Friday, April 21, 2017

සාත්තර ආතා ( 2 )






මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .



පසුගිය කොටසින්

" දිගටම මාස තුනක් මේ බෙහෙත් සහ කෑම වර්ගම ඇඟ ඇතුලට වැටෙනවානම් සනීප කරන්න පුළුවන් කියලා තමයි සීයේ කියන්නේ "

" ඒක තමයි . ඔන්න ගොයියෝ . උඹට මාස තුනක් වෙද ගෙදර තපින්න තමයි වෙන්නේ "

වෙද සීයා රෝගී පුද්ගලයාට බැරෑරුම් ස්වරයෙන් කීවේය .

මම දෙවියන්ට පිං දී අංජනමෙන් ඉවත්වන්න යැයි හනුමාට ආරාධනා කලෙමි . එහෙත් හනුමා ඉවත්ව යන්නේ නැත . හනුමා ඉවත්ව යන්නට මත්තෙන් පහන නිවීම පාරම්පරික ඇදුරන් විසින් කරන්නේ නැත . හනුමා ඉවත්ව නොයන්නේ වැදගත් කාරණාවක් නිසා විය යුතුය . මම හනුමාගෙන් ඒ පිළිබඳව විව්මසීමි .

හනුමා එම අවස්ථාවේ කියන ලද කාරණාවෙන් මම වික්ෂිප්ත වීමි .

" මොනවා සාත්තර ආතා පන අදිනවා ? "

මම මාහටම කියා ගත්තෙමි .

අද එතැන් සිට

" මොකද චූටි අයියේ පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නේ ? . මොකක්ද සාත්තර ආතා පන අදිනවා කියන්නේ "

" සාත්තර ආතා කියන්නේ දරුවෝ අර මාතර දිහාවේ ඉන්න සාත්තර ආතා කියන මනුස්සයද ? "

" ආ වෙද සීයා දන්නවද එයාව ? "

" නෙවෙන්නන් . උන්දා ඉතින් අපේ පරම්පරාවේ කෙනා නෙව . ඔය අරනෝලිස් අයියා එහෙමත් උන්දැව දන්නවා මයේ හිතේ සහසුද්දෙන්ම "

" සීයේ අංජනම වහලා අපි කතා කරමු . තවම හනුමා ගිහින් නැහැ "





මම හනුමාට අංජනමෙන් ඉවත් වීමට ආරාධනා කළෙමි . හනුමා එකවරම නොපෙනී ගොස් පහන් දැල්ලේ ආලෝකය පමණක් දෑස් මානයේ ඉතිරි විය . සීයා දුන් අවවාදය මට සිහිපත් විය .

................ ක්‍රඩාතුඩාප්පොරුකී හන්තී සංක්‍රේස් භාහු කීලාඩි දේස් දේස් ආදේස් කීමා වෛර්ලාඩි දේහෝ ආක්‍රෙන්තු බාහේස් ශ්‍රී විෂ්ණු නාරායනේ දේස් දේස්......................

කියා විෂ්ණු සැරය මතුරා රඟමඩලට වැටී තිබෙන සියළු දිෂ්ටි නවතා දමා දුම් අල්ලා අංජනම් බැලීම කාර්යය අවසාන කලෙමි .

" මම අංජනම් එළිය වහන්න හනුමාට යන්න ආරාධනා කරාම හනුමා යන්නේ නැතිව හිටියා . ඊට පස්සේ තමයි මම ඇහුවේ ඇයි ඉවත් වෙන්නේ නැත්තේ කියලා . එතකොට මට සාත්තර ආතා කියන කෙනාව පෙන්නුවා . දැන් ඇඳක හාන්සි වෙලා පන අදිනවා . එයා අපේ සීයාව එක්ක එන්න කියලා කියනවා කියලා හනුමා කිව්වා . දැන් මාතරින් කරත්තයක් පිටත් කරලාලු තියෙන්නේ . සීයාව එක්ක යන්න මධ්‍යම රාත්‍රිය උදාවෙලා පැයක් ගතවෙන්න මත්තෙන් වලව්වට එනවා කියලා යන්න ලෑස්ති වෙලා ඉන්න කියන්න කිව්වා . මම දැන්මම වලව්වට යන්න ඕන "

