Tuesday, January 19, 2016

වයලීනෝ සබැඳි කතා ( 3 ) සංගීත කතා


                                        Picture



දැන් හොල්මන් කතා ලිව්වා ඇති කියල මම අන්තිම කතාවේ කිව්වනේ . එහෙනම් මේ මුල පුරන්න හදන්නේ ආයෙත් මියැසියේ රසකතා සංගීතයෙන් පුරවලා එව්වා කරලා මේවා කරලා ගන්න . වයලීනෝ සබැඳි කතා පළවෙනි ලිපිය සහ දෙවෙනි ලිපිය පබ්ලිෂ් කරලා අපි හිතුවේ ආයෙත් වයලීනෝ සබැඳි කතා ලියන්නේ නෑ කියලා . ඒත් දනුල මල්ලිගේ බලවත් බවලත් ඉල්ලීම පිට ඔන්න තුන්වෙනි ලිපියකුත් ලියන්න උනා . උනා කියන්නේ දනුලගෙන් ප්‍රශ්න ආවා . මම උත්තර දුන්නා . මේ උත්තර බලලා හිතන්න එහෙම එපා මූ මහා පොරක් කියලා හිතන් ඉන්නවා කියලා . මමනම් වයලීන් ගහන්න දන්නෙත් චුට්ටයි . ඒ චුට්ටත් දැන් බැහැ . මේ ලිපියේ කියලා තියෙන්නේ වයලීනෝ සංගීතයට කොහොමද ආවේ කියලා .

මේ තියෙන්නේ දනාගේ පලා මල්ල 

වයලීනෝ සබැඳි කතා ( 1 )

වයලීනෝ සබැඳි කතා ( 2 ) 

අපි එහෙනම් දනාගේ පලාමල්ලේ පලවෙච්ච වයලීනෝ සබැඳි කතා ලිපිය මියැසියේ රසකතාවල ඉඳගෙන කියවමු . ඔන්න එහෙනම් කියවන්න . ඔන්න,,,,,,,,,,,,,,,,,,, ඔන්න,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන, එහෙමත් නැත්නම් "වයලීනෝ" කියන්නෙ කවුද කියලා මගේ පලා මල්ලට ගොඩ වදින හුග දෙනෙක් දැන් දන්නවා. ඒ ඉතින් මීට කලින් වයලීනෝගෙ වැඩකිඩ ඉලක්ක කරගෙන "වයලීනෝ සබැදි කතා", "වයලීනෝ සබැදි කතා II" කියලා ලිපි දෙකක්ම ලියපු නිසා. වයලීනෝ එක්ක කරපු පළවෙනි සාකච්ඡාවෙන් අපි ඉලක්ක කළේ අපිට නොපෙනෙන ලෝකය ගැන. දෙවෙනි සාකච්ඡාවෙන් අපි ඉලක්ක කළේ අපේ රටේ අලි ඇතුන් ගැන. මේ ලිපි දෙකටම හිතා ගන්නවත් බැරි තරමේ හොද ප්‍රතිචාර ලැබුණා. ජීවිතේට දැකපු නැති අය හිටං මේ සාකච්ඡාවන් ගැන ධනාත්මක ප්‍රතිචාර ලබා දුන්නා. මේ ලෑස්තිය තුන්වෙනි පියවර ඉස්සරහට තියන්නයි. වයලීනෝ එක්ක කරන්න ගත්ත සාකච්ඡාව, දැන් කෙළවර වෙන්න යන්නෙ සාකච්ඡා මාලාවකින්. දෙවෙනි සාකච්ඡාව කරනකොට නම් තුන්වෙනි ලිපියක් ගැන ලියන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. මොකද එකම පුබ්බඩයා ගැන, ආහ් නෑ සමාවෙන්න! එකම පුද්ගලයා ගැන, දීර්ඝ කාලයක් තිස්සෙ කියවනකොට ඕනම එක්කෙනෙක්ට එපා වෙනවනෙ.

අන්තිමටම කරපු ලිපියේ, අන්තිම පරිච්ඡේදයේ "කොහොම හරි මේ ලිපියත් එක්ක වයලීනෝගේ සම්පූර්ණ විෂය පථයම ආවරණය වෙනවා" කියලා ලිව්වට මොකද, අපිට වයලීනොගේ සංගීත කලාව සහ ගීත විචාර ගැන විස්තර දැන ගන්න අමතක වුණා. ඒ නිසා මේ සාකච්ඡා මාලාවේ තුන්වෙනි පිටුව වෙන් වෙන්නේ වයලීනෝගේ සංගීත කලාව, ගීත විචාර සහ අත්දැකීම් සම්බන්ධ කරුණු අවුස්සන්නයි. ඒ වගේම මියැසියේ රසකතාවල "මියැසි රස"වල තිරය පිටුපස වෙන දේවල් දැන ගන්න එකත් අරමුණක් වුණා. අන්තිමටම ලියපු ලිපියේ මෙහෙම කොටසකුත් දැම්මා. "අප්පච්චි තුන්වෙනි පාර ඉල්ලන්න ගිහින් වෙච්ච හරිය මදැයි! ඒ නිසා වයලීනෝ සබැදි කතා IIIක් නම් එන්නේ නෑ." මේකට ප්‍රති උත්තරයක් විදිහට මියැසියේ රසකතාවල වයලීනෝ සටහනක් ලියලා තිබ්බා "ඔය කිව්වට තුන්වෙනි කොටසකුත් එන්න පුළුවන්" කියලා. අන්තිමේදි ඉතින් දනාගේ අනාවැකිය වැරදුනා. වයලීනොගෙ අනාවැකිය හරි ගියා. ඒ නිසා වයලීනෝ සබැදි කතා IV ගැන, මේ වෙලාවෙදි මම මොකූත් කියන්න යන්නෙ නෑ. දැන් එහෙනං අපි සාකච්ඡාවට බහිමු....

01. කොහොමද අපේ පහුගිය ලිපිවලට ලැබුණු ප්‍රතිචාර?
**   ගොඩක් දෙනෙක් ඒ ලිපි දෙකම කියවලා තිබුණා. වයලීනෝ සබැඳි කතා පළවෙනි ලිපියට, දෙවෙනි ලිපියට වඩා ප්‍රතිචාර තියෙනවා. යක්කු භූතයෝ ගැන වැරදි වැටහීම් තියාගෙන හිටපු ගොඩක් දෙනෙක් ඒවා ගැන තරමක හරි අවබෝධයක් ඒ ලිපිය හරහා ලබාගෙන තිබුණා. ඒවගේම තමයි මම කවුද කියලා ගොඩක් දෙනෙක් අඳුරගෙන තියෙන්නෙත් ඒ ලිපිය නිසා. නැත්නම් මම අනන්‍යතාවය ලේසියෙන් හොයාගන්න බැරිවෙන විදියටනේ "වයලීනෝ" නමින් ලියාගෙන හිටියේ. ඒ අනන්‍යතාවය හෙළි කිරීම නිසා මට මග තොටේ බැහැලා යන එනකොට සමහර අයගෙන් හොඳ හොඳ ප්‍රතිචාරත් ලැබුණා. මගේ පස්සෙන් ඇවිත් “මල්ලි මල්ලි වයලීනෝ කියන්නේ ඔයාද? ඔයාගේ ලිපි මම කියවනවා. දිගටම ලියන්න“ කියලා ඒ අයගෙන් මට සුභ පැතුම් ලැබෙනවා. අලි ගැන ලිව්ව ලිපිය, අලින්ට කැමති අය ගොඩක් දෙනෙක් කියවලා තිබුණා. අලි ගැන මම ලිව්ව ලිපිවල සාරය ඒ ලිපියේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා කීප දෙනෙක්ම කිව්වා. හැබැයි මමත් කැමති ඔය ලිපි දෙකෙන් මුල ලිපියට.


