අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

මේ ලිපිය දැනට අවුරුදු කීපයකට කලින් මම අන්තිම පේලියේ ලියන කාලෙ ලියපු ලිපියක් . ඒක එදාට වගේම අදටත් වලංගුයි කියලා හිතුනු නිසා ආයෙත් බ්ලොග් එකේ ...

දහතුන් වෙනිදා නොනගතේට ලිව්වේ............

මේ ලිපිය දැනට අවුරුදු කීපයකට කලින් මම අන්තිම පේලියේ ලියන කාලෙ ලියපු ලිපියක් . ඒක එදාට වගේම අදටත් වලංගුයි කියලා හිතුනු නිසා ආයෙත් බ්ලොග් එකේ මේ ලිපිය දාන්න කල්පනා කරා . කියවපු අයට සිදුවන මෙව්වා එකට වයලීනෝගේ මෙව්වා එක . 





අම්මා තාත්තා දෙන්නට පස්සේ මම මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරේ මගේ ආච්චි අම්මට . ආච්චිඅම්මා ඉපදිලා තියෙන්නේ 1914 - 4 - 14 වෙනිදා. ගෑණු 5යි පිරිමි 5යි හිටපු පවුලේ ලොක්කි තමයි ආච්චිඅම්මා .

ආච්චිඅම්මා දෙවියන්ගේ නගරේ ඉපදිලා විවාහ වෙලා ජීවත් උනාට, පස්සේ සීයත් එක්ක කුඩා වයසේ හිටපු මගේ අම්මා , මාමා , පුංචි අම්මා එක්කගෙන මැණික් නගරේ පදිංචි වෙලා තියෙනවා .

තාත්තා අම්මා රැකියාවට යන නිසා මාව බලාගන්න පැවරුනෙත් ආච්චිඅම්මට.උදේ වැඩට ගියාට පස්සේ අම්මා කෑම පැයට මාව බලන්න හැමදාම ගෙදර දුවගෙන ආවත් මාත් එක්ක දවසේ වැඩි හරියක් කාලය ගත කලේ ආච්චිඅම්මා.පව්ලේ එකා යකා වෙච්ච නිසා පොඩි කාලේ ඉඳන්ම ආච්චිඅම්මා මට අම්මා හරි තාත්තා හරි ලවා ගුටි සංග්‍රහ දෙන්න ඉඩ තිබ්බේ නෑ .ආච්චිඅම්මා අඩුම තරමේ මට තාත්තලගේ මහ ගෙදර පදිංචියටවත් යන්න දුන්නේ නෑ .ගුටි දෙන්න ඉඩ දුන්නෙත් නැති නිසා ආච්චිඅම්මා මට හැඳි නොගෑවිච්ච හොද්දක් වෙන්න ඉඩ තිබ්බෙත් නෑ . ඒක නිසා බහ තෝරණ කාලේ ඉඳන් ආච්චිඅම්මා මට ගොඩක් දේවල් කියා දුන්නා .

මට මතක පුංචිම කාලේ ආච්චිඅම්මා මට පාඩම් කරවපු මුල්ම කවිය

ලේනෝ නුඹ පා නිදහස

ටින් ටින් ගාමින් සොඳලෙස

බුදිමින් හොඳ හොඳ පළරස

සිටිනු දකිනු මටවෙයි තොස

කාපන් කිසි බියන් නැතිව

මගෙන් නුඹට දොසක් නොමැත

මේක තමයි ඒ කවිය .

මොන්ටිසෝරි යන්න අවුරුද්දකට විතර කලින් ආච්චිඅම්මා මට කෑම මේසෙක ඉඳගෙන කෑම කන්න ඉගැන්නුවා . මම එතකොට පුටුවේ වාඩි උනාම කෑම මේසෙට උස නෑ . ඉතින් පුටුව උඩ කොට්ට තියලා මාව එකේ වාඩි කරවලා මට කෑම කන හැටි, අත හෝදන හැටි කියලා දුන්නා .

පොඩි සරොං කොටයක් මහලා දීලා සරම අඳින හැටි කියලා දුන්නා .

මොන්ටිසෝරි යන කාලෙ දවල්ට තාත්තා මාව ගෙදර එක්ක ආවම ආච්චිඅම්මා මාව නාවලා , බත් කවලා , නිදි කරවනවා . හවසට බුදුන් වඳින්නත් මාව එකතු කරගන්නවා .රෑටත් අම්මා තාත්තා ගෙදර උන්නට මම වැඩිපුර ගැවසුනේ ආච්චිඅම්මා එක්ක . මට නින්ද යනකං කතා කිව්වෙත් ආච්චි අම්මා .

ඉස්කෝලෙට බාරදෙන පළවෙනි දවසේ ආච්චිඅම්මා මාව තුරුල් කරගෙන දැන් මගෙ කොල්ලා එහෙනම් ඉස්කෝලේ යනවා කියලා සතුටු කඳුළු හැලුවා මතකයි . මට පළවෙනි ඉස්කූල් කිට් එක මහල දුන්නෙ ආච්චිඅම්මා .

ශිෂ්‍යත්වේ කරන කාලේ දෙවරක් එක දෙකා...........යි කියලා සමහර වෙලාවට දෙවරක් හය දාහතරා............යි කියන කොට ආච්චි අම්මා මාව නිවැරදි කරනවා.

නෑයෝ කවුරුත් ආච්චිඅම්මට කිව්වේ ලොකු අම්මා නැත්නම් ලොකු ආච්චි කියලා .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආච්චිඅම්මා ඒ හැමෝටම ලොකු චරිතයක් උනා . පව්ලේ හැමෝම ආච්ච අම්මට ගෞරව සම්පයුක්ත බයක් තිබුණා. ඒක නිසා ආච්චිඅම්මා මොකක් කිව්වත් ඉන් එහා ප්‍රශ්න කෙරීමක් තිබුනේ නෑ . ඒවගේම ආච්චි අම්මගේ තීරණවල කිසිම වැරද්දක් තිබ්බෙත් නෑ .

ආච්චිඅම්මා හැම පෝයකටම පන්සලේ සිල් ගත්තා . ඉතින් ඒ දවසට අම්මයි මමයි දවල් දානේ අරගෙන පන්සල් යනවා .මම පොඩිම කාලේ මෙහෙම පන්සල් ගියාම, අම්මා ආච්චිට දානේ බෙදනකන් මම කරන්නේ පන්සලේ මිදුලේ හැම තැනම දුවන එක .වෙලාවකට මාව අල්ලගන්න ආච්චිත් සිල් පැත්තක තියලා එනවා . ආයෙත් හවසට ගෙදර හැමෝම පන්සල් එනවා .බෝධි පුජාව ඉවරවෙනකන් ඉඳලා රෑවෙලා තමයි ආච්චිවත් එක්කගෙන අපි ගෙදර යන්නේ. ඉතින් මම නිදිමතේ එක එක විකාර කරනකොට " හා හා සාධු බනියි ඔන්න " කියලා ආච්චිඅම්මා මාව උකුලේ නිදි කරවගෙන ගාථා කියනවා . ඒ කාලෙ අපේ ජීවිත එක්ක බැඳිලා තිබ්බ ඒවගේ සිරිත් විරිත් අද නැත්තටම නැති වෙලා තියෙනවා . ඒ ආච්චිඅම්මගේ නික්මයාමත් එක්කම .

සිංහල අවුරුද්දට ආච්චිඅම්මා කොන්ඩ කැවුම් අනිවාර්යෙන්ම හදනවා . කොන්ඩ කැවුම් නැත්නම් ඒක අවුරුද්දක් නෙවේ කියලා තමයි ආච්චිඅම්මා අපිට කියන්නේ . ඒ වගේම ආච්චිඅම්මා තමයි අපි ඉන්න අවට හැමෝටම නැකතට හිසතෙල් ගන්නේ . එදාට ගමේ ගොඩක් දෙනා අපේ ගෙදර . තාත්තා නැකතට කලින් පන්සලට ගිහින් තෙල් අරන් ආවම ආච්චිඅම්මා පිරිත් කිය කිය හැමෝටම හිසතෙල් ගානවා . ගෘහ මූලිකයාට ඉස්සෙල්ලාම ගාන්න ඕන කියලා මගේ ඔලුවේ තමයි ඉතින් ඉස්සෙල්ලම තෙල් ගාන්නේ .

ආච්චිඅම්මා අපෙන් සමුගන්නකොට මම 12 වසරේ . අවුරුදු 95ක් සම්පූර්ණ කරන්න ආච්චි අම්මට තිබ්බේ දින දෙකයි . ඒත් ඒ දින දෙකට කලින් මාරයා ඉක්මන් උනා .

2009 - 4 - 12 වෙනිදා රෑ ආච්චිඅම්මා අපිව දාලා ගියා කියලා රෝහලේ ආච්චිඅම්මා ළඟ හිටපු මගේ පුංචි අම්මා දුරකථන පණිවිඩයකින් දැනුම් දුන්නා . අවාසනාවකට ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වන්න සිදු උනෙත් මට . මම කාටවත් නොකියාම සාලේ තියෙන ෆොටෝ අයින් කරනකොට තමයි අම්මා සිද්දිය තේරුම් අරගෙන අඬන්න පටන් ගත්තේ .

අන්තිමට රෝගී උනාම ආච්චිඅම්මා දවස් 10ක් රෝහල් ගතවෙලා හිටියා .මුල්ම දවස් පහේ කල්පනාවෙන් උන්නත් අවසන් දවස් පහේ ආච්චිඅම්මා සිහිය නැතිව ඇඳේ වැතිරිලා හිටියේ .

සිහි ඇතිව හිටපු අන්තිම දවසේ ආච්චිඅම්මා " අවසන් වතාවට ආයෙත් මගේ කොල්ලව බලන්න ඕන , කොල්ලට කියන්න දෙයක් තියෙනවා " කියලා කිව්වම අම්මා මාව ඉක්මනටම ආච්චි ගාවට එක්ක ගියත් මම යනකොට ආච්චිඅම්මගේ සිහිය නැතිවෙලා තිබුණා .

පහුවදාම ආච්චිඅම්මා කොළඹ මහ රෝහලට රැගෙන ගියත් ආපහු සිහිය ගන්න පුළුවන් උනේවත් ඇයගේ රෝගී තත්ත්වය යටපත් කරන්න පුළුවන් උනේවත් , අවසන් වශයෙන් මට කියන්න තිබ්බ දේ අහගන්න ලබුනේවත් නෑ .

ආච්චි අම්මා අපිව දාලා ගියා ............

අවුරුදු 95ක් වයස ගියත් ආච්චිඅම්මා මෙච්චර ඉක්මනටම අපිව දාලා යයි කියලා මම හිතුවේ නෑ . ඒත් ඒක සිද්ද උනා . අන්තිමට ආච්චිඅම්මා කොලොම්පුරෙන් මැණික්පුරේට ආවේ නිහඬ නිසසල ගමනකින් මිනී පෙට්ටියක සැතපිලා .

මේ දේවල් මතක් කලේ නොනගතය ලබපු, ගෙදරම සන්සුන් උන වෙලාවක .

ඊයේ 12 වෙනිදා ආච්චි අපිව දාලා ගියපු දවස . හෙට 14 වෙනිදා ආච්චි අම්මගේ උපන් දිනය . මේ දින දෙකම ගැන හිතලා අද අපේ ගෙදරින් පන්සලට දානයක් දුන්නා . හැම අවුරුද්දකම ආච්චි නැති උනාට පස්සේ අපි මේ දානය දෙන්නේ ආච්චි අම්මා ලබන ආත්මෙත් අපේම වේවා කියලා අහිංසක ප්‍රාර්ථනයකුත් ඇතිව ඇයට පින් අනුමෝදන් කරන්න .

ආච්චි අම්මා සිංහල අවුරුද්ද 14 වෙනිදට දීලා තිබ්බම උජාරුවෙන් තමන්ගේ උපන් දිනය සමරනවා . අපිත් විකාර ටිකක් කරලා අවුරුද්ද සහ උපන්දිනය සමරනවා . දැන් ඒ සතුට අවුරුද්ද දවසට අපේ හිත්වල ඇතිවෙන්නේ නෑ . මට සහතිකයි අම්මා හෙට අනිවාර්යෙන්ම අඬනවා . ඒ කඳුළු දැක්කම කොච්චර උනත් සිංහල අවුරුද්ද කියලා සතුටක් මගේ හිතේ ඇතිවෙන්නෙත් නෑ .

ගෙදරින් එලියට බහිනකොට ආච්චි අම්මගේ ෆොටෝ එකට අපි කවුරුත් වැඳලා යන්නේ . වෙනදා වගේ ආච්චි අම්මා අපිට ඇහෙන්න ආශීර්වාද නොකලත් අපිට නොපෙනෙන තැනක ඉඳන් ආච්චි අම්මා අපිට ආශිර්වාද කරනවා ඇති .

දැන්

ගමේ අයට හිසතෙල් ගාන්න කවුරුවත් නෑ

අපිට හෙවනක් වෙන්න හිටපු හෙවනැල්ල නෑ

පරණ කාලේ කතා අහගන්න කවුරුවත් නෑ

ආච්චිඅම්මා නැති උනාට පස්සේ අපේ ජීවිත වල ලොකු වෙනස්කම් ඇතිඋනා. ඒවා සමහර වෙලාවට අපිට ආශිර්වාද උනාට සමහර වෙලාවට අපේ ජීවිත කඩා වැටෙන අවස්ථා උනා . ඒ වෙලාවල් වලට ආච්චිඅම්මා හිටියනම් හොඳයි කියලා අනන්තවත් හිතෙන්න ඇති අපිට . එත් ආච්චිඅම්මා ආයෙත් එන්නේ නෑ ........

ආච්චිඅම්මගේ අවසන් මොහොතේ සිහිකල්පනාවෙන් ඉන්නකොට එයාට පේන්න ඉන්න බැරි වීමත් , අවසන් වතාවට අහගන්න තිබ්බ දේ අහගන්න නොහැකිවීමත් ගැන ඇතිවෙන මගේ ආත්මීය පසුතැවීම කවමදාකවත් සුවපත් වෙන එකක් නෑ . ඒක මතක්වෙන මතක්වෙන වාරයක් ගානේ හදවත කියන්නේ " උඹ ආච්චි අම්මගේ අන්තිම මොහොතේ, එයා කියන දේ අහගත්තෙ නෑ, ඒක නිසා ආච්චි අම්මට සැනසීමක් නෑ " කියලා .

කියන්න ගොඩක් දේ මතක් උනත් බොඳවෙන ඇස් එක්ක තවත් ලියන්න බෑ .

ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් උනත් ,

නිවන් සුව එක් ආත්මයකට හරි පරක්කු කරලා ලබන ආත්මෙත් ආච්චි අම්මා මගේම ආච්චි අම්මා වෙන්න ඕන ........!



මේ සින්දුවත් අහලා යන්න





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සිංදුවා සහ වයලීනෝ ප්‍රාර්ථනා කරනවා .

12 comments:

  1. හ්ම් දුකයි තමයි යාළු

    ReplyDelete
    Replies
    1. ඔව් . ඒක තමයි ඉතින් අප්සැට් එක . :)

      Delete
  2. සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
    දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග හසර
    හද කෙත පුරා මනුදම් පීදෙන අතර
    අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර

    මතක රැසක් සපිරුණු ලිපියක්.ඒත් ආච්චිඅම්මගෙ ජිවිතය පුරා ඇයට දුකක් නොදී උන්නා නම් ඒ ඇති ඔබට හිත හදාගන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් .................... :)
      බොහොම ස්තූති .

      Delete
  3. පුන්චිනෝනා උපාසිකා මාතාවට සහ චන්ද්‍රදාස උපාසක මහතාට නිවන්සුව අත්වේවා. මේ කතාව ලිවීමෙන් ඔබේ සිතට යම් සහනයක් අත්වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති g-)

      Delete
  4. දිවංගත ආච්චි අම්මාට සියලු දෙව් මිනිස් සැපත් නිවන් සුවයත් අත් වේවා..!!!

    ReplyDelete
  5. ගොඩක් සංවේදී කතාවක්. ඇයට නිවන් සුව..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් . එසේම වේවා !

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.