Monday, June 29, 2015

මින්දදයෝ , ඇවිදින් අහපන් රුක් අත්තන මලකින්










ලියන්න කියලා පටන් ගත්ත මාතෘකා කීපයක්ම ඩ්රාෆ්ට් එකේ පල් වෙවී තියෙත්දී ඒවා පැත්තක තියලා මේ ලිපිය කොටන්න ගත්තේ බ්ලොග් වාසී ජනී ජනයාට වයලීනෝ පිළිබඳව අලුත්ම අලුත් ආරංචියක් කියන්නයි , සිංදුවා විසින් වයලීනොට කරන අඩන්තේට්ටම් ගැන කියන්නයි , තව ඒ එක්කම සිංදුවක් ගැනත් කියන්නයි තමයි තමයි . එහෙනම් අම්මේ තාත්තේ බාප්පේ පුංචිඅම්මේ ලොකුඅම්මේ ලොකුතාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ පුංචිදුවේ පුංචිපුතේ ඉපදුනු සිරිලක් දිවේ ,

කියන්න තියෙන අලුත්ම ආරංචිය තමයි දැන් වයලීනොට වයලීනියක් ඉන්නවා කියන සුභ ආරංචිය . සංවේගයට පත් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනී , සාධු කියන්න එහෙනම් , ඒ  (අ)වාසනාවන්ත ආරංචියෙන් උද්දාමයට පත්වෙන්නත් එක්කම . ඉතින් ඒ අරන්චියත් එක්ක කියන්න තියෙන අනිත් දේ තමයි වයලීනි නිසා දැන් වයලීනොට අලුතෙන් ලියන්න ලිපි , ගීත විශාල සංඛ්‍යාවක් සහ කතන්දර විශාල සංඛ්‍යාවක් එකතුවෙලා තියෙනවා කියන එක . ඒවා එක එක පිළිවෙලට ලියල දාන්නම්කො හැමෝටම දැක බලාගෙන ආයෙත් සංවේගයට පත්වෙලා ප්‍රවේගයට පත්වෙන්න .

ඉතින් එව්වා මෙව්වා ඔක්කොම එක්ක සුපුරුදු පරිදි ගියා සිංදුවගේ ගෙවල් පැත්තේ . දැන් සිංදුවගේ පවුලේ උදවිය ඉන්නේ රත්නපුරේ නෙවෙයි නිසා පික්නික් යනවා වගේ තමයි එහෙ අය බලලා එන්න යන්නේ . ඉතින් ඔන්න සිංදුවත් එක්කම ගිහින් සිංදුවත් එක්කම ගෙදර ආවා . සිංදුවයි මමයි බස්එකේ එනගමන් වයලීනී ගැන කතාවක් ඇදිලා ආවා . මෙන්න මෙහෙමයි ඒක උනේ .








වයලීනෝ :- ඔක්කොමත් හරි දැන්ම ගෙදරට මාට්ටු උනොත් ඉවරයි බං . ගමේ උන් එකෙක්වත් ෂුවර් කරන්න බෑ . දැක්කොත් ඉවරයි . කෙලින්ම අම්මගේ කනේ තියයි ඕක . අන්න අක්කේ පුතා කෙල්ලෙක් ඉන්නවා දැක්කා කියලා .

සිංදුවා :- මොනවා වෙන්නද , ඕක ඔහොමම ශේප් වෙලා යයි බං

වයලීනෝ :- මගුල තමා . ඔන්න බලපන් අම්මා ඉස්සෙල්ලම උඹට තමා කෝල් එක දීලා අහන්නේ මේ ගැන මොනවද දන්නේ කියලා . තෝ දන්නේ නෑ කිව්වත් ඉතින් අම්මා ෂුවර් කරන්නෙත් නෑ

සිංදුවා ඔන්න විනාඩි පහක් විතර සද්ද නෑ . ජනේලෙන් පාර දිහා බලාගෙන ආවා . මම ඔන්න ආයෙත් වෙන කතාවක් පටන් ගත්තා . එතනින් තමයි පින්වතුනී කෙළවෙන්න පටන් ගත්තේ .

වයලීනෝ :- අද වතී එනවනම් මට අර පොත ගන්න පුළුවන් , මොකද එනවළුද ?

