Monday, June 29, 2015

මින්දදයෝ , ඇවිදින් අහපන් රුක් අත්තන මලකින්










ලියන්න කියලා පටන් ගත්ත මාතෘකා කීපයක්ම ඩ්රාෆ්ට් එකේ පල් වෙවී තියෙත්දී ඒවා පැත්තක තියලා මේ ලිපිය කොටන්න ගත්තේ බ්ලොග් වාසී ජනී ජනයාට වයලීනෝ පිළිබඳව අලුත්ම අලුත් ආරංචියක් කියන්නයි , සිංදුවා විසින් වයලීනොට කරන අඩන්තේට්ටම් ගැන කියන්නයි , තව ඒ එක්කම සිංදුවක් ගැනත් කියන්නයි තමයි තමයි . එහෙනම් අම්මේ තාත්තේ බාප්පේ පුංචිඅම්මේ ලොකුඅම්මේ ලොකුතාත්තේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ පුංචිදුවේ පුංචිපුතේ ඉපදුනු සිරිලක් දිවේ ,

කියන්න තියෙන අලුත්ම ආරංචිය තමයි දැන් වයලීනොට වයලීනියක් ඉන්නවා කියන සුභ ආරංචිය . සංවේගයට පත් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනී , සාධු කියන්න එහෙනම් , ඒ  (අ)වාසනාවන්ත ආරංචියෙන් උද්දාමයට පත්වෙන්නත් එක්කම . ඉතින් ඒ අරන්චියත් එක්ක කියන්න තියෙන අනිත් දේ තමයි වයලීනි නිසා දැන් වයලීනොට අලුතෙන් ලියන්න ලිපි , ගීත විශාල සංඛ්‍යාවක් සහ කතන්දර විශාල සංඛ්‍යාවක් එකතුවෙලා තියෙනවා කියන එක . ඒවා එක එක පිළිවෙලට ලියල දාන්නම්කො හැමෝටම දැක බලාගෙන ආයෙත් සංවේගයට පත්වෙලා ප්‍රවේගයට පත්වෙන්න .

ඉතින් එව්වා මෙව්වා ඔක්කොම එක්ක සුපුරුදු පරිදි ගියා සිංදුවගේ ගෙවල් පැත්තේ . දැන් සිංදුවගේ පවුලේ උදවිය ඉන්නේ රත්නපුරේ නෙවෙයි නිසා පික්නික් යනවා වගේ තමයි එහෙ අය බලලා එන්න යන්නේ . ඉතින් ඔන්න සිංදුවත් එක්කම ගිහින් සිංදුවත් එක්කම ගෙදර ආවා . සිංදුවයි මමයි බස්එකේ එනගමන් වයලීනී ගැන කතාවක් ඇදිලා ආවා . මෙන්න මෙහෙමයි ඒක උනේ .








වයලීනෝ :- ඔක්කොමත් හරි දැන්ම ගෙදරට මාට්ටු උනොත් ඉවරයි බං . ගමේ උන් එකෙක්වත් ෂුවර් කරන්න බෑ . දැක්කොත් ඉවරයි . කෙලින්ම අම්මගේ කනේ තියයි ඕක . අන්න අක්කේ පුතා කෙල්ලෙක් ඉන්නවා දැක්කා කියලා .

සිංදුවා :- මොනවා වෙන්නද , ඕක ඔහොමම ශේප් වෙලා යයි බං

වයලීනෝ :- මගුල තමා . ඔන්න බලපන් අම්මා ඉස්සෙල්ලම උඹට තමා කෝල් එක දීලා අහන්නේ මේ ගැන මොනවද දන්නේ කියලා . තෝ දන්නේ නෑ කිව්වත් ඉතින් අම්මා ෂුවර් කරන්නෙත් නෑ

සිංදුවා ඔන්න විනාඩි පහක් විතර සද්ද නෑ . ජනේලෙන් පාර දිහා බලාගෙන ආවා . මම ඔන්න ආයෙත් වෙන කතාවක් පටන් ගත්තා . එතනින් තමයි පින්වතුනී කෙළවෙන්න පටන් ගත්තේ .

වයලීනෝ :- අද වතී එනවනම් මට අර පොත ගන්න පුළුවන් , මොකද එනවළුද ?

සිංදුවා :- පොත නෙවෙයි බං මම මේ කල්පනා කලේ උඹලගේ අම්මා මගෙන් අහන හැටි . කෝල් කරයිද නැත්නම් මම ගෙදර ආව වෙලාවක හෙමීට අහයිද දන්නේ නෑ . මොකද්ද බං කැම්පස් එක කිව්වේ ?

වයලීනෝ :- දන්නේ නෑ !

සිංදුවා :- මොකක්ද බං කෝස් එක කිව්වේ බයෝද ?

වයලීනෝ :-  දන්නේ නෑ ! . ඔව් ඔව් බයෝ තමා

සිංදුවා :- දැන් උඹලගේ අම්මා අහනවා මෙහෙම ,

අම්මා :-  පුතේ ඇත්තද මේ අපේ එක්කෙනාට මෙහෙම ගෑණු ළමයෙක් ඉන්නවා කියන්නේ ?

සිංදුවා :- ඒකනේ ඇන්ටි මමත් දන්නේ මේ දවස් දෙකතුනකට කලින් ඉඳලා

අම්මා :- ඒක තමයි අපි හිතුවා ඔයාවත් දන්නවා ඇති කියලා , ඕකට කොච්චර කල් වෙනවද ?

සිංදුවා :- අවුරුදු දහයක් විතර වෙනවලු ඇන්ටි .

අම්මා :- කොහොමද එතකොට දෙන්නා යාලු වෙලා තියෙන්නේ ?

සිංදුවා :- අර කැම්පස් යන්න කලින් තියෙන ට්‍රේනින්ග් එකේදී තමයි ඇන්ටි අඳුරගෙන තියෙන්නේ

වයලීනෝ :- අනේ නිකන් තෝ අහුවෙන බොරු කියන්නෙපා යකෝ , ලීඩර්ශිප් ගිහි අවුරුදු තුනක් විතර වෙන්නේ

සිංදුවා :- ආ අවුරුදු තුනක් විතර තමයි වෙන්නේ ඇන්ටි . මේ කියනකල් මමවත් දැනගෙන හිටියේ නෑ

අම්මා :- ඒක තමයි පුතේ බලන්නකෝ මෙයා සද්ද නැතුව ඉන්න හැටි , දැන් පුතේ ඔය ගෑණුලමයා කොහේ කෙනෙක්ද ?

සිංදුවා :- උඩරට මැණිකේ කෙනෙක් ඇන්ටි . දැන් ඇන්ටිට පට කුඩ දෙක දෙක හොයලා තියාගන්නවෙයි ඇන්ටි .

අම්මා :- ඒ ළමයාගේ අම්මා තාත්තා එහෙම මොනවද කරන්නේ ?

සිංදුවා :- අම්මානම් ඇන්ටි හවුස් වයිෆ් තාත්තා නම් බ්ලාහ් බ්ලාහ් බ්ලා.........................හ් කියල තමයි කිව්වේ

අම්මා :- දැන් අපේ එක්කෙනා ඒ ළමය හම්බෙන්න එහෙම යනවා එනවද ?

සිංදුවා :- ඔව් ඇන්ටි . මේ එක්සෑම් තියෙත්දී මු එහෙ යනවා එනවා . අපේ එකා වගේම තමයි ඇන්ටි මූත් . කෙල්ල පස්සෙමයි ඇන්ටි

සිංදුවා :- එහෙම නෙවෙයි , තව මේක අවුල් කරලා කියන්න ඕන උඹට කෙලවිලාම යන්න

සිංදුවා :- මු ඇන්ටි එක්සෑම් තියෙත්දී ඒ ගෑණු ළමයා හම්බෙන්න යනවා . දෙන්නා රෝන්දේ ගහන්න යනවා කියලා ආරංචියි ඇන්ටි

වයලීනෝ :- අනේ තෝ නිකන් බොරු කියන්නේ නැතුව හිටහන් . මම යකෝ ලෙක්චර් එකක්වත් කට් කරලා නෑ

සිංදුවා :- මු ඇන්ටි ලෙක්චර්ස් කට් කරලා තමයි ඕවා කරනවා කියන්නේ ඇන්ටි . බලන්න ඇන්ටි එක්සෑම් තියාගෙන මු කරන ඒවා

වයලීනෝ :- හා තොට අතල් ඇති . ඕවා මොනවා කිව්වත් මම ගෙදර පොර තමා යකෝ

සිංදුවා :- හා එහෙමද ? ඔන්න බලපන් මම උඹව හොම්බෙන් යන්වන්නේ හොම්බෙන්

වයලීනෝ :- යවයි යවයි බලාගෙන හිටපන්

සිංදුවා :- යවනවා තමයි යකෝ . අම්මා අහනකල් ඉන්න හොඳ නෑ . මමම කෝල් එකක් අරගෙන හරි උඹලගේ ගෙදර ඇවිල්ලා හරි කියන්න ඕන . හිටපන් මම උඹව හොම්බෙන් යවනවාම තමයි

වයලීනෝ :- නෑ නෑ තෝ කෝල් කරන්න ඕනත් නෑ මොකවත් ඕන නෑ . මමම මේක ගෙදරට කියලා මමම ශේප් කරගන්නම් උඹ හිටපන් පැහෙන්නේ නැතුව

සිංදුවා :- නෑ නෑ උඹ මොකක් කිව්වත් මම කියනවම තමයි

වයලීනෝ :- මේක මාට්ටු වෙච්ච ගමන් ගෙදර ෆෝන් වලින් තොගේ නම්බර් එක බ්ලොක් කරනවා

සිංදුවා :- මම ගෙදර ඇවිත්ම කියනවා යකෝ

වයලීනෝ :- හා තව !

සිංදුවා :- මෙයා ඇන්ටි ඉස්සර ඉඳලම ප්ලෑන් කරේ ඕක තමයි ඇන්ටි . පොඩ්ඩක් හොයලා බලන්න ඇන්ටි මේගැන .

වයලීනෝ :- *@(&%$%%@#&)@#()$&*@#$&*@% 7&*(#@$%&*%&@#%$&(#@$








ඔන්න ඔහොමයි අපේම උන් අපිට කෙලවන්න බලාගෙන ඉන්නේ . ලබන සතියේ සිංදුව ගෙදර එන්න කලින් ගිහින් සිංදුවගේ අම්මට කියන්න ඕන වතී එක්ක මු රවුම් ගහපුවා . හිටපන්කෝ . මම තෝවත් හොම්බෙන් යවනවා ඩො .

