අර කතා මේ කතා සංගීත කතා පොර කතා රස කතා තියෙන වයලගේ කාමරේ — තාම හදාගෙන යනවා බං —

ගොඩක් වෙලාවට ගීතයකට තේරුමක් ලියන්න කියලා හිතනකොට ඒ කිට්ටුවට හරි ගලපන්න පුළුවන් මට අත්දකින්න ලැබුණ කතාවකුත් මම මතක් කරලා ලියනවා . ඒත...

ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා








ගොඩක් වෙලාවට ගීතයකට තේරුමක් ලියන්න කියලා හිතනකොට ඒ කිට්ටුවට හරි ගලපන්න පුළුවන් මට අත්දකින්න ලැබුණ කතාවකුත් මම මතක් කරලා ලියනවා . ඒත් ඇත්ත ජීවිතේ මමනම් කරන්නේ මේකේ අනික් පැත්ත . වැඩිපුරම මම කරන්නේ අහන්න දකින්න ලැබෙන දේවල් වලට ගීත තෝරලා බේරලා ගළපන එක . සිංදුවාඅයියා සහ සිංදුවාමල්ලි මේ ගැන හොඳට දන්නවා මම හිතන්නේ .

සමහර වෙලාවල්වලදී මම ප්ලේ කරන සිංදුවල තේරුම සිංදුවාට තේරුම් ගියාම " නවත්තපන් නවත්තපන් ඕක " කියලා කෑගහන වෙලාවල් මෙතෙකැයි කියන්න බැහැ පිංවතුනි . සිංදුමල්ලිත් සමහර වෙලාවට කියන්නේ " වෙන ෆන් සිංදු මුකුත් නැද්ද , ඕකනම් අහන්න බෑ " කියලා . හිහ් හිහ් හිහ් හිහ්......... අවස්ථාවට ගීත ගලපන ඒ වැඩේ ලේසියි . ඒත් ගීතයකට අවස්ථාවක් ගලපන්න ගියාම ටිකක් අනාථ වෙනවා වගේ හැගීමක් දැනෙනවා . ඒ අපේ අත්දැකීම් ගොඩක් වෙලාවට හිතේ හිඩ්න් වෙලා තියෙන නිසා වෙන්නැති . 

ඉතින් අදත් ලියන්න කියලා හිතාගෙන ඉන්න ගීතයට පූර්විකාව ගන්න මම මතක් කරනවා මෙන්න මෙහෙම සිදුවීමක් . හැබැයි මම දන්න හැටියට අද වෙනකොට මගෙ මේ යහළුවත් යෙහෙළියත් දෙපැත්තට වෙලා ටිකක් දවස් වෙනවා . මේ යාළුවා මාත් එක්ක නෙවෙයි ඉගෙන ගත්තේ . වෙන ඉස්කෝලෙක යාලුවෙක් . 

ඒත් මගෙ හොඳම යාලුවෙක්ගෙ යාළුකම නිසා මේ යාළුවව මටත් අඳුරගන්න පුළුවන් උනා . ඉස්කෝලේ යන කාලේ නැත්නම් උසස්පෙළට ක්ලාස් යනකාලේ අපේ යාළුවො කස්ටිය එකතුවෙලා කුමන්ත්‍රණ කරන එක තැනක් තිබුණා . ඉතින් මේ යාළුවත් අපේ සෙට් එකට එකතු උනා වගේම අපි කුමන්ත්‍රණ කළා , එහෙ මෙහෙ ඇවිද්දා , මියුසිකල් ෂෝ වලට පුරුදු උනා වගේ වැඩ කිඩ ගොඩක් කළා . 

මේ කාලේ වෙනකොට වයලීනෝ පාසැල් ප්‍රේමයට පැටලිලා අවුරුදු එකහමාරක් දෙකක් විතර ගෙවලා හිටියේ . සිංදුමල්ලිත් මට මතක හැටියට දෙක තුන හතර පහකටම පැටලිලා හිටියේ හඃ හඃ හඃ හඃ . මම මේ කියන යාලුවා ස්ත්‍රී පරානයකට බැල්ම දැම්මේ 2008 වගේ කාලේ . කොහොමහරි මට මතකයි 2009 ජුලි 11 හෝ 12 දවල් මම ටවුන් එකට ගියා අපේ ආච්චිඅම්මගේගේ ෆොටෝ එකට දාන්න මල් මාලයක් ගන්න . ඒ ගිහින් ගෙදර එනකොට මේ යාලුවා මට හම්බෙලා කිට්කැට් එකක් දීල කිව්වා " මේ ඇනිවසරි එකට පාටිය මචං " කියලා . හැබැයි මට හරියටම ඒක මතක නෑ ඒ ඇනිවසරියද නැත්නම් කොකු පාටියද කියලා . කොහොමහරි එදා මට ඒ යාළුවා ඔය කතා දෙකෙන් එකක් කිව්වා . එව්වා ගොඩ දාගන්න කාපු කටු දැක්ක නිසා අපිත් ගොඩක් සතුටු උනා උටත් එහෙනම් හරිගියානේ කියලා .







ටික ටික ඉතින් දැන් දෙන්නා ගමන් බිමන් එහෙම එකට එනවා අපිට පේනවා . ක්ලාස් එන්නේ යන්නේ එහෙම එකට . අපිත් ඉතින් උන් දෙන්නට නොකිව්ව කතාවක් නෑ . සමහර වෙලාවට දෙන්නා එනකොටම චාටර් කරන්න පටන් අරන් චාටර් කිරීමේ අන්තයටම චාටර් කරනවා . මෙහෙම මෙහෙම මේ ප්‍රේම කතාව ලෝකප්‍රසිද්ද ප්‍රේම කතාවක් වෙලා අන්තිමට ඔන්න ගෙවල් වලිනුත් දැනගත්තා . තාම උසස්පෙළ ලියන්න උනේ නෑ අපිට . මෙහෙම කාලයක් යනකොට මගෙ මේ යාළුවා ඒ ගෑණුළමයාගේ ගෙදරත් යන්න එන්න පටන් ගත්තා . 

මෙව්වා මෙහෙම වෙනකොට දවසක් මමයි සිංදුමල්ලියි මේ ගැන කල්පනා කරලා බලලා කරලා මේ දෙන්නටම වෙන වෙනම කිව්වා මචන් මචීන් ඔහොම ගෙවල් වල යන්න එන්න ගත්ත එකනම් ඒ හැටි හොඳ නෑ , ඒ නිසා ඒ ගමන තව ටිකක් පස්සට දැම්මනම් හොඳයි නේද කියලා . ඊට පස්සේ උසස්පෙළ විභාගය ලං වුණා . අන්තිමට අපි ක්ලාස් ගිය දවසේ මේ යාළුවගේ වෙනසක් දැක්කත් මම හිතුවේ නෑ එදා ඒ කිව්ව දේ නිසා මිනිහා අපිත් එක්ක අප්සැට් ගහලා ඉන්නේ කියලා . කොහොමහරි ඉතින් මිනිහා කාලයක් ඕකට අපිත් එක්ක අප්සැට් ගහලා හිටියා කියලා මට තේරුණා . අපිත් අපිට මොකෝ කියලා හිටියා . පස්සේ එව්වා ශේප් වෙලා ගිහින් ආයෙත් සුපුරුදු පරිදි අපි හැමෝම ෆිට් එකේ හිටියා . 

