Monday, March 9, 2015

මේන් අපේ ඉස්කෝලේ


සිංදුවා ඉස්කෝල ජීවිතේ වැඩි කාලයක් හිටියේ රත්නපුරේ තියෙන ඉස්කෝලෙක තමා. ඒත් තුන වසර වගේ වෙනකම් සිංදුවා ගියේ ගොඩකවෙල තියෙන ප්‍රාථමික ඉස්කෝලෙකට. ඒ කියන්නේ ගොඩාක් ඉස්සර..... එහෙම කිව්වම සිංදුවා නාකි වගේ නෙහ්. ඒ නිසා ගොඩාක්ම ඉස්සර නෙවෙයි ඒත් ටිකක් ඉස්සර ගිය ඒ ප්‍රාථමික ඉස්කෝලේ ගැන සිංදුවට තියෙන්නේ බොහොම සුළු සුළු මතකයන් කිහිපයක්.



ඉස්කෝලෙට බබා සිංදුවාව බාර දෙන දවසේ නෙවෙයි ඊට පස්සේ ඉස්කෝලේ පටන් ගන්න දවසේ බබා සිංදුවාව ඉස්කෝලෙට එක්කන් ගියේ පුංචි අම්මා තමා. ඒ ගිහින් බබා සිංදුවාගෙම නෑදෑයෙක් ළඟ වාඩි කෙරෙව්වා. බැලින්නම් ඌත් එදාම ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. පස්සේ අනිත් උන් ගැනත් හොයලා බැලින්නම් අපේ පන්තියේ ඔක්කොම උන් ටික අලුතෙන් ඉස්කෝලෙට ආපු උන්. හම්මේ ඒ නිසා බබා සිංදුවාට බය පොඩ්ඩක් නැති වුනා. වෙලාවට පුංචි කිව්වේ අර ළඟ ඉන්න හාදයා නෑදෑයා කියලා. දැන්  බබා සිංදුවා අහිංසකයා නිසා ඔහේ වාඩි කරවපු තැන වාඩි වෙලා ලත්තන ගෑලු ළමයි දිහා විතරක් බල බල ඉන්නවා.   

බබා සිංදුවා හිටියේ ලොකු දිග හෝල් එකක මැද පන්තියේ වාඩි වෙලා. ඒ හෝල් එක මේ කොනේ ඉඳලා එහා කොනටම දිගයි. ඒ දිග හෝල් එකේ මේ පැත්තේ කෙලවරේ, ඒ කිව්වේ වම් පැත්තේ කෙලවරේ තියෙන්නේ ප්‍රින්සිපල්ගෙ ඔපිස් එක. ඒක විතරයි බිත්තියකින් වෙන් කරලා තිබුනේ. ඔපිස් එකට පස්සේ දිග හෝල් එක පන්ති පන්ති කඩලා ඩෙස්ක් පුටු තියලා තිබුනා.



පන්තිය තියෙන්නේ හරස් පැත්තට ඒ කිව්වේ හෝල් එකේ දිග පැත්තට නෙවෙයි අනිත් පැත්තට. හරියට ඔය උඩ පින්තුරේ තියෙනවා වගේ තමයි අපෙත් පන්ති වෙන් වෙලා තිබුනේ.  කළු ලෑල්ල තිබුනේ පන්තිය ඉස්සරහා. හෙහ් හෙහ් නැතුව ඉතින් පිටිපස්සේ තියන්නයෑ. ඒ කාලේ අපිට නිතරම බැරි වෙච්ච එකක් තමයි හෝල් එකේ හරි පන්තිය හොයාගන්න එක. හෝල් එක ඇතුලට එන්න ඔය පින්තුරේ වගේම පොඩි තැන් තුන හතරක්ම තිබුනා. ඉතින් ඉන්ටවල් එකෙන් පස්සේ වැරදි තැනකින් ඇවිත් අපේ බෑග් හොයනවා. ඔන්න ටීචර් පන්තියේ පුටුවේ වාඩි වෙලා හිටියොත් ලේසියි. නැත්නම් හරිම අමාරුයි, ඒ නිසා බබා සිංදුවායි යාළුවයි මරු ක්‍රමයක් හොයාගත්තා. යාලුවා ගාව තියෙයි පන් වලින් මහපු ලොකු තොප්පියක්. අපි එලියට යනකොට ඒ තොප්පිය බෑග් එක උඩට දාලා යනවා. ඉතින් ඊළඟ පාර එනකොට හොයන්නේ අර තොප්පිය.

