Sunday, January 31, 2016

තත්කාල කාල හෝරාව









කොච්චර ජෝතිෂ්‍ය පිළිගන්නේ නෑ නෑ කිය කිය හිටියත් සමහර අය සමහර ජෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිපදිනවා . ඒවා එයාලා හිතා මතාම පිළිපදින්නේ නැති උනත් අඩුම තරමේ ඔහේ කරන්නං වාලේ කරන තරමටම සමහර දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා . ගම්වල ඉඳලා ගොඩක් වෙලාවට කොළඹට එන සමහර අයට ඊට පස්සේ ගමේ දේවල් අමතක උනාට හිත යට තැම්පත් වෙලා තියෙන මේ සමහර ජෝතිෂ්‍ය කරුණු කාරනා අමතක වෙන්නේ . මටත් ඉතින් සමහර වෙලාවට පේනවනේ ඔය පොෂ් වෙන්න හදන සමහර අය . වැඩිපුරම කාන්තා පාර්ශවය තමයි . හැමෝම නැහැ . එත් ටික දෙනෙක් හරි ඉන්නවනේ එහෙම .

එයාලා කවුරුහරි රාහු කාලය ගැන බලලා වැඩ කරනවා දැක්කම වයලීනොට හරි හිනා . ඇයි අම්මපා කූඩැල්ලෙක් දැක්කම වමිට් වෙන්න හදන සමහර අයගේ පර්ස් වල රාහු කාලය , කාල හෝරාව තියෙන පොඩි කාඩ් තියෙනවා දැක්කම වයලීනොටත් වමිට් වෙන එක සාධාරණයි නෙව . විහිලුවට කිව්වේ හොඳේ . එහෙමහරි ඒ අය ඒ ගැන විමසිල්ලෙන් ඉන්න එක ගැන සන්තෝසයි . අඩුම තරමේ ඒවා සංකල්ප විදියට පරෙස්සම් වෙන්නවත් එහෙම අය ඉන්න එක හොඳයි . ඉතින් අද ලිපියෙන් කියන්න යන්නේ රාහු කාලය තරමටම මිනිස්සු අතරේ ජනප්‍රිය උනේ නැතත් තරමක් හරි ජනප්‍රිය වෙලා තියෙන කාල හෝරාව කියන සංකල්පය ගැන . එහෙනම් ගරු බුද්ධිමතුනේ දෙන්න මට මදකට අවසර .

ඉර පායනවා , ඉර බහිනවා . කන්න නැතත් බොන්න නැතත් නිදාගන්න නැතත් ලෝකයේ නොනවතින සත්‍යයක් තමයි ඔය ඉර පායනවා ඉර බහිනවා කියන එක . ඉතින් ඉර පායනවත් එක්කම තමයි අපිට දවසක් උදා වෙන්නේ . ඒ කියන්නේ පිංවතුනි ඉංග්‍රීසි දින ක්‍රමයට මේ කතාව කරලා හරියන්නේ නෑ . මේක ගැන කතා කරන්න ඕන සිංහල දින ක්‍රමයට . ඉංග්‍රීසි ක්‍රමයට දවසක් උදා වෙන්නේ මධ්‍යම රාත්‍රියෙන් පස්සේ . ඒ කියන්නේ රා 12 . 00 න පස්සේ පහු වෙනිදා වෙනවා . ආයෙත් කියනවනම් ඒ කියන්නේ 24 වෙනිදා රාත්‍රී 12 00 න පස්සේ 25 වෙනිදා උදා වෙලා තියෙනවා කියන එක . එත් සිංහල ක්‍රමයට දවස් බලනකොට ඕක ඔහොම නෙවෙයි කරන්නේ . සිංහල ක්‍රමයට , නැත්නම් ජෝතිෂ්‍ය ක්‍රමයට දවසක් කියලා කියන්නේ එක ඉර උදාවක ඉඳලා අනෙක් ඉර උදාව දක්වා ගත කරන කාලයට . එහෙම බැලුවම ඔන්න මම මේ පහලින් කියලා තියෙන දේවල් හොඳට තේරුම් ගන්න පුළුවන් .  හරිද ළමයි ?





කාල හෝරාව . එහෙමත් නැත්නම් තත්කාල හෝරාව ගැන ගොඩක් දෙනා විමසිලිමත් වෙන්නේ නැති උනාට ජෝතිෂ්‍ය දැනුම තියෙන අයගේ කතා බහ අහගෙන ඉඳලා , නැත්නම් ඒවා බලෙන්ම අහලා දැනගෙන තම තමන්ගේ ජීවිත වල එදිනෙදා වැඩ කටයුතු කරගන්න තමන්ටම ශුභ වෙලාවක් හිතාගන්න පුළුවන් . සූක්ෂම නැකත් හදන්න මේ හෝරාව බලලා විතරක් බැහැ . එත් ඒ ඒ හෝරාවල්වල තමන්ගේ ඒ ඒ අදාළ වැඩකටයුතු කරලා ඇතිවෙන්න පුළුවන් අභව්‍ය තත්ත්ව නැති කරගන්න පුළුවන් . එහෙනම් අපි බලමු හෝරාව කියන්නේ මොකක්ද කියලා .

ඉරිදා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා . ඔන්න ඔහොමයි සතියේ දවස් හත නම් වෙලා තියෙන්නේ . ඒ නම් ඇතිවෙලා තියෙනවා කියලා කියන්නේ මේ දවස් වලට අධිපති වෙන ග්‍රහයාගේ නමින් තමයි .  දවසේ නම කියනකොටම තේරෙනවනේ කවුද අධිපති කියලා .






රවි - හිරු - ඉරිදා
චන්ද්‍ර - සඳ - සඳුදා
කුජ - අඟහරු - අඟහරුවාදා
බුධ - බුධ - බදාදා
ගුරු - බ්‍රහස්පතී - බ්‍රහස්පතින්දා
ශුක්‍ර - සිකුරු - සිකුරාදා
ශනි - සෙනසුරු - සෙනසුරාදා

ඔන්න ඔහොමයි ඒවා වෙන් වෙන වශයෙන් ඇතිවෙලා තියෙන්නේ . ඉතින් දැන් මම කියන්නම් මේ හෝරාවල් ඇතිවෙන්නේ කොහොමද කියලා . හෝරා චක්‍රයෙදී වෙන්නේ ඉර උදාවෙන් පස්සේ පැය එක එක මේ හෝරාවලට අයත් වෙනවා . සිංහල ක්‍රමයට දවසකට පැය හැටක් තිබ්බට ශාස්ත්‍රානුකූල ඉගැන්වීම් වලට අනුව මේ හෝරා සංකල්පයේ හෝරාවකට විනාඩි හැටක පැයක් තමයි අයත් වෙන්නේ . ඒ කියන්නේ දවල් කාලයේ හෝරා දොළහයි රාත්‍රී කාලයේ හෝරා දොළහයි වැටෙන විදියට . ඒ නිසා සිංහල ක්‍රමයට ගොඩනැගුනට හෝරාව බලනකොට අපිට සාමාන්‍ය පැය විදියටම වෙලාව බලලා මේක ගණනය කරගන්න පුළුවන් .

වැදගත්ම දේ තමයි මේ හෝරාවට අදාලව වැඩ කරන අයත් මේක කරන්නේ අන්ධ භක්තියෙන් වගේ මුලා වෙලා කියන කාරණාව . ඒ මොකද දන්නවද ? . දැන් ඔය ලිත්වල , පොකට් කැලැන්ඩර් වල සහ වෙනත් පොත්වල එහෙම මේ හෝරාව ලබන වෙලාව කියලා සඳහන් වෙලා තියෙන්නේ ඉර උදාව උදේ 6 ට වෙනවා කියලා හිතලා . ඒ නිසා ඒ අනුව හෝරාව හැමදාටම ගණනය කරන එක වැරදියි . වැරදියි කියන්නේ ලොවෙත් වැරදියි . ඔන්න බැරිවෙලාවත් ඉර උදා උනේ උදේ හයට නම් ඒ වගුව හරියටම හරි වෙනවා . එහෙම නැතුව 6 35 ට ඉර උදා උනා කියමුකෝ . එහෙම උනොත් දවසේ පලවෙනි හෝරාව වෙන්නේ 6 35 ඉඳලා 7 35 දක්වා තියෙන පැයක කාලය . එහෙම උනාම පළවෙනි හෝරාව දෙවෙනි හෝරාව කියලා ගණනය කරන්න ඕන අන්න ඒ වෙලාව අනුව . නැතුව අපි ළඟ තියෙනේ වගුවේ වෙලාවට අදාළව හෝරාව ගණනය කරලා ගත්තම වැරදියි .

ඊට පස්සේ කියන්නම් මම හෝරාව ඇතිවෙන පිළිවෙල . සඳුදා අඟහරුවාදා කියලා දවස් හතට නම් ලැබිලා තියෙන්නේ ඒ ඒ දවසට අදාළ ග්‍රහයාගෙන් කියල මම කලින් කිව්වනේ . ඉතින් ඒ අනුව ගත්තම මෙන්න මෙහෙමයි ඉර උදාවත් එක්කම ඒ ඒ දවසට අදාළව ග්‍රහයින්ගේ පළවෙනි හෝරාව ලබන්නේ .





සඳුදා - සඳු හෝරාව
අඟහරුවාදා - කුජ හෝරාව
බදාදා - බුද්ධ හෝරාව
බ්‍රහස්පතින්දා - ගුරු හෝරාව
සිකුරාදා - සිකුරු හෝරාව
සෙනසුරාදා - ශනි හෝරාව

ඒ ඒ දවසට ඔය විදියට පටන් අරගෙන තමයි පැය එක එක ගතවෙනකොට හෝරාවල් මාරු වෙන්නේ . හෝරාවල් මාරු වෙන්නේ මේ පිළිවෙලට .

1  රවිහෝරාව  ,
2  සිකුරු හෝරාව ,
3  බුධ හෝරාව  ,
4  සඳු හෝරාව  ,
5  ශනි හෝරාව ,
6  ගුරු හෝරාව ,
7  කුජ හෝරාව ,

ඉතින් අපි ඉරිදා ගත්තොත් රවී සිකුරු බුධ සඳු ශනි ගුරු කුජ කියලා පැය හතක් ගතවෙලා දවල් 1 වෙනකොට මේ හෝරා චක්‍ර එකක් ගතවෙලා ඉවර වෙනවා . ඊට පස්සේ ආයෙත් මේ හත මුල ඉඳලා උදා වෙන්න පටන් ගන්නවා . අඟහරුවාදා නම් . පලවෙනි හෝරාව කුජ හෝරාව . ඊට පස්සේ දෙවෙනි හෝරාව රවි හෝරාව . එහෙම පටන් අරගෙන මේ චක්‍රය ක්‍රියාත්මක වෙනවා .

අතීතයේ ඉඳලා මේ මේ හෝරාවල් එක එක වැඩ වලට හොඳයි කියලා වෙන් කරලා තියෙනවා . පංචම කාල හෝරාව , සූක්ෂම කාල හෝරාව වගේ දේවල් එක්ක මේ ශුභ අශුභ තාවය වෙනස් වෙනවා . ඒවා ටිකක් සංකීර්ණ නිසා ඒ සිද්ධාන්ත ගැන වෙනම පෝස්ට් එකක ලියන්න තමයි හිතාගෙන ඉන්නේ . ඉතින් මෙන්න මෙහෙම තමයි ඒ ඒ හෝරාවල් වලට වෙන් වෙච්ච කාර්යයන් සම්මත වෙලා තියෙන්නේ .





රවි හෝරාව
රජුන් දැකීම ,
පියාගෙන් හෝ රජයෙන් ආධාර හෝ වෙනත් ඉල්ලීම් ඉල්ලීම ,
පැමිණිලි ඉදිරිපත් කිරීම ,
ආරක්ෂක අංශයේ කාර්යයන් සිදු කිරීම ,
දේශපාලන වැඩ ආරම්භ කිරීම ,
පොලීසිය සම්බන්ධ කටයුතු කිරීම .

සඳු හෝරාව
තද සිත්  ඇති අය හමු වීම
අම්මාගෙන් හෝ කාන්තාවන් උදවු උපකාර ඉල්ලීම
විදේශ ගත වීම
ප්‍රේම සම්බන්ධතා ඇති කරගැනීම
ප්‍රේම සබන්ධතා සම්බන්ධ කටයුතු සිදු කිරීම

කුජ හෝරාව 
සටන් කිටීම
වස් කවි කීම
වර්ජනය කිරීම කිරීම
නඩු දැමීම , නඩු සම්බන්ධ කටයුතු ආරම්භ කිරීම
ඉඩම් මිල දී ගැනීම

බුධ හෝරාව 
ඉගෙනීමේ කටයුතු ආරම්භ කිරීම
පොත් ලිවීම ආරම්භ කිරීම
පාඩම් කිරීම ආරම්භ කිරීම
ඉගැන්වීම ආරම්භ කිරීම

ගුරු හෝරාව
විවාහය සිදු කිරීම
මැති ඇමතිවරුන් හමු වීම
රථ වාහන මිලදී ගැනීම
ගෙවල් සෑදීම සඳහා මුල් ගල් තැබීම
ගමන් යාම සඳහා පිටත් වීම

ශුක්‍ර හෝරාව
කවි රචනා කිරීම ආරම්භ කිරීම
සිංදු ලිවීම ආරම්භ කිරීම
හෝටල් ආරම්භ කිරීම
රෙස්ටොරන්ට් ආරම්භ කිරීම

ශනි හෝරාව
මහන කිරීමට
මහන වීමට
ගිහි ගෙයින් නික්ම යාමට
පලා යාමට
දික්කසාද වීමට



ඔන්න ඔහොමයි හෝරාවල් වලට අදාළ වැඩ රාජකාරි වෙන් වෙලා තියෙන්නේ . මම හිතනවා මේ ලිපියෙන් තත්කාල හෝරාව ගැන යම් දහසක් ඔයාලට ඇතිවෙලා ඇති කියලා . සූක්ෂම කාල හෝරාව පංචම කාල හෝරාව සහ එක එක ලග්නවලට මේ හෝරාව කොහොමද අදාල වෙන්නේ කියලා අපි ජෝතිෂ්‍ය සම්බන්ධ ඊළඟ ලිපියෙන් බලමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Friday, January 29, 2016

අපල ඇතිවන හැටි සහ ඒවාට පිළියම්









වෙනදනම් අලුත් ලේබල් හැදුවම පෝස්ට් එකකින් මම ඒවා මොනවද කියලා බ්ලොග් එකත් එක්ක ඉන්න අයට පොඩි සටහනක් තියනවා . ඒත් කියන්නෙම නැතුව ජෝතිෂ්‍ය ගැන වෙනමම ලේබල් එකක් හැදුවේ හදිස්සියෙමයි . ජෝතිෂ්‍ය මූලික සිද්ධාන්ත ගැන තමයි ඒ ලේබල් එකෙන් එන පෝස්ට් වල ලියන්න බලාපොරොත්තු වෙන්නේ . ලේබල් එක " ජව්තිස්ස " කියලා තමයි මම නම් කරේ . ඔන්න බ්ලොග් එකේ උඩම දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා ලේබල් එක . කාලයක් තිස්සේ පොඩ්ඩ පොඩ්ඩ එකතු කරගත්ත ජෝතිෂ්‍ය දැනුම මම ඒ ලේබල් එකෙන් එන ලිපි හරහා අරගෙන එන්නම් .

කේන්දර ගැන පොඩි අධ්‍යනයක් දාන්න මම අඳුරන ආශ්‍රය කරන අයගේ කේන්දර මම ඉල්ලගෙන ළඟ තියාගෙන ඉන්නේ . කාලෙන් කාලෙට ඒ ඒ අයට බලපාන ග්‍රහයෝ ගැනයි ඒ අනුව ඒ අයගේ ජීවිත වෙනස් වෙන හැටි ගැනයි මම අහන්නේ බලන්නේ නැතිව විමසිල්ලෙන් ඉන්නවා . සමහර අයට කෙළවෙනවා වගේ දැනෙනකොට පොඩි ඇලට් එකක් දෙනවා මේ මේ විදියට මේ මේ දේවල් වලින් පරෙස්සම් වෙලා ඉන්න කියලා . ඒ අය ඒවා අහන්නේ නැතුව විඳවනකොට ඒ අය ගැනත් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඇරෙන්න ඉතින් වෙන මොනවා කියන්නද . අද විද්‍යාවෙන් ඔප්පු කරන්න යන සමහර දේවල් ඔප්පු කරගන්න බැරුව මිනිස්සු කොච්චර නහිනවද කියලා දකිනකොට ඇත්තටම දුකයි . අර ප්‍රොජෙක්ට් මේ ප්‍රොජෙක්ට් කිය කිය කරනවා . ඒත් ප්‍රාචීන දැනුමේ ඒවා සාක්ෂි රහිතව ඒත් ප්‍රතිඵල දෙන විදියට අඩංගු වෙලා තියෙනවා . අවුල තියෙන්නේ ඉතින් දැන් ඉන්න උන්ට ඒවා සාක්ෂි ඇතුව ඔප්පු කරලා පෙන්නනකල ඒවායේ තියෙන ප්‍රතිඵල විඳින්න අකමැති වීමනේ . කමක් නෑ ඉතින් . ඉගෙන ගත්ත දන්නා දන්නා අය ඒවා තනියම විඳගනියි . අනිත් අයට හුළං තමයි .

මේ තියෙන්නේ මම කේන්දර ගැන දක්වපු අදහස් කීපයක් . එකක් වයලීනෝ සබැඳි කතා පළවෙනි ලිපියේ තිබුණේ . අනික මම කේන්දර බලලා දෙන්නෙක්ට කිව්ව කතාවක් .

========================================================================







දෙන්නගෙම කෙන්දර් වලින් පේන්නේ දෙන්නගෙම බලාපොරොත්තු , අදහස් වෙනස් කියල . ආයෙ ඔක්කොම කියලා මේකත් නොකියන එකෙ වැඩක් නෑහැනේ . ඒ නිසා දෙන්නා වැඩ කරනකොට අවුලක් ආවොත් දෙන්නම ඉවසීමෙන් කතා කරලා ඒවා නිරවුල් කරගන්න . මොකද නැත්නම් නිකං වැඩක් නැති කතාවල් ඇති වෙනවා . එක්කෙනෙක්ගෙන් වෙන අඩුපාඩුවක් කාලයක් මතක තියාගෙන ඒකම කිය කිය වන වෙන්නෙපා . සතියක් විතර කියලා ශේප් වෙන්න . අනිත් කෙනා එතකොට මතක තියාගන්න ඒ වැරැද්ද ආයෙ නොවෙන්න වග බලාගන්න .

කසාද බැන්දම මිනිහගේ අපල වලට ගැනිට අගුනයි ගෑනිගේ අපල වලට මිනිහට අගුනයි කියලා කියන්නේ මමනම් හිතන්නේ මෙහෙම දෙයක් . දැන් ඔය ග්‍රහයෝ අපිට බලපෑම් කරනවා කියලා කියනේ එයාලා දෙවිවරු කියලා කියන්නේ එයාලගේ ශක්තිය නිසා . ඉර නිකුත් කරන තරංග මේ ග්‍රහයොන්ගේ වැදිලා පොලවට පරාවර්තනය වෙනවා . ඒ එක එක ග්‍රහයා පරාවර්තනය කරන්නේ එක එක තරංග ආයාම තියෙන කිරණ . ඒවා මිනිස්සුන්ට වැටුනාම මිනිස්සු ඒවා අවශෝෂණය කරන්නේ එක එක විදියට .

