අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

ගොඩ කාලෙකට පස්සේ ලියන්න එන්න වෙලාවක් ලැබුණේ අද තමයි . වයලීනෝ සබැඳි කතා පෝස්ට් දෙක පබ්ලිෂ් කලාට මොකද ඒවා ඉතින් කලින් ලියලා තිබුණ ඒවා . ...

රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ





ගොඩ කාලෙකට පස්සේ ලියන්න එන්න වෙලාවක් ලැබුණේ අද තමයි . වයලීනෝ සබැඳි කතා පෝස්ට් දෙක පබ්ලිෂ් කලාට මොකද ඒවා ඉතින් කලින් ලියලා තිබුණ ඒවා . ඒ නිසා වැඩි අවුලක් නැතිව ඒවා පබ්ලිෂ් කළා . ඒත් මේ දවස්වල වයලීනොට ටිකක් වැඩ රාජකාරි අධික උනා . ඒ නිසා බ්ලොග් පැත්තේ එන්න උනෙත් නෑ . දාලා තිබුණ කමෙන්ට් වලට ප්‍රතිචාර දක්වන්න ආවත් ලියන්න වෙලාවක් සෙට් කරගන්නම උනේ නෑ . වෙනදා වැඩ ටික බැලන්ස් කරගෙන ගියාට මොකද සති දෙකක් එකදිගට සිංහරාජ වනාන්තරයේ සහ නුවරඑලිය පැත්තේ ක්‍ෂේත්‍ර චාරිකා යන්න යෙදුන නිසා සහ ඒවාට අදාළ ක්‍ෂේත්‍ර වාර්තා ලියන්න ඕන නිසා තමයි මෙහෙම බිසී වෙලා වයලීනොට ලියන්න කියවන්න එන්න බැරි උනේ . ඒත් දැන් ඒ අපල කාලය ටිකකට ගෙවිලා ඉවර නිසා අද ආයෙත් ටිකක් පරණ ඒත් අපේ බ්ලොග් එකට අලුත් ගීතයක් ගැන ලියන්න කියලා හිතුවා .

ගොඩ දෙනෙක් දන්නවා සිංදුවයි මමයි ඉස්කෝලේ යන දවස්වල සංගීත වැඩ වලින් තමයි වැඩිපුර අඳුරගත්තේ කියලා . ඒක ඇත්තටම කියනවනම් ගීත නාට්‍යයක් . මේ නාට්‍යට වචන නෑ . ඒ කිව්වේ දෙබස් නෑ . ඔක්කොම තියෙන්නේ අපිට එදිනෙදා ඇහෙන ගීත වලින් , ඒ ගීතවල තේරුම අනුව ගලපලා කතාවක් ගොඩනගලා තියෙන එක . පිටපත තිරරචනය සංගීත අධ්‍යක්‍ෂණය අරවා මේවා ගොඩක් සිංදුවම තමා කරේ . ගායනයෙනුත් සම්බන්ධ උනා මම හිතන්නේ .

මේ වැඩේට එන්න කියලා කිව්වම මමත් වයලීන් එක කරගහගෙන ගියාට මොකද මටත් මේ ගැන කිසිම මීටරයක් තිබ්බේ නෑ . කවදත් වයලීන් ගහන්න ගියාම දාන ලොකු ලයින් එක දාලා මම සිංදුවට කිව්වා , ඔයා මේ එක පාරට ගහෙන් ගෙඩි එනවා වගේ සින්දු කිව්වට මට ඔව්වා ගහන්න බෑ . කොහොමද මේ නාට්ටිය කෙරෙන්නේ කියලා ඩිමෝ එකක් ඕන කියලා . පස්සේ සිංදුවා නාට්ටිය පෙන්නන්න කට්ටිය නැති නිසා මිනිහා දන්න සිංහල ඔක්කොම පාවිච්චි කරලා මේ නාට්ටිය ගැන මට විස්තර කළා . අරයා අරම එනවා . මෙයා මෙහෙම එනවා . අන්තිමට එයා මෙයාගෙන අහනවා . අහනකොට එයා බෑ කියනවා . පස්සේ කැමති වෙනවා . කැමති වෙලා මල් කඩනවා . පස්සේ බූට් තියනවා . ඔන්න ඔහොම ඉතින් විකාර ගොඩක් කිව්වා .






මට කොයිල් වගේ . මොකද ඉතින් කියන්න කියලා කිව්වට මම එවෙලාවේ ඕනෑකමින් අහගෙන හිටියෙත් නෑ . මොකද මට ඒ වෙලාවේ ඕන වෙලා තිබුනේ මේ මල කරදරෙන් ගැලවිලා ගෙදර යන්න . පස්සේ මම ආයෙත් ලොකු ලයින් එකක් දීල කිව්වා එහෙනම් ගහන්න ඕන සින්දු ටික මට පිළිවෙලට ලියලා දෙන්න . දැන් ලියන එකක් තමයි . ආයේ අලුත් අලුත් ඒවා දාන්නයි වෙනස් කරන්න බෑ . එහෙනම් මට බෑ කියලා . පස්සේ අපරාදේ කියන්න බෑ සිංදුවා මට සිංදු ටික පිළිවෙලට ලියලා දුන්නා ඒ කාලේ මිනිහට තිබ්බ තිරිවාන ගල්කැට වගේ අත් අකුරු වලින් . පස්සේ මමත් ඒවා අහලා බලලා ඔක්කොම සෙට් කරලා අපි ඒ නාට්ටිය හොඳට කළා . ආයෙත් අපරාදේ කියන්න බෑ , වෙන සංගීත වැඩ වලට ප්‍රැක්ටිස් වලට ගියාම ඒවා කරවන හෝ පුරුදු කරවන අය අපේ කාලය කා දැම්මට සිංදුව නම් එහෙම කලේ නෑ . වෙලාවට කට්ටියම ගෙන්නගෙන කෑගහල බැනලා කොහොමහරි සීන් එක නියමෙට කළා .

මේ නාට්ටියේ තිබ්බේ ඉස්කෝලේ කොල්ලෙක් ඉස්කෝලේ කෙල්ලෙක්ට ලවු කරනවා . කොල්ලා ටිකක් රස්තා ලයින් එකක් . කෙල්ල නෝමල් . ඉතින් ලයින් දාලා , සෙට් කරගෙන ලවු කරලා පස්සේ කෙල්ල ඩොක්ටර් කෙනෙක් එක්ක යනවා කොල්ලට බූට් තියලා . මේ නාට්ටිය පටන් ගත්තේ " ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ " කියන ගීතයෙන් . ඊට පස්සේ

හාද වෙන්න ආව තමයි ඉලන්දාරි නම්
ඔබ හීනයක් වගේ
ඔබ පෙම් කරනා
මං මුලා වී
කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
රන් සමනලයෝ

වගේ තව සිංදු ගොඩක් තිබුණා . ,මේවා ගායනා කරන්න කීප දෙනෙක්ම සහභාගී උනා . ඕගන් ගැහුවේ සිංදුවා . වයලීන් ගැහුවේ මම . තව තබ්ලා ගහන්න ,බටනලා ගහන්න ගිටාර් ගහන්න කීප දෙනෙක්ම සම්බන්ධ උනා . අද කියන්න යන ගීතයත් මට ඉස්සෙල්ලම අහන්න ලැබුණේ එදා ඒ නාට්ටියෙන් . ඒ නිසා මම හිතන්නේ මේ කතාවත් ගීතයට ගන්න පූර්විකාවට වැදගත් වෙනවා කියලා . මේකට සම්බන්ධ වෙච්ච අයටනම් සමහරවිට මේක කියවනකොට එදා වෙච්ච සිදුවීම් මතක් වෙයි . මේ ගීතය යොදලා තිබ්බේ කොල්ලා මේසයක් පුටුවක් තියාගෙන වාඩිවෙලා කල්පනා කර කර ඉන්න වෙලාවක . කෙල්ලට ලයින් දාලා වැඩේ ගොඩ යාගෙන එනකොට තමයි මේ විපර්යාසය උනේ . කල්පනා කර කර හීන මව මව කොල්ලා ඉන්නවා . ඉතින් නින්ද යන්නෙත් නෑ .






දැනට දවස් දෙක තුනකට කලින් වයලීනි සමග කරපු දීර්ඝ සාකච්චාවක් අතරතුරේ අපි කතා උනා වයලීනිගේ කැම්පස් එකේ අලුත් කපල් එකක් ගැන . ගෑනු ළමයා ටිකක් හුරතලේට හැදුන ඒත් ගෙදර හිර කරලා වගේ හැදුන කෙනෙක් . කොල්ලා ටිකක් එක විදියක් . දෙන්නා යාලුයි කියලා කතාවක් තිබ්බට තාම ඒක දන්නේ වයලීනි ඇතුළු කීප දෙනයි . මොකද මේ ගැන කොල්ලා කියන්න එපා කියලාලු තියෙන්නේ කාටවත් . ඉතින් වයලීනි කියන්නේ මේ කොල්ලයි කෙල්ලයි එහෙ මෙහෙ ඇවිදලා අන්තිමට කෙල්ලට යනඑන මං නැති වෙයි කියලා බයයි කියලා . මොකද කවුරුවත්ම මේක දැනගන්නවට කොල්ලා කැමති නා කිව්ව නිසා . ඉතින් ඔය කතාව කිය කිය ඉන්න අතරේ වයලීනි කියනවා බෝඩිමේදී මේ ගෑනු ළමයා සමහර දවසට රෑ එළිවෙනකල් ඇහැරගෙන කොල්ලත් එක්ක මැසේජ් කරනවා කියලා . මම කිව්වා ඉතින් වෙන වැඩ නැතිව ඇති දෙන්නට කියලා . ඒත් වයලීනි නම් කියන්නේ මේ ගෑනු ළමයාගේ අත්දැකීම් අඩු මොලොක් හිතත් එක්ක අර කොල්ලා සෙල්ලම් කරන්න හදනවා කියලා .  ඉතින් අපි බලමුකෝ ඉදිරියට මොකද වෙන්නේ කියලා .

දෙයියනේ කියලා වයලීනොට නම් මල් නෙවේ ගෙඩි උනත් කමක් නෑ . ඇඳට වැටුන ගමන් නින්ද යනවා . ඒත් මේ සමහර අයට එහෙම නින්ද යන්නේ නෑලු . ඒවා මේවා මතක් වෙනවලු . ඔන්න ඕකයි පිංවතුනි අද වෙනකොට තියෙන තත්ත්වය . රෑ ජාමේ වෙනකල් මල් කඩ කඩ ඉන්නවා . රෑට පටන්ගන්නවනම් එලි වෙනකල්ම මල් කඩනවා . එහෙමත් නැත්නම් මල් කඩලා ඉවර උනත් දෙන්නට දෙන්නා හීන මව මව ඉන්නවා .

අද මේ කියන ගීතයත් ඒවගේ රෑ එළිවෙනකල් නින්ද යන්නේ නැති පෙම්වතෙක් කියන කතාවක් ගැන කියවෙන ගීතයක් . ඉස්සෙල්ලම ගීතය අහලා ඉන්නකෝ .


රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත් තැවුල් මවාලයි
පුරා රැය නිතින්...

පද රචනය :- 
තනුව :- 
ගායනය :- ටී එම් ජයරත්න 








යෞවන ප්‍රේමය සුන්දරයි මනස්කාන්තයි . ළමා අවධිය ගෙවලා ක්‍රම ක්‍රමයෙන් කාලය ගෙවීගෙන යනකොට ප්‍රේම සම්බන්ධතා ඇතිවීම ස්වාභාවිකයි . මේකත් ඒවගේ කතාවක් . හැබැයි මේ ගීතයේ තේරුම හරිම සරළ නිසා වැඩි වැල්වටාරම් ඕන වෙන එකක් නෑ මේ ගීතය ගැන කියන්න .

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියට කල් යල් බලලා ආදරය ප්‍රකාශ කරනවා . දැන් ඉතින් මේ ප්‍රේමවන්තයා ජීවත් වෙන්නේ මේ ප්‍රේමවන්තියගේ ලෝකයේ . එහෙමත් නැත්නම් ප්‍රේමවන්තිය එක්ක ගත කරන කාලය ගැන සිහින මවමින් . ඉතින් ප්‍රේමවන්තයා දවස පටන්ගන්නෙත් ප්‍රේමවන්තිය ගැන සිහිපත් කරගෙන . දවසේ සියලුම වැඩ කටයුතු කරන්නෙත් ප්‍රේමවන්තිය ගැන සිහිපත් කරගෙන . නින්දට යන්නෙත් ප්‍රේමවන්තිය සිහිපත් කරගෙන . ඉතින් මේ ප්‍රේමවන්තයට නිදාගන්න ගියාට නින්ද යන්නේ නෑ . මොකද ඒ තරමටම ප්‍රේමවන්තිය තමන්ගේ හිතේ හොල්මන් කරනවා . රාත්‍රිය උදා උනා , ඒත් නින්ද එන්නේ නෑ . ප්‍රේමවන්තයා තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ කියලා .

ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

ප්‍රේමවන්තයාට මේ ප්‍රේමවන්තිය ඇසගැටුණු දවසේ ඉඳලා ඔහු ජීවත් වෙන්නේ ඒ මුහුණගැන , ඒ හිනාව ගැන හිත හිත . ඉතින් හැමවෙලේම හිත තියෙන්නේ අවධියෙන් . මේ නිසා නිදාගන්න ඕන කියලා වැතිරුනාට නින්ද යන්නේ නෑ . ඒත් කාලය හරිම ඉක්මනින් ගෙවිලා යනවා . ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ . කැමති දෙයක් වෙනකොට වෙලාව යනවා දැනෙන්නේ නෑ . අකමැති දෙයක් වෙනකොට වෙලාව යන්නේ නෑ කියලා තමයි හිතෙන්නේ . ඉතින් මේ ප්‍රේමවන්තයාටත් වෙලා තියෙන්නේ ඒක . රැය පහන්වෙලා යනවා . ඒත් නින්ද යන්නේ නෑ . සමහරවිට නින්ද ගියේ නැති නිසා එදිනෙදා කරන වැඩ ටික කරගන්න මේ ප්‍රේමවන්තයට අපහසු ඇති . ඒත් නින්ද යන්නේ නෑ .







ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත් තැවුල් මවාලයි
පුරා රැය නිතින්...


ප්‍රේමවන්තයා නිදාගන්න ඕන කියලා හිතාගෙන ඇස් වහගත්තත් එයාට පේන්නේ තමන්ගේ ප්‍රේමවන්තියගේ මුහුණ . ඒ නිසා ප්‍රේමවන්තයා කියනවා ඔබ අවුදින් සිවුදිගින් කියලා . සිත් තැවුල් මවාලයි පුරා රැය නිතින් කියන වචන ටික දැක්කම මෙහෙම දෙයක් කියන්න පුළුවන් . ඒ මේ ප්‍රේමවන්තයාට ප්‍රේමවන්තිය තාම හරියට වචනයක් දීලා නැහැ කියන එක . ඒ නිසා ප්‍රේමවන්තයා සිත් තැවුලෙන් තමයි ඉන්නේ තමන්ට තමන් මවන හීන සැබෑ කරගන්න ලැබෙයිද නැත්ද කියන ප්‍රශ්නාර්ථය පෙරදැරි කරගෙන . 

මේ ගීතයේ රාත්‍රිය කියන ස්වභාවය ඉස්මතුකරලා පෙන්නන්න සංගීත සංයෝජනය හොඳින් පාවිච්චි කරලා තියෙනවා . අපි මුලින්ම බලමු ආරම්භක වාදනය කොහොමද කියලා . මේ ගීතයේ ආරම්භක වාදනය , එහෙමත් නැත්නම් පෙර වාදනය හරිම කෙටි සරළ වාදනයක් . තාලය වාදනය කරන්නේ නැති උනාට වාදනයට අවශ්‍ය කරන ලය , ඒ කියන්නේ ටෙම්පෝ එක පවත්වාගන්න වාදන භාණ්ඩ වලින්ම තාලය තියාගෙන වාදනය ඉදිරිපත් කරනවා . 

එහෙම තාලය තියාගෙන වාදනය කරන්නේ සංගීත භාණ්ඩ තුනක් . ඒ ග්ලොකන් ස්පීල් එක , සයිලෆෝන් එක සහ ගිටාර් එක කියන වාදන භාණ්ඩ තුන . මේ භාණ්ඩ තුනෙන්ම ස්වර තුනක් වාදනය කරනවා . ඒ ස්වර තුන වාදනය කරනවත් එක්කම ඒ අතරින් වාදනය වෙනවා ඇහෙනවා ඔබෝ නලාවක් . ඒ සංයෝජනය නිසා මේ ගීතයේ ආරම්භය තුලින්ම රාත්‍රිය කියන හැගීම ඉස්මතුවෙලා පෙන්නනවා . 










දැන් ගීතයේ ස්ථායි කොටස ගායනා කරන්න ආරම්භ කරනවා . ගීතයට තාල වාදනය සම්බන්ධ වෙන්නේ මෙතනින් . තාල වාදනය කරන්නේ බොන්ගෝ ඩ්‍රම් එකක් , ඔක්ටර් පෑඩ් එකක් සහ හයිහැටි එකක් . ඒ එක්කම බාර් එකෙන් එකට ටින් ටින් ගාලා වාදනය කරනවා ඇහෙනවා ට්‍රෑන්ගල් එකක් . මේ ට්‍රෑන්ගල් එකත් ගොඩක් වෙලාවට උදවු වෙනවා රාත්‍රිය කියන පෙනුම මේ ගීතයට ලබා දෙන්න . ගීතයේ කෝඩ්ස් වාදනය කරන්නේ ගිටාර් කීපයකින් . ඒවගේම කෝඩ්ස් වාදනය කරන්න කීබෝඩ් එකත් උදවු වෙලා තියෙනවා . 







ගීතයේ අතුරු වාදනය පටන්ගන්නේ සැක්සෆෝන් එකකින් . මේ සැක්සෆෝන් වාදනය එක්ක ඔබෝ එකත් වාදනය වෙනවා . ඒ වාදනය නිසා මේ ගීතයේ අර්ථයට අදාලා ප්‍රේමවන්තයාගේ පාළුව තනිකම කියන හැගීම ඉස්මතුවෙන්න ඒ වාදනය දායක වෙනවා කියන්න පුළුවන් . සැක්සෆෝන් වාදනය ඉවරවෙනවත් එක්කම මැඬලීන් එකක් සහ බැන්ජෝගිටාර් එකක් වාදනය කරනවා . ඒ වාදනයෙන් පස්සේ තමයි ගීතයේ අන්තරා කොටස් ගායනා කරන්න පටන් ගන්නේ . 





ගීතයේ අන්තරා කොටසත් ඔහේ ගායනා වෙනවා මිසක් වැඩි වැඩි සංගීත කොටස් සම්බන්ධ කරලා නැහැ . අන්තරා කොටවල අවසාන භාග වල කීබෝඩ් එකෙන් පොඩි කවුන්ටර් පාට් එකක් වාදනය කරනවා මිස වැඩි සංගීත කොටසක් වාදනය කරන්නේ නෑ . 





ගීතයේ තියෙන පසුබිම හුදෙකලා පසුබිමක් නිසා ගීතයේ සංගීත සංයෝජනයත් ටිකක් හුදෙකලා බවක් අරගෙන තියෙනවා . ඒක ඉතින් සංගීත සංයෝජකයාගේ දක්ෂකම . අපි එහෙනම් තවත් ලිපියකින් ආයෙත් හම්බෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

6 comments:

  1. රාත්‍රිය උදා උනා නින්ද ඇයි නොඑන්නේ
    ඡන්ද ප්‍රතිපල අහන්ට තියෙන උනන්දුව නිසා තමා. වෙනදට නැත්තං මෙලහකට හීන හතඅටක් බලලා. තාම නින්ද අහලකවත් නෑ බොලං.

    ReplyDelete
    Replies
    1. අපිනම් නිදාගත්තා . එළිවෙන ජාමෙටනේ හොඳ හොඳ සෙල්ලං :-? :-? :-?

      Delete
  2. නින්ද යන්නෙම නැත්තම් නිදි පෙත්තක් ගන්න .. :D විහිළුවක් කලාට මොකෝ පොස්ටුව මරු..

    ReplyDelete
    Replies
    1. නිදි පෙත්තට වඩා හොඳ බෙහෙත් තියෙනවා නෙව :p
      බොහොම ස්තූති g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.