Wednesday, December 21, 2016

මහා ලක්ෂ්මී අශ්ටකම්







1.නමස්තේස්තු මහා මායේ - ශ්‍රී පීඨේ සුර පුජිතේ
ශංඛ චක්‍ර ගධා හස්තේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මහා මායාවන් ඉර්ධින් කරන්නියට නමස්කාර වේවා - ශ්‍රී පිඨයෙහි දෙවියන්ගෙන් වැදුම් ලබන
හක් ගෙඩිය, චක්‍රායුධය, ගධාව අතින් දරා සිටින - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර කරමි)

2.නමස්තේ ගරුඬාරුඩේ - කෝලාසුර භයන්කරි
සර්ව පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ගුරුළා පිට එන්නියට නමස්කාර වේවා - කෝල නම් අසුරයා භයට පත් කල
සියලු පවු දුරුකරන -  මහා ලක්ෂ්මී දේවියට නමස්කාර කරමි)

3.සර්වඥේ සර්ව වර දේ - සර්ව දුෂ්ඨ භයන්කරි
සර්ව දුක්ඛ හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සියලු ඥානයෙන් යුත් සියලු වර ලබාදෙන - සියලු නපුර පලවා හරින
සියලු දුක් නැතිකරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

4.සිද්ධි බුද්ධි ප්‍රදේ දේවි - භුක්ති මුක්ති ප්‍රදායිනි
මන්ත්‍ර මුර්තේ සදා දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සාර්ථකත්වය බුද්ධිය ලබා දෙන - සතුට විමුක්තිය ලබා දෙන
මන්ත්‍රයන්හි ප්‍රතිමුර්තියක් වූ මන්ත්‍ර තුලින් පැන නගින්නා වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

5.ආද්‍යන්ත රහිතේ දේවි - ආධ්‍ය ශක්ති මහේෂ්වරී
යෝගජේ යෝග සම්භුතේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මුලක් අගක් නැති තරම් අපරිමිත වූ - විශ්ව ප්‍රාරම්භක ශක්තිය වූ
යෝග තුල වැඩ හිදින්නා වූ යෝග වල ආරම්භය වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

6.ස්ථුල ශුක්ෂ්ම මහා රෞද්රේ - මහා ශක්ති මහෝදරේ
මහා පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ඉතා විශාල ,ඉතා කුඩා ස්වභාව ගත හැකි, මහා රෞද්‍ර වූ - මහා ශක්තියක් සහිත මහා සෞභාග්‍යයෙන් යුතු
පවු හරණය කරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

7.පද්මාසනස්තිතේ දේවි - පර බ්‍රහ්ම ස්වරුපිනි
පරමේෂි ජගන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(නෙලුම් ආසනය මත වැඩ හිඳින - බ්‍රහ්ම ස්වභාවයෙන් යුක්ත
මහා උතුම් වූ විශ්ව මාතෘ වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

8.ශ්වෙතාම්බරධරේ දේවි - නානා ලංකාර භුශිතේ
ජගස්තිතේ ජඝන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සුදු වස්ත්‍රයෙන් සැරසුන - විවිද අලංකාර වලින් විභූෂිත
විශ්වය සිසාරා පැතිරී පවතින , විශ්ව මාතෘ වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)



Monday, November 28, 2016

අමරදේවයන් ගැන මගේ මතකය


කාලයක් තිස්සේ නැවතිලා තිබුණු බ්ලොග් ලිවීම අයෙත් පටන් ගන්න කාලේ ඇවිත් තියෙන්නේ . තාවකාලික නිහැඬියාවට හේතු ගොඩක් තිබුණා . එකක් ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය . අනික කැම්පස් එකේ වැඩ අධික වීම . මේ හැමදේම එක්ක ජීවිතේ සමබරකරගෙන යන්න ටිකක් අමාරු නිසා අවශ්‍යම දේවල් වලට මුල් තැන දීලා බ්ලොග් එකෙන් ටිකක් කල් ඈත් වෙලා ඉන්න සිදුවුණා . සමහර අය නම් තේරුම් ගත්තා , ඇයි මම ලියන්නේ නැත්තේ කියලා . ඒත් සමහර අයට කොච්චර කිව්වත් තේරුම් ගත්තේ නැහැ ඇයි මම ලියන්නේ නැත්තේ කියලා . මම ඒ වෙලාවට මුකුත්ම කියන්නේ නැතිව සද්ද නැතිව උන්නා . මොකද මම දැනගෙන හිටියා  මේ දවස ඉක්මනටම උදා වෙනවා කියලා . ඒ නිසා සමහර වෙලාවට මම ලියන්නේ නැහැ කියලා ආවේගශීලීව මට ප්‍රතිචාර දක්වන අයට මම මුකුත්ම කියන්නේ නැතිව සද්ද නැතිව හිටියා .

කොටින්ම කියනවානම් මම අද වෙනකොට මාස දෙකහමාරක කාලයක් වයලීන් එක අල්ලලාවත් නැහැ . ගිටාර් එක මකුළුදැල් වලින් පිරිලා . ඒ නිසා ජීවිතේ දැන් ටික ටික ආයෙත් මුල ඉඳලාම පටන් ගන්න වෙලා . අද ලිපිය ලියන්න ඕන කියලා හිතුවේ අමරදේවයන්ගේ වියෝවීමත් එක්කමයි . එදා මම හිතාගත්තා එක්සෑම් එකෙන් නිදහස් වෙච්ච ගමන් අමරදේවයන් වෙනුවෙන් මගේ මතකය ආයෙත් බ්ලොග් එකේ අවදි කරවන එක හොඳයි කියලා .

මොකද මට සංගීතය උගන්වපු ගුරු මාපිය දෙපළටත් අමරදේවයන් උගන්වලා තියෙනවා . ඒ නිසා වක්‍රාකාරව අමරදේවයන්ගේ හෙවනැල්ල මටත් ලැබිලා තියෙනවා කියල මම විශ්වාස කරන නිසා . ඒ නැතත් අමරදේවයන්ගේ සංගීතය අනුකරණය කරලා තමයි මමත් වයලීන් වාදනයට එකතු වුණේ . ඒ නිසා මට යුතුකමක් තියෙනවා මේ ලිපිය එතුමන් වෙනුවෙන් සටහන් කරලා තියන්න .





ඉස්සර අපේ ගෙදර CD DVD VCD ප්ලේ කරන්න ප්ලේයර් එකක් තිබුණේ නැහැ . අපේ අම්මාත් මාමාත් සංගීත රසිකයින් විදියට ඉස්සර ඉඳලාම කරගෙන ආවේ ගායක ගායිකාවන්ගේ කැසට් පටි අහපු එක . පරණ sharp කැසට් එකක් තිබුණා අපේ ගෙදර . තවමත් ඒක ක්‍රියාකාරී තත්වයේ තියෙනවා . ඒ කැසට් එකෙන් වාදනය කරන්න තමයි එයාලා කැසට් පටි අරගෙන ආවේ . සුනිල් එදිරිසිංහ නන්දා මාලනී එඩ්වඩ් ජයකොඩි වගේ ගායක ගායිකාවන්ගේ මුල් පටිගත කිරීම් ඒ කැසට් පටිවල සටහන් වෙලා තිබුණා . පොඩිකාලේ මට ටීවී එකත් ඔය කැසට් එකත් අල්ලන්නවත් දෙන්නේ නැහැ .

මොකද මට ඒකාලේ තාත්තා ඉස්කුරුප්පු නියන් සෙට් එකක් ගෙනත් දීලා තිබුණා . වැඩිහරියක් මම ගෙදර තියෙන ඒවා ගලවලා බලන තත්වයක් තමයි ඒ කාලේ තිබුණේ . ටීවී එකයි කැසට් එකයි බේරගන්න ඕන නිසා මට ඒවා අල්ලන්න තහංචි කරලා තිබුණේ . ඒත් පස්සේ කාලෙක මම ඒවාත් ගලවලා බැලුවා . ඉතින් මම කැසට් පටි අහන්න ගත්ත කාලේ ඔය තිබ්බ කැසට් පීස් දවස පුරාම වාදනය කරනවා . මම වැඩිපුරම වාදනය කරේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීත තිබුණු කැසට් පීස් එක . හැබැයි අමරදේවයන්ගේ එක කැසට් පීස් එකක්වත් තිබුණේ නැහැ .

මම 9 වසරේ ඉගෙන ගන්න කාලේ අපේ ඉස්කෝලේ අපේ පංතියේ හිටියා ඉසුරු නුවන් දයාසිරි කියලා යාලුවෙක් . මෙයා දවසක් ඉස්කෝලෙට අරගෙන ආවා අමරදේවයන්ගේ කැසට් පටියක් . ඒකෙ තිබුණා එක ගීතයක් මම කැමතිම . මේ ගීතය මම අහන්න තිබ්බ ආසාවටම දවසක් ගැටවරයෝ කියන සිංහල චිත්‍රපටය බැලුවා ටීවී එකේ යනකොට . ඒ ගීතයේ නමින්ම තමයි මේ කැසට් පීස් එක නම් වෙලා තිබුණේ . පස්සේ මම ඒ යාලුවට කියලා මේ පීස් එක ඉල්ලගත්තා ටික දවසක් අහලා ගෙනත් දෙන්නම් කියලා .



ඕක ගෙනාව වෙලේ ඉඳලා රිවයින් කර කර ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් කියන ගීතය තමයි මම ඇහුවේ . අහලා අහලා ටිකක් ගීතය හුරු වුණාට පස්සේ වයලීන් එක අරගෙන ගීතය අනුකරණය කරන්න පුලුවන්ද කියලා බැලුවා . එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ . ඊට පස්සේ ඒ කැසට් පීස් එකේ තිබුණු ඔක්කොම වගේ ගීත වයලීන් එකෙන් වාදනය කරන්න පුරුදු වුනා . මම තවමත් අමරදේවයන්ගේ වාදනය කරපු නැති ගීතය තමයි " තරු අරුන්දතී " කියන ගීතය . අනිත් හැම ගීතයක්ම එදා වාදනය කරලා බැලුවා . ඔන්න ඔතනින් තමයි අමරදේවයන් ආරූඪ කරගන්න උත්සාහ කිරීම පටන් ගත්තේ . ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් කියන ගීතය මට හොඳටම වාදනය කරන්න පුළුවන් උනාට පස්සේ ඉස්කෝලේ ආවමත් ඉඳලා හිටලා ඕක මම වාදනය කරනවා .

මේ අතරේ තමයි පාසලේ දක්ෂතම වාදකයා තේරීමේ තරඟය ආවේ . මම ඒකට වාදනය කරේත් ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් කියන ගීතය . ඒකෙන් මම පාසලේ දක්ෂතම වාදකයා විදියට තේරුණා . පස්සේ මේ ගීතය ඒ අවුරුද්දේ කළා උළෙලේදීත් වාදනය කරන්න වුනා . මේ කළා උළෙලට පුරුදු පුහුණු වෙන්න අපේ සංගීත මිස්ගේ ගෙදර ගියපු වෙලාවේ සංගීත සර් අපිට ගොඩක් උපදෙස් දීලා අපේ වාදන හැකියාවන් අගය කරලා අවසන් වෙලා රාත්‍රී ආහාර ගන්න වෙලාවේ අපි ටීවී එකෙ ගියපු හංසවිල කියන සංගීත වැඩසටහන බැලුවා . එදා අමරදේවයන් ඒ වැඩසටහනට ඇවිත් හිටියා . එදා තමයි අමරදේවයන් DRC MEMBERS වාදක කණ්ඩායම එක්ක සත්සමුදුර ගායනා කරේ .

ඒ වාදනය සහ ගායන අහගෙන හිටපු සංගීත සර් මට කිව්වා " ඔන්න කොල්ලෝ ගහනවානම් සිංදු " කියලා . එදා තමයි මම සත්සමුදුර අනුකරණය කරන්න පටන් ගත්තේ . ඒක නම් හිතපු තරම් ලේසි වුණේ නැහැ . මම ඉස්සෙල්ලම රෙකොර්ඩ් බාර් එකකින් ගීතය පටිගත කරගෙන ඇවිත් කැසට් එකට දාලා රිවයින් කර කර අහ අහ මේ ගීතය වාදනය කරන්න පුරුදු වුණා . ඒකාලේ මට ස්වර ප්‍රස්තාර කියවන්න ලොකු පුරුද්දක් තිබුණේ නැහැ . ඒ නිසා කනෙන් අහලා මතක තියාගෙන තමයි වාදනය කරේ . සත්සමුදුරත් එහෙම තමයි කරේ . ඒ නිසා ඒ විනාඩි හතයි ගානක වයලීන් සෝලෝ එකම මම මතක තියාගත්තා .

පස්සේ කාලෙක මම වයලීන් ගහලා ලබපු යම් ප්‍රසිද්ධියක් තියෙනවනම් ඒ ප්‍රසිද්ධියට ලොකු හේතුවක් වුණේ මේ සත් සමුදුර ගීතය . මොකද ඒ ගීතය මතක තියාගන්න එකම එකවිදියක අභියෝගයක් කියලා තමයි අහපු අය කිව්වේ . සවර්ණ විමානෙට කියන ගීතයත් සත් සමුදුරත් මගේ සංගීත ජීවිතයේ හෙවනැල්ල වගේ තවමත් ඉන්නවා . ඒ ගීත දෙක තමයි වයලීනෝ බිහි කරන්න හේතු වුණේ . ඒ නිසා අමරදේවයන් මගේ හදවතේ උතුම්ම ස්ථානයක එදා ඉඳලා වැඩ ඉන්නවා කියලා මතක් කරන්න ඕන .

අද මේ ලිපිය ලියන්න පටන් ගත්තේ ආදී පස්සේ අපිට බ්ලොග් ලියලා සංගීතය ගැන කතා කරන්න වෙන්නේ රජෙක් නැති ලෝකයක තනිවෙච්ච මිනිස්සු විදියට . කොයි විදියේ සංගීතයක් අනාගතයේ බිහිවෙයිද දන්නේ නැහැ .ඒ නිසා අනාගතය හරිම අඳුරුයි . අමරදේවයන්ගේ විශේෂම ගතිගුණයක් විදියට මම දකින්නේ එතුමන් නව පරපුර විවේචනය කරපු නැති එක . බොහොම උපේක්ෂාවෙන් තමයි එතුමන් නව පරපුර ගැන කතා කරේ .

අද කාලේ ඉන්න ප්‍රවීනයින් කරන්න ඕනත් ඒ දේ තමයි . විවේචනය නෙවෙයි අවශ්‍ය . නිර්මාණ කිරීමයි අවශ්‍ය වෙන්නේ . ඒ නිසා අද ඉන්න සංගීත ලෝකයේ මහා දැවැන්තයින් ගෙන් මම ඉල්ලන්නේ තව තවත් උතුම් නිර්මාණ කරන්න කියලා . එතකොට ආධුනිකයින්ට තවත් ආදර්ශ ගන්න පුළුවන් නිර්මාණ වැඩි වෙනවා .

අමරදේවයිනි ඔබතුමන්ට නිවන් සැප ලැබේවා !


පළි :

දැන් හැමෝම බලාගෙන ඉන්නවා අලුත්ම සීයාගේ මුණුබුරාගේ කතාව මොකක්ද කියලා . මම රණබා එක්ක සීයයි මුණුබුරයි පුලස්ති මහා සෘෂිවරයාගේ දේහය තැම්පත් කරලා තියෙන ස්ථානයට යවන්න තමයි මේ වතාවේ කල්පනා කරගෙන ඉන්නේ . අද ඒ කතාව ලියන්න පටන් ගන්නවා . බලමු කොහොමද ඒක අවසන් වෙන්නේ කියලා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Wednesday, November 16, 2016

මහා ලක්ෂ්මී අශ්ටකම්







1.නමස්තේස්තු මහා මායේ - ශ්‍රී පීඨේ සුර පුජිතේ
ශංඛ චක්‍ර ගධා හස්තේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මහා මායාවන් ඉර්ධින් කරන්නියට නමස්කාර වේවා - ශ්‍රී පිඨයෙහි දෙවියන්ගෙන් වැදුම් ලබන
හක් ගෙඩිය, චක්‍රායුධය, ගධාව අතින් දරා සිටින - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර කරමි)

2.නමස්තේ ගරුඬාරුඩේ - කෝලාසුර භයන්කරි
සර්ව පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ගුරුළා පිට එන්නියට නමස්කාර වේවා - කෝල නම් අසුරයා භයට පත් කල
සියලු පවු දුරුකරන -  මහා ලක්ෂ්මී දේවියට නමස්කාර කරමි)

3.සර්වඥේ සර්ව වර දේ - සර්ව දුෂ්ඨ භයන්කරි
සර්ව දුක්ඛ හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සියලු ඥානයෙන් යුත් සියලු වර ලබාදෙන - සියලු නපුර පලවා හරින
සියලු දුක් නැතිකරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

4.සිද්ධි බුද්ධි ප්‍රදේ දේවි - භුක්ති මුක්ති ප්‍රදායිනි
මන්ත්‍ර මුර්තේ සදා දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සාර්ථකත්වය බුද්ධිය ලබා දෙන - සතුට විමුක්තිය ලබා දෙන
මන්ත්‍රයන්හි ප්‍රතිමුර්තියක් වූ මන්ත්‍ර තුලින් පැන නගින්නා වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

5.ආද්‍යන්ත රහිතේ දේවි - ආධ්‍ය ශක්ති මහේෂ්වරී
යෝගජේ යෝග සම්භුතේ - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(මුලක් අගක් නැති තරම් අපරිමිත වූ - විශ්ව ප්‍රාරම්භක ශක්තිය වූ
යෝග තුල වැඩ හිදින්නා වූ යෝග වල ආරම්භය වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

6.ස්ථුල ශුක්ෂ්ම මහා රෞද්රේ - මහා ශක්ති මහෝදරේ
මහා පාප හරේ දේවි - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(ඉතා විශාල ,ඉතා කුඩා ස්වභාව ගත හැකි, මහා රෞද්‍ර වූ - මහා ශක්තියක් සහිත මහා සෞභාග්‍යයෙන් යුතු
පවු හරණය කරන - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

7.පද්මාසනස්තිතේ දේවි - පර බ්‍රහ්ම ස්වරුපිනි
පරමේෂි ජගන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(නෙලුම් ආසනය මත වැඩ හිඳින - බ්‍රහ්ම ස්වභාවයෙන් යුක්ත
මහා උතුම් වූ විශ්ව මාතෘ වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

8.ශ්වෙතාම්බරධරේ දේවි - නානා ලංකාර භුශිතේ
ජගස්තිතේ ජඝන් මාත - මහා ලක්ෂ්මී නමොස්තුතේ
(සුදු වස්ත්‍රයෙන් සැරසුන - විවිද අලංකාර වලින් විභූෂිත
විශ්වය සිසාරා පැතිරී පවතින , විශ්ව මාතෘ වූ - මහා ලක්ෂ්මී දේවියට නමස්කාර වේවා)

Thursday, November 3, 2016

අමරදේවයිනි , ඔබට නිවන් සුව ලැබේවා !


ඔබ එනතුරු සේකරයන් මෙපමණ කලක් බලා සිටින්නට ඇති 
ගී පොතත් මීවිතත් නැවතත් එක් විය

සංගීතයට හිතැති මිනිසුන් අතරේ 
වයලීනයට පෙම් බැන්දෙකු විලසින් 
පිං කෙත හෙළ රන් දෙරණේ 
යළි උපදින්නට හේතු වාසනා වේවා !

ඇදුරිඳුනි ඔබට නිවන් සුව ලැබේවා !





මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩදී...අඳුරේ සැඟවී...
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යානේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැළි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුළක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - මහගම සේකර



Monday, October 17, 2016

බෝධි පූජා පැවැත්වීමේ මගේ පිළිවෙත් සහ පූජා විධි


කියවන්න කලින් මේක ප්ලේ කරන්න , අහන්න , බලන්න .





අවිචාරවත් වෘක්ෂ වන්දනාව විචාරවත් බෝධි පූජාවක් දක්වා පරිවර්තනය කරේ අපේ බුදුරජාණන් වහන්සේ . වසර හයක් තිස්සේ තමන් ගවේෂණය කරන ලද සත්‍ය අවබෝධ කරගන්න තමන්ට පිටදී වැඩ ඉන්නත් සෙවනත් සපයමින් උපකාර කලේ වජ්‍රාසනය අසල මහා අහස් කුසට නැගී සිටි විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ . ඉතින් බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තාට පස්සේ මේ බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පූජාවෙන් කලගුණ සලකමින් පුජා පැවැත්වුවා . මේ පළමු බෝධි පූජාවට පස්සේ තමයි බෞද්ධ ජනතාව අතරේ බෝධි පූජාව ප්‍රචලිත වුණේ .

ඒත් ඊට කලින් බෝ වෘක්ෂය වන්දනාමාන වලට ලක්වුනා කියලා අපි දන්නවා . ගොඩක් වෙලාවට වෙදකමේ බෝ පොතු අවශ්‍ය වෙනවා . ඒකට ගන්නේ කපුටු බෝ විදියට හඳුන්වන වන්දනාමාන කරන්නේ නැති ඉබේ පැල වෙච්ච බෝගස්වල පොතු . අංජනම් හදන එක බෙහෙත් වට්ටෝරුවක තියෙනවා බෝ පොතු අඟුරුවල අවශ්‍යතාවයක් . මේ වගේ එක එක දේවල් වෙනුවෙන් බෝ ශාකය පෙරදිග විෂයන් වලටත් අවශ්‍ය වෙලා තියෙනවා . බෝ දළු , බෝ ඇට තවත් බෙහෙත් වට්ටෝරුවල මම දැකලා තියෙනවා . ඉතින් මේවගේ දේවල් වලට ගත්ත බෝ ගහේ යම් ශක්තියක් තියෙනවා කියලා ඒ කාලේ හිටපු සෘෂිවරු විසින් ප්‍රකාශ කරලා තිබිලා තියෙනවා . ඔයාලා දන්නවාද සතියේ දවස් හතට ගස් වර්ග හතක් තියෙනවා කියලා . මෙන්න මේවා තමයි ඒ ගස්වර්ග හත . 


ඉරිදා (රවි) - ඉඹුල්
සඳුදා (චන්ද්‍ර) - දිවුල්
අඟහරුවාදා (කුජ) - කොලොන්
බදාදා(බුද) - කොහොඹ
බ්‍රහස්පතින්දා (ගුරු) - බෝ
සිකුරාදා (සිකුරු) - කරඳ
සෙනසුරාදා (ශනි) - නුග

බ්‍රහස්පතී , එහෙමත් නැත්නම් ග්‍රහ මණ්ඩලයේ පුරෝහිතයා විදියට හඳුන්වන සුරගුරු දෙවියන් විදියට හඳුන්වන ගුරු ග්‍රහයාගේ දිනයට අදාල වෘක්ෂය විදියට තමයි බෝ ශාකය හඳුන්වන්නේ . මේ කියන්නේ ශක්ති විද්‍යාව අනුව පහදන්න පුළුවන් කාර්යයක් . ඒ ඒ ග්‍රහයින්ගේ ශක්තිය අපේ ඇඟට ලැබෙන ආකාරයටම ඒ ග්‍රහයින්ගේ අහිතකර කිරණවල තියෙන ශක්තිය ඉවත්කරන්න මේ බෝ වෘක්ෂයේ තියෙන සෙවනට , සුවඳට , ගහෙන් නිකුත්වන කිරණ වලට පුළුවන් කමක් තියෙනවා . ඒ වගේම ශක්ති ගලනය ක්‍රමවත් කරන්නත් මේ බෝ වෘක්ෂයට හැකියාව තියෙනවා . බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයාව ඉන්න කාලේ ඉන්දියාවේ තිබුණු ශිල්ප හැටහතරක් ඉගෙන ගෙන තියෙනවා කියලා කියනවා . මේ ශිල්පවල ප්‍රාචීන ඉගැන්වීම අඩංගුවෙලා තියෙනවා .

ඒවගේම බුද්ධ කේන්ද්‍රයේ ලග්නය වන කටක ලග්නයේ ගුරු ග්‍රහයා පිහිටීම නිසා ගුරු ග්‍රහයා උච්ච තත්වයට පත්වෙලා තියෙනවා . ගුරු ග්‍රහයාට අයත් වෘක්ෂය බෝ වෘක්ෂය . මේ දේවල් සලකලා බලනකොට මම පෞද්ගලිකව විශ්වාස කරනවා බුදුන් වහන්සේගේ සත්‍ය අවබෝධයට සහ අධ්‍යාත්මික චක්‍ර වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නත් විශ්ව ශක්තියේ කේන්ද්‍රගත කිරීම සිදුකරන්නත් බෝ වෘක්ෂය හේතුවෙන්න ඇති කියලා . ඒ නිසාම උන්වහන්සේ බෝ වෘක්ෂය අසල තමන්ගේ සත්‍ය අපබෝධ කරගැනීමේ ස්ථානය පිළියෙළ කරගන්න ඇති කියලා . 

ඒ නිසා තමයි අදටත් ගුරු ග්‍රහයාගේ අපලවලට බෝධි පූජා අනිවාර්යෙන්ම තියන්නත් අනෙක් ග්‍රහයින්ගේ අපල සඳහාත් බෝධි පූජා පවත්වන්න කියලා ජ්‍යෝතිෂ්‍ය පරිහරණය කරන අය කියන්නේ . ඒ වෙනුවෙන් නෙවෙයි , නිකමට හිත සැහැල්ලු කරගන්න වුණත් බෝධි පූජා තිබ්බා කියලා ගැටළුවක් වෙන්නේ නැහැ . මොනයම් දෙයක් නිසා හරි අද උවමනා වෙලා තියෙන්නේ නමට බෞද්ධ ප්‍රතිපත්ති විතරක් රකින ආමිසයක් නැති අයව පන්සලට යවන එක .

ඉන්දියාවේ පැවතුනු මේ දේවල් ලංකාවට ආවේ මහින්දාගමනයත් එක්ක . වර්තාගත ඉතිහාසය අනුව බලනකොට මහින්දාගමනය එක්ක තමයි වෘක්ෂ වන්දනාව බෝධි පූජාව දක්වා පරිවර්තනය වෙන්න අඩිතාලම වැටුනේ . ඊට පස්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාව මෙරටට වැඩම කරාට පස්සේ එයින් පැන නැගුනු අෂ්ට පලරුහ , දෙතිස් පලරුහ බෝධීන් වහන්සේලා ලංකාව පුරාම ව්‍යාප්ත වීමත් එක්කම මේ බෝධි පූජා විධියත් ලංකාවේ ප්‍රචලිත වුනා . එදා පටන් ගත්ත බෝධි පූජාව අද දක්වා විකාශනය වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ හිතුමනාපයට . අධික ශ්‍රද්ධාව එක හේතුවක් . මෝඩ ශ්‍රද්ධාව තවත් හේතුවක් . 

මම කාලෙකට කලින් සබරගමුව මහ සමන් දේවාලයේ බෝධීන් වහන්සේ ගැන මෙන්න මෙහෙම ලිපියක් සමන් සුරිඳුවත කියන ෆේස්බුක් පිටුවේ පල කරා . දැන් ඉතින් කියන්න එපා සමන් සුරිඳුවතත් දර්ශන අයියගේ කියලා . මම ඒ පේජ් එකේ භාරකරුවා මිස අයිතිකරුවා නෙවෙයි .

ඉතින් මෙන්න මේක තමයි ඒ ලිපිය . ඒ ලිපියෙන් මම බලාපොරොත්තු වුණේ සබරගමුව මහසමන් දේවාලයේ බෝධීන් වහන්සේ ඇතුළුව අනෙකුත් සියලුම බෝධීන් වහන්සේලා මෝඩ ශ්‍රද්ධා වන්තයින්ගෙන් ආරක්ෂා කරගන්න .

ඔන්න ඒ ලිපිය .






මගේ ලිපි කියවන අයට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ සමන් දේවාලයයි මගෙයි තියෙන සම්බන්ධය . සමහර වෙලාවට සමහර අය කියනවා " උඹ පන්සලක නෙවෙයි දෙවාලෙක් මහන වෙයන් " කියලා . ඒ තරමටම මම සමන් දේවාලයට ගොඩක් සමීපයි . සෝවාන් ඵලයට පැමිණි සුමන සමන් දෙවියන්ගේ ප්‍රධාන දේවාලය තමයි සබරගමුව මහ සමන් දේවාලය කියන්නේ . මම ගොඩක් ලිපිවල මේ සමන් දේවාලයේ කවුරුත් දන්නා දේවල් වගේම නොදන්නා දේවල් පවා විස්තර කරලා තියෙනවා . ඒ තොරතුරු හොයන කාලයේ මට දැනගන්න ලැබුණු දෙයක් තමයි සමන් දේවාලයේ තියෙන බෝධීන් වහන්සේලාගේ වැදගත්කම .
ලොකු විස්තරයක් නැතත් මේ කියන්න යන්නේ ඒ බෝධීන් වහන්සේලාගේ වැදගත්කම සහ උන්වහන්සේලාට වෙලා තියෙන නස්පැත්තිය ගැන . මම පොඩි කාලෙ සමන් දේවාලයට යන එන කාලෙ අපි වන්දනාමාන කලේ දැන් තියෙන බෝධීන් වහන්සේට නෙවෙයි . උන්වහන්සේ පැත්තක වැඩ හිටියා . හැමෝම වගේ වන්දනාමාන කලේ දේවාලයේ පහත මළුවේ , ඒ කියන්නේ පහළ තියෙන වැලි අතුරලා තියෙන මිදුල මැද රෝපණය කරලා තිබුණු පෞරාණික බෝධීන් වහන්සේට .

මේ බෝධීන් වහන්සේ මම මතක ඇති කාලෙ දකින කොටත් තමන්ගේ ජීවිතය අවසන් කරන්න ඔන්න මෙන්න තත්ත්වයක තමයි හිටියේ . ඒත් මිනිස්සු ඒ බෝධීන් වහන්සේට වන්දනා මාන කළා . අපි දේවාලයට ඇතුළු වෙච්ච ගමන්ම මේ බෝධීන් වහන්සේට වැඳගෙන තමයි දෙවියන් වැඩ ඉන්න උද මළුවට ගමන් කරන්නේ . මේ බෝධියේ මම දැක්ක විශේෂ දෙයක් තමයි කුණක් බැහැලා බෝ කඳ මැද ලොකු කුහරයක් හැදිලා තියෙන එක .  ඒ නිසා ඒ කුහරයට මිනිස්සු සල්ලි විසි කරන්න පුරුදු වෙලා හිටියා .

මමත් දවසක් ඕකට කාසියක් දාන්න ඕන කියලා කෑගගහා උඩ පනිනකොට මට මතකයි අපේ ආච්චිඅම්මා මාව නවත්තලා මට කිව්වා මෙන්න මෙහෙම කතාවක් . ඒ තමයි බෝධීන් වහන්සේට එහෙම කාසි දැම්මම මලකඩ කන කාසි එහෙම තිබුණොත් ඒවා මල බැඳිලා බෝධීන් වහන්සේට විෂ වෙලා බෝධීන් වහන්සේ විනාශ වෙන්න පුළුවන් කියන කාරණාවා . ඇත්තටම පස්සේ කාලෙක තමයි මට ඒක තේරුනේ . කාසි ඇතුළට වැටුනම ආම්ලික වැසි වතුරත් එක්ක මේ කාසි ප්‍රතික්‍රියා කරලා ලෝහ විඛාදනය වෙලා ඒ ද්‍රාවනය අන්තිමට ගහට විස වෙන්න පුළුවන් .

ඉතින් කොහොමින් කොහොම හරි මේ බෝධීන් වහන්සේ කඩා වැටිලා විනාශ වෙලා ගියා . පස්සේ එතන තිබ්බ බෝධි ප්‍රාකාරයත් ඉවත් කරලා දැන් සමන් දේවාලයේ පහත මිදුල තනිකරම පිට්ටනියක් වගේ සමතලා වෙලා තමයි තියෙන්නේ . ඒක හොඳයි . ඒත් කවුරුවත් දන්නවද මේ බෝධීන් වහන්සේලාට කොච්චර ඉතිහාසයක් තියෙනවද කියලා .

මේ බෝධීන් වහන්සේලා රෝපණය කරලා තියෙන්නේ මට ලැබුණු කරුණු කාරණා වලට අනුව දෙවෙනි රාජසිංහ රජතුමා විසින් සමන් දේවාලය නැවත ප්‍රතිසංස්කරණය කරාට පස්සේ . පරංගීන් විනාශ කරපු දේවාලය තමයි එතුමා නැවත ප්‍රතිසංස්කරණය කලේ . එතුමා බෝධීන් වහන්සේලා තුන් නමක් රෝපණය කරවලා තියෙනවා . ඒ වැඩම කරවලා තියෙන්නේ අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත්ත ඵලයන්ගෙන් ලැබුණු බෝ පැල . ඒවා තමයි දේවාලයේ දෙපැත්තේ සහ මිදුලේ රෝපණය කරලා තිබිලා තියෙන්නේ . අද එයින් වැඩ ඉන්නේ දෙනමයි . එකක් ඔහේ නිසොල්මනේ තියෙනවා . අනිත් බෝධීන් වහන්සේට තමයි වන්දනාමාන කරන්න ප්‍රාකාර බැඳලා රන් වැට සවි කරලා හදලා තියෙන්නේ .

2015 අවුරුද්දේ මුල සහ සිංහල අවුරුද්ද දවසේ මේ බෝධීන් වහන්සේගේ විශාල අතු දෙකක් දෙවාරයකදී කඩා වැටුනා . බෝධීන් වහන්සේ දිහා බැලුවම මට දැන් පෙන්නේ මිදුලේ වැඩ ඉඳලා විනාශ වෙච්ච බෝධීන් වහන්සේගේ පෙනුම . මේ බෝධීන් වහන්සේත් විනාශ වේගෙන එනවා කියලා තමයි මට පේන්නේ . ඇයි මේකට හේතුව ?

මම අදත් සමන් දේවාලයට ගිය වෙලාවේ හොඳටම වැස්ස . කුඩයත් ඉහලාගෙන බෝධියට වඳින වෙලාවේ මහා හුළඟක් ආවා . මම එතන ඉන්නවා දැකලා මුර කරන අයියා කෙනෙක් කෑගැහුවා මල්ලි ඉක්මනට අයින් වෙන්න කියලා . මම උඩ බලනකොට තමයි දැක්කේ බෝ අතු ජරබර ගගා ඇඹරෙනවා . අතු කඩා වැටෙයි කියලා තමයි මේ අයින් වෙන්න කියන්නේ .

මම ඇහුවා මුර කරන අයියගෙන් අනිත් බෝධියයි මේ බෝධියයි එකම වයස . ඒත් ඇයි මේක ඉක්මනට දිරන්නේ කියලා . පස්සේ ඒ අයියා කිව්වේ මිනිස්සු බෝමුල් කිට්ටුව තෙල් වර්ග වලින් පහන් පත්තු කරන නිසා කියලා . මම ඉස්සරත් මේ බෝධියෙ පාමුලට ගිහින් බලලා තියෙනවා . ඇත්ත කතාව . මේ බෝධියේ මුලට මිනිස්සු ගිලන් පස , අරිෂ්ට , තල තෙල් , අබ තෙල් , එඬරු තෙල් වගේ දේවල් විසි කරනවා පූජා කරලා ඉවර උනාම . තරහා වෙන්න කාරී නෑ මෙහෙම කිව්වට . 

ගෑණු උදවිය තමයි මේ වැඩේ ගොඩක්ම කරන්නේ . පූජා කරපු දේවල් අන්තිමට පොහොර වෙන්න කියලා හිතාගෙන වෙන්නැති මෙහෙම විසි කරන්නේ . ඉතින් මේ ජාති වලින් තල තෙල් , අබ තෙල් එඬරු තෙල් හරිම විෂයි . ඒ වගේම තමයි එළඟිතෙල් පහන් කියලා විකුණන කහ පාට ඩයි දාපු ඉටි පුරවපු මැටි පහන් . මේ ඉටිත් අන්තිමට බෝධිය මුල තියෙනවා මම දැක්කා .

ඔයාලා ඕන දෙයක් පූජා කරන්න . ඒත් පහන් පත්තු කරනකොට බෝ මුලෙන් ඈතට වෙන්න පත්තු කරන්න පුළුවන් තරම් වගබලා ගන්න . ඒවගේම තමයි පූජා කරපු කිසි දෙයක් බෝ මුලට හලන්න එපා . මල් නම් කමක් නැහැ . ඒත් ඒකත් එපා . බෝ මුල පිරිසිදුවට තියාගන්න උදවු කරන්න . ඔයාලාගේ තියෙන භක්තිය හෝ ශ්‍රද්ධාව හෝ මොකක් හෝ වේවා ඒ කරන්නේ වැරදි දෙයක් . නොදැනුවත්ව හෝ ඔයාලා ඒ විනාශ කරන්නේ බුදුදහමේ සංකේත වගේම අපේ ඓතිහාසික වටිනාකමක් තියෙන දේවල් . ඔයාලට ඒවගේ දේවල් කරන්නෙම නැතුව ඉන්න බැරිනම් . කැලෑවල්වල තියෙන කපුටු බෝ ගස් වලට පුද පූජා කරලා ඒවාට හලන එකක් හලන්න . අඩුම තරමේ ආගම රකින්න බැරිනම් අපේ ඉතිහාසයවත් රකින්න උදවු කරන්න .

ගුරුකම් කරන දේවගැති මහත්වරුන්ගෙන් ඉල්ලන්නෙත් මේ දේවල්ම තමයි . බෝමුලක් ළඟ ඉඳගෙන කරන ගුරුකම් තියෙනවා කියලා මම දන්නවා . ඒත් ඒවා කරන්න පන්සල් වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න එපා . මිනිස්සු වන්දනාමාන කරන්නේ නැති අප්‍රකට කැලෑවල්වල තියෙන බෝ ගස් පාවිච්චි කරන්න .

අපේ ඉතිහාසය රකින්න උදවු කරන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


ඔන්න ඔච්චරයි ඒ ලිපිය . ඔතනින් එහාට මම මොකවත් කියන්නේ නැහැ . ඔයාලම තේරුම් ගන්න , තමන් වගේම ලක්ෂ ගණනක් මිනිස්සු බෝධිය ළඟට එනවා කියලා . එක එක්කෙනා තනි තනිව තමයි මෙහෙම දේවල් දාන්නේ . ඒත් දන්නෙම නැතිව හැමෝම කරන්නේ බෝධියට හතුරුකමක් . ඒ නිසා ඒ දේවල් වලින් වැළකිලා බෝධි පූජා කරන්න කියලා මම කාරුණිකව ඉල්ලා හිටිනවා . 

