Sunday, January 31, 2016

තත්කාල කාල හෝරාව









කොච්චර ජෝතිෂ්‍ය පිළිගන්නේ නෑ නෑ කිය කිය හිටියත් සමහර අය සමහර ජෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිපදිනවා . ඒවා එයාලා හිතා මතාම පිළිපදින්නේ නැති උනත් අඩුම තරමේ ඔහේ කරන්නං වාලේ කරන තරමටම සමහර දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා . ගම්වල ඉඳලා ගොඩක් වෙලාවට කොළඹට එන සමහර අයට ඊට පස්සේ ගමේ දේවල් අමතක උනාට හිත යට තැම්පත් වෙලා තියෙන මේ සමහර ජෝතිෂ්‍ය කරුණු කාරනා අමතක වෙන්නේ . මටත් ඉතින් සමහර වෙලාවට පේනවනේ ඔය පොෂ් වෙන්න හදන සමහර අය . වැඩිපුරම කාන්තා පාර්ශවය තමයි . හැමෝම නැහැ . එත් ටික දෙනෙක් හරි ඉන්නවනේ එහෙම .

එයාලා කවුරුහරි රාහු කාලය ගැන බලලා වැඩ කරනවා දැක්කම වයලීනොට හරි හිනා . ඇයි අම්මපා කූඩැල්ලෙක් දැක්කම වමිට් වෙන්න හදන සමහර අයගේ පර්ස් වල රාහු කාලය , කාල හෝරාව තියෙන පොඩි කාඩ් තියෙනවා දැක්කම වයලීනොටත් වමිට් වෙන එක සාධාරණයි නෙව . විහිලුවට කිව්වේ හොඳේ . එහෙමහරි ඒ අය ඒ ගැන විමසිල්ලෙන් ඉන්න එක ගැන සන්තෝසයි . අඩුම තරමේ ඒවා සංකල්ප විදියට පරෙස්සම් වෙන්නවත් එහෙම අය ඉන්න එක හොඳයි . ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ රාහු කාලය තරමටම මිනිස්සු අතරේ ජනප්‍රිය උනේ නැතත් තරමක් හරි ජනප්‍රිය වෙලා තියෙන කාල හෝරාව කියන සංකල්පය ගැන . එහෙනම් ගරු බුද්ධිමතුනේ දෙන්න මට මදකට අවසර .

ඉර පායනවා , ඉර බහිනවා . කන්න නැතත් බොන්න නැතත් නිදාගන්න නැතත් ලෝකයේ නොනවතින සත්‍යයක් තමයි ඔය ඉර පායනවා ඉර බහිනවා කියන එක . ඉතින් ඉර පායනවත් එක්කම තමයි අපිට දවසක් උදා වෙන්නේ . ඒ කියන්නේ පිංවතුනි ඉංග්‍රීසි දින ක්‍රමයට මේ කතාව කරලා හරියන්නේ නෑ . මේක ගැන කතා කරන්න ඕන සිංහල දින ක්‍රමයට . ඉංග්‍රීසි ක්‍රමයට දවසක් උදා වෙන්නේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ . ඒ කියන්නේ රා 12 . 00 න පස්සේ පහු වෙනිදා වෙනවා . ආයෙත් කියනවනම් ඒ කියන්නේ 24 වෙනිදා රාත්‍රී 12 00 න පස්සේ 25 වෙනිදා උදා වෙලා තියෙනවා කියන එක . එත් සිංහල ක්‍රමයට දවස් බලනකොට ඕක ඔහොම නෙවෙයි කරන්නේ . සිංහල ක්‍රමයට , නැත්නම් ජෝතිෂ්‍ය ක්‍රමයට දවසක් කියලා කියන්නේ එක ඉර උදාවක ඉඳලා අනෙක් ඉර උදාව දක්වා ගත කරන කාලයට . එහෙම බැලුවම ඔන්න මම මේ පහලින් කියලා තියෙන දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන් .  හරිද ළමයි ?





කාල හෝරාව . එහෙමත් නැත්නම් තත්කාල හෝරාව ගැන ගොඩක් දෙනා විමසිලිමත් වෙන්නේ නැති උනාට ජෝතිෂ්‍ය දැනුම තියෙන අයගේ කතා බහ අහගෙන ඉඳලා , නැත්නම් ඒවා බලෙන්ම අහලා දැනගෙන තම තමන්ගේ ජීවිත වල එදිනෙදා වැඩ කටයුතු කරගන්න තමන්ටම ශුභ වෙලාවක් හිතාගන්න පුළුවන් . සූක්ෂම නැකත් හදන්න මේ හෝරාව බලලා විතරක් බැහැ . එත් ඒ ඒ හෝරාවල්වල තමන්ගේ ඒ ඒ අදාළ වැඩකටයුතු කරලා ඇතිවෙන්න පුළුවන් අභව්‍ය තත්ත්ව නැති කරගන්න පුළුවන් . එහෙනම් අපි බලමු හෝරාව කියන්නේ මොකක්ද කියලා .

ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා . ඔන්න ඔහොමයි සතියේ දවස් හත නම් වෙලා තියෙන්නේ . ඒ නම් ඇතිවෙලා තියෙනවා කියලා කියන්නේ මේ දවස් වලට අධිපති වෙන ග්‍රහයාගේ නමින් තමයි .  දවසේ නම කියනකොටම තේරෙනවනේ කවුද අධිපති කියලා .






රවි - හිරු - ඉරිදා
චන්ද්‍ර - සඳ - සඳුදා
කුජ - අඟහරු - අඟහරුවාදා
බුධ - බුධ - බදාදා
ගුරු - බ්‍රහස්පතී - බ්‍රහස්පතින්දා
ශුක්‍ර - සිකුරු - සිකුරාදා
ශනි - සෙනසුරු - සෙනසුරාදා

ඔන්න ඔහොමයි ඒවා වෙන් වෙන වශයෙන් ඇතිවෙලා තියෙන්නේ . ඉතින් දැන් මම කියන්නම් මේ හෝරාවල් ඇතිවෙන්නේ කොහොමද කියලා . හෝරා චක්‍රයෙදී වෙන්නේ ඉර උදාවෙන් පස්සේ පැය එක එක මේ හෝරාවලට අයත් වෙනවා . සිංහල ක්‍රමයට දවසකට පැය හැටක් තිබ්බට ශාස්ත්‍රානුකූල ඉගැන්වීම් වලට අනුව මේ හෝරා සංකල්පයේ හෝරාවකට විනාඩි හැටක පැයක් තමයි අයත් වෙන්නේ . ඒ කියන්නේ දවල් කාලයේ හෝරා දොළහයි රාත්‍රී කාලයේ හෝරා දොළහයි වැටෙන විදියට . ඒ නිසා සිංහල ක්‍රමයට ගොඩනැගුනට හෝරාව බලනකොට අපිට සාමාන්‍ය පැය විදියටම වෙලාව බලලා මේක ගණනය කරගන්න පුළුවන් .

වැදගත්ම දේ තමයි මේ හෝරාවට අදාලව වැඩ කරන අයත් මේක කරන්නේ අන්ධ භක්තියෙන් වගේ මුලා වෙලා කියන කාරණාව . ඒ මොකද දන්නවද ? . දැන් ඔය ලිත්වල , පොකට් කැලැන්ඩර් වල සහ වෙනත් පොත්වල එහෙම මේ හෝරාව ලබන වෙලාව කියලා සඳහන් වෙලා තියෙන්නේ ඉර උදාව උදේ 6 ට වෙනවා කියලා හිතලා . ඒ නිසා ඒ අනුව හෝරාව හැමදාටම ගණනය කරන එක වැරදියි . වැරදියි කියන්නේ ලොවෙත් වැරදියි . ඔන්න බැරිවෙලාවත් ඉර උදා උනේ උදේ හයට නම් ඒ වගුව හරියටම හරි වෙනවා . එහෙම නැතුව 6 35 ට ඉර උදා උනා කියමුකෝ . එහෙම උනොත් දවසේ පලවෙනි හෝරාව වෙන්නේ 6 35 ඉඳලා 7 35 දක්වා තියෙන පැයක කාලය . එහෙම උනාම පළවෙනි හෝරාව දෙවෙනි හෝරාව කියලා ගණනය කරන්න ඕන අන්න ඒ වෙලාව අනුව . නැතුව අපි ළඟ තියෙනේ වගුවේ වෙලාවට අදාළව හෝරාව ගණනය කරලා ගත්තම වැරදියි .

ඊට පස්සේ කියන්නම් මම හෝරාව ඇතිවෙන පිළිවෙල . සඳුදා අඟහරුවාදා කියලා දවස් හතට නම් ලැබිලා තියෙන්නේ ඒ ඒ දවසට අදාළ ග්‍රහයාගෙන් කියල මම කලින් කිව්වනේ . ඉතින් ඒ අනුව ගත්තම මෙන්න මෙහෙමයි ඉර උදාවත් එක්කම ඒ ඒ දවසට අදාළව ග්‍රහයින්ගේ පළවෙනි හෝරාව ලබන්නේ .





සඳුදා - සඳු හෝරාව
අඟහරුවාදා - කුජ හෝරාව
බදාදා - බුද්ධ හෝරාව
බ්‍රහස්පතින්දා - ගුරු හෝරාව
සිකුරාදා - සිකුරු හෝරාව
සෙනසුරාදා - ශනි හෝරාව

ඒ ඒ දවසට ඔය විදියට පටන් අරගෙන තමයි පැය එක එක ගතවෙනකොට හෝරාවල් මාරු වෙන්නේ . හෝරාවල් මාරු වෙන්නේ මේ පිළිවෙලට .

1  රවිහෝරාව  ,
2  සිකුරු හෝරාව ,
3  බුධ හෝරාව  ,
4  සඳු හෝරාව  ,
5  ශනි හෝරාව ,
6  ගුරු හෝරාව ,
7  කුජ හෝරාව ,

ඉතින් අපි ඉරිදා ගත්තොත් රවී සිකුරු බුධ සඳු ශනි ගුරු කුජ කියලා පැය හතක් ගතවෙලා දවල් 1 වෙනකොට මේ හෝරා චක්‍ර එකක් ගතවෙලා ඉවර වෙනවා . ඊට පස්සේ ආයෙත් මේ හත මුල ඉඳලා උදා වෙන්න පටන් ගන්නවා . අඟහරුවාදා නම් . පලවෙනි හෝරාව කුජ හෝරාව . ඊට පස්සේ දෙවෙනි හෝරාව රවි හෝරාව . එහෙම පටන් අරගෙන මේ චක්‍රය ක්‍රියාත්මක වෙනවා .

අතීතයේ ඉඳලා මේ මේ හෝරාවල් එක එක වැඩ වලට හොඳයි කියලා වෙන් කරලා තියෙනවා . පංචම කාල හෝරාව , සූක්ෂම කාල හෝරාව වගේ දේවල් එක්ක මේ ශුභ අශුභ තාවය වෙනස් වෙනවා . ඒවා ටිකක් සංකීර්ණ නිසා ඒ සිද්ධාන්ත ගැන වෙනම පෝස්ට් එකක ලියන්න තමයි හිතාගෙන ඉන්නේ . ඉතින් මෙන්න මෙහෙම තමයි ඒ ඒ හෝරාවල් වලට වෙන් වෙච්ච කාර්යයන් සම්මත වෙලා තියෙන්නේ .





රවි හෝරාව
රජුන් දැකීම ,
පියාගෙන් හෝ රජයෙන් ආධාර හෝ වෙනත් ඉල්ලීම් ඉල්ලීම ,
පැමිණිලි ඉදිරිපත් කිරීම ,
ආරක්ෂක අංශයේ කාර්යයන් සිදු කිරීම ,
දේශපාලන වැඩ ආරම්භ කිරීම ,
පොලීසිය සම්බන්ධ කටයුතු කිරීම .

සඳු හෝරාව
තද සිත්  ඇති අය හමු වීම
අම්මාගෙන් හෝ කාන්තාවන් උදවු උපකාර ඉල්ලීම
විදේශ ගත වීම
ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනීම
ප්‍රේම සබන්ධතා සම්බන්ධ කටයුතු සිදු කිරීම

කුජ හෝරාව 
සටන් කිටීම
වස් කවි කීම
වර්ජනය කිරීම කිරීම
නඩු දැමීම , නඩු සම්බන්ධ කටයුතු ආරම්භ කිරීම
ඉඩම් මිල දී ගැනීම

බුධ හෝරාව 
ඉගෙනීමේ කටයුතු ආරම්භ කිරීම
පොත් ලිවීම ආරම්භ කිරීම
පාඩම් කිරීම ආරම්භ කිරීම
ඉගැන්වීම ආරම්භ කිරීම

ගුරු හෝරාව
විවාහය සිදු කිරීම
මැති ඇමතිවරුන් හමු වීම
රථ වාහන මිලදී ගැනීම
ගෙවල් සෑදීම සඳහා මුල් ගල් තැබීම
ගමන් යාම සඳහා පිටත් වීම

ශුක්‍ර හෝරාව
කවි රචනා කිරීම ආරම්භ කිරීම
සිංදු ලිවීම ආරම්භ කිරීම
හෝටල් ආරම්භ කිරීම
රෙස්ටොරන්ට් ආරම්භ කිරීම

ශනි හෝරාව
මහන කිරීමට
මහන වීමට
ගිහි ගෙයින් නික්ම යාමට
පලා යාමට
දික්කසාද වීමට



ඔන්න ඔහොමයි හෝරාවල් වලට අදාළ වැඩ රාජකාරි වෙන් වෙලා තියෙන්නේ . මම හිතනවා මේ ලිපියෙන් තත්කාල හෝරාව ගැන යම් දහසක් ඔයාලට ඇතිවෙලා ඇති කියලා . සූක්ෂම කාල හෝරාව පංචම කාල හෝරාව සහ එක එක ලග්නවලට මේ හෝරාව කොහොමද අදාල වෙන්නේ කියලා අපි ජෝතිෂ්‍ය සම්බන්ධ ඊළඟ ලිපියෙන් බලමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

13 comments :

  1. දැනගත්ත යමක්
    ඒත් වැඩක් ගන්නවද දන්නෑ ඒ කිව්වෙ මම
    අපි ඕවබලල කරන අයයැ
    සමහරු නං ගමනක් යන්න පිටත් වෙලා මක්ක හරි පමාවක් වුනොත් අපෝ යන්න හොදනෑ බාධයි අරකයි මේකයි කියනව සමහරු හූනෙක් කෑගැහුවත් බයිනව
    හත්තිලව්නෙ හූන චික් චික් කියන්නෙ නැතිව පක් පක් ගාන්නද
    ඕක මං අහල අහගත්ත කණ පිරෙන්න. ඒව නං රස කතා හැක්...

    ස්තූතියි මචං අපි වෙනුවෙන් මේව හොයල කරල කෙටුවට

    ReplyDelete
    Replies
    1. :p :p
      එල එල
      බොහොම ස්තූති g-)

      Delete
  2. වයලිනොගේ අකුරු කැතයි මේ සැරේ කොටලා තියෙන්නේ මොන හෝරාවේද මන්දා අකුරු ටිකක් අවුල් ගිහින්... මට හිතෙන්නේ ඒක මේ බ්ලොග් එකේ එන අවුලක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක ක්‍රෝම් එකේ අවුලක්. අලුත් අප්ඩේට් එක සෑහෙන්න අවුල්.
      ඔයත් රිපෝට් කරන්න.
      Chrome Menu -> Help -> Report an issue

      Delete
    2. මේ ගූගල් එකේ උන්ට වයර් මාරු වෙලා . ඔක්කොටම ඔය සෙතේ තමා . :p

      Delete
  3. බුදුහාමුදුරුවොත් ග්‍රහ තාරකාවලට කළ හැකි කිසිවක් නොමැතියි කියා කිව්ව එකේ මොන මගුලකට මිනිස්සු ඔව්වායෙ එල්ලිලා ඉන්නවද මන්දා.. මං නං මතක ඇති කාලෙකින් කේන්දරේ බලලා නැහැ.

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ ඉතින් . එක එක්කෙනාගේ කැමැත්තනේ :)
      බොහොම ස්තූති g-)

      Delete
    2. මගේ පුද්ගලික අදහස කිව්වෙ. නමුත් යහපත් විදියට ජ්‍යෙතිශය කරන අය ඉන්නවා.මිනිස්සුන්ගෙ යහපතට ඒක යොදාගන්නව නම් ගැටලුවක් නෑ.. අණවිණකොඩිවින නොකර..

      Delete
    3. ඔව් ඔව් . ඒක ඇත්ත .
      ජෝතිෂ්‍ය සහ අණවින කොඩිවින කියන්නේ පාරවල් දෙකක් .
      ජෝතිෂ්‍යයෙන් අණවින කොඩිවින කරන්න බැහැ ඉතින් .
      :)
      බොහොම ස්තූති g-)

      Delete
  4. මහත්මයා අවසන් ගමන් ගිය කෙනෙකුගෙ ඒ කටයුතු වලට සුදුසු වෙලාවල් බැලීමේ ක්‍රමවේද්ය මොකක්ද? ඒ අවස්ථාවේදීත් රාහුකාලය මග ඇර ගන්නවාද?(මිනිය ගෙයින් පිටට ගන්න වෙලාව)

    ReplyDelete
    Replies
    1. කිසිම පදනමක් නැහැ . අඩුම තරමේ අවසන් කටයුතු සඳහා දවස් වෙන් කරගෙන ඉන්න එකටත් මමනම් විරුද්ධයි . අපි ඉපදෙන්නේ කලින් ප්ලෑන් කරලද ? නැහැ . ඉපදුනාට පස්සේ ඒ කෙනා ඉපදිච්ච වෙලාවේ තිබ්බ ග්‍රහ බලපෑම් එක්ක තමයි අපි එයාට ජෝතිෂ්‍ය විද්‍යාවේ බලපෑම් ගැන කතා කරන්නේ . ඒත් කෙනෙක් මැරුණා කියලා කියන්නේ එයාට මේ ලෝකයේ තියෙන බලපෑම නැතිවෙලා තියෙන්නේ . ඒ කියන්නේ අඩුම තරමේ ග්‍රහයින්ගේ බලපෑම වත් ලැබෙන්නේ නැහැ . ග්‍රහයින්ගේ කිරණවල බලපෑම ලැබෙන්නේත් නැහැ . ඒ භෞතික කයට තියෙන විශ්ව ශක්ති බලපෑම සම්පූර්ණයෙන්ම නැතිවෙලා තියෙන්නේ . ඉතින් එහෙව් එකේ ඇයි අපි මැරිච්ච කෙනෙක් වෙනුවෙන් සුභ අසුභ වෙලාවල් බලන්නේ . වෙලාවක් කලාවක් නැතිව ඉපදුනා වගේම වේලාවක් කලාවක් නැතිවම වලදැම්මා කියලා කිසිම ගැටළුවක් නැහැ මම විශ්වාස කරන හැටියට සහ මම ඒ දේවල් දකින කෝණයේ හැටියට .

      Delete
    2. ඔව් මම එකග වෙනවා අනිවාර්යෙන් ඔබත් එක්ක.නමුත් මට දැන ගන්න ඕන වෙන්නෙ,කෙනෙක්ට සුබ හෝරාවක් තෝරන ක්‍රමයටමද මේ වෙලාවල් කියන්නෙත්? නැකැත් මහත්වරු,අපේ අක්කා කෙනෙක් නැති වුනා ගිය සතියේ.දීපු වෙලාව රාහු කාලය තුල අන්තර්ගත වෙලයි තිබුනෙ.

      Delete
    3. ඔව් රාහු කාලයේදී වැළලුවා කියලා ගැටළුවක් නැහැ . මිනියක් වැළලීම සුබ හෝ අසුබ දෙයාකාරයටම දකින්න පුළුවන් . මටනම් ඔය දෙකටම අදාළ නැතුවයි දැනෙන්නේ . ඒ නිසා රාහු කාලය තුල වෙලාවක් දුන්නා කියලා ගැටළුවක් නැහැ . නැකත් හදනකොට බලන දෝෂ තියෙනවා . ඒ දෝෂ වලින් එකක් තමයි රාහු කාලය . ඒ නිසා රාහු කාලය තුල මේ වගේ දේකට වෙලාවක් නියම කිරීම ප්‍රශ්නයක් නැහැ . මොකද සමාජ සම්මත සිරිත් විරිත් අනුව මිනියක් වැළලීම කියන්නේ අසුභ කාරණාවක් නිසා .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.