Saturday, June 20, 2015

අජානේය ඉස්කූටර් තුරඟාපිට වඩිනා



මාසෙකටත් වඩා වැඩි කාලයක් සද්ද නැතිව ඉන්න උනේ කැම්පස් එකේ සෙම්ස්ටර් එන්ඩ් එක්සෑම් එක තිබ්බ නිසා . අද තමයි එක්සෑම් ඉවර වෙලා ආවේ . එක්සෑම් නරකමත් නෑ . හැබැයි ඉතාම භයානකයි කියලා කියන්න පුළුවන් . පේපර් නම් හරිම කෙටියි . ඒත් ලියන්න තියෙන උත්තර හරිම දිගයි . ඒ දිග උත්තර ලියනකොට සර්ල මැඩම්ල නොමග යවලා ලකුණු ගන්න මුසාවාදා වේරමනී කඩන්න නුනෙමත් නෑ . ලකුණු එනකොට බැරියා කරපු පවු වල තරම මැනගන්න . හඃ හඃ හඃ .

එක්සෑම් කාලේ එපාම කරපු දෙයක් තමයි කන්න බොන්න නැති එක . චඃ ඇල්වතුර වගේ කෑම කාලා කාලා එපා වෙලා . ගෙදර ආව ගමන් අම්මා උයපු හබුන් ගොඩාක් කාලා ඔන්න ලැප් එක දිගෑරගෙන ලකලැස්ති වෙන්නේ වෙනදා වගේම ගීතයක් අරුත් විවරණය කරන්න .

මේ අවුරුද්දේ මගෙ ජීවිතේට විශේෂ සිදුවීම් ගොඩක් උනා . අද ගීතයට පාදක වෙන්නේ එයින් එකක් . මගෙ පුංචි අම්මා ඉගෙනගත්තේ මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ සහ මාතර මාහාමායා විද්‍යාලයේ . උසස්පෙළට විද්‍යා විෂය ඉගෙනගන්න ආසාව තිබුනට ඒවට තෝරන දවසේ පුංචිට ඉස්කෝලේ යන්න උනේ නැති නිසා ඒ අවස්ථාව මගඇරිලා තියෙනවා . ඉතින් කළා විෂය ධාරාව යටතේ තමයි උසස්පෙළ හදාරලා තිබුණේ . පස්සේ චාටඩ් එකවුන්ටන් දෙවෙනි ලෙවල් එක වෙනකල් ඉගෙනගෙන ඉන්නකොට තමයි ගුරු වෘත්තියට ආසා හිතිලා තියෙන්නේ . ඒ කාලේ ගුරුවරු වැඩිය ඉඳලා නැහැ ඉස්කෝලවල . ඉතින් ස්වෙච්චා සේවය කරපු කීප දෙනා ස්ථීර කරනවා කියලා දැනගෙන පුංචිත් ඉස්කෝලෙක ස්වෙච්චා ගුරුවරියක් විදියට වැඩ කරලා තියෙනවා .

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර පිටිසර ගම්මානයක පොඩිම පොඩි ඉස්කෝලෙක පුංචි මුලින්ම උගන්නලා තියෙනවා . ඒ ඉස්කෝලේ උගන්නපු කාලේ පුංචි අත්විඳපු අත්දැකීම් මාත් එක්ක සමහර වෙලාවට විස්තර කරලා තියෙනවා . හරිම සංවේදී කතා පවා ඒ කතා අහුරේ ගැබ් වෙලා තිබුණා . කන්න බොන්න නැති ළමයි ගැන තවත් කතා ගොඩක් තිබුණා . වට්ටක්කා තම්බලා ලුණු වතුර ටිකක් ඉහලා පොල් එක්ක ඒවා කාලා ඉස්කෝලේ එන ළමයි ගැන දුක්බර කතා පුංචිගේ හදවතේ කොනක හැංගිලා තියෙනවා .







මේ අතරේ පුංචි දහම්පාසල් ධර්මාචාර්ය විභාගය සමත් නිසා දහම්පාසල් ගුරුවරියක් විදියට උගන්නන්නත් යොමුවෙලා හිටියා . මාතර කොටුවේගොඩ ජයසුමනාරාම විහාරස්ථානයේ දහම්පාසලේ තමයි පුංචි දහම්පාසල් අධ්‍යාපනය ලැබුවේ සහ දහම්පාසල් ගුරුවරියක් විදියට උගන්වන්නත් පටන් ගත්තේ . ඒ කාලේ ඒ පන්සලේ නායක පදවිය දැරුවේ තාරාපේරියේ සෝමාලොකාභිධාන නායක ස්වාමීන් වහන්සේ . පුන්චිලට පාලි උගන්නලා තියෙන්නේ මේ සෝමාලෝක හාමුදුරුවෝ . පුංචි පාලි භාෂාව හොඳට හදාරලා තිබුණ නිසා දහම්පාසලේ පාලි භාෂාව තමයි වැඩිපුරම උගන්නලා තියෙන්නේ . හැබැයි අවශ්‍යතාව මත අනෙක් විෂයන් පවා උගන්නලා තියෙනවා . ඔය ඉගෙන ගත්ත සිසු සිසුවියන් අතරේ මාතරින් බිහිවෙච්ච ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් හිටියා . ඒ කතාව මම දැනගත්තේ ජයසුමනාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකගේ ආදාහන උත්සවයකට අපි සහභාගී වෙච්ච වෙලාවක ඒ ක්‍රීඩකයා පුංචිට මිස් කියලා කතා කරපු වෙලාවේ .

ඉතින් අපේ ගෙදර අය රත්නපුරේ පදිංචි උනාට පස්සේ පුංචිත් රත්නපුරේ මුවගම සිරිවිසුද්ධාරාම දහම්පාසලේ උගන්වන්න පටන් ගත්තා . ඊට පස්සේ තමයි පුංචිට පාසැල් ගුරුවරියක් විදියට පත්වීම ලැබුණේ . පුංචි උසස්පෙළට හැදෑරුවේ කළා විෂය උනාට වරලත් ගණකාධිකාරී විභාග වෙනුවෙන් ඉගෙන ගත්ත ගණිත දැනුමයි තනියමම ලබාගත්ත ගණිත දැනුමයි එක්ක ගණිත ගුරු පත්වීමක් තමයි එයාට ලැබුණේ . ඊට පස්සේ තමයි එයාගේ ගුරු භූමිකාව නිලවශයෙන් ආරම්භ කලේ .







තමන් කරන රැකියාවෙන් උපරිම සතුටක් ලබන්න පුළුවන් හදවතක් පුංචිට තිබුණා . කවදාවත් මට මේ රස්සාව එපාවෙලා කියලා පුංචි කිව්වේ නෑ . මට මතකයි මම මොන්ටිසෝරි යන්න කලින් පුංචි මාවත් ඒ ඉස්කෝලෙට එක්ක යනවා . මම ඉතින් ඉස්කෝලේ අයියලා අක්කලා එක්ක ඉන්ටවල් එකට සෙල්ලම් කරනවා . ඊටත් වඩා වැදගත් දෙයක් උනා මම ඒ කාලේ සංගීතය අතපතගාන්න පටන් ගත්ත එක . මොන්ටිසෝරි යන්නත් කලිත් තමයි මම ස්ර්පිනාවකට අත තිබ්බේ . ඒ පුංචි මාව ඉස්කෝලෙට එක්ක ගිය නිසා . එදා මට සර්පිනාවේ යතුරු පුවරුවට අත තියවපු සංගීත මිස් අදත් මාව දැක්කම අතීතය මතක් කරනවා බට්ටා කාලේ සර්පිනා ගැහුවා මතකද කියලා .