මේ තරංග වලින් එන්නේ භෞතික විද්‍යාවට අනුවනම් ශක්ති ක්වොන්ටම් . මේ ක්වොන්ටම් වල තියෙන ශක්තිය කාලයක් තිස්සේ මිනිස්සු අවශෝෂණය කරන්නේ එක එක අනුපාත වලින් . ඒ අනුපාත ගැන අදහසක් ගන්න තමා හඳහනේ එක එක ග්‍රහ පිහිටීම් කියලා තියෙන්නේ . එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ කෙනාට මේ ග්‍රහයාගේ කිරණ වලින් එන බලපෑම අඩුයි වැඩියි හොඳයි නරකයි කියලා .

දැන් අපේ ඇඟේ තියෙන ඔක්කොම රසායන ද්‍රව්‍ය වල තියෙන ඉලෙක්ට්‍රොනත් කම්පනය වෙන්නේ කාලයක් තිස්සෙම මේ ක්වොන්ටම් වලින් ලැබෙන ශක්තියෙන් . ඉතින් අන්තිමට ඒවා එක එක තරංග ආයාම තියන ශක්තිය විවිධ අනුපාත වලින් තියෙන ඉලෙක්ට්‍රොන පරමාණු අනු අයන සංයෝග ප්‍රෝටීන කාබෝහයිඩ්රේට ලිපිඩ විටමින බවට පත් වෙනවා .

දැන් පිරිමියෙක්ගේ ඇඟේ තියෙන රසායන ද්‍රවුය වල තියන ශක්තිය නෙවේ ගෑණු කෙනෙක්ගේ තියෙන්නේ . අපි පොරොන්දම් බලනවා කියලා වක්‍රව කියන්නේ මේ ශක්ති වර්ග ගලපන එක . ඒක කෙලින්ම කියනේනෑ හඳහන් බලන මිනිස්සු . මොකද උන් බටහිර විජ්ජාවට කැමති නැති නිසා . හැබැයි මෙච්චර කල් මම කියවපු අහපු දැකපු කේන්දර වලයි පොත්වලයි තියෙන හැටියට අන්තිමට වෙන්නේ මේක තමා .

දෙන්නෙක් කසාද බැන්දම ලිංගිකව එකතු උනාම , පිරිමියාගේ ඇඟේ නිපදවෙන දේවල් එක්ක ගැහැණියගේ ඇඟේ නිපදවෙන දේවල් කලවම් වෙනවා . මේවා එක එක කෙනාගේ ඒ ඒ අවයව හරහා ඇඟට අවශෝෂණය කරනවා . ඒ එක්කම කෙල , ලේ කලවම් වෙන්නත් පුළුවන් . ඒ දේවල් මාරුවෙලා ඇඟට ඇතුල් උනාම ලේ හරහා මේවා ගමන් කරලා එන්සයිම වලින් මේවා හැදිලා තියෙන මූලික අනු වලට බිඳෙනවා . පස්සේ වෙන වෙන අවශ්‍ය අනු හදන්න මේ මූලික අනු හේතු වෙනවා .

එහෙම උනාම පිරිමියාගේ ඇඟේ කාලයක් තිබ්බ මූලද්‍රව්‍ය ගැහැණියගේ ඇඟේ වැඩ කරනවා . ගැහැණියගේ ඇඟේ ඒවා පිරිමියාගේ ඇඟේ වැඩ කරනවා . මමනම් හිතන්නේ ඔක නිසා තමයි කසාද බැන්දම දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා කියන්නේ . ඔය පොරොන්දම් වලින් ගැලපිලා නැතුව බඳින ඇයගේ ඇඟේ තියෙන දේවල් මේ විදියට කලවම් උනාම අනිත් කෙනාට ඒවා බලපාන්නේ නරක විදියට වෙන්න පුළුවන් . ඒ අනුව එයාගේ සිතුවිලි වල ඉඳලා හැසිරීම්  පවා වෙනස් වෙන්න පුළුවන් . ඒ විදියට වෙන්න ඕන අනිත් කෙනාගේ ඒවා තවත් කෙනෙක්ට බලපාන්නේ .

දෙන්නගෙන් එක්කෙනෙක්වත් චාතූර්යා බැලුවද දන්නේ නෑ . ඒකෙ තේමිය චාතූර්යා බැන්දට පස්සේ චාතූර්යා මැරෙනවා කියලා කියනව . අන්තිමට දෙන්න  මේ ඔක්කොම පැත්තක දාල බඳිනවා . බැන්දට කේන්දර කාරයෝ කිව්ව ඒවා නිසා තේමිය තමන්ගේ ඕන එපාකම් ඔක්කොම ඉවසගෙන ඉන්නවා . අන්තිමට මිනිහට හෙන අවුල් . චාතුර්යා නැති කරගන්නත් බෑ , හැගීම ඉවසන්නත් බෑ . ඊට පස්සේ තමා ඉන්දියාවේ ගිහින් අනන් මනං කරලා අපල නැති කරගන්නේ .  අන්න ඒවගේ තමා ඔය බැඳලා එන ග්‍රහ අවුල් එන්නේ වෙන්නේ ඇන්ඩ් නැතිකරගන්නේ







27. පහුගිය ජනාධිපතිවරණයත් එක්ක කරලියට ආපු මාතෘකාවක් තමයි ජෝතිශ්‍ය කියලා කියන්නේ. කොහොමද අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන අජීවී ග්‍රහලෝක, පෘතුවියේ ඉන්න පෘතුවි වාසීන්ට බලපෑම් එල්ල කරන්නේ?

** සූර්යාගේ ඉඳලා එන ශක්තියෙන් තමයි ප්‍රභාසන්ශ්ලේෂණය වෙන්නේ. ඒක පිළිගන්නවනේ නේද? ඒ වගේ තමයි සූර්යාලෝකය හැමදේටම බලපානවා. මේ ආලෝකය ඒ ඒ ග්‍රහලෝකවල වැදිලා පරාවර්තනය වෙන ආලෝකය පොලවට එනවා. ඒවායේ තියෙන්නේ එක එක තරංග ආයාම වගේම එක එක ශක්තීන්. ඉතින් මේවා නිසා මිනිස්සුන්ට එක එක බලපෑම් වෙනවා. ඍෂිවරු මේවා අනුව බලලා තමයි ජෝතිෂ්‍ය විද්‍යාව ගොඩනගලා තියෙන්නේ. ජනාධිපතිවරණය කාලේ වෙච්ච දේවල් ගැන මගෙ තියෙන්නේ කලකිරීමක්. ඊට පස්සේ ජෝතිෂ්‍යය බොරු බොරු කියලා ගොඩක් දෙනෙක් කෑගැහුවා.

මමත් යාලුවොත් එක්ක හිනාවෙන්න ඕන උනාම ඔයවගේ දේවල් කියලා හිනාවෙනවා . එත් ශිල්පයට වෙච්ච දේ ගැන නම් මට ඇත්තටම දුකයි . ඕනෑම ශිල්පයක් මගින් සේවයක් කරන කෙනෙක් ස්වාධීන වෙන්න ඕන . ස්වාධීන නැත්නම් ශිල්පෙ පැත්තක දාලා ගෙදර ඉන්න ඕන බලයට අධිකාරීත්වයට බයේ මේ දේවල් කරලා ඒවා හෑල්ලු කරන්නේ නැතිව . ජෝතිෂ්‍ය විද්‍යාවේ තව හෑල්ලු වෙන්න දෙයක් නෑ . නම් දරාපු උදවිය කියලා ඉන්න අය කරන එක එක විකාර වැඩ නිසා කවුරුවත් මේවා ඉස්සරහට පිළිගන්න එකක් නෑ .

එක එහෙමයි කියමුකෝ. ඒත් මම අහන්න කැමතියි ඒ බොරු බොරු කියලා කෑගහන අය මේක ඉගෙනගෙනද කෑගහන්නේ කියලා? එක පැත්තකින් සාධාරණයි. රාජකීය දෛවඥයා කිව්ව දේ බොරු උනාම තව කවර කතාද? . වෙදකමට නැකත් මුහුර්ථ ඒවා මේවා ඕන වෙනවා . ඒ  නිසාම මම නම් ජෝතිෂ්‍ය  ඉගෙනගන්නවා. මම වටේ ඉන්න ආශ්‍රය කරන ගොඩක් අයගේ කේන්දර මට ලැබෙනවානම් මම කැමතියි . ඒ එයාලගේ ජීවන තත්ත්වය මට පේන නිසා පොතේ දැනුම ප්‍රායෝගිකද කියලා බලන්න ඒකෙන් අවස්ථාවක් ලැබෙන නිසා . කැමති කෙනෙක්ට මගෙන් උදවු ගන්න පුළුවන්.

හැබැයි මම බලෙන් උදවු කරන්න යන්නේ නෑ. මුල කාලේ මනුස්ස කමට කියලා බලෙන් උදවු කරලා හොඳ අත්දැකීම් තියෙනවා මට වැරදුනු නිසා . හැබැයි ඒ අය මේ ලිපිය කියවනවනම් මම කියන්න කැමතියි මම කිව්ව දේවල් මම වගකීමක් නැතිව කියලා නෑ කියලා . ඒ වගේම මගේ පරීක්ෂණ වලට අහුවෙච්ච අයගේ ජීවන තත්ත්වය ගැන මම තාමත් විමසිල්ලෙන් ඉන්නවා කියලත් කියන්න ඕන . එතකොට තමයි මේ ශිල්පය හරිද වැරදිද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ .

========================================================================


ඉතින් අද මම හිතුවා එක එක ග්‍රහයන්ගේ අපල ඇතිවෙන්නේ කොහොමද . කවුද ඒවා කරන්නේ සහ ඒවාට මොනවද කරන්න පුළුවන් පිළියම් කියලා කියන්න . වැඩි විස්තර ඕන නැහැ . මෙන්න මේ තියෙන්නේ අපල ඇති කරන අය සහ ඒවාට පිළියම් .







රවි

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
ත්‍රී භුවන යක්ෂයා , ඕ0 කාලි යක්ෂණිය

කන්නලවු කරන්න ඕන දෙවියන්
ශිව දෙවියෝ

බලි
සිරිකොත් බලිය
වර්ෂාධිපති බලිය
අභය කල්‍යාණ බලිය

දාන
රත්තරන් , පද්මරාග , රත්තරන් නෙලුම් මල් , රතු රෙදි , තිරිඟු පිටි කෑම , සීනි , පරිප්පු , පැටියෙක් ඉන්න එළදෙනක් , රත් හඳුන් , නෙලුම් මල් .

නාන්න ඕන බෙහෙත් ජාති
මනෝසීල , එනසාල් , කුන්කුමප්පු , දේවදාර , සපුමල් සැවන්දරා , වැල්මී , නෙලුම් මල් , මයිල මල් .

පූජා කරන මල්
මූණමල් , රතු නෙලුම් මල් , රත් මල්

පළඳින්න ඕන මැණික් ගල්
පද්මරාග

පළඳින්න ඕන ලෝහ
පිත්තල

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
ආඝෝර , සිලම්භරී , සූර්ය මණ්ඩලය

ආවතේව කරන්න ඕන වෘක්ෂ
ඉඹුල්



සඳු 

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
වජ්‍ර යක්ෂයා

කන්නලවු කරන්න ඕන දෙවියන්
මහා බ්‍රහ්මයා

බලි
කාල මෘත්‍ය බලිය
ශාන්ති මංගල බලිය
ශුභ මංගල බලිය

දාන
රන් , රිදී , මුතු , ගිතෙල් , හාල් , සුදු රෙදි , දී කිරි , හක්ගෙඩි , කපුරු , වියගස්

නාන්න ඕන බෙහෙත් ජාති
කිරි , දීකිරි , ගිතෙල් , කුමුදු මල් , පළිඟු , ඇත් දත්

පූජා කරන මල්
සුදු මල් , කුමුදු මල් , සමන් මල් , සුදු නෙලුම් මල්

පළඳින්න ඕන මැණික් ගල්
මුතු

පළඳින්න ඕන ලෝහ
බෙලෙක් මිශ්‍ර තඹ

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
රතන යන්ත්‍රය , නවනාත යන්ත්‍රය , චන්ද්‍ර මණ්ඩලය , නවග්‍රහ යන්ත්‍රය

ආවතේව කරන්න ඕන වෘක්ෂ
දිඹුල්


කුජ

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
භූත යක්ෂයා , ශ්‍රොත දන්ත යක්ෂනී

කන්නලවු කරන්න ඕන දෙවියන්
කතරගම දෙවියෝ

බලි
භූම නාග බලිය
මහසොහොන් මංගල බලිය
මේෂ රකුසු බලිය

දාන
කොරල් , තිරිඟු , රන් තඹ , පරිප්පු , අරලිය මල් , සීනේ , තද රතු රෙදි ,

නාන්න ඕන බෙහෙත් ජාති
සුදු හඳුන් , බැබිල , කනේරු මල් , පෙරුම්කායං , රුක් මල් , මූනමල් , ජටාමංශ ,

පූජා කරන මල්
කනේරු මල් , රත් මල්

පළඳින්න ඕන මැණික් ගල්
කොරල් , රතු මැණික්

පළඳින්න ඕන ලෝහ
තඹ

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
කන්ධ කුමාර මණ්ඩලය , අභිසම්භිදානය

ආවතේව කරන්න ඕන වෘක්ෂ
කොලොන්




බුධ

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
බඹ යක්ෂයා , ගිනි කන්ඩි යක්ෂණී

කන්නලවු කරන්න ඕන දෙවියන්
විෂ්ණු

බලි
වර්ශාධිපති බලිය
පංචයන්ත්‍ර බලිය
දේව කල්‍යාණ බලිය

දාන

රන් , රිදී , ලෝකඩ , පච්ච මැණික් , ඇත්දත් , තැටි , පුටු , සුවඳ වර්ග , පාත්තර , වී , ගිතෙල් , එළුවන් , නිල පාට රෙදි

නාන්න ඕන බෙහෙත් ජාති
යව , ගොරෝචන , මී පැණි , ගල් පෙඳ , රන්

පූජා කරන මල්
නාමල් , තල මල් ,

පළඳින්න ඕන මැණික් ගල්
පච්ච

පළඳින්න ඕන ලෝහ
පිත්තල

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
නීල මණ්ඩල , සිලම්භාර , බුධ මණ්ඩලය

ආවතේව කරන්න ඕන වෘක්ෂ
කොහොඹ



ගුරු

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
අභිමාන යක්ෂයා , නීලක්කන්ඩි යක්ෂනී

කන්නලවු කරන්න ඕන දෙවියන්
ශිව කතරගම

බලි
වර්ශාධිපති බලිය
අභය කල්‍යාණ බලිය
විෂ්ණු රූප බලිය

දාන
රන් , අශ්වයින් , මීපැණි , කහ පාට සිවුරු , ළූණු මල් , සීනි , කහ , පුෂ්පරාග ,

නාන්න ඕන බෙහෙත් ජාති
සමන් පිච්ච මල් , සුදු අබ , ඉද්ද කොළ , වැල්මී

පූජා කරන මල්
බෙලි මල් , කහපාට මල්

පළඳින්න ඕන මැණික් ගල්
පුෂ්පරාග

පළඳින්න ඕන ලෝහ
පස්ලෝ

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
අභිසම්භිදාන , නරසිංහ යන්ත්‍රය

ආවතේව කරන්න ඕන වෘක්ෂ
බෝ



සිකුරු

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
මල්ලෝදර යක්ෂයා , මහේෂ්වරී යක්ෂණී

කන්නලවු කරන්න ඕන දෙවියන්
පාර්වතී දේවිය

බලි
දේව මංගල බලිය
ශුභ මංගල බලිය
අත්ත කල්‍යාණ බලිය

දාන
වෛවර්ණ රෙදි , දියමන්ති , සුදු පාට හරක් , සුදු හාල් කිරිබත් , ගිතෙල් ,

නාන්න ඕන බෙහෙත් ජාති
එනසාල් , මනෝසීල , කුංකුම

පූජා කරන මල්
කේෂර මල් , සුවඳ අධික මල් වර්ග

පළඳින්න ඕන මැණික් ගල්
දියමන්ති , සුදු මැණික්

පළඳින්න ඕන ලෝහ
රත්තරන්

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
නවනාත යන්ත්‍රය , සංජීවනී යන්ත්‍රය

ආවතේව කරන්න ඕන වෘක්ෂ
කරඳ




ශනි 

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
අවර යක්ෂයා , අවරග්‍රී යක්ෂණිය

කන්නලවු කරන්න ඕන දෙවියන්
විෂ්ණු

බලි
ක්‍රෝධ බලිය
නීලග රාක්ෂ බලිය
ගෞඩි රාක්ෂ බලිය

දාන
නිල මැණික් , ලෝකඩ , මී හරක් , කළු හරක් , කළු රෙදි , තල ඇ, කොල්ලු ,

නාන්න ඕන බෙහෙත් ජාති
කළු තල , අංජන , ලොත් සුඹුල් , බැබිල , වී පොරි , සතකුප්ප ,

පූජා කරන මල්
නිල් පාට මල් ( කරරොළු මල් )

පළඳින්න ඕන මැණික් ගල්
කාක නිල්

පළඳින්න ඕන ලෝහ
පස්ලෝ

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
නීලමණ්ඩල , ශනි මෘතුන්ජ්‍ය , විෂ්ණු ආඝෝර

ආවතේව කරන්න ඕන වෘක්ෂ
නුග



රාහු 

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
ඇසුර යක්ෂයා , ඇසුර කාලි යක්ෂණිය

කන්නලවු කරන්න ඕන දෙවියන්
ශිව , පාර්වතී

බලි
ඇසුර ගිරි රාක්ෂ බලිය
නාග රාක්ෂ බලිය
සූට රකුසු බලිය

දාන
රත්තරන් හෝ පිත්තල නාග රූප , ගෝමේද මැණික් , අශ්වයින් , කළු එළුවන් , ලෝහ භාජන , නිල පාර රෙදි ,

නාන්න ඕන බෙහෙත් ජාති
ඊතන , කොලොන් , කලාඳුරු අල , ඇත්දත් , කස්තුරි , එළකිරි

පූජා කරන මල්
වැටකෙයියා

පළඳින්න ඕන මැණික් ගල්
ගෝමේද

පළඳින්න ඕන ලෝහ
රත්තරන්

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
නාගර්ජුන

ආවතේව කරන්න ඕන වෘක්ෂ
වැටකෙයියා



කේතු 

දොස් ඇති කරන අමනුෂ්‍යයින්
භද්‍රා යක්ෂයා , භද්‍රකාලි යක්ෂණී

කන්නලවු කරන්න ඕන දෙවියන්
විෂ්ණු

බලි
බ්‍රහ්ම රූප බලිය , පක්ෂුවන් රාක්ෂ බලිය , නිලග රාක්ෂ බලිය .

