Friday, February 26, 2016

කක්කි ලෙඩ සමනය කරන " කෙසෙල්බඩ නියඹලා "











අපිට දෙවෙනි අවුරුද්දේ තිබුනා රසායන විද්‍යාවට Coordination compounds කියලා විෂයක් . ඒකෙන් ඉගැන්නුවේ හිමොග්ලොබීන් , ක්ලොරෝෆිල් වගේ සංයෝග කොහොමද පොඩි පොඩි අණු ප්‍රවාහනය කරන්න දායක වෙන්නේ කියලා . මේ විෂය අමිහිරි උනාට ඒ විෂයට මම ටිකක් කැමැත්තෙන් තමයි ඉගෙනගත්තේ . දවසක් ඔය ලෙක්චර් එකක් යන අතරේ සර් කතාව වෙන පැත්තකට අරගෙන ගියා . ඒත් මේ විෂයට සම්බන්ධවම තමයි .

සර් ඇහුවා ඔයාලා සොසේජස් කනවා නේද කියලා . අපි නිශ්ශබ්දතාවයෙන් ඔප්පු කරලා පෙන්නුවා ඔවු කියලා . ඊට පස්සේ සර් කිව්වා සොසේජස් කොච්චර පරණ උනත් ඒවායේ තියෙන රෝසපාට නැතිවෙන්නේ නැහැ නේද කියලා . අපි එකටත් නිශ්ශබ්ධතාවයෙන් ඔව් කියලා කිව්වා . ඊට පස්සේ සර් කතාව දිගටම කියාගෙන ගියා .

මේ සොසේජස් වල තියෙන්නෙත් කුකුල් ලේ වල තියෙන හිමොග්ලොබින්ම තමයි . ඔක්සිජන් හිමොග්ලොබින් එක්ක බැඳෙන්නේ ප්‍රතිවර්තී විදියට . ඒ කියන්නේ ආයෙත් ඒකෙන් ඔක්සිජන් අඩු පරිසරයකදී ඔක්සිජන් අනුව නිදහස් කරන්න පුළුවන් විදියට . එහෙම උනාම මස්වල තියෙන රෝස පාට නැතිවෙන්න පුළුවන් . එත් සොසේජස් හදනකොට කරනවා කියන්නේ මේ හිමොග්ලොබීන් එක්ක අප්‍රතිවර්තී විදියට තදින් බැඳෙන නයිට්‍රජන් අඩංගු අණුවක් සම්බන්ධ කරවන එක . එතකොට හොමොග්ලොබීන් අණුව නිදහස් අණුවක් වෙන්නේ නෑ . ඒ නිසා මස්වල තියෙන රෝස පාට ආරක්ෂා වෙලා තියෙනවා .

මේ සොසේජස් බඩට ගියාට පස්සේ මේ නයිට්‍රජන් අඩංගු අණු ඔක්කොම නිදහස් වෙනවා . ඊට පස්සේ නයිට්‍රොසෝනියම් කියන තෙල් වගේ ස්වභාවයක් තියෙන සංයෝග හදනවා . මේ ඔක්කොම තියෙන්නේ අන්තිමට බඩේ . ආමාශයේ , බඩවැල් වල මේ තෙල් වගේ සංයෝග ගෑවෙනවා . බඩවැල් වල තුවාල පළුදු වීම් තියෙනවනම් ඒවා ඇතුළුවෙලා බඩවැලේ සෛලවල විකෘතිතා ඇති කරලා අන්තිමට පිළිකා නිර්මාණය කරනවා . අමාශයටත් ඔය සෙතේම තමයි .

මේ කතාව අහනවත් එක්කම මගේ මතකය අවුරුදු ගාණක් ඈතට ඇදිලා ගිය එක මොහොතකින් . ඒ ආච්චිඅම්මා මට කන්න පුරුදු කරපු මෙන්න මේ කෙසෙල් බඩ නියඹලා කියන කෑම හොයාගෙන . මට තවම මතකයි ආච්චිඅම්මා කෙසෙල් බඩ නියඹලා හදලා ඒ එක්ක මට කවපු බත් කටේ රහ . ඒ කාලේ මම වත්තේ කෙසෙල් ගස් කපන්නේ නැහැ . මොකද මම පොඩි නිසා . ඒත් දැන් ගෙදර කෙසෙල් කැන් වැටුනම ඒවා කපන්නේ මම . ඒ නිසා මම කෙසෙල් බඩ අනිවාර්යෙන්ම උයවනවා අම්මට කියලා . එදාට බත් අඩුවෙන් උයලා කෙසෙල් බඩ තමයි වැඩිපුර උයන්නේ . එදාට මම කන්නේත් බත් වලට වඩා කෙසෙල් බඩ නියඹලා .

ආච්චිඅම්මා විස වෙදකම් එක්ක හැප්පුණු කෙනෙක් කියලා මම කිව්වනේ . ආච්චිඅම්මා මට කෙසෙල් බඩ නියඹලා හදලා කවන ගමන් මට කිව්ව කතාවක් එදා ලෙක්චර් එක වෙලාවේ මට මතක් උනා . ඒ තමයි අපි කන කෑම නිසා අපිරිසිදු වෙන බඩවැල් පිරිසිදු වෙන්න , බඩවැල් පිහදැමිලා යන්න මේ කෙසෙල් බඩ උයලා කන්න කියන කතාව . එදා ආච්චිඅම්මා මට කිව්වේ ඇඹුල් කෙසෙල් බඩ උයලා කනවට වඩා හොඳ අලුකෙසෙල් බඩ නියඹලා හදලා කන එක කියලා .

සාමාන්‍ය ජීවිතයට කෑමක් විදියට මේ නියඹලා එකතු කරගන්න කියලා එහෙම කිව්වා වගේම විෂ වෙදකමේදී අළුකෙසෙල් ගහ කොච්චර වටිනවද කියලා කියලා නිම කරන්න බැහැ . නයෙක් ගැහුවම ඉස්සෙල්ලම කරන වෙදකම් ලිස්ට් එකේ අලුකෙසෙල් බඩ , අලුකෙසෙල් අල , අලුකෙසෙල් ගෙඩි , අළු කෙසෙල් කොළ යුෂ හැමදේම එක එක බෙහෙත් වට්ටෝරු වලට යොදා ගන්නවා . ඒ නිසා මට තේරුනා ආච්චිඅම්මා එදා මට කෙලින්ම නොකියා පුරුදු කලේ වෙදකමේ ඉගැන්නෙන කෑමක් කියලා .

සමහර අයනම් දන්නවා ඇති . ඒත් දන්නේ නැති අය වෙනුවෙන් මම හිතුවා කෙසෙල් බඩ නියඹලා හදන හැටි ලියන්න ඕන කියලා . කොහිල අල උයලා කන කෙනෙක්ට කොහිල අලේ වෙනුවට කෙසෙල් බඩ කෑල්ල කපලා දන්න විතරයි තියෙන්නේ . කෙසෙල් ගහක් කපලා කෙසෙල් බඩ විසි කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම කෑමට ගන්න . කොහිල අලත් දැන් කෘමි නාශක නිසා අවදානම් තත්ත්වයකට වැටිලා තියෙන නිසා කෙසෙල් බඩ තමයි හොඳම . හැබැයි ඒ කෙසෙල් ගහත් ගෙදර හැදෙනවානම් තමා වඩාත්ම හොඳ .

කෙසෙල් ගහක් කැපුවට පස්සේ කෙසෙල් කැන එලියට ඇවිත් තියෙන තැන ඉඳලා අඟල් හයක් විතර පහළට වෙන්න තියෙන තැන ඉඳලා අඩි එකහමාරක් විතර කෙසෙල් බඩය කොටස උයන්න හොඳ තත්ත්වයේ තියෙනවා . ඊට පහළ ඉඳලා තියෙන බඩය මෝරලා වැඩියි . කෙඳි ගතිය වැඩි නිසා කන්න අමාරුයි . ඉතින් කෙසෙල් කඳ මේ කිව්ව දුරවල් වලට හරියන්න කපලා අරගෙන කෙසෙල් පතුරු ඔක්කොම ගලවලා දානකොට සුදුපාට කූරක් වගේ කෙසෙල් බඩය තියෙනවා . ඒක තමයි මේ උයන්න හදන්නේ .

කෙසෙල් බඩ කැබැල්ලක්
ගස්ලබු ගෙඩියක් ( හොඳට පැහුණු , ඒත් නොයිදුනු )
රතුළූණු
සුදුළූණු
හාල් මේස හැන්දක් විතර
උළුහාල් තේ හැන්දක්
අබ
ගම්මිරිස්
අමුමිරිස් කරල් පහක්
පොල් මේස හැන්දක්
රම්පා
කරපිංචා
කුරුඳු පොතු එකක්
දියකිරි කෝප්ප දෙකයි
මිටිකිරි කෝප්ප එකයි
ලුණු
කහ
උම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ





ඉස්සෙල්ලම කරන්න ඕන කෙසෙල් බඩය අරගෙන හොඳට සෝදලා කෑලි කෑලි වලට කපන එක . කැමති විදියකට කපා ගන්න . පොඩිවෙන තරමට කන්න ලේසියි . මමනම් කපන්නේ පෙති පෙති කපලා ඊට පස්සේ ඒ පෙති පහක් හයක් එකට තියලා කෑලි කෑලි වලට කපන එක . තමන්ට කැමති විදියකට කපාගන්න . ඊට පස්සේ ගස්ලබු ගෙඩියත් පොතු ගහලා සිහින් වෙන්න කපාගන්න . හාල් , පොල් , අබ සුදු ළූණු , ගම්මිරිස් , මිරිස් ගලක දාලා හොඳට අඹරගන්න . මිරිස් ගලක් නැත්නම් ග්‍රයින්ඩරේ දාලා වතුර පොඩ්ඩක් දාලා අඹරගන්න . පස්සේ මේ අඹරගත්ත eවයි කෙසෙල් බඩ ගස්ලබු කපපු ටිකයි මැටි ඇතිළියකට දාලා හොඳට අතින් කලවම් කරන්න . ඊට පස්සේ රම්පා කරපිංචා ඒවා මේවා ඔක්කොම දාන්න තියෙන ඒවා දාන්න .

ආ මට දෙයක් කියන්න අමතක උනා . කෙසෙල් බඩවල කෙඳි තියෙනවා . ඔයාලා කෙසෙල් බඩ කෑලි කපලා ඒ තියෙන භාජනයට හැඳි මිටක් දාලා පොඩ්ඩක් එහා මෙහා කරනකොට වැඩිපුර කෙඳි හැඳි මිටේ පැටලෙනවා . එහෙම කරලා ඕන නැති කෙඳි ඉවත් කරන්න පුළුවන් .

දැන් දියකිරි එකතුකරලා ලිපේ තියෙලා ගින්දර දාන්න . ගින්දර දාන්න බැරිනම් ගෑස් එකේ නොබ් එක කරකවන්න . හොඳට තැම්බුනාට පස්සේ මිටිකිරි එකතුකරන්න . ඊට පස්සේ රහ බලලා ලුණු එකතු කරන්න . මේකට ඉඟුරු කෑල්ලකුත් තලලා දාන්න පුළුවන් නම් මරු තමා . නියඹලාව හොඳට පැහුනට පස්සේ නියම සුවඳක් එනවා . ඊට පස්සේ තියෙන්නේ හැන්දට පොඩි කෑල්ලක් අරගෙන රහ බලන්න .

ඊට පස්සේ ඉතින් කන්ට හැකි බඩ පිරෙනකල් .

ඔය මල බද්දය නිසා මල පනින්නේ නැති අයට මේ නියඹලා හරිම හොඳයි කියලා කියනවා . ඊට වඩා වැදගත් වෙන්නේ විෂ නැති වෙන්න දායක වීමයි බඩවැල් ආමාශය පිරිසිදු කරන්න , අතු පතු ගාලා දාන්න මේ කෙසෙල් බඩ වල තියෙන කෙඳි වලට හොඳට පුළුවන් නිසා . බොරුවට පොෂ් වෙලා ලංකාවේ දේශීය දේවල් ඈත් කරලා නිකන් අමාරුවේ වැටෙන්න එපා . අහක දාන කෙසෙල් බඩය උයලා කාලා ඒ අත්දැකීම විඳගන්න . එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Monday, February 22, 2016

මහද දෝතින් ගෙන පැතු මට වෛර නොකරනු මැනවි







ආදරය යනු යමෙකු ගෙවන ලද ජීවිතය නවමු ආකාරයකින් ප්‍රතිසංස්කරණය කරනු ලබන ගුප්ත මායාවක් වැන්න  . එය තේරුම් ගනු ලබන්නේ කීයෙන් කීදෙනාද ? . සැබවින්ම බොහෝ අය සිතනු ලබන්නේ ආදරය කරනු ලබන පුද්ගලයා තමන් කැමති ආකාරයට හැඩගස්වා ගැනීමට රළු හැඩය , රළු වචන , රළු ගති පැවතුම් සුමුදු කිරීම තමා විසින්ම කළයුතු බවත්ය .

හැගීම් බෙදාහදා ගැනීම අදහස් හුවමාරු කරගැනීම ආදී සකලවිද ප්‍රේමාලිංගනයන්ගේ කූටප්‍රාප්තිය ඔහු හෝ ඇය තමා වෙත නම්මවා ගැනීම බව ඔවුන්ගේ විශ්වාසයයි . එහෙත් එය මුළුමනින්ම වැරදි ක්‍රියාවක් බව තේරුම් යන්නේ නැවුම් ආදරය පෑල දොරින් පලාගිය පසුවය .ඒ කෙසේ වෙතත් අප මුල සිටම කටයුතු කරන්නේ අපගේ පෙම්වතා හෝ පෙම්වතිය මුල සිටම තමාගේ අභිමතයන් අනුව වෙනස් කරගැනීමටය .

ආදරයේ සැබෑ හැඩතලය වන්නේ තමාගේ ගතිගුණ වලට අනුව අනෙකා නොව ; අනෙකාගේ ගතිගුණ වලට අනුව තමාගේ ජීවන හැඩතල වෙනස් කරගැනීමයි . ඔහුගේ හෝ ඇයගේ සිතුම් පැතුම් තේරුම්ගෙන ඒ අනුව ජීවත් වීමයි . අන්ධ බවින් මිදී මහපොළව තුල පයගසා ජීවත් වන්නාට සිහින ලෝකවල ජීවත්වී කඩා වැටෙන්නාට වඩා අංශුමාත්‍රයකින් හෝ වැඩි සතුටක් ලැබිය හැක . ඒ අනුව සිතනවිට බුදුන්වහන්සේ නිවැරදිය . ආශාවන් නැතිකළ තැනැත්තාට අජරාමර සැප ලැබේ .

සිහින ලෝකවල ජීවත්වන පුද්ගලයින් අවසානයේ සිහිනත් සමගම බොඳවී යනවා මිස සැබෑ ලෝකයේ අවදි වන්නට වරම් ලබන්නේ නැත . මේ එවන් පෙම්වතෙකුගේ ආත්මීය පසුතැවීමකි .