ඉතින් ඔන්න ඔහොමයිලු දැන් වයලීනෝගේ තත්ත්වේ . ලවු කරා වගේ නෙවෙයි මෙව්වා ගෙවල් වලට මාට්ටු වෙලා රෙදි ගැලවුනාම පිංවතුනි . සියලු සංස්කාරයෝ දුකයි පිංවතුනි දුකයි . ඒත් අපි දුකේම ගිලෙමු පිංවතුනි ගිලෙමු . මේ සීන් එක කියනකොට තමයි මෙට මේ ගීතය ලියන්න මතක් උනේ . අද ඉතින් ගෙදර ආවේ ඒ ගීතයත් මතක තියාගෙන . ඒ ගීතයට කලින් මෙන්න මේ පුංචි කතාවත් කියවන්න .

වයලීනොගේ කැම්පස් යාලුවෙක් ඉන්නවා . මිනිහාත් ලීඩර්ශිප් එකේදී තමයි කොක්කක් ගැහුවේ . දැන් වැඩේ නැගලා යනවා . ඒ නංගි ජපුරට කිට්ටු , ඒත් කිට්ටුම නැති කැම්පස් එකක . දෙන්නා ඉතින් සෙනසුරාදා ඉරිදා තමයි වැඩි හරියක් හම්බෙන්නේ . නැත්නම් වැකේෂන් දවස් වලත් හම්බෙනවා . අපරාදේ කියන්න බෑ අපිටත් ඉතින් ඒ නංගි කෑම එහෙම එවනවා මගෙ යාලුවා අතේ . මේ නංගිට ගෙදරින් මනමාලයෝ ජෝඩු කර කර තිබුණේ . සමහර දවස් වලට කොල්ලො ගෙදරටත් හොයාගෙන එනවලු අම්මලා තාත්තලා එක්ක  ඒ නංගි ගැන කතා කරන්න . ඒත් ඒවා කෙරුනේ නෑ . හැබැයි අම්මා කියලා තිබුණේ ගෙදරින් හොයලා දෙන එකක් කරගන්න ඕන කියලා .








මේ නංගි කොහොමහරි ඕක ගෙදරට මාට්ටු කරගත්තා . ඉස්සෙල්ලම කරගත්තේ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ එකක් මාට්ටු කරගත්ත එක . ගෑණු මොලේ හැඳි මිටේ දිග උනාට මේ වගේ දේවල් වලට ගෑණුන්ට තියෙන්නේ කල්ලඩි පාලමටත් වඩා දිග මොලයක් . පස්සේ මේ නංගි අම්මගේ තාත්තගේ නහය විදලා ගානට මේ කතාව කියලා අම්මලා කැමති කරගත්තා . ඉස්සෙල්ලම කරගත්තේ අම්මගේ කටින් ඔයාට කැමති හොඳ කෙනෙක් හොයාගන්න කියලා කියවා ගන්න එක . පස්සේ තමයි කෙනා කවුද කියලා කිව්වේ .

කොල්ල නම් කියන්නේ අපරාදේ කිව්වේ කියලා . ඒත් කෙල්ල නම් කිව්ව එකට ඉන්නේ මාර හැපියේ . දැන් මේ නංගිට ඕන කොල්ලගේ අයියට මේ ගැන කියලා කොල්ලගේ ගෙදරත් ශේප් කරගන්න . නංගි ඉස්සෙල්ලම කරේ කොල්ලගේ අයියා fb ෆ්‍රෙන්ඩ් කරගත්ත එකැ . පස්සේ ටිකක් මැසේජ් කරලා ෆිට් කරගෙන මල්ලි යාළුවෙලා ඉන්නේ එයා එක්ක කියලා කිව්ව්වා . අයියා කියලා තියෙන්නේ මේ ගැන මම මල්ලිගෙන් අහන්නම්කො කියලා . ඒත් තාම ඇහුවෙනම් නෑ . අපිත් බලාගෙන ඉන්නේ අයියා උගෙන් අහලා කෙලවිලා යනකල් .

පොදුවේ බැලුවම කෙල්ලෝ කැමතියි ඉක්මනට ගෙදරට කියලා සේෆ් මූඩ් එකේ ලවු කරන්න . කොල්ලෝ කැමති හොරෙන් හොරෙන් ලවු කරලා පස්සේ වැඩේ කෙරෙනවනම් විතරක් ගෙදරට කියන්න . මොකද මේක කෙරෙන්නේ නැත්නම් ගෙවල් වලට කියලා චාටර් වෙන්න ඕනෑ ය මම අහන්නේ  . ගෙවල් වලට කියනවා කියන්නේ ඉතින් කසාදෙ නිල නොලත් ආකාරයට රෙජිස්ටර් කරා වගේනේ . ඔන්න ඔය ඔක්කොම සිහි කරගෙන ඉන්නකොට තමයි මට මේ ගීතය මතක් උනේ . අහලා බලන්නකෝ . කොහොමද කියලා .


මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ

බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා



ගායනය-නිරෝෂා විරාජිනී





ගී පද - කුමාර ලියනගේ




තනුව - ආනන්ද පෙරේරා










මේ ගීතය අහනකොට මැවිලා පේන්නෙම තමන්ගේ ප්‍රේමවන්තයා ගැන ගෙදරට කියලා ඒකට කැමැත්ත ලැබුණ ගෑණු ළමයෙක් සතුටෙන් උඩ පැන පැන පරිසරයේ තියෙන දේවල් එක්ක තමන්ගේ සතුට බෙදාගන්නා අවස්ථාවක් . ටිකක් ගැමි පරිසරයක් . මේ ගෑණුලමයත් ඒ ගැමි තාලෙටම හැදුන ළමයෙක් . ඒකයි මේවගේ දෙයක් සමරන්න මේ විදියට පරිසරයත් එක්ක සතුට බෙදාගන්න පුළුවන් තරමේ හදවතක් හැදිලා තියෙන්නේ . ටවුන් වල , නැත්නම් නාගරික හෝ අර්ධ නාගරික පරිසරයක හැදුන කෙනෙක්ට මේවගේ සිතුවිල්ලක් එයි කියලා විශ්වාස කරන්න අමාරුයි . අපි බලමුකෝ එහෙනම් මේ ගීතයේ කියවෙන්නේ මොකක්ද කියලා .

මින්දදයෝ ඇවිදින් අහපන්
රුක් අත්තන මලකින්
ගෙදරට කිව්වා මං
එනවද ඔය මල් දුන්න අරන්
අද හෙට මින්දදයෝ

අපි හිතමුකෝ මෙහෙම . ඔන්න ගැමි පරිසරයක හැදුන ගෑණුලමයෙක් ඉගෙනගන්න වෙනත් ප්‍රදේශයකට යනවා . විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කෙනෙක් කියලාම කියමුකෝ . විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර උනාට පස්සේ මෙයාට රැකියාවත් ලැබෙන්නේත් ගමට කිට්ටු පැත්තක නෙවෙයි . ඉතින් වෙනත් ප්‍රදේශයක නැවතිලා තමයි මේ ගෑණුළමයා රැකියාව කරන්නේ . මෙයා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඇතිවුණ ප්‍රේම සම්බන්ධතාවය කාලයත් එක්ක ස්ථීර තත්ත්වයට පත්වෙලා දැන් විවාහ වෙන්න ඕන . ඒත් ගෙවල් වලින් තාම මේ ගැන දන්නේ නෑ . ඉතින් ඉගෙනගෙන ඉවර රස්සාවකුත් කරන තමන්ගේ දියණියට අම්මා තාත්තා එකතුවෙලා මනමාලයෝ හොයනවා . නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන්න නොතියන එක ඇඟට ගුණයි කියලා තේරුම් ගන්න මේ ගෑණුළමයා තමන්ගේ ප්‍රේම කතාව පියවරෙන් පියවර ගළපලා ගෙදරට කියනවා .






ගෑණුළමයා හිතන්නේ අම්මලා තාත්තලා මේකට කැමති වෙන එකක් නෑ කියලා . ඒත් කසාද හොයලා මහන්සි වෙනවට වඩා තමන්ගේ දුව හොයාගත්ත දේ කොහොමද කියලා බලන්න අම්මලා තාත්තලා කැමති වෙනවා . ඒ නිසා මේ දුවට කියනවා එහෙනම් ඔයා හොයාගත්ත කුමාරයට ගෙදර ඇවිත් කතා කරන්න කියන්න කියලා . මේ වෙලාවේ තමයි මේ දුවට මල පිපෙන්නේ . නොහිතපු වෙලාවක මේ වගේ අම්මලා තාත්තලා කැමති වෙලා මේ වගේ උත්තරයක් දුන්නම මේ ගෑණුළමයාට කියන්න බැරි තරම් සතුටක් ඇතිවෙනවා . ඒ ඇතිවෙන සතුටත් එක්ක මේ ගෑණු ළමයා ගමේ පොඩ්ඩක් ඇවිදිනවා සතුට භුක්ති විඳින්නත් එක්ක . ඒ ඇවිදින ගමන් මෙයා තනියම එක තැන කැරකෙමින් එහෙට මෙහෙට පැද්දෙමින් නටමින් පොඩි රංගනයකුත් දෙනවා . ඒ වගේම වටේ පිටේ තියෙන ගහකොළ මල් වැල් සත්තුන්ට තමන්ගේ සතුට ප්‍රකාශ කරනවා .

" මගේ මින්දදයෝ , මම ඔබ ගැන අපේ ගෙදරට කිව්වා . බොරුනම් ඇවිත් අහන්න මේ රුක් අත්තන මලෙන් මම කියන්නේ බොරුද කියලා . ඒ නිසා දැන් ඔබ අපේ ගෙදර ඇවිත් අම්මගෙනුයි තාත්තාගෙනුයි මාව රැගෙන යන්න කැමැත්ත ලබාගන්න . ඒ වෙනුවෙන් මල් දුන්නෙන් සැරසිලා අද හෙටම අපේ ගමට වඩිනවද මගේ මින්දදයෝ "

මෙතන ගෑණු ළමයට තමන්ගේ පෙම්වතාව පේන්නේ අනංගයා වගේ . අනංගයා සැරසෙන්නේ මල් වලින් . ඒ නිසාම අනංගයා මල් වලට කැමතියි . මල් විසින් පවසන දේ අනංගයා විශ්වාස කරයි . ඒ නිසා මම කියන්නේ බොරුද කියලා මේ රුක් අත්තන මලෙන් අහන්න කියලා ගෑණු ළමයා තමන්ගේ පෙම්වතාට කියනවා .







