ළමයා වාඩි කරවලා ඔන්න හාමුදුරුවෝ මහා සද්දෙට නමෝ තස්ස කියන්න ගත්තා විතරයි ළමයා දරදඬු වුණා .

ආරුඪ වෙන්න කලින් මම ගෙදර සෙට් එකට කතා කළා එන්න කියලා ළමයා අල්ලගන්න . එදාත් ඒ ළමයා දරදඬු වෙලා දඟලලා දඟලලා අන්තිමට පිරිත් නූල කරේ දැම්මේ ඇප නූලක් විදියට . සතියක් ඇතුලත කරන දෙයක් කරනවා කියලා ඒ අමනුස්සයාට පොරොන්දු වුණා . ඒ අමනුස්සයා ළමයා ගෙනියන්නම තමයි කතා කලේ . ඒත් කරගන්න දෙයක් නැති නිසා සතියක විරාමයකට අපි පොරොන්දු වුණා හා එහෙනම් ළමයා සතියකින් දෙනවා කියලා .

මේ වැහිලා ඉන්නේ ගෙවල් ළඟ හිටපු පාරම්පරික ඇදුරෙක් ගේ ආත්මය . මේ මනුස්සයා මැරෙන්න පන අදින කාලේ ආරූඪ වෙන ළමයාගේ පවුලේ අය සහ ළමයා තමයි උපස්ථාන කරලා තියෙන්නේ . එයාලාගේ යටි අරමුණක් තිබුනා මන්තර ශාස්ත්‍රය ඒ මනුස්සයාගෙන් ඉගෙන ගන්න සහ පොත් ටික ගන්න . මේ ආරුඪ වෙන ළමයට ඒ දේවල් උගන්නවන්නත් ඒ අම්මට තාත්තට උවමනාව තිබ්බා . කොහොම නමුත් පාරම්පරික මිනිස්සු තමන්ගේ දේවල් ලේසියෙන් පිටට දෙන්නේ නැහැ විනාශ වෙලා ගියත් . මේ මනුස්සයාත් කරේ ඒක . අන්තිමට මේ ළමයාට ආසාවෙන් මැරුණා සහ ඒ ළමයටම වැහුනා .

මේ කතාව දැනගෙන ඒ ගෙදර අම්මටයි තාත්තටයි මම හොඳටම දොස් කිව්වා . අපේ ගෙදර ආයෙත් එන්න එපා කියලා තමයි මම ආවේ . මොකද එහෙන් මෙහෙන් කතාව තිබුණා අපේ ගෙදර ඇවිත් පහන තියනවා බලාගෙන ඉඳලා තමයි මේ ළමයට අමනුස්ස දෝසෙ හැදුනේ කියලා . නෑකම් නොනෑකම් වුනත් කමක් නැහැ කියලා එදා නම් මම හොඳට ඇමතුවා  . ගෙදරින් එන වෙලාවෙත් බලනකොට ඒ ළමයාගේ ඇස්වලින් ඒ අමනුස්සයා ඉන්නවා කියලා දැනුනු නිසා මම කිව්වා " ඔන්න තවම ගිහින් නැහැ . තනියට තියාගන්න හොඳ කෙනෙක් ඉන්නේ " කියලා . එවෙලේ ඒ ළමයා මගේ දිහා රවලා බැලුවා . ඒත් මුකුත් කිව්වේ කරේ නැහැ .

පස්සේ මම ඒ පන්සලේ හාමුදුරුවෝ එක්ක ගොඩක් දේවල් මේ ගැන කතා වුණා . ඒ හාමුදුරුවෝ කිව්වා භාවනා කරන හිත දියුණු කරන හෝ සිවුර දාගත්ත කෙනෙක් මෙයාව අල්ලනකොටත් ඒ දිෂ්ටිය ඇඟේ තියෙන්නේ නැහැ හැබැයි අතාරිනකොටම ආයෙත් එනවා කියලා . කියනවා වගේම එහෙම වුණා .

ඊට පස්සේ තමයි දැනගන්න ලැබුණේ සතියකට පස්සේ ඒ ළමයා වෙනුවෙන් තොවිලයක් නටවනවා කියලා . 40000 / = මුදලක් ඒකට අය කරා . අපි නෑදෑයෝ හැමෝමත් ඒ තොවිලය කරන්න ආධාර කරා . එහෙම තමයි ඒක කරේ . ඒ කරාට පස්සේත් මම ඒ ළමයට අපේ ගෙදර එන්න එපා කියලා තහංචි දැම්මා .

අපේ ගෙදර මරණයක් වෙලා මම මාස තුනක් පහන පත්තු නොකර හිටියා . තුන්මාසේ බන දවසේ පහන් පැලත් හෝදලා හක්ගෙඩියෙන් පැන් වත්කරලා පහන පත්තු කරා . ඒවගේ දවසකට අමනුස්සයින් ඒ පහනට එන වග දන්නා නිසා තමයි මම ඒ ළමයට දානෙට බනටත් එන්න එපා කියලා තිබ්බේ . ඒකට ඒ පවුලෙන් දෝෂාරෝපණත් තිබුනා . ඒත් මම තනි තීරනයේම තමයි හිටියේ .

දැනට සති දෙකකට වගේ කලින් දැනගන්න ලැබුණා ඒ ළමයට ආයෙත් අමනුස්සයා වැහිලා කියලා . ඒ වැහෙන ඇදුරා ඒ ළමයව දාලා යන්නේ නැති තත්වයක් තමයි තියෙන්නේ . බුදු බණට හැමදේම යටයි කියලා තිබුණට මෙතනදී ඒ දේවල් වල පොඩි පරස්පරයක් තියෙනවා .

කොච්චර පිරිත් කිව්වත් ආටානාටිය කිව්වත් මොන දේ කරත් ඒ අමනුස්සයා යන්නේ නැහැ . මට මතක් වුණේ කොක්ගල නිලමේ කතාව . මේකයි ඒකයි සමානයි වගේ . දැන් ඒ ළමයාට වැහිලා ඉන්න අමනුස්සයා ඇදුරා වෙලා හිටපු කාලේ කරපු කොඩිවින ගොඩ ගන්නවාලු . පන්සලටත් විනයක් කරලා තිබිලා . ඒකත් ගොඩ අරන් තිබුණා . ඒ ළමයට වරමක් හිමි වෙනවා ඒ වරම ගත්තේ නැත්නම් මැරෙනවා කියලත් කියලා තිබුණා .

සමහර දවසට මේ ළමයා ලංකාවේ දක්ෂ මන්ත්‍ර කරුවන්ට දුරකථන ඇමතුම් අරගෙන එයාලාගේ පොත්වල මන්තරවල තියෙන අඩුපාඩු කියලා දොස් කියනවාලු ආරූඪයෙන් . මුද්‍රිත පොත්වල මන්තරවල තියෙන අඩුපාඩු කියලා තියෙනවා ආරූඪ වෙලා . සුප්‍රසිද්ධ කවි රචකයෙක් වෙච්ච සේන අම්බලංගොඩ මහත්මයාටත් කතා කරලා තිබුණා මේ වගේ . ඔන්න ඕකයි තත්වය දැන් . ඒ ළමය ගොඩ එන එකක් නැහැ කියලා තමයි මමනම් හිතන්නේ . දක්ෂ අදුරෙක්ට අහු වුණොත් හොඳයි . නැත්නම් ජීවිතේ පවා ප්‍රශ්නයක් .

මෙන්න මේ සිද්ධිය අනුව තමයි මම කතාව ලිව්වේ . සීයා මුණුබුරා කතා මාලාවට අදාළ සිද්ධි සමූහයෙන් මේ කතාව තරමක් දුරස් වුණත් මේ සිද්ධිය ගැන මෙහෙම කතාවකින්ම කියන එක හොඳයි කියලා මම හිතුවා .

අමනුස්සයින්ට බය අයට කියන්න ඕන දෙයක් තමයි භාවනා කරන්න කියන එක . හිත ශක්තිමත් නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ . ධනාත්මක චින්තනය නෙවෙයි හිත ශක්තිමත් කියන්නේ . ඒක කාලයක් භාවනා කරලා ලබාගන්න ඕන දෙයක් .හිත එකතැන් වෙන්න වෙන්න හිතේ ඇතිවෙනවා මානසික බලයක් .

මෙහෙම අමනුස්සයෙක් වැහිලා ඉන්න කෙනෙක් ලඟට ආවොත් තමන් ඒවගේ භාවනා කරන ශක්තිමත් කෙනෙක් නම් ඒ ආරුඪ වෙලා ඉන්න කෙනාව අල්ලගන්න . එතකොට ටිකක් එයා මෙල්ල වෙනවා . හිත සසල කරගන්නේ නැතුව එයා එක්ක කතා කරන්න . භාවනා කරන හිත දියුණු අයගේ ඇඟේ තියෙන රශ්මි මාලාවට ඒ අමනුෂ්‍යයින් ලං වෙන්න බයයි . ඒ රශ්මිය නිසා තමයි අපි ආරක්ෂා වෙන්නේ .

