Sunday, February 7, 2016

හෙණ්ඩුව සහ අලි නිල





-සිරිලක අසිරිය ෆේස්බුක් පිටුව-

මියැසියේ රසකතා මගේ කාමරේ බවට පත් උනාට පස්සේ ලියන පළවෙනි ලිපිය . 

හෙම්බා මාගේ කාමරේට යන එන වැසියෙනි . ඒ සිංදුවාගෙන් දැන් අපි මිදුනෙමු . මෙය ලියන්න මෙය මලවන්න යැයි කීමෙන් අපි පීඩා වින්දෙමු . දැන් අපි කැමැත්තක් ලියමු . අකමැත්තක් නොලියමු...... 
ස්තූති !

නිල කිව්ව ගමන්ම මට මතක් වෙන කතාවක් තමයි ඉස්සර අපේ සිංහල පාඩමකට තිබුණ " විදීම " කියන සිංහල පාඩම . ඒ පාඩම ඉගෙනගත්ත අය ඉන්නවනම් එයාලටත් විදීම කියන නම ඇහුව ගමන්ම ඒ කතාව මතක් වෙන්න ඕන . ඒ පාඩමේ තිබුණේ කුමාරතුංග මුනිදාසයන්ගේ පියාණන් පිළිබඳව ලියවුනු කතාවක් . කුමාරතුංගයන්ගේ පියාණන් නිල වෙදකම කරපු දක්ෂ වෙද මහත්තයෙක් . දවසක් මේ වෙද ගෙදරට ආව කොර වෙච්ච ලෙඩෙක් නිල විදීම මගින් සනීප කරලා යැවුවේ කොහොමද කියලා මේ පාඩමේ අන්තර්ගත වෙලා තිබුණා . මම ඒ කාලේ හරිම ආස පාඩමක් මේක . මොකද කියනවනම් එතුමා ලියලා තියෙන විදියට හරිම ලේසියෙන් ඒ අවස්ථාවන් හිතේ මවාගන්න පහසු නිසා . ඒ කියන්නේ මිනිස් නිල ගැන . අද මම කියන්න යන්නේ අලි නිල ගැන .

මේ ගැන ලියන්න ඕන කියලා නිකන් හිතාගෙන හිටියට ඒක ඉක්මන් කෙරුනේ අපේ බ්ලොග් එකට හැමදාම යන එන දේශක මහතා දාපු මෙන්න මේ කමෙන්ට් එක නිසා .

දේශක යා October 7, 2014 at 8:46 AM
හෙන්ඩුව කවදාවත් අලියට ඇනගෙන ඉන්නෑ මොකද උගේ ඇගට බැහැල මහ විජ්ජුම්බරයක් තමා වෙන්නේ. අපි ඉදිකට්ටෙන් අනිනවා වගේ තමා ගේම දෙන්නේ.. බලමු අනිත් කෑල්ල
ReplyDelete
Replies

වයලීනෝOctober 7, 2014 at 9:07 AM

ඔය අහලා තියෙන දේ ගැන මේ කතාව ලියත්දිත් මම මතක් කළා කොහෙන් හරි ලියලා දාන්න තිබ්බනම් හොඳයි කියලා . සාමාන්‍ය අලි බලාගනීමේදී කරන්නේ එහෙම තමයි . නිලයට අනින්නේ නෑ . නිලය පෙන්නනවා විතරයි . රත්නපුරේ පැත්තේ වලව්වක දැනටත් අලියෙක් ඉන්නවා ඔය නිල වලින් මොකකට නැතත් කුම්භස්තලය ළඟ තියෙන මරු නිලයට හෙන්ඩුව කිට්ටු කරත් මෙල්ලවෙන එක්කෙනෙක් . අනිත් අයනම් කොහොමද දන්නේ නෑ . එයාලත් එහෙම වෙන්න ඇති . 

ඒත් මෙහෙම දේකුත් කියන්න ඕන . අලි බලන අය එයාලාගාව පිහියක් තියාගෙන ඉන්නවා නේද ? . ඔය පිහිය තියාගෙන ඉන්නේ බැරිම වෙලාවත් අලියා අවුල් උනොත් අවස්ථාව ලැබුණු ගමන්ම අලියාගේ නිල වලට අනින්න . අලියාගේ කම්මුල් කිට්ටුව තියෙනවා නිලයක් , ඒ නිලයට ඔය පිහිය බස්සලා අලියෙක් මරන්නත් පුළුවන් කිසිම ගේමක් නැතුව . ඒවගේ සමහර නිල තියෙනවා අලි මෙල්ල කරන්න බැරි උනාම ඇනලා දාන ඒවා . එහෙම ඇන්නම තුවාල වෙන්නත් පුළුවන් . ඒත් තුවාල වලට බෙහෙත් කරන්නේ පස්සේ . ඊට කලින් අලියා මෙල්ල කරගෙන ඉන්නවා . අලි බලන අය කවදාවත් ඕවා කියන්නේ නෑ . මොකද එයාලා අලියට හිරිහැර කරනවා කියලා මිනිස්සු හිතන නිසා . මමත් ඔය කතාවේ ලිව්වේ ඒ මරු නිල ගැන හිතලා . 

අලි නිල ගැන දැන් ඉන්න අලි බාසුන්නැහෙලා වැඩිය දන්නේ නෑ . මොකද දැන් වැඩිපුර ඉන්නේ සල්ලි වලට අලිබලන උන් නිසා . ඒත් ඉස්සර ඉඳලා තියෙනවා ඔය ශිල්පෙ හරියටම දන්න අය . එයාලා අලින්ගේ නිල 86 ත් 96ත් අතර ගාණක් දැනගෙන ඉඳලා තියෙනවා එක එක වැඩ කරගන්න . මම ලියන්නම් ඒ ගැන ඉස්සරහට ලියන පෝස්ට් එකක    

එල එල බොහොම ස්තූති මතක් කලාට මේ ගැන    
Delete

දේශක යාOctober 7, 2014 at 10:23 AM
අඩන්න ඕනලු මොකක්ද එක එන්න.. හැක්.. තැන්කුයි
Delete

අලි නිල ගැන කියනකොට අලි ඇත්තු මෙල්ල කරන්න භාවිතා කරන හෙණ්ඩුව ගැන පොඩ්ඩක් කියලා ඉන්න ඕන . මම සමන් දේවාලයේ අලි බලන්න යන වෙලාවට ( වැඩිපුරම පෙරහැර දවස් වලට තමයි ) මේ අලි බලන අයගේ අතේ තියෙන හෙන්ඩුව ගැනත් බලන්න අමතක කරන්නේ නෑ . දැන් කාලෙ අලුත් අලි බලන අය තමන් භාවිතා කරන හෙණ්ඩුව ගැන කිසිම අවබෝධයක් නැතිව තමයි ඒක පාවිච්චි කරන්නේ . හෙණ්ඩුව හදන්නේ යම්කිසි ක්‍රමයකට . ඒ ඇයි කියලා දන්නේ නැති කම්මල් කාරයයි අලි බලන කෙනයි දෙන්නම කරන මේ වැරැද්ද නිසා අන්තිමට දුක් විඳින්නේ අහිංසක අලි ඇත්තු .

අලින්ට නිල වලට ඇනලා අලි ඇත්තු මෙල්ල කරනවා හසුරුවනවා කියලා කිව්වට මේ නිල හාරගෙන ඇටකටු වලට ඇනෙනකල්ම අනින්නේ නැහැ . හරි විදියට කරනවානම් නිලය තියෙන තැන හෙණ්ඩුව ගෑවෙනකොටම සතා බයවෙලා හරි උත්තේජනය වෙලාහරි දෙකෙන් එකක් වෙලා ඒ අදාළ කාර්යය කරනවා .




එහෙම නිලය තෙරපෙන්නේ හෙණ්ඩුවේ තියෙන කිණිතුල්ලා විදියට හඳුන්වන සිහින් තුඩ හදලා තියෙන විශේෂ හැඩය නිසා . අනික තමයි හෙණ්ඩුවේ උල අලි හම වෙත එල්ල කරන විශේෂ ක්‍රමයක් කෝණයක් සහ ගැඹුරක් තියෙනවා . අදකාලේ ඉන්න අලුත් අලි බලන අය ඒ ක්‍රම ශිල්ප අනුගමනය කරන වගක් පේන්නේ නැහැ . අදට ඉතිරිවෙලා ඉන්න පරණ අලි ඇත්තු බලන අයගෙන් මේ ශිල්පයේ ඉතිරි වෙලා තියෙන ටිකවත් ඉගෙන ගන්නවානම් හොඳයි කියලා තමයි ම්මනම් කියන්නේ .

මට මතකයි බෝතලේ වලව්වේ ගාමිණී ඇතාව බලාගත්ත සීයා සමහර වෙලාවට හෙණ්ඩුව පාවිච්චි කරන්නෙම නැහැ . අතේ තියෙන කෝට්ටෙන් තමයි ඇතාව කන්ට්‍රෝල් කරගෙන හිටියේ . ඒ තරම් අලි ඇතුන් එක්ක අලි බලන්නාගේ තියෙන බැඳීම දුර දිග යනවනම් අලි ඇත්තු මෙල්ල කරන එක අමාරු වෙන එකක් නැහැ . රැකියාවක් වගේ නැතුව පවුලේ කෙනෙක් විදියට සතාව බලාගන්නවනම් සතත් සලකන්නේ ඒ විදියටම තමයි .



ඔය තියෙන්නේ නියම හෙණ්ඩුවක් . පේනවනේ උල එච්චර සියුම් නැහැ . අනික තමයි උල හදලා තියෙන්නේ උළේ මැද හරිය මහත් වෙන්න . එතකොට අනිනකොට වැඩිය ඇතුළට කාගෙන යන්නේ නැහැ . මගින් නවතිනවා උලට තියෙන ප්‍රතිරෝධය වැඩි නිසා . ඒ ප්‍රතිරෝධය මැඩගෙන උල තවත් ඇතුළට යවන්න ඕන නම් තමයි වැඩිපුර බලයක් දීලා උල ඇතුළට යවන්න ඕන .



මේ තියෙන්නේ අලුත් අලි බලන අය ගාව තියෙන හෙණ්ඩුව . හැමෝම නෙවෙයි . ඒත් තරුණ පහේ අයගේ අතේ තියෙන්නේ මේක . ඇන්නා ඇන්නම තමයි ඉතින් . ආයේ ඉවක් බවක් නෑ කාගෙන ඇතුළට බහිනවා . අලියා තුවාල වෙනවා . ඊට පස්සේ ඒ තුවාල වල ඉහඳ පනුවෝ පවා ඇතිවෙනවා . මේ ඉහඳ පණුවා අලින්ගේ තුවාල වල ඉඳලා ඇතුලේ පටක ආහාරයට අරගෙන ඔන්න කොහොමහරි මැරිලා ගිහින් බෙහෙත් හේත් වලින් තුවාලය සනීප උනා කියමුකෝ . ඊට පස්සේ වෙන්නේ එතන තියෙන නිලය සංවේදී බවින් අඩුවෙන එක . එතකොට මොකද වෙන්නේ අලියා කන්ට්‍රෝල් නැති වෙනවා .

අද කාලෙ වෙලා තියෙන්නේ ඒකම තමයි . අපි ඉස්සර කාලෙ අලි ඇත්තුන්ගේ ෆොටෝ දකිනවා ඕන තරම් . ඒත් බලන්න එයාලට අද කාලෙ වගේ දම්වැල් දාලා තියෙනවද කියලා . කඹ වලින් තමයි ගැටගහන්නේ . අනික ඇවිදිනකොට කකුල් නිදහස් . හෙණ්ඩුවෙන් තමයි තනිකරම සතාව පාලනය කරලා තියාගත්තේ . ඒත් ඒ ශිල්පය කාලයත් එක්ක වලපල්ලට ගියාට පස්සේ අලි බාස්ලත් මොඩ් උනා , අලින්ට කෙල උනා . අලි ඇත්තුන්ට ඒ කාලෙ අද තරම් වද දුන්නේ නෑ . අලි ඇතුන් පුහුණු කිරීම යටතේ මම ඒ ගැන වෙනමම කියන්නම් . ඉතින් හෙන්ඩුවේ කතාව ඔන්න ඔහොම තමයි . කතා කරලා වැඩක් නෑ ඔය ගැන . ඒ නිසා අපි බලමු අලි ඇතුන්ගේ නිල කොහොමද පිහිටලා තියෙන්නේ කියලා .

කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේඅපිට තිබ්බ රාජකාරියකට මම පුස්තකාලයේ පොතක් බලනකොට තමයි අලි නිල සලකුණු කරලා තියෙන මේ රූපය දැක්කේ . ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂක වෙලා හිටපු පී ඊ පී දැරණියගල මහත්මයා තමයි මේ රූප ඇඳලා නිල සලකුණු කරලා මේගැන හොයලා බලලා වාර්තා කරලා තියෙන්නේ . මම ඉතින් එතුමාට පිං දීලා පොතෙන් අවශ්‍ය රූප ටික ෆොටෝ ගහගත්තා .

ඒ එක්කම මම ඒ නිල ගැනත් විස්තර කරලා දාන්නම් . මම අලි නිල ගැන කියවෙන ගොඩක් පොත් පත් කියවලා තියෙනවා . ප්‍රායෝගිකව දැනගෙනත් තියෙනවා . ඒත් ඒ පොත් පත් හැම එකකම තියෙන මේ රූපයේ සහ විස්තරවල අයිතිකරු වෙන්නේ දැරණියගල මහත්මයා . කවුරුවත් ඒ ගැන තමන්ගේ පොත්වල සඳහන් කරලා නැති එක ගැන මම කණගාටු වෙනවා .



1 හොඩය අකුලා ගැනීම
2 හොඩය දිගහැරීම
3 බිය ගැන්වීම
4 බිය ගන්වා කුංචනාද කරවීම
5 බිය ගන්වා කුංච නාද කරවා හස්තියා නැවත්වීම
6 පාලනය යටතට ගැනීම
7 මරණය
8 මරණය
9 මරණය
10 මරණය
11 පාලනය යටතට ගැනීම
12 පාලනය යටතට ගැනීම
13 ප්‍රභෝධවත් කිරීම
14 පාලනයයටතට ගැනීම
15 මරණය
16 දන ගැසීම
17 පසුපසට යෑම
18 පාලනය යටතට ගැනීම
19 උරහිස පහත කිරීම
20 දන නැමීම , බෙල්ල පහත කිරීම , නතරවීම
21 පාලනයට යටත් වීම
22 මරණය
23 හිස නැමීම
24 නැවතීම
25 කෝපාවිෂ්ට වීම
26 නැවතීම
27 පිටමත නැගීමට ආරාධනා කිරීම
28 මරණය
29 නවතියි
30 පාලනය යටතට ගැනීම
31 ගමන් කරයි
32 ගමන් කරයි
33 ගමන් කරයි
34 හිස පහත කරයි
35 හිරි වැටෙයි
36 ඇවිදීමට සහ නතර කිරීම
37 ඇවිදීම සහ නතර කිරීම
38 පිටමත නැගීමට
39 බිය වෙයි
40 බිය වෙයි
41 බිය වෙයි
42 ඇවිදියි
43 ඇවිදියි
44 ඇවිදියි
45 ඇවිදියි
46 නවතියි
47 ගමන් කරයි
48 නවතියි
49 පිට මතට නැගීමට ඉඩ දෙයි
50 සංසුන්වෙයි
51 නැගිට දුවයි
52 නැගිට දුවයි
53 වටේට කරකැවෙයි
54 වටේට කරකැවෙයි
55 වටේට කරකැවෙයි
56 මරණය
57 මරණය
58 බිම වැතිරෙයි
59 වටේට කරකැවෙයි
60 කෝප වෙයි
61 කෝප වෙයි
62 වටේට කරකැවෙයි
63 කෝප වෙයි
64 මරණය
65 නවතියි
66 නවතියි
67 නවතියි
68 නවතියි
69 දන ගසයි
70 දන ගසයි
71 දන ගසයි
72 73 74 නිල දෙකක් ස්පර්ශ කලාම සතා ගමන් කරයි , එකක් ස්පර්ශ කලාම නවතියි
75 පිටට නැගීමට පෙර පාදය දෙයි
76 පෙර පාදය දිගු කරයි
77 පෙර පාදය දෙයි
78 පෙර පාදය දෙයි
79 කොර ගසයි , පසු පාදය පෙරට ගෙනෙයි
80 පසු පාදය දෙයි
81 පසු පාදය දෙයි
82 පසු පාදය පසු පසට අදියි
83 පෙර පාදයඔසවයි
84 පෙර පාදය ඔසවයි
85 පාදය ඔසවයි , මැදගිල්ලේ නිය මත පාදබන ඇත ගොව්වාට පෙර පාදය මත නැගීමට ඉඩ දෙයි .
86 මරණය


අලි නිලවල තියෙන තවත් වැදගත් දෙයක් තමයි සමහර වෙලාවට මේවා භාවිතා කරන්න හෙණ්ඩුව ඕන වෙන්නෙත් නැති කාරණාව . අලියාගේ පිටේ ඉන්නකොට සමහර වෙලාවට අලියට කතා කරන්නේ නැතුව කකුලේ මහපටගිල්ලෙන් ඇනලා නැත්නම් පයින් ඒ නිල පාගලා අලි ඇත්තු කන්ට්‍රෝල් කරන්න පුළුවන් . ඒ කාලෙ හොරෙන් ගස් කපලා අලි ඇත්තු ලවා රෑට ඕවා පටවනකොට අලියට කතා කරන්නේ නැතුව මේ නිල ශාස්ත්‍රය හරහා අලියාගෙන් වැඩ ගත්තා කියලා මම එක අලි මහත්තයෙක්ගෙන් අහලා දැනගෙන තියෙනවා .

ඒ වගේම තමයි අද කාලෙ නැතත් අතීතයේ අලියා කන්ට්‍රෝල් නැති වෙනකොට අලියා මරණ එක සාමාන්‍ය දෙයක් . ඒ වෙනුවෙන් භාවිත කරලා තියෙන්නේ අලි මහත්තුරුන්ගේ ඉනේ තියෙනඋල් පිහිය . මරන්න නැත්නම් අලියා අඩපණ ක‍රන්න හරි මේ පිහිය පාවිච්චි කරනවා . මම දැන් කාලෙ කෙනෙක්ගෙන් ඇහුවම එයානම් කිව්වේ අලි බලන කෙනාගේ තියෙන බියජනක ස්වභාවය පෙන්නන්න තමයි එහෙම පිහියක් තියාගෙන ඉන්නේ කියලා . කමක් නෑ ඉතින් ඒකත් ඇත්තනේ . හැබැයි මරු නිල ගැන දන්න කෙනා පිහියක් ළඟ තියාගෙන ඉන්නවා කියන එකේ තවත් යටි අරමුණක් තියෙනවා කියලා කවුරු කවුරුත් මතක තියාගන්න ඕන . අලි නිල ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ . ආයෙත් දවසක කියන්නම් අලි නිල විදීමේ වෙදකම ගැන
. එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු .








ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

18 comments :

  1. අදහසක් ගන්න පුළුවන්..=D>

    ReplyDelete
    Replies
    1. ආ..... මල්ලි එහෙනම් අදහසට සල්ලි ගෙවලා යන්න . නැත්නම් පැරෂුට් එකෙන් ඇවිත් නෙලන්නේ හරිය :p
      බොහොම ස්තූති මචන් g-)

      Delete
  2. විඳව විඳව ජීවත් වෙන අහිංසක සත්තු !!!

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ වැරැද්ද . පවු ඒ සත්තු . මට අලි වෙදකම ගැන කියවනකොට මෙයාලා විහින්ම එයාලගේ තුවාල වලට කරගන්න බෙහෙත් ගැන දැනගත්තම මෙයාලා ගැන දුකක් හිතුනා .

      Delete
  3. ඉස්සර අලි පාරේ යනකොට දංවැල් එක්ක කටින් හපලා කොට අදින කඹයකින් ඔතලා හදාපු ගැජට් එක බෙල්ල වටේ දාගන ගියා උනත් කකුලට දංවැල් තිබුන්නැ, හෙන වස අලියෙක් වෙච්ච දල කොටාවත් ගොව්වෝ දෙන්නා එක්කෙනෙක් පිටේනැගල අනික හොඩවැල ලගින් ඇවිදගන ගියා, අලියා නිදහසේ ගස් වල අතු කඩාන කකා ගියේ, දවසක් වැටකට උඩින් හොඩය දාල මයියොක්කත් ගලවං කැවා, ඇතා ගලවගත්ත ගහ ගසල පස් අයින් කරකර ඉස්සරහට ගිහින් අල ටික ගිලල දැම්මා, එකා නාන්න එක්ක යන්ඩ පරක්කුවෙලා,ලොරියකුත් රබර් වත්තක පහලට පෙරලල තිබුනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මට ඒකට කියන නම මතක නැහැ . ඕක හදන්නේ කිතුල් කෙඳි පොල් කෙඳි වගේ ඒවා වලින් රවුමට ගොතලා . අලි ඇත්තු පුහුණු කරනකොට කරන පළවෙනිම දේ තමයි ඒ වළල්ල කටින් අල්ල ගන්න පුරුදු කරන එක . මටනම් එහෙම නිදහස් අලි ඇත්තු ගැන අත්දැකීමක් නැහැ . ඉන්න අයගෙන් නැදුන්ගමුවේ තමයි නිදහස් බැවින් උපරිමයෙන්ම ඉන්නවා දකින්නේ . පෙරහැරක එක්ක ගියත් එයාගේ ගමනට භාධාවක් නොවෙන්න තමයි දම්වැල් දාලා තියෙන්නේ . බොහොම ස්තූති දල කොටා ගැන කිව්ව කතාවට . අපිත් එක්ක දිගටම රැදී ඉන්න .

      g-)

      Delete
  4. ඔන්න අපිත් කියෙව්වා හොදේ ! g-) g-) g-)

    ReplyDelete
    Replies
    1. එලර්ස්................ g-) g-)
      මම අද රෑ දනාගේ මල්ල අවුස්සන්න ඉන්නේ :p

      Delete
  5. විදීම කියල නෙවෙයි නේද තිබුනේ කලාව කියල නේද? කලාව එනකන් බලන් ඉදලා නිල වෙදකම කරපු කතාවක් නේද තිබුනේ? වෙදකමෙන් පස්සේ බඩ පිරෙන්න කිරි හොදියි බතුයි දෙන සිද්දියක් තිබුනේ මේකේද

    ReplyDelete
    Replies
    1. නෑ විදීම තමයි පාඩමේ නම . අවස්ථා සම්බන්ධයට විදීම පාඩමේ කියලා ලිව්වා මතකයි . එදා ඒක කරන වෙලාවේ කලාව හරියට පිහිටලා තිබුණේ නැහැ . ඒත් ඒ රෝගියා වෙනුවෙන් ඒ වෙදකම එයාලා කරා කියලා තමයි ඒ පාඩමේ සඳහන් වෙලා තිබුණේ .
      ඔවු විදීම කරාට පස්සේ රෝගියාට නින්ද යනවා . පස්සේ ඇහැරෙනකොට ගොඩක් බඩගිනි නිසා එයාට කන්න කිරි හොදියි බතුයි හදලා තිබුණා කියලා තමයි ඒ පාඩමේ සඳහන් වෙලා තිබුණේ .
      බොහොම ස්තූති g-)

      Delete
  6. අර රූප සටහනත් එක්කම නිල ගැන විස්තර කරපු එක නම් සෑහෙන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. g-) g-) g-) g-)
      බොහොම ස්තූති :)

      Delete
  7. අර රූපෙත් එක්ක තියෙන්න හොදම විස්තරයක් මචෝ...
    ඔය පරණ තාලෙ හෙන්ඩුවක් තියේ මං දන්න කියන කෙනෙක්ගෙ ගෙදරක. ඒක දැං ගන්නෙ කොස් පොලොස් කඩන්ඩ
    හැක්...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙනම් එක්කෙනෙක්ගෙන් එකක් ඉල්ලගෙන එනවා . මටත් කොස් පොලොස් කඩන්න . :p
      බොහොම ස්තූති g-)

      Delete
  8. මරු ඈ.. ගොඩක් වැදගත් ලිපියක්.
    ඔන්න මචන් මාත් ආවලු..

    ReplyDelete
    Replies
    1. එල . බොහොම ස්තූති g-)

      Delete
  9. අර හෙණ්ඩුවෙ උල් දෙකක් තියෙන්නෙ ඇයි? වක් වෙච්චි එකකුයි කෙලින් එකකුයි.

    අනික් කාරණාව ඔය විදිහේ නිල වලට ඇන්නාම කරන දේවල් ඇතාට සහජයෙන්ම එනවද? නැත්නම් මේ නිලයට මේක කරන්න ඕනෙ කියලා පුරුදු කරනවද?

    අලි බාසාව කියලා එකකුත් තියෙනවා කියලා අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හුටා ! . මම ඒගැන ලියලා නැහැ නෙව . උල තියෙන්නේ අනින්න . කොක්ක වගේ එක තියෙන්නේ අදාළ නිළයට එල්ල කරලා අදින්න . එතකොට කොක්කේ තියෙන උල නිළයට ඇනෙනවා . නැත්නම් අලියාගේ පිටේ ඉන්නකොට සමහර නිල වලට අනින්න බැහැනේ තමාගේ ඉස්සරහ පැත්තේ තියන ඒවාට .

      නැහැ . මේ නිල උත්පත්තියෙන්ම එන ඒවා . පුහුණු කිරීමක් වෙන්නේ නැහැ . චීන කටු චිකිත්සාව වගේ එකක්නේ මේක . ඒ ඒ නිළයට ඇන්නම ඒ ඒ දේවල් වෙනවා . එහෙමයි ඒවා හැදිලා තියෙන්නේ . :)
      අලි භාෂාව ගැන නම් මම ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ . ගොඩක් ලිපි තියෙනවා දැකලා තියෙනවා ඒ ගැන ලියවිලා තියෙන .

      බොහොම ස්තූති g-) :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.