අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

කාලෙකට පස්සේ තමයි ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවේ ලියන්න කියලා . මේ දවස්වල ඉතින් දන්නවනේ මොකද උනේ කියලා . සිංදුවා ගස් බන්දන්න අපිත් එහෙන් ...

දෛවඥකාමධෙනු






කාලෙකට පස්සේ තමයි ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවේ ලියන්න කියලා . මේ දවස්වල ඉතින් දන්නවනේ මොකද උනේ කියලා . සිංදුවා ගස් බන්දන්න අපිත් එහෙන් මෙහෙන් ඔය පොඩි පොඩි වැඩ කෑලි ටිකක් කරලා දීලා උදවු පදවූ කරා . ඒ නිසා ඉතින් වෙලාවක් තිබුණෙත් නැහැ ලියන්න කියලා . සිංදුවගෙ මංගල්ලෙට පස්සේ හාහාපුරා කියලා ආයෙත් බ්ලොග් එක ලියන්න සැරසෙන්නේ පොතක් ගැන . පොතේ නම දැන් ඉතින් දන්නවනේ . දෛවඥකාමධෙනු තමයි ඔය පොතේ නම .

සාමාන්‍යපෙළ ලියන කාලේ මම දැනට වඩා ගොඩක් පොත් එක්ක ජීවත් උනා . අපේ ගමේ මහගෙදර විකුණලා එහෙ තිබ්බ පොත් සේරම රත්නපුරේ අරගෙන ආවාට පස්සේ මම ඉතින් කලේ ඔය එක එක පොත් කියවපු එක . ඒ පොත්වල වැඩිපුරම තිබුණේ ඉතිහාසය පොත් . ලංකාවේ ඉතිහාසය රුසියන් ඉතිහාසය ප්‍රංශ ඉතිහාසය වගේ විෂයන් තමයි තිබුණේ . ඔය අතරේ නැකත් ශාස්ත්‍රයට අදාළ පොත් කීපයකුත් තිබුණා . ඉතින් මේ ඉතිහාස පොත් කියවන්න පුරුදු උනාට පස්සේ මම තව තවත් ඉතිහාස පොත් කියවන්න පටන් ගත්තා .

ඒ කාලේ වෙනකොට මම 10 වසරේ හිටියේ . මම අතිරේක විෂයන් අතරට ඉතිහාසය විෂයත් තෝරාගත්තා . ඒ මට අනුරාධපුර පොළොන්නරු යුගයන් එච්චර අමාරු උනේ නැහැ . එත් එතනින් එහාට අවුල් ජාලාවක් වෙච්ච ලංකාවේ ඉතිහාසය මතක තියාගන්න ඉගෙනගන්න මමගාව තිබ්බ පොත්පත් මදි නිසා මම පොත් සල්පිලකට ගිය වෙලාවක ලංකාවේ අමරණීය ඉතිහාස යුග හතරක් කියලා පොතක් මිලදී ගත්තා . ඔන්න ඔය පොත තමයි මම මේ දෛවඥකාමධෙනු කියන ග්‍රන්ථය ගැන කුතුහලයක් ඇතිකරන්න මූලික අඩිතාලම දැම්මේ .

මේ පොතේ දඹදෙණි යුගය ගැන ලියවිලා තිබුණු පරිච්ඡේදයේ තිබුණා ඒ කාලයේ ලියවුණු ඉතාමත් වැදගත් පොත්පත් ගැන . මේ පොත්පත් අතරින් දෛවඥකාමධෙනු කියන පොතේ නම මගේ මතකයේ තදින්ම රැඳුනා . ඔහොම කාලයක් ගතවෙනකොට දවසක් ටීවී එකේ තිබුණ ජෝතිෂ්‍ය වැඩසටහනක මේ පොත ගැන තරමක් දුරට විස්තර කෙරුණා .

ඔතනින් තමයි මට මේ පොත හොයාගන්න ලොකු උවමනාවක් ඇතිවුණේ . ඒ කාලේ වෙනකොටත් ජෝතිෂ්‍ය විද්‍යාව ගැන තරමක් දුරට ඉගෙනගෙන හිටියට මොකද මම දැනගෙන හිටියේ නැහැ දෛවඥකාමධෙනු කියන පොත ජෝතිෂ්‍ය ගැන ලියවිලා තියෙන පොතක් කියලා . ඊට පස්සේ ඉඳලා මම මේ පොත හොයන්න පටන් ගත්තා . සරසවිය , ගුණසේන වගේ පොත් කඩවල් වලට යන්න ලැබුණු හැම වෙලාවකම වගේ මම ඇවිදපු පොත් රාක්ක අතරේ මේ පොතත් තියෙනවද කියලා මම විටින් විට බැලුවා . ඒත් ලැබුණේ නැහැ .