බක් මී මල් පිපිලා සුවදට
සඳ ගෙට පායනවා
වැවේ නෙළුම් පිරිලා නිල් දිය
දොළේ හිනා වෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

මේ ගෑණු ළමයට තමන්ගේ හිතේ තියෙන සතුට නිසා පරිසරයේ තියෙන හැම දෙයක්ම පෙන්නේ තමන් වෙනුවෙන් , තමන්ගේ ප්‍රේමවන්තයා වෙනුවෙන් ආශිර්වාද කරනවා වගේ . ගමේ තියෙන බක්මී මල් පිපිලා . ඒ සුවඳ අරගෙනම තමන්ගේ ප්‍රේමවන්තයා ළඟදීම ගෙදරට එයි . ඒ කියන්නේ සඳ ගෙට පායයි . ගමේ තියෙන වැවේ නෙලුම් මල් පිපිලා පිරිලා තියෙන්නේ . ඒ වගේම දොලේ තියෙන වතුර පෙන පිඩු නංවමින් ගලාගෙන යන්නේ හරියට තමන්ට තමන්ගේ පෙම්වතාට ආශිර්වාද කරන්න හිනා වෙනවා වගේ . මේ අතරේ පෙම්වතා ගමට ආවම මේ ගෑණු ළමයා වෙනුවෙන් පේවෙලා හිටපු ගමේ පෙම්වතුන් මේ ගෑණු ළමයා ගැන කතාවෙයි කියලා මෙයා තනියමම හිතනවා . නරකම නෑ මේ ගෑණු ළමයාට පිපිලා තියෙන මල .





නා දළුවල හැපිලා මඳ නල
වැට ළඟ කැරකෙනවා
ගොයමට පිනි වැටිලා මුතු ඉර
එළියට දිලිසෙනවා
යන එන කල් ඉදලා මං ගැන
බඹරු කතා වෙනවා

මේ ගෑණු ළමයාගේ ගෙදර පිහිටලා තියෙන ඉඩමේ මායිමට නා ගස් හිටවලා තියෙනවා . ඉතින් මේ නාගස්වල තියෙන තද රතුපාට නා දළු මද සුළඟ වැදිලා හෙමින් හෙමින් සෙලවෙනවා . හිතේ තියෙන සතුටට මේ ගෑණුළමයාට හිතෙන්නේ තමන්ට wish කරන්න මේ නාදළු සෙමෙන් සෙලවෙනවා කියලා . ඒ වගේම ගමේ තියෙන කුඹුරේ බන්ඩි ගොයමට ඉර එළිය වැටිලා . ඉතින් මේ ඉර එලියට ගොයමේ තියෙන පිනි කැට මුතුකැට වගේ දිලිසෙනවා . වෙනදා තමන්ට නොපෙනුන ලස්සනක් අද මේ ගෑණු ළමයට මේ දේවල් වලින් දකින්නට ලැබෙනවා . ආයෙත් එයා හිතන්නේ ගමේ ඉන්න තමාගේ පෙම්වතා වෙන්න පෙරුම් පුරන අය තමාගේ පෙම්වතා ගමට ආවම ඒ ගැන කතා වෙයි කියලා වෙන්න ඕන .

මීට වඩා වෙනස් තේරුම් තියෙන්නත් පුළුවන් . සමහර වෙලාවට මේ ගීතය ගැන මෙහෙමත් හිතන්න පුළුවන් . ඒ විවාහ වෙන කාලය පහු කරපු ගෑණු ළමයෙක් , නැත්නම් විවාහ වෙන්න ඕනකම තිබ්බත් මනමාලයෙක් නැති ගෑණු ළමයෙක් තමන්ට පෙම්වතෙක් ලැබුණ අලුත ඒ සතුට සමරනවා වෙන්නත් පුළුවන් කියලා . එහෙමත් නැත්නම් අම්මලා තාත්තලා විවාහ යෝජනාවකින් තමන්ට විවාහ වෙන්න කෙනෙක් හොයලා දුන්නට පස්සේ ගෑණු ළමයා සතුටට කියන දෙයක් වෙන්නත් පුළුවන් . ඒත් සමහර යෙදුම් එක්ක මටනම් හිතෙන්නේ අර විදියටම තමයි ඔන්න .

ගීතයේ සංගීතය ගැනනම් කියන්න දේවල් කීපයක්ම තියෙනවා . මොකද මේ ගීතය මම අහන්න පටන් ගත්තේ සංගීතය නිසාමයි . මේ ගීතයේ සංගීතය ඇහෙනකොට ඒ සංගීත කණ්ඩ වලින් අපේ හිතේ ඇතිවෙන්නේ ටිකක් සැහැල්ලු හාස්‍ය ජනක හැගීමක් . ඒත් මේ ගීතයේ ජන ගායන ශෛලීන් පවා අන්තර්ගත්වෙලා තියෙනවා . අපි එහෙනම් යමු ගීතයේ පෙර වාදනයට .





ගීතයේ පෙර වාදනය පටන් ගන්නේ මැන්ඩලීන් එකකින් . මැන්ඩලීන් එකෙන් වාදනය වෙන වාදන කොටස වාදනය කරන්නේ තාල වාදන භාණ්ඩ වාදනය කරන්නේ නැතුව . ඒ අතරේ ඕගන් එකකින් කැවුම් කැවුම් කැවුම් කියලා වාදනය වෙනවා ඇහෙනවා . ඊට පස්සේ තාල වාදනය ආරම්භ වෙනවා .












තාල වාදනයට දායක වෙන්නේ බොංගෝ ඩ්‍රම් එකක්  එකොස්ටික් ඩ්‍රම් සෙට් එකක් එක්ක ඔක්ටර් පෑඩ් එකක් . ආයෙත් මැන්ඩලීන් එකෙන් වාදනය කරන්නේ කලින් වාදනය කරපු වාදන කණ්ඩයම තමයි . ඒ එක්ක ඕගන් එකකින් වාදනය කරනවා ගැමි නාද මාලාවක් තියෙන වාදන කොටසක් . වෙලාවකට මට ඒකෙන් ඇහෙනවා දළදා තේවාවේ වාදන කොටස් . තවත් වෙලාවකට ඇහෙන්නේ ජන කවි වලින් ඇතිවෙන සංගීතයක් . ඒ සංගීත කොටස් එකතු කරගන්න ඇත්තේ මේ ගීතය නව ආරකට නිර්මාණය උනත් මේ ගීතයේ තියෙන්නේ ගැමි පසුබිමක් නිසා . ඒ කොහොම උනත් මේ ගීතයට ගොඩක් වාදන කොටස් එකතු කරලා තියෙන්නේ ඕගන් එකකින් . සමහරවිට ඒ වාදනය කිරීම් අදාළ සංගීත භාණ්ඩ වලින්ම වාදනය කරානම් ගීතයේ මේ තියෙන රසය ඉස්මතු නොවෙන්න පුළුවන් .

වාදනය අවසන් වෙලා ඔන්න දැන් ගීතය ආරම්භ වෙනවා . ගායිකාව විසින් මින්දදයෝ ඇවිදින් අහපන් , කියන කොටස ගායනා කරන්නේ අනිත් වාදන භාණ්ඩ වාදනය කරන්නේ නැතිව . හැබැයි ගීතෙයේ ලය ආරක්ෂා වෙන විදියට තමයි ගායනා කරන්නේ . මේ ගීතයේ මම වඩාත්ම කැමතිම තැනක් තමයි අන්න ඒ ස්ථානය . පහටරට බෙරයකින් තමයි මේ වෙලාවේ තාලය වාදනය කරන්නේ . පහතරට බෙරය ඊට පස්සේ ගීතය පුරාවටම තාල වාදනයට දායක කරගන්නවා .





මල්සරා වඩින තාලය මෙන්න මේවගේ කියලා කියන්න වෙන්නැති මේ විදියට පහතරට බෙරයකින් මේ ගීතයේ තාල වාදනයට දායකත්වයක් ලබාගෙන තියෙන්නේ . ගීතයේ අතර වාදන කොටස් , ඒ කියන්නේ බිට්ස් පාට් සහ කවුන්ටර් පාට් ඔක්කොම වාදනය කරන්නේ ඕගන් එකකින්ම තමයි .

ඊට පස්සේ අතුරු වාදනය වාදනය කරනවා . ඒකත් වෙනසක් නෑ . පෙරවාදනයම තමයි වාදනය කරන්නේ . හැබැයි අන්තරා කොටසට එන්නේ වෙනම ස්වර සංගතියක් නිසා පෙර වාදනයේ අවසන් කොටස පොඩ්ඩක් වෙනස් කරලා තමයි අතුරු වාදනය විදියට වාදනය කරන්නේ .

ගීතයේ අන්තරා කොටස් වලටත් මම වැඩිපුරම කැමතියි . ඒ පළවෙනි අන්ත්රා කොටසේ තියෙන

" සඳ ගෙට පායනවා " කියන පද පේලියට සහ

දෙවෙනි අන්තරා කොටසේ තියෙන

" වැට ළඟ කැරකෙනවා කියන " පද පේලියට .

මේ පද පේලි දෙකම එක වගේ තමයි ගායන කරන්නේ . ඒත් පායනවා සහ කැරකෙනවා කියන වචන දෙක ගායිකාව විසින් හරිම ආකර්ශනීය විදියට ගායනා කරනවා .

මේ ගායනාව අහගෙන ඉන්නකොට මට තවත් මතක් වෙන දෙයක් තමයි පහතරට සිංදු වන්නම් . උඩරට දහ අට වන්නම් වගේ තමයි පහතරට සිංදුවන්නම් හැදිලා තියෙන්නේ . මේ සිංදුවන්නම් වල තියෙන ගායනා ශෛලීන් පවා මේ ගීතයේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා මට හිතෙනවා . එහෙනම් ගීතය අහලා බලන්නකෝ .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

දැන් නම් කියන්න වෙලා තියෙන්නේ මේ සිංදුවා කරන්න ප්ලෑන් කරන ඒවා නිසා ඔබ සැමට නෙවෙයි

මට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා ! කියලා .

Monday, June 22, 2015

කඳ සුරිඳු වෙනුවෙන් පබැඳි ගී







ඓතිහාසික පසුබිමක් සහිත ගුරු පරම්පරාවක් වටා ගෙතුණු කතා පුවත් රාශියක් ගොනුකරලා ලියන සීයා සහ මුණුබුරා කතා මාලාවේ කදිර පුරයට පිල්ලියක් කියන්න මෙන්න මේ ලිපිය ලියන දවස්වල තමයි කතරගම දෙවියන් වටා ගොඩනැගිලා තියෙන දේව සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය ගැන වැඩිපුර යමක් හොයන්න ඕන කියලා හිතුනේ . ඒ ලිපියේ ආරම්භය ගත්ත සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන කිරි වෙහෙරේ කොත් කැරැල්ල කියන ගීතය අහපු වාර ගාන මෙච්චරක් කියලා කියන්න අමාරුයි .

