Thursday, September 29, 2016

සෙත්කවි කීමේ පිළිවෙත්







මේක ලියන්නේ මගේ ජ්‍යෝතිෂ සේවය අරමුණු කරගෙන වුනාට මේ ලියන දෙයින් කෙනෙක් යම් දෙයක් ඉගෙනගනීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . මොකද අද කාලේ ලංකාවේ පුර පක්ෂය අව පක්ෂය දන්නෙවත් නැති අය ඉන්නා කාලයක් කියලා දැනගන්න පුළුවන් උනේ කේන්දර බලන්න ගත්තට පස්සේ . හරිම දුකයි . ඒත් කරන්න දෙයක් නැහැ . සතියක් සතියක් ගානේ සිකුරාදාට ඉරිදාට වෙනත් ආගම් වල උදවිය තමන්ගේ ආගමට දවසක් වෙන් කරාට බෞද්ධ අපි සතියකට වතාවක් ඒ දවස වෙන් කරනවද . සතියට දවසක් වැටෙන විදියට තමයි හතර පෝය නිර්මාණය වෙලා තිබුණේ . අද කාලේ හතර පෝය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අය ඉන්නවා . ඒ අයට මේ ලිපිය වැදගත් වෙයි . ඒත් මේ ලිපිය ලියන්නේ සෙත් කවි කියවීම ගැන පොඩි පහේ දැනුවත් කිරීමක් කරන්න හිතාගෙන .

කේන්දර බලලා මම සමහර වෙලාවට සමහර අයට නියම කරනවා අර දෙවියන්ට මේ දෙවියන්ට සෙත් කවි ලියවලා කියන්න කියලා . වෙන කරන්නම දෙයක් නැති වෙලාවට තමයි මම සෙත් කවිය මතක් කරන්නේ . මොකද සෙත් කවි ලියන්න ගත්ත දවසේ ඉඳලා මමත් දන්නවා කවියක් ලියන තැන ඉඳලා කියලා ඉවර කරනකල් කොච්චර වැඩ ප්‍රමාණයක් වියදමක් දරන්න වෙනවද කියලා . ඒ නිසා පොඩි අපල වලට සෙත් කවි කියන්න කියලා මිනිස්සු නොමග යවන්න මම උත්සාහ කරන්නේ නැහැ . ඒත් මාරක , විභාග , දඬුවම් , ලෙඩ , විවාහ වගේ ඒවා සාර්ථක වෙන්න හෝ නැතිවෙලා යන්න සෙත් කවි කියන්න කියලා නියම කරනවා . එතකොට ඔන්න සෙත් කවිය ලියලා දෙන්න කිව්වම ලියලත් දෙනවා . ඊට පස්සේ තමයි ප්‍රශ්න පත්තරේ එන්නේ .

කවුද කියන්නේ ?
කොහෙද කියන්නේ ?
මොනවද තියන්නේ ?
කීයක් පඬුරු තියනවද ?
අදාළ කෙනා යන්නම ඕනද ?
වෙන කෙනෙක්ට යන්න බැරිද ?
ආර්තව වීම ගැටළුවක්ද ?
කොයි දවස් වලද කියන්න ඕන ?
මස් මාළු කමක් නැත්ද ?

ඔය වගේ ප්‍රශ්න පත්තරයක් අහනවා . මට දැන් මේ හැම දේම එක්කෙනාට එක ගානේ කියලා ඇතිවෙලා නිසා තමයි මේ ලිපිය ලියන්න කල්පනා කලේ .

වස්කවිය දන්නවානේ . ඒවගේම තමයි සෙත් කවිය . සෙත් කවි ලියන්න උගන්නනවා කියන්නේ වස් කවිය ඉබේම ඉගෙන ගන්න පුළුවන් වෙනවා . ඒත් පාරම්පරික සම්ප්‍රදායන්ට සහ කවියේ ඵලදීම ගැන සලකලා බලනකොට සෙත් කවි ලියන අය වස් කවි ලියන්නේ නැහැ . වස් කවි ලියන අය සෙත් කවි ලියන්නෙත් නැහැ . ඒත් කවියන්ගේ හිඟතාවය නිසා අද වෙනකොට මේ දෙකම එක්කෙනෙක් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා .





සෙත් කවිය වචන කීපයක එකතුවක් උනාට . සරළව කියවන්න පුළුවන් වෙන්න හදලා තිබුණට , මේ ශාස්ත්‍රය කොහොම ආවාද කියලා මම හිතන්නේ නැහැ කවුරුවත් දන්නවා කියලා . මහා සෘෂිවරුන් රචනා කරපු ග්‍රන්ථ වල හැටියට මේ කාව්‍ය කරණයේ තියෙන ඉටු අනිටු ගණ මාත්‍රා ආදී සියල්ල අන්තර්ගත සඳැස් ශාස්ත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ ඊශ්වර දෙවියන් කියලා තමයි පිළිගන්නේ . ඊශ්වර දෙවියන්ගෙන් මහා බ්‍රහ්මයා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නවා . මහා බ්‍රහ්මයාගෙන් අගස්ති මහා සෘෂි වරයා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නවා . අගස්ති සෘෂි වරයාගෙන් නැවත මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නේ සුරගුරු .

සුරගුරුගෙන් ශක්‍ර දිව්‍යරාජයා මේ ශාස්ත්‍රය ඉගෙනගෙන අනන්තයාට උගන්වනවා . අනන්තයාගෙන් පිංගලාචාර්යවරයා ඉගෙන ගන්නවා . පිංගලාචාර්යවරයා තමයි අවසානයේ ටික ටික මේ ශාස්ත්‍රය ප්‍රචලිත කරන්නේ . සමහරු කියනවා අගස්ති මහා සෘෂිවරයා මේ ශාස්ත්‍රයේ සුබ අසුබ ගැන විස්තර කළා කියලා . සමහරු කියනවා පිංගලාචාර්යවරයා විස්තර කරා කියලා . කොහොමහරි අද අපි දන්න සඳැස් ශාස්ත්‍රය දක්වා මේ ශිල්පය ආපු ගමන් මගේ විශේෂ අවස්ථා තමයි මම ඒ සටහන් කලේ .

ඉතින් මේ දේවල් දෙවියන්ගේ දේවල් කියලා කියන එක වැරදිද ? .

දෙවියන් අපිට දුන්න මේ දැනුම භාවිතා කරලා අපි ගන්නා ප්‍රයෝජන වලින් දෙවියන්ටත් පංගුවක් වෙන් වෙන්න ඕන කියන මතයේ තමයි මම ඉන්නේ . ඒ නිසා මම ලවා කේන්දර බලව ගත්ත හැමෝගෙම සම්මාදමෙන් දෙවියන්ගේ පංගුව මම වෙන් කරලා ඒවා දේවාල වලට ලබා දෙන්න කටයුතු කරනවා .

