Monday, June 22, 2015

කඳ සුරිඳු වෙනුවෙන් පබැඳි ගී







ඓතිහාසික පසුබිමක් සහිත ගුරු පරම්පරාවක් වටා ගෙතුණු කතා පුවත් රාශියක් ගොනුකරලා ලියන සීයා සහ මුණුබුරා කතා මාලාවේ කදිර පුරයට පිල්ලියක් කියන්න මෙන්න මේ ලිපිය ලියන දවස්වල තමයි කතරගම දෙවියන් වටා ගොඩනැගිලා තියෙන දේව සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය ගැන වැඩිපුර යමක් හොයන්න ඕන කියලා හිතුනේ . ඒ ලිපියේ ආරම්භය ගත්ත සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන කිරි වෙහෙරේ කොත් කැරැල්ල කියන ගීතය අහපු වාර ගාන මෙච්චරක් කියලා කියන්න අමාරුයි .

ඒ තරමටම ඒ ගීතවල දේවත්වය ගැබ් වෙලා තියෙනවා . සමහරවිට ඒ වචන වල තියෙන දේවත්වයට වඩා සංගීතයේ තියෙන දේවත්වය නිසා වෙන්න පුළුවන් . ඒ මොකක් නමුත් ඉතාම පැහැදිලි විදියට කරලා තියෙන ගැලපීම නිසා ඒ ගීත දෙවියන් වෙනුවෙන් ගායනා කරන ප්‍රශස්ති ගීත තත්ත්වයට අදවෙනකොට වැටිලා තියෙනවා . කතරගම පෙරහැර කාලයට රූපවාහිනියේ ගුවන්විදුලියේ හැමතැනකම වාගේ මේ ගීත වාදනය වෙනවා . ඉතින් අද කියන්න යන්නේ මේ ගීත සියල්ලටම පාදක කරගත්ත දේවල් ගැන පොඩි............... විස්තරයක් එක්ක ඒ ගීත මොනවද කියලා .

කතරගම දෙවියෝ කවුද කියන එක ගැන මත රාශියක් තියෙනවා . රාවණා කාලයේ තිබුණ සිවු හෙළය ඒ කියන්නේ යක්ෂ දේව නාග රාක්ෂ කියන සිවු පිරිසෙන් රාක්ෂ කියන පිරිස නියෝජනය කරපු දෙවියන් විදියට කතරගම දෙවියන් සලකනවා . සමහර අය කියනවා දේව කොට්ටාශයේ නායකයා කතරගම දෙවියන් කියලා . මම විශ්වාස කරන්නෙත් රාක්ෂ පිරිසේ නායකයා කතරගම දෙවියන් කියලා . මන්තර සාහිත්‍යයේ සමහර වෙලාවට කියවෙන දේවල් එක්ක රාක්ෂයින් එක්ක තමයි කතරගම දෙවියන්ගේ ගනුදෙනු වැඩිවශයෙන් වෙලා තියෙන්නේ . කතරගම දෙවියෝ ශිව පාර්වතී දෙදෙනාගේ බාල පුත්‍රයා කියල ඉන්දීය ඉතිහාසයේ සඳහන් වෙනවා .

ශිව පාර්වතියගේ වැඩිමල් පුත්‍රයා ගණ දෙවියෝ . බාල පුත්‍රයා තමයි කතරගම දෙවියෝ . ඉතින් මේ දෙන්නා එකතුවෙලා වල්ලි අම්මා දේවිය කතරගම දෙවියන් වෙනුවෙන් පාවා ගන්න ප්ලෑන් කරපු කතා පුවතකුත් තියෙනවා . ඒ එක්කම මට මතක් වෙනවා ඇම්බැක්කේ දේවාලය ආශ්‍රිතව වැඩඉන්න හෙනකඳ බිසොබණ්ඩාර දේවතාවිය . සිංහල රාජ මහේශිකාවක් වෙලා හිටපු මේ හෙනකඳ බිසෝබණ්ඩාර දේවිය ඉතාම රූප ශෝභාවෙන් පිරිපුන් කෙනෙක් . කතරගම දෙවියන්ට උවමනා උනා මේ දේවිය තමන්ගේ බිරිඳක් කරගන්න . ඒ නිසා මේ දේවිය පලතුරු උයනට ගමන් කරන වෙලාවේ දෝලාව අතුලේදීම මරා දාලා දේවියගේ ආත්මය දේවත්වයට පත්කරලා තමන්ගේ මහේෂිකාවක් බවට පත් කරගන්නවා .