ඒ තරමටම ඒ ගීතවල දේවත්වය ගැබ් වෙලා තියෙනවා . සමහරවිට ඒ වචන වල තියෙන දේවත්වයට වඩා සංගීතයේ තියෙන දේවත්වය නිසා වෙන්න පුළුවන් . ඒ මොකක් නමුත් ඉතාම පැහැදිලි විදියට කරලා තියෙන ගැලපීම නිසා ඒ ගීත දෙවියන් වෙනුවෙන් ගායනා කරන ප්‍රශස්ති ගීත තත්ත්වයට අදවෙනකොට වැටිලා තියෙනවා . කතරගම පෙරහැර කාලයට රූපවාහිනියේ ගුවන්විදුලියේ හැමතැනකම වාගේ මේ ගීත වාදනය වෙනවා . ඉතින් අද කියන්න යන්නේ මේ ගීත සියල්ලටම පාදක කරගත්ත දේවල් ගැන පොඩි............... විස්තරයක් එක්ක ඒ ගීත මොනවද කියලා .

කතරගම දෙවියෝ කවුද කියන එක ගැන මත රාශියක් තියෙනවා . රාවණා කාලයේ තිබුණ සිවු හෙළය ඒ කියන්නේ යක්ෂ දේව නාග රාක්ෂ කියන සිවු පිරිසෙන් රාක්ෂ කියන පිරිස නියෝජනය කරපු දෙවියන් විදියට කතරගම දෙවියන් සලකනවා . සමහර අය කියනවා දේව කොට්ටාශයේ නායකයා කතරගම දෙවියන් කියලා . මම විශ්වාස කරන්නෙත් රාක්ෂ පිරිසේ නායකයා කතරගම දෙවියන් කියලා . මන්තර සාහිත්‍යයේ සමහර වෙලාවට කියවෙන දේවල් එක්ක රාක්ෂයින් එක්ක තමයි කතරගම දෙවියන්ගේ ගනුදෙනු වැඩිවශයෙන් වෙලා තියෙන්නේ . කතරගම දෙවියෝ ශිව පාර්වතී දෙදෙනාගේ බාල පුත්‍රයා කියල ඉන්දීය ඉතිහාසයේ සඳහන් වෙනවා .

ශිව පාර්වතියගේ වැඩිමල් පුත්‍රයා ගණ දෙවියෝ . බාල පුත්‍රයා තමයි කතරගම දෙවියෝ . ඉතින් මේ දෙන්නා එකතුවෙලා වල්ලි අම්මා දේවිය කතරගම දෙවියන් වෙනුවෙන් පාවා ගන්න ප්ලෑන් කරපු කතා පුවතකුත් තියෙනවා . ඒ එක්කම මට මතක් වෙනවා ඇම්බැක්කේ දේවාලය ආශ්‍රිතව වැඩඉන්න හෙනකඳ බිසොබණ්ඩාර දේවතාවිය . සිංහල රාජ මහේශිකාවක් වෙලා හිටපු මේ හෙනකඳ බිසෝබණ්ඩාර දේවිය ඉතාම රූප ශෝභාවෙන් පිරිපුන් කෙනෙක් . කතරගම දෙවියන්ට උවමනා උනා මේ දේවිය තමන්ගේ බිරිඳක් කරගන්න . ඒ නිසා මේ දේවිය පලතුරු උයනට ගමන් කරන වෙලාවේ දෝලාව අතුලේදීම මරා දාලා දේවියගේ ආත්මය දේවත්වයට පත්කරලා තමන්ගේ මහේෂිකාවක් බවට පත් කරගන්නවා .

කතරගම දෙවියන් ඉන්දීය දෙවි කෙනෙක් කියලාත් සමහර අය කියනවා . ඉන්දියාවේ හිටපු කතරගම දෙවියෝ ලංකාවේ හිටපු ඇසුරක් පරාජය කරන්න ලංකාවට ඇවිත් ඒ අසුරයා පරාජය කරලා ලංකාවේ මිනිසුන්ගේ ජනප්‍රසාදය දිනාගන්නවා . මොකද මේ අසුරයා ලංකාව පාලනය කලේ මිනිසුන් තලා පෙළා පීඩනයට පත්කරමින් . කතරගම දෙවියන් ඇවිත් මේ අසුරයා විනාශ කිරීම නිසා ලංකාවේ මිනිස්සු කතරගම දෙවියන්ට ඉතාම භක්තියක් ඇතිකරගෙන කතරගම දෙවියන්ට දේවත්වයෙන් සලකන්න පටන් ගන්නවා . ස්කන්ධ කුමාරයා විදියට ලංකාවට පැමිණි මේ දෙවියන් අවසානයේ ලංකාවේ දේවත්වයට පත් වෙනවා .

තාරක අසුරයා පරාජය කරලා අසුරයින් කපා දමපු තමන්ගේ මංගල කඩුව ජීවමාලී තොටුපලේදී මැණික් ගඟේ ශුද්ධවූ ජලයෙන් සෝදනවා . අන්න ඒ සිරිත තමයි අද දක්වා දිය කැපීමේ මහා මංගල්‍යය කියලා පැවත එන්නේ . අද වෙනකොට ලංකාවේ ගොඩක් තැන්වල දිය කැපීම කරාට , මේ දිය කැපීමේ නියම හිමිකාරිත්වය තියෙන්නේ කතරගම දේවාලයට . ඒ සිරිත සංකේතවත් කරන්න තමයි අනිත් දේවාල වලත් දිය කැපීම කරන්නේ .






දැන් අපි එමු දුටුගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් අතර තිබ්බ ගනුදෙනුව ගැන හොයලා බලන්න . ද්‍රවිඩයින් විනාශ කරලා ලංකාව එක්සේසත් කරන්න දුටුගැමුණු රජතුමා මාගම් පුරයෙන් යුද්ධ කටයුතු සංවිධානය කරනවා . මෙහෙම යුධ කටයුතු සංවිධානය කරනකොට කතරගම මැණික් ගඟ අසලදී දවසක් දුටුගැමුණු රජතුමා තනියම කල්පනා කරනවා මේ යුද්ධය දිනන්න කොහොම සැලසුමක්ද කරන්න ඕන කියලා . ඒ වෙලාවේ කතරගම දෙවියන් ජීවමාන වෙනවා හරිම අපූරු විදියකට .


ඒ කතරගම දෙවියන් තමන්ගේ මගුල් කඩුවෙන් ගහලා මැණික් ගඟේ දිය දෙබෑ කරගෙන ගඟේ එගොඩටත් මෙගොඩටත් ගමන් කරන දර්ශනයක් . මේ වෙලාවේ දුටුගැමුණු රජතුමා පුදුම වෙලා අහනවා ඔබ කවුද කියලා . මෙතනදී තමයි දුටුගැමුණු රජතුමා සහ කතරගම දෙවියන් අතර ගනුදෙනුව ආරම්භ වෙන්නේ . මේ වෙලාවේ කතරගම දෙවියන් තමන්ගේ මගුල් කඩුව දුටුගැමුණු රජතුමාට දීලා යුධ කටයුතු වෙනුවෙන් ආශිර්වාද කරනවා .

මෙන්න මේ විදියට දුටුගැමුණු රජතුමා යුද්ධය කරගෙන කරගෙන ගිහින් දැන් විජිතපුර බලකොටුව අල්ලාගෙන එළාර රජතුමා විනාශ කරන්න විතරයි තිබුණේ . ඒත් විජිතපුරය විනාශ කරන්න අමාරුයි . යුද්ධය කරන වෙලාවේ කඩොල් ඇතාගේ පිටට ලෝදිය හලලා කඩොල් ඇතා පවා මේ වෙලාවේ දුර්වල වෙනවා . මුළු සේනාවම දුර්වල තත්ත්වයට පත් වෙච්ච වෙලාවේ දුටුගැමුණු රජතුමා ආයෙත් කතරගමට එනවා කතරගම දෙවියන් හම්බෙලා ඒ ගැන කතා කරන්න සහ ආශිර්වාද ගන්න . මේ වෙලාවේ කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමා හමුවෙන්න එන්නේ තනියම නෙවෙයි . ඒ තමන්ගේ වැඩිමල් සහෝදර ගණ දෙවියනුත් එක්ක .


අයියයි මල්ලියි දුටුගැමුණු රජතුමාට උපදෙස් දෙනවා යුද්ධය කරන්න ඕන විදිය කියලා . ඊට පස්සේ කතරගම දෙවියන් දුටූගැමුනු රජතුමාට හෙල්ලයක් ලබා දෙනවා , එළාර රජතුමා විනාශ කරන්න මේ හෙල්ල භාවිතා කරන්න කියලා . ඒ හෙල්ලයේ තියෙන තවත් වැදගත් කමක් තමයි මේ හෙල්ලයේ ඔතලා තිබිලා තියෙනවා මහා මාතාන්ගේෂ්වරී කියන යන්ත්‍රය . මේ යන්ත්‍රය බලගතු යන්ත්‍ර මණ්ඩල කීපයෙන් අද දක්වා පැවතගෙන ආව ඒවායින් එකක් . මේ හෙල්ලෙන් ඇනලා තමයි අවසානයේ එළාර රජතුමා මරණයට පත් කරන්නේ . ඒ නිසා කතරගම දෙවියන් කෙරෙහි දුටුගැමුණු රජතුමා ඉතාමත් පැහැදීමකට පත්වෙලා කතරගම දෙවියන්ට තමන් වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරනවා . ආ මට කලින් ඒක කියන්න අමතක උනා .







කතරගම දෙවියන්ට දුටුගැමුණු රජතුමා මුලින්ම භාර වෙනවා යුද්ධය දිනුවොත් රන් උළු සෙවිලි කරපු රන් කොතක් සහිත දේවාලයක් නිර්මාණය කරලා දෙනවා කියලා . යුද්ධය දිනපු වෙලාවේ රජතුමාට මේක මතක් වෙනවා . පස්සේ රජතුමා කතරගමට එනකොට කතරගම වැඩහිටි කන්දේදී කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමාට දෘශ්‍යමාන වෙනවා . මේ වෙලාවේ රජතුමා අහනවා ඔබතුමා වෙනුවෙන් රන් උළු සෙවිලි කරන ලද රන්කොත් මාලිගාව මොන ස්ථානයේද නිර්මාණය කරන්න ඕන කියලා . මේ වෙලාවේ කතරගම දෙවියන් කියනවා අනාගතයෙදී රන් උළු මාලිගාවක් කලොත් ඒකට උපද්‍රව වෙන්න පුළුවන් නිසා තඹ උළු සෙවිලි කරපු රන් කොතක් තියෙන දේවාලයක් නිර්මාණය කරන්න කියලා .