සිංදුවා :- පොත නෙවෙයි බං මම මේ කල්පනා කලේ උඹලගේ අම්මා මගෙන් අහන හැටි . කෝල් කරයිද නැත්නම් මම ගෙදර ආව වෙලාවක හෙමීට අහයිද දන්නේ නෑ . මොකද්ද බං කැම්පස් එක කිව්වේ ?

වයලීනෝ :- දන්නේ නෑ !

සිංදුවා :- මොකක්ද බං කෝස් එක කිව්වේ බයෝද ?

වයලීනෝ :-  දන්නේ නෑ ! . ඔව් ඔව් බයෝ තමා

සිංදුවා :- දැන් උඹලගේ අම්මා අහනවා මෙහෙම ,

අම්මා :-  පුතේ ඇත්තද මේ අපේ එක්කෙනාට මෙහෙම ගෑණු ළමයෙක් ඉන්නවා කියන්නේ ?

සිංදුවා :- ඒකනේ ඇන්ටි මමත් දන්නේ මේ දවස් දෙකතුනකට කලින් ඉඳලා

අම්මා :- ඒක තමයි අපි හිතුවා ඔයාවත් දන්නවා ඇති කියලා , ඕකට කොච්චර කල් වෙනවද ?

සිංදුවා :- අවුරුදු දහයක් විතර වෙනවලු ඇන්ටි .

අම්මා :- කොහොමද එතකොට දෙන්නා යාලු වෙලා තියෙන්නේ ?

සිංදුවා :- අර කැම්පස් යන්න කලින් තියෙන ට්‍රේනින්ග් එකේදී තමයි ඇන්ටි අඳුරගෙන තියෙන්නේ

වයලීනෝ :- අනේ නිකන් තෝ අහුවෙන බොරු කියන්නෙපා යකෝ , ලීඩර්ශිප් ගිහි අවුරුදු තුනක් විතර වෙන්නේ

සිංදුවා :- ආ අවුරුදු තුනක් විතර තමයි වෙන්නේ ඇන්ටි . මේ කියනකල් මමවත් දැනගෙන හිටියේ නෑ

අම්මා :- ඒක තමයි පුතේ බලන්නකෝ මෙයා සද්ද නැතුව ඉන්න හැටි , දැන් පුතේ ඔය ගෑණුලමයා කොහේ කෙනෙක්ද ?

සිංදුවා :- උඩරට මැණිකේ කෙනෙක් ඇන්ටි . දැන් ඇන්ටිට පට කුඩ දෙක දෙක හොයලා තියාගන්නවෙයි ඇන්ටි .

අම්මා :- ඒ ළමයාගේ අම්මා තාත්තා එහෙම මොනවද කරන්නේ ?

සිංදුවා :- අම්මානම් ඇන්ටි හවුස් වයිෆ් තාත්තා නම් බ්ලාහ් බ්ලාහ් බ්ලා.........................හ් කියල තමයි කිව්වේ

අම්මා :- දැන් අපේ එක්කෙනා ඒ ළමය හම්බෙන්න එහෙම යනවා එනවද ?

සිංදුවා :- ඔව් ඇන්ටි . මේ එක්සෑම් තියෙත්දී මු එහෙ යනවා එනවා . අපේ එකා වගේම තමයි ඇන්ටි මූත් . කෙල්ල පස්සෙමයි ඇන්ටි

සිංදුවා :- එහෙම නෙවෙයි , තව මේක අවුල් කරලා කියන්න ඕන උඹට කෙලවිලාම යන්න

සිංදුවා :- මු ඇන්ටි එක්සෑම් තියෙත්දී ඒ ගෑණු ළමයා හම්බෙන්න යනවා . දෙන්නා රෝන්දේ ගහන්න යනවා කියලා ආරංචියි ඇන්ටි

වයලීනෝ :- අනේ තෝ නිකන් බොරු කියන්නේ නැතුව හිටහන් . මම යකෝ ලෙක්චර් එකක්වත් කට් කරලා නෑ

සිංදුවා :- මු ඇන්ටි ලෙක්චර්ස් කට් කරලා තමයි ඕවා කරනවා කියන්නේ ඇන්ටි . බලන්න ඇන්ටි එක්සෑම් තියාගෙන මු කරන ඒවා

