Thursday, October 15, 2015

ක්ලැසිකල් පිං මොඩන් පිං සහ හරි හම්බ කරපු දේවල්








මේ ලිපිය ලියන්න කලින් ලියනවද නැද්ද ලියනවද නැද්ද කියලා හිත හිත හිටියා ටික දවසක් . මොකද මේ ලියන දේවල් එක අතකට සදාචාරාත්මකව ලියන්න බෞද්ධ අපිට අයිතියක් නෑ . ඒත් බලාගෙන ඉන්න බැරිම තැන තමයි මේක ලියන්න හිතුවේ . මම මේ ලියන දේවල් වලින් ආගමට හානියක් වෙනවනම් සමාව ඉල්ලා හිටිනවා . ඒවගේම ආගම ගැන වැරදි ආකල්පයක් ඇතිකරගන්න එපා කියලාත් ඉල්ලා හිටිනවා .

වයලීනොගේ ආච්චි අම්මා අභාවප්‍රාප්ත වෙලා අවුරුදු හයකුත් උනා . ඒත් තාමත් ආච්චි අම්මා ගැන ලියලා ඉවර කරන්න බැරි උනා . අද ලිපියටත් වැඩිපුරම දායක වෙන්නේ ආච්චි අම්මා ඉතුරු කරලා ගියපු සටහන් කීපයක් .

ආච්චි අම්මා නැති උනාට පස්සේ ආච්චි අම්මාගේ දේවල් කවුරුවත් ඇල්ලුවේ නෑ . ඇත්තම කියනවනම් අපේ අම්මලා උනත් ආච්චි අම්මට තිබ්බ ගෞරවය නිසා ආච්චි අම්මගේ කිසිම දෙයක් ගත්තේ නෑ . ඒත් වයලීනෝ එහෙම නෙවෙයි .

ආච්චි අම්මගේ බණපොතේ ඉඳලා කරාබු දෙක , මුද්ද පවා ගත්තා . මොකද මේවා අස්ථාවර තත්ත්වයක තිබ්බොත් මේවායේ අයිතිය ගැන ප්‍රශ්න මතුවෙනවනේ . හැක හැක හැක . ආච්චිඅම්මගේ ගොඩක් දේවල් ආච්චි අම්මා ඉන්න කාලේ උනත් තිබ්බේ මගේ කාමරේ . ආච්චි අම්මගේ පොත් එහෙම දාලා තිබ්බ පෙට්ටගම , තව ට්‍රන්ක පෙට්ටි කීපයක් තිබ්බේ මගේ කාමරේ . තව ආච්චි අම්මා ළඟ තියාගෙන හිටපු පනාව කන්නාඩිය ඒවා මේවා දාලා තියාගත්ත බෑග් එකත් ආච්චි අම්මා නැති උනාට පස්සේ එහෙමම ගෙනල්ලා මගේ අල්මාරියට දැම්මා .

ඉතින් මේවාට පස්සේ මොකද උනේ කියලා අම්මලා කවදාවත මගෙන් ඇහුවේ නෑ . මොකද මේවා ගැන එයාලට වඩා විස්තර දන්නේ මම නිසා . ආච්චි අම්මා ජීවතුන් අතර ඉන්න කාලේ හැම දේම ගැන පිළිවෙලට මට විස්තර කියලා තිබුණා . මේ දේවල් මෙහෙම වෙන්න ඕන . මේ පොත අරයට දෙන්න . මේ පොත් පරිස්සම් කරලා තියාගන්න වගේ දේවල් . ඉතින් උසස්පෙළ ලියලා ගෙදර ඉන්න කාලේ ගෙදර කවුරුවත් නැති වෙලාවට , ආච්චි අම්මාගේ බෑග් පෙට්ටගම් අවුස්සලා බලලා මොනවද තියෙන්නේ කියලා වයලීනෝ මහතා පරීක්ෂා කරලා බැලුවා .

බණ පොත් ගොඩක් තිබුණා . වඳින වෙලාවට කියන කවි ගාථා ලියපු කොළ මිටියකුත් තිබුණා . මේ අතරේ රෙදි , මහපු රෙදි , මහපු නැති රෙදි , එහෙමත් තිබුණා . රෙදිනම් අපි වයසක අයට දුන්නා . ආච්චි අම්මා වඳින වෙලාවට කියවපු කොළ ආයෙත් ප්‍රින්ට් කරලා පෝය දවසට පන්සලේ සිල් ගන්න අයට අපි බෙදලා දුන්නා .

ආච්චි අම්මාගාව තිබුණා තව පොඩි ලී පෙට්ටියක් . වෙලාවක මම ඒකෙ ෆොටෝ කෑල්ලක් දාන්නම්කො . මෙන්න මේ ලී පෙට්ටිය එයා කාටවත්ම අල්ලන්න දුන්නේ නෑ . ඒකෙ තමයි පරණ දේවල් ගොඩක් දාලා තිබුණේ . පස්සේ කාලෙක මට ඒ පෙට්ටිය දීලා කිව්වා මේකේ තියෙන්නේ මෙන්න මේවා , ඒවා කවදා හරි පන්සලකට පූජා කරන්න කියල . ඉතින් ආච්චි අම්මා නැති උනාට පස්සේ මම ඒ පෙට්ටිය ඇරලා බැලුවා .

ඒකෙ තිබ්බා බැංකු පොත් දෙකක් . ආච්චිඅම්මා තමන්ගේ මරණෙට වියදමට ගන්න සල්ලි දාලා තිබුණා බැංකු පොත් දෙකක . එකක් අම්මගේ නමට , අනික පුංචිගේ නමට . තව තිබුණා මැණික් ගල් දාපු බෝතලයක් . තව පොඩි පිත්තල පෙට්ටියක තිබුණා ගජමදාරා සුර හතර . ඊට වඩා වැදගත් තවත් ඇලුමිනියම් බෝතල් දෙකක් තිබුණ .

මම ඉතින් මේ බෝතල් දෙක ඇරලා බැලුවා . එකක තිබ්බේ තඹ කාසි ගොඩක් . අනිකේ තිබ්බේ රිදී කාසි ගොඩක් . මේ රිදී කාසි තිබ්බ බෝතලයේ පොඩියට නවලා ගුලි කරලා දාලා , පොඩි සටහනක් තිබුණා . මම ඒක සීරුවට අරගෙන කියවලා බැලුවා .

මේ කාසි මම එකතු කලේ බෝධියක් හදවන්න . මම නැති කාලෙක මේ කාසි උණු කරවලා බෝ පැළයක් හදවලා මගේ රත්තරන් සුරය උණු කරවලා බුදු පිළිමයක් හදවලා මාතර ජයසුමනාරාමයට පූජා කරන්න . ලොකු හාමුදුරුවෝත් , නාරද හාමුදුරුවෝත් ගෞරවයෙන් සිහිපත් කල වග මතක් කරන්න . මම එකතුකළ මැණික් ගල් වලින් සෑහෙන මුදලක් ඇත්නම් ඒවා ජයසුමනාරාමයේ චෛත්‍ය අලුත් වැඩියා කරන්න පූජා කරන්න .

මීට - - - - - -  .

මේක කියවපු වෙලාවේ දැනුන හැගීම වචන වලින් කියන්න අමාරුයි . පස්සේ මම රත්තරන් සුරයත් අරගෙන බැලුවා මම . ඒක කැරට් 24 රත්තරන් වලින් හදවපු අවුරුදු සීයක් විතර පරණ එකක් . ඉතින් මේ කාසි සහ සුරය තවමත් මම පරිස්සම් කරගෙන ඉන්නවා වෙලාව ලැබුණම මේ දේවල් කරන්න . ඒත් ආච්චි අම්මා ඒ සටහනේ කියලා තිබ්බ මාතර ජයසුමනාරාමයේ වැඩ හිටපු තාරාපේරියේ සෝමාලෝකාභිධාන නායක හාමුදුරුවෝත් , නාරද හාමුදුරුවෝත් දෙන්නම අද ජීවතුන් අතර නැහැ .

වයලීනෝ වයලීනි මුණගැහිලා එන්න යන වෙලාවට මේ පන්සල හැමදාම පහු කරගෙන යනවා . ආච්චිඅම්මා ආපු ගියපු පාර දැක්කම මේ දේවල් ආයෙ ආයෙත් මතක් වෙනවා . ආච්චි අම්මාගේ අවසාන ඉල්ලීම් වලින් එකක් උනේ අපි දැන් ඉන්න ගෙදර මාස තුනකට සඟසතු කරලා හාමුදුරු කෙනෙක් වස් වසන්න පිළියෙළ කරලා දෙන්න කියන එක . ඒ කාලේ ඇතුලත ගෙදර අය ගෙදරින් පිට වෙලා වෙනත් තැනක ඉන්න ඕන . ඒ අතරේ අර හාමුදුරුවන්ට සිවු පසයෙන් ඇප උපස්ථාන කරන්න ඕන .

ආච්චි අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ පන්සලට දාන දීපු තරම් මෙච්චරයි කියන්න බෑ . හැම මාසෙම වගේ පන්සලට දානයක් දෙනවා . හාමුදුරුවරු ලෙඩ උනාම කැඳ හදලා යවනවා . ගෙදර වත්තේ කෙසෙල් කැන් හැදුනම ඒවායෙන් පළවෙනි ඇවරි දෙක පන්සලට යවනවා . ආච්චි අම්මා ඉස්සර ඉඳලා කරපු පින්කමක් තමයි රම්මල්කන්ද ආරණ්‍ය සේනාසනයට වාර්ෂිකව දානයක් දීපු එක . අවුරුද්ද පුරාවටම සල්ලි එකතු කරලා වාහනයක් හයර් කරගෙන හාල් පොල් අරවා මේවා ඔක්කොම පටවාගෙන , මදි හරියට නෑදෑ පිරිවරත් එකතුකරගෙන ගිහින් දානය දීලා එනවා .

සිරීපාදේ යනවා වගේලු ඒ කාලේ මේ ආරන්නියට යනකොට . කැලෑ පාරක් තමයි ඉස්සර එහෙ තිබිලා තියෙන්නේ . දැන් නම් ඉතින් අලුත් පාරවල් හදලා තියෙනවා . ඉතින් නෑදෑයෝ එක්ක ඕන කරන ඒවා ගෝනි වල පුරවාගෙන කර තියාගෙනලු යන්නේ . මේ ආරන්නියට ආච්චි අම්මා තමන්ගේ අල්මාරියයි පබලියමයි පූජා කළා . පස්සේ ආච්චි අම්මට ඇඟපත වාරු නැතිවෙනකොට මේ දාන දීම නැවතුනා . පස්සේ අපේ අම්මයි පුංචියි පටන් ගත්තා දාන දෙන්න . දැන් ඉතින් පුළුවන් හැම වෙලාවේම පන්සලට දානේ ගිහින් දෙනවා . තවත් පිංකම් වලට සහභාගී වෙනවා . ඒත් ආච්චි අම්මාගේ රෙකොඩ්ස් සම කරන්න එයාලට තව කාලයක් යයි .

ඉතින් මම මේ කියාගෙන ආවේ පරණ උදවිය පිං කරපු හැටි ගැන මම දන්නා දේවල් . මේ පිං කිරීම ගැන විමාන වත්ථු පේථ වත්ථු කියන පොතේ හරිම ලස්සනට සඳහන් වෙනවා . පොත කියවලා නැත්නම් ඔයාලා කියවලා බලන්න . හරිම සරළ විදියේ පිං කරලා ඒවායේ හොඳ ප්‍රතිපල ලැබුණේ කොහොමද කියලා ඒ පොතේ සදහන් වෙලා තියෙනවා .





මම මේ දේවල් ගැන කියන්න හාමුදුරුවරු කියන වචනයට වඩා පාවිච්චි කරන්න කැමතියි චීවර ධාරියෝ කියලා . මෙයාලා අද ලේසියෙන් දානේ ගෙදරකට එනවද ? . දානෙකට ආරාධනා කරන්න ගියොත් අර කෑම ඕන මේ කෑම ඕන ඒවා මේවා කතා ගොඩයි . අපේ ආච්චි අම්මාගේ නංගි නැතිවෙලා හත් දවසේ දානෙට ආරාධනා කරා කොළඹ පැත්තේ එක්තරා පන්සලකට . ඒ එන අයට කුෂන් කරපු පුටු ඕන කිව්වා . චිකන් ඕන කිව්වා . ඉතින් හදිස්සියෙවත් පැල්පතක ජීවත් වෙන කෙනෙක් මේ පන්සලට දානෙට ආරාධනා කරානම් මොකද වෙන්නේ ?

තව එක දවසක් මම මළගෙදරකට සහභාගී වෙලා ඔන්න දැන් මිනිය ගෙයින් එලියට අරගෙන පාන්සකූල දුන්නා . හත් දවසේ දානෙට ආරාධනා කරාම ඒ චීවර ධාරියෝ කියපි මහත්තයා හත් දවසේ දාන වලට අපි යන්නේ නෑ . කිලි නෙ ගෙදර . තුන්මාසෙට එන්නම් . හත් දවසේ දානේ පන්සලට ගෙනත් දෙන්න කියලා .

අද කාලේ දාන දෙනකොට මාමයිට් , සුප් , තැඹිලි , දෙන්න ඕන බත් කන්න කලින් . ඊට පස්සේ අතුරුපසට පළතුරු , කැවිලි , අයිස්ක්‍රීම් , වටලප්පන් , සැලඩ් . තව ඊට පස්සේ පන්සලට යනකොට අරගෙන යන්න ගෙඩි පිටින් පළතුරුත් කවර වලට දාලා දෙන්න ඕන . සමහර අය රතු බත් කන්නේ නෑ , සමහර ය සුදු බත් කන්නේ නෑ . සමහර අයට සම්බා කන්න බෑ . එක එක අවුල් ගොඩයි . මේකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු භික්ෂූ චර්යාව ?

සමහර හාමුදුරුවරුන්ට පොරවන්න තායිලන්තෙන් ගෙනාව සිවුරු ඕන . සමහර අය තැඹිලි පාට ඒවා විතරයි . සමහර අය මෙරූන් පාට ඒවා විතරයි . සමහර අය රෙද්දේ ගණකම කොහොමද බලනවා .

අද කාලේ කටින පිංකම් වෙන හැටි බලන්න . කටින චීවරය ඉස්සර කාලේ ගම වටේම අරගෙන ගිහින් හැම කෙනෙක්ටම අතගස්වලා තමයි අළුයම් කාලයේ පූජා කරන්නේ . ඒත් අද එහෙම නෙවෙයි . අද කරන්නේ දවල්ට කටින පෙරහැර යන එක . කටින චීවරය ලොකු ලොරියක තමයි අරගෙන යන්නේ . ඉතින් අතගහන්න වෙන්නේ නෑ . බලන්න විතරයි පුළුවන් . ඇයි ඕක ගෙනියන එකාට ඕක ඔලුව උඩ තියාගෙන ගියාම මක් වෙනවද ? . අනික ඉස්සර කාලේ කටින චීවරය මෝල් ගහක ඔතලා දෙන්නෙක් කර තියාගෙන තමයි ගම වටේ අරගෙන ගියේ .

මේවා නිසා අද වෙනකොට සල්ලි නැති දුප්පත් මිනිස්සු පිනක් දහමක් කරගන්න විදියක් නැතිව අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා . ඔය චීවරධාරියෝ ඉල්ලන ඉල්ලන ඒවා දෙන්න ඒ මිනිස්සුන්ට පුළුවන් කමක් නැති නිසා කරබාගෙන ඉන්නවා . ගොඩක් වෙලාවට බෞද්ධ අය වෙනත් ආගම් වලට හැරෙන්න මේ හේතූන් විශේෂයෙන්ම බලපාලා තියෙනවා .

කටින පිංකම කියන්නේ අටමහා කුසල් වලින් එකක් . මේකක් කරගන්න පෙරුම් පුරපු සමහර අය අද වෙනකොට ඒ අදහස අත්හැරලා දාලා ඉන්නවා . මොකද කටිනයක් කරන්න ඕන කියලා පන්සලට කිව්වම පන්සලේ ඉන්න අය කියන්නේ ලක්ෂ පහ හයක් වියදම් කරන්න වෙනවා කියලා . කටින පෙරහරට අලි ඇත්තු ඕනළු , උඩින් මල් දාන්න ඕනලු . පන්සල වැහෙන්න බල්බ් වැල් දාන්න ඕනලු. ශබ්ධ විකාශන නැතුව හාමුදුරුවරු පිරිත් කියන්නේ නැතිලු , පිරිත් කියන්න පිරිත් විශාරදලා වෙනම ගෙන්නන්න ඕනලු . ඒවා මේවා ගොඩයි ඉතින් .

පිරිත් කිව්වම මතක් උනේ . දවසක් ඔන්න අපේ පැත්තේ ගෙදරක පිරිතක් කියන්න ලැස්ති වෙලා . පන්සලට අතේ දුර . ඒත් ඒ පන්සලේ ඉන්න අයට පයින් එන්න බෑ කියලා වාහනයක් එවන්න කිව්වලු . ත්‍රීවීල් වල එන්න බෑ කියලා වෑන් එකක් හරි කාර් එකක් හරි එවන්න කිව්වලු .

මේ ඔක්කොම නිසා දැන් පිං කිරීමත් මොඩන් වෙලා . දැන් ගෑණු උදවිය තමා පන්සල් රන් කරන්නේ . ඒකෙ එක අතකට හොඳකුත් තියෙනවා . මොකද පන්සල් වලට යන පිරිමි පක්ෂය දැන් කාලේ අඩු නිසා . ඒ නිසාම පන්සල්වල වැඩි හරියක් කාන්තා පරමාධිපත්‍ය තහවුරු වෙලා තියෙන්නේ . මේ නිසා අද කාලේ පන්සල් වල බෝධි පූජා එහෙම කරනවානම් හාමුදුරුවන්ට කලින් පන්සල රන් කරන ගෑණු උන්දලට මතක් කරලා ඉන්න ඕන . නැත්නම් දෙවියෝ උදහස් උනාට වඩා හපන් මේ ගෑණු උදහස් උනාම .

මේ උදවිය දැන් කාලේ ගොඩක්ම මොඩන් පිංකම් සංවිධානය කරනවා . ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ගාථා අහන්නේ නැතුව ටිකක් ඇදලා පද්දලා ලස්සනට තාලෙට කවි ගාථා කියන හාමුදුරුවරු හොයාගෙන යනවා . ඉතින් ගමේ පන්සලේ හාමුදුරුවන්ට වෙන්නේ වවාගෙන උයාගෙන කන්න වෙන්නැති . මේ උදවියට තේරෙන්නේ නැද්ද මන්දා කොයි පන්සලෙත් ඉන්නේ එකම බුදුහාමුදුරුවෝ කියලා .

බුදු හාමුදුරුවෝ කිව්වම තව කාරනාව මතක් උනා . රත්නපුරේ ඉඳලා කොළඹ යනකොට රත්නපුරට කිට්ටුව තියෙනවා අලුත් පන්සලක් . මේක අලුත්ද නැත්ද කියලා හරියටම මීටර් නෑ . ඒත් පන්සල අලුත් පාටයි . මේ පන්සලේ තියෙනවා පිට රටකින් වැඩම කරවපු බුදු පිළිමයක් . මේ බුදු පිළිමය ගාවින් බස් එක යනකොට මිනිස්සු නැගිටිනවා . කමක් නෑ . ගෞරවය නිසා වෙන්න ඇතිනේ එහෙම නැගිටින්නේ . ඒත් ඊට එහා පැත්තේ තියෙනවා ඉතාම විශාල සිමෙන්ති බුදු පිළිමයක් . මිනිස්සු කවුරුවත් ඒක දැක්කම නැගිටින්නේ නෑ . ඇයි ඒ ?
මමනම් හිතන්නේ මිනිස්සුන්ගේ මෝඩ ශ්‍රද්දාව තමයි මේ කියලා .

කවුරුත් රැල්ලට අහුවෙලා එක එක කාලෙට එන බෞද්ධ සම්ප්‍රදායන් වැළඳ ගන්නවා . ඒත් මේ කාලය ඇතුලත මේ කිසි කෙනෙක් බණ දහම් ඉගෙනගන්න පෙළඹිලා නෑ . තාලෙට කවි ගාථා කිව්වට අර්ථය ඔලුවට අරගෙන නෑ . පන්සල් වල ඉන්න චීවර ධාරීන් පවා මේවා වැරදියට ඔලුවට අරගෙන ඉන්න නිසා මේවා ගැන එක අතකට කතා කරලා වැඩක් නෑ . පන්සල් වල ඉන්න අධිපති ගෑණුන් නිසාම තමයි වයලීනෝ සමන් දේවාලයට කිට්ටු උනේ . පන්සලට ගියාම ඒ ඒ අයගේ විකාර බලනවට වඩා දේවාලෙට ගිහිල්ලා දේවාලේ තියෙන බුදු පිළිමයට බෝධියට වැඳලා දෙවියන්ට පිං දීලා එනකොට හිතට හොඳයි . මිනිස්සු පන්සලට එන්නේ හිත එකඟ කරගන්න හිත නිදහස් කරගන්න . ඒත් වෙන්නේ නොකළ පවු පවා කරගෙන යන්න වෙන එක .

මේ ලිපිය ලියන්න හේතු උනේ මුහුණු පොතේ මම දැක්ක ෆොටෝ එකක් . හාමුදුරුකෙනෙක් this is my new temple කියලා අලුත් පන්සලක ෆොටෝ එකක් දාලා තිබුණා . පන්සල හොඳයි . අලුත් . ලස්සනයි . ඒත් ඒ පන්සල අනිත්‍ය බව කියලා දෙන ආගමික පසුබිමක් තියෙන එකක් නෙවෙයි . පේරාදෙණියේ මල් වත්ත වගේ ලස්සන කරලා තිබුණා . හාමුදුරුවනේ , ඔය හාමුදුරුවෝ මේක කියවනවානම් පන්සලේ පුස්තකාලේ ඇති විශුද්ධි මාර්ගය කියලා පොතක් . අන්න ඒක හොඳට කියවලා බලන්න තමන් ඉන්නේ කොයි තැනද කියල.

මේ ලිපියට අද මම ගාව ගන්න ගීතයේ තේරුම නම් විග්‍රහ කරන්න ඕන නෑ . ඇහුවම ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් . ඒ නිසා මම ඔන්න ගීතය සඳහන් කරලා මේ ලිපිය මෙතනින් නවත්වනවා .






බුදුහාමුදුරුවනේ , ඔබ වහන්සේ කරපු ලොකුම හොඳ සහ ලොකුම වැරැද්ද තමයි ඔබවහන්සේගේ ආගම අදහන අයට අසීමිත නිදහසක් ලබා දීම .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

20 comments :

  1. //බුදුහාමුදුරුවනේ , ඔබ වහන්සේ කරපු ලොකුම හොඳ සහ ලොකුම වැරැද්ද තමයි ඔබවහන්සේගේ ආගම අදහන අයට අසීමිත නිදහසක් ලබා දීම .//

    මේක තමා හේතුව. මෙව්වා ගැන කතා කරල වැඩක් නෑ අයියා. කියන එකා නරක් වෙනව විතරයි.............

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් . කියන එකා නරක උනත් කමක් නා කියලා ඔන්නොහෙ මම ලියලා දැම්ම . කාලෙක ඉඳලා තියෙන කේන්තියක් මේක .
      එල එල බොහොම ස්තූති g-)

      Delete
  2. නීති අවශ්‍ය වෙන්නේ ආගමකට. බුදුරජාණන්වහන්සේ ගේ ඉගැන්වීම් පිළිගන්නා අය පෙන්න දුන් මග යන්නට තමන් ඒ පිළිබඳව පැහැදීමක් අවශ්‍ය වෙනවා. පැහැදුණු කෙනෙකුට අළුතින් නීති දමන්න වුවමනා නැහැ.

    දානය ගැන කියනවානම් බොහෝ දේවල් කියන්න පුළුවන්. මෙතනට අදාල වෙන්නේ දානය දෙන්න සිල්වත් අය සොයා ගන්න බැරිනම්, දුප්පත් අයට කන්න දෙන්න ඒ මුදල් පාවිච්චි කරන්න කියල තමයි. අනික දීම කියන එක කෑමට සීමා වෙන්නේ නැතිනිසා දුප්පතුන්ට පිහිට වීම තමයි හොඳම.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත . මම කියන්නේ බුදු දහම නැති වෙන එක ගැන . වෙනත් ආගම් වල වගේ බුදුදහමේත් ටිකක් තද නීති තිබ්බනම් අද බුදුදහමට මේ වින්නැහිය වෙන්නේ නෑ කියලා හිතෙනවා . ඒකයි එහෙම කිව්වේ .
      බොහොම ස්තූති g-) :)

      Delete
  3. ..//බුදුහාමුදුරුවනේ , ඔබ වහන්සේ කරපු ලොකුම හොඳ සහ ලොකුම වැරැද්ද තමයි ඔබවහන්සේගේ ආගම අදහන අයට අසීමිත නිදහසක් ලබා දීම//..

    බෞද්ධ දර්ශණය අනුව නම් බුදුන් වහන්සේ නිදහස නෙවෙයි ලබා දීලා තියෙන්නේ.අන්ධානුකරනයෙන් මිදිලා,භක්තියෙන් මිදිලා,විමර්ශනසීලි බවින් අවබෝධයෙන් කටයුතු කරන්න කියලයි උපදෙස් ලබාදීලා තිබෙන්නේ.විමංසන,වගේ බොහෝ සූත්‍රවලදි ඒ බව පෙන්වලා තිබෙනවා.අනිත් කාරණය තමයි ආර්ය මාර්ගයේ කොතනකවත් ඇදහිලි,පුදපූජා,ඇත්තේ නැ.බෝධිපාක්ෂික ධර්ම අනුව මනස ංසවර්ධනය කරගන්න තියෙන්නේ.මේ බොහෝ දේවල් පසුකාලීනව එකතු වුන දේවල්.ඒකෙන් මුල් බදුසමය යට ගිහින් තිබෙන්නේ.අද ඔය කරන බොහෝ දේවල් ජීවනෝපාය සදහා සකස් කරගත්ත දේවල් මිස එදා තිබුන දේවල් නෙවෙයි.අන්ධානුකරනයෙන් භක්තියෙන් කරන දේවල් තමයි අද වැඩි.

    සරලවම පෙන්වනවනම් කඨින පිංකම උනත් එහෙමයි.බුදුන් වහන්සේ ජීවමාන අවධියේ වස්තුන්මාසය කියන්නේ ආධ්‍යාත්ම්ක දියුණුවට හේතුවුන කාලයක්.ඒ කාලේ අවසානයේමගඵල ලාභින් බිහිවුනා.අද වස් තුන්මාසය කියන්නේ භික්ෂුන් වහන්සේලාට හොදට ආදායම් ලැබෙන කාලයක්.දැන් ඒ කාලේ අවසානයේ කාර් එකක් ගන්නවා.අද පවතින බොහෝ දේවල් ඇත්තෙන්ම බුදු හාමුදුරුවන්ගේ දේශනා නෙවෙයි.මේ ගැන කියනවනම් කරුනු බොහෝමයි.

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවොත් අනිත් හාමුදුරුවරු ගැන හිතලා වස් කාලේදී තමන් වහන්සේ පනවපු නීති ටිකක් ලිහිල් කරා නේද ඒ මාස තුනට විතරක් ?

      Delete
  4. බුද්ධාගම මෝඩයින්ට නොවේ...... ඒකයි ඕන තරම් නිදහසක් දීලා තියෙන්නේ..........ඒක අල්ලගන්න පුළුවන් අය හරි පාරේ යනවා.......

    ReplyDelete
    Replies
    1. ඔව් . ඒත් ඒ නිසාම බුදු දහම නැති වෙනවා . වැඩි කල් යන්න කලින් බුදු දහම නැති වෙනවා .
      බොහොම ස්තූති g-)

      Delete
  5. මේව ඔක්කොම මිථ්‍යා දෘශ්ඨික දේවල්. අද නවීන විද්‍යාව මෙච්චර දියුණු වෙලත් පින් පව් කියන දේ ඔප්පු වෙන්නෙ නෑ. ඔය ප්‍රේථ වත්ථු ඔප්පු වෙන්නෙත් නෑ. මිනිස්සු මෝඩයො වගේ ඕව පස්සෙ යනව. ගෝත්‍රික තත්වයෙන් මිදිය විද්‍යාත්මකව හිතන්න බැරි ඇයි. දියුණු බටහිර රටවල් ආගම් වලින් ඈත් වෙනව. අපි තාම ගෝත්‍රික තත්වයෙ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැම දේම ඔප්පු කරලා පෙන්වලා දුන්නට පස්සේ ඒක පිලිගන්න බලාගෙන ඉන්නවට වඩා දෘෂ්ටියක් තවත් නැ.මොකක්ද විද්‍යාත්මක චින්තනය කියන්නේ කියලා කියමු බලන්න.විද්‍යාත්මකව ඔප්පු කරන සියල්ල සත්‍යද ?

      Delete
    2. අපිත් සයන්ස් තමා කරන්නේ . ඔය ඉන්න වැඩිහරියක් මහාචාර්යවරු ඔහොම උන්නට එයාලගේ හිත ඇතුලේ ආගම දහම ජීවත් වෙනවා . ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා එහෙම ඉගෙනගත්ත අය විශ්‍රාම ජීවිතයේදී ආගම දහමට තදින්ම යොමු වෙනවා . ඒ ගැන මොකද කියන්නේ ?

      Delete
    3. මේක අර ප්‍රියන්ත හේවගේගෙයි මෝඩ මතධාරියගෙයි ගොන් චූන් වලට රැවටිච්ච එකෙක්ද කොහෙද.

      Delete
    4. සයන්ස් කරාට අතගාල විතරයි මෙ anonymus .සයන්ස් ඉතිහාසය දන් නෑ .සයන්ස් දියුණු වෙන්න වෙන්න බුදුදහම තහවුරු උනා.සයන්ස් වලින් පහර ගහන්න බැරිවෙලා ඉතුරු උන එකම ධර්මය බුදුදහම විතරයි. සයන්ටිස්ට්ල ඉස්සෙල්ලම පරමාණුක ආකෘතිය හැදුවම බුද්ධාගමට හිනා උනා පදාර්ථය සන්තතිකයි සියලු දේ අනිත්‍ය වෙන්නේ කොහොමද කියලා.එත් පහුවෙලා එයාලම හොයාගත්ත සන්තතික පරමාණුවක් නෑ උපපරමාණුක අනු වල වෙනස් වෙමින් චලනයක් විතරයි තියෙන්නේ කියලා. සයන්ටිස්ට්ල මුලින් ඇගයි හිතයි 2ක් නෑ හිත කියන්නේ මොලේට කිවුව.පස්සේ එයාලම පිළිගත්තා හිත වෙනම දෙයක් කියලා. සයන්ටිස්ට්ල ඊයේ පෙරේද හොයාගත්ත big bang theoryය බුදුහාමුදුරුවෝ අවුරුදු 2500කට කලින් සන්වට්ටමාන විවට්ටමාන කියල දේශනා කරපුව, අන්වික්ෂිය සත්තු ගැන හෙළිදරවු කරපුව, දැකල සයන්ටිස්ට්ල කොර වෙලා ඉද්දි ලංකාවේ ඉන්න හෙන්චයියෙක් ඒ මෙලෝ දෙයක් නොදැන ඔහේ කියෝනව. බටහිර රටවල් ආගම් වලින් ඇත් වෙන්නේ ඒවායේ ආගම් වල තියෙන්නේ ගොතපු කතා,ඒවා සයන්ස් දියුණු වෙනකොට බොරු කියල ඔප්පු වෙන හින්ද.එත් සයන්ස් දියුණු වෙන්න වෙන්න මෙච්චරකල් බුදුදහම තව තව තහවුරු උනා මිසක් බොරු කියල ඉගියක්වත් හම්බෙලා නෑ.අද අමනුස්සයෝ ගැන , ටෙලිපති වගේ අධිමානසික හැකියා ගැන, පුනර්භවය ගැන සයන්ටිස්ට්ලම රිස්ච් කරලා ඔප්පු කරලා තියෙනවා. CIA එකේ වෙනම unit එකක් තියෙනවා ටෙලිකිනේසිස් වලින් අපරාධ අදුරගන්න.ඒවා මුකුත් නොදැන බාගෙට ඉගෙනගෙන ඔක්කොම දන්නවා කියල හිතන් ඉන්න විල මැඩි ගෙම්බෙක් බක බක ගානවලු ඉතින්

      Delete
    5. //අපි තාම ගෝත්‍රික තත්වයෙ ඉන්නෙ//
      ඇනොයි ඇනෝගෙ තව කව්ද අපි කිව්වේ ? :D

      Delete
  6. මං කල්පනා කලේ ආච්චි ඇයි ඕවා ජිවත්ව ඉන්න කාලේ නොකලේ කියලා.

    ReplyDelete
    Replies
    1. අන්තිම කැමති පත්‍ර ඉතින් ජීවත් වෙන කාලේ පූර්ණ කරන්නේ නෑනේ . තව හේතු තියෙනවා . එව්වා වැඩිහිටියන්ට පමණයි . :p
      බොහොම ස්තූති g-)

      Delete
  7. Replies
    1. බොහොම ස්තූති :) g-)

      Delete
  8. //තව තිබුණා මැණික් ගල් දාපු බෝතලයක් //
    අන්න මල්ලි පොයින්ට් එක. දැන් ඒ බෝතලෙන් එකක් දෙකක් ගල් මට දීපන්. බලපන් මම සල්ලි නැතුව ඉන්නවා . උඹ ගල් බෝතල් තියාගෙන ඉන්නවා. කැතයි වැඩේ ඈ ....

    ReplyDelete
    Replies
    1. මමත් බඳින්න ඕන ඩො :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.