Wednesday, December 14, 2016

පුලතිසි (2)







මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතය

19වන සියවසේ මුල් භාගයේ වැල්ලබඩ පත්තුවේ එක්තරා ග්‍රාමයක සිදුවූ සත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි


පසුගිය කොටසින්

" උදේ පාන්දරම කපුටෝ රංචුවක් ගේ ඉස්සරහා මොරදෙනකොටම මම හිතුවා අද "

එවෙලේම වලව්වේ කරත්තය සූදානම් කරවාගත් සීයාත් මමත් සියාතු සීයාගේ නිවස බලා යෑමට පිටත් වීමු . සීයාත් මමත් වලව්වේ කරත්තය දක්කාගෙන ගිය අතර සියාතු සීයා ඔහුගේ කරත්තය දක්කාගෙන අපගේ කරත්තය පසුපසින් පැමිණියේය . බෙරගල මාමත් තවත් බෙරකරුවෙකුත් අපගේ ගමනට එකතු කරගත්තේ අතරමගදීය .

අවශ්‍යතාවය හදිස්සි එකක් වූ බැවින් සීයාත් , සියාතු සීයාත් කෑමට බීමට නොනවතා කරත්ත දක්කාගෙන ගියෙමු . සියාතු සීයාගේ නිවසට ඒමට දවසක්ම ගතවිය . ආ මොහොතේ සිටම අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලද්දේ සියාතු සීයා විසිනි . ඔහු මේ වනවිට ගුරුකම නවතා තිබුණද තවමත් ගමේ ගුරුන්නාන්සේ ඔහුය . ඔහුගේ තැන ගැනීමට අහල ගම් හතකවත් කෙනෙක් නැතිබව සීයා දිනක් මාත් සමග කීවේය . එවැනි කෙනෙකකු තම කාර්යය නතර කිරීම මහත් පාඩුවකි . එහෙත් ඔහුට ඇති වරම එදා සොහොන් කාලි යක්ෂනියගේ අවතාරය විසින් ඉවත් කර දැමීමෙන් අනතුරුව ඔහු මන්තර ශාස්ත්‍රයට නැවතීමේ තිත තැබීය .

මුල සිටම මා විස්තර කරගෙන ආවේ සියාතු සීයාගේ මිණිබිරියගේ යක් දොස හැරීම සඳහා කරන ලද ශාන්ති කර්මයේ මගේ සිතේ තදිනම් කාවැදුණු අවස්ථා කීපයකි . මෙම සිදුවීම සිදුවී නැවතත් අප වලව්වට පැමිණ දින දෙකක් ගතවන්නට මත්තෙන් අපගේ මිත්‍ර රණබා අප සොයා පැමිණියේය .


අද එතැන්සිට

කතාව කියවන්න කලින් මේක ප්ලේ කරන්න



විශේෂ අවස්ථාවක ගුරුකමක් කිරීමට හෝ වෙනත් ගුරුකම් සම්බන්ධ රාජකාරියකට පිටත්ව ගියේ නැතහොත් රාත්‍රී දහය පමණ වනතුරු සීයාත් මමත් අවදිව සිටීම සාමාන්‍ය දෙයකි . එය සම්ප්‍රදායක් වශයෙන් වලව්වේ පැවත එනවා යැයි කීම එක් අතකට නිවැරදිය . වැඩි පමණක් අමනුෂ්‍ය දෝෂ ඇතිවන්නේ රාත්‍රී කාලයේය . එනිසා රාත්‍රී දහය පමණ වනතුරුවත් අවදිව සිටීම සීයා කවදත් කරන කටයුත්තක් වන අතර මමද කාලයක සිට සීයා අනුකරණය කරමින් සීයා නින්දට යන තුරුම අවදිව සිටිමි . කරන්නට විශේෂ රාජකාරියක් නැතත් අඩුම තරමේ මන්ත්‍ර කටපාඩම් කරමින් හෝ මෙම වේලාව දක්වා කල් මැරීම මගේ දිනචරියාවේ කොටසකි .