02. ඊට පස්සෙ මොනවද ලියපු අලුත් ලිපි?
**  සිංදු ගැන ලිව්වා, කෑම හදන හැටි ගැන ලිව්වා, තව යක්කු භූතයෝ ගැනත් ලිව්වා. සීයා මුණුබුරා දෙන්නා වටා ගෙතෙන ගුරුකම් සම්බන්ධ කතා මාලාව තමයි අන්තිමටම බ්ලොග් එකේ ලියවුණේ. වෙනදා ලියන කතාවලට වඩා මේ වතාවේ ලිව්ව "නොපිට ගිය සොහොන් කාලි පූජාව" කතා මාලාවයි, "මලයාල නාග වෛරෝඩිය" කතා මාලාවයි ගොඩක් දෙනෙක් කියවලා තියෙනවා. "මලයාල නාග වෛරෝඩිය" තමයි දැන් බ්ලොග් එකේ ලියමින් පවතින්නේ. ගීත ගැන ලිව්ව අන්තිම ලිපිය "සඳකඩ පහනට තවත් කැටයමක්" කියන ලිපිය. සඳකඩ පහනට ගාවලා තියෙන ගණිකාව එතනින් අයින් කරලා ඇත්ත පිළිගන්න, මිනිස්සුන්ගේ තියෙන අකමැත්ත නිසාද මම දන්නේ නෑ, ඒ ලිපිය නම් වැඩිය කවුරුවත් කියවලා තිබුණේ නෑ. ඉස්සරහට ලියන දේවල් ගැන බලාපොරොත්තුවක් දෙනවනම්, "මලයාල නාග වෛරෝඩිය" ලිව්වට පස්සේ ලියන්නේ ඉන්නේ "සැදෑ කළුවර කුර ගගාවිත්" කියන ගීතය ගැන. හැබැයි උපාධිය ඉවරවෙනකල් ලිවීම නවත්තන්නත් හිතාගෙන ඉන්නවා. තවම තීරණයක් නැහැ.


03. දේව සහ යක්ෂ කතා, අලි ඇතුන් ගැන වගේම වයලීනෝ සිංදු ගැන ලියන්නත් හරිම ආසයි නේද?
** මේ ප්‍රශ්නයට උත්තරය දෙන්න ලොකු කතාවක් තියෙනවා කියන්න. මම අන්තිම වතාවට උසස්පෙළ ලියලා ගෙදර ඉන්න කාලේ තමයි සමන් දේවාලය ගැන, සමන් දෙවියන් ගැන ලියන්න ඕන කියලා හස්තිනාපුරය බ්ලොග් එක පටන් ගත්තේ. මේ කාලේ සිංදුවා අයියත් බ්ලොග් එකක් ලියන්න ඕන කියලා බ්ලොග් එකක් අටවගෙන හිටියා මට මතකයි. මම සද්ද නැතුවම ලියන්න ගත්තට පස්සේ මගේ බ්ලොග් එකේ පෙනුම ගැන ඉස්සෙල්ලම විවේචනය කරේ සිංදුවා අයියා තමයි. මට තාමත් මතකයි ඒ කාලේ මගේ බ්ලොග් එක හරිම අඳුරු පාටවල් වලින් මම Design කරලා තිබුණේ. සිංදුවා අයියගේ වැඩේ කොයිවෙලෙත් “මොකක්ද බං ඒ පාට, ඕක දැක්කම හිතෙන්නේ මහා අඳුරු ගතියක්. ටිකක් ඇහැට එළිය වැටෙන පාටවල් දාපන්. එතකොට මිනිස්සුන්ට කියවන්න ආස හිතෙනවා“ කියලා කියන එක.


මම බැරිවෙලාවත් බ්ලොග් එක ගැන ඇහුවොත් කියන්නේ ඕකම තමා. ඒත් මම දන්නේ නෑ මගේ ඇහේ අවුලක්ද කියලා, මම තාමත් හොයන්නේ අඳුරු පාටම තමයි. හැබැයි තොරතුරු තාක්ෂණ විෂය එක්ක හැමවෙලේම ගැටෙන ඒවගේ කෙනෙක් කියන දේක ඇත්තකුත් තියෙනවා කියලා මට තේරුනා. ඒත් ඉතින් මම ඔය පාටවල් වෙනස් කරේ කැමැත්තකින් නෙවෙයි. ඉතින් අපි දෙන්නම ඔහොම ඔහොම බ්ලොග් ලියන එක ගැන කතා කරන්න පටන් ගත්තා. කොහොමත් උසස්පෙළ ලියලා ඒ කාලේ ගෙදර වෙන කරන්න වැඩකුත් නැති නිසා දවසින් වැඩි හරියක් සිංදුවා අයියලාගේ ගෙදර තමයි කාලය ගත කරන්නේ. ඔය කාලේ සිංදුවා අයියා "අන්තිම පේලිය" කියලා වෙබ්සයිට් එකක් හොයාගෙන තිබුණා. රස කතා යන හොඳ Site එකක්. පස්සේ එයා ඒකෙ Account එකක් හදාගෙන සිංදු ගැන රස කතා ලියලා Publish කරලා තිබුණා. මම ඉතින් එහෙ ගියාම මාත් එක්ක ඔය Site එකේ විස්තර කිව්වා. කියලා මුහුණුපොත හරහා මට ඒ Site එකේ Link එක එව්වා, “මේ Site එකට ඇවිත් බලන්න“ කියලා. පස්සේ මමත් ඇවිත් කතා දෙක තුනක් කියවලා බැලුවා.

ඔය අතරේ තමයි සිංදුවා අයියා ඔය Site එකට ගීතවල තේරුම් ගැන ලියන්න පටන් ගත්තේ. පස්සේ මම ඒ ලිපි කියවන්න පුරුදු උනා. ඊට පස්සේ ඒ සයිට් එකේ අනිත් අය ලියන වෙනත් ලිපිත් කියවන්න පුරුදු උනා. පස්සේ ඒවට Comment කරන්න ඕන නිසා මමත් Profile එකක් හදන්න ඕන කියලා හිතලා Profile එකක් හැදුවා. එවෙලේ තමයි "වයලීනෝ" කියන නම දැම්ම නම් හොඳයි කියලා මට හිතුනේ. මොකද "සිංදුවා" කියලා සිංදුවා අයියා ඒ නම දැම්මේ සංගීත පසුබිමක් තියාගෙන ලියන්න ඕන නිසා. මම කල්පනා කරා මමත් දැන් වයලීනය නිසා, ඒ කාලෙත් ටිකක් ප්‍රසිද්ධ නිසා වයලීන් එකත් එක්කම ගැළපෙන නමක් දැම්ම නම් හොඳයි කියලා. ඉතින් "වයලීනෝ" නම මතක් උනා. ඒක දාලා Profile එක හැදුවා. ඊට පස්සේ තමයි ඒ නම කට්ටියම දැන හඳුනා ගත්තේ. දර්ශන ප්‍රභාත් නමින් තමයි මම බ්ලොග් එක ලිය ලිය හිටියේ.

ඊට පස්සේ Blogger User Account එකත් හැදුවා වයලීනෝ නමින්ම. අන්තිම පේලියේ සිංදුවා අයියා ලිව්ව ලිපිවල මමත් ඇතුළුව අපේ ඉස්කෝලේ සංගීත කණ්ඩායම ගැන විස්තර ඇතුලත් වෙලා තිබුණා. පස්සේ සිංදුවා අයියයි තව අන්තිම පේලියේ ලිව්ව අයයි කියන්න ගත්තා මටත් ලියන්න කියලා. මම ඉස්සෙල්ලම ලිව්වේ "ගජමන් නෝනා" ගැන ලිපියක්. පස්සේ වෙන වෙන ඒවත් ලිව්වා. අන්තිමට සිංදුවා අයියගේ අඩිපාරේම යනවා කියලා හිතාගෙන මමත් ගීත විචාර ලියන්න පටන් ගත්තා.

​සිංදුවා අයියා නිසා තමයි ගීත විචාර ලියන්න පටන් ගත්තේ. ඒ නිසා ගීත ගැන  ලිව්ව දේවල්වල මොනවා හරි වටිනා කමක් තියෙනව නම් ඒ ගෞරවය එයාට තමා හිමි වෙන්න ඕන. සිංදුවා අයියා වැඩිපුරම ඉලක්ක කරන්නේ ගීතවල ඇත්ත
විස්තර, ඇත්ත තේරුම් ඉදිරිපත් කරන්න. මම ගීත දිහා බලන්නේ ඊට වඩා නිදහස් විදියට. ඒ නිසා සමහර ගීතවලට අසාධාරණයක් වෙනවත් ඇති. ඒත් මම ඒ නිදහසට කැමතියි. ඔන්න ඔහොම තමයි ගීත ගැන ලියන්න ආසාවක් ඇති උනේ.