ඔහොම කාලය ගෙවිලා ගිහිල්ලා මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ප්‍රධාන පුස්තකාලයේ පොත් අතරෙත් මේ පොත හෙව්වා . අන්තිමට මට අවුරුද්දකට විතර පස්සේ පොත හොයාගන්න ලැබුණා . ඒත් ඉතින් ඒක මගේ සන්තකයේ නෙවෙයිනේ තියෙන්නේ . ඒ නිසා නිවීහැනහිල්ලේ කියවන්න විදියක් නැහැ . මම ප්‍රතිපත්තියක් විදියට පුස්තකාලයෙන් පොත් බැහැරට අරගෙන ඇවිත් කියවන්නේ නැහැ .

මට ඕන නම් පොත එක්කෝ පුස්තකාලයේ ඇතුළේදීම කියවනවා නැත්නම් කඩෙන් අරගෙන කියවනවා .  ඒ නිසා මම කල්පනා කරා මේ පොත කඩෙත් විකුණන්නේ නැත්නම් පුස්තකාලෙන් ගන්නත් විදියක් නැත්නම් මොකද කරන්නේ කියලා . මම හිටියේ මේක ෆොටෝකොපි කරන්න . ඒත් පස්සේ සිංදු මල්ලි මට උපන්දින තෑග්ගක් විදියට දෛවඥකාමධෙනු කියන පොත තෑගී කරා . මෙච්චර කල් ප්‍රින්ට් එකට නොදා තිබුණු පොත නුගේගොඩ මොඩන් පොත් සමාගම විසින් මේ අවුරුද්දේ ආයෙත් මුද්‍රණය කරලා තිබුණා .

ජීවිතයේ මට ලැබුණු වටිනාම දේවල් අතරින් එකක් තමයි ඒ පොත . මොකද කොච්චර ජෝතිෂ්‍ය පොත් කියවලා ඉගෙනගෙන තිබුණත් මේ පොතෙන් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා . මම හිතන්නේ නැහැ ඒ දේවල් ඉගෙනගෙන ඉවරයක් කරන්න ලැබෙයි කියලා . ඒත් බොරුවෙන් වැහිලා තියෙන ජෝතිෂ්‍ය විද්‍යාව ඒ බොරුවෙන් මුදවා ගන්න පුළුවන් තරම් ඉගෙනගන්න තමයි හිතාගෙන ඉන්නේ . පොතේ පිටකවරයේ ෆොටෝ එකක් මම fb දැම්මට පස්සේ කීප දෙනෙක් පොතේ නම විතරක් කියවලා නුහුරට යන කමෙන්ට්ස් ටිකක් දාලා තිබුණා . ඒ නිසාම තමයි මේ පොත ගැන මම ලියන්න කල්පනා කරේ .

මේ පොත ලියලා තියෙන්නේ අනවමදර්ශී කියලා සංඝරාජ නායක හාමුදුරු කෙනෙක් . එතුමා වැඩ ඉඳලා තියෙන්නේ දඹදෙණි යුගයේ පස්වෙනි බුවනෙකබාහු සහ දෙවෙනි පරාක්‍රමබාහු කියන රජවරුන්ගේ කාල වලදී . දේවපතිරාජ සෙනෙවිතුමා හදවපු අත්තනගල්ල පතිරාජ පිරිවෙනේ තමයි මුන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ . මුන් වහන්සේ ගැන වැඩි විස්තරයක් සඳහන් වෙන්නේ නැහැ . එත් මුන් වහන්සේ බ්‍රාහ්මණවංශික නාහිමි කෙනෙක් කියලා කියනවා .

ඔයාල සිරිපැරකුම් චිත්‍රපටිය බැලුවනම් ඒකෙ ඉන්න සංඝරාජ චරිතය තමයි මේ පොත ලියලා තියෙන්නේ . ඒකෙ තියෙන දේවපතිරාජ කියන චරිතය තමයි මේ පොත ලියන්න අනුග්‍රහය දක්වලා තියෙන්නේ . ඉතිහාසගත වාර්තා අනුව සලකලා බලනකොට දෛවඥකාමධෙනු කියන මේ පොතයි සිදත් සඟරාව කියන සිංහලේ මහා ව්‍යාකරණ පොතයි දෙකම ලියවිලා තියෙන්නේ එකම යුගයේ . ඒ කියන්නේ මේ සංඝරාජ නාහිමියන් අතින් තමයි මේ පොත් දෙක ලියවිලා තියෙන්නේ . ඒ නිසා මුන්වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා තමයි මම නම් හිතන්නේ . මුන්වහන්සේ තව ලියල තියෙනවා පරෝපකාර ගණිතය කියලා පොතකුත් . ඒ පොත ගැන වැඩි විස්තරයක් ලැබුණේ නැහැ . දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න ඒ ගැන .

දෛවඥකාමධෙනු පොත ලංකාවේ විතරක් නෙවෙයි මහා සෘෂිවරු හිටපු ඉන්දියාවේ පවා ඉතාමත් ගෞරවයට පත්වෙච්ච පොතක් . මොකද මේ පොතේ හැම ජෝතිෂ්‍ය කරුණක්ම පාහේ සටහන් වෙලා විස්තර කරලා තියෙන නිසා . මේ පොතේ මෙන්න මේ පහළින් තියෙන කාණ්ඩ හරහා තමයි ජෝතිෂ්‍ය විද්‍යාව ගැන විස්තර කරලා තියෙන්නේ .


මුලින්ම තියෙන්නේ චරිත ප්‍රකරණය . මේ කොටසින් කරන්නේ එක එක ග්‍රහයන්ගේ චරිත ගැන විස්තර කරන එක .
දෙවෙනි කොටස ආදේශ ප්‍රකරණය . මේ කොටසින් කරන්නේ ගොඩක් වෙලාවට ඵලාපල කියන්න අවශ්‍යවෙන දේවල් ගැන විස්තර කරන එක .
තුන්වෙනි කොටස මංගල්‍ය විධාන ප්‍රකරණය . මේ කොටසින් කරන්නේ නැකත් යෝග වගේ දේවල් ගැන විස්තර කරන එක .

ඔය කොටස් තුන යටතේ තවත් උප මාතෘකා රාශියක් අනුව මේ පොත දීර්ඝව ලියවිලා තියෙනවා . සම්පූර්ණ පොත ශ්ලෝක 2614 කින් සමන්විත වෙනවා . එක ශ්ලෝකයක් රුපියලක විතර මිලක් වෙනවා පොතේ මිල එක්ක සසඳලා බැලුවම . පිටු 750කට ආසන්න ප්‍රමාණයක් පොතේ තියෙනවා . ජෝතිෂ්‍ය කරුණු රාශියක් ඒ අතරේ අන්තර්ගත වෙලා තියෙනවා . ඒ හැම දේම මේ ලිපියෙන් මම විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ .

ටික ටික ඉගෙනගන්න ගමන් ඔයාලටත් කියවන්න දැනගන්න ලිහිල් බසින් ලියලා ජවුතිස්ස කියන කැටගරිය යටතේ ලියන්නම් . පොත කියවන්න කැමති කෙනෙක් ඉතින් අරගෙන කියවලා බලන්න . ඒත් මෙච්චර මිලක් ගෙවලා පොත අරගත්තට ජෝතිෂ්‍ය ගැන දැනුමක් නැති කෙනෙක්ට නම් කියවලා තේරුම් ගන්න නම් පුළුවන් වෙන එකක් නැහැ . ඒ නිසා ජෝතිෂ්‍ය ඉගෙනගෙන මේ පොතත් කියවලා බලන්න .

නම විතරක් කියවලා පොත් වලට අපහාස කරන්න එපා කියන එකත් මතක තියාගන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

9 comments:

  1. අන්න ඒක හරි.... නම විතරක් කියවලා පොත් වලට අපහාස කරන එක වැරදියි. නමෙන් හැමදෙම කියවෙන්නෙ නෑනේ.......... ඔය සීන් එක දැක්කා දැක්කා වගේ මතකයි බුකියේ.........

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් . මම එක පාරක් නෙවෙයි . මේ පොතේ පිටකවරේ දෙපාරක්ම fb දැම්මා . දෙපාරම උනේ එකම දේ තමයි .
      :( :(
      බොහොම ස්තූති g-)

      Delete
  2. නම විතරක් කියවල පොත් ගැන කමෙන්ට් කරන්නේ පොත් කියවන අය නෙමෙයි "පොත් බලන" අය...

    ReplyDelete
    Replies
    1. ඒකනම් සිරා කතාව . කවදාවත් පොතක පිටකාරයක් බලලා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හිතාගන්න බෑ . මිනිස්සුන්ව පිටින් බලලා මනින්න බෑ වගේ තමයි පොත් පිටින් බලලා මනින්නත් බෑ . :)

      Delete
  3. ස්ක්‍රොල් කරලා පල්ලෙහාට ආවම නම පෙනෙන්නේ නෑ මචෝ. ඒ නිසා උඹ සාත්තර මුදලාලි වැඩේ කරගනින් අපිට කරදර නොකර

    ReplyDelete
  4. macho mata ubath ekka katha karala ahanna dena anna deyak tiyenawa///// mama dubai inne,,,, ubata puluwannam mata wasapp message ekak dapan 00971527227490 or email rigga1382000@yahoo.com

    ReplyDelete
    Replies
    1. මගේ ෆේස්බුක් එකවුන්ට් එක මේ සයිට් එකෙන් ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන් . නැත්නම් මෙතනම කියන්න . ඔයාට උදව්වක් කරන්න විදියක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ ඔයා ඔය අහන හැටියට .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.