Sunday, February 14, 2016

කෝමාරිකා මාළුව







දැනට මාස කීපයකට කලින් කැම්පස් එකේ සිද්ද වෙච්ච කතා බහක් තමයි මේ කෑම හදන හැටි ලියන්න හේතු උනේ . අපේ බැච් එකේ ගෑණු ළමයෙක්ට ගැස්ට්‍රයිටීස් තියෙනවා කියලා කිය කිය හිටියා . ඒ ළමයාගේ වැඩේම චිලී පේස්ට් කන එකමයි . එළවළුවක් බතක් මාළුවක් කන්නේ නෑ . හැමදාම වගේ අපි කියනවා ඕවා කන්න එපා යකෝ ටිකක් අඩුවෙනකල් වත් එළවළුවක් පළතුරක් කාලා ඉන්නවා කියලා . කෝ ඇහුවද ? නෑ . ඉතින් අපි අන්තිමට කිව්වා දැන් එහෙනම් පත්තු වෙන්න ගත්තම විඳවපන් කියලා .

කිව්වා වගේම පත්තු උනා පිංවතුනි . නහයෙන් කටෙන් දුන් දාන්න තරම් පත්තු උනා . අපිත් එක්ක බත් කන වෙලාවට දවසක් මම කිව්වා ඕකට හොඳ බෙහෙතක් තියෙනවා කාලා බලනවා කියලා . පස්සේ ඒ ළමයා කිව්වා බෙහෙත් පෙති බීලා එපා වෙලා තියෙන්නේ , මොනවද කියලා කියන්නකෝ කියලා . ඊට පස්සේ මම කිව්වා කෝමාරිකා මදය කන්න පුළුවන් නම් ටිකක් වැඩි වෙන්න ඔය ලෙඩේට ගොඩක් හොඳයි කියලා . ඒ කෙල්ල ගත් කටටම කිව්වේ ඊයා කෝමාරිකා සෙවල වගේනේ කියලා . මට අපරාදේ කිව්වේ කියලා හිතුනා . තොපිට සෙවල දැන් නරක උනාට පස්සේ කාලෙක හොඳ වෙයි කියලා හිත හිත මම කට වහගෙනම හිටියා ඕන එකක් කරගන්න කියලා . අවසානයේ වමනෙත් දාන තරමටම උග්‍ර උනාට පස්සේ පෙති බීලා සනීප කරගෙන ලොකු වැඩක් කරා වගේ කැම්පස් ආවා .

ලංකාවේ මිනිස්සුන්ට කෙලවිලා තියෙන්නේ ඕක තමයි . තමන්ගේ දේ වටින්නේ නෑ . අනුන්ගේ දේවල් වටිනවා . අපිට මොකෝ . එත් දුකයි . ඉතින් කෝමාරිකා කන්නේ කොහොමද කියලා දන්නේ නැති අයට තමයි මම අද මේ ලිපිය ලියන්න හිතුවේ .






කෝමාරිකා ඕන නම් කොලයක් කඩලා අරගෙන නිකන්ම කන්නත් පුළුවන් ( අපිනම් එහෙමයි ) . පොත්ත ටිකක් තිත්තයි . මදේ නම් කිසිම රහක් නෑ . ටිකක් තිත්ත ගතියක් තියෙනවා . ඒත් ඒ හරිම චුට්ටයි . නැත්නම් කෝමාරිකා මද බ්ලෙන්ඩර් කරලා ඒ යුෂය බොන්න පුළුවන් . ආමාශයේ සෞඛ්‍ය රැක ගන්න හරිම හොඳ පානයක් තමයි කෝමාරිකා යුෂ . එහෙමත් නැත්නම් කෝමාරිකා මාළුව උයලා කන්න පුළුවන් . සෙංගමාලය තියෙන අයට මේ කෝමාරිකා මාළුව වඩා ගුණවත් කෑමක් කියලා කියනවා . බඩේ ලෙඩ වලට නෙවෙයි ආයුෂ වැඩි කරන්න පවා මේ කෝමාරිකා හේතු වෙනවා කියලා ආයුර්වේදයේ කියනවා . මුණේ ගාලා සුදුවෙනවට වඩා කාලා ලෙඩ හොඳ කරගන්න එක කවදා හරි ඔයාලට වැදගත් වේවි .

මෙන්න මේවා තමයි කෝමාරිකා මාළුව හදන්න ඕන වෙන්නේ .

හොඳ ඝනකම් කෝමාරිකා පිති තුනක් හතරක්
විටකන හුණු මේස හැඳි භාගයක්
කහ කුඩු ජුන්ඩක්
තක්කාලි ග්‍රෑම් 200ක්
බැදලා අඹරාගත් පොල් මේස හැඳි තුනක්
බැදපු මිරිස් කුඩු මේස හැන්දක්
බැදපු තුනපහ කුඩු තේ හැන්දක්
බැදපු උළුහාල් කුඩු තේ හැඳි කාලක්
අබ
ලුණු
පොල් කිරි කෝප්ප දෙකක්
රම්පා
කරපිංචා
කුරුඳු
එනසාල්
පොල් තෙල් ස්වල්පයක්

ඉස්සෙල්ලම කෝමාරිකා පිති අරගෙන හොඳට හෝදලා කැබලි වලට කපාගන්න . ඊට පස්සේ වටේට තියෙන කොලපාට පොත්ත හෙමීට ඉවත් කරගන්න . ඔය පොත්තේ තමයි මෙයාලා තිත්ත තියෙන්නේ . ඒ නිසා ඉවත් කරගන්න එක හොඳයි . තිත්තත් එක්කම කන්න කැමතිනම් කිසිම ගින්නක් නෑ කෝමාරිකා මදේ විවෘත වෙන විදියට දෙකට පළලා පොත්තත් එක්කම දාන්න .

ඊට පස්සේ තියෙන්නේ අර විටකන හුණු වලට කහ පොඩ්ඩක් දාලා කලවම් කරලා . වතුර චුට්ටක් එක්ක දිය කරලා අර කෝමාරිකා කෑලිවල හොඳට තවරගන්න එක . ඒවා ගාලා ටිකක් වෙලා තිබ්බම කෝමාරිකා කෑලි කළුපාට වෙනවා . ඊට පස්සේ අර හුණු ඔක්කොම ඉවත් වෙලා යන්න හොඳට හෝදන්න . ඊට පස්සේ මැටි ඇතිලියක් අරගෙන ඒකට ඔය කෝමාරිකා කෑලි ටික දාලා වතුර පොඩ්ඩක් විතර දාලා ගින්දර දාලා රත් කරන්න . වතුර රත් වෙවී කෝමාරිකා කෑලි තැම්බෙනකොට ඒ කෝමාරිකා කෑලි හොඳට හයි වෙලා කන්න පුළුවන් ගානට එනවා . ඊට පස්සේ එක ලිපෙන් බාලා අරගෙන පැත්තකින් තියා ගන්න .

ඊට පස්සේ වෙන භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් රත් උනාට පස්සේ අබ රම්පා කරපිංචා එනසාල් කුරුඳු ටික දාලා ඒවා ටිකක් තෙම්පරාදු කරගන්න . ඊට පස්සේ තක්කාලි ලුණු කෝමාරිකා කැබලි ටික සහ පොල් කිරි දාලා මද ගින්නේ හොඳට පිස ගන්න .

ඊට පස්සේ ලුණු බලලා මදිනම් දාලා ලිපෙන් බාගන්න . ඊට පස්සේ බත් එක්ක දා ගත්තම කන්ට හැකි බඩ පිරෙන කල් . එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු . එක්කෙනෙක් හරි හදලා කෑවොත් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න . මම කැමතියි එක්කෙනෙක් හරි කෑවනම් දැනගන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

22 comments :

  1. තිත්ත ඇත්තෙම නැද්ද බං

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ . ටිකක් පිපිඤ්ඤා වගේ..........
      :p g-)

      Delete
  2. ගෙදර තියනවා හදලා බලන්නම්කෝ. බඩඑළියේ යයිද කියලා බයත් හිතෙනවා.

    බැජ් එක නෙවෙයි බැච් එක.

    Badge = හිස්වැසුමේ, නිළ ඇඳුමේ පළඳින ලාංඡනය

    Batch = එකට සිටින/බැඳුන/ක්‍රියාකරන/කණ්ඩායම

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරේ . ඒකෙ ඉන්න කෘෂිතාක්ෂණ නිලධාරිණියන් මේ කෑම හදන හැටි ගැන පොත්වලත් ලියලා තියෙනවා නැවත හඳුන්වාදීමක් හැටියට . ඒ නිසා බඩඑළියේ යන එකක් නෑ . හැබැයි බඩ හිරවෙලා හිටින එකකුත් නැහැ .
      එල එල . මම වැරැද්ද හදන්නම් . ඔබතුමා හරි

      බොහොම ස්තූති g-) g-)

      Delete
    2. බඩ එළියේ ගියාටනම් කමක් නෑ...ඇතුලේ ගියොත් තමා ප්‍රශ්නේ

      Delete
  3. කෝමාරිකා බිම නම් බිල තියෙයි තව කෝමාරිකා පිත්ත කපලා වතුර බෝතලේකට දාලා ෆ්‍රිජ් එකේ දාල උදේට බොන එකත් රසයි..ඕක කාලා බලන්න ඕනි

    ReplyDelete
    Replies
    1. හැබැයි එහෙම කරන්න පුළුවන් නම් උයලා කන එකට වඩා ගොඩක් හොඳයි . නිකමට උයලා කාලා බලන්න . ඒත අමුවෙන්ම ඔයවගේ බීම හදලා බොන්නයි නැත්නම් වතුරේ දාලා බොන්නයි පුළුවන් නම් ආයේ අමුතුවෙන් උයලා කන්න ඕන නැහැ :)
      බොහොම ස්තූති g-)

      Delete
  4. කෝමාරිකා උයලා කනවා කියලා මම මේ ඇහුවමයි බං.

    ReplyDelete
    Replies
    1. පුදුමයි ඒත ඇත්තයි :p
      බොහොම ස්තූති g-)

      Delete
  5. kala balapudakata comment ekak dannam.

    ReplyDelete
    Replies
    1. එල :)
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  6. අනේ මට හුනු නෑනේ මෙහෙ කන්න ඕනේ කියලා හිතුණා කාලෙක ඉදලා. ස්තූති

    ReplyDelete
    Replies
    1. විකල්පයක් තියෙනවද නැත්ද කියලා හොයලා බලලා මම ආයෙත් කමෙන්ට් කරන්නම් . නැත්නම් පෝස්ට් එකක් දාන්නම් . දැනටනම් දන්නා හැටියට හුණු ඕනම තමයි .
      බොහොම ස්තූති g-) :)

      Delete
    2. වටේට තියන කොලපාට ටික කපලා අයින් කරලා දෙතුන් පාරක් හෝදලා අරන් වතුර අයින් වෙන්න මිරිකන්න. ගලන වතුරෙන් හෝදනව නම් ඉක්මනට අයින් වෙනවා. ඊට පස්සෙ කෑලි කපන්න.

      Delete
    3. බොහොම ස්තූති ඉසුරු . g-)g-)g-)

      Delete
  7. බොහොම වැදගත් ලිපියක් මචන්..

    ReplyDelete
    Replies
    1. එල එල
      බොහොම ස්තූති g -)

      Delete
  8. කෝමාරිකා නෑ නේ හදලා බලන්න.

    මටත් තියනවා ගැස්රයිටිස්. අර වේද මහත්තයාගේ බ්ලොග් එකේ තිබුනා දියබත් ඒකට සිරා බෙහෙතක් කියලා. ඒකෙන් වැඩේ බොහෝ දුරට ගොඩ ගියා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් දියබත් නියම කෑම . හැබැයි සමහර අයට සෙම අවුල් වෙනවා නේද දියබත් කෑවම . කෝමාරිකානම් එහෙම වෙනවා කියලා මම අහලා නැහැ . :)

      බොහොම ස්තූති g-)

      Delete
  9. ඔය ගැස් ටයිටිස් වලට තවත් හොද කෑමක් තමයි බත් දංකුඩ සහ දියබත් දෙකම, මම නෙමෙයි කියන්නේ පිලපිටිය මහත්තය...

    ReplyDelete
    Replies
    1. දියබත් නම් අහලා තියෙනවා . අනිත් එක අහලා තිබුණේ නැහැ ගැස්ට්‍රයිටීස් වලට හොඳයි කියලා .
      බොහොම ස්තූති !
      g-) g-)

      Delete
  10. මචං.. මටත් ගෑස්ටීක්තිබ්බා. උදේ නැඟිට්ට ගමන් තේ බොන්නෙ නැතිව බඩ පිරෙන්න ඇල් වතුර බොනවානම් ඔීක සතියෙන් නිට්ටාවටම සුව වෙනවා. හැබැයි කෝමාරිකා බීමනම් සුපිරි ආ..

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.