කතරගම දෙවියන් ඉන්දීය දෙවි කෙනෙක් කියලාත් සමහර අය කියනවා . ඉන්දියාවේ හිටපු කතරගම දෙවියෝ ලංකාවේ හිටපු ඇසුරක් පරාජය කරන්න ලංකාවට ඇවිත් ඒ අසුරයා පරාජය කරලා ලංකාවේ මිනිසුන්ගේ ජනප්‍රසාදය දිනාගන්නවා . මොකද මේ අසුරයා ලංකාව පාලනය කලේ මිනිසුන් තලා පෙළා පීඩනයට පත්කරමින් . කතරගම දෙවියන් ඇවිත් මේ අසුරයා විනාශ කිරීම නිසා ලංකාවේ මිනිස්සු කතරගම දෙවියන්ට ඉතාම භක්තියක් ඇතිකරගෙන කතරගම දෙවියන්ට දේවත්වයෙන් සලකන්න පටන් ගන්නවා . ස්කන්ධ කුමාරයා විදියට ලංකාවට පැමිණි මේ දෙවියන් අවසානයේ ලංකාවේ දේවත්වයට පත් වෙනවා .

තාරක අසුරයා පරාජය කරලා අසුරයින් කපා දමපු තමන්ගේ මංගල කඩුව ජීවමාලී තොටුපලේදී මැණික් ගඟේ ශුද්ධවූ ජලයෙන් සෝදනවා . අන්න ඒ සිරිත තමයි අද දක්වා දිය කැපීමේ මහා මංගල්‍යය කියලා පැවත එන්නේ . අද වෙනකොට ලංකාවේ ගොඩක් තැන්වල දිය කැපීම කරාට , මේ දිය කැපීමේ නියම හිමිකාරිත්වය තියෙන්නේ කතරගම දේවාලයට . ඒ සිරිත සංකේතවත් කරන්න තමයි අනිත් දේවාල වලත් දිය කැපීම කරන්නේ .






දැන් අපි එමු දුටුගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් අතර තිබ්බ ගනුදෙනුව ගැන හොයලා බලන්න . ද්‍රවිඩයින් විනාශ කරලා ලංකාව එක්සේසත් කරන්න දුටුගැමුණු රජතුමා මාගම් පුරයෙන් යුද්ධ කටයුතු සංවිධානය කරනවා . මෙහෙම යුධ කටයුතු සංවිධානය කරනකොට කතරගම මැණික් ගඟ අසලදී දවසක් දුටුගැමුණු රජතුමා තනියම කල්පනා කරනවා මේ යුද්ධය දිනන්න කොහොම සැලසුමක්ද කරන්න ඕන කියලා . ඒ වෙලාවේ කතරගම දෙවියන් ජීවමාන වෙනවා හරිම අපූරු විදියකට .


ඒ කතරගම දෙවියන් තමන්ගේ මගුල් කඩුවෙන් ගහලා මැණික් ගඟේ දිය දෙබෑ කරගෙන ගඟේ එගොඩටත් මෙගොඩටත් ගමන් කරන දර්ශනයක් . මේ වෙලාවේ දුටුගැමුණු රජතුමා පුදුම වෙලා අහනවා ඔබ කවුද කියලා . මෙතනදී තමයි දුටුගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් අතර ගනුදෙනුව ආරම්භ වෙන්නේ . මේ වෙලාවේ කතරගම දෙවියන් තමන්ගේ මගුල් කඩුව දුටුගැමුණු රජතුමාට දීලා යුධ කටයුතු වෙනුවෙන් ආශිර්වාද කරනවා .

මෙන්න මේ විදියට දුටුගැමුණු රජතුමා යුද්ධය කරගෙන කරගෙන ගිහින් දැන් විජිතපුර බලකොටුව අල්ලාගෙන එළාර රජතුමා විනාශ කරන්න විතරයි තිබුණේ . ඒත් විජිතපුරය විනාශ කරන්න අමාරුයි . යුද්ධය කරන වෙලාවේ කඩොල් ඇතාගේ පිටට ලෝදිය හලලා කඩොල් ඇතා පවා මේ වෙලාවේ දුර්වල වෙනවා . මුළු සේනාවම දුර්වල තත්ත්වයට පත් වෙච්ච වෙලාවේ දුටුගැමුණු රජතුමා ආයෙත් කතරගමට එනවා කතරගම දෙවියන් හම්බෙලා ඒ ගැන කතා කරන්න සහ ආශිර්වාද ගන්න . මේ වෙලාවේ කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමා හමුවෙන්න එන්නේ තනියම නෙවෙයි . ඒ තමන්ගේ වැඩිමල් සහෝදර ගණ දෙවියනුත් එක්ක .


අයියයි මල්ලියි දුටුගැමුණු රජතුමාට උපදෙස් දෙනවා යුද්ධය කරන්න ඕන විදිය කියලා . ඊට පස්සේ කතරගම දෙවියන් දුටූගැමුනු රජතුමාට හෙල්ලයක් ලබා දෙනවා , එළාර රජතුමා විනාශ කරන්න මේ හෙල්ල භාවිතා කරන්න කියලා . ඒ හෙල්ලයේ තියෙන තවත් වැදගත් කමක් තමයි මේ හෙල්ලයේ ඔතලා තිබිලා තියෙනවා මහා මාතාන්ගේෂ්වරී කියන යන්ත්‍රය . මේ යන්ත්‍රය බලගතු යන්ත්‍ර මණ්ඩල කීපයෙන් අද දක්වා පැවතගෙන ආව ඒවායින් එකක් . මේ හෙල්ලෙන් ඇනලා තමයි අවසානයේ එළාර රජතුමා මරණයට පත් කරන්නේ . ඒ නිසා කතරගම දෙවියන් කෙරෙහි දුටුගැමුණු රජතුමා ඉතාමත් පැහැදීමකට පත්වෙලා කතරගම දෙවියන්ට තමන් වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරනවා . ආ මට කලින් ඒක කියන්න අමතක උනා .







