Tuesday, December 1, 2015

සෙත් කවි ලිවීම ( 2 )







සෙත් කවි ලිවීම (1)



අන්තිමටම දෙවුන්දර දේවාලේ ගියේ මේ අවුරුද්දේ ඇසල මහා මංගල්‍යය තිබුණ දවසේ උදේ පාන්දර . එදා දේවාලෙට ගොඩ වෙනකොටම දේවාලේ උදේ තේවාව ආරම්භ වෙලා . ඒ නිසා මම දේවාලේ පිටිපස්සට වෙලා බලාගෙන හිටියා මොකද වෙන්නේ කියලා . මොකද දෙවුන්දර දේවාලේ තේවාව ගැන මට වැඩිය බලන්න අවස්ථාවක් ලැබිලත් නැති නිසා .

ඉතින් පූජාව තියලා ඉවරවෙලා යාතිකා කරලත් ඉවර උනාට පස්සේ දේවාලේ ඇතුලේ සෙනග ඉන්න හරියේ පිටිපස්සෙන් සුදු සරමක් කමිසයක් ඇඳගත්ත කෙනෙක් හයියෙන් කවියක් කියන්න ගත්තා . මැදිවිය පහු කරපු කෙනෙක් . සෙත් කවියක් තමයි කිව්වේ . මම ඉතින් ඔයවගේ ඒවා අහගෙන බලාගෙන ඉන්න නිසා පොඩ්ඩක් විමසිල්ලෙන් අහගෙන හිටියා . ඒ කවිය නම් නියමෙට හදලා තිබුණා . මම හිතන්නේ ඉතින් නියම ප්‍රතිඵල ලැබෙන්න ඇති . අන්න ඒවගේ කවි ලියවා ගන්න පුළුවන් නම් හරිම වටිනවා .

ඒ කවියේ ඔක්කොම වචන දේව ගණයට වැටෙන විදියට රචනා කරලා තිබුණා . එහෙම කරන එකහරිම අමාරු වැඩක් . මොකද එහෙම කියන්නේ , මේ වචන වල ශබ්ධ රසය අර්ථ රසය ගණ පිහිටවීම ඔක්කොම සම්පූර්ණ වෙන්න ඕන නිසා . මෙහෙමෙ කවි හදන කෙනෙක් සිංහල භාෂාව ගැන හොඳ පුළුල් දැනුමකින් සමන්විත කෙනෙක් වෙන්න ඕන කියන්නේ අන්න ඒ නිසයි . කලින් ලිපිය අවසාන කලේ ගණ පිහිටවීම ගැන විස්තර කරලා . ගණ පිහිටවීම ගැන මොනවාහරි ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් කරලා අහලා දැනගන්න පුළුවන් .

අද ලිපියෙන් ඉස්සෙල්ලම කියන්න යන්නේ කවියක තියෙන්න පුළුවන් කාව්‍ය ශෛලීන් ගැන . මේ ශෛලීන් විවිධාකාර විදියට ගොඩනගලා තියෙනවා . මේ ඒවායින් එක විදියක් .

භාව පූර්ණ
කවිය ලියන කෙනාගේ හිතේ ඇතිවෙන සිතුවිලි කවිය කියවන කෙනාගේ හිතේත් ඇතිවෙන විදියට කවි රචනා කිරීමේ ශෛලියට තමයි භාව පූර්ණ ශෛලිය කියලා කියන්නේ .


දීර්ඝ
මේක සංකීර්ණ ශෛලියක් . එකම අකුරු , එකම වචන , එකම මාත්‍රා වගේ දේවල් නැවත නැවත එකතු කරමින් මාත්‍රා 32 36 48 64 වගේ ඉතා අධික මාත්‍රා සංඛ්‍යාවක් ඇතිවෙන විදියක කවි රචනා කිරීම තමයි දීර්ඝ ශෛලිය විදයට හඳුන්වන්නේ .

හෙළු
හෙළුව කියන්නේ ශුද්ධ සිංහල භාෂාව . ඔයාලා අහලා ඇතිනේ හෙළුවෙන් වනලා ලියනවා කියලා දෙයක් . ඒ කියන්නේ ශුද්ධ සිංහල භාෂාවෙන් වර්ණනා කරලා ලියනවා කියන එකට . ඉතින් මේ ශුද්ධ සිංහල භාෂාව භාවිත කරලා කවි ලියන ශෛලියට තමයි කියන්නේ හෙළු ශෛලිය කියලා .


වේගවත්
චිත්ත වේග නිකුත් කිරීම හෝ නිදහස් කිරීම වෙනුවෙන් රචනා කරන කවි වලට කියන්නේ වේගවත් ශෛලියේ කවි කියලා . දුක සතුට තරහව නින්දා කිරීම ගර්හාවට ලක් කිරීම වගේ දේවල් කරන්නේ මේ ශෛලිය භාවිතා කරලා ලියන කවි වලින් .

උද්දීපන 
කවියක් ලියන්නේ මොකක් හරි කාරණාව උද්දීපනය කරන්න නම් ඒ කවිය ලියලා තියෙන්නේ උද්දීපන ශෛලිය භාවිත කරලා කියලා කියන්න පුළුවන් . ඒ කියන්නේ ඒ කවියෙන් යම් නිශ්චිත ඒක කරුණක් ගැන විතරයි අදහස් කරන්නේ කියන එක .

ගාඨ
අහන කෙනාට හරි කියන කෙනාට හරි අහන්න හෝ කියන්න අමාරු වෙන විදියට කනට අමිහිරි වචන යොදාගෙන රචනා කරලා තියෙන කවි ශෛලියට කියන්නේ ගාඨ ශෛලිය කියලා .

කෙටි
මාත්‍රා 5 6 7 8 9 10  වගේ ඉතාම කෙටි විරිත් අනුගමනය කරමින් රචනා කරලා තියෙන කවි රචනා වෙලා තියෙන්නේ කෙටි ශෛලියෙන් .

ආක්‍රමණ
කාටහරි පහර ගහන්න කියන කවි වලට කියන්නේ ආක්‍රමණ ශෛලියෙන් රචනා වෙලා තියෙන කවි . ගොඩක් වෙලාවට වස් කවි රචනා වෙන්නේ මේ ශෛලිය අනුගමනය කරමින් .

උපහාස
කවුරු හරි කෙනෙකුට නැත්නම් මොනවාහරි දෙයකට උපහාසාත්මක විදියට ලියන කවි උපහාස කවි ශෛලියට අයත් කවි කියලා කියනවා .

වර්ණන
කවුරු හරි කෙනෙක් නැත්නම් මොනවා හරි දෙයක් වර්ණනා කරලා කවි ලියවිලා තියෙනවා නම් ඒ කවි වර්ණන ශෛලියෙන් රචනා වෙලා තියෙනවා .


විවේචන
යම් කෙනෙක් හෝ යම් දෙයක් විවේචනය කරලා කවි රචනා වෙලා තියෙනවා නම් ඒ කවි විවේචන ශෛලියෙන් රචනා වෙලා තියෙන කවි කියලා කියනවා . 

සරළ
සරළ අදහසක් සරළ වචන වලින් සරළ විරිත් වලින් ඉදිරිපත් කරලා ලියන කවි සරළ ශෛලියට අයත් කවි වෙනවා .

අනුප්‍රාස
අනුප්‍රාස කියන්නේ එක සමාන වචන නැත්නම් ඒක සමාන අකුරු එක ළඟ ළඟ කියවෙන විදියට රචනා කරන කවි වලට . මේ අනුප්‍රාස රසය ගැබ් වෙලා තියෙන කවි අනුප්‍රාස ශෛලියෙන් රචනා වෙලා තියෙන කවි විදියට හඳුන්වන්න පුළුවන් .

ඇකාර
ශුද්ධ සිංහලේ ගොඩක් වෙලාවට මේ ඇකාරය භාවිතා වීම වෙනවා . මේ ඇකාරය වැඩි වශයෙන් යොදලා රචනා කරලා තියෙන කවි වලට කියන්නේ ඇකාර ශෛලියේ කවි කියලා .


මේ ලිපියෙන් මම සෙත් කවි ලිවීම සම්බන්ධව කියන්න යන්නේ අක්ෂර තොරාගනීමේදී යෝනි ගැලපීම සහ නොගැළපීම වෙන්නේ කොහොමද කියන එක ගැන . ඊට කලින් අපි බලමු මොනවද සිංහල භාෂාවේ ඉෂ්ටානිෂ්ට අක්ෂර වෙන්නේ කියලා . මේ ඉෂ්ටානිෂ්ට අක්ෂර ගැන සිදත් සඟරාවේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා .

එ ක ය ම ර ජ අ ණ න ළ අං අවාකර
උ ප බ ග හා නර නමිතිරි වේ අමර
සුර'කර පෙරැ පසැ වැඩ දේ අවාකර
නසා සුභ සියල් නර'කුරුමැදුම් සර

මේ කවියේ කියවෙන හැටියට අක්ෂර වර්ග තුනක් සඳහන් වෙනවා . ඒ අක්ෂර වර්ග තුන තමයි

දිව්‍ය අක්ෂර
මනුෂ්‍ය අක්ෂර
අපාය අක්ෂර කියලා කියන්නේ .

ඉතින් මේ කවියේ සිදත් සඟරා කතුවරයා දක්වලා තියෙනවා මේ මේ කාණ්ඩ තුනට තියෙන අකුරු මොනවාද කියලා .

මනුෂ්‍ය අක්ෂර => උ ප බ ග හ
අපාය අක්ෂර => එ ක ය ම ර ජ අ ණ න ළ අං
දිව්‍ය අක්ෂර => මනුෂ්‍ය අක්ෂර සහ අපාය අක්ෂර හැර අනිත් සියලුම අකුරු දිවය අක්ෂර විදයට සලකනවා 

මේ අකුරු වලින් සෙත් කවි හදනකොට දිව්‍ය අක්ෂර වැඩිපුර එකතුවෙන විදියට කවි හදනවනම් තමයි කවියේ තියෙන අක්ෂර සිද්ධියේ බලවත් භාවය වැඩි වෙන්නේ . දිව්‍ය අක්ෂරයකින්ම පටන් ගන්න පුළුවන් නම් ඉතාම ශුභයි .

එහෙම බැරිනම් මනුෂ්‍ය අක්ෂර භාවිතා කරන්න පුළුවන් . යොදාගන්නේම නැතුව ඉන්න බැරිනම් අපයාක්ෂර යොදාගන්න පුළුවන් . ඒත් අපයාක්ෂර එකතු වෙනකොට අනිත් අක්ෂර වලින් තියෙන ශුභ තත්ත්වය අඩුවෙන්න පුළුවන් . ඒ නිසා අපයාක්ෂර අඩුවෙන්න යොදාගන්න පුළුවන් නම් තමයි හොඳ .

කවියක් ආරම්භ කරනකොට හොඳ අක්ෂරයක් භාවිතා කරනවා වගේම සෙත් කවියක් නම් ඒ කවියට අදාලා කෙනාගේ නම යොදලා තියෙනවනම් ඒ නම දෙපැත්තටත් දිව්‍ය අක්ෂර එන විදියට වචන ගළපන්න පුළුවන් නම් ඒ කවියේ ප්‍රභාලතාවය වැඩි වෙනවා කියලා සිදත් සඟරාවේ වැඩි දුරටත් සඳහන් වෙනවා .

දැන් අපි බලන්න යන්නේ අක්ෂර යෝනි ගැළපුම කොහොමද කරන්නේ කියලා බලන්න . මේ යෝනි ගැළපීම සහ නොගැළපීම ගැන සිදත් සඟරාවේ මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා .

අ ඹ ත ල ඈ ව ගැ වණ සිටි පිළිවෙලි නා
යොදා නකුල් මියු මහවත් වග සපු නා
තුරඟා බිලිපුටු සරඟුන් දැනැ කෙමෙනා
පෙරැ පසැ යොන් බඳු නම යොනට සොබනා

මේ කවියේ තේරුම වෙන්නේ අ ඹ ත ල ආදී වර්ගයේ වර්ණ හෙවත් අකුරු පිහිටි පිළිවෙලින් මුගටි මියු බකමූණු ව්‍යාග්‍ර උරගනාග අශ්ව කපුටු මුව යන මොවුන් අයත් යෝනි වලට අදාළ අකුරු ගළපලා අදාළ නමට අදාළ අකුරට අදාළ යෝනිය ගළපලා කවි පබඳීම කරන්න කියලා .

මේ කවියේ කියවෙන හැටියට මෙන්න මේවා තමයි කාව්‍ය කරණයේ අක්ෂර බෙදීම දක්වලා තියෙන යෝනි අට

නකුල => මුගටි
මියු => මී හරකා
මහවත් => බකමූණා
වග => ව්‍යාඝ්‍ර
සපුනා => උරගනාග
තුරඟ => අශ්ව
බිලිපුටු => කපුටු
සරඟ => මුව

මේ යෝනි වලට අයිති අකුරු මෙන්න මේ විදියට තමයි සිදත් සඟරා කතුවරයා සඳහන් කරලා තියෙන්නේ .

නකුල => මුගටි => අ ඹ ත ල
මියු => මී හරකා => ආ ඕ ද ව
මහවත් => බකමූණා => ඉ ක න ස
වග => ව්‍යාඝ්‍ර => ඊ ග ප හ
සපුනා => උරගනාග => උ ජ බ ළ
තුරඟ => අශ්ව => ඌ ට ම අං
බිලිපුටු => කපුටු => එ ඩ ය 
සරඟ => මුව => ඒ ණ ර 

මේ යෝනි එකිනෙකාට විරුද්ධව සතුරු වෙන ආකාරය අනුව තමයි එක එක යෝනි වලට අශුභ වෙන අක්ෂර මොනවද කියලා හොයාගන්නේ . මේ සතුරු වීම මෙන්න මේ ආකාරයට තමයි සිදු වෙන්නේ .

නකුල => සපුනා 
මියු => තුරඟ
මහවත් => බිලිපුටු
වග => සාරංග

ඒ කියන්නේ මුගටියාට උරග නාගයාත් , මී හරකාට අශ්වයාත් , බකමූණාට කපුටාත් , ව්‍යාඝ්‍රයාට මුවාත් සතුරු යෝනි වෙනවා කියන එක . මේ සතුරු වීම මෙන්න මේ විදියට චක්‍ර ගර්භයක දක්වලා තියෙනවා . ඒ චක්‍රයේ එක එක ගර්භයට ඉස්සරහින් තියෙන්නේ ඊට සතුරු ගර්භය . ඒ කියන්නේ එක යෝනියකට ගැළපෙන්නේ නැති අකුරු කවි ලියන්න භාවිතා කරන්න එපා කියලා .



අපි උදාහරණයක් විදියට සිදත් සඟරා සන්නයේ රැපියෙල් තෙන්නකෝන් මහත්මයා දක්වලා තියෙන උදාහරණයම අරගෙන බලමු . දැන් ඔන්න කවිය ලියන්න ඕන කෙනාගේ නම සිරිපති . මේ නමේ මුල අකුර සි . ඒ කියන්නේ ස අකුර තමයි මේ නමේ මුලට තියෙන අකුර වෙන්නේ . ඒ කියන්නේ ස අකුර අයත් වෙන්නේ බකමූණු යෝනියට .

මේ යෝනියට අයත් සතුරු යෝනිය වෙන්නේ බිලිපුටු හෙවත් කපුටු යෝනිය . මේ කපුටු යෝනියට අයත් අකුරු වෙන්නේ එ ඩ ය කියන අකුරු . මේ අකුරු කවියේ මුලටත්  නමේ මුලටත් යෙදෙන්න හොඳ නෑ . ඒ වගේම නමේ අන්තිමට තියෙන්නේ ති අකුර . ඒ කියන්නේ ත යන්න . ත යන්න නකුල යෝනියට අයත් නිසා නමේ අන්තිමට යොදන පළවෙනි වචනයේ මුල අකුර සපුනා යෝනියට අයත් නොවෙන අකුරක් වෙන්න ඕන .

_ _ _ _ එ   සිරිපති
_ _ __ ඩ   සිරිපති
_ _ _ _ ය  සිරිපති

සිරිපති උ_ _ _
සිරිපති ජ _ _ _
සිරිපති බ _ _ _
සිරිපති ළ _ _ _

මෙන්න මේ විදියට අකුරු යෙදීම අශුභ තත්ත්වයන් උදා කරනවා කියලා තමයි මේ උදාහරණයේ විස්තර කරලා තියෙන්නේ . ඉතින් මේ විදයට ඉෂ්ටානිෂ්ට භාවයන් බලලා අකුරු ගළපලා සෙත් කවි ලියන්න තමයි තියෙන්නේ . සෙත් කවි ලියන හැටි ගැන බලන්න අපි එහෙනම් ඊළඟ පෝස්ට් එකෙන් ආයෙත් හමුවෙමු .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

4 comments :

  1. ඉතාමත් පැහැදිලියි ඒ වගෙම සදැස් කවියට කරන ගෞරවයක් ඔබට ජය !

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.