මහද දෝතින් ගෙන පැතු
පැතුම් කුසුමේ පෙති කඩා හැර
නුවන් යුග කඳුළින් තෙමා හැර
නිමල පෙමකට නිඟා කළ මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ

ඔබගේ ආත්මගත ආදර කුසුමේ සුවඳ විඳීමට මා ප්‍රාර්ථනා කරන ලද්දේ මාගේ හදවත දෝතින් ගෙනය . ඒ ඔබගෙන් මවෙත ලැබෙන්නාවූ ඔබගේම හදවත අහිමි වීමේ අඩුව ඔබට දැනීම වැලැක්වීමටය . අප දෙදෙනා එදා ඒ හුවමාරු කරගත් හදවත්වල පිරී පැවතුනු නැවුම් සුවඳට වග කිව යුත්තේ ඒ ඒ හදවත්වල පෝෂණයෙන් පිපී තිබුණු පැතුම් කුසුම බව මා හොඳාකාරවම දනිම .

මම මහා පවුකාරයෙක්මි . මම එය වටහාගන්නා විට මවිසින්ම ඒ පැතුම් කුසුමේ පෙති එකින් එක කඩා විසිරුවා අවසානය . ඔබටද මටද අවසානයේ ඉතිරි වූයේ කඳුළ පමණක්ය . පූජනීය වස්තුවක් සේ ඔබ ආරක්ෂා කළ නිර්මල වූ ප්‍රේමයට නිග්‍රහ කරන ලද ඒ පවුකාරයා මමය . මොහොතක් මොහොතක් පාසා විඳවමින් ඒ පවු ගෙවාලන මාහට ඔබගේ වෛරය දරාගැනීමට හැකියාවක් නැත . මාහට වෛර නොකරනු මැනවි සොඳුරියේ .

කටුක දුක් හදවත දවද්දී
නිවා ලන්නේ කෙලෙස ඔබ හද
බිඳුණු පෙම ඉකිබිඳ හඬද්දී
සිනා රැල්ලක වේද සොම්නස

ඔබගේ නිමල ප්‍රේමයට නිගාකල මාගේ හදවත කටුක අමිහිරි වේදනාවෙන් පිරී ඇත . එම වේදනාව විටෙක මහා ගිනි ජාලාවක් සේ මාගේ හදවත වෙලා ගනී . එහෙවු හදවතකට උරුමකම් කියන මා ඔබගේ හදවත දැවෙන වේදනා ගිනි දැල් නිවාලන්නේ කෙලෙසකද කියා සිතා ගැනීමට නොහැක . හදවත මුහුණින් ඉවතට පනිත්දී හදවතේ නැති සොම්නසින් පිරි සිනහව මුහුණින් කෙසේ පෙන්වමිද ?

සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අබිසෙස් ලබන්නට
නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අබියස රඟන්නට

ඔබගේ සිත සුමුදු පිවිතුරු සිතක් බව මම ඉඳුරාම දනිමි . නමුත් ඒ සුමුදු පිවිතුරු ප්‍රේමයේ අභිෂේකය මා හිස මත පැළඳ ගැනීමට වරම් අහිමි කරගත් පරාජිතයා මමය . අද ඔබ හා රංගනයේ යෙදීමට සිදුවී ඇත්තේ නන්නාඳුනන පුද්ගලයෙකු ලෙසිනි . එය මට නුහුරු නුපුරුදු හැසිරීමකි . එහෙත් ජීවිතය මේ දක්වා ගෙන ආවේ එලෙස රඟන්නට නම් වෙන කුමක් කරම්ද ??

මහද දෝතින් ගෙන පැතු
පැතුම් කුසුමේ පෙති කඩා හැර
නුවන් යුග කඳුළින් තෙමා හැර
නිමල පෙමකට නිඟා කළ මට
වෛර නොකරනු මැනවි සොඳුරියේ

කටුක දුක් හදවත දවද්දී
නිවා ලන්නේ කෙලෙස ඔබ හද
බිඳුණු පෙම ඉකිබිඳ හඬද්දී
සිනා රැල්ලක වේද සොම්නස

සිතක් ඇති මුත් සුමුදු පිවිතුරු
වරම් නැත අබිසෙස් ලබන්නට
නුහුරු නුපුරුදු ලොවක යසිසුරු
නොහැක ඔබ අබියස රඟන්නට


ගී පද : යශෝධා විමලධර්ම
තනුව : නවරත්න ගමගේ
ගායනය : දයාන් විතාරණ





Saturday, February 20, 2016

පැය හතෙන් මරු කැඳවන අංගම







දැනට මාස කීපයකට කලින් මම අපේ ගෙදර දොරවල් දෙකක WOOD CARE කෙමිකල් එකක් ගෑවා ඒවා දිරයි කියලා සැක කරලා . මමත් කරපු වැඩේ වැරැද්ද තේරුනේ ඊට පස්සේ . ඔයවගේ දේවල් කරනකොට මාස්ක් එකක් දාගෙන වැඩ කරන්න කියලා අම්මලා කොච්චර බැන්නත් මම සාමාන්‍යයෙන් මාස්ක් දාගෙන වැඩ කරන්න කැමති නැහැ . මකුළුදැල් කැඩුවත් ඔය මගුල නහයේ ඔතාගන්නේ නැහැ මොකද හුස්ම ගන්න අවුල් වගේ නිසා .

අන්තිමේදී ඔන්න මේ කෙමිකල් එක ගෑවා කියමුකෝ . ගාලා ඉවරවෙලා පැයක් දෙකක් ගියාට පස්සේ හචින් යන්න පටන් ගත්තා . හචින් යනවා කියන්නේ ඉවරයක් නැහැ . මම හිතුවා දවසක් විතර ගියාට පස්සේ වැඩේ ගොඩ යයි කියලා . අන්තිමට උනත් හැදුනා . හචින් යනවා හෙම්බිරිස්සාවයි උනයි ඔලුව ඇතුලෙන් රිදෙනවා රිදෙනවා වගෙයි ලෙඩ ගොඩයි . පස්සේ ජීවත්වීමේ ආසාව අතෑරලා දාලා ඩොකා හම්බෙන්න ගියා බෙහෙත් ගන්න . බෙහෙත් ගත්තා . දවස් තුනක් හිටියා . ඒත් අඩු නැහැ . පස්සේ අයෙත් ඩොකා හම්බුනාට පස්සේ බ්ලඩ් චෙක් කරලා බැලුවා . වෙලාවට ඩෙංගු නෙවෙයි . ඒත් බ්ලඩ් කවුන්ට් එකේ හැටියට සෙම පැසවලා කියලා තමයි ඩොකා කිව්වේ . දැන් ඩොකා අහනවා ප්‍රශ්න දිගට දිගට . සෙම කහපාටද ? , කැටිති වගේද අරවද මේවද ප්‍රශ්න ගොඩයි .

පස්සේ මම ඩොකාට කිව්වා මෙන්න මෙහෙම කෙමිකල් එකක් ගෑවා . සෙමත් එක්ක ලේත් ආවා කියලා . ඩොකා මට වඩා බය උනාද කොහෙද . අන්තිමට මාසයක් විතර ඒ සෙම පැසවපු ගතිය තිබුණා . දැන් තමයි හොඳ වෙලා තියෙන්නේ . මට ඒ වෙලාවේ මතක් උනා අංගම් වැදුනම මෙච්චර කාලයක් ගන්නේ නැති උනාට අන්තිමට වෙන්නේ නාහෙන් කටින් ලේ දාගෙන සෙම දාගෙන වැටෙන එක නේද කියලා .





ආපිට උසස්පෙළ කරන කාලෙ ඉඳලම කියලා දෙන දෙයක් තමයි කාබන් මොනොක්සයිඩ් වායුව වැඩියෙන් ආග්‍රානය කරොත් මනුස්සයෙක්ට මරණීය ප්‍රතිඵල ලබාගන්න පුළුවන් කියන දේ . ඔය සිගරට් වල පවා මේ කාබන් මොනොක්සයිඩ් වායුව යම් තරමට තියෙනවා කියලා කියනවනේ . ඒවගේ කාබන් මොනොක්සයිඩ් විතරක් නෙවෙයි තව ගොඩක් වායූන් වර්ග සහ වාෂ්පශීලී සංයෝග තියෙනවා ආග්‍රානය කරොත් මරණීය ප්‍රතිපල ලැබෙන ඒවා .

සමහර වෙලාවට කෙමෙස්ට්‍රි ලැබ් එකේ ප්‍රැක්ටිකල් කරනකොට අපි ෆියුම්හුඩ් එකක කරන ප්‍රතික්‍රියා තියෙනවා . ඒ ඒවාත් ආග්‍රානය කරොත් ක්ලාන්ත වෙන්නවත් වැඩි ඉඩකඩක් තියෙන නිසා . ඒත් අද කාලෙ එහෙම ඒවා තිබුණට ඒ කාලෙ එහෙම දේවල් තිබුණේ නැහැනේ . ඒ නිසා ඒ කාලෙ අයට කාටහරි ඔය ආග්‍රානය කිරීම වගේ දේවල් වලින් බලපෑමක් කරන්න ඕන නම් අංගම් පිඹලා තමයි මේ වගේ විෂ වායුන් වර්ග සහ අමනුෂ්‍යබලපෑම එකට එකතු කරලා මරණීය ප්‍රතිඵල ඇති කරවන්නේ .

මට මේ වෙලාවේ මතක් වෙනවා ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනට සහභාගී කරවාගත්ත තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගෙන් ගුරුකම් ඉගෙනගත්ත උන්වහන්සේගේ ඇබිත්තයාගේ මුණුබුරෙක් වන ඔබ්බේගොඩ දේවානන්ද හිමියන් කිව්ව කතාවක් . ඒ තමයි පුස්කොල මංකඩ ගණිතයා අංගම් හැටහතරක් පිඹලා සිංහල රජකෙනෙක්ට උදවු කරලා යුද්ධයක් දිනුවා කියලා . අන්න ඒ තරමටම අංගම කියන එක බලවත් . මොකද වෙන ගුරුකම් වගේ නෙවෙයි . මේ අංගම්වල ප්‍රතිඵල එවෙලේම ලැබෙනවා . කල් ගත්තොත් පැය හතයි උපරිමම ගතවෙන්නේ . ඒ කාලය ඇතුළත මරු කැඳවන්න තරම් මේ අංගම් ප්‍රභල වෙනවා . ඒ නිසාම අංගම් කියන ශාස්ත්‍රය පරම්පරාවලින් පිටතට දෙන්නේ නැති ඉතාමත්ම බරපතල රහස් විදියට තමයි පැවතගෙන ආවේ .

මේ අංගම්වල කරන්නේ මොනවාහරි දෙයක් මතුරලා තියාගෙන ඉඳලා අවශ්‍ය වෙලාවට ඒ දේ පාවිච්චි කරලා අංගම පිඹින එක . මම මේ අංගම් වලට භාවිතා කරන දේවල් කීපයක් සටහන් කරන්නම් ඔයාලට දැනගන්න . ඒවා ඒ ඒ අවස්ථාවේ හැටියට තමයි භාවිතා කරන්නේ . සමහර දේවල් ඉතාම සුළු දේවල් . ඒත් ඒවායින් පිඹින අංගම නිසා මරණයකින් ජීවිතයක් කෙලවර කරන්න පුළුවන් .

ගම්මිරිස් ඇට
ගම්මිරිස් කුඩු
ගම්මිරිස් කොළ
ගම්මිරිස් මුල්
ගම්මිරිස් නටු
මිරිස් කරල්
මිරිස් කුඩු
මිරිස් ඇට
තිබ්බටු ගෙඩි
වටු බිත්තර
හූණු බිත්තර
ගේ කුරුළු බිත්තර
තල් කොළ
කතුරු
ලේන්සු
ගොප් කොළ
කෙසෙල් කොළ
මුදු
ගොම
රත්මල්
ඉද්දමල්
නයි දළ
පොළොන් දළ
පුවක්ලී
පොල් ලී
තල් ලී
කිතුල් ලී

වගේ තව ගොඩක් දේවල් තියෙනවා මේ අංගම් පිඹින්න යොදාගන්න දේවල් . ප්‍රධාන වශයෙන් අංගම් වර්ග කියලා තියෙන්නේ මෙන්න මේ අංගම් තමයි . ඒත් තව අංගම් වර්ග ගොඩක් තියෙනවා . මම සටහන් කරන්නම් අංගම් කීපයක් ඔයාලාගේ දැනගැනීම වෙනුවෙන් .






හස්ත අංගම
හස්ත අංගම කියන්නේ අතින් කරන අංගමක් . ඒ අංගමට වෙන්වෙලා තියෙන මන්තරය අතට මතුරලා තමාට අංගම අරින්න ඕන කෙනාගේ පැත්තට අත පාන එක තමයි මේකෙන් කරන්නේ . එතකොට අංගම අදාළ කෙනාට වදිනවා .

තල්පත් අංගම
තල්පත් අංගම කරනකොට කරන්නේ තල් කොලයක් ඒ කියන්නේ පුස්කොලයක් අරගෙන මන්තරය ලියලා කළු මැදලා තියාගෙන ඕන වෙලාවට මන්තරය මතුරලා පුස්කොලේ රෝල් කරලා අංගම වදින්න ඕන කෙනාට යවන එක . ඒ කෙනා ඒක දිගෑරලා බැලුවට පස්සේ එයාට ඒ අංගම වදිනවා

සුරුට්ටු අංගම
රත්මල් , ඉද්දමල් , සමන්පිච්ච මල් වගේ මල් වර්ග අරගෙන මන්තර මතුරලා ජීවම් කරලා සුරුට්ටු ඔතන කොළත් එක්ක තියලා සුරුට්ටු ඔතලා තියාගෙන ඕන වෙලාවට මේ සුරුට්ටුව පත්තු කරලා අංගම වදින්න ඕන කෙනාට ආග්‍රානය වෙන්න පුළුවන් වෙන විදියට දුම පිඹිනවා . එතකොට අංගම වදිනවා .

උඩු තිරිංග අංගම
උඩු තිරිංග අංගම් ගොඩක් තියෙනවා . මේකට උඩු තිරිංග අංගම කියලා කියන්නේ අංගම කරන්න ඕන කෙනා පොළවේ පයගහලා ඉන්නේ නැතිවෙලාවට තමයි මේ අංගම වදින්නේ . ඒ කියන්නේ ගස් නගින අය , ගහෙන් ගහට මාරුවෙන රා මදින අය , ඔරු පදින අය වගේ අයට තමයි මේ අංගම් යවන එක කරන්නේ .

නීචකුල අංගම
මේ අංගම් කරන්නේ ගොඩක් වෙලාවටබලවත් අයට . ඒ කියන්නේ මන්තර ශාස්ත්‍රය දන්නා අයට , රජවරු ඇමතිවරු වගේ අයට . මොකද ඒ වගේ අයට ලේසියෙන් අංගම් වදින්නේ නැහැ ආරක්ෂාවල් කරලා තියෙන නිසා . ඒ නිසා නීචකුල අංගම් පිඹල තමයි මේ අංගම් කරන්නේ . මිරිස් කුඩු ගම්මිරිස් කුඩු වගේ දේවල් තමයි ඔහොම දේවල් වලට පාවිච්චි කරන්නේ .

රොඩී අංගම
රොඩී අංගම් කරන්නේ ගොඩක්වෙලාවට රොඩී කුලයේ අය තමයි . ඒ අය මේ අංගම් අරින්න එක එක වර්ගයේ දේවල් භාවිතා කරනවා . ඒවා පස්සේ කාලෙක වෙනත් අයත් ඉගෙනගෙන රොඩී නොවන අය පවා රොඩී අංගම් යවනවා . ඒත් මේ අංගම්වල සමහර අංගම් තියෙනවා ඒවා සාර්ථක වෙන්න රොඩී කුලයේ කෙනෙක් සම්බන්ධ වෙන්නම ඕන .

කතුරු අංගම්
කතුරු අංගම කරන්නේ මතුරපු කතුරක් ළඟ තියාගෙන ගිහින් ඒ අංගම පිඹින්න ඕන කෙනාගේ මූනට පිඹීමෙන් . එහෙම පිම්බම අංගම වදිනවා . මේ අංගම ටිකක් බරපතලයි . වැදුනගමන් මැරෙන්න උනත් පුළුවන් .

ලේන්සු අංගම
ලේන්සුවෙන් අංගම් පිඹින එක තමයි මේ අංගම් වර්ගයේ තියෙන විශේෂත්වය වෙන්නේ . ගොඩක්වෙලාවට මන්තර ගුරුකම් කරන අයගේ කරේ ලේන්සුවක් තියෙනවා . මේ ලේන්සුවේ කොනක් මතුරලා ගැටගහලා තමයි එයාලා ගෙයින් පිටත් වෙන්නේ . එයාලට අවුලක් වෙනවනම් එයාලා කරන්නේ මේ ලේන්සුව කරෙන් අරගෙන ගසන එක . එතකොට වදින හුළං පාර නිසා තමයි අංගම වදින්නේ . සමහරවෙලාවට මේ අංගම නිසා ගස්වල කරටි පවා කඩා වැටෙනවා කියලා මම අහලා තියෙනවා .

තඩිකාර අංගම
තඩිකාර අංගම කරන්නේ මතුරපු ලීයකින් . එතකොට කරන්නේ මතුරපු ලී කෑල්ලක් අංගම වදින්න ඕන කෙනාගේ අතට දෙන එක . අතට ගත්ත ගමන්ම අංගම වදිනවා . අසම්භාවී විදියට අංගම් වදින්න අංගම් යවන්න ඕන නම් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන් .

රීරි අංගම
කුකුලෙක්ගේ කරමලේ කඩලා ගන්න ලේ මතුරලා මල්වල කාසිවල රෙදි කෑලිවල එහෙම තවරලා ඒවා අංගම වදින්න ඕන කෙනාට ලැබෙන්න සලස්වලා එහෙමත් නැත්නම් මූණට මල වදින්න වීසි කරලා තමයි මේ අංගම කරන්නේ .

හනුමා අංගම
හනුමා අංගම කරන්නේ වඳුරෙක්ගේ මවිල් වලට මතුරලා තියාගෙන ඉඳලා අංගම පිඹින්න ඕන කෙනාගේ මූණට වදින විදියට එක අල්ල උඩ තියලා පිඹින එක.

හෙණරාවණ අංගම
අකුණු ගහපු පොල්ගස්වල පොල් ඉරටු කඩලා අරගෙන මතුරලා ඒ ඉරටු කෑලි පුළුස්සලා ඒ අළු අල්ල උඩින් තියලා පිඹලා තමයි මේ අංගම යවන්නේ . ඒ අළු මිශ්‍ර වාතය ආග්‍රානය කරලා තමයි මේ අංගම වදින්න සලස්වන්නේ .

මහසොහොන් අංගම
මහසෝනාගේ දිෂ්ටි කිරීම්වලින් තමයි මේ අංගම් කරන්නේ .

හස්ති අංගම
අලියෙක් කාපු පොල් අතුවල ඉරටු අරගෙන ඒවා ළඟ තියාගෙන ඉඳලා අංගම වදින්න ඕන කෙනාට ඒ ඉරටු කෑල්ල දීලා තමයි අංගම යවන්නේ .

සුනඛ අංගම
බල්ලෙක් කාපු බීපු තැන්වල තියෙන වතුර වැලි වගේ දේවල් භාවිතා කරලා තමයි සුනඛ අංගම් කරන්නේ .

මීට අමතරව විස්තර කියන්න බැරි ගොඩක් අංගම් වර්ග තියෙනවා

නරපුර අංගම
විදුර අංගම
ගෙරි අංගම
කල්ලු අංගම
මලයාල අංගම
කුල අංගම
තාරුකා අංගම
කුරුම්බර අංගම
දේව අංගම
නීල අංගම
වට අංගම





අංගම් ගැන තවත් කියන්න තියෙන විශේෂ දෙයක් තමයි මේවා වැදුණු ගමන් අංගමට තියෙන ප්‍රභලතාවය අනුව සමහර අංගම් සනීප කරන්න පුළුවන් . ඒත් ප්‍රභල අංගම් වැදුනම සනීප කරන්න අමාරුයි . මැරෙන්නම අංගම් පිඹින්න පුළුවන් . ඒ නිසා අංගම කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි .

පහසු දෙයක් නෙවෙයි කිව්වම මතක් උනේ . හැබැයි ඒ කතාව ටිකක් වැරදියි වගේ . මොකද කියනවනම් අංගම් පිඹින එක පහසු දෙයක් සනීප කරන්න පහසු නොවුනට . මන්තර අතට මතුරලා අතපාන එක මහලොකු අමාරු දෙයක් නෙවෙයිනේ . ඒ වගේම මේ අංගම් කරන්න නිර්මාණය වෙලා තියෙන මන්තර හරිම කෙටියි . පේලි දෙකක් වගේ තමයි තියෙන්නේ . ඒ නිසා ඒ කාලෙ ඉඳලම මිනිස්සු අංගම් වලින් බේරෙන්න විවිධ උපක්‍රම යන්ත්‍ර මණ්ඩල පැළඳගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා .

පලි :

ලිපියේ අවසානය සනිටුහන් කරන්න මම අංගමක මන්ත්‍රයක් ඇතුළත් කරන්නම් . ඒත් මේකේ අකුරු වැරදියි කියලා මතක තියාගන්න . ඒ නිසා කාටවත් බලපෑමක් වෙන්නේ නෑ . මට ඕන අංගමක මන්ත්‍රයක් කොච්චර කෙටිද කියලා කියන්න විතරයි . අංගම් ගැන විස්තර හොයන කාලේ ; අංගම් විතරක් නෙවෙයි අනිත් මන්තර ගුරුකම් ගැන විස්තර හොයන කාලෙ මට හමුවෙච්ච සීයා කෙනෙක් තමයි මේ අංගමේ මන්තරය මට කිව්වේ . එයත් කිව්වේ පුතාට මේවා කියලා දෙන්න බැහැ . ඒ නිසා වැරදි විදියට කියනවා කියලා . ඒ වගේම ඔන්න මමත් ඔයාලට වැරදියටම කියලා දෙන්නම් .

ඕන් අරිඅරී ශක්‍රාන් ගුරුගුරූ ශක්‍රාන් ශ්‍රීවිෂ්ණු නාරායනේ ගිනිපුරංගු දිරිධඃ

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Wednesday, February 17, 2016

බලි ශාන්තිකර්මවල ආදි කතෘන් තොටගමුවේ වීදාගම හිමිවරුන් ද ?







මලයාල නාග වෛරෝඩිය කතාව ලිව්වට පස්සේ මම හිතාගෙන හිටියේ මාර්තු මාසය වෙනකල් බ්ලොග් එකේ යක්කු භූතයෝ සම්බන්ධව මුකුත් ලියන්නේ නෑ කියලා . ඒත් ජෝතිෂ්‍ය ගැන ලියන අතරවාරයේ කතාව වෙන පැත්තකට හැරුනා . ඒ මොකද කියනවනම් අපේ මුතු අක්කා කමෙන්ට් කරලා තිබුණා ග්‍රහ අපල ගැන ලිව්ව ලිපියේ , බලි ශාන්තිකර්ම ගැනත් පුළුවන් නම් ලියන්න කියලා . ඇත්තම කියනවනම් මම බලි ශාන්ති කර්ම ගැන ලියන්න කියලා හිතාගෙන තමයි හිටියේ . කරුණු කාරණා කවි ශ්ලෝක මන්තර අරවා මේවා ගොඩකුත් එකතු කරගෙන හිටියේ .

ඒත් ඒවා ටයිප් කරන්න කම්මැලි කම නිසා මම වැඩේ අතෑරලා දාලා තිබුනේ . වැඩිම හේතුව උනේ බලි ශාන්තිකර්ම දැන් ගොඩක් අභාවයට ගිහින් නිසා කට්ටිය මේවා ගැන උනන්දු වෙනවද දන්නෙත් නැති නිසා . ඒ කෙසේ වෙතත් මම කම්මැලිකම අතෑරලා ඔන්න බලි ශාන්තිකර්ම ගැන ලියන්න තමයි මේ හදන්නේ .

විස්තර එකතු කරලා මෙහෙම මෙහෙම වෙනවා කියලා කිව්වට ඇත්තටම මට බලි ශාන්තිකර්මයක් සම්පූර්ණයෙන්ම දකින්න තාමත් අවස්ථාව ලැබිලා නැහැ . ඒත් වයලීනොගේ අම්මා නම් ඇති පදං බලි ශාන්තිකර්ම දැකලා තියෙනවා . ඒ තාත්තගෙයි මගෙයි බලි නෙවෙයි . අම්මා වැඩි කාලයක් හිටියේ දෙවියන්ගේ නගරයේ නිසා .ඒ පැත්තේ ග්‍රහ අපල වගේ දේවල් වලට ඉඳලා හිටලා තවමත් බලි ශාන්තිකර්ම කරනවා කියලා අපේ අය කියනවා මට ඇහිලා තියෙනවා .

බලි අඹන හැටි , පූජාවල් කරන හැටි ගැන මම පොත් පත් වලින් සහ තවත් අයගෙන් අහලා දැනගත්ත දේවල් , අම්මා කිව්ව දේවල් එක්ක ගළපලා තමයි මේ ලිපිය ලියන්නේ . ඒ නිසා මම බලියක් දැකලා නැතිවීම ගැන විස්සෝප වෙන්න කාරී නැහැ .





රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු කියන නවග්‍රහයින් නවදෙනා වගේම තවත් දේව යක්ෂ රාක්ෂ පිශාච කුම්භාණ්ඩන් වෙනුවෙන් බලි හදලා පුද පූජා පවත්වලා ඒ අයගෙන් උදවු උපකාර පිහිට ලබාගැනීම සහ ඒ අයව සතුටට පත් කරලා ඒ අයගෙන් වැළඳිලා තියෙන දොස් සමනය කරන්න තමයි බලි ශාන්ති කර්ම කරන්නේ . මෙතනදී මට මතක් වෙනවා මම කොඩිවින ගැන ලියනකොට ලිව්ව කාරණාවක් .

කොඩිවින කරනකොට සමහර වෙලාවට මැටියෙන් රූප අඹලා නම් ගම් ලියලා හිර කරලා කටු ගහලා නරකක් නපුරක් කරන ක්‍රියා පිළිවෙලක් තියෙනවා . ඔයාලට මතකනම් පයිරෙට්ස් ඔෆ් ද කැරෙබියන් චිත්‍රපට මාලාවේ හතරවෙනි චිත්‍රපටයේ තියෙනවා ජැක් ස්පැරෝව් වගේ බලියක් හදලා ජැක්ට බලපෑම් කරන විදියක් . ඒකත් මේ වගේ තමයි ඈ . ආයේ වෙනසක් නෑ . එහෙත් තියෙන්නේ මෙවම තමයි .







බලි ශාන්තිකර්ම වලදී කරන්නෙත් ඒවගේ දෙයක් . මෙතනදී කරන්නේ ඒ ඒ අදාළ අමනුෂ්‍යයාගේ රූප කාය අඹලා ඒ අමනුෂ්‍යයාගේ ඇල්ම බැල්ම ඒ රූපයට ලබාගෙන ඒ රූපයට පුද පූජාවල් තියලා පිහිට ප්‍රාර්ථනා කිරීම . දේවාලයකට ගිහින් අපි පුද පූජා තියන්නේ ගාථා ස්තෝත්‍ර කවි සෙත් කවි අරවා මේවා කන්නලවු මලඉලවු ඔක්කොම කියලා . දේවාලේදී අපි රූප අලුතෙන් අඹලා නෙවෙයිනේ පිහිට පතන්නේ . බලියක වෙනසකට තියෙන්නේ ඒ ඒ හෝරා නැකත් දින බලලා නියම ශාස්ත්‍රානුකූලව අදාළ අමනුෂ්‍යයාගේ රූපය ඇදුරා විහින්ම අඹලා ඒ පුද පූජා සිද්ද කිරීම .

ග්‍රහයන්ට වන්දනා මාන කිරීම ගැන මම ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ . ලංකේෂ්වර උතුම් මහ රාවණා රජතුමාගේ කාලෙ පවා මේ ග්‍රහ තාරකා වන්දනා මාන කිරීම තිබිලා තියෙනවා කියලා සාක්ෂි තියෙනවනේ . සුමේරියන් , මෙසපොතේමියන් , නයිල් , ඉන්දු නිම්න , හොවැන්හෝ වගේ ශිෂ්ටාචාරවල පවා මේ ග්‍රහ තාරකා වලට වන්දනා මාන කිරීම තිබිලා තියෙනවා . එත් ලංකාවේ ඇති වෙච්ච මේ බලි ශාන්තිකර්ම වලදී ගොඩක් වෙලාවට කරන්නේ ඒ ඒ ග්‍රහයන්ගේ අපල ඇතිකිරීම භාර අරගෙන ඉන්න අමනුෂ්‍යයින් වෙනුවෙන් බලි හදලා පුද පූජා පැවැත්වීම . මන්තරවල කියවෙන හැටියට අසූහාරදහසක් බලි ශාන්තිකර්ම නම් කරලා තියෙනවා .ඒත් අද වෙනකොට නාමමාත්‍රිකව හරි ඉතුරුවෙලා තියෙන්නේ තිස්පහත් හතළිහත් අතර ගණනක් විතරයි .

යන්තර මන්තර ගවේෂණයේ මම තොරතුරු එකතු කරන කාලයේ මට ලැබුණා පොතක් බලි යාග රත්නාකරය කියලා . කොපි පොතක් නෙවෙයි . පුස්කොල පොතක් . ඒක කියවලා මම බලි ගැන ටිකක් දැනගත්තා . එත් බලියාග ගැන සම්පූර්ණ විස්තරයක් ඒ පොතේ තිබුණේ නැහැ . ඒ පොතේ තිබුණේ බලි කීපයකට අදාළ උපචාර විධි විතරයි . ඒ නිසා මම ඒ පොත ආයෙත් අයිතිකරුවන්ටම දුන්නා .

බලි ශාන්තිකර්ම ඇතිවුණා කියලා දැනට පිළිගැනීම තියෙන්නේ කෝට්ටේ යුගයේ . ඒ මතයට මම එකහෙලාම විරුද්ධයි . ඒ තියෙන උපචාර විධි සහ ශිල්පීය ක්‍රම එක්ක බැලුවම බලි ශාන්තිකර්ම ඇතිවෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම විජයගේ ලංකා ගමනට පෙර . ඒ කියන්නේ රාවණාගේ කාලෙ වෙන්න ඕන . යක්ෂ රාක්ෂ වගේ අයට මේ බලි කැපවෙලා තියෙන නිසා තමයි මම එහෙම වැඩිපුරම විශ්වාස කරන්නේ . ඒත් ජනශ්‍රුතිවලට අනුව කියන්නේ වීදාගම හිමිගේ කූට උපක්‍රමයක් අනුව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අසීමිත ස්මරණ ශක්තිය නිසා බලි ශාන්තිකර්ම ලංකාවේ ප්‍රචලිත උනා කියලා .





හැබැයි ඒ මතයත් තරමක් දුරට ඇත්ත එකක් වෙන්න පුළුවන් . මොකද දන්නවද . මම සබරගමුව මහ සමන් දේවාලයේ දේවාභරණ ගැන ලියන්න කරුණු කාරණා ඉතිහාස කතා ගැන හොයන කාලෙ මට දැනගන්න ලැබුණා මෙන්න මෙහෙම දෙයක් .

සබරගමුව මහ සමන් දේවාලයේ දැන් පෙරහැර කාලෙට දේවාභරණ විදියට පෙරහැරේ වැඩම කරවන්නේ ඊතල . ලංකේෂ්වර උතුම් මහ රාවණා රජතුමාගේ නාභියට විද්ද බ්‍රහ්මස්ත්‍රය බඩෙන් ඇනිලා පිටෙන් පිටවෙලා වැටුනා කියන්නේ සබරගමුවටනේ . ඒ ඊතල තමයි දැන් ඔය පරෙස්සමට තියලා වන්දනා මාන කරනවා කියලා එක ඉතිහාස කතාවක සඳහන් වෙන්නේ .

හැබැයි මේ ඊතල වන්දනාව ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන්නේ කෝට්ටේ යුගයේ . ඒකට හේතුව වෙන්නේ කෝට්ටේ යුගයේ ලංකාවේ බ්‍රාහ්මණයින් ව්‍යාප්තවීම . කොටින්ම කියනවනම් හයවෙනි පරාක්‍රමභාහු රජතුමා නීලපෙරුමාල් මයිලප්පෙරුමාල් කියන බ්‍රාහ්මණයින් දෙන්නට තමයි සබරගමුව මහ සමන් දේවාලයේ කපු නිලය ලබා දෙන්නේ . ඒ නිසා ලංකාවේ බ්‍රාහ්මණ ඉගැන්වීම් ප්‍රචලිත උනා වෙන්න පුළුවන් .

දැන් මේ වීදාගම , තොටගමුවේ නාහිමිවරුදෙනම ගෑවිලා තියෙන කතාවත් බ්‍රාහ්මණයින් සම්බන්ධවෙලා වෙච්ච සිද්දියක් නිසා සමහරවිට කලින් තිබ්බ බලි ශාන්තිකර්ම නැවතත් පුනර්ජීවනය ලබන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන් . මෙන්න මෙහෙමයි කෝට්ටේ යුගයේ වීදාගම හිමියන් සහ තොටගමුවේ හිමියන් බලි ශාන්තිකර්ම සිංහලයින්ට ලබාදුන්නා කියලා කියන්නේ .

දවසක් වීදාගම හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්න වෙලාවක ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආව ජෝතිෂ්‍ය , යාග හෝම , යන්ත්‍ර මන්ත්‍ර විෂයන්ගේ කෙලපැමිනි බමුණෙක් වීදාගම හාමුරුදුවෝ හම්බෙන්න පන්සලට ඇවිත් තියෙනවා . පස්සේ දෙන්නා එක්ක සතුටු සාමීචියේ යෙදිලා ඉන්න අතරේ ටික ටික කතාව විවාදයක් බවට පත්වෙලා .

ඒ ලංකාවේ ශාස්ත්‍රය සහ ඉන්දියාවේ ශාස්ත්‍රය ගැන . අන්තිමට ග්‍රහ දෙවියන් වෙනුවෙන් කරන බලි පූජා ගැන කතාව ගිහින් තියෙනවා . මේ නිසා අන්තිමට වීදාගම හාමුදුරුවෝ අර බමුණට කියලා තියෙනවා එයා දන්නා බලි ශාන්තිකර්ම පිළිවෙල සම්පූර්නෙන්ම කියන්න කියලා අපේ ශිල්පයත් එක්ක ඒක පෑහෙනවද කියලා බලන්න ඕන නිසා .





බමුණත් රැල් බුරුල් ඇරලා කියලා දාලා තියෙනවා දන්නා කියන ඔක්කොම දේවල් ටික . ඔය වෙලාවේ තොටගමුවේ හාමුදුරුවෝ පන්සලේ ඉඳලා තියෙනවා. එතුමා ගැන ඉතින් කියන්න ඕන නැහැනේ . මේ වෙනකොට තොටගමුවේ හාමුදුරුවෝ සරස්වතී තෙල් වළඳලා ඇහෙන ඇහෙන දේ මතක හිටින තත්ත්වයට පත්වෙලා තමයි ඉඳලා තියෙන්නේ . ඒ නිසා එතුමා කරලා තියෙන්නේ මේ බමුණා බලි ගැන කියන්න ගත්තට පස්සේ ඒ ඔක්කොම දේවල් තමන්ගේ මතකයේ තැම්පත් කරගන්නා අතරේ පොස්කොලවල සටහන් කරපු එක .

අන්තිමට බමුණා තමන්ගේ ශිල්පය සහ අදාලා කවි ශ්ලෝක ස්තෝත්‍ර ඔක්කොම කියලා ඉවර උනාට පස්සේ වීදාගම හාමුදුරුවෝ කියලා තියෙනවා " රාහුල අර කළු මැදලා නැති පුස්කොල පොතක් තියෙනවා නේද පොත්ගුලේ ? අන්න ඒක අරගෙන එන්න කියලා .

රාහුල හාමුරුවොත් ඉතින් මුකුත්ම දන්නේ නෑ වගේ පොත අරගෙන ඇවිත් පෙන්නුවා . ඊට පස්සේ තමන්ගේ මතකයේ තියෙන අර බමුණා කිව්ව සේරම දේවල් කියාගෙන කියාගෙන ගියා . එවෙලේ තමයි බමුණට තේරිලා තියෙන්නේ එයා ගාව තියෙන දැනුමම වීදාගම හාමුදුරුවෝ ලඟත් තියෙනවා කියලා . පස්සේ වීදාගම හාමුදුරුවන්ටයි තොටගමුවේ හාමුදුරුවන්ටයි වැඳලා පන්සලෙන් පිටත් වෙලා ගිහින් . තොටගමුවේ හාමුදුරුවෝ මේ පිටපත් කරපු බලි ශාන්තිකර්ම ශාස්ත්‍රය අවසානයේ වීදාගම හාමුදුරුවන් විසින් සිංහල බලි ශාන්ති නිධානය කියලා පොතක් විදියට රචනා කරලා සිංහලයින් අතරේ ප්‍රචලිත කරලා තියෙනවා . අන්න ඒ බලි ශාන්තිකර්ම තමයි මේ අද අපි භාවිතා කරනවා කියලා කියන්නේ .

ඒත් බලි ශාන්තිකර්මවල උත්පත්තිය නම් වෙලා තියෙන්නේ එතන නෙවෙයි . බලි ශාන්තිකර්මවල උත්පත්තිය මහා සම්මත රජතුමා දක්වා ඈතට ඇදිලා යනවා . ලෝකයේ පළවෙනි රජතුමා විදියට හඳුන්වන්නේ මහාසම්මත රජතුමා . එතුමා නින්දේ ඉන්නකොට තමන්ගේ ඇඟට සර්පයෙක් වැටෙනවා දැකලා හීනෙන් බයවෙලා තියෙනවා .

පස්සේ මේගැන විමසලා බලනකොට ඒ ශාස්ත්‍රය සම්බන්ධ නිපුන පුද්ගලයින් කියලා තියෙන්නේ ග්‍රහ දෙවියන්ට පුදපූජා පවත්වලා ශාන්තිකර්මයක් කරනවානම් මේ ලෙඩේ සනීප කරගන්න පුළුවන් කියලා . පස්සේ ඒ ඒ ශිල්පීය ක්‍රම වලට බලි හදලා නවග්‍රයින්ට පූජා පැවැත්වූවාට පස්සේ රජතුමාට සනීප වෙලා තියෙනවා . අන්න එතන තමයි බලි ශාන්තිකර්මවල උත්පත්තිය ඇතිවුණා කියලා කියන්නේ .






බලි ශාන්තිකර්මවල උත්පත්තිය ගැන තියෙන අනිත් කතාව තමයි විශාලා මහා නුවර ලිච්චවී රජවරුන් සම්බන්ධ කතාව . ලිච්චවී කුමාරවරු පිරිසක් දවසක් ජලස්නානයට ගිහින් තියෙනවා පොකුණකට . මේ පොකුණ ළඟ තියෙනවා විශාල ගහක් . මේ ගහේ ඉඳලා තියෙනවා යක්ෂයෙක් . මේ යක්ෂයාගෙන් අවසර අරගෙන තමයි පොකුණට බහින්න ඕන . එත් මේ කුමාරවරුන්ගෙන් එක්කෙනෙක් එහෙම කරලා නෑ . ඒ නිසා යක්ෂයාට තරහා ගිහින් කුමාරයා ක්ලාන්ත කරලා වට්ටලා තියෙනවා .

ඊට පස්සේ අනිත් කුමාරවරු හොඳටම බයවෙලා ළඟ තිබ්බ මල් අරගෙන කුමාරයාගේ ඇඟට දාලා කුමාරයා තරමක් සනීප කරගෙන මාලිගාවට එක්ක ගිහින් තියෙනවා . පස්සේ රජතුමා මේ ගැන නිමිති දත් ඇදුරන්ගෙන් විමසලා බැලුවට පස්සේ එයාලා කියලා තියෙනවා යක්ෂයා වෙනුවෙන් බලියක් හදලා පූජා කරාම කුමාරයා සනීප කරගන්න පුළුවන් කියලා . පස්සේ ගැබ් 81ක් සහිත මල් බලියක් හදලා යක්ෂයාට කැප කරලා අර කිව්ව පොකුණට දැම්මට පස්සේ කුමාරයාට සනීප වෙලා තියෙනවා . එදා තමයි බලි ශාන්තිකර්ම ඉපදුනා කියලා කියන්නේ .දොන්ත තකට තත් තරිකිට ගෙම්බෝ පැනපි මල් බලියටකියලා කතාවක් තියෙනවා නේද ? . ලිච්චවී රජකුමාරයාට හදපු මල් බලියෙන් තමයි ඔය කතාවට අදාළ මල් බලියත්හැදිලා තියෙන්නේ .

ඔන්න ඔහොමයි බලි ශාන්තිකර්මවල උත්පත්තිය වෙලා තියෙන්නේ . පරස්පර විරෝධී කතා කීපයක් තමයි තියෙන්නේ . ඒත් ඉතින් විරෝධියි කියලා ඒවා එකක්වත් බැහැර කරන්න සම්ප්‍රදායන් අපිට ඉඩක් දෙන්නේ නැහැ . ඒ ශක්තිමත් පාදම නිසා තමයි මේ වෙනකල් මේවා පැවතගෙන එන්න ඇත්තේ . බලි ශාන්තිකර්මවල උපත මෙන්න මේ විදියයි කියලා කියන්නයි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සහ වීදාගම මෛත්‍රීය නාහිමියන්ගේ බලි ශාන්තිකර්ම සඳහා තියෙන කතෘත්වය ගැන පැහැදිළි කරන්නයි තමයි මේ ලිපිය මම ලියන්න හිතුවේ . බලි ශාන්තිකර්ම කොහොමද කරන්නේ කියලා අපි තවත් ලිපියකින් කතා කරමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Sunday, February 14, 2016

කෝමාරිකා මාළුව







දැනට මාස කීපයකට කලින් කැම්පස් එකේ සිද්ද වෙච්ච කතා බහක් තමයි මේ කෑම හදන හැටි ලියන්න හේතු උනේ . අපේ බැච් එකේ ගෑණු ළමයෙක්ට ගැස්ට්‍රයිටීස් තියෙනවා කියලා කිය කිය හිටියා . ඒ ළමයාගේ වැඩේම චිලී පේස්ට් කන එකමයි . එළවළුවක් බතක් මාළුවක් කන්නේ නෑ . හැමදාම වගේ අපි කියනවා ඕවා කන්න එපා යකෝ ටිකක් අඩුවෙනකල් වත් එළවළුවක් පළතුරක් කාලා ඉන්නවා කියලා . කෝ ඇහුවද ? නෑ . ඉතින් අපි අන්තිමට කිව්වා දැන් එහෙනම් පත්තු වෙන්න ගත්තම විඳවපන් කියලා .

කිව්වා වගේම පත්තු උනා පිංවතුනි . නහයෙන් කටෙන් දුන් දාන්න තරම් පත්තු උනා . අපිත් එක්ක බත් කන වෙලාවට දවසක් මම කිව්වා ඕකට හොඳ බෙහෙතක් තියෙනවා කාලා බලනවා කියලා . පස්සේ ඒ ළමයා කිව්වා බෙහෙත් පෙති බීලා එපා වෙලා තියෙන්නේ , මොනවද කියලා කියන්නකෝ කියලා . ඊට පස්සේ මම කිව්වා කෝමාරිකා මදය කන්න පුළුවන් නම් ටිකක් වැඩි වෙන්න ඔය ලෙඩේට ගොඩක් හොඳයි කියලා . ඒ කෙල්ල ගත් කටටම කිව්වේ ඊයා කෝමාරිකා සෙවල වගේනේ කියලා . මට අපරාදේ කිව්වේ කියලා හිතුනා . තොපිට සෙවල දැන් නරක උනාට පස්සේ කාලෙක හොඳ වෙයි කියලා හිත හිත මම කට වහගෙනම හිටියා ඕන එකක් කරගන්න කියලා . අවසානයේ වමනෙත් දාන තරමටම උග්‍ර උනාට පස්සේ පෙති බීලා සනීප කරගෙන ලොකු වැඩක් කරා වගේ කැම්පස් ආවා .

ලංකාවේ මිනිස්සුන්ට කෙලවිලා තියෙන්නේ ඕක තමයි . තමන්ගේ දේ වටින්නේ නෑ . අනුන්ගේ දේවල් වටිනවා . අපිට මොකෝ . එත් දුකයි . ඉතින් කෝමාරිකා කන්නේ කොහොමද කියලා දන්නේ නැති අයට තමයි මම අද මේ ලිපිය ලියන්න හිතුවේ .






කෝමාරිකා ඕන නම් කොලයක් කඩලා අරගෙන නිකන්ම කන්නත් පුළුවන් ( අපිනම් එහෙමයි ) . පොත්ත ටිකක් තිත්තයි . මදේ නම් කිසිම රහක් නෑ . ටිකක් තිත්ත ගතියක් තියෙනවා . ඒත් ඒ හරිම චුට්ටයි . නැත්නම් කෝමාරිකා මද බ්ලෙන්ඩර් කරලා ඒ යුෂය බොන්න පුළුවන් . ආමාශයේ සෞඛ්‍ය රැක ගන්න හරිම හොඳ පානයක් තමයි කෝමාරිකා යුෂ . එහෙමත් නැත්නම් කෝමාරිකා මාළුව උයලා කන්න පුළුවන් . සෙංගමාලය තියෙන අයට මේ කෝමාරිකා මාළුව වඩා ගුණවත් කෑමක් කියලා කියනවා . බඩේ ලෙඩ වලට නෙවෙයි ආයුෂ වැඩි කරන්න පවා මේ කෝමාරිකා හේතු වෙනවා කියලා ආයුර්වේදයේ කියනවා . මුණේ ගාලා සුදුවෙනවට වඩා කාලා ලෙඩ හොඳ කරගන්න එක කවදා හරි ඔයාලට වැදගත් වේවි .

මෙන්න මේවා තමයි කෝමාරිකා මාළුව හදන්න ඕන වෙන්නේ .

හොඳ ඝනකම් කෝමාරිකා පිති තුනක් හතරක්
විටකන හුණු මේස හැඳි භාගයක්
කහ කුඩු ජුන්ඩක්
තක්කාලි ග්‍රෑම් 200ක්
බැදලා අඹරාගත් පොල් මේස හැඳි තුනක්
බැදපු මිරිස් කුඩු මේස හැන්දක්
බැදපු තුනපහ කුඩු තේ හැන්දක්
බැදපු උළුහාල් කුඩු තේ හැඳි කාලක්
අබ
ලුණු
පොල් කිරි කෝප්ප දෙකක්
රම්පා
කරපිංචා
කුරුඳු
එනසාල්
පොල් තෙල් ස්වල්පයක්

ඉස්සෙල්ලම කෝමාරිකා පිති අරගෙන හොඳට හෝදලා කැබලි වලට කපාගන්න . ඊට පස්සේ වටේට තියෙන කොලපාට පොත්ත හෙමීට ඉවත් කරගන්න . ඔය පොත්තේ තමයි මෙයාලා තිත්ත තියෙන්නේ . ඒ නිසා ඉවත් කරගන්න එක හොඳයි . තිත්තත් එක්කම කන්න කැමතිනම් කිසිම ගින්නක් නෑ කෝමාරිකා මදේ විවෘත වෙන විදියට දෙකට පළලා පොත්තත් එක්කම දාන්න .

ඊට පස්සේ තියෙන්නේ අර විටකන හුණු වලට කහ පොඩ්ඩක් දාලා කලවම් කරලා . වතුර චුට්ටක් එක්ක දිය කරලා අර කෝමාරිකා කෑලිවල හොඳට තවරගන්න එක . ඒවා ගාලා ටිකක් වෙලා තිබ්බම කෝමාරිකා කෑලි කළුපාට වෙනවා . ඊට පස්සේ අර හුණු ඔක්කොම ඉවත් වෙලා යන්න හොඳට හෝදන්න . ඊට පස්සේ මැටි ඇතිලියක් අරගෙන ඒකට ඔය කෝමාරිකා කෑලි ටික දාලා වතුර පොඩ්ඩක් විතර දාලා ගින්දර දාලා රත් කරන්න . වතුර රත් වෙවී කෝමාරිකා කෑලි තැම්බෙනකොට ඒ කෝමාරිකා කෑලි හොඳට හයි වෙලා කන්න පුළුවන් ගානට එනවා . ඊට පස්සේ එක ලිපෙන් බාලා අරගෙන පැත්තකින් තියා ගන්න .

ඊට පස්සේ වෙන භාජනයකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා තෙල් රත් උනාට පස්සේ අබ රම්පා කරපිංචා එනසාල් කුරුඳු ටික දාලා ඒවා ටිකක් තෙම්පරාදු කරගන්න . ඊට පස්සේ තක්කාලි ලුණු කෝමාරිකා කැබලි ටික සහ පොල් කිරි දාලා මද ගින්නේ හොඳට පිස ගන්න .

ඊට පස්සේ ලුණු බලලා මදිනම් දාලා ලිපෙන් බාගන්න . ඊට පස්සේ බත් එක්ක දා ගත්තම කන්ට හැකි බඩ පිරෙන කල් . එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු . එක්කෙනෙක් හරි හදලා කෑවොත් මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න . මම කැමතියි එක්කෙනෙක් හරි කෑවනම් දැනගන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Friday, February 12, 2016

සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම







මම උසස්පෙළ ලියන්න බයෝ රිවිෂන් යන කාලෙ අපේ ක්ලාස් එකට ආවා එක ළමයෙක් අපේ ඉස්කෝලේ නෙවෙයි වෙනත් ඉස්කෝලයක . බයෝ වලට ක්ලාස් ආවෙත් එකට . පස්සේ අපි සෙට් එකම රිවිෂන් ආවෙත් එකටමයි . ඔහොම කාලයක් ගතවෙනකොට මෙයා ගෑණු ළමයෙක්ට ලයින් පාරක් දාලා අපිටත් මාට්ටු වෙලා ඔන්න දැන් ඇවිත් කතාව හදලා දෙන්නටම විහිළු කරලා එකම විකාරයක් කරන්න ගත්තා .

ඒ කියන්නේ නිල නොවන වශයෙන්ම අපි දෙන්නව බන්දලා ළමයිත් හදවලා ළමයින්ට නමුත් දාලා තිබුණේ . කාලයක් යනකොට කොල්ලගේ ගෙදරින් දැනගත්තා මෙහෙම සම්බන්ධයක් ඇතිවෙලා තියෙනවා කියලා . ඒ කොල්ලත් අපේ බාසාවෙන් කියනවනම් ටිකක් ලොන්ත ඩයල් එකක් වගේ . කෙලින් තීරණයක් ගන්නේ නැති වැනෙන එකෙක් . ඒකයි එහෙම කිව්වේ . නැත්නම් අපේ යාළුකම් වලට නම් ඒවා අවුල තිබුණේ නෑ . මචං ලෙවල් එකේ හොඳ බුලට් එකක් තමයි .

ඉතින් කොල්ලගේ ගෙදරින් දැනගත්තම කොල්ලට අම්මලා තාත්තලා මොනවා හරි කියලා මම හිතන්නේ . දවසක් මිනිහා මගෙන් ඇවිත් ඇහුවා මචං කසාදයක් වෙනකොට කුල බලන එක සාධාරණද කියලා . මම ටිකක් වෙලා ම්ම්ම්....... ගගා කල්පනා කර කර ඉඳලා කිව්වා අපේ වයස්වල අයටනම් මචන් කුල අවුලක් වෙන්නේ නෑ . එත් දැනට අවුරුදු පනහකට හැටකට කලින් ඉපදුණු අය අතරේ නම් කුල වෙනස තියෙන්නේ ඒ ඒ අයගේ වෙනස් කරන්න බැරි සිතුවිලි ගතිපැවතුම් නිසා කියලා . පස්සේ මම ආයෙත් කිව්වා දැන් කාලෙ කොල්ලෝ කෙල්ලෝ හැමෝම එක පොදියට ඉගෙන ගන්නවා . එකට කනවා බොනවා . කුල අවුලක් නෑ . ඒ ඒ කුලවල තියෙන ගති පැවතුම් කාටවත් ඇවිත් නැහැ . ඒ නිසා දැන් කාලෙ මොන කුලද බං කියලා .

මිනිහා මට එවෙලේ කිව්වේ නෑ ඇයි එහෙම අහන්නේ කියලා . ඒත් පස්සේ තමයි දැනගත්තේ කොල්ලයි කෙල්ලයි එකම ගමක ඉන්නේ . කෙල්ල පොඩ්ඩක් කුලෙන් පහත නිසා කොල්ලගේ අම්මලා තාත්තලා කැමති නැහැ මේ කසාදය කවදා හරි වෙනවට කියලා . පස්සේ කාලෙකත් මට ඔහොම කතා අහන්න ලැබුණා . කුල ගැන හොයන අයට බනිනවට වඩා කරන්න ඕන ඒ අය දිහා උපේක්ෂාවෙන් බලලා ජීවත් වෙන එක .

අද කියන්න යන ගීතයත් මම හිතන්නේ කුල භේදය නිසා එකතු වෙන්න බැරි ඒත් හදවත් වලින් ගොඩක් ළඟින් ඉන්න දෙන්නෙක් කියන ගීතයක් කියලා . ගීතයක් ගැන ලියන්න ඕන කියලා හිත හිත ඉන්නකොට සිංදු මල්ලි තමයි මේ ගීතය මතක් කරේ . සිංදු මල්ලිත් අහන සිංදු සෙල්ලං නෑ බලනකොට . :p

සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම
දියවී ගිහින් බැඳුනේ තරු ඇස ගාව

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම

ගායනය : අසංග ප්‍රියමන්ත පීරිස් / මාලනී බුලත්සිංහල
තනුව :
ගී පද :







සඳ දිය දෙවුන සේ සිනහව දු‍ටුවාම
නුඹ කොයිතරම් සුවඳද මගේ සිත ගාව

පෙම්වතාට මේ සමාජයේ දකින්න ලැබෙන කලහකාරී දේවල් එක්ක බැලුවම තමන්ගේ පෙම්වතිය තරම් සැනසුමක් ලබාදෙන දර්ශනයක් තවත් නැහැ . කොච්චර රණ්ඩු සරුවල් උනත් පෙම්වතියගේ සිනහව තරම් පෙම්වතෙත් දකින්න කැමති දෙයක් තවත් නැහැ . පෙම්වතියො ඔය හිනාව හංගගෙන ඉන්නෙත් ඕක නිසාම තමයි . සඳ දියෙන් දෝවනය කරලා ගත්ත මුහුණෙන් වෑහෙන සිනහවේ සුවඳ අද තියෙන්නේ පෙම්වතාගේ හිත ළඟ විතරයි . ඒ දෙන්නට ලං වෙන්න එකතුවෙන්න විදියක් නැති නිසා .

දෑකුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම

දෙන්නට ලං වෙන්න විවාහ වෙන්න විදියක් නැත්තේ දෙපාර්ශවයේ තියෙන කුල සිරිත්වල නොගැළපීම නිසා . දෙන්නා මෙතෙක් කල් ගමන් කරගෙන ආව ගමන් මග ආවරණය කරලා තියෙන්නෙත් මේ කුල ප්‍රශ්න . ඉතින් දැන් දෙන්නට විවාහ වෙන්න විදියක් නැති නිසා තියෙන්නේ හමුවෙලා කතා කරලා දුක් වෙන්න විතරයි .

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුර පස වී සඳ ගාව

මේ පෙම් යුවලට තියෙන්නේ අනිත් පෙම් යුවලවල් වලට වගේම නෑඹුල් ප්‍රාර්ථනා සමූහයක් . ඒවා ටිකෙන් ටික වැඩිවෙලා අහස උසට නැග යන්නේ දෙන්නටම රහසෙන් . ඒ ප්‍රාර්ථනා අන්තිමට සඳ ගාව දිළිසෙන්නේ හරියට පුර පක්ෂයේ සඳ වගේ . ඒ කියන්නේ පසළොස්වක සඳ වගේ .

ඒ හඳ ඇයිද දියවකවී මුලු රෑම
දියවී ගිහින් බැඳුනේ තරු ඇස ගාව

ඒත් දැන් ඒ ප්‍රාර්ථනා ඔක්කොම සුනු විසුණු වෙලා ගිහින් වගේ . ඒ මොකද දෙන්නට එකතුවෙන්න ලැබෙන්නේ නැත්නම් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න බැරි වෙන නිසා . දියවක හඳ කියන්නේ පොඩි ඉරක් වගේ තියෙන හඳ පිරෙන්න පටන් ගන්න මොහොතේ තියෙන හඳට . ඒ කියන්නේ ඒ වගේ අඩු ආලෝකයක් තියෙන හඳ වගේ මේ අයගේ ප්‍රාර්ථනාවල ආලෝකයත් අඩුවෙලා අන්තිමට තරුවක් ළඟ ඒ ප්‍රාර්ථනා නැවතිලා කියලා . තරුව කියන්නේ නිවෙන දැල්වෙන ආලෝකයක් නිකුත් කරන වස්තුවක් . ඒ කියන්නේ මේ අයගේ ප්‍රාර්ථනාත් දැන් ඒ වගේ නිවෙනවා පත්තුවෙනවා කියන එක .

ළය මත පිපුනු උණුසුම් සුසුමක සුවඳ
සෝදාහල හැකිද ගැරහුම් රළ ගාව

පවුල් වලින් දෙන්නටම එල්ල වෙන්නේ මේ වෙලාවේ ගැරහුම් මිසක් ආශිර්වාද නෙවෙයි . ඒ නිසා දෙන්නාටම වෙලා තියෙන්නේ දෙන්නාගේම ආදරයේ උණුසුම දුක් ගින්දරකට පෙරළලා විඳ ගන්න .

කඩ ඉම ළඟ ඉදන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නළ සේම

කඩ ඉම කියන්නේ දෙන්නා අතරේ තියෙන විවාහයෙන්එකතුවෙන්න තියෙන කඩ ඉම . දෙන්නට එකතුවෙන්න බැරි නිසා දෙන්නම කල්පනා කරනවා වෙනත් විවාහයක් කරගන්නේ නැතුව තනියම ඉඳගෙන දෙන්නට දෙන්නා ආදරය කරන්න .ලං වෙන කෙනෙක්ට අත වනන්න ඕනා වෙන්නේ නැහැ . ඒත් ඈතින් ඉන්න කෙනෙක්ට තමන්ගේ හිතේ තියෙන ලෙන්ගතු කම අත වනලා හරි ප්‍රකාශ කරන්න කියලා තමයි දෙන්නට දෙන්නා අන්තිමටම බලාපොරොත්තු වෙන්නේ .

ඕන උනේ ඇත්තටම ගීතයේ තේරුම කියන්නමත් නෙවෙයි කාලෙකින් ඇහුනේ නැති නිසා අනිත් අයටත් ගීතය අහන්න සලස්වන්න . එහෙනම් ආයෙත් ගීතය අහලා යන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Tuesday, February 9, 2016

අද අපේ තුන්වෙනි උපන් දිනය





පළවෙනි උපන් දිනය

දෙවෙනි උපන් දිනය

හස්තිකේ.................... වයස යනවා යනවා දැනෙන්නේ වත් නැහැ . දෙවෙනි උපන් දිනයට පෝස්ට් එකක් කෙටුවා මට මතක නිකං මේ අද ඊයේ වගේ . මොනවා කරන්නද ඔරලෝසුවත් කැරකෙනවා , ලෝකෙත් කැරකෙනවා . ඔය දෙකෙන් එකක්වත් නවත්තන්න විදියක් නැති එකේ අපිත් දැන් නිකං කැරකෙනවා කැරකෙනවා වගේ .

මේ ගතවෙච්ච අවුරුද්දේ මම හිතන්නේ සිංදුවා ලිව්වෙම නැත්ද කොහෙද . ලිව්වනම් ලිව්වේ පෝස්ට් දෙකක් තුනක් විතර තමයි . අදින් ලබන අවුරුද්දේ මම දන්නවා ඔය මිනිහා මොකවත්ම ලියන්නේ නැහැ කියලා . හැබැයි ලබන අවුරුද්දේ ලියන්න පටන් ගන්නවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා . හැක හැක හැක හැක .

මේ අවුරුද්දේ බ්ලොග් එකේ පසුබිම වෙනස් උනා . උනා නෙවෙයි වෙනස් කරා . මොකද සිංදුවට නැතත් මට ඔය පසුබිම මාරු කිරීමේ උන තියෙනවා . එක මාසයක් එකම පසුබිම දිහා බලාගෙන ඉන්න බැහැ මට . විවිධත්වයක් තියෙන්න ඕන නිසා මම පසුබිම මාරු කරනවා . හැබැයි ඒක කරන්නේ යටි අරමුණක් ඇතිව . ඒවා දේව රහස් .

ජවුතිස්ස කියලා කැටගරි එකක් පටන් ගත්තා ජෝතිෂ්‍ය ගැන කියලා දෙන්න . ජවුතිස්ස එකයි , කෑම සූත්‍ර එකයි ටිකක් වැඩිපුර මේ ඉදිරි කාලයේ ලියවෙයි . සීයා මුණුබුරා කතා මාලාව තමයි නැගලා ගියේ . තවම ෆේස්බුක් හරහා ඒ කතා මාලාවේ උණුසුම පත්තු වෙනවා .මම ඒ කතා මාලාවේ ඊළඟ එපිසෝඩ් එක දැන් හිතන්න පටන් අරන් තියෙන්නේ . ඔක්කොම ලියලා සතියට පෝස්ට් දෙක ගානේ පබ්ලිෂ් වෙන්න දාන්න තමයි හිතාගෙන ඉන්නේ . මාර්තු මාසයේ මුල අනිවා ඒක පබ්ලිෂ් වෙනවා .

වයලීනෝ සබැඳි කතා පෝස්ට් ලියලා , මෙච්චර කල් වහං වෙලා හිටපු වයලීනෝ ඔන්න එළියට ආවා . ඒ අවේ චන්දෙ ඉල්ලන්න නෙවෙයි . ඒකෙන් ලැබෙන ප්‍රසිද්දියත් එක්ක තවත් වැඩිපුර දෙයක් බ්ලොග් එක හරහා දෙන්න පුළුවන් නිසා . හැබැයි ප්‍රසිද්ධිය දැන් එක විදියකට වදයක් වෙලා තියෙන්නේ . කමක් නැහැ ඉතින් පොඩි උන්ගේ ආසාවනේ .

මේ අවුරුද්දේ වෙච්ච ලොකුම වෙනස්කම තමයි බ්ලොග් එකේ නම වෙනස් වෙච්ච එක . නම දාපු එකාම වෙනස් කරමු කිව්වම මම හා කිව්වා මිස වෙන මොකවත්ම කිව්වේ නෑ . අන්තිමට මෙන්න නම වෙනස් කරලා පෝස්ට් එකක් දාලා ලින්ක් එකත් එව්වා . ඔය කොච්චර ලියන්නේ නෑ නෑ කිව්වත් සිංදුවා ආයේ ලියනවා කියලා මට ෂුවර් . හැබැයි ලබන අවුරුද්දේ .

ඊළඟ කාරණාව තමයි බ්ලොග් එක කියවපු වයලීනි අලුත් බලාපොරොත්තුවක් ඇතිකරලා තියෙන්නේ බ්ලොග් ලිවීම සම්බන්ධව . ඒකත් ළඟදීම ඉෂ්ට සිද්ද කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා . බලමුකෝ . හතරවෙනි උපන්දිනය සමරනකොට ඒවායින් සඵල කරගන්න පුළුවන් වෙච්ච දේවල් කියන්නම් . එහෙනම් මේ ඇති .

අපේ බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳලා මේ දක්වා කාලය තුල,

බ්ලොග් එකට ආපු ගියපු
කතා කියවපු
කමෙන්ට් කරපු
ප්‍රවර්ධනය කරන්න උදවු කරපු

හැමෝටම සිංදුවා සහ වයලීනෝ හදපිරි ස්තූතිය පිරිනමනවා .

බ්ලොග් එක හරහා අලුත් දේවල් මොනවද ඕන කියලා කමෙන්ට් කරන්න . එතකොට ඒ ඒ දේවල් අපිට පුළුවන් හැටියට ලියන්න අපි උත්සාහ කරන්නම් . කැමති සිංදු එහෙමත් මතක් කරන්න . ඒවගේම

මකරාගේ සන්නස කියන ෆේස් බුක් ග්රූප් එකත් එක්ක එකතු වෙන්න .

මියැසියේ රසකතා පේජ් එකට ලයික් කරන්න .

අපේ අලුත් ලිපි ඒ පාරවල් දෙක හරහා අනිවාර්යෙන්ම ඔයාලට කියවන්න පුළුවන් . අපිත් එක්ක ඉදිරියටත් රැදී ඉන්න .

මියැසියේ රසකතා , ආ නෑ නෑ වයලගෙ කාමරේ සදාකල් දිනේවා !


ශ්‍රී ලෝකං ජයදේව නාග සරණා ශ්‍රී බ්‍රහ්ම නාරායනං
ශ්‍රී ශ්‍රේෂ්ටං ලෝකනාතං ජනතිලක පතිනන්දනේ දේව දේවෝ
ශ්‍රී ලෝකේශ්වර බුද්ධ ශාසන ධරං ශ්‍රී බෝධි බුද්ධාංකුරෝ
ශ්‍රී නාමං නාම දේවං දසඅත නයනං ශ්‍රී විශ්ණුතේ මංගලම්

ශ්‍රී නාරායන දිව්‍ය බෝධි උතුමෝ රක්ෂා කරත් බෝ කලක්
ශ්‍රී යක්ෂ ප්‍රේත පිශාච සර්වභය මේ ඇති ඇස් වහත් තුන් දොසින්
ශ්‍රී ආයු යංවට්ටිතේ ග්‍රහ දොසත් සැම සර්ව දොෂ හරනාම් 
ශ්‍රී රාම ජග ලෝකපාල නමදිම් ශ්‍රී විශ්ණු තෙ මංගලම්

ශ්‍රී නාරායන විෂ්ණු දේව නමිතේ නාතස්‍ය බෝසත් උතුම්
ශ්‍රී නිත්‍යන් කන්ද කුමාර දේව සරණේ දේවෝ සමන් සුරපති
ශ්‍රී සකලං ආයු දිනා දින දිනේ රක්ෂා කරන් බෝ කලක්
ශ්‍රී රාමං නමදිම් උතුම් දෙවිතුමෝ රාමෂ්ඨකං මංගලම්

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Sunday, February 7, 2016

හෙණ්ඩුව සහ අලි නිල





-සිරිලක අසිරිය ෆේස්බුක් පිටුව-

මියැසියේ රසකතා මගේ කාමරේ බවට පත් උනාට පස්සේ ලියන පළවෙනි ලිපිය . 

හෙම්බා මාගේ කාමරේට යන එන වැසියෙනි . ඒ සිංදුවාගෙන් දැන් අපි මිදුනෙමු . මෙය ලියන්න මෙය මලවන්න යැයි කීමෙන් අපි පීඩා වින්දෙමු . දැන් අපි කැමැත්තක් ලියමු . අකමැත්තක් නොලියමු...... 
ස්තූති !

නිල කිව්ව ගමන්ම මට මතක් වෙන කතාවක් තමයි ඉස්සර අපේ සිංහල පාඩමකට තිබුණ " විදීම " කියන සිංහල පාඩම . ඒ පාඩම ඉගෙනගත්ත අය ඉන්නවනම් එයාලටත් විදීම කියන නම ඇහුව ගමන්ම ඒ කතාව මතක් වෙන්න ඕන . ඒ පාඩමේ තිබුණේ කුමාරතුංග මුනිදාසයන්ගේ පියාණන් පිළිබඳව ලියවුනු කතාවක් . කුමාරතුංගයන්ගේ පියාණන් නිල වෙදකම කරපු දක්ෂ වෙද මහත්තයෙක් . දවසක් මේ වෙද ගෙදරට ආව කොර වෙච්ච ලෙඩෙක් නිල විදීම මගින් සනීප කරලා යැවුවේ කොහොමද කියලා මේ පාඩමේ අන්තර්ගත වෙලා තිබුණා . මම ඒ කාලේ හරිම ආස පාඩමක් මේක . මොකද කියනවනම් එතුමා ලියලා තියෙන විදියට හරිම ලේසියෙන් ඒ අවස්ථාවන් හිතේ මවාගන්න පහසු නිසා . ඒ කියන්නේ මිනිස් නිල ගැන . අද මම කියන්න යන්නේ අලි නිල ගැන .

මේ ගැන ලියන්න ඕන කියලා නිකන් හිතාගෙන හිටියට ඒක ඉක්මන් කෙරුනේ අපේ බ්ලොග් එකට හැමදාම යන එන දේශක මහතා දාපු මෙන්න මේ කමෙන්ට් එක නිසා .

දේශක යා October 7, 2014 at 8:46 AM
හෙන්ඩුව කවදාවත් අලියට ඇනගෙන ඉන්නෑ මොකද උගේ ඇගට බැහැල මහ විජ්ජුම්බරයක් තමා වෙන්නේ. අපි ඉදිකට්ටෙන් අනිනවා වගේ තමා ගේම දෙන්නේ.. බලමු අනිත් කෑල්ල
ReplyDelete
Replies

වයලීනෝOctober 7, 2014 at 9:07 AM

ඔය අහලා තියෙන දේ ගැන මේ කතාව ලියත්දිත් මම මතක් කළා කොහෙන් හරි ලියලා දාන්න තිබ්බනම් හොඳයි කියලා . සාමාන්‍ය අලි බලාගනීමේදී කරන්නේ එහෙම තමයි . නිලයට අනින්නේ නෑ . නිලය පෙන්නනවා විතරයි . රත්නපුරේ පැත්තේ වලව්වක දැනටත් අලියෙක් ඉන්නවා ඔය නිල වලින් මොකකට නැතත් කුම්භස්තලය ළඟ තියෙන මරු නිලයට හෙන්ඩුව කිට්ටු කරත් මෙල්ලවෙන එක්කෙනෙක් . අනිත් අයනම් කොහොමද දන්නේ නෑ . එයාලත් එහෙම වෙන්න ඇති . 

ඒත් මෙහෙම දේකුත් කියන්න ඕන . අලි බලන අය එයාලාගාව පිහියක් තියාගෙන ඉන්නවා නේද ? . ඔය පිහිය තියාගෙන ඉන්නේ බැරිම වෙලාවත් අලියා අවුල් උනොත් අවස්ථාව ලැබුණු ගමන්ම අලියාගේ නිල වලට අනින්න . අලියාගේ කම්මුල් කිට්ටුව තියෙනවා නිලයක් , ඒ නිලයට ඔය පිහිය බස්සලා අලියෙක් මරන්නත් පුළුවන් කිසිම ගේමක් නැතුව . ඒවගේ සමහර නිල තියෙනවා අලි මෙල්ල කරන්න බැරි උනාම ඇනලා දාන ඒවා . එහෙම ඇන්නම තුවාල වෙන්නත් පුළුවන් . ඒත් තුවාල වලට බෙහෙත් කරන්නේ පස්සේ . ඊට කලින් අලියා මෙල්ල කරගෙන ඉන්නවා . අලි බලන අය කවදාවත් ඕවා කියන්නේ නෑ . මොකද එයාලා අලියට හිරිහැර කරනවා කියලා මිනිස්සු හිතන නිසා . මමත් ඔය කතාවේ ලිව්වේ ඒ මරු නිල ගැන හිතලා . 

අලි නිල ගැන දැන් ඉන්න අලි බාසුන්නැහෙලා වැඩිය දන්නේ නෑ . මොකද දැන් වැඩිපුර ඉන්නේ සල්ලි වලට අලිබලන උන් නිසා . ඒත් ඉස්සර ඉඳලා තියෙනවා ඔය ශිල්පෙ හරියටම දන්න අය . එයාලා අලින්ගේ නිල 86 ත් 96ත් අතර ගාණක් දැනගෙන ඉඳලා තියෙනවා එක එක වැඩ කරගන්න . මම ලියන්නම් ඒ ගැන ඉස්සරහට ලියන පෝස්ට් එකක    

එල එල බොහොම ස්තූති මතක් කලාට මේ ගැන    
Delete

දේශක යාOctober 7, 2014 at 10:23 AM
අඩන්න ඕනලු මොකක්ද එක එන්න.. හැක්.. තැන්කුයි
Delete

අලි නිල ගැන කියනකොට අලි ඇත්තු මෙල්ල කරන්න භාවිතා කරන හෙණ්ඩුව ගැන පොඩ්ඩක් කියලා ඉන්න ඕන . මම සමන් දේවාලයේ අලි බලන්න යන වෙලාවට ( වැඩිපුරම පෙරහැර දවස් වලට තමයි ) මේ අලි බලන අයගේ අතේ තියෙන හෙන්ඩුව ගැනත් බලන්න අමතක කරන්නේ නෑ . දැන් කාලෙ අලුත් අලි බලන අය තමන් භාවිතා කරන හෙණ්ඩුව ගැන කිසිම අවබෝධයක් නැතිව තමයි ඒක පාවිච්චි කරන්නේ . හෙණ්ඩුව හදන්නේ යම්කිසි ක්‍රමයකට . ඒ ඇයි කියලා දන්නේ නැති කම්මල් කාරයයි අලි බලන කෙනයි දෙන්නම කරන මේ වැරැද්ද නිසා අන්තිමට දුක් විඳින්නේ අහිංසක අලි ඇත්තු .

අලින්ට නිල වලට ඇනලා අලි ඇත්තු මෙල්ල කරනවා හසුරුවනවා කියලා කිව්වට මේ නිල හාරගෙන ඇටකටු වලට ඇනෙනකල්ම අනින්නේ නැහැ . හරි විදියට කරනවානම් නිලය තියෙන තැන හෙණ්ඩුව ගෑවෙනකොටම සතා බයවෙලා හරි උත්තේජනය වෙලාහරි දෙකෙන් එකක් වෙලා ඒ අදාළ කාර්යය කරනවා .




එහෙම නිලය තෙරපෙන්නේ හෙණ්ඩුවේ තියෙන කිණිතුල්ලා විදියට හඳුන්වන සිහින් තුඩ හදලා තියෙන විශේෂ හැඩය නිසා . අනික තමයි හෙණ්ඩුවේ උල අලි හම වෙත එල්ල කරන විශේෂ ක්‍රමයක් කෝණයක් සහ ගැඹුරක් තියෙනවා . අදකාලේ ඉන්න අලුත් අලි බලන අය ඒ ක්‍රම ශිල්ප අනුගමනය කරන වගක් පේන්නේ නැහැ . අදට ඉතිරිවෙලා ඉන්න පරණ අලි ඇත්තු බලන අයගෙන් මේ ශිල්පයේ ඉතිරි වෙලා තියෙන ටිකවත් ඉගෙන ගන්නවානම් හොඳයි කියලා තමයි ම්මනම් කියන්නේ .

මට මතකයි බෝතලේ වලව්වේ ගාමිණී ඇතාව බලාගත්ත සීයා සමහර වෙලාවට හෙණ්ඩුව පාවිච්චි කරන්නෙම නැහැ . අතේ තියෙන කෝට්ටෙන් තමයි ඇතාව කන්ට්‍රෝල් කරගෙන හිටියේ . ඒ තරම් අලි ඇතුන් එක්ක අලි බලන්නාගේ තියෙන බැඳීම දුර දිග යනවනම් අලි ඇත්තු මෙල්ල කරන එක අමාරු වෙන එකක් නැහැ . රැකියාවක් වගේ නැතුව පවුලේ කෙනෙක් විදියට සතාව බලාගන්නවනම් සතත් සලකන්නේ ඒ විදියටම තමයි .



ඔය තියෙන්නේ නියම හෙණ්ඩුවක් . පේනවනේ උල එච්චර සියුම් නැහැ . අනික තමයි උල හදලා තියෙන්නේ උළේ මැද හරිය මහත් වෙන්න . එතකොට අනිනකොට වැඩිය ඇතුළට කාගෙන යන්නේ නැහැ . මගින් නවතිනවා උලට තියෙන ප්‍රතිරෝධය වැඩි නිසා . ඒ ප්‍රතිරෝධය මැඩගෙන උල තවත් ඇතුළට යවන්න ඕන නම් තමයි වැඩිපුර බලයක් දීලා උල ඇතුළට යවන්න ඕන .



මේ තියෙන්නේ අලුත් අලි බලන අය ගාව තියෙන හෙණ්ඩුව . හැමෝම නෙවෙයි . ඒත් තරුණ පහේ අයගේ අතේ තියෙන්නේ මේක . ඇන්නා ඇන්නම තමයි ඉතින් . ආයේ ඉවක් බවක් නෑ කාගෙන ඇතුළට බහිනවා . අලියා තුවාල වෙනවා . ඊට පස්සේ ඒ තුවාල වල ඉහඳ පනුවෝ පවා ඇතිවෙනවා . මේ ඉහඳ පණුවා අලින්ගේ තුවාල වල ඉඳලා ඇතුලේ පටක ආහාරයට අරගෙන ඔන්න කොහොමහරි මැරිලා ගිහින් බෙහෙත් හේත් වලින් තුවාලය සනීප උනා කියමුකෝ . ඊට පස්සේ වෙන්නේ එතන තියෙන නිලය සංවේදී බවින් අඩුවෙන එක . එතකොට මොකද වෙන්නේ අලියා කන්ට්‍රෝල් නැති වෙනවා .

අද කාලෙ වෙලා තියෙන්නේ ඒකම තමයි . අපි ඉස්සර කාලෙ අලි ඇත්තුන්ගේ ෆොටෝ දකිනවා ඕන තරම් . ඒත් බලන්න එයාලට අද කාලෙ වගේ දම්වැල් දාලා තියෙනවද කියලා . කඹ වලින් තමයි ගැටගහන්නේ . අනික ඇවිදිනකොට කකුල් නිදහස් . හෙණ්ඩුවෙන් තමයි තනිකරම සතාව පාලනය කරලා තියාගත්තේ . ඒත් ඒ ශිල්පය කාලයත් එක්ක වලපල්ලට ගියාට පස්සේ අලි බාස්ලත් මොඩ් උනා , අලින්ට කෙල උනා . අලි ඇත්තුන්ට ඒ කාලෙ අද තරම් වද දුන්නේ නෑ . අලි ඇතුන් පුහුණු කිරීම යටතේ මම ඒ ගැන වෙනමම කියන්නම් . ඉතින් හෙන්ඩුවේ කතාව ඔන්න ඔහොම තමයි . කතා කරලා වැඩක් නෑ ඔය ගැන . ඒ නිසා අපි බලමු අලි ඇතුන්ගේ නිල කොහොමද පිහිටලා තියෙන්නේ කියලා .

කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේඅපිට තිබ්බ රාජකාරියකට මම පුස්තකාලයේ පොතක් බලනකොට තමයි අලි නිල සලකුණු කරලා තියෙන මේ රූපය දැක්කේ . ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂක වෙලා හිටපු පී ඊ පී දැරණියගල මහත්මයා තමයි මේ රූප ඇඳලා නිල සලකුණු කරලා මේගැන හොයලා බලලා වාර්තා කරලා තියෙන්නේ . මම ඉතින් එතුමාට පිං දීලා පොතෙන් අවශ්‍ය රූප ටික ෆොටෝ ගහගත්තා .

ඒ එක්කම මම ඒ නිල ගැනත් විස්තර කරලා දාන්නම් . මම අලි නිල ගැන කියවෙන ගොඩක් පොත් පත් කියවලා තියෙනවා . ප්‍රායෝගිකව දැනගෙනත් තියෙනවා . ඒත් ඒ පොත් පත් හැම එකකම තියෙන මේ රූපයේ සහ විස්තරවල අයිතිකරු වෙන්නේ දැරණියගල මහත්මයා . කවුරුවත් ඒ ගැන තමන්ගේ පොත්වල සඳහන් කරලා නැති එක ගැන මම කණගාටු වෙනවා .



1 හොඩය අකුලා ගැනීම
2 හොඩය දිගහැරීම
3 බිය ගැන්වීම
4 බිය ගන්වා කුංචනාද කරවීම
5 බිය ගන්වා කුංච නාද කරවා හස්තියා නැවත්වීම
6 පාලනය යටතට ගැනීම
7 මරණය
8 මරණය
9 මරණය
10 මරණය
11 පාලනය යටතට ගැනීම
12 පාලනය යටතට ගැනීම
13 ප්‍රභෝධවත් කිරීම
14 පාලනයයටතට ගැනීම
15 මරණය
16 දන ගැසීම
17 පසුපසට යෑම
18 පාලනය යටතට ගැනීම
19 උරහිස පහත කිරීම
20 දන නැමීම , බෙල්ල පහත කිරීම , නතරවීම
21 පාලනයට යටත් වීම
22 මරණය
23 හිස නැමීම
24 නැවතීම
25 කෝපාවිෂ්ට වීම
26 නැවතීම
27 පිටමත නැගීමට ආරාධනා කිරීම
28 මරණය
29 නවතියි
30 පාලනය යටතට ගැනීම
31 ගමන් කරයි
32 ගමන් කරයි
33 ගමන් කරයි
34 හිස පහත කරයි
35 හිරි වැටෙයි
36 ඇවිදීමට සහ නතර කිරීම
37 ඇවිදීම සහ නතර කිරීම
38 පිටමත නැගීමට
39 බිය වෙයි
40 බිය වෙයි
41 බිය වෙයි
42 ඇවිදියි
43 ඇවිදියි
44 ඇවිදියි
45 ඇවිදියි
46 නවතියි
47 ගමන් කරයි
48 නවතියි
49 පිට මතට නැගීමට ඉඩ දෙයි
50 සංසුන්වෙයි
51 නැගිට දුවයි
52 නැගිට දුවයි
53 වටේට කරකැවෙයි
54 වටේට කරකැවෙයි
55 වටේට කරකැවෙයි
56 මරණය
57 මරණය
58 බිම වැතිරෙයි
59 වටේට කරකැවෙයි
60 කෝප වෙයි
61 කෝප වෙයි
62 වටේට කරකැවෙයි
63 කෝප වෙයි
64 මරණය
65 නවතියි
66 නවතියි
67 නවතියි
68 නවතියි
69 දන ගසයි
70 දන ගසයි
71 දන ගසයි
72 73 74 නිල දෙකක් ස්පර්ශ කලාම සතා ගමන් කරයි , එකක් ස්පර්ශ කලාම නවතියි
75 පිටට නැගීමට පෙර පාදය දෙයි
76 පෙර පාදය දිගු කරයි
77 පෙර පාදය දෙයි
78 පෙර පාදය දෙයි
79 කොර ගසයි , පසු පාදය පෙරට ගෙනෙයි
80 පසු පාදය දෙයි
81 පසු පාදය දෙයි
82 පසු පාදය පසු පසට අදියි
83 පෙර පාදයඔසවයි
84 පෙර පාදය ඔසවයි
85 පාදය ඔසවයි , මැදගිල්ලේ නිය මත පාදබන ඇත ගොව්වාට පෙර පාදය මත නැගීමට ඉඩ දෙයි .
86 මරණය


අලි නිලවල තියෙන තවත් වැදගත් දෙයක් තමයි සමහර වෙලාවට මේවා භාවිතා කරන්න හෙණ්ඩුව ඕන වෙන්නෙත් නැති කාරණාව . අලියාගේ පිටේ ඉන්නකොට සමහර වෙලාවට අලියට කතා කරන්නේ නැතුව කකුලේ මහපටගිල්ලෙන් ඇනලා නැත්නම් පයින් ඒ නිල පාගලා අලි ඇත්තු කන්ට්‍රෝල් කරන්න පුළුවන් . ඒ කාලෙ හොරෙන් ගස් කපලා අලි ඇත්තු ලවා රෑට ඕවා පටවනකොට අලියට කතා කරන්නේ නැතුව මේ නිල ශාස්ත්‍රය හරහා අලියාගෙන් වැඩ ගත්තා කියලා මම එක අලි මහත්තයෙක්ගෙන් අහලා දැනගෙන තියෙනවා .

ඒ වගේම තමයි අද කාලෙ නැතත් අතීතයේ අලියා කන්ට්‍රෝල් නැති වෙනකොට අලියා මරණ එක සාමාන්‍ය දෙයක් . ඒ වෙනුවෙන් භාවිත කරලා තියෙන්නේ අලි මහත්තුරුන්ගේ ඉනේ තියෙනඋල් පිහිය . මරන්න නැත්නම් අලියා අඩපණ ක‍රන්න හරි මේ පිහිය පාවිච්චි කරනවා . මම දැන් කාලෙ කෙනෙක්ගෙන් ඇහුවම එයානම් කිව්වේ අලි බලන කෙනාගේ තියෙන බියජනක ස්වභාවය පෙන්නන්න තමයි එහෙම පිහියක් තියාගෙන ඉන්නේ කියලා . කමක් නෑ ඉතින් ඒකත් ඇත්තනේ . හැබැයි මරු නිල ගැන දන්න කෙනා පිහියක් ළඟ තියාගෙන ඉන්නවා කියන එකේ තවත් යටි අරමුණක් තියෙනවා කියලා කවුරු කවුරුත් මතක තියාගන්න ඕන . අලි නිල ගැන ඔච්චරයි කියන්න තියෙන්නේ . ආයෙත් දවසක කියන්නම් අලි නිල විදීමේ වෙදකම ගැන
. එහෙනම් ඊළඟ ලිපියෙන් හමුවෙමු .








ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Friday, February 5, 2016

නම පොඩ්ඩක් වෙනස් කරා ඔන්න






කොහොමද ළමායි....හිටං


මම මේ කලින් මේකේ හිටිය සිංදුවා කියල එකෙක්. පොඩි පොඩි පොස්ට් ටිකක් ඒ කාලේ දැම්මා. වැඩිය කතා කලේ සිංදු ගැනම තමයි. ඒ නිසා තමා අපි මියැසියේ රස කතා කියලා නම දාන්න හිතුවේ.

දැන් ඉතින් සිංදුවාට ජම්බු සෙට් වෙලා නිසා පොස්ට් හරි හරියට ලියන්න වයලත් එක්ක බැරි නිසාත්, වයලත් සිංදු ගැනම විතරක් නැතුව එක එක සබ්ජෙක්ට් ගැන ලියන නිසාත්, අපි හිතුවා මේකට මියැසියේ රස කතා කියන එක වැරදියිනේ කියලා.

ඒ නිසා අපි ගිරාමසේවක උන්නැහෙගෙන් ෆෝම් එකක් ඉල්ලන් නම වෙනස් කරලා බ්ලොග් වාසී ජනරජයට දැනුම් දෙන අවස්ථාවයි මේ.

මේකේ වැඩිය රඟන්නේ වයලා නිසාත්, ඌගෙ ගෙදර කාමරේට ගියාමත් මේ බ්ලොග් එකේ වගේ එකී මෙකී නොකී හැම ඉලව්වක්ම තියෙන නිසාත් අපි හිතුවා මේක වයලගේ වර්චුවල් කාමරේ කරන්න :D

ඒ නිසා අපි නම චූට්ටක් වෙනස් කරා "වයලගෙ කාමරේ" කියලා.
මගේ අදහස තිබ්බේ වලාගෙ කාමරේ කියලා දාන්න. ඒත් චන්දෙන් පරාදයි. ඒ නිසා ඔන්න මම කියලා යන්න ආවේ. අද හිටං

මියැසියේ රස කතා = වයලගෙ කාමරේ  

නෑ නෑ url එක වෙනස් වෙන්නේ නෑ. ඒක එහෙම්මමයි හිටං. :D

එහෙනම් මම ගොහිං එන්නම්. මගේ කතාව අවසානයි කියවපු ඔබ සැමට ස්තුතියි. ! හිටං







Thursday, February 4, 2016

කේන්දරේ කොටු කියවන්නේ මෙහෙමයි


සමහර වෙලාවට මට එපාවෙන වැඩක් තමයි කාගේ හරි කේන්දරයක් බලලා දෙන්න කිව්වම එයාගේ කේන්දරේ ග්‍රහයෝ ඉන්නේ කොහොමද කියලා අහගන්න එක . මට ඉතින් කේන්දර හද හද ඉන්න වෙලාවක් නැති නිසා මම ෆේස්බුක් හරි ෆෝන් එකෙන් මැසේජ් කරලා හරි මට ඕන විස්තර අහගන්නවා . ඔක්කොමත් හරි , එපා වෙන්නේ එක එක කොටුවල ඉන්න ග්‍රහයෝ කවුද කියලා අහගන්න එක . මචන් උඩම තියෙන ඒවායින් මැද තියෙන්නේ පලවෙනි කොටුව . ඊට පස්සේ වම් පැත්තට ගැනපන් එක දෙක තුන හතර කියලා තියෙන කොටු ටික . එහෙම ගනිනකොට ග්‍රහයෝ ඉන්නේ මොන කොටුවේද කියලා කියපන් . ඔන්න ඔහොම කිව්වම ඒ පැත්තෙන් අහනවා එතකොට මචන් අර ත්‍රිකෝණ ඩබල් ඩබල් තියෙන්නේ මොනවද කියලා . මාත් ත්‍රිකෝණ වෙලා යනවා එහෙම ඇහුවම . ඒ නිසා මම ගොඩක් දවස් ඉඳලා කල්පනා කරා කේන්දරේ කොටු ගණන් කරන්නේ කොහොමද ? ඒවායේ ග්‍රහයෝ ඉන්නේ කොහොමද ? කියලා ලිපියකින් ලියලා කියලා දෙන්න .


කෙන්දරේක එකවගේම බෙදලා තියෙන කොටු දෙකක් තියෙනවා . එකක් ලග්නය තියෙන කොටුව . අනික නවාංශකය තියෙන කොටුව . ඔය කොටු දෙකේම පොඩි කොටු බෙදලා තියෙන්නේ එකම විදියකට . ඒ නිසා හොයාගන්න අමාරු වෙන්නේ නැහැ . සමහර කේන්දරවල තියෙනේ නෙළුම මලක් වගේ පෙති දොළහක් ඇඳලා . රවුමක් වටේට තමයි පෙති තියෙන්නේ . මේ රවුමේ මැද තමයි නවංශකය හරි ලග්නය හරි ලියන්නේ . එහෙම කේන්දරවල නම් අමාරුවක් නැහැ කියවන්න .

උඩම තියෙන පෙත්ත එක කියලා ගණන් ගත්තම දෙක තුන හතර පහ කියලා වම්පැත්තට ඒ කියන්නේ වාමාවෘතව පෙති ගණිනකොට ග්‍රහයෝ  ඉන්නේ කොහොමද කියලා අඳුරගන්න පුළුවන් . අඳුරගන්න පහසු වෙන්න කියලා මම ඔන්න කෙන්දරේක ෆොටෝ එකක් දානවා ඒ ඒ ඉලක්කම් කොහොමද කේන්දරේ කොටු වලට අදාළ වෙන්නේ කියලා දැනගන්නත් එක්ක .




ඊට පස්සේ අවුල වෙන්නේ ග්‍රහයන්ගේ නම් ශෝට් කරලා දාලා තියෙන විදියට කියෝගන්න බැරිකම . මට නෙවෙයි , කේන්දරේ අයිතිකාරයට තමයි කියෝගන්න බැරිකම තියෙන්නේ . මෙන්න මෙහෙමයි කේන්දරේ ග්‍රහයන් නම් කරලා තියෙන්නේ

රවි - ර
චන්ද්‍ර - ච
කුජ - කු
බුධ - බු
ගුරු - ගු
ශුක්‍ර - ශු
ශනි - ශ 
රාහු - රා
කේතු - කේ
යුරේනස් - යු
නැප්චූන් / නෙප්චූන් - නැ / නෙ
ප්ලූටෝ - ප් / ප්ලු


එකේ කවුද , දෙකේ කවුද , තුනේ කවුද , හතරේ කවුද කියලා ඒ ඒ කොටු වලට අදාළව ග්‍රහයෝ ඉන්නේ කොහොමද කියලා තමයි ඔය ශෝට් කරපු අකුරු ටිකයි අංක දාලා තියෙන කොටු ටිකයි බලලා කියන්න ඕන . නැත්නම් කියවගන්න දැනගන්න ඕන . කාලයක් තිස්සේ කේන්දර අතපත ගාන අයට කේන්දරේ දැක්ක ගමන් අංක දාලා නැතත් මේ කීවෙනි කොටුවද කියලා සං.............. ගාලා කියන්න පුළුවන් . ඒක ඉතින් පළපුරුද්ද නිසා ලැබෙන හැකියාවක් .

ගොඩක් අය රවි රාහු පටලවලා කියනවා . වෙලාවකට මට හිතෙනවා රවි මෙතන නම් රාහු කොහොමද මෙතනට ආවේ කියලා . ඒ මම හිතන්නේ කේන්දරේ මට කිව්ව කෙනා පටල ගත්ත වෙලාවක් තමයි . සමහර වෙලාවට ශනි ශුක්‍ර දෙන්නා පටලගන්නවා . ශනි කියන්නේ සෙනසුරු , ශුක්‍ර කියන්නේ සිකුරු . ශ ශු අකුරු දෙක වෙන් කරලා අඳුරගන්න බැරි උනාම ඔන්න ඒකත් වැරැද්ද ගන්නවා . මේ වැරදි කරගන්නේ නැතුව සාමාන්‍යයෙන් කේන්දරයක් කියෝගන්න පුළුවන් නම් ඒක බලන්න ඉගෙන ගන්න හරිම ලේසියි .

කේන්දරේ නැකත මොකක්ද කියලා කොටු ටිකට පස්සේ තියෙන විස්තරයේ කියලා තියෙනවා . ඊට පස්සේ නැකතේ පාදය කරණය අරවා මේවා විස්තරයක් දිගට දිගට ලියලා තියෙනවා . ඒවායෙන් නම් ඉතින් ඕන ඒවා විතරක් ඇහුවම මොනවද කියලා බලන කෙනාට බලලා කියන්න පුළුවන් . ඊට පස්සේ තියෙන වැදගත් දේ තමයි දශා ශේෂය කියන එක . දශා ශේෂය කියන්නේ එයා ඉපදෙන වෙලාවේ ගෙවෙමින් තිබුණු ග්‍රහයාගේ කාලයෙන් තව කොච්චරක් ගෙවෙන්න ඉතුරු වෙලා තියෙනවද කියන එක . වර්ෂ මෙච්චරයි මාස මෙච්චරයි දින මෙච්චරයි කියලා තමයි දශා ශේෂය ලියලා තියෙන්නේ . අතීතය , වර්තමානය සහ අනාගතය ගැන විමසලා බලන්න මූලිකවම මේ දශා ශේෂය වැදගත් වෙනවා .

මට ලොකු චෝදනාවක් තියෙනවා ලියන ලිපි දිග වැඩියි කියලා . ඒ නිසා මම කල්පනා කරා කොටස් කොටස් කඩලා පොඩි පොඩි ලිපි ලියලා දාන්න . එහෙම උනාම ඉතින් එකම මාතෘකාවටම ලියලා දන්න පුළුවන් කරුණු , ලිපි කීපයකට කැඩිලා යනවා . කරන්න දෙයක් නැහැ ඉතින් කියවන අයගේ පහසුව එපාය බලන්න . ඒ නිසා මේ ලිපියේ ඊළඟ පියවරට යන්නේ නැතුව මෙතනින් නවත්තනවා . අංක දාන්නේ නැහැ ලිපි වලට . එත් මේවා එකකට එකක් සම්බන්ධයි කියලා මතක තියාගන්න ඕන ළමයි . ආයෙත් කේන්දර ගැන ලියන ලිපියෙන් මෙතන ඉඳලා කන්ටිනිව් කරගෙන යමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Tuesday, February 2, 2016

මාදම්පේ








කාලෙකට පස්සේ ගම කන්න උනේ නැති නිසා වයලීනෝ අද හිතුවා ගමක් කාලා බීලා වමිට් කරලා දාන්න . ඔන්න නම කියවලා කස්ටිය වැරදියට හිතන්න එපා මම මේ කන්නේ මීගමුව පැත්තේ තියෙන මාදම්පේ කියලා . මම මේ කියන්නේ රත්නපුර රක්වාන මාර්ගයේ යනකොට හම්බෙන මාදම්පේ ගම ගැන . මේවා ඉතින් ඇත්තට භාරගන්න උන්ට දෙයියන්ගේම පිහිට තමයි කියමින් මම ඔන්න මාදම්පේ ගමට මාදම්පේ කියලා නම වැටුනේ කොහොමද කියලා කියන්න මුල පුරනවා .

ආදරණීය අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ සහෝදර සහෝදරි වරුණේ . ඔන්න එකෝමත් එක කාලෙකට පොඩ්ඩක් විතර කලින් කාලේ ලංකාවේ එක්තරා ගමක ජීවත් උනා ජුන්ඩයියා සහ ගුන්ඩයියා කියලා දෙන්නෙක් . මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි . හැබැයි සොහොදරයෝ නෙවෙයි හොඳේ . දෙන්නා හොඳ යාළුවො . මේ දෙන්නා පොඩි කාලෙම ඉඳලා හැදුනේ එකට . කැලේ මූකලානේ ඇලේ දොලේ වන වදුලේ ගියේ එකට .





මෙහෙම කාලයක් ගතවෙලා යනකොට යනකොට දවසක් ජුන්ඩයියාගේ අම්මා ජුන්ඩයියට කිව්වා කහවත්තේ තියෙන සෙනසුරාදා පොලට ගිහින් කන්න බොන්න ඕන ඒවා අරගෙන එන්න කියලා . ජුන්ඩයියා මේ ගමනට ගුන්ඩයියවත් එකතු කරගත්තා . ඔන්න දැන් දෙන්නා යනවා කහවත්තේ පොළට . ඒ කාලේ ලංකාවේ තිබ්බේ භාණ්ඩ හුවමාරු සිස්ටම් එකක් .

ඒ කියල්ලේ මෙයාලා ඒ භාණ්ඩේට මේ භාණ්ඩේ , කැත්තට පොල්ල , බාල්දියට කඹේ , කරත්තෙට හරකා , පෑනට ක්ලිප් එක , හාල් වලට මුට්ටිය , එළවලු වලට පොල් . අන්න ඒවගේ හුවමාරුවක් තමයි කරලා තියෙන්නේ . ඉතින් මේ ඩයියලා දෙන්නා අම්මා දුන්න ඒවාත් කරගහගෙන ගියා කහවත්තේ පොලට ඕන ඒවා අරගෙන එන්න . ඔන්න දැන් තිබ්බ තිබ්බ ඒවා ඔක්කොම හුවමාරු කරලා ඕන ඒවා ගත්තා කියමුකෝ . ඊට පස්සේ තමයි මාර සීන් එක උනේ .







කහවත්තේ පොලට ඇවිත් හිටියා පිටදේසක්කාර සුද්දෙක් වෙළඳාමට . එයා ගෙනත් තිබ්බා සෙස්සි ගෑණු ළමයින්ගේ පින්තූර . ඒවා හරිම චමත්කාර ජනකයි පිංවතුනි . මම දන්නේ නෑ . ඉතිහාස පොත්වල ලියවිලා තියෙනවා චමත්කාරම් සෙක්සි කාන්තා පැට්ටම් පින්තූරම් සෙල්හේ කියලා . ඒ කියන්නේ චමත්කාර ජනක සෙස්සි ගෑණුලමයින්ගේ පින්තූර විකුණනවා කියලා . ඉතින් දැන් මේ අපේ ඩයියලා දෙන්නටත් මේවා එකක් ගන්න ඕන . ඒත් හුවමාරු කරන්න මුකුත් නැහැ . අම්මා ගෙන්න කිව්ව ඒවා දෙන්නත් බැහැනේ . එහෙමයි කියලා මොකෝ ඉනේ තියෙන රෙද්ද ගලවලා දීලා අන්ඩර් වෙයාර් එක පිටින් ගෙදර යන්නය . එහෙමත් බැහැනේ . ඒ නිසා දැන් ජුන්ඩයියයි ගුන්ඩයියයි කතා වුනා මොකද කරන්නේ කියලා .

ගුන්ඩයියට හොඳ අදහස ආවා . ගුන්ඩයියා කිව්වා අපි කැලේට ගිහින් මාදං කඩාගෙන ඇවිත් ඒවා දීලා එක පිංතූරයක් ගමු කියලා . පස්සේ දෙන්නත් එක්කම කහවත්ත පොළ පහු කරලා ඈතට ඈතට යන්නේ නැතුව ළඟපාත තියෙන කැලේකට ගිහින් මාදං ගෙඩි ගොඩ්ඩාආආආආආක් කඩාගෙන ඇවිත් අර සුද්දට දීලා අර පින්තූර වලින් එකක් ගත්තා . සුද්දා කලින් මේ මාදං කාලා තිබුනේ නෑ කවදාවත් . ඒ නිසා සුද්දා එවෙලේම ඒ එකක් කාලා බැලුවා . මාර සීන් එක සුදු පාටට තිබ්බ කට දම් පාට වෙලා ගියා . අහෝ චේදයකි ඉරකි තිතකි . ඒ උනාට සුද්දට මේක මාර ආතල් වැඩක් උනා . ඒ නිසා මේ මාදං වලින් ගෙවීම් කරලා සෙස්සි ගෑණුළමයාගේ පොටෝ කෑල්ලක් ගත්ත ඩයියලා දෙන්නට තවත් පොටෝ එකක් නොමිලේම ලබා දුන්නා .







ඒවගේම ඒ සුද්දා අපේ ඩයියලා දෙන්නව හැඳින්වූවේ මාදංපේ ගායිස් කියලා . ඒ කියන්නේ මාදං වලින් Pay කරපු ගායිස් කියලා .

අන්තිමට ඉතින් මාදංවලින් Pay කරපු ගායිස්ලා ඉන්න ගම මාදංපේ වෙලා කාලයක් යනකොට මාදම්පේ බවට පත් වුනා . අන්න එහෙමයි මාදම්පෙට නම ලැබුණේ . අදත් ඒ පැත්තේ තියෙන අවුරුදු 25000ක් විතර පරණ මාදං ගස්වල පොසිල වාර්තා වලින් මේ කතාව මොනවට පැහැදිලි වෙනවා . ඒවගේම ගුන්ඩයියා සහ ජුන්ඩයියා මාදම්පේ ප්‍රදේශයට අධිගෘහිත දෙවියන් බවට පත්වෙලා ගම ආරක්ෂා කරනවා කියලා ඒ පැත්තේ ඉන්න බටකොළ ආච්චි කෙනෙක් වයලීනෝ එක්ක දවසක් පැවසුවා . එහෙනම් තවත් කතාවකින් නැවත හමු වෙමු .