වයලීනෝ :- හා තොට අතල් ඇති . ඕවා මොනවා කිව්වත් මම ගෙදර පොර තමා යකෝ

සිංදුවා :- හා එහෙමද ? ඔන්න බලපන් මම උඹව හොම්බෙන් යන්වන්නේ හොම්බෙන්

වයලීනෝ :- යවයි යවයි බලාගෙන හිටපන්

සිංදුවා :- යවනවා තමයි යකෝ . අම්මා අහනකල් ඉන්න හොඳ නෑ . මමම කෝල් එකක් අරගෙන හරි උඹලගේ ගෙදර ඇවිල්ලා හරි කියන්න ඕන . හිටපන් මම උඹව හොම්බෙන් යවනවාම තමයි

වයලීනෝ :- නෑ නෑ තෝ කෝල් කරන්න ඕනත් නෑ මොකවත් ඕන නෑ . මමම මේක ගෙදරට කියලා මමම ශේප් කරගන්නම් උඹ හිටපන් පැහෙන්නේ නැතුව

සිංදුවා :- නෑ නෑ උඹ මොකක් කිව්වත් මම කියනවම තමයි

වයලීනෝ :- මේක මාට්ටු වෙච්ච ගමන් ගෙදර ෆෝන් වලින් තොගේ නම්බර් එක බ්ලොක් කරනවා

සිංදුවා :- මම ගෙදර ඇවිත්ම කියනවා යකෝ

වයලීනෝ :- හා තව !

සිංදුවා :- මෙයා ඇන්ටි ඉස්සර ඉඳලම ප්ලෑන් කරේ ඕක තමයි ඇන්ටි . පොඩ්ඩක් හොයලා බලන්න ඇන්ටි මේගැන .

වයලීනෝ :- *@(&%$%%@#&)@#()$&*@#$&*@% 7&*(#@$%&*%&@#%$&(#@$








ඔන්න ඔහොමයි අපේම උන් අපිට කෙලවන්න බලාගෙන ඉන්නේ . ලබන සතියේ සිංදුව ගෙදර එන්න කලින් ගිහින් සිංදුවගේ අම්මට කියන්න ඕන වතී එක්ක මු රවුම් ගහපුවා . හිටපන්කෝ . මම තෝවත් හොම්බෙන් යවනවා ඩො .

ඉතින් ඔන්න ඔහොමයිලු දැන් වයලීනෝගේ තත්ත්වේ . ලවු කරා වගේ නෙවෙයි මෙව්වා ගෙවල් වලට මාට්ටු වෙලා රෙදි ගැලවුනාම පිංවතුනි . සියලු සංස්කාරයෝ දුකයි පිංවතුනි දුකයි . ඒත් අපි දුකේම ගිලෙමු පිංවතුනි ගිලෙමු . මේ සීන් එක කියනකොට තමයි මෙට මේ ගීතය ලියන්න මතක් උනේ . අද ඉතින් ගෙදර ආවේ ඒ ගීතයත් මතක තියාගෙන . ඒ ගීතයට කලින් මෙන්න මේ පුංචි කතාවත් කියවන්න .

වයලීනොගේ කැම්පස් යාලුවෙක් ඉන්නවා . මිනිහාත් ලීඩර්ශිප් එකේදී තමයි කොක්කක් ගැහුවේ . දැන් වැඩේ නැගලා යනවා . ඒ නංගි ජපුරට කිට්ටු , ඒත් කිට්ටුම නැති කැම්පස් එකක . දෙන්නා ඉතින් සෙනසුරාදා ඉරිදා තමයි වැඩි හරියක් හම්බෙන්නේ . නැත්නම් වැකේෂන් දවස් වලත් හම්බෙනවා . අපරාදේ කියන්න බෑ අපිටත් ඉතින් ඒ නංගි කෑම එහෙම එවනවා මගෙ යාලුවා අතේ . මේ නංගිට ගෙදරින් මනමාලයෝ ජෝඩු කර කර තිබුණේ . සමහර දවස් වලට කොල්ලො ගෙදරටත් හොයාගෙන එනවලු අම්මලා තාත්තලා එක්ක  ඒ නංගි ගැන කතා කරන්න . ඒත් ඒවා කෙරුනේ නෑ . හැබැයි අම්මා කියලා තිබුණේ ගෙදරින් හොයලා දෙන එකක් කරගන්න ඕන කියලා .








මේ නංගි කොහොමහරි ඕක ගෙදරට මාට්ටු කරගත්තා . ඉස්සෙල්ලම කරගත්තේ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ එකක් මාට්ටු කරගත්ත එක . ගෑණු මොලේ හැඳි මිටේ දිග උනාට මේ වගේ දේවල් වලට ගෑණුන්ට තියෙන්නේ කල්ලඩි පාලමටත් වඩා දිග මොලයක් . පස්සේ මේ නංගි අම්මගේ තාත්තගේ නහය විදලා ගානට මේ කතාව කියලා අම්මලා කැමති කරගත්තා . ඉස්සෙල්ලම කරගත්තේ අම්මගේ කටින් ඔයාට කැමති හොඳ කෙනෙක් හොයාගන්න කියලා කියවා ගන්න එක . පස්සේ තමයි කෙනා කවුද කියලා කිව්වේ .

කොල්ල නම් කියන්නේ අපරාදේ කිව්වේ කියලා . ඒත් කෙල්ල නම් කිව්ව එකට ඉන්නේ මාර හැපියේ . දැන් මේ නංගිට ඕන කොල්ලගේ අයියට මේ ගැන කියලා කොල්ලගේ ගෙදරත් ශේප් කරගන්න . නංගි ඉස්සෙල්ලම කරේ කොල්ලගේ අයියා fb ෆ්‍රෙන්ඩ් කරගත්ත එකැ . පස්සේ ටිකක් මැසේජ් කරලා ෆිට් කරගෙන මල්ලි යාළුවෙලා ඉන්නේ එයා එක්ක කියලා කිව්ව්වා . අයියා කියලා තියෙන්නේ මේ ගැන මම මල්ලිගෙන් අහන්නම්කො කියලා . ඒත් තාම ඇහුවෙනම් නෑ . අපිත් බලාගෙන ඉන්නේ අයියා උගෙන් අහලා කෙලවිලා යනකල් .

පොදුවේ බැලුවම කෙල්ලෝ කැමතියි ඉක්මනට ගෙදරට කියලා සේෆ් මූඩ් එකේ ලවු කරන්න . කොල්ලෝ කැමති හොරෙන් හොරෙන් ලවු කරලා පස්සේ වැඩේ කෙරෙනවනම් විතරක් ගෙදරට කියන්න . මොකද මේක කෙරෙන්නේ නැත්නම් ගෙවල් වලට කියලා චාටර් වෙන්න ඕනෑ ය මම අහන්නේ  . ගෙවල් වලට කියනවා කියන්නේ ඉතින් කසාදෙ නිල නොලත් ආකාරයට රෙජිස්ටර් කරා වගේනේ . ඔන්න ඔය ඔක්කොම සිහි කරගෙන ඉන්නකොට තමයි මට මේ ගීතය මතක් උනේ . අහලා බලන්නකෝ . කොහොමද කියලා .


මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ

බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා



ගායනය-නිරෝෂා විරාජිනී





ගී පද - කුමාර ලියනගේ




තනුව - ආනන්ද පෙරේරා










මේ ගීතය අහනකොට මැවිලා පේන්නෙම තමන්ගේ ප්‍රේමවන්තයා ගැන ගෙදරට කියලා ඒකට කැමැත්ත ලැබුණ ගෑණු ළමයෙක් සතුටෙන් උඩ පැන පැන පරිසරයේ තියෙන දේවල් එක්ක තමන්ගේ සතුට බෙදාගන්නා අවස්ථාවක් . ටිකක් ගැමි පරිසරයක් . මේ ගෑණුලමයත් ඒ ගැමි තාලෙටම හැදුන ළමයෙක් . ඒකයි මේවගේ දෙයක් සමරන්න මේ විදියට පරිසරයත් එක්ක සතුට බෙදාගන්න පුළුවන් තරමේ හදවතක් හැදිලා තියෙන්නේ . ටවුන් වල , නැත්නම් නාගරික හෝ අර්ධ නාගරික පරිසරයක හැදුන කෙනෙක්ට මේවගේ සිතුවිල්ලක් එයි කියලා විශ්වාස කරන්න අමාරුයි . අපි බලමුකෝ එහෙනම් මේ ගීතයේ කියවෙන්නේ මොකක්ද කියලා .

මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ

අපි හිතමුකෝ මෙහෙම . ඔන්න ගැමි පරිසරයක හැදුන ගෑණුලමයෙක් ඉගෙනගන්න වෙනත් ප්‍රදේශයකට යනවා . විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කෙනෙක් කියලාම කියමුකෝ . විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර උනාට පස්සේ මෙයාට රැකියාවත් ලැබෙන්නේත් ගමට කිට්ටු පැත්තක නෙවෙයි . ඉතින් වෙනත් ප්‍රදේශයක නැවතිලා තමයි මේ ගෑණුළමයා රැකියාව කරන්නේ . මෙයා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඇතිවුණ ප්‍රේම සම්බන්ධතාවය කාලයත් එක්ක ස්ථීර තත්ත්වයට පත්වෙලා දැන් විවාහ වෙන්න ඕන . ඒත් ගෙවල් වලින් තාම මේ ගැන දන්නේ නෑ . ඉතින් ඉගෙනගෙන ඉවර රස්සාවකුත් කරන තමන්ගේ දියණියට අම්මා තාත්තා එකතුවෙලා මනමාලයෝ හොයනවා . නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න නොතියන එක ඇඟට ගුණයි කියලා තේරුම් ගන්න මේ ගෑණුළමයා තමන්ගේ ප්‍රේම කතාව පියවරෙන් පියවර ගළපලා ගෙදරට කියනවා .






ගෑණුළමයා හිතන්නේ අම්මලා තාත්තලා මේකට කැමති වෙන එකක් නෑ කියලා . ඒත් කසාද හොයලා මහන්සි වෙනවට වඩා තමන්ගේ දුව හොයාගත්ත දේ කොහොමද කියලා බලන්න අම්මලා තාත්තලා කැමති වෙනවා . ඒ නිසා මේ දුවට කියනවා එහෙනම් ඔයා හොයාගත්ත කුමාරයට ගෙදර ඇවිත් කතා කරන්න කියන්න කියලා . මේ වෙලාවේ තමයි මේ දුවට මල පිපෙන්නේ . නොහිතපු වෙලාවක මේ වගේ අම්මලා තාත්තලා කැමති වෙලා මේ වගේ උත්තරයක් දුන්නම මේ ගෑණුළමයාට කියන්න බැරි තරම් සතුටක් ඇතිවෙනවා . ඒ ඇතිවෙන සතුටත් එක්ක මේ ගෑණු ළමයා ගමේ පොඩ්ඩක් ඇවිදිනවා සතුට භුක්ති විඳින්නත් එක්ක . ඒ ඇවිදින ගමන් මෙයා තනියම එක තැන කැරකෙමින් එහෙට මෙහෙට පැද්දෙමින් නටමින් පොඩි රංගනයකුත් දෙනවා . ඒ වගේම වටේ පිටේ තියෙන ගහකොළ මල් වැල් සත්තුන්ට තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා .

" මගේ මින්දදයෝ , මම ඔබ ගැන අපේ ගෙදරට කිව්වා . බොරුනම් ඇවිත් අහන්න මේ රුක් අත්තන මලෙන් මම කියන්නේ බොරුද කියලා . ඒ නිසා දැන් ඔබ අපේ ගෙදර ඇවිත් අම්මගෙනුයි තාත්තාගෙනුයි මාව රැගෙන යන්න කැමැත්ත ලබාගන්න . ඒ වෙනුවෙන් මල් දුන්නෙන් සැරසිලා අද හෙටම අපේ ගමට වඩිනවද මගේ මින්දදයෝ "

මෙතන ගෑණු ළමයට තමන්ගේ පෙම්වතාව පේන්නේ අනංගයා වගේ . අනංගයා සැරසෙන්නේ මල් වලින් . ඒ නිසාම අනංගයා මල් වලට කැමතියි . මල් විසින් පවසන දේ අනංගයා විශ්වාස කරයි . ඒ නිසා මම කියන්නේ බොරුද කියලා මේ රුක් අත්තන මලෙන් අහන්න කියලා ගෑණු ළමයා තමන්ගේ පෙම්වතාට කියනවා .







බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

මේ ගෑණු ළමයට තමන්ගේ හිතේ තියෙන සතුට නිසා පරිසරයේ තියෙන හැම දෙයක්ම පෙන්නේ තමන් වෙනුවෙන් , තමන්ගේ ප්‍රේමවන්තයා වෙනුවෙන් ආශිර්වාද කරනවා වගේ . ගමේ තියෙන බක්මී මල් පිපිලා . ඒ සුවඳ අරගෙනම තමන්ගේ ප්‍රේමවන්තයා ළඟදීම ගෙදරට එයි . ඒ කියන්නේ සඳ ගෙට පායයි . ගමේ තියෙන වැවේ නෙලුම් මල් පිපිලා පිරිලා තියෙන්නේ . ඒ වගේම දොලේ තියෙන වතුර පෙන පිඩු නංවමින් ගලාගෙන යන්නේ හරියට තමන්ට තමන්ගේ පෙම්වතාට ආශිර්වාද කරන්න හිනා වෙනවා වගේ . මේ අතරේ පෙම්වතා ගමට ආවම මේ ගෑණු ළමයා වෙනුවෙන් පේවෙලා හිටපු ගමේ පෙම්වතුන් මේ ගෑණු ළමයා ගැන කතාවෙයි කියලා මෙයා තනියමම හිතනවා . නරකම නෑ මේ ගෑණු ළමයාට පිපිලා තියෙන මල .





නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

මේ ගෑණු ළමයාගේ ගෙදර පිහිටලා තියෙන ඉඩමේ මායිමට නා ගස් හිටවලා තියෙනවා . ඉතින් මේ නාගස්වල තියෙන තද රතුපාට නා දළු මද සුළඟ වැදිලා හෙමින් හෙමින් සෙලවෙනවා . හිතේ තියෙන සතුටට මේ ගෑණුළමයාට හිතෙන්නේ තමන්ට wish කරන්න මේ නාදළු සෙමෙන් සෙලවෙනවා කියලා . ඒ වගේම ගමේ තියෙන කුඹුරේ බන්ඩි ගොයමට ඉර එළිය වැටිලා . ඉතින් මේ ඉර එලියට ගොයමේ තියෙන පිනි කැට මුතුකැට වගේ දිලිසෙනවා . වෙනදා තමන්ට නොපෙනුන ලස්සනක් අද මේ ගෑණු ළමයට මේ දේවල් වලින් දකින්නට ලැබෙනවා . ආයෙත් එයා හිතන්නේ ගමේ ඉන්න තමාගේ පෙම්වතා වෙන්න පෙරුම් පුරන අය තමාගේ පෙම්වතා ගමට ආවම ඒ ගැන කතා වෙයි කියලා වෙන්න ඕන .

මීට වඩා වෙනස් තේරුම් තියෙන්නත් පුළුවන් . සමහර වෙලාවට මේ ගීතය ගැන මෙහෙමත් හිතන්න පුළුවන් . ඒ විවාහ වෙන කාලය පහු කරපු ගෑණු ළමයෙක් , නැත්නම් විවාහ වෙන්න ඕනකම තිබ්බත් මනමාලයෙක් නැති ගෑණු ළමයෙක් තමන්ට පෙම්වතෙක් ලැබුණ අලුත ඒ සතුට සමරනවා වෙන්නත් පුළුවන් කියලා . එහෙමත් නැත්නම් අම්මලා තාත්තලා විවාහ යෝජනාවකින් තමන්ට විවාහ වෙන්න කෙනෙක් හොයලා දුන්නට පස්සේ ගෑණු ළමයා සතුටට කියන දෙයක් වෙන්නත් පුළුවන් . ඒත් සමහර යෙදුම් එක්ක මටනම් හිතෙන්නේ අර විදියටම තමයි ඔන්න .

ගීතයේ සංගීතය ගැනනම් කියන්න දේවල් කීපයක්ම තියෙනවා . මොකද මේ ගීතය මම අහන්න පටන් ගත්තේ සංගීතය නිසාමයි . මේ ගීතයේ සංගීතය ඇහෙනකොට ඒ සංගීත කණ්ඩ වලින් අපේ හිතේ ඇතිවෙන්නේ ටිකක් සැහැල්ලු හාස්‍ය ජනක හැගීමක් . ඒත් මේ ගීතයේ ජන ගායන ශෛලීන් පවා අන්තර්ගත්වෙලා තියෙනවා . අපි එහෙනම් යමු ගීතයේ පෙර වාදනයට .





ගීතයේ පෙර වාදනය පටන් ගන්නේ මැන්ඩලීන් එකකින් . මැන්ඩලීන් එකෙන් වාදනය වෙන වාදන කොටස වාදනය කරන්නේ තාල වාදන භාණ්ඩ වාදනය කරන්නේ නැතුව . ඒ අතරේ ඕගන් එකකින් කැවුම් කැවුම් කැවුම් කියලා වාදනය වෙනවා ඇහෙනවා . ඊට පස්සේ තාල වාදනය ආරම්භ වෙනවා .












තාල වාදනයට දායක වෙන්නේ බොංගෝ ඩ්‍රම් එකක්  එකොස්ටික් ඩ්‍රම් සෙට් එකක් එක්ක ඔක්ටර් පෑඩ් එකක් . ආයෙත් මැන්ඩලීන් එකෙන් වාදනය කරන්නේ කලින් වාදනය කරපු වාදන කණ්ඩයම තමයි . ඒ එක්ක ඕගන් එකකින් වාදනය කරනවා ගැමි නාද මාලාවක් තියෙන වාදන කොටසක් . වෙලාවකට මට ඒකෙන් ඇහෙනවා දළදා තේවාවේ වාදන කොටස් . තවත් වෙලාවකට ඇහෙන්නේ ජන කවි වලින් ඇතිවෙන සංගීතයක් . ඒ සංගීත කොටස් එකතු කරගන්න ඇත්තේ මේ ගීතය නව ආරකට නිර්මාණය උනත් මේ ගීතයේ තියෙන්නේ ගැමි පසුබිමක් නිසා . ඒ කොහොම උනත් මේ ගීතයට ගොඩක් වාදන කොටස් එකතු කරලා තියෙන්නේ ඕගන් එකකින් . සමහරවිට ඒ වාදනය කිරීම් අදාළ සංගීත භාණ්ඩ වලින්ම වාදනය කරානම් ගීතයේ මේ තියෙන රසය ඉස්මතු නොවෙන්න පුළුවන් .

වාදනය අවසන් වෙලා ඔන්න දැන් ගීතය ආරම්භ වෙනවා . ගායිකාව විසින් මින්දදයෝ ඇවිදින් අහපන් , කියන කොටස ගායනා කරන්නේ අනිත් වාදන භාණ්ඩ වාදනය කරන්නේ නැතිව . හැබැයි ගීතෙයේ ලය ආරක්ෂා වෙන විදියට තමයි ගායනා කරන්නේ . මේ ගීතයේ මම වඩාත්ම කැමතිම තැනක් තමයි අන්න ඒ ස්ථානය . පහටරට බෙරයකින් තමයි මේ වෙලාවේ තාලය වාදනය කරන්නේ . පහතරට බෙරය ඊට පස්සේ ගීතය පුරාවටම තාල වාදනයට දායක කරගන්නවා .





මල්සරා වඩින තාලය මෙන්න මේවගේ කියලා කියන්න වෙන්නැති මේ විදියට පහතරට බෙරයකින් මේ ගීතයේ තාල වාදනයට දායකත්වයක් ලබාගෙන තියෙන්නේ . ගීතයේ අතර වාදන කොටස් , ඒ කියන්නේ බිට්ස් පාට් සහ කවුන්ටර් පාට් ඔක්කොම වාදනය කරන්නේ ඕගන් එකකින්ම තමයි .

ඊට පස්සේ අතුරු වාදනය වාදනය කරනවා . ඒකත් වෙනසක් නෑ . පෙරවාදනයම තමයි වාදනය කරන්නේ . හැබැයි අන්තරා කොටසට එන්නේ වෙනම ස්වර සංගතියක් නිසා පෙර වාදනයේ අවසන් කොටස පොඩ්ඩක් වෙනස් කරලා තමයි අතුරු වාදනය විදියට වාදනය කරන්නේ .

ගීතයේ අන්තරා කොටස් වලටත් මම වැඩිපුරම කැමතියි . ඒ පළවෙනි අන්ත්රා කොටසේ තියෙන

" සඳ ගෙට පායනවා " කියන පද පේලියට සහ

දෙවෙනි අන්තරා කොටසේ තියෙන

" වැට ළඟ කැරකෙනවා කියන " පද පේලියට .

මේ පද පේලි දෙකම එක වගේ තමයි ගායන කරන්නේ . ඒත් පායනවා සහ කැරකෙනවා කියන වචන දෙක ගායිකාව විසින් හරිම ආකර්ශනීය විදියට ගායනා කරනවා .

මේ ගායනාව අහගෙන ඉන්නකොට මට තවත් මතක් වෙන දෙයක් තමයි පහතරට සිංදු වන්නම් . උඩරට දහ අට වන්නම් වගේ තමයි පහතරට සිංදුවන්නම් හැදිලා තියෙන්නේ . මේ සිංදුවන්නම් වල තියෙන ගායනා ශෛලීන් පවා මේ ගීතයේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා මට හිතෙනවා . එහෙනම් ගීතය අහලා බලන්නකෝ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

දැන් නම් කියන්න වෙලා තියෙන්නේ මේ සිංදුවා කරන්න ප්ලෑන් කරන ඒවා නිසා ඔබ සැමට නෙවෙයි

මට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා ! කියලා .

12 comments :

  1. වයලීනෝ ට සුභ පැතුම්..
    සින්දුව (සින්දුවා නොවෙයි..) ගැන කියනවනම්, මම ආසම කුමාර ගේ වචන සෙට් එකට.. ඒ වගෙම ආනන්දගේ තනුවටත් ඒ වගේම නිරෝ ගේ ඉටිකිරිස් වොයිස් එකටත් ආසයි.. එතකොට ගත්තම මුළු සින්දුවටම ආසම ආසයි.. ජය වේවා!
    වයලීනි ට පුරුදු කරමු බ්ලොග් කියවන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති එසේම වේවා g-) g-) g-)
      වයලීනිට බ්ලොග් කියවන්න පුරුදු කරා කියන්නේ ඉතින් =D> =D> =D> =D> . බලමුකෝ මොකක් වෙයිද කියලා :-? :-? :-?

      Delete
  2. මැක්සා සටහන... :-) ගැලපෙනම සින්දුව

    ඔය කැම්පස් එකට යන්න කලින් තියන ප්‍රෝග්‍රෑම් තියනව නේද? - අන්න ප්‍රෝග්‍රෑම්!! :-)
    ජයවේවා - දුක් දුරුවේවා...! කැම්පස් එකෙන් එළියට එනකල්ම අල්ලාගෙන සිටීවා!!

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති g-) g-) g-)
      අන්න ප්‍රෝග්‍රෑම් කිව්වට ඒක දැන් නවත්තලා නෙව . හැබැයි ඒකෙන් කැම්පස්වල ඉන්න ඔටුවන්ට නම් සෙතක් වෙනවා . දැන් කෙල්ලෝ ලීඩර්ශිප් ගිහින් කොල්ලෝ සෙට් කරන් එන්නේ නැති නිසා ඔටුවන්ට ඒ අය සෙට් කරගන්න වාසනාව දහිරිය සත්තිය ලැබිලා තියෙනවා :) :)
      බලමුකෝ ඉස්සරහට මොනවා වෙයිද කියලා . :) :)

      Delete
  3. අපි නං දැනගත්ත අත් අල්ලං පොටෝ ගගහ බුකි ගත කොරනකොටම. හෙක් හෙක්.
    කලිං සිංදුවක ඔර්ජිනල් කතාවක් තියෙයි ලියන්න කියල ඒක තාම කීවෙ නැති හන්ද මොනාත් කීම පෙතික්සේප කරනව.
    පෝසට දෙකක් දැම්ම ඒකට පස්සෙ තාම නෑ
    මගෙ දැඩි විරුද්දත්වය ඔව් ඉදගෙන

    කෝම වුණත මේකත් පස්ට ඈ. හික්ස්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් අපිනම් දැනගත්තා කිව්වට සමහර උන්දලා දැකලා නෑ නෙව . ෆෝන් එකට මැසේජ් කර කර බනින්නේ මෙතන . හ්ම්හ් හ්ම්හ් .....
      ඒ කතාව දැන්ම ලියන්නේ නෑ . තව කාලයක් ගිහින් දාමු . ඔක්කොම එක කිට්ටුව දාන්න හොඳ නෑ හිටං . =))
      බෝගොම ස්තූති g-) g-)

      Delete
  4. හෆ්ෆා මෙහෙමත් යාළුවො :-SS :D
    ගීතය අහලා තිබුණත් නැවතත් අහන්න හිතුණා සංගීතය යොදාගෙන ඇති විදිහ ගැන විස්තරයට..

    සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ඔව් .
      පාප මිත්‍රයෝ :( :( :(
      බොහොම ස්තූති :( :(

      Delete
  5. අනේ අම්මපා ඉතින් මේවට මොනවා කියන්නද කියලා.

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කියන්නද ඉතින් :p :p :p

      Delete
  6. ගෝතයා හිටපන් උඹ හම්බ උනාම කොරන්න හොඳ වැඩක්.

    ReplyDelete
    Replies
    1. ඇයි ඇපලි කිව්වා කිව්වේ . හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ්
      =)) =)) =)) =))
      =)) =)) =)) =))
      =)) =)) =))=))

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.