Tuesday, December 22, 2015

සඳකඩ පහනට තවත් කැටයමක්









යක්ස කතා දේවකතා කැටගරිය වෙනුවෙන් යමක් ලිය ලිය ඉඳලා එක පාරටම මියැසිය වෙනුවෙන් යමක් ලියන්න ඕන කියලා කල්පනා කරා . තවම නිවාඩු කාලය ගෙවෙන නිසා කරන්න වෙන වැඩකුත් නැති නිසා නොපිට ගිය සොහොන් කාලි පූජාව කතා මාලාව ඉවර කරාට පස්සේ සුනිල් එදිරිසිංහ මහත්මයාගේ සඳකඩ පහන සංගීත ප්‍රසංගයේ වීඩියෝ එකක් බැලුවා . මේ වීඩියෝ එක ලැබිලා කාලයක් වෙනවා . ඒත් සිංදු ටික ඔක්කොම අහලා තියෙන ඒවා නිසා ෆෝවර්ඩ් කර කර තමයි මුල්ම වතාවේ බැලුවේ . ඒත් මේ ඊයේ පෙරේදා දවසක වෙන බලන්න දේකුත් නැති නිසා නිවීහැනහිල්ලේ ෂෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා .

තවමත් කටින් හරි හිතෙන් හරි මුමුණ මුමුණ ඉන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ සන්තාප මාවතේ කියන ගීතය . මුල් ගායනයට වඩා මට එතුමාගේ මේ සඳකඩපහන ප්‍රසංගයේ මම බලපු වීඩියෝ එකේ තිබුණු ගායනය හිතට අල්ලලා ගියා . සන්තාප මාවතේ , සංවේදනා මැදුරේ කියන පද පේලියේ සංවේදනා කියන වචනයේ " නා " කියන අකුර සුනිල් එදිරිසිංහයන් හරිම අපූරු විදියට ගායනා කරනවා වෙනදා නැති ස්වර අලංකාර එකතු කරලා . ගීතය කොච්චර ඇහුවත් ඒ තැන එනකල් තමයි අහගෙන ඉන්නේ . ශිල්පියෙකුගේ අත්දැකීම් වැඩිවෙන්න වැඩිවෙන්න ගීතවල තියෙන වඩාත් සියුම් තැන් ස්පර්ශ කරන්න ඒ ශිල්පීන් නැඹුරු වෙනවා . ගීතවල තියෙන ඒ සියුම් තැන් තමයි අවසානයේ ශ්‍රාවකයාගේ හදවත ස්පර්ශ කරන්නේ . 

ඉතින් අද කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි . සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ලද විශිෂ්ටතම ගීතයක්වන සඳකඩ පහන ගීතය ගැන ලියන්න . ඒකත් ලියන්න ඕන කියලා මතක් උනේ අද ඊයෙක නෙවෙයි . හැමදාම මුහුණු පොතේ ශෙයා වෙන්නේ මේ ගීතයේ වැරදි තේරුම . අපේ පරම්පරාවෙන් පස්සේ උදවිය මේ ගීතය ඔලුවට දාගෙන තියෙන්නේ හරිම වැරදි විදියට . ආයේ ආයෙත් ඒකම ශෙයා කර කර මේ වැරදි තේරුම තව තවත් ප්‍රචාරය කරනවා . 

අහම්බෙන් වගේ දවසක ටීවී එකේ යනකොට මාතර ආච්චි චිත්‍රපටිය බලාගන්න වාසනාව ලැබුණා . මේ චිත්‍රපටි හංගගෙන තියාගෙන ඉන්නවා අඩුගානේ කොපි කරන්නවත් විකුණන්නවත් කිසිම දේකට අවසර දෙන්නේ නැතුව . එක්කෝ හෝල්වල පෙන්නන්න ඕන . නැත්නම් අන්තර්ජාලයට මුදාහරින්න ඕන කැමති අයට බලන්න . අම්මටසිරි ලංකාවේ ඔක්කොම ඒවා ඔහොම තමයි . යන යන තැන තියෙන්නේ මෙම ස්ථානයේ ඡායා රූප ගැනීම සපුරා තහනම් , මෙම වීඩියෝ පටයේ පිටපත් වංචනික ලෙස ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි වගේ දේවල් . ඒ නිසා ඒ වගේ වටිනා දේවල් මිනිස්සු අතරට එන එක වැළකිලා තියෙනවා . අඩුම තරමේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක තුමාටවත් ළඟ තියාගන්න පුලුවන්ද දන්නේ නෑ . 

වැඩක් නෑ මේවා ගැන කතා කරලා . ඒ නිසා මට පෙනෙන විදියට සඳකඩ පහන ගීතය ගැන ලියන්නම් . මේ තේරුම කලිනුත් මේ බ්ලොග් එකේම ලියවිලා තියෙනවා සිංදුවා අයියා අතින් . මමත් තව ලුණු ඇඹුල් දාලා ලියන්න හිතුවේ සංගීතය ගැන යමක් සඳහන් වෙලා නැති නිසා . 

මුලින්ම එහෙනම් ගීතය අහලා ඉන්නකෝ .




සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා
පොපියන හදවත සිටී බලා

ගායනය : සුනිල් එදිරිසිංහ




තනුව : වික්ටර් රත්නායක




ගී පද : වොලී නානායක්කාර





( ලිපිය ලියන වෙලාවේ හොයාගන්න බැරි උනාට අන්තිමට හොයලා හොයලා හොයාගත්තා . මේ තියෙන්නේ සඳකඩ පහන ගීතයේ මුල් ගායනය . ඔය සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා තමයි ගායනා කරනවා වගේ රඟපාන්නේ . බලන්න සුනිල් එදිරිසිංහයන්ගේ එදා කටහඬ සහ අද තියෙන කටහඬ අතර තියෙන වෙනස . )




මේ ගීතයට ගණිකාවක් ආරෝපණය වෙන්න ප්‍රධානම හේතුව විදියට මමනම් දකින්නේ සියුමැලි කැකුළක් මැලවෙත්දී සහ පාවෙන දේදුනු ලැගුම් ගනී කියන පද පේලි දෙක නිසා වෙන්න ඕන . ඒත් ෆිල්ම් එකේ මෙහෙම කතාවක් නැහැ . ගණිකාවක් , එහෙමත් නැත්නම් ළමයෙක් එක්ක තනි වෙච්ච අම්මා කෙනෙක් ගැන ෆිල්ම් එකේ කියවෙන්නේ නෑ .







සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී


සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී

සඳකඩ පහන කියන්නේ කළා ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය . මනුෂ්‍ය ලෝකයේ විශිෂ්ටතම නිර්මාණය තමයි ගැහැණිය . ජීවිතය කියන්නේ කලාවක් . ඒ නිසා කාන්තාව සඳකඩ පහනට උපමා කරන එකේ වරදක් නැහැ . සඳකඩ පහනේ විවිධ ආකාරයේ කැටයම් නිර්මාණය කරලා තියෙනවා . ඒ වගේම තමයි කාන්තාව කියනෙත් පංච කල්‍යාණයෙන් පිරි රූප ශෝභාව උතුරා යන රූපයකට හිමිකම් කියන කෙනෙක් . ඔය කියන දේවල් නිසා මේ ගීතයේ සඳකඩ පහන කාන්තාවකට උපමා කරන්න අරගෙන තියෙනවා .

ඒවගේම තමයි සඳකඩ පහන නිර්මාණය කරලා තියෙන්නේ පයට පෑගෙන්න . ඒත් සඳකඩ පහන කාගේත් අවධානය දිනාගන්නවා . ඒ සඳකඩ පහනේ තියෙන විශේෂතා නිසා . ඒ වගේ තමයි කාන්තාවත් . නිසි තැන නිසි පරිසරයේ නෙවෙයිනම් ඉන්නේ කාන්තාවත් පයට පෑගෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන් . ඒත් එහෙම උනාට හැම කෙනෙක්ගෙම අවධානයට පාත්‍ර වෙන්නත් කාන්තාවට හැකියාව තියෙනවා .

දේදුන්න පායන්නේ අව්වයි වැස්සයි දෙකම එකට තියෙන වෙලාවට . ඒවගේම තමයි දෙදුන්නත් අර්ධ කවාකාරයි , විවිධ වර්ණයන්ගේ සංයෝජනයක් තමයි දේදුන්නට තියෙන්නේ . පිරිමියාත් මේ දේදුන්න වගේ . පිරිමියෙක් ආදරය ප්‍රේමය කරුණාව දයාව වගේ ගුණාංග කැටිකරගෙන ඉන්නවා වගේම ආක්‍රමණශීලී බව , තද ගතිගුණ , ශක්තිමත් බව , කාමය , රාගය වගේ දේවලුත් ඒ එක්කම කැටිකරගෙන ඉන්නවා . එහෙමයි කියලා කාන්තාවකට මේවා නැහැ කියලා කියනවා නෙවෙයි . කාන්තාවකට වඩා පිරිමියෙක් මේ දේවල් ඔය ගීතයේ පසුබිමේ හැටියට කැටිකරගෙන ඉන්නවා කියලා තමයි මම කියන්නේ . පාවෙන දේදුනු කියලා කියන්නේ අරමුණක් නැතිව නන්නත්තාරේ යන පිරිමියෙක් නෙවෙයි . ජීවන සහකාරියක් නැතිව තනිව ඉන්න පිරිමින්ට .

සඳකඩ පහනක කැටයම් වැනි කාන්තාවකගේ ජීවිතයේ තිබෙන විශේෂතා ඔප් නංවමින් පාවෙන දේදුනු විදියට හඳුන්වන තවමත් තනිවම ඉන්නේ , ජීවන සහකාරියක් නොලැබුණු පිරිමි ඒ කාන්තාවට ලං වෙන්න උත්සහ කරනවා . ලැගුම් ගන්නවා කියන්නේ පදිංචි වෙනවා කියන එක නෙවෙයි . තාවකාලිකව නවතිනවා කියන එක . මේ ගීතයේදී තාවකාලිකව නවතිනවා කියන වචනය දැම්ම පලියට මේ කාන්තාව ගණිකාවක් කරන්න බැහැ . මමනම් දකින්නේ තාවකාලිකව නවතින අදහස දීලා ගීතයෙන් පෙන්නන්න හදන්නේ ඒ කාන්තාවගේ ජීවිතයට ලං වෙලා පදිංචි වෙන්න උත්සාහ කරනවා කියන එක . ඒ කියන්නේ නිකං කැමැත්ත ගන්න උත්සාහ කරනවා වගේ තේරුමක් .

කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවී

ඒ විදියට සඳකඩ පහනකුයි දෙදුන්නකුයි අවසානයේ ප්‍රේමයෙන් බැඳෙනවා . ඊට පස්සේ තියෙන්නේ සඳකඩ පහනේ තියෙන කලාත්මක බව වත් දේදුන්නේ තියෙන කලාත්මක බවවත් නෙවෙයි . මේ දෙකේම එකතුවක් . ඒ වගේ තමයි කාන්තාවක් සහ පිරිමියෙක් ආදරය කරන්න ගත්තට පස්සේ ඒ දෙන්නාගේ චරිත ලක්ෂණ යම් යම් විදියට වෙනස් වෙනවා . පිරිමියා කාන්තාවගේ ආශාවන් අභිමතාර්ථයන් අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා . කාන්තාව පිරිමියාගේ ආශාවන් අභිමතාර්ථයන් අනුව ජීවත් වෙන්න පටන් ගන්නවා . අන්තිමට මේවා එකිනෙක මිශ්‍ර වෙලා තමයි පෙම්වතුන් යුවලකගේ තියෙන ගති ලක්ෂණ පහල වෙන්නේ .

අන්න ඒ අදහස තමයි කැලතුනු රසයක පැන ආ බුබුලක් කියලා කියන්නේ . පෙම්වතාගේ සහ පෙම්වතියගේ ආශාවන් , අරමුණු , බලාපොරොත්තු , හැගීම් , ආදරය , ප්‍රේමය , දැඩි බව , ස්ථීරසාර බව , වගේ හැම දෙයක්ම එකට එකතුවෙලා කැලතිලා දෙදෙනාගේ ආදරයෙන් බැඳුනු ජීවිතය , අර කැලතුනු රසයන්ගෙන් යුක්ත වූ මිශ්‍රණයෙන් ඉහලට පැන එන බුබුලක් වගේ ප්‍රමුඛ වෙලා එනවා කියලා ඒ පද පේලියෙන් කියවෙන්නේ . මේ විදියට තමයි ආදරය කියන අකුරුවැල දෙදෙනෙකුගේ හදවත්වල රචනාවෙලා සටහන් වෙන්නේ . කාලයත් එක්ක මේ රචනා වීම තව තවත් සිදුවෙනවා වගේම ඒ අකුරුවල තියෙන අර්ථාන්විත ගැඹුරු බවත් වැඩිවෙනවා .

යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී

මහාභාරතයේ ඒක තැනක ක්‍රිෂ්ණා විසින් අර්ජුනට කියනවා " ................. යුගයක් යුගයක් පාසා පහල වෙමි " කියලා . ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවය මත යුගයක් යුගයක් පාසා ඉපදෙනවා කියන එක . ඒ වගේ තමයි මෙතනත් මේ ප්‍රේමවන්තයා කියන්නේ . පවිත්‍ර ආදරය කියන්නේ අදහන්න පුළුවන් ධර්මයක් . බැන්දට පස්සේ බිරිඳ තමයි හැමවෙලේම මේ ධර්මය දේශනා කරන්න පටන් ගන්නේ . ධර්මය ශ්‍රවනය කරනවට වඩා හිතෙන් අදහන එක තමයි විවාහයට කලියෙන් ආදරය කරන කාලයේ කෙරෙන්නේ . මේ පෙම්වතාත් යුගයක් යුගයක් පාසා රැකගෙන ආව තමාගේ ආත්මගත ආදරය නැමැති කිසිදිනෙක නොමියෙන දහම තුල ජීවිතයේ පදනමක් දකිනවා .

විවාහය , පවුල් ජීවිතය , දරුවන් , පවුලක් විදියට දරුවන් සහ බිරිඳ සමග ගත කරන ජීවිතය ගැන මේ පෙම්වතා හීන දකිනවා . ඒ හීන අන්තිමට මාලිගාවල් හදන්න ශක්තිමත් පදනමක් ඇති කරනවා . මේ පදනම් ඇතිවේගෙන එනකොට මේ පෙම්වතාට වෙන්නේ හරිම අකරතැබ්බයකට මුහුණ පාන්න .

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

ඒ තමයි වෙනත් පෙම්වතෙක් බලෙන් හෝ පෙම්වතියගේ පාර්ශවයෙන් පෙම්වතියට කෙරෙන බල කිරීම නිසා විවාහ වෙලා යන්න යෑම . නොපෙනෙන ඈතකටම ඈ ගෙන යනවා . ඒ කියන්නේ තමන්ගේ ප්‍රේම මන්දිරයට ආයෙත් ගොඩවෙන්න බැරිවෙන විදියටම යන්න යනවා කියන එක . මේ ගීතයට ගණිකාවක් සම්බන්ධ කරන්න ඒ සම්බන්ධ කරපු අය ඒක සාධාරණය කරන තැනක් තමයි මේ සියුමැලි කැකුළක් මැළවෙත්දී කියන පද පේලිය . 

මෙතන මමනම් දකින විදියට සියුමැලි කැකුළක් කියලා කියන්නේ ළමයෙක් නෙවෙයි . දෙන්නගේ හිත්වල ඇතිවෙච්ච ආදර මල් කකුල . සියුමැලි කැකුළක් විදියට ඒක හඳුන්වලා තියෙන්නේ පෙම්වතියගේ පැත්තෙන් හිතලා වෙන්න ඕන . මොකද පෙම්වතියගේ හිතේ ඇතිවෙන ආදරය පෙම්වතෙකුගේ හිතේ ඇතිවෙන ආදරයට වඩා සියුමැලි මටසිලිටු එකක් . ඒ නිසා පෙම්වතියගේ ආදරය ගැන හිතන්නෙවත් නැතිව ඇයව බන්දලා දෙන නිසා මේ සියුමැලි කැකුළක් මැළවෙත්දී කියල ගීතයේ සඳහන් කරන්න ඇති කියලා මම හිතනවා . 







දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු


දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු

මී මැස්සෝ මී වද බඳින්නේ හරිම අපූරු විදියකට . තමන්ගේ මී වදයට රොන් එකතු කරන මී මැස්සෝ මල් පිපිලා තියෙන උදේ කාලයේ තමයි වැඩිපුරම රොන් එකතු කරන්න මී වදයෙන් එලියට එන්නේ . මෙහෙම එන මී මැස්සන් පිපිලා තියෙන මල් කිට්ටුවට ඇවිත් තමන්ගේ ගුමු ගුමු නාදයෙන් මොකක්දෝ රහසක් මලට කොඳුරලා තමයි රොන් ගන්නේ . මේ රොන් තුඩින් තුඩට තවරාගෙන අරගෙන ගිහින් මී වදයට පුරවනවා . 

ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු

රොන් අරගෙන යන්නේ පොඩි දුරකට නෙවෙයි . ගව්වක් ඉහලට . ඒ කියන්නේ ඉතාමත්ම ඉහල තියෙන මී වද වලට . මේ මී වද වල මී පැණි පිරුනට පස්සේ මී පැණිවල රසයට වහවැටෙන අය ඒ මී වද වෙත හඹා එනවා මී වද කඩලා මී පැණි ගන්න . කොච්චර ඉහළක , ඒ කියන්නේ ගව්වක් ඉහළක මී වාදය පිහිටලා තිබුණත් මී පැණි ගන්න ඕන කෙනා ඒ දුර ගෙවලා හරි මී වදය හොයාගෙන එනවා . පොපියන දෙතොලක් එහි කැන්දූ කියලා කියන්නේ අන්න ඒකට .

අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු

අහස ගුගුරමින් වැහි කළුවර පතුරුවමින් කඩා හැලෙන වැහි වතුර මේ මී පැණි වලට එකතු උනාට පස්සේ මී පැණිවල තියෙන රසය අඩුවෙලා හෝ නැතිවෙලා යනවා . සාන්ද්‍ර මී පැණි තනුක වෙනවා . අන්තිමට මී පැණිවල තියෙන වටිනාකමත් නැතිවෙනවා හෝ අඩුවෙනවා .

මේ පෙම්වතාට වෙන්නෙත් මෙන්න මේ මී පැණි වලට උනා වගේ දෙයක් කියලයි ගීතයෙන් නොකියා කියන්නේ . පෙම්වතා පෙම්වතියට තමන්ගේ මිහිරි මීපැණි හා සමාන සාන්ද්‍රගත ආදරය ලබා දෙනවා . මේ ආදරය මී වදයට මී පැණි එකතු කරනවා වගේ තමයි එකතුවෙන්නේ . එහෙම එකතු වෙන ආදරය ගව්වක් ඉහළ තියෙන මී වදයේ මී පැණි තැම්පත් කරනවා වගේ ඉතාමත් ආරක්ෂා සහිතව තමයි තැම්පත් කලේ . ඒ ආදරය වෙනුවෙන් තමයි පෙම්වතියත් පේ වෙලා හිටියේ . පොපියන දෙතොලක් එහි කැන්දූ කියන්නේ අන්න ඒ අදහස වෙන්න ඕන .

අවසානයේ තමාට පෙම්වතිය නැතිවෙන්න හේතු කාරණා සිද්ද වෙනවා . අහස ගුගුරලා කළුව වපුරාගෙන තමන්ගේ සාන්ද්‍රගත මී පැණි හා සමාන ආදරය තනුක කරවන්න පුළුවන් තරමේ වැහි බින්දු එකතු වෙනවා . ඒ කියන්නේ වෙනත් ප්‍රේමවන්තයෙක් තමන්ගේ ආදර කතාවට සම්බන්ධ වෙලා පෙම්වතිය ඔහු වෙත පොළඹවා ගන්නවා කියන එක . මේ ගීතය සටහන් වෙලා තියෙන මාතර ආච්චි චිත්‍ර පටයේත් වෙන්නේ අන්න එහෙම දෙයක් . පෙම්වතා පෙම්වතිය ජවනිකාවට වෙනත් මනමාලයෙක් ඇවිත් පෙම්වතිය විවාහ කරගන්නවා .

ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

පෙම්වතා හිතනවා තමන්ගේ ප්‍රේම කතාවේ අතීතය මත , ඒ කියන්නේ නටඹුන් මත ජීවත්වෙමින් සිටිය පෙම්වතිය වෙනුවෙන් තව කෙනෙක් ආදරය කරන්න පටන් ගත්තා කියලා . ඒ කියන්නේ අර දෙවෙනි පෙම්වතා වෙන්න ඇති . කොහොම නමුත් අවසානයේ වෙන්නේ පළමු පෙම්වතාට පෙම්වතිය අහිමි වෙන එක .






හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා
පොපියන හදවත සිටී බලා


හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා

දැන් ඇවිත් තියෙන්නේ ගීතයේ තියෙන අවසාන සෝතැවුල් සහ බලාපොරොත්තුව සහිත කොටසට . පෙම්වතා මෙහෙම හිතනවා . තමන්ගේ හදවත නමැති විලේ පිපුණු ආදරය නමැති පියුම් කැකුල පූදින්න මත්තෙන්ම ඒ කියන්නේ නොකලක . එහෙමත් නැත්නම් අකාලයේ , නටුවෙන් ගලවා දාලා තමන් ඉන්න තැනින් ඉතාමත් ඈත දුරකට යවලා දැන් තියෙන්නේ කියලා . ඉතින් පෙම්වතා තව දුරටත් කරන්නේ දුක් වෙන එක . 

මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා

මිහිලිය තෙත් කරන්න තරම් කඳුළු ප්‍රවාහයක් තමන්ගේ ඇස්වලින් ගලා හැලෙනවා . ඒ කඳුළු හරියට ගංගාවක් වගේ . ගලාගෙන ගලාගෙන ගිහින් අවසානයේ එකතු වෙන්නේ මුහුදට . ඒ වගේම තමන්ගේ දුකත් ක්‍රම ක්‍රමයෙන් ඇතිවෙමින් එකතුවෙලා මුහුදක් තරමටම විශාල වෙලා කියලා පෙම්වතා හිතනවා . 

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා

මේ තියෙන්නේ පෙම්වතාගේ අවසාන බලාපොරොත්තුව . පෙම්වතියට උරුම උනේ රිදුනු තැවුණු හදවතක් . ඒ පෙම්වතිය විවාහ වෙන්නේ කැමැත්තෙන්මත් නොවෙන නිසා . ඒ නිසා පෙම්වතිය ඉන්නේ තමන් කරගත්ත විවාහයේ රසය විඳිමින් නෙවෙයි . තවත් එක පිරිමියෙකුට බිලි වෙච්ච ගානට . ඉතින් සෝතැවුල් තමයි පෙම්වතියට උරුම වෙන්නේ . ඒවගේම තමයි පෙම්වතාට තියෙන්නෙත් රිදුනු තැවුණු හදවතක් . මේ රිදුනු තැවුණු හදවත තමයි ඊළඟට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ . එක්ටැම් මැදුරක කවුළු අරා කියලා කියන්නේ පෙම්වතාගේ ඊළඟ බලාපොරොත්තුව . 

පෙම්වතා හිතනවා පෙම්වතිය විවාහයේ බැම්මෙන් මිදිලා තමා වෙත එයි කියලා . නැත්නම් තමා වෙත එන්න කියලා පෙම්වතා ආයාචනාත්මක ස්වරූපයෙන් ගීතය ඇතුලේ පෙම්වතියට කතා කරනවා . එහෙම ආවොත් බැරිවෙලාවත් පෙම්වතා පෙම්වතියව ආයෙත් වෙනත් පෙම්වතෙක් අතට පත් වෙන්නේ නැතිවෙන්න පරෙස්සම් කරගන්න ඕන . ඒ වෙනුවෙන් තමන් හදන්නේ එක්ටැම් මැදුරක් . අවසානයේ මේ එක්ටැම් මැදුරේ කවුළු වලින් දැකගන්නේ වෙන්නේ පෙම්වතියගේ මුහුණ . ඉතින් පෙම්වතා කියනවා මේ එක්ටැම් මැදුරට ආයෙත් එන්න කියලා . 

රුවන් විමානෙන් පියඹා
පොපියන හදවත සිටී බලා

රුවන් විමානය . මෙතන රුවන් විමානය විදියට හඳුන්වන්නේ සමහරවිට විවාහ ජීවිතය වෙන්න පුළුවන් . එහෙමත් නැත්නම් පෙම්වතිය ඉන්නේ සැපපහසු පරිසරයක වෙන්න පුළුවන් . ඒ මොනවා ලැබුණත් තමන්ට හිමි ප්‍රේමය වෙනුවෙන් ඒ ඔක්කොම අතාරලා දාලා පෙම්වතිය එයි කියලා පෙම්වතා බලාපොරොත්තු වෙනවා . පෙම්වතාගේ හදවත පොපියනවා කියලා කියනවා . ඒ පොපියන්නේ තමන්ගේ හදවතේ මේ දේවල් මෙහෙම වෙයි කියලා හිතලා සීමාන්තික බලාපොරොත්තුවක් ඇතිකරගෙන ඉන්නවා කියලා කියන නිසා වෙන්න ඇති . 
චිත්‍රපටයේ මේ ගීතය ගායනා වෙන්නේ පෙම්වතිය විවාහ වෙලා දෙන්නා එක්ක වාඩිවෙලා ඉන්නකොට . සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා තමයි චිත්‍රපටයේ ගීතය ගායනා කරන්නේ . මට හරියටම මතක නැහැ පෙම්වතාගේ චරිතය රඟපෑවේ සතිස්චන්ද්‍ර මහත්මයාද කියලා . කොහොමහරි ආයෙත් මාතර ආච්චි චිත්‍රපටය බලන්න ලැබුණොත් මේ කතාව ඇත්තද කියලා බලන්න පුළුවන් . 

වැඩි හරියක්ම මේ ගීතය ගැන මම ලියන්න පෙළඹුනේ ගීතයේ වචනවල තේරුම නිසාමත් නෙවෙයි . ගීතයේ සංගීත සංයෝජනය ගැන කොහෙවත්ම ලියවිලා තියෙනවා දැක්කේ නැති නිසා . මෙන්න මෙහෙමයි මී ගීතයේ සංගීතය මට දැනුනේ . 







ගීතයේ ආරම්භය හරිම සරළයි .  වෙන ගීතවල වගේ දීර්ඝ සංකීර්ණ පෙර වාදනයක් මේ ගීතයේ නැහැ . ඒ සරළ ආරම්භය පාළුව තනිකම වගේ හැගීමක් අරගෙන එනවා . මුලින්ම වාදනය වෙන්නේ වයලීන් , කීබෝඩ් වාදන කණ්ඩයක් . මේ වාදනය අතරේ චෙලෝ එකකින් අර වාදන වලට කවුන්ටර් එකක් වෙන විදියට ඇතුලෙන් හරිම බර මන්ද්‍ර ස්වරයෙන් වාදනයක් ඉදිරිපත් කරනවා . අන්න ඒ මන්ද්‍ර ස්වර වාදනය තමයි ගීතයේ රස භාව මුලින්ම අපේ කනට ඇතුල් කරන්න දායක වෙනවා කියලා මම හිතන්නේ . මොකද ගීතයේ අන්තර්ගතය තනිකරම තියෙන්නේ දුක ශෝකය විරහව වගේ වේදනාත්මක සිතුවිලි වලින් පිරිලා . ඒ නිසා මේ ගීතයට චෙලෝ එක තරම් සාධාරණයක් ඉෂ්ට කරන වෙනත් වාදය භාණ්ඩ ඇත්තෙම නැති තරම් කියලා හිතන්න පුළුවන් . 

ඊට පස්සේ මැන්ඩලීන් එකකින් ස්වර අටක කුඩා වාද්‍ය කොටසක් ඉදිරිපත් කරනවා . මේ වාද්‍ය කොටස සරළයි වගේම ගීතයට හොඳ ආරම්භයක් ලබා දෙනවා . මම කලින් දවසක ඒක ලිපියක කිව්වා මතකයි සිතාරයේ තියෙන සම්භාව්‍ය රසය ඉවත් කරන්න ඕන නිසා ගිටාරයත් එක්ක එකට වාදනය කරනවා කියලා . ඒ වගේ තමයි මෙතනත් වෙලා තියෙන්නේ . මෙතන තියෙන්නේ සිතාරයක් නෙවෙයි මැන්ඩලීනයක් . මන්ඩලීනයේ තියෙන්නේ ගොඩක් වෙලාවට වේදනාත්මක හඬක් නෙවෙයි . හරිම විනෝද කාමී හඬක් තමයි තියෙන්නේ . ඒ විනෝදකාමී බව නැති කරන්න මේ ගීතයේ භාවිතා කරලා තියෙන්නෙත් අර සිතාරයට භාවිතා කරපු බෙහෙතම තමයි . මේ ස්වර අට වාදනය කරන්න මැන්ඩලීනයට එකොස්ටික් ගිටාරයකුත් සම්මාදන් වෙනවා . ඊට පස්සේ ඇතිවෙන්නේ ඒ වාදන භාණ්ඩ දෙකටම අයත් නොවන නාදයක් . මේ සවට අට වාදනයවෙලා ඉවර උන ගමන්ම ඊළඟ මාත්‍රාව උඩ සයිලෆෝන් එකකින් " ක්ලින්ග් " ගාලා එක ස්වරයක් වාදනය වෙනවා . ඒ මේ ගීතය ගායනා කෙරෙන්නේ අවග්‍රහයෙන් නිසා පළවෙනි මාත්‍රාව නිහඬව ඉන්න නිසා . අවග්‍රහය තේරෙන්නේ නැත්නම් ඉතින් ඒක එහෙම තමයි කියලා හිතා ගන්නකො මෙයාලා . 

ගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩය වෙන්නේ තබ්ලාව . තබ්ලාවෙන් හොඳ බරට ඇහෙන්නේ තබ්ලා බාර් එකේ හඬ . ඒ කියන්නේ තබ්ලා ගෙඩි දෙකෙන් ලොකු ගෙඩියේ හඬ . ඒ හඬ ගීතයේ අනිත් සංගීත භාණ්ඩ එක්ක මුසු වෙලා එන්නේ ගීතයේ ගැඹුරු බව පෙන්නන්න පුළුවන් හඬක් කියලා කියන්න පුළුවන් . ඒවගේම තබ්ලාවේ තාල වාදනයට උපකාරී වෙන්න හයිහැට් එකක් වාදනය කෙරෙනවා . මේ හයිහැට් ඒක වාදනය කරන්නේ නිකං ස්ටික් එකකින් නෙවෙයි . බ්‍රෂ් එකකින් . බ්‍රෂ් එකක් කියන්නේ සිහින් කම්බි මිටියක් එකතුකරලා හදාගත්ත එකකට . මේ හම්බි මිටියෙන් හයිහැට් එකට තට්ටු කරාම චීස් චීස් ගානවා වගේ හඬක් ඇති වෙනවා . මේ චීස් චීස් ඒක ඇහෙන්නේ






වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ චීස් චීස් 
වන් ටූ ත්‍රී ෆෝ / වන් ටූ චීස් චීස් 

කියන පිළිවෙලට . තබ්ලාවෙන් ඇතිකරන ප්‍රධාන තාලය පවත්වාගෙන යන්න මේ හයිහට් එකේ චීස් චීස් එකත් හොඳට දායක වෙලා තියෙනවා . 