වලව්වේ බට්ටා ඔරලෝසුව රාත්‍රී දහය බව හඟවමින් නාද වූයෙන් මම කාමරයට පිවිසියෙමි . නිදාගැනීමට පෙර මන්තර පොත් තැම්පත් කර තිබෙන පෙට්ටගමේ යතුර කරකවා එය අගුලු ලා ඇතිබව තහවුරු කරගත් මම සියාතු සීයාගේ මන්තර පොත් සහිත පෙට්ටගමද එසේ කරමින් අගුලු ලා ඇතිබව තහවුරු කරගත්තෙමි . එක් යතුරක් පමණක් භාරව සිටි මම දැන් යතුරු දෙකක වගකීම් දැරිය යුතු පුද්ගලයෙක්මි . එය සාමාන්‍ය දින චරියාවට මුල් කාලයේදී නුහුරු නුපුරුදු දෙයක් වුවද ටික කාලයක් ගතවීමත් සමගම එය ඉබේම වාගේ පුරුද්දක් බවට පත් විය .





මෙම පොත් ආරක්ෂා කරගැනීම අපහසු බව තේරුම් ගත නිසාදෝ සීයා මෙම පොත් පෙට්ටගම් දෙකටම අමනුෂ්‍ය බන්ධනයක් කළේය . එබැවින් දැන් පොත් පෙට්ටගම විවෘත කිරීමට හැකියාව තිබෙන්නේ සීයාටත් මටත් පමණි . වෙනක් කිසිවෙකුටවත් එයට අත තැබීමටවත් හැකියාවක් ඉතුරු වී නැත . ආච්චිඅම්මා වෙනදා පොත් පෙට්ටගම අතපත ගෑමට අවසර ලබා තිබුණද ඇයටද තිබුණු ඉඩ අවකාශ අහුරා දැම්මේ අනාගතය ගැන සිතා බව සීයා එම අමනුෂ්‍ය බන්ධනය කරන අවස්ථාවේ වලව්වේ සියල්ලන්ම දැනුවත් කළේය .

මම යතුරු දෙක රැගෙන නියමිත ස්ථානයේ තබා ඇඳට වන්නෙමි . සඳමලී සිහියට ආවේ කිසිඳු ආයාසයකින් තොරවය . දැන් අරවින්දත් සඳමලීත් පිලිබඳ ආරංචිය මුළු ගම පුරාම සිටින්නවුන් දනී . ඔවුන් හැමෝම පාහේ කොහොඹ ගහට කරවිල වැල ගියා සේ ඇයටත් මටත් ආශිර්වාද කරන බව දිනක් කඩ මන්ඩියට ගොස් පැමිණි වලව්වේ කරත්තය දක්කන ජේමිස් මා සමග කීවේය . නිතැතින්ම එය සැබෑවකි . වෙනදා වේද ගෙදරත් ගුරුන්නාන්සේ වලව්වත් වෙන වෙනම කරන ලද සේවාව තවත් නොබෝ දිනකින් එකම තැනකින් සිදුවන බව ගම්මුන් තේරුම් ගෙන ඇත . සඳමලී පිලිබඳ රූප පෙළ බොඳවී යත්ම මම නින්දට වන්නෙමි .







අඩුම තරමේ පැය දෙකක් තුනක් වත් ගතවන්නට වූයේ නැත . මහා සුළි සුළඟක් හමමින් ගස් අතු ඇඹරෙන හඬක් ඇසී මට ඇහැරිණි . හෝ............... හෝ...................... හඬ නංවමින් සුළං පහර ඒ අත සිට මේ අතටත් මේ අත සිට ඒ අතටත් ගමන් ගනිමින් වලව්වේ ගස් වැල් අඹරන බව මට දැනිණි . එය බැලීමට මම පොරවා සිටි රෙද්ද කරෙන් දමාගෙනම නිදි ගැට කඩමින් ඇඳෙන් බැස්සෙමි . ජනේල පළුවක් විවෘත කර බැලූ මට දිස් වූයේ කලකට පෙර බෙහෙත් ඔරුවේ සැතපී සිට නින්දෙන් අවදි කරන ලද සුරනිමලගේ අතවැසි රණබා ය .

" මලයන්ඩි මේ මම . විගහට ගුරුන්නාන්සේ අවදි කරවන්න . චිත්තරාජ උත්තමයාගේ පණිවිඩයකට හදිස්සියේම ආවේ "

නින්දෙන් අවදිව සිට නිදිගැට කඩමින් සිටි මම එම වදන් පෙළ කණවැකීමත්ම සමගම ප්‍රාණවත් බවක් ලබා පොරවා සිටි රෙද්ද පසෙක ලා වහාම සීයාගේ කාමරයට දිව්වෙමි .

" සීයේ සීයේ "

කියමින් මම සීයාගේ කාමරයේ දොරට දෙතුන් වතාවක් තඩිබෑවෙමි . කවදත් සීයා සිටින්නේ අඩ නින්දේය . එනිසා වැඩි ආයාසයක් නොයොදාම සීයා කාමරයෙන් පිටතට කැඳවා ගැනීමට මට හැකි විය .

" සීයේ රණබා ඇවිත් "

" ඒ අහවල් රාජකාරියකටද මේ මහ රෑ ? "

" මට කිව්වේ නැහැ . සීයාට කතා කරන්න ඕන කියලා තමයි කිව්වේ "

" මේ මහ හුළඟක් බහින වෙලාවේ මේ උන්දා මොනවා කරනවද වලව්වට ඇවිත් "






කියමින් සීයා වලව්වේ ප්‍රධාන දොරේ අගුල ඇර එක් දොරපළුවක් විවෘත කර වලව්වේ ඉස්තෝප්පුවට පිවිසියේය . මමද සීයා සමග ඉස්තෝප්පුවට පිවිසියෙමි . රණබා සීයාට වැඳ බිම හිඳගත්තේය .

" ඇයි දරුවෝ බිම . මේ පුටුවකින් වාඩිවුණානම් "

" ඒකට කාරී නැහැ ගුරුන්නාන්සේ . මම ආවේ මගේ අනිත් පිරිසත් එක්ක . ඒ අය තමයි මේ හුළඟ පෙන්නුවේ . වලව්වේ කවුරුහරි අවදිවෙලා එලියට එනකල් මම බලාගෙන හිටියා . හුළං සද්දෙට මම දැනගෙන හිටියා කවුරු නැතත් මලයන්ඩි එළියට බහියි කියලා "

" ඔය දරුවා රාත්තිරියට මොනවත් කාලා එහෙමද ඉන්නේ . මමනම් හිතන්නේ නැහැ දැන් වලව්වෙත් මොකවත් ඉතුරුවෙලා ඇති කියලා . හාමිනේ සේරම අස් පස් කරලා නෙව නිදාගන්නේ . ඒ නිසා හාමිනේ අවදි කරවලා මොකවත් පිළියෙළ කරලා දෙනකල් ඉන්න වෙයි "

" මට කන්නේ නැතිව දවස් ගානක් උනත් ඉන්න පුළුවන් ගුරුන්නාන්සේ . මම ආවේ ලොකු රාජකාරියාක්ට "

" මොකද්ද රාජකාරිය................. ??? "

සීයා හාන්සි පුටුවේ හිඳ ගනිමින් බැරෑරුම් ලෙස ප්‍රශ්න කළේය . අපගේ කතාවේ සද්දයට වලව්වම අවදි වී ඇත . අම්මාත් තාත්තාත් ආච්චිඅම්මාත් විටින් විට ඉස්තෝප්පුවට ආහ . එහෙත් සීයාගේ විධානයෙන් ඔවුන් එහි රැදී සිටියේ නැත .

" ගුරුන්නාන්සේ . ලොකු හදියක් ඇතිවේගෙන එනවා . අපිට සිහගිරට යන්න වෙනවා "

" සිහගිරට කියන්නේ මේ සීගිරියට ? "





" ඔවු ගුරුන්නාන්සේ . සිහගිරට තමයි . අපි ඉතින් අත්තා මුත්තා කාලේ ඉඳලා කියන්නේ සිහ ගිර කියලා නෙව "

" මොකටද ඉතින් මාව ඔතනට එක්කගෙන යන්නේ ? . ඔය දරුවා කිව්වා නේද දැන් කඩුව තැම්පත් කරලා තියෙන්නේ සීගිරියේ කියලා ? "

" එහෙමයි . ඒ වෙනකොට කඩුව තැම්පත් කරලා තිබුණේ සීගිරිය ගල යට තියෙන යක්ෂ විමානයේ . ඒත් දැන් එතනටත් මනුස්ස පරාණ යන්න එන්න අරගෙන . ඒ නිසා ආයෙත් කඩුව තියෙන තැන වෙනස් කරා . ඒත් දැන් වෙන හදියක් වෙන්නයි යන්නේ . ඒ නිසා චිත්තරාජ උත්තමයා කිව්වා ගුරුන්නාන්සේ කැඳවාගෙන එන්නය කියලා . ඒකයි මම මේ තකහනියෙම ආවේ . චිත්තරාජ උත්තමයා කඩුල්ල පාමුල නතරවෙලා ඉන්නවා . යක්ෂ සමාගමට මේ භූමියේ කඩයිම් ලකුණු කරලා තියෙන නිසා චිත්තරාජ උත්තමයාට කඩයිමෙන් මෙහාට එන්න පුළුවන් කමක් නැහැයි කිව්ව නිසා තමයි මම තනියමම ආවේ "

" මොකක්ද දැන් වෙලා තියෙන්නේ "

" ගුරුන්නාන්සේටයි මලයන්ඩිටයි ටික කාලෙකට එන්න පුළුවනිද අපත් එක්ක සිහගිර යක්ෂ විමානයේ නතර වෙන්න . මේක සිහගිර යක් විමානය ආරක්ෂා කරන්න ඔබතුමන්ලා කරන ලොකු උපකාරයක් . අපේ යක්ෂ විමානයට පරදේසක්කාරයින් එන්න තියාගෙන දැන් . දන්නා හැටියට සිහගිර උන්ගෙන් අපවිත්‍ර වෙන්නයි හදන්නේ "

" දරුවෝ මට දැන් මේ මහා රාත්ත්රි වලව්වෙන් පිටත් වෙලා එන්න බැහැ . අපි හෙට උදෑහනම පිටත් වුණොත් මදිද ? "

" ගුරුන්නාන්සේ , ඇතිවෙලා තියෙන දේවල් එක්කාසු කරලා බැලුවම අදම මේ දැන්මම යන්නට පුළුවනිනම් තමයි වටින්නේ . චිත්තරාජ උත්තමයා කිව්ව ගුරුන්නාන්සේ කැඳවාගෙනම එන්න කියලා "

" ඒකත් එහෙමද ? . ඉන්න එහෙනම් මම ගිහින් හාමිනේ එක්කත් කතා කරලා ගෙනියන්න ඕන දේවල් පිළියෙළ කරගන්න "

" ගුරුන්නාන්සේ , ගෙනියන්නය කියලා මහලොකු දේවල් ඕන නැහැ . කෑම බීම සප්පායම් ගැන අපේ උදවිය බලාගනීවි "

" ඒත් දරුවෝ අංජනම එහෙමත් අරගෙන යන්න එපාය . ඉන්න තව කතා කරගන්න දේවල් තියෙනවා මට . ඒවා කතා කරගෙන මම එන්නම් ; චූටි පුතේ "

" ආ සීයේ "

" ජේමිස්ව නැගිට්ටවලා කරත්තේ හරකා බඳින්න කියන්න . දුර ගමනක් යන්න තියෙන්නේ "

" සීයේ ජේමිස්වත් එක්ක යනවද ? "

" නැහැ ඕන වෙන්නේ නැහැ "





සීයා ආච්චිඅම්මාත් සමග කතා කරන අතරවාරයේ රණබා සමග මම වලව්වේ පිටි පැත්තෙන් ගොස් ජේමිස්ව අවදි කරවා කරත්තය සූදානම් කරන්නට යැයි දැනුම් දුන්නෙමි . මධ්‍යම රාත්‍රියත් පසුවී ඇතිබව බට්ටා ඔරලෝසුව කියා සිටි අතර හෝරාවක් පමණ ගතවනවිට සීයාත් මමත් රණබා සමග පිටත් වීමට සූදානම්ව වලව්වේ ඉස්තෝප්පුවට පැමිණියෙමි . මම අංජනමත් කිණිස්සත් මල්ලක දමා අතට ගත්තෙමි .

