Tuesday, August 25, 2015

මංදුවට සිඩක් සමග ඇගෙ සිනහව තහනම්








මෙහි එන නම් ගම සියල්ල මනඃකල්පිත නොවන අතර 21වන සියවසේ මුල් භාගයේ රත්නපුරේ හද්ද පිටිසර මූකලාන ගමක සිදුවුණ අසත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

( බුදු සරණ වේවා තාලෙට කියන්න )

ආ යු බෝ වේවා............
රෝ ග බෝ වේවා...........
පැටවූ බෝ වේවා ............
මෙතුන් බෝවෙන් ජයම වේවා...........

ඔන්න පිංවතුණි පිංවතියනි සිංදුවා සිංදුවතී ආදර කතාවේ හොඳම හරියට තමයි දැන් අපි ලං වෙලා තියෙන්නේ . කොයිවෙලේ මේකට කෙලවෙනවද කියලා තමයි වයලීනෝ බලාගෙන ඉන්නේ . මොකද සිංදුවා හොම්බෙන් යනවා බලන්න තමයි වයලීනොගේ බලාපොරොත්තුව . ඉතින් දැන් කතාවේ හැටියට වතී අක්කා නිවසේ හිරකාරියක් උනා . වතී අක්කගේ අයියා වතී අක්කගේ ෆෝන් එකත් ගත්තට පස්සේ වතී අක්කට කරගන්න දෙයක් නෑ . සිංදුවට කතා කරගන්න විදියක් නෑ . එත් සිංදුවා මේ මොකවත්ම දන්නේ නෑ . ඒ නිසා මැසේජ් කර කර ඉඳලා එකපාරටම මැසේජ් කරන එක නැවතුනේ ඇයි කියලා බලන්න සිංදුවා වතීට කෝල් එකක් ගත්තා .

ට්‍රීන් ට්‍රීන්න්න්න්.......................
ට්‍රීන් ට්‍රීන්න්න්න්.......................

සිංදුවා :- හෙලෝ වතී , ඇයි රත්තරන කතා කරන්නේ නැත්තේ ? මම මේ මැසේජ් එකක් එයි කියලා බලාගෙන ඉඳලා ඉඳලා තමයි කෝල් එකක් ගත්තේ.

අයියා :- ආ උඹලා දෙන්නා එහෙ මෙහෙ ඇවිද ඇවිද රත්තරන් බඩු සාප්පුවක් දාන්න යනවා කියලා මට ආරංචි උනා . මල්ලි බැරිද මටත් මාලයක් මුද්දක් අඩුවට හදාගන්න ?

සිංදුවා :- හෙලෝ , මේ කවුද කතා කරන්නේ

අයියා :- කවුද ? කවු නෙවේ කතා කරන්නේ . උඹේ මාරයා කතා කරන්නේ . උඹට මොකක්ද මගේ නංගි එක්ක තියෙන ගණුදෙනුව ?

සිංදුවා :- හෙලෝ ඔය උස්වැටකෙයියාවේ සුකොමලී නගාද කතා කරන්නේ ? මට පොඩ්ඩක් සුකොමලී නගාට කතා කරන්න පුළුවන්ද ? මම මේ සුගුණපාල කතා කරන්නේ සියඹලාණ්ඩුවෙන් .

අයියා :- තෝ හිතුවද මම තෝ කවුද කියලා දන්නේ නැතුව කතා කරනවා කියලා . මම දැක්කා උඹේ නම වැටෙනවා කෝල් එක එනකොට . ආයේ ඉස්කෝලේ එනකොට මමත් එනවා . ඇවිත් උඹලගේ පන්තිභාර ටීචර්ට කියලා උඹට මම දෙන්නම් ජම්බු .

සිංදුවා :- ජම්බු එපා අයියා මේ දවස්වල මට පොඩ්ඩක් වාත අමාරුවක් හැදිලා වගේ ඉන්නේ . ඌෂ්ණ කෑම කන්න හොඳ නෑ . පුළුවන් නම් මට වැටකොළු පතෝල වගේ සීතල මොනවාහරි දෙන්න .