ඒත් මේ යාළුවා ඒ ගෑණු ළමයාගේ ගෙදර විශේෂ දේවල් වලට පවා සහභාගී උනා . ඉතින් මම දන්නා හැටියට ගමේ මිනිස්සු පවා මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි කියලා දැනගෙන හිටියා . උසස්පෙළ කරපු කාලේ ඉඳලා මේ දක්වා ගතවුණු කාලය අතරතුර මේ දෙන්නා අතරේ කීප වතාවක්ම වෙච්ච හැලහැප්පීම් නිසා දෙන්නා වෙන් වෙන්න යනකොට අපි මැදිහත්වෙලා ඒවා සමනය කරලා දෙන්නා ශේප් කරා . පස්සේ පස්සේ ඉතින් පවුල් ප්‍රශ්න වලට පිටින් ඉන්න අපි අත දාන්න හොඳ නැති නිසා අපි සයිලන්ට් උනා . 

එහෙමම කැම්පස් ගියාට පස්සේ වැඩිය යාළුවො සෙට් එක හම්බුනේවත් එක එක්කෙනාගේ ඒවෙනකොට ඉන්න සිටුඒෂන් එක කොහොමද කියලාවත් කතා කරන්න උනේ නෑ . දැනට සති දෙකතුනකට කලින් දැනගන්න ලැබුණා මේ දෙන්නා වෙන් වුණා කියලා . මම ඉතින් ඒක වැඩිය ගණන් ගත්තේ නෑ . මොකද මේ වගේ කීප වතාවක්ම වෙන් වෙලා ආයෙත් දෙන්නා සෙට් වෙච්ච නිසා . ඒත් මගෙ තවත් හොඳම යාළුවෙක් කතා කරලා කිව්වා මේ කතාව ඇත්තටම වෙලා කියලා . එවෙලේ වයලීනොට සංවේගය පහලවුනා . 

ඉතින් දවසක් ටවුන් එකට ආව වෙලාවේ මේ යාළුවා මට මුණගැහුනා හදිස්සියේ ගමනක් යනගමන් . ඉතින් මම ඇහුවා මොකද උඹ අරක නැවැත්තුවා කියන්නේ ඇත්තද කියලා . පස්සේ මිනිහා කිව්වා ඔව් බං අම්මලත් මට හොඳටම දොස් කිව්වා ගෙවල් වල අයත් ආව ගිය නිසා කියලා . ඉතින් මමත් කිව්වා මිනිහට උඹ ඔය තීරණය ගන්න කල් ගත්තා වැඩියි බං කියලා . එතනින් කතාව නැවතුනා . මේවාට හේතු භූත වෙච්ච දේවල් වත් මොනාද කියලා තාම හරි හැටි දැනගන්න ලැබුණේ නෑ මිනිහගෙන් . උන් ඉතින් වෙන් වෙලානම් දැන් ඕවා හරිහැටි දැනගෙන වැඩකුත් නෑ . හැබැයි ඔව්වා අමතක කරලා ආයෙත් දෙන්නා එකතු වෙනවනම් අපි කැමතියි .






මම එදා හිතුවේ මේ දෙන්නා වෙන් වෙන්න හේතුව උනේ එකිනෙකා ලං වුනා වැඩි නිසා කියලා . මම අද හිතන්නෙත් එහෙමම තමයි . සමහරවිට ඒ තීරණය වැරදි වෙන්නත් පුළුවන් . මොකද ඒක එක එක ප්‍රේමවන්තයින්ගේ ප්‍රේමවන්තියන්ගේ ගතිගුණ සහ තේරුම් ගැනීමේ හැකියාව මත වෙනස් වෙන්න පුළුවන් නිසා . ඒත් කාලයක් තිස්සේ මේ දෙන්නා අපේ ඇස් මානයේ හිටපු නිසා මට නිකමට හිතුන මේ දෙන්නා ලං වෙලා හිටියා වැඩි නිසා ඒ හේතුව මත ඇතිවෙන තත්ත්වය නිසා වෙන් වුනා කියලා . 

අපි ආදරය කරන්න පටන් ගන්න කාලේ ගොඩක් වෙලාවට පෙනුමට තමයි ආදරය කරන්න පටන් ගන්නේ . ඉතින් ජීවිතේට කතාකරලා නැති , අඩුම තරමේ කතාකරන්න පුලුවන්ද බැරිද කියලාවත් දන්නේ නැති කෙනෙක්ට හිතෙන් විතරක් ආදරය කරන්න පටන් ගන්නවා . ඒ කාලෙට අපේ හිත්වල ඇතිවෙන හැගීම් සුන්දරයි මනස්කාන්තයි අරුමැසියි කොයිල් සහගතයි . ඊට පස්සේ ඔන්න පස්සෙන් යන්න පටන් ගන්නවා , නැත්නම් මොකක් හරි විදියකින් කැමැත්ත අකමැත්ත අහන්න පෙළඹෙනවා . 

මේ කාලෙට ඇතිවෙන්නේ ආදරයයි බයයි මික්ස් වෙලා ඇතිවෙන හැගීමක් . කැමතියි කිව්වොත් ලොවෙත් මල් . අකමැතියි කිව්වොත් සමහරු වෙනතක යන්න යනවා . තම සමහරු ටිකක් සෝක මූඩ් ගහලා විස්සෝපෙන් කල් ගෙවනවා . කැමතියි කිව්වොත් ඒ කිව්වට පස්සේ හිතේ ඇතිවෙන්නේ අර දුරින් ඉඳලා ඇතිවෙච්ච ආදරයට වඩා වෙනස් හැගීමක් . ඊට පස්සේ දෙන්නා වැඩි හරියක් ජීවත් වෙන්නේ එකිනෙකා ගැන වද වෙන ලෝකයක . කෑවද බිව්වද නෑවද ගෙදර ආවද කීයටද ආවේ කාත් එක්කද ආවේ මොනවද කලේ කාත් එක්කද කලේ කොච්චර වෙලා කලාද අරවද මේවද ප්‍රශ්න ගොඩයි . සමහරවිට වැඩිය හම්බෙන්න වෙන්නේ නැති ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ ටිකක් ඔය වගේ වෙනවා කියලා මම සහසුද්දෙන්ම දන්නවා . මේ කාලෙට එකිනෙකා ගැන තියෙන්නේ පරිස්සම් කිරීමේ අරමුණක් . අනික තමන්ට නොලැබෙන අනුන්ට ලැබෙන පොඩි පොඩි අවස්ථාවන් ගැන ඉරිසියාවක් . 