 ඒ ස්කෝලේටම තිබුනේ හෝල් තුනයිද කොහෙද. ඒ හෝල් තුනෙන් දෙකක් විතරයි උළු අල්ලපු වහලවල් තිබුනේ. තට්ටු හෝල් තිබුනෙම නෑ. තුන වසර අය හිටියේ අර පොල්අතු වහල තිබුණු හෝල් එකේ. ඒක තිබුනෙත් පොඩි කන්දක් උඩ වගේ අනිත් ඒවාට ඉහලින්. ඉස්කෝලේ පටන් ගන්න, ඉන්ටවල් දෙන්න, ඉස්කෝලේ ඇරෙන්න, ඕවා ඔක්කොම දැනුම් දෙන්න ප්‍රින්සිපල් ගාව තිබුනා තඩි බෙල් එකක්. ඕක අරන් "ටලාන් ටලාන්" ගාලා වනනවා ඉතින්. දවසක් ඉන්ටවල් එකට බෙල් එක ගහලා ප්‍රින්සිපල් උන්දෑ ගියා කොහෙද ගමනක්. දැන් ඉන්ටවල් එක පැයක් විතර වෙනවා තාම බෙල් එක ගැහුවේ නෑ. අපිත් නටලා නටලා නටලා ආවා පන්තියට. හම්මෝ ටීචර් ඉන්නවා නිකන් රතු වෙච්ච හෝමිරිස් කරලක් වගේ. :-gr මොනවා කරන්නද බෙල් එක ගහන්න එපෑ අපි පන්තියට එන්න. අනේ පව් නෑ ටීචර් බැන්නා විතරයි වේවැල අතටවත් ගත්තේ නෑ.

ඔය හෝල් වල පන්ති වලින් කට සද්ද අයට විශේෂ රාජකාරියක් තිබුනා. ඒ තමයි උදේට පන්සිල් දෙන එක. ඒ ඒ හෝල් එකේ වෙන වෙනම පන්සිල් දෙන්නේ. ඉතින් අපේ පන්තියට තියෙන දවසට පන්සිල් දෙන්නේ මුළු හෝල් එකටම බබා සිංදුවා තමයි. සපත්තු දෙක ගලවලා පුටුව උඩට නැගලා වැඳගෙන පුළුවන් තරම් ගිරි යටින් කෑගහනවා හෝල් එකටම ඇහෙන්න..
"බුද්ධං සරණං ගච්චාමි...."
අනේ ඉතින් අනිත් උනුත් කියනවා
"බුද්ධං සරණං ගච්චාමි...."

ඔය කියන වෙලාවට පන්සිල් මාරු කරලා ඇති ඕනි තරම්. සමහර දවස්වලට කාමේසු මිච්ඡාචාරා කියන්නේ නෑ. ඕක මතක හිටින්නෙම නෑ බබා සිංදුවට. මොකද ඕකේ තේරුම දන්නේ නෑනේ. ඉතින් ඔහොම දවස් පහට පන්ති පහෙන් ළමයෙක් නැගිටලා හෝල් එකටම පන්සිල් දීලා පන්ති පටන් ගන්නවා.

ඔය පන්ති වල තිබුණු ඩෙස්ක් එහා මෙහා වෙන අවස්ථා තිබුනා. ඒ කිව්වේ පොල් අතු වහල නිසා වැස්ස වෙලාවට සමහර තැන් වලට  වතුර බේරෙනවා. ඒ වෙලාවට ඩෙස්ක් එක ටීචර් වෙන තැනකට දානවා. සමහර වෙලාවට සත්තු එහා මෙහා ඇවිදලා අව්ව වැටෙන තරම් වියපු පොල් අතු වල හිල්. ඉතින් අව්ව. කවුරුහරි මාමා කෙනෙක් ඒක හදනකම් ඉතින් අව්ව වෙලාවට එතනින් මාරු කරනවා. තව ඩෙස්ක් එක එහා මෙහා වෙන්නේ ළමයෙක් එක්ක තරහ වුනාම. ඒ තරහා වුනාම උගේ ඩෙස්ක් එකයි මගේ ඩෙස්ක් එකයි ගාවන්නේ නෑ. ටිකක් ඈත් කරගෙන ඉන්නේ.

ඉස්කෝලේ ඉන්ටවල් එකට අපි කලේ ගෙදරින් ගේන කෑම කාලා ඉස්කෝලේ වැට අයිනේම තිබුණු කඩේකින් රුපියල් දෙකට පේර ගෙඩියක් ගන්න එක. ඊට පස්සේ ඕකට සල්ලි දාපු අය වෙනම සෙට් වෙලා එකෙක් කෑල්ලක් කාලා අනිකට දෙනවා එහෙම එහෙම වටේ යව යවා පේර ගෙඩිය ඉවර කරනවා. එකෙක් හරි රුපියලක් හරි සත පනහක් හරි වගේ ලොකු ගානක් දැම්මොත් උට පලවෙනි රවුමේදී දෙපාරක් කන්න පුළුවන්. රුපියල් දෙකක් හදාගන්න සල්ලි නැති වෙලාවට ඉතින් ගුණසිරි මාමගේ බුල්ටෝ තමයි කෑවේ.  



ඉස්කෝලේ ඇරිලා එක්ක යන්න එනකම් අපි කෑවේ අයිස් පලම් තමයි. අයිස් පැකටුත් තිබුනා. රුපියලේ අයිස් පැකට් ඒක දිගායි කෙට්ටුයි. එක එක පාටට එක එක රසට තිබුනා. දිවූල් ඒවා ඉට්ටෝබරි ඒවා දොඩම් ඒවා...
රුපියල් දෙකට තිබුනේ කිරි එකයි පලතුරු එකයි චොකලට් එකයි.ඒ පැකට් එක කොටායි මහතයි.  ඒකෙ පලතුරු එකේ මුද්දරප්පලන් දෙකක් අනිවාර්යෙන්ම තියෙනවා.  ගෙදර හදන අයිස් පලම් එක රුපියල් දෙකයි. ලී කෑල්ලක් ගහලා සන්කුයික් වගේ බීමද කොහෙද පොඩි කප් එකකට දාලා ඩීෆිෂර් එකක දාලා ගන්නවා.

තව තව පොඩි පොඩි සිද්දි ගොඩක් තියෙයි. යාළුවො එක්ක රිලේ දුවපු හැටි, පන්ති නායක පට්ටම නැති කරගත්ත හැටි, නයනා ටීචර්ට, මිස් කියලා වෙච්ච දේවල්, කෙල්ලන්ට විරුද්ධව කැරලි ගහපු හැටි, හින්දි ෆිල්ම් බලලා කරපු දේවල්..හම්මෝ....අවුරුදු තුනක් වුනත් ගොඩක් රස කතා තියෙයි ඒ ඉස්කෝලෙ ගැන. බබා සිංදුවා තුන වසරෙදි පංතියෙන් අයින් වෙලා රත්නපුරේ ඉස්කෝලෙට ආවට පස්සේ ආයේ ඒ ඉස්කෝලෙට දෙතුන් පාරක් ගියා. ඊට පස්සේ ගොඩාක් කාලයක් යන්න ලැබුනේ නෑ. මේ ලඟදි ආයේ ගියා. දැන් තට්ටු බිල්ඩින් හැදිලා, ඒවා චිත්‍ර වලින් පාට වෙලා, පොල් අතු හෝල් එක තට්ටු දෙකකට හදලා. හම්මෝ එයත් හුඟක් වෙනස් වෙලා.   




කොහොමවුනත් තාමත් එක සිංදුවක් ඇහෙනකොට හැම වෙලාවේම අර ෆිල්ම් එකක කොටස් ටිකක් වගේ සිංදුවාට තාමත් අර ඉස්සරම තිබුණු ගොඩකවෙල රාහුල ප්‍රාථමික ඉස්කෝලේ මතක් වෙනවා. තාමත් ඒ ඉස්කෝලේ ගාවින් යනකොට සිංදුවා ළඟ ඉන්න හැමෝටම ඉස්කෝලේ පෙන්නලා කියනවා
"මේන් අපේ ඉස්කෝලේ " කියලා. ඉතින් ඒ ඉස්කෝලේ අතීතේ මතක් කරවන සිංදුව ගැන තමයි අද සිංදුවා කියන්න ආවේ.

මේන් අපේ ඉස්කෝලේ
රාන් රුවයි රැස් මාලේ
රෑන් පිටින් අපි ආවේ
පහන් වැටක සිරියාවේ

වැස්සට ගඟ ආවත් පංතිවලට
අව්වට ඉර වැටුනත් හිස්මුදුනට
වෙඩි පිට වෙඩි ඇහුනත් පැයෙන් පැයට
අපි ආදරේ අපේ ඉස්කෝලෙට

කුඹුරේ වැඩ තිබුනත් යලට මහට
එනවා හැමදාමත් පංති වලට
ඩෙස් පුටු බංකු නැතත් ඉඳගන්නට
අපි ආදරේ අපේ ඉස්කෝලෙට

ලස්සන සාරි නැතත් ටීචර්ලට
මූණට එළිය ඇවිත් පිං පාටට
කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට
අපි ආදරේ අපේ ඉස්කෝලෙට


ගායනය : ප්‍රදීපා ධර්මදාස
තනුව : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආරියරත්න



 

අහපු ගමන් අපිට තේරෙනවා මේ සිංදුවේ කියන්නේ නම් එක ඉස්කෝලයක් ගැන නෙවෙයි. පොදුවේ අර බබා සිංදුවා ගියා වගේ ඉස්කෝල ගැන තමයි මේ කියන්නේ. මේකේ රස යෙදුම් ටිකක් තියෙනවා.

රාන් රුවයි රැස් මාලේ කියන්නේ මම හිතන්නේ උදේට අපි එනකොට මුළු ඉස්කොලෙටම වැටිලා තියෙන පින්න, අව්ව වැටෙන්න පටන් අරන් නිසා දැන් දිලිසෙනවනේ අන්න ඒක ගැන වෙන්න ඕනි.

පහන් වැටක සිරියාවේ රෑන් පිටින් අපි ආවේ කියන්නේ උදේට දැන් ළමයි ඉස්කෝලෙට පයින් එනකොට අපි ඈත ඉඳන් බැලුවොත් හරියට පහන් වැටක පහන් පත්තු කරලා වගේ එක පෙළට සුදු ඇඳගත්ත ළමයි ඉස්කෝලේ දිහාවට පේලියට වගේ යනවා පේනවනේ අන්න ඒක කියලයි සිංදුවාට හිතෙන්නේ.

මම කැමතිම එකක් තමයි එතන වැස්සට ගඟ ආවත් පංති වලට කියන එක. වැස්ස දවසට ගඟ පිටාර දානවා. එතකොට ගඟ ළඟ තියෙන ඉස්කෝල වල පන්ති යට වෙනවා. ඒක අපිට කියන්නේ ගඟත් එනවා පන්ති වලට කියලා.
අව්වට ඉර වැටුනත් හිස් මුදුනට.. ඒ කියන්නේ වහල ගැන. හරියට වහලක් නැති ඉස්කෝල තියෙනවා. සමහර විට පොල්අතු තියෙන වහලක් වෙන්න ඇති. ඉටි රෙදි වහලවල් තියෙන ඉස්කෝලත් තියෙනවා.





වෙඩි පිට වෙඩි ඇහුනත් පැයෙන් පැයට මතකනේ අවුරුදු තිස් ගානක් එහෙම කාලයකුත් තිබුනා. සරෝජා සින්දුව මතක් වෙන්නේ මේ වෙලාවට. වෙඩි සද්ද ඇහෙනකොට ළමයි ටික හංගන්න වලවල් කපලා තිබුණු ඉස්කෝල තිබුනා කියලා සිංදුවා අහලා තියෙනවා. ළමයි ටික වලවල් වල දාලා උඩින් වහලා තියනවා. ෆිල්ම් එකකත් තිබුනාද කොහෙද එහෙම සීන් එකක්.

මේකේ කියනවා වගේ ඩෙස්ක් පුටු නැති කෙසේ වෙතත් තිබුණු ඒවා තෙමිලා නිසා වාඩි වෙන්න බැරි වෙලාවට ඒවා වේලනකම් එළියේ දාලා පුටු ලං කරගෙන හැමෝම බෙදාහදාගෙන වාඩි වුනු කාලයක් සිංදුවාටත් තිබුනා.

ඔය කොයි දුෂ්කරතා තිබුනත් නොතිබුනත් අපි හැමෝම අපේ ඉස්කෝලෙට ඒ ඉස්කෝල ජීවිතේට ආදරෙයි.


 අපිත් ආදරෙයි අපේ ඉස්කෝලෙට 






12 comments :

  1. ගමේ ස්කොලේ මතක් උනා මචෝ .ඔය පන්සිල් දෙන එක මාසේ අන්තිමට තියන මොකක්දෝ සමිතියක සින්දු කියන එක , ඉන්ටර්වල් එකට කලින් අර පන්චාස්ශ්‍ර බිස්කට් බෙදපු හැටි මැවිලා පෙනෙනවා බන් ."කාලය මැව් වෙනසක අරුමේ "

    සින්දුවෝ උබට මේ සින්දුව මතක් උනේ නැද්ද ?

    ඉස්සර මං ගිය පාසැල ඇරිලා
    පුංචි පැටව් පෙරහැරෙ එනවා
    හේවිසි ගහගෙන හූ හඞ දීගෙන
    ලන්ද පුරා දුව පැන එනවා
    මේ දරු දැරියන් නොදුටුව දෑසින්
    එක දරුවෙක් තනිවී එනවා

    ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
    බිම්මල් හිනැහී හිස වැනුවා
    ඒදඞු මංකඩ තිත්ත පැටව් රැළ
    ඔහුගේ සුවඳට ඉව කෙරුවා
    මේ විසිතුරු හැර කොතැනක යන්නද
    පුංචි දෙපා එකතැන රැඳුණා

    ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
    නෙළුම් රටාවකි තණ ගොල්ලේ
    නීල කොබෙයි රැල පේළි සැදී හිඳ
    මුතු ඇහිඳියි මදටිය ගාලේ
    ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
    තාමත් ඔහු මේ වන නිල්ලේ

    පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
    වන වදුලේ අසිරිය දකිනා
    ගම් දරුවන් මැද මේ දරු පැටියා
    මගේ නෙතට කඳුළක් නැඟුවා
    ඔහුට මුවාවී පාසැල් යන්නේ
    මා දැයි නිකමට මට හිතුණා

    ගී පද - කුමාරදාස සපුතන්ත්‍රි
    ගී තනු - එච්.එම්. ජයවර්ධන
    ගායනය - සුනිල් එදිරිසිංහ

    මේකත් බලපන් ...
    නිර්මාණයක සුලමුල සොයා යාම -කුමාරදාස සපුතන්ත්‍රි

    ReplyDelete
  2. පියමන් කෙරුවෙමු මහ‍ වෙල් මැද්දෙන්
    පෙම්බස් දෙඩුවෙමු උයන් කො‍නෙක හිද
    ශිල්ප උගත්තෙමු නැණ ලැබ ගත්තෙමු
    දෙපා වාරු නැත ඔභ හැර යන්නට...//

    නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
    කෝල හැඟුම් කෙලි කවට සිනාවයි...//
    මල් නැටුමයි - කළගෙඩි නැටුමයි
    මගේ දෑස තුල යලිත් ඇදේවිද...//

    පියමන් කෙරුවෙමු...//

    නෙත කඳුලින් හස පෙමින් මුවාකල
    සොදුරු පැතුම් පුරවා මන මත් කල...//
    මගෙ කෙලිලොල් විය ගෙවුනු වගයි
    මා හැදු පාසල් මවුනි දායාදර...//

    පියමන් කෙරුවෙමු...//

    ReplyDelete
    Replies
    1. සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
      අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
      වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

      ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
      සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
      රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ

      සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
      අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
      වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
      සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
      අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
      වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

      සාමල අමරල - පොත්තුල තව ඇත
      එන එන අය හා යාළු වෙතේ
      අපේම පාසල අපේම මව් විය
      එදවස් අප හට නැත ආයේ...

      සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
      අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
      වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
      සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
      අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
      වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

      ගායනය - ශාලිත අබේවික්‍රම

      Delete
    2. සුදු පාට මල් පිපුණ අරලියා සෙවණ යට
      බාලිකාවේ සුවඳ තනිවෙලා
      අපි ඉතින් වෙන් ව යමු අපි අතින් ගිළිහි ගිය
      සියලූ දේ අතීතෙට පවරලා

      ඇසළ සඳ දිය නොවුණ ඈත වැවුතල කොනක
      ගයා නිම වූ කවිය ඉකිබිඳී
      අපට අප පමණක් නොවෙයි නැණ නුවන් සැදූ
      තක්සලාවත් අහිමි වීලා

      සිනා සරදම් පිරුණු පන්ති කාමර අතර
      ගෙවී ගිය මල් සමය සිහිනෙකී
      සඳට ඉකි බිඳ හඩන නොදරුවන් නොවෙයි අපි
      සිනාසෙමු අතීතෙට සෙනෙහසින්

      ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

      Delete
    3. සුදු හුණු කූරෙන් අයන්න ලියලා
      අකුරු කෙරූ කළු ලෑලි දිගේ...
      හෝඩියෙ පංතිය ජීවිතයේ නුඹ
      ඉස්කෝලෙට පිය නැගුව දිනේ...

      දැන සිප් සත ලොව පොත පත යහළුවො
      කෙළිලොල් දිවියක අගය දැනේ...
      පේළියෙ ඉඳගත් කාමර පේළිය
      වසරින් වසරට අලුත් වුණේ...

      නැණ මැන බැලුමට කඩඉම් පසුකොට
      සහතික පත්තිරු තරඟ බිමේ...
      කඳුළින් ලියවෙන ලොවකට යන්නට
      අවසර පාසැල් මෑණියනේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ප්‍රේමදාස අතුකෝරල
      ගායනය : ටී. එම්. ජයරත්න

      Delete
    4. සමනළ රෑනක් සේ ඉගිලී
      අකුරට ගිය පාසල් කාලේ
      අයෙත් එනවා නම් අපේ දිවියට ආසයි
      ඒ ලස්සන කාලේ..

      පාසල් මවු තුරුලට වීලා
      අයන්න ආයනු ගලපාලා
      නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
      නිමා වෙලා පාසල් කාලේ .....

      දුව පැන නට තරග කරාලා
      ජය ගෙන හිනැහුන ඒ කාලේ
      ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
      විදු මව් තුරුලේ උන් කාලේ

      සුලගට හසුවූ පහන් සිලක් මෙන්
      සැගව ගියාදෝ අපේ බාලේ...

      - මේරියන්ස් (සුමිත් ප්‍රියංකර)

      Delete
  3. පින්වතුනි පින්වතියනි . මේවා අස්සේ තව නොකී කතා ගොඩක් තියෙනවා . ඒවා වයලීනෝ විසින් ඉදිරියේ ලියා පල කරන බව හොඳින් සිහි තබා ගන්න . මිනී මරපුවා . වතුර පොවපුවා . හොරපොල් කඩපුවා . @සිංදුවා කෝ ඒවා කෝ ?? :p :p :p :-bd :-bd :-bd :-bd :-bd

    ReplyDelete
  4. අඩෝ අර හොරෙන් පත්තර ගෙනිහින් අහු උන එව්වා, අනුන්ගේ පර්ස් වලට විදපු එව්වා. ගෑනු ළමයින්ට මල් දුන්න එව්වා වෙනම සීරිස් එකකද එන්නේ?

    ReplyDelete
    Replies
    1. වෙලාවට මතක් කරේ

      Delete
  5. බෝම හොදයි.. මතක් කරගන්න එක

    ReplyDelete
  6. සයිලන්ස් එකේ හිටිය සින්දු මලය, එතකොට මහා ගත් කතුවර විස-ආරද වයලිනෝ එක්ක එහෙම ගෙවපු පාසල් සමය මටත් මතක් වෙනවා මේවා දකිද්දී.එත් ඒ ඉස්කෝලෙට එන්න කලින්, පහ වසර ශිෂ්‍යත්වේ පාස් වෙනකං ගිය ඉස්කෝලෙත් අමතක වෙන් නෑ කවදාවත්.නගරේ ලොකු ඉස්කෝලේ ඉගෙන ගත්ත ළමෙක් විදියට ඉන්න හම්බුනේ එදා පුංචි ඉස්කෝලේදී ආදරෙන් මගේ ජිවිතේ අත්තිවාරම වැටුණු නිසා කියල දන්නවා මං.දවසක එන්නං ඔබව බලන්න රත්නපුර මිහිඳු විදුහල් අම්මේ..හැබැයි ඒ ඔබව ආභරණයක් කරගන්න නෙමේ, ඔබට ආභරණයක් වෙන්න පුළුවන් දවසට..

    ReplyDelete
    Replies
    1. අනේ බුදු අම්මේ........... d( d( d( d( d( d( d(
      :p :p :p :p :p :p :p
      g-) g-) g-) g-) g-) g-) g-)

      Delete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.