එහෙම කියලා වැඩහිටි කන්දේ ඉඳලා තමන්ගේ දුන්නෙන් හීයක් විදිනවා . මේ හීය ඇවිත් පොළවේ අනෙන්නේ අද කතරගම දේවාලය පිහිටලා තියෙන ස්ථානයේ . මේ ඊතලය නිධන් වෙන විදියට තමයි දුටුගැමුණු රජතුමා කතරගම දේවාලය නිර්මාණය කරන්නේ . එහෙම නිර්මාණය කරලා නන්දිමිත්‍ර යෝධයාට කතරගම දේවාලයේ කපු නිලය භාර කරනවා . අද දක්වාම කතරගම කපු නිලය පැවත එන්නේ මෙන්න මේ නන්දිමිත්‍ර යෝධයාගේ පරම්පරාවෙන් කියලා තමයි කියන්නේ .

තව දෙයක් කියන්න ඕන . කතරගම තියෙන්නේ වැඩහිටි කන්ද . ඒ කියන්නේ කතරගම දෙවියන් වැඩ හිටපු කන්ද . නැතුව වැඩිහිටි කන්ද නෙවෙයි . අද ඒක වැඩිහිටි කන්ද කියලා ව්‍යවහාර වෙලා වෙලා නිකන් වයසක මිනිස්සු විතරක් ඉන්න කන්දක් වගේ වෙලා කියලා හැගීමක් තමයි එන්නේ . කතරගම දේවාලයේ මහා පෙරහැර දවසට වැඩහිටි කන්දේ ඉඳලා කතරගම මහ දේවාලයට අකුණු සැරයක් එනවා කියන එකත් ගොඩක් දෙනෙක් දන්නා කාරනාවක් . කතරගම දෙවියන් සහ වල්ලි අම්මාගේ විවාහය සමරන මේ ඇසල මංගල්‍යය වෙනුවෙන් මේ දෙදෙනා වැඩහිටි කන්දේ ඉඳලා අකුණු සැරයක් විදියට දේවාලයට වඩිනවා කියලා තමයි ඉස්සර ඉඳලා මිනිස්සු විශ්වාස කරන්නේ .






කතරගම දෙවියන් භාවනානුයෝගීව වැඩවසනවා කියන්නේ කැබලිත්ත මහ සියඹලාව දේවාලය පිහිටලා තියෙන ස්ථානයේ . මෙතනට යන එන අය කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්මට භාජනය වෙනවා කියන ඒකත් රහසක් නෙවෙයි . මස් කාලා කිලි වැදිලා යන අයට මේ මාර්ගයේදී වෙන අනතුරු ගැනත් ගොඩක් තැන් වෙලා සඳහන් වෙලා තියෙනවා .

තවත් වැදගත් කාරනාවක් කියලා මම මේ කතා ටික නවත්වන්නම් . ඒ තමයි සිද්ධාර්ථ කුමාරයාගේ මගුල් කඩුව ගැන කියවෙන කතාවක් . සිදුහත් කුමාරයා නේරංජන ගංගාවේ සුදුවැලි තලයේ නැවතිලා කේශ ධාතුව කපා දාමපු තමන්ගේ මගුල් කඩුව ආයෙත් චන්න ඇමති අතේ මාලිගාවට යවනවා . පස්සේ මේ කඩුවට මොකද උනේ කියලා කවුරුත් දන්නේ නෑ . කතාව තියෙන්නේ මේ මගුල් කඩුව කතරගම කිරිවෙහෙරේ නිධන් කරන්න අවස්ථාව ලැබුණා කියලා . මේ කඩුවේ ආරක්ෂාවට කතරගම දෙවියන් පත් වෙලා ඉන්නවා කියලා තමයි කියන්නේ . ඇත්ත නැත්ත කෙසේවෙතත් එහෙමත් කතාවක් තියෙනවා ඔන්න .

ඉතින් මේ අද කිව්ව විස්තර ටික කිව්වේ කතරගම දෙවියන් වෙනුවෙන් රචනා වෙලා තියෙන ගීත කීපයක් එක ලිපියකට එකතු කරලා ඉදිරිපත් කරන්න හිතුන නිසා . ගීතවල තේරුම්නම් දාන්න තරම් අමාරු තේරුම් තියෙන ගීත නෙවෙයි . ඒ නිසා වචන ටිකයි සිංදුව අහන්න පුළුවන් ලින්ක් එකකුයි විතරක් මේ ලිපියට එකතු කරන්නම් .

(1)

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

සිතින් කයින් වන වරද නොගන්නයි
ගමන් මගට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්දන්නයි

අනන්ත අනුහස අණ පතුරන්නයි
තැවුල් අවුල් සෝ දුක දුරලන්නයි
දෙමවුපියන් සේ අප රැකගන්නයි
පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි

කදිර සුරිඳුනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ

මැණික් ගඟේ නිමල දියේ පවු මළ සෝදාහරින්න
කිරිවෙහෙරේ නිවන් පුරේ අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳූනේ..
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳූනේ..
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳූනේ
කදිර සුරිඳූනේ...

ගායනය :- ඩබ්ලියු ඩී අමරදේව




(2)

සරවනබව කඳ සුරිඳුගෙ තෙදබල
පලකල තුරුලිය ඔදකල මද නල

සිඹ සිඹ දෙවු සැපත මැණික් ගං තලේ
සැතපුව මැන සුව යහනක තුන්හෙලෙ

සය මුහුනකි නෙත් දොළොසකි පෑවුල
කිතු ලෙස මිනි පිල් විහිදෙන වාහනෙ
බැබළෙන ලෙස සිරි ලංක සාසනේ
එක නෙතකින් බලනු මැනවි සාමිනේ

හිස මුදුනත ලෙල දෙයි සැවුළිඳු දද
දොළසතකින් රණ අවිද වූ කඳ රජ
ඔබ පිය මැන මැන හොබ කල හැම සඳ
මෙම පිරිසගේ දුක බිය සැක සංසිඳ


ගායනය :- අල්හාජ් මොහිදීන් බෙග්




(3)

කිරිවෙහෙරේ කොත් කැරැල්ල
මතින් නැගෙන දහම් රැල්ල
සාදු දනන් දෙවු පුදවන් මැණික් ගං තෙරේ
එරන් මයුර අසුන් අරා දොළොස් අතක බරණ දරා
රුහුණු පුරේ ඔද තෙද වන් කදිර සුරිඳේ

කපුරු සුවඳ දුමින් නැගෙන සුවෙන් හදේ තැවුල් නිවන
දොළොස් නෙතින් ලොව නරඹන දිව්‍ය විමානේ
දනන් නගන දුක් නිවන්න කදිර සුරින්ඳේ

මයුර කලඹ සිරස දරා දවුල් හඬට පද තබා
පුද දෙන බැතිමල් සරසා දිව්‍ය විමානේ
තැවුල් අවුල් නිවන් හදේ කදිර සුරින්දේ


ගායනය :- සුනිල් එදිරිසිංහ






(4)

කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

සත්ගිරි වට කොට ඔබේ නිවහන ඇත
සත්සිඳු පතලව ඔබේ කිතුගොස ඇත
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

මයුරාසන මත වැජඹෙන තෙදැතිව
උතුරන හදකින් පුදදෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා

කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා
මගෙ රට සවුසිරියෙන් සපිරේවා
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා අද
ඔබ යැදුමට ආවා අපි
ඔබ පිදුමට ආවා


ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන






(5)


තෙදිනි විරාජ රුවිනි විරාජ
රුහුණු සුරාජ ක‍ඳ දෙව්රාජ //

එරන් මයුර වාහනයෙන්
රුපුසෙන් බිඳ වැඩමවන්න
වැඩහිටි කඳු මත වැඩසිට
නර කැළ වෙත සෙතසදන්න
කතරගමේ බලමහිමේ
දියත පතළ කර හරින්න..

අන වින වස් දොස් තුන් බිය
දුරළා සත රැකදෙවන්න
මැණික් ග‍ඟේ නිමල දියෙන
කිලි-කුණු සෝදා හරින්න
කතරගමේ බලමහිමේ
දියත පතළ කර හරින්න..


ගායනය   - එඩ්වර්ඩ් ජයකොඩි 








(6)

අසුර බලේ සිදුරි කලේ මේ සිංහලේ
කතරගමේ දෙවිඳ ඔබේ තේජෝ බලේ
සතට දැයේ කුළුණු ගුනේ පානා සෙනේ
බැතිනි සිතේ වඳිමි ඔබේ පාදේ මෙසෙ

දොළොස් නෙතම ලොවට හෙලා
ද්වේශ අන්ධකාර නිවා
රක්තවර්ණ දේහ දිලේ මයුර ආසනේ
තේජවන්ත ධීර වීර පුණ්‍යවන්ත පාරිශුද්ධ
සකල සතට සෙතම සදන කදිර සුරිඳුනේ

අතින් රැගෙන රුදුරු අවිය
උපන් බිමට තරඟ වදින
දනන් වෙතේ බලනු මැනේ දිවැස පා ඔබේ
වෛර නිවා සාම සිසිල දෙන්න මවා දැයට නිබඳ
සකල සතට සෙතම සදන කදිර සුරිඳුනේ


ගායනය :- ජගත් වික්‍රමසිංහ



(7)

මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ
මනු ලෝ සත වෙත පෑව නෙතින
සුරකිනු අප ස්වාමිනේ
මයුරාසන හිඳ පාන තෙදැති
සුරිඳුනි කඳ රාජනේ

සාමයේ චේතනා රැඳුණු සිතැඟි නෑ මෙදා
දේවනේ

මෝහයේ ද්වේශයේ ගිලෙන ලොවට පා තබා
දේවනේ


ගායනය :- සුනිල් එදිරිසිංහ






(9)

මයුරාසන මත වැඩ හිඳිනා
කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී
හිමි පාමුල මම වැඳ වැටෙමී

මුහුණු සයකි අත් දොළසින් සොබනා
සවන යොමනු කඳ සුරිඳේ
මිනිසා මිනිසාට ගරහන්නේ
මවුපියො නෑ ඔහු හඳුනන්නේ

ශක්තිය බලපා යුක්තිය පාගා
පුහු මානය හද රන්දා
වස්තුව නිළ බලතල හින්දා
මිනිසා මිනිසට දෙයි නින්දා


ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක





තව ගීත ඇති ඒත් මතක් වෙන්නේ නෑ . ඔයාලටත් මතක් උනොත් කමෙන්ට් කරන්න . එතකොට ඒවත් මේ ලිපියටම එකතු කරන්න පුළුවන් .

