Monday, December 7, 2015

අහසින් පොළවට කඩා වැටීලද අම්මා තාත්තා නෑ දන්නේ







අද ලිපියෙන් ගීතයක තේරුමක් කියන්නම නෙවෙයි ලැස්ති වෙන්නේ . වැඩිය ඇහෙන්නේ නැති ගීතයක් ඔබ හමුවේ තබන්න . මේ ගීතය ගැන ලියන්න නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නෑ . ඒත් දැනට දවස් දෙකකට විතර කලින් අපේ ඥාතිවරයෙකුගේ ගෙදරින් කරපු දානමය පුණ්‍යකර්මයකට සහභාගී වෙලා දකින්න ලැබුණු දේවල් නිසා මේ ගීතය මියැසියේ රසකතාවට ගෙනාවනම් හොඳයි කියලා හිතුනා .

මම ජීවත් වෙන ප්‍රදේශයේ තියෙනවා ළමා නිවාසයක් . ගෙදරට එන්න කාටහරි පාර කියනවනම් මේ ළමානිවාසය අනිවාර්යයෙන්ම කියවෙනවා . මොකද ඒ ළමා නිවාසය අද්දරින් තමයි වයලීනොගේ නිවෙස්නයට එන්න පාර වැටිලා තියෙන්නේ . ගොඩක් වෙලාවට අපිට හැමදාම වගේ මේ ළමා නිවාසය දකින්න ලැබෙනවා . ඉස්කෝලේ යනකාලේ උදේ හවස හැමදාම දකිනවා . ඒ නැතත් දැන් උනත් ටවුන් එකට එනකොට උනත් මේ ළමානිවාසය අපිට පේනවා .

මේ ළමානිවාසය ගැන මට පරණම මතකය තියෙන්නේ මොන්ටිසෝරි යන්න ටිකකට කලින් කාලේ වගේ . මේ ළමා නිවාසයේ පාර අයිනට වෙන්න ලොකුවට තියෙන වත්තක් තියෙනවා . මේ වත්තේ ඉස්සර අලියෙක් ගැටගහලා ඉන්නවා සමහර දවස් වලට . අපේ පැත්තේ වලව්වක ඉන්න අලියෙක් කොස් අතු පොල් අතු මිටියක් අරගෙන මේ වත්තට එක්ක ඇවිත් ගැටගහලා ඉන්නවා ; සමහරවිට කෑම කාලා ඉවර උනාම එක්ක යන්න වෙන්නැති . ඒ දවස්වලට ඔතනින් මම ලේසියෙන් එහාට මෙහාට වෙන්නේ නෑ . මාත් එක්ක යන ගෙදර කාට හරි කරදර කරලා ඔතන ටිකක් වෙලා බලාගෙන ඉන්නවා අලියගේ වැඩ කිඩ .

ඉතින් ඔහොම ගිහින් ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ තමයි ළමා නිවාසයේ ළමයින් කොහොමද කියලා දැනගත්තේ . මොකද අපේ පන්තියෙත් හිටියා ළමා නිවාසෙන් ඉස්කෝලේ ආව ළමයෙක් . ඒ කාලේ ප්‍රයිමරියේ තියෙන්නේ ළමයි කණ්ඩායම් විදියට ඉඳගන්න සිරිතක්නේ . මේ ළමයාත් හිටියේ මම හිටපු කණ්ඩායමේම තමයි . ඉතින් මේ ළමයාගේ කතාව , අම්මා තාත්තා ගැන විස්තර එහෙමත් මට කියලා තියෙනවා . නොකිව්වත් අහගන්න හැටිත් මම දන්නවා .

මේ ළමයාගේ අම්මා තාත්තා දෙන්නම ඉඳලා තියෙනවා . අම්මයි තාත්තයි දෙන්නම කසිප්පු වෙළඳාම් කරලා පොලිසියට මාට්ටු වෙලා තමයි මේ ළමයා උසාවියෙන් ළමා නිවාසෙට දාලා තියෙන්නේ . ඒ ළමයට එකවසරේ උන්නට ඒ දේවල් කියන්න තරම් දැනුවත් කමක් තිබුණා . සමහරවිට හැදිච්ච පරිසරය නිසා වෙන්න ඇති . මොකද ඒ කාලේ අපිනම් කසිප්පු කියන්නේ මොනවද කියලවත් දන්නේ නැහැනේ.

ඉතින් මේ ළමයාගෙන් සමහර දවස්වලට මම අහනවා කොහොමද ළමානිවාසේ විස්තර කියලා . වැඩිපුරම කියන්නේ එයාලට පොත් පත් එහෙම ලැබුණට ඒවා ළමානිවාසේ පාලක වරයා පාවිච්චි කරන්න දෙන්නේ නෑ කියලා . කොච්චර උනත් ඒ ළමයින්ට ඒ වගේ භෞතික සම්පත් දානමාන විදියට ඇතිවෙන්න ලැබිලා තිබුණා . ඒත් පාලක වරයා ඒවා ළමයින්ට දෙන්නේ නැහැලු . ඒවා දන්නෙම නැතුව අඩුවෙනවලු . එක වසරේ හිටපු ළමයෙක් ඉතින් මේවා අඩුවෙන්නේ කොහොමද කියලා දන්නේ නැතුව ඇති . ඒ උනාට පස්සේ කලෙකදී මම තේරුම් ගත්තා ඒවා අඩුවෙන්නේ කොහොමද කියලා .

මම පහවසරේ ඉගෙනගන්න කාලේ තවත් වෙන ළමයෙක් මුණගැහුනා . මේ ළමයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් . ඒත් අපේ පන්තියට තමයි දාලා තිබුණේ . නම් ගම් පවා මට තාමත් මතකයි . ඒ ළමයා ළමා නිවාසේ ඉන්න කාලේ ඉලෙක්ට්‍රික් වැඩ ටිකක් හොඳට ඉගෙනගෙන තිබුණ . සමහර දවස් වලට මේ ළමයා බලබ් සෙට් එක එක විදියට පත්තුවෙන  සර්කිට් වගේ දේවල් හදාගෙන ඉස්කෝලේ අරගෙන එනවා මිස්ට පෙන්නන්න . ඒවා හදන්න ඕන දේවල් එයාට කොහොම ලැබුනද කියන්න දන්නේ නැහැ . සමහරවිට ඒවා ගැන එයාලට ළමානිවාසේ ඉන්නකොට උගන්නන්න ඇති .

මේ ළමයා සපත්තු දාන්නේ නෑ . රබර් සෙරෙප්පු දාගෙන තමයි ඉස්කෝලේ ආවේ . ඇඳුම් හොඳටම කිළුටු වෙලා . අපි සමහර වෙලාවට අහනවා ඔයාට සපත්තු අරන් දෙන්නද කියලා . ඒත් ඒ ළමයා කියන්නෙම සපත්තු අපිට හම්බෙනවා . ඒත් මහත්තයා දෙන්නේ නෑ කියලා . ඒ කියන්නේ පාලක වරයා ඒවා ළමයින්ට දෙන්නේ නෑ කියලා . ඒවටත් මොකද වෙන්නේ කියලා පස්සේ කාලෙක තමයි තේරුනේ . ඒ ළමයාගේ නම් අම්මා හිටියා . මොන හේතුවක් මත ළමා නිවාසෙට ආවද කියලා දන්නේ නෑ .

කොහොමහරි අවුරුදු 16 වෙනකල් මෙතන ඉන්න පුළුවන් . ඊට පස්සේ එයාලා මෙතනින් අයින් වෙලා යන්න ඕන . සමහර අය රස්සාවල් හොයාගෙන යනවා . තවත් සමහර අය ගමට යනවලු . ඒත් ගිහින් මොකද කරන්නේ කියලා දන්නේ නෑ . ටිකක් කල් යනකොට මේ ළමා නිවාසයේ පාලක වරයා මාරු උනා . වෙන කෙනෙක් පත්වෙලා ආවා . ඒ කෙනා ගැන කිසිම කෙනෙක්ගේ පැහැදීමක් තිබුණේ නෑ . කොටින්ම කියනවනම් ළමා නිවාසෙට ලැබුණු දාන පවා අඩු උනා . අන්තිමට මේ කෙනා ළමා නිවාසයේ ළමයෙක් සමලිංගික සම්බන්ධයක් වෙනුවෙන් වෙනත් පිරිමි කෙනෙක්ට ලබා දීලා මාට්ටු වෙලා පොලිසියෙන් අල්ලලා ටික දවසකට ළමා නිවාසය වහලා දැම්මා . ඒ කාලේ ඇතුලත ළමයි ටික වෙනත් ළමා නිවාසයකට මාරු කරලා තිබුණා .

පස්සේ ආවේ ටිකක් වයසක කාන්තා පාලිකාවක් . එයා මුල කාලේ හොඳට පාලනය කරගෙන ගියා . පස්සේ එයාට කේස් ඒක වැටුණේ ළමයින්ට ලැබෙන දේවල් , ඒ කියන්නේ කිරි පිටි සීනි හාල් පොල් වගේ වියලි ආහාර සහ වත්තේ පොල් එයාගේ කඩයකට අරගෙන ගිහිල්ලා විකුණලා මාට්ටු වෙලා . ඔහොම වෙලා ඉතින් අස්ථාවර තත්ත්වයට පත් උනාට ළමා නිවාසය හොඳ තත්ත්වයකට ඇවිත් තාමත් කරගෙන යනවා .

අපි ඒ ගමේ අය උනාට , එයාලා අසරණ ළමයි උනාට , ගමේ අය වැඩිය මේ ළමයි එක්ක කතා කරේ එහෙම නෑ . කොටින්ම කියනවනම් ළමා නිවාසයේ ඉන්න වෙලාවට අපි පවා මේ ළමයි එක්ක කතා කරන්නේ නෑ . ඉස්කෝලෙදි කතා කරොත් විතරයි . ඒ කෙසේ වෙතත් ළමා නිවාසෙට වයලීනොගේ උපන් දිනයට දානයක් නම් දෙනවා . එදාට තමයි ඕක ඇතුලේ කොහොමද තත්ත්වය කියලා සහසුද්දෙන්ම දැනගන්න ලැබෙන්නේ .

ඉතින් මේ ළඟදී දවසක දානයක් දෙන්න දානය අරගෙන ළමානිවාසයට ගියාම වෙනදා දකින ළමයි කීප දෙනෙක් දැක්කේ නෑ . පස්සේ දැන් ළමානිවාසය භාරව ඉන්න පාලිකාව ගෙන් ඇහුවම එයා කිව්වේ ඒ ළමයි හමුදාවට බැඳිලා කියලා . වයස සම්පූර්ණ උනාට පස්සේ ඒ අය ඒ ඒ විදියට එක එක දේවල් වලට සම්බන්ධ වෙනවලු . ඒත් පොඩි ළමයි කීප දෙනක් අඩු නිසා ඇහුවම කිව්වේ ඒ ළමයි සමහර පවුල් වලින් නීතිමය පදනම යටතේ හදාගන්න අරගෙන කියලා . එක ළමයෙක් ඉතාලියේ ජීවත්වෙන සිංහල පවුලක් හදාගන්න අරගෙන ගිහින් .

ඉතින් එදා දානේ බෙදන වෙලාවේ ළමා නිවාසේ හිටපු ලාබාලම ළමයා ගැන අපේ ගෙදර හැමෝම අවධානය යොමුකලා . හරිම හුරතල් පොඩි එකෙක් . අහිංසක හිනාවක් එක්ක පැත්තකට වෙලා බිම වාඩිවෙලා සෙල්ලම් කරනවා . මම ගිහින් අතින් අල්ලගෙන කතා කරලා එන්න අපි ෆොටෝ එකක් ගමු කිව්වම ඒ ළමයත් නැගිටලා ආවා . පස්සේ අපි ගෙදර කට්ටියත් එක්ක ෆොටෝ ගත්තා .

ඒ ළමයා දැක්කම හරිම අනුකම්පාවක් ඇති උනා ළමා නිවාසයේ ඉන්න ඔක්කොම ළමයි ගැන . කොහොමහරි ගෙදර හැමෝම වගේ මේ ළමයට තමයි වැඩිපුර දානේ බෙදුවේ . අනිත් ළමයින්ට බෙදුවට එපා කිව්වත් කොච්චර දැම්මත් මේ ළමයා සද්ද නැතුව ඉන්නවා . පස්සේ කාලා ඇති උනාම නැගිටලා මේසෙට වැටිලා තියෙන ඉඳුල් පිහදාල අත හෝදන්න පිඟානත් අරගෙන ගියා . පොඩි උනාට ළමා නිවාසයේ පාලිකාව මේ දේවල් ළමයින්ට උගන්නලා තියෙනවා කියලා එදා හැමෝම කතා උනා . ඇත්තම කියනවනම් ළමා නිවාසේදී ළමයින්ට ගුණධර්ම ගැන නම් කියලා දෙනවා මදි . අම්මා තාත්තා දෙන්නගෙන් වෙන්න ඕන දේවල් ඉතින් වෙන කෙනෙක්ගෙන් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැනේ .

ඒ ළමයි ඉන්න හැටි දැක්කම හිතට මහ අමුතුම දුකක් දැනුනා . මොකද අම්මා තාත්තා නැතුව ඒ ළමයි තනියමම ගෙවන මේ ජීවිතය කොච්චර කටුක එකක්ද ? . අඩුම තරමේ යන එන තැන නොතැන ගැනවත් හරියට හෙවෙන්නේ නැතිතරම් . ඉස්කෝලේ යනවා කියලා උදේට ගියාම , දවල්ට එනකල් මේ ළමයි කොහෙද ගියේ කියලවත් හොයන්න කෙනෙක් නෑ . සමහර දවසට ළමයි රොත්ත පිටින් එනවා පේනවා . පොඩි ළමයි සමහර වෙලාවට බාටා සෙරෙප්පු දාගෙන ඉන්නේ . සමහර ළමයින්ට සෙරෙප්පු වත් නැහැ . මේ ළමයි දුකට ඇඩුවත් නලවන්න කවුරුවත් නෑ . අම්මා තාත්තා කවුද කියලවත් දන්නේ නැති ළමයි මෙතන ජීවත් වෙනවා . කාලයක් හරි අම්මා තාත්තා එක්ක ජීවත් වෙච්ච අයට වඩා ඒ අය වෙනුවෙන් හැමෝගෙම අවධානය යොමුවෙන්න ඕන කියලා තමයි මමනම් හිතන්නේ . මොකද මොනවා නැතත් අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැතුව ජීවත් වෙන්න අමාරු නිසා .

මේ හැමදේම එක්ක තමයි මේ ගීතය මතක් උනේ . වැඩිය රේඩියෝ ටීවී වල ඇහෙන්නේ නැති ගීතයක් . ඒත් රචනා කරලා තියෙන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා . තනුව රෝහණ වීරසිංහ මහත්මයාගේ . ගායනය කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්මයා .

අහසින් පොළොවට කඩා වැටීලද
අම්ම තාත්තා නෑ දන්නේ
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද
පුංචි පුතේ මගෙ පුංචි දුවේ

මන්දිර වාසල පැල්පත අගුපිල
කොයි දරුවත් දරුවොයි මෙලොවේ
නුඹලා ඉන්නා නිසාද මේ ගෙට
අනාථ නිවසයි පට බැඳුණේ

ගෙනත් දෙතිය රස මසවුළු මව්වරු
දරුවනි ඉන් නුඹෙ කුස පිරුණේ
නැති බැරි කම් මැද අහක දමන්නද
නුඹෙ මව් ළමැදේ කිරි එරුණේ

ගී පද - ප්‍රේම කීර්ති ද අල්විස්
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ








17 comments :

  1. මචෝ වැඩිය මාධ්‍ය ඇහෙන්නෙ නැති මේ සින්දුව මං දැක්කා ඔක්සිජන් බෑන්ඩ් එකේ කීබෝඩ් ප්ලේ කරන සුරංග සිං කරනවා..අඩුපාඩු තිබුනත් උන් එහෙම හරි මේව ගහන එකත් මදෑ

    https://m.youtube.com/watch?v=Vpy0W6VZOxs

    ReplyDelete
    Replies
    1. ගූ හතයි සින්දුව කාලා

      Delete
    2. ඇනෝ
      ඒකනේ..පත්තර මල්ලි කියලා තියෙන්නෙ අඩුපාඩු තිබුනත් වුන් මෙහම හරි මේ සිංදු එලියට ගේන එක අගය කරන්න ඔනේ කියලා

      Delete
    3. ඔය වගේ ගීතවල තේරුම මේ වගේ ප්‍රසංග වල ගායනය කලාට වැඩක් නෑ නේද ? . ඕවට එන අය තව ටිකකින් තොපි මරණවා කියලා තාලෙට කිව්වත් උඩ පැන පැන නටනවා . ඒ නිසා මමනම් හිතන්නේ වැඩක් නැති වැඩක් . හැබැයි එහෙමවත් කියන එක එක අතකට හොඳක් තමයි . බොහොම ස්තූති g-)

      Delete
    4. නයාගෙ වලිගෙන් අල්ලගන්න එපා සුදෝ :D

      වයලීනෝ මචං.. නටන උන් විතරක් නෙමෙයි බොක්කෝ ඉස්සරහ පුටුවල වාඩි වෙලත් මිනිස්සු බලනවා ..

      Delete
  2. පොඩි මෙන්ඩාගේ ඊලග උපන් දිනේට ඒ වගේ තැනකට යන්න හිතාගෙන ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. මෙන්ඩෝ................ කරනවානම් පැහැදිලිව ම කළ යුතු වැඩක් තමා ඒ.... තීරණය සුපිරියි..... මමත් අවුරුදු ගාණක් ඔය දරුවොත් ඒක්ක වැඩකරා... රස්සාව කරේම ඒකට සම්බන්ධවයි..... හැකි හැම වෙලාවෙම මේ ගැන කතා කරනවා... හැකි උදව් කරනවා.... මේක අපේ සමාජ වගකීමක් මචං.....

      Delete
    2. එලකීරි . එහෙනම් එහෙ ගියාට පස්සේ ඒ වැඩ කිඩ වෙච්ච හැටි ලියලා මලවලා දාන්නකෝ අපිටත් බලාගන්න . අහ්හ් දන්නවනම් කුරුට්ටගෙන් විස්තර ටිකක් අහගන්න තිබ්බා . දැන්නේ දන්නේ මෙයා .
      එල එල බොහොම ස්තූති g-)

      Delete
    3. උඔලා දෙන්නාගේම කමෙන්ට් එක්ක මමයි සදුයි පොඩි මෙන්ඩයි මේ ගැන කතා කරා..කේක් එක අරගෙන යමු ඒ ළමයින්ට කන්න..ඉටිපන්දම් ගහලා කේක් කපන්නෙ නෑ..පොඩි මෙන්ඩායි එයාගේ යාලුවෝයි අර ළමයි එක්ක ඉදගෙන කැම කන්න ඔනේ..එයාලා හැම කෙනෙකුටම එක වගේ තැගි දෙමු..
      මේ ගැන වැඩිදුර උපදෙසක් වුවමනා වුනොත් මම උඔලව අමතන්නම්..

      Delete
    4. එල එල ඒක හොඳ අදහස g-)

      Delete
    5. වැඩේ කෙරෙන්න ඕනෙ ඒ විදියට තමයි මට හිතෙන්නෙත්.. කිසිම ළමයෙක්ට විශේෂයක් දැනෙන්නෙ නැති වෙන්නෙ.. අනිත් එක අපි අපේ ළමයින්ට ඇහෙන්න කියන්න හොඳ නෑ ඒ ළමයි පවු කියන වචන ටික... එතකොට ඇතිවෙන්නෙ අනුකම්පාවක්... සමානාත්මතාවයක් නෙවෙයි... අපිට තියෙනවනෙ.. අපි එයාලටත් දෙමු නේද... එයාලත් ආසයිනෙ... ඔයා ආසයි නේද එයාලටත් තෑගි දෙන්න... ඔය වගේ අයිඩියා එකක් තමයි ඔලුවට දාන්න ඕනෙ... ( මේක ඉතිං අපි එක්කෙනෙක් දෙන්නෙක් කළා කියල “මාර” වෙනසක් වෙන්නෙ නෑ... ඒ උනාට එකෙක් දෙන්නෙක් හරි කරනව නං අනිත් අයත් තේරුං ගනියි.. අඹ යහලුවො එකේ සුනිල්, නිමල්ට උදවු කරන්නෙ එයා පවු කියල අනුකම්පාවෙන් නෙවෙයි... නිමල් එයාගෙ හොඳම යාලුවා නිසා... අපි අපේ ළමයින්ට පුරුදු කරන්න ඕනෙ නැති කෙනෙක්ට අනුකම්පා කරන්න නෙවෙයි... එයාගෙ හොඳම යාලුවා වෙන්න... මේක ඉතිං මගේ අදහසක් විතරයි... සමහර වෙලාවට මේවා ප්‍රායෝගික නෑ... ඒත් කරන්න පුළුවන් නං....)

      Delete
    6. ප්‍රායෝගික නැත්තේ නෑ . ඕනෑකම තියෙනවනම් කරන්න පුළුවන් . මේ කතාවනම් නියමයි g-) :-h

      Delete
  3. ඔය සින්දුව ලියුවේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ නේද?

    ReplyDelete
    Replies
    1. ළමා නිවාසයකට ගිය ගමනකදී අනාථ දරුවන් දැක කම්පනයට පත්වූ ප්‍රේමකීර්තිගේ සිත නැඟුණු අදහසක් තමයි සුනිල් එදිරිසිංහ ගයන,


      'අහසින් පොළොවට කඩා වැටීලද
      අම්ම තාත්තා නෑ දන්නේ
      මවුපිය සෙනෙහස හොරු ගෙනහිල්ලද
      පුංචි පුතේ මගෙ පුංචි දුවේ'

      http://mawbima.lk/1-63926-news-detail.html

      Delete
  4. ඔය උපන් දිනවලට ළමා නිවාස වලට දාන දෙන එක ගැන මටත් දේවල් ටිකක් කියන්න තියෙනව.... හැබැයි ඒ හැම එකක්ම හොඳ දේවල් නෙවෙයි...

    (ළමා නිවාස වලට සහ ඒවට “දාන” දෙන එකට මගෙ එච්චර කැමැත්තක් නෑ... ඒවයෙ ඉන්නෙ පොඩි ළමයි... අපි ගිහිල්ල කන්න බොන්න දීලා කනකං බලං ඉඳල එතන ඉන්න පොඩි උන්ගෙ හුරතල් බලල “ අනේ පවු” කියල එනව.. උන්ට ඔය දාන හොඳට පුරුදුයි... මොකද අපේ ගෙවල් වලට ඉන්න පොඩි උන්ට වඩා නිවාසෙක ඉන්න ළමයින්ට ජීවිතේ අත්දැකීම් තියෙනව.. උන් වයසට වඩා මනසින් වැඩිල ඉන්නෙ... මම එකපාරක් ගිහින් තියෙනව.. ඒකෙන්ම මට ඒ වැඩේ එපා උනා... අනිත් එක සමහර නිවාස වලට හම්බුවෙන දේවල් වැඩියි... පාලකයො කියන්නෙත් නෑ මේවා එපා, ඇති වෙන්න තියෙනව කියල... වැඩිපුර හම්බුනාම කඩේකට දෙන එක තමයි කරන්නෙ... අපි දෙන්නෙ පොත් පත්.. ඇඳ රෙදි, පොඩි ළමයින්ගේ නැපීස් අරවා මේවා.. ආයිත් මුකුත් නෑ ළමයින්ගේ නම් ටික අහගෙන, පොත් වලට කවරත් දාලා තමයි ගිහින් දෙන්නෙ...රංචු පිටිං යන්නෙත් නෑ.. ගෙදර කවුරුහරි එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අතේ යවනව.. )

    අපේ තියෙන්නෙ කේක් කඩයක්නෙ... ඔතනට එන ගොඩක් පොඩි උන්ගෙ දෙමව්පියො ළමා නිවාස වලට දාන දෙන්න ලෑස්ති කරගෙන එනව... ඒක ඇත්තටම හොඳ වැඩක්... මොකද ඒ ළමයින්ටත් කන්න හම්බුවෙනවනෙ... හැබැයි ඒ වැඩේ කරන විදිය ගැන ටිකක් කල්පනා කරලා බලන්න ඕනෙ... සමහරු කැලි 50 විතර කපන්න පුළුවන් බර්ත්ඩේ කේක් එකක් හදාගෙන, ළමා නිවාසෙට ගිහින් ඉටිපන්දං නිවල කේක් කපනව... එතන ඉන්න ළමයින්ට ජීවිතේට බර්ත්ඩේ කේක් එකක් හම්බුවෙන්නෙ නෑ... උන්ට හැමදාම අනුන්ගෙ බර්ත්ඩේ වලට හැපි බර්ත්ඩේ කියන්න විතරයි හම්බුවෙන්නෙ... උන්ගෙ බර්ත්ඩේ එකකට තෑග්ගක් හම්බුවෙන්නෙ නෑ... උනුත් පුංචි ළමයිනේ... මම දන්න අයට නං කියනව කේක් එකක් හදාගෙන ගිහින් ඒ ළමයින්ට බෙදල දෙන්න, බර්ත්ඩේ කේක් එක ගෙදරදි කපන්න කියල... හැමෝටම ඒක කියන්න බෑ ඉතිං...

    අපේ පැත්තෙ මං හිතන විදියට ළමා නිවාස 5-6ක් විතර තියෙනව... මට ඇත්තටම උවමනාවක් තියෙනව ඔය ළමා නිවාසෙක ඉන්න ළමයින්ගෙ උපන්දිනවලට පොඩි කේක් එකක් හදල දෙන්න... අඩුම ගානෙ අවුරුදු 10ට අඩු ළමයින්ට වත්... තාම කරගන්න බැරි වෙච්ච වැඩක් ඒක..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත . මේ ළමයි වයසට වඩා ඇම්බැට්ටයෝ තමයි . අවුල තියෙන්නේ ඉතින් හැදිච්ච පරිසරය වෙන්න ඇති නේද ?

      අන්තිමට කියල තියෙන අදහස නම් නියමයි . අපිත් දානෙට ගොඩක් කෑම ජාති හදාගෙන ගියා ඉස්සර . ඒත් දැන් එහෙම කරන්නේ නෑ . සාමාන්‍යයෙන් පොඩි ළමයි පපඩම් කන්න කැමතියි කියනවනේ . වැඩේ කියන්නේ මේ ළමා නිවාසේ ඉන්න ළමයි පපඩම් කන්නේ නෑ ගොඩක් දෙනා . ඒ ළමයින්ට කාලම එපා වෙලා ඇති . ඒ ළමයි ඉල්ලා ඉල්ලා කෑවේ හැමදාම වගේ ලැබෙන්නේ නැති කෑම . ඒ නිසා අපිනම් දැන් දාන දෙනකොට මොනවද කන්න කැමති කියලා කලින් අහලා තමයි ගෙනියන්නේ . අක්කගේ අදහස ඉටුකරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

      බොහොම ස්තූති g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.