" හරි එහෙනම් යමු "

" අපි ගොහින් එන්නම් හාමිනේ . ගුරුන්නන්සෙයි මලයන්ඩියි පරෙස්සමට ආයෙත් වලව්වට එක්කගෙන එන්නම් මම "

රණබා එසේ පැවසුවේ අප යන දෙස බලා සිටින ආච්චිඅම්මාත් අම්මාත් තාත්තාත් දෙස හැරී බලාය . මේ මහා රෑ වලව්වෙන් හදිස්සියේම මෙවැනි අද්භූත පුදගලයෙකු සමග සීයාත් මමත් පිටවීම පිළිබඳව ඔවුන් සිටියේ දෙගිඩියාවෙනි . එය ඔවුන්ගේ මුහුණෙන් පිළිබිඹු විය .

" නැහැ බයවෙන්න උවමනා නැහැ . මේ දරුවා අපි කවුරුත් දන්නවනේ . ඒ නිසා බයවෙන්න උවමනා නැහැ "

සීයා එසේ කියමින් කරත්තයට නැග්ගේය . මම ආච්චිඅම්මාගේත් අම්මාගේත් තාත්තාගේත් දෙපා වැඳ පිටත් වන මොහොතේ සඳමලී නංගි වෙත අම්මා අතේ පණිවුඩයක් තැබුවෙමි . ඇයගේත් මගෙත් සබැඳියාව රහසක් නොවූ දිනයේ සිට ගමෙන් පිටත් වන හැම වාරයකදීම යන්නේ කොහිද එන්නේ කවදාද කියා මම ඇය දැනුවත් කලෙමි . එහෙත් මේ සිදුවන දේවල් අනුව එය කඩ කිරීමට සිදුවන බැවින් සිදුවූ සියල්ල ඇයට පවසන ලෙස අම්මට මම පැවසුවෙමි . එහෙත් රණබා කවුද කියා දන්නේ වලව්වේ අය පමණි .

මමද කරත්තයට ගොඩවීමි . මෙවර කරත්තය දැක්කුවේ රණබා ය . කඩුල්ල පසුකරන මොහොතේ චිත්තරාජ යක්ෂ සේනාධිපතියා කඩුල්ල අසලින් පිටත් වූ බවට සංඥාවක් ලබා දුන්නේය . ඔහු එසේ මෙසේ යක්ෂ සේනාධිපතියෙකු නොවේ . නමුත් ඔහු පෙනී සිටින්නේ බොහොම ශාන්ත විලාසයකින්ය .

" ඈ දරුවෝ . මොකද්ද ඔය දැන් සීගිරියේ සිද්ද වෙනවය කියන්නේ ? "





" ගුරුන්නාන්සේ . එහෙනම් ගමන යනකල් මගේ කතාව අහගෙන ඉන්නකෝ . සිහගිරට අසිපත ගිහින් තැම්පත් කරාට පස්සේ ඔතනට මනුස්ස පුළුටක් ලං වෙන එක කරදරයක් වුණා . බැරිවෙලාවත් යක්කු බන්ධනය කරන්න පුළුවන් කෙනෙක් ඔතනට ආවානම් අපේ යක්ෂ සේනාවේම ඇස් වහන්න උනත් පුළුවන් ගුරුකම් තියෙනවා . එහෙම ඒවා කරන්න පුළුවන් අයත් ඉන්නවා . ගුරුන්නාන්සේට උනත් පුළුවන් ; දන්නවානේ තමන්ට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා .

ඒ නිසාම අසිපත සිහගිර පාමුල තැම්පත් කරාට පස්සේ සිහගිර පාළු තැනක් කරන්න අපේ උදවිය කරන්න පුළුවන් හැමදේම කරා . චිත්තරාජ උත්තමයාගේ අණ කිරීමක් මත අලි ඇත්තු රංචුවක් සැදී පැහැදී ඉන්නවා සිහගිර ආරස්සා කරන්න . හැමදාම ඉරගල වැටෙන වෙලාවට මේ අලි ඇත්තු රංචුව සිහගිර වටේ කරක්ගහන්න ගන්නවා . ඒ නිසා ඒ පැත්තේ කවුරුවත් ඔය වෙලාවට ඉන්නේ නැහැ . කැලයට වැදුනත් ඉරගල වැටෙන වෙලාවට කැලයෙන් පිටත් වෙනවා .