මම ඊළඟට කියන්න යන කාරණාවේ දෙපැත්තක් තියෙනවා . ඒ කිලි කතාව . බෞද්ධ දර්ශනය පැත්තෙන් බැලුවොත් කිලි කියන එක බෝධියට ගැටළුවක් නැහැ . ඒත් දෙවියන්ට ගැටළුවක් වෙනවා . ඒ නිසා කිලි වැදිලා පන්සල් එන එක බෞද්ධ දර්ශනයට ගැටළුවක් නෙවෙයි . ඒත් බෝධීන් වහන්සේලාට අධීගෘහිතව වැඩ ඉන්න දෙවියන්ට ගැටළුවක් වෙනවා . ඒ නිසා තමයි කිලිත් එක්ක බෝධි පූජා තියන්න එපා කියලා කියන්නේ . මමනම් ඒ ගැන මුකුත්ම කියන්නේ නැහැ . මොකද දෙපැත්තෙන් ඕන පැත්තක් අල්ලාගෙන කෙනෙක්ට මාව විවේචනය කරන්න පුළුවන් නිසා . ඒ නිසා තමන්ට කැමති විදියක් කරන්න . ලැබෙන හොඳ හෝ නරකත් තමන්ටමයි කියලා මතක තියාගන්න . 

ඊළඟට කියන්න ඕන කළුදේවතා බණ්ඩාර දෙවියන් පිළිබඳව . සංඝමිත්තා තෙරණින් වහන්සේ එක්ක ලංකාවට වැඩම කරපු අයගෙන් කෙනෙක් කියලා කියනවා මේ කළු දේවතා බණ්ඩාර දෙවියන් බවට පත් වෙච්ච කෙනා . තවත් වතාවක කියනවා දේවානම්පියතිස්ස රජුගේ සේනාවේ කෙනෙක් , එයා තමයි බෝධිය ආරක්ෂා කරන්න පත් කරලා හිටියේ කියලා . හොකොමහරි කළුදේවතා බණ්ඩාර දෙවියන් තමයි අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් අදත් වැඩ ඉන්නවා කියන්නේ .

එදා මැරෙන්න කලින් කල සේවාවා මියගියාට පස්සෙත් කළුදේවතා බණ්ඩාර දෙවියන් විදියට උන්වහන්සේ ඉෂ්ට කරනවා කියලා කියනවා . ඒ නිසා තමයි කිලි කතාව බෝධි සංස්කෘතියට එකතුවෙලා තියෙන්නේ . ඒත් මම මුකුත් කියන්නේ නැහැ ඒ ගැන . තමන්ට කැමැත්තක් කරන්න . ලැබෙන හොඳ නරක තමන්ට කියලා මතක තියාගන්න . 

කළුදේවතා බණ්ඩාර දෙවියන් ගැන මතක් වුණේ මෙන්න මේ නිසා . ඒ තමයි ඔයාලා බෝධි පූජාවක් කරනවානම් හාමුදුරුවන් වහන්සේ විශේෂයෙන් නම් කරලා පිං දුන්නේ නැතොත් ඔයාලා හරි අනිවාර්යයෙන්ම කළුදේවතා බණ්ඩාර දෙවියන්ට පිං දෙන්න මතක තියාගන්න . එතකොට ඔයාලට ඒ දෙවියන්ගේ දේව සමූහයාගේ පිහිට ආරක්ෂාව ලබාගන්න පුළුවන් . ඒකත් මම බල කරලා කියන්නේ නැහැ . තමන්ට කැමැත්තක් කරන්න . ලැබෙන හොඳ නරක තමන්ට කියලා මතක තියාගන්න .

බෝධි පූජාවක් තියන කාල සීමාව ගැන කට්ටිය නොයෙක් වෙලාවට ප්‍රශ්න අහනවා . මෙහෙමයි . පෙරදිග ශක්ති විද්‍යාව අනුව විසි එක් වතාවක් යම් දෙයක් කරනවානම් ඒ දෙයින් හොඳ ප්‍රතිපල ලැබෙනවා කියලා කියනවා . ඒ නිසා ඔයාලාට කැමතිනම් බෝධි පූජාවක් කරන්න ඕන කියලා ඒක දිගට දවස් විසි එකක් කරන්න . කිසිම ගැටළුවක් නැහැ . එහෙමත් නැත්නම් දවස් හතක් කරන්න . එහෙමත් නැත්නම් දවස් නවයක් කරන්න . ඒත් කමක් නැහැ . 

හැබැයි මගෙන් කේන්දර බලවාගත්ත හැම කෙනාටම මම කිව්වේ සතියට දවසක් හැමදාම බෝධිය ලඟට ගිහින් පූජාවන් පවත්වන්න කියලා . පූජාවන් බැරිනම් නිකමට ගිහින් ඉඳලා එන්න . ඒ ඇති . බෞද්ධයන් විදියට ඒ අරමුණින්වත් පන්සලට යන්න . ගිහින් පූජාවන් පවත්වලා හාමුදුරුවන් එක්ක කතා කරලා ආශිර්වාදය අරගෙන එන්න . ඒක තමන්ගේ දියුණුවට ලොකු ආශිර්වාදයක් වේවි . 

මම පහලින් සඳහන් කරනවා එක් බෝධි පූජා ක්‍රමයක් . ඒක තමයි මම අදහන මට සම්මත ක්‍රමය . ඒ දේවල් පූජා කරලා තමයි අපේ ගෙදර අය අවුරුද්දකට වතාවක් ලොකුවට බෝධි පූජාවක් සිදු කරන්නේ . වෙන වෙන වෙලාවට පන්සලට ගියාම පොඩියට මල් පහන් සුවඳ දුම් පූජා කරලා පූජාවන් පවත්වනවා .

ඔයාලත් බෝධි පූජාවක් කරනවා නම් මේ දේවල් එකතුකරගෙන බෝධි පූජාවක් කරන්න . හොඳ අනුහසක් ඒ අනුව ලබා ගන්න පුළුවන් . ඒත් එහෙමයි කියලා ඔයාලා බෝධීන් වහන්සේ ලඟට හිස් අතින් ගිහින් වැඳලා ආවත් ඒකෙත් අර අනුහස නැහැ කියලා කියන්න බැහැ . හැමදේටම මුල් වෙන්නේ හිත . මම කියන දේවල් පූජා කරලා බෝධීන් වහන්සේට පුද සත්කාර කරලා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාගන්න . හැමදාම බැරිවෙයි . ඒක දවසක් හරි පුළුවන් නම් මේවා පූජා කරන්න . 

දැන් කියයි හිතක් පපුවක් නැති බෝධිය කොහොමද ආශිර්වාද කරන්නේ කියලා . ගහකට රිද්දනකොටත් උපස්ථාන කරනකොටත් ගහෙන් නිකුත්වන කිරණවල යහපත් අයහපත් භාවයක් තියෙනවා කියලා අද නවීන විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා . ඒ නිසා ඒ දේවල් ඒ විදියට කරන්න . පේන්නේ නැතිවුණත් විශ්වාසයෙන් කරන්න . මම කතා කරන්නේ පිළිගත් විශ්වවිද්‍යාලයක බටහිර විද්‍යා විෂයන් කීපයක් පිලිබඳ විද්‍යාවේදී අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් විදියට . ඒ නිසා මේවායේ යම් ඇත්තක් තියෙනවා කියලා නවීන විද්‍යාවට අනුවත් මට පැහැදිළියි . ක්වොන්ටම් විද්‍යාව අනුවත් අපිට මේ දේවල් වල බලපෑම විස්තර කරන්න පුළුවන් . අනාගතයේ බලමු ඒ දේවල් ගැන . මෙන්න මෙහෙමයි බෝධි පූජාව කරන්න ඕන . 

බෝධි පූජාවට ඔයාලා සූදානම් වෙන්න ඕන . ඒ කියන්නේ එදාටවත් මස් මාළු කන්නේ නැතිව ඉන්න . කෑවත් ඉතින් කමක් නැහැ . මම කලින් කිව්වනේ , තමන්ට කැමැත්තක් කරන්න . ලැබෙන හොඳ නරක තමන්ට කියලා මතක තියාගන්න . එදාට නාන්න . නාලා පිරිසිදුවෙලා සුදු ඇඳුමක් හෝ ලා පාට ඇඳුමක් ඇඳගෙන පන්සලට යන්න . අර කොටුවේ හාමුදුරුවෝ කියනවා වගේ ෆුල් AC , ඩබල් AC අවශ්‍ය කරන්නේ නැහැ . සංවර ඇඳුමක් ඇඳගෙන යන්න . 
















මෙන්න මේ දේවල් අවශ්‍ය කරනවා අංග සම්පූර්ණ බෝධි පූජාවක් කරන්න . 

බටර් ස්වල්පයක් 
හකුරු ස්වල්පයක්
වියලි මිදී ස්වල්පයක් 
මීපැණි ස්වල්පයක්






මේවා තේ හැන්ද ගානේ අරගෙන පොඩි තසිමක කලවම් කරලා පූජා කරන්නත් පුළුවන් . එහෙමත් නැත්නම් ගොඩක් අරගෙන ලොකු භාජනයක පූජා කරන්නත් පුළුවන් . මේවාට තමයි චතුමධුර කියලා කියන්නේ . මතක ඇතිව මේවා කලවම් කරගත්තට පස්සේ ඉඟුරු පෙති දෙකතුනක් උඩින් තියන්න . 

බෞද්ධ කොඩියේ පාටින් රෙදි වලින් මහන ලද කොඩි වැලක් . හෝ තමන්ගේ අපල වෙනුවෙන් පූජා කරන්න කියන වර්ණයේ කොඩියක් හෝ කොඩි වැලක් . ඒත් කරුණා කරලා බෝධීන් වහන්සේ කටවුට් බැනර් එල්ලන තැනක් කරන්න එපා . නම ගැහුවත් නැතත් දෙවියන්ට පේනවා නම් , තමන් හොඳ කෙනෙක් නම් දෙවියන්ට පේනවා . බෝධීන් වහන්සේ අවලස්සන කරන්න එපා . වෙන මිනිස්සු බෝධියට එන්නේ කටවුට් කියවන්න නෙවෙයි . හිතේ සැනසීම ඇතිකරගන්න . 

අරයාගේ අපල දුරුවේවා . මෙයාගේ අපල දුරුවේවා කියලා බැනර් වගේ කොඩි එල්ලන්න එපා . දැන් අලුත් ස්ටයිල් එක තමයි A4 එකේ ප්‍රින්ට් කරලා ලැමිනෙට් කරලා එල්ලන එක . කරුණා කරලා ඒ අවිචාරවත් අඳ බාල වැඩේ කරන්න එපා . කොඩි එල්ලන්නේ ලස්සන කරන්න . බෝධීන් වහන්සේ ලස්සන කරන්නයි කොඩි එල්ලන්නේ . ඒ නිසා ඒ අරමුණෙන් කොඩි එල්ලන්න . එතකොට ඔයාලට ඒ අනුහස අඩුවක් නැතිව ලැබෙයි .  

දසමුල අරිෂ්ට කාලේ බෝතලයක් 
ලද පස්මල් මල් ආසනයට ඉහින්න
එළඟිතෙල් අවුන්සේ කුප්පියක් 
පිනිදිය අවුන්සේ කුප්පියක්
කසාය පැකට් එකක් 





අරිෂ්ට පොඩි කෝප්පයකට හෝ වීදුරුවකට දාලා පූජා කරන්න . ලදපස්මල් මල් ආසනයේ ඉහින්න . එළඟිතෙල් එක්කෝ පහනක් පත්තු කරන්න බෝධීන් වහන්සේට ගොඩක් ඈතින් . එහෙම කරන්න බැරිනම් තෙල් කුප්පිය විවෘත කරලා තියන්න . බෝධිය මුල හලන්න එපා එපා එපා . පිනිදිය කුප්පියෙන් ටික ටික තමන්ගේ මල් වට්ටි වලට ඉහින්න . 

කසාය පැකට් එක කඩන්නේ නැතිව පූජා කරන්න . නැත්නම් කඩලා පෙරහන් කඩකට දාලා පූජා කරන්න . ඒ නැතිව පැනඩෝල් සිද්ධාලේප රටේම තියෙන කොළ වර්ග පූජා කරන්න එපා . දෙවියන්ට බෝධියට ලෙඩ නැහැ . අපි කරන්න ඕන ඒවා ලෙඩ්ඩුන්ට දීලා ඒ පිං දෙවියන්ට අනුමෝදන් කරලා පිහිට ඉල්ලන එක . කොළඹ ලොකු ලොකු පන්සල්වල හම්මේ මල් ආසනේ තියෙන ඒවා . පුළුවන් නම් වමනේ පෙතිත් පූජා කරයි . කමක් නැහැ . ඒ වමනේ පෙත්ත වමනේ යන කෙනෙක්ට දෙන්න . ඊට පස්සේ ඒ පින දෙවියන්ට අනුමෝදන් කරන්න . විචාරවත්ව වැඩ කරන්න . 

පූජාව අවසානයේ දසමුල අරිෂ්ට , කසාය පැකට් එක , චතුමධුර වගේ ඖෂධීය ගුණයක් තියෙන හැම දේම රෝගී කෙනෙක්ට පාවිච්චියට දෙන්න . ඒවා එහෙමම බෝධිය මුලට දාන්න එපා මේවා මිනිස්සු කන්න හොඳ නෑ , ඉතින් පොහොර වෙන්න බෝධියට දාන එක හොඳයි කියලා . ඒවා එතනින් ඉවත් කරන්න . 

දැහැත් විටක් පූජා කරන්න .

තෙල් මල් පහන් හඳුන්කූරු පහන් තිර වගේ ඒවා කොහොමත් පන්සලකට ගේන නිසා ඒවා පූජා කරන්න . මම විශේෂයෙන් කියන්නේ නැහැ මොකවත් . පහන් පුළුවන් තරම් බෝ මුලෙන් ඈත් කරලා පත්තු කරන්න . බෝ මුලට පහන් තිර තෙල් විසි කරන්න එපා . පර මල් දාන්නත් එපා . හඳුන් කූරු බෝධියෙන් ඈත් වෙන්න තියෙන තැනක පත්තු කරන්න . අබතෙල් තලතෙල් වගේ පහන් බෝධියට ගොඩක් ඈතින් පත්තු කරන්න . 

ගිලන්පස ගැන යමක් කියන්න ඕන . ගිලන්පස වලට තේ පූජා කරාට කමක් නැහැ . ඒත් අෂ්ට පාන පූජා කරන්න පුළුවන් නම් හොඳයි . 

අම්බ (අඹ) 
දඹ (ජම්බු )
චෝච (ඇටි කෙහෙල්) 
මෝච (මස් කෙසෙල්) 
මධූ( අමු මිදි) 
මුද්දික (වියළි මිදි)  
සාලුක (හෝලු ගෙඩි) 
ඵාරුසක (බොරලු දමනු හෙවත් මසන්)

මේවායින් මොනවා හරි ඉස්ම තමයි පූජා කරන්න ඕන . දැන් කාලේ ලේසියට තේ හදලා තිබ්බට . ගිලන් පස විදියට පූජා වෙන්න ඕනා මේවා . එහෙමත් බැරිනම් කෝඩියල් වත් හදලා තියන්න . තේ තියන එක මමනම් අනුමත කරන්නේ නැහැ . 

ඔයාලා හාමුදුරුවන්ට පිරිකර පූජා කරනවානම් කැමති දෙයක් පූජා කරන්න . පූජාව පවත්වන්නේ හාමුදුරු කෙනෙක් නම් පිරිකරක් පූජා කරන්න . එහෙම නැතිව ඔයාලාම ගාථා කියලා පූජාව කරනවානම් සිවුරු පිරිකරක් හෝ අඳනයක් හාමුදුරු කෙනෙක්ට පූජා කරන්න . අද කාලේ අලුත්ම විලාසිතාව බෝධිය සිවුරු වලින් ආවරණය කරන එක . ඒක එච්චර වැදගත් කියලා මම හිතන්නේ නැහැ . බෝධියේ අලංකාරයට කොඩි පූජා කරාම ඇති . සිවුර අඳින්න සිවුරු නැති හාමුදුරු කෙනෙක්ට පූජා කරන්න .

දුප්පත් පන්සල් ඕනෑ තරම් තියෙනවා . ඒවගේ එකකටවත් පූජා කරන්න . ඒ අනුහස ඉතාම බලවත් . ඒවගේම ඒක ලොකු පිනක් . එහෙමත් නැත්නම් ඒ මුදල පිං කැටයකට දාන්න . හාමුදුරුවෝ ඒ සල්ලි මොකට ගත්තත් අපිට කමක් නැහැ . අපි ඒවා දෙන්නේ ලෝභය නැතිකරගෙන පූජා බුද්ධියෙන් යුතුව . අපිට මෙහෙමවත් යන්න පන්සලක් තියෙන්නේ ඒ මුදල් නිසා රැකෙන පන්සල නිසා . ඒ නිසා අසුභවාදීව හිතන්නේ නැතිව සල්ලි කැටේට දාන්න .

ඊළඟ කතාව තමයි පූජාවේ කියන ඒවා . 

නමස්කාරය , පන්සිල් , බුද්ධ ධම්ම සංඝ වන්දනා ගාථා කියන්න .
චෛත්‍යය බෝධිය බුදු පිළිමවහන්සේ වන්දනා කරන්න .
සාමාන්‍ය වන්දනා ගාථා සේරම කියලා තමන් ගෙනාව ඒවා පූජා කරන්න . 
දෙවියන්ට ආරාධනාව කරන්න සමන්තා චක්කවාලේසු ගාථාව කියලා .
ඊට පස්සේ පොත බලාගෙන හරි තුන් සූත්‍රය කියවන්න .
තුන්සූත්‍රයට වඩා දෙවියන් ප්‍රිය කරනවා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව . 
ඊට පස්සේ දෙවියන්ට පිං දෙන්න . 
මතක ඇතිව කළුදේවතා බණ්ඩාර දෙවියන්ට පිං දෙන්න . 
මලගිය නෑයින්ට පිං දෙන්න . 
භාවනාව කරන්න විනාඩි පහක් විතර . 

ගෙනාව ඒවා අස් පස් කරලා බෝධීන් වහන්සේ මුලට දාන්නේ නැතිව ඉවත් කරන්න . ලෙඩ්ඩුන්ට දෙන්න කිව්ව ඒවා වෙනමම ගන්න . 

ඔහොම තමයි බෝධි පූජාව කරන්න ඕන . 

ඔයාලට කැමතිනම් වරු ගණනක් කවි කිය කිය ඉන්න . ඒක තමන්ගේ කැමැත්ත . ග්‍රහයින්ගේ නම් කිය කිය අරංහ බුදු ගුණෙන් මගේ අරව අපල දුරුවේවා මේවා අපල දුරුවේවා කියලා කිව්වට කමක් නැහැ . ඒත් අර ගාථ කියන පිරිත් කියන ඒවායින් ග්‍රහ දෙවියන් පවා සතුටට පත්වෙලා ඔයාලට ආශිර්වාද කරාවි . 

අවසාන වශයෙන් මෙන්න මේ දේ කියන්න ඕන . කවදාවත් කාවවත් බලෙන් අකමැත්තෙන් දේවාල පන්සල් වලට එක්ක යන්න එපා . කැමැත්තෙන් එනවනම් විතරක් එක්ක යන්න . ඊට වඩා හොඳයි තමන් තනියමම යන එක . බලෙන් එක්ක ගිහින් අද සෙනග , අද ඉතින් ඉක්මනට යන්න වෙන්නේ නැහැ , මාර පෝලිම , මොන එහෙකට භාර වුණාද , ආයෙනම් මම එන්නේ නැහැ , ඔයාට ඕන නම් එන්න ආයේ , අම්මට ඕන නම් එන්න මට බැහැ වගේ කතා කියවන්න එපා ඒ අය ලවා . නැති අගුණ ඇතිකිරීමක් ඒක . 

