Friday, October 9, 2015

මිතුරු දම් විනා සුපෙම් හැඟුම් ඔබෙන් එපා !


පෙරවදන ඉවත් කරන ලදී !





සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්


ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර





ගී පද - කපිල කුමාර කාලිංග




සංගීතය - රෝහණ වීරසිංහ




මේ ගීතය අහන්න ලැබිලා ගොඩක් කල් වෙනවා . ලියන්න ඕන කියලාත් හිතාගෙන ගොඩක් කල් වෙනවා . ඒත් පූර්විකාව වැදගත් නිසා මම මේක ලියන්න කාලයක් ගත්තා . අද මේ ලියන්නේ ගොඩක් දුරට වඩාත්ම ගැළපෙනවා කියල හිතෙන දේ . ඒ නිසා වෙනත් අදහස් තියෙනවනම් ඔන්න කමෙන්ට් කරනවා හොඳයි .





සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

පෙම්වතාට සමු දීලා අලුත් ජීවිතයක් පටන් ගත්ත ප්‍රේමවන්තියක් මේ ගීතයේ ප්‍රධාන චරිතයට පණ දෙනවා කියලා මට හිතෙනවා . ප්‍රේමයෙන් පරාජයට පත් වෙච්ච ප්‍රේමවන්තයෙක් ඒ ප්‍රධාන චරිතය එක්ක මේ ගීතය පුරාවටම රංගනයක යෙදෙනවා . සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා . පෙම්වතිය දැන් පෙම්වතාව තමන්ගේ හිතෙන් අයින් කරලා ඉවරයි . ඒ නිසා මිත්‍රත්වයක් හැර ප්‍රේමාන්විත හැගීම් මේ පෙම්වතිය වෙනුවෙන් ඇතිකරගන්න එපා කියලා පෙම්වතිය පෙම්වතාට ආයාචනා කරනවා .

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ කියලා කියන්නේ ජීවන නෞකාවකට ආලෝකය සපයන්න පුළුවන් ප්‍රදීපාගාරයක් විදියට මේ ගැහැණු ළමයාව හඳුන්වන්න පුළුවන් නිසා . ඒ කියන්නේ තවම මෙයා වෙන කෙනෙකුගේ ප්‍රේමවන්තියක් වෙලා නෑ කියන එක . ඒත් ඒ ප්‍රේමවන්තයා ඔබ නෙවෙයි කියලාත් මේ ප්‍රේමවන්තිය කියා හිටිනවා . ඒ නෞකාවකි ඔබ ඈත සමුදුරේ කියලා . ප්‍රදීපාගාරයේ ආලෝකය ලැබෙන්නේ යම් තරමක දුරකට විතරයි .ඒත් මේ ප්‍රේමවන්ත්යාගේ ජීවන නෞකාව මේ ප්‍රදීපාගාරයෙන් ඈතට ගිහිල්ලා . ඒ නිසා ප්‍රේමාලෝකය ආයෙත් මේ නෞකාවට ලැබෙන්නේ නෑ .





තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් . දැන් ප්‍රේමවන්තයා තමන්ගේ හැගීම් කලඑළි දක්වනවා . මේ ප්‍රේමවන්තයාට පෙම්වතියගේ ප්‍රේමාලෝකය දැන් ලැබෙන්නේ නෑ . ඒ නිසා තරු එලිය , ඒ කියන්නේ වටෙන් පිටෙන් ලැබෙන පොඩි පොඩි ආලෝකයන් වලින් පාර හොයාගෙන තමයි ජීවන නෞකාව පැදගෙන යන්න වෙලා තියෙන්නේ . හරිහමන් මග පෙන්වීමක් නැති නිසා මේ රාත්‍රී ගමන රුදුරු බවක් අරගෙන තියෙනවා කියලා පෙම්වතා හිතනවා . කිසිදින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් . ඉතින් ප්‍රේමවන්තයා දන්නවා ආයේ කවදාවත් මේ පෙම්වතිය තමන්ට ලැබෙන්නේ නෑ කියලා . ඒ නිසා ප්‍රේමවන්තයා හිතන්නේ මේ පෙම් සිහිනය මේ විදියටම මිය යන්න ඕන කියලා .







දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

ආදරයේ තියෙන එකම සතුට වෙන්නේ දුක කියලා ඇලපාත මුදලිතුමා ගජමන් නෝනාට කියලා තියෙනවා . ඒ වගේ තමයි ප්‍රේමය ගිලිහිලා අවසානයේ ඒ සුන්දර අත්දැකීම් මතක් කර කර හිතෙන් දුක් වෙන එකෙත් පොඩි සතුටක් තියෙනවා කියන්නේ . විප්‍රලම්භ ශ්රුන්ගාරය කියන්නේ මෙන්න මේ හැගීමට . දිවයුරු සැඟවෙන මොහොතක තනි වී ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන් . හවස් වෙලාවක තනිවෙලා තමන්ගේ ප්‍රේමාන්විත අත්දැකීම් ගැන මතක් කරලා ඉකිබිඳින හිතක් තමයි දැන් මේ ප්‍රේමවන්තියට තියෙන්නේ . මොකද තවම එයාට පෙම්වතෙක් ලබිලාවත් ආයේ පෙම්වතියක් වෙන්න හිත හදාගෙනවත් නැති නිසා . ඉතින් එයා කලින් ආදරය හිතෙන් මවාගෙන හිතෙන් විතරක් ප්‍රේම කරනවා .

ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින් . ප්‍රථම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය කවදාවත ආයේ දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරාට හිත යටින් කවුරුත් කැමතියි පොඩ්ඩක් එයාව දකිනවට . ඒත් ඒ දුරින් මිස ළඟින් නෙවෙයි . ඉතින් මේ ප්‍රේමවන්තියත් කැමතියි තමන්ගේ පරණ ප්‍රේමවත්නයා ඈතින් හරි දකින්න . මේ හැගීම වටහා ගැනීම තමයි හරිම වැදගත් දෙයක් විදියට මේ ගීතයේ මම දකින්නේ . එතකොට තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාව අවබෝධ කරගන්න පුළුවන් වෙයි . ඊට පස්සේ ප්‍රශ්න ඇතිවීම වළක්වා ගන්න පුළුවන් වෙයි .

මේ ගීතයේ මුහුදක පසුබිමක් ඇතිකරලා තියෙනවා . ඒ වයලීනය බේස් ගිටාර් එක සහ බටනලාව උපයෝගී කරගෙන . ඊට අමතරව මේ ගීතයේ අනිත් සංගීත කාණ්ඩ ගැන වයලීනොගේ වැඩි පැහැදීමක් නැහැ . ඒ නිසා සංගීතය ගැන වැඩි යමක් කියන්නේ නෑ . එහෙනම් ආයෙත් අලුත් ගීතයකින් හමුවෙමු .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

පලි : මේ ගීතය ගැන ලියන්න කියලා දැනට දවස් දෙක තුනකට කාලින මට මතක් කලේ අවංක ආර්යන් කියන මල්ලි . ඒ මල්ලි ලියපු මෙන්න මේ ලිපියටත් මේ ගීතය පාදක කරගන්න පුළුවන් කියලා මම හිතනවා .
තවත් එක දවසක්...

17 comments :

  1. ගීතයක් ගැන මෙච්චර ගැඹුරින් කරපු විස්තරයක් කියෙව්වමයි. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති g-) :)

      Delete
  2. පට්ට පට පට සහෝදරයා....... සුපිරි........ මං ආසම සිංදුවක්......... විශිෂ්ටයි............

    ReplyDelete
    Replies
    1. නිකමට වගේ කියන්නෙ. ලක්ෂ්මන් විජේසේකරගෙ පොටෝ එකකුත් දැම්මොත් නරකද? ඒක නිකං අඩුවක් වගේ...........

      Delete
    2. වෙලාවට උඹ මතක් කරේ මල්ලි :p
      එල එල බොහොම ස්තූති g-) g-)

      Delete
  3. මමත් දැනට ඔය "ප්‍රදීපාගාරයක"ආලොකය යටතේ ඉන්නේ.අපි දන්නවා අපිට ඈතට යන්න වෙනවා කියලා.ඉතිං අපි හිතන්නෙත් එහෙමයි."සුපෙම් හැගුම් ඔබෙන් එපා,මිතුරුදම් විනා"

    ReplyDelete
    Replies
    1. ආලෝකය ලැබෙන කාලේ ආලෝකය ලැබෙනවා කියලා දැනෙන්නේ නෑ . ඒත් අඳුරු උනාම තමයි ආලෝකයේ වටිනාකම දැනෙන්නේ . ඒ නිසා ඈතට යන්න තියෙන ඉඩ අවම කරගන්න බලන්න :)

      Delete
  4. මේ පැත්තට අදයි සේන්දු වුනේ.
    මම ආසකරන ගීතයක් මේක.මේ පෝස්ට් එකේ අවසානේදි සිංදුව බලනකොටත් ඒ සිංදුව යාන්තමට ඇහෙනව වගේ දැනෙනවා.
    අලුත් පෝස්ට් එකක් දැම්ම ගමන් මේ පැත්තට එන්නම්.ඔන්න බිලොග් රෝලටත් දාගත්තා.

    ReplyDelete
    Replies
    1. මනෝමන්දිරේ නම් මම කලින් කියවලා තියෙනවා . එල එල . බොහොම ස්තූති g-) g-)

      Delete
  5. වයාගෙ පෝස්ට් නං පෝස්ට්.. නැද්ද වයෝ.. යසනාත් මහත්මය ගෙ බ්ලොගයි උඹෙ එකයි තරං කියවපු එක බ්ලොගක් නැතුවැති..
    සිංග්ලිෂ්ද බං කොටන්නෙ මෙන්න මේක හින්ද ඇහුවෙ
    ශ්රුන්ගාරය//// වචනෙ වැරැද්දක් නැතත් මහ කුජීත ගතියක් තියෙයි බං...
    මටත් ඔය සිංදුව නොකියා කියපු කෙනෙක් ඉන්නව බොලං.. හැක් මට උන්දැව මතක් වුනා...
    ඒක නෙවී ඇයි අර හෙඩිම පටලවල දාල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. සිංග්ලිෂ් තමා කොටන්නේ . ඒත් මේ ගූගල් එකේ මේ වචනය ගහන්න බැහැනේ . ඒ නිසා එන එක දැම්මා :p
      අහ්හ් . එහෙම කිව්ව එක්කෙනෙක් ඉන්නවද . සන්තෝෂයි :p :p හිහ හිහ හිහ හිහ හිහ
      හෙඩිම පටලවලා දැම්මා . වෙනසක් තියෙන්නත් එපාය .
      බොහොම ස්තූති g-)

      Delete
  6. ගීතය ගැන මමත් අහපු සාධාරණම විචාරය කියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති මෙයා g-) g-) g-)

      Delete
  7. එල ද බ්‍රා
    ගිතය ගැන මේ වගේ කතාවක් විචාරයක් ලිව්වාම ඒක මතක හිටිනවා..

    ReplyDelete
    Replies
    1. එල එල බ්‍රා :p :p :p
      බොහොම ස්තූති g-)

      Delete
  8. සින්දුව නම් මමත් හරිම අාසයි.. කතාවත් සුපිරියි...

    ඒක නෙමෙයි ලක්ෂ දෙකේ පාටිය දාමුද????

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :)
      ඔව් ඔව් පාටිය දැන් ඕගනයිස් කරගෙන එන්නේ .

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.