අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

මේ ළඟදී සිංදුවගේ ගෙදර ගිහින් කියෝ කියෝ ඉන්නවෙලාවේ සිංදුවක් ගැන කතාවක් ඇදිලා ආවා . ඕක ගැන කතා කර කර ඉනකොට අන්තිමට මතකය ඇදීලා ඇදී........

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට මට පෙනිච්ච මූණ







මේ ළඟදී සිංදුවගේ ගෙදර ගිහින් කියෝ කියෝ ඉන්නවෙලාවේ සිංදුවක් ගැන කතාවක් ඇදිලා ආවා . ඕක ගැන කතා කර කර ඉනකොට අන්තිමට මතකය ඇදීලා ඇදී..................ලා ඇදී...............................................ලා ගියා දැනට අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්දියකට . ඒ වෙලාවේ ඒකෙන් ටිකක් සිංදුවත් එක්ක කිව්වට මොකද පස්සේ හිතුනා ඔක්කොම කතාව ලිව්වනම් හොඳයි කියලා මේ සිංදුවත් එක්ක .

ඉස්කෝලෙන් අවුට් වෙලත් අවුරුදු තුනක් වෙනකල්ම වයලීනෝ ඉස්කෝලේ වයලීන් වාදනය කරන්න ඉස්කෝලේ ගියා . සමහර වෙලාවට නිල ඇඳුම ඇඳගෙන ගියා . ඊට පස්සේ නිල ඇඳුම් අඳින්න බැරි කාලේ ඒත් වයලීන් වාදනය කළා . මේ කාලේදීත් ඉස්කෝලෙට අලුතෙන් ආව ළමයි ගොඩක් දෙනෙක් වයලීනෝට අඳුරගන්න පුළුවන් උනා . වැඩි හරියක්ම අඳුරගන්න පුළුවන් උනේ උසස්පෙළට සංගීතය විෂය කරන්න එන ළමයි . 

මෙයාලා උසස්පෙළට සංගීතය කරන නිසා සංගීත වැඩ වලට හැමෝම වගේ සහභාගී වෙනවා . ඉතින් මමත් වයලීන් ගහන්න ඉන්න නිසා ඔය හැමෝම වගේ තරඟ වලට යන්නෙත් පුරුදු වෙන්නෙත් එකට . කොච්චර එහෙම එකට ආශ්‍රය කරගෙන හිටියත් ඉස්කෝලෙන් අවුට් වෙච්ච මමයි බටනලා වාදනය කරන්න හිටපු මල්ලියි අපි දෙන්නා පාසල් සිසු සිසුවියන් විදියට තවමත් ඉගෙනගනිමින් හිටපු ඒ ළමයින් එක්ක තිබුණේ ටිකක් විතර දුරස් සම්බන්ධයක් . සමහරවිට ඒ ළමයි අපිත් එක්ක වැඩිය ෆිට් වෙන්න නැහැ මොකද අපි එතකොට ඉස්කෝලෙන් අවුට් වෙච්ච අය නිසා . 

මේ කාලේ වෙනකොට වයලීනොට උසස්පෙළ විභාගය ලියලා අවසන් උනා විතරයි . මේ කාලේ ඉතින් වයලීනොගේ කුටියට පාළුව තනිකම ඇවිත් හදවත සසල කරන කාලයක් . ඒ නිසාමද දන්නේ නෑ ඉස්කෝලේ හිටපු සංගීතය කරපු ගෑණු ළමයෙක් පැත්තට වයලීනොගේ ඇහැ කැරකුනා . හැබැයි දැන් අවුල් තියෙන්නේ ඉස්කෝලේ නිසා . ඒ නිසා කතා කරන්න ගියෙත් නෑ මුකුත් නෑ ටික දවසක් ඔහොමම හිටියා . 

හැබැයි ඉන්නේ කොහෙද අරව මේවා මොකවත් දන්නේ නෑ . ඉතින් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කතා කරන්න තමයි මුලින් හිතුවේ . ඒත් ඉස්කෝලේ නිසා ඒකටත් එච්චර හිතක් තිබුණේ නෑ . ඉස්කෝලෙන් අයින් වෙලා ඉන්න නිසා ඉස්කෝලේ ඇතුළේදී අවුරුදු දෙකක තුනක වගේ වයස් පරතරයක් තියෙන ළමයෙක්ගෙන් මෙහෙම දෙයක් සම්බන්ධව කතා කරන කරන්න හොඳද නරකද කියලා හිත හිත හිටියා ටික දවසක් .








මේ ළමයාගේ යාළුවෙක් හිටියා අපිත් එක්ක ටිකක් විතර ෆිට් . ඒත් මහලොකු ෆිටක් නෑ . ඒත් දැන් මේ වැඩේ කෙරෙන්නත් ඕන නිසා ඒ යාළුවගෙන් විදේශාධාර ඉල්ලුවා . ඒ ළමයා ගාව අර ගෑණු ළමයාගේ නම්බර් එක තිබුණා . ඊට පස්සේ ඒ ළමයා මට නම්බර් එක දීලා කිව්වා අයියේ මම දුන්නා කියලනම් කියන්න එපා , අයිය හොයාගත්ත විදියට කතා කරන්න කියලා . නම්බර් එක ලැබුණු වෙලාවේ ඉස්කෝලේ ඇරිලා . එහෙමම ආවේ සිංදුවගේ ගෙදර . ඇවිත් සිංදු මල්ලිට කිව්වා මෙන්න මෙහෙම වැඩක් වේගෙන වේගෙන යනවා කියලා . පස්සේ එහෙ ඉන්නගමන්ම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා . ඒත් ආන්ස්වර් කරන්නේ නෑ . පස්සේ මැසේජ් එකක් දැම්මා මේ ______ නංගි ද ? කියලා . රිප්ලයි වෙනුවට ආයෙත් ආවේ කෝල් එකක් . ඔන්න ඒකට ආන්ස්වර් කරා . කවුද කතා කරන්නේ කියලා ඇහුවම මම අනික් පැත්තට ඇහුවා ඔය කවුද කතා කරන්නේ කියලා .

එතකොට ඒ ළමයා කිව්වා මේ වයලීනෝ අයියා නේද කතා කරන්නේ කියලා . දවස් දෙක තුනක් මුණ බල බල ඉඳලා අතටම චා වෙච්ච නිසා ඒ ළමයත් මගේ පොඩි ලයින් එකක් තියෙනවා කියලා දැනගෙන ඉඳල තියෙන්නේ . කොහොමහරි වෙලාවේ හැටියට කතා කර කර ඉන්නත් බැරි නිසා කෝල් එක එහෙමම කට් කරලා පහුවෙනිදට ඉස්කෝලේදීම කතා කරනවා කියලා හිතාගෙන සිංදුවගේ ගෙදරින් අවසන් බෝජන සංග්‍රහයත් භුක්ති විඳලා හවස් වෙලා ගෙදර යන්න ගියා . පහුවෙනිදා තමයි දවස . වෙනදා වගේම ඉස්කෝලේ ගියා . ගිහින් මියුසික් රූම් එකේ දොර කිට්ටුවට යනකොටම අර මම කෝල් කරපු ගෑණු ළමයයි තවත් එයාගේ යාළුවෙකුයි ඉන්නවා දොර කිට්ටුව .

ඉඳලා එකපාරටම කෝල් එකක් ගත්තා . හප්පට සිරි ගජ කියන්නේ මම ෆෝන් ඒක සයිලන්ට් දාලා නෑ . මේක කෑගහන්න ගත්තා . විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා . ඒත් විලි ලැජ්ජා නෑ වගේ හිටියා . ඉඳලා එදා කොහොම හරි පොඩ්ඩක් කතා කරා . පස්සේ ඉඳලා හිටලා පොඩි පොඩි කතා ගියා . හැබැයි අන්තිමට මේ ළමයා මගේ යෝජනාවට රෙඩ් ලයිට් දාලා බැහැ කියලම කිව්වා . හයියෝ සංසාරේ කියන්නේ වයලීනොට නෝ චාන්ස් . හැබැයි ඒක ලොකු අප්සට් එකක් උනේ නෑ . මමත් ඉට්ස් ඕකේ බේබි කියලා නිකා හිටියා .

හේතුවට කිව්වේ ඒ පවුල සහ මේ පවුල අතර තියෙන ආර්ථික වෙනස . අනික මම කැම්පස් යන්න බලාගෙන හිටපු එක සහ ඒ ළමයාට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැති එක . කැම්පස් ආවත් මුදල් ප්‍රශ්න නිසා යන්නේ නෑ කියලා තමයි කියලා තිබුණේ . ඊට පස්සේ කිව්වේ එක්සෑම් ලියලා ගාමන්ට් එකක මහන්න යනවා කියන එක . මහන කෙනෙක් අයියට ගැළපෙන්නේ නෑ කියලා තමයි ඒ ළමයා කතාව නැවැත්තුවේ . සිංදුවා ඒ දවස්වල කිව්වේ ඒ ළමයට උඹට වඩා ජීවිතේ ගැන අවබෝධයක් තියනවා කියලා . ඇත්ත වෙන්නැති .







පස්සේ ඒත් කාලයක් යනකල් මමත් ඉඳලා හිටලා මැසේජ් කරා එක්සෑම් කරගන්න උනන්දු කරවන්නයි අධ්‍යාපන තත්ත්වය ගොඩදාන්න උදවු කරන්නයි . ඔහොම ඉඳලා දවසක් මේ ළමයා මට මැසේජ් එකක් එවලා තිබුණා ඒ ළමයාගේ අයියා ගෙදර ඇවිල්ලා ෆෝන් එකයි සිම් එකයි ගන්නවා කියලා ආයේ ඒ නම්බර් එකට මැසේජ් කරන්න එපා කියලා . මමත් හා කියලා කරබාගෙන . ඊට පස්සේ සැලකියයුතු කාලයක් යනකල්ම මේ ළමයාගේ විස්තර මුකුත්ම දන්නේ නැතුව කාලය ගෙවිලා ගියා . දවසක් මම දන්න ඒ ගෑණු ළමයාගේ වයසේ මල්ලි කෙනෙක්ගෙන් මේ ළමයාගේ විස්තර ඇහුවා . මම ඇහුවේ නම්බර් එකක් දන්නේ නැද්ද ? එක්සෑම් එහෙම කොහොම උනාද දන්නේ නෑ නේද කියලා .

ඒ වෙලාවේ ඒ මල්ලි කිව්වේ නම්බර් එකක් නම් හොයලා දෙන්න පුළුවන් අයියේ , ඒත් අයියට වැඩක් වෙන්නේ නම් නෑ කියලා . පස්සේ ඉතින් මම ඇහුවා ඇයි බං වැඩක් වෙන්නේ නැත්තේ කියලා . එතකොට තමයි කතාව කිව්වේ . ඒ ළමයා දැන් ගාමන්ට් යනවා . ගාමන්ට් යන කෙල්ලෝ ගැන අයියා දන්නවා ඇතිනේ . අයියා ඒ ළමයා ගැන බලාපොරොත්තු තියාගෙන හිටියා කියලා අපි දන්නවා , ඒත් ගැළපෙන්නේ නැහැනේ . ඒ නිසා අයියා ඒ අදහස අතෑරලා නිකා ඉන්න කියලා . කොහොම හරි අන්තිමට නම්බර් එක හම්බුනෙත් නෑ . කොහොමත් නම්බර් එක ලැබුණත් එක වතාවක් බැහැ කිව්ව නිසා ඒ ළමයාගේ පස්සෙන් ගිහින් වනයක් වෙන්න බලාපොරොත්තුවක් තිබුණෙත් නැහැ . ඒ කාලෙම ලීඩර්ශිප් ආවා . පස්සේ මේ කතාව එහෙමම යට ගියා . යට ගියා කියන්නේ යන්නම යන්න ගියා .

මේ වැඩේ නිසා ගාමන්ට් චරිත ගැන වැඩි දුරට අවධානයක් යොමු කරලා බැලුවා මොකද මේ ගාමන්ට් කෙල්ලන්ට වෙන්නේ කියලා . වැඩිය දුර යන්න ඕන නෑ . මම ඉන්න අවටම මේවාට හොඳ උදාහරණ තියෙනවා . ගොඩක් වෙලාවට අධ්‍යාපනය මගදී නවත්තපු අය තමයි ගාමන්ට් වල මහන්න යොමුවෙලා තියෙන්නේ . ඒ කතාව සර්වසාධාරණ නැතත් බහුතරය එහෙම තමයි . ඒ නිසා ගොඩක් වෙලාවට ගාමන්ට් වලට යන අය අවසානයේ නන්නාදුනන පිරිමින්ගේ ගොදුරු බවට පත් වෙනවා මේ අඩු අධ්‍යාපන තත්ත්වය නිසා . සමහර වෙලාවල් වලට නොදැනුවත්ව හෝ දැනුවත්ව මේ අය තනිවෙන්නේ ළමයෙකුත් එක්ක . ඊට පස්සේ ජීවිතේම ගාමන්ට් වල තැම්බි තැම්බී මහනවා ගෙදර එනවා ආයෙත් වැඩට යනවා මහනවා ගෙදර එනවා .







මේ අයගෙන් සමහර අය ජීවිතය ගැටගහගන්න බැරුව තමන්ගේ ඇඟ මුදලට විකුණන තත්ත්වයට පවා පත් වෙනවා . අන්තිමට ගෙදරවත් නිදහසේ ඉන්න නැහැ . නිවාඩු දවසටත් මේ අය තමන්ගේ දෙවෙනි රැකියාව වෙන ගණිකා වෘත්තීය සඳහා පෙළඹෙනවා . හැබැයි මෙහෙමයි කියලා ගාමන්ට් යන හැම කෙල්ල දිහාම වපර ඇහෙන් බලන්න එපා . මොකද හැමෝම එක වගේ නැහැ . තමන්ගේ තත්ත්වය තියාගෙන හොඳට ඉන්න අයත් ඉන්නවා . ඒත් ඒ ටික දෙනෙක් විතරයි . මේ කාගේ වැරැද්ද නිසාද ?

මේවට පවුල් පසුබිම නොවැළක්විය හැකි විදියටහේතු වෙනවා . ඊට අමතරව අධ්‍යාපනය , පාසල , ගුරුවරු පවා වගකියන්න ඕන කියලා මම හිතනවා . මොකද මේ අය සමාජය ගැන තියා ලිංගික හැසිරීම ගැනවත් හරි හැටි දන්නෙවත් නැතුව තමයි මේ වගේ සමාජයකදී ගොදුරු බවට පත් වෙන්නේ . අඩුම තරමේ උපත් පාලනය ගැනවත් මේ අයගේ අවබෝධයක් නැහැ . ඒ නිසා අන්තිමට එක ජීවිතයක් මදිවට දරුවෙක් ලැබුණොත් ජීවිත දෙකක් අනාථ වෙනවා .

මේ ළඟදී ලිංගික අධ්‍යාපනය ගැන කැම්පස් එකේ සමීක්ෂණයකට පුරවන්න දීපු ෆෝම් එකක මම ලුණු ඇඹුල් ඇතුවම ලියලා දුන්නා කැම්පස් ආවම නෙවෙයි මේක උගන්නන්න පටන් ගන්න ඕන ඉස්කෝලේ යන කාලේ ඉඳලා කියලා . කියන්නේ දැන් විෂය නිර්දේශයට මේවා ඇතුලත් කරලා කියලා . ඒත් මමනම් හිතන්නේ නෑ අද කාලේ හැටියට ඒ සීමාව ප්‍රමාණවත් කියලා . පද්ධති දෙක ගැන විස්තර කරාට ඊට එහා දෙයක් ගැන මුකුත්ම කතාකෙරෙන්නේ නෑ . මේ නිසාම ලිංගික කුතුහලය වැඩි වෙනවා ඇරෙන්න ඒක සාමාන්‍ය දෙයක් වෙන්නේ නෑ .

ඉතින් ගෑණු ළමයි කිසි කෙනෙක් ගාමන්ට් යන්න නම් හිතන්න එපා . සමහර අය ඕලෙවල් ලියන්නත් කලින් ඉඳලා හිත හදා ගන්නවා ඕලෙවල් කරලා ගාමන්ට් යනවා කියලා . ඒක නම් කරන්න එපා . අමාරුවෙන් හරි කොහොමහරි ඉගෙන ගන්න බලන්න . දවසක් මට මතකයි අපිට ගණන් උගන්නපු ගණන් සර් කෙනෙක් ඉස්කෝලේදී , ගෑණු ළමයි ගෙදර වැඩ කරගෙන ඇවිත් නැතුව හොඳටම බැන්නා . තමුසෙලා අද ඔහොම ඉඳියි , පස්සේ ඉස්කෝලෙන් එලියට ගිහින් ගාමන්ට් වල මහන්න යයි . අන්තිමට තමුසෙලට ඇඳුමක් හෝදගන්නවත් වෙලාවක් ලැබෙන්නේ නෑ . පෝයටවත් ගෙදර ඉන්න ලැබෙන්නේ නෑ , තමුසෙලට එතකොට තේරෙයි එදා අර සර් කිව්වේ ඇත්ත නේද කියලා කියලා .

ගාමන්ට් වල මහන්න යන සමහර අය ගැන බැලුවම ඒ කතා ඇත්ත කියලා ඇත්තටම හිතෙනවා . ගාමන්ට් වල කළමනාකරණය බලන්නේ කොහොමහරි නිෂ්පාදනය වැඩි කරගන්න . වැඩ කරන අය බලන්නේ වැඩිපුර වැඩ කරලා කොහොමහරි වැඩි පඩියක් ගන්න . ඊට පස්සේ ජීවිතේම ගෙවෙන්නේ ගාමන්ට් එක ඇතුලේ . මේ විස්තර කරන ගාමන්ට් සමාජයේ ඇත්තටම හදවතින්ම පිහිට වෙන්න කිසිම හවුහරණක් නෑ .

බැරිවෙලාවත් ටිකක් ලස්සන ගෑණු ළමයෙක් එහෙම ගාමන්ට් එකකට ගියොත් කළමනාකරණයේ ඉඳලා සුළු සේවකයා දක්වා බලන්නේ ඒ ළමයා තමන්ගේ ගොදුරක් බවට පත් කරගන්න . ඒක ඒ පරිසරයේදී ඇතිවෙන දෙයක් වෙන්න ඇති . මේ සාමන්‍යය නිසා සමාජය ගාමන්ට් කෙල්ලෝ දිහා බලන්නේ වපර ඇහෙන් කියන එක ඇත්තක් . මේ හැම දෙයක් ගැනම හිතලා වෙන්න ඇති එදා ඒ ගෑණු ළමයා සහ අර මල්ලි මට එහෙම කතාවක් කියන්න ඇත්තේ . ඔය ඔක්කොම කතා එක්ක ගාමන්ට් ජීවිත ගැන වැරදියට බලන්න එපා කියලා මම ආයෙත් කියනවා . පුළුවන් නම් කරන්න ඕන ඒ අයගේ සුරක්ෂිත භාවය තහවුරු කරන එක .

වැරැද්ද වගේම මේ ගාමන්ට්වල හොඳත් කියන්නෙපාය . කිසිම දෙයක් කරගන්න විදියක් නැතුව ඉන්නේ නැතුව මේ වගේ රැකියා අවස්ථාවක් හරි තියෙන එක , එක අතකට සතුටු වෙන්න පුළුවන් දෙයක් . මොකද කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැටගහ ගන්න මේ අයට වෙන විකල්පයක් ඇත්තෙම නැති නිසා . අපි දන්න අක්කා කෙනෙක් ඉන්නවා බඳිනකල් ගාමන්ට් එකක රස්සාව කරලා සල්ලි හොයාගෙන ඉතුරු කරලා දෑවැද්දට ඕන දේවලුත් හදාගෙන කසාද බැඳලා දැන් හොඳට ජීවත් වෙන කෙනෙක් . ඉතින් ඒවගේ අවස්ථාවන් මේ ගාමන්ට් රැකියාවෙන් තියෙනවා . සමහර වෙලාවට මේ ගාමන්ට් වල ඉවත දාන දේවල් වලින් මේ අය ස්වයං රැකියා පටන් ගන්නවා .







විසි කරන රෙදි කෑලි වගේ දේවල් අරගෙන පාපිසි මහලා විකුණනවා . රෙදි කෑලි පුරවලා බෝනික්කෝ මහලා විකුණනවා . ඉතින් ඒකත් වැදගත් දෙයක් . ගාමන්ට් වල යම් තරමකට හරි සුභ සාධන වැඩ කෙරෙනවා . සිරස නාලිකාවේ ඉස්සර දවල්ට පෙන්නුවා මේ වගේ වැඩ කරන ස්ථාන වල අයට දවසේ නිවාඩුවක් දීලා ගායන නර්තන ඉදිරිපත් කරන්න අවස්තාව ලබාදෙන විශේෂ වැඩසටහනක් . මේවටත් ඉතින් ගාමන්ට් වල පාලන අධිකාරිය අවසර දෙන නිසා ඒ මිනිස්සු නරුමයින් ගානට දාලා කතා කරන්නත් බෑ . ඒත් වැඩි ප්‍රවනතාවයක් තියෙන්නේ නම් පාලන අධිකාරිය හිතක් පපුවක් නැතුව තරුණ ශ්‍රමය හූරා කන පැත්තට තමයි .

මගේ පරණ ලවු කතාව සිංදුඅයියා එක්ක කතා කරන්න මාතෘකා උනේ















සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන බන්දුල නානායක්කාරවසම් මහතා රචනා කරපු රෝහණ වීරසිංහ මහත්මයා සංගීතවත් කරපු මෙන්න මේ ගීතය නිසා . එදා ඒ ගීතයේ වචන ගැන කතාවෙලා අපි ගීතයත් අහලා තමයි කතාව අවසන් කරලා අසා සිටි සැමට ස්තූති කලේ . එහෙනම් ඉස්සෙල්ලම ගීතය අහන්න .


රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ






මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියක් , ඇයගේ ජීවිතය කොහොමද රෙදි මහන මැෂිමට යට කරලා තියෙන්නේ කියන එක . මේ අයට ඉතින් හොඳට නරකට දෙකටම ඉන්නේ මේ මැෂින් එක තමයි . උදේ ඉඳලා රැවෙනකල්ම මහනවා . අපිට මැනේජ්මන්ට් ලෙක්චර්ස් වලට ජොබ් ස්පෙසිෆිකේෂන් and මොටිවේෂන්  කියන කොටසට උදාහරණ විදියට මේ ඇඟලුම් කර්මාන්තශාලා වල ඉන්න සේවක සේවිකාවන් අවස්ථා කීපයකදී ගත්තා . මේ අය සමහර වෙලාවට කරන්නේ සාක්කු අල්ලන එක විතරයි . තවත් කෙනෙක් කරන්නේ කොලර් අල්ලන එක විතරයි . කාලයක් යනකොට මේ දේවල් වලට එයාලා තදින්ම අනුවර්තනය වීම නිසා නිෂ්පාදනය කරන සීග්‍රතාවය වැඩි වෙනවා . ඒ වගේම් තමයි ඒ අයගේ පෆෝමන්ස්  ඉහල තත්ත්වයකට පත් වෙනවා .

ඒ නිසා කළමනාකරණයට ඒක ඒ පැත්තෙන් වාසි උනත් සේවකයාගේ පැත්තෙන් මේක අවාසියක් වෙන්න පුළුවන් . මොකද කාලයක් යනකොට එකම දේ එපාවීම නිසා උපරිම අගයක තියෙන පෆෝමන්ස් ටික ටික අඩුවෙන්න පුළුවන් නිසා . මේ නිසා අලුත්ම විදිය තමයි පෆෝමන්ස් බහින්න පටන්ගන්නකොටම ඒ කෙනාව වෙනත් රාජකාරියකට මාරුකරන එක . ඒ කියන්නේ කොලර් අල්ලපු කෙනා දානවා බොත්තම් අල්ලන්න බොත්තම් අල්ලපු කෙනා දානවා සාක්කු මහන්න . මේවගේ ජොබ් රෝටෙෂන් පිළිවෙලකට ගියාම සේවක තෘප්තිමත් භාවයත් එක්ක උපරිම ඵලයක් නෙලාගන්න පුළුවන් . හැබැයි මේ ගීතය ලියවෙන කාලේ මම හිතන්නේ මේ රෝටෙෂන් සීන් එක තිබිලා නෑ .

අපි එහෙනම් ගීතය කියවලා බලමු කොහොමද කියලා .








රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන මේ තරුණිය තමන්ට සේවය නියම වෙලා තියෙන නියමිත කාලයේ වැඩ කරලා රාත්‍රී කාලයේත් නැවතිලා අතිකාල දීමනා වෙනුවෙන් තවත් වැඩ කරනවා . උදේට පිපිච්ච මලක් වගේ ගෙදරින් එන මේ තරුණ කුසුම හවස් වෙනකොට ඉන්නේ පරවෙන්න ඔන්න මෙන්න වගේ තත්ත්වයක . රෑ වැඩ කරාට පස්සේ හොඳටම මහන්සියි , ඒවගේම දවසෙම ඇහෙන්නේ මැෂින් වල ඒකාකාරී සද්දේ . ඒ නිසා තියෙන මානසික පීඩනයයි ඔක්කොම කලවම් වෙලා මේ වෙනකොට මේ තරුණිය මලානික වෙලා .

අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

මේ මලානික තරුණිය දැන් කර්මාන්තශාලාවෙන් පිටත් වෙනවා නිවස බලා එන්න . සමහරවිට කර්මාන්තශාලාවේ බස් එකෙන්ම ඇවිත් ගෙදර එනවා වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් රෑ වෙලා බස් නැතුව පාරේ තනියමම ඇවිදගෙන එනවා වෙන්නත් පුළුවන් . මෙතන ගීතයේ හැටියට මමනම් හිතන්නේ මේ තරුණිය කර්මාන්තශාලාවේ වාහනයක එනවා කියලා . මොකද ඔයවගේ තැන්වල ලොකු ලොකු බස් තියෙනවනේ කට්ටිය ගිහින් දාන්නයි උදේට එක්ක එන්නයි .

ඉතින් දැන් වැඩ ඉවරවෙලා මෙයා බස් එකට ආවා කියමුකෝ දැන් හොඳටම රෑ වෙලා . ඒත් මෙයාට රෑ උනා කියලා මෙයාව විතරක් ගිහින් දාන්නෙ නැහැ . ඒ බස් එකේ ඒ පාරේ යන හැමෝම එනකල් බස් ඒක නවත්තගෙන ඉන්නවා . ඒ කියන්නේ තවත් රෑ වෙනවා . දැන් රෑවෙලා ඇවිත් බස් එකෙන් බහිනවා . බැහැලා ගෙදරට තවත් ටිකක් දුර යන්න ඕන .

ඒ ටික යනකොට සමහරවිට මදියමට කිට්ටු වෙලා . නැත්නම් මැදියමත් පහුවෙලා . ගෙදර ගිහින් ඇඳුම් මාරු කරලා නාලා කාලා බීලා ඉවරවෙනකොට තවත් වෙලාවක් ගිහින් . හදිස්සියේ ඉස්කෝලේ යන ළමයි ඉන්නවනම් හෙට ඒ අයට ගෙනියන දේවල් හදන්නත් ඕන . මේ ඔක්කොම කරලා හොයලා බලලා නිදාගන්නකොට පහුවෙනිදා පාන්දරත් වෙලා .

අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට කියන පදය මේ විස්තරය ඔක්කොම එකට කැටි කරලා ගීතයේ ඉදිරිපත් කරලා තියෙනවා . මේ ගෙවන්නේ ඇත්තටම පවක් . මේ තරුණියට රෑ වෙන්නේ පාන්දර . ඒ කියන්නේ මේ තරුණිය නිදාගන්නේ ඉර එලිය වැටෙන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවේ නිසා . ඒ නිසා කියනවා එළිවෙන්න ඕන වෙලාවේ  නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට කියලා .







තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ

ගාමන්ට් රස්සාවට සාමාන්‍යයෙන් නිවාඩුවක් ලැබෙන්නේ නැති තරම් . උදේ යනවා මහනවා රෑ එනවා නිදාගන්නවා . ආයෙත් උදේ යනවා මහනවා රෑ එනවා නිදාගන්නවා . ඔය චක්‍රය තමයි ජීවිතය පුරාවටම . ලොකු ටාගට් එකක් වෙනුවෙන් වැඩකරනවනම් ගාමන්ට් එක පෝයටත් වැඩ . නොගියොත් පඩි කපනවා . ඒවගේ එක එක හේතු නිසා ගාමන්ට් සේවකයින්ට තමන්ගේ ජීවිතයම මහන්න යොමු කරන්න වෙලා තියෙනවා .

මෙතන දැඟිලි නිදි වරනවා කියලා කියනවා . වක්‍රාකාරව ඒ කියන්නේ වම් අතේ මහපටගිල්ලයි දබරගිල්ලයි ගැන කියලා තමයි මමනම් හිතන්නේ . මහන වෙලාවට ඕන වෙන්නේ ඒ ඇඟිලි දෙක . ඔලුව නිදා වැටුනත් මේ ඇඟිලි දෙකට නම් නින්දක් ලේසියෙන් ලැබෙන්නේ නෑ . හදිස්සියෙවත් ඇඟිලි දෙකත් නින්දක් ගත්තොත් මැෂින් එකේ ඉඳිකටුව මේ ඇඟිලි පවා මහලා දානවා . ඊට හපන් සුපවයිසර්ලාගේ තර්ජන ගර්ජන . ඒ නිසා තුන්තිස් පැයේම ඇඟිලි වලටනම් නින්දක් නෑ . ඒ කියන්නේ කිසිම විවේකයක් නෑ .

උදේ පාන්දරම යන්නේ ගාමන්ට් එකට . රෑවෙලා තමයි ගෙදර එන්නේ . ඒ කියන්නේ ඇඟට ඉර එළියක් වැටෙන්නෙම නෑ . හුළං පොදක් වදින්නේත් නෑ . දවසේම ඉන්නේ විදුලි බුබුළු යට . මේ විදුලි බුබුළු වලින් නිකුත් වෙන ආලෝකය නිසා මේ තරුණියන්ගේ පෙති ගෝමර දැවෙනවා . ඒ කියන්නේ ගාමන්ට් ඒක ඇතුලේම මේ තරුණියන්ගේ ලස්සන නැති වෙනවා කියන එක නේද ? . හරිනම් විවාහ පත්වෙන වයසේ ඉන්න මේ විදියට තමන්ගේ ලස්සන ගාමන්ට් වල ජීවිතයට යට කරලා නැත්තටම නැති කරගන්නවා . ඒ නිසාම විවාහයත් ඈතට යනවා .

මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

කාලයත් එක්ක මේ මහන තරුණියගේ ජීවිතය ගතවෙලා යනවා . විවාහ වෙන්නවත් විවාහයක් ගැන හිතන්නවත් ආදරය කරන්නවත් ආදරය ලබන්නවත් මේ අයට ලැබෙන්නේ නෑ . ලැබුණොත් ලැබෙන්නේ කාමාතුරයින්ගේ ආශාවන් සංසිඳවන්න අවස්ථාවක් විතරයි . ඒ නිසා ගීතයේ කියවෙනවා මල් විය නේද මේ ගාමන්ට් එකක් ඇතුලේ දිය කරලා හරින්නේ කියලා . මේ ඔක්කොම ඇත්ත . ඒ ඇත්ත අපිට පේනවා වගේම තමයි මේ මහන යුවතියගේ හදවතේ තියෙන්නෙත් .

මේ අය කොච්චර හිනාවෙලා සරළව හිටියත් මේ කෙනෙක් එක්ක සංවේදීව කතා කලොත් අපිට දැනගන්න පුළුවන් මේ අය කොච්චර වේදනාවක් මේ මැෂින් අතරේ විඳිනවද කියලා . මහන අතරේ උනත් මේ අය හිතෙන් අඩනවා වෙන්න පුළුවන් . ඒත් හදවතේ ඇතිවෙන ඒ වේදනාවේ ශබ්ධයට වඩා මේ අයට ඇහෙන මැෂින් එකේ සද්දේ වැඩියි . ඒ නිසා හදවතේ වේදනාව එහෙමම ලොප් වෙලා මැෂින් එකේ වේදනාවට අවධානය යොමු කරන්න වෙලා තියෙනවා . ඒත් මැෂින් එක පිටකරන්නේ මේ මහන යුවතියගේ වේදනාව නේද කියල ගීතයේ කියවෙනවා .







නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ


නුඹෙ කඳුලැලිද සයුරේ රළ නඟන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ

දුක වේදනාව කියන එක අපිට වගේම ඒ යටත් තියෙනවා . මේ අයගෙන් වැඩ ගන්න අය සමහරවිට ඒක ගැන එච්චර හිතන්නේ නැතුව ඇති . ජීවිතේ විඳින්න තියෙන වයසේ මේ අය ජීවන අරගලය එක්ක හැප්පිලා තමන්ගේ ජීවිතය පොඩිපට්ටම් වෙලා යන්න ඉඩදීලා බලාගෙන ඉන්නේ නිකන්ම නෙවෙයි . එයාලගේ ඇහෙන් එලියට ආවේ නැතත් මේ ගාමන්ට් වල මහන රෙද්දක් රෙද්දක් ගානේ ඒ අයගේ වේදනාව කැටි වෙලා තියෙනවා .

ඒක ඇත්තටම හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ සමාජ මට්ටමේ ඉඳලා හිතනවානම් විතරයි . එහෙම හිතලා බැලුවොත් මේ අයගේ හදවතෙන් නැගෙන කඳුළු එකතුකරොත් මහා මුහුදට සමාන කරන්න පුළුවන් කඳුලක් ඒ අයගේ හිත්වල එකතුවෙලා තියෙනවා . ඒ කඳුළු සාගරය දෙන වේදනාවල් වගේ තමයි ඇත්තටම සාගරයේ රැලි නගන්නෙත් .

මේ වේදනාව ඔක්කොම මේ අය ඇහෙන් පිට නොකලට නහයෙන් නම් කොයිවෙලෙත් පිට කරනවා . ඒ දුක වේදනාව එකතු වෙච්ච සුසුම් වලින් . මේ තරුණියන්ගේ හීල්ලීම් එකතු කරොත් ඒක සුළඟක් තරමටම සෑහෙනවා . ඒ සුළඟ මද පවනක් වගේ මේ අයගේ විඩාව නිවනවා . ඒ කියන්නේ තමන්ගේ සුසුමම තමන්ගේ විඩාව නිවන්න හමනවා කියන එක . ඒ කියන්නේ තමන්ට තමන් විතරයි කියන එක .

තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ

මේ මහන තරුණියන් ගාමන්ට් එකට ඇතුළු උනාට පස්සේ මැෂින් ඒක ගාව ඉඳගත්තටත් පස්සේ කතා කරන්නවත් ඉඩක් ලැබෙන්නේ නෑ . ඒ කියන්නේ හිතේ තියෙන හැමදේම හිතේම ඇතිවෙලා හිතේම නැතිවෙලා යනවා . ඒ නිසා තමයි කියන්නේ තනි නොතනියට හෙවනල්ලද සිටින්නේ කියලා . සමහර වෙලාවට තනි නොතනියට සුපවයිසර්ලා ඉන්නවා .

ඒත් ඉතින් තමන්ගේ හෙවනැල්ල තරම් සෞම්‍ය මිතුරෙක් වෙන්නේ නෑ ඒ අය . මේ ඔක්කොම එක්ක ගත්තම මේ තරුණිය නූලෙන් නූල අමුණමින් මහගෙන යන්නේ ඇඳුමද නැත්නම් මෙච්චර දුක් විඳගෙන පියවරෙන් පියවර තියාගෙන ගොඩනගාගෙන යන්නේ තමන්ගේ ජීවිතයද ? . ගීතයේ අවසානය ප්‍රශ්නාර්ථයක් එක්ක අවසාන වෙනවා . ඒකට උත්තරය දන්නේත් ඒ අත්දැකීම විඳින එයාලම විතරයි .

මේ ගීතය මම අහන්න ගත්තේ සුනිල් එදිරිසිංහයන්ගේ ගීත තියෙන කැසට් පටයකින් . වයලීන් එක ගත්ත කාලේ මේ වගේ ගීත අහ අහ ඒවා ස්වර වලට පෙරලන එක හරිම ජොලි වැඩක් . මේ වගේ ස්වර වලට පෙරලපු ගීත ගොන්නෙන් මම හරිම කැමති ගීතයක් උනා මේ ගීතය . මොකද මේ ගීතය පටන් ගන්නේ වයලීන් පවුලේ සාමාජිකයෙක්ගේ වාදනයකින් නිසා .

ඒවගේම තනුව ගොඩනැගිලා තියෙන්නේ වයලීන් එකෙන් වාදනය කරන්න පුළුවන් ලේසි ස්වර ගැළපීමකින් නිසා තවත් මේ ගීතයට කැමති උනා .  ඒ කාලේ දවසේ එක එක වෙලාවට වයලීන් එකෙන් ප්ලේ කරන සිංදු සෙට් තිබුණා . මේ ගීතය වැඩිපුරම ප්ලේ කරේ රෑට . තනුවේ තියෙන ශෝකාකූල හුදෙකලා මූසල ගතිය නිසා මේ ගීතය මම වැඩිපුරම වාදනය කලේ සද්ද බද්ද නැති රෑ ජාමෙට .







මේ ගීතයේ ආරම්භක වාදනය ආරම්භ වෙන්නේ චෙලෝ එකකින් . චෙලෝ එකේ තියෙන්නේ වයලීන් එකට වඩා ඉතාමත්ම පහත මන්ද්‍ර ස්වර . ඒ ස්වර වලින් මේ වාදනය ආරම්භයේදීම හදවතට කතා කරනවා . ඒ වාදනයට පස්සේ ලීඩ් ගිටාර් වාදනයක් වාදනය වෙනවා . මේ වාදන ශෛලීය තියෙන්නේ වීණාවේ . වීනා වාදනයෙන් තමයි මේ ලීඩ් ගිටාර් වාදන ශෛලීය ඉපදිලා තියෙන්නේ . වියෝ වූ පසුවයි දැනෙන්නේ කියන ගීතයේත් තියෙන්නේ මෙන්න මේ වගේ ගිටාර් වාදනයක්මයි .

ගීතයේ පෙර වාදනය අතුරු වාදන කියන දෙකම වාදනය වෙන්නේ මේ වාදන භාණ්ඩ දෙකෙන් එකම ස්වර රචනාවක් . ගීතයේ තාල වාදනය නිර්මාණය කරලා තියෙන්නේ රාත්‍රීය පාළුව වගේ හැගීමක් ඇතිවෙන විදියට . හයිහැටි එකක් වගේම තබ්ලාවකුත් වාදනය වෙනවා . ඒ එක්කම ගිටාර් වලින් කෝඩ්ස් වාදනය වෙන්නෙත් ඒ සංයමය ආරක්ෂා වෙන විදියට .

ඔය ඔක්කොමත් හරි මේ ගීතයට සුනිල් එදිරිසිංහයන් යොදන ස්වර වර්ණ නිසා වැඩි ආලෝකයල් ලැබිලා තියෙනවා . සුනිල් එදිරිසිංහයන්ගේ ගායනාවේ විශේෂ තැන් විදියට

රෑ වැඩ මුරය කියන තැන “ රෑ “
අරුණලු කැරලි වැටෙනා කියන තැන  “අරුණලු “
පෙති ගෝමර කියන තැන “ ගෝ “
නුඹේ ලොවට රෑ වෙයි කියන තැන “ නුඹේ “
මහා හයියෙන් හඬන්නේ කියන තැන “ මහා “

කියන තැන් මම දකිනවා . පොදුවේ මුළු ගීතයම සංවේදී උනත් මේ තැන්වල තියෙන ස්වර වලට වඩා සුනිල් එදිරිසිංහයන්ගේ කටහඬේ තියෙන වර්ණ නිසා ගීතය වැඩියෙන් හදවතට දැනෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා . මේ ලිපියට ලිව්ව කතාවේ සමහර තැන් නොලියා ඉන්න හිටියේ . ඒත් වයලීනිගේ බලවත් ඉල්ලීම පරිදි ඒවත් ලිව්වා කෑලි හලන්නේ නැතුව . සිංදුවටයි වයලීනිටයි ස්තූති කරමින් මේ ලිපිය මෙතනින් අවසන් කරනවා . එහෙනම් අයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

12 comments:

  1. උඹේ ලිවිල්ලට මං වැඩියෙන්ම ආස උඹ අපිට අරන් එන්නේ වැඩියෙන් ඇහෙන්නේ නැති සිංදු නිසා.. මේකත් මම අහුවේ අදයි.. සටහනත් නියමයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති g-) g-)

      Delete
  2. පද පෙළ විග්‍රහය වැරදියි.
    රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
    නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
    අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට

    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

    ගාමන්ට් වල පැය 24ම වැඩ බොහෝ ඒවායේ. මෙය රෑ වැඩමුරය අවසන් වෙලා උදේ ගෙදර එන්න එද්දී තමා මේ රචකයාට මුණගැහෙන්නේ. උදේට ගෑනු ළමයි මල් වගේ ලස්සනයි. එත් මේ ගෑනු ළමයා නිදි මරලා වැඩ කරලා මොදටම මහන්සි වෙලා හරියට පරවුණ කුසුමක් වගෙයි. උදේට මල් පර වෙන්නේ නෑ, එත් මේ මල පරවෙලා. උදේ පාන්දර ලා හිරු කිරණ පොළොවට වැටෙන වෙලාවේ කුසුම් පිපෙන වෙලාවේ ඇයි මේ පරවුණ කුසුමක්. ඒ රෑ එළිවනතුරු මහන්සි වෙලා වැඩ කරලා පරවුණ කුසුමක්. මහන්සිය හා රෑ නිදි වරපු නිසා උදේට තමා එයාට නිදා ගන්න වෙන්නේ. අපිට ඉර පායන වෙලාවට එයාට රාත්‍රිය උදා වෙනවා...

    තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එළියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මල් විය නොවෙද මේ දියකර හරින්නේ
    මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

    ඇගිලි වලට අතට පයට නිවනක් නෑ. තුන් තිස් පැයේම වැඩ. නිල එලිය කියන්නේ ටියුබ් ලයිට් එලියට. ගාමන්ට් යන ගෑනු ළමයි බොහොමයක් සුදු වෙන්නේ ටියුබ් ලයිට් එලියට. එක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. එකයි රචකයා කියන්නේ පෙතිගොමර දිලෙන්නේ අව්වට නෙමේ නිල් එලියට කියලා.
    අය්යෝ මාගේ යෞවන කාලේ මෙහෙමද ගතවන්නේ වගේ,, මෙයාගේ තරුණ කාලේ දිය කරන්නේ ජීවිතය රක ගන්න බහුජාතික සමාගම් වලට.
    මේ හිතේ තියෙන වේදනාව රචකයාට ඇහෙනවා. ඔහු අහනවා ඔච්චර සද්දෙන් අඩන්නේ මැසිමද හිතාද කියලා. රචකයා එතරම්ම ඇයට සංවේදී වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති අදහසට . :) g-) g-)

      Delete
  3. කොහොමහරි ඉගෙනගන්න පුළුවන් නම් වටිනවා තමයි ..ඒත් අත දෙන්න කවුරුත් නැත්නම් ගාමන්ට් පිහිට තමයි

    හොඳ පෝස්ටුවක් !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඇත්ත ඇත්ත
      බොහොම ස්තූති g-) g-)

      Delete
  4. ලිපියේ සමහරැ කරැනුත් එක්ක මම එකග නෑ..උසස්පෙල කරලා ගාමන්ට් එන්න එපා කියන එකනම් අපිට කරපු අවමානයක්..
    ඇත්ත අපි මහන්සි වෙනවා..අපි වැඩ වෙලාවට වැඩ විනෝද වෙන වෙලාවට විනෝද වෙනවා..
    ගාමන්ට් වල ඉන්නෙ හැම එකාටම රෙද්ද උස්සන්න බලාගත්ත ගමන් ඉන්න වේසියෝ නෙමෙයි..
    කිසිම වෙලාවක තමන්ගෙ රාඡකාරි බලය පාවිච්චි කරලා කෙල්ලෙක්ව උස්සගෙන යන තත්වයක් ගාමන්ට් වල දැන් නෑ..
    අතිකාලත් සමග පැය 10කට වඩා වැඩ කරන ගාමන්ට් නෑ..
    අත්සන් කරලා ගෙදර යන..හොරට අතිකාල ගන්න..එන මිනිහෙකුට හරියට රාඡකාරියක් කරලා දෙන්නෙ නැති ..අපේ මුදලින් පඩි අරගෙන පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදන..රාඡකාරි වාහනවල බල්ලට බෙහෙත් ගන්න යවන..ආයතනයේ පැන්සලත් ගෙදර ගෙනිහින් පොඩි එකාට දෙන..නෝනාවරැනි මහත්තරැනි අපි හම්බ කරන හැම රිපියලකම දාඩිය දුක් මහන්සිය කැපවිම තියනවා..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන . මම ලිව්වේ අන්තගාමී අදහසකින් කියලා මට දැන් තේරෙනවා . මේ ගීතය රචනා වෙච්ච කාලේ ඔහොම තත්ත්වයක් තිබුණා කියලා මම අහලා තියෙනවා . ඒ අදහස මත තමයි ලිව්වේ . ඒත් ඒ අදහස එච්චර උක්ත වෙලා නෑ කියලා මට හිතෙනවා . මම වැරදියි .
      බොහොම ස්තූති මෙහෙම ඍජුවම අදහස් දැක්වූවට :) g-) g-)

      Delete
    2. මටත් සමාවෙයන් මචං..මම පොඩ්ඩක් ගැහිම්බර වුනා..

      Delete
    3. ඉස්ට් ඕකේ බේබි g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.