Monday, December 28, 2015

මරු විස කලාව






අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ පහුගිය පසළොස්වක පෝය දවසේ ඔය කැලෑවට බැහැලා මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා බලලා ටිකක් සුද්ද කරලා දන්න ඕන කියලා කල්පනා කරා . අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එපාය .

වැඩිපුරම උවමනාව තිබ්බේ බෙහෙත් පැළෑටි මොනවද තියෙන්නේ කියලා බලන්න . මේ පැත්තත් නිවර්තන තෙත් සදාහරිත පැත්තක් නිසා මේ වනාන්තරවල වැවෙන රාජකීය පැළෑටි මේ වත්තෙත් තියෙනවද කියලා බලන්න තමයි වැඩිපුරම උවමනාව තිබ්බේ . වේවැල් පුස් රසකිඳ හොර නැදුන් වගේ නිවර්තන තෙත් වනාතරවල දකින්න ලැබෙන ගස් වැල් කීපයක්ම ඒ වත්තේ තියෙනවා . රාජකීය පැළෑටිනම් පේන්න නැහැ . ඒ නිසා මම හිතාගෙන ඉන්නේ රාජකීය පැළෑටි ඇතුළුව මොනවා මොනවාහරි වවලා තියන්න .

ඉතින් සුද්ද කර කර ඉන්නකොට අම්මා ඉස්සෙල්ලම කියන්න ගත්තා මේ පෝය දවසේ කැලෑව ඇතුලේ රිංගන්න එපා , එන්න කියලා . ඊට පස්සේ පුංචිත් එලාම් එක නාද කළා . ඒ මදිවට කොහේදෝ ඉඳලා ආව අපේ මාමත් කියන්න ගත්තා මේ පසළොස්වක පෝය දවසේ මොන එහෙකට කැලේ රිංගනවද කියලා .





පස්සේ තමයි මට මතක් උනේ . පසළොස්වක දවසට සර්ප විෂ උග්‍ර වෙනවා කියලා ආච්චි අම්මා වෙදකමේදි ඉගැන්නුවා නේද කියලා . හඳේ ගමනත් එක්ක සර්ප විෂ අඩු වැඩි වෙනවා . පසළොස්වක වෙනකොට වැඩිවෙන විෂ අමාවක වෙනකොට අඩුවෙලා අමාවක ඉඳලා ආයෙත් වැඩිවෙන්න පටන් ගන්නවා . ගොඩක් දේවල් ඒ වගේ තමයි . සෙත් කවි උනත් කියන්න හොඳ අමාවක දවසට පටන් අරගෙන . එතකොට හඳ පිරෙනවා වගේ ජීව ගුණයත් වැඩි වෙනවා . පසළොස්වක දවසට පටන් ගත්තම වෙන්නේ හඳ බහින කාලේ එන නිසා හඳ අඩුවෙනවා වගේම ජීව ගුණයත් අඩුවෙන එක . එකනේ හඳ මෝරනකොට පිස්සන්ට පිස්සු වැඩි වෙන්නේ . සිංදුවා අයියා නම් මේ හඳ ගමන වැඩි වෙනකොට පිස්සන්ට පිස්සු වැඩි වෙන එක ගැන හොඳට දන්නවා . හැක හැක හැක ...... :p

ඉතින් අද කියන්න යන්නේ විස වෙදකමේ කියන මේ මරු විස කලාව කියන එක සතියේ දවස් හතට කොහොමද බලපාන්නේ කියලා . ඉස්සෙල්ලම කියන්න ඕන මේ මරු විස කලාව ගැන මම හිතන දේ . මෙතන මමනම් හිතන්නේ මරු ඉන්නවා කියලා කියන්නේ වසවර්ති මාරයා ඉන්නවා කියන එක නෙවෙයි . මෙතන කියන්නේ මරු ඉන්නවා කියල , ඒ දවසේ ඒ වෙලාවට ශරීරයේ මේ කියන තැන ක්‍රියා කාරීත්වයේ වෙනසක් තියෙනවා කියන එක .





සඳුදා අයිති සඳුට
අඟහරුවාදා අයිති අඟහරුට
බදාදා අයිති බුධට
බ්‍රහස්පතින්දා අයිති ගුරුට
සිකුරාදා අයිති සිකුරුට
සෙනසුරාදා අයිති සෙනසුරුට
ඉරිදා අයිති රවිට

මෙහෙම අයිතියි කියලා කියන්නේ ඒ දවසට ඒ ග්‍රහයාගේ බලපෑම වැඩි නිසා . මේ දවසට මේ ග්‍රහයාගේ බලපෑම වැඩියි කියලා කියන්නේ ඒ ග්‍රහයාගේ ඉඳලා පොළවට එන කිරණ වල යම් කිසි අසමතුලිත බවක් තියෙන එක . ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අනුව මේ කිරණවල යම් විශේෂිත සංඛ්‍යාතයකට අයත් ශක්තියක් ගබඩා වෙලා තියෙනවා .මේ ශක්තිය ශරීරයේ ඒ ඒ තැන්වලට බලපාන ආකාරය අනුව මේ මරු කලාව ඇතිවෙලා තියෙනවා කියලා තමයි මමනම් හිතන්නේ . ග්‍රහයින්ගේ ගමන අපිට නොදැනුවත්වම උනත් අපේ ඇඟට බලපානවා . සූර්යයාගේ කිරණ , සූර්යයාගේ ගමන අනුව ප්‍රභාසංශ්ලේෂණය , ශාක ආවර්තී චලන වගේ දේවල් ක්‍රියාත්මකවෙන යාන්ත්‍රණ සිද්ද වෙනවා වගේම තමයි මනුෂ්‍ය ශරීරයටත් මේ ග්‍රහයින්ගේ ගමන බලපවත්වන්නේ .

විස වෙදකමේ මේ මරු විස කලාව අනිවාර්යෙන්ම බලනවා . වෙදකම් කරනකොට මන්තර මතුරලා , නැත්නම් බෙහෙත් ඖෂධවලින් ඇඟේ තියෙන විස එහා මෙහා කරලා තමයි විස බස්සන්නේ . මේ විස බස්සන ශිල්පයේදී ඒ ඒ වෙලාවට මරු විස කලාව නැගලා තියෙන තැනට විෂ සාන්ද්‍රගත වෙන්නේ නැතිවෙන්න වෙදකම කරන අය වගබලා ගන්නවා . එහෙම වගබලාගත්තත් ස්වාභාවික නැඹුරුතාවය තියෙන්නේ මේ තැන් වලට විෂ සාන්ද්‍රගත වෙන්න .





ඒනිසාම විෂ වෙදකමේදී මේ අදාළ වෙලාවේ අදාළ තැන් වලට විෂ එන්න දෙන්නේ නැහැ . බෙහෙත් වලට වඩා මන්තර තමයි විෂ එහා මෙහා කරන්න දායක වෙන්නේ . දෙහි කොළ අත්ත , අහු කොළ අත්ත , කොහොඹ කොළ අත්ත , ගුරුල්ල  කොළ  අත්ත වගේ එක එක අතු වලින් මතුරලා විෂ බස්සනවා . ඊට වඩා භයානක දේ තමයි ඒ වෙලාවට විස තියෙන සතෙක් ඔය මරු කලාව පිහිටලා තියෙන තැනට දෂ්ට කිරීම .

එහෙම දෂ්ට කිරීමක් උනොත් එතන විෂ සාන්ද්‍රණය එකපාරටම ඉහල යන නිසා අනිවාර්යෙන්ම මරණයට පත්වෙනවා කියල පුරාණ වෛද්‍ය ග්‍රන්ථ වල සඳහන් වෙලා තියෙනවා . මේ විස මරු කලාව විස වෙදකමට විතරක් නෙවෙයි . නිල වෙදකමටත් ඉතාම දායක වෙන දෙයක් . මොකද ඇඟේ වැදගත් මරමස්ථාන වල තියෙන නිල වලටත් මේ විස මරු කලාව පිහිටන නිසා . ඒවගේම තමයි මේ තැන් වල මේ වෙලාවට තුවාල වීම් තැලීම් එහෙම උනත් ඒවා සුවපත් වෙන්න ටිකක් කල් ගන්නවා කියලා අත්දැකීම් අනුව කියලා තියෙනවා . මෙන්න මෙහෙමයි මරු විස කලාව දවස් හතේ පිහිටන්නේ .

ඉරිදා උදයට නෙත් පිට සිටියා
ඉරමුදුනට මරු තන කිහ සිටියා
එමදා සවසට හිස පිට සිටියා
ඉරිදා දින මරු මේ ලෙස සිටියා

සඳුදා උදයට වළලු කරේයා
ඉර මුදුනට මරු දකුණු දනේයා
සවසට ඉන්නේ හිස් මුදුනේයා
සඳු දින මරු එයි මේ සැටියේයා

කුජ දින උදයට පිටි පතුලේයා
ඉර මුදුනට දනහිස් පිට සිටියා
සවස දිනට ගොස් තන කිහ සිටියා
කුජ දින තුන් වරුවට මෙලෙසේයා 

බුද දින උදයට දකුණු උරේයා
ඉර මුදුනේ සංදිය වැලමිටෙයා
සවසට මරුයෙයි මැණික් කටුවෙයා
බුද දින මරු යෙයි දැන මෙලෙසේයා

ගුරු දින උදයට දකුණු දනේයා
ඉර මුදුනට උරයට එන්නේයා
සවසට මරු ගොස් හිස්මුදුනේයා
ගුරු දින මරු එයි මේ විලසේයා

කිවි දින උදයට සඳුන් පොතේයා
ඉර මුදුනට වෙයි දකුණු උරේයා
සවසට මරු එයි හිස්මුදුනේයා
කිවි දින විස මරු එයි මෙලෙසේයා

සැනි දින උදයට හිස් මුදුනේයා
ඉර මුදුනට වම් උරපිට සිටියා
සවසට තන මඩලේ මරු සිටියා
සැනි දින විස මරු එයි මෙලෙසේයා 

කවිවල තේරුම් ඉතින් අමුතුවෙන් ලියන්න උවමනා නැහැනේ . ඒ නිසා මරු විස කලාව මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා දැනගෙන කටයුතු කරන්න කියලා කියමින් අද ලිපිය අවසන් කරනවා . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

16 comments :

  1. පට්ට මතකයක් තියෙන්න එපැයි බං මේවා ලෝඩ් කරගන්න...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕවා කියල දෙන්නේ නම් පාඩම් කරව කරව තමයි . ඒත් පාඩම් කරපුවා මතක හිටින්නේ නෑ භාවිතා කරන්නේ නැති නිසා . ඒ නිසා ලියලා තියාගෙන ඉන්නේ .
      g-)
      එල එල බොහොම ස්තූති g-)

      Delete
  2. අපි නොදන්න දේවල් එක අතකට කොච්චර තියෙනවද බලාගෙන යද්දී.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම් ඒකනම් හැබෑව තමා :-?

      Delete
  3. මම දැකල තියනවා දෙහි අත්තෙන් මතුරල විස බස්සන හැටි.
    වයලිනෝ හොදට ලියල තියනවා. ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. එල එල
      බොහොම ස්තූති g-)

      Delete
  4. මෙහෙ ඉන්නව සිංහල වෙද්දු දෙනේනෙක්ම දෙන්නම සර්ප විස වෙදකම දන්න අය.. එක්කෙනෙක් නං මන්තර මතුරන්නෑ.. අනෙත් කෙනා නං කරනව දැකල තියෙිය...
    නියමයි පෝස්ට් එක මචෝ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මෙහෙ කිව්වේ කොහෙද මෙයා ???
      එල එල බොහොම ස්තූති g-)

      Delete
  5. මං නොදන්නම විෂයයක්.ස්තූතියි :))

    ReplyDelete
    Replies
    1. එල එල . බොහොම ස්තූති g-)

      Delete
  6. සම්පුර්ණ නවග්‍රහ ස්තෝත්‍ර ශාන්ති පාඨ... විෂ ගලක් එහෙම හදන හැටි දන්නේ නැද්ද.... පුළුවන් නම් හදාගන්න... 2 ක් හොදේ. එකක් මට. අඹ කොළ අත්තෙනුත් විස බස්සන්න පුළුවන් නේද අහු කොළ ගුරුල්ල කොළ ගැන දැනගත්තේ නම් අදයි. දුටුගැමුණු රජ්ජුරුවන්ට නම් දෂ්ට කළා කියන්නේ අමාවක දවසක ලු නේ. එදාට දෂ්ට කළාමත් බෙහෙත් නෑ කියනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉතින් වයස හැට සම්පූර්ණ උනාමනේ ජොබ් අපොයින්මන්ට් එක හම්බෙන්නේ . ඒ නිසා විස ගල් වැඩක් වෙන එකක් නෑ :p :p
      ඔය දුටුගැමුණු කතාව මම දන්නේ නෑ . කොහෙන්ද ඕක කියවන්න පුළුවන් ?
      මට ලාවට වගේ කොහෙන් හරි ඇහුනා මතකයි රොඩී කෙලෙක්කේ විෂ උරන්න ඉල්ලනකොට කුල මාන්නේ නිසා විෂ උරන්න ඉඩ දුන්නේ නෑ කියලා . අශෝකමාලාද මන්දා .

      Delete
    2. දුටු ගැමුණු රජ්ජුරුවෝ රන් මැණිකා ට පස්සේ නාග කන්‍යාවක් මැරි කළා ලු නේ. එයා නාගදීපේ ඉඳලා කුට්ටම් පොකුණේ දිය නාන්න ආපු කෙනෙක් ලු. සාලිය කුමාරයා එයාගේ පුතා ලු. නාග කන්‍යාව වෙන ගෝත්‍රිකයෙක් ව මැරී කරපු එකට නාග ගෝත්‍රිකයෝ රජ්ජුරුවෝ එක්ක තරහින් ලු හිටියේ. විශේෂයෙන්ම ඒ නාග කන්‍යාවගේ මස්සිනා තමයි ලු වඩාත් තරහා. එක වතාවක් පිල්ලියක් එවලා රජ්ජුරුවන්ට දෂ්ට කලාම රාජ වෛද්‍යවරයා ඒකෙ විස අයින් කරලා හොඳ කළා ලු. ඊට පස්සේ නාග මස්සිනා කලේ මනුස්ස වේශයක් අරගෙන රජ වෙදා ව මුණගැහෙන්න ගිහින් සුව කරන්න බැරි දෂ්ටයක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඇහුවලු. මට මතක විදියට අමාවක දවසක කකුලේ ඇඟිල්ලකට ( වම දකුණ ලෙස හෝ ඇඟිල්ල මතක නැත ) දෂ්ට කලාම සුව කරන්න බැරි බව කිව්වලු. ඒ විදියට ආපු නයා මුලින්ම රජ වෙදා ටත් ඊට පස්සේ රජ්ජුරුවන්ටත් දෂ්ට කළා කියල ලු කියන්නේ. හැබැයි නාග කන්‍යාවගේ පියරජු දුටුගැමුණු රජ්ජුරුවන්ට සමාව දුන්නා කියලත් කියනවලු. හේතුව රජතුමා නාග ගෝත්‍රයට නෑ කම් කියන නිසා. ඒ කියන්නේ මණි අක්ඛිත නා රජු දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මී මුත්තෙක් වෙනවලු. ඒත් ඉතින් නාග කන්‍යාව බඳින්න බලාගෙන හිටපු මස්සිනා ඒ තරහට තමයි පලි අරගෙන තියනවා කියලයි ඔය පොත් පත් වල ලියවිලා තියෙන්නේ.

      Delete
    3. හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...........
      තවත් එක් සත්‍ය කතාවක් . කණාමැදිරි රාත්තිරිය .............................................
      ඔයකියනකල් මම දන්නේ නෑනේ මෙහෙම එකක් උනා කියලා . පොත හොයන් බලන්න ඕන . පත්තරවල ගිහින් තියෙනවා එක එක කතා ගොඩක් . ඒවා ටිකක් ජනප්‍රවාද වගේ ඒවා . සමහරවිට ඇත්ත වෙන්න ඇති . මහාවංශයට ඒවා දාන්න නැතුව ඇති ඉතින් මහා වංශයේ වීරයා දුටුගැමුණු නිසා .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.