ඒ නිසා බලෙන් පූජාවල් කරලා එයාලට සෙත් පතනවට වඩා හොඳයි ඒවගේ අය ඒවගේ තැන් වලට එක්ක යන්නේ නැතිව ඉන්න එක . එතකොට විශේෂ ගුණක් නැතත් අගුණක් ඇතිවෙන එකක් නැහැ . අද කාලේ බෞද්ධයන් හරිම උගත් . ඒ නිසා ප්‍රතිපත්තියට විතරයි ගරු කිරීම . ආමිසයට කිසීම ඉඩක් නැහැ . ආමිසය විවේචනය කරන්නේ හරියට බුදුන්ටත් ආමිසය ඉගැන්නුවේ තමන් වගේ . හොඳයි හොඳයි ඉතින් ආමිසය අතෑරල ප්‍රතිපත්ති විතරක් රැකලා තව අවුරුදු පනහක් විතර ඉඳලා බලමුකෝ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Thursday, September 29, 2016

සෙත්කවි කීමේ පිළිවෙත්







මේක ලියන්නේ මගේ ජ්‍යෝතිෂ සේවය අරමුණු කරගෙන වුනාට මේ ලියන දෙයින් කෙනෙක් යම් දෙයක් ඉගෙනගනීවා කියලා මම ප්‍රාර්ථනා කරනවා . මොකද අද කාලේ ලංකාවේ පුර පක්ෂය අව පක්ෂය දන්නෙවත් නැති අය ඉන්නා කාලයක් කියලා දැනගන්න පුළුවන් උනේ කේන්දර බලන්න ගත්තට පස්සේ . හරිම දුකයි . ඒත් කරන්න දෙයක් නැහැ . සතියක් සතියක් ගානේ සිකුරාදාට ඉරිදාට වෙනත් ආගම් වල උදවිය තමන්ගේ ආගමට දවසක් වෙන් කරාට බෞද්ධ අපි සතියකට වතාවක් ඒ දවස වෙන් කරනවද . සතියට දවසක් වැටෙන විදියට තමයි හතර පෝය නිර්මාණය වෙලා තිබුණේ . අද කාලේ හතර පෝය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති අය ඉන්නවා . ඒ අයට මේ ලිපිය වැදගත් වෙයි . ඒත් මේ ලිපිය ලියන්නේ සෙත් කවි කියවීම ගැන පොඩි පහේ දැනුවත් කිරීමක් කරන්න හිතාගෙන .

කේන්දර බලලා මම සමහර වෙලාවට සමහර අයට නියම කරනවා අර දෙවියන්ට මේ දෙවියන්ට සෙත් කවි ලියවලා කියන්න කියලා . වෙන කරන්නම දෙයක් නැති වෙලාවට තමයි මම සෙත් කවිය මතක් කරන්නේ . මොකද සෙත් කවි ලියන්න ගත්ත දවසේ ඉඳලා මමත් දන්නවා කවියක් ලියන තැන ඉඳලා කියලා ඉවර කරනකල් කොච්චර වැඩ ප්‍රමාණයක් වියදමක් දරන්න වෙනවද කියලා . ඒ නිසා පොඩි අපල වලට සෙත් කවි කියන්න කියලා මිනිස්සු නොමග යවන්න මම උත්සාහ කරන්නේ නැහැ . ඒත් මාරක , විභාග , දඬුවම් , ලෙඩ , විවාහ වගේ ඒවා සාර්ථක වෙන්න හෝ නැතිවෙලා යන්න සෙත් කවි කියන්න කියලා නියම කරනවා . එතකොට ඔන්න සෙත් කවිය ලියලා දෙන්න කිව්වම ලියලත් දෙනවා . ඊට පස්සේ තමයි ප්‍රශ්න පත්තරේ එන්නේ .

කවුද කියන්නේ ?
කොහෙද කියන්නේ ?
මොනවද තියන්නේ ?
කීයක් පඬුරු තියනවද ?
අදාළ කෙනා යන්නම ඕනද ?
වෙන කෙනෙක්ට යන්න බැරිද ?
ආර්තව වීම ගැටළුවක්ද ?
කොයි දවස් වලද කියන්න ඕන ?
මස් මාළු කමක් නැත්ද ?

ඔය වගේ ප්‍රශ්න පත්තරයක් අහනවා . මට දැන් මේ හැම දේම එක්කෙනාට එක ගානේ කියලා ඇතිවෙලා නිසා තමයි මේ ලිපිය ලියන්න කල්පනා කලේ .

වස්කවිය දන්නවානේ . ඒවගේම තමයි සෙත් කවිය . සෙත් කවි ලියන්න උගන්නනවා කියන්නේ වස් කවිය ඉබේම ඉගෙන ගන්න පුළුවන් වෙනවා . ඒත් පාරම්පරික සම්ප්‍රදායන්ට සහ කවියේ ඵලදීම ගැන සලකලා බලනකොට සෙත් කවි ලියන අය වස් කවි ලියන්නේ නැහැ . වස් කවි ලියන අය සෙත් කවි ලියන්නෙත් නැහැ . ඒත් කවියන්ගේ හිඟතාවය නිසා අද වෙනකොට මේ දෙකම එක්කෙනෙක් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා .





සෙත් කවිය වචන කීපයක එකතුවක් උනාට . සරළව කියවන්න පුළුවන් වෙන්න හදලා තිබුණට , මේ ශාස්ත්‍රය කොහොම ආවාද කියලා මම හිතන්නේ නැහැ කවුරුවත් දන්නවා කියලා . මහා සෘෂිවරුන් රචනා කරපු ග්‍රන්ථ වල හැටියට මේ කාව්‍ය කරණයේ තියෙන ඉටු අනිටු ගණ මාත්‍රා ආදී සියල්ල අන්තර්ගත සඳැස් ශාස්ත්‍ර නිර්මාණය කරලා තියෙන්නේ ඊශ්වර දෙවියන් කියලා තමයි පිළිගන්නේ . ඊශ්වර දෙවියන්ගෙන් මහා බ්‍රහ්මයා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නවා . මහා බ්‍රහ්මයාගෙන් අගස්ති මහා සෘෂි වරයා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නවා . අගස්ති සෘෂි වරයාගෙන් නැවත මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නේ සුරගුරු .

සුරගුරුගෙන් ශක්‍ර දිව්‍යරාජයා මේ ශාස්ත්‍රය ඉගෙනගෙන අනන්තයාට උගන්වනවා . අනන්තයාගෙන් පිංගලාචාර්යවරයා ඉගෙන ගන්නවා . පිංගලාචාර්යවරයා තමයි අවසානයේ ටික ටික මේ ශාස්ත්‍රය ප්‍රචලිත කරන්නේ . සමහරු කියනවා අගස්ති මහා සෘෂිවරයා මේ ශාස්ත්‍රයේ සුබ අසුබ ගැන විස්තර කළා කියලා . සමහරු කියනවා පිංගලාචාර්යවරයා විස්තර කරා කියලා . කොහොමහරි අද අපි දන්න සඳැස් ශාස්ත්‍රය දක්වා මේ ශිල්පය ආපු ගමන් මගේ විශේෂ අවස්ථා තමයි මම ඒ සටහන් කලේ .

ඉතින් මේ දේවල් දෙවියන්ගේ දේවල් කියලා කියන එක වැරදිද ? .

දෙවියන් අපිට දුන්න මේ දැනුම භාවිතා කරලා අපි ගන්නා ප්‍රයෝජන වලින් දෙවියන්ටත් පංගුවක් වෙන් වෙන්න ඕන කියන මතයේ තමයි මම ඉන්නේ . ඒ නිසා මම ලවා කේන්දර බලව ගත්ත හැමෝගෙම සම්මාදමෙන් දෙවියන්ගේ පංගුව මම වෙන් කරලා ඒවා දේවාල වලට ලබා දෙන්න කටයුතු කරනවා .

ඉතින් ඔන්න ඔහොමයි කවි කතාව ආවේ . දැන් ඔන්න මම කවියක් ලිව්වා කියමුකේ . ඔන්න එතකොට කෙනෙක් අහනවා මොකක්ද පුර පක්ෂය කියන්නේ . අපි එහෙම එකක් දන්නේ නැහැනේ කියලා . මෙන්න මේක තමයි පුර පක්ෂය කියන්නේ .

අපිට හඳේ තියෙන වෙනස් වීම ඇහැට දකින්න ලැබෙනවානේ . ඔන්න පසළොස්වක පෝය දවසට හඳ සම්පූර්ණ වෙලා . ඊට පස්සේ ටික ටික අඩුවෙන්න පටන් ගන්නවා . එහෙම අඩුවෙලා අමාවක දවසේ හඳ පේන්නේ නැහැ . ඊට පස්සේ ආයෙත් හඳ පසළොස්වක දවස දක්වා ටික ටික පිරෙන්න ගන්නවා . මේ අතරේ දවස් වලට නම් තියෙනවා . ජලවක දියවක නවවක අටවක වගේ කියලා . පුර පක්ෂයේ නම් මුලට පුර අටවක පුර නවවක කියලා කියනවා . අව පක්ෂයේ නම් අව අටවක අව නවවක වගේ නම් කරනවා .

සෙත් කවි සාමාන්‍යයෙන් සුභ දෙයක් . ඒ නිසා සුභ දේවල් කරන්නේ පුර පක්ෂයේ . එතකොට හඳේ ශක්තිය වැඩි වෙනවා වගේම කවියේ ගණ තියලා තියෙන ගණ ශක්තියත් වැඩිවෙලා අදාළ සෙත ලබා දෙනවා . වස් කවි කියන්නේ අව පක්ෂයේ . ඒ කියන්නේ හඳ අඩුවෙන පසළොස්වක ඉඳලා අමාවක දක්වා දවස්වල . එතකොට හඳ අඩුවෙනවා වගේ කවියේ හොඳ අඩුවෙලා නරක වැඩිවෙලා අදාළ නරක වෙනවා . ඒ නිසා පුර පක්ෂය අවපක්ෂය කවි කියන්න සහ ලියන්න වැදගත් වෙනවා .

පුර පක්ෂය =>>>> අමාවක සිට පුර පසළොස්වක දිනය දක්වා .
අව පක්ෂය =>>>> පුර පසළොස්වක දිනයේ සිට අමාවක දිනය දක්වා .



බිත්ති ලිතක් ගත්තම පොහොය ගෙවෙන ලබන වෙලාවල් තියෙන කොටුවේ මේ දවස් වෙලාවල් පැහැදිළිව දක්වලා තියෙනවා . ලිත හදලා තියෙන්නේ අවුරුදු කන්න විතරක් නෙවෙයි කියලා මිනිස්සුන්ට මතක් වෙන්නේ කෙළවෙන්න ගිහින් සෙත් කවි ලියාගත්තම තමයි . තව සමහර අයට අපල වලට පුර හඳ හොඳ නෑ අව හඳ හොඳ නෑ කිව්වමත් ඔන්න ලිත මතක් වෙනවා . ඒ නිසා අවුරුද්දකට වතාවක් ලිතක් අරගන්න පුරුදුවෙන්න ලංකාවේ වැසියන් හැටියට .

සෙත් කවි ලියන කෙනා වගේම සෙත් කවි කියන කෙනාත් වැදගත් වෙනවා . ලියන කෙනාට තමයි ලොකු වගකීමක් තියෙන්නේ . මොකද වැරද්දුවොත් තමන්ට , කියන කෙනාට , සහ කවියේ අන්තර්ගත වෙලා ඉන්න කෙනාට දෙවියන්ගේ වස් වදින නිසා . දන්නවා ඇතිනේ බරණ ගණිතයා . කොත්මලේ ගණිතයා වගේ අයට වෙච්ච දේවල් . ඉතින් සෙත් කවි කියන කෙනා සිල්වත් කෙනෙක් වෙන්න ඕන . දේවාලවල කපු මහත්වරු සෙත් කවි කියනවා . නැත්නම් හාමුදුරුවරුත් සෙත් කවි කියනවා . මේ කවිය හඬ නගලා අදාළ අක්ෂර ශබ්ධ වෙන්න කියන්න තමයි උවමනා කරන්නේ .

කතරගම දෙවියන්ට සෙත් කවි ම්කියනවානම් කතරගම දේවාලයක වගේ හොඳයි . විෂ්ණු දෙවියන්ට නම් විෂ්ණු දේවාලයක හොඳයි . දේවාල නැත්නම් බෝධියක හොඳයි . ඒ මොකවත් නැත්නම් කවිය කියන කෙනා ගෙදරක වඳින තැන දේව රූපයක් තියලා කවිය කිව්වත් හොඳයි . ඒත් වඩාත් හොඳ අදාළ දෙවියන්ට අදාල දේවාලයේ කියන එක තමයි . කරන්නම දෙයක් නැත්නම් කරන්න වෙනවා . සමහර වෙලාවට ලෙඩ්ඩුන්ට කවි ලියන්න උනාම ලෙඩා තියාගෙන පුර ලබනකල් ඉන්න බැහැ . ඒ වෙලාවට අපි කවි ලියනවා අව පක්ෂයේ වුනත් . ඒ වෙලාවට වැරදිලාවත් ගණ වැරදුනොත් ලෙඩත් , ලියන කෙනත් , කියන කෙනත් ඉවරයි . ඒ නිසා ඒවගේ කවි හරිම සැලකිල්ලෙන් බල බල තමයි ලියන්නේ .

කවි කියන්න පටන් ගන්න දවසේ පූජාවල් තියනවා . සමහරු අන්තිම දවසේ පූජාව තියනවා . ඒක කවිය කියන කෙනාගේ කැමැත්ත අනුව කරන්න . මට කියන්න බැහැ මෙහෙම කරන්න කියලා . මොකද කවි කියන අයගේ සිරිත් විරිත් පිළිගැනීම් වෙනස් නිසා . ඒ අය කියන විදියට කරාම හරි . ඒ අය පූජාවට තියන්න කියන දේවල් පඬුරු තිබ්බම හරි .

අදාල කෙනා නැතිව සෙත් කවි කීම හරියට ලෙඩා නැතිව බෙහෙත් ඉල්ලනවා වගේ . පලවෙනි දවසේවත් යන්න පුළුවන් නම් හොඳයි . ඒත් වඩා හොඳ හැමදාම යන එක . කරන්නම දෙයක් නැත්නම් වෙන කෙනෙක් ගිහින් කවිය කියවන එක හොඳයි . හැබැයි කවිය අදාළ කෙනා යෑම අනිවාර්යයි කියලා තමයි මමනම් කියන්නේ . වෙන කෙනෙක් ගිහින් කියලා එන එක සීයට සීයක් සාර්ථක නැහැ .

ආර්තව වීම ගැටළුවක් තමයි . ඒ නිසා එක්කෝ දවස් බලලා ගැටළුවක් වෙන්නේ නැති දවස් තෝරාගන්න . නැත්නම් පුළුවන් දවස්වල ගිහින් ආර්තව දවස්වල නොයා ඉන්න ගෙදර වෙන කෙනෙක් යවලා . දෙවියන්ගේ දෙයක් නිසා කිල්ලට අහුවෙලා නම් සෙත් කවි කියන්න යන්න එපා . කවිය කන්නලව්වක් වගේ නෙවෙයි . ගණ ගළපන්නේ වචන එකතු කරන්නේ දෙවියන්ට ඇහෙන්නම තමයි . දෙවියන්ට එහෙම අස්සවලා අන්තිමට දෙවියන්ට දකින්න ලැබෙන්නේ අපිරිසිදු කෙනෙක් නම් එතන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා .

මේ කාලේ හාල්මැස්සෙක්වත් කන්න එපා කියලා තමයි වයලීනෝ කියන්නේ . විශේෂයෙන්ම කවිය අදාළ වෙන කෙනා පිලී ජාතිවලින් වැළකිලා යන්න . ඔයාලට ඒ කැපවීම කරන්න පුළුවන් වෙන්න ඕන . මොකද කවිය ලියන මමත් කවියක් ලියනවනම් එදාට රකින සිල් රැකලා මස් මාළු නොකා ඉඳලා නාලා පිරිසිදුවෙලා තමයි කවිය ලියලා ඉවර කරන්නේ . සෙත් කවි ලියන එක නිසඳැස් , සීපද ලියනවා වගේ කරන්න බැහැ . වැරදුනොත් ජීවිතේටම බලපානවා . ඒක හොඳටම දන්නේ ලියන කෙනා . මොකද ගණ ගලපනකොට තේරෙනවා අකුරෙන් එහා මෙහා උනොත් මරන්න එපා , යන්න දෙන්න - මරන්න , එපා යන්න දෙන්න වගේ වැරදි තේරුම් එනවා කියලා . ඒ වැරදි තේරුමට ලොකු දෙයක් කරන්න පුළුවන් .


මේ වගේ ප්‍රශ්න ගොඩකට පිළිතුරු දෙන්න වුණා මට . ප්‍රශ්න එන්න එන්න මේ ලිපිය අප්ඩේට් කරන්න තමයි ඉන්නේ . ඒ නිසා දැන්ම මේ ලිපිය අවසන් කියලා හිතන්න එපා . ඔයාලටත් ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Saturday, September 24, 2016

උපුල්වන් දෙව් පිළිමය පිලිබඳ ඉඟියක්








රාම දෙව්රද දෙවුන්දර සිට අලුත්නුවරට වඩින ගමනේ
සෑම සිව්රඟ සෙනඟ සැදෙමින් මඟුල් දිව පෙරහැරින් සොඳිනේ
සෝම රිවිරුව පිහිටි කොඩියද පෙරටු කර ආ සෙයින් එදිනේ
ඒ මහත් මානයක්‌ සිව් කෝරළේ හට වනි එතැන් පටනේ

වේද ව්‍යාසර මෙකුන් පුත් තේනුවර පෙරුමා හස්තිනා
හාද වී විත් දෙවුන්දර දේවාලෙ අධිපති වීමෙනා
පෑද සිත තම කොඩිය ඉර හඳ පෙරටුකර ආවා විනා
ඒ ද මානය එයින් සිවු කෝරළේ හට ඇන්නෑ හිනා






මේ අවුරුද්දේ දෙවුන්දර පෙරහැර බලන්න ගිය වෙලාවේ ගත්ත වීඩියෝ සහ ෆොටෝ අප්ලෝඩ් කරන්න පුළුවන් ගොඩක් තැන්වලට මම අප්ලෝඩ් කලේ ඒවා දකින්න ලැබෙන්නේ නැති , ඒත් දකින්න ආසාකරන අයට බලාගන්න පුළුවන් වෙන නිසා . මේ වීඩියෝ සහ ෆොටෝ දැක්ක ගොඩක් දෙනෙක් මගෙන් ඇහුවේ මේ වැඩම කරවන්නේ අතීතයේ මහ මුහුදෙන් පාවෙලා ආව උපුල්වන් දෙවියන්ගේ කිහිරි රූපයද කියලා . මේකට දෙන්න උත්තරයක් මම ගාව තිබුණා . ඒත් කාලෙක ඉඳලා මම ඒ උත්තරේ දෙන්න අකමැත්තෙන් හිටිය නිසා මම ඒ ගැන මුකුත් කිව්වේ නැහැ . හීන කියන්නේ මහ පුදුම සහගත දේවල් .අසනීප වෙන වෙලාවට මට එක එක ජාතියේ හීන පේනවා . අදත් මට හීනයක් දකින්න ලැබුණා යම් පෙරනිමිත්තක් සඳහන් වෙලා තියෙන . ඒ නිසා මම කල්පනා කළා මේ කතාව දැන් කියන්න කාලේ හොඳයි කියලා .


අපේ ආච්චිඅම්මාගේ ජීවන ගමන සීමා වුණේ 1914 - 2009 කියන කාලයට . ශ්‍රී ලංකාවේ වැදගත් ඉතිහාසගත සිදුවීම් ගොඩක් ආච්චිඅම්මා ඉන්න කාලේ වෙච්ච නිසා මට ඒ දේවල් කොහොමද වුණේ කියලා අහගන්න හැකියාව ලැබුණා ඇයගේ මතකයට තැම්පත් වෙලා තිබුණු දේවල් විතරක් . පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් ආවාම ඇඳට වෙලා ආච්චිඅම්මාගේ මේ කතා අහගෙන ඉන්න එක තමයි ඒ කාලේ මට ලැබුණු වටිනාම දේ වුණේ .






දෙවන ලෝක යුද්ධය කාලේ ආච්චිඅම්මලා කොහොමද ජීවත් වුණේ කියලා මට අහන්න ලැබුනෙත් මේ කාලෙම තමයි . අහසේ හෙලිකොප්ටර් යනකොට එයාලා බයේ හැංගුණු හැටි , කෝටු කෑල්ලක් හපාගෙන ගුලිවෙලා බයේ හිටපු හැටි එහෙම ආච්චිඅම්මා මතක් කලේ අමිහිරි වුණත් මිහිරි මතකයක් ගානට . ඒත් ඒ අතරේ අමිහිරි මතකයකුත් තිබුණා . මේ ඒ මතකය .


ආච්චිඅම්මාට බාල මල්ලිලා තුන් දෙනෙක් හිටියා . එක්කෙනෙක් පොළොන්නරුවේ , අනිත් කෙනා ශ්‍රී පාද කන්ද අසබඩමයි , අනිත් කෙනා තමයි දෙවුන්දර හිටියේ . මේ දෙවුන්දර හිටපු මල්ලි දෙවන ලෝක යුද්ධය කාලේ ගෙදරට හොරෙන්ම ලියුමක් ලියලා තියලා හමුදාවට බැඳිලා යුද්ධ කරන්න පිට රට ගිහින් තියෙනවා . මේ කාලේ ආච්චිඅම්මලා බොහොම දුකෙන් තමයි ඉඳලා තියෙන්නේ . ලියුමක් වත් ගෙදරට එවන්න පුළුවන් කමක් තිබිලා නැහැ . අවුරුද්දකට විතර පස්සේ තමයි තමන් හොඳින් ඉන්නවා කියලා ලියුමක් එවලා තියෙන්නේ . ඒත් ඒ ලියුම්වල යුද්ධයේ අමිහිරි මතක සටහන් ඒ සීයා සටහන් කරලා තිබුණා . තමන් ඒ ගැන ලොකු කම්පනයකින් ජීවත් වෙන්නේ කියලත් ඒ ලියුම් වල සටහන් කරලා තිබුණා .


මේ ඉන්නේ මගේ මුත්තයි ඔය කියන එයාගේ පුතයි






තමන්ගේ පියාගේ ,  ඒ කියන්නේ මගේ මුත්තාගේ  ජ්‍යෝතිෂ , වෙදකම , හෙදකම , ගුරුකම එක්ක හැදුණු වැඩුණු කෙනෙක් හැටියට ඒ සීයාට යුද්ධය වගේ බිහිසුණු දෙයක් දරාගන්න තරමක නොහැකියාවක් තිබුණා කියලා තමයි මට ආච්චිඅම්මා කිව්වේ . කාලයක් ගියාට පස්සේ ඒ සීයා ආයෙත් ලංකාවට එනවා . යුද්ධය ඉවර වෙලා තමයි ලංකාවට ආවේ . ඒ එනකොට එයා ගෙනාව එහෙදි ගත්ත චායාරූප කීපයක් අලවපු ඇල්බම් එකක් , පිඟන් තොගයක් , ට්‍රංකා පෙට්ටි දෙකක් මම ගාව තවමත් පරෙස්සමට තියාගෙන ඉන්නවා . ඉතින් මේ සීයා යුද්ද්ධය ඉවරවෙලා ලංකාවට එනකොට තමන් විවාහ වෙන්න හිතාගෙන හිටපු කෙනත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා .









යුද්ධයේ කම්පනයයි තමන්ගේ අනාගත බලාපොරොත්තු බිඳ වැටීමේ කම්පනයයි කියන දෙකම නිසා අවසානයේ මේ සීයාට පිස්සු හැදෙනවා . තමන්ගේ පියාගේ ගුරුකමත් , වෙදකම නිසා යටපත් කරගෙන උන්නට මේ පිස්සුව ටිකෙන් ටික උත්සන්න වෙලා අන්තිමට මේ සීයා කකුල් වලට දාලා තිබුණු දම්වැල් පවා ගලවාගෙන ගෙදරින් යන්න යනවා .


අද කාලේ වගේ මෙහෙම දෙයක් වුණාම කෙනෙක් හොයාගන්න විදියක් තිබුණේ නැහැ . පොලිසියට කියලා හොයන එක අද කාලේ වගේ ඒ කාලේ ප්‍රායෝගික නැහැ . මේ වැඩේට අවසානයේ උදවු වුණේ ගෙදර තිබුණු අංජනම . තමන්ගේ පුතා හොයාගන්න බැරිව අවසානයේ මුත්තා කරන්නේ අංජනම ඇරලා කොහෙද ඉන්නේ කියලා බලන එක . පිස්සුවෙන් යන මේ පුද්ගලයාගේ පස්සේ හඹාගෙන ගියපු හනුමා අවසානයේ නතර වෙන්නේ දඹුල්ලේ . දවස් දෙකකින් දෙවුන්දර ඉඳලා දඹුල්ලට යන්න තරම් සවියක් ඒ පිස්සුවෙන් ලැබිලා තිබුණා .


දඹුල්ලේ පන්සල අවට තිබුණු කැලයක තමයි මේ සීයා පිස්සුවෙන් ගිහින් නැවතිලා තිබුණේ . මේ වෙලාවේ වෙන කෙනෙක් යවනවට වඩා තමන්ම යන එක හොඳයි කියලා හිතලා මුත්තාම පිටත් වෙනවා තමන්ගේ පුතාව දඹුල්ලේ ඉඳලා එක්ක එන්න . මේ ගමනේදී මුත්තාට හනුමා අංජනම හරහා ඇවිත් කියලා තිබුණා දඹුල්ල රජමහා විහාරයේ තිබෙන උපුල්වන් දේවාලයට ගිහින් භාර වෙලා තමන්ගේ පුතාව හොයන්න යන්න කියලා .







ඉතින් මුත්තා ඉස්සෙල්ලම දඹුල්ල රජමහා විහාරයට යනවා තමන්ගේ පුතනුවන් වෙනුවෙන් භාර වෙන්න . ඒත් ඒ යන වෙලාව වෙනකොට දේවාලය වහලා . මුත්තට දැන් පරක්කු වෙන්නත් බැහැ . දේවාලයට යන්නත් ඕන . පස්සේ දේවාලයේ කපු මහත්මයා මුණගැහෙන්න ගියපු මුත්තා තමන් කවුද කියලා හඳුන්වලා දීලා දෙවිනුවර ඉඳලා ආවේ මෙන්න මේ රාජකාරියට නිසා දේවාලය විවෘත කරලා දෙන්න කියලා ඉල්ලුවම කපු මහමහත්මයා දේවාලය විවෘත කරලා දීලා තමන්ගේ පූජාව තියන්න අවස්ථාව ලබා දීලා තියෙනවා . දෙවිනුවර උපන් අයට මේ දේවාලයේ විශේෂ සැලකිල්ලක් තියෙනවා කියලා තමයි ඉතින් ආච්චිඅම්මා මමත් එක්ක කිව්වේ . දැන් කොහොමද දන්නේ නැහැ .


මේ දේවාලයේ දේව රූපය තිර හතක් දාලා වහලා තමයි තිබිලා තියෙන්නේ . මුත්තා කියලා තියෙනවා තිර තියෙත්දී පූජාව කරන්න බැහැ තිර රෙදි අයින් කරන්න කියලා . එවෙලෙ කපු මහත්මයා කියලා තියෙනවා මේ දේව රූපය මහා බලගතු දේව රූපයක් බලන බලන කෙනාට වස් වදිනවා , ඒ නිසා මේ දේව රූපය දිහා බලනවානම් එක එල්ලේම දේව රූපය දිහා බලන්නේ නැතිව දේව රූපයේ පාදයේ ඉඳලා ටික ටික ඉහලට බලලා දේව මුහුණ දිහා බලන්න කියලා . ඊට පස්සේ තමයි තිර හත ඉවත් කරලා දේව රූපය විවෘත කරලා තියෙන්නේ . මේ දේව රූපය ශාන්ත බැල්මක් තියෙන දේව රූපයක් වුනාට ජීවමාන ගති ලක්ෂණ තිබුණා කියලා මුත්තා කියලා තියෙනවා අපේ ආච්චිලත් එක්ක .


ඉතින් තමන්ගේ පූජාව කරාට පස්සේ මුත්තා අංජනමෙන් පෙන්නපු කැලෑවට ගිහින් තමන්ගේ පුතාගේ නමට ජීවම් කරලා වස් දණ්ඩක් පිඹිනවා . මේ වස්දන්ඩේ හඬ ඇහුණාම තමයි පිස්සුවෙන් හිටපු අපේ ආච්චිඅම්මගේ මල්ලි නැවතත් මුත්තා ඉන්න කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ . ඒ කියන්නේ ඒ කාලේ ඒවගේ දේවල් තිබිලා තියෙනවා ඇත්තටම . ඉතින් මේ සීයව ආයෙත් දෙවුන්දරට ගෙනත් බෙහෙත් කරලා සනීප කරන්න හැදුවත් සම්පූර්ණ සනීපයක් ලැබිලා නැහැ . තරමක අසාමාන්‍ය ගුප්ත වැඩ මේ සීයාගේ තිබිලා තියෙනවා . විවාහ වෙලත් නැහැ . ඒ නිසා ඒ පවුල ඉදිරියට ගිහින් නැති නිසා මම එයාගේ ෆොටෝ කීපයක් මේකේ අප්ලෝඩ් කරනවා ඒ කාලේ කොහොමද කියලා බලාගන්නයි මම කියන්නේ බොරු කියලා හිතන අයට බලාගන්නයි .


මට කියන්න ඕන වුණ කතාව තමයි දඹුල්ලේ විෂ්ණු දේව ප්‍රතිමාව පිලිබඳ කතාව . මේ කතාව කියවනකොට තියෙන විශේෂ දෙයක් තමයි කෙලින්ම මූණ දිහා බලන්න එපා කියන කතාව . ඒ කතාව මතක තියාගෙන අපි යමු මේ කතාවට .


ඔන්න බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී උපුල්වන් දෙවියන්ට ශ්‍රී ලංකාව භාර කරනවා . ඊට පස්සේ උපුල්වන් දෙවියන් කල් යල් බලලා කිහිරි කොටයක වෙස් අරගෙන ලංකාවට පාවෙලා එනවා . මේ කිහිරි කොටය පාවෙලා ඒම සීනිගම දේවාලයේ කපු මහත්මයාටත් , එවකට දෙවිනුවර පාලකයා වෙලා හිටපු දාපුළුසෙන් කියන රජතුමාටත් හීනෙන් පෙනිලා තියෙනවා . කිහිරි කොටය පාවෙලා ආවට පස්සේ සිදුවුණු සිදුවීම් මාලාවකට පස්සේ මේ කිහිරි කොටය දැන් දෙවිනුවර දේවාලය තියෙන ස්ථානයේ කුටියක තැම්පත් කරනවා .


කතාවේ තියෙන්නේ දාපුළුසෙන් රජතුමාට ශක්‍රයා හීනෙන් ඇවිත් කියනවා කියලා මේ කිහිරි කොටයෙන් උපුල්වන් දෙවියන්ගේ රූපයක් කප්පවලා පුද පූජා පවත්වන්න කියලා . ඒත් මේ කොටයෙන් රූපයක් කපන්න තරම් සමත් වඩුවෙක් ඉඳලා නැහැ . ඒ නිසා ශක්‍රයාගේ අණ කිරීම මත විස්මකර්ම දිව්‍යපුත්‍රයා මහලු වෙස් අරගෙන මාලිගාවට වැඩම කරනවා . ඒ එන්නේ නිකන් නෙවෙයි . තමන්ගේ වඩු ආයුධත් අරගෙන . ඇවිත් කියනවා මට මේ කොටයෙන් උපුල්වන් දෙවු රූපය කපන්න පුළුවන් කියලා . මෙතරම් වඩුවන් ඉන්න පළාතකත් දෙව් රූපය කපන්න කෙනෙක් නැති එකේ මහළු ඔබට ඒ දේ කරන්න පුලුවන්ද කියලා දාපුළුසෙන් රජතුමා අහනවා . ඒත් මහල්ලා තැති ගන්නේ නැහැ . තමන්ට මේ කාර්යය භාර කරන්න කියලාම තමයි කියන්නේ . ඒ නිසා රජතුමා වැඩේ බාර දෙනවා . ඒත් හිතේ අවිශ්වාසයක් ඇතිවයි භාර දෙන්නේ .


පහුවෙනිදා රජතුමාට හිතෙනවා මේ මහල්ලාගේ වැඩ කිරීමේ හැකියාව පරීක්ෂා කරලා බලන්න . ඉතින් රජතුමා සද්ද නැතිව යනවා කොටය තැම්පත් කරලා තියෙන කාමරයට . ගිහින් කාමරයේ දොර විවෘත කරනකොටම ඇස ගැටිලා තියෙන්නේ විස්කම් දෙවියන් නිර්මාණය කරපු උපුල්වන් දෙවියන්ගේ ජීවමාන ආකාරයේ ප්‍රතිමාවේ මුහුණ . දෙවියන් දැකපු ප්‍රතිමාවේ මුහුණ වතාවත් රහිතව රජතුමා එක එල්ලේම දැක්ක නිසා එවෙලේම දාපුළුසෙන් රජතුමා සිහි නැතිවෙලා ඇද වැටෙනවා වස් වැදිලා . පස්සේ රජතුමා මෙතන මහා දේවාලයක් කරවලා දෙවියන්ගෙන් සමාව අරගෙන මේ දේව ප්‍රතිමාව දිහා එක එල්ලේ බැලීම කිසිම කෙනෙක්ට සිදු නොකරන ලෙස තහනම් කරලා තියෙනවා . ඒ මිනිස්සුන්ගේ හොඳට . ඒ කතාවයි අර කතාවයි ගළපලා බලනකොට මට පැහැදිළිවුණේ එහෙනම් දඹුල්ලේ වැඩ ඉන්නේ ඒ දේව ප්‍රතිමාව නේද කියලා .







මේ කතාව අපේ අම්මා දන්නේ නැති වුනත් අර අපේ මුත්තා දඹුල්ලේ ගිය කතාව ආච්චි එහෙන් මෙහෙන් කියලා අම්මා දන්නවා . මේ ළඟදී අපි සිංදු අයියාගේ පවුලේ අයත් එක්ක දඹුල්ලේ රජමහා විහාරය වැඳ පුදාගන්න ගිය වෙලාවේ අම්මා ඒ දේවාලය පෙන්නලා මට කනට කරලා කිව්වා මේ තියෙන්නේ අපේ සීයා අර එදා ආව කියන දේවාලේ නේද කියලා . ඒත් එවෙලෙ ඒ ගැන වැඩිය විමසලා බලන්න වුණේ නැහැ අපි ඉක්මනට පිටත් වුණු නිසා .


මේ කිහිරි රූපය දෙවුන්දර ඉඳලා දඹදෙණියටත් එතනින් අලුත් නුවරටත් , අලුත් නුවර ඉඳලා මහනුවර විෂ්ණු දේවාලයටත් , අනතුරුව ආරක්ෂාව සඳහා දඹුල්ල රජමහා විහාරයටත් වැඩම කරලා තියෙනවා කියලා මට මූලාශ්‍ර කීපයකම කියවන්න ලැබුණා .


මෙහෙමයි වෙලා තියෙනවා කියලා ඒවායේ සඳහන් වෙන්නේ . දෙවෙනි පරාක්‍රමභාහු රජතුමා දේවප්‍රතිරාජ ඇමතිතුමා දෙවුන්දරට එවලා තියෙනවා දේවරාජ ප්‍රතිකඩයත් මහා රන් ආයුධත් පිහිටි රටේ මිනිස්සුන්ට වැඳ පුදාගන්න වැඩම කරගෙන එන්න කියලා . පස්සේ දේවප්‍රතිරාජ මේ පිළිමයත් මහ රන් ආවුධත් දඹදෙණියට වැඩම කරවලා තැම්පත් කරලා තිබිලා තියෙනවා .


ඊට පස්සේ මහනුවර ආව රජකෙනෙක් තමයි මේ ප්‍රතිමාව නැවතත් අලුත්නුවර දේවාලයට වැඩම කරවලා තියෙන්නේ . ඊට පස්සේ ආයෙත් ආව රජකෙනෙක් තමයි මේ පිළිමය මහනුවර මහා දේවාලය , විෂ්ණු දේවාලයට වැඩම කරවලා තැම්පත් කරලා තියෙන්නේ . ඒත් පෘතුගීසි ප්‍රශ්න නිසා අවසානයේ තීරණය කරනවා මේ දේව ප්‍රතිමාව පරෙස්සම් කිරීම වෙනුවෙන් දඹුල්ලට වැඩම කරවන්න . පැහැදිළි සාක්ෂි නැති වුණත් මේ කතාව සහ මගේ පවුලේ අතීත කතාවේ යම් සමානාත්ම බවක් තියෙන නිසා මම විශ්වාස කරනවා දඹුල්ලේ වැඩ ඉන්නේ නියම උපුල්වන් දෙව් ප්‍රතිමාව කියලා .


කොයි ප්‍රතිමාවට වැඳුම් පිදුම් කලත් ඒවා කැපවෙන්නේ උපුල්වන් දෙවියන් වෙනුවෙන් තමයි . ඒත් නියම දේව රූපය වැඩ ඉන්නේ දඹුල්ලේ කියලා මට විශ්වාසයක් තියෙනවා . ඉතිහාසය හදාරන කෙනෙක්ට මගේ මේ කතාව වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ සටහන තියන්න කල්පනා කලේ . ඒ නිසා අධ්‍යනය කරන කෙනෙක් මේ ගැන තවත් දුරට කරනවානම් අධ්‍යනය කරලා බලන්න . මගේත් තියෙන්නේ විශ්වාසයක් විතරයි . ඒක මට පෞද්ගලික එකක් මිසක් පොදු විශ්වාසයක් නෙවෙයි . ඒ නිසා මේ ගැන හොයන්න කැමති කෙනෙක් හොයලා බලන්න . ඒ වගේම මම කියන්න කැමතියි  මම මේ සම්බන්ධව කියන්න දන්නේ මෙච්චරයි කියලා . මොකද නැත්නම් පස්සේ ප්‍රශ්න කෝටියකට පිළිතුරු දෙන්න වෙනවා මට .


සමන් දෙවියන් ගැන වගේම උපුල්වන් දෙවියන් ගැනත් මම ලියන්න දැන් කරුණු කාරනා සූදානම් කරගෙනයි ඉන්නේ . මේ ඒ වෙනුවෙන් තියපු පළමු පියවර විතරයි . ඉදිරියේදී අපි ඒ ගැන කතා කරමු .




එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Friday, September 9, 2016

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ ?




කාලෙකට පස්සේ තමයි බ්ලොග් එකේ ලිපියක් ලියන්න වෙලාවක් හොයාගත්තේ . ඒකත් එක දිගට ලියලා ඉවර කරන්න උනේ නැහැ . කොටස් කොටස් තමයි ලියලා තිබ්බේ . දැන් ටිකක් වෙලාව අඩුවෙලා තියෙන්නේ . දන්නෝ දනිති ඒ ඇයි කියලා . නොදන්නෝ ඔය බ්ලොග් එකේ පහළට පහළට ගිහිල්ලා බැලුවනම් . 

