අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

මලයාල නාග වෛරෝඩිය කතාව ලිව්වට පස්සේ මම හිතාගෙන හිටියේ මාර්තු මාසය වෙනකල් බ්ලොග් එකේ යක්කු භූතයෝ සම්බන්ධව මුකුත් ලියන්නේ නෑ කියලා . ඒත...

බලි ශාන්තිකර්මවල ආදි කතෘන් තොටගමුවේ වීදාගම හිමිවරුන් ද ?






මලයාල නාග වෛරෝඩිය කතාව ලිව්වට පස්සේ මම හිතාගෙන හිටියේ මාර්තු මාසය වෙනකල් බ්ලොග් එකේ යක්කු භූතයෝ සම්බන්ධව මුකුත් ලියන්නේ නෑ කියලා . ඒත් ජෝතිෂ්‍ය ගැන ලියන අතරවාරයේ කතාව වෙන පැත්තකට හැරුනා . ඒ මොකද කියනවනම් අපේ මුතු අක්කා කමෙන්ට් කරලා තිබුණා ග්‍රහ අපල ගැන ලිව්ව ලිපියේ , බලි ශාන්තිකර්ම ගැනත් පුළුවන් නම් ලියන්න කියලා . ඇත්තම කියනවනම් මම බලි ශාන්ති කර්ම ගැන ලියන්න කියලා හිතාගෙන තමයි හිටියේ . කරුණු කාරණා කවි ශ්ලෝක මන්තර අරවා මේවා ගොඩකුත් එකතු කරගෙන හිටියේ .

ඒත් ඒවා ටයිප් කරන්න කම්මැලි කම නිසා මම වැඩේ අතෑරලා දාලා තිබුනේ . වැඩිම හේතුව උනේ බලි ශාන්තිකර්ම දැන් ගොඩක් අභාවයට ගිහින් නිසා කට්ටිය මේවා ගැන උනන්දු වෙනවද දන්නෙත් නැති නිසා . ඒ කෙසේ වෙතත් මම කම්මැලිකම අතෑරලා ඔන්න බලි ශාන්තිකර්ම ගැන ලියන්න තමයි මේ හදන්නේ .

විස්තර එකතු කරලා මෙහෙම මෙහෙම වෙනවා කියලා කිව්වට ඇත්තටම මට බලි ශාන්තිකර්මයක් සම්පූර්ණයෙන්ම දකින්න තාමත් අවස්ථාව ලැබිලා නැහැ . ඒත් වයලීනොගේ අම්මා නම් ඇති පදං බලි ශාන්තිකර්ම දැකලා තියෙනවා . ඒ තාත්තගෙයි මගෙයි බලි නෙවෙයි . අම්මා වැඩි කාලයක් හිටියේ දෙවියන්ගේ නගරයේ නිසා .ඒ පැත්තේ ග්‍රහ අපල වගේ දේවල් වලට ඉඳලා හිටලා තවමත් බලි ශාන්තිකර්ම කරනවා කියලා අපේ අය කියනවා මට ඇහිලා තියෙනවා .

බලි අඹන හැටි , පූජාවල් කරන හැටි ගැන මම පොත් පත් වලින් සහ තවත් අයගෙන් අහලා දැනගත්ත දේවල් , අම්මා කිව්ව දේවල් එක්ක ගළපලා තමයි මේ ලිපිය ලියන්නේ . ඒ නිසා මම බලියක් දැකලා නැතිවීම ගැන විස්සෝප වෙන්න කාරී නැහැ .





රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු කියන නවග්‍රහයින් නවදෙනා වගේම තවත් දේව යක්ෂ රාක්ෂ පිශාච කුම්භාණ්ඩන් වෙනුවෙන් බලි හදලා පුද පූජා පවත්වලා ඒ අයගෙන් උදවු උපකාර පිහිට ලබාගැනීම සහ ඒ අයව සතුටට පත් කරලා ඒ අයගෙන් වැළඳිලා තියෙන දොස් සමනය කරන්න තමයි බලි ශාන්ති කර්ම කරන්නේ . මෙතනදී මට මතක් වෙනවා මම කොඩිවින ගැන ලියනකොට ලිව්ව කාරණාවක් .

කොඩිවින කරනකොට සමහර වෙලාවට මැටියෙන් රූප අඹලා නම් ගම් ලියලා හිර කරලා කටු ගහලා නරකක් නපුරක් කරන ක්‍රියා පිළිවෙලක් තියෙනවා . ඔයාලට මතකනම් පයිරෙට්ස් ඔෆ් ද කැරෙබියන් චිත්‍රපට මාලාවේ හතරවෙනි චිත්‍රපටයේ තියෙනවා ජැක් ස්පැරෝව් වගේ බලියක් හදලා ජැක්ට බලපෑම් කරන විදියක් . ඒකත් මේ වගේ තමයි ඈ . ආයේ වෙනසක් නෑ . එහෙත් තියෙන්නේ මෙවම තමයි .







බලි ශාන්තිකර්ම වලදී කරන්නෙත් ඒවගේ දෙයක් . මෙතනදී කරන්නේ ඒ ඒ අදාළ අමනුෂ්‍යයාගේ රූප කාය අඹලා ඒ අමනුෂ්‍යයාගේ ඇල්ම බැල්ම ඒ රූපයට ලබාගෙන ඒ රූපයට පුද පූජාවල් තියලා පිහිට ප්‍රාර්ථනා කිරීම . දේවාලයකට ගිහින් අපි පුද පූජා තියන්නේ ගාථා ස්තෝත්‍ර කවි සෙත් කවි අරවා මේවා කන්නලවු මලඉලවු ඔක්කොම කියලා . දේවාලේදී අපි රූප අලුතෙන් අඹලා නෙවෙයිනේ පිහිට පතන්නේ . බලියක වෙනසකට තියෙන්නේ ඒ ඒ හෝරා නැකත් දින බලලා නියම ශාස්ත්‍රානුකූලව අදාළ අමනුෂ්‍යයාගේ රූපය ඇදුරා විහින්ම අඹලා ඒ පුද පූජා සිද්ද කිරීම .

ග්‍රහයන්ට වන්දනා මාන කිරීම ගැන මම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ . ලංකේෂ්වර උතුම් මහ රාවණා රජතුමාගේ කාලෙ පවා මේ ග්‍රහ තාරකා වන්දනා මාන කිරීම තිබිලා තියෙනවා කියලා සාක්ෂි තියෙනවනේ . සුමේරියන් , මෙසපොතේමියන් , නයිල් , ඉන්දු නිම්න , හොවැන්හෝ වගේ ශිෂ්ටාචාරවල පවා මේ ග්‍රහ තාරකා වලට වන්දනා මාන කිරීම තිබිලා තියෙනවා . එත් ලංකාවේ ඇති වෙච්ච මේ බලි ශාන්තිකර්ම වලදී ගොඩක් වෙලාවට කරන්නේ ඒ ඒ ග්‍රහයන්ගේ අපල ඇතිකිරීම භාර අරගෙන ඉන්න අමනුෂ්‍යයින් වෙනුවෙන් බලි හදලා පුද පූජා පැවැත්වීම . මන්තරවල කියවෙන හැටියට අසූහාරදහසක් බලි ශාන්තිකර්ම නම් කරලා තියෙනවා .ඒත් අද වෙනකොට නාමමාත්‍රිකව හරි ඉතුරුවෙලා තියෙන්නේ තිස්පහත් හතළිහත් අතර ගණනක් විතරයි .

යන්තර මන්තර ගවේෂණයේ මම තොරතුරු එකතු කරන කාලයේ මට ලැබුණා පොතක් බලි යාග රත්නාකරය කියලා . කොපි පොතක් නෙවෙයි . පුස්කොල පොතක් . ඒක කියවලා මම බලි ගැන ටිකක් දැනගත්තා . එත් බලියාග ගැන සම්පූර්ණ විස්තරයක් ඒ පොතේ තිබුණේ නැහැ . ඒ පොතේ තිබුණේ බලි කීපයකට අදාළ උපචාර විධි විතරයි . ඒ නිසා මම ඒ පොත ආයෙත් අයිතිකරුවන්ටම දුන්නා .

බලි ශාන්තිකර්ම ඇතිවුණා කියලා දැනට පිළිගැනීම තියෙන්නේ කෝට්ටේ යුගයේ . ඒ මතයට මම එකහෙලාම විරුද්ධයි . ඒ තියෙන උපචාර විධි සහ ශිල්පීය ක්‍රම එක්ක බැලුවම බලි ශාන්තිකර්ම ඇතිවෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම විජයගේ ලංකා ගමනට පෙර . ඒ කියන්නේ රාවණාගේ කාලෙ වෙන්න ඕන . යක්ෂ රාක්ෂ වගේ අයට මේ බලි කැපවෙලා තියෙන නිසා තමයි මම එහෙම වැඩිපුරම විශ්වාස කරන්නේ . ඒත් ජනශ්‍රුතිවලට අනුව කියන්නේ වීදාගම හිමිගේ කූට උපක්‍රමයක් අනුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අසීමිත ස්මරණ ශක්තිය නිසා බලි ශාන්තිකර්ම ලංකාවේ ප්‍රචලිත උනා කියලා .





හැබැයි ඒ මතයත් තරමක් දුරට ඇත්ත එකක් වෙන්න පුළුවන් . මොකද දන්නවද . මම සබරගමුව මහ සමන් දේවාලයේ දේවාභරණ ගැන ලියන්න කරුණු කාරණා ඉතිහාස කතා ගැන හොයන කාලෙ මට දැනගන්න ලැබුණා මෙන්න මෙහෙම දෙයක් .

සබරගමුව මහ සමන් දේවාලයේ දැන් පෙරහැර කාලෙට දේවාභරණ විදියට පෙරහැරේ වැඩම කරවන්නේ ඊතල . ලංකේෂ්වර උතුම් මහ රාවණා රජතුමාගේ නාභියට විද්ද බ්‍රහ්මස්ත්‍රය බඩෙන් ඇනිලා පිටෙන් පිටවෙලා වැටුනා කියන්නේ සබරගමුවටනේ . ඒ ඊතල තමයි දැන් ඔය පරෙස්සමට තියලා වන්දනා මාන කරනවා කියලා එක ඉතිහාස කතාවක සඳහන් වෙන්නේ .

හැබැයි මේ ඊතල වන්දනාව ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන්නේ කෝට්ටේ යුගයේ . ඒකට හේතුව වෙන්නේ කෝට්ටේ යුගයේ ලංකාවේ බ්‍රාහ්මණයින් ව්‍යාප්තවීම . කොටින්ම කියනවනම් හයවෙනි පරාක්‍රමභාහු රජතුමා නීලපෙරුමාල් මයිලප්පෙරුමාල් කියන බ්‍රාහ්මණයින් දෙන්නට තමයි සබරගමුව මහ සමන් දේවාලයේ කපු නිලය ලබා දෙන්නේ . ඒ නිසා ලංකාවේ බ්‍රාහ්මණ ඉගැන්වීම් ප්‍රචලිත උනා වෙන්න පුළුවන් .

දැන් මේ වීදාගම , තොටගමුවේ නාහිමිවරුදෙනම ගෑවිලා තියෙන කතාවත් බ්‍රාහ්මණයින් සම්බන්ධවෙලා වෙච්ච සිද්දියක් නිසා සමහරවිට කලින් තිබ්බ බලි ශාන්තිකර්ම නැවතත් පුනර්ජීවනය ලබන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන් . මෙන්න මෙහෙමයි කෝට්ටේ යුගයේ වීදාගම හිමියන් සහ තොටගමුවේ හිමියන් බලි ශාන්තිකර්ම සිංහලයින්ට ලබාදුන්නා කියලා කියන්නේ .

දවසක් වීදාගම හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්න වෙලාවක ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආව ජෝතිෂ්‍ය , යාග හෝම , යන්ත්‍ර මන්ත්‍ර විෂයන්ගේ කෙලපැමිනි බමුණෙක් වීදාගම හාමුරුදුවෝ හම්බෙන්න පන්සලට ඇවිත් තියෙනවා . පස්සේ දෙන්නා එක්ක සතුටු සාමීචියේ යෙදිලා ඉන්න අතරේ ටික ටික කතාව විවාදයක් බවට පත්වෙලා .

ඒ ලංකාවේ ශාස්ත්‍රය සහ ඉන්දියාවේ ශාස්ත්‍රය ගැන . අන්තිමට ග්‍රහ දෙවියන් වෙනුවෙන් කරන බලි පූජා ගැන කතාව ගිහින් තියෙනවා . මේ නිසා අන්තිමට වීදාගම හාමුදුරුවෝ අර බමුණට කියලා තියෙනවා එයා දන්නා බලි ශාන්තිකර්ම පිළිවෙල සම්පූර්නෙන්ම කියන්න කියලා අපේ ශිල්පයත් එක්ක ඒක පෑහෙනවද කියලා බලන්න ඕන නිසා .





බමුණත් රැල් බුරුල් ඇරලා කියලා දාලා තියෙනවා දන්නා කියන ඔක්කොම දේවල් ටික . ඔය වෙලාවේ තොටගමුවේ හාමුදුරුවෝ පන්සලේ ඉඳලා තියෙනවා. එතුමා ගැන ඉතින් කියන්න ඕන නැහැනේ . මේ වෙනකොට තොටගමුවේ හාමුදුරුවෝ සරස්වතී තෙල් වළඳලා ඇහෙන ඇහෙන දේ මතක හිටින තත්ත්වයට පත්වෙලා තමයි ඉඳලා තියෙන්නේ . ඒ නිසා එතුමා කරලා තියෙන්නේ මේ බමුණා බලි ගැන කියන්න ගත්තට පස්සේ ඒ ඔක්කොම දේවල් තමන්ගේ මතකයේ තැම්පත් කරගන්නා අතරේ පොස්කොලවල සටහන් කරපු එක .

අන්තිමට බමුණා තමන්ගේ ශිල්පය සහ අදාලා කවි ශ්ලෝක ස්තෝත්‍ර ඔක්කොම කියලා ඉවර උනාට පස්සේ වීදාගම හාමුදුරුවෝ කියලා තියෙනවා " රාහුල අර කළු මැදලා නැති පුස්කොල පොතක් තියෙනවා නේද පොත්ගුලේ ? අන්න ඒක අරගෙන එන්න කියලා .

රාහුල හාමුරුවොත් ඉතින් මුකුත්ම දන්නේ නෑ වගේ පොත අරගෙන ඇවිත් පෙන්නුවා . ඊට පස්සේ තමන්ගේ මතකයේ තියෙන අර බමුණා කිව්ව සේරම දේවල් කියාගෙන කියාගෙන ගියා . එවෙලේ තමයි බමුණට තේරිලා තියෙන්නේ එයා ගාව තියෙන දැනුමම වීදාගම හාමුදුරුවෝ ලඟත් තියෙනවා කියලා . පස්සේ වීදාගම හාමුදුරුවන්ටයි තොටගමුවේ හාමුදුරුවන්ටයි වැඳලා පන්සලෙන් පිටත් වෙලා ගිහින් . තොටගමුවේ හාමුදුරුවෝ මේ පිටපත් කරපු බලි ශාන්තිකර්ම ශාස්ත්‍රය අවසානයේ වීදාගම හාමුදුරුවන් විසින් සිංහල බලි ශාන්ති නිධානය කියලා පොතක් විදියට රචනා කරලා සිංහලයින් අතරේ ප්‍රචලිත කරලා තියෙනවා . අන්න ඒ බලි ශාන්තිකර්ම තමයි මේ අද අපි භාවිතා කරනවා කියලා කියන්නේ .

ඒත් බලි ශාන්තිකර්මවල උත්පත්තිය නම් වෙලා තියෙන්නේ එතන නෙවෙයි . බලි ශාන්තිකර්මවල උත්පත්තිය මහා සම්මත රජතුමා දක්වා ඈතට ඇදිලා යනවා . ලෝකයේ පළවෙනි රජතුමා විදියට හඳුන්වන්නේ මහාසම්මත රජතුමා . එතුමා නින්දේ ඉන්නකොට තමන්ගේ ඇඟට සර්පයෙක් වැටෙනවා දැකලා හීනෙන් බයවෙලා තියෙනවා .

පස්සේ මේගැන විමසලා බලනකොට ඒ ශාස්ත්‍රය සම්බන්ධ නිපුන පුද්ගලයින් කියලා තියෙන්නේ ග්‍රහ දෙවියන්ට පුදපූජා පවත්වලා ශාන්තිකර්මයක් කරනවානම් මේ ලෙඩේ සනීප කරගන්න පුළුවන් කියලා . පස්සේ ඒ ඒ ශිල්පීය ක්‍රම වලට බලි හදලා නවග්‍රයින්ට පූජා පැවැත්වූවාට පස්සේ රජතුමාට සනීප වෙලා තියෙනවා . අන්න එතන තමයි බලි ශාන්තිකර්මවල උත්පත්තිය ඇතිවුණා කියලා කියන්නේ .






බලි ශාන්තිකර්මවල උත්පත්තිය ගැන තියෙන අනිත් කතාව තමයි විශාලා මහා නුවර ලිච්චවී රජවරුන් සම්බන්ධ කතාව . ලිච්චවී කුමාරවරු පිරිසක් දවසක් ජලස්නානයට ගිහින් තියෙනවා පොකුණකට . මේ පොකුණ ළඟ තියෙනවා විශාල ගහක් . මේ ගහේ ඉඳලා තියෙනවා යක්ෂයෙක් . මේ යක්ෂයාගෙන් අවසර අරගෙන තමයි පොකුණට බහින්න ඕන . එත් මේ කුමාරවරුන්ගෙන් එක්කෙනෙක් එහෙම කරලා නෑ . ඒ නිසා යක්ෂයාට තරහා ගිහින් කුමාරයා ක්ලාන්ත කරලා වට්ටලා තියෙනවා .

ඊට පස්සේ අනිත් කුමාරවරු හොඳටම බයවෙලා ළඟ තිබ්බ මල් අරගෙන කුමාරයාගේ ඇඟට දාලා කුමාරයා තරමක් සනීප කරගෙන මාලිගාවට එක්ක ගිහින් තියෙනවා . පස්සේ රජතුමා මේ ගැන නිමිති දත් ඇදුරන්ගෙන් විමසලා බැලුවට පස්සේ එයාලා කියලා තියෙනවා යක්ෂයා වෙනුවෙන් බලියක් හදලා පූජා කරාම කුමාරයා සනීප කරගන්න පුළුවන් කියලා . පස්සේ ගැබ් 81ක් සහිත මල් බලියක් හදලා යක්ෂයාට කැප කරලා අර කිව්ව පොකුණට දැම්මට පස්සේ කුමාරයාට සනීප වෙලා තියෙනවා . එදා තමයි බලි ශාන්තිකර්ම ඉපදුනා කියලා කියන්නේ .දොන්ත තකට තත් තරිකිට ගෙම්බෝ පැනපි මල් බලියටකියලා කතාවක් තියෙනවා නේද ? . ලිච්චවී රජකුමාරයාට හදපු මල් බලියෙන් තමයි ඔය කතාවට අදාළ මල් බලියත්හැදිලා තියෙන්නේ .

ඔන්න ඔහොමයි බලි ශාන්තිකර්මවල උත්පත්තිය වෙලා තියෙන්නේ . පරස්පර විරෝධී කතා කීපයක් තමයි තියෙන්නේ . ඒත් ඉතින් විරෝධියි කියලා ඒවා එකක්වත් බැහැර කරන්න සම්ප්‍රදායන් අපිට ඉඩක් දෙන්නේ නැහැ . ඒ ශක්තිමත් පාදම නිසා තමයි මේ වෙනකල් මේවා පැවතගෙන එන්න ඇත්තේ . බලි ශාන්තිකර්මවල උපත මෙන්න මේ විදියයි කියලා කියන්නයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සහ වීදාගම මෛත්‍රීය නාහිමියන්ගේ බලි ශාන්තිකර්ම සඳහා තියෙන කතෘත්වය ගැන පැහැදිළි කරන්නයි තමයි මේ ලිපිය මම ලියන්න හිතුවේ . බලි ශාන්තිකර්ම කොහොමද කරන්නේ කියලා අපි තවත් ලිපියකින් කතා කරමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

12 comments:

  1. ජනප්‍රවාදයක් කියන්නෙම පරස්පර අවස්ථා වලින් ගහණ කතාවක් නෙ. ඒත් ඒක එහෙමයි කියල බැහැර කරන්ට ඕන නෑ නේ..
    නැද්ද. අපි නං මේ ගැන දන්න දේ අඩුයි ඒ හිංද බෝම ඉස්කෝතුයි කියනව ඇරෙන්ට වෙන කියන්ට දෙයක් නැතිවට තරහ ඇරං බලයක් තොයිලයක් කරන්ට කාරි නෑ. හැක්.. :)) :)) :))

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනම් ඇත්ත තමයි . මේ කතාවල ඇත්ත නැත්ත හොයන්න ඉතින් මේ චරිත දැන් ඉන්නවා කියලය :)
      බොහොම ස්තූති g-)

      Delete
  2. බලි බලන්න ඕනද? නිල්දණ්ඩාහින්න පැත්තේ තවමත් මේ ශාන්තිකර්මය කෙරෙනවා.අපේ අම්මලා ඒ ගැන රිසර්ච් එකක් කළා.පුළුවන් වෙලාවක බ්ලොග් එකේ ෆොටෝ ටිකක් දාන්නම්..))

    රාහුල හාමුදුරුවන්ගෙ ඔය කතාව මාත් අහල තිවුණා..
    අනික දස්කොන්ටත් මැරෙන්න සිද්ධ වුණේ ප්‍රමිලා දේවියගේ බලියේ වැරදි හොයන්න ගිහින් කියලා කතාවක් තියනවා නොවැ..හැබැයි ඒ මහනුවර යුගයෙ.රාහුල හාමුදුරුවො වැඩ හිටියෙ කෝට්ටේ යුගයෙ.ඒ නිසා ආදිකර්තෘ රාහුල හාමුදුරුවො වෙන්න පුළුවන්..))

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමද ? . නිල්දන්ඩාහින්න කියන ගම හොඳට අහලා පුරුදුයි . කොතනදීද කියලා මතක් වෙන්නේ නෑ . කමක් නෑ පස්සේ මතක් වෙන්නේ නැතැයි . එහෙනම් අම්මා දන්නවා ඇති ගොඩක් කරුණු කාරණා . ලියන්නකෝ අපිටත් කියවන්න ඒවා . ඒත් ආදී කතෘන් මේ අය නම් වෙන්න අමාරුයි නේද ? . මම නම් හිතන්නේ මේවා ඊට වඩා වයසයි . බලමුකෝ තවත් විස්තර හොයලා . :-f :-f
      බොහොම ස්තූති g-):)

      Delete
    2. නිල්දන්ඩාහින්න පන්සලේ දේවාලේ කරන දක්ශ කපුමහත්තයෙක් ඉන්නවා.. එයාද බලිශාන්ති කර්ම කරන්නේ...?? නිල්දන්ඩාහින්න තියන්නේ වලපනේ පැත්තේ... සීතා දේවිය වැලපුන තැන තමයි ඕං පස්සේ කාලෙක වලපනේ උනාය කියන්නේ....

      Delete
    3. වැසි දැරියගෙන් තමයි මේකට උත්තරයක් බලාපොරොත්තු වෙන්න වෙන්නේ . මමනම් එහෙම විස්තරයක් දන්නේ නැහැ . අපි බලමු වැසි දැරිය කමෙන්ට් කරයිද කියලා .
      බොහොම ස්තූති g-)

      Delete
  3. ඔය පයිරෙට්ස් ඔෆ් ද කැරෙබියන් චිත්‍රපටියේ පෙන්නන සීන් එක ඇවිල්ලා Voodoo doll එකක්. තොටගමුවේ හාමුදුරුවන්ගේ ඉතිහාස කතාව මම අහල තියෙන්නේ නම් වෙනස් විදියකට. ඔය කියන බමුණා වීදාගම හිමියන්ගෙන්ම ඉගෙන ගෙන නැවත ඉන්දියාවට ගොස් ආපසු එනවා. එතකොට ගෙනාපු පොතක් පෙන්නලා ගේම ඉල්ලනකොට තමා ඔය විදියට තොටගමුවේ හාමුදුරුවන් ඒ පොත පිටපත් කරන්නේ. පොත බලි ශාන්තිකර්ම ගැන පොතක් නොවන බවයි මගේ මතකය. කොහොම උනත් මගේ මතකය වැරදි වෙන්න පුළුවන්.

    යකෝ දැන්නේ තේරුනේ. මේක අමුම අමු copyright infringement කේස් එකක් නේ. හොඳ වෙලාවට තොටගමුවේ හාමුදුරුවෝ අපවත් වෙලා උන්නේ, නැත්නම් ඉතින් මෙලහකටත් වැළිකඩ තමා....හැක් !

    බලි තොවිල් යාග හෝම ගැන මගේ තියෙන්නේ උදාසීන හැගීමක් (neutral feeling). ඉදිරියටත් රැකගත යුතු සංස්කෘතික වටිනාකමක් සහිත අංගයකට වැඩි යමක් මේවායේ මම දකින්නේ නෑ. හැබැවටම මේවායේ සත්‍ය අසත්‍ය බව දැක්ක දවසට මගේ අදහස වෙනස් වෙන්න පුළුවන්.

    කොහොම උනත් මහන්සිවෙලා තොරතුරු එක්රැස් කරමින් උඹ මේ කරන දේ නම් අනාගත පරපුරට ගොඩක් වටිනවා.ඒ ගැන මගේ අවංක ප්‍රණාමය පිළිගන්න !!!

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කියන්නේ අර උඩින් යන්න පුළුවන් තෙල් එක ගැන කතාව නේද ? . මටත් මතක ඒ වගේ කතාවක් . ඒ වෙලාවෙත් මෙහෙම සිදුවීමක් උනා කියලා තමයි මටනම් ලාවට වගේ මතක . ඕවයේ සත්‍ය අසත්‍ය බව පෙන්නන්න කරුණු කාරණා තිබ්බට මම ඒවා වැඩිය ලියන්න උත්සහ ගන්නේ නැත්තේ ඒවා විද්‍යාත්මකව පෙන්නන්න බැරි නිසා . දැන් ඔය ඩෙංගු වලට ගස්ලබු කොලේ වෙදකම කලින් කිව්වට අන්තිමට විද්‍යාවෙන් ඔප්පු කලාට පස්සෙනේ එක හොඳයි කියලා උඩ පනින්න ගත්තේ .

      මමනම් ඔය හැම මගුලම විද්‍යාවෙන් ඔප්පු කරන එකට එච්චර කැමති නෑ . පේන්නම ප්‍රතිඵල තියෙනවනම් තව මොකටද විද්‍යාව ගාගන්නේ . දැන් මිනිස්සු විද්‍යාව කියලා පරණ හැමදේම ආයෙත් අලුතෙන් හොයාගන්න ක්‍රමවේදයක් පස්සේ යනවා . ඒ නිසා මේවා කියලා වැඩක් නෑ . නැති වෙන ඒවා නැතිවෙලා යන එකම තමයි හොඳ . මම මේ දොස් කිව්වා එහෙම නෙවෙයි හොඳේ . කියන්න අවස්ථාව ලැබුණු වෙලාවේ කියලා දැම්මේ .

      බොහොම ස්තූති g-)

      Delete
  4. ජනප්‍රවාද කොහොම උනත් මේ කතා අහන් ඉන්න කියවන්න එපා වෙන්නේ නෑ බං. ඒ තරමටම ඉන්ටරෙස්ටින්ග්.

    ReplyDelete
    Replies
    1. අනිවා . ගොඩක්වෙලාට අතින් දාලා දේවල් මේ කතාවල ගැබ් වෙලා ඇති . ඒත් එහෙමයි කියලා ඉතින් ඒවා පෙරලා කියලා ගන්න අපි දන්නෙත් නැහැනේ . ඒ නිසා මෙහෙම හරි කතා කියවලා දැනගන්න තමයි මමත් කැමති . :)

      බොහොම ස්තූති g-)

      Delete
  5. යකෙක්ව බැඳගෙන දවසට එක ගානෙ යක්ෂ කතා යකා ලව්වා ලියවන්නකො

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.