ඔබ සැමට කඳ සුරිඳුගේ පිහිට ලැබේවා !

Saturday, June 20, 2015

අජානේය ඉස්කූටර් තුරඟාපිට වඩිනා



මාසෙකටත් වඩා වැඩි කාලයක් සද්ද නැතිව ඉන්න උනේ කැම්පස් එකේ සෙම්ස්ටර් එන්ඩ් එක්සෑම් එක තිබ්බ නිසා . අද තමයි එක්සෑම් ඉවර වෙලා ආවේ . එක්සෑම් නරකමත් නෑ . හැබැයි ඉතාම භයානකයි කියලා කියන්න පුළුවන් . පේපර් නම් හරිම කෙටියි . ඒත් ලියන්න තියෙන උත්තර හරිම දිගයි . ඒ දිග උත්තර ලියනකොට සර්ල මැඩම්ල නොමග යවලා ලකුණු ගන්න මුසාවාදා වේරමනී කඩන්න නුනෙමත් නෑ . ලකුණු එනකොට බැරියා කරපු පවු වල තරම මැනගන්න . හඃ හඃ හඃ .

එක්සෑම් කාලේ එපාම කරපු දෙයක් තමයි කන්න බොන්න නැති එක . චඃ ඇල්වතුර වගේ කෑම කාලා කාලා එපා වෙලා . ගෙදර ආව ගමන් අම්මා උයපු හබුන් ගොඩාක් කාලා ඔන්න ලැප් එක දිගෑරගෙන ලකලැස්ති වෙන්නේ වෙනදා වගේම ගීතයක් අරුත් විවරණය කරන්න .

මේ අවුරුද්දේ මගෙ ජීවිතේට විශේෂ සිදුවීම් ගොඩක් උනා . අද ගීතයට පාදක වෙන්නේ එයින් එකක් . මගෙ පුංචි අම්මා ඉගෙනගත්තේ මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ සහ මාතර මාහාමායා විද්‍යාලයේ . උසස්පෙළට විද්‍යා විෂය ඉගෙනගන්න ආසාව තිබුනට ඒවට තෝරන දවසේ පුංචිට ඉස්කෝලේ යන්න උනේ නැති නිසා ඒ අවස්ථාව මගඇරිලා තියෙනවා . ඉතින් කළා විෂය ධාරාව යටතේ තමයි උසස්පෙළ හදාරලා තිබුණේ . පස්සේ චාටඩ් එකවුන්ටන් දෙවෙනි ලෙවල් එක වෙනකල් ඉගෙනගෙන ඉන්නකොට තමයි ගුරු වෘත්තියට ආසා හිතිලා තියෙන්නේ . ඒ කාලේ ගුරුවරු වැඩිය ඉඳලා නැහැ ඉස්කෝලවල . ඉතින් ස්වෙච්චා සේවය කරපු කීප දෙනා ස්ථීර කරනවා කියලා දැනගෙන පුංචිත් ඉස්කෝලෙක ස්වෙච්චා ගුරුවරියක් විදියට වැඩ කරලා තියෙනවා .

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර පිටිසර ගම්මානයක පොඩිම පොඩි ඉස්කෝලෙක පුංචි මුලින්ම උගන්නලා තියෙනවා . ඒ ඉස්කෝලේ උගන්නපු කාලේ පුංචි අත්විඳපු අත්දැකීම් මාත් එක්ක සමහර වෙලාවට විස්තර කරලා තියෙනවා . හරිම සංවේදී කතා පවා ඒ කතා අහුරේ ගැබ් වෙලා තිබුණා . කන්න බොන්න නැති ළමයි ගැන තවත් කතා ගොඩක් තිබුණා . වට්ටක්කා තම්බලා ලුණු වතුර ටිකක් ඉහලා පොල් එක්ක ඒවා කාලා ඉස්කෝලේ එන ළමයි ගැන දුක්බර කතා පුංචිගේ හදවතේ කොනක හැංගිලා තියෙනවා .







මේ අතරේ පුංචි දහම්පාසල් ධර්මාචාර්ය විභාගය සමත් නිසා දහම්පාසල් ගුරුවරියක් විදියට උගන්නන්නත් යොමුවෙලා හිටියා . මාතර කොටුවේගොඩ ජයසුමනාරාම විහාරස්ථානයේ දහම්පාසලේ තමයි පුංචි දහම්පාසල් අධ්‍යාපනය ලැබුවේ සහ දහම්පාසල් ගුරුවරියක් විදියට උගන්වන්නත් පටන් ගත්තේ . ඒ කාලේ ඒ පන්සලේ නායක පදවිය දැරුවේ තාරාපේරියේ සෝමාලොකාභිධාන නායක ස්වාමීන් වහන්සේ . පුන්චිලට පාලි උගන්නලා තියෙන්නේ මේ සෝමාලෝක හාමුදුරුවෝ . පුංචි පාලි භාෂාව හොඳට හදාරලා තිබුණ නිසා දහම්පාසලේ පාලි භාෂාව තමයි වැඩිපුරම උගන්නලා තියෙන්නේ . හැබැයි අවශ්‍යතාව මත අනෙක් විෂයන් පවා උගන්නලා තියෙනවා . ඔය ඉගෙන ගත්ත සිසු සිසුවියන් අතරේ මාතරින් බිහිවෙච්ච ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් හිටියා . ඒ කතාව මම දැනගත්තේ ජයසුමනාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකගේ ආදාහන උත්සවයකට අපි සහභාගී වෙච්ච වෙලාවක ඒ ක්‍රීඩකයා පුංචිට මිස් කියලා කතා කරපු වෙලාවේ .

ඉතින් අපේ ගෙදර අය රත්නපුරේ පදිංචි උනාට පස්සේ පුංචිත් රත්නපුරේ මුවගම සිරිවිසුද්ධාරාම දහම්පාසලේ උගන්වන්න පටන් ගත්තා . ඊට පස්සේ තමයි පුංචිට පාසැල් ගුරුවරියක් විදියට පත්වීම ලැබුණේ . පුංචි උසස්පෙළට හැදෑරුවේ කළා විෂය උනාට වරලත් ගණකාධිකාරී විභාග වෙනුවෙන් ඉගෙන ගත්ත ගණිත දැනුමයි තනියමම ලබාගත්ත ගණිත දැනුමයි එක්ක ගණිත ගුරු පත්වීමක් තමයි එයාට ලැබුණේ . ඊට පස්සේ තමයි එයාගේ ගුරු භූමිකාව නිලවශයෙන් ආරම්භ කලේ .







තමන් කරන රැකියාවෙන් උපරිම සතුටක් ලබන්න පුළුවන් හදවතක් පුංචිට තිබුණා . කවදාවත් මට මේ රස්සාව එපාවෙලා කියලා පුංචි කිව්වේ නෑ . මට මතකයි මම මොන්ටිසෝරි යන්න කලින් පුංචි මාවත් ඒ ඉස්කෝලෙට එක්ක යනවා . මම ඉතින් ඉස්කෝලේ අයියලා අක්කලා එක්ක ඉන්ටවල් එකට සෙල්ලම් කරනවා . ඊටත් වඩා වැදගත් දෙයක් උනා මම ඒ කාලේ සංගීතය අතපතගාන්න පටන් ගත්ත එක . මොන්ටිසෝරි යන්නත් කලිත් තමයි මම ස්ර්පිනාවකට අත තිබ්බේ . ඒ පුංචි මාව ඉස්කෝලෙට එක්ක ගිය නිසා . එදා මට සර්පිනාවේ යතුරු පුවරුවට අත තියවපු සංගීත මිස් අදත් මාව දැක්කම අතීතය මතක් කරනවා බට්ටා කාලේ සර්පිනා ගැහුවා මතකද කියලා .

ඒ කාලෙම පුංචි දුරස්ථ ගුරු පුහුණුවකට ගියා . ඒ පුහුණුවේදී එයාට ලැබුණු මොඩියුල් සෙට් එකේ මම ඇඳපු කුරුටුබලි බල බල පුංචි අදටත් හිනා වෙනවා . මාව එක වසරේ ඉඳලා පහ වසර වෙනකල් ඉස්කෝලේ එක්ක ගියේ පුංචි . ඒ නිසා මමත් ඒ ඉස්කෝලේ රජ පාට් එක දාගෙන හිටියා . මම තුන වසරේ ඉන්න කාලේ පුංචිට ඇඹිලිපිටිය පැත්තේ ඉස්කෝලෙකට මාරුවීමක් ආවා . එයා ඒ මාරුවීම කැන්සල් කරගත්තේ මාව තනියම ඉස්කෝලේ දාලා යන්න බෑ කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කියලා . මට මතකයි එයා මාව දාලා යන්න බෑ කියලා ඒ කාලේ ඇඬුවත් එක්ක .





හයවසරේ මම ශිෂ්‍යත්වේ පාස් වෙලා සීවලියට ගියාට පස්සේ පුංචිට වෙන ඉස්කෝලෙකට මාරුවීමක් ආවා . එයත් ඒක හදාගන්නේ නැතුව යන්න ගියා . ඒක දුෂ්කර පාසලක් . දුප්පත් ළමයි හිටියේ ඒ ඉස්කෝලේ . සතියේ දවස් දෙකක් එයා ඒ ඉස්කෝලේ හවස පංති කරා . ඒ පංතියේ ප්‍රතිපල විදියට උසස්පෙළ විද්‍යා විෂය, ගණිත විෂය , කළා විෂය හදාරන්න නගරයේ පාසැල් වලට ළමයි කීප දෙනෙක්ම ආවා . කවදාවත් ඒ පංති වලට පුංචි සල්ලි ගත්තේ නෑ ඒ ළමයින්ගෙන් . ඒ නිසා ඒ ගමේ අය පුංචිට ගොඩක් සැලකුවා . තමන්ගේ ළමයින්ට නොමිලේ උගන්වන එක ඒ දුප්පත් මිනිස්සුන්ට ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති .

ඊට පස්සේ පුංචි ආවේ රත්නපුර සුමනසමන් මහා විද්‍යාලයට . ඒ ඉස්කෝලෙත් පුංචි නොමිලේ පංතිය දිගටම කලා . පුංචි අධ්‍යාපනවේදී උපාධියක් හැදෑරුවා . ඒකට එයා කරේ ළමයින්ගේ මානසික ගැටළු ගැන කරපු පර්යේෂණයක් . ඒ නිසාම පුංචිට මේ ඉස්කෝලෙත් කලින් හිටපු ඉස්කෝලෙත් විනය භාර ආචාර්යවරිය විදියට වැඩ කරන්න අවස්ථාව ලැබුණා . ඒ පර්යේෂණය කරන කාලේ මමත් ඒ ළමයි ලියලා දුන්නු කොළ කියවලා බැලුවා . සමහර ළමයි තමන්ගේ තාත්තා බීලා ඇවිත් කරන ඒවා , ඒවා නිසා ළමයින්ගේ හිතට හිතෙන ඒවා අව්‍යාජ හැගීමෙන් ලියලා තිබුණා .





