Saturday, October 3, 2015

අලි වෙදකම්






සබරගමුව මහ සමන් දේවාලයේ මේ අවුරුද්දේ ඇසල පෙරහැර මංගල්‍යය මේ දවස්වල පැවැත්වෙනවා . කැම්පස් එකේ වැඩ ටිකක් එහා මෙහා වෙනකල් ඉඳලා ගෙදර දුවගෙන ආවා දෙවියෝ වැඩමවනවා බලන්නත් එක්ක . දෙවේලේ පෙරහැර එකක් බලලා වීඩියෝ එකක් ගත්තා . පස්සේ රන්දෝලි පෙරහැර පටන් ගත්තට පස්සේ මුල්ම දවසේ කොහොමහරි දේවාලේ වටේ දුවලා පෙරහැරේ මෙච්චර දවස් බලන්න ලැබුණේ නැති අංග කීපයක් වීඩියෝ කරගත්තා . ඉඳලා හිටලා ඒවා ආයෙත් ප්ලේ කරලා බලනකොට හිතට හරිම නිදහස් ශාන්ත බවක් ඇතිවෙනවා . ඒ නිසා පොලීසියෙන් මගේ ලැප් එක ගත්තොත් එහෙම එයාලා මට කියනවා ෂුවර් මේ ලැප් එක දීපන් අලියෙක්ට කියලා . හැක හැක හැක .

ඉතින් එදා පෙරහැර පටන් ගන්න කලින් මම දේවාලේ පහල මළුවට ගිහින් අලි ඇත්තුන්ගේ වග තුග බල බල වටේ ඇවිද ඇවිද හිටියා . අලුත් අලි නංගිලා මල්ලිලා කීප දෙනෙක්ම ඇවිත් හිටියා . අලි බලන අයත් වෙනදා දැක්කේ නැති අය ඉන්නවා දැක්කා . ඒවගේම කලින් දැකපු සමහර අලිබලන වයසක සීයලා දකින්න ලැබුණේ නෑ . මට අලින්ගේ මරු නිල ගැන කියලා දීපු අලි බලන සීයා කෙනෙක් ගිය අවුරුද්දේ පෙරහැර අවසන් වෙලා මාස කීපයකට පස්සේ මිය ගියා කියලත් දැනගන්න ලැබුණා . අලි බලන කෙනෙක් උනාට හරිම අහිංසක හිනාවක් තියෙන හරිම නිවුන චරිතයක් ඒ සීයට තිබුණේ .





මම ඉතින් පෙරහැර බලන්න ගියාම මේ සීයා එක්ක කතාවට වැටිලා සමහර දේවල් අහලා දැනගත්තා . පොත්වල තියෙන න්‍යායාත්මක දේවල් ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියලා මට කියලා දුන්නේ ඒ සීයා . මේ පාර ඒ අලියා බලන්න හිටපු අනිත් කෙනා විතරක් ඉන්නවා දැකලා මම ඇහුවාම කෝ අනිත් සීයා කියලා , එයා තමයි කිව්වේ ඒ සීයා මිය ගියා කියලා . වෙන අලිබලන අය එක්ක වැඩිය මගේ ඇයි හොඳයි නැති වෙච්චි එකේ මේ සීයා නැති අඩුව අලි ඇත්තු ගැන මම හොයන කියන දේවල් වලට ලොකු පාඩුවක් වේවි . ඉතින් මේ ලිපියේ මුලින්ම මම ඒ සීයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා . ලබන ආත්මයේ මනුස්ස ලෝකේ ඉපදිලා ඒ අවදානම් රස්සාව ආයෙත් කරන්න නොලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා .

ඉතින් ඔන්න පෙරහැර තියෙන්නේ රාත්තිරියේ නෙව . එක දවසක දවල් වෙලාවේ ගියා මගේ යාලුවා , නැදුන්ගමුවේ රාජා බලලා එන්න . මම දේවාලෙට යනකොට එයා කෑම කකා ඉඳලා වතුර තියෙන ටැංකිය ගාවට ගිහින් වතුර බොනවා . ඊට පස්සේ වතුර ඇදගෙන නානවා . එකම විකාරයි . ඉතින් මම ලඟට වෙලා බලාගෙන හිටියා මොකද කරන්නේ කියලා . ඇතාගේ පිටේ දෙපැත්තේ තුවාල දෙකක් තියෙනවා . එකක් ටිකක් ලොකුයි . අනික ටිකක් පොඩියි . ඇතා වතුර ඇදගෙන නෑවට පස්සේ ඇතාව බලන කෙනා ඇතාව පැත්තකට එක්ක ගිහින් ආයෙත් කන්න දුන්නා . මම ඉතින් එහෙමම දේවාලෙට ගිහින් ආයෙත් එනකොට ඇතාගේ තුවාල වලට බෙහෙත් දානවා . ඒ බෙහෙත් දාන හැටි වීඩියෝ කරා මම . දැක්කම හිතට හරිම අප්සැට් . ඒත් ඇතාගේ හිමිකරුවා හොරි දද වන ගෙඩි කුෂ්ට පිළිකා වෙදකම් සම්බන්ධව විශාරද වරයෙක් නිසා ඇතාට දෙවියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් වෙන එකක් නෑ කියලා පොඩි විශ්වාසයක් තියන්න පුළුවන් .




මේ සිද්ධිය දැක්ක වෙලාවේ මගේ මතකය ආයෙත් ඈතට ඈතට ඈ...........................තට දුවගෙන ගියා . ඉස්සර අපේ සීයා , ආච්චි අම්මා ඉන්න කාලේ සමන් දේවාලේ දවල් පෙරහැර ඉවරවෙලා පස්සේ දවසේ දේවාලපොළ පැත්තේ ශෝපින්ග් පාරක් දාන්න යන එක අපේ ගෙදර පුරුද්දක් වෙලා තිබුණා . ගෙදරට ඕන කරන වලං පිඟන් කෝප්ප පැදුරු මල් අරවා මේවා එහෙම ගන්නේ ඒ දේවාල පොළේ කඩවල් වලින් . මේ අතරේ මට ඉස්කෝලෙට ඕන කරන පැන්සල් පෙට්ටි වතුර බෝතල් පොත් බෑග් වගේම සෙල්ලම්බඩු එහෙමත් හම්බෙන්නේ මේ දේවාල පොළෙන් තමයි . ඉතින් ආච්චි අම්මා වයසට ගියාට පස්සේ , ඒ කියන්නේ ඇවිදින්න බැරි උනාම අනිත් අය ඒ සිරිත රැකගෙන ආවා . පස්සේ සීයා ආච්චිඅම්මා නැති උනාට පස්සේ ටික ටික ඒ සිරිත් ගෙදරින් නැතිවෙලා ගියා . දැන් සමහර අවුරුදු වලට අම්මලා පෙරහැර බලන්නවත් යන්නේ නෑ . ගියොත් මම විතරයි .





මම පොඩිකාලේ දවසක් අපේ අම්මයි තාත්තයි මමයි දේවාල පොළේ ඇවිද ඇවිද ඉන්නකොට දෙවුන්දර අපේ මහගෙවල් පැත්තේ කෙනෙක් සමන් දේවාලේ පිටිපස්සේ පදිංචි වෙලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා . ඒ ගෙදර කඩයක් තිබුණා . අපි ඉතින් කඩේට ගොඩවෙලා ඒ ය එක්ක කතා කර කර ඉන්නකොට අලි බලන කෙනෙක් ඇවිත් ඇහුවා ඒ ගෙදර ඇන්ටිගෙන් අක්කේ පාන් ගෙඩි දෙකක් ගන්න තියෙනවද කියලා . පස්සේ ඒ ඇන්ටි කිව්වා අලියට බෙහෙත් දෙන එකටද අහන්නේ කියලා . පස්සේ අර කෙනා ඔව් කිව්වම ඒ ඇන්ටි කිව්වා පාන් ගෙඩි දෙකක් දැන් ටිකකට කලින් අරගෙන ගියා කියලා . මම එවෙලේ ඉඳලා අම්මලට කුරු කුරුව අලියට බෙහෙත් දෙනවා බලන්න යන්න ඕන කියලා .

පස්සේ අම්මයි තාත්තයි මාව එක්ක ගියා . අපි යනකොට අලියා බිම දොයි . අලි බලන අය ළඟ තියෙන ගලක් උඩ තියාගෙන බෙහෙත් අඹරනවා . පස්සේ එයාලා පාන් ගෙඩිය අරගෙන පැත්තකින් හාරලා අර බෙහෙත් පාන් ගෙඩිය ඇතුලට පුරවලා අලියාගේ කට ඇතුලට දාලා උගුරටම යනකල් තල්ලු කළා . අලියත් ගානක් නැතුව හිටියා .

අලියෙක්ට බෙහෙත් කරනවා ඉස්සෙල්ලම දැක්කේ එදා තමයි . ඊට පස්සේ අලින්ගේ ඇස් ලෙඩ වලට බෙහෙත් කරන හැටි දකින්න ලැබුණා . තවත් අලි වෙදකම් කරන හැටි දැකබලාගන්න පුළුවන් උනා . ඉතින් අද ලිපියෙන් මෙච්චර වැල් වටාරම් කියලා කියලා ආවේ අලින්ට හැදෙන ලෙඩ ගැනයි අලි වෙදකම් ගැනයි පුංචි තොරතුරු කීපයක් අරගෙන එන්න .





අලි ඇත්තුන්ටත් අපිට වගේම ලෙඩ රෝග හැදෙනවා . ඒ නිසා එයාලටත් අපිට වගේම බෙහෙත් හේත් දෙනවා . අලි වෙදකමත් රාවණා රජතුමාගේ කාලෙටත් එහා දක්වා දිව යනවා කියලා තමයි විශ්වාස කරන්නේ . මේ වෙදකම පරපුරෙන් පරපුරට පැවතගෙන එනවා . අද වෙනකොට අලි ඇත්තු හීලෑ කිරීම නතර වෙලා තියෙනවා වගේම අලි වෙදකමත් නැත්තටම නැතිවෙලා ගිහින් තියෙනවා . ලංකාවේ හිටපු ප්‍රධාන පෙලේ අලි වෙදකම් කරපු පවුලක් තමයි මියනපලාව වෙද පරම්පරාව . මේ වෙද පරපුරේ මියනපලාව වෙද මහත්තයාට පස්සේ අද ඉන්නේ ප්‍රදීප් මියනපලාව කියන වෙද මහත්මයා . චූටි වෙද මහත්තයා කියලා තමයි මෙයාව අලි ඇත්තු බලන සහ අලි අයිති අය හඳුන්වන්නේ .

අලි ඇත්තුන්ට සාමාන්‍යයෙන් පළතුරු දිරවන්නේ නෑ . අපි කොච්චර අලි අත්තුන්ට පළතුරු කන්න දුන්නත් එයාලගේ බඩේ එක එක ලෙඩවල් හැදෙන්න මේ පළතුරු හේතු වෙනවා . එවගේම කාලයක් යනකොට
මෙයාලගේ බඩවැල් වල ක්‍රියාකාරීත්වය අඩුවෙලා බර ආහාර දිරවන්නේ නැති වෙනවා . අලි ඇත්තුන්ට මද කිපෙන කාලෙට කිතුල් කොටන් ආහාරයට ගන්න දෙන්නෙත් අඩුවෙන් . මොකද එහෙම කන්න දුන්නම මද කාලයේ කිපෙන ප්‍රමාණය වැඩි වෙන නිසා .






අලි අත්තුන්ට හන්දි වේදනා ආබාධ උනත් ඉක්මනට ඇතිවෙනවා . මොකද මෙයාලගේ ඇඟේ බර සම්පූර්නෙන්ම දරාගන්න මේ කකුල් වලට සමහර වෙලාවට අමාරු වෙන නිසා . ආතරයිටීස් වගේ තත්ත්වයක් තමයි මේකේ බරපතල අවස්ථාවේ ඇතිවෙන්නේ . ඔයවගේ ඉතින් එක එක ලෙඩ වර්ග මේ ඊ ඇත්තුන්ට ඇති වෙනවා . මේ පහල තියෙන්නේ මම පොත් වලින් හොයාගත්ත අලි බෙහෙත් වර්ග ටිකක් . මේවාට අමතරව තවත් ගොඩක් අලි බෙහෙත් තියෙනවා . ඒවා ඉතින් පස්සේ දාන්න බැරිය . දැනට මේ ටික කියවමු .

අලින්ටත් ගැස්ට්‍රයිටීස් හැදෙනවා . එතකොට

අරත්ත අල
කලාඳුරු අල
දේවදාර
මුරුංගා
තල මුල්
කොට්ටං
සිරියා
තිප්පිලි
රන්නිටෝල්
සිද්ද ඉඟුරු
අබ
මුලාල අල
සුදු ළූණු
කරඳ
කළුදුරු
එළබටු
එඬරු
වළඟසාල්
සිරිතේක්කු

පවනේ වියලා ගෙන පළම ගානේ දුන්නම ආමාශ ප්‍රදාහය සුව වෙනවා .


දියවැඩියාව

කටුකරෝසන
කොට්ටං
දේවදාර
සිද්ද ඉඟුරු
කොල්ලු ඇට
තිප්පිලි
යවකාර ලුණු

සමාන ප්‍රමාණ අරගෙන තල තෙල් වලින් අඹරලා දුන්නම දියවැඩියාව මුත්‍රා ආබාධ සුව වෙනවා .

වෙනත් ඕනෑම ලෙඩකට

වළඟසාල්
අසමෝදගම්
පෙරුම්කායම්
අබ
තිප්පිලි
සාදික්කා
වියලි ඉඟුරු
අරළු
සස්සඳ
කළුදුරු
සූදුරු
වදකහ
සුදුලූනු
සහිඳලුණු
 මේවා හකුරු එක්ක මිශ්‍ර කරලා දොඩම් ගෙඩි සයිස් බෝල හදලා කන්න දෙනවා .


පිළිකා 

වද කහ
අබ
වරා
කොහොඹ
දෑත්ත
නියඟලා
සහිඳ ලුණු
කොට්ටං
යක්බේරිය
අත්තිඩියම්
යවකාර ලුණු
වෙනිවැල්
බදුලු
ඔලිඳ
රන්නිටෝල්
තිප්පිලි
ජටාමාංශ
දලුක්කිරි
මනෝසීල
ඉඟුරු
කළු ගම්මිරිස්

මේ මිශ්‍රණය හොඳට අඹරලා මුට්ටියකට දාලා රෙද්දකින් හොඳට බැඳලා දවස් දෙක තුනක් තියලා පාවිච්චි කරන්න පුළුවන් .



යෝගරාජ ගුලිය

සූදුරු
කළුදුරු
අසමෝදගම්
තිප්පිලි
වළඟසාල්
උළුහාල්
මිරිස්
ඉඟුරු
අබකොල්ලු
මුන් ඇට
තල
කරාබු
වසාවාසි
සාදික්කා
කොට්ටං
වැල්මී
වගපුල්
පුෂ්කර
අබිං
ගෙන්දගම්
සහිඳ ලුණු
යවකාර ලුණු
උක් පැණි
මී පැණි
කිතුල් පැණි
බඹර පැණි
දඬුවැල් පැණි
කණවේ පැණි
ඇහැළ පැණි
තල තෙල්
කොහොඹ තෙල්

මේ දේවල් බුළු ගෙඩි තරමට අඹරලා වේලලා තියාගෙන දෙන්න පුළුවන් . කොට්ට පොල් , තල , දොඩම් ඉස්ම එක්ක මේ බෙහෙත් දෙන්න පුළුවන් .

හමේ රෝග වලට

මනෝසීල
සුරති මැටි
අබ
රසාංජන
සහිඳ ලුණු

මේවා ගව මුත්‍රා වලින් අඹරලා තල තෙල් එක්ක කලවම් කරලා හමේ රෝග වලට ආලේප කරන්න පුළුවන් .

අලි බෙහෙත් ඉතින් අලි සයිස් එකට තමයි හදන්නේ . අනික මේවා හොයන එකත් ලේසි නැති නිසා අද වෙනකොට අලි බෙහෙත් කිරීම බටහිර වෛද්‍ය ක්‍ෂේත්‍රයට වැඩිපුර නැඹුරු වෙලා තියෙනවා . ඒත් අලි අත්තුන්ට පත්තියන් වෙන්නේ දේශීය වෙදකම කියන එක කවුරු කවුරුත් මතක තියාගන්නවනම් හොඳයි . එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා  !

16 comments :

  1. ආසාවෙන් කියෙව්වා. මෙච්චර කලක් කොමෙන්ටුවක් දාන්න බැරි වීම ගැන සමාවෙයන් මලේ. ඉතා අනර්ඝයි මේ සේවාව. දෙවියන් සහ යක්කු ගැනත් අලි ගැනත් තවතවත් කියවන්න පෙරමග බලාගෙන ඉන්නවා. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. එළකිරි .
      බොහොම ස්තූති .
      වෙනදා තරම් එකපිට එකපිට නැති උනත් පුළුවුන් විදියට ලියන්නම් . g-) g-)

      Delete
  2. ඔයා මාර අලියෙක් නේ? අලි ගැන තව විස්තර ලියන්න හැබැයි වැඩිය කිට්ටුවට යන්න එපා

    ReplyDelete
    Replies
    1. වැඩිය කිට්ටුවට යන්නේ නෑ .
      ඒත් අලි බලන අය ඉන්නකොට ටිකක් කිට්ටුවට ගියාට කමක් නෑ . :)
      බොහොම ස්තූති g-)

      Delete
  3. මෙයානේ අර ඊයේ ඇක්සිඩන්ට් වීඩියෝ එකේ ඉන්නේ.

    වයලීනෝ මලයත් වීථි සංචාරයේ යෙදෙනවා දැක්කා යාළුවොත් එක්ක, :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා තමයි . ඒ වීඩියෝ එක ඔච්චර උඩ පැනලා දැම්මට , ඒක එච්චර නටන්න දෙයක් නෙවෙයි . ඇතාගේ කකුල් ගාවට වැටිලා ඔන්න එයා මුකුත් කලේ නැත්නම් ඒක පුදුම වෙන්න දෙයක් . මේක එච්චර දෙයක් නෙවෙයි .

      ඒ කෙනාගේ වාසනාවට ඇතාගේ කකුල් කිට්ටුවට වැටුනේ නැත්තේ . එහෙම වැටුනානම් ඇතා අනිවාර්යයෙන්ම ෂොට් එක දෙනවා . මොකද අලි ඇත්තුන් තමන්ගේ ඉස්සරහට වේගයෙන් දෙයක් එනවනම් ඉක්මනටම කලබලයට පත් වෙනවා . මේ ඇතා බෝසත් ගති පෙන්නුවට සමහර වෙලාවල් වලදී කලබල කරලා තියෙනවා . ඒත් මිනී මරලා නෑ . ඒක තමා වැදගත්ම දේ . දළදාව වැඩම කරවන මිනී මරපු නැති ඇතෙක් හරිම වටිනා සම්පතක් .

      ම්ම්ම්ම්ම් මම යාලුවොත් එක්ක වීථි සංචාරය කලේ නෑනේ . තනියම සමා සංචාරය කලේ . ආයේ දැක්කොත් අනිවා කතා කරන්න .
      බොහොම ස්තූති g-)

      Delete
  4. Replies
    1. හරි සෝක්ක්ක්ක්
      ටැංකු g-)

      Delete
  5. නියමයි වයෝ...
    එතකොට අලින්ට ආතරයිටිස් එහෙම හැදෙනව නං රාජ ට මොන ලෙඩ හැදෙන්න පුලුවන්ද කියල මහිතුන. මොකද එයා හැම තැනම යන්නෙම පයින් හින්ද.
    එයාව දාගෙන යන්න ඇත්තටම උවමනාවක් තියෙනව නං වැඩිපුර වියදං කරල ටේලරයද් හදවන්න පුලුවං නේද

    ReplyDelete
    Replies
    1. රාජාගේ ගමන සම්බන්ධව මිනිස්සු මෙහෙම කථා කලාට මමනම් පෞද්ගලිකව මේකට කැමතියි . එයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වාගන්න මේ ඇවිදීම ඉතාම වැදගත් වෙනවා . අනික පැය
      24ම ඇවිදලා නෙවෙයි මෙයා ගම්පහ ඉඳලා වසරකට වතාවක් මේ ගමන යන්නේ . ඒ නිසා මෙයාගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වාගන්න මේ ඇවිදීම හොඳයි . ඔය ෆේස් බුක් එකේ කෑගහන අය මෙවාගැන හොයලා නෙවෙයිනේ කතා කරන්නේ . ඒ නිසා ඒවා අතෑරලා දාන එක තමා හොඳ .
      බොහොම ස්තූති :) g-)

      Delete
  6. ඇත්තටම ලස්සන ලිපියක් වයලීනෝ...... මාත් සමන් දේවලේ අලි ඉන්න වෙලාවට දැකල තියෙයි.. ඒත් රාජාව ලගට දැකල නෑ...

    ReplyDelete
    Replies
    1. වැටිලා තියෙන කමෙන්ට්ස් දැක්කම ආයෙත් පෝස්ට් එකක් කොටන්න වෙලා වගේ මේ රාජා ගැන . හික් හික් හික්
      එල එල . බොහොම ස්තූති g-)

      Delete
  7. රන්නිටෝල් x රත්නිටොල්

    මුන් ඇට x මුංඇට

    අත්තිඩියම් x අතිවිඩයන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති නිවැරදි කලාට . අපේ පොත්වල නම් රන්නිටොල් අත්තිඩියම් මුන් ඇට කියලා තමයි ලියලා තියෙන්නේ . ඒත් මේවාම තමා . වෙනසක් නෑ .
      බොහොම ස්තූති g-) g-)

      Delete
  8. නැදුන්ගමුවේ රාජා කියන්නේ හරිම හීලෑ අැතෙක්... දේවාල වල පෙරහැරවල් වලත් කරඩුව ගෙනිච්චා..... හරි පෙනුම අැතෙක්.... හරිම අගෙයි

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ෆොටෝ එක ගන්නකල් කන් දෙක හොලවන්නේවත් නැතුව බලාගෙන ඉන්නවා . ඒ තරමට ඒ සතාට තේරුමක් තියෙනවා . එල එල
      බොහොම ස්තූති :) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.