ඉතින් මේ දවස්වල බලන්න ලැබුණු කේන්දර සටහන් එක්ක ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හිතෙනවා . සමහරු මැරී මැරී ජීවත් වෙනවා . සමහරු විඳවනවා . විහින් කරගත්ත දේවල් , ඉබේ වෙච්ච දේවල් හැමදේම 
අච්චාරුවක් වගේ කරගෙන විඳවනවා . ගොඩක් දෙනෙක්ට මම ජීවත් වෙන්න ඕන මෙනන් මෙහෙමයි කියලා ඒ අයගේ දෛවයේ ලියවිලා තියෙන හැටියට පුළුවන් තරම් වෙලා අරගෙන පැහැදිලි කරනවා . ඒත් සමහරු ඉන්නවා යතාර්ථය තේරුම් ගන්නේ නැති අය . ඒකට ඉතින් මොනවා කරන්නද ? . අද ලිපිය ලියන්න හේතු වුනේත් කේන්දර බලනකොට දැනගන්න ලැබුණු කතා ටිකක් නිසා හිතට හිතුනු දේවල් ටිකක් .

ආදරය , ප්‍රේමය , විවාහය කියන්නේ ගණුදෙනුවක් නෙවෙයි . කේන්දර ගැන විස්තර කරනකොට මම හැමවෙලේම කියන කතාවක් . ඒත් මට ලැබුණා ඒවගේ කෙනෙක් . එයා එහෙම නිසා මමත් එහෙම කරනවා . ඒ කෙනාගේ කටේ තිබුණේම ඒ කතාව . ගැහැණු කෙනෙක් . ඉතින් මම ඇහුවා එයා එහෙමයි කියලා ඔයත් එහෙම උනාම ළමයින්ට යන කලදසාව මොකක්ද කියලා . ඒත් එයා කියන්නෙම ඒ වුණාට එයා එහෙම නිසා මමත් එහෙමයි කියලා . මම ඊට පස්සේ ඇහුවා දැන් එයා එහෙම ගූ ගොඩක් කෑවොත් ඔයත් එහෙම ඒක එහෙමම කනවද කියලා . මේකද සම්බන්ධයක පරමාර්ථය ? .





ගොඩක්වෙලාවට සම්බන්ධතා වලදී වෙන්නේ එකට එක කිරීම නිසා හොඳ හිත පෑරීම . කෙනෙක් ඉවසනවා අනිත් කෙනා දිගටම ඒ දේවල් කරනවා . එහෙම උනාම තමයි මේ ප්‍රශ්නේ එන්නේ . පස්සේ ඉවසන කෙනා ගිණි කන්ද වගේ පුපුරන්න ගත්තම මොනවා වෙයිද දන්නේ නැහැ . හැම වෙලේම සමාව ගන්න කෙනා පුපුරන්න ගත්තම කොහොම පුපුරනවද කියලා හිතා ගන්න බැහැ .

ගොඩක් වෙලාවට ස්ත්‍රී පාර්ශවයේ තමයි මේ ගැටලුව තියෙන්නේ . සමහර ගෑණු ළමයිනේ මුළු ලෝකෙම තියෙන ඒවා තේරුම් ගන්න පුළුවන් . ඒත් කොල්ලා කියන පොඩි දේ තේරුම් ගන්න මොළයක් නැහැ . ඒ නිසාම පොඩි ප්‍රශ්නේ දික් ගස්සගෙන ඔන්න පටන් ගන්නවා අපි එහෙනම් මේක නවත්තමු . මම දීපු බර්ත්ඩේ කාඩ් වෙසක් කාඩ් ලියුම් මට ආයෙත් දෙන්න . ඔයා දීපුවත් මම දෙන්නම් කියලා . පිරිමි පාර්ශවයත් මෙහෙමම තමයි . ඒත් ගැහැණු පාර්ශවය ටිකක් වැඩියි කියලයි මට හිතෙන්නේ .

ඒත් හදිස්සි කෝපය නිසා එහෙම කරා කිව්වා වුණාට පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලට එහෙම වුණේ ඇයි කියලා . ඔයාට එහෙම කේන්ති ගියේ ඇයි කියලා . බොරුවක් නම් කරන්න දෙයක් නැහැ . කේන්තිය සාධාරණයි . ඒත් සාධාරණ හේතුවක් තියෙනවද නැත්ද කියලා හිතලා බලන්න . ඒවගේම හොයලා බලන්න . එතකොට පුළුවන් අනවශ්‍ය කරදර රණ්ඩු වීම් නවත්ත ගන්න . හැමවෙලේම එක්කෙනෙක් අනිත් කෙනාට සමාව දෙනවා කියන්නේ අනිත් කෙනාගේ නෝන්ජල් කම කියලා හිතාගෙන දිගින් දිගටම එකම දේ වෙනුවෙන් සටන් වැදීමත් ප්‍රශ්න ඇතිවෙන්න ලොකු හේතුවක් .

ඒත් එක්කම මතක තියාගන්න ඕන නයෙක් වුණාම අවශ්‍ය වෙලාවට පෙනය පුප්පන්න ඕන කියලා . එහෙම නැත්නම් මිනිස්සු ලැස්ති වෙනවා දරමිටි බඳින්න . ඔය එක්කම තමයි මට ඔය උඩින්ම තියෙන ෆොටෝ එක fb තියෙනවා දැක්කේ . අහංකාර කම නිසා තමයි ඔය ප්‍රශ්න ආවම අනිත් කෙනාට ඇහුම්කන් දෙන්නේ නැතුව තමන් හිතාගත්ත එකම හිතාගෙන උඩ පනින්නේ . සම්බන්ධතා නවතින්න හේතු වෙන්නෙත් අහංකාරකම කියලා තමයි මම හිතන්නේ . ඔන්න රණ්ඩුවෙලා තරහ වෙලා සම්බන්ධතා නවත්තනවා . ඒත් ඊට පස්සේ කාලයක් ගියාම තේරෙනවා අර නැතිකරගත්තා කෙනාගේ අගය .

එතකොට හොඳ හිත පෑරිලා ඉවරයි . ප්‍රශ්න ඇතිවෙලා ඉවරයි . සමහරවිට දෙන්නා වෙන් වෙලත් ඉවරයි . මම දන්න දෙන්නෙක් ඉන්නවා කලින් හොඳට ඉඳලා දැන් වෙන් වෙලා . දෙන්නා රහසේ කම් සැප වින්දා කියලත් ගොඩ දෙනෙක් දන්නවා . ඒත් කොල්ලගේ තියෙන අහංකාරකමයි කපටිකමයි නිසා කෙල්ල කොච්චර වැඳ වැටුනත් කොල්ලා ආයෙත් පරණ දේවල් අමතක කරලා ආයෙත් ලං වෙන්න උත්සාහ කලේ නැහැ . දැන් ඒ කෙල්ලගේ නැති වෙච්ච ජීවිතයට මොකද වෙන්නේ ? . ගමේ මිනිස්සු රටේ තොටේ මිනිස්සු කියන දේවල් වලට මොනවද වෙන්නේ ? .




සමාජයෙන් අපේ ඔලුවට දාන්නේ ඉන්න බැරිනම් වෙන් වෙන්න ඕන . කියන කතාව . ඒත් ප්‍රශ්නත් එක්ක වෙන් වෙනවට වඩා හොඳ නැත්ද ප්‍රශ්න විසඳගෙන සතුට හොයන එක . ගොඩක් වෙලාවට ෆේස් බුක් පිටුවල තියෙන සමහර දේවල් දැක්කම මමත් ශෙයා කරලා කල්පනා කරනවා කොච්චර දෙයක් මේ ෆොටෝ නිසා වෙනවද කියලා . අදකාලේ මනුස්සයෙක් හිතන හැටි වෙනස් කරන්න මේ fb පෝස්ට් එකක් ඇති . ඒ දේ ඔලුවේ තියාගෙන අන්තිමට සම්බන්ධතා නැතිකරගෙන ජීවිතයම විනාස කරගන්නවා .

රණ්ඩුවක් වෙන්නේ නැත්නම් සම්බන්ධයකින් වැඩක් නැහැ . කියන කතාව හැමවෙලේම තියෙනවා . ඒත් රණ්ඩු වෙන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද . අනිත් කෙනා කරන කියන දේට ආදරෙන් කතා කරලා තේරුම් කරලා දීලා වැඩේ ගොඩ දාගෙන හොඳ හිතත් තියාගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද . ඒ එයාලා , ඒත් මට එහෙම ඉන්න බැහැ කියලා හිතනවානම් අන්න ඒක තමයි උද්දච්චකම , ඕන කමක් තියෙනවනම් මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැහැ .

කෙල්ලෝ ගොඩක් වෙලාවට හිතන්නේ මට තනියම ඉන්න පුළුවන් . රස්සාව කරගෙන තනියම ඉන්නවා කියලා . ඒත් සමාජය ඒවගේ කෙල්ලෙක් දිහා බලන්නේ මොනවගේ කෝණයකින්ද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නැහැ . ඒවගේම තමයි පිරිමි දැනගන්නත් ඕන කෙල්ලන්ව වැරදියට පාවිච්චි කරන්නේ නැතිව අවසාන අරමුණ පැහැදිළි තත්ත්වයක තියාගෙන සම්බන්ධතා පටන් ගන්න .

කේන්දර බලන එකෙන් සහ මිනිස්සුන්ගේ ජීවිත කතා වලට ඇහුම්කන් දෙන එකෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා . මේ ලිව්වේ ඒ වගේ හිතුනු දේවල් ටිකක් . ඒ දේවල් එක්ක මෙන්න මේ ගීතය ගැළපෙනවා කියලා මට හිතෙනවා . ඉස්සෙල්ලම අහලා ඉන්නකෝ ගීතය .

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

සුළඟ සැරෙන් හමනා විට ගිනිදැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී

වෙරළේ රළ සැඩ වූවොත් ඔරු කඳ කනපිට පෙරලේවී
නිසල වුනොත් ඒ රළ පෙළ සුවසේ අප මෙගොඩ කරාවි

ගායනය - එඩ්වඩ් ජයකොඩි



සංගීතය - එච්. එම්. ජයවර්ධන



ගී පද - බන්ධුල නානායක්කාරවසම්






මේ ගීතයෙන් කියවෙන්නෙත් ඒ වගේ අදහසක් කියලයි මම හිතන්නේ . අපි බලමු ගීතය කියවල කොහොමද තියෙන්නේ කියලා .

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න
ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න

කොල්ලා කෙල්ලගෙන් අහනවා ඔයාගේ හිතත් අකීකරුද කියලා . එතකොට ඉතින් කෙල්ල දෙනවා ඇති හොඳ උත්තරයක් . ඒ උත්තරයට පිළිතුරු වශයෙන් කොල්ලා කියනවා අකීකරුයි මගේ හිතත් හමනා සැඩ සුළඟක් වාගේ කියලා . ඒ කියන්නේ දෙන්නට දෙන්නා සෙකන්ඩ් වෙන්නේ නැහැ කියලා . ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ ඇදෙන්න කියලා කියන්නේ තමන් එක්ක ජීවිතය ගෙවන්න එක් වෙන්න කියලා කරන ආරාධනයක් කියලා තමයි මමනම් හිතන්නේ .

සුළඟ සැරෙන් හමනා විට ගිනිදැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී

මෙන්න මේ කතාව තමයි මට මේ ගීතයේ වැඩිපුරම පැහැදිලි කරන්න ඕන වුණේ . හයියෙන් හුළඟ හමනකොට තමයි ගින්දර වැඩි වැඩියෙන් පත්තු වෙන්නේ . ඒත් ඒ හුළඟම තමයි ගින්න නිවන්නත් හේතු වෙන්නේ . හුළඟ නැතිව පහනකට පත්තු වෙන්නත් බැහැ . පහන නිවන්නත් හුළඟ නැතුව බැහැ .

වෙරළේ රළ සැඩ වූවොත් ඔරු කඳ කනපිට පෙරලේවී
නිසල වුනොත් ඒ රළ පෙළ සුවසේ අප මෙගොඩ කරාවි

මුහුදේ ගමනක් යන්න ආරම්භ කරන්නේ වෙරළෙන් . ඒවගේම තමයි එකට ජීවත් වෙන්න විවාහ වෙන්න තියන ආරම්භය ගන්නේ සම්බන්ධතාවයකින් . මේ ගීතයේ අන්න ඒක විස්තර වෙලා තියෙනවා . වෙරළේ රළ පහර සැර වැඩියි නම් ඔරුව අනික් පැත්ත වුනත් පෙරළෙන්න පුළුවන් . ඒත් මුහුද නිසල වෙනවනම් ඒ ඔරුවට පුළුවන් සුවසේ අපව මෙගොඩ කරන්න .

මේ ගීතයේ පොදුවේ කියන්නේ පිරිමියෙක් තමන්ගේ ජීවිතය ගැන ගැහැණියකට කරන තේරුම් කිරීමක් කියලයි මම හිතන්නේ . තමන් මෙන්න මේ වගේ . ඔයත් ඔයාගේ ජීවිතය වගේ වෙනවනම් අපිට එකට ඉන්න අමාරුයි . ඒ නිසා ඔයා සහ මම දෙන්නාම ඉන්න ඕන අපි දෙන්නටම ගැළපෙන විදියට . එතකොට අපි දෙන්නටම එකට ජීවන ගමන අවබෝධයෙන් පැදගෙන යන්න පුළුවන් . අන්න ඒ කතාව තමයි ගීතයෙන් කියවෙන්නේ .

මේ ගීතයේ අතුරු වාදන පෙරවාදන වල තියෙන්නේ ටිකක් කැළඹීමක් වගේ දෙයක් අඟවන සංගීතයක් . සංසුන් බවක් ඒ සංගීතයේ මිශ්‍ර වෙලා නැහැ . ඒ නිසා මේ ගීතයේ පසුබිමත් එක්ක සංගීතය හොඳට ගැළපෙනවා .


කාලෙකට පස්සේ ගීතයක් ගැන ලොකුවට නැතත් පොඩියට හරි ලියන්න කල්පනා කරේ ගීතයක් ගැන ලියන්න කියලා ඉල්ලීම් කරලා තිබුණු නිසා . එහෙනම තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Saturday, August 20, 2016

කාලය මැනීම






මේ ළඟදී මට බලන්න ලැබුණු කේන්දර සටහනක් නිසා තමයි මේ ලිපිය ලියන්න මම කල්පනා කරේ . දවසක් අපේ ගෙදර ආවා අපේ ගෙවල් කිට්ටුව නැන්දා කෙනෙක් . ඒ නැන්දා තමන්ගේ ළමයාගේ ඉගෙනීම ගැන හරිම අඩු තක්සේරුවෙන් තමයි කතා කලේ . කොහොමත් ඒ ළමයාට වැඩිය ඉගෙනගන්න උවමනාවක් තිබ්බේ නැහැ . ඒත් ඒ ළමයා එක්ක මම කතා කරලා බලනකොට තේරුනා ඒ ළමයට මොලේ නැතිව නෙවෙයි ඉගෙන ගන්න බැරි වෙලා තියෙන්නේ කියලා . කොතනක හරි අවුලක් ඇති කියලා හිතලා මම ඒ අම්මගෙන් ඇහුවා මේ මල්ලිගේ කේන්දරේ මට ගෙනත් දෙන්න බලන්න කියලා . මම බැලුවේ මැණික් ගල් පැළඳවීමේ ප්‍රතිකාරය කරවලා බලන්න හරියනවද නැත්ද කියලා . පස්සේ ඒ නැන්දා මමත් එක්ක  කිව්ව කතාව නිසා තමයි මම මේ කතාව බ්ලොග් එකේ ලියනවා කියලා හිතුවේ .

මේ ළමයා ඉපදිලා තියෙන්නේ හරියටම දවල් 12 00 ට . ඉස්පිරිතාලේදී සටහන් කරගත්ත මේ වේලාව ගැන කිසිම වැරද්දක් කියන්න නැහැ . මොකද හරියටම ළමයා ඉපදුනු වේලාව තමයි ඉස්පිරිතාලෙන් ලබා දෙන්නේ . පස්සේ මේ වේලාව අරගෙන ගිහින් තියෙනවා ජෝතිෂ්‍ය දන්නා මහත්මයෙක් ළඟට කේන්දර සටහන හදාගන්න කියලා . මේ ජෝතිෂ්‍ය මහත්මයා කියලා තියෙන්නේ මහ පුදුම කතාවක් . එයා කියලා තියෙනවා මේ ළමයා ඉපදිලා තියෙන්නේ ගැහැණු නැකතකින් . මේ වෙලාවට පිරිමි ළමයෙක් ඉපදෙන්න කිසීම ඉඩක් නැහැ . ඒ නිසා පිරිමි නැකතක් ලබලා තිබුණු 11 35 කියන වෙලාවට කේන්දරයක් හදලා දෙන්නම් කියලා . පස්සේ ඒ ළමයට කේන්දරේ හදලා තියෙන්නේ ඒ වෙලාවට . නම තියලා තියෙන්නෙත් ඒ වෙලාවට ගළපපු නැකත ලග්නය සඳහා ගත්ත අකුරු වලින් . ඔන්න ඔහොමයි කේන්දර මහත්මයාගේ කතාව .

ජෝතිෂ්‍ය විද්‍යාව පරිහරණය කරන කෙනෙක් කිසිම වෙලාවක කරන්න හොඳ නැති දෙයක් තමයි ඒ කරලා තියෙන්නේ . වෙලාව කවදත් වෙලාවම තමයි . කෙනෙක් මහපොළවේ ඉපදෙන්නේ තමන් කරපු කුසලාකුසල කාර්ම ශක්තිය අනුව . සිද්දාර්ථ කුමාරයත් මහපොළවේ ඉපදෙන්න කලින් පංච මහා විලෝකනය කරන වෙලාවේ ඉස්සෙල්ලම බැලුවේ කාලය . කාලය තමයි හැම දේටම ඉස්සෙල්ලම වැදගත් වෙන්නේ . ඉතින් මේ කාලය කාටවත් වෙනස් කරන්න බැහැ .





ඒ කාලය අනුව පෙර අත්දැකීම් සහ සෘෂිවරුන් ලබා දීපු දැනුම මිශ්‍ර කරලා තමයි ජෝතිෂ්‍ය විද්‍යාව හසුරුවන අය නැකත් කේන්දර පළාපල වගේ දේවල් කියන්නේ . කෙනෙක් මහපොළවේ ඉපදුනා නම් ඒ කෙනාට බලපාන්නේ ඉපදුනු වෙලාවේ තිබ්බ ග්‍රහ පිහිටීම මිස තමන්ට ලැබිලා තියෙන ලිංගයට අදාළ ග්‍රහ පිහිටීම නෙවෙයි . සමහරවිට මේ ලිපිය කියවන ජෝතිෂ්‍ය පරිහරණය කරන මහත්තුරුන්ට ඒ කතාව කිව්වම රිදෙයි . ඒත් ඇත්ත ඒක තමයි .

නැකත් ස්ත්‍රී පුර්ෂ කියලා වෙන් කරලා තිබුණට ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ස්ත්‍රී නැකතකින් ඉපදුනු කෙනෙක්ට ස්ත්‍රී ලිංගයත් පුර්ෂ නැකතකින් ඉපදුනු කෙනෙක්ට පුර්ෂ ලිංගයත් හිමිවෙන්න ඕන කියලා . සමහරවිට ස්ත්‍රී කෙනෙක්ට පුර්ෂ නැකත් තියෙන්නත් පුරුෂ කෙනෙක්ට ස්ත්‍රී නැකත් තියෙන්නත් පුළුවන් . ඒවා එතකොට ඒ ඒ අයට බලපාන විදි වෙනස් වෙනවා . අනික තමයි ස්ත්‍රී නැකත් තියෙනවා කියලා පිරිමියෙක් ගැහැණියක් වෙන්නෙවත් පිරිමි නැකත් තියෙනවා කියලා ගැහැණියක් පිරිමියෙක් වෙන්නෙවත් නැහැ . ජෝතිෂ්‍ය පිලිබඳ අවම දැනුම සහ මුලා කිරීම තමයි මේ දේවල් වලට මූලිකවම හේතු වෙන්නේ .

