Thursday, July 14, 2016

මංදුවට සිඩක් අදින් අවසන් ( ශ්‍රී සුභ මංගලම් සිංදුවෝ )







ඔන්න ඉතින් එදා සිංදුව සිංදුවතී ලවු කතාව ගෙදරට මාට්ටු උනාට පස්සේ සිංදුව යදමින් බැඳ විලංගු දාලා හිර කරලා තිබුණා කාලයක් . පස්සේ සිංදුවා ඉස්සෙල්ලම කරේ වත්තට ගියපු එක . ඒ වත්තේ තියෙනවා එක එක ජාතියේ මල් . ඒවායින් එක මලක් කඩාගත්තා . ඒ මල සිංදුඅම්මාගේ අතට දීලා වැඳලා කරට ගත්ත සිංදුවතී පැත්තකින් තියලා පොත් ටික අතට ගත්තා . මේ පොත් ටිකත් අරන් පාසැල් ගියපු සිංදුවා අකුරු ලියලා අවසානයේ ජයක් ලබාගත්තා .

පස්සේ විස්ස විජ්ජාලෙට ඇතුළු වෙච්ච සිංදුවා තමන්ගේ උපාධිය අවසන් කරලා හොඳ ජොබ් එකකුත් හොයාගෙන දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරගෙන වාසය කරමින් හිටියා . මොන දේ උනත් වතී එක්ක තිබ්බ ලවු එක දිගටම පැවතුනා . අවසානයේ ඔන්න ගින්න ආයෙත් පත්තු උනා . පත්තු උනා කිව්වට පිංවතුනි පත්තු උනාම නෙවෙයි . පත්තු කරා .

ඕක පත්තු වෙච්ච කාලේ සිංදුවා සහ සිංදුවතී බයේ සහ ලැජ්ජාවේ ඇඹරි ඇඹරි ඉන්නවා දැක්කම අපිට තියෙන ෆන් එක මෙතෙකැයි කියන්නට බැහැ පිංවතුනි . කොහොමින් කොහොමහරි ඔන්න සිංදුවාත් වතීගේ ගෙදර උදවිය දකින්න බැහැ දකින්න බැහැ කිය කියා ඉඳලා මල මගුල ශ්‍රී සුභ මංගලම් කරගන්න ඕන නිසා වතීගේ ගෙදර අය බැහැ දකින්න ඕන කියලා පුල් පේඩ් කරපු කේක් ගෙඩියකුත් අරගෙන සැදැහැසිතින් හිස මත හොවාගෙන උඩට පාවාඩ පයට උඩු වියන් බඳවා ඔලුවෙන් හිටගෙන ගියා වතීලගේ ගෙදර .

පස්සේ ඉතින් සිංදුවගෙ ගෙදර උදවියත් ආවා වතීව බලන්න . වතීලගේ ගෙදර උදවියත් ආවා සිංදුවගෙ ගෙදර . හනේ සිංදුවා හිටියේ හරියට දහයට ගනින්න බැරි ගානට . දෑත් ලංකොට බිම බලාගෙන තමයි ඒ දවස්වල සිංදුවා ඇවිද්දේ . මූණ උස්සලා බලලා කාත් එක්කවත් කතා කරන්නේ නැහැ ඒ දවස්වල . සිංදුවා වතීලගේ නෑයොන්ට කකුල් දෙකෙන්ම දණගහල නළල හත් වතාව පොලවේ ස්පර්ෂ කරලා වන්දනා කරා . ඉතින් ඔන්න දැන් වැඩේ හරි . තීන්දුයි ස්ථීරයි ජයමංගලානී .

ඔහොමයි සිංදුවගෙ සහ සිංදුවතීගේ ආදර කතාව . මෙච්චර කාලයක් තිස්සේ මඩ ගහගෙන මඩ ගහගෙන ඇවිත් වයලීනෝ කල්පනා කරා මංදුවට සිඩක් කතා මාලාවත් මෙතනින් සමාප්ත කරන්න දැන් කාලය හරි කියලා . කොහොමත් ලියන්න ගත්ත කාලෙම මේ කතාව මේ දවසේ නවත්තනවා කියලා සැලසුම් කරගෙන තමයි ලියන්න පටන් ගත්තේ . ඒ මොකද කියලා දන්නෝ දනිති . නොදන්නෝ මේ ලිපිය කියවා දැන ගනිත්වා .