අයියා :- හා රත්තරන් . වරෙන්කො ඉස්කෝලේ . ඊළඟ දවසේ මමත් උඹේ රත්තරන් එක්ක ඉස්කෝලේ එනවා .





ඔන්න දැන් තමාට කෙළවීගෙන එනවා කියලා සිංදුවා සහසුද්දෙන්ම දැනගත්තා . සිංදුවා කරගන්න දෙයක් නැතිව එක පාරටම සිහි නැතිව වගේ ඇඳට කඩාගෙන වැටුනා . ඒ එහෙම කලේ නිකන් අර ෆිල්ම් වල වගේ ඇක්ටින්ග් පාරක් දාන්න ඕන නිසා . නැතිව මුට ඇත්තටම සිහි නැතුව නෙවේ , හොඳට සිහි තියෙනවා . ඊට පස්සේ ටිකක් වෙලා ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට සිංදුවට හිත හදාගෙන ගෙදර ඉන්න බෑ . සිංදුවා ගෙදරින් යන්න තීරණය කළා .

කාටත් නොකියා සඳ ඇති රාත්‍රියක ගෙදරින් පිටවෙලා ගිහින් උපාලි සහ ජින්නා එදා මඩොල් දූවේ කල හපන්කම තනියමම කරන්න සිංදුවා කල්පනා කළා . එහෙම කරලා බයිසිකලෙන් කාර් එහෙක් හෝ අස්ප කරත්තෙකින් ඇවිත් වතී අක්කව කැන්දාගෙන යන්න කල්පනා කරා . ඒත් යන්න බෑ . සිංදුව එවෙලේ ගෙයින් එලියට බහින්න හිතුවට යන්න විදියක් නෑ . මොකද සිංදුවට ඒ වගේ වැදගත් ගමනක් යන්න හොඳ කිට් එකක් හදලා අයන් කරලා තියන්න උනේ නැති නිසා . ඊට පස්සේ හිත හදාගත්ත සිංදුවා හොඳට රෙද්දක් පොරවාගෙන නිදාගත්තා . 

සිංදුවා පහුවදා කලින්ම ඇහැරුනා . බාගෙට දත් මැදගත් සිංදුවා බාගෙටම මූණ හෝදලා හඩු ගඳ යන්න පෙයාර්ස් බේබි ශේරමි කොලොන්ග් බෝතලය ඇඟේ හලාගත්තා බ්ලැක් ඊගල් කොලොන්ග් බෝතලය හිසේ හලාගත්තා . කොලොන්ග් බෝතලය අතට ගන්න වෙලාවේ සිංදුවට වතීව මතක් උනා . අනේ වතී ඉතාම ආදරයෙන් සිංදුවට දීපු කොලොන්ග් බෝතල ටික . අද මරු කටට යන්න ඉන්න සිංදුවා , අම්මා ඉතාම අමාරුවෙන් හදලා දුන්නු කිරි එකවත් බොන්නේ නැතිව ගෙදරින් එලියට බැස්සා .






වෙනදා දිව්‍ය ලෝකයට යනවා වගේ ගිය සිංදුවා අද ඉස්කෝලෙට යන්නේ අපායට යනවා වගේ . 
වෙනදා දිව්‍ය ලෝකයට යන්න එන දිව්‍ය රථය වගේ පෙනුන බස් රථය අද සිංදුවට පේන්නේ අපායට යන BMW එක වගේ .
වෙනදා පොත් බෑග් එක අතින් අරන් යන සිංදුවා අද ඉස්කෝලේ යන්නේ පොත් බෑග් එක කරේ එල්ලගෙන . වෙනදා සිනහා මුසු මුහුණින් යන සිංදුවා අද ඉස්කෝලේ යන්නේ දුක්මුසු මුහුණින් . 
වෙනදා කකුල් දෙකෙන් ඉස්කෝලේ යන සිංදුවා අද ඉස්කෝලේ යන්නේ හොම්බෙන් .

ඔන්න සිංදුවා ඉස්කෝලේ ගියා . ඉන්ටවල් වෙලාවේ සීනුව නාද කළා . මේ වෙලාවේ සිංදුවගේ අම්මා ඉස්කෝලෙට ඇවිත් වයලීනොව අහම්බෙන් වගේ හම්බවෙනවා .

සිංදු අම්මා :- වයලීනෝ පුතා , අර ඉස්කෝලේ ළමයින්ගේ පවුල් අවුල් කරන මිස් ඉන්නවා දැක්කද ? 

වයලීනෝ :- ආ අන්න අතන ඉස්ටාප් කාමරේ ඉන්නවා ඇන්ටි 

සිංදු අම්මා :-  මට ඒ මිස් එන්න කියලා කිව්වා කෝල් කරලා . මම මේ ආවේ අපේ උන් දෙන්නාගෙන් මොකෙක්හරි මේ පාර මොන විජ්ජුම්බරයක් කරලද දන්නේ නෑ කියලා හිත හිත . 

වයලීනෝ :- ඔව් ඔව් ඇන්ටි ඕකුන් දෙන්නම එකයි . කෝවේ දාලා මකලා ගත්තත් වැඩක් වෙන්නේ නෑ ඇන්ටි .
සිංදු අම්මා :- මම එහෙනම් ගිහින් එන්නම් පුතා 

සිංදු අම්මා ඉස්කෝලෙට ඇවිත් පවුල් අවුල් මිස්ව හම්බුනා . අන්ෆෝචුනේට්ලී වතී අක්කගේ අයියත් ඇවිල්ලා . පස්සේ තමයි සිද්දිය දන්නේ . වතී අක්කගේ අයියා පවුල් අවුල් මිස්ට කියලා සීන් කෝන් එක . පස්සේ සිංදු අම්මට එන්න කියලාත් කෝල් කරලා තියෙන්නේ පවුල් අවුල් මිස්ම තමයි . දැන් ඔන්න හතරදෙනාම පවුල් අවුල් මිස් ඉස්සරහා විත්තිය සහ පැමිණිල්ල හමුවේ සාක්ෂි දෙන්න සූදානම් . පවුල් අවුල් මිස් තමන්ගේ අති භයංකර ගොරහැඩි නාදය අවධි කළා . 

පවුල් අවුල් :- ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් සිංදුවා 

සිංදුවා :- ඉන්නවා මිස් 

පවුල් අවුල් :- මම මෙතන රෙජිස්ටර් මාක් කරනවා නෙවේ . මම අහන්න හැදුවේ මොකක්ද මේ දෙන්නා අතර තියෙන පටලැවිල්ල කියලා .

සිංදු අම්මා :- මම හිතුවා මිස් මම හිතුව . මු කාමරේට වෙලා දොර වහගෙන දවසෙම ඉන්නේ ඇයි කියලා . මට හෙමීට ඇහෙනවා කුටු කුටු ගානවා . මු එහෙනම් කුටු කුටු ගගා මේක තමයි කරලා තියෙන්නේ . කාමරේ හැමතැනම ෆෝන් කාඩ් .







සිංදුවා :- පිස්සුද අම්මේ . මම ඒ කුටු කුටු ගගා කලේ වයෙලීනෝ මල්ලි කියාදුන්නු මන්තර ජප කරපු එක . 

පවුල් අවුල් :- කට වහපිය සිංදුවා . කියනවා දෙන්නා අතරේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා 

වතී :- ඉහි ඉහි ඉහීඊඊඊඊඊඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊ . අපි අතරේ සහජීවන සම්භන්ධයක් තමයි තියෙන්නේ මිස් . පස්සේ පරපෝෂී සම්භන්ධයක් වෙන්න කියලා හිතාගෙන ඉන්නේ ඉහි ඉහීඊඊඊඊඊඊඊඊඊඊඊඊ////............................................ . සිංදුවා අහිංසකයි මිස් . මම තමයි මේකට වැරදි . මම එදා අම්මට ඉටිපන්දම් ගෙනත් දුන්නා නම් මේ කිසි කරදරටයක් නෑ . ඒ නැත්නම් එච්චර ඉක්මනට මේක අහුවෙන්නෙත් නෑ . 

පවුල් අවුල් :- මම අහන්නේ එහෙම අහුවෙන්න තියෙන්නේ මොකක්ද කියලා ?

සිංදුවා :- අල්ලලා බැලුවොත් අහුවෙන්න නම් ඉතින් ගොඩක් දේවල් තියෙනවා මිස් . හිහ හිහ හිහ හිහ හැක හැක හැක 

පවුල් අවුල් :- කට වහනවා මොට්ටපාල . මේ ඉස්කෝලේ යන වයසේ ඕවා තියාගන්න බෑ . අදම මේක නවත්ත ඕන . ඔයාලා දෙන්නා පොරොන්දු වෙන්න ඕන අදම මේක නවත්තනවා කියලා . ඉගෙනගෙන ඉවරවෙලා ඔයාලාට ඕන දෙයක් කරගන්න පුළුවන් ගෙවල් වල අයත් කැමතිනම් . 

වතී :- මට සිංදුවා නැතිව බෑ....... ඉහි ඉහි ඉහීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ......................

අයියා :- උඹ කට වහපන් . උඹට තියෙන්නේ දැන් හොන්දට ඉගෙනගන්න මේ විකාර ඔලුවේ දාගන්නේ නැතිව . සිංදුවද උඹට ඉස්කෝලේ යන්න වියදම් කරන්නේ ? කන්න අඳින්න දෙන්නේ ? යමන් අද ගෙදර , උඹව මම හම ගහනවා .

සිංදු අම්මා :- අපේ එකා මෝඩය දුවේ . ඔය දුව මේවා නවත්තලා හොඳට ඉගෙනගන්න .

ඔහොම ඔහොම ඉතින් බොහොම සාමයෙන් සතුටෙන් ප්‍රශ්නේ අවසන් කරලා සිංදු අම්මා සහ වතී අක්කාග් අයියා ඉස්කෝලෙන් යන්න ගියා . ඉස්කෝලේ ඇරිලා වතී සිංදුවා දෙස අවසන් බැල්ම හෙලලා ලේන්සුවෙන් මුණ වහගෙන යන්න ගියා . 

සිංදුවා දැන් හරිම අවුලේ ඉන්නේ . ගෙදර ගියොත් මම නසී , ගෙදර නොගියත් මම නසී වගේ තමයි දැන් සිංදුවට වෙලා තියෙන්නේ . සිංදුවා හෙමින් හෙමින් ගෙදර ආවා . ඇවිත් කාමරේට යන්න හැරුනා විතරයි අම්මා විසින් සිංදුවව ආමන්ත්‍රණය කළා .







අම්මා :- ආ ආවද මනමාලයා අපේ මුණේ දැලි ගාලා 

සිංදුවා :- අම්මා ඉතින් සමහර දවසට උදේටත් මුණේ අතේ දැලි ගාගන්නවනේ උයන වෙලාවට 

අම්මා :- කටවහපිය . තාත්තා රට ඉඳලා එනකල් ඉස්කෝලේ යවන්නේ නෑ . එතකල් ඉන්නවා ගෙදර . තාත්තා ආවම තාත්තා එක්ක කතා කරලා තව දුරටත් ඔය ඉස්කෝලෙට යවනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන . එතකල් කාමරෙන් එලියට බහින්නේ බාත්රූම් යන්න විතරයි . කෑම එක කාමරේට එනවා . කාල ඉන්නවා වැඩිය දඟලන්නේ නැතිව . දඟලන්න ආවොත් පේනවනේ වේවැල . දෙනවා පලු යන්න . ගෑණු ගන්න දැන්ම ඉඳලා . පොඩි එකාවත් නරක් කරලා තියෙන්නේ මේ මනමාලයා තමා .

සිංදුවා :- ඉහි ඉහිහීඉඑඑඉඑඊඑඊඊඊඊඊඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ මට ඉස්කෝලේ යන්න ඔනෙඑඊඊඊඊඊඊඊඉඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ....................

අම්මා :-  කට වහගෙන යනවා කාමරේට .

අවසානයේ කාටවත් වරදක් නැති අහිංසක නිකැළැල් කෙලි ලොල් , ලොලේ ලොල් සිංදුවා ගෙදර හිර කාරයෙක් වෙනවා . යමින් බැඳ විලංගු දාලා අන්තෙටම අසරණ වෙලා ගෙදරත් හොම්බෙන් යන්න පටන් ගන්නවා . ඔන්න බලන්නකෝ හොම්බෙන් යන හැටි .

සිංදුවා :- මල්ලි !

සිංදු මල්ලි :- මල්ලි ? එන්නෙපා තමුසේ මෙතන මට මල්ලි කියන්න . තමුසේ අපේ පවුලට ගැළපෙන වැඩක්ද කලේ කියනවා . කෙල්ලොත් එක්ක යාලුවෙන්න . දැන්මම ඕවා ඕන නෑ කියලා දහම්පාසලේ හාමුදුරුවෝ කිව්වා තමුසෙට මතක නෑ .

සිංදුවා :- බනින්නෙපා මල්ලි . මට උදවුවක් කරන්න .

සිංදු මල්ලි :- උදවු කරන්න . අපේ මුණේ දැලි ගාලා තව උදවු ඉල්ලනවද ? . මම මේ මැක්ස් ෆෙයානස් ක්‍රීම් ගාලා සුදුවට තියන් ඉන්න මුණේ තමුසේ දැලි ගෑවා .

සිංදුවා :- මට වතී නැතිව ඉන්න බෑ මල්ලි .

සිංදු මල්ලි :- වතී ? . ඔය කුසුමාවතීට ඉන්න දිහාවක ඉන්න දීලා තමුසේ අපේ පවුලේ නම්බුව රකිනවා . ආවා මෙතන ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න කලින් කෙල්ලෝ සෙට් කරගන්න .
කට වහගෙන ඉන්නවා . මමයි මෙතන අද ඉඳලා අයියා . තමුසේ මම කියන දේ අහගෙන ඉන්නවා . හා දැන් ගිහින් තමුසේ මට AC 1 game එක ඉන්ස්ටෝල් කරලා දෙනවා .

ඔන්න ඔහොමයි සිංදුවගේ මල්ලි සිංදුවට කිව්වේ . සිංදුවාට කෑම එක ගෙනත් දෙන්නෙත් සිංදු මල්ලිම තමා . සිංදු මල්ලි ඇවිත් කෑම එක සිංදුවගේ කාමරෙන් තියලා සිංදුවට කතා කරන්නේ දබරගිල්ලෙන් . සිංදුවා කෑම එක ගාවට එන්නේ බිම බලාගෙන . ඇවිත් කෑම කාලා පිඟාන දෙනකල් සිංදු මල්ලි කාමරේ ඉන්නවා . සිංදුවා බත් පොඩ්ඩක් හරි ඉතුරු කලොත් වේවැලෙන් එකක් දෙනවා ටා.............ල් ගාලා . එතකොට සිංදුවා බත් ඔක්කොම කනවා .  ඔහොම ඉන්න සිංදුවා හිර ගෙදරක හිර කූඩුවේ කම්බි ගනිනවා වගේ කාමරේ ජනේලයේ කම්බි වලින් ඉස්කෝලේ යන ළමයි දිහා බලාගෙන ඉන්නවා . අපිටත් දුකේ බෑ . එත් මොනවා කරන්නද . කරුමේ තමා කරුමේ . ඔන්න ඔහොම ඉන්න වෙලාවක සිංදුවගේ හිතට ආවා මෙන්න මේ සිංදුව . හැබැයි සින්දුවේ සමහරතැන් එක්ක ගත්තම මේක සිංදුවට ගැළපෙන්නේ නෑ . ඒත් සිංදුවට ඒක මතක් උනා .





ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්
චරපුරුෂයෝ දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ

පෙළපත කුලගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
පෙළපත කුලගොත වෙනස් වෙලා


ගායනය - චන්ද්‍රකුමාර කඳනාරච්චි
පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව - චන්ද්‍රකුමාර කඳනාරච්චි




සිංදුවට නම් මේ ගීතයේ සමහර තැන ගැළපෙන්නේ නෑ . ඒත් ඔන්නොහෙ මේක ගැළපෙන අයට ගළපගන්න කියලා අපි බලමු මේ ගීතය ගැන .

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්
චරපුරුෂයෝ දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා

ඔන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළුවෙලා හිටියලු . ඊට පස්සේ ටික දවසක් යනකොට යනකොට යනකොට යනකොට මේ කොල්ලයි කෙල්ලයි මෙව්වා මේවා කියලා ගෙවල් වලට ආරංචි වෙනවා . ඊට පස්සේ ලවු එකට තහංචි වැටෙනවා . මේ තහංචි හමුවේ දුක ඉවසාගෙන ඉන්න බැරි නිසා මේ ගීතයේ කතා නායකයා කියනවා මේ විදියට . ඒ නිසා කොල්ලා ඉන්නේ කෙල්ලව හම්බෙන්න විදියක් නැතුව . 

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ

කෙල්ලයි කොල්ලයි ඉන්නේ කිට්ටුව ගෙවල් වල . ඒත් කොල්ලට කෙල්ලව හම්බෙන්නත් බෑ . කෙල්ලට කොල්ලව හම්බෙන්න්ත් බෑ . ඒත් දෙන්නා ඉන්නේ කිට්ටුව ගෙවල්වලනේ . ඒ නිසා කොල්ලා මෙහෙම කියනවා .

පෙළපත කුලගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
පෙළපත කුලගොත වෙනස් වෙලා

මෙන්න මෙතන තමයි මේ සිංදුව සිංදුවට ගැළපෙන්නේ නැති වෙන්නේ . සිංදුවා අනාගත්තේ මල් කඩන්න ගිහින් . මේ සින්දුවේ ඉන්න දෙන්නට කෙළවුණේ කුල ගෝත්තර ප්‍රශ්නයක් නිසා . 

මේ ගීතයේ තේරුමත් එච්චර අවුලක් නෑ . සංගීතය ගැනත් වැඩිය කියන්න දෙයක් නැති නිසා මෙච්චර තමා කියන්න වෙන්නේ . හැබැයි සිංදුවා වෙනුවෙන් කරගෙන යන මඩ ප්‍රචාරය තාම ඉවර වෙලා නම් නැහැ . එහෙනම් ඊළඟ මඩ කතාවෙන් හම්බෙමු . 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

8 comments :

  1. අඩේ මම පට්ටම ආස සිංදුවක් මේක..

    ReplyDelete
    Replies
    1. මමනම් වැඩිය ආස නෑ මෙයා . ඒත් ලියන්න ඕන නිසා ලිව්වා :)
      බොහොම ස්තූති g-)

      Delete
  2. සිංදුවට නං කවදත් ආසා කලා.නිදාන කතාව එලයැ

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති g-)

      Delete
  3. කෝ මේ සින්දුවා.....

    ReplyDelete
    Replies
    1. සිංදුව බ්ලොග් ලියන්නේ නෑලු . :p

      Delete
  4. //මම මේ මැක්ස් ෆෙයානස් ක්‍රීම් ගාලා සුදුවට තියන් ඉන්න මුණේ තමුසේ දැලි ගෑවා //
    හම්මේ! කාලෙකින් හිනා කාලා මැරෙන සයිස් පෝස්ටුවක් හම්බුනා..සුප්පා!

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.