Tuesday, April 19, 2016

අපේ හිතට වැඩපන් දෙයියෝ









මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ්‍රී සම්බුද්ධ ශාසනේ

නිලුපුල් වණින් අරා හිඳ රන් ගුරුළු වාහනේ
මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ
වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සතතපාසනේ
සුරිඳුගේ නමට භාරයි ජාතියේ ජීවනේ

සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝදනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා
කරුණාව සිත අරා දස පාරමී දම් පුරා
බුදුවන්න දෙවිඳුනේ කෙලෙසුන් නසා ලොවුතුරා

ගායනය :- අල්හාජ් මොහිදීන් බෙග්

විද්‍යාව සහ අවිද්‍යාව කියන දෙකේ සම්මිශ්‍රණයක් විදියට තියෙන අපේ ගෙදරට ආව ගිය ගොඩක් අයගේ කතා බහට ලක්වෙච්ච දෙයක් තමයි මේ ප්‍රතිමාව . ගෙවල්වල දේව රූප තියන්න හොඳ නැහැ , පහන් පත්තු කරන්න හොඳ නැහැ වගේ විවිධ කතා ඒ අතරේ තිබුණා . ඒත් අවුරුදු පහකටත් වැඩි කාලයක් මම හිතන්නේ මේ ප්‍රතිමාව අපේ ගෙදර තිබුණා . මේ ප්‍රතිමාව අපේ ගෙදරට ගෙනාවේ එක්තරා අවුරුද්දක මැයි මාසයේ 16 වැනිදා . එදා අපේ ගෙදර පොඩියට පාටියක් තිබුණා . ඒකට ආව අය තමයි මේ ප්‍රතිමාව ගේන්න ප්ලෑන් කරලා තිබුණේ . මොකද මේ ප්‍රතිමාවක් ගන්න ඕන කියලා ඒ කාලෙ මම කිය කිය හිටපු නිසා  . ඒත් ඒ අයට කලින් මුදල් ගෙවලා මේ ප්‍රතිමාව මම එදා මිලදී ගත්තා . පස්සේ කාලෙක මේ රූපයේ ඇස් වලට නළලට නිල් මැණික් පවා සවි කරන්න පුළුවන් උනා . 

හැමදාම රෑ දහයට ඔය පිළිමය ඉස්සරහා පහනක් පත්තු වෙනවා . ඒක සිරිතක් හැටියට ඉස්සර ඉඳලම කරගෙන ආවා . දෙවුන්දර දේවාලයට අපේ ගෙදර අයගේ තියෙන ගෞරවය වෙනුවෙන් තමයි ඒ පහන හැමදාම පත්තු කරන්නේ . සතියකට දෙකකට වතාවක් කහ වතුර දාලා මේ රූපය කවුරු හරි හෝදලා පිරිසිදු කරනවා . පන්සලක කෙරෙන වතාවත් වලටත් වඩා කැපවීමෙන් බුදුන් වෙනුවෙන් ගිලන්පස දානය මල් පහන් පූජා කිරීම වෙනවා වගේම මේ දේව ප්‍රතිමාවටත් අපේ ගෙදරින් ඒ වතාවත් හරියට කෙරුණා කියලා මට විශ්වාසයක් තියෙනවා . විද්‍යාත්මක ඔප්පු කිරීමක් කරන්න බැරි උනත් අපේ හිත්වල ඒ භක්තිය හැමදාටම තිබුණා .







මේ දේව ප්‍රතිමාව වටා ගෙතිච්ච කතා වලින් මට කවදාවත් අමතක වෙන්නේ නැති දේ තමයි කැම්පස් යන්න ගෙදරින් පිටවෙලා ගියපු දවසේ හවස මේ දේව රූපය තැම්පත් කරලා තිබුණු ආසනය කඩාගෙන වැටිලා දේව රූපයේ රැස් වළල්ලේ කොටසක් කැඩී ගියපු එක . ඊට පස්සේ ගෙදර ආව දවසේ මම ඉස්සෙල්ලම ගියේ දේව ප්‍රතිමාව තියෙන තැනට . මට මතකයි සිංදුවත් මේ කතාව ඇස් ගෙඩි ලොකු කරගෙන අහගෙන හිටියා .

අවුරුදු ගාණක් පහන පත්තු කරපු කෙනා වෙනස් වෙච්ච එකට දක්වපු ප්‍රතිචාරයක් විදියට තමයි ඒ කඩා වැටීම අන්තිමට සමහර අයගේ අතින් විග්‍රහ උනේ . ඒත් මම ආයෙත් ඒක තිබ්බ තැනම තැම්පත් කරා . අනිත් සිදුවීම තමයි අපේ ගෙදරට වතුර ගන්න අලුතෙන් ලිඳක් හාරන වෙලාවේ ඉස්සෙල්ලම අහුවෙච්ච උල්පතකින් ලිඳට පළවෙනි ජල පහර නිකුත් වෙනකොට මේ දේව රූපය තැම්පත් කරලා තියෙන තැනට විශාල නයෙක් ආපු වෙලාව . කළුපාට ලොකු නයෙක් මෙතනට ඇවිල්ලා තිබුණා . ඒකත් විශේෂ අවස්ථාවක් උනා .

කාලයත් එක්ක දේව ප්‍රතිමාව දුර්වර්ණ වෙලා පතුරු ගැලවිලා ඇස්වලට හයි කරලා තිබුණු නිල් මැණික් කැට ගැලවුණාට පස්සේ දේව ප්‍රතිමාව වෙනත් ප්‍රතිමාවකින් ප්‍රතිස්ථාපනය කරන්න තීරණය උනා . ඒත් පරණ ප්‍රතිමාවට මොකද කරන්නේ ? . ගෞරවාන්විත ඉවත් කිරීමක් වෙන්නත් ඕන නිසා අවසානයේ තීරණය කලේ සමන් දේවාලයේ බෝ මළුවේ මේ පිළිමය තැම්පත් කරන්න . අදට මාස තුනකට හතරකට කලින් මේ දේව ප්‍රතිමාව බෑග් එකේ දාගෙන අරගෙන ඇවිත් සමන් දේවාලයේ බෝ මළුවේ තැම්පත් කරලා එනකොට හිතට මොකක්දෝ අමුත්තක් දැනුනා . ආයෙත් දේව ප්‍රතිමාව දිහා හැරිලා බැලුවම ගෙදර අරගෙන ගිහින් පැත්තකින් තියලා තියනවා කියලා හිතුනට අනිත්‍යතාවය මෙනෙහි කරගෙන ඒක එතනම තියලා එන්න ආවා . 

අවුරුදු ගාණක් උදේ හවස ගෙදරින් යන එනකොට දකින්න ලැබුණු මේ දේව රූපයේ ශාන්ත බැල්ම එදායින් පස්සේ ආයෙත් දකින්න ලැබෙන්නේ නැති නිසා වෙන්නැති එහෙම දැනෙන්න ඇත්තේ . ඒත් තවමත් මේ දේව ප්‍රතිමාව සමන් දේවාලයේ බෝ මළුවෙන් ඉවත් කරලා නැහැ කවුරුවත් . දේවාලයට යන එන වාරයක් ගානේ මේ පිළිමය තවමත් තියෙනවද කියලා විපරම් කරලා බලන්න වයලීනෝ අමතක කරේ නැහැ . 

දේවාලයේ නෙවෙයි මිනිස්සුන්ගේ හදවතේ දෙවියෝ වැඩ ඉන්නවා කියලා කිව්වට අද කාලෙ හදවතේ දෙවියන් ඉන්න මිනිස්සු හොයාගන්න හරිම අමාරුයි . තමන්ගේ වාසිය , තමන්ගේ අවස්ථාව , තමන්ගේ මට්ටම රැකගන්න විතරයි මිනිස්සු උත්සාහ කරන්නේ . සමාජය ගැන , සමහර මිනිස්සු ගැන කලකිරෙන කාලයක හදවතක් නැති මේ දේව ප්‍රතිමාව විතරයි හදවතට දෙවියන්ට වඩින්න පාර පෙන්නුවේ . ඔයාලටත් මේ දේව ප්‍රතිමාව දකින්න ලැබුණොත් මතක් වෙයි මේ වයලීනොගේ දේව ප්‍රතිමාව නේද කියලා . එදාට තවත් දෙයක් මතක් කරගන්න . 

ලොකු ලොකු පූජාවට්ටි , මොණරු මිටි මිටි තියලා දේවාලවල ඉන්න දෙවියන්ගෙන් උදව් උපකාර ඉල්ලන්න කලින් දෙපාරක් හිතලා බලන්න තමන්ගේ හදවතෙත් දෙවියෙක් ඉන්නවද කියලා . හැගීම් බර නොවන , හැම දේකටම කඳුළු හලන්නේ නැති මිනිස්සුන්ගේ හිත්වල , කොයි වෙලෙත් හොටු පෙරාගත්ත නමට රොමැන්ටික් මිනිස්සුන්ගේ හදවත් වලට වඩා උතුම් දෙවි කෙනෙක් ඉන්න පුළුවන් . විශේෂයෙන්ම චීත්ත අඳින පිරිමි මේ හොටු පෙරාගත්ත නමට රොමැන්ටික් කියන කැටගරි එකට අයත් වෙනවා .

ඒවගේම තමයි හැම දේටම අඬන , හැමදේටම හැගීම්බර වෙන දෙවියෝ වගේ හොඳ මූණ පෙන්නගෙන ඉන්න අයගේ හිත්වල දෙවියන් නැති වෙන්නත් පුළුවන් . එතකොට හිතෙනවා පවුලේ අයත් එක්ක , බැඳීම් ඇතිකරගත්ත කීප දෙනාත් එක්ක තියෙන ගනු දෙනු විතරක් කරගෙන ගතකරන හුදකලා ජීවිතය කොච්චර උතුම්ද කියලා දහස් ගණන් මිනිස්සු වටකරගෙන ජීවත් වෙන සංකීර්ණ ජීවිත වලට වඩා . 

මේ දේව ප්‍රතිමාව හදවතට ගොඩක් සමීප දෙයක් උනා . ඒවගේම තමයි සමහර බැඳීම් , සමහර චරිත ජීවිතයට ගොඩක් සමීප උනා . 

ඒත් අද දේව ප්‍රතිමාව දුර්වර්ණ වෙලා කැඩිලා ගිහින් නිසා ඉවත් කරන්න උනා . සමහර චරිතත් දුර්වර්ණ වෙලා නිසා ජීවිතයෙන් ඈත් කරන්න උනා .

එහෙමයි කියලා දේව ප්‍රතිමාව ගැන හදවතේ තියෙන හැගීම වෙනස් වෙලා නැහැ . ඒවගේම තමයි අපේ ජීවිත වලින් ඉවත් කරපු සමහර චරිත ගැනත් හිතේ කිසිම කහටක් නැහැ .

ඒත් ළඟ තියාගන්න එක වැඩක් නැති නිසා දේව ප්‍රතිමාවත් ඒ චරිතත් ඉවත් කරලා දැම්මා . 

පලි : ගතවෙච්ච දවස් කීපයේ අත් විඳින්න වෙච්ච ජීවිතය කලකිරවන සමහර දේවල් නිසා තියෙන අන්ත කලකිරීමත් එක්කම සමන් දේවාලයේ ගිය වෙලාවක මගේ දේව රූපය දැකලා තමයි මේ ටික ලියන්න හිතුනේ . ඒ කලකිරීම් වලට අදාළ හැම දෙනාම , හැමදේම ජීවිතයෙන් ඈත් කරලා දැම්මා . දැන් තියෙන සතුට කියලා වැඩක් නැහැ . 

එහෙනම් මේ ගීතයත් අහලා යන්න . 

එක්සෑම් එකෙන් පස්සේ සඳ එළියේ අසිපතත් එක්ක හමුවෙමු . 






රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ

ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ

සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

10 comments :

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මිනිස්සුන්ගේ හිත් වල දෙවියෝ වැඩ ඉන්නවා නම් මේ ලෝක තලේ සුරකින්න වෙන මුකුත්ම ඕනේ නෑ. ජය වේවා !!!
    කාගෙකින් අහන්න අමතක වුණු සින්දු දෙකක් මතක් කලාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කාගෙකින් නෙවේ කාලෙකින්. සොරි ඈ..හිහ්,

      Delete
  3. දෙවියන්ට පුද පුජා පවත්වන්නට හුරු උනාම, ඒ දේ ජීවිතයේම කොටසක් වෙනවා...මගේ පියා තුලින් එය මම දැක තිබෙනවා...අපට විග්‍රහ කර නොහැකි දේවල් දෙවියන් සම්බන්ධ ඇදහිලි වල ඇතුවා වගේම, මම හිතනවා මිනිස්සු මේ දේවල් වලින් තමන්ගේ සිතුවිලි බලවත් කරගන්නවා යයි කියා...හැම දේටම මුල් වෙන්නේ සිත නිසා, කොයි යම් හෝ ක්‍රමයකින්, සිතිවිලි වල ශක්තිය වැඩි කරගැනීමයි ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් වෙන්නේ...

    ඔයා සඳහන් කරලා තියනවා වගේ, රොමැන්ටික් මිනිස්සු බොහොමයකගේ ඇතුලාන්තයේ ජීවත් වෙන්නේ, කිසිම හැඟීමක් නැති මිනිස්සු...

    //එතකොට හිතෙනවා පවුලේ අයත් එක්ක , බැඳීම් ඇතිකරගත්ත කීප දෙනාත් එක්ක තියෙන ගනු දෙනු විතරක් කරගෙන ගතකරන හුදකලා ජීවිතය කොච්චර උතුම්ද කියලා දහස් ගණන් මිනිස්සු වටකරගෙන ජීවත් වෙන සංකීර්ණ ජීවිත වලට වඩා //

    මේ දේ වැටහෙන්නෙ වයසින් මොරද්දී...

    ReplyDelete
  4. ///පවුලේ අයත් එක්ක , බැඳීම් ඇතිකරගත්ත කීප දෙනාත් එක්ක තියෙන ගනු දෙනු විතරක් කරගෙන ගතකරන හුදකලා ජීවිතය කොච්චර උතුම්ද කියලා දහස් ගණන් මිනිස්සු වටකරගෙන ජීවත් වෙන සංකීර්ණ ජීවිත වලට වඩා . //// සහතික ඇත්ත....

    ReplyDelete
    Replies
    1. මල්ලි දැන් බ්ලොග් ලියන්නෙ නැතෙයි?

      Delete
  5. ලඟ තියාගන්න ඕන නැති හැම දෙයක්ම විසිකරන එක තමයි හොඳම දේ ...අපි හිතනවාට වඩා අප අවට සමාජය වෙනස්. උපේක්ෂාවෙන් බලන් ඉන්න.

    ReplyDelete
  6. දෙයියන්වත් අතාරින්න වෙන කාලයක් එනව

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.