" ඔව් දරුවෝ . ඔය දරුවා ඉක්මණට ඒ ගමන ලකලෑස්ති කරගන්න . ගොඩක් පිං මේ මනුස්සයට බෙහෙත් හේත් හොයලා දුන්නට . මම ඒ දේවල් හෙටම දෙන්න පටන් ගන්නවා . මාස තුන යනකොට නිට්ටාවටම සනීප කරගන්න පුළුවන් කියලා කිව්ව නිසා මටත් විස්වාසේ තියාගන්න පුළුවන් ලෙඩා සනීප වෙනවා කියලා "

මම වලව්වෙන් පිටත් වෙන්න මත්තෙන් රෝගී පුද්ගලයා මගේ දෙපා අල්ලා වඳින්නට සූදානම් විය .

" නැහැ නැහැ උවමනා කරන්නේ නැහැ මට වඳින්න . ඔය ඇත්තා මම වගේ දෙගුණයකටත් වඩා වයසයි මයේ හිතේ . මට පවු පිරේවි ඔය ඇත්තගෙන් වැඳුම් අරගෙන . අර ඈත පේන පාරෙන් ගියාම අපේ වලව්ව තියෙන්නේ . සනීප වෙලා යන දවසට ඒ පැත්තේ එන්න . මමත් නිතරම එන නිසා අපිට කතා බහ කරන්න පුළුවන් "

" හොඳමයි ගුරුන්නාන්සේ "

" නංගි මම ගිහින් එන්නම් , සීයේ මම ගිහින් එන්නම් "





මම වෙද සීයාට වැන්දෙමි . වැඳ වෙද ගෙදරින් සමුගත්තෙමි . මගේ පසුපසින් සඳමලී නංගි මද දුරක් ඇවිදගෙන ආවාය . ඇය යමක් කියන්නට සැරසෙන බවක් ඇයගේ මුහුණ අවසන් වතාවට දකින මොහොතේ ඇය පෙන්වූවාය . එය මතක් වූ හෙයින් මම ගමනේ වේගය බාල කලෙමි .

" චූටි අයියේ "

" ම්ම්ම්.... "

" ගොඩක් දුර යනවද අද ? "

" මාතර නේ යන්නේ "

" දවස් ගානක් ඉන්නවද එහෙ ? "

" කියන්න බැහැ ඉතින් . සමහරවිට ඉන්න වෙයි . සාත්තර ආතා මැරුණොත් මරණේ වැඩ කටයුතු කරනකල් ඉන්න වෙයි "

" වැඩ ටිකත් ඉවර කරලා ඉක්මණට මාව බලන්න එන්න "

ඇය දැන් වෙනදාට වඩා මා හට සමීපය . මම අයගේ හිස අතගා වෙද ගෙදර දෙස බලනවිට වෙද සීයා අප දෙස බලා හිඳ නොදැක්කා සේ වෙද ගෙදර ඇතුළට නික්ම ගියේය .

" මම ඉක්මණට එන්නම්කෝ . පරෙස්සමෙන් ඉන්න වෙද හාමිනේ "

මම ඉක්මන් ගමණින් වලව්වට ගියෙමි . හනුමා කී ආකාරයට අද රාත්‍රී යක්කු ගස් නගිනා වේලාවට සීයා කැඳවාගෙන යාමට වලව්වට කරත්තය පැමිණේ . එයාට අනිවාර්යෙන්ම මටද යාමට සිදුවේ . සඳමලී නංගි පවා එය දන්නා බැවින්ය නැවත ඒමට දිගු කාලයක් ගතවෙනවා දැයි අසන ලද්දේ .

මම වලව්වට යනවිට සීයා මහසෝනාට පහන පත්තුකර වලව්වේ ඉස්තෝප්පුවට පය තිබ්බා පමණි .

