Tuesday, April 19, 2016

අපේ හිතට වැඩපන් දෙයියෝ









මේ ලෝක තලේ සුරකින
ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට
ශ්‍රී සම්බුද්ධ ශාසනේ

නිලුපුල් වණින් අරා හිඳ රන් ගුරුළු වාහනේ
මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ
වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සතතපාසනේ
සුරිඳුගේ නමට භාරයි ජාතියේ ජීවනේ

සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝදනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා
කරුණාව සිත අරා දස පාරමී දම් පුරා
බුදුවන්න දෙවිඳුනේ කෙලෙසුන් නසා ලොවුතුරා

ගායනය :- අල්හාජ් මොහිදීන් බෙග්

විද්‍යාව සහ අවිද්‍යාව කියන දෙකේ සම්මිශ්‍රණයක් විදියට තියෙන අපේ ගෙදරට ආව ගිය ගොඩක් අයගේ කතා බහට ලක්වෙච්ච දෙයක් තමයි මේ ප්‍රතිමාව . ගෙවල්වල දේව රූප තියන්න හොඳ නැහැ , පහන් පත්තු කරන්න හොඳ නැහැ වගේ විවිධ කතා ඒ අතරේ තිබුණා . ඒත් අවුරුදු පහකටත් වැඩි කාලයක් මම හිතන්නේ මේ ප්‍රතිමාව අපේ ගෙදර තිබුණා . මේ ප්‍රතිමාව අපේ ගෙදරට ගෙනාවේ එක්තරා අවුරුද්දක මැයි මාසයේ 16 වැනිදා . එදා අපේ ගෙදර පොඩියට පාටියක් තිබුණා . ඒකට ආව අය තමයි මේ ප්‍රතිමාව ගේන්න ප්ලෑන් කරලා තිබුණේ . මොකද මේ ප්‍රතිමාවක් ගන්න ඕන කියලා ඒ කාලෙ මම කිය කිය හිටපු නිසා  . ඒත් ඒ අයට කලින් මුදල් ගෙවලා මේ ප්‍රතිමාව මම එදා මිලදී ගත්තා . පස්සේ කාලෙක මේ රූපයේ ඇස් වලට නළලට නිල් මැණික් පවා සවි කරන්න පුළුවන් උනා . 

හැමදාම රෑ දහයට ඔය පිළිමය ඉස්සරහා පහනක් පත්තු වෙනවා . ඒක සිරිතක් හැටියට ඉස්සර ඉඳලම කරගෙන ආවා . දෙවුන්දර දේවාලයට අපේ ගෙදර අයගේ තියෙන ගෞරවය වෙනුවෙන් තමයි ඒ පහන හැමදාම පත්තු කරන්නේ . සතියකට දෙකකට වතාවක් කහ වතුර දාලා මේ රූපය කවුරු හරි හෝදලා පිරිසිදු කරනවා . පන්සලක කෙරෙන වතාවත් වලටත් වඩා කැපවීමෙන් බුදුන් වෙනුවෙන් ගිලන්පස දානය මල් පහන් පූජා කිරීම වෙනවා වගේම මේ දේව ප්‍රතිමාවටත් අපේ ගෙදරින් ඒ වතාවත් හරියට කෙරුණා කියලා මට විශ්වාසයක් තියෙනවා . විද්‍යාත්මක ඔප්පු කිරීමක් කරන්න බැරි උනත් අපේ හිත්වල ඒ භක්තිය හැමදාටම තිබුණා .







මේ දේව ප්‍රතිමාව වටා ගෙතිච්ච කතා වලින් මට කවදාවත් අමතක වෙන්නේ නැති දේ තමයි කැම්පස් යන්න ගෙදරින් පිටවෙලා ගියපු දවසේ හවස මේ දේව රූපය තැම්පත් කරලා තිබුණු ආසනය කඩාගෙන වැටිලා දේව රූපයේ රැස් වළල්ලේ කොටසක් කැඩී ගියපු එක . ඊට පස්සේ ගෙදර ආව දවසේ මම ඉස්සෙල්ලම ගියේ දේව ප්‍රතිමාව තියෙන තැනට . මට මතකයි සිංදුවත් මේ කතාව ඇස් ගෙඩි ලොකු කරගෙන අහගෙන හිටියා .

අවුරුදු ගාණක් පහන පත්තු කරපු කෙනා වෙනස් වෙච්ච එකට දක්වපු ප්‍රතිචාරයක් විදියට තමයි ඒ කඩා වැටීම අන්තිමට සමහර අයගේ අතින් විග්‍රහ උනේ . ඒත් මම ආයෙත් ඒක තිබ්බ තැනම තැම්පත් කරා . අනිත් සිදුවීම තමයි අපේ ගෙදරට වතුර ගන්න අලුතෙන් ලිඳක් හාරන වෙලාවේ ඉස්සෙල්ලම අහුවෙච්ච උල්පතකින් ලිඳට පළවෙනි ජල පහර නිකුත් වෙනකොට මේ දේව රූපය තැම්පත් කරලා තියෙන තැනට විශාල නයෙක් ආපු වෙලාව . කළුපාට ලොකු නයෙක් මෙතනට ඇවිල්ලා තිබුණා . ඒකත් විශේෂ අවස්ථාවක් උනා .

කාලයත් එක්ක දේව ප්‍රතිමාව දුර්වර්ණ වෙලා පතුරු ගැලවිලා ඇස්වලට හයි කරලා තිබුණු නිල් මැණික් කැට ගැලවුණාට පස්සේ දේව ප්‍රතිමාව වෙනත් ප්‍රතිමාවකින් ප්‍රතිස්ථාපනය කරන්න තීරණය උනා . ඒත් පරණ ප්‍රතිමාවට මොකද කරන්නේ ? . ගෞරවාන්විත ඉවත් කිරීමක් වෙන්නත් ඕන නිසා අවසානයේ තීරණය කලේ සමන් දේවාලයේ බෝ මළුවේ මේ පිළිමය තැම්පත් කරන්න . අදට මාස තුනකට හතරකට කලින් මේ දේව ප්‍රතිමාව බෑග් එකේ දාගෙන අරගෙන ඇවිත් සමන් දේවාලයේ බෝ මළුවේ තැම්පත් කරලා එනකොට හිතට මොකක්දෝ අමුත්තක් දැනුනා . ආයෙත් දේව ප්‍රතිමාව දිහා හැරිලා බැලුවම ගෙදර අරගෙන ගිහින් පැත්තකින් තියලා තියනවා කියලා හිතුනට අනිත්‍යතාවය මෙනෙහි කරගෙන ඒක එතනම තියලා එන්න ආවා . 

අවුරුදු ගාණක් උදේ හවස ගෙදරින් යන එනකොට දකින්න ලැබුණු මේ දේව රූපයේ ශාන්ත බැල්ම එදායින් පස්සේ ආයෙත් දකින්න ලැබෙන්නේ නැති නිසා වෙන්නැති එහෙම දැනෙන්න ඇත්තේ . ඒත් තවමත් මේ දේව ප්‍රතිමාව සමන් දේවාලයේ බෝ මළුවෙන් ඉවත් කරලා නැහැ කවුරුවත් . දේවාලයට යන එන වාරයක් ගානේ මේ පිළිමය තවමත් තියෙනවද කියලා විපරම් කරලා බලන්න වයලීනෝ අමතක කරේ නැහැ . 

දේවාලයේ නෙවෙයි මිනිස්සුන්ගේ හදවතේ දෙවියෝ වැඩ ඉන්නවා කියලා කිව්වට අද කාලෙ හදවතේ දෙවියන් ඉන්න මිනිස්සු හොයාගන්න හරිම අමාරුයි . තමන්ගේ වාසිය , තමන්ගේ අවස්ථාව , තමන්ගේ මට්ටම රැකගන්න විතරයි මිනිස්සු උත්සාහ කරන්නේ . සමාජය ගැන , සමහර මිනිස්සු ගැන කලකිරෙන කාලයක හදවතක් නැති මේ දේව ප්‍රතිමාව විතරයි හදවතට දෙවියන්ට වඩින්න පාර පෙන්නුවේ . ඔයාලටත් මේ දේව ප්‍රතිමාව දකින්න ලැබුණොත් මතක් වෙයි මේ වයලීනොගේ දේව ප්‍රතිමාව නේද කියලා . එදාට තවත් දෙයක් මතක් කරගන්න . 

ලොකු ලොකු පූජාවට්ටි , මොණරු මිටි මිටි තියලා දේවාලවල ඉන්න දෙවියන්ගෙන් උදව් උපකාර ඉල්ලන්න කලින් දෙපාරක් හිතලා බලන්න තමන්ගේ හදවතෙත් දෙවියෙක් ඉන්නවද කියලා . හැගීම් බර නොවන , හැම දේකටම කඳුළු හලන්නේ නැති මිනිස්සුන්ගේ හිත්වල , කොයි වෙලෙත් හොටු පෙරාගත්ත නමට රොමැන්ටික් මිනිස්සුන්ගේ හදවත් වලට වඩා උතුම් දෙවි කෙනෙක් ඉන්න පුළුවන් . විශේෂයෙන්ම චීත්ත අඳින පිරිමි මේ හොටු පෙරාගත්ත නමට රොමැන්ටික් කියන කැටගරි එකට අයත් වෙනවා .

ඒවගේම තමයි හැම දේටම අඬන , හැමදේටම හැගීම්බර වෙන දෙවියෝ වගේ හොඳ මූණ පෙන්නගෙන ඉන්න අයගේ හිත්වල දෙවියන් නැති වෙන්නත් පුළුවන් . එතකොට හිතෙනවා පවුලේ අයත් එක්ක , බැඳීම් ඇතිකරගත්ත කීප දෙනාත් එක්ක තියෙන ගනු දෙනු විතරක් කරගෙන ගතකරන හුදකලා ජීවිතය කොච්චර උතුම්ද කියලා දහස් ගණන් මිනිස්සු වටකරගෙන ජීවත් වෙන සංකීර්ණ ජීවිත වලට වඩා . 

මේ දේව ප්‍රතිමාව හදවතට ගොඩක් සමීප දෙයක් උනා . ඒවගේම තමයි සමහර බැඳීම් , සමහර චරිත ජීවිතයට ගොඩක් සමීප උනා . 

ඒත් අද දේව ප්‍රතිමාව දුර්වර්ණ වෙලා කැඩිලා ගිහින් නිසා ඉවත් කරන්න උනා . සමහර චරිතත් දුර්වර්ණ වෙලා නිසා ජීවිතයෙන් ඈත් කරන්න උනා .

එහෙමයි කියලා දේව ප්‍රතිමාව ගැන හදවතේ තියෙන හැගීම වෙනස් වෙලා නැහැ . ඒවගේම තමයි අපේ ජීවිත වලින් ඉවත් කරපු සමහර චරිත ගැනත් හිතේ කිසිම කහටක් නැහැ .

ඒත් ළඟ තියාගන්න එක වැඩක් නැති නිසා දේව ප්‍රතිමාවත් ඒ චරිතත් ඉවත් කරලා දැම්මා . 

පලි : ගතවෙච්ච දවස් කීපයේ අත් විඳින්න වෙච්ච ජීවිතය කලකිරවන සමහර දේවල් නිසා තියෙන අන්ත කලකිරීමත් එක්කම සමන් දේවාලයේ ගිය වෙලාවක මගේ දේව රූපය දැකලා තමයි මේ ටික ලියන්න හිතුනේ . ඒ කලකිරීම් වලට අදාළ හැම දෙනාම , හැමදේම ජීවිතයෙන් ඈත් කරලා දැම්මා . දැන් තියෙන සතුට කියලා වැඩක් නැහැ . 

එහෙනම් මේ ගීතයත් අහලා යන්න . 

එක්සෑම් එකෙන් පස්සේ සඳ එළියේ අසිපතත් එක්ක හමුවෙමු . 






රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ

ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ

සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Wednesday, April 13, 2016

දහතුන් වෙනිදා නොනගතේට ලිව්වේ............


මේ ලිපිය දැනට අවුරුදු කීපයකට කලින් මම අන්තිම පේලියේ ලියන කාලෙ ලියපු ලිපියක් . ඒක එදාට වගේම අදටත් වලංගුයි කියලා හිතුනු නිසා ආයෙත් බ්ලොග් එකේ මේ ලිපිය දාන්න කල්පනා කරා . කියවපු අයට සිදුවන මෙව්වා එකට වයලීනෝගේ මෙව්වා එක . 





අම්මා තාත්තා දෙන්නට පස්සේ මම මගේ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරේ මගේ ආච්චි අම්මට . ආච්චිඅම්මා ඉපදිලා තියෙන්නේ 1914 - 4 - 14 වෙනිදා. ගෑණු 5යි පිරිමි 5යි හිටපු පවුලේ ලොක්කි තමයි ආච්චිඅම්මා .

ආච්චිඅම්මා දෙවියන්ගේ නගරේ ඉපදිලා විවාහ වෙලා ජීවත් උනාට, පස්සේ සීයත් එක්ක කුඩා වයසේ හිටපු මගේ අම්මා , මාමා , පුංචි අම්මා එක්කගෙන මැණික් නගරේ පදිංචි වෙලා තියෙනවා .

තාත්තා අම්මා රැකියාවට යන නිසා මාව බලාගන්න පැවරුනෙත් ආච්චිඅම්මට.උදේ වැඩට ගියාට පස්සේ අම්මා කෑම පැයට මාව බලන්න හැමදාම ගෙදර දුවගෙන ආවත් මාත් එක්ක දවසේ වැඩි හරියක් කාලය ගත කලේ ආච්චිඅම්මා.පව්ලේ එකා යකා වෙච්ච නිසා පොඩි කාලේ ඉඳන්ම ආච්චිඅම්මා මට අම්මා හරි තාත්තා හරි ලවා ගුටි සංග්‍රහ දෙන්න ඉඩ තිබ්බේ නෑ .ආච්චිඅම්මා අඩුම තරමේ මට තාත්තලගේ මහ ගෙදර පදිංචියටවත් යන්න දුන්නේ නෑ .ගුටි දෙන්න ඉඩ දුන්නෙත් නැති නිසා ආච්චිඅම්මා මට හැඳි නොගෑවිච්ච හොද්දක් වෙන්න ඉඩ තිබ්බෙත් නෑ . ඒක නිසා බහ තෝරණ කාලේ ඉඳන් ආච්චිඅම්මා මට ගොඩක් දේවල් කියා දුන්නා .

මට මතක පුංචිම කාලේ ආච්චිඅම්මා මට පාඩම් කරවපු මුල්ම කවිය

ලේනෝ නුඹ පා නිදහස

ටින් ටින් ගාමින් සොඳලෙස

බුදිමින් හොඳ හොඳ පළරස

සිටිනු දකිනු මටවෙයි තොස

කාපන් කිසි බියන් නැතිව

මගෙන් නුඹට දොසක් නොමැත

මේක තමයි ඒ කවිය .

මොන්ටිසෝරි යන්න අවුරුද්දකට විතර කලින් ආච්චිඅම්මා මට කෑම මේසෙක ඉඳගෙන කෑම කන්න ඉගැන්නුවා . මම එතකොට පුටුවේ වාඩි උනාම කෑම මේසෙට උස නෑ . ඉතින් පුටුව උඩ කොට්ට තියලා මාව එකේ වාඩි කරවලා මට කෑම කන හැටි, අත හෝදන හැටි කියලා දුන්නා .

පොඩි සරොං කොටයක් මහලා දීලා සරම අඳින හැටි කියලා දුන්නා .

මොන්ටිසෝරි යන කාලෙ දවල්ට තාත්තා මාව ගෙදර එක්ක ආවම ආච්චිඅම්මා මාව නාවලා , බත් කවලා , නිදි කරවනවා . හවසට බුදුන් වඳින්නත් මාව එකතු කරගන්නවා .රෑටත් අම්මා තාත්තා ගෙදර උන්නට මම වැඩිපුර ගැවසුනේ ආච්චිඅම්මා එක්ක . මට නින්ද යනකං කතා කිව්වෙත් ආච්චි අම්මා .

ඉස්කෝලෙට බාරදෙන පළවෙනි දවසේ ආච්චිඅම්මා මාව තුරුල් කරගෙන දැන් මගෙ කොල්ලා එහෙනම් ඉස්කෝලේ යනවා කියලා සතුටු කඳුළු හැලුවා මතකයි . මට පළවෙනි ඉස්කූල් කිට් එක මහල දුන්නෙ ආච්චිඅම්මා .

ශිෂ්‍යත්වේ කරන කාලේ දෙවරක් එක දෙකා...........යි කියලා සමහර වෙලාවට දෙවරක් හය දාහතරා............යි කියන කොට ආච්චි අම්මා මාව නිවැරදි කරනවා.

නෑයෝ කවුරුත් ආච්චිඅම්මට කිව්වේ ලොකු අම්මා නැත්නම් ලොකු ආච්චි කියලා .වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආච්චිඅම්මා ඒ හැමෝටම ලොකු චරිතයක් උනා . පව්ලේ හැමෝම ආච්ච අම්මට ගෞරව සම්පයුක්ත බයක් තිබුණා. ඒක නිසා ආච්චිඅම්මා මොකක් කිව්වත් ඉන් එහා ප්‍රශ්න කෙරීමක් තිබුනේ නෑ . ඒවගේම ආච්චි අම්මගේ තීරණවල කිසිම වැරද්දක් තිබ්බෙත් නෑ .

ආච්චිඅම්මා හැම පෝයකටම පන්සලේ සිල් ගත්තා . ඉතින් ඒ දවසට අම්මයි මමයි දවල් දානේ අරගෙන පන්සල් යනවා .මම පොඩිම කාලේ මෙහෙම පන්සල් ගියාම, අම්මා ආච්චිට දානේ බෙදනකන් මම කරන්නේ පන්සලේ මිදුලේ හැම තැනම දුවන එක .වෙලාවකට මාව අල්ලගන්න ආච්චිත් සිල් පැත්තක තියලා එනවා . ආයෙත් හවසට ගෙදර හැමෝම පන්සල් එනවා .බෝධි පුජාව ඉවරවෙනකන් ඉඳලා රෑවෙලා තමයි ආච්චිවත් එක්කගෙන අපි ගෙදර යන්නේ. ඉතින් මම නිදිමතේ එක එක විකාර කරනකොට " හා හා සාධු බනියි ඔන්න " කියලා ආච්චිඅම්මා මාව උකුලේ නිදි කරවගෙන ගාථා කියනවා . ඒ කාලෙ අපේ ජීවිත එක්ක බැඳිලා තිබ්බ ඒවගේ සිරිත් විරිත් අද නැත්තටම නැති වෙලා තියෙනවා . ඒ ආච්චිඅම්මගේ නික්මයාමත් එක්කම .

සිංහල අවුරුද්දට ආච්චිඅම්මා කොන්ඩ කැවුම් අනිවාර්යෙන්ම හදනවා . කොන්ඩ කැවුම් නැත්නම් ඒක අවුරුද්දක් නෙවේ කියලා තමයි ආච්චිඅම්මා අපිට කියන්නේ . ඒ වගේම ආච්චිඅම්මා තමයි අපි ඉන්න අවට හැමෝටම නැකතට හිසතෙල් ගන්නේ . එදාට ගමේ ගොඩක් දෙනා අපේ ගෙදර . තාත්තා නැකතට කලින් පන්සලට ගිහින් තෙල් අරන් ආවම ආච්චිඅම්මා පිරිත් කිය කිය හැමෝටම හිසතෙල් ගානවා . ගෘහ මූලිකයාට ඉස්සෙල්ලාම ගාන්න ඕන කියලා මගේ ඔලුවේ තමයි ඉතින් ඉස්සෙල්ලම තෙල් ගාන්නේ .

ආච්චිඅම්මා අපෙන් සමුගන්නකොට මම 12 වසරේ . අවුරුදු 95ක් සම්පූර්ණ කරන්න ආච්චි අම්මට තිබ්බේ දින දෙකයි . ඒත් ඒ දින දෙකට කලින් මාරයා ඉක්මන් උනා .

2009 - 4 - 12 වෙනිදා රෑ ආච්චිඅම්මා අපිව දාලා ගියා කියලා රෝහලේ ආච්චිඅම්මා ළඟ හිටපු මගේ පුංචි අම්මා දුරකථන පණිවිඩයකින් දැනුම් දුන්නා . අවාසනාවකට ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වන්න සිදු උනෙත් මට . මම කාටවත් නොකියාම සාලේ තියෙන ෆොටෝ අයින් කරනකොට තමයි අම්මා සිද්දිය තේරුම් අරගෙන අඬන්න පටන් ගත්තේ .

අන්තිමට රෝගී උනාම ආච්චිඅම්මා දවස් 10ක් රෝහල් ගතවෙලා හිටියා .මුල්ම දවස් පහේ කල්පනාවෙන් උන්නත් අවසන් දවස් පහේ ආච්චිඅම්මා සිහිය නැතිව ඇඳේ වැතිරිලා හිටියේ .

සිහි ඇතිව හිටපු අන්තිම දවසේ ආච්චිඅම්මා " අවසන් වතාවට ආයෙත් මගේ කොල්ලව බලන්න ඕන , කොල්ලට කියන්න දෙයක් තියෙනවා " කියලා කිව්වම අම්මා මාව ඉක්මනටම ආච්චි ගාවට එක්ක ගියත් මම යනකොට ආච්චිඅම්මගේ සිහිය නැතිවෙලා තිබුණා .

පහුවදාම ආච්චිඅම්මා කොළඹ මහ රෝහලට රැගෙන ගියත් ආපහු සිහිය ගන්න පුළුවන් උනේවත් ඇයගේ රෝගී තත්ත්වය යටපත් කරන්න පුළුවන් උනේවත් , අවසන් වශයෙන් මට කියන්න තිබ්බ දේ අහගන්න ලබුනේවත් නෑ .

ආච්චි අම්මා අපිව දාලා ගියා ............

අවුරුදු 95ක් වයස ගියත් ආච්චිඅම්මා මෙච්චර ඉක්මනටම අපිව දාලා යයි කියලා මම හිතුවේ නෑ . ඒත් ඒක සිද්ද උනා . අන්තිමට ආච්චිඅම්මා කොලොම්පුරෙන් මැණික්පුරේට ආවේ නිහඬ නිසසල ගමනකින් මිනී පෙට්ටියක සැතපිලා .

මේ දේවල් මතක් කලේ නොනගතය ලබපු, ගෙදරම සන්සුන් උන වෙලාවක .

ඊයේ 12 වෙනිදා ආච්චි අපිව දාලා ගියපු දවස . හෙට 14 වෙනිදා ආච්චි අම්මගේ උපන් දිනය . මේ දින දෙකම ගැන හිතලා අද අපේ ගෙදරින් පන්සලට දානයක් දුන්නා . හැම අවුරුද්දකම ආච්චි නැති උනාට පස්සේ අපි මේ දානය දෙන්නේ ආච්චි අම්මා ලබන ආත්මෙත් අපේම වේවා කියලා අහිංසක ප්‍රාර්ථනයකුත් ඇතිව ඇයට පින් අනුමෝදන් කරන්න .

ආච්චි අම්මා සිංහල අවුරුද්ද 14 වෙනිදට දීලා තිබ්බම උජාරුවෙන් තමන්ගේ උපන් දිනය සමරනවා . අපිත් විකාර ටිකක් කරලා අවුරුද්ද සහ උපන්දිනය සමරනවා . දැන් ඒ සතුට අවුරුද්ද දවසට අපේ හිත්වල ඇතිවෙන්නේ නෑ . මට සහතිකයි අම්මා හෙට අනිවාර්යෙන්ම අඬනවා . ඒ කඳුළු දැක්කම කොච්චර උනත් සිංහල අවුරුද්ද කියලා සතුටක් මගේ හිතේ ඇතිවෙන්නෙත් නෑ .

ගෙදරින් එලියට බහිනකොට ආච්චි අම්මගේ ෆොටෝ එකට අපි කවුරුත් වැඳලා යන්නේ . වෙනදා වගේ ආච්චි අම්මා අපිට ඇහෙන්න ආශීර්වාද නොකලත් අපිට නොපෙනෙන තැනක ඉඳන් ආච්චි අම්මා අපිට ආශිර්වාද කරනවා ඇති .

දැන්

ගමේ අයට හිසතෙල් ගාන්න කවුරුවත් නෑ

අපිට හෙවනක් වෙන්න හිටපු හෙවනැල්ල නෑ

පරණ කාලේ කතා අහගන්න කවුරුවත් නෑ

ආච්චිඅම්මා නැති උනාට පස්සේ අපේ ජීවිත වල ලොකු වෙනස්කම් ඇතිඋනා. ඒවා සමහර වෙලාවට අපිට ආශිර්වාද උනාට සමහර වෙලාවට අපේ ජීවිත කඩා වැටෙන අවස්ථා උනා . ඒ වෙලාවල් වලට ආච්චිඅම්මා හිටියනම් හොඳයි කියලා අනන්තවත් හිතෙන්න ඇති අපිට . එත් ආච්චිඅම්මා ආයෙත් එන්නේ නෑ ........

ආච්චිඅම්මගේ අවසන් මොහොතේ සිහිකල්පනාවෙන් ඉන්නකොට එයාට පේන්න ඉන්න බැරි වීමත් , අවසන් වතාවට අහගන්න තිබ්බ දේ අහගන්න නොහැකිවීමත් ගැන ඇතිවෙන මගේ ආත්මීය පසුතැවීම කවමදාකවත් සුවපත් වෙන එකක් නෑ . ඒක මතක්වෙන මතක්වෙන වාරයක් ගානේ හදවත කියන්නේ " උඹ ආච්චි අම්මගේ අන්තිම මොහොතේ, එයා කියන දේ අහගත්තෙ නෑ, ඒක නිසා ආච්චි අම්මට සැනසීමක් නෑ " කියලා .

කියන්න ගොඩක් දේ මතක් උනත් බොඳවෙන ඇස් එක්ක තවත් ලියන්න බෑ .

ආත්මාර්ථකාමී ප්‍රාර්ථනාවක් උනත් ,

නිවන් සුව එක් ආත්මයකට හරි පරක්කු කරලා ලබන ආත්මෙත් ආච්චි අම්මා මගේම ආච්චි අම්මා වෙන්න ඕන ........!



මේ සින්දුවත් අහලා යන්න





ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සිංදුවා සහ වයලීනෝ ප්‍රාර්ථනා කරනවා .