කතරගම දෙවියන්ට දුටුගැමුණු රජතුමා මුලින්ම භාර වෙනවා යුද්ධය දිනුවොත් රන් උළු සෙවිලි කරපු රන් කොතක් සහිත දේවාලයක් නිර්මාණය කරලා දෙනවා කියලා . යුද්ධය දිනපු වෙලාවේ රජතුමාට මේක මතක් වෙනවා . පස්සේ රජතුමා කතරගමට එනකොට කතරගම වැඩහිටි කන්දේදී කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමාට දෘශ්‍යමාන වෙනවා . මේ වෙලාවේ රජතුමා අහනවා ඔබතුමා වෙනුවෙන් රන් උළු සෙවිලි කරන ලද රන්කොත් මාලිගාව මොන ස්ථානයේද නිර්මාණය කරන්න ඕන කියලා . මේ වෙලාවේ කතරගම දෙවියන් කියනවා අනාගතයෙදී රන් උළු මාලිගාවක් කලොත් ඒකට උපද්‍රව වෙන්න පුළුවන් නිසා තඹ උළු සෙවිලි කරපු රන් කොතක් තියෙන දේවාලයක් නිර්මාණය කරන්න කියලා .

එහෙම කියලා වැඩහිටි කන්දේ ඉඳලා තමන්ගේ දුන්නෙන් හීයක් විදිනවා . මේ හීය ඇවිත් පොළවේ අනෙන්නේ අද කතරගම දේවාලය පිහිටලා තියෙන ස්ථානයේ . මේ ඊතලය නිධන් වෙන විදියට තමයි දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය නිර්මාණය කරන්නේ . එහෙම නිර්මාණය කරලා නන්දිමිත්‍ර යෝධයාට කතරගම දේවාලයේ කපු නිලය භාර කරනවා . අද දක්වාම කතරගම කපු නිලය පැවත එන්නේ මෙන්න මේ නන්දිමිත්‍ර යෝධයාගේ පරම්පරාවෙන් කියලා තමයි කියන්නේ .

තව දෙයක් කියන්න ඕන . කතරගම තියෙන්නේ වැඩහිටි කන්ද . ඒ කියන්නේ කතරගම දෙවියන් වැඩ හිටපු කන්ද . නැතුව වැඩිහිටි කන්ද නෙවෙයි . අද ඒක වැඩිහිටි කන්ද කියලා ව්‍යවහාර වෙලා වෙලා නිකන් වයසක මිනිස්සු විතරක් ඉන්න කන්දක් වගේ වෙලා කියලා හැගීමක් තමයි එන්නේ . කතරගම දේවාලයේ මහා පෙරහැර දවසට වැඩහිටි කන්දේ ඉඳලා කතරගම මහ දේවාලයට අකුණු සැරයක් එනවා කියන එකත් ගොඩක් දෙනෙක් දන්නා කාරනාවක් . කතරගම දෙවියන් සහ වල්ලි අම්මාගේ විවාහය සමරන මේ ඇසල මංගල්‍යය වෙනුවෙන් මේ දෙදෙනා වැඩහිටි කන්දේ ඉඳලා අකුණු සැරයක් විදියට දේවාලයට වඩිනවා කියලා තමයි ඉස්සර ඉඳලා මිනිස්සු විශ්වාස කරන්නේ .






කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩවසනවා කියන්නේ කැබලිත්ත මහ සියඹලාව දේවාලය පිහිටලා තියෙන ස්ථානයේ . මෙතනට යන එන අය කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්මට භාජනය වෙනවා කියන ඒකත් රහසක් නෙවෙයි . මස් කාලා කිලි වැදිලා යන අයට මේ මාර්ගයේදී වෙන අනතුරු ගැනත් ගොඩක් තැන් වෙලා සඳහන් වෙලා තියෙනවා .

තවත් වැදගත් කාරනාවක් කියලා මම මේ කතා ටික නවත්වන්නම් . ඒ තමයි සිද්ධාර්ථ කුමාරයාගේ මගුල් කඩුව ගැන කියවෙන කතාවක් . සිදුහත් කුමාරයා නේරංජන ගංගාවේ සුදුවැලි තලයේ නැවතිලා කේශ ධාතුව කපා දාමපු තමන්ගේ මගුල් කඩුව ආයෙත් චන්න ඇමති අතේ මාලිගාවට යවනවා . පස්සේ මේ කඩුවට මොකද උනේ කියලා කවුරුත් දන්නේ නෑ . කතාව තියෙන්නේ මේ මගුල් කඩුව කතරගම කිරිවෙහෙරේ නිධන් කරන්න අවස්ථාව ලැබුණා කියලා . මේ කඩුවේ ආරක්ෂාවට කතරගම දෙවියන් පත් වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ . ඇත්ත නැත්ත කෙසේවෙතත් එහෙමත් කතාවක් තියෙනවා ඔන්න .

ඉතින් මේ අද කිව්ව විස්තර ටික කිව්වේ කතරගම දෙවියන් වෙනුවෙන් රචනා වෙලා තියෙන ගීත කීපයක් එක ලිපියකට එකතු කරලා ඉදිරිපත් කරන්න හිතුන නිසා . ගීතවල තේරුම්නම් දාන්න තරම් අමාරු තේරුම් තියෙන ගීත නෙවෙයි . ඒ නිසා වචන ටිකයි සිංදුව අහන්න පුළුවන් ලින්ක් එකකුයි විතරක් මේ ලිපියට එකතු කරන්නම් .

(1)

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

සිතින් කයින් වන වරද නොගන්නයි
ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්දන්නයි

අනන්ත අනුහස අණ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමවුපියන් සේ අප රැකගන්නයි
පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ...

ගායනය :- ඩබ්ලියු ඩී අමරදේව




(2)

සරවනබව කඳ සුරිඳුගෙ තෙදබල
පලකල තුරුලිය ඔදකල මද නල

සිඹ සිඹ දෙවු සැපත මැණික් ගං තලේ
සැතපුව මැන සුව යහනක තුන්හෙලෙ

සය මුහුනකි නෙත් දොළොසකි පෑවුල
කිතු ලෙස මිනි පිල් විහිදෙන වාහනෙ
බැබළෙන ලෙස සිරි ලංක සාසනේ
එක නෙතකින් බලනු මැනවි සාමිනේ

හිස මුදුනත ලෙල දෙයි සැවුළිඳු දද
දොළසතකින් රණ අවිද වූ කඳ රජ
ඔබ පිය මැන මැන හොබ කල හැම සඳ
මෙම පිරිසගේ දුක බිය සැක සංසිඳ


ගායනය :- අල්හාජ් මොහිදීන් බෙග්




(3)

කිරිවෙහෙරේ කොත් කැරැල්ල
මතින් නැගෙන දහම් රැල්ල
සාදු දනන් දෙවු පුදවන් මැණික් ගං තෙරේ
එරන් මයුර අසුන් අරා දොළොස් අතක බරණ දරා
රුහුණු පුරේ ඔද තෙද වන් කදිර සුරිඳේ

කපුරු සුවඳ දුමින් නැගෙන සුවෙන් හදේ තැවුල් නිවන
දොළොස් නෙතින් ලොව නරඹන දිව්‍ය විමානේ
දනන් නගන දුක් නිවන්න කදිර සුරින්ඳේ

මයුර කලඹ සිරස දරා දවුල් හඬට පද තබා
පුද දෙන බැතිමල් සරසා දිව්‍ය විමානේ
තැවුල් අවුල් නිවන් හදේ කදිර සුරින්දේ


ගායනය :- සුනිල් එදිරිසිංහ






(4)

කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

සත්ගිරි වට කොට ඔබේ නිවහන ඇත
සත්සිඳු පතලව ඔබේ කිතුගොස ඇත
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

මයුරාසන මත වැජඹෙන තෙදැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා
මගෙ රට සවුසිරියෙන් සපිරේවා
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා


ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන






(5)


තෙදිනි විරාජ රුවිනි විරාජ
රුහුණු සුරාජ ක‍ඳ දෙව්රාජ //

එරන් මයුර වාහනයෙන්
රුපුසෙන් බිඳ වැඩමවන්න
වැඩහිටි කඳු මත වැඩසිට
නර කැළ වෙත සෙතසදන්න
කතරගමේ බලමහිමේ
දියත පතළ කර හරින්න..

අන වින වස් දොස් තුන් බිය
දුරළා සත රැකදෙවන්න
මැණික් ග‍ඟේ නිමල දියෙන
කිලි-කුණු සෝදා හරින්න
කතරගමේ බලමහිමේ
දියත පතළ කර හරින්න..


ගායනය   - එඩ්වර්ඩ් ජයකොඩි 








(6)

අසුර බලේ සිදුරි කලේ මේ සිංහලේ
කතරගමේ දෙවිඳ ඔබේ තේජෝ බලේ
සතට දැයේ කුළුණු ගුනේ පානා සෙනේ
බැතිනි සිතේ වඳිමි ඔබේ පාදේ මෙසෙ

දොළොස් නෙතම ලොවට හෙලා
ද්වේශ අන්ධකාර නිවා
රක්තවර්ණ දේහ දිලේ මයුර ආසනේ
තේජවන්ත ධීර වීර පුණ්‍යවන්ත පාරිශුද්ධ
සකල සතට සෙතම සදන කදිර සුරිඳුනේ

අතින් රැගෙන රුදුරු අවිය
උපන් බිමට තරඟ වදින
දනන් වෙතේ බලනු මැනේ දිවැස පා ඔබේ
වෛර නිවා සාම සිසිල දෙන්න මවා දැයට නිබඳ
සකල සතට සෙතම සදන කදිර සුරිඳුනේ


ගායනය :- ජගත් වික්‍රමසිංහ



(7)

මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ
මනු ලෝ සත වෙත පෑව නෙතින
සුරකිනු අප ස්වාමිනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ

සාමයේ චේතනා රැඳුණු සිතැඟි නෑ මෙදා
දේවනේ

මෝහයේ ද්වේශයේ ගිලෙන ලොවට පා තබා
දේවනේ


ගායනය :- සුනිල් එදිරිසිංහ






(9)

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පාමුල මම වැඳ වැටෙමී

මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ
මිනිසා මිනිසාට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ

ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා
වස්තුව නිළ බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා


ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක





තව ගීත ඇති ඒත් මතක් වෙන්නේ නෑ . ඔයාලටත් මතක් උනොත් කමෙන්ට් කරන්න . එතකොට ඒවත් මේ ලිපියටම එකතු කරන්න පුළුවන් .

ඔබ සැමට කඳ සුරිඳුගේ පිහිට ලැබේවා !

21 comments :

  1. අර කියපු ජනප්‍රවාද වලින් භාගයයි නෙ දන්නෙ බලං ගියාම... අර දුටු ගැමුණු සීන් එකේ මැද හරිය දන්නෙම නැ... ඒ කිව්වෙ විජිතපුර සටනට කතරගම දෙය්යන්නෙ හෙල්ල( ඇත්තටම ඒක ලන්සය නේද) යන්තර අරව මේව
    බලං ගියාම ලේසි නෑ
    ස්තූතියි මේව අපි එක්ක බෙදා හදා ගන්නවට

    ReplyDelete
    Replies
    1. මාතාන්ගේශ්වරී යන්ත්‍රය ගැන කියවෙන පරණම අවස්ථාවක් මේක . මමනම් වෙන යන්තර ගැන උනත් මෙච්චර පරණ කතා අහලා නෑ . තවත් එක එක ජන කතා තියෙනවා . සමහර ඒවා එක වගේ ඒත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා .
      වෙන දේවාලවලට වඩා කතරගම දේවාලය එක්ක ජනශ්‍රුති වැඩි ගතියක් තියෙනවා . සමහරවිට හොඳට නරකට දෙකටම උදවු කරන දෙවි කෙනෙක් නිසා ඉස්සර ඉඳලා මිනිස්සුන්ගේ හිත්වල කතරගම දෙවියෝ වැඩ ඉන්න නිසා වෙන්න ඇති .
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  2. සිංදු කියක් තියෙනවද මලයා?
    මම සිව් හෙළය ගැන අහල නැහැනේ....???පොඩ්ඩක් විස්තර කරනවද ?

    ReplyDelete
    Replies
    1. බලමු ට්‍රයි එකක් දීලා :)
      බොහොම ස්තූති g-) g-)

      Delete
  3. ස්කන්ධ කුමාර උපත ගැන කථා සරිත් සාගරයෙ තියෙන්නෙ මෙහෙමෙයි .. එක් අසුරයෙක් කෛලාස භවනට ඇවිත් බලෙන්ම මෙහෙසුරුට උපස්ථාන කරනවා..අවුරුදු ගණනාවක්..මෙහෙම කාලයක් යනකොට ඊශ්වරයට මූ ගැන අනුකම්පාවක් ඇතිවෙලා අහනව .... 'දැන් උඹ මෙච්චර කාලයක් මට උපස්ථාන කරනවා මොකුත් ඉල්ලුවෙත් නැහැ.. උඹට මොනවද ඕනෙ' ..කියල. අසුරය කියනව ...'අනේ සර් මට ඕනෙ පොඩි දෙයක් ..මොකක්ද ...එක මන්තරයක්....ඒක කියලා අතට මතුරලා කාගෙ හරි ඔලුවට තිබ්බොත් ඔහු අළුවෙලා යන්න ඕනෙ' ....ඊශ්වරයත් වැඩිදුර කල්පනා නොකර වරය දුන්න... දුන්න විතරයි මේකා මොකද කරන්නෙ අතට මතුරලා ඊශ්වරයගෙම ඔලුවෙ තියන්න ආව. (සුරයො සහ අසුරයො ජන්මාන්තර වෛරයි නෙ අර කිරිමුහුද කළඹපු කේස් එක නිසා.) දැන් වැඩේ හරියන්නෙ නැහැ ...ඊශ්වරය දුවනව... අසුරය පස්සෙන් එළවනව. මේක දැක්ක විෂ්ණු.. අපේ එකා බේරගන්නෙ කොහොමද කියල කල්පනා කරා. දැන් දෙන්නා දුවගෙන එන පාර අයිනෙ විෂ්ණු ඉන්නව ලස්සන කෙල්ලක් වගේ ඔන්චිල්ලාවක් පැද පැද...ඊශ්වරය කෙල්ල දැක්ක ..නමුත් බලබල ඉන්න වෙලාවක් නැති නිසා එහෙම්ම දිවුවා.. දුවගෙන එන අසුරය දැක්ක කෙල්ල..ඌට හදිස්සියක් නැහැනෙ.. ඌ කෙල්ලට පැණි හලන්න ගත්ත..අසුරය කෙල්ලට කතා කෙරුව ඌත් එක්ක යන්න .. කෙල්ල ගණන් ඉස්සුව.. පස්සෙ කියනව ඔයා මාව අතරමං කරන්නෙ නැහැ කියල ඔයාගෙ ඔලුවෙ අත තියල දිවුරන්නලු..අසුරය ඔලුවෙ අත තියාගත්ත විතරයි අළුවෙලා ගියා... දැන් ඊශ්වරය බලනව එළවගෙන ආපු එකා පේන්න නැහැ.. හෙමින් හෙමින් ආපහු එන්න පටන් ගත්ත...එනකොට ඔන්න කෙල්ල ඉන්නව ඔන්චිල්ලාව පැද පැද..දැන් ඊශ්වරය කතා කරනව කෙල්ලට ගෙදර යන්න. කෙල්ල කිවුව ඔයා බැඳපු කෙනෙක් බව මම දන්නව ඒ නිසා වයිෆ් ගෙන් අහල එන්න කියල. මෑන් ගිහින් උමාගෙන් ඇහුවම කමක් නැහැ කිවුව. හුටා එනකොට කෙල්ල ළමයෙක් වඩාගෙන ඉන්නව .. ඒ පාර කිවුව ළමයෙකුත් එක්ක ආවට කමක් නැද්ද කියල අහල එන්න කියල. ආපහු ගිහින් ඇහුවම හා කිවුව. එනකොට ළමයි දෙන්නයි. ඔය විදිහට පස් වතාවත් වුනා. හයවෙනි වතාවෙ උමා ආව මේ පටලැවිල්ල මෙකක්ද කියල බලන්න. ආවහම හුරතල් දරු පැටවු හය දෙනයි . අනේ කියල එක රොත්තට බදාගත්ත විතරයි මූණු හයයි අත් දොළහයි.

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නෑ . එතකොට හය දෙනෙක් ඉස්කෝලේ යවන්න ඕන නෑනේ . නැත්නම් හය දෙනෙක්ට ස්කූල් වෑන් වලට පොත් වලට කොටින්ම කියනවනම් පහසුකම් ගාස්තු පවා ගෙවන්න එපාය . මේක මරු . සික්ස් ඉන් වන් :p :p

      බොහොම ස්තූති කතාව කිව්වට g-) g-) g-)

      Delete
  4. බෙග් මාස්ටර් කියන සින්දුව අහල තිබුණේ නෑ. ඒ වගේම පණ්ඩිත් අමරදේව කියන ඔරිජිනල් සින්දුව අහල තිබ්බෙත් නෑ. (ඒකේ ඩුප්ලිකේර්ට් එකක් ඩබ්.ඩී. ආරියසේන කියනවනේ.. ඒක විතරයි අහල තිබුණේ.) මං ආසම එකක්.. ස්තූතියි සියළු විස්තර වලට .

    ReplyDelete
    Replies
    1. :) g-) බොහොම ස්තූති . ඔව් දැන් අමරදේව කියන නමට වඩා ආරියසිංහ නම තමයි ඇහෙන්නේ . බෙග් මාස්ටර් නම් මේක කියලා තියෙන්නේ ෆිල්ම් එකකට . නම මතක නෑ . මොකක් හරි ස්ත්‍රියක් වගේ මතක .

      Delete
    2. ඒ චිත්‍රපටියේ නම රෑ හමු වූ ස්ත්‍රිය

      Delete
  5. යමක් දැනගන්න ඔනේ..
    වල්ලි මෑණියන්ට පින්දෙන ගාථාවක් දන්නේ නැද්ද? මට දැනගන්න ඕනේ...
    ලක්ෂ්මී මෑණියන්ට පින් දෙන ගාථාවක් දන්නවා නම් පළ කරනු මැනවි...
    දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න ...
    මම නිමාෂා සමරවීර...

    ReplyDelete
  6. 9. දුදනොද බිඳ බඳ තෙද කඳ
    කඳ දෙවිරද සාමිනේ //

    මගෙ කුකුළා නැසූ එකා...
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු යකා
    මගෙ කුකුළා නැසූ එකා
    දදය ඔබගෙ පාළු යකා
    තව එක බුද දිනක් කකා
    ඉන්නට ඉඩ නොදී මකා

    බලා එල්ල හෙලුව හෙල්ල
    මුලමැ බෙල්ල මරු තැනේ

    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ
    කතරගමට රුහුණු රටේ
    හිඟා කකා ලබන විටේ
    පයින්මැ ගොස් ඇවිද වටේ
    පොළොවැ උලා නළල් ඇටේ

    දිගට ඇදී...
    දිගට ඇදී නැග පැහැදී
    මහ හඬ දී දෙවියනේ
    දිගට ඇදී...

    රනින් කුකුළු රුවක් පුදමි
    රිදියෙන් බිජු අටක් පුදමි
    රන් දුනු හී දෙකක් පුදමි
    රුවට රිදී රුවක් පුදමි

    කතරගමේ...
    කතරගමේ බල මහිමේ
    දුටුද එමේ හැම තැනේ
    කතරගමේ...

    කියමින් නම කුරැ ඔබගේ
    බොලඳුන් ගෙ ද කිරි තුඬගේ
    රඟ දෙන්නට වඩමි අගේ
    එකතින් හිමි සඳුනි මගේ

    දුදනොද බිඳ බඳ තෙද කඳ
    කඳ දෙවිරද සාමිනේ //

    මට කළ මෙවිපත අනේ
    බලාගන්න දෙවියනේ
    මට කළ මෙවිපත අනේ
    බලාගන්න දෙවියනේ
    වැජඹෙන නා වෙ විමනේ
    බලන්න නා සාමිනේ

    නා සාමිනේ...

    ගායනය, සංගීතය - සුනිල් සාන්ත
    ගී පද - රුපියෙල් තෙන්නකෝන්

    https://youtu.be/j9vUClp442k

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=IRjwdNsi1JU

      Delete
  7. 10. රුපුනොද එඩිය බිඳ මැදහත් බවට නැවී
    ඔබ පෑ විකුම් කොඳුරා මඳ නළ ද හැමී
    මනහර මැණික් ගඟ බඩ සැදී දොවල හිමී
    සුරිඳුනි කතරගම සුරිඳුනි හැඳීන ගමී

    දෙවොලක් තනා හදවත තුළ සුවාමිනේ
    කළු වැල් කපුරු දල්වන්නෙමි වයා මිණි
    සරණක් ඔබෙන් ලැබ ගන්නා නියාවෙනි
    මම සල කරමි මෙය සුරිඳුනි දයාවෙනි

    රුපුනොද එඩිය බිඳ...

    පෙර කළ පවතී ලෙස නො අඩුව ඉසුරු මතින්
    සපුරා ජය කෙහෙලි නංවා සතර අතින්
    දරුවන් හදට දී එඩිතර ගුණය නිතිත්
    මගෙ රට මගේ දැයට සම්පත සදනු ඉතින්

    රුපුනොද එඩිය බිඳ...

    ගායනය: සෝමතිලක ජයමහ
    පද රචනය: සුනිල් ආරියරත්න
    සංගීතය: ග්‍රේෂන් ආනන්ද

    http://odeo.fm/?trkid=T017289

    ReplyDelete
  8. යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවා නම්
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම//

    ආනන්ද සරෝජා - රාමන් අනුරාධා//
    නාන තොටේ මැණික් ගඟේ දෙවි කරුණාවයි
    හාදු දිදී ගඟ නො බෙදී එකට ගලා යයි

    යමු සෙල්ල කතරගම...

    මේ සාධු කාරයයි සංගීත සාදයි//
    හාද වෙලා සාද විඳින එකම වෙලාවයි
    පාද සළඹ දෑත වළලු එකට හිනා වෙයි

    යමු සෙල්ල කතරගම...

    https://youtu.be/VWP6QWwri-M

    ReplyDelete
  9. 12.
    මේ සින්දුවේ වචන මතක නෑ

    ශාන්තරාම් ඕ ඕ ඕ ශාන්තරාම්
    නීතියෙන් බැතියෙන් දෙවියන් පුදනා ශාන්තාරාම් //
    ශාන්තරාම් ශිවපුල්ලේ ශාන්තරාම්
    නීතියෙන් බැතියෙන් දෙවියන් පුදනා ශාන්තාරාම් //

    කතරගමේ දිය මැණික් ගඟින් නා
    සුදු පිරුවට අඳිනා
    පුජා වට්ටිය හිසේ තබා ගෙන
    කෝවිල වෙත පිය නගනා

    ශාන්තරාම්...