" ආ පුතේ . ගිය වැඩේ සාර්ථකද ? "

" ලෙඩාට බෙහෙත් නම් අහගත්තා . තව දේවලුත් දැනගන්න ලැබුණා "

" ඒ මොනවද ? "

සීයා දෑස් හකුළුවා මා දෙස බලා ප්‍රශ්න කළේය .

" මම බෙහෙත් අහලා එළිය වහන්න හනුමාට එළියෙන් ඉවත් වෙන්න කියලා ආරාධනා කලාම යන්නේ නැතුව හිටියා . පස්සේ ඇයි කියලා දැනගන්න අහනකොට මට වයසක කෙනෙක් පෙන්නලා කිව්වා එයා සාත්තර ආතා කියන කෙනා කියලා "

" ඈ ......... සාත්තර ආතා . අර මාතර ඉන්න වරං කාරයාද ? "

" මම දන්නේ නැහැ සීයේ . මට හනුමා කිව්වා එයා පන අදිනවාලු . සීයාව එක්ක එන්න කියලා කියනවාලු . ඒ නිසා මාතරින් කරත්තයක් එනවා කියලා කිව්වා අද සීයාව එක්ක යන්න "

" හ්ම්ම් . ඔය මිනිහා ඉන්නකල් කරේ හූනියං . එකපාරක් හූනියම කපනකොට වදිනවා කියලා දැනගෙන මම උන්දැව බේරලා හූනියමකුත් කපලා තියෙනවා . ඒත් පස්සෙත් කරේ හූනියම් ම තමයි "

" වරං කතාවක් කිව්වේ ? "






" ඔය මනුස්සයට කාලිගෙ වරමක් තියෙනවා . ඒ වරමත් උදවු කරගන්නේ අනුන්ට වින කටින්න තමයි . දැන් මැරෙන මොහොතේ යමපල්ලෝ පේනවා ඇති . කමක් නැහැ ඒත් . කරන්න පුළුවන් දෙයක් කරන්න යමුකෝ බලන්න "

" අද රෑ මැදියම පහුවෙලා පැයක් යන්න කලියෙන් කරත්තේ එයි කිව්වා වලව්වට . යන්න ලෑස්ති වෙලා ඉන්න කිව්වා "

" හ්ම්ම් . පුතත් යන් . ගිහින් මොනවා හරි කරන්න වෙනවා කියලා එහෙම කිව්වේ නැද්ද ? "

" එහෙම නම් මොකවත් කිව්වේ නැහැ . හදිස්සියට මට අහගන්නත් අමතක වුණා "

" කමක් නැහැ . ගිහින් බලමු . අංජනමයි කිණිස්සයි කඩුවයි ගන්න . සමහරවිට ඕන වෙයි . කඩුව කරත්තේ බංකුවේ ලෑල්ල යට දාන්න ඕන වුණොත් විතරක් ගන්න . ආ එහෙන් කරත්තයක් එනවා කිව්වා නේද ? . කමක් නෑ අපි අපේ කරත්තෙන් යමු . ජේමිස්ට මම කියන්නම් කරත්තේ ලෑස්ති කරන්න කියලා . ජේමිස්වත් එක්ක ගියානම් හොඳයි "

" හොඳයි සීයේ "

මම කාමරයට පැමිණ පෙට්ටගම විවෘත කර අංජනම පෙට්ටගමට දමා අගුළු ලා යතුර බිත්තියේ එල්ලා ඇඳෙන් හාන්සි වීමි . හනුමාද පුදුමාකාර චරිතයකි . සියල්ල පිළිබඳව එම අමනුෂ්‍යයින් අවදානයෙන් සිටීම පුදුම සහගත කරුණකි . අංජනම කෙතරම් වටිනා කියන දෙයක්ද යන්න සිතමින්ම මම නින්දට වැටුනෙමි . නැවතත් අවදි වූයේ අම්මා විසින් රාත්‍රී ආහාර ගැනීමට එන්න යැයි කියමින් මාගේ නින්දට බාධා කරන විටදීය .

" කෝ , පුතා ගෙනියන දේවල් සූදානම් කරගෙනද තියෙන්නේ ? "

" මම ගන්නම් සීයේ . මහන්සියට නින්ද ගියා "

" එහෙනම් කෑම කාලා ගෙනියන දේවල් එකතු කරගන්න . ඇඳුමක් දෙකක් ගන්න කෝකටත් . මමත් ගන්නවා සරමක් කමිසයක් එහෙම කාරිය . සාත්තර උන්දා පන අදිනවානම් පාන්සකූලෙටත් ඉඳලාම තමයි එන්න වෙන්නේ මයේ හිතේ . අද හෙට කියලා විශ්වාස නැහැ නෙව . ඒ නිසා ඒවටත් ලෑස්ති පිටම යන එකයි නුවණට හුරු "

" හොඳයි සීයේ "

මමත් සීයාත් ආහාරගත් පසුව මාතර යෑමට සූදානම් වීමු . මම අංජනම නැවතත් ගෙන සුදු රෙද්දේ ඔතා මල්ලට දමාගත්තෙමි . කඩුව ගෙන එය ඔතා තිබෙන සුදු පැහැති රෙදි කඩ තරමක් ඉවත් කර පරීක්ෂා කර බැලුවෙමි . එය එදා මෙන් දිස්නය දෙමින් තිබේ . නැවතත් රෙද්ද ඔතා කඩුව ඇඳෙන් තැබුවෙමි . තවත් උවමනා කරන්නේ කිණිස්සයි . එය මම වෙද ගෙදර ගොස් පැමිණ පෙට්ටගමට දැමුවේ නැත . කිණිස්සද ගෙන ඇඳෙන්ම තැබුවෙමි . අඳින්නට අවශ්‍ය ඇඳුම් දෙකක් තෝරාගෙන එය වෙනමම රෙදි මල්ලේ දමාගත්තෙමි . ගෙනයන්නට තිබෙන්නේ එපමණකි .





මම නැවතත් වටපිට බැලුවෙමි . සියල්ල ගත බව සහතිකය . මම ඒ සියල්ලද රැගෙන ඉස්තෝප්පුවට ගොස් ඒවා ඉස්තෝප්පුවේ කනප්පුව උඩ තබා ඒ අසලින් හිඳ ගත්තෙමි . වෙද ගෙදර ගොස් පැමිණීමෙන් අනතුරුව සැලකියයුතු වෙලාවක් නිදාගත් හෙයින් මට නිදිමතක් තිබුණේ නැත .

සීයාද ඔහුගේ ගෙනයන කළමණා සියල්ල මල්ලක දමා ගෙනවිත් කනප්පුව මත තැබුවේය .

" දැන් ඉතින් තව පැය දෙකක් විතර වගේ නෙව තියෙන්නේ . පුතා ටිකක් ඇලවෙන්න කාමරේට ගිහින් . මම කතා කරන්නම් "

" ඕන නැහැ සීයේ . මම නිදාගත්ත නිසා නිදිමත නැහැ මට "

අනතුරුව සීයාත් මමත් යන්තර මන්තර පිළිබඳ යම් යම් දේවල් කතා කරමින් කවි කියමින් මන්තර මතක් කරමින් පැය දෙකක දෙකහමාරක පමණ කාලයක් වලව්වේ ඉස්තෝප්පුවට වී කාලය ගත කළෙමු . ආච්චිඅම්මාත් අම්මාත් තාත්තාත් අප අසලට පැමිණ ටික වෙලාවක් කතා කරමින් හිඳ නිදාගැනීමට ගියහ . වලව්වේ දොරවල් වසා දැමීමට සීයා ආච්චි අම්මාට කීවේය . දැල්වෙන පහනේ එළියෙන් සීයාත් මමත් ඉස්තෝප්පුවට වී කල් ගතකළෙමු . ටික වෙලාවකින් කරත්තයේ ගොනා බැඳගෙනම ජේමිස් වලව්වේ මිදුලට පැමිණියේය .

" ඔය සතාට කන්න බොන්න දීලද ජේමිස් ? "

" එහෙමයි ගුරුන්නාන්සේ "

" එහෙනම් තව ටික වෙලාවක් තියෙනවා . ජේමිස් මෙහෙන් ඉඳගෙන ඉන්න . එලියට වෙලා නිස්කාරණේ හිටගෙන ඉන්න උවමනා නැහැ "

" හොඳමයි ගුරුනාන්සේ "

ටික වෙලාවක් යන විට අපව කැඳවාගෙන යන්නට එන කරත්තය වලව්වේ කඩුල්ල අසලට පැමිණ නතර විය .

" ආ ඔය එන්නේ "

කඩුල්ලේ ලී ගලවා දමා කරත්තය වලව්වේ මිදුලටම පැමිණියේය .

" ගුරුනාන්සේ , මේ මම . අඳුරන්න පුලුවනිද ? "

" මොකද බැරිවෙන්නේ . මේ අර මාතර බෝධීන් වහන්සේ ළඟ කරත්තය තියාගෙන ඉන්න දරුවා නෙව . මට මතකයි දවසක් මාත් එක්ක ආව වලව්වට නේද ? "

" එහෙමයි එහෙමයි . මම මේ තකහනියක් ආවේ ගුරුන්නාන්සේ මාතර එක්ක යන්න . ඒත් මේ දැන් ගුරුන්නාන්සේ කොහේ හරි යන්නවත්ද එලියට බැහැලා ඉන්නේ ? "

" ඔය දරුවා එන වග අපි දැනගත්තා . අපිත් මේ ඉන්නේ එහෙ යන්න සූදන්නම් වෙලා තමයි "





" සාත්තර ගුරුන්නාන්සෙ පන අදිනවා . දැන් දවස් දෙකක් විතර කන්නේ බොන්නේ නැහැ . පවුලේ කවුරුවත් ඉන්නවා කියලය . පස්සේ ගත්ත ගෑණිත් යන්න ගිහින් වෙන එකෙක් එක්ක . දැන් පන අදින වෙලාවේ ගමේ ඉන්න ඔය කීප දෙනෙන්ක් තමයි උපස්ථාන කරන්නේ . ඒ ඇරෙන්න ගමේ බලු බල්ලෙක් ඒ ගෙදරට අඩිය තිබ්බේ නැහැ . මටත් මේ ඒ උදවු කරන පවුලේ කෙනෙක් තමයි කිව්වේ සාත්තර ගුරුන්නාන්සෙ කිව්වා කියලා අරනෝලිස් ගුරුන්නාන්සේව එක්ක එන්න කිව්වා කියලා . මම එවෙලේම මාතරින් පිටත් වුණා . නැවතුනේ ආන්න අර කඩුල්ල ළඟ තමයි ඔන්න "

" හොඳයි එහෙනම් ඔය දරුවා කරත්තෙන් ඉස්සර වෙන්න . මම වලව්වේ කරත්තෙන් එන්නම් "

" කවුද ගුරුන්නාන්සේ එක්ක යන්න මම එනවා කියලා කලින් කිව්වේ ? "

" අද හදිස්සියකට අංජනම් එළිය ඇරපු වෙලාවේ හනුමා තමයි කියලා තියෙන්නේ මාව එක්ක යන්න කරත්තයක් මේ වෙලාවට එනවා කියලා . වැඩිය සුනංගු වෙන්න හොඳ නෑ . අපි යමු එහෙනම් "

" හොඳමයි ගුරුන්නාන්සේ "

ගතයුතු සියල්ල රැගෙන මමත් සීයාත් වලව්වේ කරත්තයට ගොඩ වූ අතර අප කැඳවාගෙන යාමට ආ කරත්තය ඉදිරි කරගෙන අපේ කරත්තය ගමන ආරම්භ කළේය .

සාත්තර ආතා අප යන තුරු ජීවත් වෙයිද ?

ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

5 comments :

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.