පස්සේ ඔහොම ඔහොම ගිහිල්ලා මේ ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ තමන්ගේ ආදර කතා ගෙවල් වලට කිව්වට පස්සේ එයාලාගේ ආදරය කිරීමේ විලාශය කලින්ට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා . ගෙවල් වල යන්න එන්න ගත්තම ඒ ආදරය තවත් දුරට වෙනස් වෙනවා . ප්‍රේමවන්තයින් ප්‍රේමවන්තියන් මෙහෙම එකිනෙකා වෙත ලංවෙන්න ලංවෙන්න අර මුලින්ම තිබුණ අරුමැසි ආදරය යතාර්ථවාදී ආදරයක් බවට පත් වෙනවා . ඒක ගෙවල් වලට කියන්න කලින් ඉන්නේ කවදද මේවා කියලා පිළිවෙලක් කරගන්නේ කියලා . ඒත් කිව්වට පස්සේ හිතෙනවා අපරාදේ කිව්වේ කියලා . මොකද එතකොට ඇතිවෙන තත්ත්වය ටිකක අමුතු නිසා . එතකොට දෙන්නා ආදරය කරන්නේ අම්මලා තාත්තලා දැනුවත්ව . ඒ නිසා හොරෙන් ආදරය කරනකොට තියෙන නැවුම් පසුබිම ආයෙත් ඇතිවෙන්නේ නෑ  . ඒ නිසා පිංවතුනි ලවු කරනකොට ගෙවල් වලට මාට්ටු උනත් නැවැත්තුවා කියලා හොරෙන් ලවු කරන්න . බඳින්න කිට්ටු කරලා ගෙවල් වලට කියන්න . නැත්නම් ඕක මහා ප්‍රශ්න ගොඩක මුලක් වෙනවා .







ආදරය මේ විදියට යතාර්ථවාදී වීම එකිනෙකා විසින් භාරගන්නේ කොයි කොයි ප්‍රමානවලින්ද කියන එක ඒ ඒ දෙන්නා විසින් අවබෝධ කරගෙන හිටියේ නැත්නම් ඔන්න ඔතනදී තමයි ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගන්නේ මම හිතන විදියට . යොවුන් ආදරයේ තියෙන බොළඳ ගති පැවතුම් මේ යතාර්ථවාදී වීම නිසා අඩුවෙලා යනවා . ජීවන අර්බුදයට මූණ දෙන්න ගත්තම මේ බොළඳ වීම සමහරවිට නැත්තටම නැතිවෙලා යනවා . මම හිතන්නේ පවුල් ප්‍රශ්න ඇතිවෙන්න උනත් ආරම්භය මෙතන වෙන්න පුළුවන් කියලා . 

ඒවා එහෙම උනත් අනිත් කෙනාට ඒවා කෙලින් කියන්නේ නැහැ ගොඩක් වෙලාවට . එයාලා හිතන්නේ අනිත් කෙනා ඒවා ඒ විදියට කරන්න දැනගන්න ඕන කියලා . ගෑණු ළමයි ගොඩක් වෙලාවට මෙහෙමමයි . කොල්ලා ඔක්කොම දේවල් පැත්තක තියලා ජීවන අරගලයේ ගැටෙන්නේ දෙන්නටම හොඳ ලෝකයක් හදාගන්න ඕන නිසා කියලා තේරුම් ගන්න ගෑණු ළමයි ඉදිරිපත් වෙන්නේ හරිම මන්දගාමී විදියට . අඩුගානේ මේක කියවලා එක කෙල්ලෙක්වත් ඒක ඉගෙනගත්තනම් ඒක ලොකු දෙයක් වයලීනොට නිවන් සුව අත්වෙන්න .

මොකද කොල්ලෙක්ට තියෙන පීඩනය හරිම වැඩියි . ඉගෙනගන්න එක , රස්සාව , ආර්ථික මට්ටම , ගෙවල් දොරවල් , වාහන , අමතර ආදායම් මාර්ග එක්ක මේ අතරෙ අම්මලා තාත්තලාගේ ප්‍රශ්න ගෙවල්වල ප්‍රශ්න ඉඩම් ප්‍රශ්න එක්ක ආදරේ කරන්නත් ඕන . ඇනිවසරි සමරන්න , බර්ත්ඩේ සමරන්න , යාලුවන්ගේ ඒවා සමරන්න ඒවා මේවා ඔක්කොම එකතු කරලා ගත්තම කොල්ලෙක්ට මේ ප්‍රශ්න වලින් වැඩි බරක් යනවා කියන එක ඇත්ත නේද ? . හැබැයි හැම කෙල්ලම මෙහෙම පැත්තකට වෙන්නේ නෑ . සමහර අය ඉන්නවා කොල්ලා එක්ක හරි හරියට වැඩ කරලා ලයිෆ් එක ගොඩදාගන්න මහන්සි වෙන අය . එයාලට අපේ ගෞරවය . නැති අය එහෙම වෙන්න ට්‍රයි කරන්න ඈ.... :) 

මේ තැන දක්වා විතරයි වයලීනොට කියන්න පුළුවන්කම තියෙන්නේ . මොකද වයලීනොවත් වයලීනොගේ සමීප යාලුවන්වත් තවමත් ඔයින් එහා පියවරවල් වලට මුල පුරලා නැති නිසා . ඒත් ලං වෙන්න ලං වෙන්න ඈත් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි කියලා පොඩ්ඩක් මතක තියාගන්න . ඒ නිසා ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ සීමාව ඉක්මවා ලං වෙනවා කියන්නේ වෙන් වීමත් අතින් අරගෙනම තමයි කියන එක වයලීනෝ තරයේම කියා හිටිනවා . ඕකට තමයි කියන්නේ අර හැමදාම දකින කුකුලගේ මොකක්ද එක මොකක්ද එකක් කියලා . ඒ නිසා හැමෝටම තම තමන්ගේ ආදර කතා සුන්දරව බැරිනම් අඩු තරමේ ගින්දරව කෙලවරකර නොගන්නා විදියට ගොඩදාගන්න හැකියාව ලැබේවා කියලා වයලීනෝ ප්‍රාර්ථනා කරනවා . 
( මටත් එසේම වේවා ! )







ඉතින් අද කියන්න යන ගීතයත් මම හිතුවා ඒ වගේ කියලා . මේ ගීතයට තේරුම් දෙකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ . ඒ නිසා මේ ලිපිය සමහරවිට ගොඩක්ම දීර්ග ලිපියක් වෙන්න පුළුවන් හරිය . මම කියන්න යන ගීතය තමයි මේ තියෙන්නේ 

ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද බඳුනේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

මධු සඳ තරු අද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..


ගී පද :- ආචාර්ය ජයලත් මනෝරත්න
සංගීතය හා තනුව :- එච් එම් ජයවර්ධන
ගායනය :- බණ්ඩාර අතාවුද










මේ ගීතය රචනා කරලා තියෙන්නේ ආචාර්ය ජයලත් මනෝරත්න මහත්මයා . මම වඩාත් ගරු කරන නාට්‍ය වේදීන් දෙපලෙන් එක්කෙනෙක් තමයි මනෝරත්න මහත්මයා . මනෝරත්න මහත්මයා තමයි මට මතක හැටියට " බයිසිකලය " ටෙලි නාට්‍යයේ සියදෝරිස් චරිතයට පණපෙව්වේ . ඒ චරිතය තමයි මම එතුමා දැක්ක පරණම චරිතය . ඊට පස්සේ ගොඩක් ටෙලි නාට්‍ය වේදිකා නාට්‍ය සිනමා කෘති වල දැකලා තියෙනවා . මනෝරත්න මහත්මයාගේ දේශන අහන්නත් මම වැඩිපුර කැමතියි . ඒ එතුමාගේ තියෙන බහුශ්‍රතබව ඒ දේශන වලින් ඉස්මතුවෙන නිසා . මේ ගීතය මෙතුමා රචනා කරා කියලා දැනගත්තම පුදුම හිතුනත් එතුමාගේ තියෙන තිරස්ව විහිදීගිය දැනුම සහ හැකියාව එක්ක ඒක අරුමයක් නෙවෙයි කියලා හිතාගන්න පුළුවන් .






මේ ගීතයට තනුව නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රවීණ සංගීතඥ එච් එම් ජයවර්ධන මහත්මයා . එතුමා බටනලාවෙන් ඉපදුන සංගීතඥයෙක් . ඒ නිසා ඒ සලකුණ මේ ගීතයේ සටහන කරන්න එතුමා අමතක කරලා නෑ .



                


මේ ගීතය ගායනා කරන්නේ බණ්ඩාර අතාවුද මහත්මයා . වයලීනයෙන් බිහිවුන තවත් ගායකයෙක් . ඒ නිසා වයලීනොට ටිකක් වැදගත් චරිතයක් . ඒ වගේම බණ්ඩාර ආතාවුද මහත්මයාගේ ගෝලයින් එක්ක සංගීත තරඟ වලදී තරඟවදින්නත් කීප වතාවක්ම වයලීනෝට අවස්ථාව ලැබුණා . ඒ නිසා මෙතුමා මටනම් කොහොමත් අමතක නොවන චරිතයක් . එතුමාගේ තවත් වැදගත්කමක් තමයි එතුමා කොයිම වෙලාවකවත් තමන්ගේ ගීත මුල් ගායනයෙන් වෙනස් වන ආකාරයෙන් ගායනා නොකිරීම . මෙතුමාගේ ගායනා හරිම පුදුම විදියට මුල් ගායනයත් එක්ක සමීප වෙනවා .

එහෙනම් අපි බලමු මේ ගීතය කොහොමද දිගහැරෙන්නේ කියලා .

යොවුන් ආදරය කියන මාතෘකාව එක තැනකින් පටන් අරගෙන තවත් තැනකින් ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි . යාතාර්තවාදීවීමත් එක්ක මම අර කලින් කිව්වා වගේ මේක යටපත් වුණාට කවුරු කවුරුත් කොච්චර වයස ගියත් මේ යොවුන් ආදරයට ආදරය කරනවා . ඉතින් ඔන්න ඔහොම ආදරය කරපු යුවලක් මේ ගීතයේ ජීවත් වෙනවා . තරුණ වයසේ ආදරයක උවමනාව තදින්ම දැනුන දෙන්නෙක් . මේ ගීතයේ ජීවත්වෙන පෙම්වතිය ටිකක් සල්ලි තියෙන පොහොසත් පවුලක කෙනෙක් . පෙම්වතා මධ්‍යම පාංතික පවුලක කෙනෙක් . හැබැයි අන්ත දුගියෙකුත් නෙවෙයි .

මෙයාලා ආදරය කරන්න පටන් ගන්නේ අධ්‍යාපනය ලබන කාලයේ වෙන්න බැහැ . අධ්‍යාපනය ලබාගෙන දෙන්නම රැකියාවක් කරන කාලයේ තමයි ආදරය කරන්න පෙළඹෙන්නේ . ඉතින් මේ දෙන්නාගේ ආදරය ගෙවල්වල ආශිර්වාද මැද්දේ විවාහයෙන් කෙලවර වෙනවා . මංගල රාත්‍රියේ මධුසමය ගත කරලා දැන් දෙන්නා නිදාගන්න හදන වෙලාව . පෙම්වතිය දැන් තමන්ගේ බිරිඳ බවට පත්වෙලා ඉවරයි . ඉතින් අභිනව ස්වාමි පුර්ෂ භූමිකාවට ආව පෙම්වතා තවම නිදි නැහැ . හැබැයි පෙම්වතිය මධුසමයේ අසිරිය විඳලා දැන් තමන්ගේ ස්වාමියාට තුරුල් වෙලා හොඳට නිදි . දැන් ස්වාමි පුර්ෂයා තමන්ගේ බිරිඳ දිහා බලාගෙන මෙහෙම හිතනවා .

ඔබ ඈත සඳ වී පායා..
මම මෑත තරුවක පිපිලා..
මේ නිසල රැයේ ලොව නිදනා..
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා..

මම මුලින්ම කිව්වා මේ පෙම්වතා මධ්‍යම පාංතික පෙම්වතෙක් කියලා . ඉතින් ආර්ථික මට්ටම පෙම්වතියට වඩා පෙම්වතාගේ අඩුයි . පෙම්වතිය පොහොසත් . මේ පද පේලි කීපයෙන් දෙවිදියක අර්ථයක් ඉස්මතු වෙනවා . සඳ , හිරුගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කරලා පොළවට එවනවා . පෙම්වතිය තමන්ගේ දෙමාපියන්ගේ ආර්ථිකයෙන් සවිමත් වෙලා ඒ සවි ශක්තිය පෙම්වතාට ලබා දෙනවා . පෙම්වතා තරුව . තරුවට හිරුගෙනුත් ආලෝකය ලැබෙනවා . ඒ එක්කම සඳුගෙනුත් ආලෝයක ලැබෙනවා . ඒ දෙකම තරුවකට ලැබෙනවා . ඒ කියන්නේ පෙම්වතාට තමන්ගේ අම්මා තාත්තාගේ ආර්ථිකයේ සවි ශක්තිය දායාද මගින් ලැබෙනවා . ඒවගේම තමන්ගේ පෙම්වතිය නිර්ලෝභීව ලබා දෙන ඇයට හිමි දායාදවල හිමිකමත් පෙම්වතාට ලබා දෙනවා . ඉතින් හඳයි තරුයි දෙන්නා පෙම්වතයි පෙම්වතියයි කියලා ගැළපෙනවා නේද ?

මේ දෙන්නගේ ආදර බැඳීම විවාහයෙන් කෙළවර වෙලා . දැන් මදුසමයේ රස විඳපු වෙලාව . පෙම්වතිය තමන්ට තුරුල් වෙලා නිදාගන්න වෙලාව . රාත්‍රියම නිහඬයි නිසලයි නිස්කලංකයි . ඒ වගේම මුලෝ ලෝකයම නිදිගත් මොහොතක් . ඒත් පෙම්වතයි පෙම්වතියයි ලංවෙලා තුරුල් වෙලා ආදරයේ උණුසුම විඳිනවා . ඒ උණුසුමත් එක්ක පෙම්වතා අලුත් ජීවිතය ගැන විනිශ්චයකට පැමිණෙනවා .

අප දුරින් දුරක වුව තනියේ..
නෙත් සරින් පමණි හමුවූයේ..
ඒ ඈත් බවිනි හද බඳුනේ..
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

පෙම්වතා සිහිපත් කරනවා දෙන්නා ආදරය කරපු කාලේ කරපු කියපු දේවල් . මෙයාලා පාසැල් යනකාලේ නැත්නම් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ වගේ නිදහස් කාලයක ආදරය කරන්න පටන් ගත්තනම් එයාලට එකිනෙකා හමුවෙන්න අදහස් හුවමාරු කරගන්න ලොකු කාලයක් ලැබෙනවා . ඒත් මෙතන උනේ එහෙම නෙවෙයි . දෙන්නා විවාහ වෙන්න ලං වෙච්ච වයසක තමයි ආදරය කරන්න යොමු උනේ . ඒ නිසා එයාලට වැඩි කාලයක් ආදරය කරන්න හමුවෙන්න උනේ නැහැ . ගෙවල් වලින් මේ ගැන දැනගෙන ඉක්මනටම විවාහය සිද්ද කරනවා . ඉතින් පෙම්වතා කියනවා අපිට වැඩි කාලයක් ආදරේ කරන්න ලැබුණෙත් නැහැ . ඒවගේම අපිට හැමදාම හම්බෙන්න ලැබුණෙත් නැහැ . ඒ ඈත් බව නිසාම අපේ හිත්වල තිබුණ ආදරය අඩු උනේ නැහැ . උනානම් උනේ හද බඳුනේ තිබුණ සොඳුරු ආදරය තවත් වැඩි වෙච්ච එක තමයි කියලා . හැබැයි මේ ආදරය කාලෙන් කාලෙට එක එක පාටවල් වලින් පාට වුණා .

මධු සඳ තරු අද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

එක එක පාටවලින් එක එක කාලෙට එක එක මෝස්තරේට පාට වෙච්ච අපේ ආදරය අද සඵල වෙලා . සඳයි තරුවයි අද මධුසමයේ හමුවීලා තියෙනවා . පෙම්වතා මෙහෙම හිතුවට පෙම්වතාට මතක් වෙනවා දෙන්නා ආදරය කරන්න මුල්ම හැගීම ඇතිවෙච්ච කාලේ ගැන , ඊට පස්සේ පස්සෙන් ගිය කාලය නැත්නම් පැත්තෙන් ගිය කාලය , ඊට පස්සේ හම්බෙලා කතාබහ කරලා ආදරය කරපු කාලය , ඊට පස්සේ ගෙවල් වලට කියලා ආදරය කරපු කාලය , අන්තිමටම මධුසමය ගතකරන්න මොහොතකට පෙර සහ මධුසමය ගතකරාට පස්සේ කියන කාලය ගැන . මේ එක එක කාල වලදී මේ පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට ආදරය කරපු හැටි දෙන්නට මතක් වෙනවා . පෙම්වතාට මේ කාල තුල ඇතිවුන ආදරය ගැන සාපේක්ෂ සංසන්දනයක් කරලා දැන් තත්ත්වය සහ එදා තත්ත්වය ගැන සමාලෝචනයක් කරන්න වැඩි වෙලාවක් ගතවෙන්නේ නැහැ .

ඉතින් පෙම්වතාට පේනවා එතකොට එදා දුර අතීතයේ අප අතරේ තිබුණ සොඳුරු සෙනෙහස අද වෙනකොට සිඳිලා ගිහිල්ලා කියලා . ඒ කියන්නේ තව තවත් දෙන්නට දෙන්නා ලං වෙන්න ලං වෙන්න ආදරයේ තියෙන නැවුම් බව ටික ටික අඩුවෙන්න පටන් අරගෙන කියලා . සමහර ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ මාත් එක්ක එකඟ වෙන එකක් නැහැ . මොකද ලං වෙන්න ලං වෙන්න තවත් ලං වෙන්න බලනවා මිස ඈත් වෙන්න තියෙනඉඩ  අඩුයි කියලා එයාලා විශ්වාස කරන නිසා ( කාන්දම් තමා එහෙම වෙන්නේ ) . හා හා කමක් නෑ . දැනට ඔහොම හිතාගෙන ඉන්න . ඒත් පස්සේ කාලෙකදී තේරෙයි ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා කියලා . ඒ කාලෙට දෙන්නට දෙන්නා ප්‍රශ්න දාගන්නේ නැතිව , ඇතිවෙච්ච ප්‍රශ්න සාමකාමීව විසඳගෙන , නොතාරිස්ගෙන් පටන්ගත්ත ගමන නීතිඥයාගෙන් කෙලවර කරගන්නේ නැතිව කතාබහ කරලා දෙන්නට දෙන්නා තම තමන්ගේ ඕනෑ එපාකම් අවෙඅබෝධ කරගෙන ජීවත්වෙනවානම් ඒ ඇති .







මේ ගීතය ක්ලික් වෙච්ච දවසේ ඉඳලා ගොඩක් දවස් වලට වැඩ නැති වෙලාවට මේ ගීතය බෝඩිමේදී ප්ලේ කරා . නිකමට වගේ මම සින්දු මල්ලිගෙන් ඇහුවා කොහොම තේරුමක් මේකට ඇතිද කියලා හිතලා බලන්න කියලා . සිංදුව අහන් ඉන්න වෙලාවට අහන් හිටියට මොකද සිංදුමල්ලි මේගැන විමසිල්ලෙන් අහන් ඉඳලා නෑ . ඉතින් ආයෙත් මුල ඉඳලා අහලා ස්ථායි කොටසටයි පළවෙනි අන්තරා කොටසටයි එයත් කිව්වේ මම කිව්වා වගේ අදහසක් . ඒත් දෙවෙනි අන්තරා කොටසෙන් කියවෙන්නේ වෙනමම තේරුමක් කියලා සිංදු මල්ලි කිව්වා . මම ඒකත් ඔන්නොහෙ මෙතන සටහන් කරන්නම් .

මධු සඳ තරු අද හමුවීලා..
සිටියද ඔබ මා ළංවීලා..
ඒ දුරක එදා අප පිපිලා..
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

පෙම්වතයි පෙම්වතියයි ආදරය කරන්න ගත්තේ විවාහ වෙන්න කිට්ටු වයසක කියලා මම මුලින්ම කිව්වා . ඉතින් මෙහෙම ආදරය කරාට මොකද පෙම්වතිය ටිකක් විතර සංකර චරිතයක් , හැබැයි ඒ ඉස්සර . ඉතින් පෙම්වතිය පාසැල් සමයේ ඉඳලා මේ වෙනකල් කීප දෙනෙක් එක්කම ආදර සම්බන්ධතා පවත්වලා තියෙනවා . මේ වෙලාවක ඒ කෙනෙක් අතින් පෙම්වතියගේ චරිතය අපිරිසිදු වෙලත් තියෙනවා . ඉතින් අභාවයට ගිය කන්‍යා භාවයක් එක්ක පෙම්වතිය මේ ගීතයේ ඉන්න පෙම්වතා එක්ක විවාහ වෙනවා . ඒත් මේ පෙම්වතා දන්නේ නෑ පෙම්වතිය කලින්ම මධුසමය ගත කරලා කියලා . සමහරවිට පෙම්වතිය බයවෙන්න ඇති ඒ ගැන කියන්න , මොකද මේ පෙම්වතාත් තමන්ට නැතිවෙයි කියලා . ඒ නිසා දෙන්නා විවාහ වෙනවා මේ මොකවත් දන්නේ නැතුව .

විවාහ වෙලා මධුසමය ගත කරන්න යනවා . මධු සඳ තරු අද හමු වීලා සිටියද ඔබ මා ලං වීලා කියන්නේ පෙම්වතයි පෙම්වතියයි ඉන්නේ මධු සමයේ කියන එක . ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා , ඒ කියන්නේ මධුසමය ගත කරත්දී පෙම්වතා දැනගන්නවා පෙම්වතිය කන්‍යාවියක් නෙවෙයි කියලා . ඒත් දෙන්නට දෙන්නා අතරේ තිබුණ ආදරය නිසා පෙම්වතා පෙම්වතියට වෙනසක් පෙන්වන්නේ නෑ . මේ ගැන අහන්න යන්නෙත් නෑ . පෙම්වතා පිටින් පෙන්නුවේ නැතත් හිතෙන් මේ ගැන ප්‍රශ්න කරනවා . ඒ වගේම පෙම්වතිය මේ වෙලාවේ සතුටෙන් ඉන්නවා පෙම්වතා මේ ගැන ප්‍රශ්න කරේ නැති නිසා . ඉතින් පෙම්වතිය සතුටෙන් නිදි . ඒත් පෙම්වතා තවම කල්පනා කරනවා .





පෙම්වතා පෙම්වතිය කෙරෙහි අසීමිත ආදරයකින් තමයි ජීවත් වෙන්නේ . ඒත් මේ සිද්දිය නිසා පෙම්වතාගේ ඒ ආදරය පොඩ්ඩක් දෙදරනවා . සමහරවිට ඊළඟ පියවරේ මේ ඔක්කොම සංසිඳිලා මේ දෙන්නා ආයෙත් මුලින්වගේම ආදරෙන් ඉන්න ඉඩ තියෙනවා . එහෙමත් නැත්නම් වෙන් වෙන්න තරමට මේ ප්‍රශ්නය දුර දිග ගිහින් දෙන්නා දික්කසාද වෙන්නත් ඉඩ තියෙනවා . ඒ තීරණය මොකක්ද කියලා තීරණය කරන්න කියවන ඔබට භාරයි .

මේ ගීතයේ සංගීත සංයෝජනය ගැන වැඩි යමක් කියන්න මට මීටර් වෙන්නේ නෑ . හැබැයි මම මුලින් කිව්වා වගේ එච් එම් ජයවර්ධන මහත්මයා මේ ගීතයේ තමන්ගේ සලකුණ මේ ගීතයේ සටහන් කරලා තියෙනවා බටනලාවෙන් . ඒ වගේම තමයි රාත්‍රිය කියන පසුබිම ඇතිකරන්න මේ ගීතයේ සමහර වාදය භාණ්ඩ දායක වෙනවා . ගීතයේ පෙර වාදන සහ අතුරු වාදන වාදනය කරන්න දායක වෙන සිතාරය සහ ඕගන් එකේ තියෙන සිතාර් හඬ මිශ්‍රවෙලා එන හඬ රාත්‍රිය කියන පසුබිම ඇති කරන්න හොඳින් දායක වෙනවා .

මේ ගීතය අද වෙනකොට පැරණි සංගීත සංයෝජනයයි නව සංගීත සංයෝජනයයි කියලා සංස්කරණ දෙකක් ඇවිත් තියෙනවා . වැඩිපුර ඇහෙන්නේ නම් නව සංස්කරණය . මමනම් වැඩිපුරම කැමති නව සංස්කරණයට . මොකද මට හිතෙන ඇහෙන විදියට නව සංස්කරණයේ සංගීත සංයෝජනය මේ ගීතයට වඩාත් සාධාරණයක් කරනවා කියලා විශ්වාසයි මට . හැබැයි ඒ අපේ තේරීම නිසා වෙන්නත් පුළුවන් . වෙනත් කෙනෙක්ට මේ ගීතයේ පැරණි සංස්කරණය වඩාත් හොඳ වෙන්න පුළුවන් . ඒ තේරීමත් ඔන්න ඔබට භාරයි . මේ ගීත දෙකේම බණ්ඩාර අතාවුදයන්ගේ ගයනා කිරීම , ස්වර වර්ණ ඉදිරිපත් කිරීම් ගොඩක් දුරට සමානයි කියලා මට හිතෙනවා . දක්ෂ ගායකයෙකුගේ හැකියාවක් තමයි මෙහෙම වෙනසක් දැනෙන්නේ නැතිවෙන්න එකම ගීතය නැවත ගායනා කිරීම . බණ්ඩාර අතාවුදයන් සාර්ථකව ඒ අභියෝගය ජයගෙන තියෙනවා මේ ගීතයේ .

මාසෙකට දෙකකට ආයෙත් ලියන්න වෙන්නේ නැති හැඩයි . මොකද වයලීනොට ආයෙත් එක්සෑම් කිට්ටුවෙලා තියෙන්නේ . ඒ නිසා ආයෙත් නිදහසක් ලැබුණම අපි ලියමු . එහෙනම්

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

මේ තියෙන්නේ ගීතයේ පැරණි සහ නව සංස්කරණ දෙක






13 comments:

  1. ලස්සන කතාවක්..ජිවිතේ දන්නා දේවල් මේ තරම් ලස්සනට විස්තර කරද්දී හිතෙනවා අලුතින් උනාද කියල..කියපු ගොඩක් දේවල් ඇත්ත.වයලිනෝ දැන් ආදරේ ගැන මහාචාර්ය කෙනෙක් වගේ ;) ඔව් ගොඩක් ලං උනාමත් ඉක්මනට ඈත් වෙනවා වෙන්න පුළුවන්..මාත් එකේ අඩුවක් දැක්ක.අපි අපිවම අදුරගන්නකම් ගෙදරින් මැදිහත් නොකරගන්නවා නම් හොදයි.අනික පටන් ගත්ත දවසේ ඉඳන් අර අරුමැසි ලෝකෙන් එලියට ඇවිත්, යථාර්ථයම දෙන්නම මුහුණ දෙන්න පුරුදු උනානම් මිට වඩා හොද වෙන්නත් තිබ්බ.. කොහොම උනත්, එයාලගේ ප්‍රශ්න ගලපාගෙන ආයේ එයාල එකතු වෙනවා නම් මාත් කැමතියි...:-h

    ReplyDelete
    Replies
    1. මන්දා බං . ලියනකොට එක රාමුවක ඉඳන් ඕන ලියන්න . ඔක්කොම රාමු වලට ගිහින් ලියනකොට මෙව්වා දිග වැඩි වෙන්නත් පුළුවන් . අන්තිමට කෙටි කතා නව කතා වෙනවා . බලමුකෝ . එකම ගීතය කාලයත් එක්ක දෙවිදියකට පේන්නත් ඉඩ තියෙනවා . ඒ නිසා එතකොට අයෙත් ලියන්නම් . ප්‍රශ්න ගලපාගෙන ආයෙත් එකතුවෙනවානම් මාත් කැමතියි . හැබැයි බං මේපාර නම් ටිකක් වැඩේ සීරියස් පාටයි නෙහ් ? . අපි ඉතින් එව්වා එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරමු . :) :) :)
      බොහොම ස්තූති මචන් g-) g-) g-) g-)

      Delete
  2. මලේ මාත් ආසම සිංදුවක්. බංඩාර ආතවුදත් එක්ක මං පොල්ගොල්ල ගෙදරදි කීප සැරයක්ම සෙට් වෙලා තියෙනවා.. අඩියක් ගැහුව වෙලාවට පට්ටම අහන්න කැමති සින්දුවක්.. හැබැයි උඹේ විස්තරේනම් මට එච්චර දිරෙව්වේ නෑ.. මොකද මේ සින්දුවෙන් කියන්නේ දෙන්නෙක් යාලුවෙලා ඉන්න කාලේ ආදරේ තියෙන 'සොමිය' බැන්දම නෑ කියනෙක.. උඹ ඒකට ටිකක් වැඩිපුර ආලවට්ටම් දාන්න ගිහින් පොඩි අවුලක් වෙලා තියෙනවා.. අර දුප්පත් පොහොසත් කතා එහෙම.. සඳ හා තරුවක් ලෙස කියන්නේ එක ලඟ හිටියට බොහෝම ඈතයි කියනෙක.. අන්තිම පදයෙන් මුළු කතාවාම ලස්සනට සාරංශගත කරනව.. දුරක එදා අප පිරිලා.. තිබු සොඳුරු සෙනෙහෙ ගඟ සිඳිලා කියල. තව පොඩ්ඩක් නිවී සැනසිල්ලේ හිතල බලපං.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් . ඇත්ත ඇත්ත . මමත් ඉතින් ඔය කියලා තියෙන්නේ සොමිය නැති වෙනවා කියන ඒ ටිකම තමා . හැබැයි ආරම්භයත් අවසානයත් අතර ටික තමයි මම වැඩිපුර ෆෝකස් කරන්න බැලුවේ . කාලයත් එක්ක සමහරවිට මේ ගීතය තවත් විදියකට පෙනුනොත් එදාට ලියන්න බැරිය . :)

      මමනම් ඉන්නේ ඇත්ත ඇති සැටියෙන්ම හොයලා නිධාන කතාව හොයලා ලියන්න ඕන කියන මතයේ නෙවෙයි . මට පේන විදියට මම ලියන්න තමා වැඩිපුර කැමති . ඒ නිසා කෙනෙක්ට ඒ අදහසත් එක්ක විරුද්ධ වෙන්න පුළුවන් . මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ළඟ ඉන්නා කිව්වම ඇතිවෙන්නේ වර්තමානයේ මේ දැන් සිදුවෙන තත්ත්වය ගැන වගේ හැගීමක් නේද ? . ඉස්සර ඉඳලා තිබ්බ නැවුම් ගතිය දැන් වෙනකොට නෑ කියලා තමයි මේ කියන්නේ . කොටින්ම කියනවනම් අත්දැකීමක් ලැබෙනකල් විතරයි ඒක මැජික් වෙන්නේ . ලැබුනට පස්සේ සාමාන්‍යයි . මම කියන්න උත්සාහ කලේ ඒ අදහස :) :)

      බොහොම ස්තූති :) :) g-) g-) g-)

      Delete
  3. ගොඩක් වෙලාවට අපි තීරණ වලට එළබෙන්නේ අපේ හෝ අප සමීප අයගේ අත්දැකීම් හේතු පද කරගෙනයි....... වයලිනෝ අර ආදරය ගැන ඉක්මනට ගෙඅල් වලට කියන්න එපා කියන කතාව සම්පුර්ණයෙන්ම බැහැර කළහැකි අත්දැකීමක් මගේ සමිපමයෙක්ට තියෙනවා .......
    එයා උසස් පෙළත් එවර වෙලා තව එක එක ජාතියේ කොස් පොඩි පොඩි ජොබ් කැලි කර කර ඉන්න කොට ඔන්න කෙල්ලකට හිත ගිහිල්ල මාසයක් දෙකක් පස්සෙන් ගිහිල්ලා කෙල්ලට වචනේ දානවා ........ කෙල්ල කෙලින්ම කියනවා ගෙදරින් ඇවිලා අහන්න අයියා ගෙදර ok නම් මමත් ok කියලා ......
    මිනිහත් අරින්නේ නෑ (කෙල්ල ඒ වෙනකොටත් උඅසස් පෙළ කරලා ගිණුම් කරණය තව හාදාරමින් ජෝබකුත් කරනවා ..... කොල්ලා හිනා ලෝකවල පාවෙන ගමන්......) එත් මු කෙල්ලගේ ගෙදරින් අහනවා පොඩි කොළ එළියක් පත්තු වෙනවා වැඩේ නැගලා යනවා කොල්ලා කෙල්ලගේ තාත්තාගෙන් දාන ගත්ත මුලාශ්‍රයක් හරහාම ස්ව්‍යන්රකියාවක් පටන් ගන්නවා සෙට් වෙලා අවරුදු හටහ්රකින් විතර මේ සුළු ව්‍යාපාරිකයා ඒ ගැනුලමයව කසාද බඳිනවා තවත් අවුරුදු හය හතක යනකොට ඔහු වාහන දහයක් දොළහක් හා සේවකයෝ තිහක් හතළිහක් ඉන්න සාර්ථක ව්‍යාපාරයක හිමි කරුවෙක් .........
    එත් එක අවස්ථාවකදී මේ ව්‍යාපාරිකයා ගන්න වැරදි තීරණයක් නිසා අර ඔක්කොම අහිමි වෙනවා කොටින්ම රටෙත් ඉන්න බැරි වෙනවා අවුරුදු තුන හතරක තම එකම දරුවත් රැගෙන හිස් අතින් පිට රටකට යනවා ආයෙත් මුල ඉඳන් රැකියාවක් කරනවා අලුතෙ ජීවිතය ගොඩ නගනවා දැන් රට ඇවිල්ලා අවුරුදු හත අටක් අර ගෙදරින් අහලා අවුරුදු හා අටක්,,,,,,,,,
    මම එයාලගෙන් ඇහැව්වේ මෙච්චර දේවල් වෙන කොට ඔයාලගේ ආදරයේ තත්වය මොකද්ද කියලා ......... දෙන්නම් කිව්වේ මොන පරශ්නේ ආවත් අපි දෙන්න එක දවසක් වත් මේ වෙනකම් ප්‍රශ්න ඇතිකරගෙන නෑ එක තමයි මෙච්චර දේවල් වෙලත් මේ විදියට අපි සතුටින් ඉන්නේ කියලා........ එහෙම බැලුවම මට හිතුනේ එහෙනම් ඉස්සෙල්ලම ගෙදරට කියන එකත් ඒ තරම් වරදක් නෑ වගේ කියලයි.......

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා සින්දුවනම් මගේ ෆෙවරිට් ලිස්ට් එකේ උඩම තියෙන එකක් ගායකයත් එහෙමයි එයාගේ සිහිනයකි ඔබ ගීතයත් එහෙමයි

      Delete
    2. බඳින වයස කිට්ටු අයට ඉතින් ඕක කිව්ව කියලා අවුලක් නැහැ නෙව :) . මම කියලා තියෙන්නේ කලින්ම කියන්න එපා කියලා හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් . මටත් තියෙනවා හොඳ අත්දැකීමක් . ඉස්කෝලේ සාපෙළ කරලා උ/පෙළ කරනකල් ගෙදර හිටපු කාලේ යාලුවෙන්න අහපු ගෑණු ළමයා කැමති අකමැති කියන්නත් කලින්ම කරේ ගෙදරට කියපු එක . ඉතින් ඒ ළමයාගේ තාත්තා අපේ ගෙදර එන්න හැදුවා මට දුව දෙනවද නැත්ද කියලා කියන්න . හිහ් හිහ් හිහ් . මම ඉතින් දුවව ගෙනියන්න ඉල්ලුවේ නෑ . කැමති අකමැති ඇහුවා විතරයි . පස්සේ ඒවා ඔක්කොම එහෙමම යට ගියාට පස්සේ තමයි ඒ උන්ද කැමතියි කිව්වේ ඈ . ඒ කැමතියි කිව්වේ ගෙවල් වලට ඔක්කොම කියලා වන කරගෙන පජාත කරගෙන . පස්සේ අඩුම තරමේ හම්බෙන්නවත් කතා කරන්නවත් පොඩි හරි ඉඩක් හොයාගත්තේ හොරා පොලිස් සෙල්ලම් කර කර . ඒ දැරිවිගේ පියානෝ දඬු මොණරෙන් එනවා යන යන තැන දුවව මුර කරන්න . දුවව වාහනේ නග්ගගෙන එන්නේ නෑ . පස්සෙන් එනවා දැනෙන්නේ නැති වෙන්න හොර අල්ලන්න . කොහොමද ආතල් එක . ඒ ලවු කතාව ඉවරවෙලත් ඒ දරිවිගේ තාත්තා අම්මා ඒ දැරිවිගේ පස්සෙන් ආවා හොර අල්ලන්න . ඒ නිසා මම කියන්නේ ලවු කරනවනම් හොරෙන් කරපල්ලා . පජාත කරගන්න ඉක්මන් වෙන්න එපා කියලා . බඳින වයස කිට්ටු වෙලා නාකි උනාම ඉතින් කිව්වට මොකෝ :p :p :p

      හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් . මේක ඉතින් එක එක තත්ත්ව වලට සාධාරණයි . අයියගේ ( මාමාගේ ) කතාවත් ඇත්ත ඉතින් ඒ පසුබිමේ හැටියට :) :)

      බොහොම ස්තූති ආ g-) g-) g-) ගොඩ කාලෙකින් දැක්කේ :)

      Delete
    3. පෙනේද මැලෙයගේ ටෝක ,, w-)

      Delete
  4. //ඒ නිසා ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ සීමාව ඉක්මවා ලං වෙනවා කියන්නේ වෙන් වීමත් අතින් අරගෙනම තමයි කියන එක වයලීනෝ තරයේම කියා හිටිනවා . ///

    ඒත් ඇත්තට ඔයා සීමාව ඉක්මවලා ආදරේ කරපු දාට තේරෙයි.. මොකක්ද සීමාව ? ගොඩක් වෙලාවට එක සමාන අදහස් තියෙන දෙන්නෙක් හම්බුනොත් තමයි අවුල,, දෙන්නා ගොඩක් දේවල් වලින් සමාන වෙද්දී අර කාන්දම් වගේ සමාන අග්‍ර විකර්ෂණය වෙන සිද්ධානතෙට මුණ දෙන්න වෙනවා ලොවෙත්..

    ගොඩක් ස්තුති දීර්ග ලිපියක් වුණත් ආසාවෙන් කියෙවුවා.. ජයලත් මනෝරත්න මහත්මයා කියන්නේ මන් ගොඩක් ගරු කරන කළා කරුවෙක් -vi

    ReplyDelete
  5. හ්ම්........... සුපිරි. මං ආසම සිංදුවක්...........

    අප දුරින් දුරක වුව තනියේ..
    නෙත් සරින් පමණි හමුවූයේ..
    ඒ ඈත් බවිනි හද බඳුනේ..
    සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

    :) :) :)

    ReplyDelete
  6. අග්‍රගන්‍ය රසවින්දනාත්මක ලිපියක්. බොහොම කලාතුරකින් මෙවැනි ලිපි බ්ලොග් අඩවිවල කියවන්නට ලැබෙන්නේ. ඔබේ සාධාරණ අදහස් දැක්වීම අනුමත කරනවා.

    මෙවැනි ගීත බිහිවන්නේ අධ්‍යාත්මික වශයෙන් මෙවැනි හැඟීම් උපදවා ගන්නට හෝ තත්‍ය ලෝකයේ එවැනි අද්දැකීම් වලට සමීපවූ, ගීත රචක/සංගීත සංයෝජක/ ගායක/ ත්‍රිත්වයක් එකට හමුවූ විටයි.

    බණ්ඩාර අතාවුදගේ කටහඬේ මා දකිනවා බෙංගාලි සහ/හෝ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ගායන ස්වරූපයන්.

    ඔබේ මේ අගනා සාහිත්‍ය රස මණ්ඩපය ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
  7. මට හිතෙන්නේ මේක කාලයක් ඈත් වෙලා ඉඳල ටිකක් වයසට ගිහින් විවාහ වුන දෙන්නෙක්ගේ කතාවක් කියලා .

    අප දුරින් දුරක වුව තනියේ..
    නෙත් සරින් පමණි හමුවූයේ..
    ඒ ඈත් බවිනි හද බඳුනේ..
    සෙනෙහසේ සොඳුරු බව පිරුනේ..

    මොනවා හරි හේතුවකට වෙන් වුනත් මේ දෙන්නා ඉඳල හිටලා දුරින් හරි දැකලා තියෙනවා.කොහොමත් ලං උනාට පස්සේ කලින් තිබුන ගතිය නෑනේ ...

    මධු සඳ තරු අද හමුවීලා..
    සිටියද ඔබ මා ළංවීලා..
    ඒ දුරක එදා අප පිපිලා..
    තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..

    අනික වැඩිහිටියෝ වෙලා විවාහපත් වුනාම කලින් වගේ ආදරේ කරන්නඅමාරුයි නේ .....

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.