අනික තමයි පාරම්පරික ඇදුරන්ගෙන් , මන්ත්‍ර දත් අයගෙන් මන්ත්‍ර ඉල්ලන්න එපා දෙන්න අකමැතියි කියලා දන්නවානම් . මොකද එයාලා ඒවා පරපුරකින් තව පරපුරකට දෙන්නේ ලෙයට ලෙය තියලා පොරොන්දු කරගෙන . එක අකුරක් එයාලා පිටට දෙන්නේ නැහැ පොරොන්දුව කඩලා . ඒ නිසා ඒ වගේ අයගෙන් මන්තර ඉල්ලලා ප්‍රශ්න ඇතිකරගන්න එපා මේ වගේ .

මැරෙන්න යන ඇදුරන් එක්ක ගනුදෙනු කරනවානම් පරෙස්සමට කරන්න . මොකද එයාලා වැඩියෙන්ම යන්නේ එයාලා වන්දනා කරපු දෙවියන් හෝ යකුන්ගේ සමාගමයට . එතකොට හොඳ තැනකට නොගිය කෙනෙක් නම් කරදර වෙන්න පුළුවන් .

මේ මම කියන ඇදුරා කාලිඅම්මා ලඟට තමයි ගිහින් තියෙන්නේ . ඉතින් එහෙම තමයි එයාගේ වැඩත් .

අනුන් කරන දේවල් බලාගෙන ඉඳලා කරන්න යන්න එපා . මේ කතාවේදී මේ ළමයාට පහන තියන හැටි , කියන දේවල් , පිං දෙන හැටි මම කියලා දුන්නේ නැහැ . මොකද එයා මගෙන් ඇහුවෙවත් පහනක් තියනවා කියලා කිව්වෙවත් නැති නිසා . අනික ඒවගේ දේවල් අඩබෙර ගගහා කරන දේවලුත් නෙවෙයි නිසා .

දැක්ක පලියට කරපු නිසා තමයි ඒ ළමයා අද අනවශ්‍ය ප්‍රශ්නයකට පැටලුනේ . මොකද පහනෙන් තමයි ඒ අමනුස්සයාට පාර කැපුනේ . විෂ්ණු දෙවියන්ට තිබ්බ පහනට බැල්ම දැම්මේ අර මැරුණු ඇදුරාගේ ආත්මය . දෙවියන්ට පහන තියන්නේ නැති තරමට හොඳයි . පහන් තියනවානම් ඒවා කරන්න ඕන විදි තියෙනවා . ඒ විදියට කරන්න ඕන . කොටින්ම කියනවානම් පහන තියන උස පවා වැදගත් වෙනවා . නැත්නම් පහනට බහිරවයෝ අරක් ගන්නවා .

අනික තමයි මෙන්න මේ දේ මතක තියාගන්න ඕන . මන්තර කියන්නේ ආයුධයක් . හොඳ මුවහත් කඩුවක් . ඒක යුද්ධයට පාවිච්චි කරන්නත් පුළුවන් ආරක්ෂාවට ළඟ තියාගන්නත් පුළුවන් ඕන නම් තමන්ගේම බෙල්ල කපාගන්නත් පුළුවන් අනුන්ගේ බෙල්ල කපන්නත් පුළුවන් පිහියක් නැත්නම් පාන් කපන්නත් පුළුවන් . ඒ නිසා මේ ආයුධය පාවිච්චි කරන්න දන්නා අය සහ ආයුධය ළඟ තියාගෙන ඉන්නා උදවිය ඒක ලේසියෙන් දෙන්නේ නැහැ . ඒ නිසා ආයුධ ඉල්ලලා තරහා වෙන්න එපා . ඒ ආයුධය නොදීමෙන් ඉල්ලන කෙනාටත් වෙන්නේ හොඳක් වක්‍රාකාරව . ඒක තේරුම් ගන්න .

ඔය සිද්ධි මාලාව තමයි සාත්තර ආතා කතා මාලාවට නිධාන වුනේ . වෙනදා නම් සීයා මුණුබුරා කතා මාලාවට අදාල කරගත්තේ ඒ අයටම වෙන් වෙච්ච කතා . ඒත් හදිස්සියේම මට මේ කතාව මෙහෙම ලිව්වානම් හොඳයි කියලා හිතුන නිසා වෙද ගෙදරත් ගුරුන්නාන්සේ වලව්වත් සම්බන්ධ කරලා ඒ කතාව ලිව්වා . වැඩියෙන්ම මේක ලිව්වේ දැනුවත් කරන්න ඕන නිසා .

රුපියල් 60 ට 70 ට තියෙන මන්තර පොත් අරන් ඇවිත් මතුරලා වැඩ කරනවානම් පරෙස්සම් වෙන්න . මොකද ඒවායේ බලපෑම නරක එකක් වුණොත් ලේසියෙන් ගොඩ එන්න බැහැ .

කොටස් හයක් පුරාවට දිව ආ සාත්තර ආතා කතා මාලාව මෙතෙකින් සමාප්ත කරමි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !