Thursday, April 9, 2015

මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු , රහස් අහස් තලයට පවරා







ටික දවසක් සද්ද නැතුව හිටියේ වැඩ වැඩි නිසාමත් නෙවෙයි . ලියන්න තරම් මූඩ් එකක් තිබ්බේ නැති නිසා . අද ඔන්න දවස් දෙකතුනක ඉඳලා ට්‍රයි කරලා කරලා මූඩ් හදාගෙන ලියන්න යන්නේ අලුත් කතාවක් එක්ක ගීතයක් . මේ ගීතය ගැන කලින් සිංදුයියා ලියලා තිබුණා මෙන්න මේ ලිපියේ . කියෙව්වේ නැති අයට ඔන්න කියවලා එන්න පුලුවන් .

අපේ නැන්දා වැඩ කරන්නේ අධිකරණයක ස්ටෙනෝ ග්‍රැෆර් කෙනෙක් විදියට . එයාලට කරන්න තියෙන්නේ නඩු අහන වෙලාවට නඩුකාරයා ළඟ ඉඳගෙන නඩුව ඔක්කොම සටහන් කරගෙන පස්සේ ඒ වාර්තාව ටයිප් කරලා නඩු වාර්තා හදන්න . මෙයාලා ඒවෙලාවට ලියන්නේ ලඝු ලේඛන ක්‍රමය උපයෝගී කරගෙන . ඒවා නිකන් බ්‍රාහ්මීය අක්ෂර වගේ . ඉරි කෑලි කොටු කෑලි තමයි තියෙන්නේ . පස්සේ ඒවා සිංහලයට පෙරල පෙරල ටයිප් කරලා වාර්තාව හදනවා .

ඉතින් ඔහොම හදන නඩු වාර්තා සමහර වෙලාවට නැන්දා ගෙදර ගෙනල්ලත් හදනවා . ඒ හදනකොට ටයිප් කර කර තියන නඩු වාර්තා කියවලා බලන්න වයලීනොටත් අවස්ථාවක් ලැබුණා . මේ එහෙම කතාවක් . නම් ගම් පාවිච්චි කරන්නේ නෑ . මොකද මේක නඩුවක් නිසා . මේක කියෙව්වෙත් මම හෙන ඉස්සර කාලේ . දැන්නම් මට මතක හැටියට මෙහෙම නඩු වාර්තා ගෙවල් වලට ගෙනැල්ල හදන්නේ දෙන්නේ නැත්ද කොහෙද . මොකද මේවායේ රහස්‍යභාවය ගැන ප්‍රශ්න ඇතිවෙන නිසා . හිහ් හිහ් හිහ් හිහ් . ඊට කලින්  වෙලාවට මේක කියවලා තියාගත්තේ .






රත්නපුරේ පැත්තේ වෙළඳ ව්‍යාපාරික මහත්මයෙක් ඉන්නවා . එයා වෙළඳාම් කරන්නේ කරවල උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ හාල්මැස්සෝ වගේ දේවල් . ඉතින් මෙයා සතියකට දෙවතාවක් විතර දකුණු ලකේ අගනගරේ පැත්තට ගිහින් මේවා එකතුකරගෙන එනවා . සමහර වෙලාවට වාහන අරගෙන ගිහිල්ලත් එකතුකරන් එනවා . ඒ නැත්නම් මෙයා ගෝනිවල මේවා අහුරගෙන බස් එකෙත් ගේනවා .මේ ව්‍යාපාරිකයා සමහර දවස්වලදී කරවල උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්බලකඩ ගන්න ගියාම ඒ පළාතේ තමන්ගේ යාලුවෙක්ගෙ ගෙදර නවාතැන් ගන්නවා . සමහරවිට මේ ගෙදරත් ඉන්න ඇත්තේ මේ ව්‍යාපාර වලට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති . කොහොම හරි මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි .

මේ ගෙදර හිටියා බඳින වයසේ ලස්සන දුවෙක් . මේ දුවට ප්‍රේම සම්බන්ධයක් තිබුණා ගමේ මාළු කොල්ලෙක් එක්ක . ඒත් ගෙදරින් කැමතිවෙලා තිබුණේ නැහැ ඒකට . සමාජ තත්ත්වය නිසා කියලා කියමුකෝ ඉතින් අකැමති වෙන්න හේතුව . ස්මාහරවිට කුල කේස් එකක් නිසා වෙන්නත් පුළුවන් . ඉතින් මේ අපේ පැත්තේ ඉන්න ව්‍යාපාරිකයා දවසක් රෑ එහෙ නැවතිලා ඉන්නවෙලාවේ කරපු කතාබහක් දුරදි ගිහින් එයාගේ පුතාව මම මේ කිව්ව ගෙදර දුවට යෝජනා කෙරෙනවා . දුවගේ ගෙදරින් තමයි මේ යෝජනාව කරන්නේ . හැබැයි අපේ පැත්තේ ඉඳලා ගියපු ව්‍යාපාරික උන්නැහෙත් මේකට කැමති වෙනවා . මොකද දන්නා අඳුරන කෙනෙක් නිසා . හැබැයි එදා එයා දැනගෙන ඉඳලා නැහැ මේ මගුල කතා කරේ දුවගේ නොගැලපෙන සම්බන්ධය නැතිකරන්න විසඳුමක් විදියට කියලා . පස්සේ ඔන්න ගෙවල් වලින් ගිහින් දැකබලාගෙන මගුල තීන්දු උනා .

මේ පුතා ටිකක් අහිංසක පුතෙක් . හරියට වයලීනෝ වගේමයි . කෙල්ලෙක් දිහා ඇහැක් අරලාවත් බලන්නේ නෑ . තරමක් දුරට ඉගෙනගෙනත් තියෙනවා . ඒත් වතුවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නිසා ඒවා නඩත්තු කරගෙන ගෙදරට වෙලා ඉන්න පුතෙක් මෙයා . ඉතින් ඔන්න කසාදෙත් කෙරුනා . වත්සුණු සුවඳින් සුවඳ කරලා පෙම් කුසුමන් හද පුබුදු කරවලා ආසිරි මංගල ගීත පතුරවලා දුවව කැන්දාගෙන රත්නපුරේට එක්ක ආවා .





ටික කාලයක් යනකොට ඔන්න පවුල් ප්‍රශ්න ඇතිවෙනවා . කෙල්ලට අඩුම තරමේ උයන්නවත් බැහැලු . කොල්ලා තමයි ගෙදර උයනවා කියන්නේ . අන්තිමට කෙල්ල පරන කොල්ලත් එක්ක ගනුදෙනු කරනවා මේ පුතාට අතටම අහුවෙනවා . ඒ නිසා කොල්ලා මේවා අම්මලා තාත්තලාට කියනවා . පස්සේ අම්මලා තාත්තලා කෙල්ලගේ අම්මලා තාත්තලාටත් කියනවා . ඊට පස්සේ මාර වැඩක් උනේ . කෙල්ල කියනවා මේ කොල්ලත් එක්ක ජීවත් වෙන්න බෑ දික්කසාද වෙන්න ඕන කියලා . ඒ එක්කම මේ කෙල්ල කොල්ලගෙන් වන්දි ඉල්ලනවා ( ටේප් පටි කැඩුවට වෙන්නැති ) . මෙතන වෙලා තියෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක් .

ඒත් කොල්ලා මේ වෙලාවේ සංවේදී තීරණයකට එනවා . කොල්ලා කියනවා එයාට මාත් එක්ක ඉන්න බැරිනම් මම දික්කසාදය දෙන්නම් . වන්දියත් දෙන්නම් , මට බලෙන් මෙයාව ළඟ තියාගන්න උවමනාවක් නෑ කියලා . කොල්ලා ටිකක් අහිංසක පාටට ඉන්න නිසා කෙල්ල මෙවෙලාවේ යුතු ප්‍රයෝජනයජ්ක් විදියට වන්දි ඉල්ලුවා වෙන්නත් පුළුවන් . ඒත් කොල්ලා කැමතිවෙනවා වන්දියත් දෙන්න . කෙල්ල වන්දිය විදියට ඉල්ලන්නේ ලක්ෂ දහයක් . දැනට අවුරුදු හතකට විතර කලින් ලක්ෂ දහයක් මම හිතන්නේ මරූටියක තුන්කාලක් විතර ගන්න පුළුවන් වගේ . අන්තිමට දෙන්නා වෙන් වෙනවා . මේ දික්කසාදවෙච්ච පිරිමි ළමයත් කියන්න ඇත්තේ මේ ගීතය කියලා වයලීනොට නිකමට හිතුනා .

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී

ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්



සංගීතය - වික්ටර් රත්නායක
ගායනය - වික්ටර් රත්නායක




මේ ගීතයේ මම කැමතිම සංස්කරණය තමයි මේ . මම හිතනවා මේ සංස්කරණයට වඩා තවත් පරණ එකක් තියෙනවා කියලා . ඒත් මේ සංස්කරණයේ සංගීත සංයෝජනයේ තියෙන මටසිළුටු ස්වර වර්ණ වලට මම කැමතියි .



මේ තියෙන්නේ මේ ගීතයේ නවතම සංස්කරණය . ඒ ඩෙල් ස්ටූඩියෝ සංගීත වැඩසටහන මගින් සංගීත සංයෝජනය කරලා පටිගත කරපු ගීතය . ඒකටත් මම කැමතියි . ඒ මොකද කියලා මම කියන්නම්කො කතාව කියාගෙන කියාගෙන යනකොට .





මේක ප්‍රේමකීර්ති මහත්තයාගේ පෞද්ගලික අත්දැකීමක් කියලා කියනවා . වෙන්න පුළුවන් . එච්ච දේවල් එක්ක ඉතින් මේක එහෙම වෙන්න ඇති . මොකද ලියන අය ගොඩක් වෙලාවට තමන්ගේ ඇඟිලි තුඩෙන් ලෝකයට විසි කරන්නේ තමන්ගේ හිතේ ඇඳෙන රූප වචන වලට පෙරලලා කියනවනේ . ඒ නිසා මේකත් එහෙම වෙන්න පුළුවන් . ඒත් මම ඒ කතා මෙතන කියන්න අවස්ථාවක් කරගන්නේ නැහැ . මොකද අර මම මුලින් කිව්ව ලිපියේ සිංදුයියා එව්වා පිළිවෙලට ලියලා තියෙන නිසා . මම ආයෙත් කියන්නේ ඒක කියෙව්වේ නැත්නම් කියවන එක හොඳයි මෙයාලා . හරියා .







සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී

තමන්ගේ ජීවිතය මේ සිද්දවෙන දේවල් නිසා කොච්චර අඳුරකට පත්වෙලා තියෙනවද කියලා මේ ගීතයේ ජීවත්වෙන පුද්ගලයා කල්පනා කරනවා . තමන්ගේ ජීවිතයට අද හඳ එළිය වැටෙන්නේ නෑ , ඒ කියන්නේ තමන්ගේ බිරිඳ තමයි තමන්ගේ ජීවිතයට පායපු හඳ . පිරිමියෙකුගේ ජීවිතයට ගෑණු පරාණයක හුස්ම පොදක් ගෑවෙන්නේ නැත්නම් එතන පොඩි අවුලක් තියෙනවා . නේද පැට්ටෝ ?  :p  :p  . ඉතින් මේ පුද්ගලයාගේත් ජීවිතයට තිබුණ ආලෝකය ගෙනල්ලා දුන්නේ තමන්ගේ බිරිඳ . මෙතන සඳෙන් දෙන ආලෝකය මම උපමා කරනවා බිරිඳගේ ආදරයට . අඳුර උපමා කරනවා බිරිඳගේ තහනම් ප්‍රේමයට .