පුංචි ඒ මොන තනතුර ලැබුනත් ළමයින්ට ගොඩක් ආදරෙන් සැලකුවා . සමහර දවසට කන්න ගෙනත් නැති දුප්පත් ළමයින්ට එයාගේ බත් එකත් දීලා කැන්ටිමෙන් තව මොනවාහරිත් අරන් දෙනවා . මගේ අඳින්න මදි නිසා අයින් කරපු පාසැල් නිල ඇඳුම් ඒ ළමයින්ට ගිහින් දුන්නා . සපත්තු සෙරෙප්පු පොත්පත් පවා ගිහින් දුන්නා . පුංචි ළමයින්ට කෝටුපාරත් මදි නොකියන්න දුන්නා කියලා මම දන්නවා . හැබැයි ළමයි ඒවට කවදාවත් පුංචිට දොස් කියලා නෑ .

ගොඩක් අය කියනවා වයලීනොට පුංචි පාඩම් කරන්න කියලා වද කරනවා ඇති කියලා . මට කිසිම දවසක එයා අධ්‍යාපන පීඩනයක් ඇතිකළේ නෑ . එකම එක බලාපොරොත්තුවක් දුන්න මතකයි . ඒ සාපෙළ ගණිතය විෂයට A සමාර්තයක් ගන්න කියන එක . එයා කිය කිය හිටියේ ගෙදර ළමයට ගණන් වලට A එකක් නැත්නම් මට ඉස්කෝලේ ගමන නවත්තන්න වෙනවා කියලා . හැබැයි ඒක කිව්වේ විහිළුවෙන් වගේ . ඒත් කතාව ඇත්ත නිසා මම ඒ දේ කළා . මම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච වෙලාවේ මට මතකයි පුංචි මාව හොයාගෙන පන්තියට ඇවිත් මගෙ ඔලුව අතගාලා හිනා උනා .

පුංචි දෙමල භාෂාව හදාරලා ටික කාලයක් ඉස්කෝලේ ළමයින්ට දෙමළත් ඉගැන්නුවා . ඔය අතරේ නිකමට වගේ ලිව්ව විදුහල්පති විභාගයෙන් පුංචි සමත් උනා . ඒත් විදුහල්පති කෙනෙක් උනාම ළමයින්ගෙන් සහ පේපර් මාකින්ග් වලින් ගන්න තියෙන අත්දැකීම් වලින් ඈත් වෙන්න වෙනවා කියලා විදුහල්පති සම්මුඛ පරීක්ෂණයේදී තමන්ට ලැබෙන තනතුර ප්‍රතික්ෂේප කළා . ඊට පස්සේ දිගටම පුංචි ඉස්කෝලේ විනය භාර ආචාර්යවරිය විදියට කටයුතු කළා .





පුංචි මට අම්මා කෙනෙක් විදියට නොකළේ ලේ කිරි කරලා පොවපු එක විතරයි . ඒ නිසා පසුගිය දහවෙනිදා , ඒ කියන්නේ ජුනි දහවෙනිදා සිදුවුණ පුංචිඅම්මගේ විශ්‍රාම යාම හිතට දුකක් ගේන එකක් නෑ කියලා කලින් හිතාගෙන හිටියට අද ගෙදර ආවට පස්සේ පුංචිට ලැබුණ සමරු තිළිණ වල ළමයි ලියලා තියෙන ඒවා දැක්කම හිතට තද දුකක් අරගෙන ආවා .

පුංචිත් හිතේ තදකරගෙන උන්නට ඉස්කෝලේ ළමයි එක්ක ගෙවන ජීවිතෙන් ඈත් උනාම පාළුවක් දැනෙනවා ඇති . පොඩිකාලේ මාවත් අතින් අල්ලාගෙන අවුරුදු පහක් ඉස්කෝලේ එක්ක ගිය , එක්ක ආව හැටි මතක් වෙනකොට ඒ කාලෙම ජීවත් වෙන්න තිබුණානම් හොඳයි කියලා මටත් හිතෙනවා . මම ඒ කාලේ පංතියේ ළමයි එක්ක ගහගත්තම ඒවා බේරන්න සමහර වෙලාවට පුන්චිටත් එන්න උනා . වැඩිපුර මතක් කරනකොට ලියන්න ඉන්න ගීතයෙන් හිත වෙන පැත්තකට යනවා .

පුංචි ඉස්කෝලේ විනය භාර ආචාර්යවරිය විදියට කටයුතු කරන කාලේ ළමයින්ගේ ලවු ලේටර්ස් , අරව මේවා ගොඩයි ඉතින් ගෙදර . ඔව්වා සමහර වෙලාවට අපිට පිස්සු හිනා ඇති කළා . එක දවසක් ළමයෙක් ලිව්ව ලියුමක් පුංචි ගන්න කලින් ඒ ළමයා ඉරලා . පස්සේ පුංචි කියල ඒ කෑලි ටික එකතු කරන්න කියලා . ඒ කෑලි ටික ගෙදර ගෙනාවට පස්සේ වයලීනොගේ නොමද සහය මධ්‍යයේ තමා ඒක නැවත ගොඩනගල ලියුම සම්පූර්ණ කරලා කියෝ ගත්තේ . පුංචි හම්බ වෙන්න ළමයින්ගේ අම්මලා තාත්තලා වැඩි හරියක් ඉස්කෝලේ ආවා ගියා ළමයින්ගේ ප්‍රශ්න කතා කරන්න . ඉතින් මේ ඔක්කොම ගෙදර ඇවිත් කියනකොට මේ ගීතයත් මේ වගේ ගුරුවරයෙක් කියන ගීතයක් නෙවෙයිද කියලා මට නිකමට හිතුනා . ඔන්න අහන්නකො ගීතය .





අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා

සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා


ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය – රෝහණ විරසිංහ
ගී පද – රත්න ශ්‍රී විජේසිංහ


මේ ගීතය ගැන ගීත රචකයා කියන අර්ථයට වඩා වෙනස් අර්ථයක් මම දෙන්න හදන්නේ . ඒකත් සාධාරණයි කියලා කියන්න කරුණු කාරණා කීපයක්ම තියෙන නිසා මම හිතනවා ඒ අර්ථය හොඳට ගැළපෙයි කියලා .






අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසැවී පුරවර සිරි බලනා
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුණා

මේක නගරයෙන් ටිකක් පිටත තියෙන ගමක ඉස්කෝලයක සිසුවියක් වටා ගොඩනැගුණු කතාවක් . මේ සිසුවිය හොඳට ඉගෙනගන්න පුළුවන් හැකියාවක් තියෙන සිසුවියක් . ඒත් කාලයත් එක්ක ප්‍රේමය කියන දේ හිතට දැනුනම අධ්‍යාපන කටයුතු ටිකක් අතපසු වෙනවා . එහෙම එහෙම ගිහිල්ලා දැන් ඉස්කෝලේ වාර විභාග වලටත් ලකුණු අඩුයි . පස්සේ ගුරුවරු මේ සිසුවියට අවවාද කරනවා අධ්‍යාපන කටයුතු හොඳට කරන්න කියලා. ඒත් ඒ වෙනකල් ගුරුවරු දන්නේ නෑ මේ සිසුවිය තමන්ට වඩා තරමක් වයසින් මුහුකුරාගිය පෙම්වතෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන තියෙනවා කියලා .

දවසක් ඔන්න ඉස්කෝලේ ඇරිලා පාසලේ විනය භාර ආචාර්යවරයා තමන්ගේ වැඩකටයුතු අවසන් කරලා නිවස බලා නික්මෙනවා . දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට පාසලේ විනයභාර ගුරුවරයා උදෙන්ම පාසලට එන්න ඕන වගේම අන්තිමටම තමයි පාසලෙන් පිටවෙන්න ඕන . ඉතින් හවස් වෙලා තමයි මේ ගුරුවරයාත් පාසලෙන් පිටත් වෙන්නේ .

මේ ගුරුවරයාගේ නිවස තියෙන්නේ නගරයෙන් වෙනත් පැත්තක . ඒ කියන්නේ ඉස්කෝලේ ඉඳලා බස් එකක නගරයට ඇවිත් ආයෙත් වෙන බස් එකක තමයි නිවස බලා ගමන් කරන්නේ . ඉතින් ඔන්න මේ ගුරුවරයා දැන් නගරයට ආවා . ඇවිත් ගෙදරට අවශ්‍ය අඩුම කුඩුම එව්වා මෙව්වා ටිකකුත් අරගෙන බස් එකක නගින්න බස් හෝල්ට් එකේ ඉන්නකොට ඈතින් පේනවා මෝටර් සයිකලයක නැගලා එන තමන් දන්නා කියන කෙනෙක්ගේ මූණක් . අර මම කලින් කිව්ව සිසුවිය තමන්ගේ ප්‍රේමවන්තයා එක්ක මෝටසයිකලේ රුං ගාලා එනවා . ප්‍රේමවන්තිය දැකලා මේ ගුරුවරයා තමන්ගේ හිතෙන්ම ප්‍රශ්න කරනවා මෙන්න මෙහෙම . අජානේය ඉස්කුටර තුරඟා පිට වඩිනා , කුමාරියෙනි වාත වේගයෙන් ඉගිලෙනු කොතනා කියලා . මේ කුමාරිය මොටසයිකලේ ගමන් කරන්නේ පෙම්වතාගේ උරහිස බදාගෙන ටිකක් උඩට ඉස්සිලා . සමහරවිට වටපිට බලන්න ඇති කවුද ඉන්නේ කියලා . දැක්කොත් මාට්ටු වෙන නිසා . ඒක තමයි කියන්නේ බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා කියලා . ඒත් මේ ගුරුවරයාට පේනවා ප්‍රේමවන්තයාගේ මුහුණේ තියෙන සංකර පෙනුම . ඒ නිසා ගුරුවරයා හිතනවා මේ දැරිවියට මේ ප්‍රේමවන්තයා ඇත්තටම ආදරය කරනවද නැත්නම් මේක රවටා ගැනීමක්ද දන්නේ නෑ කියලා . ඒ නිසා ගුරුවරයා හිතනවා , අර වගේ ඉස්සිලා බලන විදියට ඔබගේ , අධ්‍යාපනය , චරිතය , අනාගත බලාපොරොත්තු නමැති කිරුල බිම වැටිලා සුනු විසුනු වෙලා යයිද කියලා හිතුනා කියලා .






සූ සැට ශිල්පය උගෙනා පාරගතව ගියෙනා
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා


ගුරුවරයාට තවදුරටත් ඉගෙන ගන්න ආසාව තිබුනට යම් යම් හේතු නිසා තමන්ගේ අධ්‍යාපනය ගුරු පදවියක් ඇතුලේ නතරකරන්න සිදු වෙනවා . ඒ නිසා මේ ගුරුවරයා හිතනවා සූසැට ශිල්පය උගෙනා පාර ගතව ගියෙනා කියලා . ඒ කියන්නේ මම කලින් කිව්වා වගේ තවදුරටත් ඉගෙන ගන්න තියෙන පාරවල් වැහිලා ගියා කියලා . ඒ නිසා මේ ගුරුවරයාට ලැබෙනවා ගුරු පත්වීමක් . ඒ ගුරුපත්වීම නිසා ගොඩක් ළමයින්ගේ අධ්‍යාපන මාවත හෙළි පෙහෙළි කරන්න හැකියාව ලැබෙනවා . ඒ කියන්නේ පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුණා කියලා . මේ පාර තමයි අධ්‍යාපන මාවත . ඒ මාවත හෙළි පෙහෙළි කරන්න ගුරු වෘත්තීය නමැති උදැල්ල මේ ගුරුවරයාටත් ලැබිලා තියෙනවා . ඉතින් මේ ගුරුවරයා තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් කැප කරලා දරුවන්ට ඉගෙන ගන්න උවමනා දේවල් කරනවා .

දැන් ඔන්න අර ප්‍රේමවන්තිය මේ ගුරුවරයා ඉස්සරහින් යනකොට එකපාරටම දකිනවා තමන්ගේ ඉස්කෝලේ විනය භාර ගුරුවරයා බස් හෝල්ට් එකේ ඉන්නවා . ඉතින් ලැජ්ජාවටයි බයටයි දෙකටම හරියන්න මේ සිසුවිය තමන්ගේ ලේන්සුවෙන් මුණ වහගන්නවා . ගුරුවරයා හිතනවා දරුවන්ට උගන්වන්න කරන තමන්ගේ මහන්සිය මේ සිසුවියට තේරෙන්නේ නැහැ . ඒ නිසා ඒ හැම දෙයක්ම ලේන්සු පටින් වහගෙන හිනාවෙන් යටපත් කරලා දැම්මා කියලා .






සදාකල්ම පෙම්වතුන්ගෙ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාදු මල් පිපියන් සැමදා


ඉස්කෝලවල විනය භාර ගුරුවරු ගොඩක් වෙලාවට නඩු විසඳීම් වලදී කරන්නේ තමන්ගේ සිසු සිසුවියන්ගේ ප්‍රේම සම්බන්ධතා පලහිලවූ විසඳලා ඒ දෙදෙනා ආයෙත් අධ්‍යාපන මාවතට ඇදලා දාන එක තමයි . අපේ ඉස්කෝලෙත් එහෙම ඒවා උනා නේද සිංදුවො ? හඃ හඃ හඃ හඃ ...... ඒත් මේ ගුරුවරු කවදාවත් කියන්නේ නෑ කසාද බඳින්නේ නැතිව ආදරය කරන්නේ නැතිව ඉන්න කියලා . එයාලා කියන්නේ හරි කාලේ ආවම ඒ දේවල් කරන්න කියලා . ඒත් අවුල තියෙන්නේ ඕක කොච්චර කිව්වත් අත්දැකීමෙන් ඉගෙනගන්න කල් තේරුම් යන්නේ නැති එක තමයි . මට හොඳට මතකයි අපේ ඉස්කෝලේ එක ගුරුවරියක් අපිට හැමවෙලේම වගේ අවවාද කරනවා දැන්ම හදිස්සි වෙන්නේ නැතිව හොඳ කෙනෙක් හොයාගන්න , තමන්ට ගැලපෙන තමන්ගේ අදහස් වලට ගැලපෙන කෙනෙක් හොයාගන්න කියලා . 

අවසානයේ මේ ගුරුවරයාත් තනියමම හැගීම්බර වෙනවා මේ සිදුවීම හරහා දීර්ඝව හිතලා . සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා උදුම්බරා මලක් තියේ ආදරයයි කියෙනා . පෙම්වතුන්ට තමන්ගේ ප්‍රේමවන්තිය සුවඳ විහිදුවන උදුම්බරා මලක් . ආදරයත් ඒවගේ උදුම්බරා මලක් . මේ මල් රෑ කාලයේ සුවඳ එකතු කරලා එකතු කරලා උදේ කාලයේ ලොවටම සුවඳ විහිදවනවා . 

ඉතින් මේ ගුරුවරයා ප්‍රාර්ථනා කරනවා , අධ්‍යාපනය , අත්දැකීම් , හොඳ නරක , හොඳ සමාජ වටපිටාව කියන සුවඳ ගොඩාක් එකතු කරගෙන අවසානයේ ඒ සුවඳ ලෝකයටම බෙදා හරින්න පුළුවන් මල් ගොන්නක් මේ සිසුවියටත් පිපෙන්න කියලා . 






ගුරුවරුන් සමහර වෙලාවට යක්කු වගේ හැසිරුනාට ඒ අයටත් හදවතක් තියෙනවා කියලා මේවා කියවන ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා හිතේ තියාගන්න ඕන . කවදාවත් ඒ අය සිසු සිසුවියන්ට වෛයිර කරන්නේ නෑ . කොච්චර ගැහුවත් බැන්නත් ඒ අය සිසු සිසුවියන්ට තමන්ගේ ළමයින්ට වගේ ආදරෙයි . අපේ පුංචිගේ චරිතයෙන් මම හොඳට ඒ දේ දැකලා තියෙනවා . ලෙඩකටවත් නිවාඩු ගන්නේ නැත්තේ ඒ ළමයින්ට මොනවා හරි උගන්වන කාලය ඒ නිසා නැති වෙන නිසා කියලා පුංචි හැමවෙලේම කියනවා . අනික එහෙම ඉස්කෝලේ ගියේ නැත්නම් ඒ පීරියඩ් එකේ ළමයි වෙන වෙන ඒවා කරලා අන්තිමට නඩු කෝටියක් අනිත් දවසේ විසඳන්න වෙනවා කියලාත් පුංචි කියනවා . අඩුම වැටුපක් ලබන ඒත් ලෝකයේ උතුම්ම රැකියාව තමයි ගුරු වෘත්තීය . ගුරුවරයෙක් කාලයත් එක්ක එකතු කරගන්නා අත්දැකීම් තමයි අවසානයේ තමන්ගේ සිසු සිසුවියන්ගේ චරිත තුලට ඇතුල් කරන්නේ . 

මේ ගීතයේ ඇත්ත තේරුම කියලා කියන්නේ වෙනත් තේරුමක් . ඒක ආයෙත් වෙනත් ලිපියකින් මම අරගෙන එන්නම් . අපි දැන් බලමු මේ ගීතයේ සංගීතය කොහොමද යෙදිලා තියෙන්නේ කියලා . හැබැයි වැඩි දෙයක් කියන්න නම් නැහැ .

මේ ගීතයට වැඩිපුරම බටහිර සංගීත භාන්ඩ තමයි භාවිතා කරලා තියෙන්නේ . මේ ගීතයේ පෙර වාදන අතුරු වාදන දෙකටම වාදනය කරන්නේ එකම වාදනය . පෙර වාදනයේ මුලින්ම වාදනය කරන වාදන කොටස ඉලෙක්ට්‍රික් කීබෝඩ් එකකින් වාදනය කරනේ . ඒ වාදන කොටසින් ඇති කරන්නේ නාගරික පසුබිමක් . ඒ වගේම අජානේය ඉස්කුටරයේ සද්දය වගේ එකකුත් ඇහෙනවා නේද ? . වාදන කණ්ඩයේ අන්තිම කොටසේ වාදනය කරන වාදනය ගේන්නේ නාගරික සංකර සමාජයේ බියජනක බව ඇතිකරවන හැගීමක් . 

මේ වාදන කොටසේ තාල වාදනය කරන්නේ ඔක්ටර් පෑඩ් , එකොස්ටික් ඩ්‍රම් එකක් සහ බේස් ගිටාර් එකක් . 





චිචි චික් 
චිචි චික් 

කියලා දිගටම වාදනය කෙරෙනවා හයි හැට් එකක් . 

දැන් ඔන්න වාදන කොටස ඉවරයි . දැන් ගීතය පටන් ගන්නවා . මේ ගීතය පටන් ගන්න කොටසට තාල වාදනය කරන්නේ ඩොල්කියක් . මේ ඩොල්කිය වාදනය කරන නිසා මේ ගීතයේ වාදනයේ තියෙන ගැඹුරු බව ටිකක් අඩු කරලා සාමාන්‍ය බවක් මේ ගීතයට ගෙනත් දීලා තියෙනවා . ගීතයේ ස්ථායි කොටසේ වාදනය කරන කවුන්ටර් පාට් වාදනය කරන්නේ ඕගන් එකකින් . ඕගන් එකක තියෙන සර්පිනා හඬ තමයි භාවිතා කරලා තියෙන්නේ ඒ වාදන කණ්ඩ වාදනය කරන්න . 

ගීතයේ අන්තරා කොටස්වලට සංගීතය අතින් වැඩි යමක් එකතුකරලා නෑ . ඒත් පොඩි පොඩි බිට්ස් පාට් ටිකක් මේ ඕගන් එකෙන් වාදනය කෙරෙනවා . 

මේ ගීතය සරලයි . ඒත් අර්ථය ටිකක් බරපතලයි කියලා හිතෙනවා . ඒ බරපතල අර්ථය සරල කරන්න සංගීතය උදවු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා . එහෙනම් ඔහොම තමයි මට මේ ගීතය ගැන හිතෙන්නේ . ආයෙත් ලියන්නම්කො මේ ගීතයේ සත්‍ය තේරුම . මේ ලිපිය වැඩිපුරම ලියන්න අදහස් කලේ පුංචිට නිදුක් නිරෝගී විශ්‍රාම ජීවිතයක් ප්‍රාර්ථනා කරන්න එක්ක . එහෙනම් 

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

Monday, June 1, 2015

සැමට සුභ පොසොන් පොහෝ දිනයක් වේවා !




                 


                                         42.gif