Sunday, November 29, 2015

කොළඹ දුවන්නියේ , මම එනතුරු ඉස්ටේසමේම නැවතී ඉඳපන්














කොළඹ දුවන්නියේ
හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං
මටනම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං

හෙට යාළු රැළක් නුඹ එක්කල නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ ගස්ගල් හිටන් නුඹ අඳුනන්නේ
එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා

දිග පීළි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදින් කළුවරේම පාර දකින්නේ
මග නොදැන ගිහින් මමත් පීළි පනීද මන්ද
අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා

ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව









කොළඹ දුවන්නියේ
හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං
මටනම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං

මේ ගීතයෙන් කියවෙන්නේ කෝච්චියක ගමන් විලාසය සහ කෝච්චියක ජීවන වෘතාන්තයක් එක්ක ගැහැණු ළමයෙක්ගේ සිතුවිලි මාලාවක් ගැන . ගොඩක් වෙලාවට කෝච්චි වලට නම් වැටිලා තියෙන්නේ උඩරට මැණිකේ , රුහුණු කුමාරී , යාල් දේවි වගේ කාන්තා නම් . ඉතින් මේ ගීතයත් රචනා වෙලා තියෙන්නේ මේ වගේ ස්ත්‍රීත්වය ආරෝපණය වෙච්ච කෝච්චියක් එක්ක .

මට හිතෙන හැටියට මේ ගීතය රචනා වෙලා තියෙන්නේ ගමේම හැදිලා වැඩිලා අම්මා තාත්තා සහ පවුලේ අය එක්ක කාලය ගත කරපු ගැහැණු ළමයෙක් තනියමම ජීවිතය හොයාගෙන කොළඹ යන ගමනක් ගැන . හැබැයි ඉතින් තනියමම කිව්වට තනියමමත් නෙවෙයි , තනියට තව යාළුවො ටිකකුත් ඉන්නවා . ඒ යාළුවො තමයි කෝච්චියේ ගමන් කරන අනිත් මගීන් . ඒත් යන්නේ පවුලේ අය එක්ක නෙවෙයි  නිසා ටිකක් බයෙන් වගේ තමයි ඉන්නේ . මේ බයයි , කොළඹදී ඇතිවෙන ප්‍රශ්න වලට මුහුණු දෙන්නේ කොහොමද කියලා තියෙන සැකයයි එක්ක මේ ගැහැණු ළමයා කෝච්චියට ආමන්ත්‍රණය කරනවා කොළඹ දුවන්නියේ හෙට පාන්දර ඇවිත් මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං කියලා .

කෝච්චිය කවදත් කොළඹ යනවා ආයෙත් ගමට එනවා . ඒ නිසා කොළඹ කියන්නේ කොච්චියටනම් නුහුරු නුපුරුදු පරිසරයක් නෙවෙයි . ඒත් මේ ගෑණු ළමයට කොළඹ කියන්නේ කවදාවත් ගිහින් ඇවිදලා දැකලා නැති නුහුරු නුපුරුදු පරිසරයක් නිසා කෝච්චියට කියනවා මෙන්න මෙහෙම . කීවාම මොකද බං මටනම් බයත් හිතේ දැන් උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං .





හෙට යාළු රැළක් නුඹ එක්කල නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ ගස්ගල් හිටන් නුඹ අඳුනන්නේ
එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා

මෙතන හෙට යාළු රැලක් නුඹ එක්කල නඩේ ගැහෙන්නේ කියනවා . යාළු රැලක් කියලා කියන්නේ මේ ගැහැණු ළමයාගේ යාළුවො නෙවෙයි . කෝච්චියේ යාළුවො . ඒ තමයි කෝච්චියේ යන එන අනිත් මගීන් . මේ මගීනුත් හෙට උදේට කොළඹ යන්න ලැස්ති වෙනවලු . ඔය කොළඹ රටේ ගස් ගල් හිටන් නුඹ අඳුනන්නේ කියලා කියන එකෙන් ආයෙත් අපිට හිතාගන්න පුළුවන් කෝච්චිය කොළඹ පරිසරයට සමීප බව සහ ගැහැණු ළමයා කොළඹ පරිසරයට සමීප නැති බව .

එහෙ අලුත් යාළුවොත් මට මුණ ගැහෙයිද මන්දා , ඉතින් මේ ගෑණු ළමයා හිතනවා කොළඹදී තමන්ට අලුත් යාළුවො මුණගැහෙයි කියලා . ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා කියලා කියන වචන ටික නිසා කෝච්චියක පසුබිම තවත් වැඩි වෙලා තියෙනවා . කෝච්චි යනවා වගේ කියලා පොඩි කාලේ අපි කෝච්චි යන්නේ කුචු කුචු කිය කිය . ඒ යෙදුම මෙතනටත් හරිම අපූරුවට යොදාගෙන තියෙනවා .





දිග පීළි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදින් කළුවරේම පාර දකින්නේ
මග නොදැන ගිහින් මමත් පීළි පනීද මන්ද
අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා

කෝච්චිය යන්නේ රේල් පීල්ල උඩ . මේ රේල් පීල්ල උඩ කෝච්චිය වැටෙන්නේ නැතුව කොහොමද තියෙන්නේ කියන එක මේ ළමයට ප්‍රශ්නයක් . ඉතින් මේ ළමයා හිතනවා කොහොමද මෙච්චර ලොකු යකඩ ගොඩක් මේ සිහින් දිග පීලි උඩ වැටෙන්නේ නැතුව තියෙන්නේ කියලා .

කෝච්චිය සමහර වෙලාවට බිං ගෙවල් ඇතුලෙනුත් යනවා . ඒ යනකොට ඇතුලේ තියෙන්නේ තනිකරම කළුවරක් . ඒත් කෝච්චිය හරියටම පීල්ල උඩ යනවා . මේකත් මේ ළමයට ප්‍රශ්නයක් . මොකද කළුවරේ කොහොමද වැටෙන්නේ නැතුව යන්නේ කියලා . පස්සේ මේ ළමයා හිතනවා යන එන පාර දන්නේ නැතුව කොළඹ ගිහිල්ල මේ ළමයටත් මග වරදියිද කියලා . මග නොදැන ගිහින් මමත් පීළි පනීද මන්දා කියලා කියන්නේ ඒ නිසා .

අන්තිමටම මේ ළමයා තමන් විහින්ම හිතින් මවාගත්ත ලැජ්ජාවකින් ලැජ්ජාවට පත්වෙලා කියනවා , අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා කියලා . කෝච්චියේ නලාවත් හූ................... ගාලා නිකුත් වෙන නිසා මෙතනටත් හූ කියන්නෙපා කිව්වම ගීතයේ තියෙන කෝච්චි පසුබිමට  හොඳට ගැළපෙනවා .


මේ ගීතයේ තවත් තේරුමක් ඇති කියලා මට නිකමට හිතෙනවා . ඒක හැබැයි සංගීතය එක්ක එහෙම ගත්තම ගැළපේන්නෙත් නෑ . ඒත් මම හිතන්නේ මේ ගීතයේ යටි අදහසකුත් තියෙනවා කියලා . ඒ අදහසත් එක්ක මට මැවෙනවා මෙන්න මෙහෙම කතාවක් .




ගමක හැදුනු වැඩුණු දුප්පත් පවුලක ගැහැණු ළමයෙක් කොළඹ රස්සාවකට යනවා . අපි හිතමුකෝ ගාමන්ට් එකක රස්සාවකට . එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ෆැක්ටරියක රස්සාවකට කියලා . එහෙම යනකොට මේ ළමයට නුහුරු පරිසරයට යන්න මැලිකමක් ඇතිවෙනවා . ඒ මැලිකම නිසාම හිතේ ප්‍රශ්න ගොඩකුත් ඇතිවෙනවා . මේ ප්‍රශ්න ටික තමයි මේ ගීතයෙන් කියවෙන්නේ . ඒවගේම තමයි කොළඹ දුවන්නිය කියන්නේ මේ ළමයාව කොළඹ රැකියාවට එක්කගෙන යන කාන්තාව කියලා මට හිතෙනවා . කොළඹ දුවන්නියේ කියල කියන්නේ මේ කාන්තාව තමයි

කොළඹ දුවන්නියේ
හෙට පාන්දර ඇවිත්
මං එනතුරු ඉෂ්ටේෂමේම නැවතී ඉඳපං
කීවාම මොකද බං
මටනම් බයත් හිතේ දැන්
උඹ වගේ ගමන් ගිහින් නෑනෙ මං

ඉතින් මේ ගෑණු ළමයා කියනවා කොළඹ දුවන්නියට හෙට උදේම මමත් කොළඹ යන්න ලැස්ති වෙලා එනකල් ඉස්ටේෂමේම නැවතිලා ඉන්න කියලා . පස්සේ කියනවා මට කොළඹ යන්න බයත් හිතෙනවා , මොකද ඔයා වගේ මම ගමන් ගිහිල්ලා නැති නිසා කියලා . කීවාම මොකද බං කියන පදය එක්ක බැලුවම මේ ගීතයේ කතා නායිකාව ගමේ හැදුනු වැඩුණු කෙනෙක් කියලා පෙන්නන්න ඒ යෙදුම යොදලා තියෙනවා වෙන්න පුළුවන් .


හෙට යාළු රැළක් නුඹ එක්කල නඩේ ගැහෙන්නේ
ඔය කොළඹ රටේ ගස්ගල් හිටන් නුඹ අඳුනන්නේ
එහෙ අළුත් යාළුවොත් මට මුණගැහෙයිද මන්දා
ගං ගොඩේ ඉතින් මේ ගැන කුචු කුචු ගාන්නෙපා

හෙට යාළු රැළක් නුඹ එක්කල නඩේ ගැහෙන්නේ , ඒ කියන්නේ මේ කොළඹ දුවන්නිය එක්ක තවත් කීප දෙනෙක්ම කොළඹ යනවා කියන එක . ඔය කොළඹ රටේ ගස් ගල් හිටන් නුඹ අඳුරන්නේ කිව්වම අපිට කොළඹ දුවන්නියට කොච්චර පළපුරුද්දක් තියෙනවද කියලා හිතා ගන්න පුළුවන් . කොළඹ ඉන්නවා මේ කොළඹ දුවන්නිය එක්ක ගියපු තවත් යාළුවො . ඒ යාලුවොත් මේ ගෑණු ළමයට අඳුරගන්න පුළුවන් වෙයි . එයාලා වගේ හැඩගැහෙන්න පුළුවන් වෙයි . හැබැයි ඒවා ගැන ආයෙත් ගමට ආවම ගමේ අය එක්ක කුචු කුචු ගාලා ඕප දූප වගේ කියන්නෙපා කියලා මේ ළමයා කොළඹ දුවන්නියට කියනවා .


දිග පීළි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ
බිං ගෙවල් මැදින් කළුවරේම පාර දකින්නේ
මග නොදැන ගිහින් මමත් පීළි පනීද මන්ද
අනෙ එහෙම වුණොත් මේ මෝඩිට හූ කියන්නෙපා

දිග පීලි උඩින් කොහොමද උඹ නොවැටී යන්නේ . රේල් පාරේ පීලි දෙකක් තියෙනවා . මේ පීලි දෙක උඩ වැටෙන්නේ නැතුව යනවා . මට හිතෙනවා මේ පීලි දෙක තමයි හොඳ සහ නරක කියලා . හොඳ සහ නරක කියන දෙක අතරේ සමබරව මේ කොළඹ දුවන්නිය තමන්ගේ ගෞරවය නැතිකරගන්නේ නැතුව ගමන් කරන්නේ කොහොමද කියලා මේ ගැහැණු ළමයා ප්‍රශ්න කරනවා . බිං ගෙවල් මැදින් කලුවරේම පාර දකින්නේ . ඒ කියන්නේ තමන්ට කරදර කොච්චර ආවත් ඒවා විඳ දරාගෙන යන්නේ කොහොමද කියලා .




මග නොදැන ගිහින් මමත් පීලි පනියිද මන්දා . අනේ එහෙම උනොත් මේ මෝඩිට හූ කියන්නෙපා . ඒ කියන්නේ තවමත් මේ ළමයා කොළඹ ගැන දන්නේ නෑ . ඒ නිසා දන්නේ නැතුව කොළඹ ගිහින් අන්තිමට අනතුරක් වෙයිද දන්නේ නෑ , එහෙම උනොත් තමන්ට හූ කියන්න එපා කියලා මේ ළමයා කොළඹ දුවන්නියගෙන් ඉල්ලා හිටිනවා . මේ තේරුමත් ඉතින් ගීතයට එහෙන් මෙහෙන් සම්බන්ධ කරන්න පුළුවන් .

ගීතයේ සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ කෝච්චියක ඇහෙන හඬවල් උපයෝගී කරගෙන . මම හිතනවා මේ ගීතය සාර්ථක ගීතයක් වෙන්න සංගීතයත් බලපාන්න ඇති කියලා . එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා ! 

7 comments :

  1. කතන්දරේ ටිකක් කියවගෙන කියවගෙන එද්දි ටිකක් ලැජ්ජැයි ලැජ්ජයි වගේ දැනුනා.. හික්..
    මාත් ආසම කොරන සිංදුවක්.....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ් . ඒ මොකෝ ලැජ්ජි :p
      එල එල බොහොම ස්තූති g-)

      Delete
  2. නායකත්ව පුහුණුව ගැන විවේචන කරපු අයට තේරෙනව ඇති ඒකෙන් වෙලා තියෙන සේවය.

    ReplyDelete
    Replies
    1. නායකත්ව පුහුණුව කට්ටිය් විවේචනය කරාට මොකද ඒක නම් නියමයි ඔය ගෙවල වල රෙද්දක් වත් හෝදගන්න දන්නේ නැතුව කේක් ගෙඩි වගේ ඉන්න ළමයින්ට . සති තුනක් ඉන්නේපාය ඔක්කොම කරගෙන . අනික හමුදා මානසිකත්වයක් ඒකෙ තිබ්බේ නෑ . ඒකෙන් තනිකරම කරේ ළමයින්ගේ එකමුතුකම වැඩි කරන දේවල් . අනික එකම කැම්පස් එකේ ඉන්න අයව එතනදී අඳුරගන්න පුළුවන් උනා . පුහුණුව නිසා ගොඩක් වෙලාවට මේ වගේ මගුල් තුලාත් සෙට් උනා . හැබැයි කැම්පස් වල ඉන්න ඔටුවන්ට නම් මේ පුහුණුව මාරු පහරක් වෙලා තිබුණා . මොකද ඉතින් ගෑණු ළමයි ඔක්කොම පවුල් වෙලානේ කැම්පස් එන්නේ . හැක හැක හැක .

      බොහොම ස්තූති g-) g-)

      Delete
  3. ගී රස වින්දනය සහ එමගින් ජීවිත දර්ශනයක් දැකීම පිලිබඳ හොඳ අර්ථ විවරණයක්.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.