04. කොහොමද සංගීත කලාවට පිවිසෙන්නෙ?
** ඒක කලින් Plan කරගෙන ඉඳලා කරපු දෙයක් නෙවෙයි. දන්නෙම නැතුව සංගීත විෂය තෝරාගත්තා. පොඩි කාලේ මම චිත්‍ර අඳින්න තමයි කැමති. දිය සායම් පැස්ටල් හැමවෙලේම වගේ මගේ අත කිට්ටුව තියෙනවා. මට හොඳට මතකයි අපේ සීයා මියගිය වෙලාවෙත් මම චිත්‍රයක් ඇඳ ඇඳ ඉඳලා නවත්තලා තිබුණේ. ඒ මෙන්න මේ චිත්‍රය බලාගෙන ඒකම පිටපත් කරලා ඇන්දේ. දියසායම් වලින් බාගෙට පාට කරලා තිබුණේ. ඉතින්


Picture

Photo Credits - www.wikipedia.org

අම්මලත් හිතාගෙන හිටියේ මම චිත්‍ර කරයි කියලා. ඒත් හත වසරට ආවට පස්සේ මටම හිතිලා මම සංගීත විෂය තෝරාගත්තා. බලපෑමක් තිබුණේ නෑ කියලා කිව්වට, මම සංගීතය කරනවට අපේ අම්මා කැමැත්තෙන් හිටියේ. අම්මට ගීත ගායනා කරන්න පුළුවන්. අම්මලා ගමේ නාට්‍ය පුරුදු කරලා ඒ කාලේ ප්‍රසංග එහෙම කරලා තිබුණා. ඒ නිසා අම්මගෙ නම් කැමැත්තක් තිබුණා මම සංගීතය කරනවට. ඒත් බල කරේ නෑ. මම නිකමට වගේ හිතලා "ඔන්නොහෙ සංගීතය කරනවා" කියලා ඒක තෝරාගත්තා.

මුල කාලේ සංගීතය කරාට ඒකට කැමැත්තක් තිබ්බේ නෑ මගේ. මොකද ස්වර ප්‍රස්තාර මතක තියාගන්න වගේ දේවල් නිසා. මට මුල්ම වාරයේ සංගීතයට ලකුණු 64 යි. සංගීත මිස් ලකුණු අඩු අය නැගිට්ටවලා හොඳ දේශනාවක් දුන්නා. මාත් ඔන්නොහෙ හිටියා මොකාද එකා වගේ ඒක අහගෙන. ඔන්න හත වසරේ අන්තිම වාරයේ විභාගය ලියලා දැන් Paper බලලා ලකුණු දෙනකල් අපි බලාගෙන ඉන්නවා. දවසක් සංගීත මිස් පාරේ ඉන්නවා දැකලා මමයි මගේ යාළුවෙකුයි දුවලා ගිහින් ඇහුවා මිස්ගෙන් "මිස් Paper බැලුවද?" කියලා. මිස් කිව්වා "ඔව්. Paper බැලුවා. ලකුණු 100ක එක්කෙනෙක් ඉන්නවා. කවුද කියලා ඊළඟට සංගීතය තියෙන දවසට බලමු" කියලා. මිස් ඊට පස්සේ දවසක සංගීත කාමරේට ගෙන්නෙව්වා සංගීතය කරපු හැමෝම. මම දන්නෙත් නෑ. මිස් දන්නෙත් නෑ. මිස් එකපාරටම මගේ නම කිව්වා. මම Dim වෙලා නැගිට්ටා, මේ පාරත් කෑමක්ද දන්නේ නෑ කියලා. ඊට පස්සේ මිස් මට Paper එක දුන්නා. ඒත් මුකුත් කිව්වේ නෑ. එවෙලේ තමයි මම දැනගත්තේ ලකුණු 100ක් තියෙන්නේ මට කියලා. මිස් පංතියට ඇහෙන්නවත් මුකුත් කිව්වේ නෑ. මිස් කිව්වා පන්තියේ හැමෝම මේ Paper එක බලන්න කියලා. ඔන්න ඔහොම Paper එක පංතිය වටේම ගියා. සංගීත මිස් මාව අඳුරගත්තේ එදා තමයි.​


Picture



Picture


ඊට පස්සේත් සංගීත විෂයට මට 99 තමයි ලැබුණු අඩුම ලකුණ උනේ. දවසක් සංගීත තරගවලට ගායනා කණ්ඩායමට ගායකයෝ ඕන කියලා, මිස් කිව්වා අපිට ඉස්සරහට ඇවිත් සිංදුවක් කියන්න කියලා. මම ඉතින් ඕවා කරන්න කැමති නෑ. මම හිතලම සිංදුව Out කියලා ඒකෙන් ගැලවුණා. පස්සේ එහෙම සිංදු කියන්න බෑ කියලා Note වෙච්ච අයට මිස් කිව්වා වයලීන් ගන්න කියලා. එදාම කොහොම හරි මිස් වයලීන් ගහන අයියා කෙනෙක් ලවා අපිට වයලීන් වාදනයක් කරවලා පෙන්නුවා. එදා මට වයලීන් එකට ආස හිතුනා. මම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච කාලේ අපේ ගෙදර අය මට බයිසිකලයක් අරන් දෙන්න හැදුවා ශිෂ්‍යත්වේ පාස් උන නිසා. ශිෂ්‍යත්ව විභාගය පාස් උනාම බයිසිකලයක් අරන් දෙනවා කියන එක, ඒකාලේ නිකං භාර ඔප්පු කරනවා වගේ එකක්. ඒත් මම ඒ කාලෙම ඒක එපා කියලා මුකුත්ම ඕන නෑ කියලා හිටියේ. ශිෂ්‍යත්වේ පාස් වෙලා අවුරුදු දෙක තුනක් වෙලා තියෙන වෙලාවක, වයලීන් එක ඕන නිසා මම ශිෂ්‍යත්වේ මතක් කරලා අම්මලාගෙන් වයලීන් එකක් අරන් ඕන කිව්වා. අම්මලා මොනවා උනත් අපේ ආච්චි අම්මා ඕකට කැමති උනේ නෑ. පස්සේ මම කරේ සද්ද නැතුවම සල්ලි එකතු කරපු එක. වයලීන් එකකට දැන් සල්ලි තියෙනවා.

ඒත් තනියම වයලීන් එකක් ගන්න හයියක් නෑ. ඒ නිසා ආයෙත් කිව්වා වයලීන් එකක් ඕන, මම ගාව සල්ලිත් තියෙනවා කියලා. එයාලා සල්ලි තියෙන එකවත්, මොකක්වත් ගණන් ගත්තේ නෑ. ආච්චි අම්මා එපා කිව්ව නිසා. පස්සේ ඉන්නම බැරි තැන මම මගේ නිදාගන්න කොට්ටයේ, කොට්ට උරයේ රතු පාට ප්ලැටිග්නම් එකකින් ලොකු වයලීන් එකක රූපයක් ඇන්දා. ඊට පස්සේ දවසෙම අම්මා මට සල්ලි දීලා කිව්වා සංගීත මිස්ට කියලා වයලීන් එකක් ගෙන්න ගන්න කියලා. ඔන්න ඔහොම තමයි මට වයලීන් එකක් ලැබෙන්නේ. හැබැයි ඊට කලින් අපේ පන්තියේ ගොඩක් දෙනෙක් වයලීන් අරන් තිබ්බා. මගේත් තියෙන මහන්තත්තකමට ඒ වයලීන් අල්ලන්නවත් මම කැමති උනේ නෑ. මම මටම වයලීන් එකක් ලැබෙනකල්ම බලාගෙන හිටියා. නැත්නම් මට ඊට කලින්ම වයලීන් ගහන්න ඉගෙන ගන්න තිබුණා.

2008.09.11 වෙනිදා තමයි වයලීන් එකක් අපේ ගෙදරට එන්නේ. එදා වයලීන් එක ඉස්කෝලෙට අරන් ඇවිල්ලා ඒකෙ කම්බි එහෙම හයි කරලා හදලා දුන්නේ අපේ සංගීත මිස්ගේ මහත්තයා. ඒ සර් රත්නපුර සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂක (සංගීත). අපේ ඉස්කෝලේම උගන්වලා තමයි පස්සේ මේ තනතුර සර්ට ලැබෙන්නේ. ඉතින් සර් තමයි වයලීන් එකේ කම්බි එහෙම හයි කරලා දුන්නේ. එදා වයලීන් එක අතට දීලා සර් ඉස්සෙල්ලම ඉගැන්නුවේ වයලීන් බෝ (අළුව) කම්බි උඩ කොහොමද තියාගන්නේ, එහා මෙහා ගෙනියන්නේ කියලා. ඉතින් මම වයලීන් එක ගෙදර අරන් ආවට ගෙදර අයට ඇහෙන්නේ ඕක ගහන්නේ නෑ. නිකං වයලීන් එක අරන් බලලා තියනවා. ඉස්කෝලේ තිබුණා සංගීත පංතියක් හැම සතියකම බ්‍රහස්පතින්දා. ඒක නොමිලේ කරේ අපේ මිසුයි, මිස්ගේ මහත්තයයි. මමත් දැන් වයලීන් එකක් තියෙන නිසා ගියා පංතියට. ඒකෙ මුල්ම දවසේ තමයි සර් ස්වර ලකුණු කරලා දුන්නේ. ඊට පස්සේ දිගටම වගේ මම පංතියට ගියා. ඔය කාලේ මම මට ඇහෙන ඇහෙන සිංදු වයලීන් එකෙන් වාදනය කරනවා. ස්වර තියෙන තැන් දැනගත්තම ඕවා හොයාගෙන වාදනය කරන එක එච්චර අවුලක් උනේ නෑ මට.

මම දැනගෙන හිටියෙත් නෑ අනිත් අයට ඒක අමාරු දෙයක් කියලා. පස්සේ දවසක් ඉස්කෝලේ පන්තියේ සංගීතය උගන්නන වෙලාවේ මිස් අපෙන් බිලාවල් රාගය වාදනය කරවලා ලකුණු දැම්මා. එදා තමයි මිස්ට මාව වයලීන් එක නිසා Note උනේ. ඊට පස්සේ වයලීන් එක එක්ක මගේ ගනුදෙනු වැඩි උනා. ඔය කාලේ අපේ ඉස්කෝලේ කලා උළෙලකට රෝහණ බැද්දගේ මහත්මයා ආවා. එදා මිස් මාව ජාතික ගීය වාදනය කරන කණ්ඩායමට එකතු කරගත්තා. එදා තමයි වගකිවයුතු විදියට වයලීන් වාදනයක් කරපු පළවෙනි දවස. ඊට පස්සේ මාව ඉස්කෝලේ සංගීත කණ්ඩායමට එකතු කරගන්න කියලා අපේ සංගීත මිස්, ඉස්කෝලේ සංගීත කණ්ඩායම භාරව හිටපු අනිත් සංගීත සර්ට කිව්වා.

මම ඉතින් ඒ සංගීත කාමරයට ගියාම ඒකෙ රජ කරගෙන හිටියේ ඔය "සිංදුවා" අයියලාගේ වයසේ අයියලා. මම දන්නේ නෑ ඒ කාලෙත් වයලීන් ගහන්න එයාලට වඩා මට පුළුවන් කමක් තිබුණා කියලා. සංගීත තරගවලට පුරුදු වෙනකොට මම වෙන වෙන සිංදුත් වාදනය කරනවා. ඕවා අහගෙන ඉඳලා දවසක් සර් නැති වෙලාවේ ඔය අයියලා මාව තියාගෙන මැඩේව්වා. ඒ කියන්නේ එයාලා සිංදු එක එක මතක් කරනවා. මම ඒවා වාදනය කරලා පෙන්නන්න ඕන. අමරදේව, වික්ටර්, සුනිල්, ගුණදාස කපුගේ වගේ අයගේ ගීත තමයි එයාල මතක් කර කර කිව්වේ. ඒ ඔක්කොම මම වාදනය කරා. ඒත් මම දන්නේ නෑ වයලීන් ගහන එක අමාරු වැඩක් කියලා. මම හිතාගෙන හිටියේ මට වඩා වයලීන් ගහන අය ඉස්කෝලේ ඉන්නවා කියලා. ඒත් පස්සේ තමයි දැනගත්තේ ඒ කාලේ වයලීන් ගහන්න ඉස්කෝලේ හිටපු අයට මගේ කිට්ටුවටවත් ලං වෙන්න බැහැ කියලා. ලොකුකමකට නෙවෙයි මේ කතාව කිව්වේ. ඒකෙන් අපි හිතන්න ඕන මිනිස්සුන්ට පුළුවන් දේ මොකක්ද කියලා සමහර වෙලාවට ඒ කෙනාවත් දන්නේ නෑ කියන කාරණාව ගැන. මම දහය වසරේදී ඉස්කෝලේ දක්ෂතම වාදකයා උනා කනිෂ්ට අංශයෙන්. ජ්‍යේෂ්ඨ අංශයෙන් ආවේ තබ්ලා වාදනය කරපු අයියා. ඒ නිසා වයලීන් එක මගේ පාසැල් ජීවිතයේ කොටසක් උනා. ඔන්න ඔහොමයි සංගීතය ජීවිතය පටන් ගත්තේ.

05. එතකොට තව මොන වගේ සංගීත භාණ්ඩ එක්කද ගණුදෙනු කරන්න පුලුවන්?
** බටනලාව තමය මම වැඩිපුරම කැමති. වයලීන් එකට වඩා බටනලාව මිනිස්සුන්ගේ හදවත්වලට ඉක්මනටම ලං වෙනවා. අනික වයලීන් එකක් ගන්නකල් මම බටනලාවක් අරගෙන පිඹ පිඹ හිටියා. කොහොමහරි බටනලාවට තමයි වැඩිපුරම කැමති. ඊට පස්සේ වයලීන් එක. වයලීන් එකට පස්සේ මම සිතාර් වාදනයත් ඉගෙන ගත්තා. මට වාදනය කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් බටනලාව, සිතාර්, වයලීන්, මැන්ඩලීන් කියන හතර. ගිටාර් එක නිකං ඔහේ වාදනය කරනවා. ඒත් මම හරියටම දන්නේ නෑ. ගොඩක් අය අහනවා "Keyboard, තබ්ලා වාදනය කරන්න බැරිද?" කියලා. ඒවා මට වාදනය කරන්න  බැහැ. මගේ දකුණු අතේ ඇඟිලිවල ඇදයක් තියෙනවා. ඔය දෙකම මම වාදනය කරන්න Try කරාට මට ඒවා හරියට කරන්න බෑ මේ ඇදය නිසා. ඒ නිසා මම ඒවා අතෑරලා දාලා තියෙන්නේ. ටික කාලයක් මම දිල්රුබාව වාදනය කරන්න ඉගෙන ගත්තා. ඒක ටිකක් පුළුවන් .



Picture



06. එතකොට වාදනය විතරද? ගායනය පිහිටෙව්වෙ නැද්ද?
**   නෑ නෑ. ගායනාව ගැන නම් වැඩි කතා ඕන නෑ. මගේ ගායනා ගැන දන්නේ කීප දෙනයි. මට පුළුවන් කියලා මම දන්නවා. ඒත් මම ගායනයට කැමති නෑ.


07. පාසල නියෝජනය කරමින් මොන වගේ දේවල්ද කළේ?
**  පාසල වෙනුවෙන් මුලින්ම කරන්න ලැබුණේ අර මම කිව්ව ජාතික ගී වාදනය තමයි. ඊට පස්සේ කලා උළෙලවල්, විද්‍යා දින, වාණිජ දින ඔක්කොගෙම වයලීන් වාදනවලට සහභාගී උනා. මොනවා නැතත් ඔය වැඩසටහන්වල අඩුම තරමේ පොල් තෙල් පහන දල්වනකොට "දන්නෝ බුදුන්ගේ ගීතය" හරි වාදනය කරා. ඔය නිසාම පිට ඉස්කෝලවල ළමයි මට නමක් දාලා තිබුණා "දන්නෝ බුදුන්ගේ අයියා" කියලා. සංගීත තරඟ වලටනම් කොච්චර ගියාද කියලා මතක නෑ. මම ඉස්කෝලෙන් Out වෙලත් සංගීත තරඟවලට සහභාගී උනා.  උසස්පෙළ කාලේ පන්තිභාර මිස් බැනලා තමයි තරගවලට යන එක නතර උනේ. නැත්නම් ඒ කාලෙත් පන්තියේ ඉන්න වෙන්නේ නෑ. පාසැල් කාලයේ තව වැදගත් දෙයක් උනේ මම "සත්සමුදුර තේමා වාදනය" වාදනය කරපු එක. ඒක ටිකක් අමාරු වාදනයක් කියලා තමයි කියන්නේ. මම මුලින්ම කිව්වනේ මම ඇහෙන ගීත වාදනය කරනවා කියලා. මට කෙනෙක් කරපු අභියෝගයක් නිසා මම "සත්සමුදුර වාදනය" කරා. ඒ දීර්ඝ වාදනයේ කොටස් එකක්වත් හලන්නේ නැතුව මම මතකයෙන්ම වාදනය කරා.