දාන
වෛරොඩී මැණික් , තල තෙල් , කස්තුරි , තල , එළු ලොම් , ලෝහ භාජන ,

නාන්න ඕන බෙහෙත් ජාති
ඊතණ , තල , කොලොන් කොළ , කලාඳුරු අල , කස්තුරි , එළුකිරි ,

පූජා කරන මල්
කහ පාට මල් වර්ග

පළඳින්න ඕන මැණික් ගල්
වෛරෝඩී

පළඳින්න ඕන ලෝහ
රිදී

පළඳින්න ඕන යන්ත්‍ර මණ්ඩල
නාග මාලය , ආඝෝරය , පාතාල මෘතුන්ජය ,

ආවතේව කරන්න ඕන වෘක්ෂ
කෙසෙල්


ඔන්න ඔහොම තමා වැඩ කිඩ ටික තියෙන්නේ . මේක ආරම්භයක් විතරයි . ටික ටික කේන්දර ගැනත් ලියන්න තමයි මේ මුල පුරන්නේ . එහෙනම් කේන්දර කැටගරියටත් තං තේජසා භවතු තේ , ජයමංගලානී.....................

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!!

Saturday, January 23, 2016

ඈත් වූ සඳ මගෙ සරා සඳ ( සැදෑ කළුවර කුරගගා විත් )









දැන් ටික දවසක් තිස්සේ කිය කිය ඉන්නවනේ සැදෑ කළුවර ගීතය ගැන ලියන්න හිතාගෙන ඉන්නේ කියලා . ඔන්න අද ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න හදන්නේ . මේ ලිපිය ලියන්නේ වයලීනි වෙනුවෙන් . ගීතයට තේරුම් දෙක තුනක්ම තියෙනවා . ඒවා එක එක පිළිවෙලට ලියන්නම් . කියවලා බලලා කියන්න මොන තේරුමද මේ ගීතයට හරියන්නේ කියලා . ගොඩක් දවස් මේ ගීතය ගැන හිතාගන්න බැරුව හිටියේ කොහොම අදහසක්ද මේ ගීතයේ තියෙන්නේ කියලා . සති අන්තයේ කැම්පස් ඉඳලා ගෙදර එනගමන් බස් වල යන සිංදු අහන්න තියෙන අප්පිරියාව නිසාම හෙඩ් සෙට් එකත් කනේ ගහගෙන කොළඹ ඉඳලා රත්නපුරේට එනකල්ම ඇහුවේ මේ ගීතය . ඒ පැය කීපයට තමයි මේ ගීතය මෙහෙම වෙන්න ඇති කියලා හිතුනේ . ගීතය ලියන්න ඕන කියලා හිතුවේ ඇයි කියලා මම ලිපියේ මැද හරියේදී කියන්නම්කො .

කැම්පස් එකේ ඉන්න මම අඳුරන සමහර ගෑණු ළමයින්ගේ ප්‍රේමවන්තයෝ මේ වෙනකොට වැඩි දුර අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වෙලා ඉන්නේ . ඉතින් සමහර වෙලාවට අපිත් අහනවා ආ දැන් කොල්ලට කොහොමද කියලා . ඒ වෙලාවට කෙල්ල කියන්නේ එයාටනම් හොඳයි වයලීනෝ , මට තමයි හොඳ නැත්තේ කියලා . ඒ වෙලාවට වයලීනෝ නම් කියන්නේ . අනේ වාසනාවන් . ඒ කොල්ලා කනක් ඇහිලා සැනසිල්ලේ ඉන්නවා ඇති මේ දවස්වල කියලා . හැක හැක හැක හැක .

ඉතින් ඔයවෙලාවට ඕවා අහගෙන ඉන්න ඒ ගෑණු ළමයාගේ අනිත් යාළු ගෑණු ළමයි ඒ ගෑණු ළමයට කියනවා . " ඒක තමයි දැන් ඉතින් තුරුල් වෙලා ඉන්න , කිස් එකක්වත් දෙන්න , බීච් එකේ රවුමක් යන්න , ෆිල්ම් එකක් බලන්න යන්නවත් වෙන්නේ නැහැනේ . අවුරුදු දෙක තුනක්ම බලාගෙන ඉන්න වෙනවා ඒකට " කියලා .

මේවා අහගෙන ඉන්න කොල්ලා රට ගියපු ගෑණු ළමයි කියනවා අනේ මට ඕවා මතක් කරන්නේ නැතිව ඉන්නකෝ හලෝ කියලා . ඔයවෙලවට අපි හිනා උනාට මොකද ඔය කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා කියලා වයලීනෝ දන්නවා . හැක හැක හැක හැක හැක . ඔය මොනවා නැතත් ප්‍රේම කරන දෙන්නෙක්ට හැමදාම දෙන්නට දෙන්නා දැක්කත් ඇතිවෙන්නේ නැහැ කියනවනේ .

ගොඩක් වෙලාවට ආදරය කරන කාලයේ වැඩිපුර කතා කරන්නේ පෙම්වතා . පෙම්වතිය කතා කරන්නේ අඩුවෙන් . ඊට පස්සේ බඳින්න කිට්ටු උනාම ඕක මාරු වෙනවා . ඒ කියන්නේ පෙම්වතිය කියවන්න පටන් ගන්නවා . පෙම්වතා ඒවා අහගෙන හාවක් හූවක් නැතිව ඔහේ ඉන්නවා . ගොඩක් වෙලාවට ඔය කාලෙට පෙම්වතුන් , මම තමුසෙව මරණවා කිව්වත් හ්ම්ම්ම් ගාගෙන තමයි ඉන්නේ . ඒක තමා වෙනස් නොවෙන උතුම් සත්‍යය . ඊට පස්සේ ජීවිත කාලෙම එහෙමම තමා . ඒත් ඔය ආදරේ කියන එක ඇතුවත් බැරි නැතුවත් බැරි මොකක්ද එකක් නිසා දැන දැනම හැමෝම පනින්නේ එකම ගඟකට තමයි .






වයලීනොට කැම්පස් පටන් ගත්තට තවමත් වයලීනිට නිවාඩු . දෙන්නා කැම්පස් දෙකකනේ ඉන්නේ මෙයාලා . තවමත් ගෙවල් වලට හොරෙන් මල් නෙලන දෙන්නෙක් හැටියට මේ නිවාඩු කාල ගෙවන එක දෙන්නටම හරිම අවුල් . අවුල් නෑ වගේ හිටියට අවුල් . මොකද නෝකෝල් , නෝමීට් නිසා . ඉතින් දවසක් දෙන්නත් එක්ක දවසේ විස්තර sms කර කර ඉන්නකොට මට මේ ගීතය මතක් උනා . ඊට පස්සේ තමයි ලියන්න ඕන කියලා හිතුනේ . අපි හැමදාම පොඩි ළමයි ගානට ඉන්නවනම් හොඳයි . ඒත් කාලය ඒකට ඉඩ දෙන්නේ නෑ . කාලය අපිට නොදැනීම ගෙවෙනවා . වයසත් වැඩි වෙනවා . ඒත් එක්කම උත්තර හොයන්න ඕන ප්‍රශ්න ගානත් වැඩි වෙනවා .

මොන්ටිසෝරි කාලේ තිබ්බේ ටීචර් දෙන ගෙදරවැඩ විතරයි . ප්‍රයිමරියේ තිබ්බේ ශිෂ්‍යත්ව ප්‍රශ්න . ඕලෙවල් වලට ආවට පස්සේ ඒ ප්‍රශ්න . ඒ ලෙවල් වලට ආවට පස්සේ ලොකු ලොකු ප්‍රශ්න . ඔය කාලේ ඉතින් නැති ප්‍රශ්නත් දාගන්නවා . එතකොට ඒලෙවල් ප්‍රශ්නයි ඒවයි කලවම් වෙලා අමුතුම ප්‍රශ්න ටිකක් හැදෙනවා . කැම්පස් ආවට පස්සේ ප්‍රැක්ටිකල් , එක්සෑම් , අසයින්මන්ට් , ප්‍රසන්ටේෂන් ඒවා මේවා ඔක්කොම ප්‍රශ්න . ඊට පස්සේ මල් කඩන ප්‍රශ්න . ඕවාට අමතරව දැන් ටික ටික ජීවන අරගලයත් ඔලුවට වැටෙනවා. ඒත් එක්කම ගෙවල්වල ප්‍රශ්නත් ටික ටික ඔළුවට බර වෙනවා .

ඔය ඔක්කොම ප්‍රශ්නවල පීඩනයෙන් ටිකකට හරි මනුස්සයෙක් නිදහස් වෙන්නේ ආදරය කරන කෙනත් එක්ක ටික වෙලාවකට හරි තනිවෙලා ඒ ලෝකෙට ගියාට පස්සේ . හැබැයි ඒකත් නැති උනාම ඒ පීඩනය වෙන වෙන අයගේ හිස මතින් තමයි පිට වෙන්නේ . ගෑණු ළමයි කියලා නැහැ . සමහරවෙලාවට ගෙවල් වල බර ඔළුවට ගන්නේ ගෑණු ළමයි . ඒත් එහෙම වෙන්නේ ගෙදර පිරිමි නැති නිසාමත්ම නෙවෙයි . වෙන කරන්න දෙයක් නැති නිසා .

අනික ගෑණු ළමයෙක්ට අනාගතයේ තමන්ගේ විවාහය වෙනුවෙන් සමාජය පටවලා තියෙන බරකුත් තියෙනවා .  ඒ දෑවැද්ද . කොල්ලගේ පැත්තෙන් ඉල්ලුවේ නැතත් , බලාපොරොත්තු උනේ නැතත් කෙල්ල හිතන්නේ හිස් අතින් යනවට වඩා තමන්ට ඕන දේවල් වත් අරගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා  .  ඉතින් දෑවැද්ද නොවුනට තමන්ට අවශ්‍ය දේවල් හරි හම්බ කරලා එකතුකරගෙන ස්වාමියාගේ ගෙදරට අරගෙන යන්න ගෑණු ළමයි හීන මවනවා . ගොඩක් වෙලාවට ඒ අය දිවා රෑ නොබලා මහන්සි වෙන්නෙත් ඒ නිසාම තමයි . හැබැයි සමහර වෙලාවට ගෙදර බර කරට ගත්තම ඒ ගෑණු ළමයටත් ජීවිතයක් තියෙනවා කියලා ගෙවල් වලටත් අමතක වෙනවා . ඒ නිසා ගෙදර අයගේ සතුට වෙනුවෙන් ජීවිතයම කැප කරපු උතුම් කාන්තාවන් උනත් මේ සමාජයේ නැතුව නෙවෙයි .

ඉතින් අද කියන්න යන ගීතයේ තියෙන්නේ ආදරය , ප්‍රේමය , විවාහය , රැකවරණය කියන දේවල් නැතිව හෝ අඩුවීම නිසා , පීඩනයෙන් ජීවත් වෙන තරුණියක් , පෙම්වතියක් , බිරිඳක් මේ කවුරු හරි කෙනෙක්ගේ හිතේ ඇතිවෙන සිතුවිල්ලක් ගැන . ගීතය රචනා කරලා තියෙන්නේ පිරිමියෙක් . ඒවගේ පිරිමි හිතකින් කාන්තාවක් හිතනවා වගේ මේ ගීතයේ තියෙන අදහස හිතන්න හරිම උපේක්ෂා සහගත හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕන කියලා තමයි මම නම් හිතන්නේ  . අපි එහෙනම් ගීතය අහලා ඉමු .

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා
ආ...

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා
ආ...

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා
ආ....





ගායනය - විශාරද නන්දා මාලිනී
සංගීතය - විශාරද නන්දා මාලිනී





පද රචනය - මඩවල එස්. රත්නායක





මේ ගීතය ඇතුලේ මට එකිනෙකට වෙනස් අවස්ථා තුනක් පේනවා . ඒ අවස්ථා තුන අනුව තමයි මම ගීතයට මේ තේරුම් ලියන්න හිතුවේ .

ඔන්න ටිකක් පිටිසර ගම්මානයක් තියෙනවා . ඒ ගමේ වැඩිය ගෙවල් ඇත්තේ නැහැ . අපි කියමුකෝ අනුරාධපුරේ පැත්තේ , නැත්නම් පොළොන්නරුව පැත්තේ තියෙන ගමක් කියලා . මේ ගමේ අයගේ ප්‍රධාන ජීවනෝපාය වෙන්න හේන් ගොවිතැන . මෙහෙම හේන් ගොවිතැන කරගෙන ඉන්න පිරිමියෙක් තමන්ගේ ජීවන සහකාරිය කවුද කියලා හොයාගෙන එයාව විවාහ කරගෙන වෙනමම පැළකුත් අටවගෙන තනියමම ජීවත් වෙන්න පටන් ගන්නවා . ටික කාලයක් මෙහෙම ගතවෙලා යනවා . දෙන්නට දැන් දරුවනුත් ඉන්නවා . ඒත් එහෙමයි කියලා පිරිමි කෙනා ජීවනෝපාය විදියට කරන හේන් ගොවිතැන කරන්නේ නැත්නම් හැමෝටම බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ . ඒ නිසා පිරිමියා තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටු කරන්න කල් යල් බලලා හේන වපුරනවා .

වපුරපු කාලේ ඉඳලා ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න . කුරුල්ලෝ එනවා වපුරපු ඇට ජාති අහුලාගෙන කන්න . ඇට පැළ උනාට පස්සේ ඒවා කන්න හාවෝ එනවා . අල ජාති හැදුනම ඒවා කන්න ඉත්තෑවෝ වල් ඌරෝ එනවා . කුරක්කන් වගේ දේවල් හැදුනම කුරුල්ලෝ අලි ඇත්තු මී හරක් මේ හැම සතාගෙන්ම තමන්ගේ වගාවට අතුරු ආන්තරා වෙන්න පුළුවන් . එම අතුරු ආන්තරා ඔක්කොම වලක්වලා තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න නම් හේන් ගොවියා හැමදාම රෑට පැල් රකින්න යන්න ඕන . උදේ කාලයේ දවල් කාලයේ හේනේ වැඩ කරලා ගෙදරට එන පිරිමියා කාලා බීලා ටිකක් මහන්සි නිවලා හවස් වෙලා ඇඳිරි වැටෙනකොට ආයෙත් හේන් බලා පිටත් වෙනවා පැල් රකින්න . නැත්නම් ඉන්නේ හේනෙම තමයි . බිරිඳ තමයි කෑම බීම උයලා හේනට ගිහින් දෙන්නේ . මෙන්න මේ තැනින් තමයි මම හිතන හැටියට ගීතය පටන් ගන්නේ .

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා
ආ...


උදේම ගාලෙන් පිටත් වෙන හරක් උදේ දවල් කාලයේ කෑම හොයමින් ඇවිද ඇවිද ඉඳලා හවස් වෙනකොට ආයෙත් ගාලට එන්නේ දවසෙම ඇවිදපු මහන්සිය නිසා හරිම හෙමින් සහ කල්පනාවෙන් . අපේ බාසාවෙන් කියනවනම් ඇඩ්රස් නැතුව තමයි ගාල හොයාගෙන එන්නේ . මේකට තමයි කියන්නේ කුර ගානවා කියලා . ඔන්න ඔය වගේ තමයි සවස් කාලයේ කළුවරත් වැටෙන්නේ . හවස හතරට විතර ඉර මාමා අපිට මතක් කරනවා තව ටිකකින් මම මගේ සේවාව අවසන් කරනවා , ඒ කියන්නේ කළුවර වැටෙනවා කියලා . ඊට පස්සේ ටික ටික පොළවට අඳුර වැටෙන්න පටන් ගන්නවා . සැදෑ කළුවර කුරගගා විත් කියලා කියන්නේ අන්න ඒ දර්ශනය ශ්‍රාවකයින්ගේ හිතේ ඇති කරන්න . දැන් ස්වාමියා පැල් රකින්න හේනට යනවා . සමහරවිට මේ බිරිඳත් තමන්ගේ ළමයිත් එක්ක වැඩිය හවස් වෙලා නැති දවසක ස්වාමියාත් එක්ක හේනට යන්න ඇති . එහෙමත් නැත්නම් ස්වාමියට එදා ගෙදර එන්න වෙලාවක් නැහැ . එහෙම ආවොත් සත්තු හේනට ඇවිත් හේනම විනාශ කරන්න පුළුවන් . ඒ නිසා බිරිඳ ස්වාමියාට හේනට රාත්‍රී ආහාරය ගිහින් දෙන්න යනවා . වැඩිය හවස් වෙලා නැති නිසා ළමයිනුත් මේ ගමනට එකතු කර ගන්නවා .

ඊට පස්සේ වැඩිය හවස් වෙලා ඇඳිරි වැටෙන්න කලින්ම ස්වාමියා බිදිඳට කියනවා දැන් රෑ වේගෙන එන නිසා ආයෙත් ළමයිනුත් එක්ක ගෙදර යන්න කියලා . ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වෙනවා කියන්නේ අන්න ඒ වෙලාවේ බිරිඳ තමන්ගේ ස්වාමියට සමු දීලා නැවත ගෙදර එන අවස්ථාවට .  බිරිඳට තනිකම දැනෙනවා . ඒ කියන්නේ ස්වාමියා ඉන්නේ රාත්‍රී කාලයේම හේනේ පැලේ . බිරිඳට වෙන්නේ දරුවන් බලාගෙන ගෙදරට වෙලා ඉන්න . ඈත් වූ සඳ මගෙ සරා සඳ , ඒ කියන්නේ ස්වාමියාගෙන් ඈත් උනාට පස්සේ . තනිවෙලා මා තනිවෙලා . බිරිඳ හිතනවා තමන් තනි වෙලා කියලා . දැන් කෙනෙක්ට කියන්න පුළුවන් තනි වෙන්නේ කොහොමද ? , ළමයි එක්කනේ බිරිඳ ගෙදර ඉන්නේ කියලා . ඒත් ගැහැණියකට , පෙම්වතියකට තමන්ගේ ස්වාමියා හරි පෙම්වතා හරි ළඟ නැති අඩුව වෙන දෙයකින් පුරවන්න බැහැ . අන්න ඒ නිසයි බිරිඳ කියන්නේ තනිවෙලා මා තනිවෙලා කියලා .


වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා


ආදරයේ සංකේත වැඩි හරියක් තියෙන්නේ අහසේ . සිකුරු තරුව , හඳ වගේ දේවල් . ඒත් අහසේ සමහර වෙලාවට ඒ මුකුත්ම පේන්නේ නැති වෙලාවල් තියෙනවා . සමහරවිට තවම මේ ගෙවෙන්නේ සවස් කාලය වෙන්න පුළුවන් . ඉරත් බැහැලා ගිහිල්ලා . හඳ පායලත් නෑ . තරුත් පායලා නෑ . ඒ මදිවට වලාකුලක්වත් පේන්නේ නෑ . අහස ලස්සන වෙන්නේ අහසේ අඩුම තරමින් වලාකුලක්වත් තියෙනකොට . ඉතින් මේ බිරිඳ තමන්ගේ නිවහනට ඇවිත් රාත්‍රී කළුවර වැටීගෙන එන වෙලාවේ අහස දිහා බලනවා . එතකොට එයාට පේනවා අහසේ වලාකුලක්වත් පායලා නෑ කියලා. ඒ කියන්නේ අහසම මලානික වෙලා කියලා . ඊට පස්සේ බිරිඳ කල්පනා කරනවා අහස වගේම තමයි අද එයාගේ ජීවිතයත් , ස්වාමියා නැති නිසා තමන්ගේ ජීවිතය පාලුවෙලා කියලා . වළාකුලකුදු නොමැති අහසේ මලානික වූ ‍මගේ සිතුවිලි කියලා කියන්නේ අන්න ඒ තේරුම .