    ශාන්තරාම් ශිවපුල්ලේ ශාන්තරාම්
    නීතියෙන් බැතියෙන් දෙවියන් පුදනා ශාන්තාරාම් //
    දෙවියන් හටවත් රට රැක දෙන්නැයි
    කියන්න අයියා ශාන්තාරාම්

    ReplyDelete
  10. 13.
    මේ දේශෙ රකින නිරින්දු
    මේ දේශෙ රකින නිරින්දු
    කදිර දේව සුරින්දු
    කදිර දේව සුරින්දු
    මේ දේශෙ රකින නිරින්දු....//

    දුර ඈත රටින් වඩින්නේ
    බැති දේව බලේ ලබන්නේ...//
    රන මයුරාසුන් දරන්නේ
    රත් වර්ණ අරා දිලෙන්නෙ
    රත් වර්ණ අරා දිලෙන්නෙ
    ඝංඨාර හඩයි ඇසෙන්නෙ
    උපහාර ගැයුම් ගැයෙන්නේ
    කදිර දේව සුරින්දු
    කදිර දේව සුරින්දු
    මේ දේශෙ රකින නිරින්දු

    අත් දොළොස දරා හිදින්නෙ
    සය මූණ බැතින් දිලෙන්නෙ....//
    සංතාප සිතේ නිවන්නෙ
    සංසාර සුවේ සදන්නෙ
    සංසාර සුවේ සදන්නෙ
    ඝංඨාර හඩයි ඇසෙනනෙ
    උපහාර ගැයුම් ගැයෙන්නෙ
    කදිර දේව සුරින්දු
    කදිර දේව සුරින්දු
    මේ දේශෙ රකින නිරින්දු..

    සුජාතා අත්තනායක

    https://youtu.be/FoWBXlAWrHk

    ReplyDelete
  11. 14.
    සංසාර ගමනයි සංසර ගමනයි
    මහා බල කඳිර දෙවින්ඳේ සදාකල් අප ‍රැක දෙන්නයි//
    කොහෙන් අප එනවද දන්නේ - දෙවිඳුනේ ඔබමයි දන්නේ
    කොහෙ යනවද නැත දන්නේ - දෙවිඳුනේ අප ‍රැක දෙන්නයි
    සංසාර ගමනයි සංසර ගමනයි

    අහසයි පොළවයි - උඩ හිඳ රකිනා//
    කන්ඳ කුමාර දෙවින්ඳේ - හෝ - කන්ඳ කුමාර දෙවින්ඳේ
    උදාර වු බැති සිත පාලා - රකිනු මැන අප සනසාලා//

    සංසාර ගමනයි සංසර ගමනයි

    අහසයි පොළවයි - උඩ හිඳ රකිනා...

    සංසාර ගමනයි සංසර ගමනයි

    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි - සිංහ පැටව් චිත්‍රපටයට

    https://youtu.be/5JrYEALqOC4

    ReplyDelete
  12. 15.
    මුහුණු සයකි ඇස් දොළසකි - කදිර දේව රාජනේ
    රුහුණු රටට අණ පතුරණ කදිර දේව රාජනේ
    තුරුණු කැකුළු මල් කෙළසී මෙසිරි ලකට වූ විනේ
    මුහුණු සයට ඇස් දොළසට කීම නොපෙනුන කාරණේ

    මාර සෙනග වියරු විලස වනසන විට රට
    පාර දෙපස ගිනි සෑයේ සිරුරු දැවෙන විට
    බේරගන්න එකම පුතා ඇස ලෙස සිටි මට
    බාර උනේ ඉඩම නිවස තබමින් උගසට

    දේවාලෙට හැරෙන තැනම පලු ගසකට බැඳ
    සාමිනි හමු වුනා පුතුගෙ හිස නැති මළ කඳ
    කා වෙත කොයි විලසට මේ අවනඩු කියමුද
    මේ නැති බැරි අපට දෙවියෝ සලකන විදියද

    සින්න වුනා ඉඩම නිවස පොලිය ඉහළ පැන
    කන්න අඳින්නත් නොමැතිව ඇවිදිමි තැන තැන
    උන්න එකම පුතු වැනසිණ මිහිකත ගිනි ගෙන
    බින්න ගිහින් දෝ දෙවියන් සුර ලොවකට වෙන////

    ගායනය: එඩ්වඩ් ජයකොඩි
    සංගීතය: රෝහණ වීරසිංහ
    ගී පද: සෝමරත්න දිසානායක - සූරිය කන්ද කැසට් පටයෙන්

    https://youtu.be/ZN-KK9itQuQ

    ReplyDelete
    Replies
    1. මේ සමහර ගීත මමනම් අහලාවත් නැහැ . බොහොම ස්තූති .
      මට නිකමට වගේ සැකයක් ඇති වෙනවා මේ කවුද කියලා . ඒ සැකය හරි වෙන්න පුලුවන්ද ??? :)

      Delete
  13. දැන් තමයි දැක්කේ - සැකය ගැන නම් දන්නේ නෑ - මේ මගේ ඇත්ත නම - මට වෙන ප්‍රොෆයිල් ඇත්තේත් නෑ

    ReplyDelete
    Replies
    1. හනේ නැහැ . මම මේ නිකමට දැම්මේ . මගේ යාලුවෙක් හිටියා ඉස්කෝලේ කාලේ මෙහෙම සිංදු ගොඩක් දන්න කෙනෙක් . ඒකයි ඇහුවේ . :)
      බොහොම ස්තූති මේ ගීත මතක් කිරීම වෙනුවෙන් :)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.