ඒ කාලෙම පුංචි දුරස්ථ ගුරු පුහුණුවකට ගියා . ඒ පුහුණුවේදී එයාට ලැබුණු මොඩියුල් සෙට් එකේ මම ඇඳපු කුරුටුබලි බල බල පුංචි අදටත් හිනා වෙනවා . මාව එක වසරේ ඉඳලා පහ වසර වෙනකල් ඉස්කෝලේ එක්ක ගියේ පුංචි . ඒ නිසා මමත් ඒ ඉස්කෝලේ රජ පාට් එක දාගෙන හිටියා . මම තුන වසරේ ඉන්න කාලේ පුංචිට ඇඹිලිපිටිය පැත්තේ ඉස්කෝලෙකට මාරුවීමක් ආවා . එයා ඒ මාරුවීම කැන්සල් කරගත්තේ මාව තනියම ඉස්කෝලේ දාලා යන්න බෑ කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කියලා . මට මතකයි එයා මාව දාලා යන්න බෑ කියලා ඒ කාලේ ඇඬුවත් එක්ක .





හයවසරේ මම ශිෂ්‍යත්වේ පාස් වෙලා සීවලියට ගියාට පස්සේ පුංචිට වෙන ඉස්කෝලෙකට මාරුවීමක් ආවා . එයත් ඒක හදාගන්නේ නැතුව යන්න ගියා . ඒක දුෂ්කර පාසලක් . දුප්පත් ළමයි හිටියේ ඒ ඉස්කෝලේ . සතියේ දවස් දෙකක් එයා ඒ ඉස්කෝලේ හවස පංති කරා . ඒ පංතියේ ප්‍රතිපල විදියට උසස්පෙළ විද්‍යා විෂය, ගණිත විෂය , කළා විෂය හදාරන්න නගරයේ පාසැල් වලට ළමයි කීප දෙනෙක්ම ආවා . කවදාවත් ඒ පංති වලට පුංචි සල්ලි ගත්තේ නෑ ඒ ළමයින්ගෙන් . ඒ නිසා ඒ ගමේ අය පුංචිට ගොඩක් සැලකුවා . තමන්ගේ ළමයින්ට නොමිලේ උගන්වන එක ඒ දුප්පත් මිනිස්සුන්ට ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති .

ඊට පස්සේ පුංචි ආවේ රත්නපුර සුමනසමන් මහා විද්‍යාලයට . ඒ ඉස්කෝලෙත් පුංචි නොමිලේ පංතිය දිගටම කලා . පුංචි අධ්‍යාපනවේදී උපාධියක් හැදෑරුවා . ඒකට එයා කරේ ළමයින්ගේ මානසික ගැටළු ගැන කරපු පර්යේෂණයක් . ඒ නිසාම පුංචිට මේ ඉස්කෝලෙත් කලින් හිටපු ඉස්කෝලෙත් විනය භාර ආචාර්යවරිය විදියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා . ඒ පර්යේෂණය කරන කාලේ මමත් ඒ ළමයි ලියලා දුන්නු කොළ කියවලා බැලුවා . සමහර ළමයි තමන්ගේ තාත්තා බීලා ඇවිත් කරන ඒවා , ඒවා නිසා ළමයින්ගේ හිතට හිතෙන ඒවා අව්‍යාජ හැගීමෙන් ලියලා තිබුණා .





පුංචි ඒ මොන තනතුර ලැබුනත් ළමයින්ට ගොඩක් ආදරෙන් සැලකුවා . සමහර දවසට කන්න ගෙනත් නැති දුප්පත් ළමයින්ට එයාගේ බත් එකත් දීලා කැන්ටිමෙන් තව මොනවාහරිත් අරන් දෙනවා . මගේ අඳින්න මදි නිසා අයින් කරපු පාසැල් නිල ඇඳුම් ඒ ළමයින්ට ගිහින් දුන්නා . සපත්තු සෙරෙප්පු පොත්පත් පවා ගිහින් දුන්නා . පුංචි ළමයින්ට කෝටුපාරත් මදි නොකියන්න දුන්නා කියලා මම දන්නවා . හැබැයි ළමයි ඒවට කවදාවත් පුංචිට දොස් කියලා නෑ .

ගොඩක් අය කියනවා වයලීනොට පුංචි පාඩම් කරන්න කියලා වද කරනවා ඇති කියලා . මට කිසිම දවසක එයා අධ්‍යාපන පීඩනයක් ඇතිකළේ නෑ . එකම එක බලාපොරොත්තුවක් දුන්න මතකයි . ඒ සාපෙළ ගණිතය විෂයට A සමාර්තයක් ගන්න කියන එක . එයා කිය කිය හිටියේ ගෙදර ළමයට ගණන් වලට A එකක් නැත්නම් මට ඉස්කෝලේ ගමන නවත්තන්න වෙනවා කියලා . හැබැයි ඒක කිව්වේ විහිළුවෙන් වගේ . ඒත් කතාව ඇත්ත නිසා මම ඒ දේ කළා . මම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච වෙලාවේ මට මතකයි පුංචි මාව හොයාගෙන පන්තියට ඇවිත් මගෙ ඔලුව අතගාලා හිනා උනා .

පුංචි දෙමල භාෂාව හදාරලා ටික කාලයක් ඉස්කෝලේ ළමයින්ට දෙමළත් ඉගැන්නුවා . ඔය අතරේ නිකමට වගේ ලිව්ව විදුහල්පති විභාගයෙන් පුංචි සමත් උනා . ඒත් විදුහල්පති කෙනෙක් උනාම ළමයින්ගෙන් සහ පේපර් මාකින්ග් වලින් ගන්න තියෙන අත්දැකීම් වලින් ඈත් වෙන්න වෙනවා කියලා විදුහල්පති සම්මුඛ පරීක්ෂණයේදී තමන්ට ලැබෙන තනතුර ප්‍රතික්ෂේප කළා . ඊට පස්සේ දිගටම පුංචි ඉස්කෝලේ විනය භාර ආචාර්යවරිය විදියට කටයුතු කළා .





පුංචි මට අම්මා කෙනෙක් විදියට නොකළේ ලේ කිරි කරලා පොවපු එක විතරයි . ඒ නිසා පසුගිය දහවෙනිදා , ඒ කියන්නේ ජුනි දහවෙනිදා සිදුවුණ පුංචිඅම්මගේ විශ්‍රාම යාම හිතට දුකක් ගේන එකක් නෑ කියලා කලින් හිතාගෙන හිටියට අද ගෙදර ආවට පස්සේ පුංචිට ලැබුණ සමරු තිළිණ වල ළමයි ලියලා තියෙන ඒවා දැක්කම හිතට තද දුකක් අරගෙන ආවා .

පුංචිත් හිතේ තදකරගෙන උන්නට ඉස්කෝලේ ළමයි එක්ක ගෙවන ජීවිතෙන් ඈත් උනාම පාළුවක් දැනෙනවා ඇති . පොඩිකාලේ මාවත් අතින් අල්ලාගෙන අවුරුදු පහක් ඉස්කෝලේ එක්ක ගිය , එක්ක ආව හැටි මතක් වෙනකොට ඒ කාලෙම ජීවත් වෙන්න තිබුණානම් හොඳයි කියලා මටත් හිතෙනවා . මම ඒ කාලේ පංතියේ ළමයි එක්ක ගහගත්තම ඒවා බේරන්න සමහර වෙලාවට පුන්චිටත් එන්න උනා . වැඩිපුර මතක් කරනකොට ලියන්න ඉන්න ගීතයෙන් හිත වෙන පැත්තකට යනවා .

පුංචි ඉස්කෝලේ විනය භාර ආචාර්යවරිය විදියට කටයුතු කරන කාලේ ළමයින්ගේ ලවු ලේටර්ස් , අරව මේවා ගොඩයි ඉතින් ගෙදර . ඔව්වා සමහර වෙලාවට අපිට පිස්සු හිනා ඇති කළා . එක දවසක් ළමයෙක් ලිව්ව ලියුමක් පුංචි ගන්න කලින් ඒ ළමයා ඉරලා . පස්සේ පුංචි කියල ඒ කෑලි ටික එකතු කරන්න කියලා . ඒ කෑලි ටික ගෙදර ගෙනාවට පස්සේ වයලීනොගේ නොමද සහය මධ්‍යයේ තමා ඒක නැවත ගොඩනගල ලියුම සම්පූර්ණ කරලා කියෝ ගත්තේ . පුංචි හම්බ වෙන්න ළමයින්ගේ අම්මලා තාත්තලා වැඩි හරියක් ඉස්කෝලේ ආවා ගියා ළමයින්ගේ ප්‍රශ්න කතා කරන්න . ඉතින් මේ ඔක්කොම ගෙදර ඇවිත් කියනකොට මේ ගීතයත් මේ වගේ ගුරුවරයෙක් කියන ගීතයක් නෙවෙයිද කියලා මට නිකමට හිතුනා . ඔන්න අහන්නකො ගීතය .





අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා

සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා


ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය – රෝහණ විරසිංහ
ගී පද – රත්න ශ්‍රී විජේසිංහ


මේ ගීතය ගැන ගීත රචකයා කියන අර්ථයට වඩා වෙනස් අර්ථයක් මම දෙන්න හදන්නේ . ඒකත් සාධාරණයි කියලා කියන්න කරුණු කාරණා කීපයක්ම තියෙන නිසා මම හිතනවා ඒ අර්ථය හොඳට ගැළපෙයි කියලා .






අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා

මේක නගරයෙන් ටිකක් පිටත තියෙන ගමක ඉස්කෝලයක සිසුවියක් වටා ගොඩනැගුණු කතාවක් . මේ සිසුවිය හොඳට ඉගෙනගන්න පුළුවන් හැකියාවක් තියෙන සිසුවියක් . ඒත් කාලයත් එක්ක ප්‍රේමය කියන දේ හිතට දැනුනම අධ්‍යාපන කටයුතු ටිකක් අතපසු වෙනවා . එහෙම එහෙම ගිහිල්ලා දැන් ඉස්කෝලේ වාර විභාග වලටත් ලකුණු අඩුයි . පස්සේ ගුරුවරු මේ සිසුවියට අවවාද කරනවා අධ්‍යාපන කටයුතු හොඳට කරන්න කියලා. ඒත් ඒ වෙනකල් ගුරුවරු දන්නේ නෑ මේ සිසුවිය තමන්ට වඩා තරමක් වයසින් මුහුකුරාගිය පෙම්වතෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන තියෙනවා කියලා .

දවසක් ඔන්න ඉස්කෝලේ ඇරිලා පාසලේ විනය භාර ආචාර්යවරයා තමන්ගේ වැඩකටයුතු අවසන් කරලා නිවස බලා නික්මෙනවා . දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට පාසලේ විනයභාර ගුරුවරයා උදෙන්ම පාසලට එන්න ඕන වගේම අන්තිමටම තමයි පාසලෙන් පිටවෙන්න ඕන . ඉතින් හවස් වෙලා තමයි මේ ගුරුවරයාත් පාසලෙන් පිටත් වෙන්නේ .

මේ ගුරුවරයාගේ නිවස තියෙන්නේ නගරයෙන් වෙනත් පැත්තක . ඒ කියන්නේ ඉස්කෝලේ ඉඳලා බස් එකක නගරයට ඇවිත් ආයෙත් වෙන බස් එකක තමයි නිවස බලා ගමන් කරන්නේ . ඉතින් ඔන්න මේ ගුරුවරයා දැන් නගරයට ආවා . ඇවිත් ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම එව්වා මෙව්වා ටිකකුත් අරගෙන බස් එකක නගින්න බස් හෝල්ට් එකේ ඉන්නකොට ඈතින් පේනවා මෝටර් සයිකලයක නැගලා එන තමන් දන්නා කියන කෙනෙක්ගේ මූණක් . අර මම කලින් කිව්ව සිසුවිය තමන්ගේ ප්‍රේමවන්තයා එක්ක මෝටසයිකලේ රුං ගාලා එනවා . ප්‍රේමවන්තිය දැකලා මේ ගුරුවරයා තමන්ගේ හිතෙන්ම ප්‍රශ්න කරනවා මෙන්න මෙහෙම . අජානේය ඉස්කුටර තුරඟා පිට වඩිනා , කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතනා කියලා . මේ කුමාරිය මොටසයිකලේ ගමන් කරන්නේ පෙම්වතාගේ උරහිස බදාගෙන ටිකක් උඩට ඉස්සිලා . සමහරවිට වටපිට බලන්න ඇති කවුද ඉන්නේ කියලා . දැක්කොත් මාට්ටු වෙන නිසා . ඒක තමයි කියන්නේ බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා කියලා . ඒත් මේ ගුරුවරයාට පේනවා ප්‍රේමවන්තයාගේ මුහුණේ තියෙන සංකර පෙනුම . ඒ නිසා ගුරුවරයා හිතනවා මේ දැරිවියට මේ ප්‍රේමවන්තයා ඇත්තටම ආදරය කරනවද නැත්නම් මේක රවටා ගැනීමක්ද දන්නේ නෑ කියලා . ඒ නිසා ගුරුවරයා හිතනවා , අර වගේ ඉස්සිලා බලන විදියට ඔබගේ , අධ්‍යාපනය , චරිතය , අනාගත බලාපොරොත්තු නමැති කිරුල බිම වැටිලා සුනු විසුනු වෙලා යයිද කියලා හිතුනා කියලා .






සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා


ගුරුවරයාට තවදුරටත් ඉගෙන ගන්න ආසාව තිබුනට යම් යම් හේතු නිසා තමන්ගේ අධ්‍යාපනය ගුරු පදවියක් ඇතුලේ නතරකරන්න සිදු වෙනවා . ඒ නිසා මේ ගුරුවරයා හිතනවා සූසැට ශිල්පය උගෙනා පාර ගතව ගියෙනා කියලා . ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ තවදුරටත් ඉගෙන ගන්න තියෙන පාරවල් වැහිලා ගියා කියලා . ඒ නිසා මේ ගුරුවරයාට ලැබෙනවා ගුරු පත්වීමක් . ඒ ගුරුපත්වීම නිසා ගොඩක් ළමයින්ගේ අධ්‍යාපන මාවත හෙළි පෙහෙළි කරන්න හැකියාව ලැබෙනවා . ඒ කියන්නේ පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා කියලා . මේ පාර තමයි අධ්‍යාපන මාවත . ඒ මාවත හෙළි පෙහෙළි කරන්න ගුරු වෘත්තීය නමැති උදැල්ල මේ ගුරුවරයාටත් ලැබිලා තියෙනවා . ඉතින් මේ ගුරුවරයා තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් කැප කරලා දරුවන්ට ඉගෙන ගන්න උවමනා දේවල් කරනවා .

දැන් ඔන්න අර ප්‍රේමවන්තිය මේ ගුරුවරයා ඉස්සරහින් යනකොට එකපාරටම දකිනවා තමන්ගේ ඉස්කෝලේ විනය භාර ගුරුවරයා බස් හෝල්ට් එකේ ඉන්නවා . ඉතින් ලැජ්ජාවටයි බයටයි දෙකටම හරියන්න මේ සිසුවිය තමන්ගේ ලේන්සුවෙන් මුණ වහගන්නවා . ගුරුවරයා හිතනවා දරුවන්ට උගන්වන්න කරන තමන්ගේ මහන්සිය මේ සිසුවියට තේරෙන්නේ නැහැ . ඒ නිසා ඒ හැම දෙයක්ම ලේන්සු පටින් වහගෙන හිනාවෙන් යටපත් කරලා දැම්මා කියලා .






සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා


ඉස්කෝලවල විනය භාර ගුරුවරු ගොඩක් වෙලාවට නඩු විසඳීම් වලදී කරන්නේ තමන්ගේ සිසු සිසුවියන්ගේ ප්‍රේම සම්බන්ධතා පලහිලවූ විසඳලා ඒ දෙදෙනා ආයෙත් අධ්‍යාපන මාවතට ඇදලා දාන එක තමයි . අපේ ඉස්කෝලෙත් එහෙම ඒවා උනා නේද සිංදුවො ? හඃ හඃ හඃ හඃ ...... ඒත් මේ ගුරුවරු කවදාවත් කියන්නේ නෑ කසාද බඳින්නේ නැතිව ආදරය කරන්නේ නැතිව ඉන්න කියලා . එයාලා කියන්නේ හරි කාලේ ආවම ඒ දේවල් කරන්න කියලා . ඒත් අවුල තියෙන්නේ ඕක කොච්චර කිව්වත් අත්දැකීමෙන් ඉගෙනගන්න කල් තේරුම් යන්නේ නැති එක තමයි . මට හොඳට මතකයි අපේ ඉස්කෝලේ එක ගුරුවරියක් අපිට හැමවෙලේම වගේ අවවාද කරනවා දැන්ම හදිස්සි වෙන්නේ නැතිව හොඳ කෙනෙක් හොයාගන්න , තමන්ට ගැලපෙන තමන්ගේ අදහස් වලට ගැලපෙන කෙනෙක් හොයාගන්න කියලා . 