මේ කතාව නිසාම මම කල්පනා කරා බ්ලොග් එක හරහා කාලය මනින මිනුම් ගැන දැනුවත් කිරීමක් කරානම් හොඳයි කියලා . මෙන්න මෙහෙමයි කාලය මනින මිනුම් ගැන ජෝතිෂ්‍ය විද්‍යාවේ සඳහන් වෙන්නේ . ඒකත් සිංහල ක්‍රමය සහ බටහිර ක්‍රමය කියලා ක්‍රම දෙකකට විග්‍රහ වෙනවා . ඒත් මැනෙන්නේ එකම කාලය .








බටහිර ක්‍රමය

තත්පර 60 - මිනිත්තු 1
මිනිත්තු 60 - පැය 1 
පැය 24 - දින 1 
දින 7 - සති 1 
සති 4 - මාස 1 
මාස 12 - අවුරුදු 1 
අවුරුදු 10 - දශක 1 
අවුරුදු 20 - විංශති 1 
අවුරුදු 60 - ෂස්ටි 1 
අවුරුදු 100 - ශතවර්ෂ 1 



සිංහල ක්‍රමය

නිමේෂ 18 - කාෂ්ටා 1 
කාෂ්ටා 30 - කළා 1 
කළා 30 - ක්ෂණ
ක්ෂණ 12 - මුහුර්ත 1
මුහුර්ත 1 - පැය 2 
පැය 60 - දින 1 
දින 15 - පක්ෂ 1 
පක්ෂ 2 - මාස 1 
මාස 6 - අයන 1 
අයන 2 - වර්ෂ 1 
වර්ෂ 20 - විංශති 1 

මේ ක්‍රම දෙකම එකට මිශ්‍ර කරලා මෙන්න මේ විදියට කාලය මනින මිනුම් විග්‍රහ කරලා තියෙනවා

තත්පර 60 ක් – විනාඩි 01 යි
විනාඩි 10 ක් – ක්ෂණ 01 යි
ක්ෂණ 06 ක්   – පැය 01 යි
පැය 02 ක් – මුහුර්ථ 01 යි
මුහුර්ථ 3.5 ක් – යාම 01 යි
යාම 08 ක් – දින 01 යි
දින 15 ක් – පක්ෂ 01 යි
පක්ෂ 02 ක් – මාස 01 යි
මාස 02 ක් – සෘතු 01 යි
සෘතු 03 ක් – අයන 01 යි
අයන 02 ක් – වර්ෂ 01 යි
වර්ෂ 20 ක් – විංශති 01 යි
විංශති 03 ක් – ෂෂ්ඨි සංවත්සර 01 යි
විංශති 05 ක් – ශත වර්ෂ 01 යි
වර්ෂ 05 ක් – යුග 01 යි
යුග 04 ක් – විංශති 01 යි


මේ එක එක වචනයක් ගානේ අර්ථ දැක්වීම් තියෙනවා . සමහර  දේවල් වැරදියට තමයි අපි භාවිතා කරන්නෙත් . ඒ අර්ථ දැක්වීම් මොනවද කියලා ඉදිරි කාලයේ ලියන ලිපිවලින් කියවන්න පුළුවන් වෙයි . එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !


Tuesday, August 16, 2016

සුදු ළූණු ව්‍යංජනය







ඊයේ පෙරේදා දවසක බ්ලොග් කියවන හිතවතෙකුගේ කේන්දරයක් බැලුවා . ඒක බලත්දී තියෙන ග්‍රහ පිහිටීම් වලට අනුව මට හිතුනා එයාට කොලෙස්ටරෝල් තියෙන්න ඕන කියලා . කොලෙස්ටරෝල් නිසා සියුම් රුධිර වාහිණී අවහිර වෙලා ශරීරයේ වැදගත් අවයවයක අඩපණ වීමක් ඒ කේන්දරයෙන් පෙන්නුම් කරා . මම ඉතින් එයාගෙන් අහනකොට දැනට කොලෙස්ටරෝල් නම් තියෙනවා කියලා කිව්වා . ඒ වෙලාවේ මම කිව්වා එදිනෙදා කෑම වේලට වැඩිපුර සුදු ළූණු එකතු කරගන්න කියලා . තව තව කන්න ඕන ඒවත් කිව්වා . ඒ වෙලාවේ මං කල්පනා කරා සුදු ළූණු විතරක් උයන්නේ කොහොමද කියලා බ්ලොග් එකේ කියලා දුන්නන නම් හොඳයි කියලා .

රුධිරගත කොලෙස්ටරෝල් අවම කරගන්න කුස්සියේ තියෙන හොඳම කෑම වර්ගය තමයි ළූණු පවුලේ සාමාජිකයෝ ටික . රතු ළූණු , ලොකු ළූණු , සුදු ළූණු හැම කෑමකටම වගේ එකතු කරගන්න පුළුවන් නම් රුධිර නාලවල තියෙන අවහිරතා සමනය කරගන්න ඒවා දායක කරගන්න පුළුවන් . තෙම්පරාදු කරලා කෑමට ගන්න දේවල් වලට උනත් සුදු ළූණු වැඩිපුර එකතු කරලා කන්න පුළුවන් නම් ගොඩක් හොඳයි . සුදු ළූණු රහ සමහර අයට අප්‍රිය උනාට ඉඟුරු ටිකක් එක්ක කලවම් කරලා ගත්තම කෑමට ගන්න පුළුවන් .

අපි දැන් බලමු සුදු ළූණු ව්‍යංජනය ගැන . සුදුළූණු විතරක් උයලා කෑමට ගන්න එකට තමයි මේ සුදු ළූණු ව්‍යංජනය කියලා කියන්නේ . ගොඩක් වෙලාවට සාංඝික දාන දෙනකොට මේ සුදුළූණු වෙනමම උයලා පූජා කරනවා . මොකද හාමුදුරුවරුන්ට ඒ ආහාරය වැඩිපුර ලැබෙන්නේ නැති නිසා . අද වෙනකොට ඒ ව්‍යංජනය සාංඝික දාන වලට විතරක් සීමා වෙලා තියෙන නිසා තමයි මම කල්පනා කරේ සාමාන්‍ය ආහාර වෙලටත් සුදු ළූණු ව්‍යංජනය ගන්න පුළුවන් කියලා බ්ලොග් එක හරහා දැනුවත් කරානම් හොඳයි කියලා . සුදු ළූණු ටිකක් මිලයි . ඒත් කොලෙස්ටරෝල් වලට ගන්න බෙහෙත් , රුධිර පරීක්ෂාවන් ඊටත් වඩා මිලයි . ඒ නිසා සුදුළූණු කාලා බලන්න .


අවශ්‍ය ද්‍රව්‍ය

සුදු ළූණු 500 g
මිටිකිරි කෝප්ප 1ක්
මිරිස් කුඩු මේස හැඳි 1/2ක්
තුනපහ කුඩු මේස හැඳි 1/4ක්
අමු මිරිස් කරල් 2ක්
උම්බලකඩ 5g
කහ ස්වල්පයක්
රම්පෙ කොළ භාගයක්
කරපිංචා කිණිති 2ක්
උළුහාල් ස්වල්පයක්


සාදන අන්දම

සුදුලූණු ඉස්සෙල්ලම පොතු සුද්ද කරලා හෝදලා දෙකට කපා ගන්න . දෙකට කපන්නේ නැතිව උයනවනම් තමයි මම කැමති . ඒත් කැමතිනම් කපාගන්න . ඊට පස්සේ කපාගත්ත අමු මිරිස් , උම්බලකඩ , රම්පෙ , කරපිංචා , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු , උළුහාල් , ලුණු , මිටිකිරි අර සුදු ළූණු ටිකත් එක්ක පිසින භාජනයේ එකතු කරලා හොඳට කලවම් කරගන්න . ඊට පස්සේ මද ගින්නේ පිසගන්න තමයි තියෙන්නේ . වැඩිය ගින්දර දාලා තම්බ ගන්න එපා . එහෙම උනොත් සුදු ළූණු වලින් වැඩක් වෙන්නේ නැහැ . ඒ නිසා තරමකට පිසගෙන කෑමට ගන්න . රම්පෙ දානකොට සමහර අය කොලේ විතරක් දාලා පස්සේ ව්‍යංජනයෙන් ඉවත් කරනවා . ඒත් කරන්න ඕන රම්පෙ කොලෙත් පොඩියට කපලා ව්‍යංජනයට දාන එක .

මීට අමතරව සුදු ළූණු පොත්ත පිටින් පුච්චලා මී පැණිත් එක්ක කන එකත් හොඳයි . තව සුදු ළූණු අමුවෙන් කන්නත් පුළුවන් .

එහෙනම් සුදු ළූණු උයලා කාලා බලන්න .

තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Friday, July 29, 2016

" ශකාබ්දම් " කියන්නේ මොකක්ද ? ( ශක රාජ වර්ෂ ක්‍රමය )








මේ ලඟදි දවසක් මම කැම්පස් යන්න කියලා උදේම ලෑස්ති උනා . මමයි අපේ බෝඩිමේ ඉන්නේ මගේ බැච් එකේ අනිත් යාළුවයි සාමාන්‍යයෙන් උදේ හයහමාර විතර වෙනකොට කැම්පස් එකට යනවා . මොකද කැන්ටින් වල පෝලිම හැදුනට පස්සේ ඔය පෝලිම කිලෝමීටර් ගානක් දුරට තියෙනවා . ඕකේ හිටගෙන ඉන්න අපි කැමති නැහැ . ඒ නිසා උදේම ගිහින් කාලා බීලා ඔය කොහාටහරි වෙලා ඉඳලා ලෙක්චර්ස් පටන්ගන්න වෙලාවට ඒ පැත්තට යනවා . 

ඉතින් මේ දවසෙත් මම උදේම පිබිදී මුහුණට දිය දී කුල දෙවි නැමද බෝඩිම ඇමද කැම්පස් යන්න ලෑස්තිවෙනකොටම පහල ඇඳේ හිටපු සිංදුවගේ මල්ලිට බාගෙට වගේ ඇහැරිලා . නින්දෙන් වගේ මගෙන් ඇහුවා ශකාබ්දම් කියලා කියන්නේ මොකක්ද කියලා . මම හිතන්නේ ශක රජ්ජුරුවෝ හීනෙන් පෙනිලද කොහෙද . මම ඉතින් එවෙලේ හදිස්සියට කිව්වා ශකාබ්දම් කියලා කියන්නේ ශක රාජ වර්ෂ වලට කියලා . 





එදා ඒ බාගෙට දීපු උත්තරේ සම්පූර්ණ කරන්න තමයි මම අද මේ ලිපිය ලියන්නේ . ශක රාජ වර්ෂ ක්‍රමය ගොඩක් වෙලාවට ශ්‍රී ලාංකික අපිට අදාළ දෙයක් නෙවෙයි . මේ වර්ෂ ක්‍රමය ආවේ ඉන්දියාවෙන් . එක එක පොත්වල මේ ගැන විවිධ මත තියෙනවා . සමහර පොත්වල තියෙනවා ශක රාජ වංශයේ එක රජකෙනෙක් යුද්ධයක් දිනපු නිසා එයාව සිහිපත් වෙන්න එතන ඉඳලා ශකරාජ වර්ෂ පටන් ගත්තා කියලා . තව මතයක් තියෙනවා කනිෂ්ක රජතුමා රජ උනාට පස්සේ ශක රාජ වර්ෂ ක්‍රමය පටන් ගත්තා කියලා .

තවත් තැනක තියෙනවා ශක රාජ කියන රජතුමා මියගියාට පස්සේ එයා ජෝතිෂ්‍ය විද්‍යාවට කරපු සේවය නිසා එතන ඉඳලා වර්ෂ ගණනය කිරීමට ශක රාජ වර්ෂ කියලා නම් කරා කියලා . මේ මත ඔක්කොම එක්ක තමයි ශක රාජ වර්ෂ ක්‍රමය ඇතිවෙලා තියෙන්නේ . හැබැයි ඒ කෙසේ වෙතත් ශක රාජ වර්ෂ ගණනය කිරීම නම් පැහැදිළියි . ක්‍රිස්තුවර්ෂ ගණනින් 78ක් අඩු කරාට පස්සේ එනවා ශකරාජ වර්ෂය මොකක්ද කියලා . 





බුද්ධ වර්ෂ 
ක්‍රිස්තු වර්ෂ 
ක්‍රිස්තු පූර්ව 
ප්‍රහවාදී වර්ෂ

වගේ වර්ෂ මනින ක්‍රම වලින් එකක් තමයි මේ ශක රාජ වර්ෂ ක්‍රමය කියලා කියන්නේ . මේ වර්ෂ ක්‍රමය ඇතිවෙන්න හේතු වුණා කියලා ගොඩක් තැන්වල තියෙන කතාවක් මම මේ ලිපියත් එක්ක ඔයාලට කියන්නෙම් . ඒක ටිකක් අසාමාන්‍යයි වගේ කියලත් හිතෙනවා . ඒත් ඒ වගේ දෙයක් ඒ කාලේ වෙන්නත් පුළුවන් කියලා මට හිතෙනවා . 

මම කියවපු සමහර පොත්වල තියෙනවා රාවණා රජතුමාගේ කාලයේ දරුවන් බිහි කිරීමේදී එක එක බෙහෙත් වර්ග වලින් මේ දරුවන් අම්මගේ බඩේ ඉන්නකොටම එක එක දේවල් වලට විශේෂ හැකියාවන් ලබා දෙන්න වැඩ කටයුතු කරා කියලා . සමහර වෙලාවට අම්මට දෙන ඖෂධ වර්ග වලින් තමයි මේ දේ කරලා තියෙන්නේ . ගොඩක් වෙලාවට යෝධයින් වගේ අය උපද්දවා ගන්න ඕන උනාම ඒ වෙනුවෙන් නැකත් , හෝරා වගේ දේවල් බලලා ඒ වෙනුවෙන් අවශ්‍ය ඖෂධ වර්ග ලබා දීම වගේ දේවල් කරලා තියෙනවා . මේ ශක රාජ වර්ෂ ක්‍රමය ඇතිවෙන්නත් හේතුවෙලා තියෙන්නේ ඒ වගේ රසවත් සිදුවීමක් . 



මම මේ කියන සෘශි වරයාගේ නමක් සඳහන් වෙන්නේ නැහැ . ඒත් සමහර තැන් වල තියෙනවා ගෝතම පුත්‍ර ශකරාජ කියලා . ඒ කියන්නේ මේ ශකරාජයාගේ පියාගේ නම ගෝතම . මට සැකයක් තියෙනවා මේ ගෝතම සෘෂි වරයාද අර ශක්‍ර දේවේන්ද්‍රයාට ඇස් දාහක් ලැබෙන්න ශාප කරේ කියලා . කොහොමහරි ගෝතම කියලා සෘෂි කෙනෙක් තමයි මේ කතාවේ කතා නායකයා වෙන්නේ .

ඉන්දියාවේ හිටපු එක තරුණයෙක් ඒ කාලේ හැටියට ජෝතිෂ්‍ය විද්‍යාව ඉගෙනගෙන ඒ ශිල්පයේ පරතෙරටම ගිහින් ඉන්දියාවේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියා . මෙයා විවාහක කෙනෙක් . හැබැයි සමහර වෙලාවට මෙයා භාවනා කරන්න වගේ දේවල් වලට හිමාලයට යනවා .  ඒ කාලේ සෘෂි වරුත් එහෙමනේ ඉඳලා තියෙන්නේ . විවාහ වෙලා ඉඳගෙන තමයි තමන්ගේ ධර්මය හෝ ශිල්පය වැඩි දියුණු කරගෙන තියෙන්නේ . මේ තරුණයත් හිමාලයට ගියා ටික කාලයකට . ඒ ගිහින් එයා තරු රටා නැකත් වගේ දේවල් එක්ක පරීක්ෂා කරා ඉන්දියාවට අග රජ වෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්න පුළුවන් නැකතක් , ශුභ වෙලාවක් තියෙනවද කියලා . සියුම් ක්‍රම වලින් කොහොමහරි එයා ඒ වේලාව හොයාගත්ත . හැබැයි ඒ වේලාව දීලා තිබුණේ ඊට දින කීපයකට පස්සේ . ඒ වෙලාවටම ස්ත්‍රියක් සමග එක් වීමෙන් හටගන්නා දරුවා තමයි මෙහෙම ඉන්දියාවටම අග රජ වෙනවා කියලා එයා හොයාගත්තේ . 

මෙයාට ආශාවක් ඇතිවෙනවා ඒ දරුවාගේ , එහෙමත් නැත්නම් ඒ අගරජුගේ පියා වෙන්න . පස්සේ මෙයා හිමාලයේ ඉඳලා ඉක්මනට ඉක්මනට එනවා තමන්ගේ බිරිඳ ඉන්න ගමට මේ දරුවාගෙ තාත්තා වීමේ බලාපොරොත්තුවෙන් . ඒත් එයාට කාලය මදි වෙනවා . නැකත් වෙලාවා ආසන්න වෙනවා . පස්සේ මෙයා කරන්නේ ඒ අසල පිහිටලා තියෙන නිවසකට යන එක . 

පස්සේ මෙයා ඒ නිවසේ වැඩිහිටියෝ එක්ක මේ ගැන කතා කරනවා . එයා සේරම විස්තරේ කියලා තමා කවුද කියලත් හඳුන්වලා දෙනවා . ඒ දුන්නට පස්සේ ගෙදර අය මෙයාගේ දක්ෂතාවය සහ ඥානය ගැන පැහැදිලා මේ ගෙදර හිටපු අවිවාහක තරුණ දියණිය මේ තරුණයට දෙනවා ඒ අවශ්‍ය කාර්යය ඉටු කරගන්න . පස්සේ හෝරා කීපයකින් ලබපු ඒ නැකතින් ඒ තරුණයා අර ගෙදර හිටපු තරුණිය එක්ක සිදුවන එකතු වීමකින් ඒ තරුණියගේ කුසේ දරු ගැබක් ඇතිවෙනවා . 

නිසි කාලයේදී මේ තරුණිය දරුවා බිහි කරනවා . දරුවට නම තිබ්බේ " ශක " කියලා . මේ දරුවා දැකපු බමුණු පඬිවරු පවා අනාවැකි කියලා තිබුණා මේ දරුවා මුළුමහත් දඹදිවටම අගරජු වෙනවා කියලා . ඒත් හැබැයි ඒ හරි පාරෙන් නෙවෙයි . උපායශීලීව තමයි . කොහොමහරි උපායශීලීව මේ දරුවා නිසි වයස එළඹුනාට පස්සේ ඉන්දියාවේ අගරජු බවට පත් වෙනවා . ඒ වගේම ඔහු තමන්ගේ පියා තරමටම ජෝතිෂ්‍ය විද්‍යාවේ ප්‍රවීනයෙක් වෙනවා . 





ඉන්දියාවේ එවකට තිබුණු ජෝතිෂ්‍ය විද්‍යාව දියුණු කරන්න . පොත් පත් ලියන්න මේ රජතුමා අනුග්‍රහය දක්වනවා . මේ රජතුමාගෙන් තමයි ශකරාජ කියන වර්ෂ ක්‍රමය ආරම්භ උනා කියලා කියන්නේ . මේ රජතුමාගේ කාලයේ තමයි වාරාහමීර පාරාෂර ධනවන්තරී වගේ සෘෂිවරු ඉඳලා තියෙන්නේ . මේ රජතුමා මියගියාට පස්සේ ජෝතිෂ්‍ය විද්‍යාව පිළිබඳව තීන්දු තීරණ ගත්ත සෘෂිවරු තීරණය කරා මේ රජතුමාගේ නමින් වර්ෂ ක්‍රමයක් ආරම්භ කරන්න . ක්‍රිස්තුවර්ෂ 78 දී තමයි මේ රජතුමා මියගිහින් තියෙන්නේ . ඉතින් එදා ඉඳලා ශකරාජ වර්ෂ ක්‍රමය ඇතිවෙලා තියෙනවා . මීට වඩා වෙනස් කතාත් තියෙනවා . ඒත් මේ කතාව තමයි ටිකක් ගතියට තියෙන්නේ . ඒ නිසා මම ඔන්න ඒ කතාව ඔයාලට අරගෙන ආවා . 