ඒ නිසා රත්නපුරේ පාසැල්වල සංගීත ගුරුවරු, මම "සත් සමුදුර" වාදනය කරනවා කියලා දැන ගත්තා. අපේ සංගීත මිස්ගේ මහත්තයා, සංගීත ගුරුවරු පුහුණු කරන වැඩසටහන්වලට මාව එක්ක ගිහින් ඔය ගීතය ඒ අයට වාදනය කරවලා පෙන්නනවා. පස්සේ ඔය තේමා වාදනය පාසැල් විෂය නිර්දේශයට එකතු කරන්නත් ඒ සර්ලා කටයුතු කරලා තිබුණා. පාසැල් විෂය නිර්දේශයට ඒ වාදනය ඇතුළු උනාට පස්සේ ඉස්කෝලවල ළමයි වෙනුවෙන් අපේ සර් දේශන පවත්වනකොට, ඕක වාදනය කරවලා පෙන්නන්න මාවත් එක්ක යනවා. සමහර ඉස්කෝලවල සා/පෙළ, උ/පෙළ සම්මන්ත්‍රණ වලටත් මාව එක්ක යනවා. ඔය සේරම උනේ පාසල නියෝජනය කරමින් තමයි. අපේ පාසලේ මගේ සහෝදර සහෝදරියන්ගෙන් ගුරුවරුන්ගෙන් වගේම පිට පාසැල් වලිනුත් හොඳ ප්‍රතිචාර තිබුණා.

​08. ජයග්‍රහණ එහෙමත් හම්බුණා?
**  ජයග්‍රහණ හම්බුණා. ඒවා කලාපීය මට්ටමේ ඉඳලා සමස්ත ලංකා මට්ටම දක්වා විහිදිලා ගියපු ජයග්‍රහණ. ඒ ජයග්‍රහණ මොනවද කියලා ඒවායේ පැසසුම තනියමම ගන්න මම කැමති නෑ. ඒ නිසා ජයග්‍රහණ මොනවද කියලා නොකියා ඉන්නම්.


09. අමතක නොවන සිදුවීම් එහෙමත් තියෙන්න ඇති නේද?
**  හපෝ ඔව්. මුල්ම අමතක නොවන සිදුවීම තමයි වයලීන් එකේ පළවෙනියටම කම්බියක් කැඩී යාම. මම කොච්චර බය උනාද කියනවනම් වයලීන් එක වහලා තියලා සද්ද නැතුව හිටියා. ඉස්කෝලේ ගියාම තමයි දැනගත්තේ කම්බි ගන්න එක, ඒවා හරියට හයි කරන එක සිම්පල් Case එකක් කියලා. හැබැයි ඊට කලින් මම ගෙදර තිබ්බ වෙන මොකක්ද කම්බියක් දාලා කරකවලා බැලුවා. ම්හ්. හරි ගියේ නෑ. කැඩුනා. ඒකෙන් තේරුම් ගත්තා වයලීන් වලට දාන්නේ විශේෂ කම්බි ජාතියක් කියලා. පාසැල් කලා උළෙලේ දක්ෂතම වාදකයා වීම තවත් අමතක නොවන අත්දැකීමක්. ඉස්කෝලේ සර්ලා මිස්ලා ගොඩක් දෙනෙක් මාව අඳුරගත්තේ ඔය උළෙල නිසා. ඉස්කෝලේ සර්ලා මිස්ලා මට අතට අත දීලා සුභ පැතුවා ඉස්කෝලෙදි මාව මුණගැහුනම. දක්ෂතම වාදකයා කියලා සහතිකය ගන්න Stage එකට නැග්ගම තමයි ගොඩක් දෙනෙක් දැනගත්තේ මම වයලීන් වාදනය කරනවා කියලා. මට ඒ සහතිකය ප්‍රදානය කලේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා. ඒ නිසා ඒක විශේෂ දවසක්, විශේෂ මතකයක් උනා.


මම අන්තිමටම සංගීත තරඟයකට සහභාගී උනේ 2011 වර්ෂයේ. ඒ තරඟය තිබුණේ පාසැල් විවෘත අංශයෙන්. පාසැල් සිසු සිසුවියන් ඕන කෙනෙක්ට, ඕන සංගීත භාණ්ඩයකින්, ඕනෑම වාදනයක් කරන්න පුළුවන්. මම "සත් සමුදුර" වාදනය කරා. ඔය සත්සමුදුරම මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දැරිවියකුත් වාදනය කරා. හැබැයි එයාට කලින් තමයි අවස්ථාව ලැබිලා මම වාදනය කළේ . ඒ ළමයා තමන් දිනයි කියලා ලොකු විශ්වාසෙකින් ඇවිත් තිබුණා, මොකද මේ වාදනය ලේසි පහසු කෙනෙක් වාදනය කරන්නේ නැති නිසා. ඒත් ඒ ළමයට කලින් මම මේක වාදනය කරාම ඒ ළමයා Stage එක පහළ
ඉඳගෙන අඬලා තියෙනවා එයාට තරඟ කරන්න බැහැ කියලා. හැබැයි මිස්ලා සර්ලා බල කරලා ඒ ළමයාත් තරඟයට සහභාගී උනා. සත් සමුදුරේ තියෙන රසමුසු තැන් ඒ ළමයා වයලීන් එක හරහා අරගෙන ආවේ නෑ. ඒ නිසා එයාට තරඟයෙන් කිසිම ස්ථානයක් ලැබුණේ නෑ. පළවෙනියා කොළඹ නාලන්ද විද්‍යාලයේ සැක්සෆෝන් වාදනය කරපු මල්ලි. මම දෙවෙනි ස්ථානය. තුන්වෙනි ස්ථානය ගාල්ල මහින්ද විද්‍යාලයේ බටනලා වාදනය කරපු මල්ලි. මම වයලීන් වාදනය කරලා කෙනෙක් ඇඩුවේ ඔච්චරම තමයි. ඒක අමතක නොවෙන සිද්දියක් .

2013 සැප්තැම්බර් 29 මම Stage එකක අන්තිමටම වයලීන් වාදනය කරපු දවස. එදා දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. එතනින් නැවතුනා නැවතුනාමයි, ආයෙත් වයලීන් එකක් එක්ක Stage එකකට නගින්න අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි මම ගෙදර තවමත් වයලීන් වාදනය කරනවා.



10. වයලීනෝ දකින විදිහට, වාදන ශිල්පියෙක් තුළ මොන වගේ ගුණාංගද තියෙන්න ඕන?
**  ඉගෙන ගන්න කාලේ ගුරුවරු දාන නීති රීති තියෙනවා. මෙහෙම වාදනය කරන්න, මෙහෙම වාදනය කරන්න කියලා. ඒවා ඇත්තටම සම්මත නීති රීති, ඉගෙන ගන්නකොට ඒවා පිළිපදින්නේ නැත්නම් ඇත්තටම ඉගෙනගන්නත් බැහැ. ඒත් ඒවාට එහා ගිය නිදහසක් වාදන භාණ්ඩය හරහා දකින්න පුළුවන් නම් ඒ වාදකයාට ගොඩක් දුර යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සමහර වෙලාවට මම යාලුවොත් එක්ක කියපු දෙයක් තමයි “මම සල්ලි දීලා ගත්ත වයලීන් එක කොහොම ගැහුවම මොකද බං“ කියන කතාව. ඒ නිදහස හරහා මම ගුරුවරු කියා දීපු පාරවල් වල ගමන් කරලා ගොඩක් දේවල් තනියම ඉගෙන ගත්තා. අනික තමයි මානසික ඒකාග්‍රතාවය රැක ගැනීම. වයලීන් ගහන වෙලාවට අපිට වෙන වෙන දේවල් ගැන හිතන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එහෙම උනොත් ඇඟිලි වැරදි තැන්වල හිටලා ස්වර වැරදි වෙන්න, පැටලෙන්න පුළුවන්. ඒ නිසා මානසික ඒකාග්‍රතාවය වාදකයෙක්ට ඉතාම වැදගත් දෙයක්. වයලීන් නෙවෙයි . ඕනෑම කෙනෙක්ට ඒක වැදගත් දෙයක් වෙනවා.


11. ඕනකම තියෙනවා නම්, ගුරුවරයෙක් නැතුව වුණත් සංගීතය ඉගෙන ගන්න පුලුවන්ද? විශේෂයෙන්ම වාදන අංශය?
**  ඔව්. මම බටනලා වාදනය ඉගෙන ගත්තේ තනියම. ඉස්කෝලෙන් උගන්නන්නත් කලින් ඉඳලා මම බටනලා වාදනය කරා. පස්සේ ඒ වාදනය ඔපවත් කරගත්තෙත් තනියමම. අපේ ඉස්කෝලේ මමත් එක්ක බටනලා වාදනය කරපු මල්ලි කෙනෙක් හිටියා. එයයි මමයි ඉන්දියාවේ දැනට ඉන්න දක්ෂතම බටනලා වාදන ශිල්පියා, "හරි ප්‍රසාද් චෞරසියා" කියන මහා ගාන්ධර්වයාගේ වාදන තියෙන වීඩියෝ mp3 වගේ ඒවා හුවමාරු කරගෙන ඒවා අහලා බලලා ඉගෙන ගත්තා. ඒත් මම අනුගමනය කරන උපරිම නිදහස භුක්ති විඳීම අනුව මම බටනලාවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ හොයා ගත්තා. ඒ නිසා මම අවිවාදයෙන්ම කියනවා ආසාව තියෙනවනම් කෙනෙක්ට වාදනය ඉගෙන ගන්න පුළුවන්. ඒකෙ ප්‍රවීනයෙක් වෙනවද නැත්ද කියන එකට සංසාරික පුරුද්දත්, ගුරුවරයින්ගේ මග පෙන්වීමත් බලපානවා ඇති. ඒත් සාමාන්‍ය ඉගෙනීමක් කරන්න ගුරුවරයෙක් ඕනම නෑ.


12. වයලීනෝම හදපු තනු නිර්මාණ එහෙමත් තියෙනවද?
**  එකක් හැදුවා ඉස්කෝලේ ඇගයීමකට. ඉන් එහා හදන්න ගියේ නෑ.


13. විශ්ව විද්‍යාලයට ආවයින් පස්සෙ මොකද වුණේ?
**  මේ අහන්නේ සංගීතය නතර වෙන්න හේතුව නේද? කාලෙකට කලින් වෙච්ච හිත් නොහොඳ වීමක් නිසා මම වයලීන් එක පැත්තකින් තිබ්බා හිත හැදෙනකල් වාදනය කරන්නේ නෑ කියලා. බලමු ඉදිරියට. අවස්ථාවක් ලැබුණොත්, හොඳයි කියලා හිතුනොත් මම වාදනය කරනවා. වයලීන් ඒක නිසා මම ගොඩක් කැපවීම් කරා. වයලීන් එක නිසාම මම ක්‍රීඩාවලට යොමු වීම ප්‍රතික්ෂේප කළා. සමහර අවස්ථාවලදී ඒක මට අවාසියක් උනා. ඒත් ඒ කැප කිරීම් කරේ වයලීන් එකෙන් ඈත් වෙන්න වෙයි කියලා. ඒ නිසා මම භාහිර බලපෑම් වෙනවට කැමැත්තක් තිබ්බේ නෑ. එහෙම ආව බලපෑමක් නිසා මම තදින්ම තීරණය කළා වයලීන් එකට නිවාඩුවක් දෙනවා කියලා. ඒක තමයි විශ්ව විද්‍යාලයට ආවම උනේ.


14. සබරගමුවටම ආවේණික වුණු වෙනමම වාදන සම්ප්‍රදායක් තියෙනවා. ඒක වෙනමම සංස්කෘතියක්. මේවා ගැන පර්යේෂණ සහ ගවේෂණවල නිරතවෙලා එහෙම තියෙනවද?
**  නැහැ. මම සබරගමු වාදනවලට කැමති නෑ. මම වැඩිපුරම කැමති පහතරට සම්ප්‍රදායටයි, උඩරට සම්ප්‍රදායටයි. ඒත් ගිය අවුරුද්දේ සමන් දේවාලයේ ඇසල පෙරහැර බලන්න ගිහින් දැක්ක සබරගමු වාදනවලට ටිකක් හිත ගිහින් තියෙන්නේ. ඒ ගැන වෙනමම හොයා බලන්න ඕන කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒවා ඉදිරි කාලයේ මියැසියේ රසකතා හරහා එළි දකීවි.

Picture



15. සංගීත අංශයෙන් මේ තාක් ආපු ගමනේදී, වයලීනෝගේ පසුපසින් හිටපු උදවිය ගැන මතක් කළොත්?
**  අම්මා, තාත්තා, පුංචි අම්මා, මාමා කියන හතර දෙනා තමයි වැඩිපුරම උදව් කලේ. Primary කාලේ මට ඉස්සෙල්ලම සංගීතය ඉගැන්නුවේ දැනට රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සංගීත ආචාරිනියක් විදියට කටයුතු කරන නිශා කුමාරි කළුගම්පිටිය ගුරු මෑණියන්. සීවලියට ආවට පස්සේ මුල ඉඳලම සංගීතය ඉගැන්නුවේ වසන්තා පද්මිණී ගුරු මෑණියන් සහ ගුණපාල විතානගේ ගුරු පියාණන්. ඒ නිසා මෙච්චර දුරක් සංගීතය හරහා මාව අරගෙන ආවේ ඒ ගුරු මාපිය දෙපල තමයි. ගෙදර නවත්තගෙන කන්න බොන්න දීලා සතයක්වත් ගන්නෙත් නැතුව මට උගන්නපු ඒ ගුරු මාපිය දෙපළ කවදාවත් අමතක කරන්න බැහැ මොනවා උනත් .

අපේ ඉස්කෝලේ තබ්ලා වාදනය කරපු ඉරේෂ් අයියා, Key Board වාදනය කරපු මලිත් අයියා, බටනලා වාදනය කරපු මධුර අයියා, මාත් එක්ක වයලීන් වාදනය කරපු සුපුන්. අපි පස් දෙනා තමයි එක පවුලක් වගේ ඉස්කෝලේ සංගීත වැඩ කරගෙන හිටියේ. පස්සේ ඒ ඒ අය පාසල හැර ගියාට පස්සේ ප්‍රසාද් කියලා මල්ලි කෙනෙක් හිටියා, තව මම මුලින් බටනලා වාදනය ගැන කියනකොට කියපු සංඛ මල්ලි මේ හැමෝම මට සංගීත වැඩ වලට උදවු කරා. සිංදුවගේ මල්ලි මම ස්වර වැරදියට ගහනකොට අහගෙන ඉඳලා ඒවා ගැන සාර්ථක විවේචන ලබා දීලා තියෙනවා දැනුත් එහෙමමයි . සිංදුවා අයියා ගැන නම් කියන්න ඕන නැහැනේ. අපි ගෙවල්වල එන යන වෙලාවට වයලීන් එකයි, Key Board එකයි අරගෙන අපි දෙන්නා ගීත වාදනය කරලා අපේ වාදන ගැන කතාවෙලා ඒවා වැඩි දියුණු කරගන්න උත්සාහ ගන්නවා . ඒවගේම සිංදු අයියයි මල්ලියි දෙන්නම අලුත් සිංදු අහන්න ලැබුනම මට ඒවා ඩවුන්ලෝඩ් කරලා දීලා මටත් ඒවා අහන්න සලස්වනවා . ඒවා වාදනය කරන්නත් උනන්දු කරනවා . දැන් ඉතින් තව එක්කෙනෙක් ඉන්නවනේ . වයලීනිවත් මතක් කරන්න ඕන . වයලීනි තමයි ආයෙත් සංගීතය ඉගෙන ගන්න කියලා මාව උනන්දු කරවන්නේ .

මීට අමතරව මගේ සංගීත ගමනට අවවාද අනුශාසනා දීලා පොඩි පොඩි අඩුපාඩු හදපු ගුරුවරු ගොඩක් ඉන්නවා . ඒ අයත් අමතක කරන්න බැහැ . මොකද එයාලා සෘජුවම ඉගැන්නුවේ නැතත් මම ඒ අය එක්ක සංගීත තරඟ වගේ දේවල් වලට ගිහින් ඒ අයගේ සංගීත දැනුමෙන් මොනවා හරි ඉගෙන ගෙන තියෙනවා . අපේ ඉස්කෝලේ දැනට සංගීත ගුරුවරු විදියට ඉන්න ලෝලිත ධනවර්ධන සර් මට බටහිර සංගීතය පැත්තට වැඩි නැඹුරුවක් ලබා දුන්නා . මාව සංගීත තරඟ වලටත් සහභාගී කරවාගත්තා . ඒවගේම අනුර සිරිසේන සර් , නිරෝෂ ප්‍රියදර්ශන සර් , ධම්මිකා නන්දනී මිස් , සුසන්ත බණ්ඩාර සර් , රත්නපුර ධර්මපාල විද්‍යාලයේ නන්දලාල් සර් , රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ අශෝක සර් , ඇතුළුව සංගීත විෂය උගන්වනු ලබන ගුරුවරු ගොඩාක් මට උදවු කරලා මාව ඒ අයගේ වැඩ වලට සහභාගී කරවාගෙන තියෙනවා .

සංගීත තරඟ වලට ගියාම මුණගැහෙනවා ගුරු උපදේශක වරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු . මේ මට එහෙම අවවාද දීපු අයගෙන් කීප දෙනෙක් . ජන සංගීතය පිලිබඳ කථිකාචාර්ය සමන් පනාපිටිය සර් , වයලීන් වාදනය පිළිබඳව ගොඩක් උපදෙස් දුන්නා අශෝක කියලා සර් කෙනෙක් . තව රුවින් ඩයස් කියලා සර් කෙනෙක් . දෙන්නම ජේෂ්ට කථිකාචාර්යවරු . තව විශේෂ කෙනෙක් තමයි ජයන්ත අරවින්ද සර් . මනමේ නාට්‍යයේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ එතුමා . මේවගේ ගොඩක් දෙනෙක් මට පොඩි පොඩි උපදෙස් දීලා තියෙනවා . ඒත් ඒවා වචනයක දෙකක උපදෙස් උනාට විෂයට අදාළව වැදගත් දේවල් . ඒවා අනුව මම වයලීන් වාදනය වෙනස් කරගත්තා .

ආ තව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ කර්ණාටක සංගීත අංශයේ අංශ ප්‍රධාන තුෂාර රත්නායක සර්වත් මතක් කරන්න ඕන . එතුමා මඩවල එස් රත්නායකයන්ගේ ආදරණිය පුත්‍ර රත්නය . දක්ෂ වයලීන් වාදකයෙක් . ඒ සර් මගේ වාදන අහලා ගොඩක් උපදෙස් දීලා තියෙනවා .

මේ වෙනකොට වයලීන් එක මගෙන් ඈත් වෙලා ගිහින් තිබුණට ඒ අය උගන්නපුවා , දීපු අවවාද , ඒ අය හමු වෙච්ච හැටි හැමදේම මතකයේ අඩුවක් නැතුව තියෙනවා .

16. ඇයි "මියැසියේ රස කතා" හරහා ගීතවලට විචාර ලියන්න පෙළඹුනේ?
**  මියැසියේ රසකතා පටන් ගත්තේ "සිංදුවා" අයියා. එයා "අන්තිම පේළියේ" ලිව්ව ලිපි තමන්ගේම බ්ලොග් එකක පල කරන්න බලාපොරොත්තු වෙච්ච නිසා තමයි මියැසියේ රසකතා පටන් ගත්තේ. ඒ කාලේ සිංදුවා අයියා ලියන ඔක්කොම ලිපි ඒකෙත් දැම්මා . අපි ඒ වෙනකොටත් අන්තිම පේළියේ ලියමින් හිටියේ. පස්සේ ඇතිවෙච්ච වාතාවරණය උඩ සිංදුවා අයියා මාවත් එයාගේ ඒ බ්ලොග් අඩවියට එකතු කරගත්තා. මොකද අපි දෙන්නම ඒ කාලේ ලිව්වේ ගීත ගැන නිසා. ඒත් මම "මහසෝනාගේ හෝරාව" කතාව ලිව්වට පස්සේ මගේ කතා ලිවීම වෙනස් උනා. ඊට පස්සේ මම ගීත ගැන ලියනවත් එක්කම හොල්මං කතාත් ලිව්වා. ඒත් තවමත් මියැසියේ රස කතා, මියැසියේ රස කතාම තමයි.


17. මතකද මුලින්ම විචාරයක් ලියපු ගීතය සහ ඒකට ලැබුණු ප්‍රතිචාර?
**  "ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි" කියන අමරදේවයන්ගේ ගීතයට තමයි මුලින්ම ගීතයක් වෙනුවෙන් කියලා ලිපියක් ලිව්වේ. ඒ ලිපියට හොඳ ප්‍රතිචාර ලැබුණා. විවෘතව ප්‍රකාශ කරපු අදහස් නිසා ඒ ලිපියට උණුසුම් ප්‍රතිචාරත් ලැබුණා.


18. ගීතයකට විචාරයක් ලියනකොට මොන වගේ කරුණුද පාදක කර ගන්නෙ?
**  මගේ අත්දැකීම්, මගේ යාලුවන්ගේ අත්දැකීම් එක්ක ගීත ගළපලා ඊට පස්සේ ගීතයට මම දෙන තේරුම ලියනවා. ඊට පස්සේ මම ගීතයේ සංගීත සංයෝජනය ගැන ලියනවා. හැබැයි සංගීතය ගැන ලියන්නේ, ලියන්න තරම් වැදගත් තරමේ සංගීත සංයෝජනයක් තියෙනවා නම් විතරයි.


19. ඇයි හැම තිස්සෙම ගීතයකට විචාරයක් ලියනකොට, සිංදුවාට හරි, වයලීනෝට හරි වුණු අත්දැකීමක් එක්ක ගලපන්න උත්සාහ කරන්නෙ?
**  එතකොට කියවන අයත් ගීත දිහා ජීවන අත්දැකීම් හරහා බලන්න පුරුදු වෙනවා කියලා මට හිතෙනවා. ඒකයි මම ගීත ගැන ලියනකොට ඒ පිළිවෙලට ලියන්නේ. සමහර අය කියනවා මම වැල්වටාරම් ලියනවා කියලා. ඒත් ලියන ලිපිය තුල මම මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳිනවා.


20. සිංදුවකට විචාරයක් ලියන්න කොච්චර කාලයක් ගත වෙනවද?
**  මම ලියන්න කලින් කාලයක් තිස්සේ ගීත ගැන හිතනවා. එහෙම හිතලා තමයි අන්තිමටම ලියන්නේ. ලියන්න මට පැය දෙකක් විතර තමයි ගත වෙන්නේ. මට ලියන්න වැඩිම කාලයක් ගතවෙච්ච ලිපිය උනේ "රෑ දොළොස් පැයේ" කියන නිරෝෂා විරාජිනී මහත්මිය ගායනා කරන ගීතයට ලිව්ව ලිපියට.


Picture


21. මියැසියේ රසකතාවල ලියවෙන ගීත විචාර හරහා මොන වගේ දෙයක්ද, පාඨකයින්ට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ?
**  අහන්නේ, ඇහෙන්නේ නැති ගීත අහන්න සලසන්න තමයි මට වැඩි උවමනාවක් තියෙන්නේ. ඒ එක්කම ගීත ගැන මගේ තියෙන දැක්ම ඉදිරිපත් කරන්නත් මම ඒ ලිපි භාවිතා කරනවා. අනික හැමෝම ගීත රස විඳින්නේ එකම විදියකට නෙවෙයි. මම ගීත රසවිඳින හැටි, මම ගීත අහනකොට හිතන දේවල් ලිපිය තුලින් මම ලියන්න කැමතියි.


22. එතකොට ඒවාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරනවා නම්?
**  ගොඩක් දෙනෙකේ හොඳ කියනවා. සමහර අය ඒ ගීත ජීවිතේ ඉස්සෙල්ලම ඇහුවේ ඒ ලිපිය නිසා කියලත් කියනවා. ඒත් සමහර වෙලාවට මට දෝෂාරෝපණත් එනවා. ඒ මම ලියන තේරුම ගීතයට ගැළපෙන්නේ නැති නිසා වෙන්න ඇති.

23. මියැසියේ රසකතාවල මුලින්ම ගීත විචාර ලියන්න පටන් ගත්තේ සිංදුවා. ඊට පස්සෙ තමයි වයලීනෝ සම්බන්ධ වුණේ. දැන් සිංදුවාටත් වඩා වයලීනෝ ලියන ගීත විචාර ජනප්‍රියයි. මේක හරියට "ඔටුවා කුඩාරමට රිංගුවා වගේ වැඩක් නේද?". සිංදුවාගේ මියැසියේ රසකතාවල පිහිටෙන්, බ්ලොග් ලිපි කියවන පාඨකයින් අතරේ වයලීනෝ නමක් හදා ගත්තා නේද?
**  සිංදුවා අයියා මාව බ්ලොග් එකට එකතු කරගත්තේ ලියන්න. ඒ නිසා මම ලිව්වා. නමක් හදාගන්න බලාපොරොත්තුවක් මගේ තිබුණේ නෑ. එහෙම ඕන නම් මට මගේම හස්තිනාපුරය තියෙනවා. මාව මියැසියේ රසකතාවලට එකතු කරගත්තේ ලියන්න නිසා මම දිගටම ලිව්වා. මේ ගත වෙච්ච කාලය ඇතුලත මාව වෙනත් Sites ගොඩකට එකතු කරගන්න ඒවායේ Adminsලා මට ආරාධනා කළා. ඒත් ඇත්තම කියනවනම් මම මියැසියේ රසකතාවල ආලෝකය වෙනත් තැනකට දෙන්න කැමැත්තක් නෑ. සිංදුවා අයියා ලියන්නේ නැති උනාට බ්ලොග් එකත් එක්ක හැමවෙලාවකම ඉන්නවා. බ්ලොග් එකේ ඕන දෙයක් කරන්න මට නිදහස දීලා තිබුණත්, සිංදුවා අයියාගේ අධිකාරීත්වය එහෙමම පවත්වාගෙන යන්න මම වගබලා ගන්නවා. බ්ලොග් එකේ වෙනසක් කරනවා නම් මම කලින් හෝ පසුව හෝ ඒ ගැන Message එකක් හරි දාලා මතක් කරන්න අමතක කරන්නේ නෑ.

24. කවුද වයලීනොගේ ප්‍රියතම ගායන ශිල්පියා?
**  පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ. එක්කෙනෙක් ඇහුවට එක්කෙනෙක් විතරක් කිව්වොත් ඒක අසාධාරණයක්.

25. එතකොට ප්‍රියතම ගායන ශිල්පිනිය?
**  දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය.

26. මේ වෙනකන් අහලා තියෙන ගීත නිර්මාණ අතරින්, වඩාත්ම සිත් ගත්තු ගීතය නම් කරන්න කිව්වොත්?
**  අමරදේවයන් ගායනා කරන “සිරිපා පියුමේ රොන් සුනු තැවරී“ කියන ගීතය. මේ ගීතය තරම් මාව නිසල කරන වෙන ගීතයක් මම තවම අහලා නැහැ. ගීතයක් උනාම ඒක අහන කෙනා සමාධියට පත් කරන අරුත්බර ගීතයක් වෙන්න ඕන. මේ ගීතය ඒ හැමදේම සම්පූර්ණ කරලා තියෙනවා. අනික සුනිල් එදිරිසිංහ මහත්මයාගේ “සන්තාප මාවතේ“ කියන ගීතය. ඒක සමහර වෙලාවට නොනවත්වා දහ දොළොස් වතාවක් අහනවා. ඒත් හේතුවක් කියලා කියන්න දෙයක් නැහැ.


Picture




27. "සිංදුවා" ගැනත් විස්තර ටිකක් කියමු නේද?
**  මගේ හොඳම යාළුවාගේ අයියා. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. සිංදුවගේ මල්ලි මගේ හොඳම යාලුවා නිසා මම ඉස්සර එහෙ යනවා. විශේෂයෙන්ම මම සාමාන්‍ය පෙළ ලියන කාලේ Class ගියේ නෑ. සංගීත වැඩ නිසා, ඉස්කෝලේ පන්තියේ ඉන්නත් ලැබුණේ අඩුවෙන්. සිංදුවගේ මල්ලි තමයි මට Notes එහෙම දෙන්නේ. ඔය Notes ටික ඉල්ලගන්න මම හවස්වෙලා ඉස්කෝලේ ඉඳලා එනකොට සිංදුවගේ ගෙවල් ගාවින් බස් එකෙන් බහිනවා. පස්සේ එහෙ ගිහින් කාලා බීලා පොතුත් අරන් තමයි ගෙදර යන්නේ. පස්සේ ඒ ගෙදරත් නිකං මගේ ගෙදර වගේම උනා. ඉතින් සිංදුවත් ටික ටික මාත් එක්ක Fit උනා. සිංදුවත් මගේ හොඳම යාළුවෙක් උනා. මට හොඳම යාළුවො කියලා කියන්න පුළුවන් අය හිටියේ කීප දෙනයි. ඉස්කෝලෙන් Out වෙලා ගියාට පස්සේ සමහර යාළුකම් එහෙමම නතරවෙලා ගියා. ඒත් මේ යාළුකම් තවමත් තියෙනවා . සිංදුවාට සිංදු කියන්න පුළුවන් , ඕගන් ගහන්න පුළුවන් . වැඩි විස්තර ඕන නැහැනේ .


28. සංගීත කලාවට පිවිසෙන්න බලාගෙන ඉන්න අයට මොකක්ද කියන්න තියෙන්නෙ?
සංගීතය ආගන්තුකයෙක් කරගන්න එපා. ඒක තමන් කාලයක් තිස්සේ ඉඳලා දන්නා දෙයක් විදියට භාර ගන්න. එතකොට හොඳට ඉගෙන ගන්න පුළුවන්. අනික තමයි බය වෙන්න එපා. වයලීන් එකක් අතට ගත්තම බය වෙන්න එපා. වයලීන් එකට වහල් වෙන්නේ නැතුව, වයලීන් එක වහල් කරගෙන වාදනය කරන්න පුරුදු වෙන්න. සංගීතය නිදහසේ භාවිතා කරන්න. ඒවගේම තමයි තමන් රස විඳින ගමන් වාදන, ගායන ඉදිරිපත් කරන්න. එතකොට අපිට Notation නැති රස මුසු තැන් හොයාගන්න පුළුවන් වෙනවා.


29. සංගීත අංශයෙන් මොනවද ඉදිරියට තියෙන බලාපොරොත්තු?
**   විශාරද විභාගය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.


30. ආයිත් පාරක් වයලීනෝට ලියන හැටි මතක් කළොත්?
** darshanaprabhath1@gmail.com


​ඔන්න ඔහොමයි අපේ තුන්වෙනි සාකච්ඡාවේ සමාප්තිය සනිටුහන් වෙන්නෙ. මේ ලිපියට ඇතුළත් කරලා තියෙන පින්තූරවලින්, මම ගත්ත පින්තූරයකට තියෙන්නෙ එකම එක පින්තූරයක් විතරයි. අනිත් හැම එකක්ම අරගෙන තියෙන්නේ / හිමිකාරීත්වය දරන්නෙ වයලීනෝ සහ වයලීනෝගෙ යාලුවො. ඒ නිසා, ඒ පින්තූරවල පූර්ණ ගෞරවය එයාලා සතු වෙනවා..!!!!!


ඔන්න ඔහොම තමයි ඒ කතාව අවසාන උනේ . එහෙනම් සැදෑ කළුවර කුර ගගාවිත් එක්ක හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

8 comments :

  1. ක්ශේත්‍රයේ හිණි පෙත්තටම යමින් සමාජයට නොමැකෙන සේවයක් කිරීමට ඔබට හැකිවේවා.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති g-)

      Delete
  2. සුබ පැතුම් ඔබේ අනාගත දිවියේ සාර්ථකත්වය වෙනුවෙන් ! 

    ReplyDelete
  3. සුභ පැතුම්! ලිපිය දිග වැඩියි කොල්ලෝ. කොටස් දෙකකට දැම්මනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්නද ? කොටස් දෙකකට දැම්මම වැඩක් නැහැ වගේනේ .
      එල
      බොහොම ස්තූති g-)

      Delete
  4. යක්කු දමල වලවල් හාරන එකේ යකෙක්ව දමල දවසකට එක ගානෙ යක්ෂ කතා ලියවන්නකො ;-)

    ReplyDelete
  5. අඩේ එළකිරි මමත් සීවලි! ජය වේවා මචෝ උබට. -VK

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.