අවසානයේ මේ ගුරුවරයාත් තනියමම හැගීම්බර වෙනවා මේ සිදුවීම හරහා දීර්ඝව හිතලා . සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා උදුම්බරා මලක් තියේ ආදරයයි කියෙනා . පෙම්වතුන්ට තමන්ගේ ප්‍රේමවන්තිය සුවඳ විහිදුවන උදුම්බරා මලක් . ආදරයත් ඒවගේ උදුම්බරා මලක් . මේ මල් රෑ කාලයේ සුවඳ එකතු කරලා එකතු කරලා උදේ කාලයේ ලොවටම සුවඳ විහිදවනවා . 

ඉතින් මේ ගුරුවරයා ප්‍රාර්ථනා කරනවා , අධ්‍යාපනය , අත්දැකීම් , හොඳ නරක , හොඳ සමාජ වටපිටාව කියන සුවඳ ගොඩාක් එකතු කරගෙන අවසානයේ ඒ සුවඳ ලෝකයටම බෙදා හරින්න පුළුවන් මල් ගොන්නක් මේ සිසුවියටත් පිපෙන්න කියලා . 






ගුරුවරුන් සමහර වෙලාවට යක්කු වගේ හැසිරුනාට ඒ අයටත් හදවතක් තියෙනවා කියලා මේවා කියවන ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා හිතේ තියාගන්න ඕන . කවදාවත් ඒ අය සිසු සිසුවියන්ට වෛයිර කරන්නේ නෑ . කොච්චර ගැහුවත් බැන්නත් ඒ අය සිසු සිසුවියන්ට තමන්ගේ ළමයින්ට වගේ ආදරෙයි . අපේ පුංචිගේ චරිතයෙන් මම හොඳට ඒ දේ දැකලා තියෙනවා . ලෙඩකටවත් නිවාඩු ගන්නේ නැත්තේ ඒ ළමයින්ට මොනවා හරි උගන්වන කාලය ඒ නිසා නැති වෙන නිසා කියලා පුංචි හැමවෙලේම කියනවා . අනික එහෙම ඉස්කෝලේ ගියේ නැත්නම් ඒ පීරියඩ් එකේ ළමයි වෙන වෙන ඒවා කරලා අන්තිමට නඩු කෝටියක් අනිත් දවසේ විසඳන්න වෙනවා කියලාත් පුංචි කියනවා . අඩුම වැටුපක් ලබන ඒත් ලෝකයේ උතුම්ම රැකියාව තමයි ගුරු වෘත්තීය . ගුරුවරයෙක් කාලයත් එක්ක එකතු කරගන්නා අත්දැකීම් තමයි අවසානයේ තමන්ගේ සිසු සිසුවියන්ගේ චරිත තුලට ඇතුල් කරන්නේ . 

මේ ගීතයේ ඇත්ත තේරුම කියලා කියන්නේ වෙනත් තේරුමක් . ඒක ආයෙත් වෙනත් ලිපියකින් මම අරගෙන එන්නම් . අපි දැන් බලමු මේ ගීතයේ සංගීතය කොහොමද යෙදිලා තියෙන්නේ කියලා . හැබැයි වැඩි දෙයක් කියන්න නම් නැහැ .

මේ ගීතයට වැඩිපුරම බටහිර සංගීත භාන්ඩ තමයි භාවිතා කරලා තියෙන්නේ . මේ ගීතයේ පෙර වාදන අතුරු වාදන දෙකටම වාදනය කරන්නේ එකම වාදනය . පෙර වාදනයේ මුලින්ම වාදනය කරන වාදන කොටස ඉලෙක්ට්‍රික් කීබෝඩ් එකකින් වාදනය කරනේ . ඒ වාදන කොටසින් ඇති කරන්නේ නාගරික පසුබිමක් . ඒ වගේම අජානේය ඉස්කුටරයේ සද්දය වගේ එකකුත් ඇහෙනවා නේද ? . වාදන කණ්ඩයේ අන්තිම කොටසේ වාදනය කරන වාදනය ගේන්නේ නාගරික සංකර සමාජයේ බියජනක බව ඇතිකරවන හැගීමක් . 

මේ වාදන කොටසේ තාල වාදනය කරන්නේ ඔක්ටර් පෑඩ් , එකොස්ටික් ඩ්‍රම් එකක් සහ බේස් ගිටාර් එකක් . 





චිචි චික් 
චිචි චික් 

කියලා දිගටම වාදනය කෙරෙනවා හයි හැට් එකක් . 

දැන් ඔන්න වාදන කොටස ඉවරයි . දැන් ගීතය පටන් ගන්නවා . මේ ගීතය පටන් ගන්න කොටසට තාල වාදනය කරන්නේ ඩොල්කියක් . මේ ඩොල්කිය වාදනය කරන නිසා මේ ගීතයේ වාදනයේ තියෙන ගැඹුරු බව ටිකක් අඩු කරලා සාමාන්‍ය බවක් මේ ගීතයට ගෙනත් දීලා තියෙනවා . ගීතයේ ස්ථායි කොටසේ වාදනය කරන කවුන්ටර් පාට් වාදනය කරන්නේ ඕගන් එකකින් . ඕගන් එකක තියෙන සර්පිනා හඬ තමයි භාවිතා කරලා තියෙන්නේ ඒ වාදන කණ්ඩ වාදනය කරන්න . 

ගීතයේ අන්තරා කොටස්වලට සංගීතය අතින් වැඩි යමක් එකතුකරලා නෑ . ඒත් පොඩි පොඩි බිට්ස් පාට් ටිකක් මේ ඕගන් එකෙන් වාදනය කෙරෙනවා . 

මේ ගීතය සරලයි . ඒත් අර්ථය ටිකක් බරපතලයි කියලා හිතෙනවා . ඒ බරපතල අර්ථය සරල කරන්න සංගීතය උදවු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා . එහෙනම් ඔහොම තමයි මට මේ ගීතය ගැන හිතෙන්නේ . ආයෙත් ලියන්නම්කො මේ ගීතයේ සත්‍ය තේරුම . මේ ලිපිය වැඩිපුරම ලියන්න අදහස් කලේ පුංචිට නිදුක් නිරෝගී විශ්‍රාම ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න එක්ක . එහෙනම් 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

23 comments :

  1. උත්සාහය නම් හොඳයි
    ඒත් මුල් පබැඳුමේම තියන 'පාරගත' කියන යෙදුම එතැනට යෙදීම අමනයි කියල හිතනව
    බොහෝ වටිනා අර්ථයක් ඇති ඒ පදය 'පාර - ගත' යන්න වෙනුවෙන් යොදාගැනීම රත්නශ්‍රීගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම්
    අවශ්‍යනම් 'වීදි ගතව ගියෙනා' කියලා යොදන්න තිබුණා.

    [අනුසොත සූත්‍රය: යමක්හු විසින් කුශලාකුශලධර්‍මයෝ නුවණින් වැදගෙණ නසන ලද්දාහු, අස්තඞ්ගත වූවාහු, විද්‍යමාන නොවෙත් ද, වැස නිම කළ බඹසර ඇති තුන්ලෝ කෙළපත් සිවුමග නුවණින් නිවන් ගියා වූ ඒ ආර්‍ය්‍යශ්‍රාවක තෙම පාරගතයී කියනු ලැබේ.]

