අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

දැන් ටිකක් ලියන එක ඇන හිටලා තියෙන්නේ වැඩ රාජකාරි ටිකක් වැඩි නිසා . ඒත් ඉක්මනටම ආයේ ලියන්න එනවා . කලින් ලිපියේ දෙවෙනි කොටස තමයි මේ...

වයලීනෝ සබැඳි කතා - 2 ( අලි ගැන )






දැන් ටිකක් ලියන එක ඇන හිටලා තියෙන්නේ වැඩ රාජකාරි ටිකක් වැඩි නිසා . ඒත් ඉක්මනටම ආයේ ලියන්න එනවා . කලින් ලිපියේ දෙවෙනි කොටස තමයි මේ . ඔය කිව්වට තුන්වෙනි කොටසකුත් එන්න පුළුවන් . කියවලා බලන්නකෝ . මේ දනාගේ පළාමල්ල ලියන දනාගේ වැඩක් .

අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ අපේ රටේ දේශපාලනික, ආගමික, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය අංශවලට සෘජුවම සම්බන්ධ වුණු සාධකයක් විදිහට අලි ඇතුන්ව හදුන්වන්න පුලුවන්. මිනිසා හැරුනුකොට ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජීවියෙක් වෙන අලි ඇතුන්ට තියෙන්නේ, මිනිසා හා සමාන ජීවන අවධියක්. අපේ රටේ බෞද්ධ සංස්කෘතියත් එක්ක අලි ඇතුන් අපිට හරිම සමීපයි. ඉතින් අද හිතුනා අපේ රටේ හීලෑ අලි ඇත් පරපුර ගැන කතා කරන්න.

අලි ඇත්තු ගැන මතක් කරනකොට නම් මුලින්ම මතක් වෙන්නේ වයලීනෝව. අලි නම් වයලීනෝ. වයලීනෝ නම් අලි. මොකද මියැසියේ රස කතාවල වයලීනෝ අලි ගැන අලී ලිපි ලියනවා. ඉතින් තවත් මොන කතාද කියලා, වයලීනෝ සබැදි කතා ලිපිය උණු කැවුම් වගේ යන අතරේ, නොසිතූ මොහොතක වයලීනෝ සබැදි කතාවල දෙවෙනි කොටසත් ලියන්න හිතුනා. මොකද වයලීනෝ දහයට ගණන් කරන්න බෑ වගේ හිටියට හෙන අලී වැඩකාරයෙක්.

ඉතින් මුලින්ම වයලීනෝ එක්ක මේ මාතෘකාව ගැන Facebook එකෙන් මහා පරිමාණයේ සාකච්ඡාවක් කළා. මහා පරිමාණයෙන් විතරක්ම සාකච්ඡා කළොත් කිසි ගතියක් නැති නිසා, ඊට පස්සේ වයලීනෝව හම්බවෙලත් මේ මාතෘකාව ගැන කුඩා පරිමාණයේ සාකච්ඡාවකුත් කළා. ඊට පස්සේ තමයි නමෝ විත්තියෙන් වැඩේට මුල පිරුවේ. හොදයි එහෙනං. වැඩිය කතා බතා නැතුව අපි වැඩේට බහිමුකෝ....







01. කොහොමද අපේ පළවෙනි ලිපියට ලැබුනු ප්‍රතිචාර?
**   ප්‍රතිචාර නම් හොඳයි. හැබැයි මුහුණුපොතේ ගොඩක් අය ගොඩක් දේවල් ගැන අහලා Message එවලා තිබුණා. මම ඉතින් වෙලාව තියෙන හැටියට ඒ අයට උත්තර දුන්නා. තව Requests ගොඩක් ඇවිත් තිබුණා වයලීනෝ කියන්නේ කවුද කියලා හොයාගෙන. හොඳයි ඉතින්, අලුත් යාළුවො ගොඩක් අඳුරගන්න ලැබුණා ඒ ලිපිය නිසා.


02. දැන් සමහරක් අය වයලීනෝගෙ ළගට එන්නත් බයයිලු නේද?
**   එහෙමනම් නෑ. දන්න අය මම ගැන දන්නවා. අනිත් අය ඉතින් කැමති දෙයක් හිතුවට කමක් නෑ.


03. කොහොමද අලි ඇතුන්ට ආසාවක් ඇති වුණේ? කොච්චර හීලෑ වුණත් එයාලා ළගට යන්න බයක් දැනෙන්නේ නැද්ද?
**   ඔය ප්‍රශ්නය මගෙන් අපේ කැම්පස් එකේ යාළුවො, ප්‍රදර්ශකවරුන් පවා වෙලාවකට අහනවා. මම හිතන්නේ මුහුණුපොතේ මම වැඩිපුර අලින්ගේ පින්තූර දාන නිසා වෙන්න ඇති. මේ දේ ගැන අහනකොට මට හිතේ මැවෙන රූප දෙකක් තියෙනවා. මම ගොඩක් පොඩිකාලේ, මම හිතන්නේ මම මොන්ටිසෝරි යන්නත් කලින් වෙන්න ඕන. දවසක් අපි සමන් දේවාලයේ පෙරහැර බලන්න ගියා. අම්මා මාව උකුලේ වාඩිකරවාගෙන පෙරහැර විස්තර කරනවා. එදා පෙරහැර අවසානයේ සමන් දෙවියන්ගේ දෙවාභාරණය වැඩම කරවන කපුමහතා ආපු අලියා පෙන්නලා අම්මා මට කිව්වා මතකයි, අර ඉන්නේ දේවාලේ අලියා කියලා. ඒ අලියා ඇඳලා හිටියේ කහ පාටට හුරු ඇඳුමක්. මම ඒ අලියා මට නොපෙනී යනකල් බලාගෙන හිටියා. එදා තමයි මට අලියෙක් ගැන ආසාවක් හිතුන පලවෙනි දවස. ඊට කලින් මට අලි ගැන අහන්න දකින්න ලැබුණත් මතකයක් ඉතුරුවෙලා නෑ. පොඩි කාලේ අලි දැක්කම සමහර ළමයි බයේ කෑගැහුවට, මම එහෙම කෑගහන්නේ නෑ කියලා අම්මා කියනවා. ඇස් ලොකු කරගෙන අලියා දිහා බලාගෙන ඉන්නවලු.

      අලි ගැන ආසාව තවත් වැඩිකරන්න හේතු උනේ දළදා මාලිගාවේ ඉඳලා මියගිය රාජා ඇතා. පොඩිකාලේ අම්මයි තාත්තයි මාව දළදා මාලිගාවට එක්ක ගියා. එදා මට වෙච්ච දේවල් යන්තමට වගේ මතකයි. මම එතකොට මොන්ටිසෝරි යන කාලේ. දළදා මාලිගාව වැඳලා අම්මයි තාත්තයි මාව රාජා ඉන්න කෞතුකාගාරය බලන්න එක්ක ගියා. එදා කොහොම හරි රාජාගේ රූපය දැකලා මට අලි ඇත්තු ගැන ආසාවක් ඇති උනා. ඉස්සර මේ අනුරුව බලලා එන අයට එතනින් ඇතාගේ රූපය මුද්‍රණය කරලා තියෙන පින්තූර පොස්ට්කාඩ් එකක් දෙනවා. මම මේ පෝස්ට්කාඩ් එක ගොඩක් කල් පරිස්සම් කරගෙන හිටියා. රාජාගේ රූපය බලන හැම වෙලාවකම වගේ මට අලි ඇත්තු ගැන ආසාවක් ඇති උනා. ඒ කාලේ මම අඬන්නේ සෙල්ලම් බඩු ඉල්ලලා නෙවෙයි, අලියෙක් ගෙනැත් දෙන්න කියලා. අම්මලා වැඩ ඇරිලා එන වෙලාවට මොනවද ගේන්න ඕන ඇහුවමත් මම කියන්නේ අලියෙක් ඕන කියලා. කොටින්ම කියනවනම් මම අපේ වත්තේ තියෙන කිතුල් ගස්, කොස් ගස් කපන්නවත් ඉඩ දුන්නේ නෑ, අලියට කන්න දෙන්න ඕන නිසා. පස්සේ පස්සේ ඉතින් වටපිටාව ගැන තේරුම් ගන්න වයස එනකොට මට තේරුනා මේක කියන තරම් ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියලා. ඒත් ආසාව නම් තාම එහෙමම තමයි. ඒ නිසා තමයි අලියෙක් ඉන්න තැනක් වෙලාවක් දැනගත්තම පොඩ්ඩක් ළඟට ගිහින් බලලා එන්න යන්නේ.

       මිනිස්සුන්ට ආසාවල් ඇතිවෙන හැටි ගැන බෙල්ලන ඥානවිමල හාමුදුරුවෝ එක පොතක කියලා තියෙනවා. ඒකෙදි කියන්නේ සංසාරික පුරුද්ද නිසා එහෙම ආසාවල් ඇතිවෙනවා කියලා. මේකත් එහෙම වෙන්න ඇති.







04. ආසාව තියෙන්නේ හීලෑ අලි ඇතුන්ට විතරමද?
**  අලි නම් කොයි අලියත් මට එකයි. හැබැයි අලි පැටවුන්ට වැඩිපුර කැමතියි. ඇත්තුන්ගෙන් තෝරාගත්ත කීපදෙනෙක්ට විතරයි කැමති. ඒ, ඒ අයගේ පෙනුම නිසා. මම කැමති ගොඩක් ඇත්තු දැන් මැරිලා. එහෙම මියගිය මිල්ලන්ගොඩ රාජා, හෙයියන්තුඩුවේ රාජා, හෙම්මාතගම හාමුදුරුවන්ගේ වෑවලදෙනියේ රාජා, බෝතලේවලව්වේ ගාමිණී, නවම් රාජා, රුවන් රජා, මගේ ලිස්ට් එකේ මුලින්ම වගේ හිටපු අය. මියගිය අයගෙන් හෙයියන්තුඩුවේ රාජා තමයි මම කැමතිම ඇතා. ජීවත් වෙලා ඉන්න අයගෙන් නැදුන්ගමුවේ රාජාට තමයි වැඩිපුරම කැමති. කතරගම වාසනා ඇතාටත් මම වැඩිපුර කැමතියි. අකැමති අයත් කියන්න එපාය. ඉන්දිරාජා, ජනරාජා, සිංහ රාජා, බුරුම රාජා, මියන් රාජා වගේ කීපදෙනෙක්ට මම කැමති නෑ.






05 ඇයි ඒ?
** එයාලා ටිකක් පෙනුමෙන් අඩුයි. සංසන්දනය කරලා බැලුවම එයාලා ටිකක් කැතයි වගේ. ඒ නිසා වැඩි කැමැත්තක් නෑ.


