Friday, March 27, 2015

දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ( හන්තානේ කඳු දණ ඇණ නමදින )







මේ ලෝකයේ හැමදාම වෙනස් නොවන සත්‍යයක් තමයි නැති වීම කියන එක . බුදු දහමේ මේක උගන්වන්නේ අනිත්‍ය කියන සංකල්පය ආශ්‍රය කරගෙන . මට මතකයි දහම්පාසල් අවසාන පංතියේ ඉගෙන ගන්න කාලේ අභිධර්මයට ඉගැන්නුවා හිතේ ඇතිවෙන සිතිවිලි ගැන . මේ සිතිවිලි ඇතිවෙනවා පවතිනවා නැතිවෙනවා . මේකට පාලි භාෂාවෙන් කියන්නේ උප්පාද තිථි භංග කියලා . උප්පාද කියන්නේ ඇතිවෙනවා . තිථි කියන්නේ පවතිනවා . භංග කියන්නේ නැතිවෙනවා . ඉතින් මේ සංකල්පය භාරතීය වේද ශාස්ත්‍රයේත් වක්‍රාකාරව පෙන්නලා තියෙනවා . ඒ තමයි වින්සති කියන සංකල්පය .

මේ වින්සති සංකල්පයේදී කියන්නේ ලෝකය ඇතිවීම ලෝකය පැවතීම සහ ලෝකය නැතිවීම කියන අවස්ථා තුන ගැන . ජෝතිෂ්‍ය විද්‍යාවෙත් මට මතක හැටියට මේ වින්සති තියෙනවා . මට මතක හැටියට මේ වින්සතියකට තියෙන්නේ අවුරුදු හතරක කාලයක් . හැබැයි අවුරුදු හතරද කියලා හරියටම ෂුවර් නෑ හරිය . ඉතින් මේ වින්සති තියෙනවා තුනක් . බ්‍රහ්ම වින්සතිය , විෂ්ණු වින්සතිය සහ ඊශ්වර වින්සතිය තමයි මේ වින්සති තුන . 

බ්‍රහ්ම කියන්නේ මහපොලව නිර්මාණය කරන ලද දෙවියා . මහා බ්‍රහ්මයා පොළවත් ජීවයත් ගස්වැල් සියල්ලත් නිර්මාණය කරා කියලා වේදයේ සඳහන් වෙනවා . පස්සේ විෂ්ණු තමයි ලෝකය පවත්වාගෙන යන්නේ . වරදට දඬුවම් දෙන , අධර්මය විනාශ කර ධර්මය පැතිරවීම කරන්නේ විෂ්ණු . මට මතකයි මහා භාරතයේ භගවත් ගීතාවේ කුරු පාණ්ඩව යුද්ධයේදී අර්ජුනට ක්‍රිෂ්ණා විදියට පැමිණෙන විෂ්ණු දෙවියන් මෙන්න මෙහෙම කියනවා .





“මම මුළු ලෝකයේම උපතට හා ප්‍රලයයට හේතුව වෙමි.මට වඩා උසස් වෙන වස්තුවක් ලොවෙහි නැත.මේ මුළු ලොව නූලෙහි අවුණූ මුතුමෙන් මා කෙරෙහි ඇමිණී ඇත.මම සියළු ජලයෙහි ජීවය වෙමි.දේව භාෂිතයන් වූ මම සියළු වේදයන්ගේ “ඕම්“ කාරය වෙමි.මම සියළු ජීවීන්ගේ ජීවය වෙමි.සියල්ලන්ගේම බුද්ධිය තේරුම් ගතිමි.තේජශ්‍රීයෙන් බලවතුන්ගේ බලයක් වෙමි.මම සියළු සතුන් දනිමි.සියල්ලෝම මා තුළ ඇතුළත්හ.එහෙත් මම ඉවත්වී සිටිමි.පූජාව මමය.පුදන්නා මමය.යාගය මමය.ගින්න මමය.මම මෙලොව පියා වෙමි.දිනුම් කණුව වෙමි.මම පටන් ගැන්මත් අවසානයත් වෙමි.මම හිතවතාට පිහිට වෙමි.මම වනාහී සියල් සතුන්ගේ නොපෙරැලෙන ප්‍රාණ බීජය වෙමි.යමෙක් මට සැදැහැයෙන් පූජා කෙරේද මම එය පිළිගනිමි.මම සියල් සත්නට ඊශ්වර වෙමි.මම පිළිසිඳීම් රහිත වෙමි.මම අමරණීය වෙමි.අදහම නැගී සිටින විට,දහම පිරිහී යන විට,දැහැමිබව පළ කිරීමට,පාපීන්ගේ පාපයන් විනාශ කරලීමට,ධර්මය ආරක්ෂා කිරීමට මම යුගයක් යුගයක් පාසා මේ ලොව පහළ වෙමි“.