ඒත් අපේ බිමෙන් කාලා බීලා වැටිලා ඉන්න උන්ගේම තියෙන කෙලෙහිගුණක් නැතිකම නිසා අපේම දේවල් පරදේසක්කාරයින් අතට යන්න දැන් පාර කැපිලා තියෙන්නේ "

රණබා නිහඬ වී සුසුම් ලමින් කරත්තය දක්කන බැවින් සීයා නැවතත් ඔහු කතාවට ඇදගත්තේය .

" ඉතින් දරුවෝ මොකද වෙලා තියෙන්නේ ? "

" ඒ පැත්තේ ඉන්න ඇදුරෙක් පරදේසක්කාරයින්ට සිහගිරට යන්න තියෙන වැලකුම් සේරම නැති කරලා දීලා දැන් පරදෙසක්කාරයෝ ලකලෑස්ති වෙනවා සිහගිරට නගින්න . සිහගිර උද ඉඳලා තියෙනවා අථුල්ත1 පඩිපෙළක් . ඒකෙන් ඇතුලට ගියොත් සිහගිර ඇතුලේ තියෙන හැමදේම උන් කොල්ල කනවා . අපේ සනුහරේ දේවල් නැතිකරන්න ආව පර හැත්ත . ඇර ඇදුරා නොහිටන්න මම ඕකුන් පෙති ගහනවා . එත් උන්දෑගේ ගුරුකමට අපි හැමෝම යට වුණා "

" මැණික් හාමි "

" ඔව් මැණික් හාමි තමයි . ගුරුන්නාන්සේ දන්නවද උන්දැව ? "

" ඔව් මම දන්නවා . මැණික්හාමි බොහොම පරණ ගුරුකම් පරපුරක කෙනෙක් නෙව . යක්කුන්ගේ ඇස් බඳින හැටි දන්නවා ඇති ඒ පරපුරත් මම හිතන්නේ "

" ඒවායින් දැන් කාරී නැහැ . සිහගිර නැතිවෙන්න තියෙන්නේ තව ටික දවසයි . ඊට කලින් අපි මොනවා හරි කරන්න ඕන "

රණබා එසේ කියත්ම මහා රාත්‍රියේ අන්ධකාරය දුරුකරමින් චිත්තරාජ යක්ෂ සේනාධිපතියා අප ඉදිරියේ දෘශ්‍ය මාන විය . ඒ තනියම නොව . ඔහුගේ යක්ෂ පිරිවරද සමගය .





ඊළඟ කොටසින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

20 comments :

  1. බෙල් මහත්තය සීගිරියෙදි මුලින්ම හොයා ගත්ත කියන පඩිපෙල ගැන නේද මේකෙ කියල තියෙන්නෙ?

    ReplyDelete
  2. මගේ යාළුවෙකුත් ඉන්නවා මැණික් කියලා. හිටු අද ඕකව ඉතිරි කරන්නේ නෑ... 😂😂.. එල වයලීන‍ො කතාව නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ ඔයිට වඩා මැණික් හාමිලා ඉන්නවා . මැණික් ගල ගිලලා තමයි නවතින්නේ .
      බොහොම ස්තූති g-)

      Delete
  3. මේක සුපිරිමයි වයලිනෝ
    ඊලඟ කොටස ඉක්මනින්ම දාන්න

    ReplyDelete
  4. කතාව කෙටි වැඩියි වගේ, තව පොඩ්ඩක් තිබ්බනම් හොඳයි...

    ReplyDelete
    Replies
    1. ටයිප් කරලා ඇති වුණාම පබිලිස් කරා :p

      Delete
  5. අනේ ඊළඟ කොටස ඉක්මනටම දාන්න වයලිනෝ...

    ReplyDelete
    Replies
    1. හොඳයි .
      බොහොම ස්තූති g-)

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සුමන සමන් දෙවි පිහිටය්

    ReplyDelete
    Replies
    1. ඔබටත් සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

      Delete
  8. මං මේ හැම කතාවක්ම කියවනවා. කමෙන්ට් ලිව්වෙ නම් නෑ. මේවා මාර රහයි සහෝ. දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . අද තමයි අනිත් කොටස ලියන ඉන්නේ . දිගටම අපිත් එක්ක රැඳෙන්න .

      Delete
  9. සුපිරියි කතාව. මේ ටික එකතු කරලා පොතක් විදිහට එළියට දැම්මොත් මොකද?

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.