එතකොට සඳකැන් වැසිලා අඳුරේ එතිලා කියලා කියන්නේ තමන්වෙත එන ආදරය දැන් නැවතිලා වැහිලා ගිහින් , තහනම් ප්‍රේමයකට බිරිඳ යොමුවෙලා නිසා . ඉතින් මේ පුද්ගලයාගේ ජීවිතයම දැන් පාළු අන්ධකාර රාත්‍රියක් වෙලා කියලා එයා හිතෙන් හිතාගෙන තවත් තනි වෙන්නම උත්සාහ කරනවා . ගණඳුරු රෑ තනිකම නෑ කියලා කියන්නේ තමන්ට තමන් ඉන්න නිසා වෙන කවුරුවත් ඕන නෑ මට මේ තනිකම හොඳයි කියලා හිතන නිසා වෙන්න ඕන . සොයා එන්න ගණඳුරු තරු නිවලා කියන පද පේලියටත් මම ටිකක් වැඩිපුර කැමතියි . මෙතන තරු වලට මම උපමා කරනවා බිරිඳ හැර තමන්ගේ ළඟින් ඉන්න අනිත් අය .

ඒ කියන්නේ හොඳම යාලුවෝ වගේ අය . මෙයාට කොච්චර දුකක් හිතිලා තියෙනවද කියනවනම් මෙයා හිතනවා පාළුව තනිකම සහිත ඝන අන්ධකාරය තමන්ගේ යාළුවනුත් තමා වෙතින් අයින් කරලා තමන් වෙතට එන්න කියලා . අවසාන වශයෙන් මගෙ එළිය අද ඔබ පමණි කියලා ගීතයේ ස්ථායි කොටස නවත්තනවා . මෙයා බිරිඳ එක්ක ජීවත් උනා මිස වෙනත් කාන්තාවන්ගේ පහස ලබන්න යොමු උනේ නෑ . ඒ නිසා මෙයාට බිරිඳගෙන් ලැබෙන ආලෝකයට ආසන්න වශයෙන් සමාන වෙන ආලෝකයක් වත් වෙන කෙනෙක්ගෙන් ලබාගන්න බැහැ . ඒ නිසා මෙයා කියනවා අද මගෙ ජීවිතයට ආලෝකය වෙන්නේ අන්ධකාරය තමයි කියලා .





ජිවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

ජීවිතයම සතු එකම සුවේ , ඒ තමන්ගේ බිරිඳගෙන් ලැබෙන ආදරය කරුණාව සෙනෙහස . එකම එකම එකම සුවේ කියලා කියන්නේ මේ පුද්ගලයා වෙනත් කාන්තාවන්ගෙන් ආදරය හොයාගෙන ගියේ නෑ කියලා තවදුරටත් සනාථ කරන්න . ඉතින් මේ ජීවිතයම සතු එකම සුවය , හී සර පහරක වෙලෙනු පෙනේ කියන්නේ තමන්ගේ ආදරය මදිවෙලාදෝ වෙනත් කෙනෙක්ගෙන් ආදරය හොයාගෙන යනවා කියන එකට . අනංගයා සමහර වෙලාවට එකම හදවතකට ඊතල දෙක දෙක විදිනවා වෙන්න පුළුවන් . සමහරවිට මිනිහට ඉලක්ක වැරදිලා වෙන්නැති . හැබැයි අනංගයා මේ කරන වැඩෙන් කෙනෙක් සතුටු වෙනවා වගේම තවත් කෙනෙක් දුක් වෙනවා කියලා අනංගයා තේරුම් ගන්න ඕන . හරිද අනංගයෝ ?

මේ ගීතයේ මම වඩාත්ම කැමති පද පේලිය තමයි මේ . ඒ මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු කියන පද පේලිය . මෙතන අනුප්‍රාස රසය ඉස්මතුවෙලා පේනවා . සතු සතු නෙතු කියන වචන අනුප්‍රාසය ඉස්මතු කරනවා . ඒ වගේම ඒ වචන අතර තියෙන මේ , මා , ඈ කියන වචන දීර්ඝ ආකාරයට ඇදෙන අකුරු නිසා අනුප්‍රාස රසය දෙගුණ තෙගුණ කරන්න ඒවා ඉවහල් වෙනවා කියලා කියන්න පුළුවන් . අසල් වාසියෙකු සොයනු දැනේ කියන්නේ ඉතින් අසල වාසියෙකු සොයනු දැනේ කියන එකටම තමයි :)







මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

මේ පුද්ගලයා කාගේවත් සිත් බිඳලා නෑලු . ඒ කියන්නේ කා එක්කවත් අමනාප වෙලා නෑ කියන එක නෙවෙයි . අන්සතු කාන්තාවන් එක්ක ආදරයෙන් වෙලිලා වෙනත් පිරිමින් සතු ආදරණීය සිත් කඩා දාලා නෑ කියන එක තමයි ඒ කියන්නේ . මේ වෙලාවේ තමන්ගේ බිරිඳ වෙන පිරිමියෙක්ගේ ආදරය හොයාගෙන ගිහින් . ඉතින් ඒකට කෑගහලා වැඩක් නෑ . මොකද බිරිඳ තමන්ගෙන් නොලැබුණ රසයක් වෙනත් පිරිමියෙක්ගෙන් හොයාගෙන ගිහින් නිසා .

ඒ රහ කවදාවත් තමන්ට දෙන්න පුළුවන් වෙන්නේ නැතුව ඇති . ඒ නිසා බිරිඳ හොරෙන් හරි ඒ රහ හොයන්න ඇති . ඒකට එක අතකට බිරිඳට දොස් කියන්නත් බෑ . මොකද අසාවල් හිතේ තද කරගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවනේ . හැබැයි තමන්ට තමන්ගේ උවමනාවල් කිව්වනම් සමහරවිට මේ ප්‍රශ්නය මෙච්චර දුර දිග නොයන්න තිබුණා . ඒත් දැන් පරක්කු වැඩියි . ඒ නිසා මේ පුද්ගලයා දෑතම බැඳගෙන බලාගෙන ඉන්නවා තමන්ගේ සහ බිරිඳගේ ජීවන ඉරණම විසඳෙන්නේ කොහොමද කියලා බලාගෙන .

දැන් වෙන කරන්න දෙයක් නැහැ . තවදුරටත් එකට ඉන්නවා කියන්නේ හිත රවට්ටා ගැනීමක් ඒ නිසා මේ පුද්ගලයා කියනවා මේ ලෝකෙදීම ඒ කියන්නේ මිය යන්න කලින් අපි වෙන්වෙමු . නැත්නම් දුක් විඳලා තමන් මිය යන්න පුළුවන් කියලා . රහස් අහස් තලයට පවරා , ඒ කියන්නේ වෙන් වෙන්න හේතුව කාටවත් කියන්නේ නැතුව හොරෙන්ම වෙන් වෙමු . හේතුව අහන අයට වෙන වෙන හේතු කියමු කියලා . මේ පිරිමියා ඇත්තටම ගන්න තීරණය තරමක් සාධාරණයි නේද . මටනම් හිතෙන්නේ එහෙමයි . ඔයාලත් හිතෙන දේවල් කමෙන්ට් කරන්න .






ගීතයේ සංගීත සංයෝජනය ගැන කියන්න දේවල් කීපයක්ම තියෙනවා .

මුලින්ම අපි බලමු තේමා වාදනය කොහොමද කියලා . තේමා වාදනය පටන් ගන්නේ වයලීන් වලින් වාදනය කරන ස්වර හතරකින් . ඒ ස්වර හතර අතරේ ගිටාර් වලින් කෝඩ් පන්ච් එකකුත් කරනවා . මේ ස්වර සංකලනය වෙලා තියෙන විදියට ඇතිවෙන්නේ ජීවිතය ගැන අවිනිශ්චිත හැගීමක් . ඊට පස්සේ බට නලාවකින් වාදනයක් ඉදිරිපත් වෙනවා . ඒ බටනලාව ඉහල ශ්‍රුතියක බටනලාවක් . ඒ කියන්නේ දිගින් අඩු කොට බට නලාවක් . මේ බටනලාවෙන් වෙනත් ගීතවල ඇති කරන්නේ ශ්‍රුන්ගාරාත්මක හැගීම් . ඒත් මේ වෙලාවේ එතන ඇති කරන්නේ විප්‍රලම්භ ශ්‍රුන්ගාරය කියලා කියන්න පුළුවන් . ඊට පස්සේ ආයෙත් වයලීන් වලින්

ටික්කිරි ටී.....
ටික්කිරි ටී.....
ටික්කිරි ටී.....
ටික්කිරි ටී.....

කියලා ඉහල ස්වර ඉඳලා පහල ස්වර වලට වාදනය කරගෙන එනවා . අන්තිමටම තනි වයලීන් එකකින් එක වයලීන් පාට් එකක් වාදනය කරනවා . මේ වයලීන් වාදනය ගීතයේ මුලට එන නිසා මේ වයලීන් වාදනයෙන් ශෝක රසය උඩට අරගෙන ගීතය ආරම්භ කරන්න මුල පුරනවා . ඊට පස්සේ ගීතය ආරම්භ වෙන්නේ ටිකි ටිකි ටිකි ටින් කියලා වාදනය වෙන ගිටාර් සහ පියානෝ වාදනයකින් . ආ ! කියන්න අමතක උනා  ගීතයේ තාල වාදනය කරන්නේ බොංගෝ ඩ්‍රම් එකකින් . ඒ වගේම හයිහැට් එකකින්

ටික් ටික් ටික්කිරි
ටික් ටික් ටික්කිරි
ටික් ටික් ටික්කිරි
ටික් ටික් ටික්කිරි

කියලා තාලය වාදනය කරනවා . බේස් ගිටාර් එකෙන් බේස් නෝට් වාදනය කරනවා තාලය වාදනය වෙන විදියට . ඒත් බේස් ගිටාර් එකෙන් ලොකු ලොකු බේස් පැටන් චේන්ජ් වීමක් මේ ගීතයේ වෙන්නේ නෑ .

ඔන්න දැන් ගීතය ගායනය පටන් ගන්නවා . සඳ කැන් කියනකොටම යටින් පටන් ගන්නවා වයලීන් වලින් කවුන්ටර් පාට් එකක් වාදනය කරන්න . ඒ කවුන්ටර් එක වචන වල තියෙන අවිනිශ්චිත බව සහ ශෝකය මතුපිටට උලුප්පලා පෙන්නන්න හොඳට දායක වෙනවා . වෙන ගීත වලට වඩා මම මේ ගීතයේ වෙනසක් දකිනවා . ඒ තමයි ස්ථායි කොටස ගායනය කෙරෙන දෙවතාවේම කවුන්ටර් එක වාදනය කිරීම . සාමාන්‍යයෙන් වෙන්නේ දෙවෙනි ගායනයේදී කවුන්ටර් එක වාදනය කිරීම . ඒත් මේ ගීතයේ මුල ඉඳලම කවුන්ටර් එක වාදනය කරනවා . ඒක වික්ටර් රත්නායකයන්ගේ සුවිශේෂ සංගීත සංයෝජනයක් .







දැන් එනවා ගීතයේ අතුරු වාදනයට . වයලීන් වලින් ඉතාම පහල ස්වර වලින් වාදනය කරලා අතුරු වාදනය පටන් ගන්නවා . ඊට පස්සේ තනි වයලීන් එකකින් වාදන කොටසක් වාදනය කෙරෙනවා . මේ වාදන කොටස නම් දුකක් තමයි ඉස්මතු කරලා පෙන්වන්නේ . ඊට පස්සේ අයෙත් වයලීන් වලින් වාදන කොටසක් ඉදිරිපත් කරලා ගීතයේ අන්තරා කොටසට එළඹෙනවා . මේ අතුරු වාදනයේ වයලීන් එක්ක චෙලෝ එකක් වාදනය කරනවා . ඒ චෙලෝ එකෙන් වයලීන් පාට් එක්ක වාදනය කෙරෙන බේස් නෝට්ස් වලින් වයලීන් පාට් එකේ තියෙන බර ගතිය වැඩි කරලා තියෙනවා .

දැන් එන්නේ අන්තරා කොටසට . අන්තරා කොටස දෙවතාවක් ගායන කරනවා . ඒ අන්තරා කොටසේ මුල පද දෙක . එයින් පළවෙනි වතාවේ කෝඩ් පන්ච් එකත් එක්ක ගීතය ගායනාවෙලා සම්ප්‍රදායානුකූලව දෙවෙනි වතාවේ කවුන්ටර් එක වාදනය කෙරෙනවා වයලීන් වලින් .






මේ ගීතයේ ගිටාර් කෝඩ්ස් ගැනත් යමක් කියන්න ඕන . කෝඩ්ස් චේන්ජ් වෙන තැන් ගැන බලනකොට ගනඳුරු රෑ තනිකම කියන තැන E කෝඩ් එකක් සහ G කෝඩ් එකක්  චේන්ජ් වෙනවා . ඒ කෝඩ් චේන්ජ් එක මේ ගීතයේ විශේෂ තැනක් කියලා කියන්න පුළුවන් .





ඒ එක්කම මම ඩෙල් ස්ටූඩියෝ එකේ සංගීත සංයෝජනය ගැනත් යමක් කියන්න කැමතියි . ඩෙල් ස්ටූඩියෝ එකේ මම අහපු සාර්ථකම සංගීත සංයෝජනය මේ ගීතයේ සංගීත සංයෝජනය කියලා කියන්න පුළුවන් . හැබැයි ඒ බලපු ඒවායින් විතරයි හරිය . ඒත් එක තැනකට මම කැමති නෑ . ඒ මේ ගීතයේ මුල වාදනයේ ෆ්ලූට් පාට් එකට . ඒක කිසිම වෙනසක් නැතුව වාදනය කරත් එතන වාදනය කරන වෙලාවේ ස්වර පෙරලීම කියන දේ ඕනාවට වඩා වෙන නිසා ටිකක් අවුට් යනවා වගේ ඇහෙනවා . ඒත් හරිම සමබර විදියට ඒ වාදනය කෙරෙනවා .

අනික තමයි කවුන්ටර් නිර්මාණය කරලා තියෙන විදිය . වයලීන් එකේ තියෙන එක ටෙක්නික් එකක් තමයි පිසිකාටෝ කියන්නේ . ඒ බෝ එකෙන් නැතිව ඇඟිල්ලෙන් ටින් ටින් ටින් ගාලා ස්වර වාදනය කරන එක . ඒකත් එක්ක ඇතිවෙන්නේ සිම්ෆනි සම්ප්‍රදායට ගැලෙපන විදියේ සංගීතයක් . ඒ සංගීත සංයෝජනයටත් මම කැමතියි .






ඒවගේම තවත් දෙයක් කියන්න ඕන . අපි ගීත වාදනය කරනකොට ගීතයේ මැද කොටස් වලට වඩා අවධානය යොමු කරන්නේ ගීතයේ ආරම්භය සහ අවසානයට . මොකද ශ්‍රාවකයින්ගේ හිතේ වඩාත් පැලපදියම් වෙන්නේ ගීතයක ආරම්භය සහ අවසානය . මේ ගීතය ආරම්භ කරන්න ඩෙල් ස්ටූඩියෝ කණ්ඩායම යොදලා තියෙන උපක්‍රමය හරිම සාර්ථකයි . ඒවගේම අවසානයත් හරිම පර්ෆෙක්ට් විදියට අවසන් කරනවා . ඒ නිසා සමස්ථයක් හැටියට මේ ගීතයේ සංගීත සංයෝජනය ඩෙල් ස්ටූඩියෝ තුලත් ඉතාම සාර්ථකයි .

තවත් වැදගත් දෙයක් තමයි මේ කියන්න යන්නේ . මේ ගීතයේ මගේ භාන්ඩේට ඒ කියන්නේ වයලීන් එකට දීලා තියෙන බර වැඩියි . ඒකට හේතුවක් වෙන්න පුළුවන් වික්ටර් රත්නායක මහත්මයා වයලීනයෙන් බිහිවෙච්ච සංගීත වේදියෙක් වීම . එතුමාම දවසක් කිව්වා මට මතකයි මෙන්න මේ කතාව . ඒ තමයි වයලීනයේ ස්වර ලකුණු කරලා නෑ . ඒ නිසා එක දසමයක් එහා මෙහා උනාම නෝට්ස් අවුට් වෙනවා . ඒ නිසා වයලීන් වාදකයා හැමවෙලේම වාදනය කරන වෙලාවට ස්වර ගැන කල්පනාවෙන් ඉන්නේ . අවුට් වෙනවා දැනුනොත් ඇඟිලි එහා මෙහා කරලා ඉක්මනටම ඒවා හදාගන්න වයලීන් වාදකයා ඉක්මන් වෙනවා . ඒ නිසාම වයලීන් වාදනය කරන අය ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න තියෙන ප්‍රවනතාවය වැඩියි කියලා තමයි එතුමා කිව්වේ . ඇත්ත වෙන්න පුළුවන් . මොකද අමරදේවයන් අමරසිරි පීරිස් බණ්ඩාර ආතාවුද වගේ ගායකයින් වයලීනයෙන් බිහිවෙච්ච ගායකයින් නිසා .






මේ ගීතය වාදනය කරන හැමෙලාවකම මට හිතෙනවා මේ ගීතය වයලීනයටම හදපු ගීතයක් කියලා . සමහරවිට ඒ මේ ගීතය Am ( ඒ මයිනර් ) ශ්‍රුතියට හදලා තියෙන නිසා වෙන්නත් පුළුවන් . මේ ස්කේල් එකේ ගීතවල වයලීනයේ ඇඟිලි යන එන එක පිළිවෙලක් තියෙනවා . කාලයක් වාදනය කරනකොට ඒක ඇඟට දැනෙනවා . මටත් දැනුනා . වයලීන් ගහන අය ඉන්නවනම් බලන්න ඔයාලටත් දැනෙනවද කියලා . එහෙනම් මම ගියා ඔන්න .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

15 comments :

  1. good job friend..h keep it.good luck pi

    ReplyDelete
    Replies
    1. හැක් හැක් හැක් :p මෙයාලා මෙව්වා කියවනවා කියලා අදනේ දන්නේ :p :p
      බොහොම ස්තූති ආ g-)

      Delete
  2. Replies
    1. බොහොම ස්තූති g-) :)

      Delete
  3. අැත්තට ම පරිපූර්ණ විචාරයක්... විචාරයක් විතරක් නෙමෙයි කතාවක්..... ඒ ගීතය ඔබ විසින් වචන වලට පෙරළලා... ඔක තමයි අැත්ත.. මේ වගේ සුන්දර ගීත වචන වලට පෙරළන්න වචන කෝටි ගාණක් වුණත් මදි..... නිර්මාණය නියමයි

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති . කලින් ඔහොම නෙවෙයි ලියන්න හිතාගෙන හිටියේ . ලියන්න පටන්ගත්තාම තමයි මෙහෙම ලියවුනේ . තව කාලයක් ගියාම ආයෙත් මේ ගීතය ගැන ලියන්න ඕන :) g-)

      Delete
  4. එල විචාරේ, උඹේ ලිපි කියෙව්වට ඒවාට කමෙන්ට් කරන්න තරම් සංගීත දැනුමක් මට නම් නැහැ , ඒ නිසා බලලා හොරෙන්ම යනවා

    ReplyDelete
    Replies
    1. සංගීත දැනුමක් ඕනය . ඔන්නොහෙ හිතට හිතෙන එකක් කියලා යන්න මෙයා මෙන්න මේ වගේ :)
      බොහොම ස්තූති ආ :) :) g-)

      Delete
  5. සංගීතය ගැන මෙලෝම දැනුමක් නැති නිසා යටම හරිය ජපනට ග්‍රීක් වගේ උනාට කතාවයි මෙව්ව එකයි සුපිරි............................... :)

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූති මල්ලි :) :)

      Delete
  6. පට්ට පට පටාස්.......W-) නියමෙට ලියල තියෙනවා කොල්ලෝ... සුපිරි.... උබේ ඔය හාර්ඩ් ඩිස්ක් එකේ තියෙන එව්වා දාපන්කෝ මේකේ ඉකමනට.....මෙන්න මේ ලින්කුවෙත් තියෙනවා ප්‍රේමකීර්තිද අල්විස් ගැන
    https://anyworks.wordpress.com/2015/04/19/%E0%B6%9A%E0%B6%BB%E0%B7%94-%E0%B7%83%E0%B7%84-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD/

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.