ඊට පස්සේ තියෙන්නේ ඊශ්වර වින්සතිය . ඊශ්වර වින්සතියෙදී ලෝකය විනාස වෙනවා . ඒ කියන්නේ මිනිස්සු මරාගන්නවා කොටා ගන්නවා වගේ ඒවා වෙලා සමාජය පිරිහිලා විනාස වෙලා යනවා . පස්සේ ආයෙත් බ්‍රහ්ම වින්සතිය ආවම ලෝකය අලුතෙන් නිර්මාණය වෙලා ධර්මය වැපිරිලා මිනිස්සු හොඳ මගට පත්වෙන්න පටන් ගන්නවා . ඊට පස්සේ ආයෙත් විෂ්ණු වින්සතිය ආවම ලෝකය ධාර්මික වෙනවා . ඊට පස්සේ ඊශ්වර වින්සතිය ආවම ලෝකයේම දරුණු අපරාද ඇතිවෙලා මිනිස්සු ඇණකොටාගෙන මරාගෙන විහින්ම විනාස වෙනවා . නැවතිල්ලේ හිතලා බැලුවම මේක ඇත්ත කියලා හිතෙනවා . 

අන්න ඒවගේ කාලයක් ලංකාවටත් තිබුණා අසූ ගණන්වල . අසූ ගණන්වල ලංකාවේ තිබ්බ පසුබිම ඇහින් දකින්න ලැබුණේ නැති උනාට මට ගොඩක් දේවල් කණින් අහන්න ලැබිලා තියෙනවා . මට නිකමට වගේ හිතුනා ඒ කාලෙත් ලංකාවට ලබලා තිබුණේ ඊශ්වර වින්සතියද කියලා . වෙන්නත් පුළුවන් නේද මෙයාලා . 

අපේ ආච්චිඅම්මා එයාලගේ පවුලේ ලොක්කි කියලා මම කියලා ඇතිනේ . ඉතින් මේ කලබල කාලේ හැමෝම තමන්ගේ දරුවන් පරිස්සම් කරන්න පිහිට පැතුවේ ආච්චි අම්මගෙන් . ඉතින් ඒ කාලේ මාමලා ගොඩක් දෙනෙක් අපේ ගෙදර තමයි ඉඳලා තියෙන්නේ . ආච්චි අම්මා එයාලා සේරම ගේ අස්සට දාලා දොරවල් වහගෙන කන්න බොන්න දීලා තමයි පරිස්සම් කරලා තියෙන්නේ . එක මාමා කෙනෙක් හිටියා පොලීසියේ සාජන්ට් කෙනෙක් . ඒ කාලේ පොලිස් අයටත් අවුල් තිබිලා තියෙනවා . ඒ නිසා ඒ මාමත් අපේ ගෙදර තමයි ඉඳලා තියෙන්නේ . ආච්චි අම්මා ගොඩක් වෙලාවට ඒ කාලේ දේවල් මතක් කර කර තනියම සතුටු උනා . සමහරවිට ආච්චි අම්මට සතුටු හිතෙන්න ඇති තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ ළමයි ඔක්කොම වගේ ටික කාලයකට හරි එයාට පෝෂණය කරන්න ලැබුණ එකට . 

මේ වෙලාවේ මට මතක් කරන්න ඕන තවත් යෙහෙළියක් මාත් එක්ක දැනට කාලෙකට කලින් කිව්ව කතාවක් . එයාගේ අක්කා ඉපදිලා තියෙන්නේ කොළඹ . ඉතින් ළමයා අරගෙන ඒ අම්මයි තාත්තයි රත්නපුරේට එන්න ලැස්තිවෙලා තියෙනවා . මේ අම්මා තාත්තත් පොඩ්ඩක් නෝට් වෙලා හිටපු අයලු . ඒ නිසා මෙයාලා කල්පනා කරාලු පවුල පිටින්ම එකම බස් එකක ගියොත් ළමයට අම්මත් නෑ තාත්තත් නැති වෙනවා . ඒ නිසා ළමයා අම්මත් එක්ක එක බස් එකකිනුත් තාත්තා වෙනමම බස් එකකිනුත් තමයි කොළඹ ඉඳලා රත්නපුරේට ඇවිත් තියෙන්නේ . 






අපේ අම්මා පුංචි අම්මා එහෙම මේ කලබල කාලේ දෙවුන්දර පැත්තේ ඉඳලා තියෙනවා . දෙවුන්දර සිංහාසන පාර , විෂ්ණු දෙවියන් ලංකාවට වැඩම කරවපු පාර කියලා කවුරුත් දන්නවා ඇතිනේ . ඉතින් මේ කලබල කාලේ මේ දෙවුන්දර පැත්තෙත් හරි හරියට මිනිස්සු මරලා තියෙනවා . හවස දැක්ක මනුස්සයාගේ බෙල්ල පහුවෙනිදා උදේට ඒ ගෙදර තාප්පේ උඩ තියලා තියෙනවලු . මිනිස්සුන්ගේ අත පය කෑලි පාරේ කුණුගොඩවල් වලත් තියෙනවලු . ඉතින් විෂ්ණුගේ කාලේ ගෙවිලා ඊශ්වර වින්සතිය ඒ කාලේ තියෙන්න ඇති කියලා හිතන්න තව මොනවද ඕන . 

ලොකු ඉස්කෝලෙට එන්න කලින් මම ගියපු ගමේ ඉස්කෝලේ උගන්නන්න ආව මිස් කෙනෙක් හිටියා මට මතකයි වලව්වක කෙනෙක් . ඒ මිස්ලට අලි හිටියා . අපේ පුංචිත් ඉගැන්නුවේ ඒ ඉස්කෝලෙම නිසා මට ඒ ඉස්කෝලේ මිස්ලා සැලකුවේ එයාලගේ ළමයෙක්ට වගේ . මම ඉතින් අලි පිස්සා නිසා අර කලින් කිව්ව මිස්ගෙන් අලි පැටවූ ඉල්ලනවා ඉස්සර . ඒ මිස්ගේ තාත්තා වලව්වක කෙනෙක් . ඉතින් මේ කලබල කාලේ මේ හාමු මහත්තයත් මිස්ගේ මල්ලිලත් මරලා දාලා තියෙනවා . 

දවසක් සිංදුඅම්මා කිව්වා ඒ කාලේ පොඩි ළමයින්ට හයියෙන් අඬන්න දෙන්නේ නෑලු රැට . හවස හයෙන් පස්සෙද කොහෙද ළමයින්ට අඬන්න තහනම්ලු . මේ කාලේ තමයි ලොකු සිංදුවා . ඒ කියන්නේ සිංදුවගේ අයියා ක්‍රාන් ක්‍රාන් කියලා අඬන්නේ . ඉතින් අම්මා කරන්නේ ඉක්මනටම ලොකු සිංදුවව
 නිදි කරවනවලු . එතකොට ඉතින් අඬන කරදර නැහැනේ . තව ඒ කාලේ මිනී පෙට්ටි කරෙන් උස්සන් යන්නත් බැහැලු . අතින් එල්ලගෙන වගේ බිම් මට්ටමෙන්ලු ගෙනියන්න නියම කරලා තිබුණේ . රෑට ගෙවල් වල ලාම්පු පත්තු කරලා තියන්නත් බැහැලු . ඔන්න ඔකොම කතා ගොඩයි ඉතින් . 

මේ ඔක්කොටම වඩා කතාවත් අපේ පවුලේ කෙනෙක්ටත් උනා . අපේ මාමා කෙනෙක් හිටියා හමුදා බුද්ධි අංශයේ . ඒ මාමා හමුදාවේ උනාට පවුලේ අය කියන හැටියට ගෙදර අයට හමුදා පාට් එහෙම දාන්නේ නැති ටිකක් සයිලන්ට් කෙනෙක්ලු . මේ කලබල කාලේ සිංහල අවුරුද්දට දවස් දෙකකට විතර පස්සේ මේ මාමා ආවලු අපේ ගෙදරට ආච්චි අම්මා බලලා යන්න . ඇවිත් කිව්වලු අදනම් ආවේ ලොකු අම්මා හදපු කොන්ඩ කැවුම් ටිකක් අරගෙන යන්න කියලා . පස්සේ ආච්චි අම්මා කැවුම් ඔතන අතරේ මේ මාමා ආයෙත් ටවුන් එකට ගිහින් අපේ ආච්චි අම්මට සිල්ගන්නකොට අඳින්න ඇඳුමක් මහගන්න සුදු රෙදි ගෙනත් දීලා . පස්සේ කැවුම් අරගෙන ගියා ගියාමයි ඒ මාමා ආයෙත් ආවේ නෑ . තාමත් අපි දන්නේ නෑ එයා ඉන්නවද මැරිලද කියලවත් . ඉතින් අපේ ආච්චිඅම්මා ඒ රෙදි වලින් ඇඳුම් මහගෙන හැම පෝයටම සිල් ගත්තේ ඒ ඇඳුම් ඇඳලා . මට මතකයි හැම පෝයකටම ආච්චි අම්මා මේ මාමාව මතක් කරලා එයාට පින් දුන්නා . හොඳ තැනක ඉපදෙන්න ලැබෙන්න ඕන ඒ දරුවා කියලා . 





ඉතින් අද කියන්න යන්නෙත් මේ වගේම කලබල කාලේ පේරාදෙණිය සරසවියට ගිය පුතෙක් මිනී පෙට්ටියක සැතපිලා නිහඬ නිසසල ගමනකින් ගෙදරට එන වෙලාවේ ඒ පුතාගේ තාත්තාගේ හිතේ ඇතිවෙන විලාපය කැටි කරලා ලියැවුණු ගීතයක් ගැන . මම මේ ගීතය කලින් අහලා තිබ්බෙම නෑ . ඇහුවෙත් අදමයි . මොකද අහන්න තරම් මූඩ් එකක් ඒ ගීතයේ තිබුණේ නෑ මට .  

එහෙනම් ඉස්සෙල්ලම ගීතය අහලා ඉන්ටකො බලන්ට 



හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ 
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුරුවනේ
පිරුවට අන්දා ඇස් දෙක පියවා  ගෙන ආවලු හාමුදුරුවනේ 
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//

ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ 
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ 
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ 
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//

කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ 
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ 
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…// 

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ



සංගීතය - ගුණදාස කපුගේ 
ගායනය - ගුණදාස කපුගේ 





ගීතයේ ලොකු තේරුමක් තියෙනවා කියලා කියවනකොට හිතෙනවා . මම හිතනවා ඒ තේරුම හරි ඇති කියලා . බලමු එහෙනම් අපි ගීතය ඔස්සේ ගිහින් මොකක්ද මේ කියන්නේ කියලා .

හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ 
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුරුවනේ
පිරුවට අන්දා ඇස් දෙක පියවා  ගෙන ආවලු හාමුදුරුවනේ 
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//

තමන්ගේ දරුවට බහ තෝරන වයසේ ඉඳලා උගන්නන්න පුළුවන් හැම දේම උගන්නලා අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ ළමයා ලොකු උනාම හොඳ නරක තෝරලා බේරලා තනියම ජීවිතේ ගෙනියන්න පුළුවන් තත්ත්වයට එයි කියලා . ඉතින් අම්මලා තාත්තලා ගෙදරදී උගන්නන්න පුළුවන් හැම දේම උගන්නලා පෙර පාසලට ඊට පස්සේ පාසලට යවන්නේ අවසානයේ විශ්වවිද්‍යාලයක උපාධියක් ගත්ත උපාධි ධාරියෙක් විදියට උපාධි ලෝගුව දාගෙන උපාධි සහතිකය ගන්න දවසට සතුටු කඳුළු හෙලන්න බලාපොරොත්තුවක් හිතේ කොනක රඳවාගෙන . 

ඉතින් මේ තාත්තත් තමන්ගේ පුතාට හොඳට උගන්නලා අවසානයේ විශ්වවිද්‍යාලයට යවනවා ඉගෙනගෙන හොඳ මිනිහෙක් වෙන්න කියලා විවරණ දීලා . ඒත් මේ පුතා ඒ ඉගෙනගන්න කාලයේ ඉගෙන ගත්තාදා නැත්නම් වෙනත් අඩිපාරක ගියාද කියලා කියන්න අමාරුයි . කොහොමහරි අවසානයේ මේ පුතා ජීවිතයෙන් වන්දි ගෙවලා ප්‍රාණය නිරුද්ද මල සිරුරෙන් මිනී පෙට්ටියක සැතපිලා ගෙදරට එනවා . ඒ වෙලාවේ මම හිතනවා මේ මල සිරුර ගෙදරට අරගෙන එන්නේ විශ්වවිද්‍යාලයේ තමන්ගේ පුතාගේ යාළුවො සහ ආචාර්යවරු කියලා . 

තමාගේ පුතාගේ දේහය දැක්කම මේ තාත්තට වාවගන්න බැරි දුකක් එක්ක අවිනිශ්චිත හැගීමක් ඇතිවෙනවා . එහෙම කියලා තාත්තා දළදා හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා තමන්ගේ පුතාට මේ මොකද උනේ කියලා .





හන්තානේ කඳු දණ ඇණ නමදින සිරි දළදා හාමුදුරුවනේ 
ඔබවහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගේ දරුවා හමුදුරුවනේ

දළදාව කියන්න බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ . ඉතින් මේ ගීත රචකයා ගීතයේ සටහන් කරන්නේ හන්තාන කඳු පවා දන ගහලා නමස්කාර කරන දළදා හාමුදුරුවනේ කියලා . ඒකෙන් කියනවා තමන් වගේ අසරණ අයගේ දුක් අදෝනාව අහන්න ඉන්නේ දළදා හාමුදුරුවන් විතරයි කියලා මේ තාත්තා විශ්වාස කරන බවක් . ඊට පස්සේ කියනවා ඔබ වහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය මගෙ දරුවා කියලා . ඒ කියන්නේ මේ පුතා අනිවාර්යෙන්ම පේරාදෙණි සරසවියේ ඉගෙන ගන්න ගියපු පුතෙක් කියලා . 

පිරුවට අන්දා ඇස් දෙක පියවා  ගෙන ආවලු හාමුදුරුවනේ 
දළදා නාමෙට උත්තර දෙනවද මතු බුදු වන හාමුදුරුවනේ ….//

තමන්ගේ පුතාට සුදු ඇඳුම් අන්දවලා මිනී පෙට්ටියක තැම්පත් කරලා ගෙදරට ගෙනාවා කියලා මේ තාත්තා දළදා හාමුදුරුවන්ට පැමිණිලි කරනවා . ඒ වගේම මේ මිනිය අරගෙන ආපු අයගෙන් මේ තාත්තා ප්‍රශ්නයක් අහනවා දළදා හාමුරුදුවන්ගේ නාමයෙන් උත්තර දෙන්න කියලා . අන්තිමටම හාමුදුරුවනේ කියලා කියලා තියෙන්නේ දළදා හාමුදුරුවන්ට නෙවෙයි . මරණය අරගෙන ආව අයට . සමහරවිට මේ මරණය ගෙනාව අය අතරේ වැඩිමල්අය වගේම කතිකාචාර්යවරුත් ඉන්න ඇති . 

මේ අයට තාත්තා කියන්නේ හාමුදුරුවනේ කියලා . ඒ ආමන්ත්‍රණයෙන් අපිට් හිතන්න පුළුවන් මේ තාත්තා ගමක ජීවත්වෙන කුඹුරු කොටලා එදාවේල හොයාගන්න මහන්සියෙන් ජීවත්වෙන තාත්තා කෙනෙක් කියලා . ඔය ගම්වල මිනිස්සු සමාජයේ උසස් අයට ආමන්ත්‍රණය කරන්නේ හාමුදුරුවනේ කියලා . ඒ නිසාම තාත්තාගේ අසරණ බව පෙන්වන්නම ගීත රචකයා මේ විදියට හාමුදුරුවනේ කියලා සටහන් කරන්න ඇති . 






ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ 
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ 
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ 
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//

තාත්තා දැන් ආපු අයගෙන් ප්‍රශ්න කරනවා තමන්ගේ පුතාට මොකද උනේ කියලා . මේ වෙලාවේ මතක් කරන්න ඕන මහා ධර්මපාල ජාතකය . ඔයාලට මතක ඇති ධර්මපාල කුමාරයා දිසාපාමොක් ආචාර්ය වරයා ළඟ ඉගෙනගන්න යැවුවට පස්සේ සිද්දවුනු දේවල් නිසා අවසානයේ දිසාපාමොක් ආචාර්යවරයා එළුවෙකුගේ ඇට කැබලි කීපයක් අරගෙන ඇවිත් ධර්මපාල කුමාරයාගේ තාත්තට කියනවා මේ ඔබගේ පුතාගේ ඇට කැබලි , ඔබගේ පුතා මිය ගියා කියලා . ඒ වෙලාවේ ඒ තාත්තා කලබල උනේ නෑ තමන්ගේ පුතා මැරිලා කියල . මොකද එයාට විශ්වාසයක් තිබුණා තමන්ගේ පුතා අකාලයේ මැරෙන්නේ නෑ කියලා . ඒ වෙලාවේ වෙච්ච කතාබහ මේ ගීතයේ මේ කොටසේ නියම විදියට පෙන්වලා තියෙනවා . 

ඇඳිරිදුනේ මේ සැතපෙන දරුවා ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ 
වනන්තරේ වැඳී සෙනගට අසුවුන මරු වැල පෑගුන කෙනෙකුන්දෝ

තාත්තා අහනවා මේ සැතපිලා ඉන්නේ මගෙ පුතාමද නැත්නම් බෙහෙත් නැතිව මියගිය වෙනත් පුතෙක්ද කියලා . නැත්නම් මේ ඉන්නේ කැලයේ අතරමං වෙලා මරුවැල පෑගිලා වෙඩි පත්තුවෙලා මැරුණට පස්සේ කැලයේ ඉන්න වැද්දන්ට හම්බෙච්ච මල කඳක්ද කියලා . 

මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද ලෙඩකින් දුකකින් නැත පෙලුනේ 
දහඩිය විකුණන හොර මැර නැති අප අකල් මරණ ගැන නැත දන්නෙ..//

ඊට පස්සේ කියනවා මගෙ පුතා කිසිම ලෙඩකින් පෙළුනේ නෑ . ඒ නිසා මේ මිනී පෙට්ටියේ සැතපිලා ඉන්නේ මගෙ පුතා කියලා මම කොහොමද විශ්වාස කරන්නේ කියලා . ඒවගේම මේ තාත්තා කියනවා දහඩිය විකුණන කියලා . ඒ කියන්නේ මේ තාත්තා ඇඟපත මහන්සි කරලා කරන රස්සාවකින් තමයි පවුල නඩත්තු කරන්නේ කියලා . ඒ වගේම හොර මැරකම් කරන්නෙත් නෑ කියලා කියනවා . ඉතින් එහෙව් එකේ මගෙ පුතාට අකල් මරණයක් වෙයි කියලා මම කොහොමද විශ්වාස කරන්නේ කියලා තාත්තා ඇවිත් ඉන්න අයගෙන් ප්‍රශ්න කරනවා . 





කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ 
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ 
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…// 

ඔන්න දැන් එනවා ගීතයේ නියමම තැනකට . 

කාලය දීපය දේශය දන්නා මතු බුදු වන හාමුදුරුවනේ 
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු හමුවුන නැති බව නැත දන්නේ

තාත්තා දැන් කතා කරනවා ඇවිත් ඉන්න අයට . මේ අය තමන්ට වඩා ඉගෙනගත්ත අය . ඒ නිසා තාත්තා කියනවා කාලය දීපය දේශය දන්නා මතු බුදුවන හාමුදුරුවනේ කියලා ඇවිත් ඉන්න අයට . මගෙ පුතා විශ්වවිද්‍යාලයට ගියේ ඉගෙනගෙන එන්න . ඒත් ඔබතුමන්ලාට මගෙ පුතා හමු උනේ නෑ කියලා මම කොහොමද දන්නේ කියලා තාත්තා කියනවා . ඒකෙන් පේනවා නේද මේ පුතා විශ්වවිද්‍යාලයේ ඉඳගෙන ඉගෙනගෙන නැහැ කියලා . ඉගෙන ගත්ත අය හමුවෙලා ඉගෙන ගෙන නැහැ කියන එක ගීත රචකයා අපූරු විදියට මෙතන විස්තර කරලා තියෙනවා . 

තුවාල සුදු රෙදි පටින් වසාගෙන උඩුකුරු වී මේ සැතපෙන්නේ 
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද කියන්න දැන්වත් ඇඳිරිදුනේ…// 

අවසානයේ තාත්තා කියනවා මගෙ පුතා ධර්මය ඉගෙන ගෙන එන්න තමයි විශ්වවිද්‍යාලයට ගියේ . මේ ඒ ධර්මයේ ගුණ කඳද සැතපිලා ඉන්නේ කියලා . 

හරිම අපූරු විදියට මේ ගීතය රචනා වෙලා තියෙනවා . මමත් තාම මේ ගීතය පස් වතාවකට වඩා ඇහුවේ නෑ . ඒත් වචන ටික දැක්කම මේ කියන්නේ මේක තමයි කියලා හොඳටම තේරෙනවා . ඔයාලත් අහලා බලන්න . මේ ගීතයේ සංගීතය එක්ක මට මතක්වෙනවා විරු සිසු ගීතය . ඔයාල අහලා නැත්නම් අහන්න මෙන්න මේක තමයි විරු සිසු ගීතය . විස්සවිජ්ජාලවල අයනම් දන්නවා ඇති . නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය පූජා කරපු අය වෙනුවෙන් තමයි මේ ගීතය නිර්මාණය උනේ . මේ ගීතයේ සංගීතයත් ඒ වගේමයි . මට එහෙම ඇහෙන්නේ තම්මැට්ටම ගහන නිසා වෙන්නැති . 




තම්මැට්ටමෙන් ඇහෙන්නේ මල බෙර වාදනය කරනවා වගේ හඬක් නේද . මොකද දළදා තේවාවට වාදනය කරන හොඳට සුෂර කරපු තම්මැට්ටම නෙවෙයි මේ මල බෙර වලට ගහන්නේ . මල බෙරවලට ගහන්නේ සුෂර කරලා නැති ටොක් ටොක් ගලා සද්දේ එන තම්මැට්ටම් . 

ගුණදාස කපුගේ මහත්මයාගේ දන මන පිනවා රඟදක්වාලා කියන ගීතයේ තනුවත් මේ ගීතයේ තනුවට සමානයි වගේ . ඔය ඔක්කොම අහලා බලලා කියන්නකෝ බලන්න හිතෙන්නේ මොකක්ද කියලා . 

මේ ලිපිය ලියන්න ගීතය මතක් කලේ අපේ ඉස්කෝලේ ඉඳලා පේරාදෙණිය සරසවියට ඉගෙනගන්න ගිය අයියා කෙනෙක් . ඒ අයියටත් ස්තූති .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

12 comments :

  1. ගොඩාක්ම තැන්කු මේ තරම් ඉක්මනට මේ සින්දුවට ලස්සන විචාරයක් ලිව්වට.
    මචෝ මේ සින්දුව ඇහුවෙ මුලින්ම කැම්පස් එකට එන්න කලින් මම හැබැයි ඒ කාලෙදි මට මේ සින්දුව ගැන මැවුනෙ වෙනමම චිත්රයක්. කොහොම වුනත් ඒකෙ සන්ගීතය ඇහෙද්දිම හරිම වේදනාත්මක හැගීමක් දැනෙනව. පස්සෙ මම කැම්පස් ආවම අපි 2nd year එකේදි අපිට උගන්නන්න ආව ප්රොෆෙසර් කෙනෙක් කිවා එයාගෙ අත්දැකීමක්. දැනට අවුරුදු 30කට විතර කලින් එයා තමයි විනය පාලක විදිහට ඉදලා තියෙන්නෙ. අපේ ෆැකල්ටි එකේ මුල ඉදන්ම උගන්වන්නෙ තනිකරම ඉන්ග්රීසියෙන් ඉතින් ගමේ ගොඩෙන් අහින්සක දුප්පත් ලමයෙක් මේ ෆැකල්ටියෙන් ඉගෙන ගන්න එනව ඒත් එයාට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ මේ කඩ්ඩ අවුල නිසා. දින කිහිපයකට පස්සෙ මේ ආචාර්යතුමාට ආරන්චියක් එනව මේ ලමය කෝච්චියට බෙල්ල තියල කියල.. ඉතින් එයා ඒ ලමයගෙ මිනිය රෝහලට බාර දීල,ලමය ගැන පනිවිඩේ කියන්න ලමයගෙ ගෙදෙට්ට යනවලු ඒ කාලේ දැන් වගේ ටෙලිෆෝන් තිබිල නෑනෙ. ඉතින් ඒ ආචාර්යතුමා අවිස්සාවේල්ලට ගිහින් එතනින් දැරනියගලට ගිහින් ලිපිනේ හොයාගන යනකොට වෙල්යායක් ගාවදි ගැමියෙක්ගෙන් ඇහුවම ඒ ගැමිය පෙන්නල ලමයාගෙ තාත්ත තමයි අතන කුබුරු කොටන්නෙ කියල. ඉතින් ආචාර්යතුමා ගිහින් තාත්තට කියල ඔයාගෙ පුතාට කෝච්චි අනතුරක් වෙලා දැන් ඉන්නෙ පේරාදෙනිය රෝහලේ කියල. තාත්ත අහල මහත්තයො ඇත්ත කියන්න මගේ පුතා ජීවතුන් අතර නෑ නේද කියල.ආචාර්යතුමා ඔව් කිව්වම ඒ තාත්ත පපුව අල්ලගන එහෙමම වාඩි වුනාලු. ඊට පස්සෙ ටික වේලවක් ඉදල කොහොමද මෙහෙම සිද්දියක් වුනේ කියල අහුවම ආචාර්යතුම කියල ඔයාගෙ පුතා ලියුමක් ලියල තියෙනව එයාට ඉන්ග්රීසි අමාරු නිසා ඉගෙනගන්න බැරිවෙයි කියන බය නිසා මේ තීරනේ ගත්ත කියල. ඒ කතාව කිව්වට පස්සෙ, ආචාර්යතුමා කියල තාත්තට දැන් පුතාගෙ මිනිය තියෙන්නෙ රෝහලේ මරන පරීක්ශනේ තියන්න දවසක් විතර යයි ඒත් ඔනිනම් මාත් එක්කම යමු මිනිය බලන්න කියල. එතකොට ඒ තාත්ත ආචාර්යතුමාට කියල මෙහෙම, මම උදේ ඉදන් රෑ වෙනකල් කුබුරු කොටල මේ එකම දරුවව ලොකු මහත් කරල උගන්නල විශ්වවිද්යාලයට යැව්වෙ. මට මගේ ජීවිතෙ ඕනිතරම් බාදක ප්රශ්න ඇවිත් තියෙනව ඒත් මේවගේ මෝඩ තීරනයක් ගන්න හිතිල නෑ කවදාවත්. මේවගේ පොඩි ප්රශ්නයක් නිසා මේ වගෙ ආර්මර්තකාමී තීරනයක් ගත්තනම් මේ මගේ පුතාවෙන්න බෑ.ඔබතුමා දැන් යන්න මම අදත් මෙහෙ ඉදල හෙටම එන්නම් මොකද ගෙයි වහලෙට පිදුරු ටිකක් අලුතින් හෙවිල්ලන්න ඕනි මිනිය නොතෙමෙන්න තියාගන්නනම් මේ වැහි කාලෙ කියල".
    ඉතින් ඔන්න ඔය කතාව ඇහුවට පස්සෙ මට හිතුනා මේ සින්දුවේ කියවෙන්නෙ ඒ ගැනවත්ද කියල
    දිගටම ලියහන් මේ වගෙ විචාර.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. නියම කතාව . මේ සිංදුවටම ගැලපෙනවා . දැනුත් ඉන්නේ කැම්පස්වල කඩ්ඩ අවුල් අය . ඒකනම් සිරා මෝඩ තීරණයක් තමා . කොහොමහරි මේ ගීතය මමත් හරියට අහලා තිබුණේ නෑ . හාඩ් එකේ තිබ්බට ප්ලේ කරලාවත් තිබ්බේ නෑ . නැත්නම් එක පාරක් ප්ලේ කරන්න ඇති . ඒත් මතක නෑ . මොකද මේක එච්චරටම එල්ලී එල්ලී අහන්න තරම් අයිඩියා එකක් දෙන්නේ නෑ :p

      බොහොම ස්තූති මේ ගීතය මතක් කරාට . අයියට මතකද මම දැනට අවුරුදු දෙකකට විතර කලින්

      “මම මුළු ලෝකයේම උපතට හා ප්‍රලයයට හේතුව වෙමි.මට වඩා උසස් වෙන වස්තුවක් ලොවෙහි නැත.මේ මුළු ලොව නූලෙහි අවුණූ මුතුමෙන් මා කෙරෙහි ඇමිණී ඇත.මම සියළු ජලයෙහි ජීවය වෙමි.දේව භාෂිතයන් වූ මම සියළු වේදයන්ගේ “ඕම්“ කාරය වෙමි.මම සියළු ජීවීන්ගේ ජීවය වෙමි.සියල්ලන්ගේම බුද්ධිය තේරුම් ගතිමි.තේජශ්‍රීයෙන් බලවතුන්ගේ බලයක් වෙමි.මම සියළු සතුන් දනිමි.සියල්ලෝම මා තුළ ඇතුළත්හ.එහෙත් මම ඉවත්වී සිටිමි.පූජාව මමය.පුදන්නා මමය.යාගය මමය.ගින්න මමය.මම මෙලොව පියා වෙමි.දිනුම් කණුව වෙමි.මම පටන් ගැන්මත් අවසානයත් වෙමි.මම හිතවතාට පිහිට වෙමි.මම වනාහී සියල් සතුන්ගේ නොපෙරැලෙන ප්‍රාණ බීජය වෙමි.යමෙක් මට සැදැහැයෙන් පූජා කෙරේද මම එය පිළිගනිමි.මම සියල් සත්නට ඊශ්වර වෙමි.මම පිළිසිඳීම් රහිත වෙමි.මම අමරණීය වෙමි.අදහම නැගී සිටින විට,දහම පිරිහී යන විට,දැහැමිබව පළ කිරීමට,පාපීන්ගේ පාපයන් විනාශ කරලීමට,ධර්මය ආරක්ෂා කිරීමට මම යුගයක් යුගයක් පාසා මේ ලොව පහළ වෙමි“.

      ඔන්න ඔය ටික fb දැම්මම අයියා දාපු කමෙන්ට් එක ? :p :p :p

      Delete
    2. Mata mathakay mokak hari eda comment kala kiyala wihiluwata eeth e mokakda kiyala mathaka ne :D:D

      Delete
    3. හැක හැක හැක හැක
      එහෙනම් කමක් නෑ :p :p :p
      g-) g-)

      Delete
  2. ජය....ලස්සන විචාරයක්.... ඕක රත්න ශ්‍රී මහත්තයා එයාගේ වැඩසටහනකින් පැහැදිලි කරා... අවරුදු 2 කට විතර උඩදී... අඩ සඳ යාය කියල වැඩසටහනක'.. එදා දවසෙම සාකච්චා කලේ සරසවි ගීත සාහිත්‍ය ගැන...

    ReplyDelete
    Replies
    1. මමනම් අහලා නැහැ ඉතින් . බලමුකෝ ඒවායේ රේකොඩින් එකක් වත් තිබුණොත් ඩවුන්ලෝඩ් කරලා අහන්න .
      බොහොම ස්තූති :) g-) g-) g-)

      Delete
  3. මම මේ සිංදුව අහලම නෑ වගේ..

    ReplyDelete
  4. මට මතකයි මචෝ වයෝ මීට සමාන කතාවක් සරස මෑන් ලියල තිබ්බ....
    ලිංක් ඒක හොය හොය ඉන්න නං වෙලාවක් නෑ පුලුවං න සරස ගෙ මල්ලෙ පොල් බ්ලොග් එකේ ඇති හොයල බලහං මේ සිංදුවෙ කතාවද දන්නෙ ත් නැ

    ReplyDelete
    Replies
    1. එලට් . මම බලන්නම් . බොහොම ස්තූති :) :) :)

      Delete
  5. Amazing! http://www.getcocgem.com/ - I got free Clash of Clans gems here! Get yous too in less than two minutes!! Everybody is already using free gems from here.(HCE478iqsU)

    ReplyDelete
  6. වින්සතියකට අවුරුදු විස්සක කාලයක් අයිතියි.

    ReplyDelete

රසයිද, තිත්තයිද, දිරවගන්න බැරිද, මෙලෝ රහක් නැත්ද, දැනුන රස කිව්වොත් අපිටත් සතුටුයි.