තනිකම දැනෙන වෙලාවක කාටවත්ම වැඩිය දේවල් හිතන්න තමන්ගේ හිත ඉඩ දෙන්නේ නෑ . අන්න එවගේ තමයි මේ බිරිඳටත් . කොච්චර දවසේ වැඩ රාජකාරි තිබුණත් . ඒවා ගැන හිතන්න තමන්ගේ හිත මේ බිරිඳට  ඉඩ දෙන්නේ නෑ . එයා එක තැනකට වෙලා වාඩිවෙලා අහස දිහා බලාගෙන කල්පනා කරනවා . එහෙම කල්පනා කර කර ඉන්නකොට බිරිඳට නොදැනීම තමන්ගේ ඇස් වලින් කඳුළු කැට කඩාගෙන හැලෙනවා . පළවෙනි අන්තරා කොටසේ " මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත කදුල පමණක් රජවෙලා " කියන්නේ අන්න ඒ අදහස ගීතයෙන් පෙන්වන්න .

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා
ආ....

මේ ගීතයේ මම හරිම කැමති තැනක් තමයි මේ දෙවෙඉනි අත්තරා කොටසේ මුල් පද දෙක වන ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි කියන පද පේලි දෙක . මේ පද දෙකෙන් කියවෙන්නේ ගීතයේ මේ තේරුමට අනුව ස්වාමියා සහ බිරිඳ ඈත් වෙලා ඉන්නේ රාත්‍රී කාලයේ විතරයි කියන එක . මොකද උදේම ස්වාමියා පැලේ ඉඳලා ගෙදර එනවා . නැත්නම් බිරිඳ උදේම ස්වාමියට කෑම බීම හදාගෙන පැලට යනවා . එතකොට තමන්ගේ එකම සැනසිල්ල තමන්ගේ ඇස ගැටෙන මානයේ ඉන්නවා කියලා බිරිඳට තරමක හෝ සැනසිල්ලක් ලබන්න පුළුවන් . තමන් මේ ගෙවන පාළුව ඇතිවීම සහ නැති වීම තීරණය වෙන්නේ ස්වාමියාගේ ලෝකයයි බිරිඳගේ ලෝකයයි එක්වීම සහ වෙන් වීම මත . ඒ දෙක අතරේ තියෙන්නේ එක රැයක් විතරයි . ගීතයේ මේ පද පේලි දෙකෙන් ඒ වෙනස හොඳට පෙන්නලා තියෙනවා .

කිලෝමීටයක් කිව්වම අපේ හිත්වල කොච්චර දුරකද කියලා එකපාරටම අදහසක් ඇතිවෙනවා . ඒත් ගව්වක් කිව්වම ඇතිවෙන්නේ කිලෝමීටරය තරම් පොඩි නැති ඉතාම විශාල දුරක් කියලා . එක ගව්වක් නෙවෙයි . ගව් ගාණක් කිව්වම අපිට හිතෙන්නේ ඉතාම විශාල දුරක් කියලා . මේ බිරිඳ දැන් තනියම ගෙදරට වෙලා ඉන්නකොට පවුලේ වගකීම් තරමක් දුරට තමන්ගේ හිස මතට වැටිලා තියෙනවා කියලා කල්පනා කරනවා. මොකද මේ වගේ ගැමි පරිසරයක කකුල් හතරේ මී හරක් , වල් ඌරෝ , වල් අලි වගේම කකුල් දෙකේ වල් අලි , වල් ඌරෝ පවා නැතිවෙන්න බැරි නැහැ . ඒ නිසා ස්වාමියා ගෙදර නැතිවෙලාවේ තමන්ට , තමන්ගේ දරුවන්ට ඇතිවෙන්න පුළුවන් අතුරු ආන්ත්‍රා ගැන බිරිඳ කල්පනාවෙන් ඉන්න ඕන . මේ අතුරු ආන්ත්‍රා සහ ගෙදර වැඩ කටයුතු , දරුවන්ගේ වැඩ කටයුතු ඔක්කොම එකතුවෙලා තියෙනවා . ඒත් ඒවා කරන්න තරම් හිත එකලස් වෙන්නේ නෑ තමන්ගේ පාළුව නිසා . හිතට ප්‍රශ්නයක් ඇති උනාම අපි කාට කාටත් වෙන්නේ අන්තිමට මේ දේ තමයි .

මේ ගීතයට මම ලියන දෙවෙනි තේරුම පදනම් වෙන්නේ විවාහය සිහිනයක් වෙච්ච තරුණ වයසෙන් මැදි වයසට පා තබපු තරුණියක් . ඔන්න එකෝමත් එක රටක අම්ම කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවෙකුයි පුතෙකුයි තව දුවෙකුයි ඉන්නවා . මේ පවුලෙන් වැඩිමල් දියණිය තමයි ඔන්න කතා නායිකාව වෙන්නේ . අනිත් අය ගොඩක් බාලයි . ඉස්කෝලේ යන වයසේ . ලොකු දුව ඉස්කෝලේ ගිහිල්ලා අවසාන වෙනවත් එක්කම වගේ හදිස්සියේම තාත්තා මිය යනවා . දැන් මෙයාලට ජීවත් වෙන්න විදියක් නෑ . ආදායමක් නැහැ . නෑදෑයෝ සලකන්නෙත් නැහැ . මේ නිසාම ලොකු දුව තීරණය කරනවා පාසැල් ගිහින් අවසාන් වෙච්ච ගමන්ම රැකියාවකට යන්න .

දැන් ලොකු දුව රැකියාවකට යනවා . පවුල ජීවත් කරන්න පුළුවන් තරම් මුදලක් උපයාගන්නත් පුළුවන් . නංගියි මල්ලියි ඉගෙන ගන්නවා . ඔහොම ඔහොම කාලය ගෙවිලා යනවා . අවුරුදු ගාණක් ගෙවිලා ගියත් තවම එයාට විවාහ වෙන්න විදියක් නැහැ . මොකද පවුලේ වගකීම් තියෙන්නේ තමන්ගේ හිස මත නිසා . කාලයත් එක්ක මේ දුවට අඳුනා ගන්න ලැබුණු කෙනෙක්ට මේ දුව ආදරය කරනවා . ඒත් එයාලට විවාහ වෙන්න තරම් හිතට හයියක් නැහැ . මොකද එය විවාහ වෙලා ගියොත් පවුලේ බර දරන්න , නංගිට මල්ලිට ඉගෙනගන්න වියදම් කරන්න කවුරුවත් නැති නිසා . අම්මව ජීවත් කරවන්න විදියක් නැති නිසා . ඉතින් මේ දෙන්නගේ ආදරය හුදෙක්ම ආදර සම්බන්ධයක්ම විතරක් වෙනවා . ඒත් ආදරයේ උණුසුම විඳින්න බැරි වීම නිසා මේ දුව තනියමම දුක් වෙනවා . ඒ දුක් වීම තමයි මේ ගීතයේ තියෙන්නේ .









සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා
ආ...

ජීවිතය කියන්නේ තත්පරයෙන් තත්පරය ගෙවී ගෙවී යන දෙයක් . ජීවිතය අපිට දවසකට උපමා කරන්න පුළුවන් . අපි ඉපදෙනවත් එක්කම ජීවිතය ආරම්භ වෙනවා . ඒ කියන්නේ ඉර පායනවත් එක්කම දවසක උදාවත් වෙනවා වගේ . ඊට පස්සේ අපි ළමා විය , තරුණ විය මැදි විය , මහළුවිය ගත කරලා මිය යාමත් එක්කම ජීවිතය අවසාන වෙනවා . උදෑසන ඉර පෑයීමත් එක්ක දවසක් උදාවෙනවා වගේ තමයි අළුයම උදෑසන දහවල සවස රාත්‍රිය කියන කාල ප්‍රාන්තර ගත කරලා දවසක නිමාවත් වෙන්නේ . මේ ගීතයේත් මුල්ම පද පේලියෙන් කරලා තියෙන්නේ අන්න ඒ දේ ජීවිතයට උපමා කිරීමක් නේද ?

තරුණ විය ඉක්මවා මැදි වියට පා තබන්න මේ දියණිය දැන් සූදානම් . සැදෑ කළුවර කුරගගා විත් කියන්නේ ජීවිතයේ තරුණ කාලය ගතවෙලා , එහෙමත් නැත්නම් ජීවිතයෙන් භාගයක් විතර ගතවෙලා දැන් ජීවිතයේ සවස් කාලයට ලං වෙනවා කියන එක . ඒ කියන්නේ දුවගේ වයස ඉක්මවා යනවා කියන එක .

දැන් මම කිව්වනේ කලින්ම මේ දුවට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා . ඉතින් දුව කල්පනා කරනවා තමන්ගේ වයස ගෙවිලා යනවත් එක්කම පෙම්වතාගේ පැල්පතක් තමන්ගේ දෑස් මානයෙන් ඈතට යනවා කියලා . ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ කියන්නේ අන්න ඒ විවාහය සිහිනයක් වීම ගැන . ඒත් එක්කම හිතනවා තමන්ගේ ගෙවිලා යන අඳුරු වෙමින් පවතින ජීවිතයට ප්‍රේමයේ ආලෝකය ලබා දෙන්න කැමැත්තෙන් ඉන්න පෙම්වතා , එහෙමත් නැත්නම් සරා සඳත් තමන්ගෙන් ඈත් වෙලා යනවා කියලා .

ඉතින් මේ නිසා මේ දුවට කියාගන්න බැරි තනිකමක් ඇතිවෙනවා . අම්මට මේ ගැන කියන්නත් බැහැ . මොකද එතකොට අම්මගේ හිතට තවත් ප්‍රශ්නයක් ඇති කරා වෙනවා . ඒවගේම නංගිලා මල්ලිලාටත් කියන්න බැහැ . ඒ නිසා මේ දුව තමන්ගේ දුක තනියමම දරාගෙන පැත්තකට වෙලා කල්පනා කරනවා .


වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා
ආ...


ජීවිතය හරියට අහස වගේ . ටිකෙන් ටික වියපත් වෙනකොට ජීවිතයටත් අන්ධකාරය එන්නේ හරියට අහසට අන්ධකාරය එනවා වගේ . මේ අන්ධකාය එන අහසට ආලෝකය දෙන්නේ සඳ . ඒවගේම වියපත්වෙන ජීවිතයට ආලෝකය දෙන්නේ සරා සඳ , එහෙමත් නැත්නම් ප්‍රේමවන්තයා , නැත්නම් ස්වාමි පුර්ෂයා . ඒත් මේ දුව කල්පනා කරනවා තමන්ගේ ජීවිතයේ හඳක් තියා අඩුම තරමේ වලාකුලක්වත් නැහැ කියලා . වලාකුලකුදු නොමැති අහසේ කියලා කියන්නේ අන්න ඒ නිසයි .

මේ දුවගේ හිතේ තියෙන දේවල් කාටවත් කියලා හිත නිදහස් කරගන්නත් විදියක් නැහැ . ඒ නිසාම තමන්ගේ සිතුවිලි ඔක්කොම මලානික වෙලා ගල් ගැහිලා තියෙනවා . ඒ නිසාම පාළුව තනිකම වැඩි වැඩියෙන් මේ දුවට දැනෙනවා . සමහරවිට දුව හිතනවා ඇති අම්මා තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැහැ කියලා . මොකද සමහර පවුල් මම දැකලා තියෙනවා පවුලේ වැඩිමලා පවුල නඩත්තු කරනවා . ඒත් අම්මට අමතක වෙනවා පවුල නඩත්තු කර කර ඉන්න නෙවෙයි මේ ළමයටත් ජීවිතයක් තියෙනවා කියලා . අම්මා වද වෙන්නේ පවුලේ අනිත් බාල ළමයින්ගේ ජීවිත ගැන . පවුලේ වැඩිමලාගෙන් ලැබෙන ආලෝකයෙන් බාල දරුවන්ගේ ජීවිතවල ඉරණම විසඳලා ඉවර උනාට පස්සේ තමයි අම්මට මතක් වෙන්නේ වැඩිමලා තවම එහෙමමයි කියලා . එතකොට වැඩිමලාගේ ජීවිතයට සැදෑ කළුවර කුර ගගා විත් නෙවෙයි හැටට හැටේම ඇවිල්ලා . කොහොමහරි ඉතින් මේ දුවත් තනියමම ඒ දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට තමන්ට නොදැනීම ඇස්වලින් කඳුළු වැල් ගලාගෙන යනවා . ( කාන්තාවක් නොවුනට චරිත තුනක් නව කතාවේ ඉසා ඉන්නෙත් මේ තැනම තමයි )


ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා
ආ....


මෙහෙම කල්පනා කර කර ඉන්නකොට දුවට හිතෙනවා තමන්ගේ පෙම්වතා එක්ක පැනලා යන්න . නැත්නම් ගෙදර ප්‍රශ්න අමතක කරලා තමන්ට පෙම්වතෙක් ඉන්නවා කියලා ගෙදර අයට කියලා විවාහ වෙලා ගෙදරින් වෙන් වෙලා යන්න . මම කිව්වනේ මේ ගීතයේ හොඳම තැන තමයි මේ අන්තරා කොටස කියලා . ඒ මේ අන්තරා කොටසේ තියෙන පළවෙනි පද දෙක නිසා .

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි

මේ දුව , නැත්නම් පෙම්වතිය කල්පනා කරනවා පැනලා යන්න . සාමාන්‍යයෙන් පැනලා යන්නේ රාත්‍රී කාලයේ නිසා මේ පද දෙක එතනට ගැළපෙනවා . ඔබේ ලෝකය , ඒ කියන්නේ පෙම්වතාගේ ලෝකය . මගේ ලෝකය , ඒ කියන්නේ පෙම්වතියගේ ලෝකය . අතර ඇත්තේ රැයක් පමණයි , ඒ කියන්නේ පැනලා යනවානම් ඒ වෙනුවෙන් ගතවෙන්නේ ඒක රැයක් විතරයි . ඊට පස්සේ දෙනාගේම ලෝක දෙක එකම ලෝකයක් වෙනවා .

එහෙමත් නැත්නම් අපි හිතමුකෝ මේ දුව තමන්ගේ අග හිඟ කම් හැම දේම එක්කම පෙම්වතා එක්ක විවාහ උනා කියලා . එහෙම උනානම් මේ පෙම්වතිය සහ පෙම්වතා මධු සමය ගත කරන රාත්‍රියේ පෙම්වතාගේ ලෝකයට පෙම්වතියත් , පෙම්වතියාගෙ ලෝකයට පෙම්වතාත් පිවිසිලා දෙන්නාගේම ජීවිත එකම ජීවිතයක් බවට පත් වෙනවා . ඉතින් ඒ වෙනුවෙන් උනත් ගතවෙන්නේ එකම එක රැයක් විතරයි . ඒ නිසා මේ දෙන්නාට ඕනනම් එකම රැයකින් එක්කෙනෙක් වෙන්න පුළුවන් කියලා පෙම්වතිය කල්පනා කරනවා .

එහෙම ටික වෙලාවක් තමන්ගේ මේ මනෝ ලෝකයේ සැරිසරමින් ඉන්න පෙම්වතිය ආයෙත් ගෙදර වැඩිමහල් දියණියගේ තත්ත්වයට පත් වෙනවා . ඊට පස්සේ බලෙන් යටපත් කරලා තිබුණු ගෙදර ප්‍රශ්න ඔක්කොම ආයෙත් හිතට එනවා . එතකොට කල්පනා කරනවා එක රැයකින් පෙම්වතාටත් පෙම්වතියටත් එකතු වෙන්න පුළුවන් උනාට ගෙදර ප්‍රශ්න ඔක්කොම අමතක කරලා වගකීම් වලින් කොහොමද වෙන් වෙලා යන්නේ කියලා .

ගවු ගාණක් දුර , ඒ කියන්නේ ගව් ගාණක් දුර අතීතයේ වෙච්ච දේවල් සහ ඒ නිසා ඇති වෙච්ච අනාගතයේ වෙන්න පුළුවන් ප්‍රශ්න නිසා ඇතිවෙන ජීවන බර තමන්ගේ හිස මත බර වෙලා කියලා දුව හිත හදාගන්නවා විවාහයට වඩා මේ ප්‍රශ්න විසඳන එක වැදගත් කියලා . එහෙම හිතලා තමන්ගේ සුපුරුදු ජීවිතය ගත කරන්න මේ පෙම්වතිය හිත හදා ගන්නවා .

ඔහොමත් නැත්නම් මේ ගීතය ගැන තවත් විදියකින් අපිට හිතන්න පුළුවන් . ඒ මෙන්න මෙහෙම .







පෙම්වතෙකුයි පෙම්වතියකුයි ඉන්නවා . දෙන්නා ආදරය කරන්න පටන් අරගෙන දැන් කාලයක් වෙනවා . ඒත් තවම විවාහ වෙන්න වයසක් නැහැ . සමහරවිට වයස තියෙනවා වෙන්න පුළුවන් . ඒත් ආර්ථිකමය ශක්තිමත් බවක් නැහැ . ඒ නිසා මේ පෙම්වතා සහ පෙම්වතිය හමුවෙලා කතා බහ කරලා යනවා එනවා විතරයි . ගෙවල් වලිනුත් මේ සම්බන්ධය ගැන දන්නවා . ඒත් ඒ අයටත් මේ දෙන්නව එකතු කරන්න විදියක් නැහැ මේ තියෙන ප්‍රශ්න නිසා . මේ පෙම්වතාගේ සහ පෙම්වතියගේ ගෙවල් පිහිටලා තියෙන්නේ එකම ගමක ගෙවල් දෙක එකකට එකක් පේන මානයේ . පෙම්වතිය දවසක් පෙම්වතා හමුවෙලා ගෙදර ඇවිල්ලා හවස් වේගෙන එනකොට තමන්ගේ ලෝකයේ තනිවෙලා මෙන්න මෙහෙම හිතනවා .

සැදෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා
ආ...

හෙමින් හෙමින් හවස් වේගෙන එනවා . කළුවර වැටීගෙන එනවා . එහෙම කළුවර වේගෙන එනකොට පෙම්වතාගේ නිවස අන්ධකාරය නිසා ටික ටික පේන්නේ නැතුව යනවා . ඒත් එක්කම දවසේ වැඩි කාලයක් පෙම්වතා එක්ක කාලය ගත කරලා හවස් වෙනකොට පෙම්වතාගෙන් ඈත් වෙලා තමන්ගේ ගෙදර තමන්ට තනි වෙන්න වෙනවා .

වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ ‍මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා
ආ...

පෙම්වතියට හිතෙන්නේ තමන්ගේ ජීවිතය වලාකුලක්වත් නැති අහසක් වගේ . ඒ අහස මලානික වෙලා තියෙන්නේ පෙම්වතියගේ සිතුවිලි නිසා . ඒ සිතුවිලි මලානික වෙලා නිසාම සිතුවිලි දාමයක් වගේ ගලාගෙන යන්නේ නැතිව ගල් ගැහිලා තියෙනවා . ඒ නිසාම තනිකම පාළුව තමන්ගේ ජීවිතයේ රජ කරන්න පටන් ගන්නවා . කඳුල පමණක් රජවෙලා කියලා තියෙන්නේ අන්න ඒ නිසා .

මේ අන්තරා කොටසත් එක්ක දෙයක් කියන්න තියෙනවා . ඒ තමයි ගොඩක් වෙලාවට පෙම්වතුන් පෙම්වතියන් ආදරයෙන් කතා කරන්න මල් නෙලන්න පටන් ගන්නේ වැඩිපුරම රෑ කාලයේ කියන එක . දවල් කාලයේ කොච්චර ලොකු ටෝක්ස් දුන්නත් , පෙම්වතුන් පෙම්වතියන් රෑට නිදා ගන්න කලින් අනිත් පාර්ශවයෙන් එන ආදර බර වදන් බලාපොරොත්තු වෙනවා . රෑ වේගෙන වේගෙන එනකොට තමයි ඒ දේවල් ගැන තියෙන බලාපොරොත්තුව තව තවත් වැඩි වෙන්නේ . ඒත් ඒවා නොලැබීම නිසා සමහර වෙලාවට දෙන්නම දුක් වෙනවා . ඒ නිසා තමයි මේ ගීතයේ මේ අන්තරා කොටසේ කඳුල පමණක් රජ කරන්නේ .

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා
ආ....


පෙම්වතිය පෙම්වතා නැති දුකෙන් පාලුවෙන් පරිපීඩිත වෙලා හිටියත් පෙම්වතිය දන්නවා අනිවාර්යයෙන්ම හෙට දවසේ ආයෙත් පෙම්වතාව මුණගැහෙනවා කියලා . ඒ නිසා තමයි කියන්නේ ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි කියලා . ඒත් මේ දේවල් එක්කම මේ දෙන්නට ජීවිතය ගෙවන්න ඕන නිසාම ස්වභාවධර්මයා විසින් වෙනමම ජීවන බරක් හිස මත පටවලා තියෙනවා . ඒ නිසා පෙම්වතිය හිතනවා පෙම්වතා නැති දුකට ඒ ගැනවත් හිතන්න හිතට නිදහසක් නැහැ මගේ මේ හිස මත පැටවිලා තියෙන ගවු ගණන් දුර ජීවිතේ බර නිසා කියලා .

ඔන්න මට හිතෙන තේරුම් තුනම ලියලා දැම්මා . මමනම් හිතන්නේ මේ ගීතයට මම ලිව්ව දෙවෙනි තුන්වැනි තේරුම් ටිකක් වැඩිපුර ගැළපෙනවා කියලා . ඔයාලා කියවලා බලලා කියන්නකෝ කොහොමද කියලා . අපි එහෙනම් බලමු දැන් මේ ගීතයේ සංගීතය කොහොමද කියලා .

මේ ගීතයේ සංගීතය ගැන මට අදහසක් ආවේ අදක ඊයෙක නෙවෙයි . මේ ගීතය ගැන මට තියෙන පරණම මතකය තියෙන්නේ මම වයලීන් වාදනය කරන්නත් ඉස්සර කාලේ වගේ කියලා තමයි මට මතක . ඒ කාලේ මම ගාව Double G බටනලාවක් තිබුණා මතකයි .

ඒ කාලේ ස්වර්ණවාහිනී නාලිකාවෙන් , හෙම නලින් කරුණාරත්න මහත්මයා ඉදිරිපත් කළා සංගීත ශිල්පීන් ගෙන්වලා කරන වැඩසටහනක් . මට මතක හැටියට සෙනසුරාදා ඉරිදා දවස්වල රාත්‍රී 7 ඉඳලා 8 වෙනකල් තමයි ඒ වැඩසටහන තිබුණේ . මේ පැය තුල එදාට එන ශිල්පියා හෝ ශිල්පිනිය තමන්ගේ ගීතවල අතීත කතාව ගැන කියමින් , තේරුම ගැන කියමින් ගීත ගායනා කරනවා . මට මතකයි ඒ වැඩසටහනට සුනිල් එදිරිසිංහ , වික්ටර් රත්නායක , නන්දා මාලනී කියන අය පැමිණියා .

නන්දා මාලනී මහත්මිය ආව දවසේ තමයි  මේ ගීතයේ සංගීතය ගැන අදහස ඔලුවට ආවේ . එදා කොහොමහරි බටනලාවෙන් පිඹ පිඹ ඔය ගීතය වාදනය කර කර හිටියා . පස්සේ එහෙමම ඒ ගීතයත් මගේ ප්ලේ ලිස්ට් එකට එකතු උනා .

මේ ගීතයේ තියෙන්නේ පහතරට ශාන්ති කර්ම ගීතවල නාද මාලාවක් කියලා තමයි මට දැනෙන්නේ . අපේ ඉස්කෝලේ කළා උළෙල වෙනුවෙන් මේ ගීතය ගායනය කරනකොට කිව්වේ මේ ගීතයේ කුවේණි අස්න නාද මාලාව තියෙනවා කියලා . ඒත් පහතරට ශාන්තිකර්ම ගීත වල නාද මාලාව තමයි මටනම් ඇහෙන්නේ .






පොදුවේ බැලුවම ගීතයේ සංගීතය සම්පූර්නයෙන්ම වගේ නිර්මාණය කරලා තියෙන්නේ පහල ස්වර ඇසුරු කරගෙන . ගීතයේ  තේමා වාදනය සහ අතුරු වාදන ඔක්කොටම වාදනය වෙන්නේ එකම වාදනයක් . මේ වාදනය ආරම්භ වෙන්නේ වයලීන් සහ චෙලෝ වාදන භාණ්ඩ වලින් වාදනය කරන වාදනයක් එක්ක . වයලීන්වල වාදනය කරන්නෙත් පහල ස්වර . ඒ පහල ස්වර වල තියෙන මන්ද්‍ර බව මදි නිසාම මේ ගීතයට චෙලෝ එකකුත් එකතු කරගෙන තියෙනවා . එතකොට හොඳ බර හඬක් ඇතිවෙනවා .

රාත්‍රී කාලය , සහ පාළුව කියන හැගීම් ඇති කරන්න මේ ආරම්භයම ඇති කියලයි මටනම් හිතෙන්නේ . ඒ පාලු බව වැඩි කරන්න ඒ වෙනුවෙන් තාලය සපයන තබ්ලාව සහ බේස් ගිටාර් වාදනය හොඳින් දායක වෙනවා . බේස් ගිටාර් එකක් වාදනය වෙනවද නැත්ද කියලා හිතාගන්න බැරි තරමටම සංයමයක් ඇතුව තමයි බේස් ගිටාර් එක වාදනය වෙන්නේ .

පෙර වාදනයේ මේ වයලීන් චෙලෝ වාදනයේ අවසාන කොටස් දෙකට සිතාර් වාදනයකුත් එකතු කරලා තියෙනවා . ඒ නිසා රාත්‍රී බව ඇති කරන්න වයලීන් චෙලෝ කියන දෙන්නා ආරම්භය ලබා දුන්නට පස්සේ සිතාරයටත් ඒ දේම කිසිම අපහසුවක් නැතිව පුළුවන් වෙලා තියෙනවා .

ඊට පස්සේ බටනලා වාදනයක් පටන් ගන්නවා . මේ බටනලා වාදනය කරන්න බටනලා දෙකකින් . එකම ස්වර ඉහල සප්තකයකිනුයි පහල සප්තකයකිනුයි වාදනය කරනවා . එතකොට තබ්ලාවේ වාදනයත් වෙනස් වෙනවා . මේ බටනලා වාදනය හොඳට අහගෙන හිටියොත් ඔයාලට අහන්න පුළුවන් වාදකයා තමන්ගේ වාදනය අතරේ වාදනයට අවශ්‍ය සුළං පහර හති දානවා වගේ නැවතත් තමන් වෙත ඇදලා ගන්න සද්දයක් .

සාමාන්‍යයෙන් ඒ සද්දය එන්නේ නැති වෙන්න තමයි වාදනය කරන්නේ . ඒත් මේ ගීතයේ ඒ ගැන හිතලා නැතුවද , නැත්නම් හිතලාම ඇති කරලද කියන්න දන්නේ නැහැ ; ගීතයට කොහොම හරි ඒ හති දාන හඬ හොඳට ගැළපිලා තියෙනවා . මේ ගීතයේ තියෙන්නෙත් වැළපුමක් . ඒ වැළපුම එක්කම මේ හති දාන හඬ නිසා දැනෙන්නේ හරියට ඉකිබිඳිනවා වගේ හඬක් .


                                   



දැන් ඔන්න ගීතය පටන් ගන්නවා . ගීතය පටන් ගත්තට පස්සේ පළවෙනි පද දෙක සාමාන්‍ය විදියට ගායනා කරගෙන යනවා . දෙවෙනි පද දෙක ගායනා කරන්න පටන් ගන්න වෙලාවට තමයි වයලීන් චෙලෝ දෙන්නා තමන්ගේ වාදනය එකතු කරන්න පටන් ගන්නේ . ගීතය ස්වර ඔස්සේ ටික ටික ඉහලට යනවා වගේ දැනුනට ගයනාව අතරින් ඇහෙන මේ වාදනය ටික ටික පහල ස්වර හොයාගෙන මන්ද්‍ර සප්තකය ඔස්සේ ගමන් කරනවා . මේ චෙලෝ වාදනය හොඳ සංයමයෙන් ඇහුවොත් තමයි අහගන්න පුළුවන් . නැත්නම් අනිත් වාද්‍ය භාණ්ඩ එක්ක වෙන් කරලා අහන්න බැරි තරම් මේ පහල හඬ වාදනය වෙනවා .

අන්තරා කොටස් වල පලවෙනි පද දෙක වෙනස් උනාට දෙවෙනි පද දෙක ගායනා වෙන්නෙත් ස්ථායි කොටසේ දෙවෙනි පද දෙක වගේමයි . ඒ නිසා ඒ කවුන්ටර් පාට්ස් ටිකම තමයි අන්තරා කොටසේත් වාදනය වෙන්නේ .

ගීතයේ වාදනයෙන් මම කැමතිම තැන පෙර වාදන අතුරු වාදන වල ආරම්භක වයලීන් චෙලෝ වාදනය . ගීතයේ තියෙන හැගීම්බර ස්වභාවය ඒ තැන්වලින් හොඳට ඉස්මතු වෙලා පෙන්නනවා . ගීතයේ . අනිත් වාදනය සාමාන්‍ය විදියට වාදනයේ වෙනවා . ගිටාර් එකකින් කෝඩ්ස් වාදනය කරනවා . ස්වර පුවරුවත් අතරින් පතර කෝඩ්ස් වාදනය කරමින් ගීතයට දායක වෙනවා . ඒ එක්කම තවත් වැදගත් දෙයක් තමයි ගීතයේ තාලස්ථාන වල ඇහෙන ටිරිටිරිටිස් කියන හඬ . ඕක ඇති කරන්නේ මෙන්න මේ සංගීත භාණ්ඩයෙන් . ඔය කූර මේ ලී මිට තියෙන උපකරණයේ කට්ට වල ඇතිල්ලුවම තමයි ටිකි ටිකි ගාලා ඒ හඬ ඇතිවෙන්නේ . රෑ කාලයේ වටපිටාවෙන් ඇහෙන රැහැයියන්ගේ , ගෙම්බන්ගේ හඬට ටිකක් ඒ හඬ සමානයි .





ගීතය ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි . කියවලා බලලා අදහස් දක්වන්නකෝ බලන්න . එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Tuesday, January 19, 2016

වයලීනෝ සබැඳි කතා ( 3 ) සංගීත කතා


                                        Picture



දැන් හොල්මන් කතා ලිව්වා ඇති කියල මම අන්තිම කතාවේ කිව්වනේ . එහෙනම් මේ මුල පුරන්න හදන්නේ ආයෙත් මියැසියේ රසකතා සංගීතයෙන් පුරවලා එව්වා කරලා මේවා කරලා ගන්න . වයලීනෝ සබැඳි කතා පළවෙනි ලිපිය සහ දෙවෙනි ලිපිය පබ්ලිෂ් කරලා අපි හිතුවේ ආයෙත් වයලීනෝ සබැඳි කතා ලියන්නේ නෑ කියලා . ඒත් දනුල මල්ලිගේ බලවත් බවලත් ඉල්ලීම පිට ඔන්න තුන්වෙනි ලිපියකුත් ලියන්න උනා . උනා කියන්නේ දනුලගෙන් ප්‍රශ්න ආවා . මම උත්තර දුන්නා . මේ උත්තර බලලා හිතන්න එහෙම එපා මූ මහා පොරක් කියලා හිතන් ඉන්නවා කියලා . මමනම් වයලීන් ගහන්න දන්නෙත් චුට්ටයි . ඒ චුට්ටත් දැන් බැහැ . මේ ලිපියේ කියලා තියෙන්නේ වයලීනෝ සංගීතයට කොහොමද ආවේ කියලා .

මේ තියෙන්නේ දනාගේ පලා මල්ල 

වයලීනෝ සබැඳි කතා ( 1 )

වයලීනෝ සබැඳි කතා ( 2 ) 

අපි එහෙනම් දනාගේ පලාමල්ලේ පලවෙච්ච වයලීනෝ සබැඳි කතා ලිපිය මියැසියේ රසකතාවල ඉඳගෙන කියවමු . ඔන්න එහෙනම් කියවන්න . ඔන්න,,,,,,,,,,,,,,,,,,, ඔන්න,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන, එහෙමත් නැත්නම් "වයලීනෝ" කියන්නෙ කවුද කියලා මගේ පලා මල්ලට ගොඩ වදින හුග දෙනෙක් දැන් දන්නවා. ඒ ඉතින් මීට කලින් වයලීනෝගෙ වැඩකිඩ ඉලක්ක කරගෙන "වයලීනෝ සබැදි කතා", "වයලීනෝ සබැදි කතා II" කියලා ලිපි දෙකක්ම ලියපු නිසා. වයලීනෝ එක්ක කරපු පළවෙනි සාකච්ඡාවෙන් අපි ඉලක්ක කළේ අපිට නොපෙනෙන ලෝකය ගැන. දෙවෙනි සාකච්ඡාවෙන් අපි ඉලක්ක කළේ අපේ රටේ අලි ඇතුන් ගැන. මේ ලිපි දෙකටම හිතා ගන්නවත් බැරි තරමේ හොද ප්‍රතිචාර ලැබුණා. ජීවිතේට දැකපු නැති අය හිටං මේ සාකච්ඡාවන් ගැන ධනාත්මක ප්‍රතිචාර ලබා දුන්නා. මේ ලෑස්තිය තුන්වෙනි පියවර ඉස්සරහට තියන්නයි. වයලීනෝ එක්ක කරන්න ගත්ත සාකච්ඡාව, දැන් කෙළවර වෙන්න යන්නෙ සාකච්ඡා මාලාවකින්. දෙවෙනි සාකච්ඡාව කරනකොට නම් තුන්වෙනි ලිපියක් ගැන ලියන්න බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. මොකද එකම පුබ්බඩයා ගැන, ආහ් නෑ සමාවෙන්න! එකම පුද්ගලයා ගැන, දීර්ඝ කාලයක් තිස්සෙ කියවනකොට ඕනම එක්කෙනෙක්ට එපා වෙනවනෙ.

අන්තිමටම කරපු ලිපියේ, අන්තිම පරිච්ඡේදයේ "කොහොම හරි මේ ලිපියත් එක්ක වයලීනෝගේ සම්පූර්ණ විෂය පථයම ආවරණය වෙනවා" කියලා ලිව්වට මොකද, අපිට වයලීනොගේ සංගීත කලාව සහ ගීත විචාර ගැන විස්තර දැන ගන්න අමතක වුණා. ඒ නිසා මේ සාකච්ඡා මාලාවේ තුන්වෙනි පිටුව වෙන් වෙන්නේ වයලීනෝගේ සංගීත කලාව, ගීත විචාර සහ අත්දැකීම් සම්බන්ධ කරුණු අවුස්සන්නයි. ඒ වගේම මියැසියේ රසකතාවල "මියැසි රස"වල තිරය පිටුපස වෙන දේවල් දැන ගන්න එකත් අරමුණක් වුණා. අන්තිමටම ලියපු ලිපියේ මෙහෙම කොටසකුත් දැම්මා. "අප්පච්චි තුන්වෙනි පාර ඉල්ලන්න ගිහින් වෙච්ච හරිය මදැයි! ඒ නිසා වයලීනෝ සබැදි කතා IIIක් නම් එන්නේ නෑ." මේකට ප්‍රති උත්තරයක් විදිහට මියැසියේ රසකතාවල වයලීනෝ සටහනක් ලියලා තිබ්බා "ඔය කිව්වට තුන්වෙනි කොටසකුත් එන්න පුළුවන්" කියලා. අන්තිමේදි ඉතින් දනාගේ අනාවැකිය වැරදුනා. වයලීනොගෙ අනාවැකිය හරි ගියා. ඒ නිසා වයලීනෝ සබැදි කතා IV ගැන, මේ වෙලාවෙදි මම මොකූත් කියන්න යන්නෙ නෑ. දැන් එහෙනං අපි සාකච්ඡාවට බහිමු....

01. කොහොමද අපේ පහුගිය ලිපිවලට ලැබුණු ප්‍රතිචාර?
**   ගොඩක් දෙනෙක් ඒ ලිපි දෙකම කියවලා තිබුණා. වයලීනෝ සබැඳි කතා පළවෙනි ලිපියට, දෙවෙනි ලිපියට වඩා ප්‍රතිචාර තියෙනවා. යක්කු භූතයෝ ගැන වැරදි වැටහීම් තියාගෙන හිටපු ගොඩක් දෙනෙක් ඒවා ගැන තරමක හරි අවබෝධයක් ඒ ලිපිය හරහා ලබාගෙන තිබුණා. ඒවගේම තමයි මම කවුද කියලා ගොඩක් දෙනෙක් අඳුරගෙන තියෙන්නෙත් ඒ ලිපිය නිසා. නැත්නම් මම අනන්‍යතාවය ලේසියෙන් හොයාගන්න බැරිවෙන විදියටනේ "වයලීනෝ" නමින් ලියාගෙන හිටියේ. ඒ අනන්‍යතාවය හෙළි කිරීම නිසා මට මග තොටේ බැහැලා යන එනකොට සමහර අයගෙන් හොඳ හොඳ ප්‍රතිචාරත් ලැබුණා. මගේ පස්සෙන් ඇවිත් “මල්ලි මල්ලි වයලීනෝ කියන්නේ ඔයාද? ඔයාගේ ලිපි මම කියවනවා. දිගටම ලියන්න“ කියලා ඒ අයගෙන් මට සුභ පැතුම් ලැබෙනවා. අලි ගැන ලිව්ව ලිපිය, අලින්ට කැමති අය ගොඩක් දෙනෙක් කියවලා තිබුණා. අලි ගැන මම ලිව්ව ලිපිවල සාරය ඒ ලිපියේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා කීප දෙනෙක්ම කිව්වා. හැබැයි මමත් කැමති ඔය ලිපි දෙකෙන් මුල ලිපියට.


