Thursday, July 9, 2015

සිංදුවට මඩක් සමග පෙම් කල වරදට මට වද දෙන්නේ







මෙහි එන නම් ගම සියල්ල මනඃකල්පිත නොවන අතර 21වන සියවසේ මුල් භාගයේ රත්නපුරේ හද්ද පිටිසර මූකලාන ගමක සිදුවුණ අසත්‍ය සිදුවීමක් ආශ්‍රයෙනි .

( බුදු සරණ වේවා තාලෙට කියන්න )

ආ යු බෝ වේවා..........
රෝ ග බෝ වේවා...........
පැටවූ බෝ වේවා ..........
මෙතුන් බෝවෙන් ජයම වේවා..................

අම්මේ තාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ සහෝදර සහෝදරි වරුණේ . අදත් ඔන්න සිංදුවට මඩක් යටතේ පොඩී............. කතාවක් එක්ක සිංදුවක් ගැන කියන්න තමයි වයලීනොගේ කල්පනාව . මේ වෙනකොට සිංදුවා සිංදුවතී ප්‍රේම පුරාණයේ පුරාවිද්‍යාත්ම පසුබිම ඔයාලට අමතක වෙලාත් ඇති කියලා හිතනවා . මොකද ගොඩ කාලෙකින්නේ සිංදුවා සිංදුවතී කතා පුවතක් අරගෙන වයලීනෝ දුවගෙන දුවගෙන දුවගෙන ආවේ .

සිංදුවා ඔන්න කොහොම කොහොමහරි ඉස්කෝලේ යනකාලේ සිංදු කියලා , නැවු ටෝල්ක්ස් දීලා වතී අක්කව සෙට් කරගත්තා . දැන් ඔහොම ඔහොම කාලයක් ගතවෙලා යනකොට වතී අක්කගේ ගෙදර විශේෂ අවස්ථා සඳහා සහභාගී වෙච්ච සිංදුවා අවසානයේ බයිසන් කුලුමීහරකා දමනය කරලා ගමටම ශාන්තියක් උදාකරදීලා ගමේම වීරයා බවට පත්වුණා . ඊට පස්සේ කාලයක් යනකොට වතී අක්කගේ අයියට පොඩ්ඩක් ඉව වැටෙනවා වතීඅක්කගේ ජීවිත උයනේ මල් පිපිලා කියලා . දැන් අයියට කවුද කියලා හොයාගන්නත් ඕන . ඒත් අහන්නත් බෑ බෑ වගේ . 

ඔහොම ඔහොම ටික දවසක් යනකොට වතී අක්කගේ පිස්සුව තවත් වැඩි උනා . ගෙදර පිඟන් කෝප්ප පවා වැඩි හරියක් වතී අක්කා අතින් කුඩු වෙන්න පටන් ගත්තා . මේ මොනවා උනත් වතී අක්කගේ අම්මා වතී අක්කට බැන්නේ නෑ . වතී අක්කාගේ අම්මා හැමවෙලාවෙම කිව්වේ එහෙම දෙයක් උනාම

" අනේ ඉතින් ලාස් වලින් මනින්න තරම් කෙල්ලෝ ඉන්න එකක්ය , පිඟන් කෝප්පනම් ගන්න බැරිය "

කියලා . කොහොමහරි වතී අක්කා අම්මගේ අයියගේ නහය විදලා ගානට නූලට සීරුවට මල පුප්පගෙන පුප්පගෙන පුප්පගෙන ගියා . අවසානයේ ඔන්න ඒ අඳුරු දිනය උදා උනා . 

කොච්චර අඳුරු දිනයක්ද කියනවනම් උදේ ඉඳලා වැහි අන්ධකාරය . ගමම මේ වැහි අඳුරෙන් මිරිකිලා ගිහින් තිබුනේ . ගෙදර හොඳටම කරුවලයි . දවල් වෙනකොට කරන්ට් එකත් කැපුවා . ගෙදර වැඩක් කරගන්නවත් විදියක් නැති නිසා වතී අක්කගේ අම්මා කියනවා ඉටිපන්දම් ඉවර වෙලා කඩේට ගිහින් ඉටිපන්දම් ගේන්න කියලා . වතී අක්කා මේවා කිසි ගණනකට ගන්නේ නැතිව කාමරේට වෙලා සිංදුවා එක්ක මල 

වතී :- හානේ සිංදු අපේ ගමට හරිම කරුවලයි . ගෙදර කරන්ට් එකත් නෑ . මට බයා.............යි 
වතා :- ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඔන්න යකා එනවා....... ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ඔන්න ගෝනි බිල්ලා එනවා  
වතී :- අනේ මාව තවත් බය කරන්න එපා අනේ . මම අහිංසකයි 
වතා :-  ඔයා බය වෙන්නෙපා මෙයා . මම ඉන්නවනේ . මම යකාව අඹරලා චප්ප කරලා දානවා 
වතී :- මම දන්නවා මගේ සිංදුවා හපනා කියලා






ඔන්න ඔහොමයි වැඩේ . අර අහිංසක අම්මට ඉටිපන්දම් ගේන්නේ නැතිව මුන් දෙන්නා මෙතන sms කර කර ගොනිබිල්ලෝ සෙල්ලම් කරනවා . ඉතින් අවසානයේ ගෙදරට ඉටිපන්දම් ගෙන්න ඉදිරිපත් වෙන්නේ අහිංසක මලක් වගේ ඉන්න වතී අක්කගේ අයියා . අයියා ඔන්න ගෙවල් කිට්ටුව තියෙන කඩේට යනවා ඉටිපන්දම් ගෙන්න . කඩේට ගිය වෙලාවේ තමයි ගින්න පත්තු වෙන්නේ . ඒ වෙලාවේ කඩේට ඇවිත් ඉන්නවා ඕපාදූප හොයන අම්මණ්ඩි කෙනෙක් . ඒ අම්මණ්ඩි වතී අක්කා සිංදුවා එක්ක බස් එකේ ඩබල් සීට් එකේ ඩබල් දාලා යනවා දැක්කා කියලා වතී අක්කගේ අයියගෙන් කනේ තියනවා . 

අම්මණ්ඩි :- පුතේ දැන් කවදද නංගිගේ කසාදෙ ගන්න ඉන්නේ ?

අයියා :- මොන කසාදද නැන්දේ ? තාම මේ ඉස්කෝලේ ගිහිල්ලා ඉවරවෙලාවත් නෑ . 

අම්මණ්ඩි :- ආආ ඒකත් එහෙමද ? . මම හිතුවා අර බස් එකේ යනවා දැක්ක ඉලන්දාරියා දුව බඳින්න ඉන්න     හාදයා වෙන්නැති කියලා .

අයියා :- මොකක් නැන්දේ ? ආයේ කියපන් බලන්න .

අම්මණ්ඩි :- නෑ මම මේ කිව්වේ පුතේ මෙහාට වරෙන්කො පොඩ්ඩක් කියන්න . ඔය වයසට ඔහොම තමයි . මම කිව්වා කියලා කියන්න ඕන නෑ . මම දැක්කා මේ දැරිවි පිරිමි ළමයෙක් එක්ක බස් එකේ කතා කර කර යනවා . 

අයියා :- ආ මේ ඉස්කෝලේ යාලුවෙක් වෙන්නැති . 

අම්මණ්ඩි :- වෙන්න බෑ ළමයෝ . ඉස්කෝලේ යාලුවෙක් උනත් දෙන්නගේ කතාවෙන් පෙනුනේ යාළුකමට එහා ගිය මොකක්හරි දෙන්නා අතරේ තියෙනවා කියල තමයි . 

අයියා :- හ්ම්ම්ම් . මම ඕකිගෙන් අහන්නම්කො . මේ කතාව බොරු උනොත් මම උඹව කළු ගඟට දානවා කිඹුලොත් එක්ක දියබුං ගහන්න .

අම්මණ්ඩි :- ආයේ ඉතින් මක්කය ? අර එදා කුළු හරකා එළවලා ගම බේරාගත්තා කොලුවා එක්ක තමයි කෙල්ල හිටියේ . ඔන්න මම කිව්වය කියන්න එහෙම එපා . කෙල්ල මාත් එක්ක වයිර බඳියි . ඇස්වහක් කටවහක් නෑ පුතේ හරිම සීදේවි ජෝඩුව හැබැයි .

අයියා :- සීදේවි ? මම ඕකිව විහාරමහාදේවී කරනවා මේ කතාව ඇත්ත නම් .







අයියා මේ කතාවත් එක්ක කඩෙන් පිටවෙලා ගෙදර එන්න එනවා . අයියා කල්පනා කරනවා එදා වෙච්ච ඒවා . සිංදුවා කුළු හරකා දමනය කරපු වෙලාවේ වතීගේ මුනේ තිබ්බ එලිය , සී ඇප් ඇල් බල්බවල එලිය පරාදයි . කාලෙක ඉඳලා දෙන්නා අතර මොකක් නමුත් ඇයිහොඳයියක් තියෙන්න ඇති කියලා වතීගේ අයියා කල්පනා කරනවා . පස්සේ අයියා ගෙදර එනවා පවනට බඳු වේගයට වඩා පොඩ්ඩක් අඩු වේගයෙන් . ඇවිත් ඉටිපන්දම් ටික අම්මට දීලා කියනවා නංගිට කාමරෙන් එලියට එන්න කියන්න මට එයත් එක්ක කතාවක් තියෙනවා කියලා . 

අම්මා ඉටිපන්දමක් පත්තු කරගෙනම වතී අක්කගේ කාමරේ ගාවට ගිහින් කියනවා අමල්බිසෝ දොර ඇරපන් , ඈ නෑ නෑ දුවේ දොර අරින්න කියල . ඒත් සද්දයක් නෑ . පස්සේ ආයෙත් කෑගැහුවා දොර අරින්න කියලා . ඒත් සද්දයක් නෑ . ආයෙත් කෑගැහුවම ඔන්න වතී අක්කා එපාවෙච්ච මූඩ් එකෙන් කෑගහන්න ගත්තා ඇයි අම්මේ මම මේ පාඩම් කරනවා කියලා . අම්මා හිතාගෙන ඉන්නේ පාඩම් කරනවා කියලා ඇත්තටම . අපිනේ දන්නේ සිංදුවා මෙතන යක්කු භූතයෝ ගැන උගන්නනවා කියලා . ඉතින් අම්මා අයියට ඇවිත් කියනවා නංගි පාඩම් කරනවා කියලා . පස්සේ අයියම ගේමට බහිනවා .

අයියා :- තෝ හොඳ හිතින් කාමරේ දොර ඇරපන් . මට උඹත් එක්ක වැදගත් කතාවක් තියෙනවා .
වතී :- දැන් වැදගත් කතා කතාකරන්න වෙලාව නෙවෙයි , ලයිට් ආවම කතා කරමු 
අයියා :- ඇයි උඹට ලයිට් එන්න ඕනද කතා කරන්න , ඇරපිය මේ දොර 
වතී :- මට බෑ 
අයියා :- හිටපන් මම උඹව එලියට ගන්න 

කියල අයියා පවනට බඳු වේගයට වඩා පොඩ්ඩක් වැඩි වේගයෙන් අහසට පැන නැගිලා කැරකිලා කැරකිලා ගෙදර තිබ්බ මෝල්ගහ අරගෙන ඇවිත් වතී අක්කගේ කාමරේ දොරට දුන්නේ එකයි . ටින් ගාලා දොර ඇරුනා . වතී අක්කා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳෙන් බැහැලා ස්ටාන්ස් තියලා අයියත් එක්ක ගේමට හිටගත්තා .






අයියා :- කියපන් කවුද උඹ එක්ක බස්වල යනවා කියන කුමාරයා 
වතී :- මම දන්නේ නෑ 
අයියා :- එතකොට මමද දන්නේ 

කියලා අයියා වතී අක්කට දුන්නා පාරක් දිෂුන් දිෂුන් කසු කුසුමසායි සෙයි සෙයි ......... 

වතී :- බුදු අම්මො...... මෙන්න මරනෝ......... අම්මේ මාව බෙරගන්නෝ........................
අයියා :- දීපන් උඹේ ෆෝන් එක . ආයේ උඹට ෆෝන් නැහැ 
වතී :- බෑ දෙන්නේ නෑ . ඒක මගේ 
අයියා :- දීපන් 
වතී :- බෑ 

මම බෑ බලාගන්නම් කියලා ආයෙත් පාරක් දුන්නා 

දිෂුන් දිෂුන් කසුකුසුමසායි සෙයි සෙයි .........

අයියා කාමරේ පෙරලලා හොයලා ඔන්න ෆෝන් එක හොයාගත්තා . උඹ ආයේ ගෙදරින් එලියට බැහැලා ඉවරයි . ඉස්කෝලේ යන්නේ අම්මා එක්ක . එන්නෙත් අම්ම එක්ක . එහෙම කියලා අයියා ෆෝන් එකේ මැසේජ් බලන්න ගත්තා . 

අයියා :- පැටියෝ , සුදු , රත්තරන් . අම්මේ මේ අහුවෙන්නේ මේකිගේ හොර . කවුද බං ඔය රත්තරන් . අරන් වරෙන්කො ගෙදර , මාල වළලු හදලා විකුණන්න . 
වතී :- ඉහි ඉහි ඉහීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ..................... ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ...................................
අයියා :- කවුද කියපන් මේ . නැත්නම් උඹව මම හමගහනවා මෙතනම 
වතී :- ඉහි ඉහි ඉහීඊඊඊඊඊඊඊඊඊඊඊඊ. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉ.....................................
අයියා :- කියනවා !
වතී :- ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් 
අයියා :- ඇයි උඹේ කටෙන් හුලන් යනවද ? කියපිය 
වතී :- ස්ස්ස්ස්ස්ස් සිං සිං 
අයියා :- සිං සිං ඤෝරුද ?
වතී :- සිංදුවා 
අයියා :- ආආආ හරි එහෙනම් . කතාව හරි . අද ඉඳලා උඹ ඉස්කෝලේ විතරයි යන්නේ . මමයි අම්මයි එනවා ඉස්කෝලේ මිස්ලා හම්බෙලා මේ ගැන කතා කරන්න . ඒ ඇර උඹ ගෙදරින් එලියට බහින්නේ නෑ . 
වතී :- ඉහි ඉහි හිහිහිහිහිහිහීඊඊඊඊඊඊඊඊඊඊඊ.......................... මට ක්ලාස් යන්න ඔනී...............
අයියා :- නෑ නෑ ඒවා ඕන නෑ .







ඔන්න ඔහොම ඉතින් වතී ගෙදර හිර කාරියක් උනා . දෛවයේ සරදමක් වගේ ලයිට් ආවා . වතී කාමරේ තියෙන එයාගේ පොඩි රේඩියෝ එක ඕන් කළා . එතකොට ප්ලේ උනේ මෙන්න මේ ගීතය . ඉහි ඉහි ඉහීඊඊඊඊඊඊඊඊ.................... මටත් ඇඩෙනවා අෆ්ෆා.......

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා

චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

පදරචනය :- දායා ද අල්විස්
තනුව :- චන්ද්‍රදාස බෝගොඩ
ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ





නව සංස්කරණය




මුල් සංස්කරණය


ගීතයේ මම අලුත් සංස්කරණයයි පැරණි සංස්කරණයයි දෙකම මෙතන අමුණලා තියෙනවා ඔයාලට අහලා බලන්න . මොකද දැන් අලුත් සංස්කරනයවත් වැඩිය ඇහෙන්නේ නෑ . බලෙන් හොයාගෙන ඇහුවොත් තමයි ඇහෙන්නේ . ඒ නිසා මේ වගේ තවත් බ්ලොග් ලියන අයට මම කියන්න කැමතියි මේ වගේ ගීතවල පැරණි සංස්කරණත් කරළියට ඇදලා ගන්න කියලා . 





ගීතය ලිව්වේ තනුව දැම්මේ කවුද කියලා හොයලා බලනකොට තමයි දැනගත්තේ මේක බොහොම දුර්ලභ ගණයේ ගීතයක් කියලා . එහෙම වෙන්නේ චන්ද්‍රදාස බෝගොඩ , ඒ කියන්නේ බෝගොඩ පවුලේ වැඩිමල් පුරුක විසින් නිර්මාණය කරපු ගීත කීපයෙන් එකක් විදියට මේ ගීත හඳුන්වන්න පුළුවන් නිසා . සංගීතය මනාව හදාරපු සංගීත පවුලක වැඩිමල් පුරුක උනාට එතුමාගේ නම නම් දැන් වැඩිය ඇහෙන්නේ නෑ . අපේ අම්මා නම් කිව්වේ ඉස්සර රේඩියෝ එකේනම් මේ නම ඉඳලා හිටලා ඇහෙනවා කියලා .

දවසක් මම ගියපු ගායනා තරඟයකදී බෝගොඩ කෙනෙක් තබ්ලා වාදනය කරන්න ඇවිත් ඉඳලා වචන කීපයක් කතා කරන්න ලැබුණ . ඒ මෙතුමාද මෙතුමාගේ මල්ලිද කියලා හිතාගන්න අමාරුයි . කෙසේ වෙතත් මේවගේ ප්‍රවීනයන්ගේ ආශ්‍රයෙන් දැන් ඉන්න ආධුනිකයින් ඈත් වීම එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා තමයි මගේ අදහස . සිංදුවා නැවු ටෝකක් දුන්නා දවසක් මට ප්‍රවීණයෝ එක්ක ඉන්නකොට මට මොකක්ද හිතෙන්නේ කියලා අහලා . මම කිව්වා ඉරිසියාව . පැහැදිලි ඉරිසියාව . එහෙම කියලා සිංදුවා අවුස්සලා සිංදුවගේ අදහස් මම අහගත්තා . මේ ඒ අදහස් තමා . මටත් වයලීන් ගහන්න වැඩි හරියක් ගුරුහරුකම් ලැබුණේ ප්‍රසංග වලට ගිහින් ඒවායේදී හම්බෙන ප්‍රවීණයින්ගෙන් ලැබෙන පොඩි පොඩි ට්‍රික්ස් වලින් . වයලීනය ගැන මූලික දැනුම දුන්නට මගේ ගුරුවරු දෙපල මට මේ අවස්ථාවල් ලබාදෙන්න බලෙන්ම වගේ මාව මේ දේවල් වලට එක්ක ගියේ ඒ නිසා වෙන්න ඕන . කතාව ගීතයෙන් පිට පැන්නා වගේ .





දායා ද අල්විස් මහත්මිය . ගීත රචනා වැඩි ප්‍රමාණයක් නොකලත් එතුමිය කරපු ගීත රචනා සියල්ලම වගේ ඉතාම අරුත්බර ජනප්‍රිය ගීත . එතුමිය මේ ගීතය රචනා කරන්නේ එතුමියට දැනගන්න ලැබුණු සිද්දියක් මුල් කරගෙන . නිවෙස්වල අඩදබර මධ්‍යයේ ආදරය කරපු දෙන්නෙක්ගෙන් පෙම්වතිය එයාගේ සහෝදරයින්ට වචනයෙන් කියන්න බැරි දේ ගීතයෙන් කිව්වා කියන අදහසක් තමයි මේ ගීතයෙන් දායාද අල්විස් මහත්මිය උක්ත කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ . හැබැයි මේ සිද්දිය ඇත්ත සිද්දියක් කියලා එතුමිය අවධාරණයෙන් කියා හිටිනවා . එහෙනම් අපි මේ ගීතය ගැන පොඩ්ඩක් කරුණු ගලපලා බලමු .





පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුනු දිනේ

ගීතයේ කියවෙන හැටියට මධ්‍යම පාංතික පවුලක් . ගමක ජීවත් වෙන පවුලක් . එහෙම කියන්නේ ඒ හැගීම ඇතිවෙන්නේ මේ ගීතයේ සංගීතයෙන් සහ ගායිකාවගේ කටහඬ මගින් නිසා . ඉතින් මේ පවුලේ ඉන්නේ අයියයි නංගියි . කාලයත් එක්ක තාත්තා නැති හෝ අබල දුබල වෙච්ච තාත්තා කෙනෙක් ඉන්න පවුලේ වගකීම් හිසමත වැටෙන්නේ අයියගේ ඔලුවට . ඉතින් මේ නිසා හැමදේම ගැන හොයලා බලන්නේ අයියා . නංගි මේ වෙනකොට වැඩිවියට පත්වෙලා කාලයක් ගිහින් . සමාජයේ යම් තරමකට නිදහසක් ලැබුණ කෙනෙක් . මේ නංගි ටිකක් කලින්ම වගේ ප්‍රේම සම්බන්ධයකට යොමුවෙනවා . සමහරවිට ගෙදර ප්‍රශ්න ඉගෙනගන්න පීඩනය අරවා මේවා එක්ක ඒ කාලෙට හැදෙන ආදර ලෙඩත් එක්කම ඔක්කොම කලවම් වෙලා මේ නංගි ප්‍රේමවන්තයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න ඇති .

මේ සම්බන්ධය පටන්ගත්තට පස්සේ ඉඳලා මේ නංගි ගතින් නැතත් හිතෙන ජීවත් වෙන්නේ මේ ප්‍රේමවන්තයා එක්ක . ඒ නිසා නංගිට මේ ප්‍රේමවන්තයා මොනම විදියකින්වත් නැති කරගන්න බෑ . ඉතින් කාලයක් යනකොට නංගි තවත් වයසින් මුහුකුරා යනකොට දෙන්නගේ ප්‍රේමය ශක්තිමත් වෙලා ටිකක් නිදහස අයුතු විදියට ප්‍රයෝජනයට අරගෙන ගෙදරට ලව මාට්ටු කරගන්නවා .

දැන් මාට්ටු උනාට පස්සේ මේ වෙනුවෙන් කතා කරන්නේ ගෙදර ඉන්න අයියා . ඉතින් අයියා නංගිගෙන් ප්‍රශ්න කරලා කොල්ලා ගැන හොයලා බලනකල්වත් කියලා නංගිව ගෙදර හිර කරනවා . නංගිට මේක දැනෙන්නේ උන්මාද චිත්‍රා එක්ටැම්ගෙයක හිරකරා වගේ තමන්වත් එක්ටැම් ගෙයක හිර කරලා තියෙනවා කියන ගානට . ඒවගේම තමන්ගේ ප්‍රේමවන්තයා හම්බෙන්න බැරි නිසා දරාගන්න බැරි දුකකුත් දැනෙනවා . සමහරවිට මේ අයියට කලින් හෝ දැන් පෙම්වතියක් ඉන්න ඇති . නැත්නම් නැතිව ඇති . ඒ කෙසේ වෙතත් මෙතනදී නංගි කියන්නේ අයියා ප්‍රේම කරන්න දන්නේ නෑ , ප්‍රේම කරපු හිතකින් හිතන්නේ නැති නිසා තමයි මට මෙහෙම ලොකු වරදක් කරලා නැති උනත් වද දෙන්නේ කියලා . පස්සේ කියනවා අයිය , මම වැරද්දක් කරා කියලා හිතාගෙන උන්නත් , අයියත් ප්‍රේම කරපු කලෙක ආදරයේ සුවය දැනුන වෙලාවක , මට සමාව දේවි කියලා .





යන එන හමු වන මග අවුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා

ගීතයේ හොඳම කොටස විදියට මම දකින්නේ මෙතන . අයියගේ හිතට වදින්න හිතට දැනෙන්න කියන්නේ මෙතැනදී . නංගි කියනවා දැන් මට ගෙදරින් එලියට බහින්න දුන්නේ නෑ කියලා මගේ හිතට තහංචි දාන්න ඔයාලට පුළුවන්ද කියලා . ආදරවන්තයින්ට ලැබෙන ප්රෝබේෂනරි පීරියඩ් දෙකක් මම දකිනවා . ඒ තමයි කෙල්ලගෙන් කැමැත්ත ලැබෙනකල් තියෙන කාලය . අනික ගෙවල් වලින් කැමැත්ත ලැබෙනකල් තියෙන කාලය . මේ කාලය තුල පෆෝමන්ස් හොඳයි නම් කොල්ලා ගොඩ . නැත්නම් පසුව දනුන්ම් දෙන්නම් කියලා අහගෙන අනික් පැත්ත හැරිලා යන්න වෙනවා .

මෙතනත් වෙන්නේ එහෙම දෙයක් . කෙල්ලත් යහපත් කල්කිරියාවෙන් ඉන්නවා . කොල්ලත් ශේප් මූඩ් . ඉතින් දැන් පෙම්වතිය කියනවා යන එන මග අවුරලා තිබ්බට අපේ හිත්වල තියෙන ප්‍රේමය මකන්න පුළුවන්ද කියලා .

මේ දඬුවම නිසා පෙම්වතිය කෑම නොකා දුකෙන් කාලය ගෙවනවා වෙන්න ඇති . ඒ ඔක්කොම කරන්නේ තමන්ගේ පෙම්වතාව තමන්ගේ කරගන්න තියෙන උවමනාවට . ඒ නිසා පෙම්වතිය අහනවා අයියගෙන් පේන්නේ නැද්ද මේ දාලා තියෙන රැකවල් ඔක්කොම බිඳ දාගෙන ගිහින් මගේ හදවත පෙම්වතාගේ දෙපතුල ගාව සැනසෙනවා කියලා . මෙතනදී පෙම්වතිය උත්සාහ කරන්නේ අයියගේ දරදඬු හදවත තෙත් කරලා තමන්ගේ අදහස මුදුන්පත් කරගන්න කියලා ඕන කෙනෙක්ට තේරෙනවා . ඒත් අරමුණ පිරිසිදුනම් ඉතින් වරද්දකුත් නැහැනේ නේද ?





චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ දුක ඔබට දැනේවී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ

දැන් පෙම්වතිය අයියව ඉමෝෂනල් කරලා පස්සේ කියනවා තමන් වැරද්දක් කරන්නේ නෑ කියලා . ඒ කියන්නේ නොමග යන්නේ නෑ කියලා . චිත්‍රා , ඒ කියන්නේ උන්මාද චිත්‍රා ලෝක ඉතිහාසයේ නොමැකෙන ප්‍රේම ජවනිකාව වෙන රෝමියෝ ජුලියට් වගේ ලංකාවේ ඉතිහාසගත ප්‍රේම වෘතාන්තයේ ප්‍රේමවන්තිය . එතනදී උනේ චිත්‍රා වැරදි පාරෙන් ප්‍රේමය ජයගත්ත එක .

මේ ගීතයේ කතා නායිකාව දැන් කියනවා මමත් එහෙම චිත්‍රාවක් වෙයි කියලා හිතලා තමයි මෙහෙම හිර කරලා තියෙන්නේ . එත් මම අයියගේ අණට හොරෙන් පැනලා යන්නේවත් වරදෙහි ඇලෙන්නේවත් නෑ . ඒ නිසා මට නිදහස ලබා දෙන්න කියලා .

අවසානයේ එයා හිතනවා ආදරයේ දුක ඔබට දැනේවී පෙම්වතියක මුණ ගැහුනා දිනේ කියලා . ඒ කියන්නේ ආදරයේ තියෙන වේදනාව , සහ ආදරය නැති වීමේ වේදනාව අත්දැකීමෙන් ඉගෙනගන්නවා මිස වචනවලින් කියන්න බෑ කියලා . ඇලපාත මුදලිතුමාත් එක තැනක කියලා තියෙනවා ආදරයේ තියෙන එකම සතුට තමයි දුක කියලා . ලූෂන් බුලත්සිංහල මහතා එක තැනක කියනවා සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ කියලා . මාත් දැකලා තියෙන්නේ ප්‍රේමයේ තීව්‍රබව වෙන් වෙන්න වෙන් වෙන්න වැඩි වෙනවා කියලා .

මේ ගීතයේ සංගීතය පැරණි සංස්කරණයට වඩා අපේ හිත වලට දැනෙන්නේ නව සංස්කරණයේ සංගීතය . ඒ නිසා මම නව සංස්කරණයේ සංගීතය ගැන මෙතන කියන්නම් .





ගීතයේ තේමා වාදනය ආරම්භ වෙන්නේ වයලීන් සහ ඕගන් එකකින් කරන වාදනයක් එක්ක . මේ ගීතයේ තියෙන්නේ ප්‍රේමය අහිමිවේය කියන බයක් සහ දුකක් නිසා මේ වයලීන් හා ඕගන් එකෙන් කරන වාදයනයෙන් කරන්නේ බය ගතිය ඇතිකරන එක . ඊට පස්සේ බටනලාවක් වාදනය කරනවා .






දුක ඇති කරන්නේ මේ බටනලාවෙන් . ඊට පස්සේ සිතාරයක් එක්ක ගිටාරයක් වාදනය කරනවා . සිතාරය සහ ගිටාරය සුසංයෝගය හරිම වැදගත් දෙයක් . සිතාරය වාදනයෙන් ඕනෑම බටහිර වාදනයක බටහිර බව නැති කරන්න පුළුවන් . ඒත් මේ ගීතයේ ඒ අසමතුලිත් බව නැතිකරන්න සිතාරය සහ ගිටාරය එකටම වාදනය කරනවා .





ඒ නිසා වෙලා තියෙන්නේ ගීතයට අලුත් පාටක් ලැබිලා තියෙන එක . ඒ අවිනිශ්චිතබව කියන හැගීම වෙන්න ඕන . ගීතයේ තෙමාවාදනයේ තාල වාදයන කරන්නේ හයිහැට් ඔක්ටර්පෑඩ් වලින් . රිදම් ගිටාර් වාදනයක් එක්ක ගීතයේ කෝඩ්ස් වාදනය කිරීම සම්පූර්ණ වෙනවා .







ඔන්න දැන් ගීතයේ ආරම්භයට එනවා . ගීතයේ ආරම්භයේදී තබ්ලාවෙන් තාලය කඩලා තාල වාදනය ආරම්භ කරනවා . ඒ විරාමයේදී ඉන්ද්‍රානි මහත්මියගේ කටහඬ අවදි කරනවා පෙම්කල වරදට කියන පද දෙකෙන් . ස්ථායි කොටසේ කවුන්ටර් පාට් වාදනය කරන්නේ වයලීන් සහ ඕගන් එකෙන් . බිට්ස් පාට වාදනය කරන්නේ ලීඩ් ගිටාර් එකකින් . ගීතයේ තාලය දිගටම වාදනය කරන්නේ මේවෙනකල් තබ්ලාවෙන් . තබ්ලාවට සහය වෙන විදියට තමයි හයිහැට් සහ ඔක්ටර්පෑඩ් එක වාදනය කරන්නේ .







දැන් ගීතයේ අතුරු වාදනය . වාදනය ආරම්භයේම තබ්ලාව නැවතිලා ආයෙත් පෙර වාදනය වගේ තාල වාදනය භාරගන්නේ හයිහැට් ඔක්ටර්පෑඩ් දෙන්නා . අතුරු වාදනයේ ආරම්භය වයලීන් සහ ඕගන් මිශ්‍රණයක් . ඊට පස්සේ වාදනය කරන්නේ ඔබෝ හඬක් ඕගන් එකකින් . ඒ වාදනය මුල් ගීතයේ නම් සාර්ථකයි . නව සංස්කරණයෙනම් මට පේන්නේ ඒ හඬ හරිම අසාර්ථකයි . අන්තිමට සිතාර් ගිටාර් සුසංයෝගයෙන් වාදනයවෙන කොටසෙන් පස්සේ ආයෙත් තබ්ලාව උඩට ඇවිත් අනිත් දෙන්නා සහය වාදනය බවට පත්වෙනවා .

ගීතයේ අන්තරා කොටසේ සංගීත කොටස් වලින් දැන් එයි දැන් එයි කියලා මම බලාගෙන ඉන්න පාට් එකක් තමයි දෙවෙනි පාරට ආදරයක් වැළකිය හැකිදෝ කිව්ව ගමන් තියෙන ලීඩ් ගිටාර් බිට් පාට් එක . වීණාවෙන් ඇතිවෙන්නෙත් අන්න ඒ වගේ හඬක් . වාදකයාගේ දක්ෂතාවය තමයි මෙතනදී වැඩිපුරම ඉස්මතු වෙන්නේ . ගිටාර් එකකින් ඒ ස්වර වර්ණ ඉස්මතු කරගන්න එක වාදකයාගේ දක්ෂතාවය . හින්දුස්ථානි සංගීතයේ තියෙන " ගමක් " ශෛලිය තමයි මේ වාදන කාණ්ඩයේ තියෙන්නේ . මේ පාට් එකම ආයෙත් වාදනය වෙනවා අයියණ්ඩියෙ ඔබේ අණට හොරා කියන පදය දෙවෙනි වතාවට ගායනා කරනකොට .

ගීතයේ අන්තරා කොටස්වල මුල පේලි දෙක දෙපාරක් කියනවා . එයින් පලවෙනි වතාවේ ගයනාව හුදෙකලා ගායනයක් . දෙවෙනි වතාවේ බටනලාවෙන් කවුන්ටර් පාට් එකක් වාදනය වෙනවා ගීතයත් එක්කම . අන්තරා කොටසේ ශෝකාකූල බව සහ ආයාචනාත්මක බව මේ කවුන්ටර් පාට් එකෙන් වැඩි කරලා ඉස්මතු කරලා තියෙනවා .

මේ ගීතයත් එක්කම කියන්න දෙයක් මට මතක් වුණා . ඒ තමයි වයලීන් සහ ඕගන් කියන දෙන්නා එකම වාදනය එකට වාදනය කිරීම . වයලීනය ඕගන් එකට වඩා අවදානම් . ඒ මොකද වයලීනයේ ස්වර ලකුණු කරලා නැති නිසා . ඕගන් එකේ ස්වර නිශ්චිතයි . ඒ නිසා මේ දෙන්නා එකට යුගල කරනකොට හරිම පරිස්සම් වෙන්න ඕන . වයලීන් වාදකයා  , අපි කියන්නේ පර්ෆෙක්ට් කෙනෙක් වෙන්න ඕන කියලා . එහෙම කෙනෙක් නම් විතරයි මේ යුගල කිරීම කරන්න ඕන . නැත්නම් ඕගන් එකේ සද්දේ ඉතාම අඩු කරලා තමයි මේ දෙන්නා එකට වාදනය කරනකොට කරන්නේ . නැත්නම් දෙන්නගේ සද්දේ වෙන වෙනම ඇහෙන්න පුළුවන් . ඒක හරිම අප්සැට් වෙනවා ගීතයට .

ඔච්චර තමා කියන්න තියෙන්නේ . සිංදුවා දැන් මට මඩ ගහන්න බලාගෙන ඉන්නේ . ඊට කලින් මම උන්දැව කාලා වනසලා ඉවරකරන්නයි මේ හදන්නේ . ඊළඟ මඩ පෝස්ට් එකත් ළඟදීම එනවා .






ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

18 comments :

  1. හැංගිලා හිටු. නැත්නම් සිංදුවා බෙල්ල මිරිකයි... :D
    ගීතය අහනවාට වඩා දැයක් දැනුනා පෝස්ට් එක කියවද්දි. මාත් ස්කෝලෙ යන කාලෙ බටහිර සංගීතය කරා. හැබැයි දැන් නම් මුකුත් මතක නෑ. ඒත් ඒ දැනුම නිසා සංගීත භාණ්ඩ ගීතයට හසුරුවන හැටි තේරුම් ගන්න පුළුවන් උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් . මාත් මේ බිත්තර කට්ටක් හොයනවා හැංගෙන්න . හැක හැක හැක හැක ...........
      බොහොම සන්තෝසයි අඳුරගන්න ලැබීම .
      නොහොම ස්තූති g-) g-) g-)

      Delete
  2. සිංදු අයියේ..මෙන්නෝ...........
    ලස්සනට තියෙනවා..(Y)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් . සිංදු අය්යේ////////////////
      මෙන්නෝ.................... එන්නෝ.......................... :p :p
      බොහොම ස්තූති මචන් g-) g-)

      Delete
  3. එළ නෙ හැමදාම වගේ මඩ ටික නං තියෙි ලොවෙත් නැති වෙන්න හිහි
    සිංදුවට දුවන්ට හිතිලද දන්නෑ...
    ඒක නෙවී මනුස්සය දැං ලියන්නෙ කරන්නෙ නැද්ද...
    දංනවද වයෝ කතාවක් තියෙනව...

    නංගිල අය්යලාගෙ ආදරේට උදව් කරනව ඒ නංගිල ආදරේ ගැන දන්න හිංද
    අය්යල නංගිලාට බාල්දි දානව අය්යල කොල්ලො ගැන දන්න හිංද

    හිහි ලොවෙත් නෑ නේ ජයවේවා

    ReplyDelete
    Replies
    1. සිංදුවා දැන් වැඩ වැඩ වැඩ . නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් :)
      හැක හැක හැක හකා.............
      වෙන්න ඇති . මටනම් අත්දැකීම් ඇත්තෙත් නෑ . ලැබෙන්නෙත් නෑ . ඒ නිසා ගින්නක් නෑ . :p
      බොහොම ස්තූති :) g-)

      Delete
  4. ඩිසුම්..ඩිසුම්...කතාවනම් පට්ට රහයි ඈ.අදනේ මේ පැත්තට ගොඩවැදුනේ.අනිවා ආයෙත් එනවා.
    පොඩී අවුලකට තිබුනෙ අර අන්තිමට කියපු දේවල් නොතේරුන එක.මට සංගීත දැනුමක් නැති හින්ද වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අහා..... සාදරයෙන් පිලිගන්නවා . :-h :-h
      ඒ උනාට සිංදුව අහනකොට ඒ දේවල් හිතට දැනෙනවනේ . ඒ ඇති :)
      බොහොම ස්තූති g-) g-)

      Delete
  5. අන්න සින්දුවා කැඩිච්ච ගිටාර් ඒකක් හරි සිතාර් ඒකක් හරි හොයනවා උඹට දෙකක් දෙන්න ඒන්න.... පරිස්සමෙන් හිටු..............

    මචං සුන්දර ම සුන්දර පෝස්ටුවක්..... කියවන්න කියවන්න අාසයි...... සුපිරියි

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හාහ්
      ගිටාර් එකක් සහ සිතාර් එකක් අපේ ගෙදර තියෙනවා . එන්න කියන්න .
      ගේමනම් ගේම ශේප් නම් ශේප් ඒ මගේ හැටි :p :p
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  6. අපේ අම්මගෙ කැමතිම ගිතය

    ReplyDelete
    Replies
    1. එලද බරා :-h :-h :-h
      බොහොම ස්තූති g-) g-)

      Delete
  7. හරිම අපූරුයි මිත්‍රයා. ඔන්න ඔයාගෙ පරණ ලිපියක් මං මගේ ෆේස්බුක් එකෙත් ෂෙයා කලා. කමක් නෑනෙ. කමක් තිබ්බත් කරන්න දෙයක් නෑ. දැං ෂෙයා කරල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. කමක් තියෙනවා :-vi
      බොහොම ස්තූති g-) g-)

      Delete
  8. ඇත්තමයි මේ පාරනම් උඹ සිංදුවගෙන් කෙසේ වෙතත්, සිංදුවතීගෙන්වත් මැරුම් කනවා. හැබැයි වෙනදා වගේම සුපිරි ගීත විචාරේ ඈ!

    ReplyDelete
    Replies
    1. වතීගෙන් මැරුම් කන්නේ මේකට වගේම සින්දුවගෙන් මැරුම් කනවා ඊළඟ පෝස්ට් එකෙන් . එතකොට දෙපාරක්ම මැරෙන්න පුළුවන් :p :p
      බොහොම ස්තූති මෙයා :-f
      g-)

      Delete
  9. 1970 දශකයේදී අතිශයින් ජනප්‍රිය වූ මේ ගීතය වගේම, ඉන්ද්‍රානි බෝගොඩ මහත්මියගේ, 'සීත දියවැල් සලා' වැනි ගීතත්, අර්ථ රසය මෙන්ම හඬ රසයෙනුත් අනූනයි. මෙවැනි ගීත නොනැසී පවතින්නේ, මුදල් සෙවීමේ පරමාර්ථයෙන් තොර, උසස් සාහිත්‍ය සහ භාෂා ඥානයෙන් යුත්,ශාස්ත්‍රීය සංගීතය උගත්, නිර්මාණ ශිල්පීන් අතින් මේවා බිහිවීම නිසයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම :-h
      බොහොම ස්තූති :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.