ඉතින් ඔන්න ඔහොමයි කවි කතාව ආවේ . දැන් ඔන්න මම කවියක් ලිව්වා කියමුකේ . ඔන්න එතකොට කෙනෙක් අහනවා මොකක්ද පුර පක්ෂය කියන්නේ . අපි එහෙම එකක් දන්නේ නැහැනේ කියලා . මෙන්න මේක තමයි පුර පක්ෂය කියන්නේ .

අපිට හඳේ තියෙන වෙනස් වීම ඇහැට දකින්න ලැබෙනවානේ . ඔන්න පසළොස්වක පෝය දවසට හඳ සම්පූර්ණ වෙලා . ඊට පස්සේ ටික ටික අඩුවෙන්න පටන් ගන්නවා . එහෙම අඩුවෙලා අමාවක දවසේ හඳ පේන්නේ නැහැ . ඊට පස්සේ ආයෙත් හඳ පසළොස්වක දවස දක්වා ටික ටික පිරෙන්න ගන්නවා . මේ අතරේ දවස් වලට නම් තියෙනවා . ජලවක දියවක නවවක අටවක වගේ කියලා . පුර පක්ෂයේ නම් මුලට පුර අටවක පුර නවවක කියලා කියනවා . අව පක්ෂයේ නම් අව අටවක අව නවවක වගේ නම් කරනවා .

සෙත් කවි සාමාන්‍යයෙන් සුභ දෙයක් . ඒ නිසා සුභ දේවල් කරන්නේ පුර පක්ෂයේ . එතකොට හඳේ ශක්තිය වැඩි වෙනවා වගේම කවියේ ගණ තියලා තියෙන ගණ ශක්තියත් වැඩිවෙලා අදාළ සෙත ලබා දෙනවා . වස් කවි කියන්නේ අව පක්ෂයේ . ඒ කියන්නේ හඳ අඩුවෙන පසළොස්වක ඉඳලා අමාවක දක්වා දවස්වල . එතකොට හඳ අඩුවෙනවා වගේ කවියේ හොඳ අඩුවෙලා නරක වැඩිවෙලා අදාළ නරක වෙනවා . ඒ නිසා පුර පක්ෂය අවපක්ෂය කවි කියන්න සහ ලියන්න වැදගත් වෙනවා .

පුර පක්ෂය =>>>> අමාවක සිට පුර පසළොස්වක දිනය දක්වා .
අව පක්ෂය =>>>> පුර පසළොස්වක දිනයේ සිට අමාවක දිනය දක්වා .



බිත්ති ලිතක් ගත්තම පොහොය ගෙවෙන ලබන වෙලාවල් තියෙන කොටුවේ මේ දවස් වෙලාවල් පැහැදිළිව දක්වලා තියෙනවා . ලිත හදලා තියෙන්නේ අවුරුදු කන්න විතරක් නෙවෙයි කියලා මිනිස්සුන්ට මතක් වෙන්නේ කෙළවෙන්න ගිහින් සෙත් කවි ලියාගත්තම තමයි . තව සමහර අයට අපල වලට පුර හඳ හොඳ නෑ අව හඳ හොඳ නෑ කිව්වමත් ඔන්න ලිත මතක් වෙනවා . ඒ නිසා අවුරුද්දකට වතාවක් ලිතක් අරගන්න පුරුදුවෙන්න ලංකාවේ වැසියන් හැටියට .

සෙත් කවි ලියන කෙනා වගේම සෙත් කවි කියන කෙනාත් වැදගත් වෙනවා . ලියන කෙනාට තමයි ලොකු වගකීමක් තියෙන්නේ . මොකද වැරද්දුවොත් තමන්ට , කියන කෙනාට , සහ කවියේ අන්තර්ගත වෙලා ඉන්න කෙනාට දෙවියන්ගේ වස් වදින නිසා . දන්නවා ඇතිනේ බරණ ගණිතයා . කොත්මලේ ගණිතයා වගේ අයට වෙච්ච දේවල් . ඉතින් සෙත් කවි කියන කෙනා සිල්වත් කෙනෙක් වෙන්න ඕන . දේවාලවල කපු මහත්වරු සෙත් කවි කියනවා . නැත්නම් හාමුදුරුවරුත් සෙත් කවි කියනවා . මේ කවිය හඬ නගලා අදාළ අක්ෂර ශබ්ධ වෙන්න කියන්න තමයි උවමනා කරන්නේ .

කතරගම දෙවියන්ට සෙත් කවි ම්කියනවානම් කතරගම දේවාලයක වගේ හොඳයි . විෂ්ණු දෙවියන්ට නම් විෂ්ණු දේවාලයක හොඳයි . දේවාල නැත්නම් බෝධියක හොඳයි . ඒ මොකවත් නැත්නම් කවිය කියන කෙනා ගෙදරක වඳින තැන දේව රූපයක් තියලා කවිය කිව්වත් හොඳයි . ඒත් වඩාත් හොඳ අදාළ දෙවියන්ට අදාල දේවාලයේ කියන එක තමයි . කරන්නම දෙයක් නැත්නම් කරන්න වෙනවා . සමහර වෙලාවට ලෙඩ්ඩුන්ට කවි ලියන්න උනාම ලෙඩා තියාගෙන පුර ලබනකල් ඉන්න බැහැ . ඒ වෙලාවට අපි කවි ලියනවා අව පක්ෂයේ වුනත් . ඒ වෙලාවට වැරදිලාවත් ගණ වැරදුනොත් ලෙඩත් , ලියන කෙනත් , කියන කෙනත් ඉවරයි . ඒ නිසා ඒවගේ කවි හරිම සැලකිල්ලෙන් බල බල තමයි ලියන්නේ .

කවි කියන්න පටන් ගන්න දවසේ පූජාවල් තියනවා . සමහරු අන්තිම දවසේ පූජාව තියනවා . ඒක කවිය කියන කෙනාගේ කැමැත්ත අනුව කරන්න . මට කියන්න බැහැ මෙහෙම කරන්න කියලා . මොකද කවි කියන අයගේ සිරිත් විරිත් පිළිගැනීම් වෙනස් නිසා . ඒ අය කියන විදියට කරාම හරි . ඒ අය පූජාවට තියන්න කියන දේවල් පඬුරු තිබ්බම හරි .

අදාල කෙනා නැතිව සෙත් කවි කීම හරියට ලෙඩා නැතිව බෙහෙත් ඉල්ලනවා වගේ . පලවෙනි දවසේවත් යන්න පුළුවන් නම් හොඳයි . ඒත් වඩා හොඳ හැමදාම යන එක . කරන්නම දෙයක් නැත්නම් වෙන කෙනෙක් ගිහින් කවිය කියවන එක හොඳයි . හැබැයි කවිය අදාළ කෙනා යෑම අනිවාර්යයි කියලා තමයි මමනම් කියන්නේ . වෙන කෙනෙක් ගිහින් කියලා එන එක සීයට සීයක් සාර්ථක නැහැ .

ආර්තව වීම ගැටළුවක් තමයි . ඒ නිසා එක්කෝ දවස් බලලා ගැටළුවක් වෙන්නේ නැති දවස් තෝරාගන්න . නැත්නම් පුළුවන් දවස්වල ගිහින් ආර්තව දවස්වල නොයා ඉන්න ගෙදර වෙන කෙනෙක් යවලා . දෙවියන්ගේ දෙයක් නිසා කිල්ලට අහුවෙලා නම් සෙත් කවි කියන්න යන්න එපා . කවිය කන්නලව්වක් වගේ නෙවෙයි . ගණ ගළපන්නේ වචන එකතු කරන්නේ දෙවියන්ට ඇහෙන්නම තමයි . දෙවියන්ට එහෙම අස්සවලා අන්තිමට දෙවියන්ට දකින්න ලැබෙන්නේ අපිරිසිදු කෙනෙක් නම් එතන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා .

මේ කාලේ හාල්මැස්සෙක්වත් කන්න එපා කියලා තමයි වයලීනෝ කියන්නේ . විශේෂයෙන්ම කවිය අදාළ වෙන කෙනා පිලී ජාතිවලින් වැළකිලා යන්න . ඔයාලට ඒ කැපවීම කරන්න පුළුවන් වෙන්න ඕන . මොකද කවිය ලියන මමත් කවියක් ලියනවනම් එදාට රකින සිල් රැකලා මස් මාළු නොකා ඉඳලා නාලා පිරිසිදුවෙලා තමයි කවිය ලියලා ඉවර කරන්නේ . සෙත් කවි ලියන එක නිසඳැස් , සීපද ලියනවා වගේ කරන්න බැහැ . වැරදුනොත් ජීවිතේටම බලපානවා . ඒක හොඳටම දන්නේ ලියන කෙනා . මොකද ගණ ගලපනකොට තේරෙනවා අකුරෙන් එහා මෙහා උනොත් මරන්න එපා , යන්න දෙන්න - මරන්න , එපා යන්න දෙන්න වගේ වැරදි තේරුම් එනවා කියලා . ඒ වැරදි තේරුමට ලොකු දෙයක් කරන්න පුළුවන් .


මේ වගේ ප්‍රශ්න ගොඩකට පිළිතුරු දෙන්න වුණා මට . ප්‍රශ්න එන්න එන්න මේ ලිපිය අප්ඩේට් කරන්න තමයි ඉන්නේ . ඒ නිසා දැන්ම මේ ලිපිය අවසන් කියලා හිතන්න එපා . ඔයාලටත් ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Saturday, September 24, 2016

උපුල්වන් දෙව් පිළිමය පිලිබඳ ඉඟියක්








රාම දෙව්රද දෙවුන්දර සිට අලුත්නුවරට වඩින ගමනේ
සෑම සිව්රඟ සෙනඟ සැදෙමින් මඟුල් දිව පෙරහැරින් සොඳිනේ
සෝම රිවිරුව පිහිටි කොඩියද පෙරටු කර ආ සෙයින් එදිනේ
ඒ මහත් මානයක්‌ සිව් කෝරළේ හට වනි එතැන් පටනේ

වේද ව්‍යාසර මෙකුන් පුත් තේනුවර පෙරුමා හස්තිනා
හාද වී විත් දෙවුන්දර දේවාලෙ අධිපති වීමෙනා
පෑද සිත තම කොඩිය ඉර හඳ පෙරටුකර ආවා විනා
ඒ ද මානය එයින් සිවු කෝරළේ හට ඇන්නෑ හිනා






මේ අවුරුද්දේ දෙවුන්දර පෙරහැර බලන්න ගිය වෙලාවේ ගත්ත වීඩියෝ සහ ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන් ගොඩක් තැන්වලට මම අප්ලෝඩ් කලේ ඒවා දකින්න ලැබෙන්නේ නැති , ඒත් දකින්න ආසාකරන අයට බලාගන්න පුළුවන් වෙන නිසා . මේ වීඩියෝ සහ ෆොටෝ දැක්ක ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවේ මේ වැඩම කරවන්නේ අතීතයේ මහ මුහුදෙන් පාවෙලා ආව උපුල්වන් දෙවියන්ගේ කිහිරි රූපයද කියලා . මේකට දෙන්න උත්තරයක් මම ගාව තිබුණා . ඒත් කාලෙක ඉඳලා මම ඒ උත්තරේ දෙන්න අකමැත්තෙන් හිටිය නිසා මම ඒ ගැන මුකුත් කිව්වේ නැහැ . හීන කියන්නේ මහ පුදුම සහගත දේවල් .අසනීප වෙන වෙලාවට මට එක එක ජාතියේ හීන පේනවා . අදත් මට හීනයක් දකින්න ලැබුණා යම් පෙරනිමිත්තක් සඳහන් වෙලා තියෙන . ඒ නිසා මම කල්පනා කළා මේ කතාව දැන් කියන්න කාලේ හොඳයි කියලා .


අපේ ආච්චිඅම්මාගේ ජීවන ගමන සීමා වුණේ 1914 - 2009 කියන කාලයට . ශ්‍රී ලංකාවේ වැදගත් ඉතිහාසගත සිදුවීම් ගොඩක් ආච්චිඅම්මා ඉන්න කාලේ වෙච්ච නිසා මට ඒ දේවල් කොහොමද වුණේ කියලා අහගන්න හැකියාව ලැබුණා ඇයගේ මතකයට තැම්පත් වෙලා තිබුණු දේවල් විතරක් . පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් ආවාම ඇඳට වෙලා ආච්චිඅම්මාගේ මේ කතා අහගෙන ඉන්න එක තමයි ඒ කාලේ මට ලැබුණු වටිනාම දේ වුණේ .






දෙවන ලෝක යුද්ධය කාලේ ආච්චිඅම්මලා කොහොමද ජීවත් වුණේ කියලා මට අහන්න ලැබුනෙත් මේ කාලෙම තමයි . අහසේ හෙලිකොප්ටර් යනකොට එයාලා බයේ හැංගුණු හැටි , කෝටු කෑල්ලක් හපාගෙන ගුලිවෙලා බයේ හිටපු හැටි එහෙම ආච්චිඅම්මා මතක් කලේ අමිහිරි වුණත් මිහිරි මතකයක් ගානට . ඒත් ඒ අතරේ අමිහිරි මතකයකුත් තිබුණා . මේ ඒ මතකය .


ආච්චිඅම්මාට බාල මල්ලිලා තුන් දෙනෙක් හිටියා . එක්කෙනෙක් පොළොන්නරුවේ , අනිත් කෙනා ශ්‍රී පාද කන්ද අසබඩමයි , අනිත් කෙනා තමයි දෙවුන්දර හිටියේ . මේ දෙවුන්දර හිටපු මල්ලි දෙවන ලෝක යුද්ධය කාලේ ගෙදරට හොරෙන්ම ලියුමක් ලියලා තියලා හමුදාවට බැඳිලා යුද්ධ කරන්න පිට රට ගිහින් තියෙනවා . මේ කාලේ ආච්චිඅම්මලා බොහොම දුකෙන් තමයි ඉඳලා තියෙන්නේ . ලියුමක් වත් ගෙදරට එවන්න පුළුවන් කමක් තිබිලා නැහැ . අවුරුද්දකට විතර පස්සේ තමයි තමන් හොඳින් ඉන්නවා කියලා ලියුමක් එවලා තියෙන්නේ . ඒත් ඒ ලියුම්වල යුද්ධයේ අමිහිරි මතක සටහන් ඒ සීයා සටහන් කරලා තිබුණා . තමන් ඒ ගැන ලොකු කම්පනයකින් ජීවත් වෙන්නේ කියලත් ඒ ලියුම් වල සටහන් කරලා තිබුණා .


මේ ඉන්නේ මගේ මුත්තයි ඔය කියන එයාගේ පුතයි






තමන්ගේ පියාගේ ,  ඒ කියන්නේ මගේ මුත්තාගේ  ජ්‍යෝතිෂ , වෙදකම , හෙදකම , ගුරුකම එක්ක හැදුණු වැඩුණු කෙනෙක් හැටියට ඒ සීයාට යුද්ධය වගේ බිහිසුණු දෙයක් දරාගන්න තරමක නොහැකියාවක් තිබුණා කියලා තමයි මට ආච්චිඅම්මා කිව්වේ . කාලයක් ගියාට පස්සේ ඒ සීයා ආයෙත් ලංකාවට එනවා . යුද්ධය ඉවර වෙලා තමයි ලංකාවට ආවේ . ඒ එනකොට එයා ගෙනාව එහෙදි ගත්ත චායාරූප කීපයක් අලවපු ඇල්බම් එකක් , පිඟන් තොගයක් , ට්‍රංකා පෙට්ටි දෙකක් මම ගාව තවමත් පරෙස්සමට තියාගෙන ඉන්නවා . ඉතින් මේ සීයා යුද්ද්ධය ඉවරවෙලා ලංකාවට එනකොට තමන් විවාහ වෙන්න හිතාගෙන හිටපු කෙනත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා .









යුද්ධයේ කම්පනයයි තමන්ගේ අනාගත බලාපොරොත්තු බිඳ වැටීමේ කම්පනයයි කියන දෙකම නිසා අවසානයේ මේ සීයාට පිස්සු හැදෙනවා . තමන්ගේ පියාගේ ගුරුකමත් , වෙදකම නිසා යටපත් කරගෙන උන්නට මේ පිස්සුව ටිකෙන් ටික උත්සන්න වෙලා අන්තිමට මේ සීයා කකුල් වලට දාලා තිබුණු දම්වැල් පවා ගලවාගෙන ගෙදරින් යන්න යනවා .


අද කාලේ වගේ මෙහෙම දෙයක් වුණාම කෙනෙක් හොයාගන්න විදියක් තිබුණේ නැහැ . පොලිසියට කියලා හොයන එක අද කාලේ වගේ ඒ කාලේ ප්‍රායෝගික නැහැ . මේ වැඩේට අවසානයේ උදවු වුණේ ගෙදර තිබුණු අංජනම . තමන්ගේ පුතා හොයාගන්න බැරිව අවසානයේ මුත්තා කරන්නේ අංජනම ඇරලා කොහෙද ඉන්නේ කියලා බලන එක . පිස්සුවෙන් යන මේ පුද්ගලයාගේ පස්සේ හඹාගෙන ගියපු හනුමා අවසානයේ නතර වෙන්නේ දඹුල්ලේ . දවස් දෙකකින් දෙවුන්දර ඉඳලා දඹුල්ලට යන්න තරම් සවියක් ඒ පිස්සුවෙන් ලැබිලා තිබුණා .


දඹුල්ලේ පන්සල අවට තිබුණු කැලයක තමයි මේ සීයා පිස්සුවෙන් ගිහින් නැවතිලා තිබුණේ . මේ වෙලාවේ වෙන කෙනෙක් යවනවට වඩා තමන්ම යන එක හොඳයි කියලා හිතලා මුත්තාම පිටත් වෙනවා තමන්ගේ පුතාව දඹුල්ලේ ඉඳලා එක්ක එන්න . මේ ගමනේදී මුත්තාට හනුමා අංජනම හරහා ඇවිත් කියලා තිබුණා දඹුල්ල රජමහා විහාරයේ තිබෙන උපුල්වන් දේවාලයට ගිහින් භාර වෙලා තමන්ගේ පුතාව හොයන්න යන්න කියලා .







ඉතින් මුත්තා ඉස්සෙල්ලම දඹුල්ල රජමහා විහාරයට යනවා තමන්ගේ පුතනුවන් වෙනුවෙන් භාර වෙන්න . ඒත් ඒ යන වෙලාව වෙනකොට දේවාලය වහලා . මුත්තට දැන් පරක්කු වෙන්නත් බැහැ . දේවාලයට යන්නත් ඕන . පස්සේ දේවාලයේ කපු මහත්මයා මුණගැහෙන්න ගියපු මුත්තා තමන් කවුද කියලා හඳුන්වලා දීලා දෙවිනුවර ඉඳලා ආවේ මෙන්න මේ රාජකාරියට නිසා දේවාලය විවෘත කරලා දෙන්න කියලා ඉල්ලුවම කපු මහමහත්මයා දේවාලය විවෘත කරලා දීලා තමන්ගේ පූජාව තියන්න අවස්ථාව ලබා දීලා තියෙනවා . දෙවිනුවර උපන් අයට මේ දේවාලයේ විශේෂ සැලකිල්ලක් තියෙනවා කියලා තමයි ඉතින් ආච්චිඅම්මා මමත් එක්ක කිව්වේ . දැන් කොහොමද දන්නේ නැහැ .


මේ දේවාලයේ දේව රූපය තිර හතක් දාලා වහලා තමයි තිබිලා තියෙන්නේ . මුත්තා කියලා තියෙනවා තිර තියෙත්දී පූජාව කරන්න බැහැ තිර රෙදි අයින් කරන්න කියලා . එවෙලෙ කපු මහත්මයා කියලා තියෙනවා මේ දේව රූපය මහා බලගතු දේව රූපයක් බලන බලන කෙනාට වස් වදිනවා , ඒ නිසා මේ දේව රූපය දිහා බලනවානම් එක එල්ලේම දේව රූපය දිහා බලන්නේ නැතිව දේව රූපයේ පාදයේ ඉඳලා ටික ටික ඉහලට බලලා දේව මුහුණ දිහා බලන්න කියලා . ඊට පස්සේ තමයි තිර හත ඉවත් කරලා දේව රූපය විවෘත කරලා තියෙන්නේ . මේ දේව රූපය ශාන්ත බැල්මක් තියෙන දේව රූපයක් වුනාට ජීවමාන ගති ලක්ෂණ තිබුණා කියලා මුත්තා කියලා තියෙනවා අපේ ආච්චිලත් එක්ක .


ඉතින් තමන්ගේ පූජාව කරාට පස්සේ මුත්තා අංජනමෙන් පෙන්නපු කැලෑවට ගිහින් තමන්ගේ පුතාගේ නමට ජීවම් කරලා වස් දණ්ඩක් පිඹිනවා . මේ වස්දන්ඩේ හඬ ඇහුණාම තමයි පිස්සුවෙන් හිටපු අපේ ආච්චිඅම්මගේ මල්ලි නැවතත් මුත්තා ඉන්න කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ . ඒ කියන්නේ ඒ කාලේ ඒවගේ දේවල් තිබිලා තියෙනවා ඇත්තටම . ඉතින් මේ සීයව ආයෙත් දෙවුන්දරට ගෙනත් බෙහෙත් කරලා සනීප කරන්න හැදුවත් සම්පූර්ණ සනීපයක් ලැබිලා නැහැ . තරමක අසාමාන්‍ය ගුප්ත වැඩ මේ සීයාගේ තිබිලා තියෙනවා . විවාහ වෙලත් නැහැ . ඒ නිසා ඒ පවුල ඉදිරියට ගිහින් නැති නිසා මම එයාගේ ෆොටෝ කීපයක් මේකේ අප්ලෝඩ් කරනවා ඒ කාලේ කොහොමද කියලා බලාගන්නයි මම කියන්නේ බොරු කියලා හිතන අයට බලාගන්නයි .


මට කියන්න ඕන වුණ කතාව තමයි දඹුල්ලේ විෂ්ණු දේව ප්‍රතිමාව පිලිබඳ කතාව . මේ කතාව කියවනකොට තියෙන විශේෂ දෙයක් තමයි කෙලින්ම මූණ දිහා බලන්න එපා කියන කතාව . ඒ කතාව මතක තියාගෙන අපි යමු මේ කතාවට .


ඔන්න බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී උපුල්වන් දෙවියන්ට ශ්‍රී ලංකාව භාර කරනවා . ඊට පස්සේ උපුල්වන් දෙවියන් කල් යල් බලලා කිහිරි කොටයක වෙස් අරගෙන ලංකාවට පාවෙලා එනවා . මේ කිහිරි කොටය පාවෙලා ඒම සීනිගම දේවාලයේ කපු මහත්මයාටත් , එවකට දෙවිනුවර පාලකයා වෙලා හිටපු දාපුළුසෙන් කියන රජතුමාටත් හීනෙන් පෙනිලා තියෙනවා . කිහිරි කොටය පාවෙලා ආවට පස්සේ සිදුවුණු සිදුවීම් මාලාවකට පස්සේ මේ කිහිරි කොටය දැන් දෙවිනුවර දේවාලය තියෙන ස්ථානයේ කුටියක තැම්පත් කරනවා .


කතාවේ තියෙන්නේ දාපුළුසෙන් රජතුමාට ශක්‍රයා හීනෙන් ඇවිත් කියනවා කියලා මේ කිහිරි කොටයෙන් උපුල්වන් දෙවියන්ගේ රූපයක් කප්පවලා පුද පූජා පවත්වන්න කියලා . ඒත් මේ කොටයෙන් රූපයක් කපන්න තරම් සමත් වඩුවෙක් ඉඳලා නැහැ . ඒ නිසා ශක්‍රයාගේ අණ කිරීම මත විස්මකර්ම දිව්‍යපුත්‍රයා මහලු වෙස් අරගෙන මාලිගාවට වැඩම කරනවා . ඒ එන්නේ නිකන් නෙවෙයි . තමන්ගේ වඩු ආයුධත් අරගෙන . ඇවිත් කියනවා මට මේ කොටයෙන් උපුල්වන් දෙවු රූපය කපන්න පුළුවන් කියලා . මෙතරම් වඩුවන් ඉන්න පළාතකත් දෙව් රූපය කපන්න කෙනෙක් නැති එකේ මහළු ඔබට ඒ දේ කරන්න පුලුවන්ද කියලා දාපුළුසෙන් රජතුමා අහනවා . ඒත් මහල්ලා තැති ගන්නේ නැහැ . තමන්ට මේ කාර්යය භාර කරන්න කියලාම තමයි කියන්නේ . ඒ නිසා රජතුමා වැඩේ බාර දෙනවා . ඒත් හිතේ අවිශ්වාසයක් ඇතිවයි භාර දෙන්නේ .


පහුවෙනිදා රජතුමාට හිතෙනවා මේ මහල්ලාගේ වැඩ කිරීමේ හැකියාව පරීක්ෂා කරලා බලන්න . ඉතින් රජතුමා සද්ද නැතිව යනවා කොටය තැම්පත් කරලා තියෙන කාමරයට . ගිහින් කාමරයේ දොර විවෘත කරනකොටම ඇස ගැටිලා තියෙන්නේ විස්කම් දෙවියන් නිර්මාණය කරපු උපුල්වන් දෙවියන්ගේ ජීවමාන ආකාරයේ ප්‍රතිමාවේ මුහුණ . දෙවියන් දැකපු ප්‍රතිමාවේ මුහුණ වතාවත් රහිතව රජතුමා එක එල්ලේම දැක්ක නිසා එවෙලේම දාපුළුසෙන් රජතුමා සිහි නැතිවෙලා ඇද වැටෙනවා වස් වැදිලා . පස්සේ රජතුමා මෙතන මහා දේවාලයක් කරවලා දෙවියන්ගෙන් සමාව අරගෙන මේ දේව ප්‍රතිමාව දිහා එක එල්ලේ බැලීම කිසිම කෙනෙක්ට සිදු නොකරන ලෙස තහනම් කරලා තියෙනවා . ඒ මිනිස්සුන්ගේ හොඳට . ඒ කතාවයි අර කතාවයි ගළපලා බලනකොට මට පැහැදිළිවුණේ එහෙනම් දඹුල්ලේ වැඩ ඉන්නේ ඒ දේව ප්‍රතිමාව නේද කියලා .







මේ කතාව අපේ අම්මා දන්නේ නැති වුනත් අර අපේ මුත්තා දඹුල්ලේ ගිය කතාව ආච්චි එහෙන් මෙහෙන් කියලා අම්මා දන්නවා . මේ ළඟදී අපි සිංදු අයියාගේ පවුලේ අයත් එක්ක දඹුල්ලේ රජමහා විහාරය වැඳ පුදාගන්න ගිය වෙලාවේ අම්මා ඒ දේවාලය පෙන්නලා මට කනට කරලා කිව්වා මේ තියෙන්නේ අපේ සීයා අර එදා ආව කියන දේවාලේ නේද කියලා . ඒත් එවෙලෙ ඒ ගැන වැඩිය විමසලා බලන්න වුණේ නැහැ අපි ඉක්මනට පිටත් වුණු නිසා .


මේ කිහිරි රූපය දෙවුන්දර ඉඳලා දඹදෙණියටත් එතනින් අලුත් නුවරටත් , අලුත් නුවර ඉඳලා මහනුවර විෂ්ණු දේවාලයටත් , අනතුරුව ආරක්ෂාව සඳහා දඹුල්ල රජමහා විහාරයටත් වැඩම කරලා තියෙනවා කියලා මට මූලාශ්‍ර කීපයකම කියවන්න ලැබුණා .


මෙහෙමයි වෙලා තියෙනවා කියලා ඒවායේ සඳහන් වෙන්නේ . දෙවෙනි පරාක්‍රමභාහු රජතුමා දේවප්‍රතිරාජ ඇමතිතුමා දෙවුන්දරට එවලා තියෙනවා දේවරාජ ප්‍රතිකඩයත් මහා රන් ආයුධත් පිහිටි රටේ මිනිස්සුන්ට වැඳ පුදාගන්න වැඩම කරගෙන එන්න කියලා . පස්සේ දේවප්‍රතිරාජ මේ පිළිමයත් මහ රන් ආවුධත් දඹදෙණියට වැඩම කරවලා තැම්පත් කරලා තිබිලා තියෙනවා .


ඊට පස්සේ මහනුවර ආව රජකෙනෙක් තමයි මේ ප්‍රතිමාව නැවතත් අලුත්නුවර දේවාලයට වැඩම කරවලා තියෙන්නේ . ඊට පස්සේ ආයෙත් ආව රජකෙනෙක් තමයි මේ පිළිමය මහනුවර මහා දේවාලය , විෂ්ණු දේවාලයට වැඩම කරවලා තැම්පත් කරලා තියෙන්නේ . ඒත් පෘතුගීසි ප්‍රශ්න නිසා අවසානයේ තීරණය කරනවා මේ දේව ප්‍රතිමාව පරෙස්සම් කිරීම වෙනුවෙන් දඹුල්ලට වැඩම කරවන්න . පැහැදිළි සාක්ෂි නැති වුණත් මේ කතාව සහ මගේ පවුලේ අතීත කතාවේ යම් සමානාත්ම බවක් තියෙන නිසා මම විශ්වාස කරනවා දඹුල්ලේ වැඩ ඉන්නේ නියම උපුල්වන් දෙව් ප්‍රතිමාව කියලා .


කොයි ප්‍රතිමාවට වැඳුම් පිදුම් කලත් ඒවා කැපවෙන්නේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් තමයි . ඒත් නියම දේව රූපය වැඩ ඉන්නේ දඹුල්ලේ කියලා මට විශ්වාසයක් තියෙනවා . ඉතිහාසය හදාරන කෙනෙක්ට මගේ මේ කතාව වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ සටහන තියන්න කල්පනා කලේ . ඒ නිසා අධ්‍යනය කරන කෙනෙක් මේ ගැන තවත් දුරට කරනවානම් අධ්‍යනය කරලා බලන්න . මගේත් තියෙන්නේ විශ්වාසයක් විතරයි . ඒක මට පෞද්ගලික එකක් මිසක් පොදු විශ්වාසයක් නෙවෙයි . ඒ නිසා මේ ගැන හොයන්න කැමති කෙනෙක් හොයලා බලන්න . ඒ වගේම මම කියන්න කැමතියි  මම මේ සම්බන්ධව කියන්න දන්නේ මෙච්චරයි කියලා . මොකද නැත්නම් පස්සේ ප්‍රශ්න කෝටියකට පිළිතුරු දෙන්න වෙනවා මට .


සමන් දෙවියන් ගැන වගේම උපුල්වන් දෙවියන් ගැනත් මම ලියන්න දැන් කරුණු කාරනා සූදානම් කරගෙනයි ඉන්නේ . මේ ඒ වෙනුවෙන් තියපු පළමු පියවර විතරයි . ඉදිරියේදී අපි ඒ ගැන කතා කරමු .




එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Friday, September 9, 2016

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ ?




කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකේ ලිපියක් ලියන්න වෙලාවක් හොයාගත්තේ . ඒකත් එක දිගට ලියලා ඉවර කරන්න උනේ නැහැ . කොටස් කොටස් තමයි ලියලා තිබ්බේ . දැන් ටිකක් වෙලාව අඩුවෙලා තියෙන්නේ . දන්නෝ දනිති ඒ ඇයි කියලා . නොදන්නෝ ඔය බ්ලොග් එකේ පහළට පහළට ගිහිල්ලා බැලුවනම් . 

ඉතින් මේ දවස්වල බලන්න ලැබුණු කේන්දර සටහන් එක්ක ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හිතෙනවා . සමහරු මැරී මැරී ජීවත් වෙනවා . සමහරු විඳවනවා . විහින් කරගත්ත දේවල් , ඉබේ වෙච්ච දේවල් හැමදේම 
අච්චාරුවක් වගේ කරගෙන විඳවනවා . ගොඩක් දෙනෙක්ට මම ජීවත් වෙන්න ඕන මෙනන් මෙහෙමයි කියලා ඒ අයගේ දෛවයේ ලියවිලා තියෙන හැටියට පුළුවන් තරම් වෙලා අරගෙන පැහැදිලි කරනවා . ඒත් සමහරු ඉන්නවා යතාර්ථය තේරුම් ගන්නේ නැති අය . ඒකට ඉතින් මොනවා කරන්නද ? . අද ලිපිය ලියන්න හේතු වුනේත් කේන්දර බලනකොට දැනගන්න ලැබුණු කතා ටිකක් නිසා හිතට හිතුනු දේවල් ටිකක් .

ආදරය , ප්‍රේමය , විවාහය කියන්නේ ගණුදෙනුවක් නෙවෙයි . කේන්දර ගැන විස්තර කරනකොට මම හැමවෙලේම කියන කතාවක් . ඒත් මට ලැබුණා ඒවගේ කෙනෙක් . එයා එහෙම නිසා මමත් එහෙම කරනවා . ඒ කෙනාගේ කටේ තිබුණේම ඒ කතාව . ගැහැණු කෙනෙක් . ඉතින් මම ඇහුවා එයා එහෙමයි කියලා ඔයත් එහෙම උනාම ළමයින්ට යන කලදසාව මොකක්ද කියලා . ඒත් එයා කියන්නෙම ඒ වුණාට එයා එහෙම නිසා මමත් එහෙමයි කියලා . මම ඊට පස්සේ ඇහුවා දැන් එයා එහෙම ගූ ගොඩක් කෑවොත් ඔයත් එහෙම ඒක එහෙමම කනවද කියලා . මේකද සම්බන්ධයක පරමාර්ථය ? .





ගොඩක්වෙලාවට සම්බන්ධතා වලදී වෙන්නේ එකට එක කිරීම නිසා හොඳ හිත පෑරීම . කෙනෙක් ඉවසනවා අනිත් කෙනා දිගටම ඒ දේවල් කරනවා . එහෙම උනාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ . පස්සේ ඉවසන කෙනා ගිණි කන්ද වගේ පුපුරන්න ගත්තම මොනවා වෙයිද දන්නේ නැහැ . හැම වෙලේම සමාව ගන්න කෙනා පුපුරන්න ගත්තම කොහොම පුපුරනවද කියලා හිතා ගන්න බැහැ .

ගොඩක් වෙලාවට ස්ත්‍රී පාර්ශවයේ තමයි මේ ගැටලුව තියෙන්නේ . සමහර ගෑණු ළමයිනේ මුළු ලෝකෙම තියෙන ඒවා තේරුම් ගන්න පුළුවන් . ඒත් කොල්ලා කියන පොඩි දේ තේරුම් ගන්න මොළයක් නැහැ . ඒ නිසාම පොඩි ප්‍රශ්නේ දික් ගස්සගෙන ඔන්න පටන් ගන්නවා අපි එහෙනම් මේක නවත්තමු . මම දීපු බර්ත්ඩේ කාඩ් වෙසක් කාඩ් ලියුම් මට ආයෙත් දෙන්න . ඔයා දීපුවත් මම දෙන්නම් කියලා . පිරිමි පාර්ශවයත් මෙහෙමම තමයි . ඒත් ගැහැණු පාර්ශවය ටිකක් වැඩියි කියලයි මට හිතෙන්නේ .

ඒත් හදිස්සි කෝපය නිසා එහෙම කරා කිව්වා වුණාට පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලට එහෙම වුණේ ඇයි කියලා . ඔයාට එහෙම කේන්ති ගියේ ඇයි කියලා . බොරුවක් නම් කරන්න දෙයක් නැහැ . කේන්තිය සාධාරණයි . ඒත් සාධාරණ හේතුවක් තියෙනවද නැත්ද කියලා හිතලා බලන්න . ඒවගේම හොයලා බලන්න . එතකොට පුළුවන් අනවශ්‍ය කරදර රණ්ඩු වීම් නවත්ත ගන්න . හැමවෙලේම එක්කෙනෙක් අනිත් කෙනාට සමාව දෙනවා කියන්නේ අනිත් කෙනාගේ නෝන්ජල් කම කියලා හිතාගෙන දිගින් දිගටම එකම දේ වෙනුවෙන් සටන් වැදීමත් ප්‍රශ්න ඇතිවෙන්න ලොකු හේතුවක් .

ඒත් එක්කම මතක තියාගන්න ඕන නයෙක් වුණාම අවශ්‍ය වෙලාවට පෙනය පුප්පන්න ඕන කියලා . එහෙම නැත්නම් මිනිස්සු ලැස්ති වෙනවා දරමිටි බඳින්න . ඔය එක්කම තමයි මට ඔය උඩින්ම තියෙන ෆොටෝ එක fb තියෙනවා දැක්කේ . අහංකාර කම නිසා තමයි ඔය ප්‍රශ්න ආවම අනිත් කෙනාට ඇහුම්කන් දෙන්නේ නැතුව තමන් හිතාගත්ත එකම හිතාගෙන උඩ පනින්නේ . සම්බන්ධතා නවතින්න හේතු වෙන්නෙත් අහංකාරකම කියලා තමයි මම හිතන්නේ . ඔන්න රණ්ඩුවෙලා තරහ වෙලා සම්බන්ධතා නවත්තනවා . ඒත් ඊට පස්සේ කාලයක් ගියාම තේරෙනවා අර නැතිකරගත්තා කෙනාගේ අගය .

එතකොට හොඳ හිත පෑරිලා ඉවරයි . ප්‍රශ්න ඇතිවෙලා ඉවරයි . සමහරවිට දෙන්නා වෙන් වෙලත් ඉවරයි . මම දන්න දෙන්නෙක් ඉන්නවා කලින් හොඳට ඉඳලා දැන් වෙන් වෙලා . දෙන්නා රහසේ කම් සැප වින්දා කියලත් ගොඩ දෙනෙක් දන්නවා . ඒත් කොල්ලගේ තියෙන අහංකාරකමයි කපටිකමයි නිසා කෙල්ල කොච්චර වැඳ වැටුනත් කොල්ලා ආයෙත් පරණ දේවල් අමතක කරලා ආයෙත් ලං වෙන්න උත්සාහ කලේ නැහැ . දැන් ඒ කෙල්ලගේ නැති වෙච්ච ජීවිතයට මොකද වෙන්නේ ? . ගමේ මිනිස්සු රටේ තොටේ මිනිස්සු කියන දේවල් වලට මොනවද වෙන්නේ ? .




සමාජයෙන් අපේ ඔලුවට දාන්නේ ඉන්න බැරිනම් වෙන් වෙන්න ඕන . කියන කතාව . ඒත් ප්‍රශ්නත් එක්ක වෙන් වෙනවට වඩා හොඳ නැත්ද ප්‍රශ්න විසඳගෙන සතුට හොයන එක . ගොඩක් වෙලාවට ෆේස් බුක් පිටුවල තියෙන සමහර දේවල් දැක්කම මමත් ශෙයා කරලා කල්පනා කරනවා කොච්චර දෙයක් මේ ෆොටෝ නිසා වෙනවද කියලා . අදකාලේ මනුස්සයෙක් හිතන හැටි වෙනස් කරන්න මේ fb පෝස්ට් එකක් ඇති . ඒ දේ ඔලුවේ තියාගෙන අන්තිමට සම්බන්ධතා නැතිකරගෙන ජීවිතයම විනාස කරගන්නවා .

රණ්ඩුවක් වෙන්නේ නැත්නම් සම්බන්ධයකින් වැඩක් නැහැ . කියන කතාව හැමවෙලේම තියෙනවා . ඒත් රණ්ඩු වෙන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද . අනිත් කෙනා කරන කියන දේට ආදරෙන් කතා කරලා තේරුම් කරලා දීලා වැඩේ ගොඩ දාගෙන හොඳ හිතත් තියාගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද . ඒ එයාලා , ඒත් මට එහෙම ඉන්න බැහැ කියලා හිතනවානම් අන්න ඒක තමයි උද්දච්චකම , ඕන කමක් තියෙනවනම් මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැ .

කෙල්ලෝ ගොඩක් වෙලාවට හිතන්නේ මට තනියම ඉන්න පුළුවන් . රස්සාව කරගෙන තනියම ඉන්නවා කියලා . ඒත් සමාජය ඒවගේ කෙල්ලෙක් දිහා බලන්නේ මොනවගේ කෝණයකින්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නැහැ . ඒවගේම තමයි පිරිමි දැනගන්නත් ඕන කෙල්ලන්ව වැරදියට පාවිච්චි කරන්නේ නැතිව අවසාන අරමුණ පැහැදිළි තත්ත්වයක තියාගෙන සම්බන්ධතා පටන් ගන්න .

කේන්දර බලන එකෙන් සහ මිනිස්සුන්ගේ ජීවිත කතා වලට ඇහුම්කන් දෙන එකෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා . මේ ලිව්වේ ඒ වගේ හිතුනු දේවල් ටිකක් . ඒ දේවල් එක්ක මෙන්න මේ ගීතය ගැළපෙනවා කියලා මට හිතෙනවා . ඉස්සෙල්ලම අහලා ඉන්නකෝ ගීතය .

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

සුළඟ සැරෙන් හමනා විට ගිනිදැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී

වෙරළේ රළ සැඩ වූවොත් ඔරු කඳ කනපිට පෙරලේවී
නිසල වුනොත් ඒ රළ පෙළ සුවසේ අප මෙගොඩ කරාවි

ගායනය - එඩ්වඩ් ජයකොඩි



සංගීතය - එච්. එම්. ජයවර්ධන



ගී පද - බන්ධුල නානායක්කාරවසම්






මේ ගීතයෙන් කියවෙන්නෙත් ඒ වගේ අදහසක් කියලයි මම හිතන්නේ . අපි බලමු ගීතය කියවල කොහොමද තියෙන්නේ කියලා .

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

කොල්ලා කෙල්ලගෙන් අහනවා ඔයාගේ හිතත් අකීකරුද කියලා . එතකොට ඉතින් කෙල්ල දෙනවා ඇති හොඳ උත්තරයක් . ඒ උත්තරයට පිළිතුරු වශයෙන් කොල්ලා කියනවා අකීකරුයි මගේ හිතත් හමනා සැඩ සුළඟක් වාගේ කියලා . ඒ කියන්නේ දෙන්නට දෙන්නා සෙකන්ඩ් වෙන්නේ නැහැ කියලා . ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ ඇදෙන්න කියලා කියන්නේ තමන් එක්ක ජීවිතය ගෙවන්න එක් වෙන්න කියලා කරන ආරාධනයක් කියලා තමයි මමනම් හිතන්නේ .

සුළඟ සැරෙන් හමනා විට ගිනිදැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී

මෙන්න මේ කතාව තමයි මට මේ ගීතයේ වැඩිපුරම පැහැදිලි කරන්න ඕන වුණේ . හයියෙන් හුළඟ හමනකොට තමයි ගින්දර වැඩි වැඩියෙන් පත්තු වෙන්නේ . ඒත් ඒ හුළඟම තමයි ගින්න නිවන්නත් හේතු වෙන්නේ . හුළඟ නැතිව පහනකට පත්තු වෙන්නත් බැහැ . පහන නිවන්නත් හුළඟ නැතුව බැහැ .

වෙරළේ රළ සැඩ වූවොත් ඔරු කඳ කනපිට පෙරලේවී
නිසල වුනොත් ඒ රළ පෙළ සුවසේ අප මෙගොඩ කරාවි

මුහුදේ ගමනක් යන්න ආරම්භ කරන්නේ වෙරළෙන් . ඒවගේම තමයි එකට ජීවත් වෙන්න විවාහ වෙන්න තියන ආරම්භය ගන්නේ සම්බන්ධතාවයකින් . මේ ගීතයේ අන්න ඒක විස්තර වෙලා තියෙනවා . වෙරළේ රළ පහර සැර වැඩියි නම් ඔරුව අනික් පැත්ත වුනත් පෙරළෙන්න පුළුවන් . ඒත් මුහුද නිසල වෙනවනම් ඒ ඔරුවට පුළුවන් සුවසේ අපව මෙගොඩ කරන්න .

මේ ගීතයේ පොදුවේ කියන්නේ පිරිමියෙක් තමන්ගේ ජීවිතය ගැන ගැහැණියකට කරන තේරුම් කිරීමක් කියලයි මම හිතන්නේ . තමන් මෙන්න මේ වගේ . ඔයත් ඔයාගේ ජීවිතය වගේ වෙනවනම් අපිට එකට ඉන්න අමාරුයි . ඒ නිසා ඔයා සහ මම දෙන්නාම ඉන්න ඕන අපි දෙන්නටම ගැළපෙන විදියට . එතකොට අපි දෙන්නටම එකට ජීවන ගමන අවබෝධයෙන් පැදගෙන යන්න පුළුවන් . අන්න ඒ කතාව තමයි ගීතයෙන් කියවෙන්නේ .

මේ ගීතයේ අතුරු වාදන පෙරවාදන වල තියෙන්නේ ටිකක් කැළඹීමක් වගේ දෙයක් අඟවන සංගීතයක් . සංසුන් බවක් ඒ සංගීතයේ මිශ්‍ර වෙලා නැහැ . ඒ නිසා මේ ගීතයේ පසුබිමත් එක්ක සංගීතය හොඳට ගැළපෙනවා .


කාලෙකට පස්සේ ගීතයක් ගැන ලොකුවට නැතත් පොඩියට හරි ලියන්න කල්පනා කරේ ගීතයක් ගැන ලියන්න කියලා ඉල්ලීම් කරලා තිබුණු නිසා . එහෙනම තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !