Sunday, August 30, 2015

කිරි හොදි







පොලොස් ඇඹුල හදන හැටි කියලා දුන්නට පස්සේ කෑම සූත්‍ර කැටගරියත් කොහොම හරි ඇදගෙන යන්න කියලා කීප දෙනෙක්ම මුහුණු පොතේ දැනට කාලෙකට කලින් මතක් කරලා තිබුණා . සමහර අයනම් කියන්නේ දැන් සිංදු ගැන කිව්වා ඇති , අපි රස කෑමක් හදමු කියලා . ඒත් ඉතින් ලියන්න කලින් කෑම ගැන අධ්‍යනය කරලා ඉන්ට එපාය .

වයලීනෝ මහතා අද අරගෙන එන්නේ බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් . බතක් උයාගෙන මේ වගේ හොද්දක් හදාගත්තාම කන්ට හැකි බඩ පිරෙනකල් . හදිස්සියේ ඔන්න කෙල්ල කොක්කක් දාගෙන නැන්දම්මාගේ ගෙදර යනවා කඩාගෙන බිඳගෙන . එහෙමත් නැත්නම් බැන්දට පස්සේ චන්ඩි බන්ඩි මහත් වෙන ලෙඩේ හදාගෙන නැන්දම්මාගේ ගෙදර දුවනවා . එහෙමයි කියලා අපි කන්නේ බොන්නේ නැතිව බඩ ගින්නේ ඉන්නද ? . එව්වා සුම්මා . වයලීනොගේ මේ ප්‍රයත්නය ඒ වගේ කල්ල කපටි අම්මන්ඩිලාට හොඳ පාඩමක් උගන්වන්න , අපේ පිරිමි වර්ගයා දැනුවත් කිරීමයි ඔන්න .

එහෙනම් උයන්න පිහන්න දන්නේ නැති , අඩුම තරමේ හොද්දක ලුණු ඇඹුලක්වත් බලන්න දන්නේ නැති කල්ල කපටි කම්මැලි ගැහැණු ළමයින් සමග විවාහ වීමට සූදානම් වී සිටින හෝ විවාහ වී රහට කන්න නැතිව සිටින අහිංසක අසරණ පුරුෂ පාර්ශවය වෙනුවෙන් අද මම අරගෙන එනවා ලේසියෙන්ම හදාගන්න පුළුවන් කිරි හොදි හදාගන්නේ කොහොමද කියලා , කියලා දෙන්න . හිසට උඩු වියන්ද , පයට පාවාඩද ඇතිව ඉතාම ගෞරවයෙන් තමයි මේවා හදන්න ඕන හරිද ළමයි ?

මුලින්ම බලමුකෝ අවශ්‍ය ද්‍රව්‍ය මොනාද කියලා .

පොල් ගෙඩි 1ක් ( ලොකු නම් බෑයක් ඇති / පොඩි නම් ගෙඩියම ගත්තත් අවුලක් නෑ , බඩටනේ යන්නේ ) 
රතු ළූණු 100g ක්
උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ 10g ක්
කැකුළු හාල් මේස හැන්දක් විතර
දෙහි ගෙඩි 1ක්
කරපිංචා ඉති 1ක්
සුදු ළූණු බිග් 4ක්
ගොරකා කෑල්ලක්
රම්පෙ කොළ 1ක්
අමුමිරිස් කරල් 2ක් 
කහ ජුන්ඩක්
කුරුඳු කුඩු ජුන්ඩක් 
තුනපහ කුඩු ජුන්ඩක්
උළුහාල් ඇට ජුන්ඩක්
මිරිස් කුඩු ඉතාම ජුන්ඩක් 
ලුණු අවශ්‍ය තරමට ජුන්ඩක් 

පොල් ගාලා හොඳට බ්ලෙන්ඩර් කරලා කිරි ජාති දෙකම වෙන වෙනම අරගෙන තියාගන්න . ඊට පස්සේ කිරි හොද්ද හදන භාජනය අරගෙන ඒකට රතු ළූණු , උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ , අමුමිරිස් , සුදු ළූණු සහ ගොරකා කෑල්ල ලියලා දාලා රම්පා කරපිංචාත් කෑලි වලට කපලා දාන්න . ඊට පස්සේ අර මුලින් කිව්ව කැකුළු හාල් ටික මිරිස් ගලේ දාලා හොඳට අඹරලා ඒ ටිකත් අරවටම එකතු කරගන්න . කැකුළු හාල් දැම්මේ නෑ කියලා අවුලක් වෙන්නේ නෑ . ඒත් හාල් පොඩ්ඩක් හීනියට අඹරලා දැම්මම පොඩි ගතියක් තියෙනවා හොද්දේ .

ඊට පස්සේ ඒකටම මිරිස් කුඩු ජුන්ඩක්  , කහ කුඩු ජුන්ඩක් , තුනපහ කුඩු ටිකක් , උළුහාල් ජුන්ඩක් , කුරුඳු කුඩු ජුන්ඩක් එකතු කරගන්න . ලුණු පොඩ්ඩක් වෙන්න මුලින් දාගන්න . පස්සේ මදි උනොත් එකතු කරගන්න පුළුවන් . සමහර අයනම් ගම්මිරිස් එකතු කරනවා රහ එන්න . එව්වා හොද්දේ එක්ස්පර්ට් උනාම ඔයාලා හිතලා බලලා එකතු කරගන්න .

දැන් මේවාට දියකිරි විතර දාලා ලිපේ තියෙලා හැඳි ගගා හෙමීට තැම්බෙන්න අරින්න . මේ දාලා තියෙන ඒවා තම්බුනාට පස්සේ පස්ට සුවඳක් එනවා . ඊට පස්සේ තැම්බිලාද කියලා හොඳටම  බලාගන්න ඕන නම් රතු ළූණු කෑල්ලක් හැන්දට අරගෙන හපලා බලන්න පුළුවන් තැම්බිලද කියලා . එහෙම තැම්බිලානම් දැන් තියෙන්නේ මිටි කිරි ටික දාන්න . මිටි කිරි ටික දාලා ලිපේ හොඳට ගින්දර දාලා ටිකක් වෙලා යනකොට බෙර දවුල් තම්මැට්ටම් හොරණා ගහලා හොද්ද නටාගෙන එනවා . එතකොට නොනවත්වා හැඳි ගාන්න තමයි තියෙන්නේ . හැන්ද නැවත්තුවොත් හොද්ද කැටි ගැහෙන්න පුළුවන් . ඒ නිසා හොඳට හැඳි ගාන්න . ( උඹලාවත් බාගෙට හැඳිගාලා හදපු නිසා තමයි අද උඹලා ඔය වගේ කෙල්ලන්ට අහුවෙලා කන්න නැති වෙලා ඉන්නේ . ඒ නිසා හොද්දවත් හරියට හැඳි ගාපල්ලා )

හොද්ද හොඳට පැහුනට පස්සේ ලිපෙන් බාලා ආයෙත් ටිකක් වෙලා හැඳි ගාන්න තියෙන්නේ . ටිකක් වෙලා හැඳි ගාලා හොද්ද නටන එක අඩු උනාට පස්සේ දෙහි ගෙඩිය කපලා දෙහි ඉස්ම මිරිකලා දාන්න හොද්දට . ඊට පස්සේ කිරි හොද්ද හැදිලා ඉවරයි . සමහර අය මේකට සියඹලා එකතු කරගන්නවා . ඒක ඉතින් කැමති කැමති විදියට එක්ස්පර්ට් උනාම කරගන්න . දැන් බතක් උයාගත්තම හොදියි බතුයි කාලා ශේප් වෙන්න පුළුවන් . එහෙම බැරිනම් පොල් කුඩු ටික විසි කරන්නේ නැතිව තියාගෙන ඒකට මිරිස් ලුණු දෙහි ළූණු කෑලි ටිකක් දාලා ගලේ අඹරාගෙන පොල් සම්බෝලයක් හදාගෙන කිරි හොදියි පොල් සම්බෝලයි බතුයි කන්න පුළුවන් . පොල් කුඩු කන්න ඕන නෑ ඉතින් . ඕන නම් අලුතෙන් පොල් ගාගෙන හදාගෙන කන්න . මම කිව්වේ ලේසි නිසා  :p

අලුත් කෑමකින් ආයේ හම්බෙමු !

12 comments :

  1. ෂහ්ඃ හොද්දෙ සුවඳ......................

    මම ආසම කෑමක්. තෙලුයි මිරිසුයි ගිලල ගිලල බඩේ ඇසිඩ්වලින් නිතර ආස්වාදයක් ලබන අපි වගේ එවුන්ට කියාපු කෑම. මම නම් බතට කිරි හොද්ද කන්න කැමති හොඳ කට්ටසම්බලකි, දෙල් තම්බල හරි, මඤ්ඤොක්කා තම්බල හරි ඒවත් එක්ක. නැත්නම් ටිකක් හයියට හදපු පොලොස් කෑල්ලක් දෙකක් තිබුනත් වරදක් නෑ. මොකුත්ම නැත්නම් මාළුමිරිස් හරි ළූණු හරි තෙම්පරාදුවක් එක්ක. එකම වැරැද්ද සම්බා වගේ බත් එක්ක කිරි හොද්ද වැඩිය අල්ලන්නෙ නෑ. බත්ඇට අතරින් හොද්ද ලිස්සනව. හොඳ කැකුළු හාල් බතක් හරි නිකන් සුදුහාල් බතක් හරි නම් නියමයි.

    ගෙදර නිකන් කෑමට හදන කිරිහොද්දට වඩා දානෙ ගෙවල්වල හදන කිරිහොද්ද මාර රසයි, සුවඳයි. දැනෙන හැටිද මන්ද. අපේ පැත්තෙ නම් හැම දානෙ ගෙදරකම වගේ කිරිහොදි වරද්දන්නෙ නෑ. හුඟක්ම වයසක හාමුදුරුවරුන්ට මොන එළවළු තිබුනත් කිරිහොදි ඕන, බතට - පිට්ටුවට. අපේ පන්සලේ අපවත්වුනු ලොකු හාමුදුරුවො කිරි වැළඳුවෙත් කිරිහොදි එක්ක බං. (බොරු ඕන නෑ, මට නම් ඒක මතක්වෙනකොටත් වමනයට එන ගැලපීමක්)


    මේ .. අ.. උඹේ කිරිහොද්දට ඔය ජුන්ඩ වැඩි නැත්ද. :P

    ReplyDelete
    Replies
    1. මටත් මේක ලියන වෙලාවේ මතක් උනා , අපේ ගෙදරටත් දානෙට හාමුදුරුවන්ට ආරාධනා කරන්න පන්සලට ගියාම හාමුදුරුවෝ කියනවා එක දවසක් අපේ ගෙදරින් වලඳපු කිරි හොද්දක් මතක් කරලා , ඒ වගේ හොද්දක් එක්ක ලුණු මිරිසුයි කොස් දෙල් අල මොන හරි තම්බලා බත් එක්ක තිබුනම ඇති කියලා .

      කිරිහොද්දේ මටනම් දැනෙන්නේ රහට වඩා සුවඳ තමා . හොද්ද පැහෙනකොට මරු සුවඳක්නේ තියෙන්නේ . හෙහ් හෙහ් හේ ..............

      ජුන්ඩක් ඇති මම හිතන්නේ :p
      බොහොම ස්තූති ආ g-)

      Delete
  2. සුපිරි
    හදමු බලන්ඩ කිරි හොද්දක්වත්
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හදමු හදමු . හදලා ගුණ අගුණ කියන්න බලන්න . :)
      බොහොම ස්තූති g-)

      Delete
  3. බඩගිනීනීනීනීනීනීනීනීනීනීනීනීනීනීනීනී :((

    ReplyDelete
    Replies
    1. මැක්රින් එකෙන් කොත්තුවක් ගනින් :p :p

      Delete
  4. ඕකට බිත්තරයක් කඩලා දාලා 
    කන්කුන් ඉති දෙකකුත් දාලා
    තව අල ගෙඩියකුයි,කැරට් ගෙඩියකුයි බොංචි කරලකුයිත් දාලා ගමු.
    :D

    උයන්න අපහසුම වෑංජනය කිරි හොද්ද (ලු)!
    කිරි හොද්ද හරියට උයන්න පුලුවන් කෙනෙකුට ඕනෑ දෙයක් උයන්න පිහන්න පුලුවන් කියලයි මං නම් අහලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මරු මරු . එතකොට හත්මාලුව වගේ . වෙන ඒවා උය උය නහින්න ඕනත් නෑනේ :) :) g-)
      අපේ අම්මත් තක්කාලි එහෙම දානවා . ඒත් එව්වා සාම්ප්‍රදායික කිරි හොද්දට අයිති නෑ කියලා තමයි කියන්නේ .
      ඔය උඩ තියෙන එව්වා තමයි දානවා කියන්නේ . හැබැයි උම්ම්ම්ම්ම්ම්ම්බලකඩත් අයිති නම් නෑ . ඔන්නොහෙ මම දැම්මා . නිකන් තියෙන එකනේ . අන්තිමට බඩටනේ යන්නේ :p :p

      බොහොම ස්තූති මෙයා :-f :-f

      Delete
    2. අන්තිමට බඩට යන එක නෙමෙයි.එක හොද්ද සමබල කිරිල්ල!
      උම්ම්ම්ම්ම්ම්ම්බලකඩ ප්‍රෝටීන් නිසා දැම්මා කියලයි මම හිතුවේ රසට වඩා.
      පොල්සම්බලටත් උම්බලකඩ ටිකක් ලියලා, පලා කොළ දෙකතුනක් ලියලා කලවම්කරගත්තම “සම්පුර්ණ සමබල ආහාරයක්“ ලුනේ.

      Delete
    3. අහ්හ් . ඒත් අවුලක් නෑ . බඩටනේ යන්නේ :p :p

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.