මේ කතාව කියවනකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ දේවල් වෙන්න බැහැ නේද කියලා . මොකද නැකත යෙදීමයි ඒ තරුණියගේ සරු කාලයයි එකටම යෙදිලා තියෙන්නේ කොහොමද කියලා . ඒත් වෙලා තියෙන්නේ එහෙම තමයි . 

අපි දැන් මේ ගත කරන්නේ 2016 - 78 = 1938 කියන ශකරාජ වර්ෂය . 

එහෙනම් තවත් ලිපියක් අරගෙන ආයෙත් එන්නම් . මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ දැනුවත් කිරීමක් විතරයි . ඒ නිසා අඳබාල අවිචාරවත් කමෙන්ට්ස් නොදානවානම් හොඳයි කියලා මම විශ්වාස කරනවා . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Wednesday, July 27, 2016

හෙළ වෙදකමේ දැක්වෙන ලිංගික උත්තේජක ඖෂධ







මේ ලිපිය ලියන්න ඕන කියලා හිතලා අවුරුද්දක් විතර වෙනවා . ඒත් අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරුවල හිඟතාවය නිසා මම මේ ලිපිය ලියන එක ප්‍රමාද කර කර හිටියේ . මේ ලිපිය ලියන්න හිතුවේ ඇයි කියලා කියනවනම් ඒකට පොඩි කතාවක් තියෙනවා . ඒක ආවේ අපේ බෝඩිමෙන් .

අපේ බෝඩිමේ මම කලින් හිටපු රූම් එකේ හිටියේ හතරදෙනයි . අපි හතරදෙනෙක් හිටියට මොකද ඒක ඇවිල්ලා හය දෙනෙක්ට දෙන කාමරයක් . ඒ නිසා තවත් ඇඳන් දෙකක් හිස්ව තිබුණා . කාලයක් යනකල් අපි මේ ඇඳන් දෙකට කාවවත් ගන්න දෙන්නේ නැතිව හිටියට මොකද ටික දවසක් යනකොට එකෙක් ආවා . අපි හිතුවේ නෑ පොරත් බලලා ගියාට රූම් එකට එයි කියලා . ඒත් අපි නොහිතපු වෙලාවක පොර , පොරගෙ බඩු ටිකත් කරගහන ආවා . ඇවිත් ඉතින් ටික දවසක් ගියාට පස්සේ තමයි අපිට තේරුනේ මිනිහා අපිට හරියන්නේ නැති චරිතයක් කියලා . අපි හතරදෙනාම කැම්පස් . ඌ මොකුත් කරන එකෙක් නෙවෙයි . ඌ කරන්නේ කෙල්ලන්ට බැල්ම දාලා කෙල්ලෝ රවට්ටගෙන කරගන්න ඕන හරිය කරගෙන අතෑරලා දාන එක . ඔය වෙනුවෙන් මිනිහා තමන්ගේ ඇඟ හරියට තියාගන්න මාර විදියට මහන්සි උනා . මිනිහා වැඩි කාලයක් ගත කලේ ජිම් එකේ . කොයිවෙලෙත් බිත්තර කනවා , පළතුරු කනවා අරවා මේවා කරනවා . ඒ වැඩ පිළිවෙල අපේ කැම්පස් වැඩ වලට හරිම කරදරයක් වෙලා තිබුණේ .

අපි අපේ පාඩුවේ හිටියට පස්සේ පස්සේ මිනිහගේ වැඩ කටයුතු එන්න එන්නම අපිට වදයක් වේගෙන ආවා . මිනිහා රූම් එකේ ඉඳගෙනම කෙල්ලන්ට කතා කරනවා . අනාත වෙච්ච කෙල්ලෝ අඬනවා ඒ වගේ ප්‍රශ්න ගොඩයි . මේ අතරේ මිනිහට මිනිහගේ යාළුවන්ගෙනුත් කෝල් එනවා . ගොඩක් වෙලාවට මිනිහට යාළුවො කෝල් කරලා අහන්නේ ලිංගික උත්තේජක ඖෂධ වර්ග ගැන . පොර ඒ බෙහෙත්වල නම් කියන්නේ හරියට ඩොක්ටර්ලටත් උගන්නන්නේ ඌ වගේ . ඒවයේ මාත්‍රාව ගැනවත් හරියට දන්නේ නැති උනාට පොර කියනකොට කියන්නේ පෙති තුනහතරක් බීපන් බං කියලා . පස්සේ අපි බෝඩිම අයිති උදවියට කියලා මිනිහව එලෙව්වා .





ඒත් ඒ කතාව මගේ හිතේ තිබුණා . මේ ලිංගික උත්තේජක වර්ග ගැන ලිපි කීපයක් කියවලා බැලුවම තමයි මට තේරුම් ගියේ මේවා ගොඩක් ගත්තම ඇඟට ඒක හොඳ නැහැ කියලා . ලිංගික උත්තේජක වර්ග ගොඩක් දුරට ප්‍රචලිත වෙන්න අරගෙන තියෙන්නේ කාමෝද්දීපන චිත්‍රපට නිසා කියලා තමයි කියන්නේ . මොකද මේ චිත්‍රපට වල තියෙන දේවල් තමනුත් අත්දකින්න තියෙන ආසාව නිසා ගොඩක් අය උත්තේජක වලට යොමුවෙලා තියෙනවා .

සංසර්ගයේ යෙදෙන කාලය වැඩි කරගන්න එක තමයි මේ උත්තේජක ගන්න අයගේ ප්‍රධානම අරමුණ වෙන්නේ . ඊට අමතරම නෂ්ටකාමය නැතිකරගන්නත් සමහර අය මේ ඖෂධ ගන්නවා කියනවා . මේවායේ තියෙන අතුරු ආබාධ වලින් කීපයක් මම මෙතන සටහන් කරන්නම් .

පපුවේ අධික දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්
ඔලුවේ කැක්කුම
පාචන තත්ත්වයන්
හෘද ස්පන්දන වේගය ඉහල යෑම
දේහ උෂ්ණත්වය වැඩි වීම
නාසයෙන් ලේ ගැලීම
නින්ද නොයාම
අත්පා හිරිවැටීම
මස්පිඩුවල අධික වේදනාව
නිල් පාට සහ කොළ පාට වෙන් කර හඳුනාගත නොහැකි වීම
කන් ඇසීම අඩු වීම
පෙනීම අඩුවීම
කරකැවිල්ල
ක්ලාන්තය
හුස්ම ගැනීමේ අපහසුතා
මුත්‍රා දැවිල්ල
සිරුර පුරා පළු දැමීම

වගේ දේවල් ඇතිවෙන්න පුළුවන් . මේ වගේ දේවල් මේ ඖෂධ භාවිතා කරන්න පටන් ගත්ත කාලයේ වෙන්නත් පුළුවන් . අධික භාවිතය නිසා වෙන්නත් පුළුවන් . මේ ඖෂධ ඇත්තටම නිපදවලා තියෙන්නේ ලිංගික ආශාව නැති අයට සහ බෙලහීන තත්ත්වයන් වෙනුවෙන් පාවිච්චි කරන්න . ඒත් අද වෙනකොට කිසිම ප්‍රශ්නයක් නැති අයත් මේ බෙහෙත් වර්ග වලට යොමුවෙලා තියෙනවා මේ කාමෝද්දීපන චිත්‍රපට නිසා ඇතිකරගෙන තියෙන වැරදි මත නිසා .

මම දැන් එන්නම් මගේ ලිපිය ගැන කියන්න . මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල වෙදකමේ ඉගැන්වෙන බෙහෙත් වට්ටෝරු කීපයක් ඉදිරිපත් කරන්න . රාවණා රජතුමාගේ කාලේ ඉඳලා මේ වගේ දේවල් සඳහාත් බෙහෙත් වර්ග නිපදවලා තියෙනවා . මම කියවපු සමරහ පොත්වල ඒ බෙහෙත් වට්ටෝරු අඩංගු වෙලා තිබුණා . ඒ කාලේ ඒවා නිපදවලා තියෙන්නේ සංසර්ග කාලය වැඩි කරගන්න නෙවෙයි . ලිංගික ක්‍රියාකාරකම් වෙනුවෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීම වෙනුවෙන් .

මේ ලිපි කියවන ඔබත් දැනටමත් ලිංගික උත්තේජක ඖෂධ භාවිතා කරනවානම් අදම හිතාගන්න ඒ දේවල් ටික ටික හරි අතෑරලා දාන්න . තමන්ට යම් විදියක ගැටළුවක් තියෙනවම මේ බෙහෙත් වට්ටෝරු පාවිච්චි කරලා හොඳ ප්‍රතිඵල තියෙනවද කියලා උත්සහ කරලා බලන්න . විශේෂත්වය තියෙන්නේ මේ බෙහෙත්වල ශරීරයට අහිතකර බවක් නොමැති වීම තමයි .


1
අමුක්කරා අල ,  තල , තිප්පිලි , සමාන ප්‍රමාණවලින් අරගෙන හොඳට චූර්ණ වෙනකල් අඹරාගන්න . මේ මිශ්‍රණය එක වරකට කලං භාගය ගානේ ගිතෙල් මීපැණි එක්ක කලවම් කරලා ආහාරයට ගන්න .

2
අමුක්කරා අල , බින්තල් අල , රට ඉඳි , උඳු , වියලි මුද්දරප්පලම් , සමාන ප්‍රමාන අරගෙන චූර්ණ වෙනකල් අඹරාගෙන මීපැණි ගිතෙල් එක්ක එක වරකට කලඳ ගානේ ආහාරයට ගන්න .

3
අමුක්කරා අල , ඉකිරි ඇට , ගොකටු , උඳු , එළ ඉඹුල් මැලියම් , වැල්මී , බින්තල් , සමාන ප්‍රමාණ අරගෙන චූර්ණ කරලා වරකට කලං එකහමාර ගානේ ආහාරයට ගන්න . මේක ලිංගික ගැටළු ගොඩකට හොඳ ප්‍රතිකාරයක් .

4
අමුක්කරා , ඉකිරි ඇට , බැවිල මුල් , වඳුරු මෑ ඇට , හාතාවාරිය , වැල්මී , සිරිවැඩි බැවිල කියන මේ දේවල් සමාන ප්‍රමාන වලින් අරගෙන චූර්ණ කරගන්න . ඒ චූර්ණය වගේ ඇට ගුණයක් එළකිරි අරගෙන ඒවා එකට කලවම් කරලා හොඳට රත් කරන්න . ඊට පස්සේ ගිතෙල් එක්ක රත් කරලා සමාන ප්‍රමාණයක් සූකිරි එක්ක කලවම් කරලා වරකට කලං තුන ගානේ උදේ හවස එළකිරි එක්ක ආහාරයට ගන්න . ප්‍රභල උත්තේජක ඖෂධයක් මේක .

5
නෙල්ලි ඉස්ම බෝතලයක් හිරු එළියේ තියලා වාෂ්ප කරන්න . මේක හොඳට වාෂ්ප වෙලා සාන්ද්‍ර උනාට පස්සේ එයින් මේස හැන්දක් මීපැණි , සූකිරි , ගිතෙල් එක්ක මිශ්‍ර කරලා දවසකට දෙවතාවක් ආහාරයට ගන්න . මේක මාස තුනක් විතර එක දිගට ගන්න කියලා තමයි කියන්නේ .

6
කාමරංගා ගහේ පස්පංගුව කලං හය ගානේ අරගෙන වැල්පෙනෙල කලං හයක් එකතු කරලා වතුර කෝප්ප අටක් සහ එළකිරි කෝප්පයක් එකතු කරලා හොඳට උණු කරලා නටවලා එක කෝප්පයකට හිඳ ගන්න . පස්සේ ඒක පානය කරන්න . නෂ්ටකාමය දුරු කරන්න මේ ඖෂධයට පුළුවන් .

7
අමුක්කරා , උඳු , වැල්මී , කිරිබදු , හාතාවාරිය අල , වැල් පෙනෙල මුල් , ඉරමුසු , වඳුරු මෑ ඇට , කියන ඒවායින් කලං එකහමාර ගානේ අරගෙන වතුර පත 8ක් එකතු කරලා පත එකකට හිඳගන්න . මේක පස්සේ පෙරලා අරගෙන උදේ හවස සීනි සහ මීපැණි එක්ක කෝප්ප භාගය බැගින් සතියක් විතර බොන්න .

8
අමුක්කරා අල , වියලි කිරිබදු අල , වැල්මී , මේවායින් සමාන ප්‍රමාන අරගෙන සියුම්ව කුඩු කරගෙන වරකට කලං දෙක ගානේ උදේ හවස බටර් , ගිතෙල් හෝ මීපැණි එක්ක ආහාරයට ගන්න .

9
වඳුරු මෑ ඇට මද , නීරමුල්ලිය සමාන ප්‍රමාන අරගෙන සියුම්ව අඹරලා චූර්ණ කරගන්න . මේකෙන් වරකට මන්චාදී පහ ගානේ උදේ සවස සීනි එක්ක ආහාරයට අරගෙන උණු කරපු එළකිරි වීදුරුවක් බොන්න .

10
වඳුරු මෑ ඇට සහ තිරිඟු පිටි සමාන ප්‍රමාන අරගෙන එළකිරි එක්ක මිශ්‍ර කරලා තලප වගේ උයාගන්න . මේකෙන් වරකට මේස හැඳි දෙක ගානේ උදේ රෑ එළකිරි එක්ක ආහාරයට ගන්න .

11
නෙරෙංචි ඇට , නීරමුල්ලිය ඇට , උඳු ඇට , වඳුරු මෑ ඇට , වියලි හාතාවාරිය අල චූර්ණ වෙනකල් අඹරලා වරකට කලං තුන ගානේ උදේ හවස එළකිරි එක්ක ආහාරයට ගන්න .

12
නීරමුල්ලිය ඇට කුඩු කරලා එළකිරි ගිතෙල් එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්න .

13
උඳු පිටි , එළකිරි හෝ ගිතෙල් එක්ක මිශ්‍ර කරලා තලප වෙනකල් උයාගෙන සීනි මීපැණි එක්ක දිනපතා ආහාරයට ගන්න .

14
අමුක්කරා පිටි , සීනි , ගිතෙල් එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්න .

15
වැල්මී පිටි , මීපැණි සහ ගිතෙල් මිශ්‍ර කර ආහාරයට ගන්න .

16
විෂ නැති කරපු වඳුරු මෑ ඇට පිටි සහ ඉකිරි ඇට පිටි සමාන ප්‍රමාන මිශ්‍ර කරලා නැවුම් එළකිරි වල මිශ්‍ර කරලා සීනි දාලා දිය කරලා බොන්න .

17
ඇට ඉවත් කරපු රට ඉඳි ගෙඩි 50ක් විතර ගන්න . ඒකට මීපැණි එළඟිතෙල් එකතුකරලා හොඳට වහන්න පුළුවන් භාජනයක දාලා සතියක් විතර තියලා දවසට ගෙඩි තුන ගානේ ආහාරයට අරගන්න . ඒ එක්ක එළකිරි පානය කරන්න .

18
ගොකටු , වඳුරු මෑ ඇට , රට ඉඳි , වැල්මී , බින්තල් අල , රසකිඳ කියන ඒවා කලං හය බැගින් අරගෙන වතුර කෝප්ප අටක් එකතු කරලා එක කෝප්පයට හිඳ ගන්න . මේ සිඳගත් කසාය උදේ හවස ගිතෙල් හා මී පැණි එක්ක දවස් තුනක් බොන්න .

19
කෝමාරිකා මුල් එළකිරි එක්ක අඹරලා ඒ තලපය එළකිරිවල දිය කරලා සති දෙකක් එකදිගට බොන්න .

20
බිත්තර සුදුමදය තලතෙල් සමග කලවම් කරලා උදෑසන හිස්බඩ දවස් කීපයක් බොන්න .

21
වැල්මී , උක් හකුරු , කිරිබදු අල කියන ඒවා සමාන ප්‍රමාන වලින් අරගෙන චූර්ණ කරලා එළකිරි එක්ක මිශ්‍ර කරලා බොන්න .

22
කිරිබදු අල චූර්ණය , කිරිබදු යුෂ එක්ක කලවම් කරලා අවුවේ වේලාගන්න . ඒ තලපය සීනි මීපැණි එක්ක මිශ්‍ර කරලා ආහාරයට ගන්න .

23
රසකිඳ , නෙල්ලි , ගොකටු සමාන ප්‍රමාණයන්ගෙන් අරගෙන චූර්ණ කරන්න . පස්සේ ඊට සමාන ප්‍රමාණයක් සීනි මිශ්‍ර කරන්න . මේකෙන් තේ හැන්දක් ගිතෙල් එක්ක මිශ්‍ර කරලා එළකිරි සමග ආහාරයට ගන්න .

24
එළ ඔලිඳ මුල් , වඳුරු මෑ , ඉකිරි ඇට කියන ඒවා සමාන ප්‍රමාන වලින් අරගෙන චූර්ණ කරගන්න . ඉන් පසුව සමාන ප්‍රමාණයක් සීනි එකතු කරලා වරකට තේ හැඳි එක බැගින් එළකිරි වල දිය කරලා උදේ හවස ආහාරයට ගන්න .

25
එල ඔලිඳ මුල් චූර්ණය වරකට තේ හෑන්ද බැගින් ගෙන සීනි ගිතෙල් මිශ්‍ර කරලා ආහාරටය ගන්න .

26
අමුක්කරා අල , කිරිබදු අල , බින්තල් අල , උඳු ඇට , කියන මේවා සමාන ප්‍රමාන වලින් අරගෙන චූර්ණ කරගන්න . සීනි සහ මීපැණි මිශ්‍ර කරගන්න . ඒ මිශ්‍රණයෙන් වරකට තේ හැන්දක ප්‍රමාණයක් ගෙන උදේ හවස ආහාරයට ගන්න .

27
රට ඉඳි , වියළි මුද්දරප්පලම් , බින්තල් අල , අමුක්කරා අල , සමාන ප්‍රමාණවලින් අරගෙන චූරන් කරගන්න . ඒ චූර්ණය උදේ හවස සීනි මීපැණි එක්ක ආහාරයට ගන්න .

28
සමන් පිච්ච තෙල් අලිගැටපේර තෙල් ස්වල්පයක් එක්ක කලවම් කරලා සම්බාහන තෙලක් විදියට පාවිච්චි කරන්න .

29
තිප්පිලි , උඳු , ඇල් හාල් , යව හාල් , තිරිඟු සමාන ප්‍රමාණවලින් අරගෙන කුඩු කරගන්න . ඒ පිටි ගිතෙල් එක්ක මිශ්‍ර කරලා රත්කරලා උයාගෙන ආහාරයට ගන්න .

30
අරළු , රත්නිටෝල් , ඉඟුරු , බින්තල් අල , රසකිඳ පිටි සමාන ප්‍රමාන්වෙඅලින් අරගෙන වියලා අඹරා කුඩු කරගෙන වරකට තේ හන්ද බැගින් ගිතෙල් සහ උක් හකුරු සමග ආහාරයට ගන්න .


මීට මතරව අශ්වගන්ධ අරිෂ්ටය , අශ්වගන්ධ තෙල් වගේ දේවලුත් පාවිච්චි කරන්න පුළුවන් .

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !