Sunday, October 25, 2015

මම දෙවිඳුනි දෙවොලට ආවේ සඳ ගිනි ඇවිලෙන මොහොතකය







ප්‍රේම සබන්ධතා ඇතිකරගැනීම සමහර අයට ලේසි දෙයක් , ඒත් සමහර අයටනම් අමාරු දෙයක් . ප්‍රේම සබන්ධතා ඇතිවීම හෝ ඇතිකරගැනීම වෙන්නේ වැඩි හරියක්ම ආකර්ෂණය මත කියලා මම කලින් ලිපියක කිව්වා . ආකර්ෂණය මත තමයි ප්‍රේම සබන්ධතාවක් ඇතිවෙන්න පදනම ඇතිවෙන්නේ . පස්සේ දෙන්නා අඳුරගෙන කාලයක් යනකොට ආකර්ෂණයට වඩා අවබෝධයට මුල් තැනට එනවා කියලා තමයි කියන්නේ . ඒත් මේ මොකක්වත් නැතිව ප්‍රේම සබන්ධතා ඇතිවෙන නැතිවෙන චරිත අපේ අවට දකින්න නැතුවමත් නෙවෙයි .

මම ඉන්න වටපිටාවේ එක ගැහැණු ළමයෙක් ඉන්නවා කාලයක් තිස්සේ එක පිරිමි ළමයෙක් එක්ක යාළුවෙලා හිටියා . මේ දෙන්නා හැබැයි සමාජයේ ජීවත් වෙන්න හරියට දන්නේ නෑ කියලා වගේ තමයි මට හිතුනේ . ඕන පාරක හංදියක මහා හයියෙන් රණ්ඩු වෙන්න මේ දෙන්නාට වැඩි අපහසුවක් තිබුණේ නෑ . සමහර දවස් වලට පාරේ මිනිස්සු බලාගෙන ඉන්න අතරේ මේ දෙන්නා රණ්ඩු වෙනවා . බැංකුවේදී , තැපැල් කන්තෝරුවේදී මේ දෙන්නා රණ්ඩු වෙනවා . ඒත් පස්සේ දෙන්නා හිනා වෙවී ආයෙත් අත් අල්ලාගෙන යනවා දකිනවා . හැබැයි මේ සම්බන්ධය නවතින ලොකු දෙයක් උනේ නෑ එයාලට සාපේක්ෂව . යාලු වෙනවා තරහා වෙනවා එහෙම එහෙම තමයි දෙන්නා හිටියේ .

ඒ ගෑණු ළමයා ගැන මගේ දර්ශනයෙන් මැනලා මම ඇතිකරගෙන හිටියේ නෙගටිව් අයිඩියා එකක් . මොකද හදවතේ කැඩපත මුහුණ නිසා මූණ දැක්කම හදවත ගැන හිතාගන්න පුළුවන් නිසා . පහුගිය සතියේ දවසක මම මම දැක්ක දෙයින් වික්ෂිප්ත වෙලා අන්දුන් කුන්දුන් වෙලා පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදිලා මෙව්වා වෙලා ගියා . ඇයි දන්නවද ? . අර ගෑණු ළමයා දැන් ඉන්නේ වෙන පිරිමි ළමයෙක් එක්ක . අවුරුද්දකට වැඩි කාලයක් මම මේ ගෑණු ළමයා සහ කලින් පිරිමි ළමයා ගත කරපු ජීවිතය දිහා පේන වෙලාවට බලාගෙන හිටියා . දෙන්නා ගමන් බිමන් ගියේ එකට කෑවේ බිව්වේ එකට රණ්ඩු කරගත්තෙත් එකට . හැබැයි එහෙමත් වෙලා දෙන්නා ආයෙත් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා දැක්කම මට නිකමට හිතුනා මේ ගෑණු ළමයාගේ පිටතින් පේන පෙනුම අනුව මම වැරදි රූපයක් මවාගෙන ඉන්නවා කියලා . ඒත් මම හරි කියලා එදා මම තේරුම් ගත්තා .






දැන් ඒ ගෑණු ළමයා වෙනත් පිරිමි ළමයෙක් එක්ක තමයි ඉන්නේ . යන්නේ එන්නේ කන්නේ බොන්නේ ඔක්කොම . දෙන්නා එක්ක මෝටසයිකලේ තුරුල් වෙලා යනවා දැක්කම මට හිතුනේ අර පිරිමි ළමයාගේ ජීවිතේ අයියෝ සල්ලි නේද කියලා . මොකද ඒ පිරිමි ළමයා පෙනුමෙන් ටිකක් වැදගත් පාටයි , යමක් කමක් තියෙන පාටයි . මම හිතන්නේ මේ ගෑණු ළමයා මේ පිරිමි ළමයාගේ කරේ එල්ලුනේ ඒවා නිසා වෙන්න ඇති කියලා . සමහර විට මගේ හැගීම වැරදි ඇති ඒත් අවසානයේ එහෙම දෙයක් උනත් පුදුම වෙන්න දෙයක් නම් නෑ . 

ඉතින් ප්‍රේම සබන්ධයක් නැති වෙන්න බලපාන හේතු කාරණා මොනවද කියලා හිතලා බැලුවම මෙන්න මේවා මම හිතනවා ඒ කාරණා එකතුවට ඇතුල් කරන්න පුළුවන් කියලා . 

සමහර ප්‍රේම සබන්ධතා බිඳ වැටෙන්න මූලිකවම හේතු වෙන්නේ දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම වෙනත් ප්‍රේම සබන්ධතා ඇතිකරගැනීම . මේ නිසා දෙන්නට කොහොමත් ප්‍රේම සබන්ධතාව ඉදිරියට පවත්වාගෙන යන්න බැරි නිසා ප්‍රේම සබන්ධය ඇණහිටිනවා . වෙනත් සබන්ධතා වලට යොමු වෙන්න වැඩි තරමක් හේතු වෙන්නේ ප්‍රේම සම්බන්ධයේදී දෙන්නා එකිනෙකා මත තෘප්තිමත් නොවීම නිසා කියලයි මමනම් හිතන්නේ .

අරමුණක් නැතිව ප්‍රේම සබන්ධයක් ඇතිකරගත්තට පස්සේ අරමුණක් හොයාගන්න බැරි උනාම මේ අතෘප්තිමත් බව ඇතිවෙන්න පුළුවන් . ඒ නිසා තමන්ට ගැළපෙනවා කියලා හිතෙන වෙනත් කෙනෙක්ට ප්‍රේම කරන්න පටන් ගන්නවා . මේ නිසා කාලයක් තිබ්බ ප්‍රේම සබන්ධයක් නැතිවෙලා යන්න පුළුවන් .

මට අහන්න දකින්න ලැබුණු තවත් හේතුවක් තමයි දෙන්නගේ කුල ප්‍රශ්න . අද කාලේ මේවා නිසා ප්‍රේම සබන්ධතා නැතිවෙනවා කියලා ඇහෙනකොට වෙලාවකට පුදුමත් හිතෙනවා . ඒත් එහෙම වෙනවා .

විදේශ ගතවීම් නිසාත් සමහරවිට ප්‍රේම සබන්ධතා නවතින්න පුළුවන් . මොකද විදේශ ගත උනාම සමහර අයට දකින්න කතා කරන්න ලැබෙන්නේ නෑ . ඒ නිසාම ජීවිතයේ ඇතිවෙන අතෘප්තිකර ස්වභාවය නිසා වෙනත් සම්බන්ධයකට යොමු වෙන්න හෝ තියෙන සබන්ධය නැතිවෙන්න ඉඩ තියෙනවා .

සමහර ප්‍රේම සබන්ධතා ඇනහිටින්න හේතු වෙන්නේ දෙන්නගේ තියෙන සංස්කෘතික වෙනස්කම් . මුලින් ප්‍රේම සබන්ධයක් ඇතිකරගන්නකොට මේවා ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ . ඒ නිසා පස්සේ තමයි තේරුම් ගන්නේ තමන්ට මේ කෙනා එක්ක ජීවිතය තියෙනකල් ජීවත් වෙන්න බෑ කියලා . ඒ නිසා ප්‍රේම සබන්ධය නවතිනවා .

ඔය ඔක්කොමත් හරි ගෙවල් වලින් අකමැති වීම නිසා සමහර ප්‍රේම සබන්ධතා නවතිනවා . මොකද අම්මලා තාත්තලා අකමැති වීම නිසා දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම අකමැති වෙන්න පුළුවන් මේ විදියට ගියොත් දෙන්නට එකතු වෙන්න බැරි නිසා ප්‍රේම සම්බන්ධය නවත්වන්න ඕන කියලා .

මේ වෙලාවේ මට තවත් කතාවක් මතක් වෙනවා . එක පවුලක පවුලේ වැඩිමල් පිරිමි ළමයා ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා . මේ සබන්ධය ඇතිවෙන්නේ පවුලේ එකම ළමයා වෙන ගැහැණු ළමයෙක් එක්ක . මේ පිරිමි ළමයාගේ අම්මාගේ කුලය සමාජ සම්මත විදියට පහත් කුලයක් කියලා අර ගෑණු ළමයාගේ අම්මලා තාත්තලා මේ විවාහය වෙනවට අකමැති වෙනවා . ඒ නිසා දෙන්නා වෙන් වෙනවා .

ඔය වගේ එක එක හේතු නිසා ප්‍රේම සබන්ධතා නවතින්න පුළුවන් . අද මම කියන්න යන ගීතයත් ප්‍රේම සබන්ධයක් නැවතුනු ගැහැණු ළමයෙක් තමන්ගේ පෙම්වතාගේ වෙන් වීම දරාගන්න බැරුව දෙවියන්ට කන්නලවු කරන ස්වරූපයෙන් රචනා වෙච්ච ගීතයක් .

මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ

කිමද සාමිනේ නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ
සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා
හිසින් දරාගෙන ආවේ
වට තිර අළුවී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ

දෙදෙනා ආමග අත්වැල් පටලා
තනිවී මා වැලපෙන්නේ
ඔබේ අනුහස සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
හිරුගෙන් සිසිල පතන්නේ

ගායනය : සුජාතා අත්තනායක



තනුව :

ගී පද : උපාලි ධනවලවිතාන






මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ

කාලයක් තිස්සේ ටික ටික පරිපූර්ණත්වයට පත්වෙමින් ආව ආදර කතාවක නොසිතූ විරූ විදියට ලැබුණු දුක්ඛ දායක අවසානයක් . ඉතින් මේ දුක දරාගන්න පෙම්වතියට හිතේ හයියක් නෑ . ඒ නිසා තමන්ගේ දුක කියන්න පෙම්වතිය එනවා දෙවියන් වැඩ ඉන්න දේවාලයකට . බැති පූජා දෝතින් ගෙන දොවලා කියලා කියන්නේ දෙවියන්ට පූජාවක් තියලා තමයි තමන්ගේ මේ දුක කියන්න ඒ පෙම්වතිය බලාපොරොත්තු වෙන්නේ . සමහරවිට හිත නිදහස් කරගන්න වගේ දෙවියන්ට තමන්ගේ භක්තිය පෙරදැරි කරගත් පූජාවන් පූජා කරනවා වෙන්නත් පුළුවන් .





කිමද සාමිනේ නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ
සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා
හිසින් දරාගෙන ආවේ
වට තිර අළුවී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ

පෙම්වතිය මේ වෙලාවේ බොළඳ වෙනවා කියලා හිතන්න පුළුවන් . මොකද කවදාවත්ම දෙවියන් තමන්ට ඇහෙන්න කතා කරන්නේ නැති නිසා . ඒත් පෙම්වතිය දෙවියන්ගෙන් ප්‍රශ්න කරනවා කිමද සාමිනේ නිහඬව ඉන්නේ නොඅසා මගේ විලාපේ කියලා . සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා හිසින් දරාගෙන ආවේ කියන්නේ තමන් තමන්ගේ පැමිණිල්ල දෙවියන් වෙනුවෙන් ඉදිරිපත් කරන්න ආවේ ඉතාමත් භක්තිමත්ව වඩාත්ම ගැලපෙන පූජා ද්‍රව්‍ය අරගෙන ආවා කියලා . මොකද ඉතින් දෙවියන් වෙනුවෙන්නේ සඳුන් කපුරු මදාරා මල් පිපෙන්නේ . දෙවියන් දැන් තමන්ගේ පැමිණිල්ල අහන්නේ නෑ කියලා පෙම්වතිය හොඳටම දන්නවා .ඒ  නිසා පෙම්වතිය හිතනවා තම ආව දේවාලයේ වට තිර දැවිලා පූජාසනය පසෙක වැටිලා දෙවියන් දේවාලයෙන් නික්මිලා යන්න ගිහින්ද කියලා .


දෙදෙනා ආමග අත්වැල් පටලා
තනිවී මා වැලපෙන්නේ
ඔබේ අනුහස සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
හිරුගෙන් සිසිල පතන්නේ

දැන් පෙම්වතිය තමන්ගේ බලාපොරොත්තුව , ඒ කියන්නේ දෙවියන්ට කියලාවත් තමන්ට සරණක් පිහිටක් ලබාගන්නවා කියන බලාපොරොත්තුව අත්හැර දමලා කියනවා ප්‍රේමයෙන් වෙලිලා දෙදෙනා ආමග අත්වැල් පටලා තනිවී මා වැලපෙන්නේ කියලා . ඔබේ අනුහස සරණ නොමැති දා කාටද මා අයදින්නේ ? , දෙවියන් පවා දේවාලයෙන් නික්මිලා ගිහින් තියෙන වෙලාවක වෙන කොහෙන්ද පිහිටක් සරණක් ලබාගන්නේ කියලා පෙම්වතිය කල්පනා කරනවා . අවසානය නැවතත් විප්පයෝගයම උරුම වීම තමයි කියලා පෙම්වතිය හිතාගන්නවා . මේ ගීතයේ මම කැමතිම කොටස තමයි සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද හිරුගෙන් සිසිල පතන්නේ කියන කොටස . මේ පද පේලියේ තේරුම නිසාම මම මේ ගීතයට තවත් තේරුමක් දෙන්න කල්පනා කරා වෙනස් ආකාරයක . ඒක උපමා උපමේය පිරිච්ච තේරුමක් වෙන්න පුළුවන් . එහෙනම් ගීතයේ මුල ඉඳලා අපි ආයෙත් බලමු ඒ මොකක්ද කියලා .







මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ

මේ ගීතයේ මේ කියන දේවාලය තමයි ප්‍රේමය කියන දේවාලය . ප්‍රේම දෙවොලේ ඉන්න දෙවියන් තමයි ප්‍රේමය කියන්නේ . මේ පෙම්වතිය ප්‍රේමය නැමති දෙවියන්ට කියනවා මම දෙවිඳුනි දෙවොලට ආවේ කියලා . ඒ කියන්නේ ප්‍රේමය කියන දෙවියන් අධිපතීත්වය දරන ප්‍රේමය හොයාගෙන තමනුත් ආවා කියන එක . ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධය ඇති වුනාට පස්සේ තමන් ප්‍රේම දෙවොලේ බැතිබර පූජාව පවත්වනවා කියන එක . බැති පූජා දෝතින් ගෙන දොවලා ආවේ කතර ගෙවා . ඒ කියන්නේ මේ ප්‍රේම දෙවොලේ බැතිබර භක්තිවන්තියක් වෙන්න මේ පෙම්වතිය ගොඩක් කැපවීම් කරා , ඒ වගේම සැලකිය යුතු කාලයක් ආවා කියන එක .

කිමද සාමිනේ නිහඬව ඉන්නේ
නොඅසා මගේ විලාපේ
සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා
හිසින් දරාගෙන ආවේ
වට තිර අළුවී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ


දැන් මේ පෙම්වතිය කියනවා ප්‍රේමය නැමති දෙවියන්ට කිමද සාමිනේ නිහඬව ඉන්නේ නොඅසා මගේ විලාපේ කියලා . සඳුන් කපුරු පෙති මල් දම් ගොතලා හිසින් දරාගෙන ආවේ කියලා කියන්නෙ තමන්ගේ හිතේ තිබ්බ ප්‍රේමයේ තිබුණු අති උත්තම පාරිශුද්ධත්වය පෙන්නුම් කරන්න . වට තිර කියන්නේ තමන්ගේ ප්‍රේම සම්බන්ධය ආරක්ෂා වෙන්න තිබ්බ පවුරු බැමි . පුදසුන් කියන්නේ තමන්ගේ ප්‍රේම සම්බන්ධය වෙනුවෙන් තමන් ඉටු කරන්න බලාපොරොත්තුවෙලා හිටපු කැපවීම් ඉටුකරන්න තිබ්බ හොඳම අවස්ථා . දැන් පෙම්වතා නික්මිලා ගිහින් නිසා තමන්ට මේ හැමදේම නැතිවෙලා කියලා මේ පද පේලි දෙකෙන් අදහස් කරනවා කියලා මම විශ්වාස කරනවා . ඉතින් එහෙම වෙලා නිසා තමන්ගේ ප්‍රේම දෙවොලේ වැඩ උන්නු ප්‍රේමය නැමති දෙවියන් අදවෙනකොට නැහැ කියලා මේ පෙම්වතිය කියනවා . 

දෙදෙනා ආමග අත්වැල් පටලා
තනිවී මා වැලපෙන්නේ
ඔබේ අනුහස සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
හිරුගෙන් සිසිල පතන්නේ

මෙතන දෙදෙනා ආමග අත්වැල් පටලා කියලා කියන්නේ පෙම්වතා සහ පෙම්වතිය ආපු ජීවන මග ගැන . මේ මාවතේ දැන් පෙම්වතිය තනිවෙලා දුක්වෙනවා . ඉතින් මේ දුක ඇතිවෙන්නේ දේවත්වයෙන් තමන් පුදනු ලැබූ ප්‍රේමය නැමති දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදය ආරක්ෂාව දැන් නැති නිසා . තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් අවශ්‍ය උනොත් අනාගතයේ තමන් කාගෙන්ද පිහිට පතන්නේ කියලා පෙම්වතිය හිතින් හිතනවා . සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද හිරුගෙන් සිසිල පතන්නේ ? . මෙතන මම හිතන්නේ සඳ කියලා කියන්නේ පෙම්වතිය වෙන්න ඕන . හිරු කියලා කියන්නේ ප්‍රේමය වෙන්න ඕන . පෙම්වතියට දැන් ප්‍රේමය ගැන තියෙන්නේ සෘණාත්මක හැගීමක් . ඒ නිසා පෙම්වතිය හිතනවා තමන්ට ගින්දරක් ඇතිඋනාම තමන්ට ගින්දර දීපු ප්‍රේමයෙන් කොහොමද සිසිලක් ප්‍රාර්ථනා කරන්නේ කියලා .

ඉර තමයි හඳට ආලෝකය දෙන්නේ . පෙම්වතුන් මේ චන්ද්‍ර මඩුලු අතරේ තමයි ප්‍රේම කරන්නේ . ඒ ආලෝකය පෙම්වතුන්ට පෙම්වතියන්ට සිසිලක් . ඒත් එහෙමයි කියලා ඒ ආලෝකයේ පදනම වෙන ඉරෙන් කවදාවත් සිසිලක් ලබාගන්න බැහැ කියලා මේ ගීතය අවසාන කරනවා .






මේ ගීතය අහන්න පටන් ගත්තේ නොසිතූ වෙලාවක . වයලීනොගේ මෑණියන් නම් සුජාතා අත්තනායක මහත්මියගේ ගීත අහන්න ඉස්සර ඉඳලා කැමතියි . ඒ නිසා රේඩියෝ එකේ මේ ගීතය එහෙම යනකොට ටිකක් සද්දේ වැඩි කරලා අහනවා . ඒත් වයලීනොට එච්චර කැමැත්තක් තිබ්බේ නෑ . ඒත් දවසක් බලපු වීඩියෝ එකක් නිසා මේ ගීතය නොඅහා ඉන්න බැරි උනා . හේමපාල පෙරේරා මහත්මයා , ලංකාවේ දැනට ඉන්න දක්ෂතම බටනලා වාදය ශිල්පියා . එතුමා රාජකීය විද්‍යාලයේ " සග " වැඩසටහනක සෝලෝ එකක් විදියට මේ ගීතය වාදනයකරනවා ඇහුනා . සංගීත භාෂාවෙන් කියනවනම් ඒ වාදනය හරිම පර්ෆෙක්ට් විදියට වාදනය කරලා තිබුණා .

ඉතින් ඕක අහපුවෙලේ ඉඳලා වයලීනොත් බටනලාවක් හොයාගෙන ඔය ගීතයේ රස මුසු තැන් හොයාගෙන යන්න පටන් ගත්තා . ඉස්සර නම් මේ ගීතයේ සංගීතයට කැමති නිසා ඇහුවේ . ඒත් මේ අවුරුද්දේ දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ මංගල්‍යය පැවැත්වුණු දවසේ වයලීනෝ ගියා දෙවියන් වැඳ පුදලා වයලීනි දැකබලාගෙන එන්න . එදා දේවාලෙට යනකොට උදේ හතට විතර ඇති . එදා මිදුලේ ඉඳලා දේවාලය දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මොන හේතුවක් නිසාද මන්දා මේ ගීතය මතකයට ආවා . එදා ඉඳලා මේ ගීතය ඉඳලා හිටලා අහලා බැලුවා . පස්සේ තමයි තේරුනේ මේක මේ නිකන්ම නිකන් දේවාලයකට ආව එක්කෙනෙක් නෙවෙයි කියන්නේ කියලා .





මේ ගීතයේ සංගීතය ගැනත් යමක් කියන්න තියෙනවා . මොකද මේ වගේ ස්වර ව්‍යුහයකට කොටු කරලා හදලා තියෙන ගීත කීපයක්ම අපි අහන නිසා . මට මේ ගීතය පාදක වෙලා තියෙන රාගය ගැන අහන්න ලැබුණේ මම දහය වසරේ ඉගෙනගන්න කාලයේ . අපේ ඉස්කෝලේ ස්වර්ණවාහිනි නාලිකාවෙන් කරපු සංගීත ප්‍රසංගයක් තිබුණා . සිංදුවා අයියත් මේ ප්‍රසංගයට ගායනයෙන් සම්බන්ධ උනා කියලා ලාවට මතකයි . ඉතින් මේ ප්‍රසංගයේ අපි ගායනා කරා නන්දා මාලනී මහත්මිය ගායනා කරන ප්‍රීතී ප්‍රීතී කියන ගීතය .




මේ ගීතයේ අතරමැද තියෙනවා බටනලාවකින් හරිම සංවේදී විදියට වාදනය කරන ආලාප කොටසක් . මේ කොටස වාදනය කරන වෙලාවේ අපේ සංගීත මිස්ගෙන් කෙනෙක් ඇහුවා මිස් මේ සිංදුව මොන රාගයටද යන්නේ කියලා . මිස් තමයි එදා කිව්වේ මේ ගීතයේ තනුව රචනා කරලා තියෙන්නේ ධර්භාරිකාණඩා කියන රාගයෙන් කියලා . ලෝ සැපතා මේ සංසාරේ කියන ගීතයත් මේ රාගයෙන් රචනා වෙලා තියෙනවා කියලා මිස් එදා කිව්වා මතකයි . ඉතින් ධර්භාරිකාණඩා කියන රාගය එදා ඉඳලා වයලීනොටත් සමීප උනා . බටනලාවට ගැළපෙන හොඳ රාගයක් තමයි මේ රාගය .

ස්වර ගැළපීම් එක්ක බැලුවම මේ ගීතයෙත් තනුව රචනා වෙලා තියෙන්නේ මේ ධර්භාරිකාණඩා කියන රාගයෙන් කියලා තේරුම් ගන්න පුළුවන් . ගීතයේ සංගීතය ගැන වෙනත් විස්තර කියන්න ඕන නෑ . සංගීතයේ ව්‍යුහය තේරුම් ගන්න කැමති අය මේ රාගයේ ගායනයක වීඩියෝ එකක් මම මුලින් දැම්මා , ඒක ප්ලේ කරලා බලන්නකෝ .

වයලීනොට ආයෙත් කැම්පස් එකේ එක්සෑම් ළඟ නිසා හරියටම මාසෙකට ආයෙත් මුකුත් ලියන්න වෙන්නේ නැහැ . වැඩ රාජකාරි ගොඩක් තියෙන වෙලාවක හදිසියේම අසනීප උන නිසා පාඩම් කරන්න ඔලුව නිරවුල් කරගන්නත් අමාරු නිසා ඇඳට වෙලා කරන්න වෙන වැඩකුත් නැති නිසා මේ ලිපිය කොටලා පබ්ලිෂ් කරන්න හිතුනා . එහෙනම් ආයෙත් මාසෙකින් ලිපියකින් හමුවෙමු .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Thursday, October 15, 2015

ක්ලැසිකල් පිං මොඩන් පිං සහ හරි හම්බ කරපු දේවල්








මේ ලිපිය ලියන්න කලින් ලියනවද නැද්ද ලියනවද නැද්ද කියලා හිත හිත හිටියා ටික දවසක් . මොකද මේ ලියන දේවල් එක අතකට සදාචාරාත්මකව ලියන්න බෞද්ධ අපිට අයිතියක් නෑ . ඒත් බලාගෙන ඉන්න බැරිම තැන තමයි මේක ලියන්න හිතුවේ . මම මේ ලියන දේවල් වලින් ආගමට හානියක් වෙනවනම් සමාව ඉල්ලා හිටිනවා . ඒවගේම ආගම ගැන වැරදි ආකල්පයක් ඇතිකරගන්න එපා කියලාත් ඉල්ලා හිටිනවා .

වයලීනොගේ ආච්චි අම්මා අභාවප්‍රාප්ත වෙලා අවුරුදු හයකුත් උනා . ඒත් තාමත් ආච්චි අම්මා ගැන ලියලා ඉවර කරන්න බැරි උනා . අද ලිපියටත් වැඩිපුරම දායක වෙන්නේ ආච්චි අම්මා ඉතුරු කරලා ගියපු සටහන් කීපයක් .

ආච්චි අම්මා නැති උනාට පස්සේ ආච්චි අම්මාගේ දේවල් කවුරුවත් ඇල්ලුවේ නෑ . ඇත්තම කියනවනම් අපේ අම්මලා උනත් ආච්චි අම්මට තිබ්බ ගෞරවය නිසා ආච්චි අම්මගේ කිසිම දෙයක් ගත්තේ නෑ . ඒත් වයලීනෝ එහෙම නෙවෙයි .

ආච්චි අම්මගේ බණපොතේ ඉඳලා කරාබු දෙක , මුද්ද පවා ගත්තා . මොකද මේවා අස්ථාවර තත්ත්වයක තිබ්බොත් මේවායේ අයිතිය ගැන ප්‍රශ්න මතුවෙනවනේ . හැක හැක හැක . ආච්චිඅම්මගේ ගොඩක් දේවල් ආච්චි අම්මා ඉන්න කාලේ උනත් තිබ්බේ මගේ කාමරේ . ආච්චි අම්මගේ පොත් එහෙම දාලා තිබ්බ පෙට්ටගම , තව ට්‍රන්ක පෙට්ටි කීපයක් තිබ්බේ මගේ කාමරේ . තව ආච්චි අම්මා ළඟ තියාගෙන හිටපු පනාව කන්නාඩිය ඒවා මේවා දාලා තියාගත්ත බෑග් එකත් ආච්චි අම්මා නැති උනාට පස්සේ එහෙමම ගෙනල්ලා මගේ අල්මාරියට දැම්මා .

ඉතින් මේවාට පස්සේ මොකද උනේ කියලා අම්මලා කවදාවත මගෙන් ඇහුවේ නෑ . මොකද මේවා ගැන එයාලට වඩා විස්තර දන්නේ මම නිසා . ආච්චි අම්මා ජීවතුන් අතර ඉන්න කාලේ හැම දේම ගැන පිළිවෙලට මට විස්තර කියලා තිබුණා . මේ දේවල් මෙහෙම වෙන්න ඕන . මේ පොත අරයට දෙන්න . මේ පොත් පරිස්සම් කරලා තියාගන්න වගේ දේවල් . ඉතින් උසස්පෙළ ලියලා ගෙදර ඉන්න කාලේ ගෙදර කවුරුවත් නැති වෙලාවට , ආච්චි අම්මාගේ බෑග් පෙට්ටගම් අවුස්සලා බලලා මොනවද තියෙන්නේ කියලා වයලීනෝ මහතා පරීක්ෂා කරලා බැලුවා .

බණ පොත් ගොඩක් තිබුණා . වඳින වෙලාවට කියන කවි ගාථා ලියපු කොළ මිටියකුත් තිබුණා . මේ අතරේ රෙදි , මහපු රෙදි , මහපු නැති රෙදි , එහෙමත් තිබුණා . රෙදිනම් අපි වයසක අයට දුන්නා . ආච්චි අම්මා වඳින වෙලාවට කියවපු කොළ ආයෙත් ප්‍රින්ට් කරලා පෝය දවසට පන්සලේ සිල් ගන්න අයට අපි බෙදලා දුන්නා .

ආච්චි අම්මාගාව තිබුණා තව පොඩි ලී පෙට්ටියක් . වෙලාවක මම ඒකෙ ෆොටෝ කෑල්ලක් දාන්නම්කො . මෙන්න මේ ලී පෙට්ටිය එයා කාටවත්ම අල්ලන්න දුන්නේ නෑ . ඒකෙ තමයි පරණ දේවල් ගොඩක් දාලා තිබුණේ . පස්සේ කාලෙක මට ඒ පෙට්ටිය දීලා කිව්වා මේකේ තියෙන්නේ මෙන්න මේවා , ඒවා කවදා හරි පන්සලකට පූජා කරන්න කියල . ඉතින් ආච්චි අම්මා නැති උනාට පස්සේ මම ඒ පෙට්ටිය ඇරලා බැලුවා .

ඒකෙ තිබ්බා බැංකු පොත් දෙකක් . ආච්චිඅම්මා තමන්ගේ මරණෙට වියදමට ගන්න සල්ලි දාලා තිබුණා බැංකු පොත් දෙකක . එකක් අම්මගේ නමට , අනික පුංචිගේ නමට . තව තිබුණා මැණික් ගල් දාපු බෝතලයක් . තව පොඩි පිත්තල පෙට්ටියක තිබුණා ගජමදාරා සුර හතර . ඊට වඩා වැදගත් තවත් ඇලුමිනියම් බෝතල් දෙකක් තිබුණ .

මම ඉතින් මේ බෝතල් දෙක ඇරලා බැලුවා . එකක තිබ්බේ තඹ කාසි ගොඩක් . අනිකේ තිබ්බේ රිදී කාසි ගොඩක් . මේ රිදී කාසි තිබ්බ බෝතලයේ පොඩියට නවලා ගුලි කරලා දාලා , පොඩි සටහනක් තිබුණා . මම ඒක සීරුවට අරගෙන කියවලා බැලුවා .

මේ කාසි මම එකතු කලේ බෝධියක් හදවන්න . මම නැති කාලෙක මේ කාසි උණු කරවලා බෝ පැළයක් හදවලා මගේ රත්තරන් සුරය උණු කරවලා බුදු පිළිමයක් හදවලා මාතර ජයසුමනාරාමයට පූජා කරන්න . ලොකු හාමුදුරුවෝත් , නාරද හාමුදුරුවෝත් ගෞරවයෙන් සිහිපත් කල වග මතක් කරන්න . මම එකතුකළ මැණික් ගල් වලින් සෑහෙන මුදලක් ඇත්නම් ඒවා ජයසුමනාරාමයේ චෛත්‍ය අලුත් වැඩියා කරන්න පූජා කරන්න .

මීට - - - - - -  .

මේක කියවපු වෙලාවේ දැනුන හැගීම වචන වලින් කියන්න අමාරුයි . පස්සේ මම රත්තරන් සුරයත් අරගෙන බැලුවා මම . ඒක කැරට් 24 රත්තරන් වලින් හදවපු අවුරුදු සීයක් විතර පරණ එකක් . ඉතින් මේ කාසි සහ සුරය තවමත් මම පරිස්සම් කරගෙන ඉන්නවා වෙලාව ලැබුණම මේ දේවල් කරන්න . ඒත් ආච්චි අම්මා ඒ සටහනේ කියලා තිබ්බ මාතර ජයසුමනාරාමයේ වැඩ හිටපු තාරාපේරියේ සෝමාලෝකාභිධාන නායක හාමුදුරුවෝත් , නාරද හාමුදුරුවෝත් දෙන්නම අද ජීවතුන් අතර නැහැ .

වයලීනෝ වයලීනි මුණගැහිලා එන්න යන වෙලාවට මේ පන්සල හැමදාම පහු කරගෙන යනවා . ආච්චිඅම්මා ආපු ගියපු පාර දැක්කම මේ දේවල් ආයෙ ආයෙත් මතක් වෙනවා . ආච්චි අම්මාගේ අවසාන ඉල්ලීම් වලින් එකක් උනේ අපි දැන් ඉන්න ගෙදර මාස තුනකට සඟසතු කරලා හාමුදුරු කෙනෙක් වස් වසන්න පිළියෙළ කරලා දෙන්න කියන එක . ඒ කාලේ ඇතුලත ගෙදර අය ගෙදරින් පිට වෙලා වෙනත් තැනක ඉන්න ඕන . ඒ අතරේ අර හාමුදුරුවන්ට සිවු පසයෙන් ඇප උපස්ථාන කරන්න ඕන .

ආච්චි අම්මා ජීවත් වෙලා ඉන්න කාලේ පන්සලට දාන දීපු තරම් මෙච්චරයි කියන්න බෑ . හැම මාසෙම වගේ පන්සලට දානයක් දෙනවා . හාමුදුරුවරු ලෙඩ උනාම කැඳ හදලා යවනවා . ගෙදර වත්තේ කෙසෙල් කැන් හැදුනම ඒවායෙන් පළවෙනි ඇවරි දෙක පන්සලට යවනවා . ආච්චි අම්මා ඉස්සර ඉඳලා කරපු පින්කමක් තමයි රම්මල්කන්ද ආරණ්‍ය සේනාසනයට වාර්ෂිකව දානයක් දීපු එක . අවුරුද්ද පුරාවටම සල්ලි එකතු කරලා වාහනයක් හයර් කරගෙන හාල් පොල් අරවා මේවා ඔක්කොම පටවාගෙන , මදි හරියට නෑදෑ පිරිවරත් එකතුකරගෙන ගිහින් දානය දීලා එනවා .

සිරීපාදේ යනවා වගේලු ඒ කාලේ මේ ආරන්නියට යනකොට . කැලෑ පාරක් තමයි ඉස්සර එහෙ තිබිලා තියෙන්නේ . දැන් නම් ඉතින් අලුත් පාරවල් හදලා තියෙනවා . ඉතින් නෑදෑයෝ එක්ක ඕන කරන ඒවා ගෝනි වල පුරවාගෙන කර තියාගෙනලු යන්නේ . මේ ආරන්නියට ආච්චි අම්මා තමන්ගේ අල්මාරියයි පබලියමයි පූජා කළා . පස්සේ ආච්චි අම්මට ඇඟපත වාරු නැතිවෙනකොට මේ දාන දීම නැවතුනා . පස්සේ අපේ අම්මයි පුංචියි පටන් ගත්තා දාන දෙන්න . දැන් ඉතින් පුළුවන් හැම වෙලාවේම පන්සලට දානේ ගිහින් දෙනවා . තවත් පිංකම් වලට සහභාගී වෙනවා . ඒත් ආච්චි අම්මාගේ රෙකොඩ්ස් සම කරන්න එයාලට තව කාලයක් යයි .

ඉතින් මම මේ කියාගෙන ආවේ පරණ උදවිය පිං කරපු හැටි ගැන මම දන්නා දේවල් . මේ පිං කිරීම ගැන විමාන වත්ථු පේථ වත්ථු කියන පොතේ හරිම ලස්සනට සඳහන් වෙනවා . පොත කියවලා නැත්නම් ඔයාලා කියවලා බලන්න . හරිම සරළ විදියේ පිං කරලා ඒවායේ හොඳ ප්‍රතිපල ලැබුණේ කොහොමද කියලා ඒ පොතේ සදහන් වෙලා තියෙනවා .





මම මේ දේවල් ගැන කියන්න හාමුදුරුවරු කියන වචනයට වඩා පාවිච්චි කරන්න කැමතියි චීවර ධාරියෝ කියලා . මෙයාලා අද ලේසියෙන් දානේ ගෙදරකට එනවද ? . දානෙකට ආරාධනා කරන්න ගියොත් අර කෑම ඕන මේ කෑම ඕන ඒවා මේවා කතා ගොඩයි . අපේ ආච්චි අම්මාගේ නංගි නැතිවෙලා හත් දවසේ දානෙට ආරාධනා කරා කොළඹ පැත්තේ එක්තරා පන්සලකට . ඒ එන අයට කුෂන් කරපු පුටු ඕන කිව්වා . චිකන් ඕන කිව්වා . ඉතින් හදිස්සියෙවත් පැල්පතක ජීවත් වෙන කෙනෙක් මේ පන්සලට දානෙට ආරාධනා කරානම් මොකද වෙන්නේ ?

තව එක දවසක් මම මළගෙදරකට සහභාගී වෙලා ඔන්න දැන් මිනිය ගෙයින් එලියට අරගෙන පාන්සකූල දුන්නා . හත් දවසේ දානෙට ආරාධනා කරාම ඒ චීවර ධාරියෝ කියපි මහත්තයා හත් දවසේ දාන වලට අපි යන්නේ නෑ . කිලි නෙ ගෙදර . තුන්මාසෙට එන්නම් . හත් දවසේ දානේ පන්සලට ගෙනත් දෙන්න කියලා .

අද කාලේ දාන දෙනකොට මාමයිට් , සුප් , තැඹිලි , දෙන්න ඕන බත් කන්න කලින් . ඊට පස්සේ අතුරුපසට පළතුරු , කැවිලි , අයිස්ක්‍රීම් , වටලප්පන් , සැලඩ් . තව ඊට පස්සේ පන්සලට යනකොට අරගෙන යන්න ගෙඩි පිටින් පළතුරුත් කවර වලට දාලා දෙන්න ඕන . සමහර අය රතු බත් කන්නේ නෑ , සමහර ය සුදු බත් කන්නේ නෑ . සමහර අයට සම්බා කන්න බෑ . එක එක අවුල් ගොඩයි . මේකද බුදුහාමුදුරුවෝ දේශනා කරපු භික්ෂූ චර්යාව ?

සමහර හාමුදුරුවරුන්ට පොරවන්න තායිලන්තෙන් ගෙනාව සිවුරු ඕන . සමහර අය තැඹිලි පාට ඒවා විතරයි . සමහර අය මෙරූන් පාට ඒවා විතරයි . සමහර අය රෙද්දේ ගණකම කොහොමද බලනවා .

අද කාලේ කටින පිංකම් වෙන හැටි බලන්න . කටින චීවරය ඉස්සර කාලේ ගම වටේම අරගෙන ගිහින් හැම කෙනෙක්ටම අතගස්වලා තමයි අළුයම් කාලයේ පූජා කරන්නේ . ඒත් අද එහෙම නෙවෙයි . අද කරන්නේ දවල්ට කටින පෙරහැර යන එක . කටින චීවරය ලොකු ලොරියක තමයි අරගෙන යන්නේ . ඉතින් අතගහන්න වෙන්නේ නෑ . බලන්න විතරයි පුළුවන් . ඇයි ඕක ගෙනියන එකාට ඕක ඔලුව උඩ තියාගෙන ගියාම මක් වෙනවද ? . අනික ඉස්සර කාලේ කටින චීවරය මෝල් ගහක ඔතලා දෙන්නෙක් කර තියාගෙන තමයි ගම වටේ අරගෙන ගියේ .

මේවා නිසා අද වෙනකොට සල්ලි නැති දුප්පත් මිනිස්සු පිනක් දහමක් කරගන්න විදියක් නැතිව අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා . ඔය චීවරධාරියෝ ඉල්ලන ඉල්ලන ඒවා දෙන්න ඒ මිනිස්සුන්ට පුළුවන් කමක් නැති නිසා කරබාගෙන ඉන්නවා . ගොඩක් වෙලාවට බෞද්ධ අය වෙනත් ආගම් වලට හැරෙන්න මේ හේතූන් විශේෂයෙන්ම බලපාලා තියෙනවා .

කටින පිංකම කියන්නේ අටමහා කුසල් වලින් එකක් . මේකක් කරගන්න පෙරුම් පුරපු සමහර අය අද වෙනකොට ඒ අදහස අත්හැරලා දාලා ඉන්නවා . මොකද කටිනයක් කරන්න ඕන කියලා පන්සලට කිව්වම පන්සලේ ඉන්න අය කියන්නේ ලක්ෂ පහ හයක් වියදම් කරන්න වෙනවා කියලා . කටින පෙරහරට අලි ඇත්තු ඕනළු , උඩින් මල් දාන්න ඕනලු . පන්සල වැහෙන්න බල්බ් වැල් දාන්න ඕනලු. ශබ්ධ විකාශන නැතුව හාමුදුරුවරු පිරිත් කියන්නේ නැතිලු , පිරිත් කියන්න පිරිත් විශාරදලා වෙනම ගෙන්නන්න ඕනලු . ඒවා මේවා ගොඩයි ඉතින් .

පිරිත් කිව්වම මතක් උනේ . දවසක් ඔන්න අපේ පැත්තේ ගෙදරක පිරිතක් කියන්න ලැස්ති වෙලා . පන්සලට අතේ දුර . ඒත් ඒ පන්සලේ ඉන්න අයට පයින් එන්න බෑ කියලා වාහනයක් එවන්න කිව්වලු . ත්‍රීවීල් වල එන්න බෑ කියලා වෑන් එකක් හරි කාර් එකක් හරි එවන්න කිව්වලු .

මේ ඔක්කොම නිසා දැන් පිං කිරීමත් මොඩන් වෙලා . දැන් ගෑණු උදවිය තමා පන්සල් රන් කරන්නේ . ඒකෙ එක අතකට හොඳකුත් තියෙනවා . මොකද පන්සල් වලට යන පිරිමි පක්ෂය දැන් කාලේ අඩු නිසා . ඒ නිසාම පන්සල්වල වැඩි හරියක් කාන්තා පරමාධිපත්‍ය තහවුරු වෙලා තියෙන්නේ . මේ නිසා අද කාලේ පන්සල් වල බෝධි පූජා එහෙම කරනවානම් හාමුදුරුවන්ට කලින් පන්සල රන් කරන ගෑණු උන්දලට මතක් කරලා ඉන්න ඕන . නැත්නම් දෙවියෝ උදහස් උනාට වඩා හපන් මේ ගෑණු උදහස් උනාම .

මේ උදවිය දැන් කාලේ ගොඩක්ම මොඩන් පිංකම් සංවිධානය කරනවා . ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ගාථා අහන්නේ නැතුව ටිකක් ඇදලා පද්දලා ලස්සනට තාලෙට කවි ගාථා කියන හාමුදුරුවරු හොයාගෙන යනවා . ඉතින් ගමේ පන්සලේ හාමුදුරුවන්ට වෙන්නේ වවාගෙන උයාගෙන කන්න වෙන්නැති . මේ උදවියට තේරෙන්නේ නැද්ද මන්දා කොයි පන්සලෙත් ඉන්නේ එකම බුදුහාමුදුරුවෝ කියලා .

බුදු හාමුදුරුවෝ කිව්වම තව කාරනාව මතක් උනා . රත්නපුරේ ඉඳලා කොළඹ යනකොට රත්නපුරට කිට්ටුව තියෙනවා අලුත් පන්සලක් . මේක අලුත්ද නැත්ද කියලා හරියටම මීටර් නෑ . ඒත් පන්සල අලුත් පාටයි . මේ පන්සලේ තියෙනවා පිට රටකින් වැඩම කරවපු බුදු පිළිමයක් . මේ බුදු පිළිමය ගාවින් බස් එක යනකොට මිනිස්සු නැගිටිනවා . කමක් නෑ . ගෞරවය නිසා වෙන්න ඇතිනේ එහෙම නැගිටින්නේ . ඒත් ඊට එහා පැත්තේ තියෙනවා ඉතාම විශාල සිමෙන්ති බුදු පිළිමයක් . මිනිස්සු කවුරුවත් ඒක දැක්කම නැගිටින්නේ නෑ . ඇයි ඒ ?
මමනම් හිතන්නේ මිනිස්සුන්ගේ මෝඩ ශ්‍රද්දාව තමයි මේ කියලා .

කවුරුත් රැල්ලට අහුවෙලා එක එක කාලෙට එන බෞද්ධ සම්ප්‍රදායන් වැළඳ ගන්නවා . ඒත් මේ කාලය ඇතුලත මේ කිසි කෙනෙක් බණ දහම් ඉගෙනගන්න පෙළඹිලා නෑ . තාලෙට කවි ගාථා කිව්වට අර්ථය ඔලුවට අරගෙන නෑ . පන්සල් වල ඉන්න චීවර ධාරීන් පවා මේවා වැරදියට ඔලුවට අරගෙන ඉන්න නිසා මේවා ගැන එක අතකට කතා කරලා වැඩක් නෑ . පන්සල් වල ඉන්න අධිපති ගෑණුන් නිසාම තමයි වයලීනෝ සමන් දේවාලයට කිට්ටු උනේ . පන්සලට ගියාම ඒ ඒ අයගේ විකාර බලනවට වඩා දේවාලෙට ගිහිල්ලා දේවාලේ තියෙන බුදු පිළිමයට බෝධියට වැඳලා දෙවියන්ට පිං දීලා එනකොට හිතට හොඳයි . මිනිස්සු පන්සලට එන්නේ හිත එකඟ කරගන්න හිත නිදහස් කරගන්න . ඒත් වෙන්නේ නොකළ පවු පවා කරගෙන යන්න වෙන එක .

මේ ලිපිය ලියන්න හේතු උනේ මුහුණු පොතේ මම දැක්ක ෆොටෝ එකක් . හාමුදුරුකෙනෙක් this is my new temple කියලා අලුත් පන්සලක ෆොටෝ එකක් දාලා තිබුණා . පන්සල හොඳයි . අලුත් . ලස්සනයි . ඒත් ඒ පන්සල අනිත්‍ය බව කියලා දෙන ආගමික පසුබිමක් තියෙන එකක් නෙවෙයි . පේරාදෙණියේ මල් වත්ත වගේ ලස්සන කරලා තිබුණා . හාමුදුරුවනේ , ඔය හාමුදුරුවෝ මේක කියවනවානම් පන්සලේ පුස්තකාලේ ඇති විශුද්ධි මාර්ගය කියලා පොතක් . අන්න ඒක හොඳට කියවලා බලන්න තමන් ඉන්නේ කොයි තැනද කියල.

මේ ලිපියට අද මම ගාව ගන්න ගීතයේ තේරුම නම් විග්‍රහ කරන්න ඕන නෑ . ඇහුවම ඕනෑම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් . ඒ නිසා මම ඔන්න ගීතය සඳහන් කරලා මේ ලිපිය මෙතනින් නවත්වනවා .






බුදුහාමුදුරුවනේ , ඔබ වහන්සේ කරපු ලොකුම හොඳ සහ ලොකුම වැරැද්ද තමයි ඔබවහන්සේගේ ආගම අදහන අයට අසීමිත නිදහසක් ලබා දීම .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Sunday, October 11, 2015

ඔන්න ලස්සදෙකත් පහු කරා






ආයුබෝවන්

ඔන්න ඔහොමලු එක්කෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගත්තේ . ඊට පස්සේ ඒ බ්ලොග් එකේ තව එක්කෙනෙක් ලියන්න සෙට් උනාලු . දෙන්නම එහෙම ලියාගෙන ලියාගෙන ලියාගෙන යනවලු . දැන් වීව්ස් ගණන ලක්ෂදෙකේ සීමාව පහුකරලා නිසා දෙන්නම හිතුව බ්ලොග් එක කියවන්න එන අයට ස්තූති කරන්න .

2013 පෙබරවාරි මාසයේ පටන්ගත්ත අපේ මේ බ්ලොග් එක , එක එක එව්වා මේව්වා ලියාගෙන ලියාගෙන දිග ගමනක් යනගමන් ඔන්න වීව්ස් ලක්ෂදෙකේ සීමාව පහුකරාලු ඉතින් .







2014 - 10 - 24 වෙනිදා ඉඳලා 2015 - 10 - 11 වන අද දිනය වෙනකොට අපි ලක්ෂයක වීව්ස් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා . ඒ ගැන පොඩි සතුටක් තියෙනවා . මේ කාලය ඇතුලත අලි ගැන , කෑම සූත්‍ර වගේ කැටගරි කීපයක් අපි අලුතෙන් පටන් ගත්තා . වෙලාව සහ හිත නිදහස් නොවීම් වගේ කාරණා නිසා සීයා මුණුබුරාගේ කතා මාලාව මේ වෙනකොට ඇණ හිටලා තියෙනවා . ආසාවෙන් ඒවා කියවපු අය වෙනුවෙන් ආයෙත් ඒ කතා ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා .

මේ කාලය ඇතුලත සිංදුවා බ්ලොග් එකේ ලිව්වේ අඩුවෙන් කියන එක රහසක් නෙවෙයි . කොටින්ම කියනවනම් ලිව්වේ නැති තරම් වගේ තමයි . ඒත් පරිඝනක තිරය හරහා සිංදුවා අදහස් දැක්වුයේ නැති උනාට මම ලිව්ව හැම ලිපියකම වැරදි අඩුපාඩු වගේම වැදගත් හොඳ දේවල් විවේචනය කරමින් මියැසියේ රසකතා පිටුපස සිංදුවා හැමදාමත් ඉන්න බව බ්ලොග් එක කියවන අයට මතක් කරන්න ඕන .








මම මේ ස්තූති කිරීමේ ලිපිය ලියන වෙලාව වෙනකොට අපේ බ්ලොග් එකට කමෙන්ට්ස් 3622ක් ලැබිලා තියෙනවා . පළවෙනි කමෙන්ට් එක ලැබුණේ චතුර අයියාගෙන් . වීව්ස් ලක්ෂ දෙකක් සම්පූර්ණ වෙන වෙලාවේ අවසාන කමෙන්ට් එක ලැබිලා තිබුණේ කුරුටු ගෑ ගී පවුර ඇඩ්මින් තුමාගෙන් . ඒ අවස්ථා දෙක බ්ලොග් එකේ වැදගත් අවස්ථා දෙකන් විදියට මම දකිනවා . ඉතින්

අපේ පෝස්ට් කියවපු ,
ඒවාට අදහස් පල කරපු ,
විවේචනය කරපු ,
බ්ලොග් එක ප්‍රවර්ධනය කරන්න උදවු කරපු ,
අපේ පෝස්ට් ශෙයා කරලා තවත් අය එක්ක අපේ කතා බෙදාගත්තපු ,
වැරදි පාරේ යනකොට හරි පාරට ඇදලා ගත්තපු හැමෝටම

සිංදුවා සහ වයලීනෝවා හදපිරි මෙව්වා එක පල කොරනවා . කලින් ලියාගෙන ආපු දේවල් ඉදිරියටත් එහෙමම ලියාගෙන යන්න වගේම , තව තව අලුත් දේවල් බ්ලොග් අවකාශයේ හැමෝමත් එක්කම බෙදාගන්න අපි බලාපොරොත්තු වෙනවා .

අපිත් එක්ක ඔබ ආවොත්
හිනාවෙනව හැමදාමත්
මේ කියන්නේ ඇත්තයි
මල්ලී
නංගී
අයියේ
අක්කේ
නැන්දේ
මාමේ
සහෝදරි සහෝදරි වරුනේ .


එහෙනම් සිංදුවටයි මටයි විතරක් මවුලයක් ( හයයි දශම බින්දුවයි දෙකයි දෙක වැඩිකිරීම දහයේ විසිතුනක් ) දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරස්සාවයි .















මාළිගෙ සුන්දර පුරය දෙවුන්දර
සෝභන පුර සඳ ලෙසට මනෝහර 
වැජඹෙන සිරි මහ විෂ්ණු පුරන්දර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

රත්න විමානේ කදිරා පුරවර
චන්ද්‍ර සූරියා ලෙසට සුභාකර 
වැජඹෙන කදිරා දේව මනෝහර
පින්ගෙන අපදෙන රකින නිරන්තර

ලොවැති සකල අඟනන් හට පේමා
තිලකවූ සුන්දර රුසිරෙන් සෝමා
නම් දැරු දේවිය පත්තිනි අම්මා
පින්ගෙන අපදෙන රකින්න සෑමා

නැගී ඇතුගෙ පිට සුදු සඳ පානේ 
ඔබේ ගමන කන්දේ සොභමානේ
සමන් දෙවිඳු අප තෙදිනි රකින්නේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

සටනින් පසු රාමා කල ඈතේ
දෙවියන් වූ සිරි කැළණි පළාතේ
සුරිඳු විභීෂණ සිහිකර නිතිනේ
පින්ගෙන අපදෙන සැවොම රකින්නේ

වන්නියේ වනයේ අණ පතුරන්නේ 
දිවි වග වලසුන් පන්නා ලන්නේ 
සාධු සිතින් යන සැවොම රකින්නේ 
අයියා නායක දෙවි පින් ගන්නේ 

අල්ලට ගල් ගෙන මැණික් කරන්නේ 
වැල්ලෙන් බත් පිස භෝජන ගන්නේ 
සෙල්ලන් වියෙ දරුවන් රැක දෙන්නේ 
දෙවොල් දෙවිඳු අද මේ පින් ගන්නේ 

ගවුවක් විතරැති ගල පොඩි කරපූ 
ඇසක් ලෙසට බෙර සමතල කරපූ
එක් දවසින් දේවාලය සදපූ 
දැඩිමුන්ඩය ගනු පින් දොස හරපූ 

කමල නයන නෙත පතුරන බලනා
පුවල බලැති ඔඩ්ඩිස දෙවි බැතිනා
අපට කරන දොස දුර කර වසනා
නිමල සහන සෙත දුන මැන ලෙසිනා

රන් තොරණේ මුරට සිටින කඩවර 
වම් අතිනේ ගෙනත මුගුරු වරතර 
රන් විමනේ දොරැර එන්න අවසර 
දැන් ඉතිනේ වඩින් දේව කඩවර


Friday, October 9, 2015

මිතුරු දම් විනා සුපෙම් හැඟුම් ඔබෙන් එපා !


පෙරවදන ඉවත් කරන ලදී !





සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්


ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර





ගී පද - කපිල කුමාර කාලිංග




සංගීතය - රෝහණ වීරසිංහ




මේ ගීතය අහන්න ලැබිලා ගොඩක් කල් වෙනවා . ලියන්න ඕන කියලාත් හිතාගෙන ගොඩක් කල් වෙනවා . ඒත් පූර්විකාව වැදගත් නිසා මම මේක ලියන්න කාලයක් ගත්තා . අද මේ ලියන්නේ ගොඩක් දුරට වඩාත්ම ගැළපෙනවා කියල හිතෙන දේ . ඒ නිසා වෙනත් අදහස් තියෙනවනම් ඔන්න කමෙන්ට් කරනවා හොඳයි .





සුපෙම් හැඟුම් ඔබෙන් එපා
මිතුරුදම් විනා
නෞකාවකි ඔබ ඈත සමුදුරේ
මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ

පෙම්වතාට සමු දීලා අලුත් ජීවිතයක් පටන් ගත්ත ප්‍රේමවන්තියක් මේ ගීතයේ ප්‍රධාන චරිතයට පණ දෙනවා කියලා මට හිතෙනවා . ප්‍රේමයෙන් පරාජයට පත් වෙච්ච ප්‍රේමවන්තයෙක් ඒ ප්‍රධාන චරිතය එක්ක මේ ගීතය පුරාවටම රංගනයක යෙදෙනවා . සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරු දම් විනා . පෙම්වතිය දැන් පෙම්වතාව තමන්ගේ හිතෙන් අයින් කරලා ඉවරයි . ඒ නිසා මිත්‍රත්වයක් හැර ප්‍රේමාන්විත හැගීම් මේ පෙම්වතිය වෙනුවෙන් ඇතිකරගන්න එපා කියලා පෙම්වතිය පෙම්වතාට ආයාචනා කරනවා .

මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ කියලා කියන්නේ ජීවන නෞකාවකට ආලෝකය සපයන්න පුළුවන් ප්‍රදීපාගාරයක් විදියට මේ ගැහැණු ළමයාව හඳුන්වන්න පුළුවන් නිසා . ඒ කියන්නේ තවම මෙයා වෙන කෙනෙකුගේ ප්‍රේමවන්තියක් වෙලා නෑ කියන එක . ඒත් ඒ ප්‍රේමවන්තයා ඔබ නෙවෙයි කියලාත් මේ ප්‍රේමවන්තිය කියා හිටිනවා . ඒ නෞකාවකි ඔබ ඈත සමුදුරේ කියලා . ප්‍රදීපාගාරයේ ආලෝකය ලැබෙන්නේ යම් තරමක දුරකට විතරයි .ඒත් මේ ප්‍රේමවන්ත්යාගේ ජීවන නෞකාව මේ ප්‍රදීපාගාරයෙන් ඈතට ගිහිල්ලා . ඒ නිසා ප්‍රේමාලෝකය ආයෙත් මේ නෞකාවට ලැබෙන්නේ නෑ .





තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
කිසිදින අප හමු නොවන බව දනිම්
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් . දැන් ප්‍රේමවන්තයා තමන්ගේ හැගීම් කලඑළි දක්වනවා . මේ ප්‍රේමවන්තයාට පෙම්වතියගේ ප්‍රේමාලෝකය දැන් ලැබෙන්නේ නෑ . ඒ නිසා තරු එලිය , ඒ කියන්නේ වටෙන් පිටෙන් ලැබෙන පොඩි පොඩි ආලෝකයන් වලින් පාර හොයාගෙන තමයි ජීවන නෞකාව පැදගෙන යන්න වෙලා තියෙන්නේ . හරිහමන් මග පෙන්වීමක් නැති නිසා මේ රාත්‍රී ගමන රුදුරු බවක් අරගෙන තියෙනවා කියලා පෙම්වතා හිතනවා . කිසිදින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් . ඉතින් ප්‍රේමවන්තයා දන්නවා ආයේ කවදාවත් මේ පෙම්වතිය තමන්ට ලැබෙන්නේ නෑ කියලා . ඒ නිසා ප්‍රේමවන්තයා හිතන්නේ මේ පෙම් සිහිනය මේ විදියටම මිය යන්න ඕන කියලා .







දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

ආදරයේ තියෙන එකම සතුට වෙන්නේ දුක කියලා ඇලපාත මුදලිතුමා ගජමන් නෝනාට කියලා තියෙනවා . ඒ වගේ තමයි ප්‍රේමය ගිලිහිලා අවසානයේ ඒ සුන්දර අත්දැකීම් මතක් කර කර හිතෙන් දුක් වෙන එකෙත් පොඩි සතුටක් තියෙනවා කියන්නේ . විප්‍රලම්භ ශ්රුන්ගාරය කියන්නේ මෙන්න මේ හැගීමට . දිවයුරු සැඟවෙන මොහොතක තනි වී ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන් . හවස් වෙලාවක තනිවෙලා තමන්ගේ ප්‍රේමාන්විත අත්දැකීම් ගැන මතක් කරලා ඉකිබිඳින හිතක් තමයි දැන් මේ ප්‍රේමවන්තියට තියෙන්නේ . මොකද තවම එයාට පෙම්වතෙක් ලබිලාවත් ආයේ පෙම්වතියක් වෙන්න හිත හදාගෙනවත් නැති නිසා . ඉතින් එයා කලින් ආදරය හිතෙන් මවාගෙන හිතෙන් විතරක් ප්‍රේම කරනවා .

ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින් . ප්‍රථම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය කවදාවත ආයේ දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරාට හිත යටින් කවුරුත් කැමතියි පොඩ්ඩක් එයාව දකිනවට . ඒත් ඒ දුරින් මිස ළඟින් නෙවෙයි . ඉතින් මේ ප්‍රේමවන්තියත් කැමතියි තමන්ගේ පරණ ප්‍රේමවත්නයා ඈතින් හරි දකින්න . මේ හැගීම වටහා ගැනීම තමයි හරිම වැදගත් දෙයක් විදියට මේ ගීතයේ මම දකින්නේ . එතකොට තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාව අවබෝධ කරගන්න පුළුවන් වෙයි . ඊට පස්සේ ප්‍රශ්න ඇතිවීම වළක්වා ගන්න පුළුවන් වෙයි .

මේ ගීතයේ මුහුදක පසුබිමක් ඇතිකරලා තියෙනවා . ඒ වයලීනය බේස් ගිටාර් එක සහ බටනලාව උපයෝගී කරගෙන . ඊට අමතරව මේ ගීතයේ අනිත් සංගීත කාණ්ඩ ගැන වයලීනොගේ වැඩි පැහැදීමක් නැහැ . ඒ නිසා සංගීතය ගැන වැඩි යමක් කියන්නේ නෑ . එහෙනම් ආයෙත් අලුත් ගීතයකින් හමුවෙමු .


ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

පලි : මේ ගීතය ගැන ලියන්න කියලා දැනට දවස් දෙක තුනකට කාලින මට මතක් කලේ අවංක ආර්යන් කියන මල්ලි . ඒ මල්ලි ලියපු මෙන්න මේ ලිපියටත් මේ ගීතය පාදක කරගන්න පුළුවන් කියලා මම හිතනවා .
තවත් එක දවසක්...

Saturday, October 3, 2015

අලි වෙදකම්






සබරගමුව මහ සමන් දේවාලයේ මේ අවුරුද්දේ ඇසල පෙරහැර මංගල්‍යය මේ දවස්වල පැවැත්වෙනවා . කැම්පස් එකේ වැඩ ටිකක් එහා මෙහා වෙනකල් ඉඳලා ගෙදර දුවගෙන ආවා දෙවියෝ වැඩමවනවා බලන්නත් එක්ක . දෙවේලේ පෙරහැර එකක් බලලා වීඩියෝ එකක් ගත්තා . පස්සේ රන්දෝලි පෙරහැර පටන් ගත්තට පස්සේ මුල්ම දවසේ කොහොමහරි දේවාලේ වටේ දුවලා පෙරහැරේ මෙච්චර දවස් බලන්න ලැබුණේ නැති අංග කීපයක් වීඩියෝ කරගත්තා . ඉඳලා හිටලා ඒවා ආයෙත් ප්ලේ කරලා බලනකොට හිතට හරිම නිදහස් ශාන්ත බවක් ඇතිවෙනවා . ඒ නිසා පොලීසියෙන් මගේ ලැප් එක ගත්තොත් එහෙම එයාලා මට කියනවා ෂුවර් මේ ලැප් එක දීපන් අලියෙක්ට කියලා . හැක හැක හැක .

ඉතින් එදා පෙරහැර පටන් ගන්න කලින් මම දේවාලේ පහල මළුවට ගිහින් අලි ඇත්තුන්ගේ වග තුග බල බල වටේ ඇවිද ඇවිද හිටියා . අලුත් අලි නංගිලා මල්ලිලා කීප දෙනෙක්ම ඇවිත් හිටියා . අලි බලන අයත් වෙනදා දැක්කේ නැති අය ඉන්නවා දැක්කා . ඒවගේම කලින් දැකපු සමහර අලිබලන වයසක සීයලා දකින්න ලැබුණේ නෑ . මට අලින්ගේ මරු නිල ගැන කියලා දීපු අලි බලන සීයා කෙනෙක් ගිය අවුරුද්දේ පෙරහැර අවසන් වෙලා මාස කීපයකට පස්සේ මිය ගියා කියලත් දැනගන්න ලැබුණා . අලි බලන කෙනෙක් උනාට හරිම අහිංසක හිනාවක් තියෙන හරිම නිවුන චරිතයක් ඒ සීයට තිබුණේ .





මම ඉතින් පෙරහැර බලන්න ගියාම මේ සීයා එක්ක කතාවට වැටිලා සමහර දේවල් අහලා දැනගත්තා . පොත්වල තියෙන න්‍යායාත්මක දේවල් ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියලා මට කියලා දුන්නේ ඒ සීයා . මේ පාර ඒ අලියා බලන්න හිටපු අනිත් කෙනා විතරක් ඉන්නවා දැකලා මම ඇහුවාම කෝ අනිත් සීයා කියලා , එයා තමයි කිව්වේ ඒ සීයා මිය ගියා කියලා . වෙන අලිබලන අය එක්ක වැඩිය මගේ ඇයි හොඳයි නැති වෙච්චි එකේ මේ සීයා නැති අඩුව අලි ඇත්තු ගැන මම හොයන කියන දේවල් වලට ලොකු පාඩුවක් වේවි . ඉතින් මේ ලිපියේ මුලින්ම මම ඒ සීයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා . ලබන ආත්මයේ මනුස්ස ලෝකේ ඉපදිලා ඒ අවදානම් රස්සාව ආයෙත් කරන්න නොලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා .

ඉතින් ඔන්න පෙරහැර තියෙන්නේ රාත්තිරියේ නෙව . එක දවසක දවල් වෙලාවේ ගියා මගේ යාලුවා , නැදුන්ගමුවේ රාජා බලලා එන්න . මම දේවාලෙට යනකොට එයා කෑම කකා ඉඳලා වතුර තියෙන ටැංකිය ගාවට ගිහින් වතුර බොනවා . ඊට පස්සේ වතුර ඇදගෙන නානවා . එකම විකාරයි . ඉතින් මම ලඟට වෙලා බලාගෙන හිටියා මොකද කරන්නේ කියලා . ඇතාගේ පිටේ දෙපැත්තේ තුවාල දෙකක් තියෙනවා . එකක් ටිකක් ලොකුයි . අනික ටිකක් පොඩියි . ඇතා වතුර ඇදගෙන නෑවට පස්සේ ඇතාව බලන කෙනා ඇතාව පැත්තකට එක්ක ගිහින් ආයෙත් කන්න දුන්නා . මම ඉතින් එහෙමම දේවාලෙට ගිහින් ආයෙත් එනකොට ඇතාගේ තුවාල වලට බෙහෙත් දානවා . ඒ බෙහෙත් දාන හැටි වීඩියෝ කරා මම . දැක්කම හිතට හරිම අප්සැට් . ඒත් ඇතාගේ හිමිකරුවා හොරි දද වන ගෙඩි කුෂ්ට පිළිකා වෙදකම් සම්බන්ධව විශාරද වරයෙක් නිසා ඇතාට දෙවියන්ගේ පිහිටෙන් අතුරු ආන්තරාවක් වෙන එකක් නෑ කියලා පොඩි විශ්වාසයක් තියන්න පුළුවන් .




මේ සිද්ධිය දැක්ක වෙලාවේ මගේ මතකය ආයෙත් ඈතට ඈතට ඈ...........................තට දුවගෙන ගියා . ඉස්සර අපේ සීයා , ආච්චි අම්මා ඉන්න කාලේ සමන් දේවාලේ දවල් පෙරහැර ඉවරවෙලා පස්සේ දවසේ දේවාලපොළ පැත්තේ ශෝපින්ග් පාරක් දාන්න යන එක අපේ ගෙදර පුරුද්දක් වෙලා තිබුණා . ගෙදරට ඕන කරන වලං පිඟන් කෝප්ප පැදුරු මල් අරවා මේවා එහෙම ගන්නේ ඒ දේවාල පොළේ කඩවල් වලින් . මේ අතරේ මට ඉස්කෝලෙට ඕන කරන පැන්සල් පෙට්ටි වතුර බෝතල් පොත් බෑග් වගේම සෙල්ලම්බඩු එහෙමත් හම්බෙන්නේ මේ දේවාල පොළෙන් තමයි . ඉතින් ආච්චි අම්මා වයසට ගියාට පස්සේ , ඒ කියන්නේ ඇවිදින්න බැරි උනාම අනිත් අය ඒ සිරිත රැකගෙන ආවා . පස්සේ සීයා ආච්චිඅම්මා නැති උනාට පස්සේ ටික ටික ඒ සිරිත් ගෙදරින් නැතිවෙලා ගියා . දැන් සමහර අවුරුදු වලට අම්මලා පෙරහැර බලන්නවත් යන්නේ නෑ . ගියොත් මම විතරයි .





මම පොඩිකාලේ දවසක් අපේ අම්මයි තාත්තයි මමයි දේවාල පොළේ ඇවිද ඇවිද ඉන්නකොට දෙවුන්දර අපේ මහගෙවල් පැත්තේ කෙනෙක් සමන් දේවාලේ පිටිපස්සේ පදිංචි වෙලා ඉන්නවා කියලා දැනගන්න ලැබුණා . ඒ ගෙදර කඩයක් තිබුණා . අපි ඉතින් කඩේට ගොඩවෙලා ඒ ය එක්ක කතා කර කර ඉන්නකොට අලි බලන කෙනෙක් ඇවිත් ඇහුවා ඒ ගෙදර ඇන්ටිගෙන් අක්කේ පාන් ගෙඩි දෙකක් ගන්න තියෙනවද කියලා . පස්සේ ඒ ඇන්ටි කිව්වා අලියට බෙහෙත් දෙන එකටද අහන්නේ කියලා . පස්සේ අර කෙනා ඔව් කිව්වම ඒ ඇන්ටි කිව්වා පාන් ගෙඩි දෙකක් දැන් ටිකකට කලින් අරගෙන ගියා කියලා . මම එවෙලේ ඉඳලා අම්මලට කුරු කුරුව අලියට බෙහෙත් දෙනවා බලන්න යන්න ඕන කියලා .

පස්සේ අම්මයි තාත්තයි මාව එක්ක ගියා . අපි යනකොට අලියා බිම දොයි . අලි බලන අය ළඟ තියෙන ගලක් උඩ තියාගෙන බෙහෙත් අඹරනවා . පස්සේ එයාලා පාන් ගෙඩිය අරගෙන පැත්තකින් හාරලා අර බෙහෙත් පාන් ගෙඩිය ඇතුලට පුරවලා අලියාගේ කට ඇතුලට දාලා උගුරටම යනකල් තල්ලු කළා . අලියත් ගානක් නැතුව හිටියා .

අලියෙක්ට බෙහෙත් කරනවා ඉස්සෙල්ලම දැක්කේ එදා තමයි . ඊට පස්සේ අලින්ගේ ඇස් ලෙඩ වලට බෙහෙත් කරන හැටි දකින්න ලැබුණා . තවත් අලි වෙදකම් කරන හැටි දැකබලාගන්න පුළුවන් උනා . ඉතින් අද ලිපියෙන් මෙච්චර වැල් වටාරම් කියලා කියලා ආවේ අලින්ට හැදෙන ලෙඩ ගැනයි අලි වෙදකම් ගැනයි පුංචි තොරතුරු කීපයක් අරගෙන එන්න .





අලි ඇත්තුන්ටත් අපිට වගේම ලෙඩ රෝග හැදෙනවා . ඒ නිසා එයාලටත් අපිට වගේම බෙහෙත් හේත් දෙනවා . අලි වෙදකමත් රාවණා රජතුමාගේ කාලෙටත් එහා දක්වා දිව යනවා කියලා තමයි විශ්වාස කරන්නේ . මේ වෙදකම පරපුරෙන් පරපුරට පැවතගෙන එනවා . අද වෙනකොට අලි ඇත්තු හීලෑ කිරීම නතර වෙලා තියෙනවා වගේම අලි වෙදකමත් නැත්තටම නැතිවෙලා ගිහින් තියෙනවා . ලංකාවේ හිටපු ප්‍රධාන පෙලේ අලි වෙදකම් කරපු පවුලක් තමයි මියනපලාව වෙද පරම්පරාව . මේ වෙද පරපුරේ මියනපලාව වෙද මහත්තයාට පස්සේ අද ඉන්නේ ප්‍රදීප් මියනපලාව කියන වෙද මහත්මයා . චූටි වෙද මහත්තයා කියලා තමයි මෙයාව අලි ඇත්තු බලන සහ අලි අයිති අය හඳුන්වන්නේ .

අලි ඇත්තුන්ට සාමාන්‍යයෙන් පළතුරු දිරවන්නේ නෑ . අපි කොච්චර අලි අත්තුන්ට පළතුරු කන්න දුන්නත් එයාලගේ බඩේ එක එක ලෙඩවල් හැදෙන්න මේ පළතුරු හේතු වෙනවා . එවගේම කාලයක් යනකොට
මෙයාලගේ බඩවැල් වල ක්‍රියාකාරීත්වය අඩුවෙලා බර ආහාර දිරවන්නේ නැති වෙනවා . අලි ඇත්තුන්ට මද කිපෙන කාලෙට කිතුල් කොටන් ආහාරයට ගන්න දෙන්නෙත් අඩුවෙන් . මොකද එහෙම කන්න දුන්නම මද කාලයේ කිපෙන ප්‍රමාණය වැඩි වෙන නිසා .






අලි අත්තුන්ට හන්දි වේදනා ආබාධ උනත් ඉක්මනට ඇතිවෙනවා . මොකද මෙයාලගේ ඇඟේ බර සම්පූර්නෙන්ම දරාගන්න මේ කකුල් වලට සමහර වෙලාවට අමාරු වෙන නිසා . ආතරයිටීස් වගේ තත්ත්වයක් තමයි මේකේ බරපතල අවස්ථාවේ ඇතිවෙන්නේ . ඔයවගේ ඉතින් එක එක ලෙඩ වර්ග මේ ඊ ඇත්තුන්ට ඇති වෙනවා . මේ පහල තියෙන්නේ මම පොත් වලින් හොයාගත්ත අලි බෙහෙත් වර්ග ටිකක් . මේවාට අමතරව තවත් ගොඩක් අලි බෙහෙත් තියෙනවා . ඒවා ඉතින් පස්සේ දාන්න බැරිය . දැනට මේ ටික කියවමු .

අලින්ටත් ගැස්ට්‍රයිටීස් හැදෙනවා . එතකොට

අරත්ත අල
කලාඳුරු අල
දේවදාර
මුරුංගා
තල මුල්
කොට්ටං
සිරියා
තිප්පිලි
රන්නිටෝල්
සිද්ද ඉඟුරු
අබ
මුලාල අල
සුදු ළූණු
කරඳ
කළුදුරු
එළබටු
එඬරු
වළඟසාල්
සිරිතේක්කු

පවනේ වියලා ගෙන පළම ගානේ දුන්නම ආමාශ ප්‍රදාහය සුව වෙනවා .


දියවැඩියාව

කටුකරෝසන
කොට්ටං
දේවදාර
සිද්ද ඉඟුරු
කොල්ලු ඇට
තිප්පිලි
යවකාර ලුණු

සමාන ප්‍රමාණ අරගෙන තල තෙල් වලින් අඹරලා දුන්නම දියවැඩියාව මුත්‍රා ආබාධ සුව වෙනවා .

වෙනත් ඕනෑම ලෙඩකට

වළඟසාල්
අසමෝදගම්
පෙරුම්කායම්
අබ
තිප්පිලි
සාදික්කා
වියලි ඉඟුරු
අරළු
සස්සඳ
කළුදුරු
සූදුරු
වදකහ
සුදුලූනු
සහිඳලුණු
 මේවා හකුරු එක්ක මිශ්‍ර කරලා දොඩම් ගෙඩි සයිස් බෝල හදලා කන්න දෙනවා .


පිළිකා 

වද කහ
අබ
වරා
කොහොඹ
දෑත්ත
නියඟලා
සහිඳ ලුණු
කොට්ටං
යක්බේරිය
අත්තිඩියම්
යවකාර ලුණු
වෙනිවැල්
බදුලු
ඔලිඳ
රන්නිටෝල්
තිප්පිලි
ජටාමාංශ
දලුක්කිරි
මනෝසීල
ඉඟුරු
කළු ගම්මිරිස්

මේ මිශ්‍රණය හොඳට අඹරලා මුට්ටියකට දාලා රෙද්දකින් හොඳට බැඳලා දවස් දෙක තුනක් තියලා පාවිච්චි කරන්න පුළුවන් .



යෝගරාජ ගුලිය

සූදුරු
කළුදුරු
අසමෝදගම්
තිප්පිලි
වළඟසාල්
උළුහාල්
මිරිස්
ඉඟුරු
අබකොල්ලු
මුන් ඇට
තල
කරාබු
වසාවාසි
සාදික්කා
කොට්ටං
වැල්මී
වගපුල්
පුෂ්කර
අබිං
ගෙන්දගම්
සහිඳ ලුණු
යවකාර ලුණු
උක් පැණි
මී පැණි
කිතුල් පැණි
බඹර පැණි
දඬුවැල් පැණි
කණවේ පැණි
ඇහැළ පැණි
තල තෙල්
කොහොඹ තෙල්

මේ දේවල් බුළු ගෙඩි තරමට අඹරලා වේලලා තියාගෙන දෙන්න පුළුවන් . කොට්ට පොල් , තල , දොඩම් ඉස්ම එක්ක මේ බෙහෙත් දෙන්න පුළුවන් .

හමේ රෝග වලට

මනෝසීල
සුරති මැටි
අබ
රසාංජන
සහිඳ ලුණු

මේවා ගව මුත්‍රා වලින් අඹරලා තල තෙල් එක්ක කලවම් කරලා හමේ රෝග වලට ආලේප කරන්න පුළුවන් .

අලි බෙහෙත් ඉතින් අලි සයිස් එකට තමයි හදන්නේ . අනික මේවා හොයන එකත් ලේසි නැති නිසා අද වෙනකොට අලි බෙහෙත් කිරීම බටහිර වෛද්‍ය ක්‍ෂේත්‍රයට වැඩිපුර නැඹුරු වෙලා තියෙනවා . ඒත් අලි අත්තුන්ට පත්තියන් වෙන්නේ දේශීය වෙදකම කියන එක කවුරු කවුරුත් මතක තියාගන්නවනම් හොඳයි . එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා  !