02. ඊට පස්සෙ මොනවද ලියපු අලුත් ලිපි?
**  සිංදු ගැන ලිව්වා, කෑම හදන හැටි ගැන ලිව්වා, තව යක්කු භූතයෝ ගැනත් ලිව්වා. සීයා මුණුබුරා දෙන්නා වටා ගෙතෙන ගුරුකම් සම්බන්ධ කතා මාලාව තමයි අන්තිමටම බ්ලොග් එකේ ලියවුණේ. වෙනදා ලියන කතාවලට වඩා මේ වතාවේ ලිව්ව "නොපිට ගිය සොහොන් කාලි පූජාව" කතා මාලාවයි, "මලයාල නාග වෛරෝඩිය" කතා මාලාවයි ගොඩක් දෙනෙක් කියවලා තියෙනවා. "මලයාල නාග වෛරෝඩිය" තමයි දැන් බ්ලොග් එකේ ලියමින් පවතින්නේ. ගීත ගැන ලිව්ව අන්තිම ලිපිය "සඳකඩ පහනට තවත් කැටයමක්" කියන ලිපිය. සඳකඩ පහනට ගාවලා තියෙන ගණිකාව එතනින් අයින් කරලා ඇත්ත පිළිගන්න, මිනිස්සුන්ගේ තියෙන අකමැත්ත නිසාද මම දන්නේ නෑ, ඒ ලිපිය නම් වැඩිය කවුරුවත් කියවලා තිබුණේ නෑ. ඉස්සරහට ලියන දේවල් ගැන බලාපොරොත්තුවක් දෙනවනම්, "මලයාල නාග වෛරෝඩිය" ලිව්වට පස්සේ ලියන්නේ ඉන්නේ "සැදෑ කළුවර කුර ගගාවිත්" කියන ගීතය ගැන. හැබැයි උපාධිය ඉවරවෙනකල් ලිවීම නවත්තන්නත් හිතාගෙන ඉන්නවා. තවම තීරණයක් නැහැ.


03. දේව සහ යක්ෂ කතා, අලි ඇතුන් ගැන වගේම වයලීනෝ සිංදු ගැන ලියන්නත් හරිම ආසයි නේද?
** මේ ප්‍රශ්නයට උත්තරය දෙන්න ලොකු කතාවක් තියෙනවා කියන්න. මම අන්තිම වතාවට උසස්පෙළ ලියලා ගෙදර ඉන්න කාලේ තමයි සමන් දේවාලය ගැන, සමන් දෙවියන් ගැන ලියන්න ඕන කියලා හස්තිනාපුරය බ්ලොග් එක පටන් ගත්තේ. මේ කාලේ සිංදුවා අයියත් බ්ලොග් එකක් ලියන්න ඕන කියලා බ්ලොග් එකක් අටවගෙන හිටියා මට මතකයි. මම සද්ද නැතුවම ලියන්න ගත්තට පස්සේ මගේ බ්ලොග් එකේ පෙනුම ගැන ඉස්සෙල්ලම විවේචනය කරේ සිංදුවා අයියා තමයි. මට තාමත් මතකයි ඒ කාලේ මගේ බ්ලොග් එක හරිම අඳුරු පාටවල් වලින් මම Design කරලා තිබුණේ. සිංදුවා අයියගේ වැඩේ කොයිවෙලෙත් “මොකක්ද බං ඒ පාට, ඕක දැක්කම හිතෙන්නේ මහා අඳුරු ගතියක්. ටිකක් ඇහැට එළිය වැටෙන පාටවල් දාපන්. එතකොට මිනිස්සුන්ට කියවන්න ආස හිතෙනවා“ කියලා කියන එක.


මම බැරිවෙලාවත් බ්ලොග් එක ගැන ඇහුවොත් කියන්නේ ඕකම තමා. ඒත් මම දන්නේ නෑ මගේ ඇහේ අවුලක්ද කියලා, මම තාමත් හොයන්නේ අඳුරු පාටම තමයි. හැබැයි තොරතුරු තාක්ෂණ විෂය එක්ක හැමවෙලේම ගැටෙන ඒවගේ කෙනෙක් කියන දේක ඇත්තකුත් තියෙනවා කියලා මට තේරුනා. ඒත් ඉතින් මම ඔය පාටවල් වෙනස් කරේ කැමැත්තකින් නෙවෙයි. ඉතින් අපි දෙන්නම ඔහොම ඔහොම බ්ලොග් ලියන එක ගැන කතා කරන්න පටන් ගත්තා. කොහොමත් උසස්පෙළ ලියලා ඒ කාලේ ගෙදර වෙන කරන්න වැඩකුත් නැති නිසා දවසින් වැඩි හරියක් සිංදුවා අයියලාගේ ගෙදර තමයි කාලය ගත කරන්නේ. ඔය කාලේ සිංදුවා අයියා "අන්තිම පේලිය" කියලා වෙබ්සයිට් එකක් හොයාගෙන තිබුණා. රස කතා යන හොඳ Site එකක්. පස්සේ එයා ඒකෙ Account එකක් හදාගෙන සිංදු ගැන රස කතා ලියලා Publish කරලා තිබුණා. මම ඉතින් එහෙ ගියාම මාත් එක්ක ඔය Site එකේ විස්තර කිව්වා. කියලා මුහුණුපොත හරහා මට ඒ Site එකේ Link එක එව්වා, “මේ Site එකට ඇවිත් බලන්න“ කියලා. පස්සේ මමත් ඇවිත් කතා දෙක තුනක් කියවලා බැලුවා.

ඔය අතරේ තමයි සිංදුවා අයියා ඔය Site එකට ගීතවල තේරුම් ගැන ලියන්න පටන් ගත්තේ. පස්සේ මම ඒ ලිපි කියවන්න පුරුදු උනා. ඊට පස්සේ ඒ සයිට් එකේ අනිත් අය ලියන වෙනත් ලිපිත් කියවන්න පුරුදු උනා. පස්සේ ඒවට Comment කරන්න ඕන නිසා මමත් Profile එකක් හදන්න ඕන කියලා හිතලා Profile එකක් හැදුවා. එවෙලේ තමයි "වයලීනෝ" කියන නම දැම්ම නම් හොඳයි කියලා මට හිතුනේ. මොකද "සිංදුවා" කියලා සිංදුවා අයියා ඒ නම දැම්මේ සංගීත පසුබිමක් තියාගෙන ලියන්න ඕන නිසා. මම කල්පනා කරා මමත් දැන් වයලීනය නිසා, ඒ කාලෙත් ටිකක් ප්‍රසිද්ධ නිසා වයලීන් එකත් එක්කම ගැළපෙන නමක් දැම්ම නම් හොඳයි කියලා. ඉතින් "වයලීනෝ" නම මතක් උනා. ඒක දාලා Profile එක හැදුවා. ඊට පස්සේ තමයි ඒ නම කට්ටියම දැන හඳුනා ගත්තේ. දර්ශන ප්‍රභාත් නමින් තමයි මම බ්ලොග් එක ලිය ලිය හිටියේ.

ඊට පස්සේ Blogger User Account එකත් හැදුවා වයලීනෝ නමින්ම. අන්තිම පේලියේ සිංදුවා අයියා ලිව්ව ලිපිවල මමත් ඇතුළුව අපේ ඉස්කෝලේ සංගීත කණ්ඩායම ගැන විස්තර ඇතුලත් වෙලා තිබුණා. පස්සේ සිංදුවා අයියයි තව අන්තිම පේලියේ ලිව්ව අයයි කියන්න ගත්තා මටත් ලියන්න කියලා. මම ඉස්සෙල්ලම ලිව්වේ "ගජමන් නෝනා" ගැන ලිපියක්. පස්සේ වෙන වෙන ඒවත් ලිව්වා. අන්තිමට සිංදුවා අයියගේ අඩිපාරේම යනවා කියලා හිතාගෙන මමත් ගීත විචාර ලියන්න පටන් ගත්තා.

​සිංදුවා අයියා නිසා තමයි ගීත විචාර ලියන්න පටන් ගත්තේ. ඒ නිසා ගීත ගැන  ලිව්ව දේවල්වල මොනවා හරි වටිනා කමක් තියෙනව නම් ඒ ගෞරවය එයාට තමා හිමි වෙන්න ඕන. සිංදුවා අයියා වැඩිපුරම ඉලක්ක කරන්නේ ගීතවල ඇත්ත
විස්තර, ඇත්ත තේරුම් ඉදිරිපත් කරන්න. මම ගීත දිහා බලන්නේ ඊට වඩා නිදහස් විදියට. ඒ නිසා සමහර ගීතවලට අසාධාරණයක් වෙනවත් ඇති. ඒත් මම ඒ නිදහසට කැමතියි. ඔන්න ඔහොම තමයි ගීත ගැන ලියන්න ආසාවක් ඇති උනේ.


04. කොහොමද සංගීත කලාවට පිවිසෙන්නෙ?
** ඒක කලින් Plan කරගෙන ඉඳලා කරපු දෙයක් නෙවෙයි. දන්නෙම නැතුව සංගීත විෂය තෝරාගත්තා. පොඩි කාලේ මම චිත්‍ර අඳින්න තමයි කැමති. දිය සායම් පැස්ටල් හැමවෙලේම වගේ මගේ අත කිට්ටුව තියෙනවා. මට හොඳට මතකයි අපේ සීයා මියගිය වෙලාවෙත් මම චිත්‍රයක් ඇඳ ඇඳ ඉඳලා නවත්තලා තිබුණේ. ඒ මෙන්න මේ චිත්‍රය බලාගෙන ඒකම පිටපත් කරලා ඇන්දේ. දියසායම් වලින් බාගෙට පාට කරලා තිබුණේ. ඉතින්


Picture

Photo Credits - www.wikipedia.org

අම්මලත් හිතාගෙන හිටියේ මම චිත්‍ර කරයි කියලා. ඒත් හත වසරට ආවට පස්සේ මටම හිතිලා මම සංගීත විෂය තෝරාගත්තා. බලපෑමක් තිබුණේ නෑ කියලා කිව්වට, මම සංගීතය කරනවට අපේ අම්මා කැමැත්තෙන් හිටියේ. අම්මට ගීත ගායනා කරන්න පුළුවන්. අම්මලා ගමේ නාට්‍ය පුරුදු කරලා ඒ කාලේ ප්‍රසංග එහෙම කරලා තිබුණා. ඒ නිසා අම්මගෙ නම් කැමැත්තක් තිබුණා මම සංගීතය කරනවට. ඒත් බල කරේ නෑ. මම නිකමට වගේ හිතලා "ඔන්නොහෙ සංගීතය කරනවා" කියලා ඒක තෝරාගත්තා.

මුල කාලේ සංගීතය කරාට ඒකට කැමැත්තක් තිබ්බේ නෑ මගේ. මොකද ස්වර ප්‍රස්තාර මතක තියාගන්න වගේ දේවල් නිසා. මට මුල්ම වාරයේ සංගීතයට ලකුණු 64 යි. සංගීත මිස් ලකුණු අඩු අය නැගිට්ටවලා හොඳ දේශනාවක් දුන්නා. මාත් ඔන්නොහෙ හිටියා මොකාද එකා වගේ ඒක අහගෙන. ඔන්න හත වසරේ අන්තිම වාරයේ විභාගය ලියලා දැන් Paper බලලා ලකුණු දෙනකල් අපි බලාගෙන ඉන්නවා. දවසක් සංගීත මිස් පාරේ ඉන්නවා දැකලා මමයි මගේ යාළුවෙකුයි දුවලා ගිහින් ඇහුවා මිස්ගෙන් "මිස් Paper බැලුවද?" කියලා. මිස් කිව්වා "ඔව්. Paper බැලුවා. ලකුණු 100ක එක්කෙනෙක් ඉන්නවා. කවුද කියලා ඊළඟට සංගීතය තියෙන දවසට බලමු" කියලා. මිස් ඊට පස්සේ දවසක සංගීත කාමරේට ගෙන්නෙව්වා සංගීතය කරපු හැමෝම. මම දන්නෙත් නෑ. මිස් දන්නෙත් නෑ. මිස් එකපාරටම මගේ නම කිව්වා. මම Dim වෙලා නැගිට්ටා, මේ පාරත් කෑමක්ද දන්නේ නෑ කියලා. ඊට පස්සේ මිස් මට Paper එක දුන්නා. ඒත් මුකුත් කිව්වේ නෑ. එවෙලේ තමයි මම දැනගත්තේ ලකුණු 100ක් තියෙන්නේ මට කියලා. මිස් පංතියට ඇහෙන්නවත් මුකුත් කිව්වේ නෑ. මිස් කිව්වා පන්තියේ හැමෝම මේ Paper එක බලන්න කියලා. ඔන්න ඔහොම Paper එක පංතිය වටේම ගියා. සංගීත මිස් මාව අඳුරගත්තේ එදා තමයි.​


Picture



Picture


ඊට පස්සේත් සංගීත විෂයට මට 99 තමයි ලැබුණු අඩුම ලකුණ උනේ. දවසක් සංගීත තරගවලට ගායනා කණ්ඩායමට ගායකයෝ ඕන කියලා, මිස් කිව්වා අපිට ඉස්සරහට ඇවිත් සිංදුවක් කියන්න කියලා. මම ඉතින් ඕවා කරන්න කැමති නෑ. මම හිතලම සිංදුව Out කියලා ඒකෙන් ගැලවුණා. පස්සේ එහෙම සිංදු කියන්න බෑ කියලා Note වෙච්ච අයට මිස් කිව්වා වයලීන් ගන්න කියලා. එදාම කොහොම හරි මිස් වයලීන් ගහන අයියා කෙනෙක් ලවා අපිට වයලීන් වාදනයක් කරවලා පෙන්නුවා. එදා මට වයලීන් එකට ආස හිතුනා. මම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච කාලේ අපේ ගෙදර අය මට බයිසිකලයක් අරන් දෙන්න හැදුවා ශිෂ්‍යත්වේ පාස් උන නිසා. ශිෂ්‍යත්ව විභාගය පාස් උනාම බයිසිකලයක් අරන් දෙනවා කියන එක, ඒකාලේ නිකං භාර ඔප්පු කරනවා වගේ එකක්. ඒත් මම ඒ කාලෙම ඒක එපා කියලා මුකුත්ම ඕන නෑ කියලා හිටියේ. ශිෂ්‍යත්වේ පාස් වෙලා අවුරුදු දෙක තුනක් වෙලා තියෙන වෙලාවක, වයලීන් එක ඕන නිසා මම ශිෂ්‍යත්වේ මතක් කරලා අම්මලාගෙන් වයලීන් එකක් අරන් ඕන කිව්වා. අම්මලා මොනවා උනත් අපේ ආච්චි අම්මා ඕකට කැමති උනේ නෑ. පස්සේ මම කරේ සද්ද නැතුවම සල්ලි එකතු කරපු එක. වයලීන් එකකට දැන් සල්ලි තියෙනවා.

ඒත් තනියම වයලීන් එකක් ගන්න හයියක් නෑ. ඒ නිසා ආයෙත් කිව්වා වයලීන් එකක් ඕන, මම ගාව සල්ලිත් තියෙනවා කියලා. එයාලා සල්ලි තියෙන එකවත්, මොකක්වත් ගණන් ගත්තේ නෑ. ආච්චි අම්මා එපා කිව්ව නිසා. පස්සේ ඉන්නම බැරි තැන මම මගේ නිදාගන්න කොට්ටයේ, කොට්ට උරයේ රතු පාට ප්ලැටිග්නම් එකකින් ලොකු වයලීන් එකක රූපයක් ඇන්දා. ඊට පස්සේ දවසෙම අම්මා මට සල්ලි දීලා කිව්වා සංගීත මිස්ට කියලා වයලීන් එකක් ගෙන්න ගන්න කියලා. ඔන්න ඔහොම තමයි මට වයලීන් එකක් ලැබෙන්නේ. හැබැයි ඊට කලින් අපේ පන්තියේ ගොඩක් දෙනෙක් වයලීන් අරන් තිබ්බා. මගේත් තියෙන මහන්තත්තකමට ඒ වයලීන් අල්ලන්නවත් මම කැමති උනේ නෑ. මම මටම වයලීන් එකක් ලැබෙනකල්ම බලාගෙන හිටියා. නැත්නම් මට ඊට කලින්ම වයලීන් ගහන්න ඉගෙන ගන්න තිබුණා.

2008.09.11 වෙනිදා තමයි වයලීන් එකක් අපේ ගෙදරට එන්නේ. එදා වයලීන් එක ඉස්කෝලෙට අරන් ඇවිල්ලා ඒකෙ කම්බි එහෙම හයි කරලා හදලා දුන්නේ අපේ සංගීත මිස්ගේ මහත්තයා. ඒ සර් රත්නපුර සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂක (සංගීත). අපේ ඉස්කෝලේම උගන්වලා තමයි පස්සේ මේ තනතුර සර්ට ලැබෙන්නේ. ඉතින් සර් තමයි වයලීන් එකේ කම්බි එහෙම හයි කරලා දුන්නේ. එදා වයලීන් එක අතට දීලා සර් ඉස්සෙල්ලම ඉගැන්නුවේ වයලීන් බෝ (අළුව) කම්බි උඩ කොහොමද තියාගන්නේ, එහා මෙහා ගෙනියන්නේ කියලා. ඉතින් මම වයලීන් එක ගෙදර අරන් ආවට ගෙදර අයට ඇහෙන්නේ ඕක ගහන්නේ නෑ. නිකං වයලීන් එක අරන් බලලා තියනවා. ඉස්කෝලේ තිබුණා සංගීත පංතියක් හැම සතියකම බ්‍රහස්පතින්දා. ඒක නොමිලේ කරේ අපේ මිසුයි, මිස්ගේ මහත්තයයි. මමත් දැන් වයලීන් එකක් තියෙන නිසා ගියා පංතියට. ඒකෙ මුල්ම දවසේ තමයි සර් ස්වර ලකුණු කරලා දුන්නේ. ඊට පස්සේ දිගටම වගේ මම පංතියට ගියා. ඔය කාලේ මම මට ඇහෙන ඇහෙන සිංදු වයලීන් එකෙන් වාදනය කරනවා. ස්වර තියෙන තැන් දැනගත්තම ඕවා හොයාගෙන වාදනය කරන එක එච්චර අවුලක් උනේ නෑ මට.

මම දැනගෙන හිටියෙත් නෑ අනිත් අයට ඒක අමාරු දෙයක් කියලා. පස්සේ දවසක් ඉස්කෝලේ පන්තියේ සංගීතය උගන්නන වෙලාවේ මිස් අපෙන් බිලාවල් රාගය වාදනය කරවලා ලකුණු දැම්මා. එදා තමයි මිස්ට මාව වයලීන් එක නිසා Note උනේ. ඊට පස්සේ වයලීන් එක එක්ක මගේ ගනුදෙනු වැඩි උනා. ඔය කාලේ අපේ ඉස්කෝලේ කලා උළෙලකට රෝහණ බැද්දගේ මහත්මයා ආවා. එදා මිස් මාව ජාතික ගීය වාදනය කරන කණ්ඩායමට එකතු කරගත්තා. එදා තමයි වගකිවයුතු විදියට වයලීන් වාදනයක් කරපු පළවෙනි දවස. ඊට පස්සේ මාව ඉස්කෝලේ සංගීත කණ්ඩායමට එකතු කරගන්න කියලා අපේ සංගීත මිස්, ඉස්කෝලේ සංගීත කණ්ඩායම භාරව හිටපු අනිත් සංගීත සර්ට කිව්වා.

මම ඉතින් ඒ සංගීත කාමරයට ගියාම ඒකෙ රජ කරගෙන හිටියේ ඔය "සිංදුවා" අයියලාගේ වයසේ අයියලා. මම දන්නේ නෑ ඒ කාලෙත් වයලීන් ගහන්න එයාලට වඩා මට පුළුවන් කමක් තිබුණා කියලා. සංගීත තරගවලට පුරුදු වෙනකොට මම වෙන වෙන සිංදුත් වාදනය කරනවා. ඕවා අහගෙන ඉඳලා දවසක් සර් නැති වෙලාවේ ඔය අයියලා මාව තියාගෙන මැඩේව්වා. ඒ කියන්නේ එයාලා සිංදු එක එක මතක් කරනවා. මම ඒවා වාදනය කරලා පෙන්නන්න ඕන. අමරදේව, වික්ටර්, සුනිල්, ගුණදාස කපුගේ වගේ අයගේ ගීත තමයි එයාල මතක් කර කර කිව්වේ. ඒ ඔක්කොම මම වාදනය කරා. ඒත් මම දන්නේ නෑ වයලීන් ගහන එක අමාරු වැඩක් කියලා. මම හිතාගෙන හිටියේ මට වඩා වයලීන් ගහන අය ඉස්කෝලේ ඉන්නවා කියලා. ඒත් පස්සේ තමයි දැනගත්තේ ඒ කාලේ වයලීන් ගහන්න ඉස්කෝලේ හිටපු අයට මගේ කිට්ටුවටවත් ලං වෙන්න බැහැ කියලා. ලොකුකමකට නෙවෙයි මේ කතාව කිව්වේ. ඒකෙන් අපි හිතන්න ඕන මිනිස්සුන්ට පුළුවන් දේ මොකක්ද කියලා සමහර වෙලාවට ඒ කෙනාවත් දන්නේ නෑ කියන කාරණාව ගැන. මම දහය වසරේදී ඉස්කෝලේ දක්ෂතම වාදකයා උනා කනිෂ්ට අංශයෙන්. ජ්‍යේෂ්ඨ අංශයෙන් ආවේ තබ්ලා වාදනය කරපු අයියා. ඒ නිසා වයලීන් එක මගේ පාසැල් ජීවිතයේ කොටසක් උනා. ඔන්න ඔහොමයි සංගීතය ජීවිතය පටන් ගත්තේ.

05. එතකොට තව මොන වගේ සංගීත භාණ්ඩ එක්කද ගණුදෙනු කරන්න පුලුවන්?
** බටනලාව තමය මම වැඩිපුරම කැමති. වයලීන් එකට වඩා බටනලාව මිනිස්සුන්ගේ හදවත්වලට ඉක්මනටම ලං වෙනවා. අනික වයලීන් එකක් ගන්නකල් මම බටනලාවක් අරගෙන පිඹ පිඹ හිටියා. කොහොමහරි බටනලාවට තමයි වැඩිපුරම කැමති. ඊට පස්සේ වයලීන් එක. වයලීන් එකට පස්සේ මම සිතාර් වාදනයත් ඉගෙන ගත්තා. මට වාදනය කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් බටනලාව, සිතාර්, වයලීන්, මැන්ඩලීන් කියන හතර. ගිටාර් එක නිකං ඔහේ වාදනය කරනවා. ඒත් මම හරියටම දන්නේ නෑ. ගොඩක් අය අහනවා "Keyboard, තබ්ලා වාදනය කරන්න බැරිද?" කියලා. ඒවා මට වාදනය කරන්න  බැහැ. මගේ දකුණු අතේ ඇඟිලිවල ඇදයක් තියෙනවා. ඔය දෙකම මම වාදනය කරන්න Try කරාට මට ඒවා හරියට කරන්න බෑ මේ ඇදය නිසා. ඒ නිසා මම ඒවා අතෑරලා දාලා තියෙන්නේ. ටික කාලයක් මම දිල්රුබාව වාදනය කරන්න ඉගෙන ගත්තා. ඒක ටිකක් පුළුවන් .



Picture



06. එතකොට වාදනය විතරද? ගායනය පිහිටෙව්වෙ නැද්ද?
**   නෑ නෑ. ගායනාව ගැන නම් වැඩි කතා ඕන නෑ. මගේ ගායනා ගැන දන්නේ කීප දෙනයි. මට පුළුවන් කියලා මම දන්නවා. ඒත් මම ගායනයට කැමති නෑ.


07. පාසල නියෝජනය කරමින් මොන වගේ දේවල්ද කළේ?
**  පාසල වෙනුවෙන් මුලින්ම කරන්න ලැබුණේ අර මම කිව්ව ජාතික ගී වාදනය තමයි. ඊට පස්සේ කලා උළෙලවල්, විද්‍යා දින, වාණිජ දින ඔක්කොගෙම වයලීන් වාදනවලට සහභාගී උනා. මොනවා නැතත් ඔය වැඩසටහන්වල අඩුම තරමේ පොල් තෙල් පහන දල්වනකොට "දන්නෝ බුදුන්ගේ ගීතය" හරි වාදනය කරා. ඔය නිසාම පිට ඉස්කෝලවල ළමයි මට නමක් දාලා තිබුණා "දන්නෝ බුදුන්ගේ අයියා" කියලා. සංගීත තරඟ වලටනම් කොච්චර ගියාද කියලා මතක නෑ. මම ඉස්කෝලෙන් Out වෙලත් සංගීත තරඟවලට සහභාගී උනා.  උසස්පෙළ කාලේ පන්තිභාර මිස් බැනලා තමයි තරගවලට යන එක නතර උනේ. නැත්නම් ඒ කාලෙත් පන්තියේ ඉන්න වෙන්නේ නෑ. පාසැල් කාලයේ තව වැදගත් දෙයක් උනේ මම "සත්සමුදුර තේමා වාදනය" වාදනය කරපු එක. ඒක ටිකක් අමාරු වාදනයක් කියලා තමයි කියන්නේ. මම මුලින්ම කිව්වනේ මම ඇහෙන ගීත වාදනය කරනවා කියලා. මට කෙනෙක් කරපු අභියෝගයක් නිසා මම "සත්සමුදුර වාදනය" කරා. ඒ දීර්ඝ වාදනයේ කොටස් එකක්වත් හලන්නේ නැතුව මම මතකයෙන්ම වාදනය කරා.

ඒ නිසා රත්නපුරේ පාසැල්වල සංගීත ගුරුවරු, මම "සත් සමුදුර" වාදනය කරනවා කියලා දැන ගත්තා. අපේ සංගීත මිස්ගේ මහත්තයා, සංගීත ගුරුවරු පුහුණු කරන වැඩසටහන්වලට මාව එක්ක ගිහින් ඔය ගීතය ඒ අයට වාදනය කරවලා පෙන්නනවා. පස්සේ ඔය තේමා වාදනය පාසැල් විෂය නිර්දේශයට එකතු කරන්නත් ඒ සර්ලා කටයුතු කරලා තිබුණා. පාසැල් විෂය නිර්දේශයට ඒ වාදනය ඇතුළු උනාට පස්සේ ඉස්කෝලවල ළමයි වෙනුවෙන් අපේ සර් දේශන පවත්වනකොට, ඕක වාදනය කරවලා පෙන්නන්න මාවත් එක්ක යනවා. සමහර ඉස්කෝලවල සා/පෙළ, උ/පෙළ සම්මන්ත්‍රණ වලටත් මාව එක්ක යනවා. ඔය සේරම උනේ පාසල නියෝජනය කරමින් තමයි. අපේ පාසලේ මගේ සහෝදර සහෝදරියන්ගෙන් ගුරුවරුන්ගෙන් වගේම පිට පාසැල් වලිනුත් හොඳ ප්‍රතිචාර තිබුණා.

​08. ජයග්‍රහණ එහෙමත් හම්බුණා?
**  ජයග්‍රහණ හම්බුණා. ඒවා කලාපීය මට්ටමේ ඉඳලා සමස්ත ලංකා මට්ටම දක්වා විහිදිලා ගියපු ජයග්‍රහණ. ඒ ජයග්‍රහණ මොනවද කියලා ඒවායේ පැසසුම තනියමම ගන්න මම කැමති නෑ. ඒ නිසා ජයග්‍රහණ මොනවද කියලා නොකියා ඉන්නම්.


09. අමතක නොවන සිදුවීම් එහෙමත් තියෙන්න ඇති නේද?
**  හපෝ ඔව්. මුල්ම අමතක නොවන සිදුවීම තමයි වයලීන් එකේ පළවෙනියටම කම්බියක් කැඩී යාම. මම කොච්චර බය උනාද කියනවනම් වයලීන් එක වහලා තියලා සද්ද නැතුව හිටියා. ඉස්කෝලේ ගියාම තමයි දැනගත්තේ කම්බි ගන්න එක, ඒවා හරියට හයි කරන එක සිම්පල් Case එකක් කියලා. හැබැයි ඊට කලින් මම ගෙදර තිබ්බ වෙන මොකක්ද කම්බියක් දාලා කරකවලා බැලුවා. ම්හ්. හරි ගියේ නෑ. කැඩුනා. ඒකෙන් තේරුම් ගත්තා වයලීන් වලට දාන්නේ විශේෂ කම්බි ජාතියක් කියලා. පාසැල් කලා උළෙලේ දක්ෂතම වාදකයා වීම තවත් අමතක නොවන අත්දැකීමක්. ඉස්කෝලේ සර්ලා මිස්ලා ගොඩක් දෙනෙක් මාව අඳුරගත්තේ ඔය උළෙල නිසා. ඉස්කෝලේ සර්ලා මිස්ලා මට අතට අත දීලා සුභ පැතුවා ඉස්කෝලෙදි මාව මුණගැහුනම. දක්ෂතම වාදකයා කියලා සහතිකය ගන්න Stage එකට නැග්ගම තමයි ගොඩක් දෙනෙක් දැනගත්තේ මම වයලීන් වාදනය කරනවා කියලා. මට ඒ සහතිකය ප්‍රදානය කලේ එඩ්වඩ් ජයකොඩි මහත්මයා. ඒ නිසා ඒක විශේෂ දවසක්, විශේෂ මතකයක් උනා.


මම අන්තිමටම සංගීත තරඟයකට සහභාගී උනේ 2011 වර්ෂයේ. ඒ තරඟය තිබුණේ පාසැල් විවෘත අංශයෙන්. පාසැල් සිසු සිසුවියන් ඕන කෙනෙක්ට, ඕන සංගීත භාණ්ඩයකින්, ඕනෑම වාදනයක් කරන්න පුළුවන්. මම "සත් සමුදුර" වාදනය කරා. ඔය සත්සමුදුරම මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දැරිවියකුත් වාදනය කරා. හැබැයි එයාට කලින් තමයි අවස්ථාව ලැබිලා මම වාදනය කළේ . ඒ ළමයා තමන් දිනයි කියලා ලොකු විශ්වාසෙකින් ඇවිත් තිබුණා, මොකද මේ වාදනය ලේසි පහසු කෙනෙක් වාදනය කරන්නේ නැති නිසා. ඒත් ඒ ළමයට කලින් මම මේක වාදනය කරාම ඒ ළමයා Stage එක පහළ
ඉඳගෙන අඬලා තියෙනවා එයාට තරඟ කරන්න බැහැ කියලා. හැබැයි මිස්ලා සර්ලා බල කරලා ඒ ළමයාත් තරඟයට සහභාගී උනා. සත් සමුදුරේ තියෙන රසමුසු තැන් ඒ ළමයා වයලීන් එක හරහා අරගෙන ආවේ නෑ. ඒ නිසා එයාට තරඟයෙන් කිසිම ස්ථානයක් ලැබුණේ නෑ. පළවෙනියා කොළඹ නාලන්ද විද්‍යාලයේ සැක්සෆෝන් වාදනය කරපු මල්ලි. මම දෙවෙනි ස්ථානය. තුන්වෙනි ස්ථානය ගාල්ල මහින්ද විද්‍යාලයේ බටනලා වාදනය කරපු මල්ලි. මම වයලීන් වාදනය කරලා කෙනෙක් ඇඩුවේ ඔච්චරම තමයි. ඒක අමතක නොවෙන සිද්දියක් .

2013 සැප්තැම්බර් 29 මම Stage එකක අන්තිමටම වයලීන් වාදනය කරපු දවස. එදා දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. එතනින් නැවතුනා නැවතුනාමයි, ආයෙත් වයලීන් එකක් එක්ක Stage එකකට නගින්න අවස්ථාවක් ලැබුණේ නෑ. හැබැයි මම ගෙදර තවමත් වයලීන් වාදනය කරනවා.



10. වයලීනෝ දකින විදිහට, වාදන ශිල්පියෙක් තුළ මොන වගේ ගුණාංගද තියෙන්න ඕන?
**  ඉගෙන ගන්න කාලේ ගුරුවරු දාන නීති රීති තියෙනවා. මෙහෙම වාදනය කරන්න, මෙහෙම වාදනය කරන්න කියලා. ඒවා ඇත්තටම සම්මත නීති රීති, ඉගෙන ගන්නකොට ඒවා පිළිපදින්නේ නැත්නම් ඇත්තටම ඉගෙනගන්නත් බැහැ. ඒත් ඒවාට එහා ගිය නිදහසක් වාදන භාණ්ඩය හරහා දකින්න පුළුවන් නම් ඒ වාදකයාට ගොඩක් දුර යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සමහර වෙලාවට මම යාලුවොත් එක්ක කියපු දෙයක් තමයි “මම සල්ලි දීලා ගත්ත වයලීන් එක කොහොම ගැහුවම මොකද බං“ කියන කතාව. ඒ නිදහස හරහා මම ගුරුවරු කියා දීපු පාරවල් වල ගමන් කරලා ගොඩක් දේවල් තනියම ඉගෙන ගත්තා. අනික තමයි මානසික ඒකාග්‍රතාවය රැක ගැනීම. වයලීන් ගහන වෙලාවට අපිට වෙන වෙන දේවල් ගැන හිතන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. එහෙම උනොත් ඇඟිලි වැරදි තැන්වල හිටලා ස්වර වැරදි වෙන්න, පැටලෙන්න පුළුවන්. ඒ නිසා මානසික ඒකාග්‍රතාවය වාදකයෙක්ට ඉතාම වැදගත් දෙයක්. වයලීන් නෙවෙයි . ඕනෑම කෙනෙක්ට ඒක වැදගත් දෙයක් වෙනවා.


11. ඕනකම තියෙනවා නම්, ගුරුවරයෙක් නැතුව වුණත් සංගීතය ඉගෙන ගන්න පුලුවන්ද? විශේෂයෙන්ම වාදන අංශය?
**  ඔව්. මම බටනලා වාදනය ඉගෙන ගත්තේ තනියම. ඉස්කෝලෙන් උගන්නන්නත් කලින් ඉඳලා මම බටනලා වාදනය කරා. පස්සේ ඒ වාදනය ඔපවත් කරගත්තෙත් තනියමම. අපේ ඉස්කෝලේ මමත් එක්ක බටනලා වාදනය කරපු මල්ලි කෙනෙක් හිටියා. එයයි මමයි ඉන්දියාවේ දැනට ඉන්න දක්ෂතම බටනලා වාදන ශිල්පියා, "හරි ප්‍රසාද් චෞරසියා" කියන මහා ගාන්ධර්වයාගේ වාදන තියෙන වීඩියෝ mp3 වගේ ඒවා හුවමාරු කරගෙන ඒවා අහලා බලලා ඉගෙන ගත්තා. ඒත් මම අනුගමනය කරන උපරිම නිදහස භුක්ති විඳීම අනුව මම බටනලාවේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සහ හොයා ගත්තා. ඒ නිසා මම අවිවාදයෙන්ම කියනවා ආසාව තියෙනවනම් කෙනෙක්ට වාදනය ඉගෙන ගන්න පුළුවන්. ඒකෙ ප්‍රවීනයෙක් වෙනවද නැත්ද කියන එකට සංසාරික පුරුද්දත්, ගුරුවරයින්ගේ මග පෙන්වීමත් බලපානවා ඇති. ඒත් සාමාන්‍ය ඉගෙනීමක් කරන්න ගුරුවරයෙක් ඕනම නෑ.


12. වයලීනෝම හදපු තනු නිර්මාණ එහෙමත් තියෙනවද?
**  එකක් හැදුවා ඉස්කෝලේ ඇගයීමකට. ඉන් එහා හදන්න ගියේ නෑ.


13. විශ්ව විද්‍යාලයට ආවයින් පස්සෙ මොකද වුණේ?
**  මේ අහන්නේ සංගීතය නතර වෙන්න හේතුව නේද? කාලෙකට කලින් වෙච්ච හිත් නොහොඳ වීමක් නිසා මම වයලීන් එක පැත්තකින් තිබ්බා හිත හැදෙනකල් වාදනය කරන්නේ නෑ කියලා. බලමු ඉදිරියට. අවස්ථාවක් ලැබුණොත්, හොඳයි කියලා හිතුනොත් මම වාදනය කරනවා. වයලීන් ඒක නිසා මම ගොඩක් කැපවීම් කරා. වයලීන් එක නිසාම මම ක්‍රීඩාවලට යොමු වීම ප්‍රතික්ෂේප කළා. සමහර අවස්ථාවලදී ඒක මට අවාසියක් උනා. ඒත් ඒ කැප කිරීම් කරේ වයලීන් එකෙන් ඈත් වෙන්න වෙයි කියලා. ඒ නිසා මම භාහිර බලපෑම් වෙනවට කැමැත්තක් තිබ්බේ නෑ. එහෙම ආව බලපෑමක් නිසා මම තදින්ම තීරණය කළා වයලීන් එකට නිවාඩුවක් දෙනවා කියලා. ඒක තමයි විශ්ව විද්‍යාලයට ආවම උනේ.


14. සබරගමුවටම ආවේණික වුණු වෙනමම වාදන සම්ප්‍රදායක් තියෙනවා. ඒක වෙනමම සංස්කෘතියක්. මේවා ගැන පර්යේෂණ සහ ගවේෂණවල නිරතවෙලා එහෙම තියෙනවද?
**  නැහැ. මම සබරගමු වාදනවලට කැමති නෑ. මම වැඩිපුරම කැමති පහතරට සම්ප්‍රදායටයි, උඩරට සම්ප්‍රදායටයි. ඒත් ගිය අවුරුද්දේ සමන් දේවාලයේ ඇසල පෙරහැර බලන්න ගිහින් දැක්ක සබරගමු වාදනවලට ටිකක් හිත ගිහින් තියෙන්නේ. ඒ ගැන වෙනමම හොයා බලන්න ඕන කියලා බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒවා ඉදිරි කාලයේ මියැසියේ රසකතා හරහා එළි දකීවි.