06. අනිත් හීලෑ ඇතුන් එක්ක බැලුවම කතරගම වාසනාව අදුරගන්න හරිම ලේසියි නේද? නොදන්න අයට දැන ගන්නත් එක්ක, ඒ ගැනත් කියමුද?
**   වාසනා ඇතා අඳුරගන්න ලේසියි. අලි කුල වලින් මම හිතන විදියට වාසනා මංගල හෝ උපෝසථ කියන කුල දෙකෙන් එකකට අයිති වෙන්නේ. වාසනා ඇතාට තියෙන්නේ හරිම ගාම්භීර පෙනුමක්. වාසනා ඇතා සාමාන්‍යයෙන් ඉන්නේ ඔලුව ටිකක් ඉහලට ඔසවාගෙන. ඒක තමයි ඇතෙක්ගේ තියෙන ගාම්භීර බව වැඩි කරන්න තියෙන හොඳම දේ. වාසනා ඇතාගේ දල දෙකට දාලා තියෙන දල කොපු ගලවලා තියෙනවා මම දැකලා නෑ. ඒ නිසා ඒ දල කොපු වලිනුත් වාසනා අඳුරගන්න පුළුවන්. මේ දල කොපු ස්ථීර ලෙසටම දාන්න ඇත්තේ දල ගෙවෙන නිසා. ඇතා නානකොට දල දෙක ගඟේ තියෙන ගල්වල වැදිලා ගෙවිලා කැඩිලා යන්න පුළුවන් නිසා මෙහෙම දල කොපු හයි කරන්න ඇති. නැදුන්ගමුවේ ඇතාගේ නම් දලවල පැත්ත පැත්ත ගෙවිලා තියෙනවා. එයාට එහෙම වෙන්නත්, මෙයාට එහෙම නොවෙන්නත් හේතු වෙන්න ඇත්තේ මේ දල කොපු හයි කරලා තියෙන එක වෙන්න ඕන.

   වාසනාගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි හොඩවැල ඔතාගෙන කටින් හපාගෙන තමයි ඉන්නේ. එහෙම ඉන්නේ එයාට ඒක පුරුදු කරලා තියෙන නිසා කියලයි මම හිතන්නේ. උඩරට අලි බලන අය, අලින්ට හොඩවැල කට ඇතුලේ තියන් ඉන්න පුරුදු කරනවා. එහෙම කරන්නේ පාරේ ගැහැණු සතුන්ගේ මුත්‍රා වැටිලා තිබුනොත් ඒවා ඉව කරලා මේ අලි නොසන්සුන් වෙන්න පුළුවන් නිසා. වාසනාට ඒ පුරුද්ද කොහොම ලැබුනද කියන්න බෑ. හැබැයි වාසනාත් හොඩවල කටේ දාගෙන තමයි ඉන්නේ වැඩි වෙලාවක්. ඇවිදිනකොට එයා හොඩය කටේ නැත්නම්, දල දෙකේ හරි ඔතාගන්න බලනවා.


07. අලි ඇතුන් ගැන කතා කරනකොට, මද කිපෙනවා කියන වචනය හැමතිස්සෙම වගේ අහන්න ලැබෙනවා. මද කිපීම ගැන නිර්වචනය කරනවා නම්?
**  මද කිපෙනවා කියන්නේ අලියා ලිංගික ක්‍රියාවලියට සූදානම් කියලා පිටට හඟවන සංඥාවක්. මද දිය වැගිරෙන්නේ කන කිට්ටුව තියෙන මද ග්‍රන්ථිවලින්. මේ ශ්‍රාවය දුඹුරු පාටට හුරුයි. කෝපිවල තියන සුවඳ වගේ සුවඳක් තමයි තියෙන්නේ. අලියා ලිංගික එක් වීමකට සූදානම් කියන සංඥාව තමයි මේ නිකුත් කරන්නේ. මේ කාලෙට අලියා ගාවට කිට්ටු වෙන්න බෑ. එයාව කොහෙවත් එක්ක යන්නත් බෑ. ඒ නිසා එයාව ගස් බැඳලා තියනවා මාස දෙකක් විතර මද කාලය අවසන් වෙනකල්. ඊට පස්සේ තමයි ආයෙත් සංසුන් තත්ත්වයට පත් වෙන්නේ. මද කිපෙන එක දැනගන්නේ අර මද ග්‍රන්ථි වලින් මද ශ්‍රාවය වෙන සලකුණත් එක්ක.







08. අලි ඇතුන්ගේ ලිංගභේදය ගැන කතා කරනවා නම්?
**  අලි සහ ඇතුන් කියන දෙගොල්ලෝ ගත්තම අලියට දළ දෙකක් නැහැ. ඇතාට දළ දෙකක් තියෙනවා. අලියාගේ ගැහැණු සතා හඳුන්වන්නේ කෙනෙර කියලා. ඇතාගේ ගැහැණු සතා හඳුන්වන්නේ ඇතින්න කියලා. ගැහැණු සත්තුන්ට දළ දෙකක් එන්නේ නෑ. මම ඒ කිව්වේ ආසියාතික අලින්ට. හැබැයි අප්‍රිකානු අයට නම් ගෑණු පිරිමි භේදයක් නෑ, දෙගොල්ලන්ටම දළ පිහිටලා තියෙනවා. ඇතින්නක් සහ කෙනෙරක් හඳුනාගන්නේ ප්‍රසූතියෙන් පස්සේ. ඇත් පැටියෙක් ප්‍රසූත කලොත් ඇතින්නක්. අලි පැටවූ ප්‍රසූත කලොත් කෙනෙරක්. හඳුනාගන්න වෙන ක්‍රමයක් නම් මම දන්නා තරමින් නැහැ.
 
      ඇතෙක් සහ කෙනෙරක් අතර ප්‍රජනනයෙන් ලැබෙන්නේ අලි පැටවූ. ඇතින්නක් සහ ඇතෙක් හෝ ඇතින්නක් සහ අලියෙක් අතර ප්‍රජනනයෙන් අනිවාර්යෙන්ම ඇත් පැටියෙක් ඉපදෙනවා කියලා අලි ඇත්තු බලාගන්න අය අතරේ පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ලැබෙන පැටවුන්ගේ ලක්ෂණ ගැන බලලා මේ ගැන ඒ අය පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරලත් තියෙනවා. අලියෙක් සහ කෙනෙරක් අතරේ ප්‍රජනනයෙන් නම් අනිවාර්යෙන්ම ඇතිවෙන්නේ අලි පැටියෙක් තමයි. අලි ඇතුන්ගෙන් පැටවූ ඇතිකර ගැනීම කරනකොට ඇත් පැටියෙක් ඕන නම්, සාමාන්‍යයෙන් ගාල් කරන්නේ හොඳ ලක්ෂණ තියන ඇතෙක් සහ ඇතින්නක්. ඒකෙන් ඇත් පැටියෙක් ලැබෙන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩියි.

       ඉතින් මේ හේතුව නිසා කෙනෙර සහ ඇතින්න පැහැදිලිවම හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. අලි ඇත්තු ගැන විද්‍යාත්මකව පරීක්ෂණ කරනවා අඩුයි. මොකද අලියෙක් ඇතෙක් කන්න දිදී තියාගෙන ඉන්න එක ලොකු වියදමක්නේ. ඒ වගේම අලින්ගේ මාස විසි හතරකට ආසන්න, ඒ කියන්නේ අවුරුදු දෙකකට ආසන්න ගැබ් කාලය නිසා අලි ඇත්තුන් ගැන පරීක්ෂණ කරන්න ඉතාම වැඩි කාලයක් ගත වෙනවා. කියන්න තව විශේෂ දෙයක් තියෙනවා දැනගැනීම වෙනුවෙන්. ගොඩක් වෙලාවට අලි බලන අය ඇතින්න කියලා ගෑණු සතුන්ට කතා කරනවා ඇහෙනවා, ඔයාලත් අහලා ඇති. එහෙම කිව්ව පලියටම ඒ ඇතින්නක් කියලා විශ්වාස කරන්න එපා. අලි බලාගන්න අය ඇතින්න කියලා කියන්නේ කෙනෙර කියලා කියනවට වඩා ඇතින්න කියන එක කියන්න ලේසි නිසා.


09. අපේ රටේ හීලෑ අලි ඇත් පරපුර ගත්තම, දැනට ජීවතුන් අතර ඉන්න අයගෙන් කාටද වැඩියෙන්ම ආස කරන්නේ? ඒකට හේතුවත් කියමු බලන්න.
**    අලින්ගෙන් වැඩිපුරම කැමති යක්කල කාලි කෝවිලට අයිති ගජබා කියන අලියට. හේතුවක් කියන්න අමාරුයි. හැබැයි ඒ හේතුව පෙනුම වෙන්න ඇති කියලා හිතනවා. ගොඩක් වෙලාවට මම වැඩිපුර අවධානය යොමු කරන්නේ උසින් වැඩි මුහුණේ රෞද්‍ර පෙනුම අඩු අලින්ට. ගජබා ඒ දෙකම සම්පූර්ණ කරලා තියෙනවා. ඇත්තුන්ගෙන් නම් වැඩිපුරම කැමති නැදුන්ගමුවේ රාජාට. ඇත්තටම නැදුන්ගමුවේ රාජා, "දෙවු පුර ඇතෙකි" කියන ගජගා වන්නමට හරියටම ගැළපෙනවා. ඒ වගේ ශාන්ත ප්‍රභාවමත් බවක්, වෙන අලි ඇතුන්ගේ මුහුණුවල මම දැකලා නෑ.






10. අලි ඇත්තු ගැන අමතක නොවන ජීවන අත්දැකීම් ටිකක් කියමු බලන්න.
**   දවසක් පින්නවලදී අලි පැටියෙක්ගෙ වලිගෙන් ඇදලා තියෙනවා දුවන්න නොදී. අඩි කීපයක් ඇති ඒ පැටියාගේ උස. නාන්න යන්න දුවනවා සිහියක් ඉවක් බවක් නැතිව. මම ඉතින් වලිගෙන් අල්ලලා නවත්ත ගත්තා. පස්සේ පැටියා වෙර දාලා අදිනකොට අතෑරියා. දෙවුන්දර මහ පෙරහැරක් දවසේ ඔන්න පෙරහැර බලනවා. පෙරහැර දැන් හවස ගියාට ඉස්සර මම පොඩි කාලේ ගියේ දවල්. අපේ ඥාතිවෙන කෙනෙක්ගේ ගෙදර මිදුලේ ඉඳලා තමයි පෙරහැර බලන්නේ. මම එතකොට ගොඩක් මිටියි. ඒ නිසා අම්මා මට පුටුවක් ගෙනත් දුන්නා පුටවට නැගලා පෙරහැර බලන්න කියලා. දැන් ඔන්න පෙරහැර යනවා. විෂ්ණු දෙවියන්ගේ දේවරාජ ප්‍රතිකඩය ඇතා පිටේ වැඩම කරගෙන ඈතින් එනවා පේනවා. මම හිටපු තැන පහුකරලා ඔන්න දැන් අලියෙක් ගියා. උස අඩි අටක් විතර. මූ එකපාරටම ආපස්ස හැරුනා. හැමෝම දුවන්න ගත්තා විතරයි මම පුටුවෙන් බිමට පැන්නා. දිව්වා දිවිල්ලක් ආයේ නැවතුනේ අපේ ඥාති වෙන කෙනාගේ ගෙදර කාමරේක. ඊට පස්සේ දොර රෙද්ද පොඩ්ඩක් පැත්තකට කරලා එලිය බලන්න හදනකොටම අම්මා ආවා. ඊට පස්සේ ආයෙත් පෙරහැර සාමකාමී උනා. දඟලපු අලියා කිට්ටුව ඉඩමක පොල් ගහක ගැට ගැහුවා. එදා තමයි අලියෙක්ට බයේ පළමුවෙන්ම සහ අවසාන වතාවට දිව්වේ. එදා ඉඳලා පෙරහැර බලනකොට අලියෙක් මගේ ඉස්සරහින් යනවා නම් මගේ ඇඟපත පොඩ්ඩක් සීතල වෙනවා පුරුද්දට වගේ. පොඩිකාලේ ඇතිවෙච්ච බයවල් හිතෙන් අයින් කරන්න අමාරුයි කියන්නේ මේවගේ උදාහරණ නිසා වෙන්න ඇති.

    හැබැයි මම ඕන තරම් අලි ඇත්තු කිට්ටුවට යනවා. ඒත් නොදන්න අලි ඇත්තු කිට්ටුවට යන්නේ දෙපාරක් හිතලා බලලා. වැඩිය ලං වෙන්නෙත් නෑ එයාලා ගාවට. අලි ඇත්තු එක්ක ගතකරපු කාලයෙන් අමතක කරන්න බැරි දවසක් තමයි නැදුන්ගමුවේ රාජාගේ මුණ පොඩ්ඩක් අතගාපු දවස. සමන් දේවාලයේ පත්තිරිප්පුවට ඇතා ඇතුල් උනාම ඇතාගේ මුණ අල්ලන්න පුළුවන් උසකින් තමයි තියෙන්නේ. එදා කරඬුව තැම්පත් කරන්න ලෑස්ති වෙන වෙලාවේ තමයි මම ඇතා ගාවට කිට්ටු උනේ. අවුලක් නෑ. හරිම ගුණයහපත් හීලෑ සතෙක්. මම කලිනුත් ලිපියක කියලා තිබුණා අලි ඇත්තු ආකර්ෂණය වෙන යන්තරයක් ගැන. දවසක් ඒක බෙල්ලේ එල්ලගෙන පෙරහැර බලන්න ගිය වෙලාවක නැදුන්ගමුවේ රාජා පාවඩයෙනුත් පිට පැනලා මගේ පැත්තට ආවා. මම එදා තමයි ඒ යන්තරේ හැටි දැනගත්තේ. යාළුවා උනාට නැදුන්ගමුවේ නිසා බයක් හිතුනේ එදා තමයි. හැබැයි මම අවවාදයක් දෙන්න කැමතියි අලි ඇත්තු කොච්චර යාළු උනත්, එයාලා ගාවට කිට්ටු වෙනකොට අලි බාසුන්නහේ ඉන්න වෙලාවක කිට්ටු වෙන්න. ඇතෙක් කියන්නේ සම්පතක්. ඇතෙක් මිනී මැරුවොත් ආයේ එයා ලවා දළදා කරඬු වැඩම කරවන්නේ නෑ කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය වගේම ඇතාගේ සේවය ගැනත් දෙපාරක් හිතලා අලි ඇත්තු කිට්ටුවට යනකොට බාසුන්නැහේ ඉන්න වෙලාවක කිට්ටු වෙන්න.


11. අලීන්ටත් කුල තියෙනවා?
**   ඔව්. කුල දහයක් තියෙනවා. මේවා සංස්කෘත ශ්ලෝකවලින් පවා විස්තර වෙනවා. ඒ කුල තමයි කලාවක, ගන්ගෙයිය, පන්දර, තම්බ, පිංගල, ගන්ධ, මංගල, හේම, උපෝසථ, ඡද්දන්ත කියන කුල දහය. මේ කුල ගැන මම වැඩිපුර ලියලා තියෙනවා මෙන්න මේ ලිපියේ. කියවලා බලන්න පුළුවන් කැමති කෙනෙක්ට.


12. මිනිසුන් අතරේ තිබුණු කුල භේදය නැති වෙමින් යන යුගයක, මිනිසා විසින්ම අලි ඇතුන්ව කුලවලට බෙදලා වෙන් කරන එක සාධාරණද?
**   ඔව් සාධාරණයි. මිනිස්සු මිනිස්සුන්ව කුලවලට බෙදලා තියෙන්නේ උස් පහතකම් සලකන්න. අලි ඇත්තු වෙන් කරලා තියෙන්නේ ඒ අයගේ බාහිර ලක්ෂණ බලලා හොඳ අලි ඇත්තු තෝරාගන්න. හොඳ ලක්ෂණ තියෙන අය විතරයි හිලෑ කරන්න ගන්නේ. අනිත් අයව අල්ලන්නේ නෑ. ඒ පදනමටයි අලි ඇත්තු කුලවලට වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා අලි, කුල වලට වෙන් කරා කියලා ප්‍රශ්නයක් නෑ. මම ඒ ගැන මගේ ලිපියේ වැඩිදුර විස්තර කරලා තියෙනවා.







13. දේවාභරණ සහ සධාතුක කරඩු තැන්පත් කරන සද්ධන්ත කුලයේ ඇත්තුන්ගේ පිටේ මිනිස්සුන්ට යන්න සුදුසුද?
**    කොහොමත් අලි බලන කෙනා අනිවාර්යෙන් ඇතා පිටට නගිනවා. මෙතන මේ වගේ කතාවක් හදලා තියෙන්නේ කිලි වැදුන වෙනත් අය ඇතා පිටට නගින එක නවත්තන්න ඕන නිසා. ඒ කිලි වැදුනම දෙවියන්ට ඒ තැනට කිට්ටු වෙන්න අපහසු නිසා. ඉස්සර කාලේ රජවරුන් ගියපු මගුල් ඇත්තුන්ගේ පිටේ පවා දේවාභරණ, සධාතුක කරඬු වැඩම කරා. අනික තමයි අර වගේ උතුම් දෙයක් වැඩම කරවන කෙනාගේ පිටට වෙනත් අය නැග්ගම ඒ සතාට තියෙන ගෞරවය අඩුවෙයි කියන මතය. මේක සංකල්පමය වාරිත්‍රයක් විතරයි. කරඬු තැම්පත් කරන්න කලින් අනිවාර්යෙන්ම සඳුන් කිරිපැන් ඉහලා ඇතාව පිරිසිදු කිරීමක් කරනවා. ඒ නිසා මම නම් හිතන්නේ ඒවගේ සත්තුන්ගේ පිටේ නැග්ගා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි ඉතින් කිලි නොවැදී ඉන්න අය නම් වඩා හොඳයි. කිලි වැදිච්ච අලි ඇත්තු දේවාභරණ වැඩම කරවනකොට කුලප්පු වෙච්ච අවස්ථා මමත් අහලා තියෙනවා.


14. ඇයි ඒ වගේ කටයුතුවලට ගැහැණු අලි ඇතුන්ට වාසනාව හිමි වෙන්නේ නැත්තේ?
**   අලි ඇත්තු පිටේ දේවාභරණ වැඩම කිරීම තමයි ඉස්සෙල්ලම සිද්ද උනේ. බුදු හාමුදුරුවන්ගේ කාලෙන් පස්සේ තමයි අලි ඇත්තුන්ගේ පිටේ සධාතුක කරඬු වැඩම කරවන්න පටන් ගත්තේ. ඉන්දීය ආගමික සංකල්ප එක්ක කාන්තාවන්ට ලැබුණේ දෙවෙනි තැන. ඒ නිසා මේ වගේ දේවල් වලටත් ගැහැණු සත්තුන්ට ඉඩක් ලැබෙන්නේ නැතිව ඇති. අනික තමයි ඇතාට දළ යුවලක් පිහිටලා තියෙන එක. ඇතින්නන්ට දළ පිහිටලා නැහැනේ. ඒ නිසා පිරිමි සතාව යොදාගත්තා මේවගේ විශේෂ දේවල් වලට. සමන් දේවාලයේ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවන්නේ ඇතෙක්. දේවාභරණ වැඩම කරවන්නේ අලියෙක්. මේ විශේෂණය කරලා තියෙන්නේ බුදුන් වහන්සේට වැඩි සැලකිල්ල දක්වන බව සංකේතවත් කරන්න. ඉතින් ඔය වගේ හේතු කාරණා නිසා තමයි පිරිමි සත්තු මේ සඳහා සහභාගී කරවාගන්නේ.






15. අලි භාෂාව ගැන එහෙමත් දන්නවා ඇති නේද?
**   අලි භාෂාව කියන එක ගැන කිව්වම සමහර අය හිතනවා අලින්ට ඒ දේවල් තේරෙන්නේ අලින්ට ඒ භාෂාව සමීප නිසා වෙන්න ඇති කියලා. එහෙම එකක් නැහැ. අලින්ට පොඩි කාලේ ඉඳලා සාමාන්‍ය සිංහල ඉගැන්නුව නම් එයාලාට අපේ භාෂාවෙන්ම විධාන දෙන්න පුළුවන්. ඒත් අලි භාෂාව කියන එක වෙනස් භාෂාවක් විදියට වෙන් කරලා අලි බලන අය අතරේ විතරක් තියාගෙන ඉන්නේ, සාමාන්‍ය මිනිස්සුත් අලින්ට විධාන දෙන්න ගත්තම සත්තු හසුරවන්න අපහසු වෙන නිසා. අනික අලි භාෂාවේ තියෙන වචන ගොඩක් ඒවා උච්චාරණය කරනකොට අපහසුවකින් තොරව වැඩි හඬකින් උච්චාරණය කරන්න පුළුවන්. මේ නිසා අලි භාෂාව ඒ අයට උච්චාරණය කරන්නත් පහසුයි. අලි භාෂාව හැදිලා තියෙන්නේ කේරල, මලයාල, තෙලිඟු භාෂාවල් වලට සමීප වචන ආශ්‍රය කරගෙන.

දහ - යන්න
උදරි - හොඩය උස්සන්න
හෙත්ත - පිටිපස්සට යන්න
දෙරි - ගන්න
හිද / හිඳ - නිදාගන්න / ඇලවෙන්න / වාඩිවෙන්න
මෙහෙ දහ - මෙහෙ එන්න
ඉඩ දහ - අයින් වෙලා යන්න
පුරු උදරී - හොඩය උස්සලා තල්ලු කරන්න
හරුව - විසි කරන්න
පිචන් - එපා
හෝවාන් - නවතින්න
දෙරි දහ - ගිහින් ගන්න

     කොඩිවින කපන, කොඩිවින කරන, දිෂ්ටි ගෙන්නන, දිෂ්ටි යවන මන්තරවල මේ වගේ වචන කීපයක් තියෙනවා. දිෂ්ටියට යන්න, එන්න වගේ දේවල්වලට තමයි ඒ වචනවලින් විධාන සපයන්නේ. ඒ නිසා මේ වචන මන්තර සාහිත්‍යයත් එක්කත් සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. අලි භාෂාව එක්ක අලි බලන අය ගැනත් දෙයක් කියන්න ඕන. අලි බලන පරණ උදවිය මේ ශිල්පය හරියට දැනගෙන හිටියා. අලි භාෂාව උච්චාරණය කරන්න හොඳට දැනගෙන හිටියා. ඒත් දැන් ඉන්න අලුත් අය අලි භාෂාව උච්චාරණය කරනවා ඇහුණාම මට මතක් වෙන්නෙ, සතුට සුරංග මහත්මයාගේ ගායනා ශෛලිය. ඒ විධාන වලට අලියා අවනත වෙන්නත් හොරයි. ඒ නිසා අලියා වැරදි කරා වගේ හෙණ්ඩුවෙන් අලියට අනිනවා. මේ ළඟදී YouTube නාලිකාවේ එක වීඩියෝ එකක් තිබුණා, හුණුපිටිය ගංගාරාමයේ අලි බලන්නෙක් අලි පැටියට දස වද දීලා අලි භාෂාව උගන්වන රූපරාමු පෙළක්. අලියට අලි භාෂාව උගන්වන එක කලාවක්. ඒක මෙහෙම කෙටියෙන් විස්තර කරන්න බැහැ.







16 . මියැසියේ රසකතාවල ලියපු "ගජ අංගම" ලිපියෙන් අලි මන්තර ගැන කතා කරලා තිබ්බා. මෙව්වා කවදා හරි අත්හදා බලලා තියෙනවද?
**    ගජ අංගම නම් පිඹලා නෑ. ඒක භයානකයි අලියට. අලි ගාවට යනකොට මතක් කරන්න තියෙන ඒවා නම් මතක් කරලා තියෙනවා. ඒත් ඒකත් වැරදිච්ච දවසක් තිබුණා. මම මගේ Research එකකට මදකිපිච්ච අලියෙක් කිට්ටුවට ලං උනා. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ එයා මදකිපිලා කියලා. කන් දෙක ගාව මද ගලලා තියෙනවා හරියට පෙනුනෙත් නෑ. මීටර් දහයක් විතර දුරක් තිබුණේ අපි දෙන්නා අතරේ. දම්වැලක් කටින් හප හප හිටපු නිසා ඒ ගැන බලන්න මම කිට්ටු උනේ. ඒක අලි ඇතුන්ගේ කැළඹුණු හැසිරීමක් (Stereotypic Behavior). ඒත් නොහිතපු වෙලාවක එයා කිතුල් ලීයක් හොඩෙන් උස්සලා මගේ පැත්තට විසි කළා. මම ලීය එනවා දැකල ටක්ගාලා බිමට පාත් උනා. නැත්නම් මගේ මුණෙන් පැත්තක්ම මේවෙනකොට නැහැ. අලි ඇත්තුන් ඉලක්කය ගන්න හරිම දක්ෂයි. ඒ නිසා ඈතින් උන්නත් සූදානම් ශරීරයෙන් ඉන්න ඕන අලි ඇත්තු එක්ක. ඉතින් අලි මන්තර වැඩ කරපු නැති දවසක් උනා ඒක.

       තව දවසක් දේවාලේ පෙරහැර දවසක දවල්. මම ගියා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. එදා කැලණියේ කණ්ඩුල ඇතා, මට ඒත් කිතුල් ලීයක් එවන්න ලීය ගන්නකොටම අලි බලන අයියා හෙණ්ඩුවෙන් ඇදලා නවත්තගත්තා. එදත් මන්තර වැඩ කරලා නෑ. ඒ ඇයි කියලා මම දන්නේ නෑ. කොහොමහරි වෙනදට නම් දෙවියන්ගේ පිහිටෙන් කරදරයක් උනේ නෑ. හැබැයි ඔය දෙකම උනේ සමන් දේවාලේදී. දේවාලේදී අලි, මන්තර අහන්නේ නැද්ද දන්නේ නෑ. එහෙමත් වෙන්න පුළුවන්.






17. අපේ රටේ විහාරස්ථානවල සහ දේවාලවල සිද්ධ කරන චාරිත්‍රවලට අමතරව, අලි ඇතුන් යොදාගෙන කරන තවත් චාරිත්‍ර, උත්සව  එහෙම තියෙනවද?
**    සිංහල අවුරුද්දට නැකතට හිසතෙල් ගාන චාරිත්‍රය ටිකක් වැදගත්. කැලණිය පන්සලේ සහ පින්නවල අලි අනාථාගාරයේ අලින් ඇතුන්ට නැකතට හිසතෙල් ගානවා. අවුරුදු උත්සව වලදී අලියෙක් එක පැත්තක් සහ අනික් පැත්තට මිනිස්සු එකතුවෙලා කඹ අදිනවා. අලියට ඇහැ තියන්න සමහර වෙලාවට අලි පැටවූ යොදාගන්නවා. ඒකට නම් මම කැමති නෑ. වැරදිලාවත් හුනුකැටේ ඇත්තටම අලි පැටියගේ ඇහැට ගියොත් ඇහැ පේන්නේ නැතිවෙලා යනවා. තව කතරගම දේවාලයේ පන්දලම බඳින්න නැකතට පළවෙනි අත්ත තියන්නේ මංගල හස්තියෙක්. වාසනා තමයි දිගටම ඒක කරගෙන එන්නේ. දේවාල, පන්සල්වලින් ඇරුනම ඉතින් මේවා කෙරෙනවා අඩුයි. තව ඇතා දල ඇනපු තැන පස් හෝ වැලි වාසනාව ගෙන එන දෙයක් කියලා කියනවා. මට මතකයි දුටුගැමුණු කුමාරයා හොයාගෙන එන කඩොල් ඇතාත් දුටුගැමුණු කුමාරයා කිට්ටුව දල බිම ඇන්නා කියලා කතාවක් තියෙනවා. තව අලි ඇත්තුන්ගේ දල යොදාගන්නවා සිංහල වෙදකම්වලට. කැඩුම් බිඳුම් වෙදකමට ඇත් දල ඉතාමත් වටිනා දෙයක්.


18 ගජ මුතු ගැන මොනවද දන්නේ?
**  ගජමුතු කිව්වම සමහර අයට හිතේ මැවෙන්නේ මුතු ඇට. ඒත් ගජ මුතු එච්චර සුන්දර නැහැ. ඔපමට්ටම් කරලා ගත්තම තමයි රවුමට තියෙන්නේ. ඒත් සමහර ගජමුතු ස්වභාවයෙන්ම ගෝලාකාර වෙනවා. ගජමුතු හැදෙන්නේ මෙහෙමයි. ඇතෙක් වැඩෙනකොට ඇත් දලත් වැඩෙනවා. මෙහෙම වැඩෙනකොට ඇතාගේ දන්තිනය වර්ධනය වෙන්නේ දලය පටන්ගන්න හරියෙන්. කාලයක් යනකොට දන්තිනය එකතුවෙලා එකතුවෙලා දලයේ ඇතුලේ තියෙන කුහරයත් කෙටිවෙනවා. මේ කුහරයට ආගන්තුක දේවල් ඇතුල් වෙන්න පුළුවන්. ඒ දලය පළුදුවෙලා තියෙනවනම්. මේ වගේ ආගන්තුක දේවල් වටේටත් දන්තිනය තැම්පත්වෙලා තමයි ගජමුතු නිර්මාණය වෙන්නේ. මේක සරලව කිව්වට කාලයක් ගතවෙන හෙමින් සිදුවෙන ක්‍රියාවලියක්. ඒ නිසා ගජමුතු ඇතිවීමත් දුර්ලභයි.

     අනික ගජමුතු ඇතිවෙන්න වැඩි සම්භාවිතාවක් තියෙන්නේ පළුදු වෙච්ච හෝ රෝගී ඇත් දලවල. මේ හේතුව නිසාම අද කාලේ සමහර ඇතුන්ගේ දල හිතා මතාම පළුදු කරන අවස්ථාත් මම අහලා තියෙනවා. ගජ මුතු නිර්මාණය උනාට පස්සේ සමහර ඒවා දතේ කුහරයේ පැත්තක ඇලිලා තියෙනවා. නැත්නම් මේක කුහරය තුලට වැටිලා එහෙ මෙහෙ හෙලවී හෙලවී තියෙනවා. මේ සෙලවීම නිසා ඇතිවෙන ඝර්ෂණයෙන් ගජමුතු ඇටය රවුම් වෙන්න පුළුවන්. ගජමුතු තියෙන සමහර ඇත්තු ඔලුව හොලවනකොට දලේ ඇතුලෙන් ටක ටක ගාලා සද්දේ ඇහෙනවා. ඒකෙන් කියන්නේ එයාගේ දලේ ඇතුලේ ගජමුතු තියෙනවා කියලා. ගජමුතුවල වටිනාකම මනින්නේ කෝටිගණන්වලින්. ඒත් මේවා වෙනුවෙන් මරණ ඇත්තුන්ගේ ජීවිතවල වටිනාකම මිනිස්සු තක්සේරු කරන්නේ නෑ. සමහර වෙලාවට මරණ ඇත්තුන්ගේ දලවල ගජමුතු ඇත්තෙත් නැහැ. ඒ නිසා ගජමුතු හොයන්න ඇත්තු මරන්න එපා කියලා කියන්න ඕන. ලංකාවේ ඇත්තු නැතිවේගෙන යනවා. ඒ නිසා ඉන්න සත්තු ටිකවත් රැකගන්න ඕන.






19 අලියෙක්ගේ බඩ යටින් ගියාම, වස් දොස් දුරු වෙනවා කියන්නේ ඇයි?
**   ඒක නම් බොරු කතාවක්. මනුස්සයෙක් බය උනාම ඇඟේ සමේ තියෙන ග්‍රන්ථිවලින් පෙරමෝනයක් වගේ රසායනික ද්‍රව්‍යයක් ශ්‍රාවය වෙනවා. මේ නිසා තමයි අලියා දැනගන්නේ අපි බයවෙලා කියලා. අලියාගේ බඩ යටින් යන්න යන්න අපිට ඒ දේ හුරු දෙයක් වෙනවා. එතකොට අර පෙරමොනය ශ්‍රාවය වෙන්නේ නෑ. ඒ නිසා බය ගතිය නැති වෙනවා. අලියෙක්ට බය නෑ කියන්නේ ඉතිං ඊට වඩා අඩු තව ගොඩක් අයට බය නෑ කියන එක. මේ බය ඇතිවීම නවත්වන්න තමයි අලියාගේ බඩ යටින් යන්නේ. ඒත් අද කාලේ ග්‍රහ අපල දුරුවෙන්න ඒවා මේවා කිය කියා යනවා. කමක් නෑ ඉතින් මිනිස්සුන්ගේ කැමත්තනේ. ඔය ක්‍රියාවලිය ඇතිවෙලා තියෙන්නේ අලි බලන කෙනාට මුදල් උපයාගන්න උවමනාව නිසා. අලියාගේ බඩ යටින් ගියාම දෙන මුදලෙන් ඒ අය තමන්ගේ ඕනා එපාකම් සපුරාගන්නවා. ඒකයි මේ සම්ප්‍රදාය ඇතිවෙලා තියෙන්නේ. හැබැයි මම අර මුලින් කිව්ව හේතුව විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා.



20. මිනිසා හැරුනුකොට, පෘතුවියේ ඉන්න බුද්ධිමත්ම ජීවීන් අතරේ ඉහළින්ම ඉන්න සත්වයෙක් තමයි අලි ඇත්තු කියන්නේ. සාමාන්‍යයෙන් අලි ඇත්තුන්ගේ මතක ශක්තිය ඉහළ මට්ටමක තියෙනවා කියන්නේ ඇත්තද?
**   ඔව්. දේහයේ ප්‍රමාණයට සාපේක්ෂව ඉතා කුඩා මොලයක් අලියාට හිමි උනාට විශ්ලේෂණ හැකියාවෙන් අලියා ඉතාමත් ඉස්සරහින් ඉන්නවා. පර්යේෂණවලට අනුව අලියාට තියෙන්නේ මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුගේ තරම් විශ්ලේෂණ හැකියාවක්. ඒ නිසා අලියාට උගන්වන්න සහ ඒවාට අදාළ ප්‍රතිපල ආපසු ලබාගන්න පුළුවන් ලේසියෙන්ම. අලි ගොඩක් වෙලාවට මතක තියාගන්නවා. ඉතිහාස කතාවල අහලා ඇතිනේ කඩොල් ඇතා ගැන කතාව. කඩොල් ඇතාව දල දෙකෙන් අල්ලලා බිම වාඩි කරවපු නිසා නන්දිමිත්‍ර එක්ක කඩොල් ඇතා තරහෙන් ඉඳලා තියෙන්නේ. ඒ නිසා කට ඇතුලේ ගලක් තියාගෙන ඉඳලා තියෙනවා නන්දිමිත්‍රට පහරදෙන්න. ඒත් විජිතපුර සටනේදී කඩොල් ඇතා දලින් ඇනලා කොටුවේ යදොර බින්දට පස්සේ මේ දොර ඇලවෙලා තියෙන්නේ ඇතාගේ පැත්තට. නන්දිමිත්‍ර තමයි පැනලා දොර අල්ලලා අනික් පැත්තට තල්ලු කරලා තියෙන්නේ. මේ වෙලාවේ තමයි කඩොල් ඇතා අර ගල නන්දි මිත්‍ර ගාවින් තියලා තරහා නැති කරගෙන තියෙනවා කියලා කියන්නේ.

      ඔය වගේ සිද්දි කීපයක්ම උනා. එක පාරක් අලි පැටියෙක්ට චොක්ලට් කෑල්ලක් පෙන්නලා නොදී ඉඳපු මනුස්සයෙක් පෙරහැර බල බල ඉන්නකොට අලි අම්මා විසින් හොඩෙන් ඇදලා අරන් කටින් හපලා මැරුවා. තව පාරක් අලි පැටියට ඒත් මොකක්ද අරියාදුවක් කරපු කෙනෙක්ව අලි අම්මා විසින් දෙවිනුවර දේවාලය ඉස්සරහාම පොලවේ ගහලා මැරුවා. අලින්ට හොඳ ආග්‍රාන අවයව පිහිටලා තියෙනවා. ඒ නිසා පෙනීමට වඩා මෙයාලගේ තියුණු වෙන්නේ ගඳ සුවඳ දැනීම. හැබැයි කන් ඇසීම නම් ඊටත් වඩා දියුණුයි. මේ නිසා මේවායින් ලැබෙන සංඥා තදින් මෙයාලාගේ මතකයේ කාවදිනවා. අලින්ව පුහුණු කිරීම සහ නිල භාවිතා කිරීමත් යන්නේ මේ ධාරණය කියන සංකල්පය එක්ක. එක පාරක් නිලයට ඇන්නම එයා දන්නවා ආයෙත් ඇන්නොත් රිදෙනවා කියලා. ඒ නිසා එතනට උල ලං වෙනකොටම දඟ වැඩ අඩු කරනවා.

      අලින්ගේ නින්ද ගැනත් මෙහෙමම කියන්නම්. මොකද මෙයාලාගේ මතකයත් එක්කම තියෙන දෙයක් තමයි නින්ද. අලි නිදාගන්නේ හිටගෙන කියන එකේ යම් ඇත්තක් තියෙනවා. අලි තමන්ගේ පුරුදු තැනදී තමයි වැඩි හරියක් නිදාගන්නේ. ගොරව ගොරවා නිදාගන්න අලිත් ඉන්නවා. ඒත් පිට තැනකට ගියාම එයාලා ඉන්නේ අඩ නින්දේ. සමහර අලි වාඩිවෙලා නිදාගන්නවා. සමහර අලි ගස්වලට හේත්තු වෙලා නිදාගන්නවා. මට මේ වෙලාවේ මතක් වෙනවා අතීත කතාවක්. මගේ ආච්චි අම්මාගේ නංගි ගුරුවරියක්. එයා ඉගැන්නුවේ අනුරාධපුරේ පැත්තේ දුෂ්කර ඉස්කෝලෙක. මේ ඉස්කෝලේ වත්තටත් ඉඳලා හිටලා අලි එනවා. මේ ආච්චි මට කිව්වා ඉස්සර ඉස්කෝල වත්තේ ගහකට හේත්තුවෙලා නිදාගන්න අලියෙක් හිටියා කියලා. එයා නිදාගත්තම ඉස්කෝලේ පටන්ගන්න වෙලාවටත් නිදිලු. ඉතින් ළමයි ඇවිත් ඈතින් ඉඳලා කෑගහලා තමයි අලියා එලවනවා කියන්නේ. හැබැයි පහුවෙනිදටත් එනවලු. ඔන්න ඔහොමයි අලින්ගේ මොළේ හැටි.






21. අපේ රටේ හීලෑ ඇත් පරපුර දවසින් දවස අඩු වෙනවා. විශේෂයෙන්ම හීලෑ ඇතුන්. දළදා පෙරහැරට නම් අවම වශයෙන් ඇතුන් 8 දෙනෙක්වත් අත්‍යාවශ්‍යයි. මේ හීලෑ අලි ඇත් සම්පතේ අඩුව නිසා, කවදා හරි දවසක අපේ රටේ පෙරහැරවල් නතර වෙයිද?
**   මගේ නම් විශ්වාසය දළදා වහන්සේට කවදාවත් අලියෙක්ගේ පිටේ නම් වඩින්න වෙන එකක් නෑ කියලා. දේවාභරණ අලියෙක්ගේ පිටේ වැඩම කරා කියලා අගෞරවයක් වෙන්නේ නෑ. දළදා වහන්සේ වැඩ ඉන්නකල් පෙරහැර කෙරෙයි. ඇත්තුත් ලැබෙයි. මට ඒක විශ්වාසයි.



22. මහනුවර ඇසළ පෙරහැර තමයි අපේ රටේ තියෙන ලස්සනම පෙරහැර. මහනුවර ඇසළ පෙරහැරේ ඉස්සරහින්ම යන දළදා පෙරහැරේ, පෙරහැර කරඩුව වඩම්වන්න සහ දෑලේ යන්න ඇත්තු 3 දෙනෙක් තෝරන්න කිව්වොත්, වයලීනෝ තෝරන්නේ කාවද?
**  මිල්ලන්ගොඩ රාජා, නැදුන්ගමුවේ රාජා සහ හෙයියන්තුඩුවේ රාජා. කරඬුව වැඩම කරවන්නේ මිල්ලන්ගොඩ රාජා. හෙයියන්තුඩුවෙයි, නැඳුන්ගමුවෙයි දැලේ ගමන් කරනවා. මිල්ලන්ගොඩ තමයි දිගම දල දෙකකට හිමිකම් කියන්නේ. ඒ නිසා එයා මැද ඉඳලා අනිත් දෙන්නා දෙපැත්තේ ඉන්නකොට හොඳ ගෞරවාන්විත පෙනුමක් ඇතිවෙනවා. හෙයියන්තුඩුවේ සහ නැදුන්ගමුවේ දෙන්නා ටිකක් එක වගේ. ඒ නිසා දෑලේ යන්න හොඳට ගැළපෙනවා දෙන්නා එක වගේ, එකම ප්‍රමාණ වගේ නිසා.


23. අලියා හෝ ඈතා, කොච්චර හීලෑ වුණත් එයාලගේ පාද තුනකට දම්වැල් දානවා. ඒ වගේම ගොඩක් අලි බාසුන්නැහේලා හෙණ්ඩුව සහ කෝටුවත් පාවිච්චි කරනවා. පෙරහැරේ යන්න ඕන ඇදුමකින් සැරසිලා. සමහරක් වෙලාවට ඉස්සරහා පෙන්නෙත් නෑ. අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ අපේ රටේ සංස්කෘතික පදනමත් එක්ක අලි ඇතුන්ව මේ වගේ දේවල්වලට සහභාගි කර ගත්තත්, අනිත් පැත්තෙන් බලනකොට මෙව්වත් සත්ව හිංසන නේද? ඒ අනුව ගත්තොත්, අලි ඇතුන්ව මේ වගේ ආගමික වැඩවලට සහභාගී කර ගැනීම බුද්ධ දේශනාවට පටහැනී කියලා හිතෙන්නේ නැද්ද?
**   පටහැනියි. අනිවාර්යෙන්ම පටහැනියි. මේවා කරන්නේ ගෞරවය මුල් කරගෙන. සමහර වෙලාවට ඒ සත්තු අකමැති ඇති මේ දෙන වදවලට. වත බඳින්න දාන බෙල්ට් එක තද කලාම අලියාගේ හෝ ඇතාගේ පෙනහළු හිරවෙලා හුස්ම ගන්න අමාරු වෙනවා. ඒත් එයාලා ඒවා විඳදරාගෙන ඉන්නේ ඔය පැය ගානම. මට මේ වෙලාවේ මතක් වෙනවා අලි ඇතුන්ගේ අඬන සිද්දිය ගැන. අලි ඇත්තු අඬනවා කියලා කියනවා. ඒ මෙහෙමයි. පෙරහැර දවස් ගානක්ම රෑට හරියට නිදි නෑ. ඉතින් අලි ඇත්තු දවල්ට ඉන්නෙත් නිදිමතේ තෙහෙට්ටුවෙන්. මේ නිසා තමයි අලි ඇත්තු අඬනවා කියලා කියන්නේ. එයාලාට තියෙන නිදිමතට සහ උෂ්ණය නිසා ඇස්වලින් කබ කඳුළු ගලනවා. මේකට කියන්නේ නම් පෙරහැර ඉවර වෙලා දුකට අඬනවා කියලා. ඒත් වෙන්නේ අරක තමයි. ඉතින් ඔය ඔක්කොම දුක් විඳගෙන අලි ඇත්තු මේවා කරන්නේ එක අතකට උන්ගේ පවකට වෙන්න ඇති. ඒත් දළදාව එක්ක බැලුවම නම් ඉතින් පිනක් නේද? ඒ වගේ අවස්ථාවක් ලැබෙන එකම මදිද?







24. සමහරක් දවස්වල අළුයම් කාලයේ සෝමාවතී චෛත්‍යරාජයාගේ ධාතු ගර්භය ඇතුළට සුදු ඇත් පැටවෙක් පිවිසෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේම කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය පිහිටලා තියෙන භූමි පරිශ්‍රයෙත් ක්ෂණයෙන් මතුවෙලා, ක්ෂණයෙන් අතුරුදහන් වෙන අද්භූත ඇතෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඒ භූමියේ ඉදගෙන කතරගම දෙවියන්ව හෑල්ලුවට ලක් කරන අයට ඒ ඇතාගෙන් ගොඩක් කරදර එහෙමත් වෙනවලු. මේ වගේ අපේ රටේ සමහරක් ශුද්ධ භූමිවල අද්භූත අලි ඇතුන් සම්බන්ධව අහන්න ලැබෙනවා. වයලීනෝට මොකද මේ ගැන හිතෙන්නේ? සංතුසිත දිව්‍යරාජයා, මහාමායා දේවියගේ කුසේ පිළිසිද ගනිද්දිත්, මහාමායා දේවිය නෙළුම් මලක් හොඩින් ගත්, සුදු ඇත් පැටවෙක්ව හීනෙන් දැක්කා. ඒ අනුව ගත්තොත් මේ සිදුවීම්වලට දෙව්වරුන් සම්බන්ධද?
**   අලියෙක් හෝ ඇතෙක් කියන්නේ තිරිසන් ආත්මය ලබන අවසාන ආත්මය කියනවනේ. මට මතකයි හාමුදුරුවරු බණට එහෙම කියනවා. ඊට පස්සේ එයා මනුෂ්‍ය ආත්මයක් ලබනවලු. ඉතින් මේ සිද්දි එක්ක බැලුවම ඒක ඇත්ත වෙන්නත් පුළුවන් නේද?

     අලි ඇත්තු පිටේ දෙවිවරු වඩින නිසා වන අලින්ට මන්තර කියනකොට දෙවිවරු ඉවත් කරලා ඊට පස්සේ කියන්න කියලාත් තියෙනවා. දෙවිවරුන්ට ඉවත් වෙන්න කියලා කිව්වට පස්සේ තමයි මන්තරය මතුරන්නේ. ඉතින් දෙවිවරු එක්ක අලි ඇත්තු සම්බන්ධ ඇති කියලා හිතන්න පුළුවන් නේද? අනික තමයි දෙවිවරුන්ට අලි අත්තුන්ට බලපෑම් කරන්න පුළුවන් කියන කතාව. බලන්ගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ පෙරහරට අලි ඇත්තු ගෙන්නන්නේ නෑ. එහෙ පෙරහරට අලි ඇත්තු ආවම එයාලා කුලප්පු වෙනවාලු. ඇයි එහෙට විතරක් එහෙම වෙන්නේ? අන්න ඒ වගේ දේවල් හරහා හිතලා බැලුවම දෙවිවරු සහ අද්භූත බලපෑම් එක්ක අලි ඇත්තු සම්බන්ධයි කියන්න පුළුවන්.


25. එතකොට සුමන සමන් දිව්‍යරාජයාගේ සුදු ඇතා ගැන මොනවද කියන්න දන්නේ? සුමන සමන් දිව්‍යරාජයා සුදු ඇතෙක් භාවිතා කරන තැනට පත් කළේ අපේ රටේ පැරණි ජනප්‍රවාද, ජනශ්‍රැති, ජනකතා සහ සාහිත්‍යකරුවන් නේද? ඇත්තටම දෙව්වරුන් ඒ විදිහට සත්ව වාහන භාවිතා කරනවද? බුද්ධ දේශනාවේ ඒවා ගැන මොනවත් සදහන් වෙනවද?
**    දෙවිවරු සත්ව වාහන භාවිතා කරනවා කියන්න නම් වෙන හේතු ඕන නෑ. ඓරාවණ හස්තියාම ඇතිනේ සක්‍රයා ගමන් බිමන් යන්න යොදාගන්න ඇතා විදියට. ඔව් ජනශ්‍රැති මේකට බලපාන්න පුළුවන්. සමන් දෙවියෝ කලින් උන්නු ප්‍රාදේශීය ගෝත්‍රික නායකයෙක්. එයාට අලියෙක් හෝ ඇතෙක් වාහනය විදියට ඉන්න ඇති. මරණයෙන් පස්සේ සුමන සමන් දෙවියන් උනා වගේ, එයාගේ ගමන් ගියපු ඇත් වාහනය දෙවියන්ගේ වාහනය වෙන්න ඇති. සුදු ඇතෙක් කියලා කියන්නේ සුදුම නිසා නෙවෙයි. අදටත් ඉන්නවා රෝස පාටට හුරු අලි ඇත්තු. සමහරවිට මේ සතාත් ඒවගේ වෙන්න පුළුවන්. සබරගමුව පැත්තේ ඉන්න කුරු අලි ඇත්තුත් මේ සමන් දෙවියන්ගේ වාහනය ඇති වෙන්න හේතු වෙන්න ඇති.


26. හොදයි. "මේ වගේ ලිපි ලියන එක කාලය කාලා දාන, අතට කීයක්වත් එන්නේ නැති, අබ ඇටයක් තරම්වත් වාසියක් නැති, නිකං තේරුමක් නැති වැඩක්" කියලා කවදාවත්ම හිතිලා නැද්ද?
**    හිතෙනවා. ඒත් ආත්ම තෘප්තිය වෙනුවෙන් ලියනවා. වෙන මිනිස්සු සූදු කෙලිනවා, බොනවා, ගංජා ගහනවා, වෙනත් වෙනත් දේවල් කරනවා. අපි මේ කරන දෙයින් ඒ වගේ කාටවත් හෝ තමන්ට කිසිම කරදරයක් වෙන්නේ නෑනේ. Internet බිල විතරයි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒකත් අවුලක් නෑ. මට දරන්න පුළුවන් ගානක Unlimited Package එකක් තමයි මම පාවිච්චි කරන්නේ. ඒ නිසා මට කිසිම ප්‍රශ්නයක් හෝ අතෘප්තිමත් බවක් දැනිලා නෑ. මට ඇතිවෙනකල් මම ලියනවා. පස්සේ කාලෙක මේවා කියවනකොට මටම මම ගැන සතුටු වෙන්න පුළුවන් විදියට මම ලියනවා. ඒක තමා අවසාන බලාපොරොත්තුව. ඉතින් ඒ අතරේ මොනවා හරි ඉගෙන ගන්න අයත් මම ලියන දේවල් වලින් ප්‍රයෝජන ගනියි.







27. මම කියනවා "වයලීනෝ මේ වගේ ලිපි ලියන්නේ අනිත් අයගේ අවධානය දිනා ගැනීමේ උපක්‍රමයක් හැටියට සහ සමාජය අතර, බ්ලොග්කරුවන් අතර කැපී පෙනෙන 'පොරක්' වෙන්න" කියලා. දැන් මොකද වයලීනෝ කියන්නෙ?
**   මගේ ආදර්ශ පාඨය වෙලා තිබුනේ "ගේම නම් ගේම, ශේප් නම් ශේප්" කියන එක. ඒත් ඒ ඉස්සර. දැන්නම් ඕන එකක් වෙච්චාවේ කියලා මම මගේ පාඩුවේ ඉන්නවා. ඒ නිසා මට කවුරුවත් අතරේ පොරක් වෙන්න අවශ්‍යතාවයක් නෑ. තත්ත්වයෙන්වත් ප්‍රශංසාවෙන්වත් උඩ යන්නේ නැතුව මගේ සාමාන්‍ය මට්ටමේ ඉඳගෙන මම තාමත් ලියනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් ලියනවා. මම දන්නා විෂයන් දන්න ගොඩක් අය තාක්ෂණයත් එක්ක සම්බන්ධ නෑ. ඒ නිසා ඒ අයගේ දැනුම බ්ලොග් වලින් එලියට එන්නේ නෑ. අත්දැකීමුත් එහෙමම පල් වෙවී තියෙනවා. ඒත් මට, දන්නා පොඩ්ඩ මෙහෙම ලියලා පල කරන්න පුළුවන් නිසා මම ලියනවා. මම හිතන්නේ මම කරන දෙයින් වැදගත් දෙයක් කියලා වෙන්නේ අන්න ඒක කියලා. ඒ නිසයි මම ලියන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මම කැමති නෑ කවුරුවත් මාව පාලනය කරනවට. මට සීමාවල් දාන්න ආවොත් එතන පොඩි අවුලක් වෙනවා. ඒ සීමාවල් මම පිළිගත්තේ නැත්නම් ප්‍රශ්න ගොඩක් තමයි.


28. මොනවද ඉදිරි බලාපොරොත්තු?
**   අධ්‍යාපනය අතින් පොඩි පොඩි බලාපොරොත්තු ටිකක් තියෙනවා. රසායන විද්‍යාව හරි සත්ත්ව විද්‍යාව හරි ඒ දෙකම හරි වැඩි දුර ඉගෙනගන්න බලාපොරොත්තුවක් තියෙනවා. තව වයලීනෝ කියන නම, මම දැනට යොමුවෙලා නැති ක්ෂේත්‍ර කීපයකට යොමුකරන්නත් හිතාගෙන ඉන්නවා. ඒවා වෙන්නේ කොහොමද කියලා අනාගතය විසින් තීරණය කරාවි.


29. ස්තූතියි කරන්න ඕන පිරිසකුත් ඉන්නවා නේද?
**   ඔව්. ආච්චි අම්මා, අම්මා, තාත්තා, පුංචි අම්මා මට මතක් නොකරම බැහැ. සංගීතය පැත්තට යොමු උනේ අම්මා තාත්තා දෙන්නා නිසා. ගුප්ත දේවල්වලට යොමු උනේ ආච්චි අම්මා නිසා. විශ්වවිද්‍යාලය දක්වා එන්න ඉගෙනගත්තේ පුංචි අම්මා මග පෙන්වපු නිසා. සිංදුවා අයියාගේ පවුලේ උදවියත් මතක් කරන්න ඕන. එයාලත් මට හැම දෙයින්ම උදවු කරනවා. බ්ලොග් ලියන්න ආව පාරේ මට පාර කියලා දුන්නේ ලාභයි ඇපල් ලියන ඇපල් අයියා සහ ආගිය කතා ලියන හසිත චාමිකර අයියා. බ්ලොග් ලිවිල්ලේදී මාත් එක්ක ඉඳලා විවේචන අඩුපාඩු තර්ජන ගර්ජන ඔක්කොම මුලින්ම ලබාදෙන්නේ සිංදුවා අයියා සහ සිංදුවා අයියාගේ මල්ලි. මගේ ලිපි කියවන ප්‍රතිචාර දක්වන අයටත් ස්තූති කරන්න ඕන. කී නොකී හැමෝටම ඉතින් ස්තූතියි.


30. වයලීනෝට ලියන්න ඕන විදිහ ආයිත් මතක් කරනවා නම්?
**  darshanaprabhath1@gmail.com


ඔන්න ඔහොමයි වයලීනෝ එක්ක කරපු දෙවෙනි කතා බහ අවසන් වෙන්නේ. කොහොම හරි මේ ලිපියත් එක්ක වයලීනෝගේ සම්පූර්ණ විෂය පථයම ආවරණය වෙනවා. මේ ලිපියට දාලා තියෙන ඔක්කොම වීඩියෝ ටික තේරුවේ වයලීනෝ. ඉතින් උඩ දාලා තියෙන වීඩියෝ දෙක වගේම, පහළ තියෙන වීඩියෝ ටිකත් බලන්න කියලා වයලීනෝ ඔබ සැමට විවෘත ආරාධනාවක් කරනවා, බොහෝම තැන්පත් සිතින් යුක්තව. අද සමාජයේ අලි ඇතුන් ගැන සාකච්ඡා වෙන දේවල් පාදක කරගෙන තමයි මේ ලිපිය ලිව්වේ. හැම දෙයක් ගැනම නැති වුණත්, බොහෝමයක් දේවල් ගැන අපි මෙතනදි සාකච්ඡා කළා.

අප්පච්චි තුන්වෙනි පාර ඉල්ලන්න ගිහින් වෙච්ච හරිය මදැයි! ඒ නිසා වයලීනෝ සබැදි කතා IIIක් නම් එන්නේ නෑ. අනික ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ. ඔය වයලීනෝ වුණත් එච්චර තමයි...!!!!!!!









33 comments:

  1. 27. මම කියනවා "වයලීනෝ මේ වගේ ලිපි ලියන්නේ අනිත් අයගේ අවධානය දිනා ගැනීමේ උපක්‍රමයක් හැටියට සහ සමාජය අතර, බ්ලොග්කරුවන් අතර කැපී පෙනෙන 'පොරක්' වෙන්න" කියලා. දැන් මොකද වයලීනෝ කියන්නෙ?

    කවුද යකෝ...නෑ කියන්නෙ. වයලිනෝ පොරක් තමයි..ලියන එක හැමොටම කරන්න බෑ..
    උඔ ලියපන්..උඔගේ හැකියාව උඔටත් වඩා වටින්නෙ අපිටයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) . මේ දනුල කියන එක්කෙනා මාව නැති බංගස්තාන් කරන්න ආව විදේශ කුමන්ත්‍රණයක් :p

      Delete
  2. කී පාරක් කියන්නද කැස්වටුවෝ..????? තුන්වෙනි කොටසක් එන්නේ නෑ !!!!!!! නෑ නෑ නෑමයි !!!!! :-gr :-gr :-gr

    ReplyDelete
    Replies
    1. උඹ ඒක ඔය මොකාද එකාටම කියපන් . මම දන්නේ නෑ

      Delete
  3. මමත් ආසයි අලින්ටයි අස්සයෝන්ටයි. අස්සයෝ පිටේ ගියාට අලි පිටේනම් ගිහින් නැහැ. මේකනම් හරිම වටින ලිපියක් වයලා...

    ReplyDelete
    Replies
    1. මෙන්න කෙල්ලො, අස්පයින්ට ආසයිලු. :D

      ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ අකාල සන්ධ්‍යා නොහොත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා ටෙලියෙ තිබුනා මතකයි අංගම්පොර සටනකින් තරහකාරය පරාජය කරල තමන්ගෙ පලිය ගත්තු, දිසාවෙ තනතුරකින් පිදුම්ලබපු කාන්තාවට අලි ඇතුන්ගෙ පිටේ යන්න රජ්ජුරුවො අවසර දෙන සීන් එකක්. මම හිතන්නෙ ඔය අලින්ගෙ පිටේ නගින්න ඉස්සර නම් කාන්තාවොන්ට තහනම් වෙන්න ඇති. සයුරි නොවැ ඉතිං ඉතිහාසය ටීචර්.

      Delete
    2. :D

      අයියෝ ඔය අකාල සන්ධ්‍යා මම කොයි තරම් හෙව්වද තාම හම්බ උනේ නෑ නේ

      Delete
    3. බොහොම ස්තූති :)

      Delete
    4. අලි ඇත්තු එක්ක වැඩ කරන්න කැමති නම් එකතු වෙන්න අපි එක්ක.
      ෆේස්බුක් : අලි ඇතුන් වෙනුවෙන් හඩක්
      Voice for elephants

      Delete
  4. අලි ගැන නම් මම නොදන්න හුඟක් දේවල් දැනගත්තා යාළුවා. ස්තූතියි. මට මතකයි උඹේ අනිත් බ්ලොගෙත් අලි ඇත්තු ගැන ලියල තිබිලා කියෙව්ව.


    //අලි ඇත්තු ගැන මතක් කරනකොට නම් මුලින්ම මතක් වෙන්නේ වයලීනෝව//

    ෆොටෝ එක දිහා බැලුවම නම් උඹ එච්චරම මහතයි කියල පේන්නෙ නෑ බං. ඒත් අර මදකිපිච්ච වගේ ගතියක් නම් ලාවට තියෙනව. :)) :)) :))

    //ඉතින් උඩ දාලා තියෙන වීඩියෝ දෙක වගේම//

    මම මේ ඇහුවමයි වීඩියෝ උඩ දාපු එකෙක් ගැන. =)) =)) =))

    ReplyDelete
    Replies
    1. හඃ හඃ හඃ :p :p :p
      බොහොම ස්තූති . මේ වීඩියෝ උඩ දැම්මේ මම නෙවෙයි :p

      Delete
    2. ඇයි මීට කලින් වීඩියෝ උඩ දානවා දැකලා නැද්ද? :P මම එපා කියද්දි වයලීනෝ තමයි වීඩියෝ උඩ දැම්මේ. එකක් බිම වැටිලා කැඩුනත් එක්ක :-vi :-vi :-vi

      Delete
    3. ආ මල්ලි , වීඩියෝ උඩ දැම්මේ හිටගෙනද ?

      Delete
  5. "ඉන්දිරාජා, ජනරාජා, සිංහ රාජා, බුරුම රාජා, මියන් රාජා වගේ කීපදෙනෙක්ට මම කැමති නෑ."

    ඉන්දි රාජාට තියෙන පෞරුෂය දැන් ඉතිරි වෙලා ඉන්න අනිත් ඇත්තුන්ට නෑ කියලයි මට හිතෙන්නෙ. මං නම් කැමතිම ඇතා. කිසිම අලියෙක්ට, ඇතෙක්ට බය නැති සතෙක්.

    මියන් රාජා ගෙත් කියන්න තරම් වරදක් නෑ. උස අඩු බව ඇරෙන්න. ටික කාලෙක ඉඳන් නම් දරුණු වේගෙන එනව වගෙයි පේන්නෙ. ඉස්සර තිබිච්ච හීලෑ බව අඩු වේ ගෙන එනව වගෙයි. ඇතාගෙ තියෙන සුදු පාටටට හුරු ගතියටත් කැමතියි.

    සිංහ රාජාත් වයසට යනකොට මිල්ලංගොඩ රාජාගෙ වගේ දළ එයි වගේ. ඒත් දකුණු දළය කොටයි.

    ඒ වගේම මගේ මනාපය ගත්තු තවත් ඇතෙක් ඉන්නවා. ඒ තමයි දළඳා මාලිගාවේ ඒකදන්තයා.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් . මම එතන කිව්වේ මගේ පෞද්ගලික මතය :) ඉන්දි රාජා මට හරියන්නේ නෑ :p
      ඒක දන්ත අය ගැන නම් මගේ උනන්දුවක් නෑ :)
      බොහොම ස්තූති g-)

      Delete
  6. "අලි කුල වලින් මම හිතන විදියට වාසනා මංගල හෝ උපෝසථ කියන කුල දෙකෙන් එකකට අයිති වෙන්නේ."

    වාසනා මංගල කුලයට අයත් ඇතෙක්. දළ වලට කොපු දැමුවෙ නීලංග දෑළ නිළමෙවරයාගෙ කාලයෙදියි.

    ReplyDelete
  7. "අලින්ගෙන් වැඩිපුරම කැමති යක්කල කාලි කෝවිලට අයිති ගජබා කියන අලියට."

    ගජබා තමයි මං දන්න තරමින් ලංකාවේ අවසන් වතාවට නීත්‍යානුකූලව කැලයෙන් අල්ලා ගනු ලැබූ අලියා. අහල තියෙන විදිහට ගජබා කියන්නෙ ගෙවල් කඩලා මිනිස්සුන්ට කරදර කරපු අලියෙක්. ඒ වගේම දැනට ඉන්න හීලෑ අලින්ගෙන් උසම අලියා. ගජබා ගැන විස්තර වගයක් ගිය පාර දළඳා මාලිගාවේ පෙරහැර යද්දි කරන සජීවී විස්තර විචාරයේදී සඳහන් වුණා. වලින් ඒ ගැන බලන්න. ඔය කියපු විස්තර මතක විදිහට ඒකෙදි පැවසුවා.

    ReplyDelete
    Replies
    1. ගියපාර පෙරහැර බලන්න ලැබුණේ නැහැනේ . වීඩියෝ එකවත් හොයාගෙන බලන්න ඕන . :)

      Delete
  8. "ඇතෙක් මිනී මැරුවොත් ආයේ එයා ලවා දළදා කරඬු වැඩම කරවන්නේ නෑ කියලා පිළිගැනීමක් තියෙනවා."

    මේක පිළිගන්න බෑ නේද? ඉන්දි රාජා කියන්නෙ මිනී මරපු ඇතෙක්. ඒ වුණාට එයා පිටේ කරඬුව වඩම්මනවනෙ. නැඳුන්ගමුවේ ඇතා මිනී මරලා නැතත් මිනිසුන්ට පහර දීපු අවස්ථා තිබිලා තියෙනවනේ. රාජා ඇතත් දරුණු වුණු අවස්ථා තිබිලා තියෙනවනේ. මිනී මරපු බවක් නම් අහලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අද කාලේ නම් එහෙම නෑ තමයි . ඒත් තවමත් මාළිගාවේ අය ඒ තත්ත්වය පවත්වාගෙන යන්න උනන්දු වෙනවා . මට මතක හැටියට ඉඩම්පිටියේ රාජා කියන ඇතාගේ කාලේ ඉඳලා දළදාව වැඩම කරපු අයගෙන් වැඩි දෙනෙක් මිනිස්සු මරපු අය . ඒත් නැදුන්ගමුවේ රාජා තවමත් පරිස්සම් වෙලා ඉන්නේ වෙද මහත්තයා ඇතාව ඒ විදියට පරිස්සම් කරන නිසා . හැබැයි අලි ඇත්තු හිඟය නිසා මේක මෙහෙම උනාට මිනී මරපු ඇත්තු පිටේ දළදාව වඩම්ම වන්නේ නෑ කියන ඒක රජ කාලේ ඉඳලා ආව සම්මතයක් .

      Delete
  9. "ඒ නිසා මේ වගේ දේවල් වලටත් ගැහැණු සත්තුන්ට ඉඩක් ලැබෙන්නේ නැතිව ඇති."

    මේ කතාව අදට ගැළපෙන්නේ නෑ. ගිය පාර දළඳා පෙරහරේ මතක විදියට රන්දෝලි පෙරහැරවල් කීපයකම දේවාභරණ වැඩම්මුවේ මහරගම සීතා ඇතින්න. (අලි පැටව් බිස්නස් කරපු රොෂාන්ට අයිති ඇතින්නක්.) දන්න තරමින් බෙල්ලන්විල පන්සලේ මැණිකේ ඇතින්නත් දේවාභරණ වඩම්මනවා. සමහර විට මේකට හේතුව වෙන්න ඇත්තෙ අලි ඇතුන්ගේ හිඟකම වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක ඉන්දීය පිළිගැනීම නිසා තමයි ඇතිවෙලා තියෙන්නේ . කොහොමහරි රත්නපුරේ සමන් දේවාලේ නම් තවමත් අලියෙක් තමයි දේවාභරණ වැඩම කරවන්නේ . ඒකත් රජකාලේ ඉඳලා සම්මත කරපු දෙයක් . ගෑණුත් කලිසම් ඇන්ද එකේ අලි නොනලත් දැන් වැඩට බැහැලා ඇති . මමනම් තවම දැකලා නෑ ගෑණු සත්තු මේවා කරනවා . බොහොම ස්තූති දැනුවත් කලාට :) g-)

      Delete
  10. "එදා කැලණියේ කණ්ඩුල ඇතා, මට ඒත් කිතුල් ලීයක් එවන්න ලීය ගන්නකොටම අලි බලන අයියා හෙණ්ඩුවෙන් ඇදලා නවත්තගත්තා. එදත් මන්තර වැඩ කරලා නෑ."

    කණ්ඩුල ඇතා නම් දරුණු ඇතෙක් නෙමෙයි. බලන අලි බාසුත් සාපේක්ෂව හොඳ කෙනෙක්. ඒත් බෙල්ලන්විල ඉන්න මියන් කුමාර නම් ඉස්සරහට දරුණු ඇතෙක් වෙනව වගෙයි පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ . අලි ඇත්තු ඉතින් ෂුවර් කරන්න බැහැනේ . කොහොම උනත් මම එදා කන්ඩුලගේ ෆොටෝ එකක් ගත්තා . මියන් කුමාර බලන්න ගියා දවසක් . ඒත් එදා එයා පන්සලේ හිටියේ නෑ . තවම මම මියන්ව දැකලා නෑ .

      Delete
  11. "දළදා පෙරහැරට නම් අවම වශයෙන් ඇතුන් 8 දෙනෙක්වත් අත්‍යාවශ්‍යයි."

    මේක 9 විදිහට නිවැරදි වෙන්න ඕනෙ. පෙරමුණේ රාළ, ගජනායක නිළමේ, බෞද්ධ කොඩිය ගෙනියන තැනැත්තා. ඔතනට 3යි.

    ඊට පස්සෙ කරඬුව වඩම්මන ඇතාට ඉදිරියෙන් ඇතුන් 3යි. ඉදිරියේදී කරඬුව වැඩැම්ම වීමට පෙරහුරුවක් විදිහටලුනෙ ඕක කරන්නෙ. හොඳම උදාහරණය සිංහ රාජා. දළඳා කරඬුව වඩම්මන්න කරපු පුහුණුව. 2013 කුඹල් පෙරහැරවල් වලදි කරඬුව වැඩම කිරීමටත් යොදා ගත්තා. දැන් අනිවාර්යයෙන් දෑළේ යන ඇතෙක් වෙලා ඉන්නෙ. උස අඩුකම තමා ප්‍රශ්නෙ.

    ඊට පස්සෙ කරඬුව වඩම්මන ඇතා හා දෑළේ ඇතුන් දෙදෙනා.

    එකතුව 9යි.

    ReplyDelete
    Replies
    1. මේක මගේ ගණනය කිරීමක් නෙවෙයි . මම අදාළ කෙනාව දැනුවත් කරන්නම් . මටනම් ඒ සංඛ්‍යාව ගැන ඒ හැටි අවධානයක් නෑ :)
      බොහොම ස්තූති g-)

      Delete
  12. "මිල්ලන්ගොඩ රාජා, නැදුන්ගමුවේ රාජා සහ හෙයියන්තුඩුවේ රාජා. කරඬුව වැඩම කරවන්නේ මිල්ලන්ගොඩ රාජා. හෙයියන්තුඩුවෙයි, නැඳුන්ගමුවෙයි දැලේ ගමන් කරනවා. මිල්ලන්ගොඩ තමයි දිගම දල දෙකකට හිමිකම් කියන්නේ. ඒ නිසා එයා මැද ඉඳලා අනිත් දෙන්නා දෙපැත්තේ ඉන්නකොට හොඳ ගෞරවාන්විත පෙනුමක් ඇතිවෙනවා. හෙයියන්තුඩුවේ සහ නැදුන්ගමුවේ දෙන්නා ටිකක් එක වගේ. ඒ නිසා දෑලේ යන්න හොඳට ගැළපෙනවා දෙන්නා එක වගේ, එකම ප්‍රමාණ වගේ නිසා."

    මෙතන ඉන්න ඇතුන්ගෙන් දෙන්නෙක්ම දැන් ජීවතුන් අතර නෑ.

    ඒ නිසා මගේ තෝරා ගැනීම තමයි මේ. නැඳුන්ගමුවේ ඇතා කරඬුව වැඩම්ම වීමටත්, වාසනා හා ඉන්දි රාජා දෑළේ ගමන් කිරීමටත් යොදා ගන්නවා. ගිය පාර එක රන්දෝලි පෙරහැරක මේ තුන්දෙනාවම යොදා ගත්තා.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ අහපු කෙනා මට නිදහස දුන්නා ජීවතුන් අතර නැති අය උනත් කමක් නෑ නම් කරන්න කියලා . එයාලා දෙන්නම මැරිලා කියලා මම දන්නවා . ඒත් මට දීපු නිදහස මත මම ඒ නම් කිරීම කරා :)

      Delete
  13. මෙතන මගේ පුද්ගලික මතය කියන්නෙ. අලි, ඇතුන් ගෘහස්ථව තබා ගැනීමට මං සම්පූර්ණයෙන්ම විරුද්ධයි. එහෙම ඇති කරනව නම් ඔවුන්ට හැකිතාක් නිදහස දිය යුතුයි. ඒ වගේම හීලෑ අලි, ඇතුන්ට කිසිදාක නොලැබෙන ලිංගික නිදහස ඔවුන්ට ලබා දෙනව නම් කැලෑවලින් අලි පැටවුන් අල්ලා ගැනීමත් නතර කර ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් හොඳ මුදලකට විකුණලා ලාබයක් ලබා ගන්නත් පුළුවන්. ඒත් මේ හැමදේම යම්කිසි නීති රීති රාමුවක් යටතේ සිද්ධ වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ලිංගික නිදහස දුන්නට අලි හාම්පුත්තු කැමති නෑ එහෙම නිදහස දීලා ගෑනු සත්තු අවුරුදු දෙකක් විතර කන්න දිදී නිකන් තියාගන්න . ඒක නිසා වෙන්න ඕන මෙහෙම වෙලා තියෙන්නේ . බලමුකෝ අනාගතේදී මේවට විසඳුම් ලැබෙයි .

      Delete
  14. අලි ඇතුන්ට අවශ්‍ය ලිංගික නිදහස හීලෑ අලි-ඇතුන්ට ලැබැන්නේ නෑ කියන දේ මමත් පිළිගන්නවා.නමුත් සමහර අලි හාම්පුතුන් ඉන්නවා ඒ ක්‍රියාවලියටත් නිදහස ලබා දෙන.මම ඒ දේ පෞද්ගලිකවම දන්නවා.මොකද ගිරිඋල්ල උදාර ගලප්පත්ති මහත්මයා මගේ පෞද්ගලික මිතුරෙක්.මම නොයෙක් අවස්ථාවන් වල අලි සම්බන්ධ වැඩ කටයුතු වලට ඔහුගේ නිවසට යන විට මම දැක තිබෙනවා ඔහුගේ අලි පංතියේ ඉන්න කාංචනා කියන ඇතින්නත් බිබිලා කියන අලියත් එකට ඉන්න ආකාරය.මොකද එවැනි හැසිරීමකට අවශ්‍ය පූර්ණ නිදහස් වටපිටාවක් තමා ඒ ඉඩමේ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඇත්තටම ඉන්නවා තමයි . වැඩේ තියෙන්නේ හැම කෙනාම කෑගහන්න වැරැද්ද ගැන විතරයි . හොඳ දේවල් ගැන කවුරුවත් කියන්නේ නෑ .
      අලි ඇත්තු ගැන බලන්න පුළුවන් කාලෙක මමත් එකතු වෙන්නම් . දැන් නම් වෙලාව හොයාගන්න අමාරුයි .
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  15. නිහාල් නෙල්සන් ද කොහෙද ගායනා කරන "දළදා මාලිගාවේ කරඬුව ගෙන යන ඇතා" ගැන සින්දුව මතකද? ඕකේ තවත් කාලි කීපයයි මතක "සමහරු ආදරේට කියයි රාජ පුතා". කොහොම හරි අග පද ඉවර වෙන්නේ සතා,පුතා, ඇතා වගේ වචන වලින්.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.