දැන් ගීතය පටන් ගන්නවා . වෙන ගීතවල සාමාන්‍ය සම්ප්‍රදාය තමයි කවුන්ටර් පාට්ස් . ඒ කියන්නේ ගීතයේ යටින් වාදනයවෙන සංගීත කණ්ඩ වාදනය කෙරෙන්නේ දෙවෙනිවර ගායනා කරනකොට . ඒත් මේ ගීතයේ පටන්ගත්ත වෙලාවේ ඉඳලම කවුන්ටර් පාට්ස් වාදනය කරනවා . මේ කවුන්ටර් පාට්ස් හදලා තියෙන්නේ ගීතයේ වචනවලට සමගාමීව කියලා ඒවා මේ පිළිවලට සංයමයෙන් අහලා බැලුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි .

සඳකඩ පහණක කැටයම් ඔපලා
ඔන්න ඔය වචන ටික ගායනා වෙනකොට යටින් ඇහෙන්නේ සිතාර් වාදනයක් . සිතාරයෙන් ඒ වාදන කාණ්ඩය ඔස්සේ අපේ හිත්වල ඇතිකරන්නේ සඳකඩ පහන ගැන හැගීමක් . ඒ කියන්නේ සඳකඩ පහන වටා බැඳිලා තියෙන සංස්කෘතිකමය සමාජීය වටපිටාවක් .

පාවෙන දේදුනු ලැඟුම් ගනී
දේදුනු කියන තැන ඉඳලා වාදනය වෙන්නේ වයලීන් වාදනයක් . මේ වාදනය වාදනය කරන්නේ ස්වර ඇදිලා යන විදියට . පාවෙන බවක් ඒ වාදනයෙන් ඇතිකරලා තියෙනවා . දේදුන්නක් පාවෙනවා . වලාකුළු පාවෙනවා වගේ අදහසක් අහන අයගේ හිතේ ඇති කරන්න මේ කෙටි වයලීන් වාදනය උදවු වෙනවා .

කැලතුනු රසයක පැන ආ බුබුලක්
රසයක කියන වචනය යටින් වාදනය වෙන්නේත් වයලීන් වාදනයක් . ටරටට ටරටට ගාලා වාදනය වෙන ඒ වාදනය අහනකොට දැනෙන්නේ හරියට වතුර භාජනයක් කලතනවා වගේ . ස්වර කැලතීම උපයෝගී කරගෙන කැලතුනු රසය වයලීනයෙන් උත්පාදනය කරනවා .

පැන ආ බුබුලක් කියන තැන වයලීනය තමන්ගේ වාදනය වෙනස් කරනවා . ඒකෙ ස්වර වාදනය වෙන්නේ ගලාගෙන යනවා වගේ නෙවෙයි . ස්වර එකින් එක පැන පැන යනවා වගේ තමයි වාදනය කරන්නේ . බුබුල පැන එන්නේ කොහොමද අන්න ඒ පැන ඒම පෙන්නන්න වයලීනය තමන්ගේ හඬ ඒ විදියට වෙනස් කරගෙන තියෙනවා .








අකුරු වැලක් දෙහදක ලියවී
මේ පදය යටින් වාදනය කරන්නෙත් වයලීන් වාදනයක් . දෙන්නගේ හිතේ ඇතිවෙන ආදරය ගැන ඒ වාදනය අදහස් දක්වනවා . ඊට පස්සේ සිතාරයෙන් වාදනය වෙන්නේ බිට් පාට් එකක් . ඒ සිතාර් වාදනයෙන් ආයෙත් ස්ථායි කොටසේ මුල් ස්වර සංගතියට ගමන් කරනවා .

නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
මේ වචන ටික ආරම්භ වෙන්න කලින්ම වයලීන් වාදනය ඉස්සර වෙනවා . වයලීන් රන් එකක් එතන වාදනය කරනවා . ස්වර තුනෙන් තුනට යන වාදනයක් පහල ස්වර වල ඉඳලා ඉහල ස්වර වලට ගමන් කරනවා . හරියට ඈතින් ඈතට ගමන් කරනවා වගේ . ඈතක ඈ ගෙන යනවා කියන හරියට එනකොට වයලීන් ආයෙත් සංසුන් වෙලා ගලාගෙන යන ස්වර වාදනය කරනවා . ඒ ස්වර වලින් ඈ ගෙන යනවා කියන වචනවල තියෙන දුක ශෝකය උද්දීපනය කරන්න උදවු වෙනවා .

සියුමැලි කැකුළක් මැලවෙද්දී
මේ වචන පේලිය යටින් මුලින් වාදනය වෙන්නේ සිතාර් වාදනයක් . ඊට පස්සේ වාදනය වෙන්නේ කීබෝඩ් , සැක්සෆෝන් එකතුවෙන් වාදනය කෙරෙන වාදනයක් . ඒ වාදන දෙකම ඇති කරන්නේ සියුමැලි කැකුළක් මැළවෙනකොට ඇතිවෙන ශෝකය .

දැන් ගීතයේ අතුරු වාදනය ආරම්භ වෙනවා . මුලින්ම වාදනය කරන්නේ වයලීන . ඒ වාදනය ආරම්භ වෙනවත් එක්කම තබ්ලාවේ වාදනය නවතිනවා . තාලය වාදනය අරගෙන යන්නේ හයිහට් එකයි ගිටාර් පන්ච් එකයි එකතුවෙලා . සමහර තැන්වල සයිලෆෝන් එකෙන් එක ස්වරයක් දෙකක් වාදනය වෙනවා ඇහෙනවා . ඒ ඔක්කොම යටකරගෙන චෙලෝ එකේ මන්ද්‍ර ස්වර වාදනය කරන නිසා ගීතයේ තියෙන පරිසරය අහන කෙනාට මවාගන්න උදව් වෙනවා . මේ අතරේ ඇහෙන නෑහෙන ගානට බේස් ගිටාර් එකුත් වාදනය වෙනවා . ගීතයේ තාලය රැකගන්නයි මන්ද්‍ර ස්වර වලින් ගීතයට කෙරෙන දායකත්ත්වයයි බේස් ගිටාර් එකෙන් ලබා දෙනවා .





ඊට පස්සේ බටනලා වාදනයක් ඇහෙනවා . මේක වාදනය කරන්නේ බටනලා දෙකකින් . බේස් ගතිය වැඩි බටනලාවකුයි බේස් ගතිය අඩු බටනලාවකුයි භාවිතා කරගෙන එකම ස්වර ටිකක් තමයි මේ වාදනය කරන්නේ . පාළුව දුක කොහෙද බටනලාවත් එතන කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ . මේ ගීතයටත් බටනලාව එහෙම තමයි එන්න ඇත්තේ . ඊට පස්සේ සිතාරයෙන් ස්වර කීපයක් වාදනය උනාට පස්සේ අයෙත් වයලීන් වලින් ඊළඟ අන්තරා කොටස ආරම්භ කරන්න ආරම්භය ලබා දෙනවා . ඒ අතරෙත් චෙලෝ එක තමන්ගේ මන්ද්‍ර ස්වර වාදනය හොඳින් ඉදිරිපත් කරලා තියෙනවා . ගීතයේ අන්තරා කොටසේ මුල ස්වර වලට ආරම්භය අරන් දෙන්න ආයෙත් දායක වෙන්නේ සිතාර් වාදනයක් .

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු

මේ වචන ටික යටින් ඇහෙන්නේ මණ්ඩලීනයේ අර මම කිව්ව සරළ සුගම වාදනය . ඒ වාදනය හරියට මී මැස්සෙක් පියාඹලා ඇවිත් රොන් ගන්නවා වගේ දෙයක් නේද ඇති කරන්නේ . මෙතන මී මැස්සෝ කතාවක් තියෙන නිසා මැන්ඬලීනය තමයි වඩාත්ම ගැළපෙන්නේ .

ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
ඉහළට කියන වචනයේ ඉහ කියනකොටම වයලීන් වලින් ආයෙත් රන් එකක් වාදනය කරගෙන පහල ස්වර වල ඉඳලා ඉහල ස්වර වලට ගමන් කරනවා . ඒ ඉහලට ගමන් කිරීම ඇති කරවන්නේ ගව්වක් ඉහලට ගොනුකර රඳවා කියන තේරුම .

පොපියන දෙතොලක් එහි කැන්දු
මේ වචන ඇතුලේ වාදනය වෙන්නේ බටනලා දෙකක් . ඒ වාදනය ටිකක් සරාගී හැගීමක් ඇතිකරනවා වගේ . ඒ සරාගී බව නිසා පොපියන දෙතොලක් කියන වචන ගායනා කරනකොට අහන අයට ඒ වචන වල තියෙන අර්ථය වඩාත් පැහැදිලි වෙන්න පුළුවන් .

අහසක් ගුගුරා කලුවක් වපුරා
මේ තමයි මම කැමතිම කොටස . අහස ගුගුරන හැටි හරිම අපූරුවට වයලීන් වලින් පෙන්නලා තියෙනවා . කළුව වපුරන හැටි පෙන්නන්නේ චෙලෝ වාදනයකින් . ඒ අවස්ථා දෙක එකලඟ පෙන්නන්න හරිම ආකර්ශනීය විදියට සංගීතය හසුරුවලා තියෙනවා .

ඒ හා මුසුවුණු වැහි බිංඳු
වැහි බිංදු , ඒ වචන ටික ගායනා කල ගමන්ම සිතාර් එකේ තියෙන අනුනාදී තත් පිළිවෙලින් හඬවලා වතුර වැටෙනවා වගේ අහන්න සලස්වනවා . මේකත් ගීතයේ භාවිතා කරලා තියෙන හොඳ සංගීත උපක්‍රමයක් .

තවකෙක් ඈ වෙත හද රැන්දු
මේ වචන යටිනුත් ආයෙත් වාදනය වෙන්නේ කීබෝඩ් සැක්සෆෝන් වාදනයක් .





ආයෙත් සඳකඩ පහනක කැටයම් ඔපලා ගායනය කරාට පස්සේ ගීතයේ දෙවෙනි අතුරු වාදනය ආරම්භ වෙනවා . මේකනම් තනිකරම ශෝකය ඇතිකරවන අතුරු වාදනයක් . අතුරු වාදනය පටන් ගන්නකොටම තබ්ලාව තමන්ගේ වාදනය නවත්වනවා . ඒත් එක්කම වයලීන් සහ චෙලෝ එක තමන්ගේ වාදනය ඉදිරිපත් කරනවා . ඉහල ස්වර වල ඉඳලා පහල ස්වර වලට තමයි වාදනය කරගෙන එන්නේ . ඒකෙන් හදවතේ කඩා වැටීමේ සලකුණු පෙන්නුම් කරනවා . වයලීන් වලට පස්සේ වාදනය වෙන්නේ බටනලා වාදනයක් . වයලීන් තමන්ගේ ස්වර නවත්තපු තැන ඉඳලා බටනලා වලින් තවත් පහල ස්වර වලට වාදනය අරගෙන එනවා .

ඊට පස්සේ සිතාර් වාදනය කරාට පස්සේ ආයෙත් වාදනය කරන්නේ වයලීන් චෙලෝ සහ බටනලා වාදන එකතුවක් . මේ වාදනය අතරේ සයිලෆෝන් ඒක තමන්ගේ හඬ ඉඳලා හිටලා අවධි කරනවා . ඒ හඬ හරියට වතුර වැටෙනවා වගේ , නැත්නම් කඳුළු වැටෙනවා වගේ අදහසක් ඇති කරනවා .

ගීතයේ දෙවෙනි අන්තරා කොටසේත් මුල පද දෙක යටින් මැන්ඩලීන් වාදනය ඉදිරිපත් කෙරෙනවා කලින් වතාවේ විදියටම . එතනත් විලක , මල් පිපිලා තියෙනවා , මල් කැකුල කඩලා ගෙනියන බව වගේ දේවල් ඉස්මතු කරලා පෙන්නන්න ඒ මැන්ඩලීන් වාදනය දායක වෙනවා .

මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
මේ වචන ටික ගායනා වෙනකොට යටින් වාදනය වෙන්නේ බටනලාවක් . ඒ වාදනය කරන්නේ කොට බටනලාවක් . කොට බටනලාවකින් ඇති වෙන්නේ ඉහල හඬක් . ඒ ඉහල හඬ නිසා ඇතිවෙන්නේ පාළුව දුක වගේ අදහසක් .






සත්සමුදුරකට මුහුවගියා
මුහුව ගියා කියන තැනත් වයලීන් එකෙන් පොඩි වාදන කොටසක් වාදනය කරලා පෙන්නන්නේ අත්හැර දැමීම වගේ දෙයක් .

රුවන් විමානෙන් පියඹා එනතුරු
වයලීන් වලින් ස්වර දෙක දෙක වාදනය කරන්නේ හරියට කුරුල්ලෙක් පියාඹලා එනවා වගේ රූපයක් අපේ හිතේ මවන්න පුළුවන් වෙන විදියට .

පොපියන හදවත සිටී බලා
මේ පද පේලිය දෙවතාවක් ගායනා වෙන නිසා පලවෙනි වතාවේ සිතාරයත් දෙවෙනි වතාවේ කීබෝඩ් සැක්සෆෝන් එකතුවත් වාදනය ඉදිරිපත් කරනවා .

ගීතය අවසාන වෙන්නේ සයිලෆෝන් වාදනයකින් . ඔන්න ඔහොම ඉතින් සඳකඩපහනත් අවසන් වෙනවා . ඔන්න ඔහොමයි සඳකඩ පහනට මම දෙන කැටයම . එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

31 comments :

  1. උඹ විචාරය කරන්නේ ගීතය විතරක් නෙමෙයි... සංගීතයත් කතා කරනවා.... ඒකයි විශේෂත්වය

    ReplyDelete
  2. https://www.youtube.com/watch?v=PsBC9jiOBLY
    watch this. in this video it shows original movie visuals

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ මාතරආච්චි චිත්‍රපටය නෙවෙයි . වෙන මොකක් හරි චිත්‍ර පටයක වීඩියෝ එකට සිංදුව දාලා එඩිට් කරපු එකක් . මේ කමෙන්ට් එක නිසා තමයි අන්තිමට මම ඔරිජිනල් වීඩියෝ එක හොයා ගත්තේ . මේ දාලා තියෙන ලින්ක් එක අයිති වීඩියෝ එක මිනිස්සු නොමග යවන එකක් . දන්නේ නැති අය අන්තිමට මේවා ඇත්ත කියලා බලනවා ඇති .

      බොහොම ස්තූති g-) g-)

      මේ තියෙන්නේ නියම වීඩියෝ එක .
      https://www.youtube.com/watch?v=7rMNkqvzPE8

      Delete
  3. නියමයි වයලිනෝ. සංගීතය ගැන ඉදිරිපත් කරලා තියන විස්තරය බොහොම ආසවෙන් කියෙව්වා. සිංහල බ්ලොග් එකක සංගීතය ගැන මෙච්චර විස්තරාත්මකව කතා බහ කරන්නේ මේකෙ විතරයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. g-) g-) g-) g-)
      බොහොම ස්තූති :)

      Delete
  4. වෙනස් කියැවීමක්.. සුන්දරයි

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති . g-)

      Delete
  5. නියමයි අයියා.... Music විචාරය කරන එක හොඳයි.... අපිටත් නොදන්න දේවල් දැනගන්න පුළුවන් නේ... පලවෙනි සැරේ කියවල දෙවෙනි සැරේ සින්දුව අහන ගමන් කියවන් ගියා.... අර Counters ගැන කියල තියෙන ඒවා ඇත්ත නේන්නම්... :)

    සඳකඩ පහන සුනිල් සර් ගේ කොන්සර්ට් එකේ කියද්දී නම් තව කෑල්ලක් තියෙනවා...

    පොපියන හදවත සිටි බලා//
    (අත්පුඩිය)
    ඕකේ තව කෑල්ලක් තියෙනවා....
    සිටි බලා....
    (අත්පුඩිය) :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් . ගොඩක් සිංදුවල මේවගේ ඒවා තියෙනවා . සමහට බිට්ස් පාට් ඇහුවම හිනාත් යනවා . ඒවත් ටික ටික ලියන්නම්කො .

      පොපියන හදවත සිටි බලා//
      (අත්පුඩිය)
      ඕකේ තව කෑල්ලක් තියෙනවා....
      සිටි බලා....
      (අත්පුඩිය)

      ඇත්තම කියනවනම් ඔය කෑල්ලට මම කැමති නෑ . :p
      බොහොම ස්තූති ආ g-)

      Delete
  6. නියමයි මචෝ...
    මං උඔට බයින්න කියලා අාවේ ..
    පස්සේ දවසක බයින්නං..

    ජ ය ෙව් ව ෘ !!!

    ReplyDelete
    Replies
    1. මේ අතු පතර විහිදී ගිය කාකබෝ වෘක්ෂයක් බඳු මාහට බැනීමෙන් ඔබ ලබන පලය කීම ?
      වහා කියව 5-p
      බොහොම ස්තූති g-)

      Delete
  7. මම අහන්න ආස සිංදු කීපයෙන් එකක්. විචාර, අදහස්, අර්ථකතන කයි වගේ උනත් ඇස් දෙක පියාගෙන නිදහසේ අහන්න පුළුවන් සිරාම සිංදුවක්.

    ReplyDelete
    Replies
    1. සිරාවටම . g-)
      බොහොම ස්තූති g-)

      Delete
  8. g-) aththatama wicharaya nam supiri mcn.mn share karnam

    ReplyDelete
  9. meka thawa godak minissu dakinna oni mcn e nisa add this hari mokakhari tool ekak dala share button tika hodata penna hadapn...uba mahansiyata aparade nathnam
    BS

    ReplyDelete
    Replies
    1. ඔව් . මම ඒකනිසා කාලෙන් කාලෙට ශෙයා කරනවා .
      බොහොම ස්තූති g-)

      Delete
  10. ගීතයක සංගීතය පිළිබඳව මේ තරම් විස්තරාත්මක, වින්දනාත්මක විවරණයක් දැක්කමයි...

    ReplyDelete
    Replies
    1. :)
      බොහොම ස්තූති g-) g-)

      Delete
  11. වයලීනො උන්නැහේ.. මෙ චිත්‍රපටි වීඩියෝවේ 2:11 රූප රාමුවේ පසුබිමේ ඉන්නේ මිල්ටන් මල්ලවාරච්චි නොවෙද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති . එහෙම දන්නේ නම් නැහැ කවුද ඒ කියලා . ඒවගේ මූණ නම් නේද ?

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.