Picture



15. සංගීත අංශයෙන් මේ තාක් ආපු ගමනේදී, වයලීනෝගේ පසුපසින් හිටපු උදවිය ගැන මතක් කළොත්?
**  අම්මා, තාත්තා, පුංචි අම්මා, මාමා කියන හතර දෙනා තමයි වැඩිපුරම උදව් කලේ. Primary කාලේ මට ඉස්සෙල්ලම සංගීතය ඉගැන්නුවේ දැනට රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සංගීත ආචාරිනියක් විදියට කටයුතු කරන නිශා කුමාරි කළුගම්පිටිය ගුරු මෑණියන්. සීවලියට ආවට පස්සේ මුල ඉඳලම සංගීතය ඉගැන්නුවේ වසන්තා පද්මිණී ගුරු මෑණියන් සහ ගුණපාල විතානගේ ගුරු පියාණන්. ඒ නිසා මෙච්චර දුරක් සංගීතය හරහා මාව අරගෙන ආවේ ඒ ගුරු මාපිය දෙපල තමයි. ගෙදර නවත්තගෙන කන්න බොන්න දීලා සතයක්වත් ගන්නෙත් නැතුව මට උගන්නපු ඒ ගුරු මාපිය දෙපළ කවදාවත් අමතක කරන්න බැහැ මොනවා උනත් .

අපේ ඉස්කෝලේ තබ්ලා වාදනය කරපු ඉරේෂ් අයියා, Key Board වාදනය කරපු මලිත් අයියා, බටනලා වාදනය කරපු මධුර අයියා, මාත් එක්ක වයලීන් වාදනය කරපු සුපුන්. අපි පස් දෙනා තමයි එක පවුලක් වගේ ඉස්කෝලේ සංගීත වැඩ කරගෙන හිටියේ. පස්සේ ඒ ඒ අය පාසල හැර ගියාට පස්සේ ප්‍රසාද් කියලා මල්ලි කෙනෙක් හිටියා, තව මම මුලින් බටනලා වාදනය ගැන කියනකොට කියපු සංඛ මල්ලි මේ හැමෝම මට සංගීත වැඩ වලට උදවු කරා. සිංදුවගේ මල්ලි මම ස්වර වැරදියට ගහනකොට අහගෙන ඉඳලා ඒවා ගැන සාර්ථක විවේචන ලබා දීලා තියෙනවා දැනුත් එහෙමමයි . සිංදුවා අයියා ගැන නම් කියන්න ඕන නැහැනේ. අපි ගෙවල්වල එන යන වෙලාවට වයලීන් එකයි, Key Board එකයි අරගෙන අපි දෙන්නා ගීත වාදනය කරලා අපේ වාදන ගැන කතාවෙලා ඒවා වැඩි දියුණු කරගන්න උත්සාහ ගන්නවා . ඒවගේම සිංදු අයියයි මල්ලියි දෙන්නම අලුත් සිංදු අහන්න ලැබුනම මට ඒවා ඩවුන්ලෝඩ් කරලා දීලා මටත් ඒවා අහන්න සලස්වනවා . ඒවා වාදනය කරන්නත් උනන්දු කරනවා . දැන් ඉතින් තව එක්කෙනෙක් ඉන්නවනේ . වයලීනිවත් මතක් කරන්න ඕන . වයලීනි තමයි ආයෙත් සංගීතය ඉගෙන ගන්න කියලා මාව උනන්දු කරවන්නේ .

මීට අමතරව මගේ සංගීත ගමනට අවවාද අනුශාසනා දීලා පොඩි පොඩි අඩුපාඩු හදපු ගුරුවරු ගොඩක් ඉන්නවා . ඒ අයත් අමතක කරන්න බැහැ . මොකද එයාලා සෘජුවම ඉගැන්නුවේ නැතත් මම ඒ අය එක්ක සංගීත තරඟ වගේ දේවල් වලට ගිහින් ඒ අයගේ සංගීත දැනුමෙන් මොනවා හරි ඉගෙන ගෙන තියෙනවා . අපේ ඉස්කෝලේ දැනට සංගීත ගුරුවරු විදියට ඉන්න ලෝලිත ධනවර්ධන සර් මට බටහිර සංගීතය පැත්තට වැඩි නැඹුරුවක් ලබා දුන්නා . මාව සංගීත තරඟ වලටත් සහභාගී කරවාගත්තා . ඒවගේම අනුර සිරිසේන සර් , නිරෝෂ ප්‍රියදර්ශන සර් , ධම්මිකා නන්දනී මිස් , සුසන්ත බණ්ඩාර සර් , රත්නපුර ධර්මපාල විද්‍යාලයේ නන්දලාල් සර් , රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ අශෝක සර් , ඇතුළුව සංගීත විෂය උගන්වනු ලබන ගුරුවරු ගොඩාක් මට උදවු කරලා මාව ඒ අයගේ වැඩ වලට සහභාගී කරවාගෙන තියෙනවා .

සංගීත තරඟ වලට ගියාම මුණගැහෙනවා ගුරු උපදේශක වරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු . මේ මට එහෙම අවවාද දීපු අයගෙන් කීප දෙනෙක් . ජන සංගීතය පිලිබඳ කථිකාචාර්ය සමන් පනාපිටිය සර් , වයලීන් වාදනය පිළිබඳව ගොඩක් උපදෙස් දුන්නා අශෝක කියලා සර් කෙනෙක් . තව රුවින් ඩයස් කියලා සර් කෙනෙක් . දෙන්නම ජේෂ්ට කථිකාචාර්යවරු . තව විශේෂ කෙනෙක් තමයි ජයන්ත අරවින්ද සර් . මනමේ නාට්‍යයේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ එතුමා . මේවගේ ගොඩක් දෙනෙක් මට පොඩි පොඩි උපදෙස් දීලා තියෙනවා . ඒත් ඒවා වචනයක දෙකක උපදෙස් උනාට විෂයට අදාළව වැදගත් දේවල් . ඒවා අනුව මම වයලීන් වාදනය වෙනස් කරගත්තා .

ආ තව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ කර්ණාටක සංගීත අංශයේ අංශ ප්‍රධාන තුෂාර රත්නායක සර්වත් මතක් කරන්න ඕන . එතුමා මඩවල එස් රත්නායකයන්ගේ ආදරණිය පුත්‍ර රත්නය . දක්ෂ වයලීන් වාදකයෙක් . ඒ සර් මගේ වාදන අහලා ගොඩක් උපදෙස් දීලා තියෙනවා .

මේ වෙනකොට වයලීන් එක මගෙන් ඈත් වෙලා ගිහින් තිබුණට ඒ අය උගන්නපුවා , දීපු අවවාද , ඒ අය හමු වෙච්ච හැටි හැමදේම මතකයේ අඩුවක් නැතුව තියෙනවා .

16. ඇයි "මියැසියේ රස කතා" හරහා ගීතවලට විචාර ලියන්න පෙළඹුනේ?
**  මියැසියේ රසකතා පටන් ගත්තේ "සිංදුවා" අයියා. එයා "අන්තිම පේළියේ" ලිව්ව ලිපි තමන්ගේම බ්ලොග් එකක පල කරන්න බලාපොරොත්තු වෙච්ච නිසා තමයි මියැසියේ රසකතා පටන් ගත්තේ. ඒ කාලේ සිංදුවා අයියා ලියන ඔක්කොම ලිපි ඒකෙත් දැම්මා . අපි ඒ වෙනකොටත් අන්තිම පේළියේ ලියමින් හිටියේ. පස්සේ ඇතිවෙච්ච වාතාවරණය උඩ සිංදුවා අයියා මාවත් එයාගේ ඒ බ්ලොග් අඩවියට එකතු කරගත්තා. මොකද අපි දෙන්නම ඒ කාලේ ලිව්වේ ගීත ගැන නිසා. ඒත් මම "මහසෝනාගේ හෝරාව" කතාව ලිව්වට පස්සේ මගේ කතා ලිවීම වෙනස් උනා. ඊට පස්සේ මම ගීත ගැන ලියනවත් එක්කම හොල්මං කතාත් ලිව්වා. ඒත් තවමත් මියැසියේ රස කතා, මියැසියේ රස කතාම තමයි.


17. මතකද මුලින්ම විචාරයක් ලියපු ගීතය සහ ඒකට ලැබුණු ප්‍රතිචාර?
**  "ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි" කියන අමරදේවයන්ගේ ගීතයට තමයි මුලින්ම ගීතයක් වෙනුවෙන් කියලා ලිපියක් ලිව්වේ. ඒ ලිපියට හොඳ ප්‍රතිචාර ලැබුණා. විවෘතව ප්‍රකාශ කරපු අදහස් නිසා ඒ ලිපියට උණුසුම් ප්‍රතිචාරත් ලැබුණා.


18. ගීතයකට විචාරයක් ලියනකොට මොන වගේ කරුණුද පාදක කර ගන්නෙ?
**  මගේ අත්දැකීම්, මගේ යාලුවන්ගේ අත්දැකීම් එක්ක ගීත ගළපලා ඊට පස්සේ ගීතයට මම දෙන තේරුම ලියනවා. ඊට පස්සේ මම ගීතයේ සංගීත සංයෝජනය ගැන ලියනවා. හැබැයි සංගීතය ගැන ලියන්නේ, ලියන්න තරම් වැදගත් තරමේ සංගීත සංයෝජනයක් තියෙනවා නම් විතරයි.


19. ඇයි හැම තිස්සෙම ගීතයකට විචාරයක් ලියනකොට, සිංදුවාට හරි, වයලීනෝට හරි වුණු අත්දැකීමක් එක්ක ගලපන්න උත්සාහ කරන්නෙ?
**  එතකොට කියවන අයත් ගීත දිහා ජීවන අත්දැකීම් හරහා බලන්න පුරුදු වෙනවා කියලා මට හිතෙනවා. ඒකයි මම ගීත ගැන ලියනකොට ඒ පිළිවෙලට ලියන්නේ. සමහර අය කියනවා මම වැල්වටාරම් ලියනවා කියලා. ඒත් ලියන ලිපිය තුල මම මගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳිනවා.


20. සිංදුවකට විචාරයක් ලියන්න කොච්චර කාලයක් ගත වෙනවද?
**  මම ලියන්න කලින් කාලයක් තිස්සේ ගීත ගැන හිතනවා. එහෙම හිතලා තමයි අන්තිමටම ලියන්නේ. ලියන්න මට පැය දෙකක් විතර තමයි ගත වෙන්නේ. මට ලියන්න වැඩිම කාලයක් ගතවෙච්ච ලිපිය උනේ "රෑ දොළොස් පැයේ" කියන නිරෝෂා විරාජිනී මහත්මිය ගායනා කරන ගීතයට ලිව්ව ලිපියට.


Picture


21. මියැසියේ රසකතාවල ලියවෙන ගීත විචාර හරහා මොන වගේ දෙයක්ද, පාඨකයින්ට දෙන්න බලාපොරොත්තු වෙන්නෙ?
**  අහන්නේ, ඇහෙන්නේ නැති ගීත අහන්න සලසන්න තමයි මට වැඩි උවමනාවක් තියෙන්නේ. ඒ එක්කම ගීත ගැන මගේ තියෙන දැක්ම ඉදිරිපත් කරන්නත් මම ඒ ලිපි භාවිතා කරනවා. අනික හැමෝම ගීත රස විඳින්නේ එකම විදියකට නෙවෙයි. මම ගීත රසවිඳින හැටි, මම ගීත අහනකොට හිතන දේවල් ලිපිය තුලින් මම ලියන්න කැමතියි.


22. එතකොට ඒවාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරනවා නම්?
**  ගොඩක් දෙනෙකේ හොඳ කියනවා. සමහර අය ඒ ගීත ජීවිතේ ඉස්සෙල්ලම ඇහුවේ ඒ ලිපිය නිසා කියලත් කියනවා. ඒත් සමහර වෙලාවට මට දෝෂාරෝපණත් එනවා. ඒ මම ලියන තේරුම ගීතයට ගැළපෙන්නේ නැති නිසා වෙන්න ඇති.

23. මියැසියේ රසකතාවල මුලින්ම ගීත විචාර ලියන්න පටන් ගත්තේ සිංදුවා. ඊට පස්සෙ තමයි වයලීනෝ සම්බන්ධ වුණේ. දැන් සිංදුවාටත් වඩා වයලීනෝ ලියන ගීත විචාර ජනප්‍රියයි. මේක හරියට "ඔටුවා කුඩාරමට රිංගුවා වගේ වැඩක් නේද?". සිංදුවාගේ මියැසියේ රසකතාවල පිහිටෙන්, බ්ලොග් ලිපි කියවන පාඨකයින් අතරේ වයලීනෝ නමක් හදා ගත්තා නේද?
**  සිංදුවා අයියා මාව බ්ලොග් එකට එකතු කරගත්තේ ලියන්න. ඒ නිසා මම ලිව්වා. නමක් හදාගන්න බලාපොරොත්තුවක් මගේ තිබුණේ නෑ. එහෙම ඕන නම් මට මගේම හස්තිනාපුරය තියෙනවා. මාව මියැසියේ රසකතාවලට එකතු කරගත්තේ ලියන්න නිසා මම දිගටම ලිව්වා. මේ ගත වෙච්ච කාලය ඇතුලත මාව වෙනත් Sites ගොඩකට එකතු කරගන්න ඒවායේ Adminsලා මට ආරාධනා කළා. ඒත් ඇත්තම කියනවනම් මම මියැසියේ රසකතාවල ආලෝකය වෙනත් තැනකට දෙන්න කැමැත්තක් නෑ. සිංදුවා අයියා ලියන්නේ නැති උනාට බ්ලොග් එකත් එක්ක හැමවෙලාවකම ඉන්නවා. බ්ලොග් එකේ ඕන දෙයක් කරන්න මට නිදහස දීලා තිබුණත්, සිංදුවා අයියාගේ අධිකාරීත්වය එහෙමම පවත්වාගෙන යන්න මම වගබලා ගන්නවා. බ්ලොග් එකේ වෙනසක් කරනවා නම් මම කලින් හෝ පසුව හෝ ඒ ගැන Message එකක් හරි දාලා මතක් කරන්න අමතක කරන්නේ නෑ.

24. කවුද වයලීනොගේ ප්‍රියතම ගායන ශිල්පියා?
**  පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ. එක්කෙනෙක් ඇහුවට එක්කෙනෙක් විතරක් කිව්වොත් ඒක අසාධාරණයක්.

25. එතකොට ප්‍රියතම ගායන ශිල්පිනිය?
**  දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය.

26. මේ වෙනකන් අහලා තියෙන ගීත නිර්මාණ අතරින්, වඩාත්ම සිත් ගත්තු ගීතය නම් කරන්න කිව්වොත්?
**  අමරදේවයන් ගායනා කරන “සිරිපා පියුමේ රොන් සුනු තැවරී“ කියන ගීතය. මේ ගීතය තරම් මාව නිසල කරන වෙන ගීතයක් මම තවම අහලා නැහැ. ගීතයක් උනාම ඒක අහන කෙනා සමාධියට පත් කරන අරුත්බර ගීතයක් වෙන්න ඕන. මේ ගීතය ඒ හැමදේම සම්පූර්ණ කරලා තියෙනවා. අනික සුනිල් එදිරිසිංහ මහත්මයාගේ “සන්තාප මාවතේ“ කියන ගීතය. ඒක සමහර වෙලාවට නොනවත්වා දහ දොළොස් වතාවක් අහනවා. ඒත් හේතුවක් කියලා කියන්න දෙයක් නැහැ.


Picture




27. "සිංදුවා" ගැනත් විස්තර ටිකක් කියමු නේද?
**  මගේ හොඳම යාළුවාගේ අයියා. මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. සිංදුවගේ මල්ලි මගේ හොඳම යාලුවා නිසා මම ඉස්සර එහෙ යනවා. විශේෂයෙන්ම මම සාමාන්‍ය පෙළ ලියන කාලේ Class ගියේ නෑ. සංගීත වැඩ නිසා, ඉස්කෝලේ පන්තියේ ඉන්නත් ලැබුණේ අඩුවෙන්. සිංදුවගේ මල්ලි තමයි මට Notes එහෙම දෙන්නේ. ඔය Notes ටික ඉල්ලගන්න මම හවස්වෙලා ඉස්කෝලේ ඉඳලා එනකොට සිංදුවගේ ගෙවල් ගාවින් බස් එකෙන් බහිනවා. පස්සේ එහෙ ගිහින් කාලා බීලා පොතුත් අරන් තමයි ගෙදර යන්නේ. පස්සේ ඒ ගෙදරත් නිකං මගේ ගෙදර වගේම උනා. ඉතින් සිංදුවත් ටික ටික මාත් එක්ක Fit උනා. සිංදුවත් මගේ හොඳම යාළුවෙක් උනා. මට හොඳම යාළුවො කියලා කියන්න පුළුවන් අය හිටියේ කීප දෙනයි. ඉස්කෝලෙන් Out වෙලා ගියාට පස්සේ සමහර යාළුකම් එහෙමම නතරවෙලා ගියා. ඒත් මේ යාළුකම් තවමත් තියෙනවා . සිංදුවාට සිංදු කියන්න පුළුවන් , ඕගන් ගහන්න පුළුවන් . වැඩි විස්තර ඕන නැහැනේ .


28. සංගීත කලාවට පිවිසෙන්න බලාගෙන ඉන්න අයට මොකක්ද කියන්න තියෙන්නෙ?
සංගීතය ආගන්තුකයෙක් කරගන්න එපා. ඒක තමන් කාලයක් තිස්සේ ඉඳලා දන්නා දෙයක් විදියට භාර ගන්න. එතකොට හොඳට ඉගෙන ගන්න පුළුවන්. අනික තමයි බය වෙන්න එපා. වයලීන් එකක් අතට ගත්තම බය වෙන්න එපා. වයලීන් එකට වහල් වෙන්නේ නැතුව, වයලීන් එක වහල් කරගෙන වාදනය කරන්න පුරුදු වෙන්න. සංගීතය නිදහසේ භාවිතා කරන්න. ඒවගේම තමයි තමන් රස විඳින ගමන් වාදන, ගායන ඉදිරිපත් කරන්න. එතකොට අපිට Notation නැති රස මුසු තැන් හොයාගන්න පුළුවන් වෙනවා.


29. සංගීත අංශයෙන් මොනවද ඉදිරියට තියෙන බලාපොරොත්තු?
**   විශාරද විභාගය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.


30. ආයිත් පාරක් වයලීනෝට ලියන හැටි මතක් කළොත්?
** darshanaprabhath1@gmail.com


​ඔන්න ඔහොමයි අපේ තුන්වෙනි සාකච්ඡාවේ සමාප්තිය සනිටුහන් වෙන්නෙ. මේ ලිපියට ඇතුළත් කරලා තියෙන පින්තූරවලින්, මම ගත්ත පින්තූරයකට තියෙන්නෙ එකම එක පින්තූරයක් විතරයි. අනිත් හැම එකක්ම අරගෙන තියෙන්නේ / හිමිකාරීත්වය දරන්නෙ වයලීනෝ සහ වයලීනෝගෙ යාලුවො. ඒ නිසා, ඒ පින්තූරවල පූර්ණ ගෞරවය එයාලා සතු වෙනවා..!!!!!


ඔන්න ඔහොම තමයි ඒ කතාව අවසාන උනේ . එහෙනම් සැදෑ කළුවර කුර ගගාවිත් එක්ක හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !