අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

මේ ලඟදි දවසක් මම කැම්පස් යන්න කියලා උදේම ලෑස්ති උනා . මමයි අපේ බෝඩිමේ ඉන්නේ මගේ බැච් එකේ අනිත් යාළුවයි සාමාන්‍යයෙන් උදේ හයහමාර...

" ශකාබ්දම් " කියන්නේ මොකක්ද ? ( ශක රාජ වර්ෂ ක්‍රමය )







මේ ලඟදි දවසක් මම කැම්පස් යන්න කියලා උදේම ලෑස්ති උනා . මමයි අපේ බෝඩිමේ ඉන්නේ මගේ බැච් එකේ අනිත් යාළුවයි සාමාන්‍යයෙන් උදේ හයහමාර විතර වෙනකොට කැම්පස් එකට යනවා . මොකද කැන්ටින් වල පෝලිම හැදුනට පස්සේ ඔය පෝලිම කිලෝමීටර් ගානක් දුරට තියෙනවා . ඕකේ හිටගෙන ඉන්න අපි කැමති නැහැ . ඒ නිසා උදේම ගිහින් කාලා බීලා ඔය කොහාටහරි වෙලා ඉඳලා ලෙක්චර්ස් පටන්ගන්න වෙලාවට ඒ පැත්තට යනවා . 

ඉතින් මේ දවසෙත් මම උදේම පිබිදී මුහුණට දිය දී කුල දෙවි නැමද බෝඩිම ඇමද කැම්පස් යන්න ලෑස්තිවෙනකොටම පහල ඇඳේ හිටපු සිංදුවගේ මල්ලිට බාගෙට වගේ ඇහැරිලා . නින්දෙන් වගේ මගෙන් ඇහුවා ශකාබ්දම් කියලා කියන්නේ මොකක්ද කියලා . මම හිතන්නේ ශක රජ්ජුරුවෝ හීනෙන් පෙනිලද කොහෙද . මම ඉතින් එවෙලේ හදිස්සියට කිව්වා ශකාබ්දම් කියලා කියන්නේ ශක රාජ වර්ෂ වලට කියලා . 





එදා ඒ බාගෙට දීපු උත්තරේ සම්පූර්ණ කරන්න තමයි මම අද මේ ලිපිය ලියන්නේ . ශක රාජ වර්ෂ ක්‍රමය ගොඩක් වෙලාවට ශ්‍රී ලාංකික අපිට අදාළ දෙයක් නෙවෙයි . මේ වර්ෂ ක්‍රමය ආවේ ඉන්දියාවෙන් . එක එක පොත්වල මේ ගැන විවිධ මත තියෙනවා . සමහර පොත්වල තියෙනවා ශක රාජ වංශයේ එක රජකෙනෙක් යුද්ධයක් දිනපු නිසා එයාව සිහිපත් වෙන්න එතන ඉඳලා ශකරාජ වර්ෂ පටන් ගත්තා කියලා . තව මතයක් තියෙනවා කනිෂ්ක රජතුමා රජ උනාට පස්සේ ශක රාජ වර්ෂ ක්‍රමය පටන් ගත්තා කියලා .

තවත් තැනක තියෙනවා ශක රාජ කියන රජතුමා මියගියාට පස්සේ එයා ජෝතිෂ්‍ය විද්‍යාවට කරපු සේවය නිසා එතන ඉඳලා වර්ෂ ගණනය කිරීමට ශක රාජ වර්ෂ කියලා නම් කරා කියලා . මේ මත ඔක්කොම එක්ක තමයි ශක රාජ වර්ෂ ක්‍රමය ඇතිවෙලා තියෙන්නේ . හැබැයි ඒ කෙසේ වෙතත් ශක රාජ වර්ෂ ගණනය කිරීම නම් පැහැදිළියි . ක්‍රිස්තුවර්ෂ ගණනින් 78ක් අඩු කරාට පස්සේ එනවා ශකරාජ වර්ෂය මොකක්ද කියලා . 





බුද්ධ වර්ෂ 
ක්‍රිස්තු වර්ෂ 
ක්‍රිස්තු පූර්ව 
ප්‍රහවාදී වර්ෂ

වගේ වර්ෂ මනින ක්‍රම වලින් එකක් තමයි මේ ශක රාජ වර්ෂ ක්‍රමය කියලා කියන්නේ . මේ වර්ෂ ක්‍රමය ඇතිවෙන්න හේතු වුණා කියලා ගොඩක් තැන්වල තියෙන කතාවක් මම මේ ලිපියත් එක්ක ඔයාලට කියන්නෙම් . ඒක ටිකක් අසාමාන්‍යයි වගේ කියලත් හිතෙනවා . ඒත් ඒ වගේ දෙයක් ඒ කාලේ වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා . 

මම කියවපු සමහර පොත්වල තියෙනවා රාවණා රජතුමාගේ කාලයේ දරුවන් බිහි කිරීමේදී එක එක බෙහෙත් වර්ග වලින් මේ දරුවන් අම්මගේ බඩේ ඉන්නකොටම එක එක දේවල් වලට විශේෂ හැකියාවන් ලබා දෙන්න වැඩ කටයුතු කරා කියලා . සමහර වෙලාවට අම්මට දෙන ඖෂධ වර්ග වලින් තමයි මේ දේ කරලා තියෙන්නේ . ගොඩක් වෙලාවට යෝධයින් වගේ අය උපද්දවා ගන්න ඕන උනාම ඒ වෙනුවෙන් නැකත් , හෝරා වගේ දේවල් බලලා ඒ වෙනුවෙන් අවශ්‍ය ඖෂධ වර්ග ලබා දීම වගේ දේවල් කරලා තියෙනවා . මේ ශක රාජ වර්ෂ ක්‍රමය ඇතිවෙන්නත් හේතුවෙලා තියෙන්නේ ඒ වගේ රසවත් සිදුවීමක් . 



මම මේ කියන සෘශි වරයාගේ නමක් සඳහන් වෙන්නේ නැහැ . ඒත් සමහර තැන් වල තියෙනවා ගෝතම පුත්‍ර ශකරාජ කියලා . ඒ කියන්නේ මේ ශකරාජයාගේ පියාගේ නම ගෝතම . මට සැකයක් තියෙනවා මේ ගෝතම සෘෂි වරයාද අර ශක්‍ර දේවේන්ද්‍රයාට ඇස් දාහක් ලැබෙන්න ශාප කරේ කියලා . කොහොමහරි ගෝතම කියලා සෘෂි කෙනෙක් තමයි මේ කතාවේ කතා නායකයා වෙන්නේ .

ඉන්දියාවේ හිටපු එක තරුණයෙක් ඒ කාලේ හැටියට ජෝතිෂ්‍ය විද්‍යාව ඉගෙනගෙන ඒ ශිල්පයේ පරතෙරටම ගිහින් ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියා . මෙයා විවාහක කෙනෙක් . හැබැයි සමහර වෙලාවට මෙයා භාවනා කරන්න වගේ දේවල් වලට හිමාලයට යනවා .  ඒ කාලේ සෘෂි වරුත් එහෙමනේ ඉඳලා තියෙන්නේ . විවාහ වෙලා ඉඳගෙන තමයි තමන්ගේ ධර්මය හෝ ශිල්පය වැඩි දියුණු කරගෙන තියෙන්නේ . මේ තරුණයත් හිමාලයට ගියා ටික කාලයකට . ඒ ගිහින් එයා තරු රටා නැකත් වගේ දේවල් එක්ක පරීක්ෂා කරා ඉන්දියාවට අග රජ වෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්න පුළුවන් නැකතක් , ශුභ වෙලාවක් තියෙනවද කියලා . සියුම් ක්‍රම වලින් කොහොමහරි එයා ඒ වේලාව හොයාගත්ත . හැබැයි ඒ වේලාව දීලා තිබුණේ ඊට දින කීපයකට පස්සේ . ඒ වෙලාවටම ස්ත්‍රියක් සමග එක් වීමෙන් හටගන්නා දරුවා තමයි මෙහෙම ඉන්දියාවටම අග රජ වෙනවා කියලා එයා හොයාගත්තේ . 

මෙයාට ආශාවක් ඇතිවෙනවා ඒ දරුවාගේ , එහෙමත් නැත්නම් ඒ අගරජුගේ පියා වෙන්න . පස්සේ මෙයා හිමාලයේ ඉඳලා ඉක්මනට ඉක්මනට එනවා තමන්ගේ බිරිඳ ඉන්න ගමට මේ දරුවාගෙ තාත්තා වීමේ බලාපොරොත්තුවෙන් . ඒත් එයාට කාලය මදි වෙනවා . නැකත් වෙලාවා ආසන්න වෙනවා . පස්සේ මෙයා කරන්නේ ඒ අසල පිහිටලා තියෙන නිවසකට යන එක . 

පස්සේ මෙයා ඒ නිවසේ වැඩිහිටියෝ එක්ක මේ ගැන කතා කරනවා . එයා සේරම විස්තරේ කියලා තමා කවුද කියලත් හඳුන්වලා දෙනවා . ඒ දුන්නට පස්සේ ගෙදර අය මෙයාගේ දක්ෂතාවය සහ ඥානය ගැන පැහැදිලා මේ ගෙදර හිටපු අවිවාහක තරුණ දියණිය මේ තරුණයට දෙනවා ඒ අවශ්‍ය කාර්යය ඉටු කරගන්න . පස්සේ හෝරා කීපයකින් ලබපු ඒ නැකතින් ඒ තරුණයා අර ගෙදර හිටපු තරුණිය එක්ක සිදුවන එකතු වීමකින් ඒ තරුණියගේ කුසේ දරු ගැබක් ඇතිවෙනවා . 

නිසි කාලයේදී මේ තරුණිය දරුවා බිහි කරනවා . දරුවට නම තිබ්බේ " ශක " කියලා . මේ දරුවා දැකපු බමුණු පඬිවරු පවා අනාවැකි කියලා තිබුණා මේ දරුවා මුළුමහත් දඹදිවටම අගරජු වෙනවා කියලා . ඒත් හැබැයි ඒ හරි පාරෙන් නෙවෙයි . උපායශීලීව තමයි . කොහොමහරි උපායශීලීව මේ දරුවා නිසි වයස එළඹුනාට පස්සේ ඉන්දියාවේ අගරජු බවට පත් වෙනවා . ඒ වගේම ඔහු තමන්ගේ පියා තරමටම ජෝතිෂ්‍ය විද්‍යාවේ ප්‍රවීනයෙක් වෙනවා . 





ඉන්දියාවේ එවකට තිබුණු ජෝතිෂ්‍ය විද්‍යාව දියුණු කරන්න . පොත් පත් ලියන්න මේ රජතුමා අනුග්‍රහය දක්වනවා . මේ රජතුමාගෙන් තමයි ශකරාජ කියන වර්ෂ ක්‍රමය ආරම්භ උනා කියලා කියන්නේ . මේ රජතුමාගේ කාලයේ තමයි වාරාහමීර පාරාෂර ධනවන්තරී වගේ සෘෂිවරු ඉඳලා තියෙන්නේ . මේ රජතුමා මියගියාට පස්සේ ජෝතිෂ්‍ය විද්‍යාව පිළිබඳව තීන්දු තීරණ ගත්ත සෘෂිවරු තීරණය කරා මේ රජතුමාගේ නමින් වර්ෂ ක්‍රමයක් ආරම්භ කරන්න . ක්‍රිස්තුවර්ෂ 78 දී තමයි මේ රජතුමා මියගිහින් තියෙන්නේ . ඉතින් එදා ඉඳලා ශකරාජ වර්ෂ ක්‍රමය ඇතිවෙලා තියෙනවා . මීට වඩා වෙනස් කතාත් තියෙනවා . ඒත් මේ කතාව තමයි ටිකක් ගතියට තියෙන්නේ . ඒ නිසා මම ඔන්න ඒ කතාව ඔයාලට අරගෙන ආවා . 

මේ කතාව කියවනකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ දේවල් වෙන්න බැහැ නේද කියලා . මොකද නැකත යෙදීමයි ඒ තරුණියගේ සරු කාලයයි එකටම යෙදිලා තියෙන්නේ කොහොමද කියලා . ඒත් වෙලා තියෙන්නේ එහෙම තමයි . 

අපි දැන් මේ ගත කරන්නේ 2016 - 78 = 1938 කියන ශකරාජ වර්ෂය . 

එහෙනම් තවත් ලිපියක් අරගෙන ආයෙත් එන්නම් . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ දැනුවත් කිරීමක් විතරයි . ඒ නිසා අඳබාල අවිචාරවත් කමෙන්ට්ස් නොදානවානම් හොඳයි කියලා මම විශ්වාස කරනවා . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

5 comments:

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.