Saturday, September 24, 2016

උපුල්වන් දෙව් පිළිමය පිලිබඳ ඉඟියක්








රාම දෙව්රද දෙවුන්දර සිට අලුත්නුවරට වඩින ගමනේ
සෑම සිව්රඟ සෙනඟ සැදෙමින් මඟුල් දිව පෙරහැරින් සොඳිනේ
සෝම රිවිරුව පිහිටි කොඩියද පෙරටු කර ආ සෙයින් එදිනේ
ඒ මහත් මානයක්‌ සිව් කෝරළේ හට වනි එතැන් පටනේ

වේද ව්‍යාසර මෙකුන් පුත් තේනුවර පෙරුමා හස්තිනා
හාද වී විත් දෙවුන්දර දේවාලෙ අධිපති වීමෙනා
පෑද සිත තම කොඩිය ඉර හඳ පෙරටුකර ආවා විනා
ඒ ද මානය එයින් සිවු කෝරළේ හට ඇන්නෑ හිනා






මේ අවුරුද්දේ දෙවුන්දර පෙරහැර බලන්න ගිය වෙලාවේ ගත්ත වීඩියෝ සහ ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන් ගොඩක් තැන්වලට මම අප්ලෝඩ් කලේ ඒවා දකින්න ලැබෙන්නේ නැති , ඒත් දකින්න ආසාකරන අයට බලාගන්න පුළුවන් වෙන නිසා . මේ වීඩියෝ සහ ෆොටෝ දැක්ක ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවේ මේ වැඩම කරවන්නේ අතීතයේ මහ මුහුදෙන් පාවෙලා ආව උපුල්වන් දෙවියන්ගේ කිහිරි රූපයද කියලා . මේකට දෙන්න උත්තරයක් මම ගාව තිබුණා . ඒත් කාලෙක ඉඳලා මම ඒ උත්තරේ දෙන්න අකමැත්තෙන් හිටිය නිසා මම ඒ ගැන මුකුත් කිව්වේ නැහැ . හීන කියන්නේ මහ පුදුම සහගත දේවල් .අසනීප වෙන වෙලාවට මට එක එක ජාතියේ හීන පේනවා . අදත් මට හීනයක් දකින්න ලැබුණා යම් පෙරනිමිත්තක් සඳහන් වෙලා තියෙන . ඒ නිසා මම කල්පනා කළා මේ කතාව දැන් කියන්න කාලේ හොඳයි කියලා .


අපේ ආච්චිඅම්මාගේ ජීවන ගමන සීමා වුණේ 1914 - 2009 කියන කාලයට . ශ්‍රී ලංකාවේ වැදගත් ඉතිහාසගත සිදුවීම් ගොඩක් ආච්චිඅම්මා ඉන්න කාලේ වෙච්ච නිසා මට ඒ දේවල් කොහොමද වුණේ කියලා අහගන්න හැකියාව ලැබුණා ඇයගේ මතකයට තැම්පත් වෙලා තිබුණු දේවල් විතරක් . පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් ආවාම ඇඳට වෙලා ආච්චිඅම්මාගේ මේ කතා අහගෙන ඉන්න එක තමයි ඒ කාලේ මට ලැබුණු වටිනාම දේ වුණේ .






දෙවන ලෝක යුද්ධය කාලේ ආච්චිඅම්මලා කොහොමද ජීවත් වුණේ කියලා මට අහන්න ලැබුනෙත් මේ කාලෙම තමයි . අහසේ හෙලිකොප්ටර් යනකොට එයාලා බයේ හැංගුණු හැටි , කෝටු කෑල්ලක් හපාගෙන ගුලිවෙලා බයේ හිටපු හැටි එහෙම ආච්චිඅම්මා මතක් කලේ අමිහිරි වුණත් මිහිරි මතකයක් ගානට . ඒත් ඒ අතරේ අමිහිරි මතකයකුත් තිබුණා . මේ ඒ මතකය .


ආච්චිඅම්මාට බාල මල්ලිලා තුන් දෙනෙක් හිටියා . එක්කෙනෙක් පොළොන්නරුවේ , අනිත් කෙනා ශ්‍රී පාද කන්ද අසබඩමයි , අනිත් කෙනා තමයි දෙවුන්දර හිටියේ . මේ දෙවුන්දර හිටපු මල්ලි දෙවන ලෝක යුද්ධය කාලේ ගෙදරට හොරෙන්ම ලියුමක් ලියලා තියලා හමුදාවට බැඳිලා යුද්ධ කරන්න පිට රට ගිහින් තියෙනවා . මේ කාලේ ආච්චිඅම්මලා බොහොම දුකෙන් තමයි ඉඳලා තියෙන්නේ . ලියුමක් වත් ගෙදරට එවන්න පුළුවන් කමක් තිබිලා නැහැ . අවුරුද්දකට විතර පස්සේ තමයි තමන් හොඳින් ඉන්නවා කියලා ලියුමක් එවලා තියෙන්නේ . ඒත් ඒ ලියුම්වල යුද්ධයේ අමිහිරි මතක සටහන් ඒ සීයා සටහන් කරලා තිබුණා . තමන් ඒ ගැන ලොකු කම්පනයකින් ජීවත් වෙන්නේ කියලත් ඒ ලියුම් වල සටහන් කරලා තිබුණා .


මේ ඉන්නේ මගේ මුත්තයි ඔය කියන එයාගේ පුතයි






තමන්ගේ පියාගේ ,  ඒ කියන්නේ මගේ මුත්තාගේ  ජ්‍යෝතිෂ , වෙදකම , හෙදකම , ගුරුකම එක්ක හැදුණු වැඩුණු කෙනෙක් හැටියට ඒ සීයාට යුද්ධය වගේ බිහිසුණු දෙයක් දරාගන්න තරමක නොහැකියාවක් තිබුණා කියලා තමයි මට ආච්චිඅම්මා කිව්වේ . කාලයක් ගියාට පස්සේ ඒ සීයා ආයෙත් ලංකාවට එනවා . යුද්ධය ඉවර වෙලා තමයි ලංකාවට ආවේ . ඒ එනකොට එයා ගෙනාව එහෙදි ගත්ත චායාරූප කීපයක් අලවපු ඇල්බම් එකක් , පිඟන් තොගයක් , ට්‍රංකා පෙට්ටි දෙකක් මම ගාව තවමත් පරෙස්සමට තියාගෙන ඉන්නවා . ඉතින් මේ සීයා යුද්ද්ධය ඉවරවෙලා ලංකාවට එනකොට තමන් විවාහ වෙන්න හිතාගෙන හිටපු කෙනත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා .









යුද්ධයේ කම්පනයයි තමන්ගේ අනාගත බලාපොරොත්තු බිඳ වැටීමේ කම්පනයයි කියන දෙකම නිසා අවසානයේ මේ සීයාට පිස්සු හැදෙනවා . තමන්ගේ පියාගේ ගුරුකමත් , වෙදකම නිසා යටපත් කරගෙන උන්නට මේ පිස්සුව ටිකෙන් ටික උත්සන්න වෙලා අන්තිමට මේ සීයා කකුල් වලට දාලා තිබුණු දම්වැල් පවා ගලවාගෙන ගෙදරින් යන්න යනවා .


අද කාලේ වගේ මෙහෙම දෙයක් වුණාම කෙනෙක් හොයාගන්න විදියක් තිබුණේ නැහැ . පොලිසියට කියලා හොයන එක අද කාලේ වගේ ඒ කාලේ ප්‍රායෝගික නැහැ . මේ වැඩේට අවසානයේ උදවු වුණේ ගෙදර තිබුණු අංජනම . තමන්ගේ පුතා හොයාගන්න බැරිව අවසානයේ මුත්තා කරන්නේ අංජනම ඇරලා කොහෙද ඉන්නේ කියලා බලන එක . පිස්සුවෙන් යන මේ පුද්ගලයාගේ පස්සේ හඹාගෙන ගියපු හනුමා අවසානයේ නතර වෙන්නේ දඹුල්ලේ . දවස් දෙකකින් දෙවුන්දර ඉඳලා දඹුල්ලට යන්න තරම් සවියක් ඒ පිස්සුවෙන් ලැබිලා තිබුණා .


දඹුල්ලේ පන්සල අවට තිබුණු කැලයක තමයි මේ සීයා පිස්සුවෙන් ගිහින් නැවතිලා තිබුණේ . මේ වෙලාවේ වෙන කෙනෙක් යවනවට වඩා තමන්ම යන එක හොඳයි කියලා හිතලා මුත්තාම පිටත් වෙනවා තමන්ගේ පුතාව දඹුල්ලේ ඉඳලා එක්ක එන්න . මේ ගමනේදී මුත්තාට හනුමා අංජනම හරහා ඇවිත් කියලා තිබුණා දඹුල්ල රජමහා විහාරයේ තිබෙන උපුල්වන් දේවාලයට ගිහින් භාර වෙලා තමන්ගේ පුතාව හොයන්න යන්න කියලා .







ඉතින් මුත්තා ඉස්සෙල්ලම දඹුල්ල රජමහා විහාරයට යනවා තමන්ගේ පුතනුවන් වෙනුවෙන් භාර වෙන්න . ඒත් ඒ යන වෙලාව වෙනකොට දේවාලය වහලා . මුත්තට දැන් පරක්කු වෙන්නත් බැහැ . දේවාලයට යන්නත් ඕන . පස්සේ දේවාලයේ කපු මහත්මයා මුණගැහෙන්න ගියපු මුත්තා තමන් කවුද කියලා හඳුන්වලා දීලා දෙවිනුවර ඉඳලා ආවේ මෙන්න මේ රාජකාරියට නිසා දේවාලය විවෘත කරලා දෙන්න කියලා ඉල්ලුවම කපු මහමහත්මයා දේවාලය විවෘත කරලා දීලා තමන්ගේ පූජාව තියන්න අවස්ථාව ලබා දීලා තියෙනවා . දෙවිනුවර උපන් අයට මේ දේවාලයේ විශේෂ සැලකිල්ලක් තියෙනවා කියලා තමයි ඉතින් ආච්චිඅම්මා මමත් එක්ක කිව්වේ . දැන් කොහොමද දන්නේ නැහැ .


මේ දේවාලයේ දේව රූපය තිර හතක් දාලා වහලා තමයි තිබිලා තියෙන්නේ . මුත්තා කියලා තියෙනවා තිර තියෙත්දී පූජාව කරන්න බැහැ තිර රෙදි අයින් කරන්න කියලා . එවෙලෙ කපු මහත්මයා කියලා තියෙනවා මේ දේව රූපය මහා බලගතු දේව රූපයක් බලන බලන කෙනාට වස් වදිනවා , ඒ නිසා මේ දේව රූපය දිහා බලනවානම් එක එල්ලේම දේව රූපය දිහා බලන්නේ නැතිව දේව රූපයේ පාදයේ ඉඳලා ටික ටික ඉහලට බලලා දේව මුහුණ දිහා බලන්න කියලා . ඊට පස්සේ තමයි තිර හත ඉවත් කරලා දේව රූපය විවෘත කරලා තියෙන්නේ . මේ දේව රූපය ශාන්ත බැල්මක් තියෙන දේව රූපයක් වුනාට ජීවමාන ගති ලක්ෂණ තිබුණා කියලා මුත්තා කියලා තියෙනවා අපේ ආච්චිලත් එක්ක .


ඉතින් තමන්ගේ පූජාව කරාට පස්සේ මුත්තා අංජනමෙන් පෙන්නපු කැලෑවට ගිහින් තමන්ගේ පුතාගේ නමට ජීවම් කරලා වස් දණ්ඩක් පිඹිනවා . මේ වස්දන්ඩේ හඬ ඇහුණාම තමයි පිස්සුවෙන් හිටපු අපේ ආච්චිඅම්මගේ මල්ලි නැවතත් මුත්තා ඉන්න කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ . ඒ කියන්නේ ඒ කාලේ ඒවගේ දේවල් තිබිලා තියෙනවා ඇත්තටම . ඉතින් මේ සීයව ආයෙත් දෙවුන්දරට ගෙනත් බෙහෙත් කරලා සනීප කරන්න හැදුවත් සම්පූර්ණ සනීපයක් ලැබිලා නැහැ . තරමක අසාමාන්‍ය ගුප්ත වැඩ මේ සීයාගේ තිබිලා තියෙනවා . විවාහ වෙලත් නැහැ . ඒ නිසා ඒ පවුල ඉදිරියට ගිහින් නැති නිසා මම එයාගේ ෆොටෝ කීපයක් මේකේ අප්ලෝඩ් කරනවා ඒ කාලේ කොහොමද කියලා බලාගන්නයි මම කියන්නේ බොරු කියලා හිතන අයට බලාගන්නයි .


මට කියන්න ඕන වුණ කතාව තමයි දඹුල්ලේ විෂ්ණු දේව ප්‍රතිමාව පිලිබඳ කතාව . මේ කතාව කියවනකොට තියෙන විශේෂ දෙයක් තමයි කෙලින්ම මූණ දිහා බලන්න එපා කියන කතාව . ඒ කතාව මතක තියාගෙන අපි යමු මේ කතාවට .


ඔන්න බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී උපුල්වන් දෙවියන්ට ශ්‍රී ලංකාව භාර කරනවා . ඊට පස්සේ උපුල්වන් දෙවියන් කල් යල් බලලා කිහිරි කොටයක වෙස් අරගෙන ලංකාවට පාවෙලා එනවා . මේ කිහිරි කොටය පාවෙලා ඒම සීනිගම දේවාලයේ කපු මහත්මයාටත් , එවකට දෙවිනුවර පාලකයා වෙලා හිටපු දාපුළුසෙන් කියන රජතුමාටත් හීනෙන් පෙනිලා තියෙනවා . කිහිරි කොටය පාවෙලා ආවට පස්සේ සිදුවුණු සිදුවීම් මාලාවකට පස්සේ මේ කිහිරි කොටය දැන් දෙවිනුවර දේවාලය තියෙන ස්ථානයේ කුටියක තැම්පත් කරනවා .


කතාවේ තියෙන්නේ දාපුළුසෙන් රජතුමාට ශක්‍රයා හීනෙන් ඇවිත් කියනවා කියලා මේ කිහිරි කොටයෙන් උපුල්වන් දෙවියන්ගේ රූපයක් කප්පවලා පුද පූජා පවත්වන්න කියලා . ඒත් මේ කොටයෙන් රූපයක් කපන්න තරම් සමත් වඩුවෙක් ඉඳලා නැහැ . ඒ නිසා ශක්‍රයාගේ අණ කිරීම මත විස්මකර්ම දිව්‍යපුත්‍රයා මහලු වෙස් අරගෙන මාලිගාවට වැඩම කරනවා . ඒ එන්නේ නිකන් නෙවෙයි . තමන්ගේ වඩු ආයුධත් අරගෙන . ඇවිත් කියනවා මට මේ කොටයෙන් උපුල්වන් දෙවු රූපය කපන්න පුළුවන් කියලා . මෙතරම් වඩුවන් ඉන්න පළාතකත් දෙව් රූපය කපන්න කෙනෙක් නැති එකේ මහළු ඔබට ඒ දේ කරන්න පුලුවන්ද කියලා දාපුළුසෙන් රජතුමා අහනවා . ඒත් මහල්ලා තැති ගන්නේ නැහැ . තමන්ට මේ කාර්යය භාර කරන්න කියලාම තමයි කියන්නේ . ඒ නිසා රජතුමා වැඩේ බාර දෙනවා . ඒත් හිතේ අවිශ්වාසයක් ඇතිවයි භාර දෙන්නේ .


පහුවෙනිදා රජතුමාට හිතෙනවා මේ මහල්ලාගේ වැඩ කිරීමේ හැකියාව පරීක්ෂා කරලා බලන්න . ඉතින් රජතුමා සද්ද නැතිව යනවා කොටය තැම්පත් කරලා තියෙන කාමරයට . ගිහින් කාමරයේ දොර විවෘත කරනකොටම ඇස ගැටිලා තියෙන්නේ විස්කම් දෙවියන් නිර්මාණය කරපු උපුල්වන් දෙවියන්ගේ ජීවමාන ආකාරයේ ප්‍රතිමාවේ මුහුණ . දෙවියන් දැකපු ප්‍රතිමාවේ මුහුණ වතාවත් රහිතව රජතුමා එක එල්ලේම දැක්ක නිසා එවෙලේම දාපුළුසෙන් රජතුමා සිහි නැතිවෙලා ඇද වැටෙනවා වස් වැදිලා . පස්සේ රජතුමා මෙතන මහා දේවාලයක් කරවලා දෙවියන්ගෙන් සමාව අරගෙන මේ දේව ප්‍රතිමාව දිහා එක එල්ලේ බැලීම කිසිම කෙනෙක්ට සිදු නොකරන ලෙස තහනම් කරලා තියෙනවා . ඒ මිනිස්සුන්ගේ හොඳට . ඒ කතාවයි අර කතාවයි ගළපලා බලනකොට මට පැහැදිළිවුණේ එහෙනම් දඹුල්ලේ වැඩ ඉන්නේ ඒ දේව ප්‍රතිමාව නේද කියලා .







මේ කතාව අපේ අම්මා දන්නේ නැති වුනත් අර අපේ මුත්තා දඹුල්ලේ ගිය කතාව ආච්චි එහෙන් මෙහෙන් කියලා අම්මා දන්නවා . මේ ළඟදී අපි සිංදු අයියාගේ පවුලේ අයත් එක්ක දඹුල්ලේ රජමහා විහාරය වැඳ පුදාගන්න ගිය වෙලාවේ අම්මා ඒ දේවාලය පෙන්නලා මට කනට කරලා කිව්වා මේ තියෙන්නේ අපේ සීයා අර එදා ආව කියන දේවාලේ නේද කියලා . ඒත් එවෙලෙ ඒ ගැන වැඩිය විමසලා බලන්න වුණේ නැහැ අපි ඉක්මනට පිටත් වුණු නිසා .


මේ කිහිරි රූපය දෙවුන්දර ඉඳලා දඹදෙණියටත් එතනින් අලුත් නුවරටත් , අලුත් නුවර ඉඳලා මහනුවර විෂ්ණු දේවාලයටත් , අනතුරුව ආරක්ෂාව සඳහා දඹුල්ල රජමහා විහාරයටත් වැඩම කරලා තියෙනවා කියලා මට මූලාශ්‍ර කීපයකම කියවන්න ලැබුණා .


මෙහෙමයි වෙලා තියෙනවා කියලා ඒවායේ සඳහන් වෙන්නේ . දෙවෙනි පරාක්‍රමභාහු රජතුමා දේවප්‍රතිරාජ ඇමතිතුමා දෙවුන්දරට එවලා තියෙනවා දේවරාජ ප්‍රතිකඩයත් මහා රන් ආයුධත් පිහිටි රටේ මිනිස්සුන්ට වැඳ පුදාගන්න වැඩම කරගෙන එන්න කියලා . පස්සේ දේවප්‍රතිරාජ මේ පිළිමයත් මහ රන් ආවුධත් දඹදෙණියට වැඩම කරවලා තැම්පත් කරලා තිබිලා තියෙනවා .


ඊට පස්සේ මහනුවර ආව රජකෙනෙක් තමයි මේ ප්‍රතිමාව නැවතත් අලුත්නුවර දේවාලයට වැඩම කරවලා තියෙන්නේ . ඊට පස්සේ ආයෙත් ආව රජකෙනෙක් තමයි මේ පිළිමය මහනුවර මහා දේවාලය , විෂ්ණු දේවාලයට වැඩම කරවලා තැම්පත් කරලා තියෙන්නේ . ඒත් පෘතුගීසි ප්‍රශ්න නිසා අවසානයේ තීරණය කරනවා මේ දේව ප්‍රතිමාව පරෙස්සම් කිරීම වෙනුවෙන් දඹුල්ලට වැඩම කරවන්න . පැහැදිළි සාක්ෂි නැති වුණත් මේ කතාව සහ මගේ පවුලේ අතීත කතාවේ යම් සමානාත්ම බවක් තියෙන නිසා මම විශ්වාස කරනවා දඹුල්ලේ වැඩ ඉන්නේ නියම උපුල්වන් දෙව් ප්‍රතිමාව කියලා .


කොයි ප්‍රතිමාවට වැඳුම් පිදුම් කලත් ඒවා කැපවෙන්නේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් තමයි . ඒත් නියම දේව රූපය වැඩ ඉන්නේ දඹුල්ලේ කියලා මට විශ්වාසයක් තියෙනවා . ඉතිහාසය හදාරන කෙනෙක්ට මගේ මේ කතාව වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ සටහන තියන්න කල්පනා කලේ . ඒ නිසා අධ්‍යනය කරන කෙනෙක් මේ ගැන තවත් දුරට කරනවානම් අධ්‍යනය කරලා බලන්න . මගේත් තියෙන්නේ විශ්වාසයක් විතරයි . ඒක මට පෞද්ගලික එකක් මිසක් පොදු විශ්වාසයක් නෙවෙයි . ඒ නිසා මේ ගැන හොයන්න කැමති කෙනෙක් හොයලා බලන්න . ඒ වගේම මම කියන්න කැමතියි  මම මේ සම්බන්ධව කියන්න දන්නේ මෙච්චරයි කියලා . මොකද නැත්නම් පස්සේ ප්‍රශ්න කෝටියකට පිළිතුරු දෙන්න වෙනවා මට .


සමන් දෙවියන් ගැන වගේම උපුල්වන් දෙවියන් ගැනත් මම ලියන්න දැන් කරුණු කාරනා සූදානම් කරගෙනයි ඉන්නේ . මේ ඒ වෙනුවෙන් තියපු පළමු පියවර විතරයි . ඉදිරියේදී අපි ඒ ගැන කතා කරමු .




එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

4 comments :

  1. රසවත් සහ වටිනා ලිපියක් අයියා. ස්තූතියි ! g-)

    ReplyDelete
    Replies
    1. හා . එහෙමද ආස ?

      එල එල
      බොහොම ස්තූති

      Delete
  2. Prathikadak ea kiyanne Pethikadak kiyanne redhdhaka andhina ladha chithrayakata.Prathimawata nemeyi.Mulinma Aluthnuwarata wadamawewwe ea sithuwama.Pasuwa pruthigesi karadhara nisa prathimawama aluthnuwara wadamawanawa.ethan indhan kathawa ayiya kiwwa widhiha thamayi.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මල්ලි පැහැදිලි කිරීමට (y)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.