අවුරුදු එකොළහක පාසැල් ප්‍රේම කතාවක් ලියාගෙන ලියාගෙන ලියාගෙන ආව සිංදුවා සහ සිංදුවතී වෙන වෙනම පැදගෙන ආව ගොන් කරත්ත ආ නෑ නෑ ජීවන ගමන් , අද ඉඳලා ( 14 . 07 . 2016 ) එකට පැදගෙන යන්න කියලා ලොකු බලාපොරොත්තුවක් හිතේ රඳවාගෙන දෙමවුපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාද මධ්‍යයේ ,

එදා සිදුහත් කුමරු මවු කුසින් නික්ම මහා බ්‍රහ්මයාගේ ශ්‍රී හස්ථයට ඉපදී මහපොළවට උතුම් ශ්‍රී පාද පද්මය තැබුවා යැයි පිළිගැනෙන " විසා " නැකත යෙදී තිබෙන අද දින උදෑසන 10 22ට උදාවන සුබ මොහොතින් යුගදිවියට සම්ප්‍රාප්ත වෙනවා .

පාසැල් ප්‍රේම කතා ආරම්භ වෙනවා වගේම ඒවායේ අවසානයකුත් පාසලේම තියෙනවා කියලා තමයි ගොඩක් දෙනා කියන්නේ . 95% ක්ම වෙන්නේ පාසැල් ප්‍රේම කතා පාසලත් එක්කම ඉවරවෙලා යන එක . මේකෙදී මමනම් දකින්නේ ඒ බැඳීම් අතරමග නතරවෙලා යන්නේ දෙන්නටම ඒ ඒ කාල වලට පරිසරයන්ට වගේම ජීවන තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව අඩුවීම නිසා කියලා . අනික තමයි නොගැළපීම් ගැළපීම් කරගන්න දෙන්නාගේ තියෙන ඉදිරිපත්වීමේ හැකියාව . ඔයවගේ ඒවා නිසා අන්තිමට පාසැල් ප්‍රේම කතා නතරවෙලා යනවා . ඒත් සිංදුවා සිංදුවතී ආදර කතාව අවුරුදු එකොළහක් තිස්සේ කොහොම කොහොමහරි ගලාගෙන ආවා .

ඔය ගලා ඒමට අතරමග නතර වීම් , බාධක හමුවීම් , නිසල වීම් වගේ දේවල් මුණනොගැහුනාමයි කියලා කියන්නත් බැහැ . හිත් නොහොඳ වීම් මරාගැනීම් නොතිබුණාමයි කියන්නත් බැහැ . මරඟනනන් , අනංගන් මේ දෙන්නා අතරට එන්න උත්සාහ කලේ නෑමයි කියලා කියන්නත් බැහැ . ඒත් ඒ ඒ වෙලාවල්වලට දෙන්නගේ අවබෝධ කරගැනීමේ හැකියාව මත ඒ ප්‍රශ්න කාලයත් එක්කම විසඳිලා ගියා . ( අපි වගේ පුරෝහිතයෝ ඉන්නකොට ඉතින් කාටද මෙයාලා වරදින්නේ ) .

වයලගෙ කාමරේ ලියන මටත් කියවන ඔබටත් අද දවසේ කලයුතු යමක් තියෙනවා . ඒ ඔයාලට රස කර කර කියවන්න , මට නිදහසේ ලියන්න ඉඩ හසර සලසා දීපු සිංදුවගෙ යුග දිවියට සුබ පතන්න සහ ආශිර්වාද කරන්න . එහෙනම් අපි මෙහෙම ආශිර්වාද කරමු .







ශ්‍රී සුබ මංගලම් යනුකී හෙයින් , නෛක ලෝකෛක සමස්ථ පාපමල විද්වංසන කීර පූජිත සිසිරාමෘත ජිනවචන ශ්‍රී සද්ධම්මවර චක්‍රවර්ති අප අංගීරස ශ්‍රී සිද්දාර්ථ ගෞතම සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ සූවිසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුදු වෙන්ඩ යන ආත්මයේදී කිඹුල්වත් නම් පුර නුවර සුද්ධෝදන මහ රජ්ජුරුවන්ට ජාතව මහාමායා දේවීන් වහන්සේගේ කුස පිලිසිඳ දස එකඩ මස ගොසින් ලුම්බිණි නම් මගුල් සල් උයනේ දී මෑණියන් වහන්සේට කිසිඳු ආයාසයක් නොවන ලෙසට වෙසඟ මැදිදෙපොහෝදා කුජ දින විසා නැකතින් මහා බ්‍රහ්ම රාජයාණන්ගේ දොහොතෙහි තිබුණු රන් දැලට බිහිව දිනින් දින මෝරනා පූර්ණ චන්ද්‍රකලාපය මෙන් වැඩ සොළොස් හැවිරිදි වයස ලත් තැන යසෝදරා දේවීන් වහන්සේ කරකාර බඳීම්මැයි සිතා

ශක්‍රාති බ්‍රහ්මනයනේ උපුල්වන් මහේසෞ යනු කී හෙයින්

විෂ්ණු බ්‍රහ්ම මහේෂ්වර සුයාම සංතුෂ ආදී සියලු දෙවියෝ මේ මගුල් සක්වලට රැස්ව සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේ විවාහ මංගල්‍යය පිණිස මගුල් මණ්ඩපයක් කරම්හයි සිතා දිග දොළොස් පළල පසළොස් රියන් මගුල් මණ්ඩපයක් කරවා එරන් කොත් පිහිටුවා රත් නිල සුදු වස්ත්‍රාදියෙන් උඩුවියන් බඳවා පරසතු කඩුපුල් මදාරා ඇඹුල උපුල ඕළු නෙළුම් සපු නා පනා කොබෝලීල ඉද්ද පුලිද්ද සවුකෙන්ද ආදියෙන් මල් දම් පතුරුවා ධෘතරාෂ්ඨ විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් මහා දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේලා කඩුගත් ඇතිව සතරකොණ පිහිටුවා විස්මකර්ම දිවය පුත්‍රයා එරන් පෝරුවක් මවා මඟුල් මණ්ඩපය මධ්‍යයේ රන් රිදී මුතු මැණික් වෛදුර්ය ලෝහිතංක යනාදීන් පතුරුවා එරන් පෝරුව ඊ පිට තබා පට වස්ත්‍රයකින් වසා සිවු කොණ පූර්ණ ඝට මාරුක් මලින් සරසා රන් පහන් දල්වා අන්තාරික්ෂ විමානයෙහි වාසය කරන අංගාරික අසුරේන්ද්‍ර ශනි සෞම්‍ය අමර මන්ත්‍රී යන ආදී නවග්‍රහයින් නවදෙනා පිරිවරා එහි ආයුධ අටක් අටකොණ සිටුවා

මහා කාරුණිකෝ නාථෝ හිතාය සබ්බ පානිනං
පූරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මුත්තමං

යනාදීන් කියා සිද්දාර්ථ කුමරු හා යසෝදරා දේවීන් වහන්සේ රන් පෝරුව මත වඩා හිඳුවා දෙදෙවූ ලොවට අධිපති ශක්‍ර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ අහසට අතපොවා එරන් සළුවක් ගෙන යශෝදරා දේවීන් වහන්සේගේ සිහිනිඟ බඳවා හිස පටන් පාදාන්තය දක්වා සර්වාභරණයෙන් පළඳවා ඊශ්වර මහා රාජෝත්තමයාණන් වහන්සේ එරන් කරඬුවේ සඟවා තිබුණු දිව්‍ය පිරිත් හුය ගෙන කුමරුන්ගේ හා කුමරියගේ දෙසුලඟිලි බැඳ සහම්පතී නම් මහා බ්‍රහ්ම රාජයාණන් වහන්සේගේ එරන් කෙණ්ඩියෙන් පැන් ධාරා වත්කර ඔවුන් දෙදෙනා වහන්සේ අභිවෘද්ධියට පැමිණවූ සේක

ඒ ආනුභාව මහිමයෙන් අදත් මොවුන් දෙදෙනාට රන් රිදී මුතු මැණික් වෛදුර්ය ලෝහිතංක ශංඛ ශීලප්‍රවාලාද දසවිධ රත්නයෙන් ආඩ්යව රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහ දිවය සමූහයාගෙන් වන්නාවූ සර්ව උපද්‍රවයන් නිවාරණයකොට අශ්ටාතිරේක නවුති සංඛ්‍යාත ව්‍යාධීන් වංනාවූ සර්වෝපද්‍රවයන් ධූරීභූත කොට ත්‍රිවිධ රත්නයෙන්ද සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගෙන්ද පොළව මහී කාන්තාවුන් වහන්සේලාගෙන්ද නවග්‍රහ දිවය රාජෝත්තමයාණන් වහන්සේලාගෙන්ද දෙමාපියන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන් ගෙන්ද ආශිර්වාද වේවා !

කාල දේවල තපසු රජ මාලිගෙට වැඩි ජය මංගලම්
බාල රූබර කුමරු තපසුගෙ අතට වැඩි ජය මංගලම්
කෝල කේදර නොවී දෙපතුල සිරස පිට තැබූ මංගලම්
සීල පිවිතුරු බලෙන් වේවා සිංදුවට ජය මංගලම්

පුරා පස්වස පසුව දඹරුක මුලට වැඩි ජය මංගලම්
සරා ආසන කිරි මවුන් පිරිවරා වැඩ සිටි මංගලම්
දරා දෙපතුල් ගොතා ගුවනේ වැඩ සිටිය ජය මංගලම්
තිරා කලකට මෙතුන් බලයෙන් සිංදුවට ජය මංගලම්

වැද්ද සූරස මුනිඳු වැඩසිට සෙවන දුන් ජය මංගලම්
සුද්ද සුදසුන් නිරිඳු සහ සෙසු රජුන් කම කල මංගලම්
ඇද්ද මෙකුමරු පාපු විස්මය සියලු සත හට මංගලම්
බුද්ධ රත්නේ බලෙන් වේවා සිංදුවට ජය මංගලම්

නිම්ම නැති සංසාර දුක සිදුහත් කුමරු දැක සිත පෙමින්
දැම්ම යමු අපි මහන වීමට අසුන් ගෙනවයි කී තොසින්
මම්ම පනිමුව පවර මත්තෙන් තුරඟ සිතු ජය මංගලම්
ධම්ම රත්නේ බලෙන් වේවා සිංදුවට ජය මංගලම්

අංග පෙර දරු තුමා සිදුහත් එදා රෑ වැඩි සුබ ගමන්
තුංග ගිරි පවුරට උඩින් පැන වසවතුගෙ ඔද බිඳී තොසින්
තුංග අසුපිට හොවා තිස් යොදුනක් එයින් ගං තෙරට ලං
සංඝ රත්නේ බලෙන් වේවා සිංදුවට ජය මංගලම්

ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණා පසන්නා
ඒතේන සච්චේන ජයස්සු තුය්හං

ජය සිද්ධී ධනං ලාභං
සොත්ථි භාග්‍යං සුඛං බලං
සිරි ආයුච වණ්ණෝච
භෝගං වුද්ධීච යසවා
සත වස්සාච ආයුච
ජීව සිද්ධි භවන්තු තේ



එහෙනම් අයියේ අක්කේ ඔබ දෙපළ අදින් අරඹන යුග දිවිය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා !


13 comments :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Wishing the very best for Mr. & Mrs Sinduwa

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බොලා එකතු වෙලා ඒ අහිංසකයව අමාරුවෙ දමල නේද? :D

    එාහනම් ඉතිං, අලුත් යුවතිපතින්ට සුබ මංගලම් කියල අපිත් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ඉඳලා ඉඳලා ඇත්ත කතාවක් කිව්වා නේද :p

      Delete
  5. අද දින සුභ මොහොතින් අතිනත ගත් සිංදු අයියාට සහ එම මැතිනියට දරු සම්පතින් සපිරි සුභ අනාගතයක් පතනෙම් (කවද්ද අපේ වයලිනෝ අයියා කරකාර බදින්නේ)

    ReplyDelete
    Replies
    1. දැන්ම නෑ . අපි තවම මල් වගේ

      :-f :-f :-f :-f :-f :-f
      :-f :-f :-f :-f :-f :-f

      Delete
  6. සාර්ථක යුග දිවියකට ආසිරි පතනවා සිංදුවෝ ඔබ දෙපළට ..!

    ReplyDelete
  7. මේ මූනු පොතේ ඉන්න බ්ලොග් ලියන සින්දුවද?
    සුබ මංගලම්...
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  8. සිංදුවාටයි සිංදුවතීටයි සුභ පැතුම්.... :C
    වයලීනෝ, මීළගට ඔබේ වාරයයි ! y-)

    ReplyDelete
    Replies
    1. දැනම් නැතෝ...............................
      මට කලින් ලිස්ට් එකේ වෙන එකෙක් ඉන්නවා :p

      Delete
  9. සූට්ටක් විතර පරක්කු උනා............ කමක් නෑ............. “සිංදු අයියා සහ අක්කාගේ අනාගත යුග දිවිය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා“ යි ප්‍රාර්ථනා කරනවා................ වයලීනෝ, මීළගට ඔබේ වාරයයි ! (2)

    ReplyDelete
    Replies
    1. හා හා මීළඟට මගේ වාරයයි තමයි

      =D>=D>=D>=D>

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.