    ReplyDelete
    Replies
    1. පාර ගතව කියන්නේ නිකන් කාලය ගතව ගියා වගේ නැත්නම් පාර අවසන් උනා වගේ කියලා වෙන්න බැරිද . මට මතකයි දවසක් රත්නශ්‍රී මහත්මයා මේ ගීතයේ තේරුමට එහෙම දෙයක් ගැන රූවාහිනී වැඩසටහනක කිව්වා . තව මේ ගීතය ගැන ලියලා තිබ්බ තැන් කීපයකත් ඒක ගැන එහෙම සඳහන් වෙලා තිබුණා . ඒකයි මමත් එහෙමම ලියලා දැම්මේ . මම තව ටිකක් මේ වචනය ගැන හොයලා බලන්නම් එහෙනම් :)

      බොහොම ස්තූති :) g-) g-) g-) g-)

      Delete
    2. එතෙර වූ, පරතෙරට ගිය, කියන අරුතුත් මේ පදයේ තියනවා.
      ඒත් එතකොට "සූ සැට ශිල්පය උගෙනා - පාරගතව ගියෙනා" කිව්වහම අවුල්නේ.
      එහෙමනම් "සූ සැට ශිල්පයෙන් පාරගතව ගියා" වෙන්න ඕනේ
      එහෙම වියත් අරුතකින් එක පාරටම ඊලඟ පදේදී "පාරේ වැඩට උදව් වෙන්න උදැල්ල මට ලැබුණා" කීම හරිම අවියත්
      මේ එළියට පනින්නේ 'ඉගෙන ගත්තට ගැලපෙන රස්සාවක් නෑ' කියන සුලභ උද්ඝෝෂණය...
      සූ සැට ශිල්පයෙහි කෙළ පැමිණියෙක් පාරේ උදලු ගානවා කියන්නේ අමුම අමු මවාපෑමක්
      හිත්වල ඇති උද්ඝෝෂණ පාඨ සින්දු වලට වමාරන්න ගියහම මෙහෙම අවියත් යෙදුම් යෙදෙනවා
      ඒ ඔක්කොමත් පැත්තක තියලා 'වහරනු සෙරෙන් සපයා' කියන සිදත් සඟරා පාඨය ගත්තත් එදිනෙදා භාවිතයේදී 'පාරගතෝ බල විරිය සමංගී' ඇසුරෙන් සාමාන්‍ය මිනිස්සු දන්නේ වෙනස් අරුතක් - ඒවත් සලකා බලන්න ඕනේ මෙච්චර දැනුවත් ගී රචකයෙක්

      Delete
    3. ඔව් ඔව් . අයිය කියන කතාව ඇත්ත තමයි . මමත් පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවා . ගීතයේ ඇත්ත තේරුමත් එක්ක ඒවා ලියලා ගලපලා බලමු . බොහොම ස්තූති :) :)

      Delete
    4. පාරගත කියන වචනයේ තේරුම හරියටම දැනගෙන හිටියේ නැහැ. නමුත් යම් කිසි දෙයක් සම්බන්ධයෙන් පරතෙරට යාමක්, යම් තත්වයක් ලබා ගැනීමක් ඇඟවෙනවා කියලා තමයි හිතුණේ. සමහර විට තිස්ස කියන තේරුම වගේම ඊට වඩා සරල මට්ටමේ තේරුමකුත් මේ පදයට තියනවද කියලා මම දන්නේ නෑ. මොකද රත්න ශ්‍රී තමන්ගේ පද රචනා වල යෙදුම් පැහැදිලි කරන විදිහට මට හිතෙන්නේ යම් කිසි පදනමක්, අවබෝධයක් නැතුව ඔහු ඒක භාවිතා කරන්න තියන ඉඩකඩ අවමයි කියලා.

      මගේ හැඟීම වුණෙත් රත්න ශ්‍රී මෙතනදි 'පාරගත' කියන වචනයේ තේරුම සමගම 'පාර-ගත' කියන යෙදුමේ හාස්‍යයත් දෙකම යෙදෙන විදිහට පාවිච්චි කරලා කියලා. මවා පෑමක් බව ඇත්ත වුණත්, එක් තලයකදි ඒ විදිහේ අතිශෝක්තියෙන් යෙදුම් පාවිච්චි කිරීම ලොකු අවුලක් කියලා මට හිතෙන්නේ නෑ.

      Delete
    5. උගෙනා = උගෙන + ආ ,
      උගෙ න් + (අ) + ආ
      උගෙනා

      ඒ කියන්නේ ඉගෙන ගෙන ආව කියන එක කියලයි මම හිතුවේ . පාරගතව ගියෙනා කියන එක ඒකත් එක්ක ගැලපෙන්නේ මාර්ගය අවසාන උනා කියලා . පාලි වලින් පාරගතෝ කිව්වම ඉතින් කෙල පැමිණියා වගේ තමයි . :) . හැබැයි උගෙනා කිව්වම ඉගෙන ගෙන පරතෙරට ගිහින් කියලත් හිතන්න පුළුවන් තමයි .

      බොහොම ස්තූති තිසර අයියා :) g-) g-)

      Delete
    6. ස්තූතියි තිසර
      මෙහෙම සංවාදයක් වුණහම තමා ලිපියට එළියක් එන්නෙත් කියවන කෙනාට ඔබේත්, මගේත්, ඔහුගේත් දැක්මවල් වලින් හොඳ විමසුමකට මග පාදන්නේ උනන්දුවක් ඇත්නම්.
      ගීයේ රසවින්දයට මට ඒ කොටස බාධාවක් වෙන නිසයි මගේ අදහස කීවේ..


      පොඩි අන්තවාදී උදාහරණයක් දෙන්නම් :-)
      "ආලයවන් මනරම් කවිකම් දෙන සිතුමිණ පොද විස්කම්
      හදවත් වී සමහම් නිගැයුම් කර සයිමා කට්වෙලා.....!"
      වගේ තට්ටුවක් පහලට වැටෙන ගතියක් දැනුනා

      "සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා" - සූ සැට | උගෙනා | පාරගතව | ගියෙනා - හොඳ ගායනීය යෙදුම්
      "පාරෙ වැඩට උදව් වෙන්න උදැල්ල මට ලැබුණා" - ඉහල පදයත් එක්ක ගත්තම මහ අජූව ගතියක් දැනුනා මට

      ඉතින් මොක වුණත් මේ මට දැනුන හැටි :-)

      Delete
    7. මම මේක සමන් චන්ද්‍ර රණසිංහ මහත්මයාගෙන් අහලා කියන්නම්කො බලන්න . හබැයි සති දෙකක් තුනක් යයි . :)

      Delete
  2. හොද පොස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූති :) g-) g-)

      Delete
  3. ඒකත් එහෙමද. වයාගෙ පුංචිගෙ ස්ටෝරිය කියවද්දි නං ඇත්තටම යම් යම් දේ ගැන හිතන්න වුණා. මොකද මොනම හෙතුවක් හනද හරි අපි ටීචර් ල ට එක එක ආදේශ නම් දාල කාඩ් ගහනව නෙව. හුගක් වෙලාවට එහෙම කරන්නෙ අදාල ගුරුවරයා හෝ වරිය ගෙ චරිත ලක්ෂන අනුව. ඉතිං ඒක එ තරං සාධාරණ නෑ නේද හිතුණ

    ඔර්ජිනල් විචාරෙත් ඇන්න එන්ටකො හෙනං

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම අනිත් තේරුම ලියන්නම්කො . බොහොම ස්තූති . අපිත් හැබැයි එහෙම නම් දැම්ම ඒ කාලේ :) :) :)

      Delete
  4. මම කැමතිම ගීතයක්. ඉස්සර නිකම් ඇහෙනවට ඇහුවට පහු කාලෙක තේරුම ගැන ටිකක් අවධානය යොමු උනා. මේක විවිධ විදියට අර්ථකථනය කරන්න පුළුවන්. මේකත් නරකම න ඉතින්. ;)

    ජයවේවා.....!!!

    ReplyDelete
    Replies
    1. :o කවුද යකෝ මේ . අදමයි දැක්කේ දැනට අවුරුදු දහස් ගානකට කලින් දැක්කට පස්සේ :p :p :p :p
      එල එල . තව එකක් තියෙනවා. ඒකත් ලියලා බලමු මොකද වෙන්නේ කියලා .
      බොහොම ස්තූති g-) g-) g-)

      Delete
  5. සටහන: මෙය පැරණි සිංහල ගී රසික හවුලේ දී කෙරුණු සාකච්ඡාවක සාරාංශයකි. සාකච්ඡාවට තොරතුරු සැපයූ අය ඉසුරු උපනාද, අරුණ රණවක, රවිඳු නුවන්, තනුජා විදානපතිරණ, උපුල් හේවා, දීප්ත විමලරත්න, උපුල් හේවා, දිනාලි පෙරේරා, ජනක බොරලැස්ස යන අය ඇතුළත්.

    රත්න ශ්‍රී ට අජානීය ස්කූටර් තුරඟා ගීතය රචනය කිරීමට වස්තු බීජය වූයේ 80 දශකයේ මුල බාගයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගනුම ලබා පළමු පෙළ සාමාර්ථයක් ලබා ඉහළින් ම සමත් වූ රත්න ශ්‍රී ගේ සමකාලීනයෙකුගේ අත්දැකීමකි. ඔහු එතරම් ඉහළින් විභාග සමත් වී උපාධිය ලබා ගත්තත් ඔහුට හරිහමං රැකියාවක් නො ලැබුණු හෙයින් මහාමාර්ග දෙපාර්තමේන්තුවේ අනියම් කම්කරුවකු ලෙස සේවය කිරීමට සිදු විය. දිනක් පාරේ වැඩ කරමින් සිටි ඔහුට තම පැරණි පෙම්වතිය ඇගේ සැමියා හෝ පෙම්වතා යැයි සිතිය හැකි පිරිමියකු සමග ට්‍රේල් බයික් එකක නැගී ඔහු පසු කර යනවා පෙනුණි. උපාධිධාරී අනියම් කම්කරු තරුණයාගේ සිතට එන සිතිවිල්ලක් ලෙස මෙම ගීතය රචනා වී ඇත.

    නමුත් මෙම සිදුවීම හා සමාන සිදුවීම් දෙකක් අන්තර්ගත වන කතාවක් රත්න ශ්‍රී මේ ගීතයේ පසුබිම ලෙස යොදා ගෙන ඇත. එය නම් කුරුණෑගල යුගයේ දී, වීරසිංහ ප්‍රතිරාජ නම් අමාත්‍යවරයා ලියූ දිගම ජාතක කතාව වන උම්මග්ග ජාතකයේ අතුරු කතාවක් වන සිරි කාලකන්ණි ප්‍රශ්නයයි. මෙම කතාව රතන ශ්‍රී කෙටියෙන් පවසන පරිදි, මියුළු නුවර වැසි පිංගුත්තර නම් මානවකයා දිසා පාමොක් ඇදුරුතුමාගෙන් ශිල්ප උගෙන හොඳම ශිෂ්‍යයා වූ හෙයින් ඇදුරුතුමාගේ දියණිය ද සරණ පාවා දුනි. නමුත් ඔහුට ඇයව රිසි නොවූ අතර අයගෙන් මිදීමට කල් යල් බලමින් සිටියේය. අලුත බැඳපු මනාලියත් සමග පිංගුත්තර තරුණයා ගමට යන අතර දිඹුල් හෙවත් අත්තික්කා ගහක් හමු විය. ඔහු ගසට නැගී අත්තික්කා තනිවම කෑ නමුත් බිරිඳට නොදුනි. ඇය ඉල්ලූ විට තනිව ගෙඩි කඩා ගෙන කෑමට අත් පා නැත්ද යනුවෙන් විමසූ විට ඇයත් ගසට නැග දිඹුල් ගෙඩි බුදීමට පටන් ගති. එවිට පිංගුත්තර ගසින් බිමට බැස ගස මුල කටු දමා මේ කාලකන්ණි ස්ත්‍රියගෙන් මිදෙමැයි කියා පලා ගියා. වේදේහ රජු ඇයව දැක බිසව කර ගන්නා අතර උදුම්බරා ගසක් මත සිටියදී හමුවූ බැවින් ඇය උදුම්බරා දේවිය ලෙස නම් ලබනවා. දිනක් රජු බිසව සමග වීදි සංචාරය කරන විට අසල කුඹුරක වැඩ කරන ගොවියකු දැක ඇය සිනහ පහළ කරනවා. රජු කෝප වී ඒ ගැන විමසූ විට ඒ මගේ කලින් පුරුෂයා යයි පවසා කතාව කියනවා. රජු මෙය විශ්වාස නො කර මෙවන් රූමත් කතක් හැර යන පිරිමියෙක් ඇත්ද කියා සේනක, පුක්කුස ආදී පඬිවරු හතර දෙනාට විසඳීමට බාර දෙනවා. ඔවුන් උදුම්බරා දේවියගේ කතාව පිළිනොගත හැකි බව කීවත් මහෞෂධ පඬිතුමා ඉදිරිපත් වී ශ්‍රියා කාන්තාව හා කාලකන්නියකු නොගැළපීමට පුළුවන් බව පෙන්වා දෙනවා.

    රත්න ශ්‍රී ගේ ගීයට පාදක වූ තරුණයා සහ පිංගුත්තර අතර තිබූ මූලික ම සමානතාව නම් ඔවුන් දෙදෙනා ම ඇති විශිෂ්ට ලෙස ශිල්ප හදාරා නිම කළත් ඉගෙනීමට සුදුසු රැකියාවක් නොමැතිව කම්කරු වෘත්තියේ යෙදීමට සිදු වීමයි. මෙම දෙදෙනා අතර තිබූ අනික් සමානත්වය නම් ඔවුන්ගේ පැරණි පෙම්වතිය සිය කලත්‍රයා සමග ට්‍රේල් බයික් එකක හෝ අත් පිට පැමිණ ඔවුන් දහඩිය හෙළමින් වැඩ කරන තැන පසු කර ගියා පමණක් නොව ඔලොක්කු සිනාවක් ද පහළ කරමින් යාමය.

    උදුම්බරාව හැර ගියේ පිංගුත්තර විසින් වීම, කැලණි උපාධිධාරියා හැර යන්නට ඇත්තේ ඔහුගේ පෙම්වතිය යන්න අනුමාන කළ හැකි වීම, වැනි මූලික වෙනස් කම් ඇතත් ඉහත කී සමානත්වයන් නිසා රත්න ශ්‍රී මේ සිදු වීම සිරි කාලකන්ණි කතාව හා සසඳමින් එහි ආභාසය යම් පමණකට ගීතයට යොදා ගෙන තියෙනවා.

    ReplyDelete
  6. අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා
    කුමාරියනි වාත වේගයෙන් ඉගිළෙනු කොතැනා
    බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා
    විලාසයට නුඹේ කිරුල බිම වැටෙයි ද සිතුණා //

    රත්න ශ්‍රී ගේ කතාව අහන කම් මට “අජානීය ස්කූටර් තුරඟා” කියන වචනේ ගැන පොඩි නොගැළපිල්ලක් දැනුණා. අජානීය අශ්වයා යනු භාරතීය සාහිත්‍ය අනුව අහසින් යා හැකි උසස් කුලයක අශ්වයෙක්. [දිවයින පත්‍රයෙන් උපුටා ගැනීමක්] හෙන ගසන කල්හි තැති නොගන්නාවූ ශ්‍රේෂ්ඨ සත්ත්වයන් සිවු දෙනකු පිළිබඳ දුක නිපාතයේ පුග්ගල වග්ගයේ 6,7,8 සූත්‍රවල සඳහන් වේ. එනම් රහතන් වහන්සේ (භික්ඛු ච ඛීණාසවො), අජානේය හස්තියා (හත්‍ථාජානීයො), අජානේය අශ්වයා (අස්සාජානියො), සිවුපා රජ වූ සිංහයා ( සීහො ච මිගරාජා ) යන සිව්දෙනාය. අජානේය අශ්වයා ශක්තිමත් බල සම්පන්න සත්ත්වයෙකි. [උපුටා ගැනීම අවසන්] මේ වැනි අශ්වයන් ලෝකයේ විවිධ රටවල සාහිත්‍ය තුළ දකින්න පුළුවන්. ග්‍රීක සාහිත්‍යයේ පෙගසස් (Pegasus), බටහිර සාහිත්‍යයේ කඟවේනා (unicorn), ඉස්ලාම් ධර්මයේ එන අල්බුරාඛ් (Al-Buraq) සහ හයිසුම් (Haizum), චීන සාහිත්‍යයේ එන ටිආන්මා (Tianma) සහ කොලිමා (Chollima), තුර්කි සාහිත්‍යයේ එන ටුල්පාර් (Tulpar) මේ වගේ උදාහරණ කිහිපයක්. මට නොගැළපිල්ලක් දැනෙන්න හේතුව තමයි මේ වගේ උසස් කුලයේ උඩින් යන අශ්වයෙකුට සමාන වෙන්නේ ස්කුටරේ නො වීම. හැබැයි රත්න ශ්‍රී ම කියන විදියට ට්‍රේල් බයික් එකක් වගේ එකක් අජානීය තුරඟාට සමාන කරලා හිතේ මවා ගත්තම නම් ප්‍රශ්නය විසඳෙනවා. ඒ වගේම අහසින් ගමන් කරන තුරඟා තුළින් පොළොව මතුපිට පය නො තබා පොළවට හෝ පොදු ජනතාවට ඉහළින් ගමන් කරන බවකුත් ව්‍යංගයෙන් හැඟවෙනවා. “කුමාරියනි වාත වේගයෙන් ඉගිළෙනු කොතැනා” කියන කොටසින් රත්න ශ්‍රී වීඩියෝවේ කිව්වාට වැඩි යමක් මට හැඟුණා. ඒ තමයි ඇය ටිකක් ඉක්මන් ගමනක් යනවා වගේ නේද කියන හැඟීම. හරිහමන් රැකියාවක් නැති නමුත් ඉතා උගත් හා සංවේදී හදවතක් ඇති තම පෙම්වතා හැර දමා ට්‍රේල් බයික් එකෙන් සංකේතවත් වන භෞතික ලෝකය, (අපේ වචනයෙන් කිවුවොත් බොරු සෝභන සමාජයේ) අගයයන් වැළඳ ගෙන ඇය මේ යන්නේ ඉක්මන් ගමනක් ද? මේ සිතුවිල්ල තවත් ඉස්සරහට ගිය ගීතයේ කොටස තමයි “බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා - විලාසයට නුඹේ කිරුල බිම වැටෙයි ද සිතුණා” කියන කොටස. ඇය තම පෙම්වතාගේ සශ්‍රීකත්වයෙන් හෝ වත්මන් සමාජයේ භෞතික අගයයන් සංකේතාත්මක කරන ට්‍රේල් බයික් එකෙන් ඔද වැඩී, ඔහුගේ උරහිස ආධාරයෙන් ඇය හිටපු සමාජ තලයෙන් ඉහලට එසවිලා තමයි මේ Material World එකේ සිරිය නරඹන්නේ. හැබැයි මේ පොළවේ පය ගහලා ඉන්න (ලූෂන් බුලත්සිංහල ගේ වචන වලින් කියනවා නම් “කුරාකුහුඹු මිනිසකු” වන) ඇයගේ පැරණි පෙම්වතා ට බය හිතෙනවා වේගයෙන් යන මේ ගමනේ දී ඇයට මග වැරදී මංමුළා වෙයිවත්ද ඇයගේ මිල මුදල් සමාජ තත්ත්වය නමැති කිරුළ ඇයට අහිමි වෙයි ද කියලා. රත්න ශ්‍රී කියන්න වගේ ඔටුන්නක් වගේ හෙල්මට් එකක් දමා ගෙන බොහොම ආඩම්බරෙන් බලනව තරුණියක් අවශ්‍ය නම් හිතේ මවා ගන්නත් පුළුවන් වෙයි.

    ReplyDelete
  7. සූසැට සිල්පය උගෙනා පාර ගතව තියෙනා
    පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
    මා ගත දා බිඳු හඳුනා සදය සිනා නගනා
    ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

    “සූසැට සිල්පය උගෙනා පාර ගතව තියෙනා” කිවුවහම මට හිතුණා ද්වන්දාත්මක අරුත් දැන්වෙන ලෙස රත්න ශ්‍රී ඕනෑ කමින්ම යොදපු වචනයක් කියලා. ඔහු ඉගෙන ගන්න තියෙන ඔක්කොම දේවල් හෙවත් ශිල්ප හැට හතරම ඉගෙන ගෙන කෙළවරට ම ගොස්. පාරගත (පාලියෙන් - පාර = එතෙර හෝ අවසානය, ගත = යන, ලද, ගිය) කියන්නේ කළ යුතු වැඩ අවසන් කර, එම වැඩවල අවසානයට පත් වූ, එතෙර ගිය හෝ අවසානයට ම ගිය වැනි අර්ථයක් සපයන නිසා පරතෙරටම (පර-අනික් තෙර-ඉවුරටම) ශිල්ප ඉගෙන ගැනීම කියන එක අපි කොහොමත් දන්න අර්ථයනේ. නමුත් මීට අමතරව ඒ ශිල්පය පාරට වැටිලා එහෙමත් නැතිනම් පාර සතු (ගත) වෙලා කියලා අපිට පොඩි හින්ට් එකකුත් දෙනවා කියලයි මට හිතුණේ. “පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා” කියන කොටසේ උදැල්ල කියන තැනිනුත් පද රචකයා විසින් ඍජුව නො වුනත් ඔහුගේ සිතේ තිබූ සිහින වලට “උදැල්ල දැමීමක්” කියන එක අපේ හිතේ ඉබේටම ව්‍යංගයෙන් අඳින වද කියලා පොඩි සැකයක් ආවා. “මා ගත දා බිඳු හඳුනා සදය සිනා නගනා -ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා” කියන කොට "සදය උපහාසය" කියන යෙදුමේ එන ආකාරයට සදය සිනාවක් කියන්නේ නෝණ්ඩියට දාන හිනාවක් වෙන්න ඕන. විලවුන් ගෑ ලේන්සුව සිඹිනවා කිවුවම මට හිතට ආවේ ඇය භෞතික ලෝකයට ඇලිලා ගැලිලා, දහදිය සුවඳටත් අප්‍රිය කරන, කෘතිම විලවුන් වලින් එම “ගඳ” වසා ගන්න හදන කෙනෙක් කියලා.

    ReplyDelete
  8. සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
    උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
    රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
    කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා

    “සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා - උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා”. රත්න ශ්‍රී ගේ අජානීය ස්කූටර් ගීතයට පාදක වුන උදුම්බරා මල සංකල්පය ඔහුට ආවේ උදුම්බරා දේවියගේ කතාවෙන්. මේ එක්කම උපාලි ධනවලවිතාන රචනා කර, සරත් දසනායකගේ සංගීතයෙන්, දයාරත්න රණතුංග ගයන “උදුම්බරා මනාලියේ” ගීයත් මතක් වෙන්නේ ඉබේටම. ලංකාවේ උදුම්බරා කියන්නේ අත්තික්කා හෝ දිඹුල් වලට. බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම සකු පාලි දෙබසින් මැ උඩුම්බර යනු අත්තික්කා ගස. සමහරු දිඹුල් හෙවත් අත්තික්කා, දිවුල් සමග පටලවා ගන්න බවක් පේනවා. දිඹුල් දිවුල් වලින් වෙනස් ම වූ ගසක්. එහි ඵල ඉතා කුඩයි. එමෙන් අත්තික්කා ගෙඩියේ මැදින් කෝඳුරුවෝ ඉපදෙනවාය, ගෙඩිය දෙකට පැලුවම ඇතුළේ කෝඳුරුවෝ ඉන්නවාය යන්න ජනවහරේ පවතින්නකි. උදුම්බරා, දිඹුල් හෙවත් අත්තික්කා කිසිදා මල් නොපිපෙන ගසක් ලෙසයි සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. ආයුර්වේදයේත් මේ ගස මල් නොපිපී ඵල දරන ශාක වර්ගයක් ලෙස නම් කරනවා. මේ මල් නො පිපී ගෙඩි හැදෙන සංකල්පය මත නිර්මාණය වූ තවත් ගීතයක් වන ටී. එම්. ජයරත්න ගයන ප්‍රේමසිරි කේමදාස තනු නිර්මාණය කළ උදුම්බරා හිනැහෙනවා ගීතයේ රචක ඩබ්ලිව්. ජයසිරි කියන්නේ “මේ ගීතය ලියන්නේ බඹරු ඇවිත්හි කේන්ද්‍රීය චරිතය වූ හෙලන් පාදක කර ගෙන. හෙලන් ගේ චරිතය රඟපෑවේ මාලිනී ෆොන්සේකා. [දිඹුල් / අත්තික්කා] ගෙඩිය හට ගන්නේ මල පිපෙන්නේ නැතිව. හෙලන් ගේ චරිතයත් එහෙම මලක් වෙන්න කලින් හට ගත්ත [දිඹුල්] ගෙඩියක් විදිහටයි මම දැක්කේ.” උද්භිද විද්‍යාත්මකව අත්තික්කා Ficus racemosa කියන්නේ සපුෂ්ප ශාකයක්. මෙහි මල් නො පිපෙනවා කියන්නේ සාහිත්‍යයේ පමණයි. ඇත්තටම මෙහි මල් පිපෙනවා. නමුත් පිටතින් දැකිය නො හැකියි. ඒ මල් අනිකුත් ගස් වල මල් මෙන් පිපෙන්නේ නැහැ. මල තුළ රේණු ඇති වී කුඩා පැල්මක් සහිතව ගෙඩියක් බවට පත් වෙනවා. අප අත්තික්කා ගෙඩිය කියා ආහාරයට ගන්නේ බොහෝ කොට අත්තික්කා මලේ මුල් අවදිය හෝ මැද අවදියයි. ඒ නිසා වෙන්න ඇති සාහිත්‍යයේ මෙම ගස මල් නො පිපෙන ගසක් සේ සලකන්න ඇත්තේ.

    සමහරු පවසන්නේ උදුම්බරා මලක් පිපෙන්නේ බුදුවරයකුගේ පහල වීම සංකේතවත් කරන්න කියලා. මේ කියන්නේ දිඹුල් මල නොවෙන්න පුළුවන්. මේ උදුම්බරා මලේ වීශේෂත්වයන් වන; එය ඉතා දිගු කලකට වරක් පිපෙන දුර්ලභ මලක් වීම, ඉතා අලංකෘත සුන්දර පුෂ්පයක් වීම, අසදෘශ බව, පිපුණු විට යොදුන් ගනන් සුවඳ විහිදුවන ගුණය, ආදිය යොදා ගන්නෙ සැබෑ ප්‍රේමයේ තිබෙන අතිශය දුර්ලභ බවට රූපකයක් විදියට. උදුම්බරා මල දුර්ලභ දෙයක් හැටියට එවන් සංකේතයක් හැටියට ගත්තොත්, සිහින ලොවේ පෙමව්තුන් බලාපොරොත්තු වන ප්‍රේමය, එහෙමත් නොවේ නම් තමන් ඇත්තටම බලාපොරොත්තු වන පෙම්වතා හෝ පෙම්වතිය සැබෑ ලෝකයේදී ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කියලා හැඟෙනවා. මේක කොච්චර ඇත්තක්ද කියන එක නම් මම දන්නේ නෑ.

    ReplyDelete
  9. නමුත් රත්න ශ්‍රී මෙතැනදී උදුම්බරා යොදා ගෙන ඇත්තේ නොපිපෙන පුෂ්පයක් ලෙස. ඔහු කියන පරිදි හිතෝපදේශයේ එන පහත ශ්ලෝකයේ කියැවෙන්නක් මෙන් කිසිදාක නොපිපෙන මලක් ලෙස.


    අවුදුම්බරන් බවන් පුෂ්පන්
    ස්වේත වර්නාච කාකයෝ
    මත්ස්‍ය පාදන් ජලේ වග්ගේ
    නාරි චිත්තං නවිශ්යතී

    (අර්ථය: උදුම්බරා ගසේ මල් පිපෙතැයි විශ්වාස කළත්, සුදු පාට කාක්කන් ඇති විශ්වාස කළත් මාළුන්ගේ පා සටහන් ජලයේ සටහන් වෙතැයි විශ්වාස කළත් කාන්තාවකගේ සිත ගැන විශ්වාසය නොතබන්න)

    රත්න ශ්‍රී කියන විදියට ආදරයත් “හැමදාම උදුම්බරා මල් පිපෙයි කියලා හීන දකිනවා නමුත් කවදාවත්ම පිපෙන්නේ නැහැ” වගේ.

    “රෑ තුන් යම සුවඳ උලා (හෝ උරා) උදෑසනින් මැකෙනා” කියන කොට මේ කියන ප්‍රේම ප්‍රාර්ථනාවන් හීනවලට පමණක් සීමා වුවක් බව පේනවා. විශේෂයෙන්ම රත්න ශ්‍රී ගේ ගීයට පාදක වුණු කැළණි විශ්වවිද්‍යාලයෙන් ෆර්ස්ට් ක්ලාස් උපාධියක් අරන් රැකියාවක් නැතිව පාරේ වැඩ කළ කෙනා හෝ ලූෂන් ගේ “අපේ සබඳකම් නොදන්නා රිය සක” ගැන හිතන කොට නම් ඒ කතාව ඇත්ත. මේ කියන ප්‍රාර්ථනා කළ ආදරයේ උදුම්බරාව රෑ තුන් යාමයේම, ඒ කිවුවේ හීනෙන් විතරයි දකින්නේ. “හීනෙන් මිසක හැබැහින් එක් නොවන්න ද?” කියලා ඇහුවා වගේ. හැබැයි මට රසවත්ම කොටසක් තමයි “කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා” කියලා ගීතය අවසන් කරන විදිහ. රත්න ශ්‍රී කිවුවා වගේ මේ වගේ සංයමයකින් යුතුව සැබෑ ප්‍රේමණීය ඇසකින් තමන්ව හැර ගිය පෙම්වතිය ගැන, සමහර විට වඩා ඉසුරුමත් පෙම්වතෙක් සොයා තමාව හැර ගිය පෙම්වතිය ගැන, හිතන සුන්දර සංවේදී මිනිසෙක් මැවෙනවා. අනේ ඔයා මට අහිමි වුනත් කමක් නෑ වෙන කෙනෙකුගේ මිදුළේ පිපෙන්න. ඔයාගේ සතුට ඒක නම් ඔහුගේ සැපත ඒක නම් “ඔබෙ සැප මගෙ සතුටයි” කියලා උපේක්ෂාවෙන් සන්තෝෂයක් විඳින්නේ ඔහු තුළත් තමා උගත් ශිල්ප ශාස්ත්‍රයෙන් වැඩක් ගත නොහැකිව පාරෙ වැඩට වැටුණු එක ගැන සියුම් ආත්මානුකම්පාවක් ද ජනිත කරවමින්. ඒ වගේම ලූෂන් සිරියහනේ ලණු ඉහිරී ගීතයේ කියනවා වගේ “යහන තලා සැප විඳිනා පල දී නැතුවා පෙර පින් - මාල වළලු නොතිත් (ට්‍රේල් බයික් නොතිත්) අයට අපව අමතක වුනත් “කොතැනක සිටියත් ඔබ මෙලොවේ - දිගුකල් ජීවත් වෙන්නකෝ” කියනවා වගේ තමයි මට හැඟුණේ. කෙසේ වෙතත් පෙමව්තිය ගැන අපේ හිතේ අපුලක් ඇති නොකර මේ සුන්දර පෙම්වතා ගැන අපේ හිතේ සංවේදී හැඟීමක් ඇති කළ හැටි නම් අපුරුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම වටිනා කමෙන්ට්ස් ටිකක් . බොහොම ස්තූති . මම මේක පෝස්ට් එකක් විදියට හදලා පල කරනවා .ආයෙත් බොහොම ස්තූති . පාරගතව ගිය කතාම මම කැම්පස් එකෙත් සිංහල අංශයේ ගුරුවරයෙක්ගෙන් අහල බැලුවා . ඇත්ත . ඔබතුමා කියලා තියෙන කතාව හරි . g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.